පිස්සෙකුගේ දිනපොත

අලුත් රස්සාව හම්බු වුණාට පස්සේ මගේ නෑදෑයො ටිකයි, ගමේ උදවියයි හැමෝම කියන්න පටන් ගත්තා කසාදයක් බැඳගන්න දැං මට කාලෙ හරි කියලා. ‌


කොච්චර උත්සාහ කළත් හොඳ රස්සාවක් කරන කෙල්ලෙක් නම් මට හොයා ගන්න බැරි වුණා. අන්තිමේ දී මං තීරණය කළා යමක් කමක් තියෙන පවුලක, සාමාන්‍ය බී. ඒ. උපාධිය පාස් වෙච්ච කෙල්ලෙක්ව තෝර ගන්න. එයා‌ගෙ උපාධිය සමාජ විද්‍යාව වුණත් සමාජීය විද්‍යාවන් හරි ඉතිහාසය හරි භූගෝලය ගැන හරි මෙලෝ හසරක් එයා දැනගෙන හිටියේ නැහැ. අහලා බලන්න එයාගෙන් චීනය තියෙන්නේ කොහේද කියලා; එයා කියාවි නයිජීරියාව කිට්ටුව කියලා! ඒ වුණාට එයා හිතාගෙන ඉන්නේ එයා තමයි හැම දෙයක්ම දන්නේ කියලා. ඉංග්‍රීසි මාධ්‍යයේ පාසලක ඉගෙන ගත්ත නිසා එයාගෙ ඉංග්‍රීසි නරක නැහැ… මට වඩා නම් අනිවාර්යයෙන්ම හොඳයි. ඒත් සාමාන්‍ය දැනුම නම් අන්තිමයි. එහෙම වුණත් මොනවා හරි මෝඩ දෙයක් කියලා ඊට පස්සේ ඒක මත්තෙම තවත් මොන මොනවා හරි වැල්වටාරම් ටිකක් දොඩවගෙන දොඩවගෙන යන එක එයාගෙ පුරුද්දක්.
එක දවසක් රෑ… අපේ විවාහයේ මධුසමයේ හතරවැනි දවසේ රෑ එයා මාත් එක්ක වාදයක පැටලුණා, ලියනාඩෝ ඩාවින්සි ඉපදුනේ සී. වී. රාමන්ට පස්සේ කියලා. (සී. වී. රාමන් යනු නොබෙල් ත්‍යාගලාභී ඉන්දීය ජාතික භෞතික විද්‍යාඥයෙකි – පරිවර්තක). ඒ වාදය ඉවර වුණේ අපේ දික්කසාදයෙන්. වාද විවාදය අස්සේ මගේ කටින් පිටවුණා මං නොකිව යුතුව තිබුණු දෙයක්. කුණුහරුපයක් නෙමෙයි… ඒත් නුසුදුසු දෙයක්. ඒක තමයි ගැටලුව වුණේ.

———————————————————————————————————–

එතකොට වෙලාව උදේ එකොළහ විතර වෙන්න ඕනේ. ටවුන් එකට ආවත් විශේෂ වැඩක් කියලා දෙයක් තිබුණේ නැහැ කරන්න. මං සන්තකයටම තිබුණේ රුපියල් හයයි. තවත් රුපියල් හයක් තිබුණා නම් ලැවරියා (මුල් කතාවේ ඇත්තේ කේරළ රස කැවිල්ලකි. – පරිවර්තක) එකක් එක්ක තේ කහට එකක් බොන්න තිබුණා. එහෙම හිතන කොට හිත දුකින් පිරිලා ගියා. අම්මට පැන්ෂන් එක හම්බු වුණු ගමන්ම මං අම්මගෙන් රුපියල් පන්දාහක් ණයට ගත්තා. ගෙදරින්ම පිනට කකා බිබී ඉන්න හින්දා ඒ මුදලින් මාසයක්ම දුවනවා කියලා තදින්ම හිතට අරගෙනයි හිටියේ. ඒත් රුපියල් පන්දාහ පරිමහා ගන්න පුළුවන් වුණේ මාසේ විසි වෙනිදා වෙනකම් විතරයි. සල්ලි ටික කොහොම අන්තරස්දාන වුණා ද කියලා මට නම් හිතාගන්නවත් බැහැ. මං බොන්නෙත් නැහැ.. සිගරට් උරන්නෙත් නැහැ.. ගෑනු පස්සෙ යන්නෙත් නැහැ. මං බස් එකේ තමයි වැඩිපුරම යන්නෙ එන්නේ. චායි තේ කඩයකට ගිහින් තේකක් එහෙම බොනවා. ඉඳලා හිටලා පික්චර් එකක් බලනවා… ඔච්චරම තමයි ඉතින්. ආ… මං මගේ සෙල් ෆෝන් එකෙන් එක එක්කෙනාට කතා කරනවා… ඒත් ඒකට මාසයටම යන්නේ රුපියල් දාහයි. එහෙම වෙලත් දවස් විස්සක් යද්දිම සල්ලි ටික වාෂ්ප වෙලා ගියා.

