එනමුදු මගෙ රටයි ලෝකෙන් උතුම් රට!

blind_toppick_crop

දිනය හරියටම මතක නැති වුණත් ඒ 2009 වසරේ සැප්තැම්බර් මාසයේ එක්තරා රාත්‍රියක්. මං හිටියේ කොළඹ ජාතික රෝහලේ. ඒත් රෝගියෙකු විදියට නෙමෙයි. රෝගීව හිටපු මගේ තාත්තගේ ඇඳ ළඟ, තාත්තගේ තනියට. රෝහලේ වාට්ටුව 41 හරි 44 හරි වගේ තමයි මතක. වෙලාව රෑ අට නමය වගේ වෙන්න ඕනේ. රෝගීන් හැරුණාම වාට්ටුවේ හිටියේ රෑ වැඩ මුරය භාරව හිටිය එකම එක හෙදියකුත්, රෝගීන්ගේ තනි නොතනියට හිටපු මං වගේ තව දෙතුන් දෙනෙකුත් විතරයි. ඈතින් ඉඳහිට ඇහුණු වාහනවල සද්දයත්, රෝහලේ පරණ විදුලි පංකාවලින් මතුවුණු බොල් සද්දයත්, බිත්තියේ ඉහළට සවි කරලා තිබුණු රූපවාහිනී යන්ත්‍රයකින් මතුවෙච්ච කන්කරච්චලයත් රාත්‍රියේ නිසංසලකම බිඳලා දාලා තිබුණා. රූපවාහිනියේ විකාශය වෙමින් තිබුණේ රාත්‍රී ප්‍රවෘත්ති. ඒ වෙනකොට මැතිවරණ උණුසුමක් තිබුණු නිසා ගිරිය යටින් කෑ ගහන දේශපාලකයන්ගේ පිළිකුල උපදවන කටවල්වල සද්දය වාට්ටුව පුරාම පැතිරිලා යමින් තිබුණේ හරියට වාට්ටුව අයිනෙන් ගලා ගෙන යන කුණු කාණුව වගේ, ගන්ධස්කාරයෙන්. ප්‍රවෘත්ති විකාශයත් එක්කම මැතිවරණය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ප්‍රචාරය කෙරුණා. ඒකෙදි දකින්න ලැබුණේ ප්‍රධාන පක්ෂ දෙකෙන් තරග වදින දේශපාලකයො සිංදු කියන හැටි. මැතිවරණ වේදිකාවේම කොටසක සංගීත කණ්ඩායමක් සංගීතය සපයන්න සූදානම් වෙලා හිටියා. වැඩි වෙලාවක් යන්න කලින්ම මැතිවරණ වේදිකා සංගීත මඩු බවට පෙරළුණා. දේශපාලකයො රැළ, ගායකයො රැළක් බවට පත් වුණා. දහසකුත් දුක් කම්කටොළු හිස දරාගෙන එදා වේල ගැට ගහගන්න අනන්ත දුක් විඳින ජනතාව වේදිකාවට අබියස නටන්න පටන් ගත්තා. අන්තිමේදී මුලු මහත් මැතිවරණ රැස්වීමම එකම කෝලම් මඩුවක් බවට පෙරළුණා. ඒ වෙනකොට මං ලංකාවෙන් බැහැර වෙලා හිටපු කාලය ඒ තරම්ම දිග කාලයක් නොවුණත්, මේ ජුගුප්සාජනක දර්ශනය මං ඊට කලින් දැකලා තිබුණු දෙයක් නෙමෙයි. ගුවන් තොටුපලෙන් ගොඩ බැහැපු වෙලාවේ ඉඳන් මිනිස්සුන්ගේ සංවේදීකම, රටේ හද ගැස්ම මේ හැම දෙයක්ම වෙනස් වෙලා තියෙන බව පැය කිහිපයක් ඇතුළතම අත්විඳින්නට ලැබුණු නිසා මේ දර්ශනයත් පුදුමාකාර විදියට අප්‍රසන්න කමින් අත් විඳිද්දී තමයි එක සැරේටම වාට්ටුවේ විදුලිය විසන්ධි වුණේ.

විදුලිය විසන්ධි වෙනවත් එක්කම මුළු වාට්ටුවම එක සැරේම අඳුරේ ගිලිලා ගියා. හදිසි වෙලාවක දැල්වෙන්න තිබුණු ලොකු විදුලි පහන් දෙකක් රූපවාහිනිය  තිබුණු තැන, බිත්තියක මුදුනින් මහ උජාරුවෙන් විරාජමාන තිබුණු හැටි මං කලින් දැක්කත් ඒ එකක්වත් දැල්වුණේ නැහැ. ඈතින් ඇහුණු වාහනයක දුබල සද්දයක් හැරුණම වෙන කිසිම සද්දයක් ඇහුණේ නැහැ. රූපවාහිනියේ ගාලගෝට්ටිය නතර වෙච්ච නිසා පුදුමාකාර සහනයක් හිතට දැනුණත් ඒ සහනය වැඩි වෙලාවක් තිබුණේ නැහැ. විදුලි පංකා නතර වෙච්ච නිසා ඒ උණුසුම් රාත්‍රිය දහදියෙන් නැහැවෙන්න පටන් ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් කොහෙන්දෝ ආපු තඩි මී රංචුවක් වාට්ටුව පුරා සැරිසරන්න පටන් ගත්තා. වාට්ටුවේ බිමත් රෝගීන් දෙතුන් දෙනෙක් ඉන්න බවක් මං කලින්ම දැක්ක නිසා ඒ අහිංසකයන්ට මේ මීයන්ගෙන් නම් කොහෙත්ම ගැලවිල්ලක් නොලැබෙන්න ඇති. හොඳටම අසරණ වෙලා හිටපු රාත්‍රී හෙදියගේ ලාච්චුවේ ඉටිපන්දමක්වත් තිබුණේ නැහැ. හෙදිය හඬ නගලා කරපු ඉල්ලීමට වාට්ටුවේ හිටපු කවුරුන් හරි රෝගියෙක් තමන් අතේ තිබුණු  ඉටිපන්දමක් දල්වලා හෙදිය හිටපු මේසයේ සවි කළා. ඒ ඉටිපන්දම් එළිය විතරයි මුළු වාට්ටුවටම තිබුණේ. මේ ජවනිකාව ඉක්මනින්ම ඉවර වෙයි කියලා හිතුවත් එහෙම වුණේ නැහැ.  ජීවිතයේ ඉතාම දිගු වෙහෙසකර රාත්‍රියක් ඒ මොහොතේ අත් විඳින අතරේ මං හෙදියත් එක්ක කතාබහක යෙදුණා. රෝගීන් පිරිලා හිටිය ඒ වාට්ටුවේ බොහොමයක් රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටන් වදින වකුගඩු රෝගීන්.  ඒ හැම දෙනාටම අනිවාර්යයෙන්ම දිය යුතු දෛනික බෙහෙත් පෙත්තක් තිබුණා. ඒත් හෙදිය මට කිව්වේ විදුලිය ආවේ නැතිනම් රෝගීන් කාටවත් බෙහෙත් දෙන්නට විදියක් නැහැ කියලයි. කළුවරේ වැරදි බෙහෙතක් දීලා රෝගීන්ගේ ජීවිතය අනතුරේ හෙළනවාට වඩා බෙහෙත් නොදී ඉන්න එක අඩු අවදානමක් කියන එකයි ඇගේ තර්කය වුණේ. ඒකත් ඇත්ත. එදා මුළු රෑම විදුලිය ආපහු ආවේ නැහැ. ඒ නිසා ජීවිතයත් මරණයත් අතර සටන් වදිමින් හිටපු රෝගීන් කාටවත් බෙහෙත් වේල ලැබුණේත් නැහැ. දේශපාලකයන් එක්ක මහ ජනතාව හරි හරියට ජෝගි දමමින් නටමින් ඉන්න රටක, රටේ ප්‍රධානතම ජාතික රෝහලේ වාට්ටුවක රැයක් ගැන විස්තරයක් තමයි ඔය ඔබ කියෙව්වේ. ඒ කියන්නේ සුද්දාගේ පාලනය කළු සුද්දා අතට ඇවිත් දශක හය හතකට පස්සේ රටේ අස්වැන්නෙන් එක දෝතක්. හරියටම කියනවා නම් අපේ වහල් සේවය වෙනුවෙන් පෙරළා අපිට ලැබුණු ගතමනාව තමයි ඒ.

