විකිණීමට – විමසන්න FOR SALE – INQUIRE WITHIN

For sale: baby shoes, never worn.

කිසිදා නොපැළඳි බිළිඳු පාවහන් යුගලක්; විකිණීමට

ඔය කිව්ව වචන හය තමයි ලෝකයේ කෙටිම කෙටි ‘කෙටි කතාව’ විදියට බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. මේ කෙටි කතාව රචනා කළේ ලෝක ප්‍රකට ඇමරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒත් ඇත්තටම මේ කෙටි කතාව ලිව්වේ හෙමිංවේ ම ද කියන කතාව විවාදයට භාජනය වෙච්ච කරුණක්. ඒත් ලිව්වේ කවුද කියන එක අපේ කතාබහට ඒ තරම් වැදගත් නැහැ.  

කව්රු ලිව්වත්, මේ වචන හය කෙටි කතාවක් විදියට හඳුන්වන්නේ ඇයි කියන එක තමයි වැදගත්ම කාරණාව. මොකද ඔය  විදියේ වචන හයේ වාක්‍ය ඕන තරම් අපිට අහන්න දකින්න ලැබෙන හින්දා.

ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. මූලිකම කාරණාව තමයි මේ වචන හය තුළ තියෙන කිසියම් ආකාරයක අපූර්වත්වය… සැක සහිත ස්වභාවය… අබිරහස් බව…. එහෙම නැතිනම් විවිධාකාර සාහිත්‍යමය අරුත් දැනවීමේ හැකියාව.

මේ වචන හය තුළ තියෙන බරසාරම වචනය තමයි ‘NEVER’. ඒ කියන්නේ ‘කවදාවත්ම සිදු නොවූ’ බව කියන අරුත.

එතකොට මේ කියන බිළිඳා ඉපදුණේම නැතිද? නැතිනම් දරුවා උපතේ දීම මිය ගියාද? ගබ්සාවක් සිදු වුණා ද? ගර්භනී මාතාවකට බිහිසුණු අනතුරක් සිදු වුණා ද? සිය දරුවා සහ බිරිඳ අහිමි වූ පියෙකුගේ (සැමියෙකුගේ) දුක්බර විලාපයක් ද මේ…? නැතිනම් ජීවන බරින් හෙම්බත් වූ දුගී දෙමව්පියන්, මිය ගිය සිය බිළිඳු දරුවාගේ පාවහන් විකුණා කිසියම් මුදලක් ලබා ගන්නට කරන අතිශය ශෝචනීය උත්සාහයක් ද?

කතාව වෙනත්ම පැත්තකට ගෙනි යන්නත් පුළුවන්. මේ පාවහන් යුගලට අකමැති නිසා දරුවා එය පැළඳුවේ නැතිද? එහෙමත් නැතිනම් බිළිඳු පාවහන් තනා ජීවිකාව ගෙනි යන යම්කිසි තැනැත්තෙකු තමන්ගේ අතින් නිමැවුණු පාවහන් යුගලක් විකිණීමට කළ දැන්වීමක් ද මේ? නැතිනම් දරුවෙකුගේ පාවහන් යුගලක් සොරකම් කර පදික වේදිකාවේ විකුණන්නට උත්සාහ කරන කපටියෙකුගේ සටහනක් ද?

ඔය විදියට හේතු කාරණා ඕනෑ තරම් මතු කරන්න පුළුවන්. එහෙම බැලුවම මේක තේරවිල්ලක් වගෙයි. ලියපු පුද්ගලයා හැරෙන්නට කිසිම කෙනෙක් දන්නේ නැහැ හරිම උත්තරය.

ඔය කතාව සත්‍යයක් වුණත් නොවුණත් ඔය විදියේම තේමාවක් තියෙන සත්‍යම පිංතූරයක් නිසැකයෙන්ම ඔබ මීට කලින් දැකලා ඇති. මේක බොහොම ජනප්‍රිය පිංතූරයක්. ඒ වගේම ඇහැට කඳුලක් නංවන සංවේදී පිංතූරයක්. ඒත් පිංතූරයට යටින් තියෙන සත්‍ය කතාව දන්නේ කිහිප දෙනෙක් විතරයි.