ඒකේ අබිරහස මට කියලා දුන්නේ, සැණකෙ‍ළි භූමියක දී මගේ අත බලලා සාත්තර කිව්ව ගැහැනියෙක්. මගෙ අතේ සල්ලි රැදෙන්නේ නැහැලු. ඒක ඇත්ත තමයි. මගේ අත් හරියට තේ පෙරන ගොට්ටක් වගේ. දහස් ගානක් අතට ආවත් වැඩක් නැහැ, ඒවා ම‌ගේ අතින් ලිස්සලා යනවා. එයා කිව්වා මං හරිම හිත හොඳ කෙනෙක් කියලා. එයා තව කිව්වා, ගැහැනියෙක් හින්දා ඇතිවුණු විරහ වේදනාවකින් මගේ හිත තැලිලා තියෙනවා කියලා. “ස්ත්‍රී උපතින්…” කියලා පටන් ගන්න ශ්ලෝක කෑල්ලක් පවා එයා කිව්වා. ඔය සාත්තර කිව්ව ගැහැනිය හරිම ලස්සනයි. සැණකෙළියේ මල් වෙඩි සංදර්ශනයෙන් පස්සේ එයාව අරන් පැනලා යන්නත් මං කල්පනා කළා. කොයි තරම් නම් සුන්දර ජීවිතයක් ද?… ගෙයක් දොරක් නැහැ… එක සැණකෙළි භූමියකින් තවත් සැණකෙළි භූමියකට ගිහින් කල් ගත කරන එක!

ඒත් අවාසනාවන්ත කමක මහත! එයාට දැනටමත් මනුස්සයෙක් ඉන්නවා… ගොරෝසුවට වැවුණු බුරුසු උඩු රැවුල් කාරයෙක්. බුලත් කහට බැඳුණු දත් වහල්ලක් තියෙන මහ කැත මිනිහෙක්. තොල් පවා අප්‍රසන්න විදියට රතුපාට වෙච්ච මිනිහෙක්. ඒ මනුස්සයා නම් කොහොමටවත් එයාට ගැලපෙන කෙනෙක් නෙමෙයි… ඒත් ඉතින් මොනවා කරන්නද… ඒ එයාගෙ කසාද මනුස්සයනේ.
මං මොනවා හරි ලියන්න තමයි ලක ලැහැස්ති වුණේ… ආහ්… හරි, මට දැන් මතකයි. ලැවරියා එකක් කන්න සල්ලි හොයා ගන්න බැරිව හිත පෑරිලා මං එතැන හිටිය වෙලාවේ බරට බරේ බෑග් මල්ලක් උස්ස ගත්ත තරුණ හාදයෙක් ඇවිත් මං ඉස්සරහ හිට ගත්තා.


“සර් කැමති ද පොත් කියවන්න?” බොහොම ගරුසරු විදියට තමයි එයා ඇහුවේ. බොහොම කාලයකින් කවුරුවත් මට ‘සර්’ කියලා කතා කරලා නැහැ. මට කොයි තරම් නම් සතුටක් ඇතිවුණා ද කියනවා නම් හරියට තවුතිසාවට ගියා වගේ දැනුණා.


එයා ආපහු මාව තවුතිසාවෙන් පහළට ඇදලා ගත්තා. බෑග් එක ඇතුළෙන් ඒ හාදයා පොතක් එළියට ඇදලා ගන්න හැටි මං හීනයෙන් වගේ දැක්කා.


“මේක තමයි මගේ මුල්ම කවි එකතුව. මේ පොතෙන් පිටපතක් අරන් සර් මට උදව්වක් කරන්න ඕනේ”


‌මවාපාපු උනන්දුවකින් මං පොත අතට ගත්තා.


පොතේ නම “කිරි ගඟුලේ කිඹුල්ලු”. ඒ පොත නම් මට සතපහක්වත් වටින්නේ නැහැ කියලා බැලූ බැල්මටම තේරුණත්, ඒ වගක් මං එයා‌ට පෙන්නුවේ නැහැ.


“සොරි, අද උදේ ගෙදරින් එද්දි මට අමතක වුණා මගේ පර්ස් එක අරගෙන එන්න. සල්ලි ණයට ගන්න කැමැති කෙනෙක් නෙමෙයි මං. මට දැන් තියෙන්නේ ගෙදර යන්න බස් ගාස්තුව විතරයි”


“ආහ්… ඒක ප්‍රස්නයක් නෙමෙයි, සර්. මං සර්ටයි, මටයි දෙන්නටම ටිකට් ගන්නම්. අපි සර්ගෙ ගෙදර යමු. එතකොට අපිට පුළුවන් ඉඳගෙන නිවී හැනහිල්ලේ කවිය ගැන දිග සංවාදයක යෙදෙන්න”


ඒකෙන් ගැලවෙන්න මට බැරි වුණා. ඉතින් එයා මාත් එක්ක අපේ ගෙදර ආවා. අම්මාගෙන් රුපියල් සියයක් ණයට ගනිද්දී මට දැනුණු වේදනාව මගේ කවිකාර මිත්‍රයා නම් කිසිමදාක තේරුම් ගන්න එකක් නැහැ.


“මේ පොත රුපියල් අසූපහක්. ඒත් මං සර්ගෙන් ගන්නේ හැට පහක් විතරයි” රුපියල් තිස් පහක ඉතිරි ආපහු දෙන ගමන් ඒ හාදයා කිව්වා.