මේ අවුරුදු හැත්තෑව ඇතුළේ අපිව වහල්ලු විදියට විකිණෙන මේ වහල් වෙළදාමට අපි කොයි තරම් නම් ආදරය කරනවාද කියනවා නම් අපිට හීනෙකින්වත් හිතෙන්නේ නැහැ අපි වහල්ලු කියලා. මේකත් හරියට බුදුදහමේ එන චතුරාර්ය සත්‍යය වගෙයි. මුල්ම කාරණාව වහල්කම. දෙවැන්න තමයි අපි වහල්ලු වුණේ ඇයි කියන කාරණාව. තුන්වැන්න තමයි මේ වහල්කම නැති කරගැනීම. අන්තිම කාරණාව තමයි වහල්කම නැති කරගන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් මේ අන්තිම කාරණාවට එන්න නම් තව පරම්පරා ගණනාවක්ම අපිට බැරි වේවි. ඒකට හේතුව අඩුම තරමින් අපි ඔය පළමු වෙනි කාරණාවටත් තාම ඇවිත් නැති නිසා. ඒ කියන්නේ අපි තමා දන්නේ නැහැ අපි වහල්ලු කියලවත්. ඉතින් කොහොමද වහල්කම නැති කරගන්නේ. අපි කොයි තරම් නම් වහල්ලුද කියනවා නම් අපේ මිනිස්සු අද හිතන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන නෙමෙයි, තමන්ගේ පක්ෂ නායකයාගේ අනාගතය ගැනයි. එදා වේල හොයා ගන්න බැරිව ජීවන බර ඉවසා දරා ගෙන ඉන්න අපි තමන්ගේ පක්ෂයේ නායකයාට හරි ආර්යාවට හරි දුවට පුතාට හරි විරුද්ධව වචනයක් කිව්වොත් ඒක මොහොතකටවත් ඉවසා දරා ගන්නේ නැති තරමටම වහල්ලු.

වැඩවසම් වහල් සමාජයේ තිබුණු වහල් වෙළඳාම නතර වුණේ නීතියකින්ම වහල් සේවය තහනම් කරපු හින්දා. ඒත් නීතියකින් බැහැනේ අපේ ඔළුගෙඩි ඇතුළේ හිරවෙලා තියෙන සීමා බන්ධන බිඳලා දාන්න. අපේ සමාජය අද කොයි තරම් නම් හිරිවැටිලාද කියනවා නම් එහෙම දෙයක් හිතීමත් බොහොම දෙනෙකුට ඇඟ කිලිපොලා යන මාරක සිතිවිල්ලක්.  මේ හින්දා තමයි අර පැන්ෂන් ගිය ටියුෂන් ගුරු මන්ත්‍රීවරයා කිව්වේ තමන්ගේ පක්ෂයෙන් පොල් ලෙල්ලක් දැම්මත් බලය ගන්න පුළුවන් කියලා. සහතික ඇත්ත… බලයට ආපු හැමෝම වගේ පොල් ලෙලි තමයි. ඒ පොල් ලෙලි ටික හින්දා තමයි අද රටේ ප්‍රධානතම ආදායම් මාර්ගය මැද පෙරදිග ගෘහ සේවය බවට පත්වෙලා තියෙන්නේ. රණවිරුවො, දේශප්‍රේමියො, සිංහල ජාතිය ආගම රැක ගන්න ගිරිය යටින් කෑ ගහන අධිරාජ්‍ය විරෝධි වීරයෝ පිරිලා ඉන්න මේ දූපතේ ප්‍රධානතම ආදායම් මාර්ගය තමයි මැද පෙරදිගට කුස්සි අම්මලා සැපයීම.

