එකම එක මොහොතක්…!

“තරහ වෙන්න එපා මං මෙහෙම කියනවට…. ඒත් හිතෙන්නේ නැද්ද ඔය කරන වැඩේ පරස්පරයි කියලා? ස්වභාවික පරිසරයේ නිදහසේ වැවෙන මල් ටික ඔයා නටුවෙන් වෙන් කරලා  කපා ගන්නවා. ඊට පස්සේ ඒවා ගෙදරට ගෙනත් එක එක විදියට දිග හැරලා, නවලා හරියට අර ස්වභාවික පරිසරයේ ජීවමානව  තිබුණා වගේ පේන්න සකස් කරනවා. හිතෙන්නේ නැද්ද ඒක හරිම පරස්පරයි කියලා ටොගාෂි මහත්තයා? හිතමතා උවමනාවෙන්ම කාව හරි මරලා දාලා ඊට පස්සේ හරියට එයා පණ පිටින් ජීවත් වෙනවා වගේ පෙන්නන්න හදන එක…?”

ගැටවරයාගෙ කටහඬේ තිබුණු ස්වරයට ටොගාෂි මහත්තයා බිරන්තට්ටු වුණා. බැලූ බැල්මටම කොලුවා හරිම අහිංසකයි… ඒත් ඒ අවිහිංසකකම යටින් හිතාගන්නත් බැරි තරම් පරිණතකමක්!

ගැටයාගෙ නම ජින් කසාමා. දහ සය හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්… අති දක්ෂ පියානෝ වාදකයෙක්.

ටොගාෂි මහත්තයාට තියෙනවා සරුසාර මල් ව්‍යාපාරයක්. මල් සැකසීමේ කලාව… ජපන් බාසාවෙන් කියනවා නම් ඉකෙබානා කලාව තමයි එයාගේ රැකියාව.

“ඔව් මටත් එහෙම හිතෙනවා”, ටොගාෂි මහත්තයාට පිළිගන්න සිද්ධ වුණා. “ඒත් අපේ පැවත්ම පටන් ගත්ත තැන ඉඳලම පරස්පරයිනේ. ජීවත් වෙන්න නම් තවත් දෙයක ජීවය විනාශ කරන්න සිද්ධ වෙනවා. අපේ  පැවැත්මේ මූලිකම දේ, ඒ කියන්නේ අපි කන කෑම ටික ගත්තත් ඒකනේ පදනම. ඒත් කෑම කද්දී දැනෙන සතුට, පාපකාරී දෙයක් එහෙමත් නැතිනම් වැරැද්දක් කරලා පසුතැවිලා වෙනවා වගේ හැඟීමකට වඩා බොහොම ඈත තැනක නේද තියෙන්නේ. මේ විදියට මල් සකස් කරද්දී මට මටත් දැනෙනවා වරදකාරි හැඟීමක්… ඒ වගේම පාපයක් කළා වගේ හිතිවිල්ලක්. ඒ නිසා තමයි මේ මල් සකස් කරද්දී ඒ මොහොත මට පුළුවන් උපරිමයෙන්ම කරන්න මං ඇප කැප වෙන්නේ”

ටොගාෂි මහත්තයා ආපහු කතා කරන්නට පටන් ගත්තේ තරමක නිහැඩියාවකට පස්සේ.

“දැකලා තියෙනවා නේද වෙළෙද දැන්වීම්වල මල් සැරසිලි ගැන යන දැන්වීම්…? “හැම තත්පරයක්ම, හැම ජීවිතයක්ම විචිත්‍රවත් කරමු. (Make every second, every life, beautiful) මං හිතන්නේ මේ හැම මෙහොතක්ම සදාකාලිකයි. ඒකේ අනිත් පැත්ත ගත්තොත් ඒකත් ඇත්තක්.  උත්තරීතරම මොහොත නිර්මාණය කර ගැනීම. ඒ කියන්නේ මං මේ මල් සකස් කරද්දී ජීවත් වෙනවා කියන හැඟීම පුදුමාකාර විදියට මගේ හදවතට දැනෙනවා. අන්න ඒ මෙහොත සදාතනිකයි. ඔයාට ඕන නම් කියන්න පුළුවන් මං එ් මොහොතේ දී  සදාතනික ජීවිතයක් ගත කරමින් ඉන්නවා කියලා”.