මේ පිංතූරයේ සුරතල් දරුවන් හතර දෙනෙක් පඩි පෙළක් මත වාඩි වී ඉන්නවා. ඔවුන්ගේ මව යැයි කිව හැකි කාන්තාවකුත් පිංතූරයේ සිටියත් ඇය සිටින්නේ තමන්ගේ වමතින් මුහුණ මුවා කරගෙන. ඇත්තටම කියනවා නම් මේ ඡායාරූපය ගන්නා අවස්ථාවේ ඇයගේ කුස තුළත් දරුවෙක් ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ පස් වැනි දරු උපතටත් සූදානම් වන ගර්භනී කාන්තාවක්. දරුවන්ගේ දෙපා පාමුලින් ඉහළට නැගුණු දැන්වීමක මෙසේ සටහන් කර තියෙනවා.

4 CHILDREN FOR SALE – INQUIRE WITHIN (දරුවන් සිව් දෙනෙක් විකිණීමට – විමසන්න)

ඔව් මේක ඇත්තම කතාවක් තමයි! පිංතූරය අරන් තියෙන්නේ 1948 වසරේ අගෝස්තු මාසයේ 04 වැනිදා. ඊට පසුදිනයේ මේ පිංතූරය ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ පුවත්පතක වී තිබුණේ පහත විස්තරයත් එක්ක.

“විශාල අකුරින් විකිණීමට කියා සටහන් කර ඇති මේ දැන්වීම දැකිය හැකි වූයේ සිය නිවසින් පිටවී යන ලෙස නියෝග ලත් චැලිෆු (Chalifoux) යුවළගේ කූලී නිවසේ ගෙමිදුලේය. තම රැකියාව අහිමි වූ පතල් සේවකයා සහ ඔහුගේ බිරිඳ යා යුතු කිසිදු තැනක් නොමැතිව අවසානයේ දී සිය දරුවන් විකුණා දැමීමට තීරණය කර තිබේ.

සිය දරුවන් විපිළිසරව සිටින අතරේ කැමරාවෙන් මුහුණ ඉවතට හරවා ගත් ලුසිල් චැලිෆූ මහත්මියයි මේ. පඩි පෙළෙහි ඉහළ ලානා (Lana – අවුරුදු 06), රේ ඈන් (Rae – අවුරුදු 05) – පහළ පඩිපෙළේ මිල්ටන් (Milton – අවුරුදු 04) සහ සූ එලින් (Sue Ellen – අවුරුදු 02) සිටිති”

මේ දරුවන්ගේ මව සිය මුහුණ වහගෙන ඉකිබිඳින හැටි දැකලා මේ ආදරණීය අම්මා ගැන ඔබේ හිත උණුවෙන්න ඇති නිසැකයෙන්ම! ජීවන වියදම නිසාම දරුවන් විකුණන්න අම්මා කෙනෙකුට සිදුවීම කොයි තරම් නම් ශෝකාන්තයක් ද….?

ඒත් ඉක්මන් වෙන්න එපා දැන්ම!

ඡායාරූපයේ පසුබිම සොයා බැලුවම මේ අම්මා මෙැතන ඉකි බිඳ බිඳ හඬන්නේ නැහැ. ඇය ඒ මොහොතේ ඡායාරූප ශිල්පියාගෙන් මුහුණ සඟවා ගන්නවා විතරයි. ඇගේ නම Lucille Chalifoux. ඡායාරූපය ගන්නා අවස්ථාවේ ඇයට වයස අවුරුදු 24 යි. ඇය විවාහ වෙලා හිටියේ ඇයට වඩා අවුරුදු 16 කින් වැඩිමහල් කම්කරුවෙක් එක්ක. ඡායාරූපය ගත්ත දවස වෙද්දී ඇය විවාහ වෙලා අවුුරුදු හයයි. පස් වැනි දරුවා තමයි දැන් ඔය ලැබෙන්න ඉන්නේ. ඇත්ත… ඔය කාලයේ ඇමරිකාවේ දරුණු ආර්ථික අර්බුදයකුත් තිබුණා තමයි.

