About කළු

ගලා යනු ඇත දිය පහර නොනැවතී ඉදිරියට , වැට කඩොළු සිර ගත නොවූ නිම්නයක... පමා නොවී ඔබත් නොවැරදීම එන්න ඒ නැවුම් පො‍ළොව මත නිදහසේ ගලා යන්නට....!

බඹර වද දුටිමි… බිතු සිතුවම් නොදුටුවෙමි!

βιβ-ία-ανάγνωσης-αγοριών-φαντασίας-στην-έ-ρα-37025166

දවල් කෑම වෙලාවට කාර්යාලයේ කෑම මේසය වටේ රොද බදින පිරිස එක්ක එකතු වෙන එක සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් නෙමෙයි. එත් ඉඳහිට දවසක මේ කණ්ඩායමට මාත් එකතු‍ වෙනවා. පහුගිය සතියේ දවසකත් ඒ විදියට අහම්බෙන් මේ කණ්ඩායමත් එක්ක කෑම ගන්න මාත් එකතු වුණා. ලෝකයේ හැම රටකින්ම ආපු පිරිස අපේ කන්තෝරුවේ වැඩ කළත් හැමදාමත් ඔය කතා බහ ඇදිලා යන්නේ මෙලෝ රහක් නැති මාතෘකා වලට… එකිනෙකාගේ කෑම බීමවල වග විස්තරවලින් පටන් අරන් අහල පහළ තියෙන රෙස්ටෝරන්ට්වල වගතුග වලට, ඇමසෝන් අඩවියෙන් එහෙත් නැතිනම් ඊ බේ එකෙන් තමන් ගෙන්න ගත්ත උපකරණයක විස්තරවලින් පටන් අරන් අහළ පහළ සාප්පු සංකීර්ණවල විකිණෙන බඩු භාණ්ඩ ගැන ඕපාදූපවලට, බොක්සිං ඩේ එක දවසේ පාන්දර ‍ඉඳන් පෝලිමේ රැකගෙන ඉඳලා මිලදී ගත්ත උපකරණයක් ගැන විස්තර වලට‍‍.. කලින් දවසේ ඇවිදලා දහනය කරලා දාපු කැලරි ගාන… අන්තිමේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කෙරුවාව ගැන. මේ වල්පල් අතරේ හිමිහිට ලිස්සලා යන්න හදද්දී මගේ අතේ තිබුණු පොත දැක්ක අපිත් එක්ක වැඩ කරන ඉන්දියන් ජාතික ගැහැනු ළමයෙක්ඒ ගැන මගෙන් යමක් ඇහුවා. කෙටි උත්තරයක් දීලා ගැලවෙන්න ඕන හින්දා ‘ඔයා පොත් කියවනවාද ?’ කියලා මං එයාගෙන් පෙරළා ඇහුවා.

“ පොත්…? අපොයි නැහැ ” එයා කිව්වේ හරියට සර්පයෙක් දැක්කා වගේ පස්සට ගැස්සිලා.
විවේක වෙලාවට මොනවද කරන්නේ කියලා ඇහුවම එයා මට මෙහෙම උත්තර දුන්නා.
“ අපි නිතර නිතර පාටීස් වලට යනවා. මූවීස් වලට යනවා. ” (එයයි එයාගේ සැමියායි ඉන්දියාවේ ඉඳන් කැනඩාවට සංක්‍රමණය වෙලා තියෙන්නේ අවුරුදු දෙකකට විතර කලින්)
කෑම මේසයේ හිටපු කොරියන් ජාතික තවත් මිත්‍රයෙක්  කතාවට හවුල් වෙමින් කිව්වේ පොත් පත් කියවන එක තරම් නීරස දෙයක් එයාටත් තවත් නැහැ කියලයි. පුංචි කාලයේ විභාගවලට තිබුණු සාහිත්‍ය පොත් පත්වල පොඩි කොටසක් කියෙව්වත් තමන්ට නින්ද ගිය බවක් තමයි එයත් කිව්වේ. කෑම මේසයේ හිටිය කිහිප දෙනෙක්ම ඒ අදහස අනුමත කරලා හිනාවෙද්දී මාත් ඒ හිනාවට හවුල් වුණේ කතාව මග හරින්න පහසුම උපක්‍රමය ඒක හින්දයි.

එදාම හවස රෑ කෑමෙන් පස්සේ රූපවාහිනී වැඩසටහනක් බලද්දී මේ සිද්ධිය ආපහු මතකයට ආවා. ලංකාවේ රූපවාහිනී නාළිකා නැරඹීමේ “පුරුද්දක් ” ලංකාවේදීවත් නොතිබුණත්, විවේකයක් ලැබුණු ‍මොහොතක තෝරා ගත්ත ඇතැම් වැඩසටහන් යූ ටියුබ් මාධ්යුය ඔස්සේ නැරඹීම ඉඳහිටලා කරන දෙයක්. හිත් ගත්ත කෙනෙක් ආරාධිතයෙකු විදියට සම්බන්ධ වුණු අවස්ථාවල විතරක් නරඹන ඒ වගේ එක වැඩසටහනක් තමයි ජාතික රූපවාහිනියේ “ සිහිනයකි රෑ ”. ඉතින් ඔය කියන දවසේ මේ වැඩසටහනට ඇවිත් තිබුණේ එඩ්වඩ් ජයකොඩි කියන ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියා. වැඩසටහනේ දී ඔහු මතු කළ අපූරු කරුණු කාරණා ගොන්න අතරින් එකක් මං කලින් කී සිද්ධියට සම්බන්ධයි. තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක් කරන්නට දෙමව්පියන් උත්සාහ ගත්තත් ඒ දරුවා “හොඳ ”වෛද්‍යවරයෙක්, “හොඳ ”ඉංජිනේරුවෙක්, “හොඳ ” ගුරුවරයෙක් කරන්න මහන්සි වෙන්න කියන පණිවිඩය තමයි එඩ්වඩ් මතුකළේ. මේ “හොඳ ” කියන කාරණාව එන්නේ සෞන්දර්ය කලාවට තියෙන බැඳීමත් එක්කයි කියන කරුණ ඉස්මතු කරපු එඩ්වඩ්, විභාග පසු පස්සේම දරුවන් පන්නන්නට මහන්සි නොවී සෞන්දර්ය කලාවටත් දරුවාව යොමු කරවන්න කියන පණිවිඩය මතක් කළා.
ඔහු මතුකළ කාරණය හැබෑම සත්‍යයක්. අද අපිට ඕන තරම් වෛද්‍යවරු ඉන්නවා, ඒත් කරුණාව හදවතේ ඉතිරි වෙලා තියෙන්නේ අත‍ළොස්සකගේ විතරයි. ඕන තරම් ඉංජිනේරුවො ඉන්නවා, ඒත් මනුස්සකම ගෑවිලා තියෙන්නේ බොහොම ටික‍ දෙනාටයි. ගුරුවරු ඕන තරම්, ඒත් පෞරුෂත්වයක් තියෙන්නේ සුළුතරයකට විතරයි. (ලංකාවේ දේශපාලකයො ගැන නම් කතා කරන එක කාලය කා දැමීමක්, සෞන්දර්යය පිහිටන්න තරම් ඔළුවක් ජන්මයෙන්ම එයාලට පිහිටලා නැහැනේ). ඇත්තටම කියනවා නම් “හොඳ ” සොල්දාදුවෙක් පවා බිහිවෙන්නේ හිත ඇතුළේ සංවේදිකමත් ගෑවිලා තිබුණොත් තමයි. යුද්ධයකට සහභාගී වෙච්ච පමණින්, මිනිහෙක් මරා දැමීමෙන් පමණක් කෙනෙක් රණවිරුවෙක්වත්, විමුක්තිකාමියෙක්වත් වෙන්නේ නැහැ. මේ නිසා තමයි එක සැරයක් චේගුවේරා ප්‍රකාශ කළේ සැබෑ විමුක්තිකාමියෙක් වෙන්න නම් මලක සුවඳ විතරක් නෙමෙයි මලක මෙළෙකත් හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා.
උසස් සංගීතයක් රස විඳින්න, උසස් පොතක් කියවන්න, උසස් කලා කෘතියක් රසවිඳින්න හැමෝටම පුළුවන් කමක් නැති එක ඇත්ත. ඒත් ඒකට හුරුවෙන්න පුළුවන් නම් සමාජය යහපත් තැනක් වීම කෙසේ වුණත් අඩුම තරමින් තමන්ගේ ජීවිතයට පෞරුෂත්වයක් එක් කරගන්නවත් කෙනෙකුට පුළුවන් වෙනවා. දේශපාලකයන්ගේ විතරක් නෙමෙයි තමන් ඇසුරු කරන , තමන් වටා ඉන්න කාගේවත් අදහස් උදහස්වල වහලෙක් නොවී තමන්ගේම පෞරුෂයක් ගොඩ නගා ගන්න පුළුවන් වෙනවා. උසස් සාහිත්ය් කෘතියක් රස විඳින්නට, උසස් සංගීතයක් රස විඳින්නට තරම් හැකියාවක් තියෙන කෙනෙක් දේශපාලනිකවවත්, මතවාදීවවත් පහසුවෙන් ගොදුරු කරගන්නට පුළුවන් කමක් නැහැ කියන කාරණාව තහවුරු කරලා ලෝකය පුරාම සරසවි වලින් කරපු පර්යේෂණ පත්‍රිකා අන්තර්ජාලයේ දකින්නට පුළුවන්. ඒකට හේතුව එවැනි කෙනෙක් වැඩෙන්නේ ඇඟපතින්, බඩ කඳින් විතරක් නෙමෙයි, විචාර බුද්ධියත් එක්ක නිසයි. මෙතැනදී පැහැදිලි කර ගන්න ඕන කරන කාරණයක් තියෙනවා. ඒ බුද්ධියත්, විචාර බුද්ධියත් කියන කාරණා දෙක. පොත පත පාඩම් කරලා, තමන්ගේ විෂයට ප්‍රවීණයෙක් වෙලා කෙනෙකුට බුද්ධිය වර්ධනය කරගන්න පුළුවන්. ආචාර්යවරු, මහාචාර්යවරු බවට පත්වෙන්න පුළුවන්. ඒත් විචාර බුද්ධිය කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දේකට. සරලවම කියනවා නම් ඇසූ පිරූ තැන් ඇත්තෙකුට. ඒ කියන්නේ පොත පත කියැවීමෙන් වගේම ජීවිත පන්නරය ඔස්සේ තමන් ලත් දැනුම ජීවිතයට ගලපා ගන්න පුළුවන් කෙනෙකුට. ඒ නිසා උපාධියක් තිබූ පමණින්, ආචාර්ය මහාචාර්ය ධුරයක් දැරූ පමණින් කෙනෙකු තුළ විචාර බුද්ධිය පිහිටන්නේ නැහැ. (විචාර බුද්ධිය ගිලිහිලා ගිය ඒ වගේ ආචාර්ය මහාචාර්යවරු, කලාකාරයො චන්ද කාලෙදි අපේ රටේ අහුරු ගණනින් දැකගන්න පුළුවන්, පත්තර පිටුවක් බැලුවාම. තමන් කඩේ යන මොකක් හෝ දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්න කියලා කිසිම හිරිකිතයක් නැතිව තමන්ගේ අස්සන ගහන්නේ අන්න ඒ වගේ පිරිස තමයි)
පොත පත කියවන කෙනෙකු තුළ ගොඩ නැගෙන පෞරුෂත්වය නිසා එවැනි කෙනෙකු පාලනය කරන්න තවත් කෙනෙකුට අමාරුයි. පොත පත කියවන සමාජයක් තමන්ගේ දේශපාලන අතකොළු කරගන්නට රටක පාලකයන්ට බැහැ. ඒ නිසාම පොත පත ඇසුරු කරන පිරිස, දේශපාලන යදම්වලින් බැඳිලා ඒ යදම් වලට ආදරය කරන වහල්ලු බවට පත්වෙන්නේ නැහැ. දේශපාලකයන් වෙනුවෙන් වාද විවාද කරන වහල්ලු බවට තමන් පත් නොවන නිසාම ඒ අයගේ මනස නිදහස්. ඒකට හේතුව දේශපාලකයන්ගේ එහෙමත් නැතිනම් සමාජයේ වෙනත් මතවාදී නායකයන්ගේ බරින් තමන්ගේ ඔළුව නිදහස් වෙලා තියෙන නිසා නිදහසේ යමක් දකින්නට, නිදහසේ හිතන්නට, නිදහසේ තීරණ ගන්නට තමන්ට පුළුවන් වෙන නිසයි.
මේ කාරණාව බුදුදහමේ සූත්‍රයකින් විස්තර කෙරෙනවා. කණුවක ගැටගහලා තියෙන සුනඛයෙකුට නිදහසේ සැරිසරන්නට පුළුවන් තමන් බැඳ දමා තියෙන ලණුවේ දිගට විතරයි. මේ නිසා බල්ලාගේ මුළු ලෝකයම, කණුව වටා තියෙන ඒ ලණුවේ පරිධියේ දිග විතරයි. ඒ නිසා තමන් හිරවෙලා ඉන්න මේ සීමාව ඇතුළේ ඉඳන් වාද විවාද කරන්නේ ලණුවෙන් පිට ලෝකය ගැන කිසිම අවබෝධයක් තමන්ට නැති නිසයි. හරියට අපි ඔය දේශපාලකයන්ගේ කෙරුවාව ගැන වාද විවාද කරනවා වගේ. බුදු දහමේ මේ කරුණ විස්තර කරන්නේ තමන්ට තමන්වත් අයිති නැති ලෝකයක, තණ්හාව නැමැති වරපටින් බැඳිලා ඉන්න තාක් විමුක්තියක් ලබන්න බැහැ කියන කාරණාව බොහොම ගැඹුරින් විස්තර කරන්න. ඒත් මේ උදාහරණයම අපේ මාතෘකාවට අදාළව කතා කළොත් අපිත් ඇත්තෙන්ම මේ බල්ලාට සමානයි. වෙනසකට ඇත්තේ අපි එකිනෙකාගේ ලණුවල දිග ප්‍රමාණයන් වෙනස් වීම විතරයි. බොහොම පොත පත කියවන පිරිසට පුළුවන් පහසුවෙන්ම ඒ ලණුව දිගු කරගන්න. ඒ නිසා තමන්ට අඩු පරිධියේ කැරකෙන පිරිසට ඔබ්බට ගිහින් හිතන්න එයාලට පුළුවන්. ෆේස් බුක් මාධ්‍යය ඔස්සේ තම තමන්ගේ මතවාද වෙනුවෙන් යුද වදින. ඒ වගේම එකිනෙකා හමුවුණාම තම තමන්ගේ දේශපාලකයන් වෙනුවෙන් වාද විවාද කරන මට්ටමට කෙනෙකු පත් වෙන්නේ මේ අවබෝධය නැති වුණාමයි. ඒත් තමන් කාගේ හෝ දේශපාලන කුළුණක ගැටගහපු සුනඛයෙක් නේද කියන කාරණාව තේරුම් ගන්න එකත් ඒ තරම්ම ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකට හේතුව ලණුව ලෙහා ගන්න කලින් අඩුම තරමින් තමන් කණුවක බැඳලා ඉන්න බවවත් තේරුම් ගන්න තරම් වැටහීමක් තමන්ට තියෙන්න ඕන නිසයි.
මෙතැනදී තවත් කරුණක් ඉස්මතු වෙනවා. කලින් කිව්ව සිදුවීමේ දී එඩ්වඩ් මතු කළා වගේම හොඳ ගීතයක්‍, හොඳ සිනමා පටයක්, හොඳ පොතක් කියන්නේ මොකක්ද කියන එක. ඒකට නම් නිර්වචනයක් නැහැ. මේ “හොඳ ” කියන කාරණාව තම තමන්ගේ බුද්ධි මට්ටම්, තම තමන්ගේ රුචි අරුචිකම් මත වෙනස් වෙන දෙයක්. ඒත් ඒක මේ විදියේ උදාහරණයකින් පැහැදිලි කරන්න පුළුවන්. ඔබ සීගිරිය කඳු මුදුනට නැගලා තියෙනවා නම්, සිගීරියේ ආකෘතියක් නරඹලා ඒ විදියේ මිහිරක් ලබන්න ඔබට බැහැ. ඒකට හේතුව පර්වතය මුදුනට ගියාම අත්විදින්න පුළුවන් ඒ මිහිරියාව ඔබ දැනටමත් අත් විඳලා තියෙන නිසා. ඔබ විශිෂ්ට මට්ටමේ (විශිෂ්ට කියන එකත් මෙතැනදී සාපේක්ෂයි) පොත පත කියවන්න පුරුදු පුහුණු වෙච්ච කෙනෙක් නම් මල් පොත් වලින් සතුටක් ලබන්නට ඔබට හැකියාක් නැත්තෙත් ඒ වගේම තමයි. ඒත් ඔබ සීගිරියට යනවා කියලා සීගිරි බිතු සිතුවම්වත්, සිගීරි පර්වතය මුදුනටවත් නොයා, සිංහ පාදය ළඟින් හැරිලා, බඹර වද විතරක් බලලා එනවා නම්…? ඔබ කියවන පොත පත තීරණය කළ යුත්තේත් අන්න ඒ ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර අනුව තමයි. එකම හොරු නඩයකට රට පාලනය කරන්නට ඉඩ දෙන අපේ ඡන්දදායකයනුත්, ඒ හොරු නඩය වෙනුවෙන් වාද විවාදවල පැටලෙන පිරිසත් සීගිරිය නොදැක බඹර වද නරඹලා එන පිරිස වගේ තමයි. තමන්ට ළං වෙන්නවත් බැරි පර්වත මුදුනක තමයි යථාර්ථය තියෙන්නේ. ඒ යථාර්ථය දකින්න නම් තමන්ගේ මානසික වහල් භාවයෙන් මිදෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් බැඳපු ලණු පට ලෙහා ගන්න ඕනේ.
සිරුර නිරෝගීව තියාගන්න ව්යාමයාම කරනවා වගේම මනස නිරවුල්ව තියාගන්න නම් පොත් පත් කියවන්න, එහෙමත් නැතිනම් අඩුම තරමින් උසස් රසාස්වාදයක් දෙන සංගීතයක්වත් ශ්රවවනය කරන්න ඕනේ. ‘ ඔබේ මිතුරන් කවුදැයි කියන්න, මා ඔබ කවුදැයි කියන්නම් කියලා ’ කවුරුන් හෝ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ කියවන පොත පත අනුව ඔබ කවුරුන්ද කියන එක තීරණය වේවි. සමහර පොත් පත් සුදුසු වෙන්නේ හපලා රස විඳලා ගිලලා දාන්න විතරයි, එත් හපලා හැම අංශුවක්ම සිරුරට දිරවා ගන්න ඕන කරන පොත පතත් තියෙනවා (Some books should be tasted, some devoured, but only a few should be chewed and digested thoroughly) කියලා ඉංග්‍රීසි චින්තකයෙකු වෙච්ච ෆ්රැන්සිස් බේකන් වරක් කිව්වා. ඒ විදියේ හපලා දිරවාගන්න ඕන කරන වර්ගයේ පොතක් කියවද්දී ඒක ඔබේ ජීවිතයේත් පරිච්ඡේදයක් බවට පත්වේවි. ඒ පොතේ චරිත ඔබේ ජීවිතයේ දී එදිනෙදා හමුවන චරිත බවට පත්වේවි. පොතෙන් මතු කෙරෙන සබදතා ඔබේ ජීවිතයේ අත්දැකීම් බවට පත්වේවි. ඔබේ හිත් ගත්ත පොතක් කියැවීමෙන් පස්සේ ඒ පොතේ කොයියම්ම හෝ කොටසක් ඔබේ ජීවිත කාලය පුරාම ඔබත් එක්ක එකට රැදේවි. මේ අමතර අත්දැකීම් ගොන්න නිසාම ඔබ, ඔබේ වයසට වඩා ජීවිත පරිඥානයෙන් මුහුකුරා යාවි. ඒකට තමයි නිර්මාණාත්මක කියැවීම කියලා කියන්නේ. (නිර්මාණාත්මක ලේඛනය වගේම නිර්මාණාත්මත කියැවීමක් කියලා දේකුත් තියෙන බව අමතක කරන්න එපා).

පොත් පත් කියවන්නා තමන්ගේ මරණයට පෙර අවුරුදු දහසක් ජීවත් වුණත්, පොත පත නොකියවන්නා ජීවත් වෙන්නේ එක දවසයි කියලා (A reader lives a thousand lives before he dies, The man who never reads lives only one) ඇමරිකානු ලේඛක ජෝර්ජ් මාර්ටින් කීවේ ඔය කියන විදියේ ජීවිත පරිඥානය ගැනයි.
තම තමන්ගේ ජීවිතවල තියෙන මානසික කුණු කන්දල් ගෙනැවිත් අතහැරලා දාන්න සමහරුන් පුරුදු වෙලා ඉන්න ෆේස් බුක් සමාජ ජාලයේ පොත් පත් කියවන අයගේ එකතුවක් තියෙනවා. මේ එකතුවේ ඉන්න ඇතැම් අය තමන්ගේ පොත් රාක්කයේ, එහෙමත් නැතිනම් තමන් මිලදී ගත්ත පොත්පත් හැමෝටම පේන්න ප්‍රදර්ශනය කරන එක දැන් විලාසිතාවක් වෙලා. (තමන් කියවන පොත පත හැමෝටම පෙන්න පෙන්න ඉන්න එකත් එක්තරා ආකාරයක ප්‍රදර්ශන කාමයක්). මේ විදියේ ඡායාරූප අතරේ එක්තරා විශේෂ ඡායාරූපයක් පහුගිය දවසක මට දකින්නට ලැබුණා. මේ ඡායාරූපයේත් තිබුණේ තමන් මිලදී ගත්ත පොත් ටිකක් තමයි, ඒත් ඒ පොත් ටිකට යටින් තිබුණු සටහන හරිම අපූරුයි. තමන් පොත් පත් කියවන්නට පුරුදු වෙලා හිටිය කෙනෙකු නොවුණත්, පොත් පත් කියවන අය අතරේ ගැවසෙද්දී ඒ අය තුළ තිබුණු දැනීම ගැන තමන් පුදුම වුණු බවත්, ඒ නිසාම පොත පත කියන්නට තමනුත් පුරුදු වුණු බවත්, පොත් පත් කියවන්නට පුරුදු වූ මේ කෙටි කාලය තුළදී පවා ජීවිතය ගැන තමා මෙතෙක් නොදුටු බොහෝ දේ අවබෝධ කරගත් බවත් ඒ සටහනේ සටහන් වෙලා තිබුණා. තමන් ඒ ඡායාරූපය පළ කළේ පොත පත කියවන්නට තමා ලත් ඒ ජීවිත පාඩමට උපහාරයක් වෙනුවෙන් බවයි ඒ තැනැත්තා සටහන් කර තිබුණේ. දහස් ගණනින් මුදල් ගෙවා තමන් මිලදී ගත්ත පොත් පත් ප්‍රදර්ශනය කරන හීනමාන මානසිකත්වයක් ඇති දහසකුත් ඡායාරූප අතර ඒ තැනැත්තාගේ සටහන හිතට බොහොම කාවදින දෙයක්. ඒ වගේම සත්‍යයක්.
පොතපත කියැවීමෙන් ලබා ගන්න පුළුවන් පරිචය වෙනත් දේකට සම කරන්න හරිම අමාරුයි. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ සුපර්මෑන් ගැන පොතක් කියවලා තමන්ටත් පියාඹන්න පුළුවන් කියනවා වගේ සරල අදහසක් නෙමෙයි. ජීවිත පරිඥානය පුළුල් වීම ගැනයි ඒකෙන් අදහස් වෙන්නේ. ඒ වගේ කෙනෙක් මතුපිටින් තැන්පත්, ඒත් එයාගේ මනස හරිම ප්‍රබලයි. එහෙම කිව්වේ ස්ටීවන් කිං කියන ජනප්‍රිය ඇමරිකානු ලේඛකයා. (Quiet people have the loudest minds).
එක්තරා දවසක මට අහම්බෙන් හමුවුණා විශේෂඥ වෛද්‍යවරයෙක්. මැදි වයසේ හිටපු වෛද්‍යවරයා මං ලංකාවේ කියලා දැනගත්ත මොහොතේම මගෙන් ඇහුවේ ඒ වෙනකොට අලුතින්ම නිකුත් වෙලා තිබුණු කැනේඩියානු ශ්‍රී ලාංකික ලේඛකයෙකු වෙන මයිකල් ඔන්ඩච්චිගේ Cat’s Table කියන පොත මං කියවලා තියෙනවා ද කියන එකයි. (වාසනාවකට වගේ ඒ වෙනකොට මං ඒ පොත කියවලා තිබුණා) ලංකාවේ තොරතුරු, ලාංකිය ජන ජීවිතය විතරක් නෙමෙයි අපේ සංස්කෘතික හැසිරීම් රටා ගැන පවා බොහොමයක් දේවල් එයා මාත් එක්ක කතා කරපු විදියට, එයා ලංකාවේ සංචාරය කරලා තියෙනවාද කියලා මං ඇහුවත්, වෛද්‍යවරයා මට කිව්වේ තමන් ඒ සියල්ල දැනගත්තේ පොත් පත් කියැවීමෙන් කියලයි. (ඒත් ලාංකීය සම්භවයක් ඇති ලෝක ප්‍රකට ලේඛකයන් දෙදෙනෙකු; මයිකල් ඔන්ඩච්චි සහ ෂ්‍යාම් සෙල්වදුරෙයි කැනඩාවේ ඉහළම ලේඛකයන් අතර වැජඹෙන බව කැනඩාවේ ජීවත් වෙන ලාංකිකයන්ගෙන් අතළොස්සක්වත් දන්නේ නැහැ).
ඇත්තටම කියනවා නම් උසස් සංගීතයක් රස විඳීමෙන්, උසස් පොතක් කියැවීමෙන් ලැබෙන තෘප්තිය විස්තර කරන්නට කිසිම භාෂාවක වචන සමත් වෙන්නේ නැහැ. ඒ විදියට ජීවිත කාලය පුරාවටම කම්පනයක් ඇති කළ පොතක් තමයි අවුරුදු ගණනාවකට පෙර පුංචි කාලයේ දී කියවපු “ ගැහැනුන් දෙදෙනෙක් ” කියන පරිවර්තන පොත. මේ පොතේ ඉංග්‍රීසි පිටපත බොහොම මෑතකදී ආපහු කියෙව්වේ අවුරුදු ගණනාවක් ගිහිල්ලත් ඒ කම්පනය හිතේ රැඳිලා තිබුණු නිසයි. (ඉංග්‍රීසි පිටපත තරමක් විශාල එකක් නිසා, සිංහලෙන් පළ වුණේ සම්පූර්ණ පරිවර්තනය ද කියන එක හරියටම දන්නේ නැහැ). අල්බර්ටා මොරාවියා ඉතාලි බසින් ලියපු Two Women කියන මේ කතාව යුද්ධයක තියෙන සැහැසිකම, ම්ලේච්ඡකම, ජීවිත උඩු යටිකුරු කරන ආකාරය විස්තර කරන්නේ අම්මෙක් සහ දුවෙක් කියන චරිත දෙකක් විතරක්ම උපයෝගී කරගෙන, පුදුමාකාරව සිත කම්පා කරන විදියට.
පුරාණ පොළොන්නරු රාජධානිය පදනම් කරගෙන බ්‍රිතාන්‍යයේත්, ඇමරිකාවේත් අවුරුදු දෙකකට කලින් එකවර ප්‍රකාශයට පත් කෙරුණු River of Ink කියන පොතත් කියවලා නිම වෙච්ච සැනින් ඇති වෙච්ච කම්පනය, ආස්වාදය වචනයකට ගොනු කරන්නට බැහැ. ඒක පුදුමාකාර අත්දැකීමක්. ඒ වගේම ඒ ආස්වාදය, ඒ කම්පනය මුළු ජීවිත කාලය පුරාම බැඳිලා තියෙන දෙයක්. (මේ පොතේ සිංහල පරිවර්තනයක් ළඟදීම නිකුත් වෙනවා). මේ නවකතාවට පදනම් වෙලා තියෙන්නේ කාලිංග මාඝ පොළොන්නරුව ආක්‍රමණය කළ 1215 කියන යුගය. අපේ රට ආක්‍රමණය කරපු හැම ආක්‍රමණිකයෙක්ම මූලික අවධානය යොමු කළේ අපේ සම්පත් සූරාගෙන ඒවා තමන්ගේ රටට ගෙනියන්න. ඒත් කාලිංග මාඝ ඒ හැම ආක්‍රමණිකයෙකුටම වඩා වෙනස්. එයාට ඕන වුණා දේශීය සංස්කෘතිය, බෞද්ධ සදාචාරය මුළුමනින්ම මුලිනුපුටලා දාන්න. (පෟතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන ආක්‍රමණිකයන් අතිනුත් මේ දේ සිද්ධ වුණත් එයාලගේ වැඩිම අවධානයක් යොමු වුණේ අපේ සම්පත් කොල්ලකාගෙන තමන්ගේ රටවල්වලට ගෙනියන්න. ඒ නිසා තමයි අපේ පෞරාණික පොත් පත්, පෞරාණික ධන නිධාන ලන්ඩන් කෞතුකාරයේ මිසක් කොළඹ කටුගෙයි දකින්න නැත්තේ). දේශීය සභ්‍යත්වය, බෞද්ධ සදාචාරය විනාස කරලා දාන්න කාලිංග මාඝ යොදා ගත්ත අවිය තමයි පන්සල් වෙහෙර විහාර වල තිබුණු සියලුම පොත්පත්, වගේම සාමාන්යත මිනිස්සු අතරත් ගැවසුණු සියලු පොත් පත් විනාශ කරලා ගිනිබත් කරලා දාපු එක. (මේ නවකතාවේ ඒක ඉතාම අපූරුවට විස්තර කරනවා). ඒ වගේම මාඝගේ දෙවිවරුන් වුණේ දකුණු ඉන්දියාවේ දෙවිවරුන් නිසා ඒ කාලයේ පොළොන්නරුවේ තිබුණු හින්දු සංස්කෘතියට පවා එයා වෛර කළා. රටක සංස්කෘතිය පෙරළා දාන්න නම් පහසුම දේ රටේ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ පොත් පත් විනාශ කිරීම බව ඒ ඈත අතීතයේ දී පවා කාලිංග මාඝ දැනගෙන හිටියා. මේ කාරණාව අද දවසට ගැලපුවාම ගන්න පුළුවන් දේ තමයි අද දවසේ සංස්කෘතියක් විනාශ කරන්න පොත් පත් ගිනි තියන්නම ඕනේ නැහැ. පොත් පත් නොකියවන ජනතාවක් බිහිකළාම හොඳටෝම ඇති. පොත් පත් නොකියවන පරපුරක් බිහිවීමේ පල විපාක අද අපි හොඳටම අත් විඳිනවා. පාර්ලිමේන්තුවේ ඉන්න බාගෙට බාගයක් සාමාන්‍ය පෙළ සමත් නැහැ කියන ප්‍රසිද්ධ කාරණාවම ඇතිනේ රටේ තත්ත්වය ගැන හිතාගන්න. ‘අද දවසේ කියවන්නා, හෙට දවසේ නායකයා’ (Today a reader, tomorrow a leader) කියලා ඇමරිකානු සමාජ ක්‍රියාකාරිනියක් වුණු මාග්‍රට් ෆුලර් වරක් ප්‍රකාශ කළා. ඒ වගේම තමන් ඉගෙන ගත්ත හැම දෙයක්ම තමන් ලබා ගත්තේ පොත් පත්වලින් කියලා ඒබ්‍රහම් ලින්කන් ප්‍රකාශ කළා. ඒත් මේ කියමන අපේ රටට ගැලපුවොත් නම් ‘අද දවසේ තක්කඩියා, හෙට දවසේ පාලකයා’ කියලා විතරමයි කියන්නට පුළුවන්.
මේ වෙලාවෙදි මතක් වෙනවා බොහොම ඉස්සර පුංචි කාලයේ දී කියවපු ගී ද මෝපසාන්ගේ කෙටි කතාවක්. කතාවේ නම මතක නැහැ. ඒත් කතාව ගලා ගෙන යන්නේ කාත් කවුරුවත් නැතිව හුදෙකලා වෙච්ච චරිතයක් ගැන. හැම අතකින්ම පීඩනයට පත් වෙලා ඉන්න මේ තැනැත්තා, තමන් ජීවත් වෙන සමාජයෙන් මිදිලා හිරේට ගියොත් කිසියම් සැනසීමක් ලැබේවි කියලා හිතලා, පොලිසියට අහුවෙන්න හිතාගෙනම සුළු සුළු හොරකම්, සුළු සුළු සිද්ධීන්වලට පැටලෙනවා. ඒත් ඒ හැම උත්සාහයක්ම ව්‍යර්ථ වෙලා ගිහින් අන්තිමේදී වෙහෙසට පත්වෙලා ගහක් යට ඉඳගෙන ඉන්න කොට අසල්වැසි මන්දිරයකින් සංගීත නාදයක් ඇහෙනවා. මේ සංගීතය එයාව කොයි තරම් දුරට මුදු මොළොක් කරලා, හිතේ තිබුණු සියලු අසහනකාරී හැඟීම් තුරන් කරලා දැම්මාද කියනවා නම් ඒ සංගීතය රස විඳීමෙන්ම පමණක් එයා වෙනස්ම තැනැත්තෙක් බවට පත්වෙන්නට හිතා ගන්නවා. (ඒත් අවාසනාවකට වගේ යහපත් මිනිහෙක් බවට පරිවර්තනය වුණු ඒ තැනැත්තාව අන්තිමේ දී පොලිස් අත්අඩංගුවට පත් වෙන්නේ සංගීත නාදය ගලාගෙන ආව මන්දිරය කොල්ල කන්නට උත්සාහයක නිරත වුණා කියලා සැක කරලයි).
ටික කාලයකට කලින් සම්මාන පිට සම්මාන ලබමින් අතිශයන්ම ජනප්‍රිය වෙච්ච The Reader කියන සිනමා පටයට පාදක වුණේ මේ විදියට පොත් පත් කියවන්න සැබෑ ආසාවෙන් පසුවුණු, ඒත් නාසි හමුදාවේ හිටපු අපකීර්තිමත් කාන්තාවක් ගැන. සැබෑ සිදුවීම් පෙළක් පදනම් කරගෙන නිර්මාණය වුණු මේ අති විශිෂ්ට සිනමා පටයේ සිටින ඒ කාන්තාව යුදෙව්වන් සිය දහස් ගාණකට වධ හිංසා පමුණුවන්නට මුල් තැනක් ගත්ත අපකීර්තිමත් චරිතයක් වුණත්, ඇය පොත් පත් කියවන්න ‍නොතිත් ආසාවෙන් පසුවුණු ගැහැනියක්. ඒත් පොත් පත් කියවන්නට අකුරු නොදන්නාකම නිසාම ළාබාල තරු‍ණයෙකුට ලිංගික අල්ලස් දෙමින් ඇය විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට කෘතින් ඔහු ලවා තමාට කියවා ගන්නවා.
උසස් සංගීතයෙන්, උසස් පොත පතකින් එහෙමත් නැතිනම් සරලව කියනවා නම් රස වින්දනය කියන කාරණාව තමන්ගේ හිත තුළ වගා කරගැනීම තුළින් ජීවිතය වෙනස් කරගත්ත මිනිස්සු ඉතිහාසය පුරා වගේම වර්තමානයේත් ඕනෑ තරම් හමුවෙනවා. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන විදියට ඉදලකින් අපූරු රටාවකට අමදලා තියෙන විහාර මළුවේ, ඒ අපූරු රටාව ගැන මෙනෙහි කිරීමෙන් පමණක්ම එක්තරා හිමිනමක් රහත් භාවයට පත්වෙනවා. ගැමි ළියකගේ ගොයම් කවියක මිහිර විඳීමෙන් ඒ කෙත් යාය අසලින් වඩිමින් හිටිය හිමිවරු රහත් භාවයට පත් වූ හැටි බෞද්ධ කෘතිවල සඳහන් වෙනවා.
ඒත් රසවින්දනය කියන එක කාටවත් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒත් තමන් තුළ රස වින්දනය ගැන පුංචි හරි හැඟීමක් තියෙනවා නම් ඒක දියුණු කරගන්න තමන්ටම පුළුවන්. බටහිර රටවල බොහොමක් සරසවිවල රස වින්දනය ගැන වගේම නිර්මාණාත්මක ලේඛනය ගැන උපාධි පාඨමාලා තියෙනවා. රස වින්දනය, ලේඛන කලාව තමන් තුළ පිහිටලා තියෙන කෙනෙකුට මේ පාඨමාලාවලින් ඇත්තටම උපරිම ඵල නෙලා ගන්න පුළුවන්.
පොත් පත් කියවන්න ඇතැම් අය අකමැති වෙන්න බලපාන හේතු ගැන අපූරු තොරුතුරු විවිධාකාර පර්යේෂණ මගින් එළිදරවු වෙලා තියෙනවා. ඒකට මූලිකම හේතුවක් තමයි පුංචි කාලයේ දී පොත් පත් කියැවීමේ පරිසරයක් තමන්ට අහිමි වීම. ඒ වගේම රස වින්දනය කියන කාරණාව නිසියාකාරව ළමා වියේදී නොලැබීමත් ඒකට හේතුවක් කියලා පර්යේෂකයන් පෙන්වලා දෙනවා. ඒත් තමන් වැඩිහිටියන් බවට පත් වූ පසුව ඒ අභියෝග සිය උත්සාහයෙන් ජය ගන්න පුළුවන් වුණත්, මොට වෙලා ගිය රස වින්දනය මුවහත් කරගන්න උවමනාවකුත් තියෙන්න ඕන බවයි පර්යේෂකයන් කියන්නේ. ඒ වගේම තමන් තුළ ඇති අදහස් මතවාද වෙනස් වෙනවාට බයෙනුත් පොත් පත් කියැවීමෙන් වැළකෙන පිරිසක් ඉන්න බව පර්යේෂකයක් පෙන්වා දෙනවා. ඒක වෙන කොයි රටකට කෙසේ වෙතත් දූපත් වාසී අපිට නම් පැහැදිලි ඇත්තක්. තමන්ගේ අදහස් මතවාද වෙනස් කරගන්නට තරම් විවෘත මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්නවා නම් එකම හොරු තක්කඩි රැළක් විවිධාකාර පක්ෂවලින් හැමදාමත් පාර්ලිමේන්තුවට රිංගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන්නේ නැහැනේ.
පොත් පත් කියවන්න තමන්ට වෙලාවක් නැහැ කියන කාරණාව නම් කිසිසේත්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ගේ කාලයෙන් මිනිත්තු පහළොවක් එහෙමත් නැතිනම් පැය භාගයක් පොතක් කියවන්නට වෙන් කරගන්න බැරි තරමට අපි කවුරුත් කාර්යබහුල නැහැ. ලෝකයේ ප්‍රබලම රාජ්‍ය නායකයන් පවා පොත් පත් කියවනවා විතරක් නෙමෙයි, පොත පත ලියන එකත් කරනවා. ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පවා බොහොම පොත පත කියවපු කෙනෙක් වගේම තමන්ගේ තනතුර දරද්දීම ළමා පොත් පවා රචනා කරපු කෙනෙක්.
මුළු ලෝකයේම කෝටිපතියන් අතර ඉදිරියෙන්ම ඉන්න වොරන් බුෆේ (Warren Buffet) කියන්නේ තමන් හැමදාම දවසේ සෑහෙන වෙලාවක් නිසංසලව වාඩි වෙලා කියවන්නත්, කියවපු දේ මෙනෙහි කරන්නත් පුරුදු වෙලා ඉන්නවා කියලයි. “මං ආදරය කරන්නේ ඒ විදියට ගත කරන ජීවිතයකට නිසයි මං එහෙම කරන්නේ ” කියලා ඔහු කියනවා. පොත් පත් කියවන්න දැඩිව ඇළුම් කරන ඔහු දවසකට පැය පහක්වත් පොත් පත් කියවන්න වෙලාව වෙන් කරගන්නවා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම Microsoft සමාගමේ නිර්මාතෘ, ලොව ධන කුවේරයන් අතර ඉහළින්ම ඉන්න බිල් ගේට්ස් කියන්නේ තමන් අද මේ තත්ත්වය ඇවිත් තියෙන්නේ පුංචි කාලයේ ඉඳන්ම කියවන්න පුරුදු පුහුණු වෙච්ච හින්දා කියලයි. බිල් ගේට්ස් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට කරපු සම්මුඛ සාකච්ඡාවක දී හෙළි කළේ තමන් වසරකට අඩුම තරමින් පොත් පනහක්වත් කියවනවා කියලයි. ලෝක ප්‍රකට ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් තමන්ගේ ජීවිත කතාව විවරණය කරමින් ලිවුව පොත මිලියන ගණනින් අලෙවි වුණා.
ඒ විතරක් නෙමෙයි කාලය කන මෙවලමක් විදියට අපිම පත් කරගෙන තියෙන ෆේස්බුක් නිර්මාතෘ, ලොව ළාබාලතම කෝටිපතියා වන මාර්ක් සකර්බර්ග් පවා පොත් පත්වලට දැඩිව ඇළුම් කරන පුද්ගලයෙක්. බිල් ගෙට්ස් එක්ක මාර්ක් සකර්බර්ග් එකතු වෙලා හැම දෙනාටම කියවන්න නිර්දේශ කරපු පොත් පත්වල ලැයිස්තුවක් පවා අන්තර්ජාලයේ තියෙනවා. ජංගම දුරකථනයට එබීගෙන උදේට බීපු තේ කෝප්පය, දවල්ට කාපු බත් පිඟාන, රෑට ගිය පාටිය, කන්තෝරුවේ වැඩ කරන හැටි, අලුතින්ම ගත්ත වාහනය ගැන පිංතූර හැමෝටම පේන්න ප්රමදර්ශනය කරන ගමන්, එක ගෙයි එක වහළ යට ඉන්න අඹුසැමියන්ට ආදරෙයි කියන්න, එකිනෙකාට සුභ උපන්දිනයක් ප්රාෙර්ථනා කරගන්න පවා මුහුණු පොතට ගිහින් කිසිම තේරුමක් නැතිව අපි පැය ගණනක් නිකරුණේ කාලය මරා දාද්දී ඒ මෙවලම නිර්මාණය කරපු මාර්ක්, පැත්තකට වෙලා නිවීහැනහිල්ලේ පොතක් පතක් කියවනවා. මුහුණු පොත හරහා අපි එකිනෙකාගේ ඕපාදූප තලු මරමින් නිකමුන් බවට පත්වෙද්දී, මාර්ක් පොත පත හරහා තමන්ගේ ජීවිත පරිඥානය පුළුල් කරගන්නවා.
මේ වගේ උදාහරණ කියන්න ගියොත් නිමාවක් නැහැ. බැරැක් ඔබාමා, වොරන් බුෆේ, මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස්ලාට තමන්ගේ අති මහත් රාජකාරී කටයුතු මැද්දේ නිදහසේ පොතක් කියවලා රස විඳින්න වෙලාව හොයා ගන්න පුළුවන් නම් අපිටත් ඒකට බැරි කමක් නැහැ. ඒත් ඒකට පුරුද්දක් එහෙමත් නැතිනම් පොතක් පතක් රස විඳින්න උවමනාවකුත් තියෙන්න ඕනේ.
කොහොම වුණත් පොතක් පතක් රස විඳින්න හැමෝටම බැරිවීම ගැන පර්යේෂකයන් තවත් අපූරු කරුණු කාරණා කිහිපයක් එළි කරනවා. මේ විදියේ පර්යේෂණ කණ්ඩායමකට නායකත්වය දුන්නු එක් පර්යේෂකයෙක් මෙහෙම කියනවා, “ කතාන්දර වලට අපි හැමෝම ආසයි. කතාන්දර කියවන්න කෙනෙක් අකැමැතියි කියන්නේ තාමත් එයාට ගැලපෙන කතාව හොයා ගන්න බැරි වෙලා කියන එකයි. එහෙමත් නැතිනම් එයාට ගැලපෙන පොත තාමත් එයාගේ අතට පත්වෙලා නැහැ කියන එකයි ”.
ඒත් මීට සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් තවත් එක් පර්යේෂණ කණ්ඩායමක් කෙටියෙන් මෙහෙම විස්තර කරනවා.
“ හැමෝම චීස් වලට ආස නැහැ… ඒ ඇයි…? පොත් පත් කියවීමත් ඒ වගේ තමයි ”.

