මිතුරේ මේ ලොවම එක යායක්!

‘Baharon Phool Barsao’ තමයි සිංදුවේ නම.

එහෙම කිව්වම එක සැරේම මතකයට එන්නේ නැහැ නේද? (සමාවෙන්න, එහෙම මතකයට එන අයත් බොහොම දෙනෙක් ඇති). මේ පහළින් තියෙන ලින්ක් එක ක්ලික් කළාම ඒ සිංදුව අහන්න පුළුවන්.

අහලා රස විඳලා තියෙනවා නේද…? බොහෝ වෙලාවට සිනමා පටයත් නරඹලා ඇති.

පුදුමාකාර ලස්සන හින්දි ගීතයක්…!

කොහොමටත් 60/70 දශකයේ බිහිවුණු හින්දි සිනමාපට හැම එකක්ම වාගේ ඔය විදියේ ආකර්ශනීය ගීත වලින් පිරිලනේ තිබුණේ. ඒත් මේ ගීතය පිටිපස්සේ හරිම රසවත් කතාන්දරයක් තියෙනවා. ඒ කතාව තමයි මේ කියන්නට යන්නේ.

Baharon Phool Barsao කියන හින්දි ගීතය නිර්මාණය වුණේ 1966 අවුරුද්දේ තිරගත කෙරුණු ‘සුරාජ්’ (Suraj) කියන සිනමාපටය වෙනුවෙන්. 1966 අවුරුද්දේ ඉපදිලා හිටියේ නැතත් මේ සිනමාපටය නම් පසු කාලයකවත් බැලුව බවක් මතකයේ නැහැ.

ඒත් මේ ගීතය නම් සිය වාරයකටත් වඩා අහලා ඇති. ඒකට හේතුවකුත් තිබුණා. අපි පාසල් යන කාලයේ අපට තිබුණු එකම විනෝදාස්වාද මාධ්‍යය වෙච්ච ගුවන්විදුලියේ සතියේ දිනවල හවසට හෝරාවක් පුරාම ප්‍රචාරය වුණු භාරත ගී වැඩසටහනේ (වැඩසටහනේ නම හරියටම මතක නැහැ) මේ ගීතය නිතර නිතර වාදනය වෙච්ච හින්දා.

රූපවාහිනිය කරළියට ආවට පස්සේ තමයි ඊට කලින් අහලා විතරක් රස වින්ද මේ ගීතයට රාජේන්ද්‍ර කුමාර් – වෛජයන්තිමාලා කියන ඒ කාලයේ අතිශය ජනප්‍රිය නළු නිළියන් දෙපළ කළ හරිම අපූරු රංගනය දැක්කේ. කණ වගේම ඇසත් පිනවපු රංගනයක්… ගායනයක්. වචනවල තේරුම එදා හරියට දැනගෙන හිටියෙ නැති හින්දා මේ සිංදුවට හිත යන්න හේතු කිහිපයක්ම තියෙන්න ඇති… මන මෝහනීය තනුව…! මියුරු සංගීතය…! ළයාන්විත ගායනය!

හින්දි සිනමාවට නැතිවම බැරි රසාලිප්ත ගීත රැසක් ලොවට දායාද කළ මොහොමඩ් රාෆි කියන අසහාය ගායකයා තමයි මේ හින්දි ගීතයට තමන්ගේ ළයාන්විත කටහඬ මුසු කළේ. රාෆි කියන්නේම නිකම්ම නිකම් ගායකයෙකුට වඩා ඔම්බට ගිය පුරාවෘත්තයක් (legend) කියන එකට විවාදයක් නැහැනේ. ඉන්දීය ජනමාධ්‍ය රාෆිට කිව්වේ “රිදී තිරයේ ස්වර්ණමය කටහඬ” (Golden Voice of the Silver Screen) කියලයි.

මේ ගීතය ආපහු මතකයට ආවේ මේ ගීතයේ තනුවට ගැයුණු මොහොමඩ් රාෆිගේම ඉංග්‍රීසි සිංදුව “Although we hail from different lands” ගැන ඊයේ පෙරේදා දවසක මතකය අලුත් වුණු හින්දා.