මං හිතන්නේ අපේ ගෙදරට පය තිබ්බ ගමන්ම එයාට හිතෙන්න ඇති කවි ගායනා කරන්නවත්, සාහිත්‍යය ගැන සංවාදයක යෙදෙන්නවත් සුදුසු පරිසරයක් නෙමෙයි එතැන තියෙන්නේ කියලා. කොහොම වුණත් ආ හැටියෙම එයා ආපහු ගියා. එයා ඇහුවා මං කැමැති ද කියලා අඩියක් ගහන්න. මං නැහැ කියලා කිව්ව එකත් එක හේතුවක් වෙන්න ඇති එයා ඉක්මනටම ආපහු යන්න.
මේ තරුණ කවියාට තේකක් හදලා දෙන්න කියලා අම්මාට කියන්න තරම් ධෛර්යයක් මට තිබුණේ නැහැ. අත මිට සරු නැති, ඒ වගේම තමන්ටම කියලා හරි හමන් ආදායමක් නැති කෙනෙක් මේ ලෝකයේ අත් විඳින්නේ ආත්ම පිළිකුල විතරයි.

————————————————————————————————————–

පහුගිය දවස් පහක – දහයක කාලය ඉඳන් මට කැස්සකුයි, සෙම ගතියකුයි තිබුණු හින්දා පෙරේදා මං ගියා මහ රෝහලේ වැඩ කරන පපුව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා වන දොස්තර පී. ජී. පී. පොතුවල් මුණගැහෙන්න. මේ සුප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයාට දැන් අවුරුදු අසූවත් පැනලා. එක්තරා කාලයක වෛද්‍ය විද්‍යාලයේ හිටිය අනෙක් ප්‍රසිද්ධ වෛද්‍යවරුන් අතරේ මුලටම හිටිය අංක එකේ දොස්තර තමයි එයා. විශ්‍රාම ගියාට පස්සේ, වෛද්‍ය ප්‍රතිකාර කරන අතරේම එයා තමන්ගේ කීර්ති නාමයත් එක්ක දේපළ වෙළදාමකුයි, අමතර බඩු භාණ්ඩ විකිණීමේ ව්‍යාපාරයකටයි අත ගැහුවා.


අත ගැවිච්ච ගැවිච්ච තැන ඒවා රත්තරන් වලට හැරවෙන ජාතියේ මිනිහෙක් තමයි ඒ කාලයේ දොස්තර පොතුවල් කියන්නේ. වයසට ගිහින් හිටියත්, ලෙඩාව දැක්ක ගමන්ම ක්ෂයරෝගය, ඇදුම, ආසාත්මිකතාව, පිළිකාව වගේම ශ්වසන පද්ධතියට සම්බන්ධ ඕනෑම ලෙඩක් ටක්කෙටම හඳුන ගන්න එයාට පුළුවන් කියලයි කතාවට කියන්නේ. අසාමාන්‍ය මහ විශාල මුදලක් අය කළත් එයාට හැම තිස්සෙම ලෙඩ්ඩු පිරිලා ඉතිරිලා යන්න හිටියා.


සෙනසුරාදාට එයාව හම්බුවෙන්න මට පුළුවන් වුණේ ඊට කලින් සතියේ බදාදා උදේ අටට ඉස්පිරිතාලයටම ගිහින් මං වෙලාව වෙන්කර ගත්ත හින්දයි. මට හම්බුවුණේ අංක දහතුන. අංකය දැක්ක ගමන්ම මගේ බලාපොරොත්තු සුණු විසුණු වෙලා ගියත්, වාසනාවන්ත ශුභ අංකයක් වෙනුවෙන් තවත් දවසක් බලාගෙන ඉන්න මට පුළුවන් වුණේ නැහැ. ඉතින් මං තීරණය කළා සෙනසුරාදාට යන්න. එදා ලොකුම ඉල්ලුමක් තියෙන දවසක් හින්දා දොස්තර ලෙඩ්ඩු දෙතුන් දෙනෙක් එක වෙලාවෙම බලනවා. මේක වෙන්නේ කොහොමද කියලා මං දැනගත්තෙත් එතැනට ගිහින් මගේම ඇස් දෙකින් ඒක දැක්කට පස්සෙයි.


කාමරයේ හිටියා නර්ස්ලා දෙන්නෙක්. මං ඇතුළට යද්දී, කමිසයයි වේට්ටියයි ගලවලා දාලා කාමරයේ කෙළවර තිබුණු බංකුවක වාඩි වෙලා හිටිය මිනිහෙකුගේ යටි බාහුවේ එක නර්ස් කෙ‌නෙක් අංකයක් ලියනවා. මං දැනගත්තා ඒ ‘ඇලර්ජි ටෙස්ට්’ එකකට කියලා. දොස්තර ඉස්සරහ තිබුණු බංකුවක තවත් කැහැටු මිනිහෙක් ඉඳගෙන. තුන්වැනි මිනිහා දොස්තරට පිටිපස්සෙන් තිබුණු රෝගීන් පරීක්ෂා කරන මේසයක දිගාවෙලා හිටියා. වෙදනලාව තියලා ඒ මනුස්සයාව පරීක්ෂා කරන අතරේම තමන්ගේ ඉස්සරහ හිටිය මනුස්සයට දිව එළියට දාන්න කියලා දොස්තර කිව්වා. මේ හැම දෙයක්ම අස්සේ මගේ රුධිර පීඩනය බල බලා හිටපු නර්ස් එක්කත් දොස්තර කතා කරන්න පටන් ගත්තා.