එ් වචන ටික හිතට ධාරණය කර ගන්න ජින් ටික වෙලාවක් අරගත්තා.

“හ්ම්ම්.. ඒ කියන්නේ ඉකෙබානා වගේම සංගීතයත් එකිනෙකට සමානයි”

“ඇත්තටම…?”

මල් කපන කතුර තතමි පැදුර උඩ තියන ගමන් ජින් කටහඬ අවදි කළා.

“නැවත පණ දීම කියන කාරණාව ගත්තම ඉකෙබානා වගේම තමයි…. එකම එක මොහොතක්! ඔයාට බැහැ සදාකාලිකවම ඒ මොහොත නතර කරගෙන ඉන්න. ඒක මෙහොතකින් අතුරුදන් වෙලා යන එකම එක මෙහොතක්. ඒත් ඒ මොහොත සදාකාලිකයි. ඒ මොහොත නිර්මාණය කරද්දී ඔබට පුළුවන් ඒ සදාකාලික මොහොත තුළ ජීවත් වෙන්න”

“Take music out” ජින් තමාටම කියා ගත්තත් ඒ වචන ටික ටොගාෂි මහත්තයා පුදුමයට පත් කළා.

“මොකක්ද කිව්වේ…?”

“මගේ සංගීත මාස්ටර් මට කිව්වා ‘සංගීතය පිටතට ගෙනි යන්න’ කියලා”

“මං හිතන්නේ නැහැ ඒකෙන් අදහස් වෙන්නේ එළිමහන් සංගීත සංදර්ශන පවත්වනවා වගේ සරල කාරණාවක් කියලා. ඊට වඩා ගැඹුරු දෙයක් ඒකේ තියෙනවා නේද?” සංගීත විෂය ගැන වැඩි යමක් දැනගෙන හිටියේ නැතත් ටොගාෂි මහත්තයා එහෙම ඇහුවේ කුතුහලයෙන්.

“ඔව්… මං හිතන්නේ ඊට වඩා වෙනස් දෙයක්… මට තාමත් බැරි වුණා සංගීතය ඒ පිටස්තර ලෝකයට අරගෙන යන්න‍”

මල් කපන කතුර අතට ගත්ත ජින් දිලිසෙන කතුරු තල දිහා බලාගෙන හිටියා.

“ටොගාෂි මහත්තයා, ඔයා මේ විදියට මල් සකස් කරද්දී මේ මලුයි, අතුයි හැම දෙයක්ම ජීවමානයි. හරියට එයාලාව මරලා දාලා කියලා එයාලා හාංකවිසියක්වත් දන්නේ නැහැ වගේ”

‘මරලා දාලා’ කියන වචනය ටොගාෂි මහත්තයාගෙ හිත කීරි ගැස්සුවත් දිලිසෙන කතුරු තලය දිහාම බලාගෙන හිටපු ගැටවරයාගෙන් ඇස් දෙක ඉවතට අරගන්න ඔහුට බැරි වුණා.

“එකම එක මොහොතක්.. ඊට පස්සේ සදාකාලිකත්වය… ඊටත් පස්සේ … ආපහු ජීවත් කරවීම…”

ටොගාෂි මහත්තයා දෑස් දල්වා තමන් දිහාම බලාගෙන ඉන්නවාය කියලා නොදැන සිටි ජින්, කතුරු තුඩුවල දිළිසෙන මුවහත් තල දිහා බලාගෙන මිමිණුවා.

