ක්ලික්… ක්ලික්… ක්ලික්…!

ඡායාරූපය – REUTERS/Peter Nicholls

—————————————————————————————————————————————————–

ක්ලික්… මගේ අම්මාට මේ ලෝකයේ අන්තිමට ඇහුණු සද්දය ඒක වෙන්න ඇති.

————————————————————-

මට මතකයි එක්තරා දවසක අපි ගියා කාර් එකෙන් ටෙනිස් පුහුණුවට. අම්මා තමයි වාහනය ගෙනිච්චේ. මමයි, විලියි පිටිපස්සෙ ආසනේ. අපිට කිසිම අනතුරු ඇඟවීමක් කරන්නේ නැතිවම අම්මා හිටි හැටියේම ඇක්සලරේටරය ලෑල්ලටම පාගලා රොකට් වේගයෙන් කාර් එක අරගෙන ගියා. පටු පාරවල් උඩින්… රතු එළි අස්සෙන්… වංගු අතරින් වීසිවෙවී. විලියි, මමයි අපේ සීට්වලට ඇලිලාම හිටියා, මොකද එතකොට අපිට පිටිපස්සෙ වීදුරුවෙන් කිසිම දෙයක් පේන්නේ නැති හින්දා. ඒත් අපිට හැඟීමක් තිබුණා කවුද අපේ පස්සෙන් ලුහුබැඳ ගෙන එන්නේ කියලා. ඒ එයාලාම තමයි, මෝටර් සයිකල්වලින්…!

“අම්මේ එයාලා එන්නේ අපිව මරන්න ද? … අපි මේ මැරෙන්න ද යන්නේ?” 

ලොකු අව් කන්නාඩි දෙකක් දාගෙන හිටිය අම්මා වාහනයේ කන්නාඩි සැරෙන් සැරේ එබි එබී බැලුවා. බරපතළ වාහන අනතුරු ගණනාවක්ම සිද්ධ වෙන්න ඔන්න මෙන්න තිබිලා ඒවා යාන්තමට බේරිලා ගිය විනාඩි පහළොවකට විතර පස්සේ  අම්මා මහ හයියෙන් බ්රේක් එක පාගලා වාහනය නවත්ත ගත්තා. වාහනයෙන් එළියට පැනලා එයාලා ඉස්සරහට වේගයෙන් ඇවිද ගෙන ගියා.

“දෙවියන්ගේ නාමයට අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න! මං ඉන්නේ මගේ දරුවොත් එක්ක. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න බැරිද?”

අම්මා වෙවුලනවා. කම්මුල් රෝසපාට වෙලා. කාර් එකට නැගපු ගමන් මහ හයියෙන් දොර වහලා දාලා වීදුරු කවුළු උඩටම උස්සපු අම්මා ස්ටියරිං වීල් එකට ඔළුව තියාගෙන ඉකි ගහන්න ගත්තා. ඒ අතරේ එයාලා එක දිගටම ක්ලික්.. ක්ලික්… ක්ලික්… ක්ලික්… අම්මාගේ ලොකු අව් කන්නාඩි අතරින් කඳුළු වැල් ගලාගෙන ගිය හැටි මට මතකයි…. මට මතකයි විලී ගල් ගැහිලා හිටිය හැටි… ඒ අතරේ එයාලා එක දිගටම ඉලක්කය එල්ල කරගෙන… එල්ල කරගෙන… එල්ල කරගෙන ගිය හැටි.

ක්ලික්… ක්ලික්…ක්ලික්….

————————————————————-

කවුද මේ අම්මා…?

කවුද මේ පුතා.. කාරෙකේ හිටිය විලී…?

කවුද ඒ පස්සෙන් එළවාගෙන ආපු පිරිස…?

මොකක්ද ඒ ක්ලික් සද්දය…? තුවක්කුවක කොකා ගස්සන හඬ ද?

————————————————————-

ඒ අම්මා තමයි අකාලයේ මිය ගිය ඩයනා කුමරිය.

කතාව කියන පුතා තමයි චාල්ස් – ඩයනා විවාහයේ බාලම පුතා, හැරී. බ්‍රිතාන්‍යයේ  අනාගත රජ කිරුළ හිමි විලියම්,  (විලී) තමයි හැරීගේ අයියා.

පස්සෙන් එළවාගෙන ආවේ පැපරාසියෝ.

ක්ලික් සද්දය තමයි කැමරාව ක්‍රියාත්මක වෙන ඒ “බිහිසුණු නාදය”. හැරී කියන විදියට තමන්ගේ අම්මා මරණයට පත් කළ බිහිසුණු නාදය. අම්මාගේ මරණයෙන් පස්සේ තමන්ගේ පසුපස හඹාගෙන ආපු, තමන් ජීවිතයේ වඩාත්ම බියට පත් කරවන බිහිසුණුම නාදය.

“ටැබ්ලොයිඩ් එකක මුල් පිටුවේ මගේ පිංතූරය තියෙනවාද කියලා බලන එක මට සතුටක් ප්‍රබෝධයක් ගෙන දෙන කාරණාවක් නෙමෙයි. මට දරාගන්නම බැරි කාරණාව තමයි මගේ පිංතූරයකට එයාලා දෙන්න හදන අර්ථකථනය. මගේ උරහිසට උඩින්, එහෙමත් නැතිනම් මගේ පිටිපස්සෙන්, එහෙමත් නැතිනම් මට පෙනෙන නොපෙනන දුරින් ඇහෙන අර කිව්ව බිහිසුණු නාදය…. ක්ලික් සද්දය, හැම මොහොතකම මගේ ඇඟේ ලේ උණුහුම් කරනවා, හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගන්නවා. මට මුහුණ දෙන්න සිද්ධ වුණු අත්දැකීම් එක්ක පස්සේ පස්සේ මට ඒක දැනුණේ තුවක්කුවේ කොකා ගස්සනවා වගේ, එහෙමත් නැතිනම් තියුණු පිහිතලයකින් කපනවා වගේ. ඒක තව තවත් උග්‍ර වෙලා අර ඇස් නිලංකාර කරවන ෆ්ලෑෂ් එළිය මට ශාරීරික කම්පනයක් ගේනවා”

ගිනස් ලෝක වාර්තාවක්!

මේ තොරතුරු තියෙන්නේ හැරී කුමාරයාගේ SPARE කියන අලුත්ම පොතේ. පොත නිකුත් වෙලා තාම මාස දෙකයි.