“ජයමෝහන් ආවද, සිස්ටර්?”


නර්ස් ඔළුව වැනුවා. එයා මගේ රුධිර පීඩනය කොළයක ලියන අතරේ දොස්තර මෙහෙම ඇහුවා;
“කවදද එයා ආවේ?”


“ඊයේ. දොළහට පස්සේ”


“ආහ්… ඒක තමයි ඔයා මේ මහන්සි පාට” එයා එහෙම කිව්වේ මහ කැත හිනාවකුත් එක්ක.


සතුට, ලැජ්ජාව ඒ වගේම නොරිස්සුම කියන මේ හැම දෙයක්ම මුහුවෙච්ච හැඟීමක් නර්ස්ගේ මුහුණ පුරා ඇදිලා ගියා එක මොහොතකට. දිව අගිස්ස උරුක් කරගෙන ඉක්මනටම තමන්ගේ හැඟීම් සගවා ගත්ත නර්ස් දොර ළඟට ගියා ඊළඟ ලෙඩාට කතා කරන්න.


ඇලර්ජි පරීක්ෂණය කර කර හිටපු නර්ස්ගෙ කටින් හිනාවක් පැන්නා.


මේසයේ දිගාවෙලා හිටපු ලෙඩා කෙලින් හිටගත්තා. එයාට තමන්ගේ ඉස්සරහ තිබුණු පුටුවේ ඉඳගන්න කියලා කියන ගමන්ම දොස්තර හැරුණා බංකුවේ වාඩිවෙලා හිටපු අනිත් ලෙඩා දිහාවට.
“ඔයා තාම සිගරට් බොනවා.. එහෙම නේද?”


“නෑ, සර්”


“මට බොරු කරන්න එපා”


“නෑ, සර්” එයා ආයිත් කිව්වා. ඒත් දොස්තර ඒ කිව්ව දේ මායිම් නොකරම පුටුවේ ඉඳගෙන හිටපු ලෙඩා එක්ක කතා කරන්න පටන් ගත්තා.


“මං ඔයාගේ බෙහෙත්වල පොඩි වෙනසක් කළා. ඔය බෙහෙත මෙතැන ඔසුසලේ ගන්න බැහැ. එළියට ගියාට පස්සේ දකුණු අත පැත්තේ තියෙන කොළ පාට තීන්ත ගාපු ෆාමසියට යන්න. එයාල ළඟ මේක තියෙනවා. මාසයකට පස්සේ ආපහු එන්න”


ඒ ලෙඩා ගිය ගමන්ම බංකුවේ ඉඳගෙන හිටපු ලෙඩා පුටුවට මාරු වුණා. ඒ එක්කම බංකුවේ ඉඳගන්න කියලා නර්ස් මට ඔළුවෙන් පෙන්නුවා. මං ඒකේ ඉඳගන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි දොස්තර මට කිව්වේ රෝගීන් පරීක්ෂා කරන මේසයේ දිගා වෙන්න කියලා. ඊට පස්සේ පුටුවේ වාඩි වෙලා හිටපු ලෙඩාට එයා මෙහෙම කිව්වා.


“මං ආයිත් අන්තිම වතාවට ඔයාට බෙහෙත් ටිකක් ලියලා දෙන්නම්. සිගරට් බොන එක නතර කරන්න බැරි නම් ආපහු මේ කාමරයට පය තියන්න එපා”


ඒ වෙනකොටත් ඊළඟ ලෙඩාව කාමරයට අරගෙන ඇවිත් තිබුණු නර්ස් එයාගේ රුධිර පීඩනය පරීක්ෂා කරමින් හිටියා.


මගේ ලෙඩේ ගැන දොස්තර කිසිම දෙයක් මගෙන් ඇහුවේ නැහැ. වෙද නලාව පපුවේ තියලා හුස්ම ඉහළට පහළට ගන්න කියන ගමන් මෙහෙම කිව්වා; “ඔයාට එක්ස්රේ එකක් ගන්න ඕනේ. ඒක අරන් පුළුවන් තරම් ඉක්මනට එන්න”


දොස්තරගේ තුණ්ඩුවත් අරන් මං එළියට එද්දී මගේ පස්සෙන් ආපු නර්ස් මෙහෙම කිව්වා: “පැය භාගයක් ඇතුළත ආපහු එන්න. අද ඩොක්ටර් ඉක්මනින් යනවා”


වාසනාවට එක්ස්රේ කාමරයේ ගොඩක් සෙනග හිටියේ නැහැ.


මං ආපහු දොස්තරගේ කාමරයට යද්දී ඇලර්ජි පරීක්ෂණය කරපු හාදයා පරීක්ෂණය ඉවර වෙලා ඇඳුම් ටික ඔක්කොම ඇඳගෙන දොස්තර ඉස්සරහ ඉඳ‌ගෙන හිටියා. පරීක්ෂණ ප්‍රතිඵලය දිහා බලපු දොස්තර මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.