————————————————————–

කිසිදා නොවිඳි අත්දැකීමක්

මේ ජීවිත කාලය තුළ දී කියවන්නට ලැබුණු නවකතා පොත් පත් අතරින් ජීවිතයේ අන් කවර පොතකටත් වඩා වෙනස්ම අත්දැකීමක් ලබා දුන් නවකතාවක කොටසක් තමයි ඒ. වෙනස්ම අත්දැකීමක් කියලා කිව්වේ, පොතේ තේමාව සුවිශේෂී වන නිසාම නෙමෙයි. මේ පොත තනිකරම ශ්‍රව්‍ය දෘෂ්‍ය අත්දැකීමක් වෙන නිසා. තවත් විස්තර කරනවා නම් ත්‍රිමාන අත්දැකීමට ඔබ්බට ගිය සිව් මාන අත්දැකීමක් වන නිසා.

ඒ කියන්නේ පොත වචනයේ පරිසමාප්තියෙන්ම  රස විදින්නට නම් ඔබට ශාස්ත්‍රීය සංගීත ඛණ්ඩයන්ට වරින් වර සවන් දෙන්නටම සිදු වන නිසා. එහෙම අත්දැකීමක් මීට පෙර වෙනත් කිසිම පොතකින් මට අත්දකින්නට ලැබිලා නැහැ. පොතේ සඳහන් වන ශාස්ත්‍රීය සංගීත ඛණ්ඩයන් ජංගම දුරකථනයෙන් වාදනය වෙන්නට සලස්වන අතරේ පොත කියවීම කොයි තරම් නම් අපූරු ආශ්වාදනීය අත්දැකීමක් ද? හරියට භාවනාවක් වගේ.

ජපානයේ මුල් පොත එක්ක නම් පොතෙහි විස්තර වෙන ශාස්ත්‍රීය සංගීත ඛණ්ඩයන් ඇතුළත් සීඩී තැටියකුත් පොත එක්කම ලබා දෙනවා.  (සංගීතය ගැන දැනුමක් නැතත්, ඒ වගේම සංගීතයට සවන් දෙමින් පොත නොකියෙවුවත් නවකතාවේ ආ‍ශ්වාදය ලබන්නට පුළුවන් බවත් සදහන් නොකළොත් එය වැරැද්දක්)

මේ කියන නවකතාව පුස්තකාලයෙන් අරන් මුලින්ම කියෙව්වේ මගේ බිරිඳ කුමුදු. ඇය පොතට කොයි තරම් නම් ආකර්ශනය වුණාද කියනවා නම් අපේ දියණියන්ගේ නත්තල් තෑග්ගට මිලදී ගත්තේ මේ පොතයි. ඔවුන් අපටත් වඩා පොතට ආකර්ශනය වුණා. සරසවි අධ්‍යාපනය ලබන ගමන්ම සංගීත ගුරුවරියක් විදියටත් සේවය කරන මගේ වැඩිමහල් දියණියට නම් මේ පොත අපි හැමෝටම වඩා ගැඹුරු රසාස්වාදනයක් ලැබුණු බව පොත කියවා පවුලේ සාමාජිකයන් අතර ඇති වුණු සංවාදයේ දී වැටහී ගියා.

පොතේ නම “Honybees and Distant Thunder”. සිංහල භාෂාවට රළු බසකින් පෙරළලා ගත්තොත් “මී මැස්සෝ සහ ඈත එපිට ගිගිරුම එහෙමත් නැතිනම් හෙණ නාදය” වගේ තේරුමක්. මුල්ම පොත නිර්මාණය වුණේ ජපන් භාෂාවෙන්. අවුරුද්දක් යන්නත් කලින් ජපානය තුළ විතරක් පොතේ පිටපත් මිලියන ගාණක් අලෙවි වුණා. පොත ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් වුණේ මාස කිහිපයකට කලින්. ඉංග්‍රීසි පොතත් අලෙවි වාර්තා බිද දමමින් මේ ගෙවී යන මෙහොතේදීත් සීස්‍රයෙන් අලෙවි වෙනවා.

ඇයි ඒ?

සරලම උත්තරය තමයි පොත ලියලා තියෙන්නේ පියානෝවක් වාදනය කරනවා වගේ. එතකොට පොත කියවීම මිහිරි පියානෝ රිද්මයකට සවන් දීමක් වගේ. මුළු පොතම එකම වාදනයක්… එකම කාව්‍යක්.