මැද පෙරදිගට ගැහැනුන් විකුණන එක ප්‍රධානතම ආදායම් මාර්ගය වුණාට අපේ පුරසාරම් නම් කෙළවරක් නැහැ. ලෝකයේ උසම නත්තල් ගහට ගිනස් වාර්තාව තිබ්බා. උසට උසේ නෙළුම් කුළුණු හැදුවා. දිගම සාරි පොටට වාර්තාව තිබ්බා. පිටි ගුලියකට ඇදිරි නීතිය දාපු රටක් විදියටත් හෙට අනිද්දට ගිනස් වාර්තාව තියයි. නන්දා මාලිනිය නමින්වත් පාරක් නැති රටේ එකම එක ප්‍රශස්ති ගායනක් කරපු තරුණියකට පාරක් පවා නම් කළා. ඒ වගේද අපේ රටේ නම පවා කොයි තරම් නම් ගරු ගාම්භීරද? ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. ඇමරිකාවේ නම නිකම්ම නිකම් එක්සත් ජනපදය. ලෝකයේ දෙවැනි විශාලම රට වෙච්ච කැනඩාවේ නිල ජාතික නාමය නිකම්ම නිකම් කැනඩාව. බ්‍රිතාන්‍යත් නිකම්ම නිකම් මහා බ්‍රිතාන්‍යය. රටේ නම විතරක් නෙමෙයි අපේ නායකයාත් කොයි තරම් ගරු ගාම්භීරද…? අතිගරු ශ්‍රීමත් ජනාධිපති උතුමාණෝ. ඇමරිකාවේ බැරැක් ඔබාමාට වොෂිංටන් පෝස්ට් පත්තරය විතරක් නෙමෙයි රටේ සියලුම ජනමාධ්‍යයි, පුරවැසියනුයි කතා කළේ නිකම්ම ඔබාමා කියලා. මිස්ටර් කෑල්ල දැම්මේ මිස්ටර් ප්‍රසිඩන්ට් කියලා ජනාධිපති කියන තනතුර හඳුන්වන්න විතරයි. ට්‍රම්ප් පවා නිකම්ම නිකම් ට්‍රම්ප්. කැනඩාවේ අගමැතිවරයාත් නිකම්ම ජස්ටින්. තනතුරට ගෞරව කරන්න යොදා ගන්න එකම යෙදුම මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර් විතරයි. පුටින් නම් පුටින්. එත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජීවත් වෙන අපිට අතිගරු ශ්‍රීමත් ජනාධිපති උතුමාණන් විතරක් නෙමෙයි අතිගරු ශ්‍රීමත් මැති අමැතිවරුන්ගෙන් අඩුවක් නැහැ. ඒ විතරක් නෙමෙයි මහ රජාණන්ලා මදිවට අතිගරු ආර්යාවොත් ඉන්නවා. ඒත් අන්තිමේදී දන්නෙම නැතිව රට අසාදු ලේඛනයටත් ඇතුළත් වෙලා. ඉතින් මේ හැම දෙයක්ම ගෝත්‍රික සමාජයක ලක්ෂණ. එහෙමත් නැතිනම් වැඩවසම් වහල් සමාජයක අංගෝපාංග. ආගම, ජාතිය විතරක් නෙමෙයි සංස්කෘතිය පවා අපි අල්ලගෙන තියෙන්නේ වැරදි තැනකින්. මේ නිසා ජාතිආලය, දේශප්‍රේමය මේ දූපතෙන් වෑස්සිලා ගිහින් ඉන්දියන් සාගරය පුරා දෝරේ ගලනවා. සීතාම්බර පට කතාවේ නිරුවතින් හිටියේ රජතුමා විතරයි. ඒත් මේ දූපත ඇතුළේ අපි හැමෝම සීතම්බර පට සළුවලින් තමයි සැරසිලා ඉන්නේ. ඔය දූපත ඇතුළේම හිරවෙලා දූපත් මානසිකත්වයෙන් බලනතාක් කල් අපිට හිතෙන්නේ අපි ඉන්නේ අනර්ඝ සළුපිළි වලින් සැරසිලා කියලයි. ඒත් ඒ නිරුවත පේන්නේ දූපත් මානසිකත්වයෙන් මිදෙන්න පුළුවන් උන්ට විතරයි. සමාජයක් විදියට අපි ඉන්නේ නිරුවතින් කියලා හඳුනා ගන්න පුළුවන් වෙනකල්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කිය කියා ළිං පතුලේ හිරවෙලා එකම තැන උඩ පනින ගෙම්බො වගේ ඉන්නවා මිසක් මේ ළිං කටින් ගොඩ එන්න නම බැහැ අපිට කිසිම දවසක.

දියුණු වෙමින් තියෙන ලෝකයේ අනිත් රටවල් දිහා බැලුවම ඒ හැම රටකම මිනිස්සු ඡන්දය දෙන්නේ කෙනෙකුගේ ප්‍රතිපත්තිවලට. ඒත් අපේ රටේ? මේ අවුරුදු හැට හැත්තෑව පුරාම අපිට තිබු‍ණේ හාල් පොල් දේශපාලනයක්. පොල් ගෙඩියක මිල අඩු කිරීම, හාල් කිලෝවක් සත පනහකින් අඩු කිරීම, පාන් ගෙඩිය රුපියලකින් බැස්සීම… මැතිවරණයක් දිනාගන්න මේ වගේ පොරොන්දු දෙක තුනක් හොඳටම ඇති. මැතිවරණය දිහා, එහෙමත් නැතිනම් රට භාර දෙන්න සුදුසු නායකයන් කවුරුන්ද කියලා අපි බලන්නේ කොයි තරම් නම් මෝඩ තකතිරු විදියට ද කියනවා නම් දේශපාලකයෙක් දරුවෙක් වඩාගෙන හුරතල් කිරීමත් රටක් භාර දෙන්න ලොකුම ලොකු සුදුසුකමක්. එහෙමත් නැතිනම් මුළු පවුලම එකතු වෙලා ආරිය සිංහල ඇඳුමින් සැරසිලා ඡායාරූපයකට පෙනී හිටීමත් අපේ ඡන්දදායකයන්ගේ හදවත් උණුසුමින් පුරවන්න හොඳටම ප්‍රමාණවත්. පවුලේ හැමෝම එකතු වෙලා සිංහල හින්දු අලුත් අවුරුද්දට ලිප ගිනි මොළවන පිංතූරයකුත් හොඳටම ඇති රටේ පාලනය භාර දෙන්න.

මේ කාරණා සටහන් කරන්නට හිතුණ් කරුණු කිහිපයක් හින්දා. මූලිකම කාරණය තමයි පහුගිය දවසක නිමාවෙච්ච මැතිවරණය. බලයෙන් පැරදිලා ආපහු බලයට එන්න පොරකන අයයි, බලයේ ඉන්න අයයි කියන කරන දේවල් දැක්කම, ඒ වගේම දෙන පොරොන්දු දැක්කම සිහිබුද්ධිය යම්තමින් හරි තියෙන කෙනෙකුට මතුවෙන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඉතින් මේ අවුරදු හැත්තෑව ඇතුළත ඇයි ඔය දේවල් වලින් අංශු මාත්‍රයක් හරි නොකළේ කියන එක. මොකද 1948  ඉදන් අද වෙනකම් අවුරුදු හැත්තෑවක්ම රට පාලනය කළේ ඔය කියන පක්ෂ දෙක හරියටම කියනවා නම් දේශපාලන පවුල් දෙකක් මාරුවෙන් මාරුවට. ඉතින් මේ අවුරුදු හැත්තෑව ඇතුළේ ඔබේ කරමතින් බලයට පත්වෙච්ච මේ පවුල් ආණ්ඩුවලින් පෙරළා ඔබට ලැබුණු දෙයක් නම් කරන්න පුළුවන්ද? අඩුම තරමින් එකම එක දෙයක්?

නිදහස් සෞඛ්‍ය? එහෙම දෙයක් නැහැ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඔය උඩින් සඳහන් කළ කතාවම ඇතිනේ. රජයේ රෝහලකට ගියාම කොයි තරම් නම් පිරිසක් ඇඳන් නැතිව බිමට ඇදලා දාලා තියෙනවද? අඩුම තරමින් හදිසි ලේ පරීක්ෂණයක් කරන්නවත් පුළුවන්ද පුද්ගලික සායනකින් සල්ලි නොගෙවා මිසක්. රජයේ රෝහලෙන් මිල නියම කරන බෙහෙත් මිලදී ගන්න සල්ලි නැතිව කොයි තරම් නම් පිරිසක් අකාලයේ මිය ඇදෙනවද? එත් අපූරුම කාරණේ තමයි, 1930 අවුරුද්දේ ඉඳන්ම අපේ රටේ ජනතාව නිදහස් සෞඛ්‍ය සේවාව භුක්ති විඳිනවා කියලා මෑතකදී තිබුණු 68 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේදී පුරසාරම් දෙඩුව සෞඛ්‍ය ඇමතිවරයාවම, සුළු අසනීපයකට බෙහෙත් ගන්නත් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලට පැන ගන්නවා. (හැබැයි ඒ ඔක්කොම ජනතාවගේ සල්ලි). මැති අමැත්තන්ගේ රථ වාහන පර්මිට් වෙනුවෙන් පමණක්ම ‍‍කෝටි පන්දහක විතර ධනස්කන්ධයක් නාස්ති කරන රටක පිළිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගන්න මිනිස්සුන්ගෙන් සල්ලි හිඟාකද්දි සාමාන්‍ය පුරවැසියන් තමන්ගේ අතේ මුදලින් තමයි ඒකත් අරන් දුන්නේ.  රටේ සෞඛ්‍ය අමැතිවරයාටවත් විශ්වාසයක් නැති රටේ සෞඛ්‍ය සේවාවත් හරියට “හාමුදුරුනමක්” රටේම හෙදියො ටික පාලනය කරනවා ව‍ළ පල්ලටම බැහැලයි තියෙන්නේ.