Advertisements

ඒ දිවයිනට මා, පා කර හරින්න

ළා කොළ පාට පසුබිමක කරත්ත රෝදයක් එක්ක සෙල්ලම් කරන පිරිමි ළමයෙකුගේ රූපයක් ඇදපු පිටකවරයක් තියෙන පොතක් බොහොම ඈත කාලයක කියවන්නට ලැබුණා. ඒ කියන්නේ අවුරුදු තිහකට විතර කලින් පාසලේ ඉහළ ප්‍රාථමික පංතිවල ඉගෙන ගන්න කාලයේ. නවකතාවක්ම නොවුණත්, නවකතාවකටත් වඩා රසවත් මේ පොත මතකයේ කොයි තරම් රැඳුණා ද  කියනවා නම් ඔය කිව්ව කවරයේ  පෙනුම විතරක් නෙමෙයි සිය ගණනක් පුස්තකාල පාඨකයන්ගේ අතින් අතට ගිහින් පොතේ කවරයේ තැනින් තැන මතුවෙලා තිබුණු කඩතොළු පවා තාමත් අද වගේම මතකයි. මේ පොත පරිවර්තනයක්. පරිවර්තනයේ නම මා පයට තණ නිල්ල. පොත පරිවර්තනය කරලා තිබුණේ නිව්ටන් ජයසේන කියලා මහත්මයෙක්.

මේ පොත ගැන මතකය ආපහු අලුත් වුණේ අහම්බෙන්. එදා කියවූ සිංහල පරිවර්තනය ඉතාම ඉහළ මට්ටමින් තිබුණත්, පොතේ මුල් ඉංග්‍රීසි පොත කියවන්නට තිබුණා නම් හොඳයි කියලා පහුගිය දවසක අහම්බෙන් හිතුණා. ලංකාවේ ඈත පිටිසර ගමක් ගැන, අවුරුදු අසූවක් තරම් ඈත අතීතයේ දී ලියැවුණු මේ වගේ පොතක් බටහිර රටක පුස්තකාලයක තියෙන්නට ඉඩක් නැති බව හිතුණත්, පොත ගැන පුස්තකාලයෙන් විපරම් කළා. මාව පුදුමයට පත් කරමින් ඒ පොත මං ජීවත් වෙන ප්‍රාන්තයේ එක්තරා සරසවියක පුස්තකාලයක තියෙන බව අන්තර්ජාලයෙන් දැන ගන්නට ලැබුණා. ලෝකයේ දෙවැනි විශාලතම රට වෙච්ච කැනඩාවේ මං ජීවත් වෙන බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තය විතරක් ලංකාව වගේ පහළොස් ගුණයක් විශාලයි. ඉතින් මේ පොතේ පිටපතක් තිබුණේ මං ජීවත් වන වැන්කුවර් නගරයට බොහොම ඈත තැනක සරසවියක පුස්තකාලයේ විතරයි. තමන්ට ආසන්න පුස්තකාල කිසිවක නැති පොතක්, දුර බැහැර පුස්තකාලයකින් හෝ නොමිලයේ ගෙනැවිත් දීමේ අපූරු සේවයක් කැනඩාවේ පුස්තකාල සේවාව ක්‍රියාත්මක කරන නිසා අන්තර්ජාලය ඔස්සේ මා ඉල්ලුම් කළ ඒ පොත සතියක් දෙකක් යන්නටත් කලින් මගේ අතටම ලැබුණා.

Grass for my Feet කියන මේ මුල් ඉංග්‍රීසි පොත අතට ලැබුණාම මට දැනුණේ ඉතාම හිතවත් මිතුරෙක් හමුවුණා වගේ හැඟීමක්. ඒ හැඟීම තවත් තීව්‍ර වෙලා ඇත්තටම කියනවා නම් ලංකාවේ ඒ ඈත පිටිසර ගම්මානයට ගොඩ වැදිලා මේ ලේඛකයාත් එක්ක ඒ ගම්මානයේ අඩිපාරවල් ඔස්සේ ඇවිද ගෙන යනවා වගේ හැඟීමක් ඇති වුණේ මා අතට පත්වෙච්ච පොත අතිශය පෞරාණික අගයකින් යුක්ත වෙච්ච නිසයි. සුදෝ සුදු පාට පිටුවලින් යුක්තව, විවිධාකාර වර්ණවත් කවරවලින් අපේ අතට අද දවසේ පොත් පත් එක්ක ගත්තම මේ පොත අතට ගත්තම ඇතිවුණේ වචනයෙන් විස්තර කරන්නට බැරි තරම් බැතිමත් හැඟීමක්. මේ පොත මුල්ම වරට බ්‍රිතාන්‍යයේ දී මුද්‍රණය වෙලා තියෙන්නේ 1935 වසරේ දී. මගේ අතට පත් වෙච්ච පොත ඒකේ තුන්වැනි මුද්‍රණය විදියට 1943 දී නිකුත් කරපු පොතක්. ලංකාවේ ඈත පිටිසර ගමක් ගැන ලියැවුණු පොතක් මහා බ්‍රිතාන්‍යය වගේ රටක අවුරුදු අටක් වගේ කෙටි කාලයක් ඇතුළත දී තුන් සැරයක්ම මුද්‍රණය කරන්නට සිදු වුණා කියන එක තරමක විස්මය දනවන කාරණාවක් වගේම එදා මේ පොත කොයි තරමක් නම් ජනප්‍රිය වෙන්නට ඇතිද කියන එකත් ඒකෙන් කියැවෙනවා.

 

1943 වසරේ දී නිකුත් කෙරුණු මගේ අතට ලැබුණු පොත තුළ තිබුණේ කෞතුකාගාර පුස්තකාලයක තැන්පත් කර තියෙන මහානුභාවසම්පන්න පොතක ගති ලක්ෂණ. පොත දිග හරිද්දිම දැනුණු සැබෑ පොතක පිටුවල තීන්ත සුවඳ, පැරණි පන්නයේ අතීත පිටුවල මුහුවුණු මටසිළුටු ස්පර්ශය, පැරණි මුද්‍රණවලට ආවේණික වෙච්ච අපූරු අංග ලක්ෂණ නිසා පොත කියවන්නට කලින් ඒකේ සුවඳ, පෞරාණික රසය විඳින්න මං සෑහෙන වෙලාවක් ගත කළා. පොත කොයිතරමක් නම් පැරණි වුණත්, එදා පාසලේ දී මං කියෙව්ව පරිවර්තන පොතේ කවරයෙයි, ඇතුල් පිටුවලයි තිබුණු විදියේ කඩතොළු කිසිම දෙයක් මේ පොතේ තිබුණේ නැහැ. මුද්‍රණයේ පෞරාණික ස්වභාවය හැරෙන්නට පොතේ පිටුවකටවත් කිසිම හානියක් වෙලා තිබුණේ නැහැ.

මේ පොත ගැන මේ විදියේ සටහනක් ලියන්නට හිතුණේ පොත ආපහු කියැවීමෙන් ලැබුණු ආස්වාදයටත් වඩා, මං කිසිදාක දැක නොතිබුණු දේවල් කිහිපයක්ම මේ පොතේ මට දකින්නට ලැබුණු නිසයි. මේ පොත නිකුත් වෙලා තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයේ සෙවණැලි වැටෙමින් තිබුණු කාලයක. ඒ නිසා මේ පොතේ කවරයේ බීබීසී සේවාව සම්බන්ධයෙන් කළ අපූරු විස්තරයක් අඩංගු වෙනවා. මිත්‍ර හමුදාවන්ගේ සැබෑ තොරතුරුත්, යුද්ධයේ නවතම තොරතුරුත් දැනගන්න බීබීසී සේවාවට ඇහුම්කන් දෙන්න කියන විස්තරය පොතේ කවරයේ බොහොම විස්තරාත්මකව සටහන් වෙලා තියෙනවා. සාහිත්‍ය කෘතියක මේ විදියට යුද්ධය වෙනුවෙන් නිල ප්‍රචාරයක් සිදු කරලා තියෙන හැටි මං දැක්කේ මුල්ම වතාවටයි. ඒත් එය කතුවරයාගේ හෝ පොත ප්‍රකාශයට පත් කර තිබූ ලන්ඩනයේ Edward Arnold නම් ජනප්‍රිය පොත් ප්‍රකාශන සමාගමේ උවමනාවට වූවක් නොව යුද සමයේ පැවැති නීති රීති මත සිදුවූවක් බව පැහැදිලියි. ඒකට හේතුව මේ පොත මුද්‍රණය කර ඇත්තේ යුද නීතිරීතිවලට අනුකූලව අඩුම ආර්ථික පිරිවැයක් දරන කඩදාසි හා මුද්‍රණ ශිල්ප ක්‍රමවලින්ය කියන සහතිකයත් පොතේ පැහැදිලිවම සටහන් කර තියෙන නිසයි.

 

 

පිටු 230 කින් යුත් මේ කුඩා පොතේ එදා මිල කීයක් වුණා ද කියන එක නම් කවරයේ සටහන්ව තිබුණේ නැහැ. ඒත් පොත ඇතුළේ තිබිලා හරිම අපූරු වෙනත් සිහිවටනයක් නම් හමුවුණා. ඒ තමයි ලන්ඩනයේ බස් ටිකට් පතක්. මේ ප්‍රවේශ පත්‍රයේ අවුරුද්ද සටහන් වෙලා නැතත් පොත තරමටම ටිකට් පතත් පෞරාණික බව නම් පැහැදිලිවම පේනවා. දශක ගණනාවක අතීතයක් පුරා මේ පොත ඇතුළේ සුරක්ෂිතව රැදුණු මේ ප්‍රවේශ පත්‍රයේ ගාස්තුව සටහන් වෙලා තියෙන්නේ පැන්ස පහක් විදියට. පැන්සය හදුන්වන පැරණි මිල ක්‍රමය වන D අකුර තමයි ඒකේ සටහන් වෙලා තියෙන්නේ.

මේ කිව්ව හැම දෙයක්ම පොතේ ඉපැරණි ස්වභාවය හා එහි විශේෂ ලක්ෂණ ගැන කියන දේවල්. ඔන්න දැන් තමයි පොතේ  අන්තර්ගතයත්, කතුවරයා ගැනත් සිත් ඇදගන්නා සුළු දේවල් කියන්නට යන්නේ.

මේ පොතේ සටහන් වෙන්නේ ගෙවුණු සියවසේ මුල්ම කාලයේ දී, ලංකාවේ දකුණු බඩ ගාල්ලට කිට්ටුව තියෙන ඌරල කියන ගමත්, ඒ ගමේ ජීවත් වෙච්ච ගම්මුන්ගේත් යටගියාව ගැනත් රසවත් තොරතුරු සමුදායක්. ගමේ සිරියාව, මිනිස්සුන්ගේ ජීවනෝපාය, ආගමික කටයුතු හා වතාවත්, ගැමිකතා, එදිනෙදා ජීවිතයේ ස්වභාවය, බලි තොවිල්, හදි හූනියම් විතරක් නෙමෙයි මිනීමැරුම් ගැන පවා තොරතුරු මේ පොතේ අපූරුවට ලියැවිලා තියෙනවා. පොතේ කතුවරයා වන ජිනදාස විජයතුංග මහතා උපත ලබලා හැදිලා වැඩෙන්නේ මේ ගමේ. ඒත් පසු කාලයක ඔහු බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචියට යනවා. තමාට අහිමි වී ගිය ඒ අතීත වසන්ත සමය සිහිපත් කරමින් ලන්ඩනයේ දී තමයි ඔහු මේ පොත නිකුත් කරන්නේ. මේ පොත නවකතාවක් නෙමෙයි. නිකම්ම නිකම් සිහිවටන එකතුවකුත් නෙමෙයි. ඒත් නවකතාවකටත් වඩා රසවත්, චරිත කතාවකටත් වඩා නැවුම් හරිම අපූරු පොතක්. ඒ නිසාම පොත කියවද්දී ගමේ ජීවන සුවඳ වගේම ගැමියන්ගේ හෘදයාංගම උණුසුම හදවතට දැනෙනවා. කතුවරයා තමන්ගේ කුඩා අවදියේ ජීවන අත්දැකීම් අප හා බෙදා හදා ගන්නේ කියවන පාඨකයාත් ඒ ගමේම තවත් එක් ගැමියෙක් බවට පත් කරමින්.

මෙහි කතුවර ජිනදාස විජයතුංග මහතා උපත ලබන්නේ 1902 වසරේ දී ඌරල කියන ගම්මානයේ දී. ඔහු බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙන්නේ 1931 වසරේ දී. ඉංග්‍රීසි ගුරුවරයෙකු විදියට සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන විජයතුංග මහතා රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ පෞද්ගලික ඉල්ලීම මත ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙසත් කටයුතු කරනවා. කල්කටා සරසවියේ විභාග පරීක්ෂකවරුන්ගේ මණ්ඩලයේ පවා සාමාජිකයකු වන ඔහු එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ප්‍රමුඛ ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයන් හා පවා සමීප ඇසුරක් පැවැත්වූ තැනැත්තෙක්.

ග්‍රන්ථ ගණනාවක කතුවරයා වන ඔහු ලන්ඩන් ටයිම්ස්, නිව්යෝර්ක් ටයිම්ස් ආදී ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනවල සම්මානනීය ජනමාධ්‍යවේදියෙකු ලෙසත් කටයුතු කරනවා.

වියපත්ව සිටි විජයතුංග මහතා පෞද්ගලිකව හමු වී කතා බහ කළ තොරතුරු සමුදායක් එක්කරමින් ආචාර්ය තිලක් ප්‍රනාන්දු වෙබ් අඩවියකට ලියූ ලිපියක් ඔහු ගැන තොරතුරු සොයා බලද්දී මට අහම්බෙන් හමුවුණා. තමාට විජයතුංග මහතා හමුවන විට ඔහු 86 හැවිරිදි වියෙහි පසු වූ බවත්, ඔහු අතිශය මිත්‍රශීලී, සුහද හා ප්‍රසන්න මිනිසෙකු වූ බවත් ආචාර්ය තිලක් ප්‍රනාන්දු මහතා තම ලිපියේ විස්තර කර තියෙනවා. තමා ඔහුව හමුවූයේ උතුරු ලන්ඩනයේ ඔහු දිවි ගෙවූ කුඩා හුදෙකලා නවාතැනක දී බව පෙන්වා දෙන ආචාර්ය ප්‍රනාන්දු එවන් වූ උත්තුංග චරිතයක් එවැනි හුදෙකලා කාමරයක තනි වී ජීවත් වීම තමා මවිතයට පත් කළ බවත් පෙන්වා දෙනවා.

මා අතට පත් වූ විජයතුංග මහතාගේ ඉංග්‍රීසි පොත ඔහු පිළිගන්වා තිබුණේ තමන්ගේ මෑණියන්ටයි. පොතට ඔහු පෙරවදනක් ලියා තිබුණේ නැහැ. ඒත් ඒ වෙනුවට ඔහු කවි දෙකක් පමණක් සටහන් කර තිබුණා. බෙහොම හෘදයාංගම ඒ කවි දෙක,පොත පුස්තකාලයට භාර දෙන්නට කලින් පිටපත් කරගන්නට සිටියත් ඉතාම අවාසනාවන්ත ලෙස එය මග හැරී ගියා. ඒත් ඔහු ඒ එක් කවියක් අවසන් කර තිබුණේ Drift me to that country (ඒ දිවයිනට මා පාකර හරින්න) කියන වාක්‍යයෙන් බව නම් හොඳටම මතකයේ රැදුණා. රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇසුරු කරමින් මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වුණත් ඔහුගේ හදවත හා මනස තවමත් රැඳී තිබුණේ තමාගේ ළමා විය ගෙවී ගිය ලංකාවේ ඒ  පිටිසර ගම්මානයේ බවට ඊටත් වඩා කුමන වූ සාක්ෂියක් ද..?

මිය යන්නට පෙර ඔහු යළි තම මව්බිමේ පදිංචියට පැමිණි බව මහා බ්‍රිතාන්‍යයේ විද්‍යාර්ථින් ගැන තොරතුරු පළවන වෙබ් අඩවියක පළ වී තිබෙනු මා දුටුවත් ඔහුගේ අවසන් කාලය පිළිබද වැඩිමනත් තොරතුරු සොයා ගන්නට මට හැකි වූයේ නැහැ.

ජිනදාස විජයතුංග මහතාණෙනි, ඔබට නිවන් සුව…!

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ… සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමුදෝ…!

video-F.jpg

ලංකාවේ ජීවත් වෙන මගේ සමීපතම ඥාතියෙක්, මේ ගෙවී යන වසන්තයේ කෙටි සංචාරයකට කැනඩාවට ආවා. මලින් පලින් පිරුණු මේ වසන්ත සමයේ කැනඩාවේ තමන්ට අත්විඳින්නට ලැබුණු හැම අත්දැකීමක්ම හරිම  ආස්වාදයකින් රසවින්ත්, දවස සම්පූර්ණ වන්නට නම් තවත් එක් දෙයක් ඔහුට නැතිවම බැරි වුණා. ඒ ලංකාවේ රූපවාහිනිය, විශේෂයෙන්ම ප්‍රවෘත්ති විකාශය නැරඹීමයි. මා ජීවත් වන වැන්කුවර් නගරයත්, ලංකාවත් අතර පැය දොළහක පමණ කාල පරතරයක් තියෙන නිසා මගේ ඥාතියා වෙනුවෙන් වැන්කුවර් හි පිහිටි මගේ නිවසේ බොහොම වෙලාවට උදේට දවස පටන් ගන්නේත්, දවස අවසාන වෙන්නේත් ලංකාවේ රූපවාහිනී නාළිකාවක් විකාශය වෙන ගමන්. මගේ ඥාතියා බලන්නට පුරුදු වෙලා හිටිය එක් විශේෂ රූපවාහිනී නාළිකාවක් තිබුණා. ඒ නිසා නිතර දෙවේලේ මගේ නිවසේ විකාශය වුණෙත් කොම්බුවකින් පටන් ගන්න නමක් කියෙන මේ නාළිකාව තමයි. විකාශය ආරම්භ වුණු මොහොතේ පටන් දුරස්ථ පාලකයෙන් රූපවාහිනිය නිවා දමන කල්ම මේ නාළිකාව කොයි තරම් කන්දොස්කිරියාවක් ද කියනවා නම් මේ නාළිකාව විකාශය වෙද්දී පොතක් පතක් බලන්නවත්, අඩුම තරමින් වෙනත් කිසිම කාර්යයකට හිත යොදවනවා තියා ඒ ගැන හිතන්නටවත් බැහැ. ඒ නිසා ලංකාවේදීවත් රූපවාහිනිය නැරඹීම ඇබ්බැහියක් වෙලා නොතිබුණු මටත්, ලංකාවේ රූපවාහිනිය නැරඹීම මේ කාලය තුළ අනිවාර්ය අංගයක් බවට ඉබේටම පත් වුණා.

මේ නාළිකාවේ උදෙන්ම පටන් ගන්නේ පත්තර කියවිල්ල. පත්තරවල මුල්පිටුවේ ප්‍රවෘත්ති සිරස්තලය කියවන නිවේදකයා ඊට පස්සේ ඒ සිරස්තලය ගැන තමන්ගේ මතය කියවන්න සෑහෙන වෙලාවක් ගන්නවා. ප්‍රේක්ෂකයා කැමති වුණත්, නැතත් කිසිම ගැලවිල්ලක් නැහැ… මේ නිවේදකයාගේ දිග හෑල්ල මුළු රටම අහගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ කිසියම් ප්‍රවෘත්තියක් ගැන අපේ හිතේ කුමන ආකාරයක මතවාදයක් තිබුණත්, ඒ වගේම ප්‍රවෘත්තියට අදාළ කාරණාව සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබුණත්, ප්‍රවෘත්තිය ගැන ඔබ අහන්නට ඕනේ ඒ නිවේදකයාගේ මතයට යටත් වෙලයි. ප්‍රවෘත්තිය අරබයා ඔහු කරන නීරස කියවිල්ල තුළින් ඔහුගේ දේශපාලනය මෙන්ම ඔහුගේ චින්තනයේ දිග පළල හොදින්ම පැහැදිලි වෙන නිසා මේක හරියට මොනර නැටුමකට සමානයි. කොහොම වුණත් රටේ හැම ක්ෂේත්‍රයක් ගැනම ඉහළම විශේෂඥ දැනුමක් තමන් සතුව ඇතැයි නිවේදකයා හිතාගෙන ඉන්න එක ගැනත් එක අතකින් පුදුමයක් නැහැ. ඒකට හේතුව රටේ බොහොමයක් නිවේදක නිවේදකයන් විතරක් නෙමෙයි පත්තර පිටුවල දිග හෑලි ලියා දමන වාර්තාකරුවන් හැම දෙනාම වගේ ඉන්නේ ඒ විදියේ සිහින ලෝකයක හින්දා. කොහොමටත් මාධ්‍ය ආයතන හිමිකරුවන්ට රටේ ජන විඥානය ගැනවත්, ඔය කියන මොනම අංශයක් ගැනවත් මෙලෝ දැනුමක් නැති නිසා මේ සෑම මාධ්‍ය ආයතනයක්ම බඩ පිනුම් ගහන හිස් පඹයන්ගේ තෝතැන්නක් වෙන්න පටන් ගත්තේ අද ඊයෙක ඉදලා නෙමෙයිනේ.

නිවේදක හාදයාගේ පත්තර කියවිල්ලෙන් පස්සේ ප්‍රවෘත්ති පටන් ගන්නවා. මළ මිණී, අ‍දෝනා වලින් පමණක්ම පිරුණු මේ ප්‍රවෘත්ති විකාශය හරියට ජයරත්න මල් ශාලාවේ සජීවීව රූගත කරන මෙගා නාට්‍යයක් වගෙයි. මෙගා නාට්‍යයක් වගෙයි කියලා කිව්වේ හැමදාමත් විකාශය වෙන්නේ එකම මාතෘකා ටිකක්, එකම මූණත් තහඩු ටිකක් නිසයි. අදෝනාවන්, විලාපයන්, කෑගැසීම්, බැන අඬගැසීම් හැරුණාම වෙන කිසිම දෙයක් මේ මුළු ප්‍රවෘත්ති විකාශය තුළම නැහැ. පටන් ගත්ත මොහොතේ ඉඳන් අවසානය දක්වාම එකම කන්දොස්කිරියාවක්. ගත යුතු කිසිම හරවත් දෙයක් මේ මුළු ප්‍රවෘත්ති විකාශයේ කිසිම තැනක නැහැ. එක්තරා අවස්ථාවක පළිගැනීම සඳහා උණු වතුරෙන් පිළිස්සූ දියණියක් ගැන ප්‍රවෘත්තියක් මේ නාළිකාවේ විකාශය වුණා. ඉතාම සංවේදී වදන් යොදාගනිමින් මේ දැරිවියගේ පිළිස්සුණු අඟ පසඟ පෙන්වමින් මේ ප්‍රවෘත්තිය කොයිතරම් අභිරුචියකින් හා තලුමරමින් විකාශය වුණා ද කියනවා නම් ශිෂ්ට සම්පන්න කිසිම මිනිසෙකුට ඔක්කාරයකින් තොරව ඒ ප්‍රවෘත්තිය නරඹන්නට පුළුවන් වුණා යැයි මට හිතුණේ නැහැ. රටේ සිදුවන සාහසික අපරාධවල ගොදුරු බවට පත්වූ අහිංසකයන්ගේ මළමිණී බොහොම සමීප රූප ඉදිරිපත් කරමින් මේ ප්‍රවෘත්ති විකාශය තුළ දී වෙන්දේසි කෙරෙන ආකාරය හරිම අශ්ලීලයි. මළ මිණී ජවනිකාවෙන් පස්සේ තම නාළිකාවට පමණක් ලැබුණු අතිවිශේෂ ප්‍රවෘත්තියක් විදියට තවත් විගඩමක් දවසක්   පෙන්නන්න පටන් ගත්තා.ඒ රජයේ වෛද්‍යවරුන් බොහොම දෙනෙක් සයිටම් ආයතනයට විරුද්ධව වර්ජනයක නිරත වෙමින් ඉන්නා මොහොතක රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් ගැන ප්‍රවෘත්තියක්. මේ වෛද්‍යවරයා පසුපස මේ නාළිකාවේ මාධ්‍ය නඩය හඹාගෙන යන්නේ පොලිස් බල ඇණියක් වගෙයි. වෛද්‍යවරයා වටකරගත්ත මාධ්‍ය නඩය, සෙසු වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරතව සිටියදී තමන් පමණක් රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ ඇයි දැයි තර්ජනාත්මකව ප්‍රශ්න කරන්නේ මේ ලොව ඇති බිහිසුණුම අපරාධකරුවා ඔහු බවට පත්කරමින්. වෛද්‍ය සංගමයේ ඉහළ නිලධාරීන්  වැඩ වර්ජනය අතරතුර කිසිදු හිරිකිතයකින් තොරව පෞද්ගලික වෛද්‍ය සේවාවේ නිරතව සිටියදී මේ අහිංසක වෛද්‍යවරයා නොමිළයේ සිය සේවය අසරණ රෝගීන් වෙනුවෙන් ලබා දීම බරපතල වරදක් බවට පත් කොට ‍මේ මාධ්‍ය නාළිකාව ඔහු කෙතරම් පීඩනයකට පත් කළාද කියනවා නම් අවසානයේ දී වෛද්‍යවරයාට රෝහලේ දොරටුවෙන් එළියට පැන සිය ගණනක් රථ වාහන සැරිසරන ජනාකීර්ණ මහාමාර්ගය හරහා වීදියේ අනෙක් කොටසට දිව යන්නට සිදුවුණා. දිව යන වෛද්‍යවරයා පසුපස සිය කැමරාව හඹා ගිය මාධ්‍ය නඩය තමන් මහත් වීරකමක් කළාක් මෙන් මේ ප්‍රවෘත්තිය විකාශය කරන ආකාරය දකිද්දීත්, ප්‍රවෘත්තිය කියවන නි‍වේදකයා ඊට තවත් පිළිකුල් ඌන පූරණයක් සපයපු හැටියි දැක්කම ලංකාවේ අපි ජීවත් වෙන්නේ ශිෂ්ට ලෝකයෙන් කොයි තරම් සියවස් ගණනක් ඈතින් ද කියලා මට හිතුණා. මට හොඳටම අමාරුයි පුතේ… ඒත් අපි මැරුණත් කමක් නැහැ මේ වර්ජනයට අපිත් එකඟයි… ප්‍රවෘත්තියෙන් පස්සේ අවුරුදු අසූවක විතර රෝගී මාතාවක් නාළිකාවේ මයික්‍රෆෝනයෙන් රටටම ඇහෙන්නට කිව්වා. රට කරවන ඒ ව‍ගේම බලයට පොරකන දේශපාලකයන්ගේත්, සයිටම් පාලකයන්ගේත්, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේත් දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදත් අහිංසක රෝගී මව ගැන කිසිම පුදුමයක් නොසිතුණේ මුලු මහත් ලාංකීය සමාජයම චින්තනමය වශයෙන් රෝගීව ඔත්පල වෙලා ඉන්න මොහොතක මේ මහලු අම්මා පමණක් නිරෝගීව සිටින්නට කිසිම ඉඩකඩක් ති‍යෙන්නට හැකියාවක් නැති නිසයි. ඊට පස්සේ පටන්ගන්නේ දේශපාලකයන්ගේ බැන ඇඩගැසීම්වල වාරය. බලයේ ඉන්න. ඒ වගේම බලයට පොරකන නිලමැසි දේශපාලකයන්ගේ ගන්ධස්කාරය හැරුණාම , විදේශ කුමන්ත්‍රණ – බහු ජාතික අධිරාජ්‍යවාදී අතපෙවීම් වගේ හැමදාමත් පුරුදු වාග්‍‍කෝෂ‍ය,  උද්‍‍ඝෝෂණ, ප්‍රවෘත්ති සාකච්ඡා ‍මේ හැම ‍දෙයක්ම එකම ගාල‍‍ගෝට්ටියක් මිසක් නිස්කලංක‍යෙන් බලන්නට කිසිම ‍දෙයක් ‍මේ මුලු මහත් ප්‍රවෘත්ති විකාශය තුළම නැහැ. ප්‍රවෘත්ති අතරතු‍රේ දී ‍පෙරදා රැ‍යෙහි දී විකාශය වූ ‍දේශපාලන විවාදයක ‍කොටසුත් අතරින් පතර විකාශය ‍කෙර‍නෙවා. ‍පාරට වීසි කරපු මස් කට්ටකට ‍පොරකන අයා‍ලේ යන බල්ලන් රැළක‍ගේත්, ‍‍දේශපාලන විවාදයට සහභාගි ‍වෙන ආණ්ඩු පක්ෂ‍යේත්, ඒකාබද්ධ විපක්ෂ‍‍‍යේත්‍ ‍දේශපාලුවන් අතරත් කිසිම ‍වෙනසක් දකින්නට නැහැ. උසස් පෙළ අසමතුන් සියයකට වඩා ගරු ගාම්භිරව දියවන්නාවේ සැරිසරන මෙවන් වූ රටක අපේ මුලු ජීවිත කාලය තුළම ශිෂ්ට සම්පන්න දේශපාලන විවාදයක් ලංකාවේදී නම් දකින්නට ලැබෙන එකක් නැහැ.

හැමදාමත් විකාශය ‍වෙන ප්‍රවෘත්ති අඩු වැඩි වශ‍යෙන් ඔන්න ඔ‍හොමයි. පුදුමයට කාරණාව නම් උ‍දේට පත්තර කියවන්නත්, ප්‍රවෘත්ති කියවන්නත්, ‍දේශපාලන වැඩසටහන් ‍මෙ‍හෙය වන්නත් ‍මේ හැම ‍දේකටම හැමදාම ව‍ගේ දකින්න ඉන්‍‍නේ එකම නි‍වේදක හාද‍යෙක්. ඔය කියන වැඩ සටහන් වලට අමතරව ‍තරු පංති‍යේ ‍හෝටල්වල සහ රථ වාහන ගෙන්වා බෙදා හරින ආයතනවල මූල්‍ය දායකත්වයෙන් ඒ ආයතනවල ප්‍රචාරක ව්‍යාප්තියක් දියත් කරන අතරේ රටේ රජමහා විහාර සහ ගම් නියම්ගම්වලට කැමරාව අල්ලමින් අපේ සංස්කෘතික අනන්‍යතාවන් සිය ප්‍රචාරක අරමුණ වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවන මෙලෝ රහක් නැති වැඩ සටහනකුත් ‍මේ හාදයා ‍මෙ‍හෙයවනවා. මේ හාදයා හැ‍රෙන්නට ‍වෙනත් කිසිම නි‍වේදක‍යෙක් ‍මේ නාළිකාවට නැද්ද කියලා මට හිතු‍ණේ ‍කොයි ‍වෙලා‍වේ ‍‍‍මේ නාළිකාව ක්‍රියාත්මක කළත් ‍බො‍හොමයක් ‍වෙලාවට දකින්නට ලැ‍බෙන්‍‍නේ ‍මේ නි‍වේදකයාම පමණක් නිසයි. ‍සියල්ල දත් ‍මේ නි‍වේදකයා‍ගේ ඉමක් ‍කොණක් නැති හිස් පණ්ඩිත පල්හෑලි අහ‍ගෙන ඉන්දැද්දී මට හිතු‍ණේ මේ හාදයාට අවුරුද්දකට බලය දුන්‍‍නොත් රට නිසැක‍යෙන්ම සුරපුරයක්ම‍ ‍කරන්නට බැරි කමක් නැතිද කියලයි.

ප්‍රවෘත්ති වලින් පස්‍‍සේ ‍ටෙලි විගඩම් සමුදායක්ම විකාශය ‍කෙ‍රෙනවා. ‍මේ හැම වැඩසටහනක්ම ‍මෙ‍‍හෙය වන්නන් විතරක් ‍නෙ‍‍මෙයි සහභාගි වන ‍බො‍හොම ‍දෙ‍නෙකුත් එකම ‍කෝලම් මඩුවක ‍කෝලම්කරුවන් ව‍ගෙයි. කිසිම දවසක නම අසා නැති නළු‍වෙක් යැයි කියන නළු‍වෙකු ‍වේදිකාවට කැඳවපු නි‍වේදකයා ‍තවත් ‍කෙල්ලන් ‍දෙන්‍නෙක් සමඟ නටමින් ‍වේදිකාවට පිවිසි මේ ()ප්‍රසිද්ධ නළුවා‍ගේ බඩ අතාගමින්  ‍මොකද දැන් ‍මේ බඩ ඇවිල්ලා…? ”යැයි කියද්දී නළුවාද නටමින්ම නි‍වේදකයා‍ගේ බඩ අතාගාමින් ඇයි ‍මේ ඔයා‍ගේත් බඩ ඇවිත් ති‍යෙන්‍‍නේ යැයි කියද්දී එම වැඩසටහනේ සංගීතය මෙහෙවන ප්‍රසිද්ධ සංගීත ශිල්පියා ද හුනස්නෙන් නැගට සිය උදරයේ ප්‍රමාණය පෙන්වන්නට පටන් ගත්තා. මේ විදියේ ඔක්කාරය දනවන වැඩ සටහනකින් පස්‍‍සේ පටන් ගත්තේ පුංචි දරුවන්‍‍ගේ රියලිටි ‍ෂෝ එකක්. පහ වසර ශිෂ්‍යත්වයටවත් ‍පෙනී ‍නොසිටි බව නිසැක පුංචි දැරියක් , මගෙ හද ඔබෙ සුව යහන තමයි – ඔබ ‍සොයනා කළු ‍කෙල්ල මමයිගීතය ගායනා කිරීමෙන් පස්සේ ඒ වගේම තවත් පුංචිම දියණියකුත්, පුතෙකුත් පෙම් යුග ගීයක් ගයන්නට ගත්තා. අත් පටලා තුරු අතරින් දිව යමුදෝ…සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමුදෝ…පෙම් සැඳෑව මේ සුරඟනා ලොවේ… යහන්තලා වේවිදෝ මන්දා යැයි පෙම් යුග ගීය ගැයූ දරුවන් දෙදෙනාත් අවුරුදු අවුරුදු දහයට අඩු වයසේ වෙන්න ඕනේ.

රෙදි හැට්ට සරොම් ඇදගත් පුංචිම දරු දැරියන් පිරිසක්, රටක් වටින කෙනෙක් එක්ක මටත් හනික දීග යන්න – අනේ තාම ආවෙ නැහැනේ මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා ගීතය ගයමින් රඟ දැක්කුවේ ගීතයේ ඒ ඒ ජවනිකාවලට සුදුසු අංග චලන විදහා පාමින්.

විනිශ්චය මණ්ඩලයේ අපූරු පැසසුම් මැද්දේ දරුවන් වේදිකාවෙන් බහිද්දී ආඩම්බරයෙන් කැමරාවට හිස යොමන මේ දරුවන්ගේ දෙමව්පියන් දුටු මට සිතුණේ මෙවන් වූ දෙමව්පියන් ලද දූ දරුවන් කවර නම් වූ පෙර පවක් කරන්නට ඇති ද කියලයි. මාතෘත්වය හා පීතෘත්තවයේ උත්තරීතරත්වය හදුනා ගන්නට තරම් මානසිකත්වයක් දෙමව්පියන්ට නැති නම් අඩුම තරමින් මේ (උගත්) විනිසුරු මණ්ඩලයවත් මේ දැන් දැන් එය පහදාදෙනු ඇතැයි සිතුණත් විනිසුරු මඩුල්ලෙන් ලැබුණේ තවත් එවැනි පෙම් ගී ගයන්නට ඇරයුමක් පමණයි.  

මේ බහුරූ කෝලම් ගැන කතාබහක යෙදෙද්දී මගේ මිතුරෙකු මට කීවේ වෙනත් රටවලත් දරු දැරියන් වැඩිහිටි ගීත ගායනා කරන නිසා එවැන්නක වරද කුමක්ද යන්නයි. ඒත් මගේ මිතුරා කල්පනාවට නොගත් යමක් තිබුණා. ඒ සෑම රටකටම ඒ රටට සුවිශේෂී වූ සාරධර්ම හා සංස්කෘතික පද්ධතියක් තියෙනවාය කියන කාරණයයි. (රැකගගන්න තරම් සාරධර්ම පද්ධතියක් අද අපේ රටේ තියෙනවාද කියන ප්‍රශ්නයට නම් පිළිතුරක් නැහැ) විවාහයට පෙර ලිංගික සබඳතා යන්න බොහෝ බටහිර රටවල අතිශය සාමාන්‍ය දෙයක් වුණත් ලාංකීය සමාජ පසුබිම තුළ එවැන්නක් අනුමත වන්නේ නැත. දෙමාපිය දූ දරු සබඳතා යුරෝපීය සහ බටහිර රටවල මිනුම් දඬුවලින් අපේ රටවල මැනෙන්නේ නැහැ. ඒත් ඒ රටවල සමාජය ඉදිරියට ගමන් කරන්නේ තමන් යා යුතු ගමන කුමක්දැයි හොඳින්ම දැන හඳුනා ගෙන නිසා මේ වගේ කරුණු කාරණා අරබයා එවැනි රටවල සමාජ ගැටුම් ඇතිවන්නේ හරිම කලාතුරකින්. ඒත් ගමන කුමක්දැයි නොදැන අයාලේ අතපත ගාන අපේ සමාජය තුළ සියල්ල ඇත්තේ කණපිට පෙරළිලා. පෙබරවාරි දහ හතරවැනිදාට යෙදෙන වැලන්ටයින් දිනය උදාහරණයක් විදියට අරගෙන බලමු. බටහිර රටවල් බොහොමයක මෙන්ම මා ජීවත් වන කැනඩාවේ ද වැලන්ටයින් දිනය සමරන්නේ ආදරය ප්‍රකාශ කිරීමේ දිනයක් ලෙසින් මිස පෙම්වතුන්ගේ දිනයක් ලෙසින් නෙමෙයි. මේ නිසා දෙමව්පියන් දරුවන්ට, දරුවන් දෙමව්පියන්ට, සිසුන් ගුරුවරුන්ට, මිතුරෙකු සිය සමීතම මිතුරෙකුට වැලන්ටයින් කාඩ් පතක්, චොකලට් එකක් හෝ මල් කළඹක් දීම සිය සුහදත්වය එහෙමත් නැතිනම් ළෙංගතුකම ප්‍රකාශ කරන සාමාන්‍ය දෙයක්. ඒත් බටහිරින් එන සියල්ල කණපිට පෙරළාගෙන මතුපිටින් අතපත ගාන අපි වැලන්ටයින් දිනය සමරන්නේ පෙම්වතුන්ගේ දිනයක් විදියට විතරමයි. මේ නිසාම ඔය කියන සෑම නාළිකාවක්ම පාහේ වැලන්ටයින් දිනයේ සරාගී කෝච්චි සවාරි, සමාජ ශාලා රැඟුම් ගැයුම් සංවිධානය කරනවා. විද්යුත් මාධ්‍ය නාළිකාවල මේ බලපෑම නිසා වැලන්ටයින් දිනය ලාංකීය සමාජයට අද බරපතල පිළිලයක් වෙලා. වැලන්ටයින් දිනයේ දී සිය කන්‍යභාවය අහිමි කරගන්නා ලාංකීය ළාබාල දැරියන්ගේ සංඛ්‍යාව අතිශය ඉහළ අගයක් ගන්නා බවත් එය වසරින් වසර බියජනක ලෙසින් ඉහළ යන බවත් සමාජ සමීක්ෂණ වාර්තා හෙළිදරවු කරනවා. ඒත් එවැනි ගැටලුවක් බටහිර සමාජයට නැහැ. 

අන්තර්ජාලය වගේම ෆේස්බුක් ආදී වූ සමාජ මාධ්‍ය ජාලාත් බටහිර හා යුරෝපීය රටවල සමාජගත වන්නේ සමාජීය දැනුමක් ද එක්කයි. අන්තර්ජාල පරිහරණයේ දී සිය පෞද්ගලිකත්වය සුරක්ෂිත කරගන්නා අතරේම ඒවායේ හානිකර විපාකවලින් ගැලවෙන ආකාරය ගැන දරුවන් දැනුවත් වන්නේ පාසල්වල දෙවැනි තුන්වැනි පංතියේ ඉඳන්මයි. මේ නිසාම ඒ වගේ කරුණු කාරණා දියුණු රටවල සමාජ අර්බුදයක් බවට පත්වෙලා නැහැ. ඒත් අන්තර්ජාලය ගැනවත්, එහි භාවිතය ගැනවත් කිසිම ආකාරයක ක්‍රමානුකූල ඉගැනීමකින් තොරව ගෙඩි පිටින් එය වැළඳ ගන්නා ලාංකීය සමාජයට ෆේස් බුක් පවා අද සමාජ අර්බුදයක්. ෆේස්බුක් නිසා සිදුවූ සොරකම් හෝ කොල්ලකෑම් පමණක් නෙමෙයි,  ජීවිත හානි කරගැනීම් පවා ගෙවී ගිය වසර පහක කාලය තුළ දී අතිශය ඉහළ අගයක් ගෙන තියෙනවා. වෛද්‍ය සිසුවියන් පවා ෆේස්බුක් හේතුවෙන් සිය දිවි නසා ගන්නවා නම් වෛද්‍ය උපාධිය දක්වා ඔවුන් ලද අධ්‍යාපනයේ හරයක් තියෙනවාද..?

කටේ කිරි සුවඳ තවමත් හමන මේ දරුවන්ගේ පෙම් ගී අසද්දී මගේ හිතට එක්වරම ඇතුලු වූණු තවත් සිදුවීමක් නම්  පහුගිය සතියක මාධ්‍ය වාර්තාවකින් එළිදැක්වුණු මා තිගැස්සූ එක් කාරණාවක්. මේ වනවිට ලංකාවේ ළමා ගබ්සා වගේම, ළමා උපත්පාලන සංඛ්‍යාව අතිශයින් ඉහළ යමින් පැවතීමයි ඒ. මේ අවුරුද්දේ ගෙවී ගිය මාස කිහිපය තුළදී දිඹුලාගල කලාපයේ පමණක් වාර්තා වූ අඩු වයස් ගැබ් ගැනීම් සංඛ්‍යාව 23ක්. දිඹුලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණිය පෙන්වා දෙන ආකාරයට ගිය වසරේ දී පමණක් දිඹුලාගල කලාපයේ සිදුකළ උපත්පාලන සංඛ්‍යාව 527ක්. මේ වසරේ දී මේ වනවිට එවැනි උපත්පාලන සංඛ්‍යාවන් 52 ක් සිදු කරලා තියෙනවා. මෙයින් බොහොම දෙනෙක් පාසල් යන වයසේ පසුවන දැරියන්. මේ එකම එක ග්‍රාම නිලධාරී වසමක් විතරයි. රටේ සමස්ත තත්ත්වය ගත්තොත් එය අතිශයින්ම බිහිසුණුයි. ළමා වියේ කඩුල්ල තවමත් පැන නොගිය දරු දැරියන් උතුම් මාතෘත්වය සහ පීතෘත්තවය දැරීම තබා ඒ ගැන වැටහීමක් පවා ඇති කරගන්නේ කොහොමද…? මේ හේතුව නිසාම ඔය කිව්ව දිඹුලාගල විතරක් දෙමව්පියන් අහිමි වූ දරුවන්ගේ ගණන සියයකට වැඩියි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පෙන්වා දෙන තවත් බිහිසුණුම කාරණාව නම් තම දියණිවරුන්ට මේ උපත්පාලන සැත්කම්, ගබ්සා කිරීම්වලට අනුබල දෙන්නේ ඔවුන්ගේම මව්වරුන් වීමයි. තම දරුවන් රියැලටි ෂෝවලට යවා රටටම පෙනෙන්නට ඔවුන්ගේ ළමා මුවින් ශෘංගාරය වෑහෙන ගී ගයවන්නට හැකි දෙමව්පිය පරපුරක්  සිටින රටක අනාගතය කවර නම් වූ දිසාවකට පෙරළෙනු ඇතිද…?