කැනඩාව, ඇමරිකාව, බ්‍රිතාන්‍යය කියන රටවල් තුනේම එකම දවසක ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි 10 වැනිදා මේ පොත මුලින්ම නිකුත් වුණු දවසේ ම පොත ගිනස් ලෝක වාර්තාවක් පිහිටෙවුවා. ඒකට හේතුව මානව ඉතිහාසයේ එකම දිනයක ඒ කියන්නේ පැය විසි හතරක් ඇතුළත වැඩිම පිටපත් ගණනාවක් අලෙවි වුණු පොත විදියට. පොඩි ගණනක් නෙමෙයි, පොත නිකුත් වෙලා පැය විසි හතරක් ඇතුළත පිටපත් දශ ලක්ෂ 1.43ක්. (පිටපත් ලක්ෂ 14ක්) අලෙවි වුණා. තවමත් සීස්‍රයෙන් අලෙවි වෙනවා. මේ දක්වා මේ වාර්තාව තිබුණේ 2020 දි නිකුත් වුණු හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ ජීවිත කතාව ලියැවුුුණු පොතට. ඒ වාර්තාව පිටපත් 887,000යි.

ළඟදී නිකුත් වෙන්නට නියමිත පොතකට කරුණු සොයන්නට බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ අපකීර්තිමත් ඉතිහාසය සොයා යන්නට සිදු වුණු අවස්ථාවේ හැරෙන්නට  බ්‍රිතාන්‍ය රජ පවුල ගැන කිසිම උනන්දුවක් කිසිමදාක මට තිබුණේ නැහැ. ඒත් ඇමරිකාවේ, කැනඩාවේ නිකුත් වෙන අලුත්ම පොත පත විශේෂයෙන්ම ප්‍රබන්ධ නොවන (non-fiction) පොත පත කියැවීමේ පිපාසයක් තියෙන හින්දා මේ පොත කියවන්නට අතට ගත්තත් මේ පොත දිගටම කියවන්න තරම් ආසාවක් ඇතිවේද කියලා කුකුසක් මුල ඉඳන්ම හිතේ තිබුණා. පොතත් තරමක් ලොකුයි. පොයින්ට් අටක් තරම් කුඩා අකුරින් පිටු 410 ක්.

ඒත් මේ පොත කොයි තරම් නම් හැගුම්බර ආත්මකථනයක් වුණා ද කියනවා නම් අවසානය දක්වාම පොත එක දිගටම කියවනවා හැරෙන්නට වෙනත් කිසිම විකල්පයක් මට තිබුණේ නැහැ. මේ පොත පුරාම මං දැක්කේ සාමාන්‍යත්වයේ අසාමාන්‍යත්වය… අසාමාන්‍යත්වයේ සාමාන්‍යත්වය… රාජකීයත්වයේ දුගී බව… දුගී බවේ රාජකීයත්වය.

අප්‍රිකානු බිහිරි දරුවන් සමග රංගනයක නිරත වෙන හැරී – GETTY IMAGES
එච්. අයි. වී. ආසාධිත පවුල්වල දරුවන් සමග හැරී – GETTY IMAGES

හලෝ..ඕ..ඕ

“මිනිස්සු හුඟාක් වෙලාවට හිතනවා ඇති මගේ කුමාර ජීවිතය මනමෝහනීය හින්දා මං මගේ තනිකඩ ජීවිතය උපරිමයෙන්ම විඳින්න ඇති කියලා. එත් බොහොමයක් හවස්වරුවල මට හිතිලා තියෙනවා අනේ මගේ ඇත්ත ජීවිතය ඒ අය දකිනවා නම් කියලා!

මගේ රෙදි ටික මගේ අතින්ම හෝදලා ඉවර කළාට පස්සේ මට තිබුණා කරන්න තව වැඩ… මගේ අතින්ම උයා පිහා ගන්න එක… මට ඕන කරන දේවල් ගන්න කඩේට යන එක. බංකිංහැම් මාලිගාව ළඟම තිබුණා සුපර් මාකට් එකක්. අඩුම තරමින් සතියකට වතාවක්වත් මං එතැනට යනවා.

ඔය හැම වතාවකම මං ගියේ ඇෆ්ගනිස්ථානයේ යුද පෙරමුණට යනවා වගේ බොහොම පරිස්සමින් සූදානම් වෙලා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මාධ්‍යවලින් බේරෙන්න ඕන නිසා මං ඒ ගමන ගියේ එකම වෙලාවට නෙමෙයි, අහම්බෙන් තෝරා ගත්ත එක එක වෙලාවල්වල. වෙස්වලාගෙන වගේ තමයි ගියේ. සමහර වෙලාවට ඔළුව පහළටම වැහෙන විදියේ බේස්බෝල් තොප්පියක් දාගෙන, එල්ලා වැටෙන කබායක් ඇඳන්.

මං කැමැතිම ජාතියේ යෝගට්, සැමන් මාළු ඩැහැ ගන්න ගමන් සුපර් මාකට්ටුවේ එක එක මං තීරු අස්සෙන් මං ඉගිලිලා යන්නේ හරියට බඹරෙක් වගේ. ඒ වගේම ග්‍රැනී ස්මිත් වර්ගයේ ඇපල්, කෙසෙල්… ඇයි බැදපු අල පෙති පැකට්ටුවකුත් වරදින්නේ නැහැ. සුපර් මාර්කට් එකේ හැම මං තීරුවක්ම සිතියමක් විදියට මගේ මතකයේ සටහන් වෙලා තියෙනවා.

ඔය ටික අරගෙන මං කැෂියර් කවුන්ටරයට දුවන්නේ එක පිම්මට.

ඔය වැඩ ටික කරගන්න යන කාලය විනාඩි දහයකට සීමා කරගන්න මට පුළුවන් වුණා. එක රාත්‍රියක ඔය විදියට මට හුරු පුරුදු මං තීරු ඔස්සේ මං සුපර් මාකට් එකේ එහාට මෙහාට දුව ගෙන යද්දී… ඒ හැම දෙයක්ම තිබුණු තැන් වලින් වෙනස් කරලා.

මං දුවගෙන ගියා කඩේ වැඩ කරන කෙනෙක් ගාවට. “මොකද වුණේ…?”

“ඒ කිව්වේ?”

“ඒවට මොනවද වුණේ?”

“මොනවට ද?”

“ඇයි මේ හැමදෙයක්ම තිබුණු තැන්වලින් වෙනස් කරලා…?”

“ඔය ඇත්තටම ද අහන්නේ?”

“ඔව්, ඇත්තටම තමයි”

“කඩේට එන අය තව වැඩි වෙලාවක් මෙතැන තියා ගන්න. එතකොට එයාලා තව වැඩිපුර දෙවල් ගන්නවානේ”

මං පුදුමයෙන් ගල් ගැහුණා. ඇත්තටම එයාලට එහෙම කරන්න පුළුවන් ද? නීතියක් නැද්ද?