ඒත් මේ ඡායාරූපය පුවත්පතේ පළ වුණු ගමන්ම මේ පවුලට ආධාර උපකාර කරන්න බොහොම දෙනෙක් ඉදිරිපත් වුණා. රැකියා අවස්ථා පවා ලැබුණා.

ශෝකාන්තයක් මේ විදියේ සුඛාන්තයකින් කෙළවර වීම කොයි තරම් නම් සහනයක් ද සංවේදී හිතකට….?

කලින්ම කිව්වානේ…! ඉක්මන් වෙන්න එපා. දැන් තමයි ඇත්තම ශෝකාන්තය පටන් ගන්නේ.

තමන්ගේ අනාගතය කොයි විදියට විස‍ඳේවි ද කියලා කිසිම අදහසක් නැතිව පඩි පෙළ උඩ වාඩි වෙලා ඉන්න මේ අහිංසක දරුවන්ගේ සුන්දර සිහින ලෝකය ශෝකාන්තයක් වෙච්ච හැටි ගැන තමයි අකමැත්තෙන් වුණත් දැන් මේ කියන්නට යන්නේ.

මේ ඡායාරූපය පළවෙලා වැඩි දවසක් යන්නට මත්තෙන් පවුලේ තාත්තා, ඒ කියන්නේ මේ කාන්තාවගේ සැමියා පවුල හැර ගියා. එයාට තිබුණේ ඒ තරම් හොඳ ‘කැරැට්ටුවක්’ නෙමෙයි. අපරාධ වැඩ වලට හවුල් වෙච්ච අතීතයක්. මේ කාන්තාවට රජයේ සහනාධාර හිමිවුණා. මේ පිංතූරය අරන් මාස කිහිපයකට පස්සේ පවුලේ පස් වැනි දරුවා, ඩේවිඩ් (David) ඉපදුනා 1949 අවුරුද්දේ දී.

ඒ අතරේ මේ අහිංසක දරු පැටවුන් එකිනෙකාගෙන් වෙන් කරලා විවිධාකාර නිවෙස්වලට යැවුණා හදා වඩා ගන්නට කියලා.

රේ සහ මිල්ටන් කියන අක්කයි මල්ලියි යැවුණේ එකම නිවසකට. ජෝන් සහ රූත් (John and Ruth Zoeteman) කියලා ගොවි පවුලක් තමයි එයාලව අරගත්තේ. ඒ අලුත් පවුල මේ අක්කගෙයි මල්ලිගෙයි නම් වෙනස් කළා බෙවර්ලි – කෙනත් විදියට. ඒත් මේ අලුත් පවුලත් එයාලාට ‘සුබ අනාගතයක්’ නම් කොහෙත්ම ගෙනාවේ නැහැ. අලුත් ‘තාත්තා’ එක්තරා විදියට අලුගෝසු චරිතයක්. එයා මේ දරුවන් දෙන්නාට සැලකු‍වේ සත්තුන්ට වගේ. පැය ගණනාවක් එක දිගට බලහත්කාරයෙන් ගොවිපළේ වැඩ කරවා ගත්තා විතරක් නෙමෙයි, එයාලව දම්වැලින් බැඳලා දාලත් තිබුණා. යදම්වලින් බැඳලා ගොවිපලේ හිටපු තමන්ට බොහොම වෙලාවට කන්න ලැබුණේ වීසි කරලා දාන රොඩු බොඩු විතරයි කියලා මිල්ටන් කියනවා. ඒ වගේම එළියට යාගන්න තරම් නිදහසක් නොතිබුණු නිසා කුඩා සාක්කු පිහියකින් ගොවිපළ පුරා හිටිය මීයන් එක්ක ඔට්ටු අල්ලන්න සිද්ධ වුණු කටුක මතකයක් මිල්ටන්ට තියෙනවා.