දිගු කලකින් නොදුටු නිසා අසනීප වී සිටින තමා බලන්නට එන්නැයි තම දරුවන්ට ආයාචනා කරන පියෙකු තම ඡායාරූපය ද සහිතව තම දරුවන්ට ආයාචනා කරමින් කරන පුවත්පත් දැන්වීමක් රටේ ප්‍රධානතම ජාතික පුවත්පතක පළ වූයේ දින දෙක තුනකට පෙරදීයි. මාතෘත්වය සහ පීතෘත්වය සිල්ලරට ගිය යුගයක මින් පෙර නොදුටු මෙවන් දැන්විම්වලින් පුවත්පත්වල පිටු පිරෙන කාලය ළගාවන්නට තවත් වැඩි කාලයක් ගතවෙන එකක් නැහැ.

මේ විදියට නාළිකාවේ වැඩසටහන් ඔහේ ගලාගෙන ගියාට පස්සේ පටන් ගන්නේ ටෙලිනාට්‍ය මාලාවක්. මේකත් කෙළවරක් නැහැ. රාත්‍රියේ විකාශය වූ ටෙලි නාට්‍ය උදේ වරුවේ ආපහු ආපහු විකාශය කෙරනවා. ලොව සෑම ශිෂ්ට රටකම ප්‍රධාන රූපවාහිනී නාළිකාවල ගුවන් කාලය කියන්නේ අතිශය පරිස්සමින් පරිහරණය කරන සම්පතක්. මේ ගුවන් කාලය තුළ විකාශය කෙරෙන වැඩ සටහන්, නිවේදකයන්ගේ හැසිරීම් ප්‍රේක්ෂකයන්ගේ සෘජු විවේචනයන්ට ලක්වෙනවා පමණක් නෙමෙයි එම ආයතනවල අභ්‍යත්තරයේම ඇති පරිපාලනමය ව්‍යුහයක් මගින් දැඩි නිරීක්ෂණයකට ලක්වෙනවා. මේ නිසා ඉදිරිපත් කෙරෙන සෑම වැඩසටහනක්ම තරගකාරී පසුබිමක්මත ගුණාත්මකභාවයේ ඉහළින්ම සනිටුහන් කරන්නට එම වැඩසටහන්වලට දායක වන පිරිස වගබලා ගන්නවා. ඇමරිකාවේ ප්‍රධානතම මාධ්‍ය ජාලයක් වන ඒබීසී (ABC) මාධ්‍ය ජාලයේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ඩෑන් හැරිස් මෑතකදී ලියා පළ කළ 10% Happier නම් කෘතියෙන් සැබෑ මාධ්‍යකරණයක් උදෙසා ජනමාධ්‍යවේදීන්, රූපවාහිනී නිවේදකයින් කොයි තරම් පරිත්‍යාගයක්, කැපකිරීමක් කළ යුතු ද යන්න කදිමට විස්තර කරනවා. ඒ වගේම එම ජනමාධ්‍ය ආයතනවල කළමනාකාරීත්වය පවා ගුණාත්මකබවින් පිරිපුන් වැඩසටහන් නිර්මාණය කරවීමේ අරමුණින් කෙතරම් දැඩි පාලනයක් පත්වාගෙන යන්නේ ද ගැනත් ඔහු අපූරුවට විස්තර කරදෙනවා. මේ නිසා බටහිර හා යුරෝපීය රටවල නිර්මාණය වන වාර්තා වැඩසහටන් පවා අති විශිෂ්ටයි. ඒවායින් සිදුකරන සාධනීය සමාජීය බලපෑමත් හරිම ඉහළයි. එවැනි වාර්තා වැඩසටහනක් ලෙසින් නිර්මාණය වූ පසුව ලොවම සසල කළ සිනමා නිර්මාණයක් බවට පත් වූ Black Fish ඊට එක් නිදසුනක් පමණයි. එම වාර්තා වැඩසටහන සිහිබුද්ධියෙන් නැරඹූ කිසිම කෙනෙකුට දැවැන්ත මින් මැදුරු විතරක් නෙමෙයි සතුන් කූඩු කළ සත්ව උද්‍යානයක් පවා නරඹා කිසිම සතුටක් ලබන්නට බැහැ. මේ වාර්තා වැඩසටහන නැරඹීමෙන් ඇති වූ කම්පනය නිසා මතුවූ ජනතා විරෝධය නිසාම ඇමරිකාවේ අතිශය ප්‍රසිද්ධ මිරිදිය උද්‍යානයක් (Amusement Park)  වන Sea World හි එක් අංශයක් මුළුමනින්ම වසා දමන්නට සිද්ධ වුණා. ඒ වගේම මා ජීවත්වන වැන්කුවර් නගරයේ අතිශය ප්‍රසිද්ධ වැන්කුවර් මින්මැදුරේ පාලනාධිකාරිය විසින් ඩොල්ෆින්, තල්මසුන් වැනි විශාල ක්ෂීරපායින් නැවත එහි ගෙන නොඑන බවට ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් දුන්නා. විශිෂ්ට වාර්තා වැඩසටහනකින් කළ හැකි බලපෑම ඒ තරමටම ප්‍රබලයි. මේ වගේ උදාහරණ කෙළවරක් නැතිව කියන්නට පුළුවන්.

ඒත් රෑ පුරා කාලය කා දැමූ වැඩසටහන් යළි යළිත් උදයේ විකාශය කරමින්, ඉන්දියානු මෙගා පල්හෑලි වලට දෙබස් කවමින් පැය ගණනින් ප්‍රචාරය කරමින්, කිසිම බරක් හෝ මෙලෝ රහක් නැති වැඩසටහන් වලින් ගුවන් කාලය පුරවා දමන අපේ නාළිකාවලට, කුමක් හෝ පෙන්වා සිය අයිතිකාරයාගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් නාළිකාව පවත්වාගෙන යෑම මිස වෙනත් කිසිම අරමුණක් නැහැ. (මේ තත්ත්වය අපේ රටේ පුවත්පත්වලටත් එකසේම අදාළයි). අනෙක් අතට සාර්ථක වැඩසටහනක් නිර්මාණය කරන්නට තරම් දක්ෂයන් පිරිසකුත් ඒවා ඇතුළේ නැහැනේ.

මේ සියලු  ටෙලි විගඩම් අවසානයේ දී රූපවාහිනිය නිවා දැම්මාම දැනෙන්නේ පුදුමාකාර සහනයක්. හරියට මුරුගසන් වර්ෂාවක් වැහැලා පෑවුවා වගෙයි. මළ මිණී, අදෝනා, විලාප, බැන අඬගැසීම්, අංගම්පොර ආදී වූ සියලු සටන් කලාවන්ගෙන් අගතැන්පත් ලෝක සිතියමේ තිතක්වන් ලංකාවේ ප්‍රවෘත්ති විකාශය අවසන් කරලා, ලොව දෙවැනි විශාලතම රට වූ කැනඩාවේ ප්‍රවෘත්ති නරඹද්දී කොයි තරම් සංයමයක්, නිස්කලංකයක් තියෙනවාද කියන කාරණය අන්තිමේ දී මගේ ඥාතියාගේ මුවින්ම පිටවුණා. මේ කිව්ව කරුණු මං සඳහන් කරන නාළිකාවට විතරක්ම සීමා වූවක් නෙමෙයි. ලංකාවේ සෙසු නාළිකා කිහිපයකට චැනල් මාරු කර බලද්දී මට දකින්න ලැබුණේ සෑම නාළිකාවකම මේ කී කරුණු අඩුවැඩි වශයෙන් පවතින බවයි. ගංවතුර ව්‍යසනය මැද්දේ විගඩම් වැඩසටහන් ඉදිරිපත් කිරීම කොයි තරම් සදාචාරවත් ද කියලා ඇහුව ප්‍රේක්ෂිකාවකට, මගෙන් මුකුත් අහගන්න එපා යැයි කියන්නට තරම් නපුංසක වූ නිවේදකයන් රොත්තක් තමයි ඒවායිත් ඉන්නේ. (මේ නිවේදක නිවේදිකා රූකඩයන් අතර සැබෑ ලෙසින්ම උඩුගං බලා පිහිනන්නට උත්සාහ දරන අතිශය අතළොස්සක් වූ නිවේදක නිවේදිකාවන් පිරිසකුත් ඉන්න බව නොකිව්වොත් ඒක කුහක කමක්)

කොහොම වුණත් උදේ ඉඳන් සවස දක්වා නිතර දෙවේලේ මේ විදියේ අසහනකාරී රූපවාහිනී චැනල් ඇසුරේ හැදී වැඩෙන අපේ රටේ දරු පරපුර අනාගතයේ කොයි කවර ඉසව්වකට ගමන් කරාවිද කියන කාරණය හිතද්දිත් දැනෙන්නේ පුදුමාකාර තිගැස්මක්.

ඕනෑම ශිෂ්ට සම්පන්න දියුණු මාධ්‍ය සදාචාරයක් ඇති රටක සම්මුඛ සාකච්ඡා වාද විවාද මෙහෙයවන නිවේදකයෙකු කියන්නේ අඩුවෙන්ම කතා කරන වැඩියෙන් සවන් දෙන බොහෝ ඇසූ පිරූ චරිතයකට. ඒකට හේතුව නිවේදකයාගේ කාර්යභාරය විය යුත්තේ තමා ඉදිරිපිට සිටින මිනිසා කතා කරවීම මිස, තමන් තොරතෝංචියක් නැතිව දොඩමළු වීම නොවන හින්දා. ඒත් අපේම අවාසානාවකට අපේ නිවේදක පරපුර හඳුනා නොගත් එහෙමත් නැතිනම් ඉගෙන නොගත් මූලිකම පාඩමත් ඒකම තමයි.

ඒ විදියේ සැබෑ නිවේදක පරපුරක් ඇත්තටම අප සතුව හිටියත් අනූව දශකයේ අග භාගය වෙද්දී ඒ පරපුරේ නශ්ටාවශේෂයක් පමණක් එක්ක අද අහුරු ගනනින් ඉතිරි වෙලා ඉන්නේ පෙත්තප්පුලා ටිකක්.

මං ජීවත් වෙන කැනඩාවේ නිතර විකාශය වන අපූරු වැඩසටහනක් තියෙනවා. Hello Good Bye නම් වූ මෙම වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ ගුවන් තොටුපල වෙත පැමිණෙන හා පිටවෙන මගීන් හා දොඩමළු වෙමින් කරන සාකච්ඡාවලින්. ලෝකයේ කොයි කවර රටක වුණත් ගුවන් තොටුපළ කියන්නේ සතුට වගේම දුකත් එකසේ දරාගන්න තැනක්. ඒකට හේතුව ගුවන්තොටුපළ තුළ ඇත්තේ හමුවීම් සහ වෙන්ව්‍ම් පමණක්ම නිසයි. මේ වැඩසටහන හසුරුවන මාධ්‍යවේදියා එය කොයි තරම් අපූරුවට හසුරුවනවාද කියන එක බලා ඉන්න හරිම අපූරුයි. ඇත්තෙන්ම කියනවා නම් එම මාධ්‍යවේදියා මෙම වැඩසටහන තුළ කැපී පෙනෙන්නේ ඔහුගේ දොඩමළුකම නිසා නෙමෙයි. ඔහුගේ නිහඬකම නිසයි. ඉතාම සුළු වචන කිහිපයක් පමණක් භාවිත කරමින් තමන් ඉදිරිපිට සිටින තැනැත්තා හඬවන්නට වගේම ඔවුන්ගේ පෞද්ගලික ජීවන සබඳතා ඉස්මතු කර සංවේදී කරුණු කාරණා පිළිබඳව ඔවුන් දොඩමළු කරවීමට මේ නිවේදකයා සමත් වෙන්නේ බොහොම සීරුමාරුවට පාවිච්චි  කරන වචන දෙක තුනකින්.

ගුණාත්මක බවින් ඉහළ වූ ඉතා ඉහළ මට්ටමේ වාර්තා වැඩසටහන්, ගී වැඩසටහන් වගේම ටෙලි නාට්‍ය පවා අතීතයේ දී ජාතික රූපවාහිනිය ප්‍රධාන කොට ගෙන අයි ටී එන් නාළිකාවේත් විකාශය වුණා. ඒකට හේතුව හැකියාවක් මෙන්ම ඔළුවක් ද තිබූ පිරිසක් ඒවාට සමබන්ධ වෙලා හිටිය නිසයි. ඒ ගුණාත්මකභාවය එළෙසින්ම නැතත්,  එහි නෂ්ටාවශේෂ තවමත් ජාතික රූපවාහිනියේ ඉතිරිව තියෙන බව මං දැක්කේ මගේ ඥාතියා නරඹන රූපවාහිනී නාළිකාවෙන් හෙම්බත්ව වෙනත් නාළිකාවන් ගැන සොයා බලද්දියි. (ප්‍රවෘත්ති නම් නෙමෙයි; “ ප්‍රවෘත්ති කියන එකම නාළිකාවක්වත්, “ ප්‍රවෘත්ති පළ කරන එකම පුවත්පතක්වත් අද ලංකාවේ නැහැනේ. මෙතැනදී ප්‍රවෘත්ති කියලා අදහස් කළේ සැබෑ නිර්වචනයන්ම ප්‍රවෘත්ති මිසක් ලංකාවේ ජනමාධ්‍ය ප්‍රවෘත්ති කියලා අදහස් කරන පල්හෑලි නොවන බව අවධාරණය කරන්නට ඕනේ) එත් අද හැම නාළිකාවකම වගේම පිරිලා ඉන්න බොහොම දෙනෙක් හැකියාවෙන් වගේම ඔළුවෙනුත් හිස් වෙච්ච නඩයක් නිසා රූපවාහිනී කාලය කා දමන්නට යමක් පුරවනවා මිසක් මිනිසුන්ගේ හිස් පුරවන්නට යමක් එයින් ලැබෙන්නේ නැහැ. අනෙක් අතට මිනිසුන්ගේ හිස් පුරවන්නට නම් කලින්ම එයාලගේ හිස් පිරිලා තියෙන්න එපැයි. අඩුම තරමින් හිරිකිතයකින් තොරව ගීතයකට රූප රචනයක් කරන්නටවත් හැකියාවක් තියෙන පිරිස මේ නාළිකාවල ඉන්නවාද කියන කරුණ හරිම සැකසහිතයි. ටී. එම්. ජයරත්න නම් වූ ප්‍රවීණ ගායකයාගේ එක සිත දෙතැනක නතර වෙලා ගීතයට එක්තරා නාළිකාවක් කරපු රූප රචනයක් මට දකින්න ලැබුණා. මෙහිදී ගීතය පසුබිමන් යද්දී පෙම්වතියන් දෙදෙනෙකු අතරට මැදි වූ පෙම්වතෙකු මුලු ගීතය පුරාම දකින්නට ලැබුණා. මේ ගීතය තුන් කොන් ප්‍රේමයක් ගැන නෙමෙයි, දෙදෙනෙකු අතර ඇති ප්‍රේමයක් කියලා වටහා ගන්නට තරම් ඔළුවක් ඊට සහභාගි වූ කිසිම කෙනෙකුට තිබුණේ නැහැ. මෙවැනි ගීතයකට රූප රචනාවක් කරලා විකාශය කෙරෙන්නේ කණ්ඩායමකගේම සහභාගිත්වයෙන් මිසක් එක්කෙනෙක් දෙන්නෙක්ගේ අතින් නෙමෙයි. ගීතයට රූප රචනය කරපු තැනැත්තා, එය කැමරාකරණය කරපු තැනැත්තා, නිෂ්පාදනය කරපු තැනැත්තා, එහි පිටපත ලියා අධ්‍යක්ෂණය කරපු තැනැත්තා විතරක් නෙමෙයි අඩුම තරමින් එහි රගපෑ නළු නිළියන්ටවත් මේ සරල ගීතය වටහා ගන්න බැරි වීම හිතාගන්නවත් බැරි තරම් පුදුමයි. ඒ කියන්නේ මුලු ගීතයම රූප රචනය කරලා තියෙන්නේ ගීතයේ මුල් පේලි දෙක විතරක් අහලා. අඩුම තරමින් ගීතයේ තුන්වැනි හතරවැනි පද පේළි දෙකවත් ඇහුවා නම් මේ ගීතය තුන් කොන් ප්‍රේමයක් නොවන බව වටහා ගන්නට පහ හය වසරේ දරුවෙකුට වුණත් පුළුවන්. අඩුම තරමින් ගායකයාගෙන්වත් ඇහුවා නම් ඒ ගැන ඉගෙන ගන්න තිබුණා. මේ විදියේ හිස් ඔළුගෙඩි වලින් පිරුණත් මේ නාළිකාවල ශීර්ෂ පාඨ ඇහුනම නම් දෙපැත්තෙන්ම හිනා යනවා … People’s Channel, ශ්‍රී ලාංකීය අභිමානය, පවුලේ නාළිකාව, අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන…  මේ ටෙලිවිෂන් අලුත් කරන්න කාලයයි…

රෑපවාහින‍ී කැමරාව ඉදිරියට ගිහින් මූණත් තහඩුව අල්ලන්න කලින් අඩුම තරමින් ශිෂ්ට මාධ්‍ය ලෝකය තුළ නිර්මාණය වන වාර්තා වැඩසටහන් දෙක තුනක්වත් නරඹන්නට පුලුවන්නම් තමන්ගේ මාධ්‍ය භාවිතාව කොයි තරම් හිස් විලාපයක් ද කියන එක හදුනාගන්න ඔලුවක් ඇති කවර කෙනෙකුට වුණත් පුලුවන්. ලොවම කම්පා කළ සුනාමියේදී ලංකාවට පදනම් කරගනිමින් එකම මළමිනියක්වත්, එකම දුක් අදෝනාවක්වත් නොපෙන්වා එහි බිහිසුණු බව කදිමට හුවා දැක්වූ අතිවිශිෂ්ට වාර්තා වැඩසටහන් ලොව පුරා බිහිවූවත්, මළ මිණියකින් තොරව අඩුම තරමින් පැය භාගයක වාර්තා වැඩසහටනක්වත් නිර්මාණය කරන්නට අපේ රූපවාහිනී නාළිකා සමත් වුණේ නැහැ. බීබීසී ලෝක සේවය මගින් නිර්මාණය කළ Planet Earth නම් වූ වාර්තා වැඩසටහන් මාලාව ලොව අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය වන්නට බලපෑවේ එහි තිබූ තාක්ෂණික  කුසලතා හෝ ඒ වෙනුවෙන් වියදම් කළ මූල්‍ය සම්පත් හෝ නිසා නොවේ. එහි සාර්ථකත්වයට බලපෑවේ එම වාර්තා වැඩසටහන නිර්මාණය කළ පිරිස සතුව තිබූ ඉවසීම, ධෛර්යවන්තභාවය සහ අධිෂ්ඨානශීලීත්වයයි.

 

මෙතැනදී කෙනෙකුට හිතෙන්නට පුලුවන් මේ වගේ නිර්මාණ කරන්නට තරම් දැවැන්ත මුදලක් අපේ රටවලට තියෙනවාද කියලා. ඒක මුලුමනින්ම වැරදි සංකල්පනාවක්. ගුණාත්මකභාවයයි මුදලයි කියන්නේ එකට අත්වැල් බැද යා යුතුම කරුණක් නෙමෙයි. හැකියාව හා දක්ෂකම ඇති නම් ප්‍රාග්ධනය කියන්නේ තවත් එක් සරල සාධකයක් විතරයි. බැදුම්කර සොරාගෙන මාධ්‍ය කරවන අපේ රටට ප්‍රාග්ධනය කියන්නේ සරල දෙයක්. ඒත් හැකියාව හා දක්ෂකම නම් බැදුම්කර තියා මහ බැංකුව උකස් කරලාවත් ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි.

එක් හෝටලයකින් පිටවී තවත් හෝටලයකට ලගින්නට යන අතරේ හමුවන පන්සලක්, ගමක්, වැවක් වෙත කැමරාව අල්ලා මෙන්න අපේ රටේ සුන්දරත්වය යැයි පෙන්නවන අඳ බාල ළාමක නිවේදක පරපුරකට එවැන්නක මහිම වටහා ගන්නට පවා අසීරු බවට තර්කයක් නැහැ. ඊට දොසක් කියන්නටත් බැහැ… ඒකට හේතුව ඒ අය නියෝජනය කරන්නේ අපේ රටේ උගත්කම එහෙමත් නැතිනම් කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැති රැකියාවන් දෙකෙන් එකක් නිසා.  දේශපාලනය සහ ජනමාධ්‍ය කියන්නේ අපේ රටේ සුදුසුකම්, උගත්කම් හෝ දැනුම පළපුරුද්ද කියන කිසිම කරුණක් අදාළ නොවන රැකියා දෙකක්. මේ නිසා රස්සාවක් හොයා ගන්නට තරම් සුදුසුකමක්, දැනුමක්, පළපුරුද්දක් නැති කොයි කවර කෙනෙකුට වුවත් මේ ක්ෂේත්‍ර දෙකට එකතුවෙන්නට විතරක් නෙමෙයි එහි හිනිපෙත්තට නැගලා කර්තෘ සංසදයෙන් රන් කුසලාන දිනාගන්නත් හරිම පහසුයි. මේ ක්ෂේත්‍ර දෙකට සම්බන්ධ වෙලා ඉන්න පිරිස දැක්කම ඒ ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය වෙන්නේ නැහැනේ.

ඒත් කණගාටුම කාරණාව නම් මේ විදියට නූගතුන්ගෙන් පිරිලා ඉතිරිලා ඇත්තේ රටේ සමස්ත දිශානතිය හසුරුවන ප්‍රබලතම අංශ දෙක වීමයි. ඔපෙරා ශෛලියෙන් ගීයක් ගැයූ ගායිකාවක බැළලියකට සමාන කොට එවන් බැළලියකට දිය යුතු දඬුවම ගලකින් ගැසීම බව කීවේ ද මේ නාළිකාවේම තවත් හාදයෙකු බවත් මේ මොහොතේ මගේ මතකයට එනවා. රටේ කුණු ටික කළමනාකරණය කරගන්නට බැරි, මදුරු කීටයෙකු මෙල්ල කරගන්නට නොහැකි රටක පය තබාගෙන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන නන්දොඩවන වීරවංසයේ දේශපාලකයන් පරපුරක් අපිට උරුම වෙලා තියෙන්නේත් දේශපාලනයට සහ මාධ්‍ය කලාවට උගතුන් අනවශ්‍ය වීමේ ප්‍රතිඵලයක් විදියටයි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකින් විනාස කරන්නට තරම් රටක් අද අපිට ඉතිරි වෙලා නැහැ. තප්පුලන දේශපාලකයන් රැළත්, මාධ්‍ය යැයි කියන කොඩිවිණයත් ඒ විනාසය දැනටමත් සිදුකරලා හමාරයි.

අනෙක් පැත්තෙන් ගත්තම හොරකම, මංකොල්ලකෑම,  ස්ත්‍රී දූෂණය, රාජ්‍ය සම්පත් පවුලේ පරිහරණයට යොදා ගැනීම දේශපාලන සුදුසුකමක් ලෙසින් සලකන ජනතාවක් සිටින රටකට මෙවැනි මාධ්‍ය නාළිකාවන් තිබීමේ වරදකුත් නැහැ.  ඒකට හේතුව ගුණාත්මකභාවය, රසඥතාව කියන කාරණාව අපේ සමාජයෙන් මේ වනවිට නැත්තටම නැති වෙමින් යන හින්දා. රස වින්දනය කියන කාරණාව තමන්ගේ ජීවිතවලින් හිතාමතාම ඈත්කරගත්ත අති විශාල පිරිසකින් තමයි අද අපේ සමාජය හැදිලා තියෙන්නේ. මේ හින්දා උසස් වර්ගයේ පොතක් කියවලා රස විඳින්නට, උසස් සිනමා නිර්මාණයක් නරඹලා ඔළුවට යමක් ගන්නට හැකියාවක් ඇත්තේ අපේ සමාජයේ මිනිසුන්ගෙන් කීයෙන් කීදෙනාටද…? එවැනි පරපුරකට උසස් වර්ගයේ රූපවාහිනී වැඩසහටහන්, ඇසූ පිරූ ඇති නිවේදකයින්, කොටින්ම කියතොත් ශිෂ්ට මාධ්‍ය සම්ප්‍රදායක් හෝ සදාචාර සම්පන්න දේශපාලන සම්ප්‍රදායක් අවශ්‍ය වන්නේ කවර නම් කරුණකටද…?

මේ කාරණාව වටහා ගන්නට තවත් සරලම උදාහරණයක් මේ මොහොතේ දී මගේ මතකයට එනවා. සිය ජීවිත කාලයම ජනසන්නිවේදනය හැදෑරූ බව කියන.. එමෙන්ම අවුරුදු පහළොවකට අධික කාලයක් ජන සන්නිවේදනය විෂය උගැන්වූ බව කියන…ඒ වෙනුවෙන්ම බොහෝ පොතපත ලියා පළකළ,  ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක ජන සන්නිවේදන අංශය භාරව සිටි මහාචාර්යවරයාට සති කිහිපයකට පෙරදී විවෘත අධිකරණයේ සිය ගණනක පිරිස ඉදිරියේ වැද වැටී සමාව ගන්නට සිදුවුණා. ඇයි ඒ…? උගතුන් යැයි කියාගත් රටේ සෙසු ()ප්‍රබුද්ධ ආචාර්ය මහාචාර්යවරුන් පිරිස හා එක්ව කඩේ යාම වෙනුවෙන් දොළ පිදේනි බෙදා දෙන අතරේ දී තමන්ට ලැබුණු ජනමාධ්‍ය ආයතනයේ සභාපතිධුරය දරන කාලයේ දී සිදුවූ සිදුවීමක් වෙනුවෙන් වරද පිළිගැනීම නිසා ලැබුණු ඳඬුවමක් තමයි ඒ. ඉතින් කුමක් ද ඒ වරද…? පහුගිය මැතිවරණයේ දී මැතිවරණ නීතියට අනුව මාධ්‍යකරණයේ යෙදෙමු යැයි සේවකයන් තිදෙනෙකු කළ යෝජනාවට කුපිත වී බැන වැදී ඔවුනට පහරදීමයි ඒ. ජනසන්නිවේදනය සිය බඩ රස්සාව කරගත්, සරසවියක ජනසන්නිවේදන අංශය පවා භාරව සිටිමින් සිය දහස් ගණනකට ජන සන්නිවේදනය උගැන්වූ, පුවත්පත් පිටු පුරා ජනමාධ්‍ය සදාචාරය මෙසේ විය යුතුයැයි හඬගා කී මහාචාර්යවරයාගේ ජනමාධ්‍ය සදාචාරය මෙය නම් මුළු මහත් රටේම මාධ්‍ය සදාචාරය ගැන කවර නම් වූ කතාද…?

නන්නත්තාරේ යන මෙවන් හිස් නාළිකා මුලු මහත් රටක්ම අයාලේ යවද්දී එයින් සතුටු වන ප්‍රධානම පිරිස බලයේ සිටින සහ බලයට එන්නට පොර කන දේශපාලකයන් බවත් රහසක් නෙමෙයි. ඒකට හේතුව දැනුවත් පරපුරක් බිහිවුණොත් තමන්ගේ දේශපාලනයට යන එන මං නැති වන නිසා… බත් පැකට් එකට මැයි පෙළපාලියට ගෙන්වන්නට හැකි පිරිසක් නිර්මාණය නොවන නිසා… පවුල තර කිරීම පමණක් තම දේශපාලනයේ එකම පරමාර්ථය කරගත් ඊනියා ජනතා නායකයන්ගේ දේශපාලනයේ යථාර්ථය වටහා ගන්නට සමත් බුද්ධියක් ඇති මිනිසුන් පිරිසක් බිහිවීමේ අනතුරක් එයින් බිහිවන නිසා… විදේශ කුමන්ත්‍රණ, දේශ ප්‍රේමීත්වය, ජාතිකත්වය වගේ ලොමු දැහැගැන්වෙන වදන් භාවිත කරමින් ඡන්ද දායකයන් ගොනාට ඇන්දවීමට ඇති ඉඩකඩ අහිමි වී යන නිසා…

ඒත් රටේ බුද්ධිමතුන් කියාගත් පිරිස මේ ව්‍යසනය පෙනි පෙනී නිද්‍රාශීලීත්වයක සිටීම නම් කිසිසේත්ම අනුමත කරන්නට බැහැ. අනෙක් අතට බැලුවාම ජනතාවගේ පරම පූජනීය සහ අතිශය පෞද්ගලික අයිතියක් වූ ඡන්දය පවා දැමිය යුත්තේ කුමන පක්ෂයටදැයි ප්‍රසිද්ධියේ කියා පාමින් පුවත්පත් දැන්වීම්වලට පොරකමින් අත්සන් තබන ලොව කොයි කවර රටකවත් නැති වර්ගයේ අපූරු කලාකරුවන් සහ ආචාර්ය මහාචාර්යවරුන් නඩයකගෙන් එවැනි සද්කාර්යයක් ගැන හිතීමත් විහිලුවක්.

රටකට උරුම වන්නේ ජනතාවට බලාපොරොත්තු වන මට්ටමේ එසේත් නැතිනම් රටේ ජනතාවටම ගැලපෙන පන්නයේ දේශපාලකයන්ය; ඔවුනටම ගැලපෙන රූපවාහිනී නාළිකාවන්ය; නිවේදක නිවේදිකාවන්ය. පුවත්පත්ය.

වෙනසක් සිදුවිය යුතුනම් එය පටන් ගත යුත්තේ එසේත් නැතිනම් වෙනස් විය යුත්තේ ඒ රටේ ජනතාවයි.

වෙනස් වෙන්නට හීනෙකින්වත් නොසිතන ජනතාවක් සිටින රටක අමතක කරමු අපි මේ සියල්ලම…!

දුවේ පුතේ මව් ඇකයෙන් මිදී එන්න ගයන්නට පෙම් ගී… !

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ…සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමුදෝ…!

 

 

පිපුණු කුසුම පරවූවා

IMG_9765

ඒ සුන්දර උදෑසන මට කිසිදිනක අමතක නොවනු ඇත.

සුවිසල් පැසිෆික් සාගරයේ දිය රැළි මතින් සුදෝ සුදු පෙන කැටි විසුරුවාලමින් ගමනේ යෙදුණු සුවිසල් මගී නෞකාවක පියස්සේ වූ එළිමහන් වේදිකාවක මම ඒ මොහොතේ රැඳී සිටියෙමි.

හිමිදිරි වළාකුළු මතින් හිරු රැස් පෙරී ආවේ සයුරු රළ මත රන්වන් රටා මවමිනි.

වරින් වර රංචු ගැසී පියාඹා යන කුරුල්ලන්ගේ මිහිරි නාදයත්, ගමන ආරම්භ වූ මොහොතේ සිටම එක දිගට හමා ආ සිසිල් සුළං රැල්ලත් මගේ ගත මෙන්ම සිත ද එකසේ ප්‍රබෝධවත් කරමින් තිබුණේය.

මා ගමන් ඇරඹූ වැන්කුවර් නුවර පියස්ස අතරින් හිම කැටිති තැවරුණු කඳු මුදුන්වල දසුන පෙනී නොපෙනී යද්දී මගේ ගමනාන්තය වූ ඒ සුන්දර දූපත ඈතින් මතුව ආවේය.

මගීන් පමණක් නොව ඔවුන්ගේ රථ වාහන ද පටවාගෙන හෝරා දෙකක පමණ කාලයක් පුරා කළ යාත්‍රාවකින් පසු නෞකාව නතර වූයේ මගේ ගමනාන්තය වූ කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ වික්ටෝරියා නම් මනරම් දිවයිනේය.

නගරයේ වීදී පසුකර යමින් සරුවට වැඩුණු තුරුලතා අතරින් වූ නිසංසල මාවත දිගේ රිය පදවාගෙන යද්දී මගේ ගමනට බාධා කළ කළේ වරින් වර පාර පුරා දිව ගිය මුව රංචු පමණි.

ඒ සුන්දර දූපතේ හුදෙකලා ගම් පියෙසක පිහිටි පැරණි පන්නයේ අපූරු නිවහනක කවුළුවක් සමීපයේ වූ අසුනක වාඩි වී යමක් කුරුටු ගාමින් සිටි ඒ මිනිසා අවසානයේ දී මට මුණ ගැසුණේය.

ඔහු මහදුරු සිරි ගුනසිංහයන්ය.

ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ කිසිම අවස්ථාවක රාජකාරී කටයුතුවලදී ස්වාමීන් වහන්සේ කෙනෙකුට හැර වෙනත් කිසිවෙකුට වැද නමස්කාර කිරීමේ පුරුද්දක් නොතිබුණත් මේ මහා ප්‍රාඥයා ඉදිරියේ දී මා ඔහුට වැඳ නමස්කාර කළේ කිසිදු පැකිලීමකින් තොරවය. ඒ මා මේ ගමනට සහභාගි වූයේ ජනමාධ්‍යාවේදී කටයුත්තක් සිත්හි තබාගෙනම පමණක් නොවූ බැවිනි. කැනඩාවට පැමිණි දා සිටි ඔහු මුණ ගැසී දොඩමළු වන්නට බොහෝ කාලයක් පුරා බලාගෙන ද සිටි බැවිනි.

භාෂා ගණනාවක ප්‍රවිණයෙකු මෙන්ම ක්ෂේත්‍ර ගණනාවක මහා දැනුම් සම්භාරයකින් සන්නද්ධව සිටිය ද ඔහු මා සිතුවාටත් වඩා අතිශය සරල හා සුහද මිනිසෙක් වූයේය. ඉතිහාසය, කලාව, සාහිත්‍යය පමණක් නොව භාෂාව සම්බන්ධයෙන් ද එකසේ මහා දැනුම් සම්භාරයකින් පරිපූර්ණ වූ අපේ පරපුරේ අවසාන ජීවමාන පඬිවරයා ඔහු වූයේය.

ලොව කීර්තිමත් සරසවියක් වන කැනඩාවේ වික්ටෝරියා සරසවියේ  මහාචාර්වරයෙකු ලෙසින් වසර හතලිහක කාලයක් පුරා සේවය කළ ඔහු සිය ආදරණීය බිරිඳ ආචාර්ය හේමමාලී ද සමග නිදහස් විශ්‍රාම දිවියක් ගතකරමින් සිටියේ වික්ටෝරියා සරසවියටම යාබදව තිබූ නිවෙසකය. මා ඔහු හමුවූ මුල්ම දිනයේ එතුමන්ගේ නිවසට යාබද නිවසේ ගෙහිමියා මියගොස් තිබුණි. ගෙහිමියාගේ දරුවන් අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරන්නට ගෙට ගොඩ වූයේ ද අප දොඩමළු වෙමින් සිටි හෝරා කිහිපය අතරේදීය. එම හදිසි සාකච්ඡාව නිමවීමෙන් පසු හුනස්නෙන් නැගී සිටි ඔහු කිසියම් වූ කල්පනාවක නිරත වෙමින් කවුළුවට පිටතින් පෙනෙන එම නිවස දෙස බොහෝ වේලාවක් බලාගෙන සිටි ආකාරය මට තවමත් මතකය. ඒ දසුන බලාගෙන සිටි මට මෙවන් වූ පඬිවරයෙකු සත් සමුදුරින් ඈතින් පිහිටි මෙවන් වූ දූපතක තනිවී සිටිය යුතු ද යන්න සිතට නැගුණේ නිරායාසයෙන්මය. ඒ මොහොතේ මා සිත තුළ මතු වූ ඒ සිතිවිල්ල වචනයට පෙරළා ඔහුගෙන් අසා සිටිය නොහැකි තරමටම ඒ සිතිවිල්ල බලවත් වූයේය.

සැප පහසුකම් අතින් ඉහළම රටක මං ඉන්න බව ඇත්ත. ඒත් ඒක භෞතිකයි. මා තුළ තිබෙන පුරුද්ද නිසා මට ඒක ඒ තරම් වැදගත් නැහැ. ඒ නිසා මානසිකමය වශයෙන් මට ඒ තරම් තෘප්තියක් නැහැ. සිංහලෙන් ලියන්න , කියන්න, සිංහල පොත පත කියවන්න තවමත් මං පුරුදු වෙලා ඉන්නේ ඒ තෘප්තිමත් බව ලබා ගන්නයි. ඒ වගේම අවුරුද්දකට සැරයක් ලංකාවට ගිහින් පැරණි මිතුරන් හමුවෙන්නේත් ඒ හැගීමෙන්ම තමයි. ඒ අතීත සබදකම් හරහා ජීවිතය අලුත් වෙනවා.

ඔහු මහා ඇදුරෙකු වූයේ සිංහල හෝ සංස්කෘතික හෝ වෙනත් භාෂාවන් ගණනාවකට පමණක් නොවේ. ඉතිහාසය, සාහිත්‍යය, චිත්‍ර කලාව පමණක් නොව සිනමාව පවා ඔහු අතින් පෝෂණය වූයේය. මතුපිටින් අතගාමින් තිබූ සාහිත්‍යය ඔහු සිය මස් ලේ නැති ඇට තුළින් යථාර්ථවාදී තලයකට ගෙන ආවේය. ඔහු විසින් නිර්මාණය කළ එකම සිනමාපටය වූ සත් සමුදුර රාජ්‍ය සම්මානයෙන් පමණක් නොව ප්‍රේක්ෂක විචාරයකයන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වූයේය.  සිංහල භාෂාවේ න-ණ ල-ළ ‍භේදය ඉවත් විය යුතුය යන්න දැඩි සේ විශ්වාස කළ ඔහු වියපත් වූ පසු පවා භාෂාව සම්බන්ධයෙන් තිබුණේ හණ මිටි අදහස් නොව තාරුණ්‍යයෙන් සපිරි අදහස් සමුදායකි.

මුල් කාලයේ පත්තරයක් අරගෙන බලන්න. ඒ පත්තර භාෂාව අද පත්තරවල නැහැ. ඒ කියන්නේ භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒත් මිනිස්සු පිළිගන්නේ නැහැ භාෂාව වෙනස් වෙනවා කියලා. භාෂාවේ ස්වභාවය තමයි වෙනස් වීම කියන්නේ. ගොනා තන කයි කියලා කිවුවම ගොනා කන්නේ මොනවද කියලා ඕනම කෙනෙකුට තේරෙනවා.  උදාහරණයක් විදියට දැන් අපි කියනවා එයා ඇමතිතුමා වෙනුවෙන් කඩේ යනවා කියලා. ඔය කඩේ යනවා කියන එක භාෂාවේ වෙනස්වීමක් නේ. ඒක හරිම ප්‍රාණවත් රූපකයක්. ඒ ප්‍රාණවත් රූපකය ඇති වෙන්නේ නැහැ භාෂාවේ නිදහස නැති කළා නම්. භාෂාව වෙනස් වෙලා තියෙනවා , භාෂාව වෙනස් වෙමින් තියෙනවා , භාෂාව වෙනස් විය යුතුය කියන එක පිළිගන්න බැරි එක තමයි මෙතැන තියෙන මූලිකම දේ. ඔහු කීවේ බොහෝ සේ උදාහරණ දක්වමිනි.

මහාචාර්ය ගුනසිංහයන් සංස්කෘත කාව්‍යය කොයි තරම් රසවත්ව විග්‍රහ කරලා අපිට උගැන්නුවාද කියනවා නම් සාහිත්‍ය රසාස්වාදය ගැන ඉගෙන ගන්න අපට ආසාවක් ඇතිවුණේ ඔහු නිසයි මහදුරු සුචරිත ගම්ලත් වරෙක කී බව මට මතකය.

මහාචාර්ය පරණවිතානයන් මෙන්ම සීගිරියට සහ සීගිරි කවියට පෙම් බැඳි ඔහු සීගිරිය සම්බන්ධයෙන් මෑතකදී ද උසස් මට්ටමේ පොතක් ඉංග්‍රීසි බසින් ලියා පළ කළේය. තමන් ප්‍රවීණතාවක් දැක්වූ සෑම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම මහත් වූ ඥාන සම්භාරයකට උරුමකම් කී ඔහු ඉතා විශ්වාසයෙන්  යුක්තව ශක්තිමත් මතවාදයන් ගෙන හැර පාන්නට කිසිවිටෙක පසුබට වූයේ නැත. ඔහු විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද ලිපියක් සිංහලට පෙරළීමේ වාසනාව වරෙක මට හිමි වූ අතර එම ලිපිය මගින් පොළොන්නරුවේ පිහිටි පරාක්‍රමබාහු ප්‍රතිමාව නමින් ප්‍රචලිත පිළිමය අගස්ති සෘෂිවරයාගේ බවට වූ ප්‍රබල මතයක් ඔහු ගෙන හැර පා තිබුණේ ප්‍රාමාණික සාක්ෂි සාධක රැසක් මතුකරමිනි.

විචාර කලාවේ මෙන්ම යථාර්ථවාදී නිසදැස් කලාවේ පුරෝගාමියෙකු වූව ද ඔහු නූතන ලාංකීය කලාවේ සහ විචාර සම්ප්‍රදාය ගැන සිටියේ පැහැදීමකින් නොවේ.

විචාරය කියන එක ඕනෑම කෙනෙකුට කරන්න පුලුවන් කියලා හිතන එක තමයි ලොකුම වැරැද්ද වුණේ. මොකද ඹ්න කෙනෙකුට සිනමාපටයක් , සිංදුවක් හෝ පොතක් ගැන මොනව හරි ලියන්න පුලුවන්නේ. ඒත් විචාරය කියන එක වෙනමම ඉගෙන ගන්න ඕන විෂයක්. විචාරය කියන්නේ මොකක්ද යමක් විචාරය කළ යුත්තේ කොහොමද කියන එක ගැන ලංකාවේ සරසවිවලවත් උගන්වන්නේ නැහැ. එහෙම විෂයක් අපේ සරසවිවල නැහැ. ඒ කාලයේ තිබුණෙත් නැහැ. සාහිත්‍යය උගන්වනවා කියලා ඇත්ත වශයෙන්ම කළේ පොතේ ව්‍යාකරණය උගන්වන එකයි. කවි සිළුමිණ ගත්තොත් ඒක සරල බසින් කියලා දීලා ව්‍යාකරණ කරුණු සාකච්ඡා කිරීම තමයි සරසවිවල සිංහල සාහිත්‍යය උගන්වනවා කියලා එදත් කළේ. මම උනත් සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තේ ඔය විදියට තමයි. ඒත් එයින් පිට පැනලා සාහිත්‍ය කෘතියක කතාව නෙමෙයි සැබෑ සාරය සොයන්න අපට හැකියාව ලැබු‍ණේ විචාරය කියන විෂය ඉංගිරිසි භාෂාවෙන් හැදෑරුවට පස්සේ තමයි. ඒ වගේම මම හිතන්නේ 19 වැනි ශත වර්ෂයේ නෙමෙයි ඊටත් ඈත යුගයේ තිබුණු වාරණයක් තමයි අද ලංකාවේ තියෙන්නේ. කලා කෘතියකට අවම මට්ටමේවත් නිදහසක් අවශ්‍යයි. සිනමා පටයක සිගරැට්ටුවක් බිවුවා කියලා මිනිස්සු සිගරැට් බොන්න පුරුදු වෙනවද ?නොබොන මිනිහා කොහොමත් බොන්නේ නැහැ. මේ වාරණය කලාවේ දියුණුවට විශාල බාධාවක්.

සෑම විෂයක් කෙරෙහිම ඔහුගේ දැක්ම බොහෝ සේ තීව්‍ර වූයේය. රජෙකු එතැයි අප කොපමණ පැතුවත් එන්නේ හිඟන්නෝමැයි යනුවෙන් ඔහු ලීවේ සිය අබිනික්මන කාව්‍ය සංග්‍රය පළවූ 1958 තරම් ඈතකදීය. එය අදට පමණක් නොව ලංකාවේ අපට හෙට දවසේ ද තමත් යථාර්ථයක් වන්නේය. මේ කවි දෙපද මා ඔහුට සිහි කරද්දී ඔහු අද දවසේ අපේ රට ගැන පළ කළේ මෙවන් අදහසකි.