බිරන්තට්ටු වෙලා හිටිය මං, මගේ ට්‍රොලියත් අරගෙන එහාට මෙහා දුව පැනගෙන මට ඕන කරන දේවල් හොයන්න පටන් ගත්තේ මගේ ඔරලෝසුවේ වෙලාව දිහා ඇහැ ගහ ගෙන ඉන්න ගමන්. ඊට පස්සේ මං ගියා කැෂියර් කූඩුව ගාවට. එතැන තමයි ලොකුම පුරස්නේ. එතැන නම් මට පුළුවන් කමක් නැහැ කඩිමුඩියේ පැනගෙන වැඩ ටික ඉවර කරගන්න, හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ කොයි තරම් පිරිසක් පෝලිමේ ඉන්නව ද කියන එක අනුවයි. කැෂියර් කූඩුව ළඟම තමයි බ්‍රිතාන්‍යයේ හැම ටැබ්ලොයිඩ් එකක්ම, සඟරාවක්ම විකුණනන්න දාලා තියෙන්නේ. එ්වායින් භාගයකට වඩා මුල් පිටු සැරසිලා තියෙන්නේ මගේ පවුලේ පිංතූර වලින්. එහෙම නැතිනම් මගේ අම්මගේ… නැතිනම් මගේ.

කැෂියර් ගාවට යන්න තමන්ගේ වාරය එනකම් එතැන ඉන්න මිනිස්සු ඔය ටැබ්ලොයිඩ්වල මං ගැන තියෙන දේවල් කියවන හැටි.. මං ගැන වාද විවාද කරන හැටි මං දැකලා තියෙන්නේ එක සැරයක් දෙකක් නෙමෙයි. 2015 දී මට නිතර නිතර ඇහිලා තියෙනවා මං කවදාවත්ම බඳින එකක් නැහැ කියලා එයාලා කතා වෙන හැටි…  මං සතුටින් ද නැද්ද ඉන්නේ කියලා කතා වෙන හැටි… මං සමලිංගිකයෙක් ද නැද්ද කියලා කතා වෙන හැටි. ඒ වෙලාවට එයාලගේ උරහිසට තට්ටුවක් දාලා මෙහෙම කියන්නම මට හිතෙනවා…. ‘හලෝ..ඕ..ඕ’

හැම අවුරුද්දකම තාත්තා මට දෙනවා දීමනාවක් ඇඳුම් ගන්න. ඒත් ඒ සල්ලි වියදම් කරන්න පුළුවන් කන්තෝරුවට යන්න පුළුවන් කාර්යාලයීය ඇඳුම්‍ ගන්නම විතරයි. ටයි කෝට්, උත්සවවලට අඳින ඇඳුම් වගේ දේවල්. එදිනෙදා මං අඳින ඇඳුම් ගන්න මං යන්නේ T. K. Maxx කියන මිල අඩු සාප්පුවට. අවුරුද්දකට සැරයක් තියෙන එයාලගෙ සේල් එකට යන්න තමයි මං වැඩියෙන්ම කැමැති. ඇද පළුඳු තියෙන හින්දා එහෙමත් නැතිනම් සෘතු අවසානයේ තොග අඩු කරගන්න ඕන හින්දා මිල අඩුවට දාන ‘බ්‍රෑන්ඩ් නේම්’ ඇඳුම් අඩුවට ගන්න ඒ සේල් එකෙන් පුළුවන්. සේල් එකේ මුල්ම දවසේ ගියොත් තමයි වැඩිම වාසිය.

මෙතැනදිත් මට තියෙනවා මගේම ක්‍රමයක්. මං සාප්පුවට යන්නේ ඒක වහන්න විනාඩි පහළොවක් තියෙද්දි. ඇදලා ගන්නවා ෂොපිං බකට් එකක්. ඉක්මනටම යනවා උඩම තට්ටුවට. එතැනින් පටන් අරන් රාක්කයෙන් රාක්කයට යනවා.

මට හිතට අල්ලන දෙයක් තිබුණොත් කන්නාඩියක් ඉස්සරහට ගිහින් මං ඒක තියලා බලනවා මගේ පපුවට හරි කකුල් දෙකට හරි. ඇඳුමෙ පාට හරි ස්ටයිල් එක ගැන හරි හොය හොයා යන්න මං වද වෙන්නේ නැහැ. ඇඳුම ඇඳලා බලන්න නම් කිසිම දවසක යන්නේ නැහැ. ඇඳුම හොඳයි කියලා හිතෙනවා නම්, සුවහපසු ගතියක් දැනෙනවා නම් මගේ බකට් එකට ඒක යනවා.

සාප්පුව වහන්න ළං වෙද්දී ලොකු බෑග් දෙකකට ඇඳුම් පුරවාගෙන මං එළියට එන්නෙ ලොකු ජයග්‍රහණයක් ලැබුවා වගේ. දැන් ඉතින් ආපහු ඉස්සරහ හය මාසයකටම ඇඳුම් ගැන නම් වද වෙන්න ඕන නැහැ.

ඩයනා කුමරිය – historicalphotos.com

ඇයි මේ පොතට SPARE කියලා නම තිබ්බෙ?

මේ පොතට අතට ගත්තම පොත කියවන්නත් කලින් මට ඇතිවුණු ප්‍රශ්නය තමයි ඇයි පොතට SPARE කියල නම දැම්මේ කියන එක. ඒත් පොතේ 15 වැනි පිටුව ළඟට එද්දිම ඒකට පිළිතුර ලැබුණා. ඔබ දන්නවානේ වාහනයක නම් SPARE WHEEL කියන්නේ අමතර රෝදයට. ඒ කියන්නේ ටයරයක පැච් එකක් ගිහින් හුළං බැස්සම තාවකාලිකව පාවිච්චි කරන අමතර රෝදයට. ඒ අමතර රෝදය පාවිච්චි කරන්නේ තාවකාලිකව විතරයි. මේ පොතටත් ඒ නම දාලා තියෙන්නේ ඒ අර්ථයෙන්ම තමයි.

චාල්ස් – ඩයනාගේ වැඩිමහල් පුතා විලියම් තමයි අනාගත බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමරු. හැරී කියන්නේ බාල පුතා. එතකොට හැරී කියන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලේ උරුමයට අතිරේකව ඉන්න තැනැත්තා. හැරී ඒක ලස්සනට කියනවා: ‘Willy was the Heir, whereas I was the Spare’.

හැරීගේ කෝණයෙන් කියන විදියට පුංචි කාලයේ ඉදන්ම එයාලගේ කාමරවල පවා ඒ වෙනස තිබුණා. දෙදෙනාට ලැබුණු සැලකිලිත් දෙවිදියක්. විලීට අවශ්‍ය විටෙක විලී වෙනුවෙන් වකුගඩුවක් වගේ අවයවයක් දන් දෙන්න, ලේ දන් දෙන්න, ඇට මිදුළු පරිත්‍යාග කරන්න… ඒ කියන්නේ බැකප් එකක් විදියට තමයි හැරී ඉන්නේ.