මේ අලුත් තාත්තා එයාලාට ‘වහල්ලු’ කියලා කතා කළා. එ් කාලය වෙද්දී ඒ නමේ තේරුමවත් තමන් දැනගෙන හිටියේ නැති නිසා ‘වහලා’ කියන වචනය තමන් වෙනුවෙන් යොදන සුරතල් නාමයක් විදියටයි මිල්ටන් හිතුවේ. ඇත්තටම කියනවා නම් මේ කියන අලුත් ‘දෙමාපිය යුවළ’ කිසිම දවසක මේ දරුවන් දෙන්නාව නීත්‍යනුකූලව තමන්ගේ දරුවන් විදියට පවරා ගෙන තිබුණේ නැහැ. ඒ කියන්නේ වහල් සේවයටම තමයි මේ දරුවන්ව අරන් හදා ගෙන තියෙන්නේ.

රේ ඈන් කියන විදියට එයාව විකිණුවේ ඩොලර් දෙකකට (1950 අගෝස්තු මාසයේ දී – ඒ මුදල අද දවසේ මූල්‍ය වටිනාකම එක්ක සංසන්දනය කළාම පවා ඇමරිකන් ඩොලර් 25ක් වගේ සුළු මුදලක්). ඒකට හේතුව ඒ සල්ලිවලින් අම්මට තමන්ගේ අලුත්ම පෙම්වතා එක්ක සූදු ක්‍රීඩා කරන්න පුළුවන් හින්දා. අම්මගේ අලුත් පෙම්වතාට ඕන වුණේ නැහැ මේ දරුවෝ ගෙදර ඉන්නවා දකින්න. අක්කා විකුණා දමද්දී මේ කරන්නේ විකිණීමක් කියලා නොදැන හිටියත් පුංචි මිල්ටන් හඩන්න පටන් ගන්නවා. ඔය කියන ‘ගනුදෙනුව’ සිද්ධ වෙන මොහොතේ දීම මිල්ටන්වත් තවත් ඩොලර් දෙකක් දීලා මිලදී ගන්නේ මේ කිරි දරුවාත් ‘අනාගත ආයෝජනක්’ විදියට අර කිව්ව අලුත් පවුලේ අලුගෝසු ‘අම්මටයි, තාත්තටයි’ පෙනුණු හින්දයි.

පැනලා ගියොත් මොනවා වේවිද කියලා හිතාගන්නවත් බැරි වෙච්ච නිසා පුංචි කාලයේ දී පැනලා යන්නට බිය වුණත්, අලුත් තාත්තාගෙන් සිදුවුණු බිහිසුණු තාඩන පීඩන ඉවසන්නම බැරිම තැන රේ ඈන් අවුරුදු 17 දිම ඒ‍ ‘ගෙදරින්’ (ඇත්තටම කියනවා නම් වධකාගාරයෙන්) පැනලා යනවා. ඒත් මහමගට වැටුණු මේ දැරියව කිසියම් පිරිසක් පැහැර ගන්නවා විතරක් නෙමෙයි ඇයව දූෂණයටත් ලක්කරනවා. මේ නිසා ඇය ගැබිනියක් බවට පත්වෙනවා. අන්තිමට ඇයට නතර වෙන්න සිද්ධ වෙන්නේ ගැබිනියන් බවට පත් වූ යුවතියන් රැකබලා ගන්නා ස්ථානයක. ඇයට ලැබෙන දරුවා ඇගෙන් වෙන් කරලා කිසියම් තැනකට යැවෙනවා හදා වඩා ගන්නට කියලා.