එතකොට නිදහස් අධ්‍යාපනය? ඔබේ දරුවා ළදරු පාසලට දාපු දවසේ ඉඳන් සරසවි අධ්‍යාපනය දක්වාම කොයි තරම් නම් මුදල් කන්දරාවක් වැය කරන්නට ඔබට සිද්ධ වෙනවාද? පාසලට ඇතුළත් කරන්න ගෙවන අල්ලස හැරුණාම, පංතියේ තීන්ත, මේස පුටුවල ඉඳන් හැම දෙයකටම වැය වෙන්නේ දෙමව්පියන්ගේ සල්ලි. අනෙක් අතට ලංකාවේ පාසල් පද්ධතිය කියන්නේ නමට තියෙන දෙයක් විතරයි. දෙක තුන වසරේ ඉඳන්ම කොයි තරම් නම් ධනස්කන්දයක් වියදම් කරන්න ඕනේද ටියුෂන් වලට? ඉතින් කොහේද නිදහස් අධ්‍යාපනයක්. ඒත් ධනවාදී කියලා ලේබල් ගහන ලෝකේ අනෙක් සෑම රටකම වගේ සරසවි අධ්‍යාපනය හැරුණාම ඒ දක්වාම අධ්‍යාපනය වචනයේ පරිසමාප්තියෙන්ම නිදහස්. මේ සෑම රටකම පුරවැසියන්ට රටේ සෞඛ්‍ය සේවාවේ පල නොමිලයේම විඳින්න පුළුවන්. ටියුෂන් නැහැ. චැනලින් නැහැ. වෛද්‍ය පරීක්ෂණවලට ගෙවන්න ඕනේ නැහැ.

ඉතින් තවත් වෙන මොනවා හරි දෙයක් මේ අවුරුදු හැත්තෑව ඇතුළේ ඔබට ලැබිලා තියෙනවාද? අධිවේගී මාර්ග, ගොඩනැගිලි හැදෙන්නේ ජනතාවගෙ සල්ලිවලින් මිසක් ඔය කිසිම පවුලක බූදලයකින් නෙමෙයි කියන එක මතක් කරන්නට අවශ්‍ය නැහැනේ. සංවර්ධන ව්‍යාපෘති කියලා ඔය කියන සෑම ව්‍යාපෘතියකින්ම අඩුම තරමින් සියයට තිහක මුදලක් කොමිස් විදියට එකිනෙකාගේ සාක්කුවලට යන බවත් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැනේ.

සිංගප්පූරු රජය තමන්ගේ අතිරික්ත ජාතික ආදායමෙන් කොටසක් එහි පුරවැසියන්ට දීමනාවක් විදියට නොමිලයේ දෙන්න ආපහු සැරයක් තීරණය කළා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි එක පාරටම සිංගප්පූරුව මතක් වුණේ. කියලා. වැඩි කාලයක් නෙමෙයි අදින් අවුරුදු පනහකට විතර කලින් සිංගප්පූරුව කියන්නේ ලංකාවට වඩා ‍බොහොම පහළ තලයක තිබුණු රටක්. 1956 දී මුලින්ම ලංකාවට ආව සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ ලංකාව දැකලා කොයි තරම් සතුටට පත් වුණා ද කියනවා නම් එයා ප්‍රසිද්ධියේම කියපු දෙයක් තමයි සිංගප්පූරුවත් කවදා හරි දවසක ලංකාවක් බවට පත් කරනවා කියන එක. ඒත් එයින් අවුරුදු තිහක් යන්නත් කලින් 1998 දී ලී ක්වාන් යූ ට කියන්නට සිද්ධ වුණා සිංගප්පූරුව තවත් ශ්‍රී ලංකාවක් නම් නොවේවා කියලා. මෙහෙම වුණේ ඇයි? හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු හැම එකක්ම කෙටි කරලා ගත්තොත් කියන්න පුළුවන් කාරණාව තමයි බුද්ධිමත් තීරණ ගන්න පුළුවන් නායකයන් පිරිසක් අපිට නැතත් එයාලට සිටීම. සිංගප්පූරු කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරුන් 22 දෙනාගෙන් විස්සක්ම අඩුම තරමින් පශ්චාත් උපාධියක්වත් හිමි කරගන්නා මට්ටමට උසස් අධ්‍යාපනයක් තියෙන අය. බ්‍රිතාන්‍යය ගත්තොත් හැම කැබිනට් අමැතිවරයෙක්ම වගේ ඔක්ස්ෆර්ඩ් හරි කේම්බ්‍රිජ් හරි අඩුම තරමින් වෙනත් ඉහළ පෙළේ සරසවියකින් හරි උසස් මට්ටමේ උපාධි ලබාගත්ත අය. ඒ තියා අපේ අසල්වැසි ඉන්දියාවේ පවා කැබිනට් ඇමතිවරුන්ගෙන් බහුතරයක්ම නීති උපාධිධාරියො, එහෙමත් නැතිනම් පිළිගත්ත සරසවිවලින් පිටවුණු විද්‍යාවේදියො. ඉතින් අපේ රටේ…? අඩුම තරමින් පාසල් අධ්‍යාපනයවත් හරියට නිම කරගත්තේ නැති 102 ක්ම අපේ මැති ඇමති ලැයිස්තුවේ ඉන්නවා. සියයට ආසන්න පිරිසක් සාමාන්‍ය පෙළත් අසමත්. ඉතින් ඔහොම පිරිසක් තියාගෙන රට සංවර්ධනය වෙනකම් අපි බලාගෙන ඉන්නවා. ලෝකයේ ශිෂ්ට සම්පන්න හැම රටකම ඡන්දයට එන්නේ විද්වතුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන් වගේ විවිධාකාර අංශවල ප්‍රවීණ්‍යන් වුණත් අපේ රටේ බලයට එන්නේ කුඩුකාරයො, මංකොල්ලකරුවො, තුට්ටු දෙකේ නිළියො, බේබද්දො, දූෂකයො කියන අංශවලින් ප්‍රවීණයො.