අද තියෙන ගැටළුව නම් වෙනස්කමක් කරන්න පටන් ගන්නේ කොතැනින්ද කියන එක නෙමෙයි වෙනස්කමක් පටන් ගන්න පුලුවන්ද කියන එකයි. පහුගිය අවුරුදු විස්සක කාලය ගත්තම මැතිවරණයෙන් මැතිවරණයට සමාජය පහතට ඇද වැටීම මිසක් ඉහළට යාමක් නම් සිදු වුණේ නැහැ. අඩුම තරමින් රටේ ආර්ථිකම දියුණුවක් හෝ තියෙනවා නම් අනිවාර්යයෙන්ම අනිත් අංශවලත් දියුණුවක් තියෙන්න ඕනේ. ලෝකයේ අනෙක් රටවල් ගත්තත් ආර්ථිකමය පදනමේ දියුණුවක් ඇතිවෙනවා නම් සමාජීය දියුණුවකුත් ඒ එක්කම ඇති වෙන්න ඕනේ. ලංකාවේ දේශපාලකයන් කියනවා නම් ආර්ථිකමය දියුණුවක් තියෙනවා කියලා ඒ අය රට දියුණු කරන විදියේ අඩුපාඩුවක් තියෙන්න ඕන. ඒකට හේතුව සමාජීය වශයෙන් එහෙම දියුණුවක් දකින්න නැති නිසා. අනිත් අතට එහෙම දියුණුවීමක් ඇති කරන්න සුදුසුකම් තියෙන මිනිස්සුත් ඉන්න ඕන නේ…!  මේ කඩා වැටීම පහුගිය අවුරුදු පනහ තිස්සේම හෙමිහිට සිද්ධ වුණා. අපේ රට තියෙන්නේ දේශපාලනමය වශයෙන් ඇද වැටුණු තැනක. දේශපාලනමය සහ ආර්ථිකමය වශයෙන් ඇද වැටුණු රටක අනිවාර්යයෙන්ම සිදුවන දේවල් තමයි අපේ රටේ සිද්ධ වෙන්නේ

ඔහු කෙතරම්ම උතුම් මිනිසෙකුද වූයේ ද යත් මා වැනි දුහුනෙකු විසින් ලියන ලද කෘතියක අත්පිටපතේ සෝදුපත් බලන්නට පමණක් නොව ඊට පෙරවදනක් ලියාදෙන්නට තරම් අතිශය නිහතමානී මිනිසෙකු වූයේය. එය සිදුවූයේ ඔහු තදින් අසනීපව සිටි මෙයින් මාස කිහිපයකට පෙරදී බැවින් ඔහු විසින් කියවන ලද අවසාන සිංහල අත් පිටපත එය වූවාට සැකයක් නැත.

සිය අවාසන කාලයේ දී ඔහුගේ දරු දැරියන්ට අමතරව ඔහුගේ සෙවණැල්ල මෙන් ළගින්ම සිටියේ ඔහුගේ ආදරණීය බිරිඳ ආචාර්ය හේමමාලිය. ජීවිතයේ අවසාන භාගයේ දී මහාචාර්යතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වරින් වර අයහපත් වෙමින් තිබූ පසුබිමක් යටතේ ඒ සියලු කටයුතුවල වගකීම භාරගෙන කටයුතු කළේ ඇයයි. තමන් සිංහල නවකතාවක් ලියමින් සිටින නමුත් එය ලියැවෙන්නේ ඉතා සෙමන් බව ඔහු මීට වසර කිහිපයකට පෙර මට කීවත් එම කෘතිය සැබවින්ම නිමා වූයේ ද යන්න මම නොදනිමි. 

ඔහුගේ අවසන් ඉල්ලීම මත අවසන් කටයුතු කෙරෙන්නේ ඉතා චාම්ව පවුලේ සමීපතමයන්ගේ සහභාගිත්වය මතය.

ඔහු අවසන් වරට හමුවූ අවස්ථාවේ දී නිවසින් පිටතට විත් මා රිය පණ ගන්වාගෙන ඔහුගේ ගෙමිදුලින් නික්ම යනතෙක්ම ඔහු බලා සිටි ආකාරය මට මේ මොහොතේත් මැවී පෙනෙන්නේය.

එතුමන් පිළිබද වූ ඒ සජීවී මතකය එලෙසින්ම මා සිත තුළ ඉතිරි කරගනිමින්, ඔහුගේ මේ නික්ම යාම දන්වාලමින් ආචාර්ය හේමමාලී විසින් මා වෙත එවනු ලැබ තිබූ ඊ මේල් ලිපියේ මාතෘකාවෙන්ම මෙම ලිපිය අවසන් කරන්නට මට අවසර; …. පිපුණු කුසුම පරවූවා.

 මහඇදුරුතුමනි ඔබට නිවන් සුව!

තාරකා පෙළින් එහා

 

man-universe2

බොහොම කාලයක ඉඳන් දැන හඳුනා ගෙන හිටිය මගේ මිතුරියකට සිය එකම පුතාත්, සැමියාත් එක්ක බටහිර රටක ස්ථිර පදිංචියට වීසා ලැබුණා.

 

බොහොම සතුටින් මේ ආරංචිය දුරකථනයෙන් මට දන්වපු ඇය මගෙන් එක උදව්වක් ඉල්ලලා හිටියා.

 

ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්නට යන මේ ගමන වෙනුවෙන් නිවසින් පිටත්ව යන්නට හොඳ නැකතක්  සකස් කර ගන්නට ඇයට උවමනා වුණා. ඒ වෙනුවෙන් සුදුසු ජ්‍යොතිර්වේදියෙකු සොයා දෙන්න කියලයි ඇය මගෙන් ඉල්ලලා හිටියේ.

 

තනිව තීරණ ගන්නා වයසට ආවට පස්සේ ජීවිතයේ කිසිම කටයුත්තකට අඩුම තරමින් විවාහයටවත් නැකැත් බලලා නැති නිසා මේ කාර්යයට සුදුසු පුද්ගලයා මා නොවන බව මං ඇයට කාරුණිකව පහදලා දුන්නා.

 

ඔයා වැඩ කරන්නේ පත්තරේනේ. ඉතින් ඔයාට පුළුවන්නේ ඔය ගැන දන්න කියන කෙනෙකුගෙන් අහලා මට ඒ උදව්ව කරලා දෙන්න ඇය මට එයින් ගැලවෙන්නට ඉඩක් දුන්නේ නැහැ. මා සේවය කරමින් හිටිය පුවත්පතේ ඒ දවස්වල සතිපතා පිටු හතරක ජ්‍යොතිෂ අතිරේකයක් පළවුණු නිසා ඒ අතිරේකයේ සංස්කාරක හිතවතාගෙන් (ඔහු අද ප්‍රධාන ජාතික පුවත්පතක කතුවරයාය) මං ඒ ගැන විමසීමක් කළා. අන්තිමේ දී ඔහු විසින් රෙකමදාරු කරනු ලැබූ දෛවඥයකුගෙන් දිනයක් හා වෙලාවක් ඉල්ල ගත්ත මං ඇයට ඔහු වෙත යොමු කළා. (මේ දෛවඥයා වෙන කවරෙකුවත් නෙමෙයි,  අධ්‍යාත්මවේදියෙකු විධියට තමන්වම හඳුන්වා ගෙන මුළු මහත් රටක්ම බොරුවෙන් මුළා කරලා පසුගිය ජනාධිපතිවරණයේ දී ‍වෙඩි තියා‍ගෙන මැ‍රෙන්නත් ගිය චරිතයක්). 

 

මේ සිද්ධිය වුණේ අදින් අවුරුදු 15 කට විතර කලින්. ඒ කාලයේ දී මේ තැනැත්තා රටේ කවුරුත් දන්නා හඳුනන චරිතයක් වුණේ නැහැ. ඒ කාලයේ ඔහු වාසය කළේ නුගේගොඩ මෙල්ඩර් පෙදෙසේ පොඩි කුලී ගෙදරක.

 

දෛවඥයා හමුවෙලා ඔහුගේ කතා බහට බොහොම පැහැදීමට පත්වෙලා හිටිය මගේ මිතුරිය ඔහු සාදා දුන්නු නැකැතට අනුව සිය ආදරණීය පවුලත් එක්ක විදේශගත වුණා.

 

එයින් පස්සේ වරින් වර අප අතර ඉඳහිට ඊ මේල් පණිවිඩ පමණක් හුවමාරු වුණත් විදෙස් ගතවෙලා වසර පහකට විතර පස්සේ එක්තරා දවසක ඇය මට හදිසියේම දුරකථනයන් ඇමතුවා. සාමාන්‍යයෙන් හැම මොහොතකම වගේ ඇය තුළ තිබුණු උද්යෝගිමත් ස්වභාවය ඒ මොහොතේ ඈ තුළ තිබුණේ නැහැ. බොහොම විඩාපත් කටහඬකින් කතා කරපු ඇය මෙතෙක් මට නොකිව්ව කතාවක් මට කිව්වා. නැකැත හදලා දුන්නු වෙලාවේ මේ කියන දෛවඥයා කිව්ව අනාවැකියක් ගැනයි ඒ. (මේ හාදයා අනාවැකි කියන්න ගත්තේ ඡන්ද කාලේ විතරක් නෙමෙයි එහෙනම්). අනාවැකියට අනුව අවුරුදු පහක කාලයක් ඇතුළත දී ආපහු මව්බිමේ පදිංචියට ආවේ නැතිනම් අවුරුදු පහ අවසානයේ දී බරපතල විපත්තියකට මුහුණ දෙන්නට ඒ පවුලට සිදුවන බවයි ඒ. සුබ නැකැත ගැන විතරක් අවධානය යොමු කරපු නිසා මේ අනාවැකිය ගැන එදා ඒ තරම් දුරට හිතුවේ නැතත් මේ වනවිට පාසලේ උසස් පංතිවල ඉගෙනුම ලබමින් සිටින ඇගේ පුතණුවන් ඉක්මනින් කෝපයට පත්වෙමින් සිය සැමියාත් එක්ක වරක් දෙවරක් උණුසුම් වචන හුවමාරුවක පැටලී තිබීම නිසා ඇය බොහොම කලබල වෙලා තිබුණා. දෛවඥයාගේ අනාවැකිය සත්‍ය වෙන්නට යන්නේය යන අදහස ඇගේ හිතේ තදින්ම පැළපදියම් වී තිබුණා. මේ කියන දෛවඥයා මට රෙකමදාරු කළ මගේ මිතුරු ප්‍රවීණ පුවත්පත්කලාවේදියා එක්ක පත්තරේ වැඩ අතරවාරයේ දී කිහිප වරක්ම මාත් ඔහුව මුණගැසී තිබුණු හින්දා ඔහු බොරු කයිවාරුකාරයෙකු පමණක්ම බව අපි දෙන්නාම වටහා ගෙනයි හිටියේ. ඒ නිසා මගේ මිතුරා තමන්ගේ ජ්‍යොතිෂ අතිරේකයට ඔහුගේ ලිපි පළ කිරීම පවා නතර කරලයි තිබුණේ. මේ කතාව මගේ යෙහෙළියට පහදලා දුන්නු මං ඔහු කිව්ව කිසිම දෙයක් බැරූරැම්ව සිතට ගන්නට එපා කියලා කාරුණිකව කිව්වා. ඒ වගේම ගැටවර වියට ආසන්නව ඉන්න ඇගේ පුතණවන්ගේ ඉක්මනින් තරහ යන ස්වභාවය අතිශය සාමාන්‍ය දෙයක් බව ඇයට කොයි තරම් පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කළත් ඔහුගේ අනාවැකිය ඇගේ සිතින් පහව ගොස් තිබුණේ නැහැ. ඇය මගෙන් උදක්ම ඉල්ලලා හිටියේ මේ දෛවඥයා නැවත හමුවෙලා මේ ගැන පිළියමක් විමසන ලෙසයි. මෙය අතිශයින්ම අප්‍රසන්න කටයුත්තක් විදියට මට දැනුණු හින්දා ඒ ගැන මග හැරෙන විදියට ඇය සනසන්නට සුළු වේලාවක් කතාබහ කළා මට මතකයි. ඒත් මං අන්දමන්ද කරමින් ඊට සුළු මොහොතකට පස්සේ ඊ මේල් පණිවිඩයකින් ඇගේ හඳහන් පිටපත පමණක් නොවෙයි මේ කටයුත්ත සඳහා යන වියදම පවා ඇය මට එවලා තිබ්බා. දෛවඥයාගේ මේ අනාවැකිය ඇගේ ජීවිතය කොයි තරම් බරපතල විපර්යාසයකට ලක් කරලා තියෙනවා ද කියන එකත්, මේ කරුණින් මග හැර යන්නට දැන් ම‍ට කිසිම ඉඩක් නැති බවත් ඒ මොහොතේම මට වැටහුණා.

 

මෙම දෛවඥයා මේ වනවිට සුදෝ සුදු පිරුවට ඇඟ දවටා ගෙන අධ්‍යාත්මවේදියෙකු ලෙස තමන්වම හඳුන්වා ගනිමින් රූපවාහිනී නාළිකාවන් ඔස්සේ ජනප්‍රිය තාරකාවක් බවට පත්වී මුළු රටටම ඇස් බැන්ඳුම් පෙන්වන අපූරු චරිතයක් ‍වෙලයි තිබු‍ණේ. නුගේගොඩ කලින් හිටපු පුංචි කුලී නිවස වෙනුවට දැන් ඔහු ඉන්‍‍නේ තමන්‍‍ගේම ‍වෙච්ච අතිශයින්ම  සුඛෝපභෝගී දැවැන්ත මන්දිරයක. අප යන ‍මො‍හො‍තේ දීත් ‍මේ මන්දිර‍යටම අයිති යැයි කියලා හිතන්න පුළුවන් සුඛෝපභෝගී රථ කිහිපයක්ම ‍ගෙදර ගරාජ‍යේත් එළි‍යෙත් නවතලා තිබුණා. මේ තැනැත්තා මාව දන්නා හඳුනන නිසා ඔහුගේ මන්දිරයට පෙනෙන නොපෙනෙන දුරකින් මගේ රථය නවතාගෙන ඉන්දැද්දී ම‍ගේ මිතුරිය‍ගේ කේන්දර පිටපතත් අරන් ඔහු හමුවන්නට ගි‍යේ ම‍ගේ තවත් මිත්‍රයෙක්. තමන් කියන ඵලාපල කැසට් පටයකට ටේප් කර දෙන්නට සිය ගාස්තුවට අමත‍රම තවත් රුපියල් දස දහසක මුදලක් ගෙවිය යුතුව තිබූණත් ‍මේ තැනැත්තා බොරු කාරයෙකු බව මගේ මිතුරියට පහදා දෙන්නට වෙනත් මගක් ‍නොවූණු නිසා ඒ මුදල ගෙවලා කැසට් පටයට සියල්ල පටිගත කරගන්නා ‍ලෙස මං ම‍ගේ මිතුරාට කලින්ම කියලයි තිබු‍ණේ. කේන්දර පිටපත දුන්නු සැනින් එය පරීක්ෂා කර බැලුව ‍මේ අපූරු  අධ්‍යාත්මවේදියා මගේ මිතුරාගෙන් මුලින්ම අසා තිබුණේ කේන්දරය හිමි තැනැත්තිය පසුවන්‍නේ අසනීපයෙන් ‍නේද කියලයි. මගේ මිතුරාත් එය අනුමත වන විදි‍යේ අංග චලනයක් දක්වලා තිබුණා. එයින් ඔබ්බට ගිය අධ්‍යාත්මවේදියාගේ දෙවැනි පැනය ‍වෙලා තිබුණේ මගේ මිතුරිය සිහි මද ගතියකින් පෙළෙනවා නේද යන්නයි. මගේ මිතුරාගේ දෙතොල් මත මද සිනහවක් මැවෙද්දී සිය අනාවැකිය නිවැරදි යැයි හිතුව ඔහු දිගට හරහට‍ බරසාර ‍ජ්‍යොතිෂ වදන් යොදමින් පැය භාගයක කාලයක් පුරාම මගේ මිතුරියගේ සිහි මද ගතිය ඇති‍වෙන්නට බලපෑ රාහු ‍කේතු සං‍‍යෝගයන් ගැනත් ‍මේ අපලය නැති කරන්නට කළ යුතු පිළියම් ගැනත් කරන විවරණය ආපසු එන ගමනේ දී වාහනයේ ටේප් රෙකෝඩරය තුළින් අහමින් අපි ‍කොළඹට රිය පදවා ‍ගෙන ආ‍වේ සිනා සාගරයක ගි‍ලෙමින්. ඒත් ‍මේ ව‍ගේ මිනිසුන් මුළු රටම මුලාවට ලක්කරමින් කරන ‍බොරුවත්, ඕනෑම පාදඩ‍‍යෙකු එක රැයකින් ජනප්‍රිය කරන් අ‍‍පේ අවිචාර මාධ්‍ය කලාවත් ගැන ඇතිවුණු පිළිකුලත් ඒ මුළු කාලය පුරාම අ‍පි ‍දෙන්නා‍ගේ හිත්වලින් ගිලිහිලා ගි‍යේ නැහැ. ‍බොරුකාර‍යෙකුට රැවටී විදෙස් ගතවූ දා සිටන්ම තමන්‍‍ගේ හිත පෙළූ ව්‍යාජය හා මායාව මගේ මිතුරිය වටහා ගත්තේ කැසට් පටය ශ්‍රවණය කිරීමෙන් පසුවයි. (අධ්‍යාපනයෙන් ඉහළම සමත්කම් දක්වපු ඇගේ පුතණුවන් සිය දෙමව්පියන්ගේ ද ආශිර්වාදය ඇතිව ලාංකික යුවතියක හා විවාහ වී මේ වනවිට ඉතා යහපත් පවුල් දිවියක් ගත කරන අතරම මගේ මිතුරිය හා ඇගේ සැමියා ද සතුටු සහගත නිදහස් පවුල් දිවියක් ගත කරන්නේය).

 

මේ කියන්නට යන්නේ තවත් එවැනිම වූ පෞද්ගලික සිදුවීමක්. මේ කතාවේ ද කතා නායකයා ස්ථිර පදිංචියට සිය පවුලද සමග විදෙස්ගත වන්නට අවස්ථාව ලැබූ මගේ සමීපතම මිතුරෙක්. තරුණ වයසේ පසුවූ නීතිඥයෙකු වුණත් ජ්‍යොතිෂය හා නැකැත් ගැන දැඩි විශ්වාසයක් තිබූ ඔහුටත් අවශ්‍ය වූ‍ණේ විදෙස්ගත වන්නට සඳහා සුදුසු නැකැතක් බලා ගන්නටයි. ඔහු ම‍ගෙන් ‍මේ ඉල්ලීම කරද්දී කලින් කිව්ව මිතුරියගේ කතාවේ අවසන් කොටස සිදු‍වෙලා නොතිබුණත් ඇය විශ්වාසය තැබුව අධ්‍යාත්මවේදියා බොරු කාරයෙකු බව තහවුරු ‍වෙලා තිබුණා. ඒත් ම‍ගේ මිතුරා එයින් දුර්මුඛ වූ‍ණේ නැහැ.

 

ඔයාලගේ පත්තරේට ලග්න පලාපල ලියන ප්‍රසිද්ධ අය ඉන්නවානේ. මට එහෙම කෙනක් ලැහැස්ති කරලා දෙන්නකෝ මට ඔහුගෙන් ගැලවීමක් ලැබුණේ නැහැ. රාහු කාලය, නැකැත් පසුපස්‍‍සේ නොයා ගුවන් ගමන යෙදී ඇති වේලාවට අනුව තමන්ගේ පහසුව බලලා නිවසින් පිටත්ව යන්නැයි ඔහුගෙන් ඉල්ලීමක් කළත් ඔහුගේ ඇවටිල්ල බලවත් වුණා. ‍මේ නිසා මං සේවය කළ පුවත්පතට පමණක් ‍නෙ‍වෙයි තරගකාරී තවත් ඉතාම ප්‍රසිද්ධ සිංහල පුවත්පතකට ලග්න පලාපල සහ ජ්‍යොතිෂ ලිපි ලියන ප්‍රසිද්ධ තැනැත්තෙකු මා ඔහුට සම්බන්ධ කර දුන්නා. මහලු වියට ළංවෙමින් හිටිය මේ කියන දෛවඥයා ඉහළ අලෙවියක් ඇති ජ්‍යොතිෂ පොත් සෑහෙන ගණනක් ප්‍රකාශයට පත් කර තිබූණු තැනැත්තෙකු පමණක් නෙමෙයි තමන්ගේ නමින් ජ්‍යොතිෂ කටයුතු කරන විදෙස් ශාකාවක් හෝ දෙකකුත් ඔහු සතුව තිබුණා. මිතුරා මගේ සමීපතමයෙකු වෙච්ච නිසා මේ ගමනට එක්වන්නට ඔහු කළ ඉල්ලීම ඉවතලන්නට මට හැකිවුණේ නැහැ. මේ කියන දෛවඥයා තමන්ගේ කාර්යාලය පවත්වා ගෙන ගියේ මරදානේ. නියමිත වේලාවට ඔහුගේ කාර්යාලයට ගොඩ වැදුණාට පස්සේ මගේ මිතුරා සිය හඳහන් පිටපත ඔහුට පිරිණැමුවා. අප ආ කාරණය මුලින්ම නොකියන්නට මා මගේ මිතුරා ගිවිස ගෙන හිටිය නිසා කේන්දර පිටපත පරීක්ෂා කරන්නට දෛවඥයාට ඇති තරම් කාලය දෙමින් අපි නිහඬව හිටියා.

 

මේ කේන්දරය අනුව පවුලේ අවුල් ඇතිවන එක වළක්වන්න බැහැ. මේ තත්ත්වය තව මාස කිහිපයක්ම තියේවි.ග්‍රහයන්ගේ නීචවීම් සහ උච්ච වීම ගැන පැහැදිලි කරමින් ඔහු කටහඬ අවදි කළේ එහෙමයි. දිගින් දිගටම සිදුවන ඔහුගේ කතාව අතරේ මිතුරාත් මාත් අන්දමන්ද වුණේ ඉතාම සාර්ථක පවුල් දිවියක් ගත කරන ඔහුට එවැනි ගැටලුවක් කිසිදා කිසිවිටෙක මතුවෙලා තිබුණේ නැති හින්දයි.

 

පවුල් අවුල් කරන ග්‍රහයන් ගැන හරබර විස්තරයක් ඔහු අපට කිව්වේ කේන්දරය දිහා බලාගෙන ද නැතිනම් අපි දෙන්නාගේම තරුණ වයස දිහා බලලා  කේන්දරය බලන්න එන්නට ඇතැයි ඔහු අනුමාන කළ හේතුව ගැන හිතලද කියන එක මට හිතාගන්න බැහැ.  කොහොම වුණත් ඔහුගේ මේ විස්තරය මට මහත් සේ විනෝදයක් ගෙන දුන්නු නිසා මිතුරාට දරු ඵල නැතිදැයි මං ඇහුවේ ඔහු සුරතල් දියණියන් දෙදෙනෙකුගේම ආදරණීය පියෙකු වුණු නිසයි. මේ ග්‍රහ පිහිටීම අනුව නම් ඒකට තව කාලයක් බලාගෙන ඉන්න වෙනවා , කිව්ව ඔහු ඒ වෙනුවෙන් කළ යුතු ග්‍රහ පූජාවක් ගැන ද සඳහන් කළා මතකයි. මේ සිදුවීම් දාමය නුරුස්සන සිතින් බලාගෙන හිටපු මගේ මිතුරා, මං රට යන්නයි ඉන්නේ. මට ඒකට අවස්ථාවක් තියෙනවා ද? කියා ඇහුවේ දෛවඥයාගේ ග්‍රහ අපල පූජාවට බාධා කරමින්. ආපහු සැරයක් කේන්දරයට එබිලා බැලුව ඔහු  කීවේ එවැනි බලාපොරොත්තු ඇතිනම් අත හැර ගන්නා ලෙසයි. ග්‍රහ පිහිටීම් අනුව විදෙස් ගතවීමේ ඉඩකඩක් නැතැයි කිව්ව ඔහු අවුරුද්දකුත් මාස කිහිපයක කාලයක් ඇතුළත දී ග්‍රහ පිහිටීම් යළිත් හොඳ මට්ටමකට ළඟා වන නිසා පවුල් අවුල් කෙරෙහි සිත කරදර කරගෙන විදෙස් ගත වීමට උත්සාහ ගැනීමේ තේරුමක් නැති බවත් අවවාද අනුශාසනා දුන්නා. ඔහුගේ ගාස්තුව ගෙවා දමලා රථ වාහන ඝෝෂාව පිරිණු මරදාන මංසන්ධියට පිවිසිලා වාහනය නතර කර තිබුණු ස්ථානයට යනතෙක්ම අපට කතා කරන්නට ඕනෑ තරම් දේ ඉතිරි වෙලා තිබුණා. කේන්දර නැකැත් ගැන සිත් කරදර කර නොගෙන මේ සුබ ගමන පිටත්වන ලෙස සමුගන්නා මොහොතේ මං ඔහුට යළිත් වරක් සිහිපත් කර දුන්නා. (ඒත් ඔහු විදෙස් ගතවන මොහොතේ ඔහුට සුබ පතන්නට ඔහුගේ නිවසට ගිය මා දුටුවේ නිවසින් පිටත්ව යන්නට සුදුසු නැකැතක් පිළියෙළ වී තිබූණු ආකාරයයි).

 

මීට වෙනස් ආකාරයක තවත් එක් කතාවක් මේ වෙලාවෙදි මට මතක් වෙනවා. මේ කියන්නට යන කතාවේ කතා නායකයා මා සමග පුවත්පතේ සේවය කළ ‍කලා කටයුතුවලට සම්බන්ධ ප්‍රසිද්ධ චරිතයක්. මිත්‍යාවන් පසුපස හඹා යන පුද්ගලයෙකු නොවුණත් තමන් මුහුණ දුන් කිසියම් පුද්ගලික ගැටලු ගණනාවක් නිසා මේ ආකාරයේ වූ අධිභෞතිකමය ස්ථානයක් වෙත යන්නට ඔහු මට කතා කළා. පිළියන්දල කැස්බෑව ප්‍රදේශයේ පිහිටි මේ ස්ථානය මේ විදියේ කටයුතුවලට එන පිරිස අතර කොයි තරම් ජනප්‍රිය වෙලා තිබුණා ද කියනවා නම් පාන්දර හතරට ගිහින් අංකයක් ගන්නට අප දෙදෙනාට සිද්ධ වුණා. අංකය ගත්තාට පස්සේ ගේට්ටු විවෘත වෙන්නේ උදේ හයට. පාන්දර හතරට අංකය අරන් උදේ හයට ගේට්ටුවෙන් ඇතුළට ඇවිත් තවත් හෝරාවක් දෙකක් පෝලිමේ ඉදලා අන්තිමේ දී අපේ අවස්ථාව ලැබුණා. එතැන හිටියේ මැදි වයස පසුකරපු කාන්තාවක්. ඇය මගේ මිතුරාට මුලින්ම කිවුවේ මලක නමක් හිතාගන්න කියලා. ඊට‍ පස්සේ පක්ෂියෙකුගේ නමක් හිතාගන්න කිවුවා. තවත් දෙයක් ඇහුවා වගේ මතකයි. ඒත් ඒ මොකක්ද කියලා දැන් හරියටම මතක නැහැ. මේ ජවනිකාවෙන් පස්සේ මේ කාන්තාව මගේ මිතුරාට මුලින්ම කිවුවේ, තමුන් වැඩ කරන්නේ රට පුරාම යමක් බෙදා හරින තැනක නේද?   කියලා. ඇත්තනේ. අපි දෙන්නම වැඩ කරන්නේ පත්තරේනේ. ඊට පස්සේ  මේ කාන්තාව මගේ මිතුරාගේ නිවසේ විස්තර කියන්න පටන් ගත්තා, හරියටම බලා හිටියා වගේ. ගෙදර දොරක සරණේරුවේ තිබුණු බුරුල් වීමක්, කාමරයේ ජනේලයෙන් එපිට පෙනෙන සුවිශේෂී ගහක්, ගෙදර මැද තියෙන මැදු මිදුල ගැන පවා ඇය හරියටම කිවුවා. මිතුරාගේ නිවස හුරු පුරුදු මට ඇය කී සෑම දෙයක්ම ඇත්ත බව පෙනුනා. මිතුරාගේ වර්තමාන ජීවිතය හා බැඳුණු සිදුවීම් ගැන බොහෝ කරුණු කාරණා ‍විස්තර කළ ඇය (ඇත්තටම කියනවා නම් ඒ කී දේවල් සියල්ල ඇත්ත) ඉන්පසුව අනාගතය ගැන කියන්නට පටන් ගත්තා. අනාගතය ගැන බොහොම ප්‍රිය උපදවන කරුණු වගේම තරමක බිය ජනක දේවලුත් ඇය කියා පාන්නට පටන් ගත්තා. ඒ හැම දෙයක්ම කිවුවේ දින වකවානු එක්ක. අනාගතයේ සිදුවන්නට නියමිත බියජනක දේවල් වලින් මිදෙන්නට ඇයට කළ හැකි දේවල් ගැනත් දිග ලැයිස්තුවක් ඇය ම‍ගේ මිතුරාට කිවුවා. ( ඒ දේවල් මගේ මිතුරා කළා ද කියන්නට මං දන්නේ නැහැ) ඇය කී අනාගත දින වකවානු සියල්ලම මේ වනවිට අතීතයට ගිහින් ඉවරයි. ඒත්  ඇය කී එකම එක අනාගත වාක්‍ය්‍යක්වත් නිවැරදි වුණේ නැහැ. ඇත්තටම කියනවා නම් ඒ කිවුව දේවල්වලට හාත්පසින්ම වෙනස් දේවල් තමයි ඔහුට සිද්ධ වුණේ.

 

බෙල්ලන ඥානවිමල මහා නායක හාමුදුරුවො මුණගැහුණු වෙලාවක මේ කාරණාව ගැන උන්වහන්සේගෙන් අහන්නට මං අමතක කළේ නැහැ. ලංකාවේ විතරක් නෙමෙයි විදේශවල පවා නොපෙනෙන නොදකින බලවේග ගැන බොහොමයක් පර්යේෂණ කරලා ඒ වගේම ඒ සම්බන්ධ පොත්පත් බිහිකරලා තිබුණු, භාෂා කිහිපයක් සහ විවිධ විෂයන් ගැන අතිශය උසස් දැනුම් සම්භාරයකින් සමන්විත වුණු උන්වහන්සේ මේ විදියේ කරුණු කාරණා ගැන සිත් ඇදගන්නා සුළු කතා කිහිපයක්ම මට කිවුවා. එංගලන්තයේ සිටියදී උන්වහන්සේ පෞද්ගලිකවම මුහුණ දුන් අත්දැකීමක් ගැනත් විස්තර කළා. (ඒත් ඒ හැම දෙයක්ම ලියන්න ගියොත් මේ ලිපිය නිම කරන්නට ලැබෙන්නේ නැහැ) කොළඹ නගරයේ පමණක් ඔය විදියේ ස්ථාන තිස් ගණනක් උන්වහන්සේගේ පරීක්ෂණයට ලක්වුණු බව පෙන්වා දුන්නු මහ නායක හාමුදුරුවෝ මට සඳහන් කළේ මේ හැම ස්ථානයකම ඔය විදියේ අනාවැකි කියන චරිත හැම එකක්ම කිසියම් විදියක මානසික බෙලහීනතාවක එහෙමත් නැතිනම් ඉතා පහසුවෙන් මනස චංචල වන ස්වභාවයේ පිරිසක්  බවයි. මේ නිසා මළ ගිය ප්‍රාණකාරයන් වැනි ඇහැට නොපෙනෙන බලවේගවල ඉතා පහසු ගොදුරක් බවට පත්වන මේ අයට වර්තමානය හා අතීතය ගැන ඔය විදියේ කරුණු කාරණා හෙළි කරන්නට පුළුවන් වුණත් අනාගතය ගැන කිසිසේත්ම නිවැරදි අනාවැකි කියන්නට නොහැකි බව උන්වහන්සේ අවධාරණය කළා. ඔවුන්ගේ අනාගත අනාවැකිත්, සාමාන්‍ය සිහිබුද්ධිය ඇති පුද්ගලයෙකු නිකමට කරන අනාවැකියකුත් අතර ඇත්තේ ලොව කවර තැනකත් පවතින සියයට පනහක සම්භාවිතාවක් පමණක් බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා. ඒ වගේම අතීතයේ සිදුවූ, තමන් විතරක් දන්නා අතිශය පෞද්ගලික වූ කරුණු කාරණා කියන්නටත් මේ වගේ අයට හැකියාවක් නැති බව පෙන්වලා දුන්නු මහ නායක හාමුදුරුවෝ තමන් වහන්සේ දන්නා එවැනි පෞද්ගලික සිදුවීම් කිහිපයක්ම සදහන් කළා.

 

මේ විදියේ කතා කියන්නට ගියොත් කෙළවරක් නැහැ. ඒත් අවසාන වශයෙන් පෞද්ගලිකව මං මුහුණ දුන්නු තවත් එක් කතාවක් විතරක් කියන්නම්. මේ සිදුවීම සිදුවුණේ 2009 අවුරුද්දේදි. ම‍ගේ තාත්තා හදිසියේ අසනීප වෙලා රෝහල්ගත කරලා තිබුණු ජාතික රෝහලේ 44 වැනි වාට්ටුවේ දී තමයි මේ කියන්නට යන දේ සිද්ධ වුණේ.  තාත්තා බලන්නටම ලංකාවට ආපු මං ඒ දවස් කිහිපය ගත කළේ තාත්තා එක්ක ජාතික රෝහලේ. මේ වාට්ටුවේම තරමක් ඇතින් හිටිය එක්තරා තැනැත්තෙක් දෙවැනි දවසේ උදේ මට තමන් ළගට එන්න කියලා අතින් සංඥා කළා.  අවුරදු හැටක් හැත්තෑවක් කියලා කියන්නට පුළුවන් වයසක හිටිය ඒ වගේම බොහොම පිරිසිදුව හිටපු මේ තැනැත්තාත් වාට්ටුවේ ‍නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙක්. ඔහු සමීපයට ගිය මට මං ගැන හැම දෙයක්ම වගේ කියන්නට පටන් ගත්තා. කොටින්ම කියතොත් මව්බිමෙන් එහා කෙළවරේ මං පදිංචිවෙලා ඉන්න රටේ මගේ ගේ දොර වත්ත පිටිය ගැන පවා නිවැරදි තොරතුරු ඔහු කිව්වා විතරක් නෙමෙයි ලංකාවට ආවට පස්සේ මං මුහුණ දුන්නු විශේෂ සිදුවීම් දෙක තුනක් ගැනත් විස්තර බලාගෙන හිටියා වගේ කිවුවා. මේ දේවල් කියන්නේ කොහොමදැයි ඇසූ විට ඔහු මට කිව්වේ තත් කාලයෙන් කියලයි. විදෙස්ගත තැනැත්තෙකු දෙන දුරකථන ඇමතුමක කටහඩින් පවා තමන්ට අනාවැකි කියන්නට පුළුවන් බවයි ඔහු කිව්වේ. තාත්තාව සුවපත් කරන්නට නම් මස් මාංස සම්බන්ධ කරමින් පිළියෙල කළ ආහාරයක් ඔහු නම් කරන ආකාරයේ තැනක තිබිය යුතුය යන්නත් ඔහුගේ විස්ත‍රයට ඇතුළත් වුණා. මේ විදියේ ප්‍රතිකර්මයක් තමන්ටම අත්හදා බලා රෝහල් වාට්ටුවෙන් පිටවී නොයන්නේ ඇයි දැයි මං ඔහුගෙන් බොහොම මිත්‍රශීලීව ඇහුවා. මට ලැබුණු පිළිතුර නම් තමන්ගේ ශාස්ත්‍රයෙන් සේවය සලසන්නට පුළුවන් අනුන්ට පමණක් බවත්, එයින් තමන්ටම ප්‍රතිඵල අත්පත් කර ගන්නට අසීරු බවත්.  ජීවිත කාලයම මස් මාංස නොකෑ මගේ පියා වෙනුවෙන් එවැනි ආහාරයක් පිළියෙළ කරන්නට මට උවමනා නොවූ නිසාත්, ආරම්භයේ දීම මේ උගුලෙන් ගැලවෙන්නට ඕනේය කියලා මට හිතුණු හින්දත් රෝහලේ ගත කරපු ඉතිරි දින කිහිපය තුළ දී මං ඔහුව මග ඇරියා. ඔහු කී මස් මාංස ව්‍යංජනය ඔහු කී ආකාරයේ තැනත නොතිබ්බත්, දින දෙක තුනකින් තාත්තාට ගෙදර යන්නටත් පුළුවන් වුණා. (ඒත් ඔහු මේ කිසිම දේකට මගෙන් මුදලක් ඉල්ලුවේ නැති බවත්, එවැනි යමක් බලා‍පොරොත්තු වන බවක් පෙනුණේ නැති බවත් කියන්නට ඕනේ)‍.

 

මේ විදියේ බොහොම රසවත් පෞද්ගලික අත්දැකීම් ‍තවත් බොහොමයක් තිබුණත් ඒ හැම එකක්ම එකින් එක විස්තර කරන්නට ගියොත් මේ කතාව නතර කරන්නට ලැබෙන්නේ නැහැ.  ලංකාව කියන්නේ මේ විදියේ දේවල්වලට තෝතැන්නක්නේ. ඒ නිසා මේ විදියේ කතා බොහොමයක් ලංකාවේ අපි හැමෝම පෞද්ගලිකව අත්විඳලා තියෙනවාට කිසිම සැකයක් නැහැ.

 

ඒත් මේ අතීත මතකයන් යළිත් මගේ සිතිවිලි අතර සැරිසරන්නට වූයේ නාසා ආයතනයේ සේවය කරන මහාචාර්ය සරත් ගුණපාලයන් අලුතින්ම සොයා ගත් ග්‍රහලෝක හතක් පිළිබඳව කරන දේශනයක් මෑතක දී යූ ටියුබ් මගින් දුටු අවස්ථාවේ දීයි. මේ ග්‍රහ‍ලෝක අතර ද්‍රව ජලය ඇති බව තහවුරු වී ඇති බැවින් මෙම ග්‍රහලෝක අතර ජීවින් සිටීදැයි සොයා බැලීම නාසා ආයතනයේ ඊළග ප්‍රමුඛ කාර්යය වී ඇතැයි ද මේ වීඩියෝවෙන් ඔහු විස්තර කරනවා. සෙසු ග්‍රහලෝක ජයගන්නට මුළු මහත් ලෝකයක් සිය දැනුම මුවහත් කරද්දී ලංකාව නම් වූ දුපතේ අපි ඒ ග්‍රහලෝකවලින් එන අපල අකාමකා යන්නට කපුටන්ට බත් තලි තියනවා.  හන්දියක් හන්දියක් ගානේ පෙරේත තටු තියනවා. ලංකාවේ ජනාධිපති මිය යන දවස පමණක් නෙමෙයි කියුබාවේ පිදෙල් කැස්ත්‍රෝ මිය යන්නට නියම වී තිබූ දවස පවා ග්‍රහලෝක හරහා සොයන්නට උත්සාහ ගන්නවා. රටේ සෑම රූපවාහිනී නාලිකාවක්ම, ගුවන් විදුලියක්ම දවස අරඹන්නේ පෘථි‍වියෙන් සැතපුම් බිලියන ගණනින් ඈතින් පිහිටි ග්‍රහලෝක මගින් ගමේ ගොඩේ සියාතු‍ලාගේ හරමානිස්ලාගේ ජීවිතය හසුරුවන ආකාරය ගැන අනාවැකි කියමින්. ලෝකයේ කවර රටක වුණත් දරුවන් විභාග සමත් වන්නට උත්සාහ කරන්නේ තමන් උගත් දෑ යළි යළිත් මෙනෙහි කරමින් සිත්හි ධාරණය කර ගැනීමට උත්සාහ දරමින්. ඒත් ලංකාවේ දෙමව්පියන් වන අපි ඒ වෙනුවෙන් වාලම්පුරි නමස්කාර කරන්නෙමු. ගණ දෙවිඳුන්ට කිරි කළ නාවන්නෙමු. බෝධිය වටා කොඩි වැල් බඳින්නෙමු.

 

දෑස් හොඳ හැටි පෙනෙන මිනිසුන් දෑස් අඳ ජ්‍යොතිෂකරුවන්ගෙන් තමන්ගේ අනාගත ගමන් මග ගැන විමසති. නැකැත් හඳහන් බලමින් පාර්ලිමේන්තුව විසුරුවති. මැතිවරණ පවත්වති. බුද්ධි සම්පන්න ජාතියක් සිටින ලෝකයේ ඕනෑම රටක තම රටේ පාලකයන් තෝරා පත්කරන ජනාධිපතිවරණ සටනක දී සංවාද සාකච්ඡා මෙහෙය වෙන්නේ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති සහ රටේ අනාගතය කෙසේ සකස් විය යුතුද යන්න ගැනයි. ඒත් අපේ රටේ ඒ සංවාදවලට එන්නේ කේන්දරකරුවන්. සාකච්ඡා කෙරෙන්නේ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති මත රටේ දියුණුවට මග පෑදෙන්නේ කෙසේ ද යන්න ගැන නෙමෙයි, ඇහැට නොපෙනෙන ග්‍රහලෝකයක වැඩිම බලය ඇත්තේ කවර අපේක්ෂකයාට ද යන්න ගැනයි. අපේ ඡන්දදායකයන්ගෙන් සාතිශය බහුතරය තවමත් කේන්දරකරුවන්ගේ අනාවැකි මත තම අපේක්ෂකයාට වාසි ද අවාසි ද යන්න ගැන විශ්වාසය තබනවා. නැකැත නිසා සිය දිව්රුම් දීම පවා පමා කළ බණ්ඩාරනායක අගමැතිදුන් සිය ධුර කාලය නිමා වන්නටත් පෙර අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වූයේය.  දෛවඥයන් රැසකගේ උපදෙස් මත දිව්රුම් දී වැඩ භාරගත් ප්‍රේමදාස ජනපතිඳුන් අවාසනාවන්ත ලෙස මහමගදී ඝාතනයට ලක්වූයේ  සිය ධුර කාලය නිමා වන්නටත් මත්තෙන්. නැකැත් බලැ වැඩ ඇරඹූ චන්ද්‍රිකා ජනපතිනියට සිය ධුර කාලයේ දීම සිය ඇසක් අහිමි වුණා. රාජකීය දෛවඥයාගේ උපදෙස් පිට තමන්ට සුදුසුම නැකැත සොයා සිය ධුර කාලය නිමා වන්නත් පෙර ජනපතිවරණයකට ගිය රාජපක්ෂ ජනපතිට සිදු වූයේ ජනපති මැදුර අතහැර කාල්ටන්හි සිය සුපුරුදු නිවහන වෙත පසුබසින්නටය.

 

තමන්ගේ අනාගත ජීවිතයම බෙදා හදා ගන්නට සුදුසු සහකාරිය හෝ සහකාරිය සොයන්නට භාර දෙන්නේත් නොපෙනෙන ග්‍රහලෝකයකට. උගත්කම, ගුණයහපත්කම, රැකියාව පමණක් නෙමෙයි අදහස් පවා එකිනක අපූරුවට ගැළපුණත් විවාහය තීරණය වන්නේ කේන්දරකරුවාට ඕනෑ හැටියකටයි. කොටින්ම කියතොත් මේ දූපත ඇතුළේ උපතේ සිට මරණය දක්වා සියලු කටයුතු සිදුවන්නේ පෘථිවිවාසීන් වන අපට පියවි ඇසින් දකින්නටවත් නොහැකි ග්‍රහලෝකයන්ගේ බලපෑම් ගැන විශ්වාසය තබා ගෙනයි.

 

ශිෂ්ට සම්පන්න ජාතීන් වෙසෙන ලෝකයේ ඕනෑම රටක රටේ ගමන් මග තීරණය කරන බලවේගය වන්නේ විධායකය, ‍ව්‍යවස්ථාදයකය, අධිකරණය, මහජනතාව සහ ජනමාධ්‍ය යන පස්වැදෑරුම් සාධකයි. ඒත් අපේ මේ දූපතේ ඒ ස්ථාන හිමි වී ඇත්තේ කේන්දරය, නැකැත්, රාහු කාලය , ග්‍රහලෝක සහ කේන්දරකරුවන් යන පස් වැදෑරුම් සාධකවලටයි. (රට කරවිය යුතු විධායකය පවා වශී බෝල අතගාමින් සිටින්නේ නම් තවත් කවර කතා ද?)