අක්කා වගේම මිල්ටන් මල්ලිටත් මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ ඉතාම අවාසනාවන්ත අනාගතයකට. නිරන්තරයෙන්ම මුහුණ දෙන්නට සිද්ධ වුණු තාඩන පීඩන, කුසගින්න, පහරදීම් ආදිය ඉවසා දරා ගන්නම බැරිව මිල්ටන් මානසික රෝගී තත්ත්වයකට පත්වෙනවා. මේ මානසික රෝගය උත්සන්න වීම හින්දා අන්තිමේ දී අධිකරණය තීරණය කරනවා ඔහු ‘සමාජයට පිළිලයක්’ කියලා. මේ හින්දා වසර ගණනාවක්ම මානසික රෝහලට කොටු වෙලා ඉන්නට මිල්ටන් ට සිද්ධ වෙනවා. තමන්ට අවුරුදු 23ක් වෙනකල්ම එතැන කොටු වෙලා ඉන්න මිල්ටන් පසුව විවාහ වෙනවා. ඒත් ඔහුගේ විවාහයත් අසාර්ථක වෙලා ඔහු දික්කසාද වෙනවා.

ඔය කිව්ව අක්කයි මල්ලියි හිටිය ගෙදරට තරමක් ආසන්නයේ තිබුණු ගෙදරකට තමයි අලුතින්ම ඉපදුණු දරුවා, ඩේවිඩ්ව යැවුණේ. ඒ ඩේව්ඩ් ඉපදිලා අවුරුදු දෙකක් යන්නත් කලින්. 1950 අවුරුද්දෙදි ඩේවිඩ්ව හදාවඩා ගන්න භාරගනිද්දී ඩේවිඩ් හිටියේ ඇඳ මකුණන්ගෙන් දරුණු විදියට පීඩා විඳලා බොහොම දුක්ඛිත තත්ත්වයක. අලුත ඉපදුණු දරුවෙක් විදියටවත් කිසිම සැලකිල්ලක් අම්මාගෙන් පුතාට ලැබිලා තිබුණේ නැහැ. ඩේවිඩ්ව හදා වඩා ගන්න ගත්ත පවුල අර කලින් කිව්ව පවුල වගේ මරුමුස් පවුලක් නෙමෙයි. ඒත් තරමක් තද නීති රීති තිබුණු  පවුලක්. මේ හින්දා ඩේවිඩ් ඒ ගෙදරින් පැනලා ගියා එයාට අවුරුදු 16 පිරෙද්දිම. අවුරුදු විස්සක්ම මිලිටරි සේවයේ හිටපු ඩේවිඩ් ඊට පස්සේ තාත්තා වගේම ට්‍රක් රියදුරෙක් වුණා. ඩේව්ඩ්ට මතකයි තමන් පුංචි කාලයේ බයිසිකලය පැදගෙන ගිහින් රේ අක්කවයි, මිල්ටන් අයියවයි බලලා ආපහු එන්න කලින් එයාලව බැඳලා තිබුණු දම්වැල් තාවකාලිකව ගලවලා දාලා ආපු හැටි.

සූ එලින්ව අරන් හදාගත්ත නිවස තියෙන්නෙත් මේ දරුවන් මුලින් හිටපු තැනට වැඩි ඈතක නෙමෙයි. තමන්ව බිහිකළ අම්මා ඒ කියන්නේ ලුසිල්ව සිහිපත් කරන එලින් කියන්නේ “එයා නම් නරකාදියටම යන්න ඕන අම්මා කෙනෙක්” කියලයි. ‍එලින් මිය ගියේ පෙනහලු ආබාධයකින්.