මේ සැරේ මැතිවරණයෙනුත් කසිප්පු නඩු 42 ක් තියෙන කසිප්පු කාරයො. කාන්තාවන් සියයක් දූෂණය කරලා වාර්තාවක් තිබ්බ දුෂකයො. රටට වැඩක් නොකර නිකම්ම වයසට ගිය අවුරුදු අසූවේ සීයලා ඔබේ දේශප්‍රේමී කතිරයෙන් මේ සැරෙත් බලයට පත් වුණා. ඉහළම ඡන්දෙන් බලයට පත්වෙච්ච නිළි බබා අවුරුදු පහක්ම තොදොල් වෙවී හුරතල් වෙවී ඉඳලා අන්තිමේ දී ජීවිත කාලයටම පැන්ෂන් එකත් හදාගෙන , වාහන පර්මිට් එකත් අරන් ගෙදර ගියා, මව් පදවියට සූදානම් වෙන්න. මේ ආණ්ඩුවත් බලයට ආපු ගමන්ම කළේ ජනතාවට එපා වෙලා පැරදුණු  අර මුණත් තහඩු ටික ආපහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම විතරක් නෙමෙයි ඇමති තනතුරු පවා අරන් දීම. මැතිවරණයක් ඉවර වුණු ගමන්ම අපේ රටේ සිද්ධ වෙන්නේ මුළු මහත් මැතිවරණයම හිස් පුස්සක් බවට පත් කරලා හරියට අර ශාන්ත ජෝන් මාළු වෙළෙදපොලේ මාළු ලෑල්ල වෙන්දේසි කෙරෙනවා වගේ මන්ත්‍රී ශරීරත් වෙන්දේසි වෙන එක තමයි. (ඒ ශරීර වෙන්දේසියට මිසක් වෙන වැඩකට ගන්නත් බැහැ තමයි). රණවිරුවො ගැන, දේශප්‍රේමය ගැන, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන බෙරිහන් දෙන ගමන් ආණ්ඩුවට පතුර යන්න බැන වදින විපක්ෂය, මන්ත්‍රී වැටුප් දීමනා වැඩි කරද්දී, විශ්‍රාම වැටුප දෙගුණ කරද්දී, වාහන පර්මිට් දීමනාව ඉහළ දාද්දී හීන් සීරුවේ ආණ්ඩුවත් එක්ක එකට අත උස්සනවා. අඩුම තරමින් විවාදයක් වත් නැහැ. අපිත් වහල්ලු නිසා ජීවන බර කොයි තරම් තිබුණත්, ඒ බරටත් කර දෙනවා. ඇයි ඉතින් අපේම පක්ෂයේ අයනේ. එහෙම තමයි අපි හිතන්නේ. වැරැද්දක් දකින්න දිව නැමෙන්නෙම නැහැ. ඒ හින්දා තමයි අපිට වහල්ලු කියන්නේ. අපි අපිව බැඳලා තියෙන මේ යදම් වලට කොයි තරම් නම් ආදරය කරනවා ද කියනවා නම් නිදහස කියන දේ තේරුමවත් අපි දන්නේ නැහැ. ඒකටත් හේතුවත් තියෙනවා. 1948 දී අපිට ලැබුණාය කියන “නිදහස” ලැබුණේ සටන් කරලාවත්, ඒ වෙනුවෙන් අරගල කරලාවත් නෙමෙයිනේ. ඉන්දියාවේ ජාතික අරගලයේ ප්‍රතිඵලයක් විදියට ඉන්දියාවට නිදහස ලැබෙද්දී තමන්ටත් වඩා හොඳින් තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පිරිසක් ලංකාවේ බිහිවෙලා ඉන්නවා දැකලා, ඒ සන්තෝසෙට නිකම් ඔහේ වීසි කරලා දාපු දෙයක් තමයි ඒක. තමන්ගේ පංතියට බලය ලබා ගන්නට මිසක් කැපී පෙනෙන ජාතික අරගලයක් අපිට කොයි විදියකින්වත් තිබුණේ නැහැ. ඒ නිසා නිදහස කියන්නේ මොකක්ද කියන එක අපිට ඓතිහාසකිවම දැනිලා නැහැ. අපි දන්නෙත් නැහැ. කාලාන්තරයක් තිස්සේ මේ වහල්කමට, මේ යදම්වලට අපි කොයි තරමක් නම් පුරුදු වෙලා තියෙනවාද කියනවා නම් මේ යදම් ගලවලා දැම්මොත් අපිට වුණත් මහම මහ හිස්කමක් දැනේවි.

ඉතින් නිදහසක අගය දන්නේ නැති වහල්ලුන්ව ගොන්නුන්ට අන්දන්න හරිම ලේසියි. මොන දූෂණ වංචා මිනීමැරුම් කළත් ඊට විරුද්ධව වචනයක් වත් කතා කරන්න බැහැ… සිංහල බෞද්ධ කියන ලේබලය අලවපු ගමන් එතැනින්ම ඒක ඉවරයි. රටේ සම්පත්, දේපළ අමු අමුවේ කොල්ල කෑවත්, පවුල් පිටින් හොරකම් කළත් අනේ සිංහල බෞද්ධ නායකයෙක්නේ කියලා හිතන තරමට පුදුමාකාර කරුණාවක් අපේ හිත් තුළින් දෝර ගලාගෙන යනවා. එහෙම කෙනෙකුට අත තිබ්බොත් ඒක දේශද්‍රෝහී, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. හමුදා සෙබළෙක් මොන දූෂණය කළත් ගැටලුවක් නැහැ‍, ඇයි එයා රණවිරුවෙක්නේ. රණවිරුවෙක් කියන්නේ කවුද හමුදා සෙබළෙක් කියන්නේ කවුද කියලා තේරම් ගන්න තමන්ගේම දියණිය දූෂණයට ලක්වෙනකල්ම වටහා ගන්න බැරි තරමටම අපේ සමාජය නිර්වින්දනය වෙලා.