ඔව්… ඔබ හරි. මොහොමඩ් රාෆි ඉංග්‍රීසියෙන් සිංදු කියපු ගායකයෙක් නෙමෙයි. ඇත්තටම කියනවා නම් ඉංග්‍රීසි බාසාව ඔහුට නුහුරු බසක්. ඔහු ඉංග්‍රීසි බසින් ගායනා කරලා තියෙන්නේ සිංදුවක් දෙකක් විතරයි. ඒත් මේ ගීතය ඔහු කියන අපූරුව පුදුමාකාර විදියට හිත ගන්නවා. සමහරවිට ඒ අපිට තියෙන දකුණු ආසියානු ජානමය ගති ලක්ෂණත්, මොහොමඩ් රාෆිගේ ගීතවලට තියෙන ඇල්මත්, හින්දි සිංදුවේ තනුවට තියෙන ආදරයත් හින්දා වෙන්න ඇති.

මේ ඉංග්‍රීසි ගීතය මොහොමඩ් රාෆි ගායනා කළේ 1970 දී එක්සත් ජාතීන්‍‌ගේ සංවිධානයේ (United Nations Organization) සමුළුව වෙනුවෙන්.

මේ ගීතය ගැන ඇතිවුණු ආකර්ශනය නිසාම මා ඒ වෙනුවෙන් කළ කෙටි වීඩියෝවක් තමයි පහළින් තියෙන්නේ.

ඉංග්‍රීසි ගීතය ලිව්වේ හරීන්ද්‍රනාත් චත්තෝපාධ්‍යාය (Harindranath Chattopadhyaya). හරීන්ද්‍රනාත් කියන්නේත් ලෙජන්ඩ් එකක්ම තමයි. සරෝජිනී නායිදු කියන විශිෂ්ටතම ඉන්දීය කිවිඳියගේ බාල සොහොයුරා තමයි හරීන්ද්‍රනාත්. සරෝජිනී නායිදු කියන්නේ කිවිඳියක් විතරක් නෙමෙයි, ඉන්දීය දේශපාලනයේ තීරණාත්මක වෙනසකට දායක වුණු දේශපාලන ක්‍රියාකාරිනියක්. හරීන්ද්‍රනාත් කියන්නෙත් ඉංග්‍රීසි බසින් කාව්‍යකරණයේ යෙදුණු සුප්‍රකට ඉන්දීය කවියෙක් වගේම කලා අංශයන් ගණනාවකින් විශිෂ්ට මං සලකුණු සටහන් කළ විශිෂ්ට ඉන්දීය පුත්‍රයෙක්. ඔහු මේ ඉංග්‍රීසි ගීතයට මුසු කළ පදවැල දිහා බලද්දිම ඔහුගේ ප්‍රතිභාව හඳුනා ගන්න පුළුවන්. හරීන්ද්‍රනාත් මේ ඉංග්‍රීසි ගීතය ලියලා දැන් අඩ සියවසකුත් ගෙවිලා ගිහින්. ඒත් ගීතයේ අදහස එදාටත් වඩා අදට වලංගුයි. ඔහු මේ ගීතය රචනා කළා විතරක් නෙමෙයි ඉංග්‍රීසි උච්ඡාරණයට රාෆිට විශාල සහායකුත් ලබා දුන්නා. සංගීතය සැපයුවේ මුල් හින්දි ගීතයට සංගීතය සැපයූ ෂන්කර් ජයිකිෂාන් (Shankar Jaikishen) ම තමයි.

හරීන්ද්‍රනාත් – Photo Credits : Film History Pics

ඒ කාලයේ හැම හින්දි සිංදුවකම තනුවට සිංහල සිංදුවකුත් හැදුනනේ. මේ සිංදුවටත් එහෙමම තමයි. සිංහල සිංදුවේ නම “එදා මා ශෝකයෙන් හඬලා”. ගායනා කළේ බෙග් මාස්ටර් (ජෝතිපාලත් මේ තනුවට සිංදුවක් කිව්ව ද කියලා දන්නේ නැහැ. කියලා තියෙනවා නම් දැනුවත් කරන්න). ‘එදා මා ශෝකයෙන් හඬලා’ නමින් පහළින් තියෙන සබැඳියාවෙන් මාස්ටර්ගෙ සිංදුව අහන්න පුළුවන්.

අපූරුම කරුණු කාරණා දෙක තුනකුත් තියෙනවා.