තමන්ට අවුරුදු විසි එකක් වෙද්දී මුල්ම සැරේට අහන්න ලැබුණු කතාවක් හැරී විස්තර කරනවා. හැරී ඉපදුණු ගමන්ම චාල්ස්, ඩයනාට කිව්වාලු “නියමයි… දැන් ඔයා මට උරුමකරුවෙකුයි, කැපකරුවෙකුයි දෙන්නෙක්ම දීලා තියෙනවා – දැන් ඉතින් මගේ වැඩ ටික අහවරයි” (Wonderful! Now you’re given me a Heir and a Spare – my work is done). එහෙම කියපු චාල්ස් කුමාරයා තමන්ගේ පෙම්වතිය බලන්න ගියා කියලා පොතේ තියෙනවා. මේක ඇත්තටම සිද්ධ වුණු දෙයක් ද විහිළුවක් ද කියලා හැරී දන්නේ නැහැ. ඒත් පොත කියවද්දී හිතෙනවා හැරීගේ මුළු ජීවිතයම Spare එකක් නේද කියලා. (Heir & Spare කියන වචන දෙකේ රිද්මයානුකූල බව රැකෙන සිංහල වචන දෙකක් හිතට නැගු‍ණේ නැති නිසයි, ‘උරුමකරු’ සහ ‘කැපකරු’ කියන වචන දෙක පාවිච්චි ක‍ළේ. ඒත් ඇත්තටම හැරීගේ පොත කියවද්දී වැටහෙන දෙයක් තමයි ඔහුගෙන් බ්‍රිතාන්‍ය රජ පවුල බලාපොරොත්තු වෙන්නේ කිසියම් ආකාරයක කැපකාර භූමිකාවක් කියන එක)

හැරී ඇෆ්ගන් යුද පෙරමුණේ – ඡායාරූපය Deane Smith

කවුද දන්නේ මම ඇත්තටම ඔයාගේ තාත්ත ද කියලා…?

“තාත්තා (මේ කියන්නේ වර්තමාන චාල්ස් රජු ගැන) මේ ළඟඳී ගියා තාත්තා ආධාර උපකාර කරන රෝහලකට. එතැන හිටිය රෝගීන් බෙහොම දෙනෙක් මුදු මොළොක් අය වුණත් ඒ අතරින් එක්කෙනෙක් එක සැරේම නැගී හිටියා. උස මහත නැති හාදයෙක්… එයා කිව්වා එයා තමයි වේල්ස් කුමාරයා (Prince of Wales) කියලා.

තාත්තා එයා ඉස්සරහට ගිහින් විහිළුවට වගේ ඇඟිල්ලකුත් උරුක් කරලා මෙහෙම තරවටුවක් කරලා තියෙනවා. “මේ බලන්න. ඔයා වේල්ස් කුමාරයා වෙන්න බැහැනේ! මමයි වේල්ස් කුමාරයා”

රෝගියාත් ආපිට ඇඟිල්ල උරුක් කරලා. “කොහෙත්ම වෙන්න බැහැ. මමයි වේල්ස් කුමාරයා”

තාත්තා ආසයි කතාන්දර කියන්න. මේ කතාව තාත්තගේ හිත් ගත්තම කතාවක්. ඒ හැම වෙලාවකම එයා මේ කතාව ඉවර කරන්නේ පොඩි පහේ දාර්ශනිකභාවයකුත් ඒකට එකතු කරලා. මේ මානසික රෝගියා, තාත්තා තරමින්ම අඩුවක් නැතිව තමන්ගේ අනන්‍යතාව ගැන ඒ තරම්ම තදින් විශ්වාසය තියාගෙන ඉන්නවා නම් ඇත්තටම එතැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. “කාටද කියන්න පුළුවන් අපි දෙන්නගෙන් ඇත්තටම පිස්සු කාටද කියලා? කවුද දන්නේ ඇත්තටම මං වේල්ස් කුමාරයා ද කියලා? කවුද දන්නේ මම ඇත්තටම ඔයාගේ තාත්ත ද කියලත්?”

තාත්තාට හිනාව නවත්තගන්න බැහැ…. හිනාවෙනවා… හිනාවෙනවා…. ඒත් මට මේක මේක කොහෙත්ම විහිළුවක් නෙමෙයි. මගේ ඇත්තම තාත්තා, අම්මාගේ පරණ පෙම්වතෙක් වෙච්ච මේජර් ජේම්ස් හේවිට් කියලා හැම තැනම යන කටකතාව හින්දයි ඒ. මේජර් හේවිට්ටත් තිබුණේ දිළිසෙන ඉඟුරු පාට කොණ්ඩයක් හින්දයි ඔය කතාව පැතිරු‍ණේ. මේ කටකතාවට අනෙක් හේතුව නම් තව කෙනෙකුට පීඩා කරන්නට තියෙන කෘෘර ආශාව. වේල්ස් කුමාරයාගේ බාලම පුතා වේල්ස් කුමාරයාගේ නෙමෙයි කියන කාරණාව ටැබ්ලොයිඩ් කියවන අය අමන්දානන්දයට පත් කරවන දෙයක්. මොකක් හරි හේතුවක් හින්දා මේ ‘සමච්චලය’ එයාලට කවදාවත්ම ඇති වෙන්නේ නැහැ. සමහරවිට තරුණ කුමාරයාගේ ජීවිතය හිනාවට කාරණාවක් කියලා හිතන එකෙන් එයාලාගේ හිත්වලට පොඩි ගැම්මක් දැනෙනවා ඇති.

මම ඉපදිලාත් සෑහෙන කාලයක් යනකම් මගේ අම්මට මේජර් හේවිට්ව හමුවුණේ නැති වුණත් මේ කතාව එහෙම නිකම්ම ඉවතට වීසි කරලා දාන්න තරම් හොඳ වැඩියි. මාධ්‍ය මේ කතාවට තව තවත් අලුත් දේවල් එකතු කළා,.. ආලවට්ටම් දැම්මා… ඒ විතරක් නෙමෙයි සමහර වාර්තාකරුවන්ට ඕන වුණා මගේ ඩීඑන්ඒ පරීක්ෂාවක් පවා කරවන්න.

මගේ අම්මාගේ මරණයෙන් පස්සේ, මේ අද වෙනකල්ම පත්තරයක හෝ වේවා, සඟරාවක හෝ වේවා මගේ ජීවිතය ගැන ලියැවෙන හැම කතාවකටම වගේ මේජර් හේවිට්වත් ගාවගන්නවාම තමයි. මේ කතාව තව තවත් බරපතළ කරන්න ඕන නිසා එයාලා කරපු විස්තරයක් තමයි තාත්තා මාත් එක්ක මුහුණට මුහුණ වාඩි වෙලා මගේ ඇත්තම තාත්තා මේජර් හේවිට් නෙමෙයි කියලා මට ඒත්තු ගැන්නුවාය කියන කාරණාව. කවදාවත්ම සිදු නොවුණු දේවල් ඔය විදියට හිතට කාවදින වෛවර්ණ කතා ගොතන්නේ. තාත්තාට මේජර් හේවිට් ගැන එහෙම සැකයක් තිබුණා නම් තාත්තා ඒක එයාගේ හිතේ විතරක්ම තියා ගනීවි.