දෙමළ සටන්කාමියෙකු වෙච්ච කුට්ටුමනී මරා දාන්නට කලින් 1982 අවුරුද්දේදී උසාවියේදී කිව්ව දෙයක් තමයි එදා දවසේ තමන්ට එල්ල වෙන තුවක්කු අනාගතයේ දී සිංහල තරුණයන්ට එල්ල වේවිය කියන එක. අලිමංකඩ වධ කඳවුර අනාගතයේ දී හම්බන්තොටට ගෙනි යාවි කියලත්, ගුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙන යාවි කියලත් කිව්ව කුට්ටුමනී එදා දෙමළ තරුණයන් වෙනුවට අනාගතයේ දී සිංහල තරුණයන් ඔය කදවුරුවල වධ විඳීවී කියන එක උසාවියේ දී ප්‍රකාශ කළේ තමන්ව මරා දාන්න කලින්. ඒක හැබෑ වෙන්න දශකයක්වත් ගියේ නැහැ. හම්බන්තොට විතරක් නෙමෙයි රට පුරාම වධ කඳවුරු බිහිවෙලා දෙමළ තරුණයන් වෙනුවට සිංහල තරුණයන් දහස් ගණනින් බිලිවුණා. 1982 දී වීරෝධාර හමුදාව විදියට නම් කෙරුණු හමුදාවම තවත් දශකයක් ඇතුළත 88 – 89 කාලයේ දී ආණ්ඩුවේ කුලී මැරයන් බවට පෙරළුණා. ඊට පස්සේ තවත් දශකයක් යන්නත් කලින් ආපහු සැරයක් ඒ නම රණවිරුවා බවට පත් වුණා. මේක මෙතැනින් නතර වෙන්නේ නැහැ. තවත් දශකයක් යන්න කලින් ඔය නම ආපහු සැරයක් පරිවර්තනය වෙනවා. තරුණයෙක් හමුදාවට යන්නේ රණවිරුවෙක් වෙන්නවත්, කුලී මැරයෙක් වෙන්නවත් නෙමෙයි. දරිද්‍රතාවය නිසා රැකියාවක් හොයා ගෙන. මේ හැම වෙලාවකම හමුදා සෙබළා වෙනස් වුණේ නැහැ. පාලකයන්ගේ උවමනාවට ඔහුගේ කාර්යභාරය වෙනස් වුණා විතරයි. මේ තත්ත්වය තේරුම් ගන්න තරම් අපි තාමත් ළාමක වැඩියි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1979 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එද්දී බහුතර සිංහල ජනතාව එකහෙළා ඒක අනුමත කළා. ඒකට හේතුව එදා උතුරේ මිසක් දකුණේ ත්‍රස්තවාදයක් නොතිබුණු හින්දා. මේ හින්දා සාමාන්‍ය මිනිස්සු මේ පනත හැඳින්නුවේ “කොටි පනත ” කියලයි. ඒත් අන්තිමේ දී මේ පනත නිසා වධ වේදනා වින්දේ, ඝාතනයට ලක්වුණේ දෙමළ තරුණයන්ටත් වඩා සිංහල තරුණයොයි. එදා සිංහල ජනතාවගේම ආශිර්වාදයෙන් නීතියක් බවට පත් කළ පනත් කෙටුම්පත අන්තිමේ දී සිංහල ජනතාවගේම දරු දැරියන් ම්ලේච්ඡ විදියට වධ හිංසාවට ලක් කරලා ඝාතනය කරන්න ප්‍රධානතම ආයුධය බවට පත් වුණා. බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම එදා ඉඳන් අද දක්වාම කළේ ඒකම තමයි. ඒත් මේ මිනී කඳු වලින් අපි තාමත් පාඩමක් ඉගෙන ගෙන නැහැ.

ඉතාම ඉහළ වෘත්තියක් දරන ලංකාවේ ඉන්න මගේ සමීපතම හිතවතියක් පහුගිය මැතිවරණ කාලයේ දී දිවා රෑ දෙකේ ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ එක්තරා පරාජිත පක්ෂයක් වෙනුවෙන් දිගට හරහට පළ කරන දේවල් නිසා ඇයගේ තනතුරටත් ඇයටත් එයින් සිද්ධ වෙන හානිය පෙන්වා දෙන්න මං උත්සාහ කළා. ඒත් ඇගේ පිළිතුරු වුණේ මේ මොහොතේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරනවා කියලයි. මේ ඇගේ අපූරු “ යුතුකම ” නිසා ඇගේම දරුවන්ට අනාගතයේ උරුම වෙන ඛේදවාචකය ගැන හිතන්නවත් බැරි තරමටම දේශපාලකයන් විසින් මවනු ලබන ජාතිය ආගම කියන පාට පාට සළු පිළි වලට ඇස් ගිණි කණ වැටුණු දේශපාලන වර්ණ අන්ධතාවයකින් තමයි ඇය හිටියේ. ඇය කියන ඔය “ යුතුකම ” කියන කාරණය වටහා ගන්න බැරිකම නිසාම අන්තිමේ දී මේ දූපතේ අපි හැමෝම අපේ යුතුකම ඉටුකරන්නේ පාදඩයන් රැළකට බත් බැලයන් වෙලයි, පහුගිය අවුරුදු හැත්තෑව පුරාම වුණා වගේ. යුතුකම ඉටු කරන්න ඕනේ නම් ජාතිමාමක වෙන්න ඕනේ නම්, සැබෑ දේශප්‍රේමීන් වෙන්න ඕනේ නම් නැගී හිටින්න ජාතික ධනය මහ දවල් මංකොල්ල කෑමට විරුද්ධව, රටේම ඉන්න හොරුන්ට, මංකොල්ලකාරයන්ට, තුට්ටු දේකේ නිළියන්ට රටක් පාලනය කරන්න නාම යෝජනා දෙන එකට විරුද්ධව, ජනතාවගේ සල්ලි වලින් ලෝකේ පුරා සවාරි ගහන තක්කඩියන්ට විරුද්ධව, ඔබේ දරුවාට අධ්‍යාපන වරම අහිමි වෙද්දී නීති උපාධිය පවා හොරට ගන්නා දේශපාලක දූපුතුන්ට විරුද්ධව, රජයේ රෝහලේ රෝගීන් එකා පිට එකා බිම වැතිරී හිදිද්දී රටේ ජාතික ධනයෙන් සෞඛ්‍ය ඇමතිලා සිංගප්පූරු රෝහල්වලට ඇතුළත් වීමට විරුද්ධව, බස් රථයක් කෝච්චියක් එනතුරු පැය ගණන් මග බලා පාපුවරුවේ එල්ලී යද්දී ඔබේ කතිරයෙන් පත්වෙන නිකමුන්ගේ දූ දරුවන්ට පවා රථ වාහන වෙන්වීමට විරුද්ධව… රටේම ඉන්න අහිංසක ගැහැනුන් ටික රට පටවලා හම්බු කරන සල්ලි වලින් දේශප්‍රේමය, ජාති හිතෛෂීකම, රණ විරුවො  ගැන කතා කරන එක තරම් විලි ලැජ්ජ නැති විහිළුවක් තවත් තියෙනවද?

අසූ තුනේ කළු ජූලියේ අමිහිරි මතකය අපි තවම අත් විඳිනවා. ඒත් අපි ඒ අමිහිරි මතකයෙන් කිසිම දෙයක් ඉගෙන ගෙන නැති බව පිටි ගුලියක් නිසා වෙච්ච හදියෙන්ම පේනවා. සහෝදරත්වයෙන් ජීවත් විය යුතු ජාතීන් දෙකක් පර සතුරන් බවට පත් කරලා ඒ මළ මිනී මතින් තමන්ගේ බලය ගොඩ නගා ගත්ත දේශපාලකයන්ගෙන් ඉතිරි වෙච්ච මිනීමරුවෝ තාමත් රටේ පාලක පක්ෂයේත් විපක්ෂයේත් යෙහෙන් වැඩඹෙනවා. ඒත් මිනී කඳු ගොඩනැගුණත් ඒක දැනෙන්න තරම් අපේ සමාජය මුහුකුරා ගිහින් නැති නිසා තමයි පිටි ගුලියකට පවා වෛර ගිනි ඇවිලෙන රටක් බවට අපි පත්වුණේ. මුළු මහත් සමාජයක්ම මේ විදියට උමතු කරවන්න දේශපාලන දඩ බල්ලන්ට පුළුවන් වෙන්නේ කොහාමද කියන එක ගැන තමන්ගේ සිසුන් ඇසුරින් ගුරුවරයෙකු කරපු සත්‍ය පර්යේෂණයක් නවකතා පොතක් වශයෙන් පළ වෙලා තියෙනවා. පොතේ නම Wave. එකට සමගියෙන් ජීවත් වෙච්ච තමන්ගේම අල්ලපු ගෙදර වාසය කළ යුදෙව් ජාතිකයාව මරන්නට පෙරමුණ ගන්නට තරම් ජර්මන් ජනතාව සාහසික වුණේ කොහොමද කියන එකත්, ඒ මළ මිනී මතින් බලයට එන්නට හිට්ලර්ට පාර කැපුණේ කොහොමද කියන එකත් වටහා ගන්න ගුරුවරයෙකු තමන්ගේ ශිෂ්‍යයොත් එක්ක එකට එකතු වෙලා කරපු සැබෑම පර්යේෂණයක් තමයි මේ පොතට ඇතුලු වෙලා තියෙන්නේ. මුලු මහත් සමාජයක්ම හරි වැට්ටුවාට පස්සේ, බලලෝභී එක දේශපාලකයෙක් උසි කිව්ව ගමන්ම පිස්සු බල්ලන් වගේ එකිනෙකාට කඩා පනින්න සමාජයක් හසුරුවන එක කොයි තරම් පහසු ද කියන එක ඒ නවකතාවෙන් අපූරුවට කියා පානවා. එදා හිට්ලර්ගේ සමාජය අද අපේ දූපතේ කොයි තරම් අපූරුවට පැළ කරන්න මේ අවුරුදු 60 – 70 කාලය ඇතුළත දී අපේ පාලකයන්ට පුළුවන් වුණා ද කියනවා නම් අද අපි පිටි ගුලියකට පවා කඩා පනින පිස්සු බල්ලන් රෑනක් බවට පත්වෙලා.