මෙහි මුල් හින්දි ගීතය රචනා කළ ඉන්දීය කවියෙකු වෙච්ච ජායිපූරි (Hasrat Jaipuri) ට මේ ගීතය වෙනුවෙන් ඒ වසරේ විශිෂ්ටතම ගී පද රචනාවට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය (Filmfare Awards) හිමි වුණා. ගීතය ගායනා කළ රාෆිටත් වසරේ විශිෂ්ටතම ගායකයාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි වුණා. සංගීත අධ්‍යක්ෂ ෂන්කර්ටත් වසරේ විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය හිමි වුණා. ගීතය ඇතුළත් සුරාජ් චිත්‍රපටයත් කොයි තරම් නම් ජනප්‍රිය වුණා ද කියනවා නම් හින්දි සිනමාවේ සිනමාපට සිය ගණනින් බිහිවුණු ඒ යුගයේ මේ සිනමා පටය වසරේ වැඩිම ආදායමක් ඉපයූ දෙවැනි චිත්‍රපටය බවට පත් වුණා. 2013 දී බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය (BBC) කරපු ජනමත විචාරණයකින් මේ ගීතය බොලිවුඩ් ගීත දර්ශකයේ ජනප්‍රියතම ගීත සියය අතරට තේරුණා. ඒ විදියේ තවත් ගීත දර්ශක ගණනාවක ඉහළම තැනකට මේ ගීතයේ නම සටහන් වුණා. එහෙම බැලුවම එසේ මෙසේ සිංදුවකුත් නෙමෙයි.

සිංහල බස ව්‍යක්තව හැසිරවීම නුහුරු නුපුරුදු බෙග් මාස්ටර් තමන්ගේම ඌරුවෙන් මේ හින්දි සිංදුවට කටහඬ මුසු කරද්දී අපිට දැනෙන්නේ අමුතුම මිහිරක්නේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි බස ව්‍යක්තව හැසිරවීම නුහුරු නුපුරුදු මොහොමඩ් රාෆි තමන්ගේ හින්දි ඌරුවෙන් (Hinglish) මේ ඉංග්‍රීසි සිංදුවට කටහඬ මුසු කරද්දීත් දැනෙන්නේ ඒ විදියේම අමුතුම මිහිරක්.

තවත් කාරණාවක් තියෙනවා. මුල් හින්දි සිංදුව පෙම් ගීතයක්. තමන්ගේ පෙම්වතිය දැකලා ආදරයෙන් මුසපත් වෙච්ච පෙම්වතෙක් කියන ආදර වදන් තමයි ගීතය පුරාම තියෙන්නේ. ‘Baharon Phool Barsao’ දි වචනවල තේරුමෙන් කියැවෙන්නේත් ‘වස්සානයේ පිපෙන මල් කැකුළ’ වගේ අදහසක්. මේ මල් කැකුළ තමයි තමන්ගේ පෙම්වතිය. වස්සානයේ පිපෙන මල් කැකුළු අතරින්, තමන් වෙනුවෙන්ම මෝදුවුණු රතු පැහැති ‘ආදර මල’ දකින පෙම්වතා ප්‍රීති ප්‍රමෝදයෙන් ඉහවහා යනවා. ඒ ආදරණීය පෙම්වතාගේ චරිතයට පණ පොවන රාජේන්ද්‍ර කුමාර්ගේ ශංගාර රංගනයට ජීවය දෙන්නේ රාෆිගේ පෙමාතුර කටහඬ.

ඒත් බෙග් මාස්ටර්ගෙ සිංහල සිංදුවේ තේරුම ඊට මුළුමනින්ම පටහැනියි. ඒක තනිකරම විරහ ගීතයක්. පෙම්වතිය පෙම්වතා හැර ගිහින්. දරාගන්න බැහැ වේදනාව. පෙම්වතාට බැහැ ආයෙත් හිනාවෙන්න කවදාවත්ම. බෙග් මාස්ටර්ගේ දුක්බර කටහඬ ඇහදේදි හිතෙනවා අනේ ඒ පරාජිත පෙම්වතා මාස්ටර්ම ද කියලා.

