ඔයා ජ්‍යෙෂ්ඨ ද…? මමත් ජ්‍යෙෂ්ඨ!

ලංකාවෙන් ආපු හිතවතෙක් අලුත්ම පොත් දෙකක් මට තෑගි කළා. පොත් දෙකම ලියලා තිබුණේ මහාචාර්යවරුන්. එක පොතක විතරක් බොහොම කැපී පෙනෙන විදියට මහාචාර්ය කියන නම පිටකවරයේ සටහන් කරලා තිබුණා.

මහාචාර්ය ධුරය පොතේ පිටකවරයේ එල්ලා නොගත්ත පොත ලියපු මහාචාර්යවරයා තමන්ගේ ක්ෂේත්‍රයේ ඉතාම ඉහළින් පිළිගන්නා විද්‍යාර්ථියෙක්. ඒත් පොත් කවරයේ තිබුණේ නිකම් ම ඔහුගේ නම විතරයි. තනතුරු, ධුර මොකුත්ම නැහැ.

පොත් දෙකම මේ විදියට එකට දැක්ක නිසා නිකමට මං මගේ පොත් රාක්කය දිහා හැරිලා බැලුවා.

පොත් රාක්කයේ තියෙන පොත් පත් ලියපු විශිෂ්ට මට්ටමේ ලාංකික මහාචාර්යවරුන් කිසිම කෙනෙක් තම
තමන්ගේ පොත්වල කවරයේ මහාචාර්ය ධුරය අටවාගෙන නැහැ. (පොත් රාක්කයෙන් අහම්බෙන් ගත්ත පොත් කිහිපයක පිංතූර තමයි ඔය ඡායාරූපයේ තියෙන්නේ)

පොත් රාක්කයේ තියෙන පර්යේෂණාත්මක ඉංග්‍රීසි පොත පත දිහාවට හැරිලා බලද්දීත් ඒ කිසිම පොතක මහාචාර්යවරයාගේ නම මිසක් කිසිම විදියක තනතුරු නම්බුනාම ප්‍රකාශයට පත් කරලා නැහැ. ඇත්තනේ… පොතක කවරය කියන්නේ ජීව දත්ත (Bio Date or Resume) සටහනක් නෙමෙයිනේ.

කවුරුන් හරි කෙනෙක් යම් කිසි පර්යේෂණාත්මක පොතක් අතට අරන් කියවන්න ගන්නේ ඒ කෘතියේ කතුවරයාගේ පසුබිම ගැන දැනගෙන. ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්, උගතුන් කවුද කියන එක ඒ ඒ විෂයන් ගැන උනන්දු වෙන හැමෝම දන්නවා. ඒ නිසා සම්ප්‍රදායක් විදියට ලෝකේ කිසිම රටක උගත් ලේඛකයන් තමන්ගේ පොත්පත්වල මහාචාර්ය, ආචාර්ය, තනතුරු, නම්බු නාම සටහන් කරන්නේ නැහැ.

පොත් පත්වල විතරක් නෙමෙයි. අද දකින්න තියෙන තවත් අපූරුම විහිළුවක් තමයි. ජ්‍යෙෂ්ඨ කියන කෑල්ල තමන්ගේ වෘත්තිය ධුරයට එල්ලා ගැනීම… හරියට කතරගම යන ලොරියේ පොල් මලක් ගහගෙන යනවා වගේ. එහෙම නැතිනම් දෙහි ගෙඩි තුනක් මිරිස් කරල් එක්ක කාරෙකේ එල්ල ගෙන යනවා වගේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය… ජ්‍යෙෂ්ඨ උපදේශක… ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී… ජ්‍යෙෂ්ඨ ලේඛක,
ජ්‍යෙෂ්ඨ… ජ්‍යෙෂ්ඨ… ජ්‍යෙෂ්ඨ…

ඇයි එයාලා ජ්‍යෙෂ්ඨ වෙන්නේ? ක්ෂේත්‍රයේ සමකාලීනයන්ට වඩා විශේෂ දැනුම් පද්ධතියක් අත්දැකීම් සම්භාරයක් ඒ අයට තියෙනවාද? තියෙනවා කියලා එයාලා හිතනවා නම් එහෙම විශේෂත්වයක් ඒ අයගේ ක්‍රියාකලාපයෙන් පෙන්නුම් කරනවාද? තමන්ගේ ක්‍රියාවෙන් සහ භාවිතයෙන් එහෙම ජ්‍යෙෂ්ඨත්වයක් පෙන්නුම් කරන කිසිම කෙනෙක් ගැන උදාහරණයක් ඔබට දෙන්නට පුළුවන්ද?