ජපානයේ ප්‍රශස්තම සම්මාන දෙකක් වන Naoki Prize වගේම පොත් ප්‍රකාශකයන්ගේ සම්මානය වන Booksellers Award කියන සම්මාන දෙකම එකම වසරක හිමිකරගත් එකම පොත තමයි මේ. විචාරකයන් පවා පොත ඉහළින්ම ඔසවා තැබූ නිසාම පොත මිලියන ගණනින් අලෙවි වෙන්නට පටන් ගත්තා. පොතේ සාර්ථකත්වය නිසාම පොත නිකුත් වෙලා අවුරුදු දෙකක් යන්නත් කලින් “Listen to the Universe” නමින් පොත සිනමාවට නැගුණා.

මේ විශිෂ්ට කෘතිය රචනා කළ Riku Onda ( ඡායාරූපය – The Japan Times)

—————————————————————————————

ඔන්න දැන් අපි තෙමෙනවා…!

ඇගිලි තුඩු අතරින් පියානෝවේ රිද්මය මතුවෙද්දී ඔහුට දැනෙන්න ගන්නවා වන රොදක සුවඳ.. ළා තණපත් මුසුව එන සුවද, කොළ පැහැයේ එක එක වර්ණ සංකලන මතුවන කැලෑ රොදක මිහිර… තුරු පත් අගින් බිංදුවෙන් බිංදුව බිංදුවෙන් බිංදුව වතුර බිංදු රූටා වැටෙන නාදය.

තුරු පත් අතරින් පාවෙලා යන සිසිල් සුළං රොදක් වන රොදෙහි පාළු පැල්පත අතරින් ගලාගෙන යනවා…

හිමිහිට මෝදු වෙන්නේ ගොම්මන් අඳුර…. වතුර බිංදුවල සිසිලස තැවරුණු සුළං රැල්ලත් එක්ක.

සුළං රැල්ලේ වේගය එන්න එන්නම වැඩි වෙනවා… කුණාටුවක්… තුරු පත් සොළවා ගෙන… සොළවා ගෙන හමා ගෙන යන කුණාටුවක්.

වැහි බිංදු මහ වැස්සක් වෙලා තුරු පත්, මල් පෙති මතට ඇද හැලෙද්දී ගස් අතු බිමට නැමෙනවා… තව තවත්… තව තවත් බිමටම නැමෙනවා…

ආහ්… ඔන්න දැන් වැස්ස වහිනවා.

ප්‍රේක්ෂකාගාරයේ ඇස් වේදිකාව දිහාවටම ඇලිලා. වැස්ස ගලාගෙන ගලාගෙන යන හැටි පියානෝවේ යතුරු මත දිව යන ඇගිලි තුඩු අතරින් පෙනෙන්න පටන් ගන්නවා.

නගරයේ අලංකාර මල් වතු අතරින්…. වීදි නිවාස වල පියැසි අස්සෙන්…වැස්ස ගලාගෙන යනවා. වීදිකොනේ මාවත අද්දර වැහි වතුර පිරුණු දිය කඩිති…

ගල් අල්ලපු වීදි දිගේ දිය දහරා ගලා ගෙන යනවා… දොළ පහරක් වගේ.

ප්‍රේක්ෂකාරයේ ඉන්න හැමෝටම දැනෙනවා සීතල සුළං පහරින් තමන්ගේ දෙකොපුල් තෙත් වෙන හැටි…

ආහ්… ඔන්න දැන් හැමෝටම දැනෙනවා වැහි බිංදු පතිත වෙන හැටි…

හැමෝමම වැස්සෙන් නෑවෙනවා … දැන් හැමෝම හොඳටම තෙතබරි වෙලා.

———————————————————————————————————-

තිලිණයක් ද? නස්පැත්තියක් ද?