 

ලංකාවේ අපි බොහොම දෙනෙක් උදෑසන පත්තරය අතට අරන් මුලින්ම කියවන්නේ ලග්න පලාපල. ඒත් මේ පලාපල පහුගිය මාසයෙන්, එහෙමත් නැතිනම් පහුගිය සතියෙන් අරන් නැවත නැවත පළ කරන ඒවා බව හුඟ දෙනෙක් දන්නේ නැහැ.  අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් උදාවෙද්දී පත්තරවල පිටු ගණන් පළවෙන නව වසරේ ලග්න පලාපල එකකට එකක් හාත්පසින්ම වෙනස් කියලා දැක දැකත් ග්‍රහයා අනුව අනාගතය ගැන හිතන්නට අපි තුළ තියෙන ජන්ම ගතිය තවමත් නතර වෙලා නැහැ.

 

ජ්‍යොතිෂය කියන්නේ අවුරුදු දහස් ගණනක අතීතයකට හිමිකම් කියන ශාස්ත්‍රයක්. ඒ නිසා එවැනි ශාස්ත්‍රයකට ගරහන්නට සදාචාරමය අයිතියක් කාටවත් නැහැ. ඒත් කවර ශාස්ත්‍රයක් ගැන වුණත් දුවන්නන් පස්සේ දිවීම ජාතියක් විදියට අපේ දීන කම පෙන්වන්නක්. මේ විදියේම කරුණක් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් තමන්ගේ කෘතියක සදහන් කරලා තිබුණා මතකයි. ඔහු කියන්නේ ශීත දේශගුණයක දිවි ගෙවන ‍එංගලන්ත වැසියා ටයි කෝට් ඇඳුමින් සැරසීම මගින්  ඳුම තමන්ගේ වහලෙකු බවට පත්කරගත්තත්, කොළඹ ගිනි කාස්ටක අව්වේ කබාය හා ටයි පටියෙන් ගෙල සිරකර‍ගෙන දහදියෙන් නැහැවී උජාරුවෙන් ඇවිද යන ලාංකිකයා ඇඳුමේ වහලෙකු බවට පත්වී තමන්ගේ දීන බව පෙන්නුම් කරන බවයි. රාහු කාලය මග හැර නිවසින් එ‍ළියට අඩිය තියන්නට, නැකැත් තරු බලා ජීවිතය සැලසුම් කරගන්නට, සුබ වෙලාව බලා වැඩ අරඹන්නට හැදීමෙන් අපිත් පෙන්නුම් කරන්නේ ඒ දීන බවම තමයි.

 

දරුවෙකු උපදින අවස්ථාවේ නැගෙනහිර අහසේ උදාවෙන රාශිය ලග්නය විදියටත්, ඒ ‍මොහොතේ අහසේ ග්‍රහ තාරකා පිහිටන ආකාරය කේන්දරය විදියට දෛවඥයන් සැලකුවත් පියවි ඇසට නොපෙනෙන දශ ලක්ෂ සංඛ්‍යාත වූ තරු රාශීන්ගෙන් මේ විශ්වයේ කිසිම අඩුවක් නැහැ. අනන්ත අප්‍රමාණ තාරකාවන්ගෙන් පිරුණු මේ විශ්වයේ නැගෙනහිරින් පායා එන තාරකා සිය දහස් ගණනක් අතරින් දෛවඥයන් නම් කරන විතරක් ඔබේත් මගේත් ජීවිතය හසුරුවන්නේ යැයි සිතීම ඇත්තටම අරුමයක්. සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඉවතට විසිවෙච්ච ප්ලූටෝ වගේ ග්‍රහයන් වගේම අලුතින්ම සොයා ගත් ග්‍රහලෝක බොහොමයක් නූතන තාරකා විද්‍යාවට ඇතුළත් වෙලා තියෙනවා. පෘථිවි තලයට එක්වන හිරුගේ ප්‍රබල කිරණ තිබිය දී විශ්වයේ කෙළවරක පිහිටි නොපෙනෙන තාරකාවක දුබල ආලෝකය අපේ ජීවිත හසුරුවන බව සිතීමත්, අපේ කාර්යයක සාර්ථකත්වය තීරණය කරන්නට හුනෙකුගේ හැඩීමකට හැකියැයි සිතීමත් අතර වෙනසක් දකින්නට ඔබට පුළුවන්ද? අපේ ජීවිත හසුරුවන්නට පුළුවන් අප දන්නා කියන ග්‍රහයන්ට පමණක්ම ද? ඒ බලපෑම කරන්නට අප නොදන්නා දශ ලක්ෂ සංඛ්‍යාත සෙසු ග්‍රහලෝකවලට හැකියාවක් නැතැයි සිතන්නට යොදා ගන්නේ කුමන නිර්ණායකයක් ද?

tumblr_inline_odrs1gbbuy1tzhl5u_1280

 

ලග්න දොළහට අයත් රාශි පවා නිර්මාණය කරගෙන ඇත්තේ මනසින් පමණක් එකිනෙක යා කර හැඩතල මවා ගැනීමෙන් මිසක් මීන රාශියට හිමි මාළුවා හෝ සිංහ ලග්නයට හිමි සිංහයා හෝ වෙනත් කිසිම හැඩතලයක් සැබැවින්ම අහසේ දැකින්නට බැහැ. මේ හැඩතල මනසින් මවා ගන්නට පවා ඇසට පෙනෙන නොපෙනෙන බොහෝ තාරකා අමතක කර දැමන්නට ඕනේ. අපට බලපෑමක් කරන්නේ අප සිතින් මවා ගත් මේ තාරකා පමණක්ම ද? අමතක කර දමන තාරකාවලින් බලපෑමක් නැතැයි සිතන්නේ කවර නම් වූ තර්කයක් මත ද? රාහු හා කේතු යනු අදෘශ්‍යමාන ග්‍රහයන් දෙදෙනෙකු බව දෛවඥයෝ කියති. අදෘශ්‍යමාන නම් එයින් අලෝකයක් විහිදුවන්නට ද හැකියාවක් නැත. අලෝකයක් පවා නැති අඳුරු ග්‍රහලෝකයකට බියෙන් බෝධි පූජා තබන්නට බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ කවර නම් වූ අවස්ථාවක ද? බෝධි පූජා තබා අපල දුරු කිරීම ගැන තොරතුර සඳහන් වන්නේ ත්‍රිපිටකයේ කවර නම් වූ  තැනක ද? ග්‍රහයන් නොවන ආකාශ වස්තූන් කොපමණ සංඛ්‍යාවක් මේ අපරිමාණ විශ්වයේ සැරිසරන්නේ ද? මේ ආකාශ වස්තූන්වල බලපෑමක් නැතැයි සිතන්නේ කවර නම් වූ කරුණක් නිසා ද?

 

සමස්ත සෞරග්‍රහ මණ්ඩලයෙන්ම ඝනත්වයෙන් අඩු දියාරුම ග්‍රහයා ලෙස සැළකෙන සියයට 94 ක්ම හයිඩ්‍රජන්වලින් නිමැවුණු පෘථිවියෙන් සැතපුම් දශ ලක්ෂ 746 ක් ඈතින් පිහිටි සෙනසුරු ග්‍රහයාට ග්‍රහ පූජා තැබීමෙන් ඔබේ දරුවාගේ එහෙමත් නැතිනම් ඔබේ අපලය දුරු කරන්නට හැකි යැයි සිතන්නට ඔබට හැකි නම් හදේ හාවාට පුද පූජා තැබීමෙන් ලොතරැයි වාසනා පවා ලැබිය හැකි විය යුතුමයි.

 

පෟථිවිය පමණක් නොව ග්‍රහලෝකවල පවා ගමන් මග වැටී ඇත්තේ ඉලිප්සාකාර මාර්ගයක බව අද දවසේ පහ වසරේ ශිෂ්‍යත්වයට සූදානම් වන දරුවෙකු පවා දන්නා කරුණක්. ඒත් ජ්‍යොතිෂයේ දී සියලු ග්‍රහයන් වෘත්තාකාර මාර්ගයක ගමන් කරන බව උපකල්පනය කරලයි සියලු ගණන් මිනුම් කරන්නේ. ඉලිප්සාකාර මගක යන ග්‍රහයකු වෘත්තාකාර මගක යන්නේ යැයි සිතා කරන ගණන් මිනුම් නිවැරදි යැයි සිතන්නට සාධක කර ගන්නේ පෙරදිග හෝ අපරදිග කවර නම් වූ පිළිගත් ගණිත ශාස්ත්‍රයක් ද? ඒ වගේම දෛවඥයන් තමන්ගේ නැකැත් හදන්නට යොදා ගන්නේ සාමාන්‍ය ඔරලෝසුවල භාවිත වන සම්මත වෙලාව මිසක් තාරකා විද්‍යාව නම් නූතන දියුණු විද්‍යාවේ දී යොදා ගන්නා නිවැරදි වෙලාව නෙමෙයි. මේ නිසා ලංකාව වැනි රටක එකිනෙකට ඈතින් පිහිටන නගර දෙකක සැබෑ නිවැරදි වෙලාව මිනිත්තු කිහිපයක අඩු වැඩියක් තිබුණත් සම්මත වෙලාවට අනුව සකස් කරන කිසිදු නැකැතක හෝ කිසිදු කේන්දරයකට මේ වෙනස සලකලා බලන්නේ නැහැ.

 

මිනිසා රෝදය සොයා ගත් කාලයේ දී, එහෙමත් නැතිනම් මේ මිහිතලය පැතැලි යැයි සිතාගෙන සිටි කාලයේ දී සෙනසුරු පමණක් නෙමෙයි ඉර හඳ තාරකා මේ හැම දෙයක්ම අපේ ජීවිත මෙහෙයවන අදෘශ්‍යමාන බලවේගයන් ලෙස ක්‍රියාත්මකවේ යැයි සිතාගෙන හිටියාට කිසිම වරදක් නැහැ. ඒත් අද අපි ජීවත් වෙන්නේ ග්‍රහලෝක තරණය කරන යුගයක. අලුත් අලුත් ග්‍රහලෝක සොයා ගන්නා යුගයක. සෙනසුරු ග්‍රහයා වටා කැරකෙන චන්ද්‍රයන් 63 කටවත් වඩා ඇතැයි සොයා ගත් යුගයක. විදුලි කොටන්නේ, වැසි වසින්නේ දෙවියන් වහන්සේගේ බලපෑමකින් තොරව බව හොඳාකාරවම දන්නා යුගයක. අත්ලට ගත් ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය හරහා මුළු ලොවෙහිම සැරි සරන මිනිසුන්, ස්වයංක්‍රීය රථ වාහන පදවන මිනිසුන්, දුරස්ථ පාලක මගින් නවීන අංගෝපාංග හසුරුවන මිනිසුන්, නවීන තාක්ෂණයේ බලමහිමය හැම මොහොතකම අත් විඳින මිනිසුන් නොපෙනෙන ග්‍රහලෝකයකින් කෙරෙන අපල දුරු කරගන්නට ග්‍රහලෝකයට පුද පූජා පවත්වන්නේ නම්, බෙල්ලේ සුර පැළඳ ගන්නේ නම්, රාහු කාලය බලා සිය කාර්යයන් අතපසු කර ගන්නේ නම්, වශී ගුරුකම් සොයා දිව යන්නේ නම් ඔවුන් අයත් වන්නේ මිනිසා මුලින්ම නැගිටින්නට ඉගෙන ගත් හෝමෝ ඉරෙක්ටස්ගේ යුගයටත් ඈත අතීතයටයි.

 

සිංහල අවුරුද්ද වැනි සංස්කෘතික මංගල්‍යයක දී මුළු රටම එකම මොහොතක ආහාර අනුභව කිරීම, ගනුදෙනු කිරීම හෝ වෙනත් කිසියම් චාරිත්‍රයක් කිරීමේ සංස්කෘතික වටිනාකමක් තියෙනවා. රටක හෝ ජාතියක හෝ සංස්කෘතික අනන්‍යතාව රැකගැනීමෙහි අපූර්වත්වයක් මෙන්ම ජාතික වැදගත්කමකුත් තියෙනවා.  ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඒත් එදිනෙදා ජීවිතයේ සෑම සියලු දේටම රාහු කාලය බලන්නත්, කේන්දර බලන්නත් පුරුදූ වූවෙකුගේ පෞරුෂත්වයේ  ගැටළුවක් ඇති බව නම් නොකියාම බැහැ.  එදිනෙදා ජීවිතයේ කාටත් උරුම වන අභියෝගයන්ගෙන් පලා ගිහින් ඒ සියල්ලම ග්‍රහලෝකයක හෝ දෙවියන් වහන්සේගේ හෝ වෙනත් කවර හෝ නොපෙනෙන නොදකින බලවේගයක  බලපෑම මත සිදුවන්නේ යැයි සිතන්නට හැකියාව ඇත්තේ සිය ජීවිතයට මුහුණ දෙන්නට ආත්ම විශ්වාසයක් හෝ ආත්ම ශක්තියක් නැති මිනිසුන්ට පමණමයි. ආත්ම විශ්වාසය සිඳ බිඳ ගත් මිනිසුන්ට නැගී සිටින්නට ග්‍රහලෝකය හෝ එවන් කිසියම් අධිභෞතික බලවේගයක  හෝ ආධාරයක් අනිවාර්යයෙන්ම උවමනා වෙනවා. හරියටම කියනවා නම් අරටුවක් නැති එඬරු වැළකට ශක්තිමත් ආධාරකයක පිහිට නැතුවාම බැහැ වගේ. ශක්තිමත් කශේරුකාවක් සහිත ඔබ අරටු සිඳ බිඳ ගත් එඬරු වැළක් වන්නේ ඇයි?

 

තාරකා මගින් මිනිසාගේ ඉරණම විසඳීම කෙසේ වෙතත් තාරකාවල ඉරණම මිනිසා විසින් විසඳනු ඇතැයි ආතර් සී ක්ලාක් කීවේ දශක ගණනාවකට පෙරයි. ඔහුගේ අනාවැකිය සැබෑ වන්නට පටන් ගත්තේ ඔහු ජීවතුන් අතර සිටි කාලයේ දීමයි.

 

නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තබන්නට සුභ වේලාවක් නොබැලුවාට කිසිදු ග්‍රහ අපලයකින් තොරව යළි පෘථිවිය වෙත පා තබන්නට ඔහුට හැකි වුණා. කේන්දර නොබලා ගුවන් ගත වුණු යූරි ගගාරින් අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා බවට පත් වුණා. රාහු කාලය මග හරින්නට නැකැත් නොබලා ගැලපගොස් දූපත බලා යාත්‍රා කළ චාල්ස් ඩාර්වින් පරිණාමවාදය ලොවට හෙළි කළා. ආකිමිඩිස් සිය නමින් වූ එම සිද්ධාන්තය ලොවට බිහි කළේ දිය නාමින් සිටිය දී මිසක් සුබ මූර්තියෙන් දැහැන්ගතව සිටි මොහොතක දී නෙමෙයි.

 

නැකැත්, රාහු කාලය, සුබ මුහුර්ති, කේන්දර බලමින් සියලු කටයුතු සිද්ධ කරන්නට යන්නේ ලංකාව වගේ රටවල අපිම විතරයි. ලෝකයේ සංවර්ධනය අතින් ඉහළට ගිය කිසිම ජාතියක් මේ විදියේ විශ්වාසයන් පිටුපස්සේ අවිචාරවත්ව දුවන්නේ නැහැ. තම පෙම්වතා හෝ පෙම්වතිය හෝ සමග ජීවිත කාලයක් පුරා ගත කරන්නට පුළුවන්ද කියන කාරණය මිසක් කේන්දරය බලලා කසාද බඳින සිරිතක් දියුණු ලෝකයේ කිසිම රටක නැහැ. කළ යුතු දේ නිසියාකාරව නියමිත වෙලාවට කරනවා මිසක් රාහු කාලය මග හැරලා සුබ නැකැත් බලලා ජීවිතයේ කිසිම කටයුත්තක් කිරීමේ සිරිතක් දියුණු ලෝකයේ කිසිම රටක නැහැ. ඒත් ඉන්දියාව හැරුණු විට ලෝකයේ වැඩිම නැකැත්කරුවන්, ජ්‍යොතිර්වේදීන්, අධ්‍යාත්මවේදීන් මෙකී නොකී සියලු අනාගත වක්තෘවරුන් පොකුරු පොකුරු බිහිවෙලා ඉන්නේ ඉන්දියන් සාගරයේ මේ පුංචි දිවයිනේ විතරයි. ඒ නිසාම වෙන්න ඇති ලංකාවේ අපි 1948 ඉඳලම තාමත් පාසල්වල උගන්නවන ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි යන්න තවමත් වෙනස් වෙලා නැත්තේ.  

 

ගිහිගෙය හැර යන්නට, කෙස් වැටිය කපා දමන්නට සිද්ධාර්ථ කුමරුන් නැකැත් බැලුවේ නම් ගිහිගෙයින් පිටව යන්නට සුද්ධෝදන රජුගෙන් කිසිදු ඉඩක් ලැබෙන්නේ නැහැ.  බෝ මැඩ අසුන්ගෙන බුදු බව ලැබූ මොහොතේ දී පමණක් නෙමෙයි පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතයේ කිසිදු අවස්ථාවක බුදුන් වහන්සේ නැකැත් බැලූ තැනක්. රාහු කාලය මග හැර දහම් දෙසූ අවස්ථාවක් ඔබ කිසිදිනෙක අසා තිබෙනවා ද? අපේ දෛවඥයන් අද අනුගමණය කරන භාරතීය ජ්‍යොතිෂයට මුල්ම ප්‍රබල අභියෝගය එල්ල කළේ බුදුන් වහන්සේ. එත් අද බුදු පිළිමයක් නිරාවරණය කරන්නේත් නැකැත් බලලයි. බුදු පිළිමයට නේත්‍රා තබන්නේත් රාහු කාලය බලලයි.

 

අන්‍යාගමිකයන්ගෙන් සිද්ධ වෙන ආගමික ආක්‍රමණ ගැන, බෞද්ධ සංහාරයක් සිදුවන බවට අවි අමෝරා අතට ගන්නා බෞද්ධයන් යැයි කියාගත් අපි නැකැත්, ග්‍රහ තරු, රාහු කාලය, සුබ අසුබ දවස් ගැන විශ්වාසය තබනවා නම්, ඒ වෙනුවෙන් බෙල්ලේ සුර පැළද ග්‍රහ පූජා තබන්නට උත්සාහ කරනවා නම් බෞද්ධකම ගැන කතා කරන්නටවත් අපිට අයිතියක් නැහැ. තිරශ්චීන විද්‍යාවන් විදියට මේ දේවල් හදුන්වලා දීලා තමන්ගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා මෙවැනි කටයුතුවල නොයෙදිය යුතුයි යන්න පැහැදිලිවම බුදුන් වහන්සේ දේශනා කරනු ලැබ තිබියදීත් පුවත්පත්වල දැන්වීම් පවා පළකරමින් ඇතැම් හිමිවරුන් මේ කටයුතුවල යෙදෙන්නේ බුද්ධ දේශනාවට වඩා භාරතීය බමුණු ධර්මයට ගරු කරන නිසා ද දන්නේ නැහැ.

 

මේ කාරණයේ දී බුදුන් වහන්සේම වදාළ කරුණින් මේ ලිපිය අවසන් කරන්නට හිතුණා. ඒ නක්ඛත්ත ජාතකයේ එන එක්තරා ගාථාවක සිංහල තේරුමින්.

 

නැකැත් බලන්නා වූ අඥානයාගේ අර්ථය තෙමෙ ඉක්මයන්නේය. නැකැත නම් කළ යුතු දේ නිසියාකාරව සිදු කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙත් ද?

 

 

 

 

 

දිව්‍ය ‍ලෝ‍කේ ළඟයි ‍පේන මා‍නේ

lies

හිටි හැටියේම ඔබ අවුරුදු මිලියන ගණනාවක් ඈත අතීතයේ වාසය කළ ලුසී නම් වූ ආදි කල්පික මානවයා බවට පත් වුණා කියලා සිතන්න.

ලොමින් පිරුණු සිරුරින් සපිරි ඔබ දැන් මේ සැරිසරමින් සිටින්නේ අප්‍රිකානු විසල් බිම් තීරුවක් අතරින්.

ඔබ මේ ඇවිද යමින් සිටින බිම් තීරුවේ සරුවට වැඩුණු පඳුරක් තියෙනවා. මේ පඳුරේ කොළ සෙළවෙන හැටි ඈතදීම ඔබට පේනවා. මේ කොළ සෙළවෙන්නේ සුළඟක් හින්දද, එහෙමත් නැතිනම් ඔබව කා දමන්නට සූදානමින් සැඟවෙලා ඉන්න සතෙකු නිසා ද කියලා ඔබට හිතාගන්නට බැහැ. මේ නිසා දැන් ඔබ ගන්න හදන තීරණය හරිම වැදගත්. ඇත්තටම කියනවා නම් ඒක ඔබේ පැවැත්මත්, අවසානයත් තීන්දු කරන තීරණයක්. ඒ නිසා මේ තීරණය ඔබේ ජීවිතයේ වැදගත්ම තීරණය වෙන්න පුළුවන්.

හොඳයි ඔබට හිතෙනවා මේ කොළ සෙළවෙන්නේ ඔබව කා දමන්නට සැඟවෙලා ඉන්න සතෙකු නිසා කියලා. ඒ හින්දා ඔබ තමන්ගේ අතේ තියෙන ලී මුගුර හොඳින් සූදානම් කරගෙන සතුරාට පහර දීමට සූදානමින් ඒ පඳුර ළඟින් ඇවිද ගෙන යනවා. පඳුර අස්සේ කවුරුත් සැඟවෙලා නැහැ. ඒ කියන්නේ ඇත්තටම පඳුර සෙළවුණේ සුළඟට. ඒ කියන්නේ ඔබේ හඳුනා ගැනීම වැරදියි. ඒත් ඔබ පරිස්සම් වුණා කියලා ඔබට කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ.

හොඳයි දැන් අපි හිතමු මේ කොළ සෙළවෙන්නේ සුළඟට කියලා ඔබ හිතුවා කියලා. ඒ හින්දා තමන්ගේ ආරක්ෂාව ගැන ඔබ ඒ තරම් දුරට හිතන්නේ නැහැ. ඒත් ඇත්තටම ඒ කොළ සෙළවුණේ ඔබව කා දමන්නට සූදානමින් පඳුර පිටිපස්‍‍සේ සැඟවිලා හිටිය වන සතෙක් නිසා. ඒ කියන්නේ ඔබේ හඳුනා ගැනීම වැරදියි. ඒ වැරැද්ද නිසා ඔබට සිද්ධ වුණේ මානව වංශ කතාවේ ඔබේ පරිච්ඡේදයේ අවසානය සටහන් කරගන්න.

මානව වංශ කතාවේ ඔබේ පරිච්ඡේදයේ අවසානය ඒ විදියට සටහන් කරගන්නට ඔබට සිද්ධ වුණේ කුමන වැරැද්දක් නිසා ද? ඒ තමන් සමීපයේම අනතුරක් තියෙනවා කියලා ඔබ විශ්වාස නොකළ හින්දා. ඒත් ඇත්තටම ඒ විදියේ අනතුරක් තිබුණා. අනතුර තිබුණා විතරක් නෙමෙයි ඒක මාරාන්තික අනතුරක් බවට පත් වුණා.

මේ කිව්ව සිද්ධිය ඇතුළේ ලොකුම ලොකු කතාවක් සැඟවිලා තියෙනවා. මොකක්ද ඒ කතාව.

ඊට කලින් මේ කතාවට පසුබිම් වෙච්ච පදනම කියන්නම්.

සිය ගණනක් වූ ප්‍රෙක්ෂකයන් පිරිසක් වටකරගෙන ඔය කිව්ව මානසික පර්යේෂණය අත්හදා බලන්නට තමන්ගේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කළේ ඉතිහාසඥයෙකු වගේම ප්‍රසිද්ධ විද්‍යා ලේඛකයෙකු වුණු මයිකල් ෂර්මර් (Michael Shermer). ඔහු තමන්ගේ දේශනයෙන් පෙන්වා දෙන්නට අදහස් කළේ මිනිසුන් වෙච්ච අපි අපේ උප්පත්තියෙන්ම හැම දෙයක්ම විශ්වාසය තබන්නට පුරුදු පුහුණු වෙච්ච සත්ව කොට්ඨාශයක් බවයි. ඒකට හේතුව ඉහතින් කිව්ව කතාවෙදි වගේම මානව වංශ කතාව පුරාම මානව වර්ගයා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්නට විශ්වාසය කියන කරුණ මූලික කරගෙන තියෙන නිසා. මේ නිසා මානව වංශ කතාව පුරාම විශ්වාසය ගැන මිසක් අවිශ්වාසය ගැන නැඹුරුවක් අපිට නැහැ. විශ්වාසය ගැන තියෙන මේ නැඹුරුව නිසා අපි ඊටත් වඩා දුරදිග ගිහින් එක එක තිත් යා කරගෙන අපූරු කතා පුවත් නිර්මාණය කර ගන්නවා. අන්තිමේ දී මේ කතා පුවත් නිර්මාණය වෙලා දැවැන්ත පුවත් නිර්මාණය වෙනවා. අපේ මුළු මහත් ජීවිතයම ගෙවිලා යන්නේ ඔය විදියට. මේ නිසා අන්තිමේ දී සිද්ධ වෙන්නේ කොයි තරම් තාර්කිකව, එහෙමත් නැතිනම් සිහිබුද්ධියෙන් යුක්තව හිතන්නට පුළුවන් කරුණු කාරණා ගැන වුණත් අපේ උප්පත්තියෙන්ම අපිට ලැබුණු මේ ජන්ම ගතිය නිසා අපි ඒවා තෝරා බේරා ගන්නේ අන්ධයන් වගේ. අපේ විශ්වාසයට පදනම් වෙන කරුණු ගැන මිසක් එතැනින් එහාට යමක් සිහිබුද්ධියෙන් සිතන්නට අපිට බැරිවෙලා තියෙන්නේ ඒ නිසයි. දෙවියන් ගැන, මිත්‍යා විශ්වාස ගැන විතරක් නෙමෙයි දේශපාලනය ගැනත් මේ කරුණ අදාළයි. ඇත්තටම ෂර්මර් මේ කතාව ගෙන හැර පාන්නේත් දේශපාලන කරුණු ගැන ජනමාධ්‍ය වගේම ෆේස් බුක් වගේ සමාජ ජාලා මාධ්‍ය මගින් පැතිරෙන මිත්‍යාවන්ට මිනිස්සු සිය කැමැත්තෙන්ම කොයි තරම් අන්ධ වෙනවා ද කියලා තහවුරු කරලා පෙන්නන්නයි.

මේ පර්යේෂණය ගැන තොරතුරු මට හොයා ගන්න ලැබුණේත් ඇත්තටම කියනවා නම් ඔය කරුණ නිසාම තමයි.  ඒ කියන්‍නේ සමාජයේ බොහොම ඉහළ තනතුරුවල ඉන්න මගේ උගත් මිතුරන් ෆේස් බුක් මාධ්‍යය ඔස්සේ තමන්ගේ දේශපාලන නායකයන් ඔසවා තබන්නට හුවවාරු කරන එහෙමත් නැතිනම් ෂෙයා කරන කරුණු කාරණා දකිද්දියි.  මහ ගිනි දවල් ජනතා දේපළ සොරා කෑ, එහෙත් නැතිනම් සොරාකන දේශපාලන හොරුන් මේ තරම්ම අන්ධ භක්තියෙන් ඔසවා තබන්නට තරම් මගේ උගත් මිතුරු කැළ සුකුමාල, බොළඳ චරිත බවට පත්වෙලා තියෙන්නේ මානව ඉතිහාසයේ සිදුවුණු ඓතිහාසික අත්වැරැද්දක් නිසාදැයි මට සිතුණා. ෂර්මර්ගේ මේ දේශනය මගේ නෙත ගැටුණේ ඒ ගැන කරුණු සොයා බලද්දියි.

දේශපාලනය කියන කරුණේ දී නම් ලංකාවේ අපි නියෝජනය කරන්නේ මානව වංශ කතාවේ මෙතෙක් පහළ නොවූ අපූරුම මානව ප්‍රභේදයක්. ඒකට හේතුව ජනතාව වෙනුවෙන් කැපවුනු නායකයන් අපට නොසිටියත්, නායකයන් වෙනුවෙන් කැපවුණු නිවට නියාළු ජනතාවක් බවට අපි පත්වෙලා ඉන්න නිසයි. අපි එකිනෙකා එකට එකතු වෙන හමුවීම්වලදී වගේම ෆේස්බුක් වැනි මාධ්‍යයන් වලදී පවා තමන්‍ගේ දේශපාලන මතවාදය තහවුරු කරන්නට අපේ මිනිසුන් පුරුදු පුහුණු වෙලා තියෙන්නේ කොතැන හෝ මාධ්‍යයක පළවෙච්ච පුවතක් මාතෘකාවට අර‍ගෙන. එක්කෝ ඒක ජාතික යැයි කියා ගන්නා පත්තරයක පළවෙච්ච ප්‍රවෘත්තියක්. එහෙමත් නැතිනම් කොහෙන් හෝ වෙබ් අඩවියක පළවෙච්ච කරුණක්. එහෙමත් නැතිනම් කවුරුත් අහලා නැති පුවත් ඒජන්සියයකින් උපුටා ගත්ත ප්‍රවෘත්තියක්. මේ විදියේ ප්‍රවෘත්ති රැයක් දවාලක් නැතිව ෆේස් බුක් මාධ්‍යය ඔස්සේ හුවමාරු කරමින්, එහෙමත් නැතිනම් කිසිම පදනමක් නැති පුවතක් මාතෘකා කර ගනිමින් බරපතල වාද විවාද තර්ක විතර්ක ගොඩ නගන්න උත්සාහ කරන පිරිස දිහා බලද්දි ෂර්මර් කියන කාරණය කොයි තරම් සත්‍යයක් ද කියන එක ඒ කියන්නේ ජන්මගත වැරැද්දක් අ‍ප තුළ තියෙනවාය කියන කාරණාව හොදහැටි පැහැදිලි වෙනවා. තමන් මහත් උජාරුවෙන් ‍තර්ක විතර්ක ගොඩනගා ගන්නට උත්සාහ කරන්නේ, එහෙමත් නැතිනම් තමන් මහත් උජාරුවෙන් හුවමාරු කරන්නේ කොයි තරම් හිස් කරුණු කාරණා ද කියන එක ගැන හැඟීමක්වත් මේ අය තුළ නැත්තේ ඔය කියන ඓතිහාසික වැරැද්ද නිසා බවයි ‍පෙ‍නෙන්නේ.

ජනමාධ්‍ය කියලා සංකල්පයක් ලංකාවේ අපිට අද නැහැ. ඒ නිසාම ජනමාධ්‍ය කියලා  දෙයකුත් අද අපිට නැහැ. ඒ නිසාම ජනමාධ්‍යවේදීන් කියලා කොටසකුත් අද අපිට නැහැ. මේ කියන කරුණ බොහොම කර්කශ විවේචනයක් විදියට කෙනෙකුට පෙනෙන්නට පුළුවන්. ජාතික කියලා කියන පත්තර, ගුවන්විදුලි – ටී වී චැනල් පනහක් හැටක් තියෙන රටක ජනමාධ්‍ය කියලා දෙයක් නැහැ කියලා කියන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතේවි. ඔව්, තියෙනවා තමයි. ඒත් ඒ ජනමාධ්‍ය නෙමෙයි. පත්තර අචුච් ගහන කන්තෝරු අපිට තියෙනවා. රූපවාහිනී, ගුවන්විදුලි පවත්වාගෙන යන ව්‍යාපාර ස්ථාන ගණනාවක් අපිට තියෙනවා. ඒ හැම එකකම වැඩ කරන වැටුප් ලබන සේවකයන් පිරිසක් අපිට ඉන්නවා. ලංකාවේ වගේම ලංකාවේ පිට ඉඳනුත් ක්‍රියාත්මක‍ වෙන පුවත් වෙබ් අඩවි, පුවත් ඒජන්සි පවත්වාගෙන යන ඇඩ්මින් කරුවන් අපිට ඉන්නවා. ඒත් ඒ ජනමාධ්‍යවත්, ජනමාධ්‍යවේදීන්වත් නෙමෙයි.

කොහොම ද එහෙම කියන්නේ? ඒ කියන්නේ ලංකාවේ අපිට ජනමාධ්‍ය කියලා කියන්නට කිසිම දෙයක් නැද්ද? කෙනෙකුට හිතෙන්නට පුළුවන්.

ශිෂ්ට ලෝකයේ ජනමාධ්‍ය සම්ප්‍රදාය තුළ පිළිගන්නා මූලික කරුණු පහක් තියෙනවා. පළමු වැන්න නම් තමන් පළ කරන ප්‍රවෘත්තිවල සත්‍යතාව සහ නිවැරදිභාවයයි (Truth and Accuracy). දෙවැනි කාරණාව නම් ස්වාධීනත්වයයි (Independence). ඒ කියන්නේ තමන් පළ කරන ප්‍රවෘත්තිවල වගේම ප්‍රවෘත්ති ආයතනයේත් ස්වාධිනත්වයයි. තුන්වැනි කාරණාව නම් සාධාරණත්වය සහ අපක්ෂපාතීභාවයි (Fairness and Impartiality). හතරවැනි සහ පස්වැනි කාරණාව මානුෂිකත්වය වෙනුවෙන් කැපවීම (Humanity) සහ පිළිගතහැකි භාවයයි (Accountability). මේ මූලධර්ම සියල්ල කෙසේ වෙතත් අඩුම තරමින් ඔය කියන කාරණාවලින් එකම එක කරුණක්වත් පිළිපදින ලංකාවේ එකම එක ජනමාධ්‍ය ආයතනයක් පෙන්වා දෙන්නට ඔබට පුළුවන් ද?

ඔය කියන විදියේ වෘත්තිමය සදාචාරයක් ලෝකයේ වෙනත් රටවල තියෙනවා ද කියන කරුණ මෙතැනදී කෙනෙකුට තර්කයක් විදියට මතුවෙන්න පුළුවන්. ඔය විදියේ සදාචාරයක් සියයට සියයක්ම ලෝකය පුරා ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න කාටවත් බැහැ. ඒත් ඒ සදාචාරයට පටහැනිව යන ක්‍රියාමාර්ගයක දී ඊට එරෙහිව ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේදයක් ඒ හැම රටකම තියෙනවා. ඒත් ශිෂ්ට ලෝකයේ මාධ්‍ය සදාචාරයට ළංවෙන්නවත් බැරි දුරකින් තමයි ලංකාවේ අපේ පත්තර, ටී වී, ගුවන්විදුලි කලාව පවත්වාගෙන යන්නේ. ඒ විතරක් නෙමෙයි උසස් ජනමාධ්‍ය සම්ප්‍රදායක් පවත්වාගෙන යන සෑම රටකම ජනමාධ්‍ය‍වේදියෙක් වෙන්නට ලෙහෙසි පහසු නැහැ. ඒ වෙනුවෙන් ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්ත ජනමාධ්‍ය පාඨමාලා පැවැත්වෙනවා. උදාහරණයක් විදියට කියනවා නම් කැනඩාවේ ජනමාධ්‍යවේදියෙක් වෙන්නට නම් අවුරුදු හතරක පූර්ණ කාලීන ජනමාධ්‍ය පාඨමාලාවක් හදාරන්නට ඕනේ. ඇත්තටම කියනවා නම් ඒක උපාධියක්. මේ සිවු අවුරුදු උපාධිය ජනමාධ්‍ය ආචාරධර්ම, ‍ලෝක ඉතිහාසය, ගවේශණශීලී මාධ්‍ය කලාව, මාධ්‍ය සදාචාරය, නීතිය, ඡායාරූප මාධ්‍ය කලාව ආදී වෙච්ච හැම අතකින්ම අංග සම්පූර්ණ පාඨමාලාවක්. මුද්‍රිත මාධ්‍ය වලට වගේම විද්‍යුත් මාධ්‍යවලට එකිනෙක වෙනස් වෙච්ච උපාධි පාඨමාලා තියෙනවා. මේ හැම පාඨමාලාවකම භාෂාව ගැන විශේෂ උන්නදුවක් දක්වනවා. සාමාන්‍ය සම්මත භාෂා ව්‍යවහාරය ඉක්මවා ගිය උසස් මට්ටමේ භාෂා පරිචයක් ජනමාධ්‍යයට පිවිසෙන්නට හදන පුද්ගලයා සතුව තිබෙනවාද කියන එක ගැන මේ පාඨමාලාවලදී විශේෂ අවධානයට ලක්වෙනවා. මේ නිසා මේ විදියේ ජනමාධ්‍ය ආයතනවලින් පිටවෙලා ජනමාධ්‍ය ආයතනයක සේවයට එක්වෙන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම වෘත්තීය ගුණාංගයන්ගෙන් සපිරි ජනමාධ්‍යවේදියෙක්.

ලංකාවේ අපිට ජනමාධ්‍ය විෂය ක්‍රමවත්ව උගන්වන එකම එක පාඨමාලාවක්වත් නැහැ. කොළඹ විශ්ව විද්‍යාලයත්, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයත්, ඒ වගේම රජයේ ජනමාධ්‍ය පුහුණු ආයතනයත් පවත්වාගෙන යන පාඨමාලා වෘත්තීය ජනමාධ්‍යවේදීයෙක් බිහිකරන්නට තබා එයින් ළගින්වත් යන්නට සමත්වන පාඨමාලා නෙමෙයි. ඒ වගේම ජනමාධ්‍ය උපාධියක් ලංකා‍වේ තවම බිහිවෙලා නැහැ. ‍මේ නිසා ලංකාවේ “ මාධ්‍ය ” ආයතනවල සේවය කරන්නට කිසිම උගත්කමක් අවශ්‍ය නැහැ. තාත්තාගෙන් පුතාට, එ‍හෙමත් නැතිනම් තවත් රස්සාවක් කරන්නට සුදුසුකම් මදිවීම, තමන්‍ගේ නම ප්‍රසිද්ධ කරගන්නට ති‍යෙන ආසාව ව‍ගේ සිල්ලර කරුණු කාරණා නිසා තමයි ‍බො‍හෝ ‍දෙ‍නෙක් මාධ්‍ය ආයතනවල ‍සේවයට යන්‍‍නේ. ඒ විදියේ රස්සාවල් ලංකාවේ තියෙන්නේ තවත් එකක් විතරයි. ඒ තමයි පාර්ලිමේන්තුව. ඒ නිසාම තමයි අපේ රටේ මේ සිද්ධ වෙලා තියෙන සමස්ත විනාශයට වගකිවයුතු ප්‍රධාන කණ්ඩායම් දෙක විදියට දේශපාලකයන් වගේම ජනමාධ්‍ය කියන ආයතන හඳුන්වලා දෙන්නට පුළුවන් ‍වෙලා ති‍යෙන්නේ.

සමහර ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන් විදියට, ඒ වගේම සමහර පුවත්පත්වල කතුවරුන් විදියට පත්වෙලා ඉන්න චරිත දිහා බැලුවම ඒ විදියේ තනතුරක් තියා අඩුම තරමින් හන්දියේ පත්තර ලෑල්ලක පත්තර විකුණන්නවත් ඔවුන් සුදුස්සන් ද කියලා හිතෙනවා. භාෂාව නිවැරදිව භාවිත කිරීම ගැන නිරන්තර උනන්දුවක් දක්වන නිලාර් එන්. කාසිම් මිත්‍රයා මෑත දවසක දී ෆේස්බුක් මාධ්‍යය ඔස්සේ ජාතික පුවත්පතක මහ ලොකු අකුරින් පළවෙච්ච වැරදි සිරස්තල කිහිපයක් උපුටලා දක්වලා තිබුණා. භාෂාව ගැන මෙලෝ හසරක දැනීමක් නැති පිරිසක් කතුකම් දරන තැනක එවැනි පුවත් පළවීමේ කිසිම අරුමයක් නැහැ.

fb_img_1482560368036

මේ කරුණු මතකයට එද්දී මීට දශක දෙක තුනකට කලින් මගේ ඇස් දෙක ඉදිරියේම සිද්ධ වුණු සිදුවීමක් සිහියට නැගෙනවා. එක්තරා ජාතික පුවත්පතක සතිපතා පළවුණු ජනප්‍රිය සාහිත්‍ය අතිරේකයට වික්‍රමසිංහගේ සහ කුමාරතුංගගේ සේයා රූ දෙකක් පුවත්පතේ පුස්තකාල අංශයෙන් ‍තෝරා ගෙන එන ලෙස එම අතිරේක‍යේ සංස්කාරක කිත්සිරි නිමල් ශාන්තයන් එම අතිරේකය සම්පාදනය කරන්නට තමන්ට සහාය වන කර්තෘ මණ්ඩලයේ සගයාගෙන් ඉල්ලා හිටියා. සිංහල සාහිත්‍යය ගැන අවම හෝ අවබෝධයක් ඇති කවරෙකුට වුණත් සිංහල සාහිත්‍යයේ දී වික්‍රමසිංහයන් කියන්නේ මාර්ටින් වික්‍රමසිංහට බවත්, කුමාරතුංග කියන්නේ මුනිදාස කුමාරතුංගට බවත් අමුතුවෙන් කියාදෙන්නට අවශ්‍ය නැහැ. ඒත් සිංහල සාහිත්‍යය ගැන මොලෝ හසරක් නොදත් මේ තැනැත්තා අරගෙන ආවේ රනිල් වික්‍රමසිංහගේත්, චන්ද්‍රිකා කුමාරතුංගගේත් ඡායාරූප දෙකක්. මේක කර්තෘ මණ්ඩලයේ ඒ සගයාට විතරක් ආවේනික වෙච්ච ගැටලුවක් නෙමෙයි. ජනමාධ්‍ය කියලා හඳුන්වන ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් කියන පිරිසෙන් අඩුම තරමින් සිංහල සාහිත්‍යයේ අමරණීය පොත් දෙක තුනක්වත් කියවලා තියෙන කෙනෙකු ඇතිනම් ඒ මුලු ආයතනයේම ඉන්නා පිරිසෙන් එක්කෙනෙකු හෝ ‍දෙන්නෙකු පමණක්ම බව නම් ‍බො‍හොම වගකීමෙන් කියන්නට පුළුවන්.

edited-2

අපේ රටේ තියෙන සියලුම “ මාධ්‍ය ” ආයතන ඒ කිය‍න්නේ පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනී සහ වෙබ් අඩවි කියන මේ සෑම සියලු ආයතනයක්ම කිසිසේත්ම ස්වාධීන හෝ අපක්ෂපාතී හෝ නැහැ. එහෙම කිසිම ආයතනයක්  ලංකාවේ නැහැ. ඒ සෑම සියලු ආයතනයක්ම ක්‍රියාත්මක වෙන්නේ කිසියම් දේශපාලන අරමුණක් වෙනුවෙන්. එහෙමත් නැතිනම් කිසියම් ආර්ථික අරමුණක් වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන අඩුම තරමින් විකල්ප පුවත්පතක්වත් අපට නැහැ. මේ ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් කියා කියාගන්නා විශාල පිරිසක් කරන්නේ දේශපාලන කොන්ත්‍රාත්. ඒ‍ වෙනුවෙන් වැටුප්, වරප්‍රසාද, විදෙස් සංචාර නිරතුරුව හිමිවෙනවා. මේ නිසාම මේ ‍බො‍හෝ ‍‍දෙ‍නෙකුට තමන් සේවය කරන මාධ්‍ය ආයතනයෙන් වගේම තමන්ගේ දේශපාලන පක්ෂයෙනුත් ගෙවීමක් ලැබෙනවා. ඒ නිසා තමන්ගේ දේශපාලන පක්ෂය පරාජිත වෙද්දී වඩාත්ම කලබලයට පත්‍‍වෙන්නේ මේ ලියන පිරිසයි. ඒ තමන්ට හිමිවෙච්ච වරප්‍රසාද, විදෙස් සංචාර හිටි හැටියේම ඇණ හිටලා ආණ්ඩුවට සම්බන්ධ ලියන්නන්ට ඒ අවස්ථාව හිමිවෙන හින්දයි. ඒ නිසා පරාජිත පිරිස තරගයට පොත පත ලියා එළි දක්වනවා. කතුවැකි ලියනවා. බිල්ලන් මවා පානවා. ජාතිවාදය ආගම්වාදය අවුස්සනවා. මේක ලංකාවේ සියලුම මාධ්‍ය ආයතනවලට වලංගුයි.