“චිකන් ඇරුණම අනෙත් හැම දේටම ඔයා ඇලර්ජික්. බත්වලට පවා ඔයා ඇලර්ජික්. ඒ හින්දා ඇලර්ජීස්වලට බෙහෙත් දෙන්න පුළුවන් කමක් නැහැ. මං වෙන බෙහෙතක් දෙන්නම් සති දෙකකට. ඒක මෙතැන ඔසුසලින් හොයා ගන්න බැහැ. ඒත් ඒක තියෙනවා අර බස් ස්ටෑන්ඩ් එක ළඟ ජෙනී මෙඩිකල්ස් එකේ”


දොස්තර ඉස්සරහ තිබුණු පුටු දෙකේ මේ වෙද්දී ඉඳගෙන හිටියේ මස් පර්වතයක් වගේ මහත දෙහෙත කෙනෙකුයි සාමාන්‍ය මට්ටමේ හාදයෙකුයි. මං දිහා බලන්නේවත් නැතිව දොස්තර එයාලගෙන් මෙහෙම ඇහුවා:
“ඉතින්, මොකක්ද දැන් ප්‍රශ්නේ?”


අර සාමාන්‍ය මට්ටමේ ඇඟක් තිබුණු මනුස්සයා, මහත දෙහෙත මිනිහාගේ උරහිසට තට්ටු කරමින් මෙහෙම කිව්වා: “අපිට ඕනේ මෙයාගේ බර අඩු කරගන්න, ඩොක්ටර්. මේක එයාට හරිම හිරිහැරයක්”


“මොන බූරුවාද උපදෙස් දුන්නේ ඕකට මං ගාවට එන්න කියලා?” පුදුම වෙච්ච බවක් තමයි දොස්තරගේ මුහුණෙන් පේන්න තිබ්බේ. ඒ වචන ටිකත් එක්ක මුහුණෙන් මතුවුණු පුදුමය වහගන්න දොස්තර උත්සාහ කළත් ඒ තත්පරයේ දීම දොස්තරගේ මුහුණ දැක්ක මට යාන්තමට හිනා ගියා. දොස්තරට ඒක තේරෙන්න ඇති, එයා ඉක්මනටම තමන්ගේ වැඩේට බැස්සා.
“මොකක්ද ඔයාගේ බර?” දොස්තර ඇහුවේ රළු පරළු හඩකින්.


“කිලෝ 180යි” තමන්ගේ බුරුසු යටි රැවුල අදින ගමන් මහත මනුස්සයා උත්තර දුන්නේ ආවට ගියාවට. එයා මෙතැනට ආවේ විසඳුමක් හොයා ගෙන කියලා එයාටම අමතක වෙලා වගේ.
ඒත් දොස්තර ඒ ගැන තැකීමක් කළ බවක් පෙනුනේ නැහැ. “කොහේද ඔයා වැඩ කරන්නේ?”


“මං ඉන්නේ ඩුබායිවල”


“මොනවද කරන්නේ?”


“බිස්නස්”


“පපුවේ සෙම ගතියකින් පීඩා විඳිනවද?”


“සමහර වෙලාවට”


“හොඳයි”, කලින් වතාවේ තමන්ට දිව උරුක් කරපු නර්ස් දිහාවට හැරුණු දොස්තර මෙහෙම කිව්වා: “අපි එයාට ඇලර්ජි ටෙස්ට් එකක් කරමු නේද, සිස්ටර්?”


“නැතුව නැතුව, ඩොක්ටර්”, නර්ස් උත්තර දුන්නේ සමච්චල් හිනාවකුත් දවටගෙන.


“හොඳයි, එහෙමනම් කලින්ම ගිහින් එක්ස්රේ එකක් කරගෙන එන්න” මහත මනුස්සයාට දොස්තර කිව්වා.


එයාලා ගිය ගමන් මගේ එක්ස්රේ එක අතට ගත්ත දොස්තර ඒක බලන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමයි මට තේරු‍ණේ එයාට ඇස් පේන්නේම නැති තරම් කියලා.


“මේකේ කිසිම වැරැද්දක් නැහැ ඔයාට පොඩ්ඩක් සෙම තියෙනවා. මං දෙන්නම් බෙහෙත් තුණ්ඩුවක්. ඒක අරගෙන ආපහු දවස් දහයකින් එන්න”


“ඒක මෙතැන ඔසුසලේ නැහැ, එහෙම නේද?” මං ඇහුවා.


දොස්තර බලාපොරොත්තු වුණේ නැහැ ඒ විදියේ ප්‍රතිචාරයක්, ඒ හින්දා එයා ගොළු වුණා.


“තමුන් කවුද ඒක තීරණය කරන්න? එහෙම නම් ඇයි තමුන් තමන්ගේම බෙහෙත් තුණ්ඩුව ලියා ගන්නේ නැත්තේ?”


එයා බෙහෙත් තුණ්ඩු ලියන පෑඩ් එක මා දිහාවට විසි කළා. දොස්තරගේ ගෝරනාඩුවයි, එයාගේ හැසිරීමටයි නර්ස්ලා දෙන්නා වගේම ඒ වෙද්දි කාමරයේ හිටපු ලෙඩාත් බය වුණා කියලයි එයාලගෙ මුහුණු වලින් පේන්න තිබුණේ. ඒකේ අනිත් පැත්තට මට, බයක් කියලා නාමයක් දැනුණේ නැහැ. මුකුත්ම නොකියාම, බෙහෙත් තුණ්ඩු ලියන පෑඩ් එක මං දොස්තර දිහාවට තල්ලු කළා. මගේ මුහුණේ හැටි දැක්කම දොස්තරට බය හිතෙන්න ඇති, මොකද එයා සුචච කීකරුව ඒ පෑඩ් එක අතට ගත්තේ හරියට මහා භාරදුර වගකීමකින් බෙහෙත් තුණ්ඩුවක් ලියලා දෙන්න වගේ. එතැනින් පිටවෙලා යන්න කලින් මං මෙහෙම ඇහුවා: “මට ඇලර්ජි ටෙස්ට් ඕන කරන්නේ නැහැ… එහෙම නේද ඩොක්ටර්”


දැන් අද වෙද්දි මට හොඳටම හොඳයි. සෙම ගතිය නැතිවු‍ණේ සිරප් එක නිසා. දැන් මට හොඳටම නිදිමත දැනෙනවා.