සම්මත ෆොන්ට් ප්‍රමාණයෙන් පිටු 425ක් පුරා දිවෙන මේ විශාල පොතට පදනම් වෙලා තියෙන්නේ ඉතාම කෙටි තේමාවක්. ඒ තමයි මනකල්පිත අන්තර්ජාතික පියානෝ තරගයක්. ටෝකියෝවට ආසන්න වෙරළබඩ කුඩා නරගරයක පැවැත්වෙන මේ සම්භාවනීය අන්තර්ජාතික පියානෝ තරගයට ලෝකයේ රටවල් ගණනාවකින් පියානෝ වාදකයන් සිය ගණනක් සහභාගි වෙනවා. තුන් වැනි වටය අවසානයේ දී එයින් හය දෙනෙක් පමනක් තෝරා ගන්නවා. සමස්ත තරගයේ අවසාන ජයග්‍රාහකයාට තේරෙන්නේ ඒ හය දෙනා අතරින් කෙනෙක්. තරගයට ඇතුලු වෙන්නටත් ලේසි නැහැ. මේ සමස්ත තරගයම සියලුම තරගකරුවන්ට හරිම තීරණාත්මක අ‍භියෝගයක්. හරියට do-or-die වගේ තත්වයක්.

තරගකරුවන් හතර දෙනෙක් සහ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් තමයි මේ පොතේ ප්‍රධාන චරිත බවට පත්වෙන්නේ. තරගයට ඉදිරිපත් වෙන්නේ අන්තර්ජාතික තරගවල අත්දැකීම් ඇති අති දක්ෂ පියානෝ වාදකයන්. ඒ අතරින් එක් චරිතයක් අති විශේෂයි. ඔහු තමයි මේ ලිපියේ මුලින්ම සදහන් කළ ජින් කසාමා. ඔහු වයස අවුරුදු 16 ක පාසල් ශිෂ්‍යයෙක්. අන්තර්ජාතික තරගවලට පෙනී හිටීම තබා ඔහුට තමන්ගේම කියලා පියානෝවක්වත් නැහැ. ඒත් ඔහු සම්මතය පුපුරුවා යන අති දක්ෂ පියානෝ වාදකයෙක්. ඔහුගේ පියා මී මැසී වගාව කරන කෙනෙක්.

ඉතින් කොහොමද ජින් වගේ කෙනෙක් අර තරම් දක්ෂ, පළපුරුදු පියානෝ වාදකයන් තරග කරන තරග බිමකට සුදුසුකම් ලබන්නේ.

ඒකට හේතුව එයාව රෙකමදාරු කරලා ලැබෙන ලියුමක්. ජින්ගේ සුදුසුකම විදියට තියෙන්නේ ඒ ලියුම විතරමයි. ඒත් ඒ ලියුම ලියලා තියෙන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මැතක දී මිය ගිය ජපානයේ හිටිය විශිෂ්ටතම ගාන්ධර්වයා වන Hoffmann. ඔහුගේ රෙකමදාරුව ලැබුණු එකම ගෝලයා තමයි මේ. ඒ ගාන්ධර්වයා කොයි තරම් නම් සම්භාවනවාට පාත්‍ර වන අති විශිෂ්ටයෙක් ද කියනවා නම් ඔහුගේ රෙකමදාරුව අහක දමන්නට කිසිම විනිසුරෙකුට බැරි වෙනවා.

Hoffmann ගේ කෙටි ලිපියෙන් ඔහු විනිසුරුවරුන්ට විවෘත ආරාධනාවක් කරනවා. ඒ මෙහෙමයි.

“මේ තරුණයා තිළිණයක් සේ පි‍ළිගන්නවාද  ද, එහෙමත් නැතිනම් සිදු වෙන්නට නියමිත නස්පැත්තියක් විදියට භාරගන්නවා ද කියන කාරණය ඔබට භාරයි!” (It’s up to all of you –  whether we see this boy as a true gift, or as a disaster waiting to happen.)

