මොකටද කිරි – කන්න කැකිරි

“කොළඹට කිරි – අපිට කැකිරි” කියන සටන් පාඨය ලංකාවේ අපිට කාලාන්තරයක් පුරා බොහොම හුරු පුරුදු සටන් පාඨයක්. මේ සටන් පාඨයට පදනම් වෙලා තියෙන්නේ සමාජ විෂමතාව. ඒ කියන්නේ තෝරා ගත්ත එක්තරා කණ්ඩායමකට ඉහළින්ම සැළකීමත්, අනෙක් කොටස නොසලකා හැරීමත් කියන කාරණාව. මෙතැනදී කිරි ලැබෙන පිරිස තමයි ඉහළ සැළකුම් ලබන පිරිස. ඒකට හේතුව කිරි ලැබෙන්නේ කෙනෙකුට ඉහළින්ම සළකන්න ඕන වුණාම හින්දා. මේ කියන අදහස ලෝකයේ වෙනත් ඕනෑම රටකට කොයි තරම් අදාළ වුණත්, මින් ඉදිරියට කැනඩාවට නම් වලංගු නැහැ. ඒකට හේතුව කිරි වලට වඩා කැකිරි ගුණයි කියන කාරණාව කැනේඩියානු රජය නිල වශයෙන්ම පිළි අරගෙන තියෙන හින්දා.

කිරි කියන්නේ අනාදිමත් කාලයක ඉදන් හෝමෝ සේපියන්ස් කියන මේ මානව වර්ගයාගේ ආහාර වේලට අනිවාර්යයෙන්ම එකතු වෙච්ච “වැදගත්ම” පෝෂණ පදාර්ථයක්. මවුකිරි වලින් බැහැර වුණාට පස්සේ අතදරුවාගේ ඉදන් මහල්ලා දක්වා හැම දෙනාගේම ආහාර වේලට නැතිවම බැරි පෝෂණ සංඝටකයක් විදියට තමයි කිරි මේ වෙනකල්ම සැලකුවේ. කිරි වල පෝෂණ ගුණය ගැන මෑත කාලයේ දී වෛද්‍යවරුන් අතර විවිධාකාර වාද විවාද ඇති වුණත්, ලෝකයේ හැම රටකම වගේ සමබර/සමබල ආහාර වේලේ නැතිවම බැරි පෝෂණ පදාර්ථයක් විදියටයි කිරි සැලකුවේ.

සියවස් ගණනාවක් පුරාම ලෝකයේ විවිධාකාර ජාතීන අතර අඛණ්ඩව පැවතගෙන ආපු මේ තත්ත්වය මුලුමනින්ම උඩු යටිකුරු කරමින් කැනේඩියානු රජය එක රැයෙන්ම ඉතාම රැඩිකල් තීරණයක් ඊයේ පෙරේදා ප්‍රකාශයට පත් කළා. එක රැයෙන් මේ තීරණය ප්‍රකාශයට පත් කළත් මේ රැඩිකල් තීරණය පිටිපස්සේ තියෙන්නේ අවුරුදු ගණනාවක පර්යේෂණ දාමයක ප්‍රතිඵලයක්. ඒ වගේම අවුරුදු ගණනාවක් පුරා ක්ෂේත්‍ර ගණනාවක මිනිසුන් සමග සිදු කළ සංවාදවල ප්‍රතිඵලයක්. ඒ තමයි කැනේඩියානු රජයේ නිල රාජ්‍ය ආයතනය වන හේල්ත් කැනඩා (Health Canada) නිල වශයෙන් නිකුත් කළ සමබර ආහාර වේලෙන් කිරි මුලුමනින්ම අයින් කරලා ඒ වෙනුවට වතුර ආදේශ කිරීම. අඩුම තරමින් පළතුරු යුෂ පවා (fruit juice) මේ ආහාර වේලෙන් ඉවත් කර තියෙනවා. පොදුවේ ගත්තම සීනි එකතු වෙන සියලුම වර්ගයේ බීම හෝ පානයන් වෙනුවට වතුර පමණක්ම භාවිතයට ගන්න කියන එකයි රජය ඉල්ලා හිටින්නේ.