තමන්ගේ දරු පැටවුන් පස් දෙනාම මේ විදියට තැන් තැන්වලට ගාල් කරපු ඔය ඡායාරූපයේ ඉන්න ‘අම්මා’ ඊට පස්සේ තවත් කෙනෙක් එක්ක විවාහ වෙලා තවත් දියණියන් හතර දෙනෙක් බිහිකළා. තැන් තැන්වලට යවපු තමන්ගේ පෙර විවාහයේ දරුවන් ඒ කියන්නේ ඔය ඡායාරූපයේ ඉන්න දරුවන් පස්සේ කාලයක තමන්ගේ අම්මා බලන්නට ආපු වෙලාවල ඇය හැසිරුණේ ඔවුන් ගැන කිසිම ආදරයක් නැති ගානට බවත්, දරුවන්ව මේ විදියට තැන් තැන්වලට යැවීම ගැන කිසිම කණගාටුවක් පසුතැවිල්ලක් ඇය තුළ තිබුණේ නැති බවත් දරුවන් කියනවා.  

අවුරුදු හතරේ පහේදී එකිනෙකාගෙන් වෙන් කර දැමුව මේ සහෝදර සහෝදරියන් ආපහු බොහොම කාලයක් යනකම් හමුවුණේ නැහැ. ඡායාරූපය ගන්න වෙලාවේ තමන්ගේ අම්මාගේ කුස තුළ හිටපු ඩේවිඩ්ට තමන්ගේ අක්කලා වෙච්ච එලින්වවත්, ලානාවවත් කිසිම දවසක මුණ ගැහුණේ නැහැ.

සොහොයුරියන් යළි මුණ ගැසුණු ඒ මොහොත.සූ ඇලන් (වම් පසින්) සහ රේ ඈන් (දකුණින්). දෙවැනි සේයාරුවේ රේ ඈන්ගේ අතෙහි ඇත්තේ ඇය විකුණා දැමූ මොහොතේ ඇය හැඳ සිටි ගවුමයි. සිය ළමා කාලය සිහිපත් කිරීම සඳහා ඇය සතුව ඇති එකම සිහිවටනයයි ඒ.

රේ ඈන්ට තමන්ගේ සොහොයුරිය එලින්ව ආපහු දකින්නට ලැබුණේ අවුරුදු 70ක් තරම් වයසට ගියාට පස්සෙ… එතකොට එලින්ට වයස අවුරුදු 67යි. මේ හමුවීම වෙද්දී ලොකු අක්කා වෙච්ච ලානා මෙලොව හැර ගිහින්. ඒ වගේම රේ ඈන්, ඒ මොහොතේ එලීන්ව මුණ ගැහෙන්නට නොආවා නම්, ඒ අක්කත්, නංගිත් මේ ජීවන ගමනේ දී ආපහු කිසිම දවසක මුණ ගැහෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ දෙන්නා හමුවෙන මොහොතේ එලීන් පිළිකා රෝගයෙන් මිය යන්නට ඔන්න මෙන්න කියලා හිටිය හින්දා.

එලීන් සිය අවසන් සුසුම් පොද පිට කරන්නට තිබුණු කාලය හෝරා වලින් ගණන් කරන්නට තිබුණු මොහොතක තමයි දශක ගණනාවකට පස්සේ රේ ඈන් ගිහින් තමන්ගේ සොහොයුරියගේ අතින් අල්ලා ගන්නේ.

පුංචිම පුංචි කාලයේ දී හමු වුණාට පස්සේ ආපහු එකම එක සැරයකට….!

එදා තිබුණු ඒ හුරුබුහුටි දෑත් දැන් වියපත් වෙලා… රැළි ගැහිලා! ඒත් ඒ වියපත් දෑත් අතරින් ළමා වියේ දෑගිලි අතර තිබුණු සහෝදරත්වයේ උණුසුම පෙරදා වගේම උතුරා ගලා ගියා.

“ඒ තමයි මගේ ජීවිතයේ සතුටුදායකම දවස” රේ ඈන් ඒ මොහොත සිහිපත් කරන්නේ කඳුලකුත් එක්කයි.

ඒත් ඒ හමුවීම ම වෙන්වීමක්…! යළිත් ඔවුන් එකිනෙකාගෙන් වෙන් කෙරෙනවා… සදහටම!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