———————————————————————————————————

නගරයේ දකුණු කෙළවර තියෙන බස් නැවතුම ළඟ ලොකු බෝ ගහක් තියෙනවා. පරිසරවේදීන් නොහිටින්න ඔය ගහ කෑලි කෑලි වලට කුට්ටි කරලා ගොඩාක් කල්.


අවුරුදු හැත්තෑවක විතර වයසක මනුස්සයෙක් හැම සඳුදා හවසකම ඔය ගහ යට දකින්න පුළුවන්. අපිරිසිදු වෙච්ච පිජාමා එකකුයි, කුර්තාවකුයි තමයි එයා සාමාන්‍යයෙන් අඳින්නේ. පහුගිය අවුරුදු තුනේම මං එයාව දැක්කේ ඒ විදියට; ඔය ඇඳුම් පිරිසිදුවට තිබුණේ නැහැ කවදාවත්ම. එයා කා එක්කවත් කතා කරන්නේ නැහැ. කට අරින්නේ හැම විනාඩි පහළොවකටම සැරයක් විතරයි. ඒ වෙලාටව තමන්ගේ දකුණු අතේ දබරැඟිල්ල උඩට, පහළට, වමට, දකුණට උරුක් කරන ගමන් එයා මෙහෙම කියනවා, “ මම සිටිමි. මම සිටිමි. ”(දෙවියන්ගේ පැවැත්ම තහවුරු කිරීමට මධ්‍යකාලීන යුගයේ දී දේකාර්ට් කී “I think, therefore I am” – ‘මම සිතමි, ඒ නිසා මම සිටිමි’ යන වැකිය මෙැතනදී සිහිපත් කිරීමත් වැදගත් – පරිවර්තක). ආපහු ආපහු තුන් සැරයක්ම ඔය වචන ටික කියලා ඊට පස්සේ ආයෙත් විනාඩි පහ‍ළොවක්ම නිසොල්මනේ ඉන්නවා. ඔය අතරේ වටේ පිටේ ඉන්න අය “ඕම්.. ඕම්..” කියලා මුමුණනන්නේ හරියට මහ විසාල බඹර ගුලක් ඇවිස්සුණා වගේ.

මේකේ තේරුම මොකක්ද කියලා වටේ පිටේ ඉන්න අයගෙන් මං ඇහුවත් මට උත්තර දුන්නේ දෙන්නෙක් විතරයි. දෙවියන් වහන්සේ, මහා බ්‍රහ්මයා, සක්වල චක්‍රය වගේ හුරු පුරුදු වචන ටිකක් හැරුණම පළමු වෙනියා කිව්ව කිසිම දෙයක් මට හරියට තේරුණේ නැහැ. ඒක යන්නන් වාලේ කළ දෙඩවිල්ලක්.


අනිත් මනුස්සයා මට මෙහෙම කිව්වා, “ඒක හරිම සරළයි යාළුවා. ඔය කුර්තකාරයාට තමන් විතරමයි පේන්නේ; වෙන කිසිම දෙයක්, කිසිම කෙනෙක් පේන්නේ නැහැ. මේ කාලයේ අපි හැමෝටම ඕන වෙලා තියෙන්නේ ඔය වගේ පැවැත්මක් හදා ගන්න නෙමෙයි ද? කා ගැනවත් වද වෙන්නේ නැතිව, කාටවත් අදරය කරන්නවත්, කා ගැනවත් හොයා බලන්නවත් නැතිව, කිසිම දෙයක් එක්ක පෑහෙන්නේ නැතිව ඉන්න පුළුවන් එක…! ඔය මනුස්සයා ඒ විදියේ පැවැත්මක හිනිපෙත්තටම ගිය කෙනෙක්. ඔය විදියේ කෙනෙක් හිටියේ නැතිනම් වෙන කවුද අපිට ඉන්නේ ගරු බුහුමන් කරන්න?”
ඔය ටික කියලා එයා හරියට ව්‍යායාමයක් කරනවා වගේ තමන්ගේ දකුණු අතේ දබරැගිල්ල ඉහළට, පහළට, වමට, දකුණට එල්ල කරන ගමන් මෙහෙම කිව්වා, “මම සිටිමි, මම සිටිමි”.


එයාගේ ඇස් කෙවෙනි අස්සෙන් ඇස් ගෙඩි ඉලිප්පිලා එන හැටි දැකලා මං හොඳටම බය වුණා.