“හිනාවෙනු බෑ විසයි ලෝකේ

එදා මා සෝකයෙන් හඬලා

සදාකල් වේදනා විඳලා

සෙවු ඒ ආදරේ අද කෝ

නොවේවා ලොවේ වෙනින් කාට හෝ

මෙවන් පාළු සෝක සංතාපයෝ

කියා ගන්න බෑ හැඟුම් මා හදේ

දයාවන්ත නෑ ළඳුන් මේ ලොවේ”

රාෆි කියන ඉංග්‍රීසි සිංදුව මේ සිංදු දෙකටම වඩා හාත්පසින්ම වෙනස්. ඒකේ කතා කරන්නේ ප්‍රේමය දිනපු පෙම්වතෙක් ගැනවත්, පරාජිත පෙම්වතෙක් ගැනවත් නෙමෙයි; ලෝක සාමය ගැන. මුළු ලෝකයම එකම යායක්… ඉර, හද, මිහිතලය අපිට පොදුයි. ඒ නිසා ලෝකයේ කොතැනක හිටියත් යහපත ලෝකයක් වෙනුවෙන් එකම ගමනක් යමු කියන පණිවිඩය තමයි ඉංග්‍රීසි සිංදුවෙන් කියැවෙන්නේ. ඒ විශිෂ්ට ඉංග්‍රීසි පද පෙළ මේ ලිපිය අවසානයේ දකින්න පුළුවන්.

භාරතයේ පන්ජාබ් ප්‍රාන්තයේ මුස්ලිම් ජාතික පවුලක රාෆි උපත ලබන්නේ 1924 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ දී. ඒත් 1980 දී රාෆි මෙලොවින් සමුගන්නේ අවුරුදු 55 ක් තරම් අඩු වයසක දී. ඒත් අවුරුදු හතළියක විතර තමන්ගේ සංගීත ජීවිතයේ දී රාෆි 25,000 ක් තරම් අති විශාල ගීත ප්‍රමාණයක් පටිගත කළා. මේ නිසා මොහොමඩ් රාෆිත්, ලතා මංගේශ්කාරුත් වරින් වර ගිනස් වාර්තාවකටත් හිමිකම් කිව්වා, වැඩිම ගීත ප්‍රමාණයක් පටිගත කළ ගායකයා/ගායිකාව (the most recorded artist) විදියට. පසුව ලතාගේ සොහොයුරිය ආශා බෝස්ලේ ඒ ගිනස් වාර්තාව තමන් සතුකර ගත්තා.

රාෆි – Photo Credits – NDTV.com

මේ ගීත තුන ගැන සටහනක් තියන්නට හිතුණේ මෙහි තියෙන අපූර්වත්වය නිසයි. ඉංග්‍රීසි ගීතය වෙනුවෙන් මා නිර්මාණය කළ සිංහල පද පෙළ එහි වදනින් වදන සිංහලට පෙරළූ පරිවර්තනයක් නොවන බවත්, ගීතයේ අදහස කියා පෑමක් පමණක් බවත් මෙහිදී විශේෂයෙන්ම කියන්නට ඕනේ. ඒ වගේම ගීතය වෙනුවෙන් මා නිර්මාණය කළ වීඩියෝව ඉංග්‍රීසි ගීතය ඇසීම නිසා ඇති වූ ප්‍රමෝදය ඔබ හා බෙදා හදා ගැනීමක්ම පමණයි. වීඩියෝවට අදාළ සියලු දර්ශන අන්තර්ජාලයෙන් සොයා ගත්, බුද්ධිමය දේපළ නීතියෙන් නිදහස් වූ (copy rights free) කෙටි වීඩියෝ කිහිපයක එකතුවක්. වීඩියෝ සංස්කරණ ශිල්පය මා හදාරා නැති බැවින් මෙය ආධුනික නිර්මාණයක් බවත් අවධාරණය කරන්නටම අවශ්‍යයි.

Although we hail from different lands,

we share one earth and sky and sun,

remember friends, the world is one

We want all enmity to seize,

for we want peace, we all want peace,

we want no hate, we want no strife,

since we were born for love and life,

come let us chant while joining hands,

we shall not rest till wars are done,

remember friends, the world is one

we have matured to dream and build,

we want our dreams to be fulfilled,

we have come here to dream and plan,

a world of joy and hope for man,

a world is dignity demesne,

a world that we shall see begun,

remember friends, the world is one

1 thoughts on “මිතුරේ මේ ලොවම එක යායක්!

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