අවසාන ජයග්‍රහණය හිමිවෙන්නේ බොහොම දෙනා මේ තරගයෙන් ජයගනීවි යයි හිතුව පුද්‍ගලයා නෙමෙයි. තරගයේ සෑම වටයක දීම ජින් තරගයේ සියලු සීමා මායිම් අතික්‍රමණය කරමින් සම්මතයන් පුපුරුවා හැරියත් ජයග්‍රහණය ඔහුට හිමිවෙන්නේත් නැහැ.

ඒත් මේ තරගාවලිය කතාවේ ප්‍රධාන චරිත හතර වෙන පියානෝ වාදකයන්ගේ වගේම තරගයේ විනිසුරුවරුන්ගේත් ජීවිත හැඟුම්බර සදාතනික වෙනසකට ලක් කරනවා.

විනිසුරුවරුන් තේරුම් ගන්නවා ඇත්තටම මේ තරගයේ දී පරීක්ෂා කෙරුණේ තරගකරුවන් නෙමෙයි, තමන්වමයි කියන එක.

තරගකරුවන් වගේම පාඨකයනුත් තේරුම් ගන්නවා සංගීතය කියන්නේ ජීවිතයම තමයි කියන එක… වේදිකා ශාලාවක් ඇතුළෙන් එහෙමත් නැතිනම් සීඩී පටියක් තුළින් මතුවන සංගීත භාණ්ඩයකින් වැයෙන රාග තාලයක්ම නෙමෙයි කියන එක. ගාන්ධර්ව හොෆ්මාන් ‘take it to the outside’ කියලා කිව්වේ ඒ කියන තේරුමෙන්.  

සදාතනිකත්වය එකම එක මොහොතක්! ඒ එකම එක මොහොත සදාතනිකයි!

(Eternity is one instant, and one instant is eternal)

———————————————————————————-

හිතන්නත් පුළුවන් ද?

තරගයේ ප්‍රධාන වට තුන හරිම අපූරුවට නවකතාවේ විස්තර කෙරෙනවා. ඒ ඒ තරගකරුවන්ගේ මනෝභාවයන්, විනිසුරන්ගේ ප්‍රතිවිරෝධතා විතරක් නෙමෙයි, පියානෝව සුසර කිරීමේ දී (ටියුන් කිරීම) උපදෙස් දෙන්නට ජින්ට විතරක් තියෙන අපූරු කුසලතාවත් මේ පොතෙන් විස්තර කරන්නේ හිතාගන්නත් බැරි තරම් ලස්සනට.

“ජින් මහත්තයා, කොහොමද මේ පියානෝ එක ඔයාට ටියුන් කරලා දෙන්න ඕනේ?” තරගයේ දෙවැනි දෙවැනි වටයට මුහුණ දෙන්න සූදානමින් ඉන්න ජින්ගෙන් එහෙම ඇහුවේ පියානෝව ටියුන් කරන අසානෝ.

“හ්ම්ම්… ටිකක් විතර සොෆ්ට් කරන්න”

“සොෆ්ට් කරන්න?”

“ඔව්… බ්‍රයිිට් වෙන විදියට ටියුන් කරන්න එපා”

“ඒත් අද ශාලාව මිනිස්සුන්ගෙන් පිරිලා ගිහින්.. මුල් දවසට වඩා අද සෙනග වැඩියි”

වේදිකාව ඇතුලේ තියෙන පුංචි කවුළුවකින් ජින් ප්‍රේක්ෂකාගාරය දිහා බැලුවා… ඔව් ඇත්තටම මිනිසුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහින්. “මේ තරම් විශාල සෙනගක් ඉන්න ශාලාවක නාදය උරා ගන්නවා” අසානෝ කිව්වා.

“ප්‍රේක්ෂකාගාරය වෙහෙසට පත් වෙලා ඉන්නේ… ශාලාවත් එකම විදියට ගල් ගැහිලා. ශාලාව ඇතුළේ වාතයත් වෙහෙසට පත් වෙලා. මේ තරම් පිරිසක් මේ ශාලාව ඇතුළේ හුස්ම ගනිද්දී වාතයේ ආර්ද්‍රතාවය ඉහළ ගිහින්… අනිත් අතට මගෙන් පස්සේ පියානෝ එක ප්ලේ කරන්නේ හුගාක් තියුණු නාදයක් මතුවෙන විදියට පියානෝ එක ප්ලේ කරන කෙනෙක්. එයා මේ හැම දෙනාවම උණුසුම් කරලා ගනීවි”, ජින් කිව්වේ හිනාවක් මුව රදවා ගෙන.