මගේ මුළු ජීවිතයම මේ වගේ අයට විනෝදයක්… සෙල්ලමක්. මේ අයට මං මිනිස් ප්‍රාණයක් නෙමෙයි. මං කාටූන් චරිතයක්. අනෙක් අයගේ විනෝදයට නටවලා පෙන්නන්න පුළුවන් රූකඩයක්. අවුරුදු 14 ක කොළු ගැටයෙකු වෙලා හිටිය කාලයේ මට දුන්නු මේ වධ හිංසා ඒ වයසේ වෙනත් සාමාන්‍ය දරුවෙකුට සිද්ධ වුණානම්? මේ හැම දෙයක්ම සාධාරණීකරණය කෙරුණේ මං රජ පවුලක ඉපදුනු හින්දා. එයාලා හිතන විදියට රජ පුවලක ඉපදුනා කියන්නේ තව දුරටත් මනුෂ්‍ය ප්‍රාණියෙක් නෙමෙයි”. මේ කියන විදියේ කරුණු සනාථ කරන්න හැරී තමන් මුහුණ දුන්නු සිදුවීම් බොහොමයක් ගෙන හැර පානවා. රාජකීයෙකු වීම නිසාම ලෝකයේ වෙනත් කිසිම තැනක සාමාන්‍ය දරුවෙකුට මුහුණ දෙන්නට නොලැබෙන පීඩනයන්ටත් ඔහුට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. “පාසලේ මගේ ලකුණු හැම දෙයක්ම දෙනාටම දකින්න පුළුවන්. අධ්‍යාපන කටයුතු එක්ක මට තිබුණු හැල හැප්පීම් හැම දෙයක්ම මුළු පොදු රාජ්‍ය මණ්ඩලයම දන්නවා”.

මාධ්‍ය ගැන හැරී මෙහෙම කියනවා. “ලෝකය ගැන එයාලගේ දැක්ම හරිම සරලයි. ඔයා රාජකීය කෙනෙක්. මාලිගාවක ඉන්න හින්දා ඔයා ගෙවන්න ඕන වන්දිය තමයි මේ”.

රැජිනත් සිරකාරියෙක්!

ඔබ සමහර විට කියවලා ඇති House of Scorpions කියන විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධය. (මේ පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවාද කියලා මං දන්නේ නැහැ). හැරීගේ පොතේ පේළි අතරින් වරින් වර හවුස් ඔෆ් ස්කෝපියන්ස් පොතේ ඇතැම් අවස්ථාවන් මගේ මතකයට ආවේ නිරායාසයෙන්. හවුස් ඔෆ් ස්කෝපියන්ස් පොත මිනිස් ක්ලෝනයක් ගැන දිග හැරෙන අපූරු කතාවක්. ඒ රසවත් කතාවේ තේමාව තමයි  තමන්ගේ සැබෑ අනන්‍යතාව සොයා ගෙන යන්නට කරන වෑයමක් ගැන. Spare ඔස්සේ හැරීගේ උත්සාහයත් ඊට ආසන්නයි.

ඔය කිව්ව හවුස් ඔෆ් ස්කෝපියන්ස් පොත වගේම මේ පොත කියවද්දී තවත් ජනප්‍රිය බටහිර ගීතයකුත් නිතරම වගේ මගේ මතකයට ආවා. ඒ තමයි Lorde නමින් අතිශයින්ම ජනප්‍රිය වෙච්ච පොප් ගායිකාවගේ Royals. අතිශයින්ම ජනප්‍රිය මේ සිංදුවේ එක්තරා කොටසක මෙහෙම කියනවා.

And we’ll never be royals.

It don’t run in our blood,

That kind of luxe just ain’t for us.

We crave a different kind of buzz.

Let me be your ruler,

You can call me queen Bee

And baby I’ll rule, I’ll rule, I’ll rule, I’ll rule.

Let me live that fantasy.

මේ සිංදුවේ ඔය කොටස සරලම අදහසින් ගත්තම ඒකෙන් කියන්නේ රාජකීයත්වයට විතරක්ම උරුම වෙච්ච සුඛෝපභෝගී සමෘද්ධිමත් ජීවිත රටාව සාමාන්‍ය අපිට උරුම නැහැ… එහෙම හිතන එකත් තාවකාලික ෆැන්ටසියක් විතරක්ම කියන එක. ඒත් හැරීගේ පොත කියවද්දී හොදටම තේරුම් යන දෙයක් තමයි බ්‍රිතාන්‍ය රජ පවුල රාජකීය කිරුළේ සිරකරුවන් නේද කියන එක. ඔය කියන විදියේ ෆැන්ටසියක් එතැන නැහැ නේද කියන එක. රැජින පවා!

හැරී තමන්ගේ ආච්චි අම්මා ඒ කියන්නේ ළඟදී මිය ගිය එළසබෙත් රැජිනගේ නිදන කාමරයට ගිහින් තියෙන්නේ අවස්ථා දෙකකදී විතරයි. එක් අවස්ථාවක් තමන්ගේ විවාහයට ඔන්න මෙන්න තියෙද්දී මේගන් එක්ක… රැජින මේගන්ට දෙනවා තමන්ගේ ඇඳුම් කාමරයෙන් විවාහයට පළඳින්න හිස් පළඳනාවක්.  අනික් අවස්ථාව රැජිනගේ මරණය සිදු වූණු මොහොත.

සමහර ජීවිත කතා තියෙනවා අතිශය පෞද්ගලික කරුණු කාරණා නොසඟවා හෙළිදරවු කරන. කමාලදාස්ගේ My Story  කියවන්නට ලැබුණා නම් පෞද්ගලිකත්වය කොයි තරම් දුරට ඇය සමාජගත කරනවා ද කියන එක ඔබට මතක ඇති. කමලාදස් තරම් නොවුණත් හැරී තමන්ගේ ආත්ම ප්‍රකාශනයෙන් තමන්ගේ පෞද්ගලික කරුණු කාරණා වගේම මත් ද්‍රව්‍ය භාවිතය ගැනත් කරුණු හෙළිදරවු කරනවා. එ් වගේම දැනට බ්‍රිතාන්‍යයේ රජතුමා වෙච්ච චාල්ස් වගේම අනාගත ඔටුන්න හිමි විලියම්වත් බොහොම දුරකට නිරුවත් කරනවා. විලියම් තමන්ගේ නවාතැනටම ඇවිත් තමන්ට බිම වැටෙන්නට පහර දුන් හැටි ගැන කියනවා.