හැමදාමත් හිතුව ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ගැන හරිම අපූරු විග්‍රහක් මහාචාර්ය සසංක පෙරේරා Sasanka Perera කරනවා. හැමදාමත් සිතින් පිළිතුරු හොයපු ප්‍රශ්නයකට පැහැදිලි නිරවුල් විග්‍රහයක් මහාචාර්යවරයා ගෙන හැර පානවා. (මේ කාරණාව ගැන ඔබ උනන්දුයි නම් පහතින් තියෙන ලින්ක් එක හරහා මේ වීඩියෝව අනිවාර්යයෙන්ම නරඹන්න)

https://www.facebook.com/1394912945/videos/713048660273705/

වෛද්‍යවරයෙක්, ‘විශේෂඥ වෛද්‍යවරයෙක්’ බවට පත්වෙන්නට නම් කිසියම් ආකාරයක අධ්‍යාපනික සහ වෘත්තිමය අවශ්‍යතාවන් කිහිපයක් සපුරන්න ඕන බව හැමෝම දන්නවානේ. (එහෙම විශේෂඥ වෛද්‍යවරුන් පවා වියත් මග කියන සංවිධානය ඇතුළේ කරපු අජූත භූමිකාව මේ මාතෘකාවෙන් ඔබ්බට යන දෙයක්). ඒත් කිසියම් පුද්ගලයෙක් තමන්ගේ වෘත්තිය ජීවිතය ඇතුළේ ජ්‍යෙෂ්ඨයෙක් වෙන්නේ කොහොමද? මහාචාර්යවරයෙක් නම් ඔහු සදාකාලිකවම මහාචාර්යම තමා… ඇයි තවත් ජ්‍යෙෂ්ඨ වෙලා කැපිලා පෙනෙන්න හදන්නේ. තමන්ගේ වෘත්තිය ආත්ම ගරුත්වයක් ඇතිව වගකීමකින් යුක්තව කරන මාධ්‍යවේදියෙක් අද ඊයේ සේවයට ආවත් ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම ‘මාධ්‍යවේදියෙක්’. ඒත් දේශපාලන අනාථයන් වෙනුවෙන් ජඩ මාධ්‍ය භාවිතයේ නිරත වන වාර්තාකරුවන් සහ රූපවාහිනී නිවේදකයන් දශක ගණනාවක් ඒ කටයුත්තේ නිරත වුණත් ඔහුට ‘ජ්‍යෙෂ්ඨ’ තියා ‘මාධ්‍යවේදියෙක්’ කියන තනතුරවත් කිසිසේත්ම උරුම නැහැ. (ඔව්… ඒ තනතුරේ ගෞරවනීය බව රකින මාධ්‍යවේදීන් ඉන්නේ අතළොස්සක් තමයි) උපදේශක නම් උපදේශක… ‘ජ්‍යෙෂ්ඨ උපදේශක’ වෙන්න පිළිගත් විශ්ව විද්‍යාලයීය පාඨමාලාවක් තියෙනවා ද?

ඔබට ලියන්නට පුළුවන් නම්, ඔබේ ලේඛන රසවත් සහ හරවත් නම් ඔබට ‘ප්‍රවීණ’ ලේඛක කියා වෙනමම තනතුරක් අවශ්‍ය නැහැ. අවුරුදු ගණනාවක් පුරා ලියන කියන ඒත් මෙලෝ රහක් නැති ප්‍රවීණ ලේඛකයන් මෙන්ම තමන් ලියූ එකම එක පොතින් ලෝක ප්‍රසිද්ධියට පත් ආධුනික ලේඛකයන් ඕන තරම් ලෝකයේ ඉන්නවා.

මේ කාරණාව ලංකාවේ බොහොම තදින් දකින්නට ලැබෙන්නේ උගතුන් කියනා පිරිස අතරේ. ඒකට හේතුව ඒ අයගෙන් බහුතරය බුද්ධිමය හීනමානයෙන් පෙළෙන හින්දා. ඒ වගේම ප්‍රසිද්ධිය ලබා ගන්නට, සමාජයේ කැපී පෙනෙන්නට, තනතුරු පවත්වා ගෙන යන්නට සහ තනතුරු හඹා යන්නට තියෙන ජුගුප්සාජනක ආශාව හින්දා. ඒක එක්තරා ආකාරයක මානසික රෝගී තත්ත්වයක්. ඌන පෞරුෂත්වය පෙන්නුම් කිරීමක්.