තරගයේ තුන් වැනි වටයේ දී පමණක් අවසාන වශයෙන් තෝරා ගන්න ජයග්‍රාහකයන් හය දෙනාට පියානෝව වාදනය කරන්න සිද්ධ වෙන්නේ වාද්‍ය වෘන්දයක් එක්ක. ඒ නිසා හය දෙනාටම පෙර පුහුණු වීම් කරන්න සිද්ධ වෙනවා. අනෙක් වාදකයන් පස් දෙනාටම අන්තර් ජාතික පියානෝ තරගවලට ඉදිරිපත් වුණු පුහුණුව වගේම වාද්‍ය වෘන්දයක් එක්ක වැඩ කරලා පුරුද්දක් තියෙනවා. ඒත් අවසාන වටයට තේරෙන ජින් වාද්‍ය වෘන්දයක් එක්ක කවදාවත් පියානෝව වාදනය කරල නැහැ.

මේ නිසා වාද්‍ය වෘන්දයේ පළපුරුදු සංගීත අධ්‍යක්ෂවරයා ඔහු සමග පුහුණු වීමක් කරන්න උනන්දුවෙන් බලා ඉන්දැද්දි ඔහු කිසිම විදියකින් අපේක්ෂා නොකළ ඉල්ලීමක් තමයි ජින් කරන්නේ.

“මාත් එක්ක කරන්න තියෙන සමූහ වාදනය ඔයාලාට පුළුවන් ද වාදනය කරලා පෙන්නන්න?”

“මොනවා… එතකොට ඔයා?”

“මං අර ශාලාවේ කෙළවරට ගිහින් අහගෙන ඉන්නම්”

වාද්‍ය වෘන්දයේ සාමාජිකයන් එකිනෙකා මුහුණට මුහුණ බලා ගත්තා. පළපුරුදු සංගීත අධ්‍යක්ෂවරයාටත් මේ ඇහෙන දේ විශ්වාස කරන්න අමාරුයි. කිසිම දවසක කිසිම වාදකයෙක් නොකළ ඉල්ලීමක්. ඒත් තරුණයාගේ මුහුණේ මද සිනාවක්.

“හොඳයි වාදනය පටන් ගන්න”, මද සිනහවෙන්ම ඔහු ශාලාවේ කෙළවරට ගිහින් අසුන් ගත්තා.

ජින් නොමැතිව වාදනය කරනවා හැරෙන්නට වෙනත් දෙයක් කරන්නට වාද්‍ය වෘන්දයට හැකියාවක් ලැබෙන්නේ නැහැ.  

‘මේ විදියේ කොල්ලෙක් කොහොමද අවසාන වටයට තේරුණේ?’ සංගීත අධ්‍යක්ෂවරයා තමාටම කියා ගත්තා.

“බොහොම ස්තුතියි”,  වාද්‍ය වෘන්දය තමන්ගේ වාදනය අවසාන කරත්ම පසුපස ආසනයේ ඉඳන් වේදිකාවට ආපු ජින් වාදකයන්ගේ ආසන පිළිවෙළ එහාට මෙහාට කරන්න පටන් ගත්තා.

‘මේ කොල්ලා මොකාට ද මේ එන්න හදන්නේ’ කියන එක හැමෝටම ප්‍රශ්නයක්. සමහර වාදකයන්ගේ මුහුණු වල නොසතුට ප්‍රසිද්ධියේම මතුවෙලා පෙනුනා.

“මං ඉන්න තැන වෙනස් කළොත් මට බැහැ හරියට මේ වාදනය කරන්න”, එක වාදකයෙක් කිව්වා.