GHOST WRITER

මේ තරම් රසවත්ව තමන්ගේ ජීවිත කතාව ලියන්නට හැරීට පුළුවන් නම් ඔහු රාජකීයත්වය ඉක්මවා ගිය අති විශිෂ්ට ලේඛකයෙක්. එහෙම හැකියාවක් හැරීට තියෙනවා කියලා විශ්වාස කරන්න අමාරු වුණු නිසා මේ පොත ඇත්තටම ලිව්වේ කවුද කියන කාරණාව හොයන්න පෙළඹුණා. කතාව හැරීගේ වුණත්, මේ තරම් රසවත්ව, මේ තරම් අපූරු භාෂා හරඹයක් එක්ක පොත ලියලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් Ghost Writer කියලා හදුන්වන සැඟවුණු ලේඛකයෙක්. ඔහුත් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. සුප්‍රසිද්ධ ඇමරිකානු ලේඛකයෙක්. ඒ වගේම විශිෂ්ට මාධ්‍යවේදියෙක්. ඔහුගේ නම මෝරිංගර්. (J. R. Moehringer). වසරේ විශිෂ්ටතම නිර්මාණ ලේඛකයා විදියට 2000 වසරේ දී පුලිට්සර් සම්මානයෙනුත් ඔහු පිදුම් ලැබුවා. ගෝස්ට් රයිටර් කෙනෙක් විදියට මෝරිංගර් ලියපු මුල්ම පොතත් මේක නෙමෙයි.

J. R. Moehringer – ඡායාරූපය ට්විටර්

මේ පොතෙන් ඩොලර් මිලියනයක් මෝරිංගර්ට ලැබුණා. පොතේ අත්තිකාරම් මුදල විදියට හැරීට ලැබුණු ඩොලර් මිලියන විස්සෙන් වැඩිම කොටසක් වෙන් වුණේ හැරී විසින් පවත්වා ගෙන යනු ලබන සුභසාධක කටයුතු වෙනුවෙන්.

“එක සැරයක් මං ගියා නැගෙනහිර ලන්ඩනයේ රෝහලකට. මගේ අම්මා එක සැරයක් මේ රෝහලට ආපු ගමන හරිම ප්‍රසිද්ධයි. එච්.අයි.වී ආසාදිත රෝගියෙකුගේ අතක් අම්මා තමන්ගේ අත්ල මත තියාගත්ත හින්දා මුළු ලෝකයම ඒඩ්ස් රෝගීන් දිහා බලපු ආකල්පය වෙනස් කළා. එච්.අයි.වී කියන්නේ ලාදුරු නොවෙන බවත්, ඒක සාපයක් නොවන බවත් අම්මා ලෝකයටම පෙන්නලා දුන්නා. ආදරය, කරුණාව කියන්නේ අපි එකිනෙකා අතර හුවමාරු කරගන්න පුළුවන් අවම මනුෂ්‍යත්වය මිසක් අපි එකිනෙකා අතර හුවමාරු කෙරෙන තෑග්ගක් නෙමෙයි කියලා අම්මා මුළු ලෝකයටම මතක් කරලා දුන්නා.

අම්මා එදා කළ ඒ සුප්‍රසිද්ධ සංචාරය ඒ විදියට අම්මා ඒ රෝහලට ගිය සංචාරවලින් එකම එකක් විතරයි. කිසිම ප්‍රසිද්ධියක් නැතිව ඒ විදියට ඒ රෝහලට ගිහින් කිහිප දෙනෙක්ව සතුටු කරලා අම්මා ආපහු ගෙදර දුවගෙන එනවා. අම්මා එහෙම ඇවිත් හුරතල් කරපු උපතින්ම එච්.අයි.වී පොසිටිව් වෙච්ච කාන්තාවක් මට රෝහලේ දී හමුවුණා.

“මම එයාව බදා ගත්තා… ඔයාගෙ අම්මව”

මගේ මුහුණ රතුවෙලා ගියා. ඒ වගේම ඉරිසියාවක් දැනුනා.

“ඔයා… මගෙ අම්මව?”

“ඔව් මම බදාගත්තා… ආහ්… ඒක කොයි තරම් නම් සුන්දරයිද? එයා කොයි තරම් නම් ආදරයෙන් වැළඳ ගන්නවද?”

“ඔව් මට මතකයි”

ඒත් මට මතක නැහැ.

කොයි තරම් වෙහෙසිලා මං උත්සාහ කළත් මට එහෙම අවස්ථාවක් මතක් කරගන්නම බැහැ.”

එච්.අයි.වී. ආසාධිත පවුල්වල දරුවන් සමග ඩයනා කුමරිය – ඡායාරූපය http://www.oprahdaily.com

ඩයනා කුමරිය මිය යද්දී හැරී ළාබල වයසක හිටියත් ඒ වියොව තාමත් ඔහුගේ ජීවිතය තුළ හොල්මන් කරන බව කෘතිය පුරාම පේනවා. පැපරාසි ග්‍රහණයෙන් මිදෙන්නට ඩයනා කුමරිය රැගත් වාහනය එ් මාරාන්තික ගමන ගිය පැරිසියේ උමං මාර්ගයට අයියයි මල්ලියි දෙන්නම යනවා. ඒත් ඒ අවස්ථා දෙකක දී, දෙන්නාටම රහසින්. ඒ ගිහින් අම්මාගේ අවසන් ගමන ගිය වාහනයේ වේගයෙන්ම එයාලත් ඒ උමං මාර්ගයේ ගමන් කිරීම තරමක් අනුවේදනීය සිදුවීමක්.

මේ සටහන ලියැවුණේ හැරීවවත්, බ්‍රිතාන්‍ය රජ පවුලවත් උත්කර්ෂයට නංවන්න නෙමෙයි.

මේ සටහන ලියන්න මා වඩාත්ම පෙළඹ වූ කාරණාව මේ පොත හරහා දිවෙන ආත්ම ප්‍රකාශනයත්, ශිෂ්ට යැයි සම්මත ලෝකයක ජනමාධ්‍ය භූමිකාවේ ඇති ජඩකමත් ඒ හරහා මතුවෙන හින්දයි. ඩයනා කුමරිය වගේම තමන්ගේ මුළු මහත් ජීවිතයම බරපතළ අර්බුදයකට ලක් කරන්නට මුල් වුණු ප්‍රධානතම හේතූන් විදියට හැරී දකින්නේ මාධ්‍ය. දෙවැන්න රජ පවුලේ ක්‍රියාකාරකම්. මේ කතාව කියවා ගෙන යද්දී මේ තරම් දියුණු සහ ශිෂ්ට යැයි කියන ලෝකයේ මාධ්‍ය හැසිරීම කොයි තරම් නම් නීච ද කියන කාරණාව යළි යළිත් තහවුරු වෙනවා.