———————————————————————————————————-

දිල්ලියෙන් ආපු නැටුම් කණ්ඩායමක් කරපු උර්දු නූර්තියක් අද නගර ශාලාවේ තිබුණා. මට මතක නැහැ ඒ නූර්තිය කාගේ එකක් ද, කතා කළේ මොනව ගැන ද කියලා. චරිත දෙකයි ඒකේ තිබුණේ. දෙන්නම ගැහැනු. එක්කෙනෙක් ඇඳගෙන හිටියේ සම්ප්‍රදායික ජන නැටුම්වලට අඳින ඇඳුමක්; දණහිට ළගටම එනකම් දුඹුරු පාට පුංචි මල් වැටුණු සුදු පාට සායයි, මෙරූන් පාට උඩ ඇඳුම උඩින් තද නිල් පාට කබා කෑල්ලක්… කෘත්‍රිම මැණික් කැට ඔබ්බපු මාලයයි, දිලිසෙන වීදුරු වළලුයි එක්ක. දෙවැනි ගැහැනිය ඇඳගෙන හිටියේ රාජස්ථානි නැටුම්වලදි අඳින ජාතියේ දිගට දිගේ පාට පාට සායකුයි, රතු පාට ස්කාර්ෆ් එකකුයි. දෙබස් වලට වඩා ඒකේ තිබු‍ණේ සිංදුයි, නැටුම් තමයි. එයාලගේ නැටුම්වල පුදුමාකාර ලස්සන රිද්මයක් තිබුණා. ඇඟිලි තුඩු අග්ගිස්සේ ඉඳන් එයාලගෙ සිරුරේ හැම අංශුවකින්ම නර්තනයේ රිද්මය අපූරුවට පිළිබිඹු වුණා.


ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන මේ නර්තනය දිහා බලාගෙන ඉන්න කොට මට දරාගන්න බැරි දුකක් වේදනාවක් ඇති වුණා. මේ නර්තනය මේ රිද්මයෙන් මේ විදියටම ආපහු කිසිම දවසක එයාලට රඟ දක්වන්න බැහැ නේද කියලා මට හිතුණා. ආපහු දවසක මේ නර්තනය මේ දෙන්නම එකතු වෙලා කළත් මේ අද කරන විදියටම ඒක කරන්න එයාලට බැහැ. මෙතැන ඉන්න ගායකයන්ටයි, සංගීතවේදීන්ටයි මේ අද තියෙන හැම්මෙන්ම ඔය කාර්යය ආපහු කිසිම දවසක කරන්න බැහැ.

කෙනෙකුට පුළුවන් මේ නූර්තිය වීඩියෝ කරගන්න, ඒත් ඒක වෙනමම විදියේ අත්දැකීමක්.
ඔන්න ඔය විදියට හිතමින් ඉන්න කොට මගේ දුක තව තවත් වැඩි වුණා. අන්ධකාරය අස්සේ ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන මං හිමිහිට වැළපෙන්න පටන් ගත්තා. ඔන්න එතකොට එකපාරටම අමුතුම හැඟීමක් මගේ හිතට ආවා. මේ නර්තනය මෙතැනින්ම ඉවර වෙන්නේ නැහැ. ඒක මේ විශ්වයේ ඉතිරි වේවි. එහෙමත් නැතිනම් මේ නර්තනයේ පුංචි පුංචි කොටස් අභ්‍යවකාශයේ කොතැනක දී හරි එකට මුණ ගැහේවි. එතැනදී කවුරුවත් දන්නැති අදෘශ්‍යමාන ඉසව්වක දී මේ නර්තනය සදාකාලිකත්වයට පත් වේවි. අනාගතයේ දී… තව තවත් ඈතට ගිය අනාගතයේ දී කවුරුත් නොදන්නා මොහොතක මේ නර්තනය ආපහු ආපහු දකින්න ලැබේවි. මේ හැඟීමත් එක්ක කියා නිමකරන්න බැරි තරම් ප්‍රීති ප්‍රමෝදයකින් මගේ හදවත පිරිලා ගියා. රාජස්ථානි සංගීතයෙත්, වීදි නැටුම්වල සංගීතයෙත් රිද්මයන්ට එකිනෙක මාරු වෙමින් ඔවුන් දිගින් දිගටම නර්තනයේ නිරත වුණා. මගේ ප්‍රීති ප්‍රමෝදය තව දුරටත් ඉවසා දරාගෙන ඉන්න මට පුළුවන් වුණේ නැහැ.


අසුනෙන් නැගිටපු මං, “අඩේ අප්පා… මරු… මරු” කිය කියා කෑ ගහන ගමන් එයාලට අත් පුඩි ගහන්න පටන් ගත්තා.


මගේ පස්සෙන් හිටපු කවුරු හරි, “තමුසේ ඉඳගන්නවා” කියලා කෑගහන්න ගත්තා. මං බයවුණේ නැහැ එයාට, ඒත් මං ඉඳගත්තා.

——————————————————————————————————

ඉහතින් කිව්ව දින සටහන් පරිවර්තනය කෙරුණේ ‘Diary of a Malayali Madman’ (උමතු මලයාලියෙකුගේ දිනපොත) කියන අපූරු කෙටිකතා සංග්‍රහයෙන්. මේ කෙටි කතා පොතේ කෙටිකතා පහක් අන්තර්ගතයි. ඒ හැම කෙටිකතාවක්ම තරමක් දිග කතා. ඒ කෙටි කතා සංග්‍රහයේ ‘Diary of a Malayali Madman’ නමින්ම තියෙන පිටු 40 ක විතර දිග කතාවෙන් තැනින් තැන උපුටා ගත් කොටස් කිහිපයක් තමයි ඉහතින් පරිවර්තනය වුණේ.