දේශපාලකයන් නමින් ඇතැම් පුවත්පත්වල ප‍ළවෙන කොළම් ඔබ දැකලා ඇති. මේ කොළම් ‍‍බො‍හොමයක්ම ලියන්නේ කර්තෘ මණ්ඩලයේ වැඩ කරන සාමාජිකයෙක්. දේශපාලකයා නමින් කුලියට ලියනවාට ඔවුන්ට මුදල් හා වරප්‍රසාද ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ පිරිසට කරන්නට වැඩ රාජකාරි තවත් බොහොමයක් තියෙනවා. තමන්ගේ දේශපාලන පක්ෂයට විරුද්ධ මතවාදය සහිත පක්ෂයක ප්‍රවෘත්ති නිවේදනයක්, එහෙමත් නැතිනම් තමන්ගේ පක්ෂයට අහිතකර ප්‍රවෘත්තියක් ලැබුණු ගමන්ම ඒක තමන්ගේ පක්ෂයේ කණේ තිබීමත් මේ අයට පැවරෙන රාජකාරියක්. මේ හින්දා ඇතැම් වෙලාවට ප්‍රවෘත්තිය එන්නත් කලින් ප්‍රවෘත්තියට පිළිතුර අනෙක් දේශපාලන පක්ෂයෙන් මාධ්‍ය ආයතනයට ලැබෙනවා.

fb_img_1482560630069

ලංකාවේ සෑම සියලු මාධ්‍ය ආයතනයකටම පුවත් ප්‍රචාරය කරන්නට තහනම් වෙච්ච ලැයිස්තුවක් තියෙනවා. මුල්ම කාරණය නම් තමන් කඩේ යන දේශපාලන පක්ෂය හා දේශපාලකයාට තීරණාත්මක පහර වදින කිසිම දෙයක් ‍ඒ මාධ්‍ය ආයතනය තුළ ප්‍රචාරය වෙන්නට බැහැ. දෙවැන්න නම් තමන්ට දැන්වීම් ලබා දෙන මහා පරිමාණ සමාගම්වලින් සිදුවන කිසිම වරදක් ඒ මාධ්‍ය ආයතනයෙන් ප්‍රචාරය වන්නට බැහැ. ඒ වගේම තම ආයතනයේ ව්‍යාපාරික සැලසුම්වලට, තමන් ප්‍රිය කරන දේශපාලන චරිතවලට පහර වදින කිසිම ආකාරයක ප්‍රවෘත්තියක් ප්‍රචාරය වෙන්නත් බැහැ. මේ නිසා උසාවි‍යේ විභාග ‍වෙන නඩු හබ, ප්‍රවෘත්ති සාකච්චා. විවිධාකාර පුවත් තොග පිටින් ජනතාවගෙන් වසං වී යනවා. ‍පහුගිය කාල‍යේ ලංකා‍වේ සිටිය නමගිය ‍‍කෝටිපති‍යෙක් (පසුව ඔහු‍ගේ ව්‍යාපාර ‍ලෝකය ‍දෙදරා ගියා පමණක් ‍නෙ‍මෙයි ඔහුටත් බිරිඳටත් ඉතාම අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාන්නත් සිද්ධ වුණා) මාධ්‍ය ආයතනවලට ‍කොයි තරම් මුදල් දැන්වීම් දුන්නා ද කියනවා නම් ඔහු‍ගේ සභාපතිත්වය දරන බැංකු ව්‍යාපාර, ‍දේපළ ‍වෙළඳාම් විකිණී‍මේ ආයතනවලින් සිදුවුණු කිසිම මහජන පීඩාවක් මාධ්‍ය මගින් ‍හෙළි කරන්නට බැරි වුණා. ඔහු‍ගේ ‍දේපළ ‍වෙ‍ළෙඳාම් ව්‍යාපාර‍යේ දී සිදු වූ සට කපටකම් වලින් පීඩා වින්ද මිනිසුන් දුසිම් ගණනින් මාධ්‍ය ආයතනවලට ඇවිත් තමන්‍‍ගේ දුක කිව්වත් මහජනතාව ‍වෙනු‍වෙන් ‍පෙනී සිටිනවාය කියන කිසිම මාධ්‍ය ආයතනය අන්තිම පිටු‍වේවත් එකම අකුරක් ‍මේ දුක් ගැනවිලි ‍වෙනු‍වෙන් ‍‍‍වෙන් වුණේ නැහැ. කිසිම මාධ්‍ය ආයතනයක කැමරාවක්, මයික්‍රෆෝනයක් ‍මේ අහිංසකයන් ‍වෙනු‍වෙන් එල්ල වු‍ණේ නැහැ. ඒ ව‍ගේම ‍මේ ‍කෝටිපතියා අනුරාධපුර දිස්ත්‍රික්ක‍යේ තන්තිරිමලය ව‍ගේ ඈත ගම් නියම්ගම්වල ජනතාව ගම් පිටින්ම අන්‍ය ආගම්වලට හැරවී‍මේ ව්‍යාපාරයක් ‍ඉතාම සාර්ථකව ‍ගෙන ගියත් සිංහල ‍බෞද්ධයන් ‍වෙනු‍වෙන් ‍පෙනී සිටිනවාය කියන පත්තරවලින්වත් එකම අකුරක් ඒ ගැන ලියැවු‍ණේ නැහැ. ඒ ව‍ගේම ඇතැම් ඇමතිවරුන්‍‍ගේ මිනීමැරුම් නඩු, ‍කොළඹ කුරුඳුවත්‍‍තෙන් ඉඩම් අක්කරය රුපියල් දහ හතර ගණ‍නේ ගත්ත නඩු කිසිවක් ජනතාව ‍වෙනු‍වෙන් ‍පෙනී සිටිනවාය කියන මාධ්‍යවලින් පළ වු‍ණේ නැහැ. ‍මේ නිසා ‍මේ දේවල් කිසිම දවසක, කිසිම තැනක කිසිම ‍වෙලාවක සිදු ‍නොවූ දේවල් විදියට ඉතිහාසයෙන් මැකිලා ගියා.

‍අ‍පේ පාඨකයන්, ‍ප්‍රෙක්ෂකයන් නොදන්නා තවත් එක් ‍දෙයක් ති‍යෙනවා. ඒ තමයි සෑම මාධ්‍ය ආයතනයකම ගුවන් කාලය ඒ ව‍‍ගේම සෑම පත්තර ආයතනයකම පත්තර පිටුවල ඉඩ ප්‍රමාණය තීරණය කරන්‍‍නේ ‍මේ ව්‍යාපාරිකයන් කියන කාරණාව. අ‍පේ රටේ ඕනෑම පුවත්පතක ප්‍රවෘත්ති ‍වෙනු‍වෙන් අදාළ ඉඩකඩ කර්තෘ මණ්ඩලයට දැනුම් ‍දෙන්නේ  දැන්වී‍ම් අංශ‍යෙන් අනුමත වුණාට පස්‍‍සෙයි. ඒ කියන්‍‍නේ දැන්වීම් අංශයෙන් අනුමත ‍වෙලා ලැ‍බෙන සීමිත ඉඩකඩ වලට නිවුස් පුරවනවා මිසක් කර්තෘ මණ්ඩලයට උවමනා විදියට පුවත් පළ කරන්නට කිසිම මාධ්‍ය ආයතනයකින් ඉඩක් නැහැ. ඒ කියන්‍‍නේ ඔබ කියවන පුවත්ප‍තේ ඔබ කියවිය යුත්‍‍තේ කුමන ‍දේවල්, කුමන ප්‍රමාණයකින්ද යන්න තීරණය කරනු ලබන්‍‍නේ ර‍ටේ ව්‍යාපාරිකයන් හා ‍දේශපාලකයන් විසිනුයි. ඔබ සාල‍යේ සිට නරඹන රූපවාහිනි‍යේ, ඔබ ඇහුම්කන් ‍දෙන ගුවන්විදුලි‍යේ, ඔබ මුදල් දී මිලදී ගන්නා පත්තර‍යේ ‍තොරතුරු සටහන් ‍කර ඇත්‍‍තේ ඔබ දැනගත යුතු කරුණු වලට වඩා ඔබෙන් වසන් කළ යුතු කරුණු ‍මොනවාද යන්න ගැන හිතා බලා සීමා කරලාය කියන කාරණය ගැන ඔබට මීට ‍පෙර හිතිලා තිබුණා ද? ‍ලෝක‍යේ ‍ඕනෑම රටක ලොකුම මුද්‍රණ යන්ත්‍රය, ‍ලොකුම පත්තර ‍ගොඩ ධනපතීන් අත ති‍බෙන තාක් කල් මාධ්‍ය නිදහස කියන්‍නේ  හුදු රැවටිල්ලක්ම පමණයි කියලා මාක්ස් කී‍වේත් ඔය අර්ථ‍යෙන්මයි.

ඔ‍බේ වීරයන් බවට පත්‍‍වෙලා ඉන්න ‍දේශපාලකයන් තමන්‍‍ගේ ලස්සන පිංතූරයක් පත්ත‍රේ ඔබ්බවා ගන්න, තමන් පාර්ලි‍මේන්තු‍වේ කතා කළ ‍දෙයකින් ‍හෙඩිමක් දාගන්න, තමන්‍‍ගේ කතාවක් පත්ත‍රේ පළ කරවා ගන්න “ ජනමාධ්‍ය ” ආයතන අස්‍‍සේ ‍රිංගන හැටි දැක්කාම ජනතාව ඉදිරි‍යේ ‍මේ අය ‍පෙන්නන වීරකම් ‍කොයි තරම් හිස් හා පුස් වීරකම් ද කියා හි‍තෙනවා. ඇතැම් ‍දේශපාලකයන් පාර්ලි‍‍මේන්තු‍වේ කතාව ඉවර ‍වෙච්ච ගමන් පත්තර ගැලරියට දුව‍ගෙන එන්‍‍නේ තමන්‍‍ගේ කතා‍වේ පිටපතක් අර‍ගෙන ඒක පළකර ගන්නට පිං‍සෙන්ඩු ‍වෙන්න බලා‍ගෙනයි. ‍මේ අරමුණ ඇතිව ඔය කියන ‍දේශපාලකයන් මාධ්‍යයට සම්බන්ධ පිරිසට ප්‍රිය සාද පවත්වනවා. තෑගි ‍‍භෝග පිරිණමනවා. ‍මත්පැන් ‍බෝතල් සහිත හැම්පර් එවනවා. ඔබ ඉතා ‍ගෞරව‍යෙන් සළකන, ජාතික වීරයන් යැයි ‍හිතා ‍ගෙන සිටින බො‍හෝ ‍දේශපාලකයන්‍ගේ සැබෑ කල්කිරියාව ඔයාකාරයි. (‍මේ විදියට ප්‍රසිද්ධිය පසුපස හඹා ‍නොගිය මහත්මා ‍දේශපාලන‍යෙන් සපිරි අතිශය අතළොස්සක් වූ සැබෑ ‍රාජ්‍ය තාන්ත්‍රිකයකු ‍ලෙස ලක්ෂ්මන් කදිරගාමර් මහතා‍ගේ නම සිහිපත් කරන්‍‍නේ ඔහුට ‍ගෞරවයක් වශ‍යෙන් ව‍ගේම ඔහු‍ගේ සමීප‍යෙන්වත් තබන්නට සුදුසු තවත් අ‍යෙකු මතකයට නගා ගන්නට බැරි නිසයි).

‍මේ විදියට දේශපාලකයන්ට ක‍ඩේ යා‍මේ උණ මාධ්‍ය ආයතනවල ‍‍කර්තෘ මණ්ඩලවල ‍සේවය කරන පිරිසට විතරක් ‍නෙමෙයි ඒ මාධ්‍ය ආයතනවල ‍සෝදුපත් බැලීමේ අංශය, පිටු සැකසුම් අංශය ව‍ගේ අ‍නෙක් අංශවල ඇතැම් පිරිසටත් පැතිරිලා ගිහින් ති‍යෙනවා. එක්තරා අවස්ථාවක එක්තරා රාජ්‍ය නායක‍යෙක් හතළිස් ගණනක් වූ දැවැන්ත පිරිසක් අර‍ගෙන එක්සත් ජාතීන්‍‍ගේ මහා සම්‍‍මේලනය අමතන්නට පිටත් වුණා. ‍මේ ‍පිරිස‍ගේ සුඛ විහරණය ‍වෙනු‍වෙන් අතිශය සු‍ඛෝප‍‍‍භෝගී ‍හෝටල් සංකීර්ණයක් ව‍ගේම අති දැවැන්ත මහජන මුදලක් ‍වෙන් ‍කෙරුණා. (‍මේ වියදම ඇමරිකානු ජනාධිපතිවරයා‍ගේ කණ්ඩායම ‍වෙනු‍වෙන් වියදම් කළ මුදලටත් වඩා වැඩි අති විශාල මුදලක්). ‍‍මේ අතිවිශාල ධනස්කන්ධය ගැන වචනයක්වත් ‍නොකියා ජනාධිපතිවරයා හතළිස් ගණනක කණ්ඩායමක් අරගෙන එක්සත් ජාතීන්‍‍ගේ සමුළුව අමතන්නට ගිය බව පමණක් එක්තරා ජාතික පුවත්පතක රාත්‍රී සංස්කරණ‍යේ දී මුල් පිටු‍වේ කුඩා ප්‍රවෘත්තියක් ‍ලෙස පළ ‍කෙරණා. ‍මේ පුවත තමන්‍‍ගේ ‍දේශපාලන නායකයාට හානියක් ‍ලෙසින් වටහා ගත්ත පිටු සැකසුම් අංශ‍යේ තැනැත්‍‍තෙක් තමන් ක‍ඩේ යන මන්ත්‍රීවරයකු හරහා අන්ති‍මේ දී ඇමරිකා‍වේ සිටි ජනාධිපතිවරයා ‍වෙත ‍මේ පුවත ගැන දැනුම් දුන්නා. ‍මෙහි අවසන් ප්‍රතිඵලය වු‍ණේ ජනාධිපතිවරයා ඇමරිකා‍වේ සිට (එය පුද්ගලික මාධ්‍ය ආයතනයක් වුවත්) එම මාධ්‍ය ආයතන‍යේ ප්‍රධානියා අමතලා ‍මේ ප්‍රවෘත්තිය වහාම ගලවා දමන ‍‍ලෙස නි‍යෝග කිරීමයි. මාධ්‍ය ආයතනවල ස්වාධීනත්වය, සදාචාරය ක්‍රියාත්මක ‍වෙන ආකාරය ගැන තවත් එක් නිදසුනක් පමණයි ඒ.

සමහර සිද්ධීන් කොයි තරම් සැලසුම් සහගතව සිද්ධ වෙනවාද කියනවා නම් චන්දදායකන් වුණු පාඨක ප්‍රේක්ෂක පිරිසට මේ දේවල් සිද්ධ වෙන ආකාරය ගැන හිතාගන්නටවත් බැහැ.  උදාහරණයක් විදියට කියනවා නම් පහුගිය ආණ්ඩුව කාලයේ මැර දේශපාලනය සම්බන්ධයෙන් නමක් තියපු ගම්පහ පැත්තේ දේශපාලකයෙක් ගැන සති අන්ත ජාතික පුවත්පතක අත දිග හැරලා පහර දීලා තිබුණා. මේ ලිපිය පළවෙලා තිබුණේ ඒ ආණ්ඩුව කාලයේ දීමයි. ඒ ජාතික පුවත්පතත් පැවැති ආණ්ඩුවට හිතවත් පුවත්පතක්. ලිපිය ලියලා තිබුණේත් ඒ ආණ්ඩුවට කඩේ යාමට සැදී පැහැදී සිටින තැනැත්තෙක්. ආණ්ඩුවට හිතවත් පුවත්පතක ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් ගැන මේ විදියට අත දිග හැරලා සම්පූර්ණ පිටුවක් පුරාම පහර දීලා තියෙන හැටි දැක්කම ඕනෑම කෙනෙකුට හිතෙන්නේ ඔය කියන පුවත්පත හරිම අපක්ෂපාතී , ගහන්න ඕන තැනට ගහන කොන්ද කෙළින් තියෙන පත්තරයක් කියලයි. ඒත් ඇත්තම කතාව නම් ඒ ලිපියට අවශ්‍ය කරන සෑම ලිපි ලේඛනයක්ම, සෑම ‍තොරතුරක්ම සපයලා ලියන්නට අවශය කරන උදෙස් පවා ලැබුණේ ආණ්ඩුවේ ඉහළම තැනකින් වීමයි. ඒකට හේතුව අදාළ පුද්ගලයා එම ප්‍රදේශයේ සංවිධායක තනතුරින් පහ කරලා ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ බිරින්දෑ කෙනෙකුට ඒ තනතුර ලබා දෙන්නට තිබුණු උවමනාව නිසයි. මතුපිටින් පෙනෙන ස්වාධීනවත්වය යටින් ගලාගෙන යන දේශපාලන කොන්ත්‍රාත්වල ස්වභාවය ගැන එකම එක උදාහරණයක් විතරයි ඒ.

 

මේ මාධ්‍ය යැයි කියාගන්නා ආයතනවල තමන් හැම දෙයක්ම දන්නවා යැයි හිතාගෙන සිටින මාධ්‍ය ඔස්තාර්ලා අහුරු ගණනින් ඉන්නවා. මුලු ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම සිද්ධ වෙන හැම දෙයක්ම බලාගෙන හිටියා වගේ ලියන ඔය විදියේ ඔස්තාර් කෙනෙක් ගැන තවත් උදාහරණයක් කියන්නම්. තමන් වැඩ කරන පත්තරයට වගේම මේ තැනැත්තාටත් හැම දෙමළ මිනිහාම පෙනෙන්නේ කොටියෙක් වගේ. තමන්ගේ මතවාදයට සමපාත නොවන හැම සිංහලයාම පෙනෙන්නේ එන් ජී ඕ ඩොලර් කාක්කන් වගෙයි. පහුගිය කාලයේ එක්තරා දවසක සිවිල් නීතියක් කඩකළ දෙමළ ජාතික සම්භවයක් සහිත කැනඩා වැසියෙකු කැනඩාවේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. කැනඩාවේ පොලිසිය සම්ප්‍රදායිකව හදුන්වන්නේ RCMP (Royal Canadian Mounted Police) කියලයි. මේ මාධ්‍ය ඔස්තාර් තමන් වැඩ කරන පත්තර ආයතනයේ ඉරිදා පත්තරයේ ප්‍රධාන ප්‍රවෘත්තිය විදියට මේ කතාව ඉදිරිපත් කරලා තිබුණේ කැනඩාවේ අශ්වාරෝහක පොලිසිය ප්‍රබල කොටි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත්තා කියලයි. අශ්වාරෝහක පොලිසියක් කැනඩාවට නැති බව පත්තරයේ කතුවරයා දන්නේත් නැති නිසා මේක පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය විදියට ලොකුම අකුරින් පළවුණා විතරක් නෙමෙයි ෆේස් බුක් මාධ්‍යය ඔස්සේ හැම තැනම පැතිරිලාත් ගියා.

නිර්නාමිකව යමෙකු හදුන්වන්නට අවශ්‍ය වුණාම ඒ තැනැත්තා ජෝන් ඩෝ හෝ ජෝන් ස්මිත් ලෙසත්, කාන්තාවක්  නම් ජේන් ඩෝ නැතිනම් ජේන් ස්මිත් ලෙසත් හැදින්වීම සාමාන්‍ය සම්ප්‍රදායක්. සියල්ල දත් ඔය කියන මාධ්‍ය ඔස්තාර්ගේ  දැනුම කොයි තරම් ද කියනවා නම් ජෝන් ඩෝ නම් වූ තැනැත්තෙකුගේ කුමන්ත්‍රණයක් ගැන අපූරු ප්‍රවෘත්තියක් විතරක් නෙමෙයි විශේෂාංග ලිපියකුත් ඔය කියන පත්තරයේ පළවුණා.  කිසිම ප්‍රවෘත්තියක දිගක්, පළලක්, සත්‍ය අසත්‍ය භාවයක් සොයා බැලීමේ සම්ප්‍රදායක් අපේ මාධ්‍ය යැයි කියා ගන්නා ආයතනවලට නැති නිසා ඕනෑම පල්හෑල්ලක්, ඕනෑම බොරුවක් මහා පුවතක් විදියට මවා පාන්නට පුළුවන්. ඒ ව‍ගේම පුවතක සත්‍ය අසත්‍යතාවය මැන ගන්නට තරම් හැකියාවක් ‍හෝ දැනීමක් ඒ ආයතනවල ප්‍රධානීන්නටත් නැහැ. ප්‍රවෘත්ති වාර්තාකරණය කියන කාර්යය ඉතාම භාරදූර ඒ ව‍ගේම සමාජය ගැන බරපතල අවධානයකින් ‍යුක්තව කළ යුතු කාර්යයක්. ඒත් ‍මේ කාර්යයෙහි භාරදුරත්වය හරිහැටි වටහා ගන්නට සමත් ‍වෙච්ච එකම මාධ්‍ය ආයතනයක්වත් ලංකා‍වේ ති‍යෙනවා කියලා හිතන්න බැහැ. ‍අපාරධ සම්බන්ධ වාර්තාකරණය විතරක්ම ඊට ප්‍රමාණවත්. ( ‍මේ ගැන ‍වෙනම ලිපියක් ‍මේ බ්‍‍ලොග් අඩවි‍‍යේ ති‍යෙනවා).

මාධ්‍ය භාවිත‍යේ ති‍‍යෙන ‍මේ අශ්ලීචාර ස්වභාවය නිසා සැබෑ උගතුන් මාධ්‍ය හා ගනු‍දෙනු කිරීම මුළුමනින්ම නවතා දමා අවසන්. ‍සෑම සියලු ක්‍‍ෂේත්‍රයකම සැබෑ උගතුන් සහ ප්‍රවීනයන් මාධ්‍යවලින් ඈත් වී තමන්‍‍ගේ නිර්මාණ හා පත ‍පොත මගින් පමණක් ජනතාවට ළංවී ඇති නිසා හිස් සහ ‍බොල් මිනිසුන් පත්තර පිටු පුරවනවා. රූපවාහිනී කැමරා ඉදිරි‍යේ ‍පෙනී සිටිනවා. ‍‍‍‍මේ නිසා හිස් ‍බොල් මිනිසුන් සැබෑ උගතුන් ‍ලෙස ජනතාව සිතා‍ගෙන සිටිනවා. ‍මේ අය කියන ‍දේවල් පරම සත්‍යයන් ‍ලෙස අදහනවා. කට ඇරි‍යොත් ජාතික චින්තනය ගැන පමණක්ම නන් ‍දොඩවන හිස් ජාතික චින්තන කරුවන්‍ගේ දරුවන් ඇමරිකා‍වේ සුද්දන්‍‍ගේ සංස්කෘතියට අපූරුවට අනුගත ‍වෙලා ඉන්නවා. සමාජවාදය ගැන මාධ්‍ය ඉදිරි‍යේ වචන වමාරන වාමාංශික නායකන්‍‍ගේ දරුවන් ධනවාද‍යේ ඉහළම තල‍යේ රටවල සුවපහසු ජීවිත ‍ගෙවනවා. ජාතිකත්වය, අ‍පේකම, සිංහල ‍බෞද්ධකම ගැන හූල්ලමින් ජාතිවාදය ආගම්වාදය වපුරන දේශපාලකයන්‍ ‍කෝටි ගණන් මහජන මුදල් නාස්ති කරමින් වි‍‍දෙස් සංචාරවල නිරත ‍වෙනවා. ඇමරිකා‍වේ කැසි‍නෝ හල්වල කැසි‍නෝ සූදුවේ නිරත‍ ‍වෙනවා.

මාධ්‍යවේදීන් කියන පිරිස ගත්තත් ‍මේ අය ගැන මිනිසුන් හිතා‍ගෙන සිටින ප්‍රතිරූප ‍කොයි තරම් හිස් සහ හරසුන්ද යන්න සැබෑ තතු දන්නා අය දන්නවා. මානව දයාව ගැන සිත කම්පා කරවන තීරු ලිපි, රචනා ලියන‍ ‍බො‍‍හෝ ‍දෙ‍නෙකු තුළ මානව දයාව තබා අඩුම තරමින් සරල මනුස්සකමවත් ගෑවිලා නැහැ. ජීවිතය ගැන ආදර‍යෙන් හිතන්නට ආරාධනා කරන , මනුෂ්‍යත්වය අත්ල උඩ තබා‍ගෙන ‍පෙන්වා ‍දෙන ලේඛකයන් රහ ‍මෙර ‍පොදක් පානය කළාට පස්‍‍සේ හැසි‍රෙන්‍‍නේ තිරිසනුන්ටත් වඩා අන්ත විදියට. ආගම දහම ගැන විතරක්ම ලියන බො‍හෝ ‍දෙ‍නෙකු‍ ගත කරන්‍‍නේ අසම්මත ජීවන රටාවන්. ආගම දහම කියන්‍‍නේ ජාතිකත්වය ව‍ගේම ‍හොදට විකුණන්නට පුළුවන් ඉතාම ලාභ උපදවන මාර්ගයක්. පුවත්ප‍තේ පළකළ ලිපි එකතු කර සිත නිවන්නට ‍පොත් ‍පෙළක් පළ කළ එක්තරා මාධ්‍යවේදියෙක්‍‍ගේ (‍මේ ‍පොත් ‍පෙළ දහස් ගණනින් අ‍ලෙවි ‍වෙනවා) ‍නොහික්මුණු ජීවන රටාව විලි ලැජ්ජාවක් ඇති කවර ‍කෙනෙකුටවත් දරා ගන්නට බැරි තරම් පිළිකුල්. ‍මේ ‍පොත් ‍පෙළට පදනම් ‍වෙච්ච හිමි නම පවා පුවත්‍ප‍තේ ලිපි ‍පෙළ ආරම්භ‍යේ දීම තමන් කිසිදා කිසිදිනක වන‍යෙන් පිටතට ‍‍නොවඩින බවත්, එ‍මෙන්ම තමන්‍‍ගේ නම ‍හෙළි ‍නොකරන බවටත් ප්‍රතිඥා දී තිබුණත් ‍පොත් ‍පෙළ අ‍ලෙවි ‍‍වෙද්දී උන්වහන්‍‍සේ  වන‍යෙන් සමුඅර‍ගෙන දැන් ප්‍රසිද්ධිය පසුපස හඹා යන තවත් එක් යූ ටියුබ් තාරකාවක් බවට පත්‍‍වෙලා. මීට දශක කිහිපයකට ‍පෙර ‍මේ විදියටම පුවත්ප‍තේ ලිපි එක්‍‍කරලා දහස් ගණනින් අ‍ලෙවි වුණු ‍පොත් ‍පෙළක් ප්‍රකාශයට පත් කළ ඔය විදි‍යේම මාධ්‍යවේදි‍යෙක් ඒ මුදලින් තමන්‍‍ගේ සුඛ විහරණයට මාලිගාවක් තනා ගත්තා. (‍මේ මාළිගාව දන්නා හඳුනන පත්තර මිතුරන් අත‍රේ ප්‍රසිද්ධ වු‍ණේත් ‍පො‍තේ නමින්මයි) ආගම දහම ගැන ‍මේ පුද්ගලයා රටටම බණ කියද්දී බාල වයස්කාර දැරියක් ‍මේ පුද්ගලයා‍ගේ නිව‍සේ ‍මෙ‍හෙකාර කම් කරමින් ‍නොවිදිනා දුක් වින්දා.  ‍මේ විදි‍යේ උදාහරණ කියන්නට ගි‍යොත් ‍මේ ලිපි‍යේ ‍කෙළවරක් දකින්නට ලැ‍බෙන්‍නේ  නැහැ.

edited

එකම පුවත ගැන අපේ “ජාතික ” පත්තරවල අපූරු ගණන් හැදිල්ල

ජනමාධ්‍ය යැයි කියාගන්නා ‍මේ ව්‍යාපාර ආයතන උ‍දේ පාන්දරින් දවස අරඹන්‍‍නේම මිත්‍යාව සමාජය පුරා වපුරමින්. ‍ජ්‍යොතිෂකරුවන්, අධ්‍යාත්ම‍වේදීන්, හක්ගෙඩි ‍බෙල්ලන් තිරය ඉදිරිපිට ති‍යා‍ගෙන මාධ්‍යවේදීන් යැයි කියාගන්නා ගිරවුන් කරන විගඩම හරිම අජුවක්. ‍බො‍හෝ‍ ‍දෙ‍නෙක් පත්තර‍යේ අ‍නෙක් පිටු කියවන්නටත් ‍පෙර කියවන්නට සැදී පැහැදී සිටින ලග්න පලාපල පවා ‍බො‍හෝ විට ‍ගෙවී ගිය සති‍යෙන් එ‍හෙමත් නැතිනම් ‍ගෙවී ගිය මාස‍යේ පුවත්ප‍තේ පළවූ පිටුවකින් ඒ විදියටම ‍‍‍‍ගෙඩි පිටින් අර‍ගෙන කට් ඇන්ට් ‍‍පේස්ට් කරන එකක් බවවත් ‍අ‍පේ පාඨකයන් දන්‍‍නේ නැහැ. ‍මේ මාධ්‍ය ව්‍යාපාර ආයතන පිරිත පවා විකාශය කරන්‍නේ  එහි ආර්ථික අර්ථ‍යෙන් මිස ආගමික අර්ථ‍යෙන් ‍‍‍නොවන බව වටහා ගන්නට තවමත් ‍බො‍හෝ ‍දෙ‍නෙකු සමත් ‍වෙලා නැහැ. එ ව‍ගේම රට, ජාතිය, ආගම ගැන පත්තර පිටු ‍පුරා ලිපි ලියැ‍වෙන්‍‍නේ, ගුවන් කාල සීමාවන් ‍වෙන් ‍කෙ‍රෙන්‍නේ තමන්‍‍ගේ ‍ආදායම් මඩිය තරකරගන්නට මිසක් සැබෑ ‍දේශ‍ප්‍රේම‍යෙන්වත් සැබෑ ජාතිකත්ව‍යෙන්වත් ‍නෙ‍මෙයි කියන එක අප වටහා ගන්නට අපි අසමත් වන තරමටම ‍මේ රැවටීම හැමදාමත් සිද්ධ ‍වේවී. ධනේශ්වර ‍වෙ‍ළෙඳාම කියන්‍‍නේ පූර්ණ රැවටීමක් කියලා ‍ට්‍රොට්ස්කි කී‍වේත් මේ නිසයි. ‍‍මාධ්‍ය ආයතන කියන ව්‍යාපාරික මධ්‍යස්ථාන ‍මේ අපූරු ජවාරම කර‍ගෙන යන්‍නේ දේශ ‍ප්‍රේමය , ජාති ආලය, වි‍දේශ කුමන්ත්‍රණ ‍මේ හැම ‍දෙයකින්ම ඔබ අප රවටන ‍දේශපාලකයන් සමග අත්වැල් බැද‍ගෙනයි. ඇස් පිය ‍නො‍හෙලා ඔබ දෑස් දල්වා ‍ගෙන සිටින රූපවාහිනී විවාද,  ‍දේශපාලන සාකච්ඡා ‍මේ හැම ‍දෙයක්ම ‍මේ ඇස්බැන්දු‍මේම කොටසක්. ‍මේක ‍කොයි තරම් සාර්ථකව සිද්ධ ‍වෙනවාද කියනවා නම් ‍‍ලොමු දැහැගන්වන, හිත කීරිගස්සන ‍මේ විදි‍යේ ‍දේශපාලන සාකච්ඡා, සංවාද, වාද විවාද පැවැත්‍‍වෙන රූපවාහිනී තිරය ඉස්සරහ අ‍පේ ජනතාව ‍නෙත් දල්වා‍ගෙන බලා‍ගෙන ඉන්‍‍නේ ‍හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක් බලා‍ගෙන ඉන්නවා ව‍ගෙයි. ‍මේක අවුරදු ගණනාවක්ම හරිම යස අපූරුවට සිද්ධ ‍වෙනවා. අන්තිමේ දී අපිත් එතැනමයි. රටත් එතැනමයි. එත් රූපවාහිනී ආයතනය තමන්‍‍ගේ මඩිය තර කරගන්නවා.  ඒ ව‍ගේම ‍ඔබට ‍පෙ‍නෙන්නට ‍රූපවාහිනී තිරය ඉස්සරහ ගහමරා ගත්ත ‍දේශපාලකයන් මොන ආණ්ඩුව ආවත් බල‍යේ ඉන්නවා. ඇමැති ධුර දරනවා. ‍‍‍මේක ‍බො‍‍හොම දැනුවත්ව සිද්ධ ‍වෙන ජාවාරමක්. මහ දවල් සිදු‍කෙ‍රෙන මං‍කොල්ලයක්.

වස‍රේ විශිෂ්ටතම මාධ්‍යවේදියා, වස‍‍‍රේ විශිෂ්ටතම ප්‍රවෘත්තිය, විශිෂ්ටතම ඡායාරූපය, විශිෂ්ටතම වි‍ශේෂංග ලිපිය ඔය විදි‍යේ වස‍රේ විශිෂ්ටතම මාධ්‍යකරුවන්ට සම්මාන ‍දෙන තවත් විගඩමක් අ‍පේ ර‍ටේ ති‍යෙනවා. ‍මේ ‍දේවල් දකිද්දී ඔබට හි‍තෙනවා ඇති කතුවරුන්‍‍ගේ  සංසදය එ‍හෙමත් නැතිනම් පුවත්පත් මණ්ඩලය ‍ව‍සර පුරා රට තුළ පළ‍වෙච්ච පුවත්පත් ලිපි රචනා, ඡායාරූප ඒ ව‍ගේම රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන් සියල්ල අපක්ෂපාතීව සලකා බලා ඒ ගැන තක්‍‍සේරුවක් කරලා ‍මේ සම්මාන ප්‍රදානය කරනවා කියලා. ඔබ එ‍හෙම හිතා‍ගෙන හිටියා නම් ඔබ මුළුමනින්ම වැරදියි. ‍මේ සියලු සම්මාන ලබා ගන්නට ඕ‍නේ තමන් ඉල්ලලායි. ඒ කියන්‍‍නේ වස‍රේ විශිෂ්ටතම මාධ්‍යවේදියා විදියට සම්මාන ලබන්නට ඔබට උවමනා නම් ඔබ කළ කී ‍දේ සියල්ල ලියලා, ඒවා‍යේ ‍ඡායා පිටපත් අමුණලා “ අ‍නේ මට ඔය සම්මානය ‍දෙන්න කියලා ” ඔබ ඉල්ලා සිටින්නට ඕ‍නේ. ව‍ස‍රේ විශිෂ්ටතම වි‍ශේෂාංග ලිපියට සම්මානය ඔබට උවමනා නම් “ අ‍නේ ‍මේ බලන්න ම‍ගේ ලිපිය ‍කොයි තරම් ‍හොඳද කියලා. ඔය සම්මානය මට ‍දෙන්න ” කියලා ලිපිය අමුණලා සම්මාන ‍දෙන මණ්ඩලයට ඔබ යවන්න ඕ‍නේ. එ‍හෙම යැවු‍වේ ඔබ විතරම නම් ‍සම්මානය ඔබට . තවත් ‍දෙතුන් ‍දෙ‍නෙක් එවුවා නම් ‍ඒ අය අතරින් ‍පොඩි තරගයක් ඔබට ති‍යේවි. විලි ලජ්ජාව කියන බල නහරය ‍ලේවලට සම්බන්ධ ‍වෙලා ති‍යෙන කිසිම ‍කෙ‍නෙකුට ඔය ‍දේ කරන්නට බැහැ. ඒත් මාධ්‍ය කියන ආයතන ඇතු‍ළේ විලි ලැජ්ජාව කියන්‍‍නේ අතිශය ‍නොවැදගත් කාරණාවක් නිසා හැම අවුරුද්දකම ‍බෙර ගහලා, මහා ‍ලොකු ‍‍හෝටලයක් ඇතුළේ ඔය කියන සම්මාන ‍මොනර නැටුම මහා උජාරු‍වෙන් පැවැත්වෙනවා.

‍මේ ලිපියේ මුලදීම කිවුවා ව‍ගේ ‍අපි ‍බො‍‍හෝ ‍දෙ‍නෙක් එකි‍නෙකා හමුවුණාම ‍බො‍හොම බරසාර විදියට වාද විවාද කරන්‍‍නේ, ‍‍ෆේස්බුක් ව‍ගේ මාධ්‍ය ඔස්‍‍සේ රැයක් දවාලක් නැතිව හුවමාරු කරන්‍‍නේ ඔන්න ඔය කිව්ව මාධ්‍ය ව්‍යාපාර ආයතනවලින් එළියට දාන, ඔය කිව්ව විදි‍යේ මාධ්‍ය ඔස්තාර්ලා‍ගේ පෑන් තුඩින් ගිලිහිලා යන වැල්වටාරම්. ෂර්මර් ‍පෙන්වා දුන්නු විදියටම සිහිබුද්‍ධි‍යෙන් වටහා ගන්න පුළුවන් ‍දේවල් ‍හොඳ හැටි ‍පෙ‍නෙන්නට තිබිය දීත් ‍ඔය විදි‍යේ මනස්ගාත පසුපස්‍‍සේ අපි දුවන්‍‍නේ වසර මිලියන ගණනාවකට පෙර ඉඳන් තවමත් අපි තුළ ඉතිරි‍වෙලා පවතින “ තිරිසන් ලක්ෂණයක් ” නිසයි. ‍මේ ලක්ෂණය දූපත් මානසිකත්වයක ගිලිලා ඉන්න අ‍පේ ර‍ටේ ජනතාව‍ගේ ‍බො‍හොම වැඩියි. ‍තමන්‍‍ගේ දරුවන්ට ‍පොත්පත් අර‍ගෙන ‍දෙන්න සල්ලි නැතිව නිල්වලා ගඟට පනින අම්මලා ඉන්න රටක ඒ ප්‍රවෘත්තිය හරිම අභිරුචි‍යෙන් වර්ණනා කරනවාට වඩා ‍දෙයක් සැබෑ මාධ්‍ය සම්ප්‍රදායක් ති‍බෙන රටක නම් අනිවාර්ය‍යෙන්ම සිද්ධ ‍වෙනවා. ‍මේ හැම මාධ්‍යයකම පාඨකයන් එ‍‍හෙමත් නැතිනම් ‍ප්‍රෙක්ෂකයන් ‍වෙලා ති‍යෙන්‍‍නේ ර‍ටේ ඡන්දදායකයන් බවත් අමතක කරන්නට එපා. ‍මේ නිසා පොත්පත් අරන් ‍දෙන්න සල්ලි නැතිව අම්මලා ගඟට පනින රටක ඊළග චන්ද‍යෙන් බලයට පත්‍‍වෙන්න ව්‍යවස්ථා සං‍ශෝධන ව‍ගේ බරසාර ‍දේවල් කරන්නට ඕ‍නේ නැහැ. රබර් ‍සෙ‍රෙප්පු ‍බෙදා දුන්නත් ඒ ‍හොදටම ඇති. අ‍පේ ර‍ටේ ඉතාම ඉක්මනින් ටයිටැනික් සංස්කෘතියක්, ස්ටාර් ‍වෝස් සංස්කෘතියක් ඇති වුණත් ඒ ව‍ගේ ඉක්මනින් ඩිස්කවරි සංස්කෘතියක් හැ‍දෙන්‍‍නේ නැත්‍‍තේත් සැබෑවත්, ‍බොරුවත් ‍වෙන් කරලා හඳුනා ගන්නට තරම් ‍‍මෝරපු මනසක් අප බො‍හෝ ‍‍දෙ‍නෙකු තුළ තවමත් නැති නිසයි. ‍මේ නිසා අපි හැම ‍දෙ‍නෙක්ම ජීවත් ‍වෙන්‍‍නේ “ දිව්‍ය ‍ලෝ‍කේ ළඟයි ‍පේන මා‍නේ ” කියන ෆැන්ටසිය අස්‍‍සේ හිර‍වෙලා. ‍මේ මායාවේ අපි මුලා‍වෙලා ඉන්‍‍නේ මැතිවරණ කාල‍යේ දී විතරක් ‍නෙ‍මෙයි, ජනමාධ්‍ය මගින් හසුරුවන අ‍පේ මුළු ජීවිත කාලය පුරාම අපි ‍මේ මුලාවට ‍ගොදුරු ‍වෙලා ඉන්නවා.

‍මේ හැම ‍දෙයක්ම අවසාන‍යේ කියන්නට ති‍‍යෙන්‍‍නේ ජනමාධ්‍ය යන්න හු‍දෙක් ප්‍රවෘත්ති අර්ථයෙන්ම පමණක්ම ‍තේරුම් ගන්නට යාම බරපතල අපරාධයක් එ‍හෙමත් නැතිනම් බරපතල වරදක් කියන කාරණාවයි. වඩාත්ම වැදගත් වන්‍‍නේ මාධ්‍ය‍ය කියන ‍මේ ව්‍යාපාරය යටන් දිව යන ‍දේශපාලනය ‍තේරුම් ගැනීමයි. ‍මේ ‍දේශපාලනය ‍තේරුම් ගන්නට ඔබ සමත් වු‍ණොත් ඔබ වචන‍යේ පරිසමාප්ති‍යෙන්ම නිදහස් මිනි‍හෙක්. නැතිනම් ඔබටත් සිද්ධ ‍වෙන්‍‍නේ තමන්‍‍ගේ යදම්වලට ආදරය කරන වහ‍ලෙක් බවට පත්‍‍වෙන්නයි.

 

ඒහි පස්සිකෝ

banner3

පහුගිය වසන්ත කාලයේ දී කැනඩාවට වැඩම කරපු හාමුදුරු නමක් තමන්ගේ දේශනාවක් අතරතුරේ දී අපූරු කතාවක් කිව්වා. හාමුදුරුවන්ගේ වචනවලින්ම කියනවා නම් ඒ අදහස මෙහෙමයි: “ ලංකාවන් බුදුදහම නැතිවෙලාම ගියත් ඒකෙන් බුදුදහමට නම් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව ලංකාවේ අපි සැබෑ බුද්ධාගම අනුගමනය නොකරන හින්දා ”.

හාමුදුරුවන් මේ කරුණ දේශනා කළේ තමන්ගේ දේශනාවේ දී මතුවුණු කිසියම් දේකට සැහැල්ලුවෙන් පිළිතුරු දෙන්න වුණත් ඒ කිව්ව කාරණයේ කොයි තරමක් නම් ගැඹුරු අර්ථයක් තියෙනවා ද කියලා දේශනාව අතරේ දීම  මට හිතුණා. බුදුදහම කියලා අපේ මිනිස්සු හඹා ගෙන යන බොහොමයක් දේවල් බුදුදහමේ මූලික සංකල්පයන්ගෙන් පවා කොයි තරම් ඈතක ද තියෙන්නේ කියලා හිතද්දි හාමුදුරුවන් කිව්ව කතාව සැර වැඩි ප්‍රකාශයක් වුණත් ඒක මුළුමනින්ම ඇත්තක් නේද කියලා හිතට දැණුනා.  බුදුදහම කොයි තරම් විකෘති විදියට අපි වැළදගෙන තියෙනවාද කියනවා නම් මිහිදු හාමුදුරුවන් ආපහු ලක්දිවට වැඩම කළොත් ලංකාවේ අපි අනුගමණය කරන්නේ මොන වගේ ධර්මයක් ද කියලා වටහා ගන්න උන්වහන්සේට විශාල පරිශ්‍රමයක් දරන්න සිද්ධ වේවි. ඒකට හේතුව එදා මිස්සක පව්වේ දී උන්වහන්සේ අපිට හදුන්වලා දුන්න ධර්මයත්, අද අපි අනුගමණය කරන ධර්මයත් අතර තියෙන පරතරය දවසින් දවස ගව් ගණනාවකින් ඈත් වෙලා යන හින්දා.