ඒත් හැරීගේ රාජකීයත්වයත්, ඒ රාජකීයත්වය නිසාම ඔහුට මුහුණ දෙන්නට සිදුවන සිදුවීම් ජාලාවත් එක්ක ලංකාවේ රාජකීයයන් නම් කිසිසේත්ම සමකරන්නට යන්නට එපා. ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන්, සුනාමි සහන මල්ලෙන්, මහජන මුදල් මංකොල්ලයෙන් රාජකීයත්වයට පත්වේචච හිඟන රාජකීය පුත්තුයි, හැරීලායි අතර කොයි තරම් නම් පරතරයක් තියෙනවා ද කියන එක පොත කියෙව්වොත් ඔබටම වැටහේවි. විනෝදයට රොකට් යවන්නට බංකිහැම් මාලිගයෙන් හැරීලාට මුදල් ප්‍රතිපාදන වෙන් වුණේ නැහැ. රජගෙදර පිළිකන්නේ ඉඳන් යුද්ධය කරලා නාවික හමුදාපති පවා සැලියුට් ගහපු පිං ලුතිනන්ලා වගේ නෙමෙයි, හැරී තමන්ගේ තරුණ ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් සජීවී යුද පිටියේ සැබෑ ලෙසින්ම යුද පෙරමුණේ හිටිය හමුදා නිලධාරියෙක්. අනෙක් දරුවන් වගේම නේවාසික පාසලක ඉගෙනුම ලබපු හැරී තමන්ගේ අධ්‍යාපනික ජීවිතයේ අරගල හැම දෙයක්ම මේ පොතෙන් හෙළිදරවු කරනවා. තමන්ගේ ආච්චි අම්මා පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව වගේම මහා බ්‍රිතාන්‍යයේ මහ රැජින වුණත් නීති විද්‍යාලයේ වැඩිම ලකුණු ගත්ත හොර පෙරකදෝරුවෙක් වෙන්න හැරීලා හීනෙකින්වත් හිතුවේ නැහැ. ඒ වගේම රජ කුමරෙකු වීම හින්දාම හැරී මුහුණ දුන්නු තාඩන පීඩන එක්ක තාජුඩීන්ලා ගැන කතා කරන්නට ඉඩක් ඉතිරි කළෙත් නැහැ. ඩයනා කුමරිය කොයි තරම් මාධ්‍යයෙන් පීඩා වින්දත් පුතාණෝගේ අම්මාගේ දෙපා ඡායාරූපයට නැගුණු මාධ්‍යවේදියාට වගේ ජීවිතයෙන් සමුගන්න ඒ පැපරාසින්ට සිදු වුණේත් නැහැ. පුතාණෝගේ පියාණන් කවියෙක්, ගීත රචකයෙක්, නවකතාකරුවෙක් කරපු ගෝස්ට් රයිටර්ස්ලා මරණීය තර්ජනයෙන් නිහඩ කෙරුණත්, හැරීගේ ගෝස්ට් රයිටර් ලෝකයෙන් සඟවලා නැහැ. එල්ලා වැටෙන කලිසම උස්සන තරමට ඒකාධිතිත්වයට රට උස්සා දමන රාජකීයන් මෙන් පෞද්ගලික වධකාගාර ගොඩ නැගුනේත් නැහැ

කොහොම වුණත් මෑත කාලයේ කියවපු ආත්ම ප්‍රකාශනයන් (Biography) අතරින් ඉතා කැමැත්තෙන් කියවපු පොතක් තමයි SPARE කියන්නේ. මේ සටහන ලියැවුණේත් ඒ ලැබුණු උත්තේජනය නිසාමයි. ඉහතින් පළ කළ පොතේ ඇතැම් කොටස්වල පරිවර්තනයත්, පොතේ වචනයෙන් වචනයට කළ පරිවර්තනයක් නොවන බවත්, කථන ශෛලියෙන් කළ සංක්ෂිප්ත අනුවර්තනයක් බවත් අවසාන වශයෙන් සදහන් කරන්නට ඕනේ.

පසුව ලියමි:

බිත්තර පහක් හයක්!

———————–

හැරීගේ SPARE පොත සම්බන්ධයෙන් කළ මේ සටහනින් පස්සේ මුහුණු පොතේ ඉන්බොක්ස් පණිවිඩ වගේම සිලිලාර බ්ලොග් අඩවිය හරහා පැමිණි පෞද්ගලික විමසීම් රැසකින්ම ඇසූ කරුණු ගණනාවක පොදු සාරාංශය වුණේ බ්‍රිතාන්‍ය රජ පවුල නඩත්තු කරන්නට යන වියදම ගැන කිසිවක් හැරී තමන්ගේ පොතෙන් කියා නැති ද යන්නයි. මේ විමසීම් අතරින් එකම එකක් හැරෙන්නට (ඔහු විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙක්) අන් සියල්ලම වගේ පැමිණ තිබුණේ ලාංකීය පාඨකයන්ගෙන්. ඒකට හේතුව ලාංකීය රජ පවුල්, බේබිලා, බේබිලාගේ බේබි හාමිනේලා පමණක් නෙමෙයි එයාලගේ නැන්දම්මලා, මාමණ්ඩිලා, විශ්‍රාම ගිය ආර්යාවන් වගේ නෑදෑ සනුහරයක බර දරාගෙන ඉන්නට ලාංකීය පුරවැසියන් ගෙවන අති විශාල බදු කන්දරාව නිසා ලෝක පරිමාණයෙනුත් ඒ තත්ත්වය ඒ විදියටම ද කියලා ඇති වූ කුතුහලය නිසා බව පැහැදිලියි. ඒ නිසාම මේ කරුණ ගැන කිසියම් පැහැදිලි කිරීමක් කිරීම සුදුසුයි කියා හිතුණා.

මේ කෙටි ලිපියට පදනම් වුණේ පොයින්ට් අටක කුඩා ප්‍රමාණයෙන් පිටු 410 ක් පුරා විහිදී ගිය විශාල පොතක තෝරා ගත් කොටස් කිහිපයක් පමණක් බව ලිපියේ මුලදීම සටහන් කළානේ. ලෝකයේ කිසිම දියුණු රටක් එහෙමත් නැතිනම් ශිෂ්ට ජන සමාජයක් අපි තරම්ම වහල් භාවයෙන් රජ පවුල් නඩත්තු නොකරන බව ලංකාවෙන් පිටතට පැමිණ ජීවත් වෙන ඕනෑම කෙනෙකු දන්න කාරණාවක්. ඒක රාජකීයයන්ට විතරක් නෙමෙයි, අගමැති, ජනාධිපතිවරුන් හැම දෙනාටම පොදුයි. මේ නිසා එයාලා වෙනුවෙන් වැය වන මුදල් පොදු මහජනතාවට කිසිම රහසක් නෙමෙයි. මේ නිසා ලංකාවේ වගේ කළු සල්ලි ගනුදෙනු කරන්න තියෙන ඉඩකඩ හරිම අවමයි. එහෙම ගනුදෙනු සිදුවුණොත් ඒවා වැඩිකල් රහස් විදියට තියෙන්නෙත් නැහැ. ඒ නිසා ඒවා පොතකින් කතා කරන්නට තරම් මාතෘකාවක් නෙමෙයි.