canada-new-food-guide

ලෝකයේ ඉතාම පිරිසිදු දියර කිරි නිෂ්පාදනය කරන රටක් වගේම, කිරි නිෂ්පාදනය ආර්ථිකයේ බොහොම ස්ථිරසාර කර්මාන්තයක් වෙච්ච කැනඩාව කිරි වෙනුවට හැකි තරම් වතුර බොන්නට පුරුදු වෙන්න කියලා තමන්ගේ ජනතාවගෙන් ඉල්ලා සිටීම අතිශයින්ම රැඩිකල් තීරණයක් වගේම සම්ප්‍රදායික සිතිවිලි රටාව මුලුමනින්ම උඩු යටිකුරු කර දැමීමක්. රටක පුරවැසියන්ගේ දෛනික ආහාර රටාව මේ විදියට උඩු යටිකුරු කරපු කිසිම අවස්ථාවක් මෑත කාලයේ ලෝකයේ අහන්නට ලැබුණේ නැහැ. රටක් – ජාතියක් විදියට කිරි වෙනුවට වතුර බොන්න පුරුදු වෙන්නට කියලා නිල වශයෙන්ම තමන්ගේ පුරවැසියන්ගෙන් ඉල්ලා හිටපු වෙනත් රටක් තියෙනවා ද කියන කාරණාව අන්තර්ජාලයේ සෙව්වත් එහෙම වෙනත් රටක් හොයා ගන්න ලැබුණේ නැහැ.

china

සම්ප්‍රදායික ආහාර රටාව අනුව මට්ටම් පහකට සකස් කළ චීන‍‌යේ නිල ආහාර වගුව

56f08dc3150000ad000b2bea (1)

ජපානයේ සම්ප්‍රදායික ක්‍රීඩා භාණ්ඩයක් වන බඹරයක් සේ සකස් කළ එරට නිල අහාර වට්ටෝරුව. මෙම බඹරයේ ඉහළින්ම වතුර වීදුරුවක් හෝ කිරි වීදුරුවක් වටා දුවන මිනිසෙකු මගින් ශාරීරික අභ්‍යාසවල අවශ්‍යතාව අවධාරණ්‍ය කරයි.

 

antigua-and-barbuda_s-food-guide-a-pineapple

අන්නාසි ගෙඩියක හැඩයට සකස් කළ ඇන්ටිගුවා හා බාබුඩා හි ආහාර වගුව

qatar food guide

බෙල්ලෙකුගේ කටුවක් තුළ කැටි කළ කටාර් රාජ්‍යයයේ ආහාර වගුව

heres-what-food-guides-look-like-around-the-world-6

ශාරීරික ව්‍යායාම වඩාත් කැපී පෙනෙන සේ ඉස්මතු කළ කොරියාවේ නිල ආහාර වට්ටෝරුව

 

heres-what-food-guides-look-like-around-the-world-10

නිල වශයෙන් ආහාර වට්ටෝරු දෙකක් ප්‍රකාශයට පත් කළ රාජ්‍යයකට උදාහරණයක් ලෙස වෙනිසියුලාව පෙන්වා දිය හැකිය. මෙහි සදහන් වන වෙනිසියුලාවේ නිල ආහාර වගුවෙහි එක් රූප සටහනක් එරට සාමාන්‍ය ජනතාව වෙනුවෙනි. අනෙක් රූප සටහන එරට වෙසෙන ආදි වාසීන් වෙනුවෙනි. මෙම රූප සටහන් දෙකෙහි මූලික වෙනස ඇත්තේ ප්‍රෝටීන් ආහාර කොටසෙහිය. ප්‍රෝටීන් ප්‍රභවයන් ලෙස විවිධාකාර සත්වයන්  ආදි වාසීන්ගේ රූප සටහනට ඇතුළත් කර ඇති අතර සාමාන්‍ය ජනතාවගේ ප්‍රධාන ප්‍රෝටීන් අවශ්‍යතා වෙනුවෙන් වෙළෙද පොලේ ඇති මස් වර්ග පෙන්වා දී ඇත.