බුදුදහම තරම් විකිණීමට භාජනය වෙච්ච ඒ වගේම මුදල් උපයා ගැනීමේ ධන උල්පතක් වෙච්ච තවත් ආගමක් නැති තරම්. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් බුදු දහමේ සංකල්ප විවිධාකාරයෙන් අර්ථ දක්වමින් තමන්ගේ ජීවිකාව ගෙන යන මිනිසුන් විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේලාගෙන් පවා අපට කොයි කවරදාවකත් කිසිම හිගයක් තිබුණේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ බුදුදහමේ ගැබ්වෙලා තියෙන අසහාය වූ ඥාන සම්භාරය නිවැරදිව වටහා ගන්නට සමත් බුද්ධි ප්‍රභාවක් තියෙන මිනිසුන්ගේ හිගයත්, බුදුදහම තුළ ගැබ්වෙලා තියෙන අසීමිත වූ නිදහසත් නිසයි. ‍වෙනත් සෑම සියලු ආගමික දර්ශයන් තුළම ගැබ්වෙලා තියෙන නීති රීති, අන පනත් කිසිම දෙයක් බුදුදහම තුළ නැහැ. මේ නිසා එහි සංකල්ප විවෘතව විමසා බලන්න, අර්ථ කථනය කරන්න විතරක් නෙමෙයි විවේචනය කරන්න වුණත් අසීමිත නිදහසක් බුදුන් වහන්සේ විසින්ම ලෝකයාට ලබා දුන්නා. කොයි කවර ආගමික දර්ශනයකවත් ගැබ්වෙලා නැති “ පැමිණ විමසා බලන්න ” (ඒහි පස්සිකෝ) යන ගුණයම ඒ අසම සම දර්ශනය වටහා ගන්නට අපූරු උදාහරණයක්. ඒ වගේම බුදුදහමේ තියෙන ආකර්ශනීය ගුණාංගයත්, එය සෙසු කවර ආගමකට හෝ අන් කවර දර්ශනයකට හෝ වෙනස් වූ අතිශය නිදහස් මතවාදයන්ගෙන් පිරුණු ධර්මයක් බව වටහා ගන්නට කාලාම සූත්‍රයම ප්‍රමාණවත්.

ඒත් බුදුදහම කියලා අද අපි භාවිත කරන දෙයත්, වසර දෙදහස් පන්සියයකට පෙර බුදුන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මයත් අතර තියෙන්නේ අහසට පොළොව තරම්ම වූ පරතරයක්. ඒත් අවාසනාවන්තම කාරණය වන්නේ මේ පරතරය නිර්මාණය කරන්නට මුල්වෙලා තියෙන්නේත් ස්වාමීන් වහන්සේලා සහ බුදුදහම රකින්නට ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිඥා දුන් දේශපාලකයන්ම නිසයි.

මේ නිසාම බොදු බල සේනා, රාවණ බලකා ආදී විවිධාකාර නම්වලින් බුදුදහම රකින්නට පෙරමුණු ගත්ත අමුතු අමුතු චීවරධාරීන් අමුතු අමුතු පෙරමුණු කරළියට එනවා. ඇත්තටම කියනවා නම් බුදුදහම රැකගන්න ඕනේ ඔය කියන බලසේනාවන්ගෙන් හා පෙරමුණුවලින්ම තමයි. ඔය කියන සංවිධාන තරම් මෑත කාලයේ දී බුදුදහම විකෘති කරපු වෙනත් කිසිම සංවිධානයක් නොතිබුණු තරම්. බුදුන් වහන්සේට කිසිම දවසක බල සේනා තිබුණේ නැහැ. ලෝකයේ අන් සියලුම ආගම් ප්‍රචාරය කරන්නට විවිධාකාර යුද්ධ ඉතිහාසය පුරාම වරින් වර සිද්ධ වුණත් බුදුදහම ප්‍රචාරය කරන්නට ඉතිහාසයේ කිසිම දවසක යුද්ධ කෙරුණේ නැහැ. බුදුදහම  විවේචනය කරන පිරිස පවා, එහෙමත් නැතිනම් බෞද්ධ නොවන පිරිස පවා ඒකමතිකව පිළිගන්නා එක කාරණාවක් වන්නේ බුදුදහම කියන්නේ අතිශය සාමකාමී ධර්මයක් කියන එකයි. ඒත් මේ කියන බලසේනා හරියට ඉස්ලාමීය මූලධර්මවාදී අයිසිස් සංවිධාන වගේ. බුදුදහමට ගරු කරන පිරිසට බුදු දහමේ කියැවෙන සත්‍යයේ බලය මිසක් රාවණාගේ බලයෙන් පලක් නැහැ. ඒත් ඇතැම් චීවරධාරීන්ට බුදුන් වහන්සේගේ ධර්මයට වඩා වැදගත් වෙලා තියෙන්නේ රාවණාගේ බලයයි. මේ වගේ තලේබාන් සංවිධාන බුදුදහම කොයි තරම් වීකෘති මාර්ගයකට ඇදගෙන යනවාද කිනවා නම් මේ චීවරධාරීන් හිතාගෙන ඉන්නේ බුදුදහම කියන්නේ පොලිසිය එක්ක හරි හරියට හැප්පිලා, කුණුහරුප කියලා, වාහනවලට බෙල්ල තියෙන රැකගන්න පුළුවන් දෙයක් කියලයි. (දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලියෙන් ගායනා කිරීම වගේ කාරණයක් නිසා පහසුවෙන් බිදිලා යන්න පුළුවන් දෙයක් තමයි බුදුදහම කියන්නේ කියලත් සමහරුන් හිතනවානේ).  චීවරයක් දරාගෙන මේ අය කෑ ගහන අශ්ලීචාර ස්වභාවය කොයි තරමක් නම් ජුගුප්සාජනක ද කියනවානම් මේ අය වැඩ ඉන්නේ ඇත්තටම පන්සල්වලද කියලා හිතෙනවා.

මේ විදියේ චීවරධාරීන් මතුවීම හැමදාමත් සිද්ධ වෙනවා වගේම ඒ පසුපස්සේ යන මිනිසුන් රැළකගෙනුත් අපේ රටට කිසිම දවසක අඩුවක් පාඩුවක් තිබුණේ නැහැ. දොළුකන්ද, නිකවැරටිය ඔය විදියේ බොහොමයක් තැන් වලින් තමන්ගේ ජීවිකාව ගෙන ගිය චීවරධාරීන් හිරේ විලංගුවේ වැටිලා හිටියත් හෙට දවසේ පවා බෝධියක් අස්සෙන් සුදු නාගයෙකු මතුවුණා කිව්වොත් දොහොත් මුදුන් තබා ගෙන එක පෙළට යන අන්ධයන් රැළකගෙන් අපට අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ.

අතිශය ජනප්‍රිය හිමිනමක් වන අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගෙන් ඕස්ට්‍රේලියානු පුවත්පත් කලාවේදියෙක් දවසක් මෙහෙම ඇහුවා. “ ඔබ වහන්සේ ඉදිරිපිටදී කවුරුන් හෝ ත්‍රිපිටකයේ පිටපතක් ඉරා වැසිකිළියට දැමුවොත් ඔබ වහන්සේ ගන්නා පියවර කුමක් ද ? ” උන්වහන්සේ එසැණින්ම ඊට පිළිතුර ලබා දුන්නා. “ මහත්මයා. මං එහෙනම් පුළුවන් ඉක්මනින් ජල නළ කාර්මිකයෙකු ගෙන්වා ගන්නවා ”.

“අනේ මං රහත්වෙලා”  කියලා තමන්ම වරින් වර කියාගන්නා හිමිනමකගේ වීඩියෝවක් ෆේස්බුක් හරහා මෑතකදී දකින්නට ලැබුණා. (කේක් කපලා බොහොම ජයට උපන් දින සාද පවත්වන ඉතිහාසයේ සිටි එකම “රහත්” හිමිනම). මැණික් ඔබ්බපු මහේශාක්‍ය පුටුවෙන් බැහැලා මේ හිමිනම පාර දිගේ වඩිද්දී සිය ගණනක් පිරිස පුදුමාකාර භක්තියකින් දණ බිම ඔබාගෙන ඒ මගට මල් වීසි කරන හැටි දැක්කම අනේ අපොයි කියැවෙන්නේ මට විතරක් නොවන බව නම් හොදටම විශ්වාසයි. මේ වගේ මෝඩ රැළක් එක්ක රටක් හදන්න පුළුවන් ද කියලා හිතෙද්දී රට මඩ ගොහොරුවක ගිලිලා තියෙන  එක ගැන කිසිම පුදුමයක් හිතෙන්නේ නැහැ.

බුදුදහම කියන්නේ සරලභාවය අතිශයින්ම ප්‍රිය කරන ධර්මයක් වුණත් සමහර හාමුදුරුවරුන් සම්බුදු මාළිගා නිර්මාණය කරනවා. මේ මාළිගාවල වර්ග අගලක් වෙනුවෙන් දායකත්වය සපයන්න පවා ඔබ ගෙවිය යුතු මුදල දහ දහසකට අධිකයි. රනින් නිමැවෙච්ච මේ මාළිගා ඇතුළේ ඡායාරූප ගැනීම පවා තහනම්. මේ මාළිගා ඇතුළේ තියෙන බුදු පිළිම තුළින් මතුවෙන්නේ බුදු පිළිමයක තිබිය යුතු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නෙමෙයි. මේ සෑම බුදු පිළිමයක්ම විතරක් නෙමෙයි බුදු දහමේ සෙසු ප්‍රධාන චරිත පවා නිර්මාණය කරලා තියෙන්නේ නාරි ලක්ෂණ ඉස්මතු වෙන විදියට.  මේ හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ බුදුදහමේ සංකල්ප විකෘති කරවමින් තමන්ගේ පැවැත්ම උදෙසා බුදු දහම භාවිතා කිරීමේ ක්‍රියාවලියයි. රූපවාහිනිය ඔස්සේ මුහුණ පෙන්වලා ජනප්‍රිය මතවාද ගෙනහැර පාන ඇතැම් හිමිවරුන්ගේ පන්සල් සත්ව උද්‍යාන වගෙයි. අවිහිංසාවාදය මුලු ලෝකයටම කියලා දෙන්න බුදුන් වහන්සේ මුල් වුණත් මේ කියන හිමිවරුන්ගේ පන්සල්වලට ඇතුලු වෙන්නට තියෙන්නේ සත්ව කූඩු අතරින්. ඇතැම් හිමිවරුන්ට අලි ඇතුන් රකිනවා මිසක් බණක් දහමක් දෙසන්නට කාලයක් තියෙනවා ද කියලා හිතෙනවා.

රුපවාහිනිය ගුවන්විදුලිය ඔස්සේ මුහුණ පෙන්නන්න උත්සාහ කරන බොහොමයක් හිමිවරුන් තම තමන්ගේ මිථ්‍යා මතවාද බුදුදහම විදියට පැතිරවීම අඩුවක් නැතිවම කරනවා. මස් මාංස අනුභවය ගැන එක්තරා හිමිනමක් විදෙස්ගත වූ ලාංකිකයන් පිරිසක් ඉදිරියේ කරන දේශනාවක් යූ ටියුබ් ඔස්සේ දකින්නට ලැබුණා. සතුන් මැරෙන්නේ තමන්ගේ කර්ම ශක්තිය නිසා බැවින් මස් මාංශ භාවිතයේ කිසිම වරදක් නැති බව දෙසන මේ හිමියන් මස් මාංස කෑමෙන් තමන් වැළකී සිටියත්, සතුන් මැරෙන්නේ කර්මය නිසා බව තමන් වටහා ගත් දිනයේ සිට වැඩි වැඩියෙන් මස් මාංස කෑමට පෙළඹුණු බවත් දේශනා කරන්නේ රැස්ව සිටින පිරිසට අමන්දානන්දයට පත් කරවන පෙරළිකාර දර්ශනයක් දේශනා කළා වගේ. උන්වහන්සේ මේ කියන කරුණු කාරණා උන්වහන්සේගේ ධර්මය මිස බුදුන් වදාළ ධර්මය නොවන බව වටහා ගන්නට බොහෝ පිරිසට අවබෝධයක් නොමැති වීම නිසාම මෙම වීඩියෝව බොහෝ දෙනෙක් තව තවත් ප්‍රචාරය කරලා තිබුණේ මෙතෙක් කලක් සැගවෙලා තිබුණු බුදුදහමේ රහසක් නිරාවරණය වුණා වගෙයි. මේ දේවල් කිසිසේත්ම අහිංසක නොවන්නේ ඒ නිසයි.

සිය මනස එහි උපරිම තලයට ගෙන ආ ලොව මෙතෙක් බිහිවූ උතුම්ම මිනිසා වූ බුදුන් වහන්සේ ඒ සුපිරි මානසික බලය මිනිසුන් මුලා කරවන ප්‍රතිහාර්ය වෙනුවෙන් භාවිත නොකළත් අද අපේ ඇතැම් පන්සල් පවත්වාගෙන යන්නේ බුදුරුස් විහිදෙන අනුහස් ඇති ආයතන විදියට. රටේ නමගිය පන්සල්වල පවා දේවාල පවත්වාගෙන යන්නේ බොහොම ගරු ගාම්භිර විදියට . ලොව සියලුම ආගම්වලට වඩා බුදුදහම වෙනස් වන මූලිකම කාරණාව වන්නේ සෙසු සියලුම ආගම් දේව සංකල්ප මත පදනම් වුනත් බුදු දහම දේව සංකල්පයෙන් බැහැරව ගිය ධර්මයක් වීමයි. සෙසු සියලුම ආගම්වල දෙවියන්ට හිමිවන ස්ථානය බුදුන් වහන්සේ දුන්නේ මිනිසාට. මේ නිසා දෙවියන් යනු මිනිසුන්ගේ සිතින් මැවුණු සිතිවිල්ලක් මිස මිනිසුන් යනු දෙවියන් විසින් නිමැවුණු නිර්මාණයක් නොවන බව උන්වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කර තිබුණත් රටේ නමගිය වෙහෙර විහාර බොහොමයක විරාජමාන දේවාලවලට පුද පඩුරු අරගෙන යන බෞද්ධයන්ගෙන් කිසිම අඩුවක් ලංකාවේ අපට නැහැ.

ඇතැම් හිමිවරුන් මුදල් අතපත ගාන්නේ නැහැ. කාන්තාවක් තනිව හමුවෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම හාමුදුරුනමකගේ සිල්වත් කම මනින මිම්මක් විදියට සමහරුන් හිතනවා. ඒත් ඒක සිල්වත් කමේ මිම්මකට වඩා තමන්ගේ හික්මීම පිළිබද ගැටලුවක් බවයි මට හිතෙන්නේ. බුදුදහමේ හරය ඇත්තේ ගැටලුව වටහා ගෙන එය මනාව කළමනාකරණය කර ගැනීම තුළ මිස ගැටලුවෙන් පැනයාම තුළ නෙමෙයි. වනගත නොවී ලෞකික ලෝකය තුළ වාසය කරන්නේ නම් මුදල් අතපතග ගාමින් වුවත් එහි නොඇලී සිටීමේ හැකියාවක් තමන් තුළ වර්ධනය කර ගන්නට හැකිනම් වඩාත් විශිෂ්ට වන්නේ එයයි. කාන්තාවක් තනිව හමුවන්නට නොහැකි නම් එතැනත් ඇත්තේ තමන්ගේ හික්මීම පිළිබද බරපතල ගැටලුවක් මිස සිල්වත්කම මනින මිම්මක් නෙමෙයි. බුදුහිමියන් පවා තම අනුගාමික හිමිවරුන්ට දේශනා කළේ කාන්තාවක් දුටුවිට ඇය සිය මව හෝ සොහොයුරිය ලෙසින් සිතන්නට මිසක් කාන්තාවන්ට බියපත් වන්නට නෙමෙයි.

ලෝකයේ සෑම රටකම පාහේ බෞද්ධ පොතපත ලිපි ලේඛන බොහොමයක් අද බිහිවෙනවා. බුදුදහමේ එන කර්ම සංකල්පය අද එදිනෙදා ජීවිතයේ දී භාවිතයට ගන්නා සාමාන්ය ඉංගිරිසි වචනයක් බවට පත් වෙලා. පොත් සාප්පු වල රාක්ක බුදුදහම ගැන ලියැවුණු අලුත්ම පොත පතින් නිරන්තරයෙන්ම පිරී යනවා. බොහෝ සම්මන්ත්‍රණ, දේශනා සංවිධානය කෙරෙනවා. සරසවි වල අලුතින්ම විෂය නිර්දේශ ලියැවෙනවා. ඒත් මේ හැම කරුණකම, ලියැවෙන හැම ලිපියකම, පොත් රාක්කවල පිරී යන හැම පොත පතකම රැදුණු එක විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඒ සෑම ලිපි ලේඛනයකටම මුල්වෙලා තියෙන්නේ බුදුදහමේ ගැඹුරු සංකල්පයන් එහෙමත් නැතිනම් බුදුදහමේ හරය මත පදනම් වුණු මූලික සංකල්ප ගැන වීම. සතිය හෙවත් මනා සිහිබුද්ධිය පිහිටුවා ගැනීම. කර්ම සංකල්පය, භාවනාව, මේ මොහොත තුළ ජීවත් වීම… මේ කරුණු කාරණා ඉතා ගැඹුරින් මේ පොත්පත්වලින් ඉස්මතු කරනවා විතරක් නෙමෙයි බටහිර ලෝකයේ ජනතාව මේ කරුණු කාරණා හදාරමින් ඒවායින් බොහොම ඵල ප්‍රයෝජන ගන්නවා. මහා පරිමාණ දැවැන්ත ව්‍යාපාර ජලා තමන්ගේ සේවකයන්ට බුදුදහමේ කරුණු කාරණා කියලා දෙන්න වෙනම කාලයක් වෙන් කරනවා. ඒකට හේතුව මනා සිහිබුද්ධිය පිහිටුවා ගත් සේවක පිරිසක් සිටීම ආයතනයට පවා සම්පතක් වන නිසයි. මුලු ලෝකයම බුදු දහමේ හරය සොයා යද්දී අපි රහතුන් යැයි කියාගන්නා හිමිවරුන් වඩින මගට මල් විසිකරනවා.  බුදුන්ට ගරු කරන්නට කියලා චෛත්‍ය මළුව පළතුරුවලින් වසා දමා පළතුරු පූජා පවත්වනවා. ගිරිය කඩාගෙන කෑගහමින්, පොලිසිය සමග හැප්පෙමින් බුදු සසුන බේර ගන්න හදනවා. බුදුන් සියල්ල අත්හළ බෝධියේ අතුවල කොඩි එල්ලමින් හැම සම්පත්කම ප්‍රාර්ථනා කරනවා. බුදුන් වදාළ දහම ගැන නෙමෙයි, බුදුන් උපන්නේ ලංකාවේ ද කියලා හොයන්න තර්ක විතර්ක කරනවා, හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම හිටුවලා බුදු සසුන රැකගන්න හදනවා, “ බුදු රුස් ” විහිදෙන තැන් හොය හොයා යනවා. ඒත් පෝය දවසට පස්සේ විහාර භුමියට ගියොත් කැළිකසල පිරිලා විහාර භූමිය සංගීත සංදර්ශනයකින් පස්සේ පිට්ටනියක් වගෙයි. ඒ තරම් සරල හික්මීමක්වත් අපි තුළ වගා කරගෙන නැහැ.

(පහතින් පෙනන රූපයෙන් දැක්වෙන්නේ පෝය දිනයට පසුව කැලණි විහාරයේ දර්ශනයක්)

14022080_838741439594309_6044141772846646516_n

සෑම ගුවන් විදුලි නාලිකාවක්ම දවසේ වැඩ අරඹන්නේත්, වැඩ අවසන් කරන්නේත් පිරිත් ගාථා පට තරගයට විකාශය කරමිනුයි. ඒත් මේ හැම දෙයක්ම කරන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මිසක් සැබෑ ආගමික හැගීමකින් නෙමෙයි. මේ හැම පිරිත් සඡ්ඡායනක්ම ගුවන්විදුලි රූපවාහිනී නාලිකාවල විකාශය කෙරන්නේ ආරක්ෂක මන්ත්‍ර විදියට. ඒත් තමන්ගේ ගැලවීම ඇත්තේ තමුන් අතමය කියලා පැහැදිලිවම දේශනා කරපු බුදුන් වහන්සේ තමන්ගේ ආරක්ෂාව පිරිතකට දීලා ආත්ම ශක්තිය හීන කරගත්ත දියාරු මිනිසුන් බවට පත්වෙන්න කියලා කොයි කවර අවස්ථාවක දීවත් දේශනා කරලා නැහැ.

මිනිසුන් තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යන්නට බොහෝ දේවල් කරනවා. ඒ අතරින් සමහරුන් තමන්ගේ දහදිය මහන්සිය විකුණලා තමන්ගේ ජීවිකාව ගෙනියනවා. තවත් සමහරුන් තමන්ගේ සිරුර විකුණලා ජීවිකාව ගෙනි යනවා. ඒත් තවත් සමහරුන් ජීවිකාව ගෙනි යන්නේ ආගම, ජාති ආලය විකුණලයි. බලයට එන්න පොරකන දේශපාලකයන් අතරින් බොහොම දෙනෙක් ඔය කිව්ව අන්තිම ගණයට අයිති අය. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජාතිය ආගම විකුණා ගෙන කන මේ වගේ නිවටයන්ට වඩා තමන්ගේ සිරුර විකුණලා ජීවත් වෙන මිනිසුන් බොහොම උසස්. ඒකට හේතුව සිරුර විකුණලා ජීවත් වෙන මිනිසුන් තමන්ගේ සිරුර මිසක් ආත්මය විකුණන්නේ නැති නිසා. ඒත් බලයට එන්න පොරකන, ඒ වගේම බලයේ ඉන්න පොරකමින් රට, ජාතිය, ආගම විකුණන මේ පාපතරයන් තමන්ගේ මුලු ආත්මයම සිල්ලරට විකුණා දමනවා.

අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවන් පෙන්වා දුන්නු විදියට ඕනෑම කෙනෙකුට බුදු දහම ගැන ලියැවුණු පොතපත ඕනෑම ගණනක් විනාශ කරන්න පුළුවන්. බුදු පිළිම කඩාදමන්නට පුළුවන්. ඒත් බුදුදහම කියන්නේ ඒ විදියට විනාශ වෙලා යන දෙයක් නෙමෙයි. ඒ වගේම බල සේනා පෙරමුණු ගහගෙන ගොඩ නගන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. බුදු දහමට අවමන් කරන්නට පුළුවන් ඔබටම පමණයි. විලාසිතාවට බෞද්ධකම පෙන්නනන්ට යාමෙන් පිරිහී යන්නේ අපම පමණයි.

 

ඔබ සිටින්නේ කොතැන ද?

ගුවන්විදුලියේ සවස හයේ ප්‍රවෘත්ති ආරම්භ වුණේ මං වැඩ ඇරිලා නිවසට එමින් සිටියදීයි. රිය අනතුරක් සිද්ධ වෙලා තිබු නිසා මං එන මාර්ගය පුරාම වාහන තදබදයක් නිර්මාණය වෙලා තිබුණා.

වාහනයේ ගුවන්විදුලි යන්ත්‍රයේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙලා තිබුණේ සීබීසී (Canadian Broadcasting Cooperation) එහෙමත් නැතිනම් කැනඩාවේ ප්‍රධාන ප්‍රවෘත්ති සේවා විකාශයටයි.

ප්‍රවෘත්ති අතරතුරේ දී එක සැරේම නිවේදකයා මෙහෙම දෙයක් කිව්වා.

“ අපි දැන් විශේෂ හඩ පටයක් විකාශය කරන්නයි යන්නේ. මේ හඩ පටය විනාඩියක කාලයක් පුරා තියෙනවා. එත් මේ හඩ පටයේ ඇති කරුණු මානසික පීඩනයක් ඇති කරන්නට හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පොඩි දරුවන් මේ වැඩසටහනට සවන් දෙනවා නම් ඒ ගැන විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න කියලා දෙමව්පියන්ගෙන් අපි ඉල්ලා හිටිනවා. මේ හඩ පටය අපි විකාශය කරන්නේ එයින් කියැවෙන මානුෂීය පණිවිඩය ඒ අයුරින්ම ඔබට ලබා දීමේ අරමුණින් පමණයි. ඒ නිසා අපි නැවතත් කියනවා මේ හඩ පටයෙන් මානසික පීඩනයක් ඇති වෙන්න ඉඩකඩක් තියෙන නිසා මේ හඩපටය අහන්න කලින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න කියලා ”

නිවේදකයා මේ කරුණ දෙසැරයක්ම කිව්වා. හඩ පටය විකාශය වුණේ ඊට පස්සෙයි.

හඩ පටයට පදනම් වෙලා තිබුණේ ඇමරිකාවේ පොලිස් නිලධාරියෙකු අතින් කළු ජාතික සිවිල් වැසියෙකු මරණයට පත් වීමෙන් පස්සේ කළු ජාතිකයාගේ පෙම්වතිය එම පොලිස් නිලධාරියා ඉදිරියේ හඩමින් කරන ප්‍රකාශයක්. මේ ප්‍රකාශය පුරාම ඇය කිසිම විදියකින් පොලිස් නිලධාරියාට පහත් අන්දමින් බැන වදින්නේවත්, අසැබි වචන ප්‍රකාශ කරන්නේවත් නැහැ. එම කාලය පුරාම ඇය වැළපෙමින් හඩන අතරේ පුන පුනා කී කරුණ වුණේ, “ ඔෆිසර්… ඔයා මගේ පෙම්වතා මැරුවා කියලා නම් මට කියන්න එපා… මට ආයෙත් එයාව දකින්න ලැබෙන්නේ නැහැ කියන්න නම් එපා ” කියන කාරණාවම පමණයි.

ගුවන්විදුලි නිවේදකයා කිව්ව ආකාරයටම විනාඩියකට ආසන්න කාලයක් පුරා විකාශය වෙච්ච මේ හඩ පටය නිමා වුණ ගමන්ම මට මතක් වුණේ ලංකාවේ අපේ මාධ්‍ය කලාව ගැන. (ලංකාවේ මාධ්‍ය කලාවක් කිසිසේත්ම නැති වුණත් මෙතැන දී කලාව කියන වචනය පාවිච්චි කළේ සංසන්දනයේ පහසුව නිසයි). එයින් පළමු වැනි කාරණය මේ වගේ හඩ පටයක් ලංකාවේ මීඩියා වලට කිසිසේත්ම සිත් කම්පිත කරවන පුවතක් (shocking news) නොවන නිසා. ඒ කියන්නේ ලංකාවේ මාධ්‍යවලට මේ පුවත සිත කම්පිත කරවන්නට තරම් බලපෑමක් ඇති කරවන එකක් නෙමෙයි. ඒකට හේතුව දශක ගණනාවක් පුරාම ලංකාවේ මාධ්‍ය එකට එකතු වෙලා නිර්මාණය කරලා තියෙන, මුළුමනින්ම මීඩියා නිෂ්පාදනයක් වන අපේ පාඨක ජනතාව එහෙමත් නැතිනම් ප්‍රේක්ෂක ජනතාව මේ වගේ “ සුළු මානුෂීය කරුණු වලින් ” සිත කම්පිත වෙන අය නෙමෙයි. අපේ පාඨකයන්ට / ප්‍රේක්ෂකයන්ට පුවතක් සිත කම්පා කරවන්නට නම් අඩුම තරමින් මළ සිරුරක්වත් පෙන්නන්න ඕනේ. ඒ නිසා ඉහතින් කිව්ව හඩ පටය ලංකාවේ මීඩියා එකකින් විකාශය කරන්නට කලින් නිවේදකයාට ඒ ගැන දෙසැරයක් හිතන්නවත්, සිබීසී නිවේදකයා කිව්ව විදියේ පූර්ව නිවේදනයක් නිකුත් කරන්නටවත් ඕනේ නැහැ. ඒ තරමට අපේ ජන සමාජය අද වෙනකොට අසංවේදීයි. මේ අසංවේදීතාව කොයිතරම්  ද කියනවා නම් මළ සිරුරක් දෙකක් පෙන්නන්නේ නැති අනතුරක්, අපේ ජනතාවට අනතුරක් නෙමෙයි. ලේවලින් නැහැවිච්ච සිරුරක් දෙකක් නොපෙන්වන පුවතක් සිත් කම්පා කරවන පුවතකුත් නෙමෙයි. දශක ගණනාවක් පුරා කුරිරු යුද්ධයක අමිහිරි අත්දැකීම් ඕනැ තරම් විදලා තිබුණත්, මළ මිනී දහස් ගණනකගේ සේයා රූ දැක තිබුණත් තව තවත් මළ මිනී දකින්නට, තව තවත් ලේ දකින්නට අප තුළ ඇති සැගවුණු අශ්ලීල ආසාව තවමත් පහව ගිහින් නැහැ. ලංකාවේ සියලුම පුවත්පත්වල මුල් පිටුවේත්, ලංකාවේ සියලුම විද්යුත් මාධ්‍යවල ප්‍රධාන පුවත්වලදීත් මළ මිනී, ලේ නොඅඩුව පෙන්වන්නේත්, ඒවාට සමාජායෙන් කිසිම විරෝධයක් එල්ල නොවන්නේත් ඒ නිසයි.

ලංකාවේ අපේ මාධ්‍ය තමන්ගේ මාධ්‍ය ලේවලින් නහවද්දී  ශිෂ්ට යැයි සම්මත ලෝකයේ මීඩියා ගමන් කරන්නේ මීට මුළුමනින්ම විරුද්ධ ගමනක. ශිෂ්ට සම්පන්න කිසිම රටක පුවත්පත්වල විශේෂයෙන්ම මුල් පිටුවේ ඔබට මෘත දේහයක් තබා එකම ලේ බිදුවක්වත් දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතාම විරල අවස්ථාවක එවැන්නක් පළ වන්නේ නම් ඒ අතිශය විශේෂ පනිවිඩයක් ලබා දෙන්නටම පමණයි. මෑත ඉතිහාසයේ ඇමරිකාවේ සිදු වූ දැවැන්තම ඛේදවාචකය වූ 9/11 සිදුවීමේ දී  කිසිදු මාධ්‍ය ආයතනයක් ඒ අනතුරේ භෞතික විනාශය මිස මළ සිරුරු පෙන්වන්නට ගියේ නැහැ. (ඒත් මේ අනතුර නිසා මිය ගිය අයගේ මළ සිරුරු පුවත්පතේ මුල් පිටුවේ පළ කරන්නට රොයිටර් ප්‍රවෘත්ති සේවය ඔස්සේ සොයා, එවැනි එකම පින්තූරයක්වත් සොයා ගන්නට නොහැකිව බලාපොරොත්තු සුන් වූ සිතැතිව සිටි ලංකාවේ ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් ගැන පුද්ගලික අත්දැකීමක් මේ වෙලාවේ මගේ මතකයට එනවා). දහස් ගණනක් මිය ගිය අතිශය දරුණු භූමිකම්පාවක් ජපානයේ මෑතක දී සිදුවුණා. ඒත් ජපානයේ කිසිම මීඩියා ආයතනයක් එකම මළ සිරුරක්වත් පෙන්නන්න ගියේ නැහැ. ඒ වෙනුවට ජපාන පුවත්පත්වල මුල් පිටුවේ පළ වුණේ මළ සිරුරු වසා තිබූ විනිවිද නොපෙනෙන විශාල නිල් පැහැති ප්ලාස්ටික් කවරයක් විතරයි. අපේ රට කම්පා කළ සුනාමියේ දී ලංකාවේ සියලුමමාධ්‍ය ආයතන මළ සිරුරු හඹා යද්දී ලෝක ජනමාධ්‍ය ඒ විනාශය සිත් කම්පිත කරවන ආකාරයෙන් වාර්තා කළේ එකම ලේ බිදුවක්වත් නො‍පෙන්වමිනුයි. මේ විදියේ උදාහරණ සිය දහස් ගණනක් තියෙනවා. පොදුවේ කියනවා නම් ශිෂ්ට සම්පන්න මාධ්‍ය භාවිතයක් තියෙන කිසිම රටක දී ඔබට මළ සිරුරුක් තබා ලේ බිදුවක්වත් මාධ්‍ය මගින් දකින්නට බැහැ.

aylan5

කැනඩාවේ රැකවරණ සොයා නැව් නැගි මේ මේ සිරියානු දරුවා නැවෙහි පටවා සිටි අධික මිනිසුන්ගේ බරින් පෙරළි ගිය යාමෙන් පසු ඔහුගේ මළ සිරුර වෙරළට පාවී තිබූ අයුරුයි මේ. එහෙත් මේ ඡායාරූපය බොහෝ පුවත්පත්වල පළ කෙරුණේ දරුවාගේ මුහුණේ රුව පැහැදිලිව නොපෙන්වන අයුරිණි.

මේ කරුණ කියද්දී තවත් එක්තරා පුද්ගලික කරුණක් මගේ සිහියට නැගෙනවා. මෙයින් අවුරුදු දහයක දොළහකට පමණ පෙර මා දිවයින පුවත්පතේ සේවය කරමින් සිටිය දී අපි දෙතුන් දෙනෙක් එකතු වී පත්තරේ මුල් පිටුවේ මළ සිරුරු නොපන්වන්ට කතිකා කරගත්තා. ඒ කාරණයට ඉහළ කළමනාකාරීත්වයේ කැමැත්ත ගැනීමේ කාර්යය මට පැවරුණා. මා මවිතයට පත් කරමින් ආයතනයේ ඉහළම කළමනාකාරීත්වයෙන් ඒ කරුණට ලැබුණේ මා බලාපොරොත්තු නොවුණාටත් තරම් ඉහළ අනුමැතියක් හා ආශිර්වාදයක්. සම්ප්‍රදායික මාධ්‍ය කලාවෙන් තෙම්පරාදු වෙලා හිටිය කර්තෘ මණ්ඩලයේ ඇතැම් පැරණි සාමාජිකයන්ගේ විවිධාකාර අපහාස උපහාසයන් මැද්දේ වුණත් මේ අදහස අපි ක්‍රියාත්මක කළා. එත් ඒ සති දෙක තුනකට වගේ බොහොම කෙටි කාලයකට විතරයි. ඒකට හේතුව කර්තෘ මණ්ඩලයෙන්වත්, කළමනාකාරීත්වයෙන්වත් ඇති වෙච්ච විරෝධයක් නිසා නෙමෙයි. කියන්නටත් ලැජ්ජා වුණත් ඒ විරෝධය ආවේ පාඨකයන්ගෙන්මයි. “ අපි නිවුස් එක බලන්න ඔයාලගේ පත්තරේ ගන්න ඕනේ. ඒත් පිංතූර බලන්න සල්ලි දීලා තව පත්තරයක් ගන්න ඕනේ  ” අපිට ලැබුණු බොහොමයක් දුරකථන ඇමතුම්වල කෙටි සාරාංශය වුණේ එකයි. මීඩියා කියන්නේ ව්‍යාපාරයක් නිසා පුවත්පතේ අලෙවිය රැක ගැනීම වෙනුවෙන් ඒ අදහස ආරම්භයේ දීම මරා දමන්නට සිද්ධ වුණා. නොසෑහෙන්න මළ මිනී දැක ඇතත්, මහා සාගරය තරම් ලේ ගංගා දැක තිබුණත් තව තවත් ඒ අශ්ලීල දර්ශන දකින්නට අපේ ජනතාව තුළ තියෙන නොතිත් ආශාව කෙළවරක් වෙලා නැහැ නේද කියන කාරණය ලංකාවේ ඕනෑම පුවත්පතක්, ඕනෑම විද්යුත් මාධ්‍යයක් දකින හැම මොහොතකම තහවුරු වෙනවා. පහුගිය දවස්වල ලංකාවේ සිදුවූ නාය යාමක දී පවා අනතුරින් මිය ගිය ගැබිණි මවකගේ සිරුරක් අපේ මාධ්‍ය තලු මරමින් පුන පුනා පෙන්නුවේ පිළිකුල් රසය ඉස්මතු කරවමින්. ජාතක අනතුරක දී අපේ ජනතාව ජාති භේද නොතකා එකිනෙකාට උදව් කරන්නට එකතු වන බව නිතරම කියැවෙන කාරණාවක්. ගංවතුරකදී, නාය යාමක දී විපතට පත් වූවවන්ට උදව් පදව් කරන්නට එකමුතු වන පිරිස ෆේස්බුක් වගේ මාධ්‍ය මගින් නිරන්තරයෙන් දකින්නටත් ලැබෙනවා. ඒ වගේ එකමුතුවක් ඇති කරවන්නට එහෙමත් නැතිනම් තවත් කෙනෙකුගේ විපතට පිහිට වන්නට ඉදිරිපත් වන මනසක් නිර්මාණය කරවන්නට මේ විදියේ අශ්ලීල මීඩියා භාවිතයක් අත්‍යවශ්‍ය වන තරමටම අපේ මනස අසංවේදී වි ඇතිය යන සාධකය අපි ඇත්තටම කතා කරන්නට මැලි වන එහෙමත් නැතිනම් අපි නොසිතන කාරණාවක්.

AUS_GCB_tsunami

මළ සිරුරුක් නොපෙන්වා ව්‍යසනයක භයංකාරත්වය, ලේ නොපෙන්වා අනතුරක බියකරුබව පෙන්වන්නේ කොහොමද කියන කාරණය අපේ මීඩියා වෙනමම ඉගෙන ගත යුතු දෙයක්. අඩුම තරමින් ශිෂ්ට සම්පන්න ලෝකයේ රූපවාහිනි ප්‍රවෘත්ති, පත්තර මුල් පිටු බලනවා එන අපේ මීඩියා ඔස්තාර්ලාට ඒකත් හොද අත්පොතක් වේවි. ශිෂ්ට ලෝකය තුළ මළ මිනී, ලේ වැකුණු සිරුරු නොපෙන්වීමට පදනම් වුණු කාරණා කිහිපයක්ම තියෙනවා. මුල්ම කාරණාව මිය ගිය තැනැත්තාට දක්වන ගෞරවය. ජීවත් වුණත්, මිය ගියත් මිනිසෙකු කෙරෙහි තිබිය යුතු මානුෂීය ගෞරවය සුළු කොට තැකිය යුතු නැහැ. දෙවැනි කාරණාව ඒ පුද්ගලයාගේ සමීප ඥාතීන් සහ හිතුවතුන් කෙරෙහි තිබිය යුතු ගෞරවය. කිසියම් කරුණක් මීඩියා මගින් ප්‍රසිද්ධියට පත් කළ පසු එය මුළුනින්ම බලපාන්නේ එම තැනැත්තාගේ සමීපතම පවුලේ සාමාජිකයන්ට බව අපේ ජනමාධ්‍ය කිසිසේත්ම නොසිතන කාරණාවක්. (ඉහතින් සදහන් කළ නායයාමෙන් මිය ගිය ගැබිණි මවගේ සැමියාට, දෙමව්පියන්ට, සහෝදර සහෝදරයින්ට පමණක් නෙමෙයි ඇයට තවත් දරුවන් ඇති නම් ඒ අයට මේ ඡායාරූපය තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම අමතක නොවන අප්‍රසන්න සහ සිත් කම්පිත කරවන මතකයක් වන බව අපේ මීඩියා ඔස්තාර්ලාට නම් තමන්ගේ ජීවිත කාලය පුරාවටම සිතෙන එකක් නැහැ.) ශිෂ්ට ලෝකයේ මීඩියා මගින් මළ මිනී නොපෙන්වන ඊලග කාරණාව නම් ඒ තුළින් සමාජයට ඇතිවන බලපෑමයි. කිසියම් කරුණක් සමාජය තුළ කම්පනයක් ඇති කරන්නට හැකියාව ලැබෙන්නේ ඒ කාරණාව කොයි තරම් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට පුළුවන් ද කියන කාරණාව මත මිසක් පෙන්වන මළ මිනී සංඛ්‍යාව මත නෙමෙයි. අපේ මාධ්‍ය වලට වටහා ගන්නටම අපහසු කාරණාව නම් ඒකයි. ඒත් නිර්මාණාත්මක චින්තනය කියන එක අනුරාධපුර යුගයෙන් පටන් ගෙන මහනුවර යුගය පසු කළාට පස්සේ පිරිහෙන්නට පටන් අරන් දැන් නැත්තටම නැති වෙලා තියෙන නිසා ඒ කාරණාව වටහා ගන්නට නම් ඒ තරම් පහසු වෙන එකක් නැහැ.

Picture 068

සුනාමි ව්‍යසනය සමයේ දී සංචාරයකට පැමිණි සංචාරක යුවළකගේ මේ ඡායාරූපය ඩෙන්මාර්ක් පුවත්පතක පළ වූයේ කිසියම් උපහාසාත්මක අරුතක් (සංචාරකය යුවළ සම්බන්ධයෙන්) මතු කරවීමේ අරමුණිනි.

 

මා ජීවත් වෙන කැනඩාව මාධ්‍ය සදාචාරය ඉහළින්ම සුරකින රටක්. ශිෂ්ට මාධ්‍ය සදාචාරයක් පවතින සෙසු රටවල මෙන්ම කැනඩාවේත් කිසිම විදියකින් තමන්ගේ පුද්ගලික ඡායාරූපයක් තමන්ගේ අවසරයකින් තොරව කිසිම විදියකින් ප්‍රචාරය කරන්නේ නැහැ. පාසලකට දරුවකු ඇතුළත් කිරීමේ දී පවා දරුවාගේ පාසල් ක්‍රියාකාරකමක හෝ බාහිර ක්‍රියාකාරකමක ඡායාරූපයක් පාසලේ වෙබ් අඩවියේ හෝ වෙනත් ස්ථානයක පළ කිරීමට දෙමව්පියන්ගේ කැමැත්ත අකමැත්ත ලිඛිතව ලබා ගන්නවා. තමන්ගේ දරුවාගේ ඡායාරූපයක් කිසිම විදියකින් කිසිම තැනක පළ වෙනවාට දෙමව්පියන් අකැමැති නම් එම දරුවාගේ රුව පාසලේ වෙබ් අඩවියේවත් කිසිම විදියකින් පළ කෙරෙන්නේ නැහැ. පාසලෙන් රැගෙන යන විනෝද සවාරියක දී පවා විනෝද සවාරියට පෙර එවැනි අනුමැතියක කැමැත්ත අකමැත්ත ඉල්ලා ගෙදරට ලිපියක් එනවා. මහජන අවධානය යොමු වූ බරපතල නඩු කටයුත්තක දී පවා කිසිම විදියකින් අධිකරණ භූමිය තුළ එම තැනැත්තන්ගේ සජීවී රූ විකාශය කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට විකාශය කෙරෙන්නේ අතින් ඇදුණු රූ සටහනක් පමණයි.

සුනාමි ව්‍යසනය අපේ පුවත්පත්වලින් මළ මිනී පුරවමින් පෙන්වද්දී එකම මළ සිරුරක් හෝ ලේ බිදුවක් හෝ නොපන්වා සුනාමි ව්‍යසනයේ බියකරුබව අපේ අසල්වැසි ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතින් සහ බටහිර පුවත්පතකින් පෙන්වූ අපූරුව

මෙතැන දී පෙන්වා දිය යුතු උපහාසාත්මකම කරුණක් තියෙනවා. ලංකාවේ අපේ මාධ්‍ය  කිසිම බියක් සැකක් නොමැතිව ජීවත් වන්නන් ගැන පවා නොසිතා මළ මිනී පෙන්නුවත් තමන්ගේ සාක්කුවට බලපාන කරුණු ගැන දක්වන්නේ සුනඛයා වල්ගය කොතැන හෝ ගහ ගන්නට ගන්නා උත්සාහය වගේ දෙයක්. කිසිම හිරිකතයකින් තොරව “ නිරභීතව, එඩිතරව ” මළ මිනීවලින් තමන්ගේ පත්තරවල මුල් පිටු එහෙමත් නැතිනම් තමන්ගේ ප්‍රවෘත්ති පුරවා ගන්නා අපේ මීඩියා තමන් කත් අදින දේශාපාලකයන් ගැන එහෙමත් නැතිනම් තමන්ට දැන්වීම් දෙන මහා පරිමාණ මුදලාලිලා ගැන අහිතකර පුවතක් කිසිසේත්ම පළ කරන්නේ නැහැ. පළ කරන්නට සිදුවන අවස්ථාවක දී පවා එය පළ කරන්නේ බොහෝ වෙලාවට නම් ගම් හෙළි නොකර. පුද්ගලිකත්වය ඉහළින්ම සුරකින කැනඩාව වැනි රටවල මාධ්‍ය එවැනි කරුණු ගැන නම් කිසිසේත්ම අනුකම්පාවක් දක්වන්නේ නැහැ. කිසියම් පාරිභෝගික නිෂ්පාදනයක් මිනිස් පරිභෝජනය නුසුදුසු වෙච්ච අවස්ථාවක එහෙමත් නැතිනම් කිසියම් සේවාවකින් මහජනාතාවට හිරිහැර සිදුවෙච්ච අවස්ථාවක එය රාජ්‍ය අංශයෙන් සිදුවුණත්, පුද්ගලික අංශයෙන් සිදුවුණත් ඒ සියලු නම් ගම් නිෂ්පාදනවල ඡායාරූප පවා සහිතව පළ කරන්නේ සිය වගකීම මූලිකවම ඇත්තේ මහජනතාව වෙනුවෙන් බව නිවැරුදිවම වටහා ගනිමිනුයි.