“මේ වේදිකාවේ පොළොව තරමක් ඇද වෙලා. මං හිතන්නේ එයාලා අවුරුදු කිහිපයකට කලින් මේ පොළොව නවීකරණය කරලා තියෙනවා. සමහර තැන්වල යටින් ප්ලයිවුඩ් දාලා වගේ. ඒ නිසා ඒ තැන්වල පොළොව තදයි. ඝනත්වය වෙනස්. ඉතින් ඔයා එතැන උඩ ඉඳන් වාදනය කළොත් ඔයාගේ වාදන භාණ්ඩයේ නාදය හරියට පැතිරිලා යන්නේ නැහැ”

අවසානයේ දී ජින් පියානෝව ළගට ගිහින් හිමින් සැරේ වාදනය පටන් ගනිද්දී වාද්‍ය වෘන්දය සංගීතයට එක් වෙනවා.

ඇත්ත… හැමෝගෙම ඇස් පුදුමයෙන් දැල්විලා. මේ තරම් ප්‍රබල නාදයක්! එක එල්ලේම සවන් පෙති අතරට රිංගන මේ තරම්ම මිහිරි, මේ තරම්ම නිරවුල්, මේ තරම්ම ආකර්ශනීය නාදයක්!

තමන් මේ දකින්නේ සිහිනයක් ද කියලා හිතා ගන්න බැරි තරමටම සංගීත අධ්‍යක්ෂවරයා පුදුමයෙන් පුදුමයට පත් වෙනවා.

—————————————————————————————————–

උන්ගේ කලාව සහ අපේ කලාව

තරමක් සෙමින් ගලා ගෙන යන විශාල පොතක් වුණත් මේ පොත කිසි දිනක නොවිදි අත්දැකීමක් පාඨකයන්ට සමීප කරන පොතක්. කලින් කිව්වා වගේම පොත රස විඳින්නට සංගීතය ගැන දැනුමක් තිබීම අනිවාර්යම නොවුණත් අඩුම තරමින් පොත කියවද්දීවත් පොතේ සඳහන් වන ශාස්ත්‍රීය සංගීතයට සවන් දෙන්නට පුළුවන් නම් පොතෙන් ලැබෙන රසය තීව්‍ර කරගන්න පුළුවන්.

අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ මේ වගේ පොතක් සිංහල බසට පරිවර්තනය කරන්නට පුළුවන් ද කියන කාරණාව. සරලම උත්තරය පුළුවන්.

ඒත් ඒ පරිවර්තනය පරිවර්තකයාගේ කාලයත්, ප්‍රකාශකයාගේ වියදමත් කියන කාරණා දෙකම නිස්කාරණයේ නාස්ති කරන කටයුත්තක් වෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා. ඒකට හේතුව සමාජයක් විදියට ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ හැදෑරීමක්, හැගීමක් ජපානය වගේම උතුරු ඇමරිකානු සහ යුරෝපීය සමාජයට තියෙනවා. ඒ ශික්ෂණය ලැබෙන්නේ පාසල් කාලයේ ඉඳන්මයි. ඒකට හේතුව ටියුෂන් සංස්කෘතිය වෙනුවට ඒ රටවල දරුවන්ට කුඩා කාලයේ ඉඳන්ම සමීප වෙන්නේ සංගීතය, ක්‍රීඩාව, සාහිත්‍යය වගේ අංශයන් නිසා.

ඒත් පෙර පාසල් අවදියේ ඉඳන්ම අමුක ඩුමුක නැටුමට, සංගීතයට හුරු වෙච්ච සමාජයක පාඨකයෙකුට මේ විදියේ පොතක් ගැන මෙහෙම හිතෙන්න තියෙන ඉඩ වැඩියි.

“මෙලෝ රහක් නැති පොතක්!”

6 thoughts on “එකම එක මොහොතක්…!

Add yours

    1. ඇත්ත. ඒත් මේ පොත රස විඳින්නට සංගිතයට සවන් දිය යුතුම නැහැ. ඒත් සංගීතයට සවන් දෙනවා නම් මේ පොතට හදවතින්ම සමීප වෙන්න පුළුවන්.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