කොහොම වුණත් හැරී තමන්ගේ පොතේ අවසාන පරිච්ඡේදයේ දී මේ ගැන කෙටි සටහනක් කරනවා. ඒ වෙනත් කාරණාවක් විස්තර කරන්නට යාමේදී. ඒ මෙන්න මේ විදියට:

“සමහර විට බ්‍රිතාන්‍ය රජ පවුල ගැන තියෙන කසුකුසුවල ප්‍රධානතම කාරණාව මුදල් වෙන්නත් පුළුවන්. බ්‍රිතාන්‍ය රජ කිරුළ මේ විදියටම පවත්වාගෙන යන්න ඕන කියන අය ගොඩක් ඉන්නවා. ඒ වගේම තවත් විශාල පිරිසක් ඉන්නවා රජ කිරුළ නඩත්තු කරනවාට විරුද්ධව. මේ ගැන තියෙන ප්‍රධානතම කුකුස තමයි රාජකීය කිරුළ පවත්වාගෙන යන්න වැය කරන මුදල කවුරුවත් හරියට දන්නේ නැහැ කියන කාරණාව. ඒක තීරණය වෙන්නේ මේ සංඛ්‍යාලේඛන එක්ක සෙල්ලම් දාන්නේ කවුද කියන කරුණ මතයි.

බ්‍රිතාන්‍ය රජ කිරුළ පවත්වා ගෙන යන්න බ්‍රිතාන්‍යයේ බදු ගෙවන පුරවැසියන්ට මුදලක් වැය වෙනවාද?  ඔව්.  

ඒ වගේම බ්‍රිතාන්‍ය රජ පවුල නිසාම රජයට අති විශාල ආදායමක්  හිමි වෙනවාද ? ඒකට පිළිතුරත් ඔව්.

මුළු රටේම පුරවැසියන්ට ප්‍රතිලාභ හිමිවෙන විදියේ සංචාරක කර්මාන්තයෙන් ආදායමක් බ්‍රිතාන්‍ය රජ පවුල නිසා බ්‍රිතාන්‍යයට හිමිවෙනවාද? අනිවාර්යයෙන්ම ඔව්.  

මං අන්තිම වතාවට දැක්ක සමීක්ෂණයට අනුව බ්‍රිතාන්‍ය රජ පවුල නිසා සාමාන්‍ය පුරවැසියෙකුට මුළු අවුරුද්දකටම වැය වන මුදල (බීර) පයින්ට් එකකට වැය වන තරම් මුදලක්. (පයින්ට් එකක් කියන්නේ අවුන්ස 16ක්). ඒත් මිනිස්සු වැඩියෙන්ම කැමැති රජ කිරුළට විරුද්ධව රජ කුමාරයෙකු පෙනී ඉන්නවා දකින්න මිසක් රජ කිරුළ වෙනුවෙන් රජ කුමාරයෙකු පෙනී ඉන්නවා දකින්න නෙමෙයිනේ. ඒ හින්දා ඔය ආදායම් වියදම් විශ්ලේෂණය කරගන්නට මං අනිත් අයට ඉඩ දෙනවා”

හැරී කියන මේ කාරණය ඇත්ත ද කියලා බලන්න මං අන්තර්ජාලය හරහා තරමක විමසීමක් කළා. රාජ්‍ය අංශයේ සංඛ්‍යාලේඛන වගේම පෞද්ගලික අංශයේ සමීක්ෂණ වාර්තාත් සොයා බැලුවා. හැරී කියන්නේ ඇත්ත! බ්‍රිතාන්‍ය රජ පවුල පවත්වා ගෙන යන්න බ්‍රිතාන්‍ය රජය මුදල් වැය කරන බව ඇත්ත. ඒ වගේම රජයේ මුදල් කියන්නේ මහජනතාවගේ බදු මුදල් කියන කාරණාවත් ඇත්ත. ඒත් බකිංහැම් මාලිගය සහ බ්‍රිතාන්‍ය රාජකීය දේපළ පොදු මහජනතාවට සහ සංචාරකයන්ට විවෘත වන නිසා සංචාරක කාර්මාන්තයෙන් වාර්ෂිකව බ්‍රිතාන්‍යයට හිමිවෙන ආදායම අති විශාලයි. මේ ආදායම පොදු මහජනතාවට හිමි වන ආදායමක්. මේ නිසා ඇත්ත වශයෙන්ම බ්‍රිතාන්‍ය පුරවැසියෙක් රාජකීය කිරුළ එහෙමත් නැතිනම් රජ පවුල පවත්වා ගෙන යාම වෙනුවෙන් මුළු අවුරුද්දටම ගෙවන්නේ ඩොලර් දෙකක් වගේ මුදලක්. ලංකාවේ මට්ටමෙන් කිව්වොත් මුළු අවුරුද්දටම වැය වෙන්නේ බිත්තර පහක් හයක් ගන්න යන මුදලක්.

මේ නිසා බකිංහැම් මාලිගය නිසා හරි ඒ මාලිගාවේ ඉන්න රාජකීයයන්ගේ පැවැත්ම වෙනුවෙන්වත් හරි හිතුමතයට ලයිට් බිල් වතුර බිල් වැඩි කරන්න, බඩු මිල අහස උසට නග්ගන්න, දූ දරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදු කරන්න,  කොටින්ම කිව්වොත් ඡන්දය කල්දාන්න බ්‍රිතාන්‍ය රජයට කටයුතු කරන්නේ නැහැ.

දැන් ඉතින් තේරෙනවානේ දියුණු වන ලෝකයේ අපි ඉන්නේ කොතැනද කියලා.

එහෙම බැලුවාම ලංකාවේ ඡන්ද දායකයන් කියවන්නම ඕන පොතක් තමයි, SPARE.

1 thoughts on “ක්ලික්… ක්ලික්… ක්ලික්…!

Add yours

  1. මෙහේ නම් සාමාන්‍ය පුරවැසියාටත් ඔහේ රාජකීය පවුලට ලැබෙන සැලකිල්ලම ලැබෙනවා. හොඳම උදාහරණය තමයි දුම්රිය වැසිකිලියක දරුවා දමා ගිය යුවලට ලැබුණ පැපරාසි සැලකිල්ල.

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