කැනේඩියානු රජය නිකුත් කළ අලුත්ම සමබර ආහාර වේලට අයිති ලැයිස්තුව අනුව මේ විදියේ බරපතල වෙනස්කමක් සිද්ධ වුණේ “කිරි වෙනුවට වතුර”  (beverage of choice) කියන සංකල්පය විතරක්ම නෙමෙයි. අපේ කෑම පිඟානෙන් භාගකම තියෙන්නට ඕනේ එළවළු සහ පළතුරු පමණයි කියන කාරණාව මේ අලුත්ම නිර්දේශයෙන් අවධාරණය කරනවා. පිඟානේ ඉතිරි භාගයෙන් අඩක් ඒ කියන්නේ පිඟානෙන් හතරෙන් පංගුවක් පිෂ්ඨය තියෙන කෑමත් ඉතිරි හතරෙන් පංගුව ප්‍රෝටීන් අඩංගු ආහාරත් අන්තර්ගත වෙන්නට ඕනේ කියලයි රජය නිර්දේශ කරන්නේ. ප්‍රෝටීන් අඩංගු ආහාර අතරිනුත් මස් මාලු පුලුවන් තරම් අඩු කරන්නට කියලයි ඔවුන් නිර්දේශ කරන්නේ. මස් මාලු වෙනුවට ප්‍රෝටීන් සපිරි සෝයා වගේ ශාකමය ආහාර යොදා ගන්නට කියන එක බොහොම තදින් අවධාරණය කරනවා. කෙටියෙන්ම කියනවා නම් තමන්ගේ ආහාර වේලෙන් සත්ව ආහාර අයින් කරලා තමන්ගේ කෑම පිගාන ශාකමය ආහාර වලටම සීමා කරගන්න උත්සාහ ගන්න කියන එකයි මේ අලුත්ම අහාර නිර්දේශයෙන් අවධාරණය කරන්නේ. ලෝකයේ සෑම රටකම තියෙන නිල සමබර ආහාර වගු හැම දෙයටම වඩා අතිශයින්ම විප්ලවකාරී, ඒ වගේම ඒ සියලු රටවල ආහාර වගු වලින් පැහැදිලිවම වෙනස්ව ගිය සැලැස්මක් තමයි කැනේඩියානු රජය මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. කැනේඩියානු රජයේ නව ආහාර නිර්දේශය සමස්තයක් විදියට ගත්තම ඒකෙන් අවධාරණය කරන කරුණු තුනක් තියෙනවා. ශාක ආහාර අනුභව කිරීම, වතුර පානයට පෙළඹීම සහ නිවසේ පිළියෙල කරගත් ආහාර කෑමට ගැනීම (eating plants, drinking water and cooking at home) කියන කාරණා තුන. වෝටර්ලූ සරසවියේ සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ඩේවිඩ් හැමන්ඩ් පෙන්වා දෙන විදියට මේ ආහාර නිර්දේශය මග පෙන්වන්නේ ජාතියක් විදියට කැනේඩියානුවන් මසින් මාලුවෙන් තොර ශාක භක්ෂක ආහාර වේලකට (vegetarian or vegan) යොමු කිරීමයි.