මේ කෙටිකතා සංග්‍රහයේ රචකයා කීර්තිමත් මලයාලම් ලේඛක එන්. ප්‍රභාකරන්. ප්‍ර‍භාකරන් කියන නම වෙනත් ස්වරූපයකින් ලාංකිකයන් දන්න කියන නාමයක් වුණත්, බොහෝ පොත ලියූ සුප්‍රකට මලයාම් ලේඛක ප්‍රභාකරන් සිංහල පාඨකයන්ට නුහුරු නුපුරුදු වෙන්න එක හේතුවක් තමයි ඔහුගේ නිර්මාණ ඉංග්‍රීසි බසින් ඇත්තේ අල්ප වශයෙන් වීම.


මලයාලම් ලේඛක ප්‍රභාකරන් අතිශය නිර්මාණශීලී නිර්මාණකරුවෙක්, කවියෙක්. ඒ වගේම කැලිකට් සරසවියේ මලයාලම් භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙක්. අපේ අසල්වැසි කේරළයේ ජීවත් වෙන ප්‍රභාකරන්ගේ වයස දැන් අවුරුදු හැත්තෑවක්. විශ්‍රාම යද්දී ඔහු කන්නූර් සරසවියට අනුබද්ධව මලයාලම් අංශයේ ප්‍රධානියා විදියටයි සේවය කළේ. පශ්චාත් නූතන කේරළ සාහිත්‍යයේ පුරෝගාමියා විදියටයි ඔහු සැලකෙන්නේ.

එන්. ප්‍රභාකරන් – ඡායාරූපය K Sasi


ඔහුගේ නිර්මාණ බස හරිම අපූරුයි. සංකල්පනා හරිම ප්‍රබලයි. ඉහතින් පරිවර්තනය කෙරුණු කෙටි සටහන් කිහිපයෙන් වුණත් නිර්මාණකරුවෙකු විදියට ඔහු තුළ පවතින තීක්ෂණභාවය, මතුපිටින් දිවයන සරල සුගම බස වහර අතරේ දැවටෙන ගැඹුරු යථාර්ථය හදුනා ගන්න ඔබට පුළුවන් වේවි. ඔහු අතින් බිහිවුණු නවකතා, කෙටිකතා, කවි, තිර පිටපත්, ශාස්ත්‍රීය ලේඛන සංග්‍රහයන් ප්‍රමාණය අර්ධ ශතකයකට ආසන්නයි. ඉහතින් සංක්ෂිප්තව උපුටා පරිවර්තනය කෙරුණු ‘Diary of a Malayali Madman’ කෘතියට වගේම ඔහුගේ සෙසු නිර්මාණ බොහොමයක් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා. තමන්ගේ ඇතැම් නිර්මාණයන් හේතුවෙන් ඔහුට ජීවිත තර්ජනයන්ට පවා මුහුණ දෙන්නට සිදු වූ බවත් සටහන් නොකළොත් එය අඩුපාඩුවක්.


ඉහතින් කළ කෙටි පරිවර්තනයේ අරමුණ අපේ අසල්වැසි රාජ්‍යයේ, ආසන්නතම දේශ සීමාවේ (අල්ලපු වැටේ) දිවි ගෙවන විශිෂ්ට ලේඛකයා පිළිබඳ නොදැන සිටින සිංහල පාඨකයන්ට ඔහු සමීප කරවීමයි.

(කාටුනය R. X. Laxman)

6 thoughts on “පිස්සෙකුගේ දිනපොත

Add yours

  1. ගොඩක් ස්තූතියි නොදන්නා ලේඞකයෙක් හදුන්වා දුන්නට. කේරලයයි ලංකාවයි අතර ගොඩක් සමානකම් තියෙනවා . කෑම බීම, නැටුම්, මිනිස්සුන්ගේ ස්වරූපය උනත් එක හා සමානයි. ඉතින් මේ කේරළ ලේකකයගේ කතා අපට ගොඩක් සමීප වෙවි – මයියා-http://maiyyagelokaya.blogspot.com/?m

    Liked by 1 person

    1. බොහොම ස්තුතියි. ඔව්, මං කේරළයට ගිහින් තියෙනවා. මුල්ම සැරේ ගිය වෙලාවේ මට හිතුණේ ඒ ලංකාවමයි නියලා. කෑම බීම හැම දෙයක්ම අපේ වගේමයි. ඉන්දියාවේ අනෙක් ප්‍රදේශ එක්ක ගත්තම වඩාත් පිරිසිදු බව තියෙන පෙදෙසක්.
      මෙහේ මං ඉන්න රටේ ඉඳලා හිටලා කේරළයේ කෙනෙක් හමුවුණාම හිතෙන්නෙම ලංකාවෙ කෙනෙක් කියලා. එයාලත් අපෙන් අහනවා කේරළයෙද කියලා🙂

      කැමතියි

  2. ඔව් ලෝකේ කොහේ ගියත් හම්බෙන ඉන්දියානුවන්ගෙන් වැඩි කොටසක් කේරලයේ අය. මමත් වෙන රටවලදී කේරල අය ලංකාවේ හිතලා කථා කරලා තියෙනවා

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