හොඳයි අපි හිතමු රටේ අනෙක් හැම පුරවැසියෙක්ම අපේ දූපතෙන් එළවලා දාලා “පිරිසිදු සිංහල ජාතියක්” ඉතිරි වුණා කියලා. ප්‍රශ්නය නතර වෙනවද? … නැහැ. අපි සිංහල බොදු ගොවි, අපි රදව්, අපි උඩරට, අපි පහතරට, අපි කරාව කියලා ගැටුම අලුත් වටයකින් පටන් ගන්නවා. දෙමළ ජාතිය විතරක් ඉතිරි වුණත්අපි වෙල්ලාල, අපි හින්දු කියලා ගැටුම පටන් ගන්නවා. කොටි සංවිධානය ඇතුළේ  ප්‍රභාකරන් පවා ඔය ගැටුම නිර්මාණය කරලයි තිබුණේ. ගැටුමක් නැතිනම් සිංහල, දෙමළ, මුල්ලිම් කියන ඔය කොයි නායකයාටත් පැවැත්මක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් කියන මේ සියලු ජනතාවගේ සැබෑ අර්බුදය එහෙමත් නැතිනම් ලාංකීය ජනතාව පොදුවේ මුහුණ දෙන සැබෑම ගැටළුව වෙන ආර්ථික ගැටළුව අමතක කරවන්න හොඳම ආයුධය තමයි මේ විදියේ වාර්ගික, ආගමික ගැටුම් ඇති කරන එක. නැතිනම් ඔය ජන කොටස් තුනම එකට එකතු වෙලා අත්වැල් බැඳගෙන මේ කපටි පාලකයන් රැළ පන්නා දාන්න පසුබට වෙන්නේ නැහැ කියන එක 1948 ඉඳන් අද වෙනකල්ම බලයට ආපු හැම ආණ්ඩුවක්ම දන්නවා. ඒ නිසා තමයි ආණ්ඩු මාරුවුණත් කිසිම දවසක හොරුන්ට දඩුවම් නොලැබෙන්නේ. ඔබට නම් කරන්නට පුළුවන්ද ජාතික ධනය විනාශ කළ, මහ දවල් ඝාතන සිදු කළ එකම දේශපාලකයෙකුවටත් දඩුවමක් ලැබුණු අවස්ථාවක් ගැන….? එහෙම වෙන්නේ නැහැ, කිසිම දවසක. ඒකට හේතුව ලේ වලටත් වඩා තමන්ගේ පංතිය ඝන හින්දා.

ඔය තත්ත්වය මාක්ස් බොහොම ඈතකදී පහදලා දුන්නා. ඔහු පෙන්වලා දුන්න විදියට සිදුවන හැම සිදුවීමක්ම තල දෙකකින් තමයි සිද්ධ වෙන්නේ. යටම තලය තමයි ආර්ථික තලය. මේ යටම තලයේ සිද්ධ වෙන හැම චලනයක්ම ඊට උඩින් තියෙන තලයේත් ඒ විදියටම සිද්ධ වෙනවා. හැබැයි උඩින් තියෙන තලයේ ඒ චලනයන් අපිට පේන්නේ ආගම, ජාතිය, දේශප්‍රේමය, සිංහල බෞද්ධකම, දෙමළ හිංදුකම වගේ විවිධාකාර සරුවපිත්තල නම් වලින්. උඩින් පේන ඔය හැම දෙයක්ම ඇතිවෙන්නේ යටින් තියෙන ආර්ථික තලයේ වෙනස්කම් නිසා වුණත් ඒ යට තලය අපිට පේන්නේ නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න තරම් මොළයකුත් අපිට නැති නිසා අපි හිතනවා ඔය මතුපිටින් පේන හැම දෙයක්ම ඇත්ත කියලා. ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සුවොත් බලයට ඇවිත් ආපහු පුළුවන් තමන්ගේ ආර්ථික වාසි ටික ආපහු ලබා ගන්න. උඩින් පේන්න අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, සිංහල බෞද්ධ සංහාරය ගැන කතා කළොත් පුළුවන් තමන්ට අහිමි වෙච්ච වරප්‍රසාද ආපහු සැරයක් ලබා ගන්න. කලාකාරයො ටික බෝධි පූජා තිබ්බොත් ආපහු සැරයක් පුළුවන් තමන්ගේ දුව පුතාව තානාපති සේවයට යවා ගන්න. රණවිරුවො ගැන කතා කළොත් පුළුවන් ආපහු සැරයක් මල්වානෙන් ගෙවල් ගන්න. දළදා මාළිගාව ඉස්සරහ රේස් පදින්න. ප්‍රභූ ගමන් බලපත් දෙක තුනක්ම හොරට තියාගන්න. බැදුම්කර වංචාවන් එළිපිටම කරන්න. දතේ කැක්කුමටත් සිංගප්පූරුවේ මවුන්ට එළිසබෙත් රෝහලට පෞද්ගලික ගුවන් ගමන් යන්න.