ලංකාවේ මාධ්‍යවල මේ තරම් අසෝභන ජුගුප්සාජනක සහ අශ්ලීල දේ ප්‍රචාරය වුණත් ඒ ගැන සැලකිය යුතු මහජන විරෝධයක්වත් පොදු ජන කතිකාවතක්වත් ඇති නොවන්නේ අපේ සමාජය එවැනි කරුණු ගැන ඒ තරමටම අසංවේදී වෙලා තියෙන හින්දයි. ලංකාවේ මීඩියා මේ තරම්ම මළ මිනී විකුණනන්නේ එවැනි ඉල්ලුමක් සමාජයෙන් ලැබෙන නිසා බවත් අමතක කරන්න බැහැ. එත් සාපේක්ෂව වඩා දියුණු මාධ්‍ය සදාචාරයක් ඇති රටවල මාධ්‍ය මගින් ප්‍රචාරය වන “ නරක ” යැයි සම්මත සුළු කරුණු ගැන පවා ඔවුන් බෙහෙවින්ම සැලකිලිමත් වෙනවා විතරක් නෙමෙයි ඒ ගැන නිරන්තර පර්යේෂණ පවා සිදු කෙරෙනවා. නරක ප්‍රවෘත්ති පුවත්පත්වල ප්‍රධාන පුවත් මවන්නේ ඇයි යන්න කෙරෙහි පවතින මානසිකත්වය ගැන කැනඩාවේ McGill සරසවිය මෑතක දී පර්යේෂණයක් සිදු කළා. මේ පර්යේෂණයේ ප්‍රතිළුලවල ඉහළ නිවැරදිතාවයක් ලබා ගැනීම සදහා ඔවුන් තමන්ගේ පර්යේෂණයේ අරමුණ ඊට සහාභාගි වන්නන්ට හෙළි කළේ නැහැ. ඒ වෙනුවට පර්යේෂකයන් ඊට සහභාගි වූ පිරිසට තමන්ගේ විද්‍යාගාරය තුළට පැමිණෙන්නට කීවේ “ ඇස ගැන කරන පරීක්ෂණ කටයුත්තකට ” සහභාගි වෙන්නට කියලයි. විද්‍යාගාරය තුළ දී මේ අයට විවිධාකාර වූ ප්‍රවෘත්ති නරඹන්නට ඉඩකඩ ලැබුණා. ඔවුන් ඒවා නැරඹූ සමස්ත කාලය තුළ දීත්, නැරඹීමෙන් පසු සිදු කළ ප්‍රශ්නාවලියෙනුත් යන දෙකෙන්ම තහවුරු වුණේ ධනාත්මක අර්ථය දනවන දේ වලට වඩා නිශේධනාත්මක අරුත දනවන දේ කෙරෙහි ඔවුන් වැඩි නැඹුරුවක් තිබූ බවයි. තමන්ට වඩාත් හුරුපුරුදු “Baby”, “smile” සහ “ fun” ආදී වූ වචන වෙනුවට “bomb”, “cancer”  සහ “war” ආදී වචන කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානයක් සහ වඩා ඉක්මන් ප්‍රතිචාරයක් ලැබුණු බව මෙහි දී තහවුරු වුණා. ඒ වගේම මේ සමීක්ෂණයේ දී තයවුරු වූ තවත් කාර‍ණාවක් වු‍ණේ මේ වගේ කාරණාවලදී සෙසු මිනිසුන්ට වඩා අපි ඉදිරියෙන් සිටින්නේය යන මතය අප බොහෝ දෙනෙක් විශ්වාස කරන බවයි. නිශේධනාත්මක එහෙමත් නැතිනම් සුබදායී නොවන ප්‍රවෘත්ති වලට අපේ කැමැත්තක් නැති බව අපි නිතර නිතර කිව්වත් ඇත්තෙන්ම අපේ හිත යට කැමැත්ත ඇත්තේ ඒවාට බව මේ පරීක්ෂණයෙන් එළිදරවු කෙරුණු වැදගත්ම කාරණාවක්. සමස්තයක් ලෙසින් ගත් විට මේක මානව පරිණාමයේ දී මිනිසා තුළ තවමත් ඉතිරි වී ඇති “ තිරිසන් ලක්ෂණයක් ” විදියට හදුන්වන්න පුළුවන්. ලංකාවේ අපි සම්බන්ධයෙන් ගත් විට මළ මිනී දකින්නට, ලේ දකින්නට අකැමති බව අපි මතුපිටින් කොයි තරම් ප්‍රකාශ කරන්නට හැදුවත් අපි බොහෝ දෙනෙක්ගේ යටි හිතේ කොණක ඒ ආසාව ප්‍රබලව මතුවෙලා තියෙන බව අමතක කරන්නට බැහැ.

මේ කාරණාවේ දී ඔබ සිටින්නේ කොතැන ද කියන එක ගැන වටහා ගන්නට ඔබටම කරන්න පුළුවන් ස්වයං පරීක්ෂණයක් තියෙනවා. මළ මිනි, ලේ විතරක් නෙමෙයි මෙලෝ රහක් නැති කාලය කා දමන දේශපාලන සංවාද, ගොසිප් වෙබ් අඩවිවල, ෆේස්බුක් වැනි සමාජ ජාලයන්හි පළවන වීඩියෝ සහ පිළිකුල් රසය මතු කරවන ඕපාදූප මේ ආදී වූ හැම දෙයක් කෙරෙහිම ඔබේ අවධානය යොමු වෙන්නේ කොයි ආකාරයෙන් ද කියන එක ඔබටම අත්හදා බලන්නට පුළුවන්. ඔබ ඔබටම අවංක වෙන්නේ ඔබ වඩාත් අවධානයෙන් කියවන්නේ, නරඹන්නේ ඔබේ ඇස ගැටෙන කවර පුවතක් එහෙමත් නැතිනම් කවර ආකාරයේ වීඩියෝවක් කෙරෙහි ද යන්න මගින් ඔබට ඔබ ගැනම තක්සේරුවක් කරගන්න පුළුවන්. මේ කාරණය සංසන්දනාත්මකව බලනවා නම් වඩාත් පැහැදිලි සිතුවමක් ඔබට මතු කරගන්න පුළුවන් වේවි. උදාහරණයක් විදියට ඔබ සතුව ඇති සීමිත කාලය තුළ දී ඔබ නරඹන්නට වඩාත් නැඹුරුවක් දක්වන්නේ එකිනෙකාට මඩ ගසා ගන්නා දේශපාලන සංවාදයක් ද? නැතිනම් සාහිත කලාව හෝ පරිසරය සම්බන්ධයෙන් වෙන් වූ වැඩසටහනක් ද ? පුවත්පතක දී ඔබේ නෙත නතර වන්නේ දේශපාලන ඕපාදූපයක් හෝ නළු නිළියන්ගේ අනියම් පෙබ් සබදතාවක් ගැන වූ පුවතක් ළග ද? නැතිනම් ඔබේ දැනුමට යමක් එක් කරගත හැකි පුවතක් ළග ද?  හාන්සි පුටුවක් මත දී ඔබේ විවේකය ගෙවා දමන්නට ඔබ තෝරා ගන්නේ කවරාකාරයේ වූ රූපවාහිනී වැඩසටහනක් හෝ ටෙලි නාට්යයක් ද, නැතහොත් පොතක් පතක් කියැවීම හෝ වෙනත් කවර වූ විනෝදාත්මක කාර්යයක් ද? ඒ අනුව ඔබත් තවත් එක් අතිශය සාමාන්‍ය වූ මිනිසෙක් ද නැතිනම් ඊට තරමක් ඔබ්බට ගිය සාමාන්‍ය සමාජයෙන් ඉදිරියට ගිය මිනිසෙකු ද යන්න ඔබටම වටහා ගන්නට පුළුවන්.

බුදුන් වහන්සේ අවුරුදු දෙදහස් පන්සියයක් තරම් ඈතක දී කි කරුණ මෙතැන දී මුළුමනින්ම අදාළයි. ඔබ කවුරුන්ද යන්න තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි.

වහින්නට හැකි නම් ගිගුම් දී…

untitled.png

එක්තරා සති අන්තයක උදයේ පුස්තකාලයට ගොඩ වැදුණු මොහොතක ලංකාවේ හිතවතෙකු මුණ ගැහුණා.

ආගිය තොරතුරු කතා කර සමුගන්නා අතරේ ඔහු එක්වරම මෙහෙම කිව්වා.

“ ඔක්කොමත් හරි මේ චුරු චුරු වැස්ස තමයි මට පෙන්නන්නම බැරි… ” ඇත්තටම ඔහුගේ මුහුණේ තිබුණේ දැඩි නොපහන් බවක්. පුස්තකාලයේ පුළුල් වීදුරු බිත්තියේ එපිටින් ඒ මොහොතේත් සිහින් වැහි බිදු ඇද වැටෙමින් තිබුණා. මේ සිරිපොද වැස්ස වැන්කුවර් නගරයට බොහොම හුරු පුරුදු දෙයක්. පුස්තකාලයට මායිම් වෙච්ච බිම් තීරුවේ මේපල් අතු රිකිළි අතරින් හීන් සීරුවට ඇද වැටෙන වැහි බිංදු මගේ හිතට චමත්කාරයක් ඇති කරමින් තිබුණත් මං ඔහුට විරුද්ධ වෙන්න ගියේ නැහැ. ඔහු මගෙන් සමුගෙන පුස්තකාලයේ දොරටුවෙන් පිටවෙලා ගියේ බොහොම තරහින් , “ මේ වැස්ස නිසා එළියට බහින්නවත් හිතෙන්නේ නැහැ ” කියලා කියන ගමන්.

ඒ සිදුවීම වුණු දවසේම පුස්කකාලයෙන් ගෙනාපු පොතක් කියවන්නට කලින් එහි පෙරවදන කියවන අතරේ හරිම අපූරු සිදුවීමක් ඇහැ ගැටුණා. වැන්කුවර්හි ජීවත්වන විදේශීය ලේඛකයකු වන එම ලේඛකයා තමන්ගේ පෙරවදනේ සදහන් කරලා තිබුණේ ඔහු වැන්කුවර් නගරයට ආදරය කරන එක් කාරණයක් නම් මේ අපූරු වැස්ස නිසා බවයි. ඒ පෙරවදන කියවද්දී මට සිහිපත් වුණේ මීට අවුරුදු ගණනාවකට කලින් සාහිත්‍ය මාසය වෙනුවෙන් කරපු පුවත්පත් සාකච්ඡාවක දී කේ. ජයතිලක සහ ජයකොඩි සෙනවිරත්න කියන ප්‍රසිද්ධ ලේඛකයන් දෙදෙනාම මට කිවුව කතාවක්. ඔවුන් කිවුවේ ඔවුන්ගේ නිර්මාණ ජීවිතය දිහා පසුපස හැරිලා බලද්දී ඔවුත් අතින් වැඩිපුරම පොත් පත් ලියැවිලා තියෙන්නේ වැහිබර කාල සීමාවලදී බව සිහිපත් වෙන බවයි. ඒ නිසා වැස්ස කියන්නේ තමන්ගේ නිර්මාණ ජීවිතයට ආශිර්වාදයක් කියලා තමයි ඔවුන් කිව්වේ.

වර්ෂාව කියන කාරණය එක් අයෙකුගේ ජීවිතයට ආශිර්වාදයක් වෙද්දී තවත් කෙනෙකුට ජීවිතය අප්‍රසන්න කරවන සිදුවීමක් වෙන හැටි ගැන හිතලා බලන එකත් හරිම අපූරු දෙයක්. වැස්ස විතරක් නෙමෙයි ජීවිතයේ අපිට හමුවෙන ඕනෑම දෙයක් දිහා අපි බලන දෘෂ්ටි කෝණය අපේ ජීවිත වලට කොයි තරම් බලපෑමක් කරනවා ද කියන කාරණය හිතාබලන්න වටින දෙයක්. බොහෝ පිරිසකගේ හදවතට සමීප ගායකයෙකු වන බොබ් මාලේ එක්තරා අවස්ථාවක හරිම ලස්සන කියමනක් කිව්වා. “ සමහරු වැස්ස වින්දනය කරති. අනෙක් අය ඔහේ වැස්සට තෙමෙති ”(Some people feel the rain, Others just get wet). බොබ් මාලේගේ ඒ කියමන හරිම ගැඹුරුයි. බොබ් මාලේ තමන්ගේ සංගීත සම්ප්‍රදාය තුළින් උත්සාහ කළේ කිසියම් සමාජීය පරිවර්තනයකට මුල පුරන්න. සමහර විට ඔහු ඒ කියමන කියන්නට ඇත්තේ ඒ අරමුණින් වෙන්නට ඕනේ. වැස්ස වගේම සංගීතය වුණත් වින්දනය කරන්න හැමෝටම හැකියාවක් නැහැ. ගීතයක්, නවකතාවක්, කවියක් විතරක් නෙමෙයි සුළගට වැනෙන බෝ කොළයක් වුනත් වින්දනය කිරීමේ හැකියාව හැම දෙනාටම පිහිටලා නැහැ. එක්තරා රටාවකට අතුගාලා තිබුණු පන්සලේ මිදුලේ වැලි මළුව දිහා බලාගෙන ඉදීමෙන්ම පමණක් රහත් වුණු හිමි නමක් ගැන කතාවක් බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. පොළොන්නරුවේ තිවංක පිළිම ගෙයි බුදු පිළිමය ඉදිරිපිටම තියෙන බිතු සිතුවම් අතර කාන්තාවක් හා පුරුෂයෙක් ලිංගික කටයුතුවල යෙදෙන සිතුවක් සහිතව අසංඛ්‍යවතී ජාතක කතාව සිතුවමට නැගිලා තියෙනවා. ජාතක කතා පොත් වහන්සේ ගත්තත් අද දවසේ අරුතින් ගත්තම ඉතාම අසභ්‍ය කතා කිහිපයක්ම එහි තියෙනවා. ඒත් වින්දනය කියන හැගීම අදට වඩා එදා අපිට තිබුණු නිසා ඒවායේ සැබෑ අරුතින් රස වින්දනය කිරීමේ හැකියාව පැරණි සමාජයට තිබුණා.

ශේක්ස්පියර් තමන්ගේ හැම්ලට් නාට්‍යයේ එක්තරා අවස්ථාවක මෙහෙම සදහන් කරනවා. හොද හෝ නරක කියා කිසිවක් නැහැ. අපි සිතන සිතිවිලි අනුවයි ඒක තීරණය වෙන්නේ. (There is nothing either good or bad, but thinking makes it so). මේ අදහස බුදුන් ලොවට කිවුවේ ශේක්ස්පියර්ලා බිහිවෙන්න බොහොම කලින්: “ ඔබ සිතන්නේ කුමක් ද යන්න අනුව ඔබේ ජීවිතය තීරණය වන්නේය ” (What you think, you become).

වින්දනය කියන කාරණාව කිසිසේත්ම සරල දෙයක් නෙමෙයි. යමක් වින්දනය කිරීමේ හැකියාව කෙනෙකුට ලැබෙන්නේ විචාරශීලීව යමක් දිහා බලන්න පුළුවන්නම් විතරයි. එත් ජාතිකයක් විදියට අද අපි ඉන්නේ සියවස් ගණනාවකින් පිටුපස්සේ. සීගිරි සිතුවම් බිහිවුණු, කැටපත් පවුරේ කුරුටු ගී ලියැවුණු, තිවංක පිළිමගෙයි බිතු සිතුවම් නිමැවුණු, ජාතක පොත් වහන්සේ සිංහලයට නැගුණු යුගයේ සිටි ජාතිය අද නැහැ. ඒ වෙනුවට අද ඉතිරි වෙලා සිටින්නේ ඔපෙරා ශෛලියෙන් ගීයක් ගැයුවාම බුදු දහම විනාශ වෙලා යනවා කියලා හිතන, සිවුරක් දරාගෙන කෑ ගැසීමෙන් සිංහල බෞද්ධ ජාතිකත්වය සුරකින්නට පුළුවන් කියලා හිතන, එක් එක් දේශපාලකයන්ගේ වහලුන් වෙලා ඔවුන් වෙනුවෙන් කොදු ඇට පෙළ හතර අතට නවා ගන්නා නිවට නියාළු පරපුරක්. ජාතියක් විදියට මේ නිවට නියාළු බවට අද අපි කොයි තරම් වහළුන් වෙලා තියෙනවා ද කියනවා නම් අනේ අපි වහළුන් නේද කියලා හදුනා ගන්නවත් හැකියාවක් අද අපිට නැහැ. මේ නිසාම තමන්ගේ හිත ගත්ත දේශපාලන නායකයාගේ ඕනෑම අමනකමක් ඉතාම ඉහළින් ඔසවා තබන්නත්, තමන්ට විරුද්ධ දේශපාලන නායකයාගේ ඕනෑම යහපත් කාරියක් හෙළා දකින්නත් තරම් අපි ඉන්නේ මං මුළාවූ චින්තනයක. මේ නිසා ආණ්ඩු පෙරළුණත් කොයි කවරදාකවත් පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න ‍මුහුණු ටික වෙනස් වෙන්නේ නැහැ.

වින්දනය කිරීමේ හැකියාව මේ විදියට අපෙන් ක්ෂය වෙලා ගිහින් තියෙන නිසා දේශපාලනයෙන් විතරක් නෙමෙයි, කලාවෙන් සංගීතයෙන් බණ දහමින් පවා ඕනෑම කතක්කඩියෙකුට අපේ පරපුර මන මෝහනය කරවන්න පුළුවන්. උද්ඝෝෂණ පෙළපාලිවල දේශපාලන පාට් දමන චීවරධාරීන් අහවල් සේනාව, අහවල් බලකාය, අහවල් බලය ආදී වූ විවිධ නම්වලින් සංවිධාන බිහි කරද්දී ඒවා පසුපස දුවන්නට තරම් පරපුරක් බිහිවෙලා තිය‍න්නේත් රස විදීම සම්බන්ධයෙන් අපිට තියෙන මේ මූලික ආබාධය නිසයි. රූපවාහිනියේ ගුවන්විදුලියේ කැමරාව ඉදිරියේ පෙනී සිටිමින් ජනප්‍රිය වෙච්ච, ඒ වගේම භාවනා, අධ්‍යාත්මික වැඩසටහන් මගින් ජනප්‍රිය වෙච්ච බොහොම ප්‍රසිද්ධ ඇතැම් හිමිවරුන්ගේ බණ අහන්නට ලැබෙද්දිත් දැනෙන්නේ අපේ මිනිසුන්ව මුලාකරවන්න කොයි තරම් පහසුවෙන් පුළුවන් ද කියන කාරණයයි. දුවන්නන් වාලේ දුවනවා මිසක් තමන් දුවන්නේ කවුරුන් පසුපස්සේ ද තමන්ට මග පෙන්වන අධ්‍යාත්මික ගුරුවරයා මේ කියන්නේ බුද්ධියට ගෝචර වන කරුණු ද කියලාවත් හිතන්නට තරම් අඩුම තරමින් කාලාම සුත්‍රයේ සරල මූලධර්ම කිහිපයවත් තමන්ගේ එදිනෙදා ජීවිතයට සමීප කරගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නැහැ.

කිසිම කෙනෙගේ චින්තනමය වහලෙකු නොවී විචාර බුද්ධියෙන් යමක් දිහා බලන්නට එහෙමත් නැතිනම් යමක් සැබෑ ලෙසින්ම විදින්නට අපිට හැකිනම් දේශපාලකයන්ට, කලාකරුවන් යැයි කියාගත් කලාහොරුන්ට, චීවරධාරීන්ට විතරක් නෙමෙයි ‍අධ්‍යාත්මික නායකයන් යැයි කියාගත් ඔය ‍බොහොමයක් පිරිසට අපේ මනසට රිංගලා අපිව වහළුන් බවට පත්කරවන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒත් මේ චින්තනමය වහල් භාවයට අපි කොයි තරම් ඇබ්බැහි වෙලා තියෙවාද කියනවා වහල් කදවුරෙන් පිටත තියෙන නිදහස් ‍ලෝකයේ සුවද කොයි තරම් ද කියලා හිතන්නවත් අපි බයයි. අපේ ඔළුගෙඩි ඇතුළේ අපිම නිර්මාණය කරගෙන තියෙන මේ දැවැන්ත ප්‍රතිරූප බිද දමන තාක් ඒ නිදහසේ සුවද අපිට උරුම වෙන්නේ නැහැ. ඒත් ඒ ප්‍රතිරූප බිද දමා අනුනේ ඔළු ගෙඩි තුළින් වෙනුවට අපේම මනසින් ලෝකය දිහා බලන්නට පුරුදු පුහුණු වෙච්ච දවසක යහපත් රටක් යහපත් සමාජයක් වගේම නිදහස් නිවහල් මිනිසෙක් බිහිවේවි.

ඔහු රහසේම නික්ම ගොසිනි…!

මෙය සිදුවූයේ අදින් වසර දෙකකට පමණ පෙර දීය.  කෙටි නිවාඩුවක් සදහා මව්බිටම පැමිණි මොහොතක එක්තරා සවස් වරුවක මට දුරකථන ඇමතුමක් ලැබුණේය. රිසීවරයේ එහා කෙළවරේ සිටියේ මගේ සදාදරණීය කළණ මිතුරු ජානකය ; “ මචං ඇල්බට් එදිරිසිංහ අද නැතිවෙලා. එයා ගැන තොරතුරු හොයා ගන්න අමාරුයි. පත්තරේට පොඩි දෙයක් ලියන්න පුළුවන් ද… ”

එක්තරා යුගයක ඇස් කන්නාඩි ව්‍යාපාරයෙන් මුළු රටම හෙල්ලූ  ඇල්බට් එදිරිසිංහ සිය ජීවිතයේ සැදෑ කාලයේ දී හිමි නමක් බවට පත් වී අතිශය අප්‍රකට ජීවිතයක් ගත කළ බැවින් ඔහු ගැන කිසිදු තොරතුරක් බොහෝ කාලයකින් මම ද අසා නොතිබුණෙමි. එහෙත් ඔහු පිළිබද කිසියම් අයුරක පුද්ගලික මතකයක් මා සතුව තිබූ බැවින් ඒ සටහන ලියන්නට මා පෙළඹුණේ ඔහුගේ අභාවය (අපවත්වීම) අපේ රටේ එක්තරා යුග පුරුකක ගිලිහී යාමක් බව මම ද නොඅනුමානවම විශ්වාස කළ බැවිනි.

වෙනත් කටයුත්තක් සදහා තොරතුරු සොයමින් සිටිය දී අහම්බෙන් නෙත ගැටුණු ඒ ලිපිය මෙසේ පළ කරන්නට මට සිතුණේ ඔහුගේ දිවි ගමන කතාන්දරයක් සේ රසවත් වූවක් මෙන්ම එයින් ලද හැකි පාඩම් ද බොහෝ බැවිනි.

XXXXXXXXXXXXXXX

 ඒ හිමිදිරිය මට අද ඊයේ වාගේම මතකය.

කලබලකාරී කොල්ලුපිටිය මංසන්ධියෙන් බස් රථයෙන් බැස ගත් මම ලිබර්ටි ප්ලාසා වටරවුම ඔස්සේ ඉදිරියට ඇවිදිමින් සිටියෙමි.

මා වැඩි දුරක් ඇවිද යායුතු වූයේ නැත.

ඒ ජනාකීර්ණ වීදියටම මුහුණ ලා තිබූ පැරණි පන්නයේ නිවසක ආලින්දයේ මා බලාපොරොත්තුවෙන් ඔහු රැඳී සිටියේය.

ඒත් ඒ මා සිතා සිටි අයුරින් නොවේ.

මගේ පුවත්පත් කලා ජීවිතය තුළ දී බොහෝ සුප්‍රකට මිනිසුන් විශේෂයෙන්ම රට සුපතළ ව්‍යාපාරිකයන් මට හමුවූයේ උත්තුංග මැදුරක සුව පහසු විසිත්ත කාමරයක් තුළදීය. නැතහොත් විසල් මේසයක් අබිමුව ගරු ගාම්භීර කාර්යාල කාමරයක් තුළදීය.

ඒත් පරම්පරා ගණනාවක් පුරා මුලු දිවයිනේම නම රැන්ඳූ ඒ කීර්තිමත් මිනිසා වැඩි කලඑළියක් නොතිබූ ආලින්දයක වැල් පුටුවකට බර දී සිටියේ සැහැල්ලු කමිසයකින් හා සරමකින් සැරසී ගෙනය.

මහා ව්‍යාපාරිකයන් තුළ ලෙහෙසියෙන් දැකිය නොහැකි අතිශය අව්‍යාජ පිවිතුරු සිනාවකින් ඔහු පළමුව මට සංග්‍රහ කළේය.

මේ සිදුවීම සිදුවූයේ අදින් අවුරුදු දහ හතරකට පෙර 1999 වසරේ මේ වැනිම වූ ජූලි මාසයකදීය. මට හමු වූ ඒ  අපූරු මිනිසා ඇල්බට් එදිරිසිංහ නම් වූයේය.

රට හෙල්ලූ ව්‍යාපාරිකයෙකු වුව ද ඔහු මට හමු වූ හැම අවස්ථාවකදීම මා ඔහු තුළින් දුටුවේ සරල ගැමියෙකුගේ සොබා රුව පමණි. එබැවින් ඔහු මා හමු වූ මේ පළමු හමුවීමෙන් පසුව රට පුරා පිහිටි කන්නාඩි සාප්පුවල ඔහුගේ නාමය දකින හැම විටෙකම මට සිහිපත් වූයේ ඒ ගැමියා සහ පුලුල්ව විහිදී යන ඔහුගේ අව්‍යාජ සිනහව මිස ඇස් කන්නාඩි නොවේ.

මේ හමුවීමෙන් වසර කිහිපයකට පසු ඔහු සිය උපන් ගම්මානයට ගොස් නිහඩවම පැවිදි දිවියට ඇතුලු වූ පුවත මට දැනගැනීමට ලැබුණේ අහම්බෙනි. ගණේගම සිරි දේවමිත්ත නමින් පැවිදි දිවියට ඇතුලු වූ ඒ මහා ව්‍යාපාරිකයා හමුවන්නට දැඩි කැමැත්තක් මා තුළ වූව ද එය ඉටුකර ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. ප්‍රසිද්ධියට අකමැති වූ මේ හිමිපාණන් ගැන කිසිදු තොරතුරක් ඉන් පසුව මට අසන්නට ලැබුණේ ද නැත. අනපේක්ෂිත මොහොතක මිතුරෙකුගේ දුරකථන ඇමතුමකින්  උන්වහන්සේගේ අපවත්වීම දැනගත් වහාම මේ සියලු සිදුවීම් එකම රූපරාමුවක ජවනිකා පෙළක් මෙන් මනස පුරා සැරිසරන්නට වූයේ මෙවන් සටහනක් ලියන්නට මා පොළඹවාලමිනි.

“ මගේ ගම බද්දේගම…. 1913 අවුරුද්දේ තමයි මම ඉපදුණේ. ගමේ සිංහල බෞද්ධ ඉස්කෝලයට මුලින්ම ගිහිල්ලා ඊට පස්සේ ශාන්ත අන්තෝනිස් විද්‍යාලයට ගියා. ජූනියර් විභාගය ඉවර වෙනකල්ම ඒ කියන්නේ 1925 ඉදන් 1933 දක්වාම මම ඉගෙන ගත්තේ මහින්ද විද්‍යාලයේ. ඒත් අපිට ඒ කාලයේ තිබුණු ආර්ථික අපහසුකම් නිසා  ඉස්කෝලේ කාසි ගෙවන්නට තාත්තාට පුලුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා මගේ අධ්‍යාපනය අතරමග ඇන හිටියා. මේ නිසා මම 1933 දී ඉස්කෝලෙන් අයින් වෙලා තාත්තාටත් උදව් කරගෙන කුඹුරු කොටාගෙන ගමේ හිටියා. ” ඔහු එදා මා හා සිය ළමා කාලය සිහිපත් කළේ එසේය.

කාසි ගෙවන්නට මුදල් නැතිව කුඹුරු කොටන්නට ගමේ රැදුණු ඒ තරුණයා පසුව දෙස් විදෙස් පතල ව්‍යාපාරිකයෙක් බවට පත්වීම සැබවින්ම අසිරිමත් වූ කතාන්දරයක් නොවන්නේද…?

“ 1937 දී මම රැකියාවක් හොයාගෙන කොළඹ ඇවිත් විලියම් පේද්‍රිස් ඇස් කන්නාඩි සාප්පුවට බැඳුනා. මම එතැන අවුරුදු දහතුනක්ම වැඩ කළා. ඒ කාලයේ කොළඹින් පිට ඇස් කන්නාඩි සාප්පු තිබුණේ නැති නිසා කන්නාඩි ගන්න කාටත් කොළඹ එන්න සිද්ධ වුණා. යුද්ධය කාලයේ අපට හුගාක් ප්‍රශ්න ආවා. යුද්ධය නිසා එංගලන්තයේ ඉඳන් ඇස් කන්නාඩිවලට අවශ්‍ය කරන බඩු එන එක නතර වුණා. නැව් ගිලුණා. ඔහොම කාලය යනකොට “ ඕස්ට්රේලියන් ඔප්ටිකල් කම්පැනි ” කියලා සමාගමක් කොළඹට ඇවිත් මෙහේ ව්‍යාපාර කටයුතු කරන්නට පටන් ගත්තා. එත් ලංකාවත් ඉන්දියාවත් එක සැරේම වාගේ නිදහස ලබා ගත්ත නිසා බලාපොරොත්තු වුණු විදියට ව්‍යාපාර කටයුතු කරගන්න බැරිව 1954 දී කම්පැනිය විකුණලා දැම්මා. අමාරුවෙන් එකතු කරලා තිබුණු සල්ලි ටිකක් යොදවලා මම ඒ කම්පැනිය සල්ලිවලට ගත්තා. රුපියල් ලක්ෂ හතක විතර යන්ත්‍ර සූත්‍ර, වීදුරු රාමු වගේ දේවල් හැම දෙයක්ම ඒ අය විකුණුවේ රුපියල් පනස් දහසක මුදලකට. මේ හැම දෙයක්ම මිලදී ගෙන ධර්මපාල මාවතේ නොම්බර හය කියන තැන තිබුණු ගරාජයක නගර සභාවෙන් අවසර අරගෙන මේවා ගබඩා කළා. එතැන ඉඳන් මම බයිසිකලයක නැගලා තොග විදියට ඇස් කන්නාඩි විකුණන්න පටන් ගත්තා. ඒ අතරතුරේ දොස්තරවරුන්ගේ වට්ටෝරුවලට අනුව මගේ අතින්ම ඇස් කන්නාඩි පිළියෙළ කළා.  ”

බයිසිකලයක නැගී දාඩිය වගුරමින් කොළඹ නගරය පුරා ඇස් කන්නාඩි විකුණු මේ ධෛර්යවත් මිනිසා අන්තිමේදී ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රධාන පෙළේ දේශීය ව්‍යාපාරිකයකු බවට පත් වූයේය.

“ ඒ කාලයේ කොල්ලුපිටිය අද වගේ නෙමෙයි. හුගාක් පාලුයි. ගෙවල් කිහිපයයි තිබුණේ. කොල්ලුපිටිය හන්දියේ ලොකු බාබර් සාප්පු දෙකක් තිබුණා. ඊට ටිකක් එහායින් “ ප්ලාටේ ” කම්පැනිය තිබුණා. ගාලු මුවදොරින් පටන් ගත්තාම කොල්ලුපිටියට එනකල්ම මොනම ගොඩනැගිල්ලක්වත් තිබුණේ නැහැ. දැන් ඔබරෝයි හෝටලය තියෙන තැන බිෂොප් හවුස් කියලා පරණ විශාල ගොඩනැගිල්ලක් තිබුණා. මේවැ හැරෙන්නට වෙන මොකුත් තිබුණු බවක් මට මතක නැහැ. කොල්ලුපිටියේ මුලින්ම ඇස් කන්නාඩි සාප්පුවක් දැම්මේ මමයි. ” ඔහුගේ ස්වරයේ තිබුණේ ආඩම්බරයක් නොවේ. තෘප්තිමත් මිනිසෙකු තුළ දැකිය හැකි නිහතමානී බවයි.

මුදල් පසුපස හඹා යන හුදු ව්‍යාපාරිකයෙක් නොවූ ඇල්බට් එදිරිසිංහ ඉන් පසුව ලන්ඩන් ගොස් දෘෂ්ටි විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවේය ඒ වනවිට දෘෂ්ටි විද්‍යාව හැදෑරීම සඳහා කිසිදු පාඨමාලාවක් ලංකාවේ තිබුණේ නැත. එබැවින් තමා ලත් දැනුම අනාගත පරපුරට ද දායාද කිරීමේ අරමුණින් ඔහු එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපකුලපති වැලිවිටියේ සෝරත හිමියන් හමු වී 1960 දී ඒ පාඨමාලාව ලංකාවේ ආරම්භ කිරීමට පුරෝගාමී වූයේය. ලංකාවේ විශ්ව විද්‍යාලයකට පළමු වරට තාක්ෂණික විෂයකට අදාළ පාඨමාලාවක් ඇතුලු වන්නේ ඒ අනුවය.

“ මට මතක ඇති කාලයේ කැස්බෑ ලෙල්ලෙන් ඇස් කන්නාඩි රාමු හැදීම මෙහේ ජනප්‍රිය ව්‍යාපාරයක්. ලංකාවේ එ තරම් කැස්බෑවෝ හිටියේ නැති නිසා මාලදිවයිනෙන් තමයි කැස්බෑ ලෙලි ගෙනාවේ. ඒකට කැස්බෑවෝ මරන්න ඕනේ නැහැ. අහක දමන ලෙලි තමයි ගන්නේ. ඒ කාලයේ මාලදිවයින ලංකාවට කප්පම් ගෙවනවා. මට මතකයි “ කප්පම් කඳ ”ආණ්ඩුකාරවරයාගේ ගෙදර ගෙනිච්ච හැටි. මාලදිවයිනෙන් ගෙනාපු කැස්බෑ ලෙලි වලින් කන්නාඩි රාමු වගේම පනා හැදීම හුගාක්ම සිද්ධ වුණේ ගාල්ල එලියට් මාවතේයි. ඒ කාලයේ තිබුණු අස් කන්නාඩි හැම එකක්ම වාගේ ඕවල් හැඩයේ ඒවා. ලංකාවට මුලින්ම ලෝහ රාමු සහිත ඇස් කන්නාඩි හඳුන්වලා දුන්නේ මමයි. මට මතක විදියට ඒ 1984 දී විතර ”

ඔහු හෙළි කරන තොරතුරු අපූරුය. එමෙන්ම රසවත්ය. මේ මහා ව්‍යාපාරිකයාගේ මුවින් ගිලිහෙන හැම වදනක්ම මා අසා සිටියේ සැබැවින්ම කුතුහලයකින් යුක්තවය.

“ විලියම් ප්‍රේදිස් සාප්පුවේ මම වැඩ කළ කාලයේ ඒ කියන්නේ එක්දහස් නමසිය තිස් ගණන්වල කාච දෙකක් අපි වික්කේ රුපියල් හතරකට. රාමුවක් වික්කේ රුපියල් හයකට. කේස් එකත් එක්ක සම්පූර්ණ කන්නාඩි කුට්ටම රුපියල් දොළහයි. මට මාසයටම ලැබුණු පඩිය රුපියල් විසි පහයි. හැම ඉරිදාම වැඩ කළොත් රුපියල් 2.50 ක් එකතු වෙනවා. හැබැයි එක ඉරිදාවක් හරි වැඩ කරන්න බැරි වුණොත් ඒ මුදල හම්බ වෙන්නේ නැහැ.  ඒ කාලයේ කයිමන් දොරකඩට එහායින් උසාවියට පහළින් කුරුඳු ගබඩා තිබුණා. ඒකේ එක ගබඩාවක් කුලියට අරගෙන පේද්‍රිස් මහත්තයා සිමෙන්ති ගබඩා කරලා තිබුණා. රුවන්වැලි සෑයට  “යකාමාක් “ සිමෙන්ති එහෙම ගෙනිච්චේ එතැනින් තමයි. පිටරටින් ගේන්නේ සිමෙන්ති බැරල්. මේ ගබඩාවේ මැද පත්තර කොළ දාලා ඊට උඩින් පැදුරු දාලයි අපි එදා නිදා ගත්තේ. ඔය ගබඩාව තිබුණේ ජනාධිපති ප්‍රේමදාස මහත්තයාගේ ගේ ඉස්සරහ. එයාලට දර මඩුවකුත් තිබුණා. ප්‍රේමදාස මහත්තයා ඒ කාලයේ කොට කලිසමකුත් ඇඳන් ෆුට්බෝල් ගහනවා මට මතකයි. අපි ඉරිදාට ගමේ යන්නේ නැති නිසා ප්‍රේමදාස මහත්තයාගේ අම්මා කොස් ටිකකුයි , පොල් ටිකකුයි , ලුණු මාලුයි එක්ක අපිට බත් එක්ක දෙනවා. මට දැනුත් ඒ කෑම වේල මතක් කරන එක ප්‍රියයි. ”

සිමෙන්ති ගබඩාවේ පත්තර කොළ මත රැය පහන් කළ මේ මිනිසා අන්තිමේදී රටේ ඉහළම නායකයා වූ ආණ්ඩුකාරවරයාට ඇස් කන්නාඩි සපයන නිල කන්නාඩි සැපයුම්කරු බවට පත් වූයේය. සෝල්බරි සාමිගේ පවා ඇස් කන්නාඩිය නිර්මාණය කළේ ඔහුය. එවකට සිටි සියලුම රාජ්‍ය නායකයන් සමීපව ඇසුරු කළ ඔහු ඒ සියල්ලන්ගේම ඉතා හොඳ මිතුරෙකු බවට පත් වූයේය.

දෙස් විදෙස් ධර්ම ප්‍රචාරයේ ද පුරෝගාමියෙකු වූ ඇල්බට් එදිරිසිංහයන් ලෝක බෞද්ධ සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති මෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරය ඇතුලු දෙස් විදෙස් සංවිධාන රැසක ප්‍රධාන නිලතල හෙබවූයේය. අන්තර් ජාතික බෞද්ධ සම්මේලනයන්හි රැසක දී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඔහුය. එමෙන්ම සෝමාවතී චෛත්‍යය ප්‍රතිසංස්කරණයට ද මුල් වූයේ ඔහුය.

මේ සටහනට සෘජුවම අදාළ නැතත් ඔහු විසින් පවසන ලද තවත් එක් රසවත් කතාවක් මෙහිදී සටහන් කළ යුතු යැයි මට සිතේ. ඊට හේතුව මෙවැනි කතාවක් ඇසිය හැකි මිනිසෙකු මින් පසු කිසිදිනෙක මට හමු නොවෙතැයි සිතෙන බැවිනි.

“ දහතුන් වැනි සියවසේ දීත් අපේ රටේ ඇස් කන්නාඩි හදලා තියෙනවා. ඒක හරිම රසවත් කතාවක්. ලංකාතිලක විහාරය ගොඩ නගලා තියෙන්නේ විජයබාහු රජ්ජුරුවන්ගේ අගමැතිවෙලා හිටිය සේනාධිලංකාර සෙනවියාගේ මූලිකත්වයෙන්. “ ස්ථාපතිරයාර් ” කියලා නිර්මාණ ශිල්පියෙක් තමයි ඒ කටයුතු භාරව ඉඳලා තියෙන්නේ. ඔන්න අන්තිමට විහාරයේ වැඩ කටයුතු නිමකරලා ඒක විවෘත කරන්න රජ්ජුරුවෝ ආවාම විහාරයේ සියුම් කැටයම් නරඹන්නට තරම් රජතුමාගේ ඇස් පෙනීම හොඳ මට්ටමක තිබිලා නැහැ. විහාරයේ කැටයම් හරිහැටි බලන්නට නොලැබීම නිසා රජ්ජුරුවෝ හරියට දුක්වෙලා තියෙනවා. මේ බව දැන ගත්ත අර නිර්මාණ ශිල්පියා රජතුමාට පැහැදිලි ඇස් පෙනීමක් ලබා දෙන්න ඉදිරිපත් වෙලා. ඒකට දවස් තුනක නිවාඩුවකුත් රජතුමාගේ නිවැරදි වයසත් අවශ්‍යයි කියලා නිර්මාණ ශිල්පියා කියලා තියෙනවා. අන්තිමට නිර්මාණ ශිල්පියා “ දිය තරිප්පු ”කියන පාෂාණයෙන් ඇස් කන්නාඩි කුට්ටමක් හදලා තියෙනවා. හරක් අඟින් හදපු පට්ටමකට තමයි කන්නාඩියේ ඇස් වීදුරු දෙක හයි කරලා තියෙන්නේ. කන්නාඩියේ රාමුව මැද්දෙන් ඔළුව වටේ ගත්ත නූලකින් ඒක කොණ්ඩයට බැඳ ගන්න ඕනේ. මේ කන්නාඩිය නිසා රජතුමාට පැහැදිලි පෙනීමක් ලැබුණු එක ගැන රජතුමා හරියට සතුටු වෙලා පිළිමතලව්වේ “ කිරි වවුල ” කියන ගම්වරයත් මේ නිර්මාණ ශිල්පියාට තෑගි කරලා තියෙනවා. මේ ගමේ අය අදත් දිය තරිප්පුවලින් කන්නාඩි හදනවා. මේක තමයි අපේ ඉතිහාසයේ මුල්ම කන්නාඩි නිෂ්පාදනය. මම ඉතාලි ගිය වෙලාවක දැක්කා එක සොහොනක්. ඒ සොහොනේ ගහලා තිබුණා “ Here lies the man who made the first pair of spectacles ” කියලා. ඒ පුද්ගලයා මිය ගිය අවුරුද්ද මට හරියට මතක නැහැ. මුල්ම කන්නඩිය හැදුවේ ඒ පුද්ගලයාද නැතිනම් ස්ථපතිරයාර් කියන ගල්වඩුවාද කියන එක හොයලා බලන්න ඕනේ. කොහොම වුණත් මුලු ලෝකයෙන්ම ඇස් කන්නාඩි නිර්මාණය කිරීමේ පළමු හෝ දෙවැනි තැන අපිට හිමිවෙනවා. ”

සියක් ආයු ලත් ඒ මිනිසා රහසේම නික්ම ගොසිනි.

අකුරු කරන්නට  කාසි සොයා ගත නොහැකිව කුඹුරු කොටා අන්තිමේදී දෙස් විදෙස් පාලකයන් හා උරෙනුර ගැටුණු ඒ මිනිසා තව දුරටත් අප අතර නැත.

ඔහුගේ පැවිදි දිවිය අප්‍රකටය. එහෙත් උන්වහන්සේ ඇසුරු කළ ගම්වාසීන්ට හා සහෝදර හිමිවරුන්ට ද දේවමිත්ත හිමියන් ගැන කියන්නට කතාවක් ඇතිවාට කිසිදු සැකයක් නැත. එහෙත් පැවිදි රුවින් උන්වහන්සේ නොදුටු මට නිසැකවම කිව හැකි කරුණක් තිබේ. එනම් රට හෙල්ලූ මේ මහා ව්‍යාපාරිකයා සිය කැමැත්තෙන්ම අතිශය අල්පේච්ඡ සැඳෑ සමයක් තෝරා ගත් බවය.

ඔහු වාසනාවන්තය. එපමණකටම පින්වන්තය. ඒ සියක් ආයු ලැබූ නිසාම නොවේ.

හිස් මිනිසුන් පිරුණු රටක උත්තම පුරුෂයකුගේ ජීවමාන රැව ගුණ මේ යැයි ඔහු රටට පෙන්වා දුන් බැවිනි.

රහසේම නික්ම ගිය හිමියනි…. ඔබට නිවන් සුව අත්වේවා…..!