එළිසබෙත්ගේ මෞලි මංගල්‍යය වගේ මල් පොකුරු පොකුරු සරසපු ආසනවල ඉදගෙන බණ කියන හාමුදුරුවරු ගැනත් කියන්න තියෙන්නේ ඕකම තමයි. බැතිමතුන්ගේ මෝඩ ශ්‍රද්ධාව නිසා කරන මේ විගඩම් ප්‍රතික්ෂේප කරන හිමිවරු ඉන්නේ අතළොස්සයි. (මේ කතා කරන්නේ යූ ටියුබ්, ෆේස්බුක් හරහා ජනප්‍රිය වෙන්න උත්සාහ කරන පිරිස ගැන මිසක් වියත්, සිල්වත් හිමිවරුන් ගැන නොවන බව අමතක කරන්න එපා). ඉතින් මේ අය තමන් තුළ නැති ශ්‍රද්ධාවක්, තමන් තුළ නැති උගත්කමක් සහ තමන් තුළ නැති පරිණතබවක් මතුකරගන්න හදන්නේ ඔය විදියේ මල් ආසන, නයි පෙන, ගොක් කොළ සැරසිලි අස්සට ගිහින් බණ කියලා එහෙමත් නැතිනම් ගැහැනුන්ගේ කොණ්ඩා වලු පාගාගෙන ඇවිත් , මල් වැස්සක් යටින් ධර්මාසනයට ඒම වගේ බොළද සිල්ලර දේවල් වලින්. හීනමානය දරා ගන්නම බැරි තරම් ඉහවහා ගියාම තමයි තමන්ගේ ප්‍රතිමාව පවා තමන්ම නෙලා ගන්නේ. රහත්, අනුබුදු වුණා කියලා හිතාගෙන දේශනා දෙන්නේ.

මාක්ස් නම් මාක්ස්. එංගල්ස් නම් එංගල්ස්. කවුරුවත් ඔවුන්ට ‘මිස්ටර්’ කියන්නේ නැහැ. නමින්ම ඇමතීමම තමයි එයාලට දෙන්න පුළුවන් උපරිම ගෞරවය. පරණවිතාන, දැරණියගල, ලෙස්ටර් කිව්වම ලංකාවේ ඕනම කෙනෙක් දන්නවා. ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ලෙස්ටර්, ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ පරණවිතාන, දැරණියගල කියලා කියන්න අවශ්‍ය නැහැ. තමන් ගොඩනගාගත් වෘත්තිමය සහ අධ්‍යාපනික පෞරුෂත්වයම නිසාම තමයි නම කියද්දිම ඒ රූප අපට මැවෙන්නේ.
(හැබැයි වික්‍රමසිංහ කිව්වම නම් තත්ත්වය වෙනස්… පොත් පත් කියවන අයට නම් ඒ විශිෂ්ට ලේඛකයා සිහිපත් වේවි… පොත් පත් නොකියවන තැනැත්තෙකුට නම් මෙලෝ රහක් නැති ජරපත් දේශපාලකයෙක් සිහිපත් වේවි. ඒ විදියේ පෞද්ගලික අත්දැකීමක් පුවත්පත් ජීවිතයේ දී ඔය කිව්ව ‘ජ්‍යේෂ්ඨ මාධ්‍යව්දියෙකුගෙන්’ මම අත් වින්දා)

ඔබ උගත් නම්, සමාජයට ආදර්ශයක් විය හැකි චරිතයක් නම් බුදුන් කිව්වා වගේම ඒක ඔබගේ ක්‍රියාවෙන් පෙන්නුම් කරාවි. ඔබ ලියන්නේ යහපත් දෙයක් ද නැද්ද යන්න ඔබගේ ලේඛනවලින් පාඨකයන් තේරුම් ගනීවි.

පහතින් තියෙන්නේ මුහුණු පොත හරහා දුටු පෝස්ට් දෙක තුනක තිබූ කරුණු කිහිපයක සාරාංශයක්.

ඔබේ දරුවාගේ හපන්කම්, ඔබ කෑමට බීමට ගිය තැන් ගැන බොහොම දෙනෙක් මුහුණු පොත හරහා කමෙන්ටුවක් එක් කරන්නේ ඔහේ නිකමට මිස සැබෑ හැගීමකින් නොවන බවට වටහා ගන්නට තරම්වත් පරිණත වෙන්න. මුහුණු පොතේ නැති ඔබේ අම්මාට තාත්තාට මුහුණු පොත හරහා සුබ පතන්නට ආරාධනා කිරීමම කොයි තරම් නම් මෝඩ විහිළුවක්ද? එකම වහලක් යට ඉන්න ඔබේ බිරිදට සැමියාට සුබ පැතීම ගෙදරදීම කරගන්න. ඒක පොදු මහජන සුභසාධක කටයුත්තක් (Public Event) කරගන්න එපා.

පරිණත වෙයන්… ඒක පට්ට!

7 thoughts on “ඔයා ජ්‍යෙෂ්ඨ ද…? මමත් ජ්‍යෙෂ්ඨ!

Add yours

  1. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.

    Liked by 1 person

    1. ඇසීමත් සතුටක්. එම හමුවට සහභාගි වීමටත් කැමැතියි. මා සිටින්නේ ලංකාවේ නෙමෙයි. ඒ නිසා යොදා ගන්නා දිනය සහ වේලාව මටත් දැනුම් දෙන්න. මමත් සහභාගි වෙන්නම්.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