සමහර මාධ්‍යවේදියො බැදුම්කර වංචාව ගැන පොත්පත් ලියනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් කොයි තරම් නම් සමාජ මෙහෙවරක්ද මේ කරන්නේ කියලා. අනේ එහෙම නැහැ. පහුගිය ආණ්ඩුවෙන් තමන්ට ලැබුණු වරප්‍රසාද, ගුවන් සංචාර නැතිවෙච්ච හිතේ දුකට මිසක් ඔය පොත් පත් ලියැවෙන්නේ රටට ආදරයට නෙමයි. ඊළග ආණ්ඩුවේ වංචාවන් ලියන්න තවත් පිරිසක් ඔය විදියටම පෙළ ගැහේවි. ඕක කෙළවරක් නැහැ. මාධ්‍යවේදියො කියන පිරිසෙන් බහුතරයක්, කලාකරුවො කියන පිරිසෙන් බහුතරයක් වගේම උගත්තුය කියන පිරිසෙන් බහුතරයක්ම පහුගිය අවුරුදු විස්ස තිහක කාලය පුරාම කරන්නේ දේශපාලකයන් එක්ක හරි හරියට එකතු වෙලා ඔය දූපතත්, දූපත්වාසීනුත් තමන්ගේ, තම දරු පවුලේ සුඛ විහරණය උදෙසා උකසට තැබීම විතරයි. මේ හැම දෙනාම රැවටීමේ කලාව බොහොම අපූරුවට ප්‍රගුණ කරපු අය.

කලාකාරයො රැළවල් එකතුවෙලා බෝධිපූජා තියෙනවා. මාධ්‍ය හමුවන් තියෙනවා. මේ රට වෙනුවෙන්ද? එහෙමත් නැතිනම් ඔබේ දුව පුතා වෙනුවෙන්ද? අනේ නැහැ. බොහොම සරල දේවල් වලට. ජනාධිපතිගේ උපදේශක කෙනෙක් වෙන්න. දුවව හරි පුතාව හරි විදේශ තානාපති සේවයට යවන්න. නිවාස අධිකාරියේ රස්සාවක් හොයා ගන්න. ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ධුරයක් ගන්න. මහ ඇමැතිකමක්, අමාත්‍යංශ ලේකම් කමක්, එහෙමත් නැතිනම් අඩුම තරමින් අරලිය ගහ මන්දිරයට ගිහින් ජනාධිපති එක්ක එකට වාඩිවෙලා කෑම වේලක් කන්න. ඔන්න ඔය වගේ සරල ආසාවන්. එක්තරා ගායිකාවක් කිව්වා එයාට තිබුණු එකම හීනය තමයි තමන්ගේ දරුවා ජනාධිපතිවරයා ඉඹිනවා දකින්න කියලා. ඔය බෝධිපූජා වලට එකතුවෙන කලාකරුවන් බොහොම දෙනෙකුගේ ඇත්තටම කියනවා නම් හැමෝගෙම වගේ මානසිකත්වයවත් ඒකම තමයි. ජාතික චින්තනය ගැන කතා කරන මහාචාර්යවරයෙක් ජනාධිපති පුතෙක් ඉස්සරහ දෙකට තුනට නැමිලා ඉන්න පිංතූරයක් මං ඊයේ පෙරේදා අන්තර්ජාලයේ දැක්කා. ඒ ජනාධිපති පුත්‍රයාම පුරාවිද්‍යා චක්‍රවර්ති හාමුදුරුනමකගේ උරහිස බදාගෙන ඇවිදින පිංතූරයකුත් ඒ එක්කම දැක්කා. දියුණු රටවල දේශපාලකයන් කලාකරුවන් ඉදිරියේ අසුනින් පවා නැගිටිද්දී, කලාව ගැන මහා බරසාරෙට කයිය ගහන අපේ කලාකරුවො දේශපාලකයන්ගේ ඉදිරියේ විතරක් නෙමෙයි එයාලගේ භාර්යාව, දරුවො පවා ඉස්සරහ හතර ගාතෙන් නැමෙන හැටි දැක්කම ඒ මූණත් තහඩු පේන නාට්‍යයක්වත්, ඒ ප්‍රශස්ති කටවල්වලින් ගැයෙන ගීයක්වත් අහන්න පිළිකුල් හිතෙනවා.

මේ දූපතේ දිස්ත්‍රික්ක 24 ට බලය පතුරුවන කොට්ඨාශ 4924 ක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 යි, ඔය කියන පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුයි ඔක්කොම එකතු කළාම මේ දූපත සුරපුරයක් කරන්න මහජනතාවගේ බදු මුදලින් යැපෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9100 ට වැඩියි. මේ මන්ත්‍රීවරු රැළයි, එයාලගේ දූ දරු බිරින්ඳෑවරුයි, ඥාති හිතමිත්‍රාදීනුයි නඩත්තු කරන්නයි, එයාලගේ විදේශ සංචාර, ගසා කෑම් වලටයි වැය වන මුදල හින්දා ලෝකෙම් උතුම්ම රට කියලා අපි අපිම කියාගන්න මේ දූපතේ අද දවසේ ඉපදෙන දරුවා පවා රුපියල් ලක්ෂ හතරක විතර ඒක පුද්ගල ණයකට හිමිකම් කියනවා. මේ මැති ඇමතිවරු නඩත්තු කරන්නට පෝලිමේ ගොස් කතිරය ගහන මිනිස්සු මැතිවරණයෙන් පස්සේ දවසේ ඉඳන්ම හරියට කෑම වේලක්වත් නොකා, දරුවාට බෙහෙත් පෙත්තක් අරන් දෙන්නවත් අතේ සතේ නැතිව, බස් රියේ කෝච්චියේ බල්ලන් බළලුන් වගේ එල්ලිලා ආපහු සැරයක් අර හුරුපුරුදු ජීවන අරගලයේ යෙදෙනවා. මේ වගේ රටවල් මුලු ලෝකයටම තියෙන්නේ එකයි දෙකයි. අහන්න දෙයක් නැහැ. ඒවාත් බොහොම ගෝත්‍රික මට්ටමේ අන්ත දිළිදු පසුගාමී රටවල්, අපි වගේමයි.

මේ අවුරුදු හැට හැත්තෑව කාලය පුරාම අපි කළේ ඇන්ටනාව එක තැන තියලා රූපවාහිනිය හතර වටේ කරකැවීමයි කියලා කවුදෝ කියලා තිබුණා. ඒක ඇත්ත. වැරදුණු තැන්, රැවටුණු තැන් වෙනස් කරන්න දැන් හොදටම ප්‍රමාදයි. ඒ නිසා අඩුම තරමින් අපිට වෙනස් වෙන්න පුළුවන් නම් අනාගතයක් ඉතිරි වෙන්නේ ඔබේම දරුවාටයි. ඒත් ඉතින් පීඩනය දරාගෙන, පීඩනයම ආදරයෙන් වැළදගන්නා ජනතාවක් නම් රටේ ඉන්නේ තවත් අවුරුදු හැට හැත්තෑවකට කිසිම ගැලවිල්ලක් නම් නැහැ.

2 thoughts on “එනමුදු මගෙ රටයි ලෝකෙන් උතුම් රට!

Add yours

  1. අපේ රට ගැන දැනෙන්නේ අප්‍රමාණ වේදනාවක්. රට ගොඩනගන්න බැරි මේ අන්ත දූෂි, දුරදැක්මක් නැති දේශපාලන ක්‍රමය නිසයි. එයින් වෙනස් විදියක් ගැන හිතන්න තරමට ජනතාව බුද්ධිමත් කරන ක්‍රම වේදයකුත් නැහැනෙ. අපි ලියන කියන දේ හරියට බීරි අලින්ට විණා ගහනව වගේ.

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