gettyimages-912915790

කැනේඩියානු රජය නිර්දේශ කරපු මේ ආහාර වේල ගැන මේ වෙන කොට ලෝකය පුරාම විසිරිලා පැතිරිලා ඉන්න, ආහාර විශේෂඥයන්, ජීව විද්‍යාඥයන්, පරිසර විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් වගේ විවිධාකාර අංශවල විද්වතුන්ගේ විශේෂ අවධානයකට යොමු වෙලා තියෙනවා. ඒ හැම අංශයකින්ම වගේ මේ ආහාර වට්ටෝරුව සම්බන්ධයෙන් මතුවෙලා තියෙන්නේ ප්‍රසාදයක් මිසක් විරෝධාකල්පයක් නෙමෙයි. මේ ආහාර සැලැස්ම බොහොම එඩිතර පියවරක් විදියටයි ඔවුන් සළක්නේ. වියදම අතින් ගත්තත් මස්, මාළු, කිරි වලට වැයවෙන අධික මුදල වෙනුවට තමන්ට දරන්නට පුලුවන් විදියට එළවලු, පළතුරු ආහාරයට ගන්න කෙනෙකුට අමාරුවක් නැහැ. අනෙක් අතට ජීව විද්‍යාඥයන් පෙන්වා දෙන විදියට මේ ආහාර වට්ටෝරුව භාවිතයට ගන්න පෙළඹෙනවා නම් බිලියන ගණනක සත්ව ජීවිතවල පණ රැකෙනවා. ඒකට හේතුව අද වෙනකොට ලෝකය පුරාම කුකුළන්, ගවයන්, ඌරන්, බැටළුවන් වගේ සතුන් බෝ කරන “ගොවිපළ ” (Farms) ඒ කාර්යයේ නිරත වෙන්නේ මස් පිණිසම නිසයි. මේ නිසා මේවා සැබෑ වශයෙන්ම හිට්ලර්ගේ අවුට්ස්විට්ස් කඳවුර (Auschwitz)වගේ මරණයට පෙර සත්ව ජීවිත ගබඩා කර තබන සත්ව වධකාගාර මිසක් කෘෂිකාර්මික යුගයේ දකින්නට ලැබුණු ආකාරයේ සැබෑ සත්ව ගොවිපළවල් නෙමෙයි.

මේ කාර්යයටම සෘජුවම අදාළ නොවුණත් මේ සටහන ලියැවෙද්දී මෑතකදී  Yuval Noah Harariගේ  Homo Deus කියන පොතෙන් මතු කරන අදහසක් මතකයට නැගෙනවා. යුවාල් පෙන්වා දෙන විදියට අද අප මේ ජීවත් වෙන සමස්ත පෘථිවියේ විශාල සතුන්ගේ සත්ව ගහණයේ බර (Global Biomass of Large Animals) දිහා සංඛ්‍යාත්මකව බැලුවොත් මේ මුලු මිහිතලයේම මානව සංහතියේ ඒ කියන්නේ මිනිස් වර්ගයාගේ බර ටොන් දශ ලක්ෂ තුන්සියයයි. කැලෑවල වාසය කරන විශාල සත්තුන්ගේ බර ටොන් දශ ලක්ෂ සියයයි. ඒත් ගෙවල්වල සුරතලයට ඇති කරන සත්තුන්ගේ සමස්ත ජීව බර මේ මිහිතලයේ ඉන්න මිනිස්සුන්ගෙයි, වන සතුන්ගේ බරට වඩා බොහොම වැඩියි. ඒ කියන්නේ ටොන් දශ ලක්ෂ හත් සියයයි. ඒකට හේතුව ඔබේ නිවසේ හුරතලයට ඇති කරන බලු පැටියා හෝ පූස් පැටියා නිර්මාණය කෙරෙන්නේ ස්වාභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියේ ප්‍රතිඵලයකට වඩා හෝමෝ සේපියන්ස්ගේ හුදු විනෝදය පිණිසම සත්ව අභිජනන මධ්‍යස්ථාන (breeding centers) වලින් බිහිකරන තවත් එක් නිෂ්පාදන භාණ්ඩයක් විදියට වීම නිසයි. මානව දයාව, සත්ව අවිහිංසාව කියන සංකල්ප මේ කාර්යයට අදාළම නැහැ. ඉල්ලුම වැඩිවන තරමටම මේ අභිජනන මධ්‍යස්ථාන වලින් බිහිකරන බලු පැටවුන්ගේ ප්‍රමාණයත් වැඩියි. ඉල්ලුමට සැපයුම… මැක්ඩොනල්ඩ්ස් අවන්හලින් චිකන් බර්ගර් නිපදවෙනවා හා සමානයි. (කෙනෙකුට හිතෙන්නට පුලුවන් එහෙනම් සුරතල් සතෙකු ඇති ඇති කිරීම වරදක්ද කියලා… නැහැ, ඔබට සුරතල් සතෙකු උවමනා නම් අභිජනන මධ්‍යස්ථාන වලට ඒ කියන්නේ Breeding Centers වලට නොයා රැකවරණය ඇවැසි වූ සතුන් සැබෑ ලෙසින්ම සුරැකීමේ අරමුණින් පිහිටුවා තිබෙන මධ්‍යස්ථාන එහෙමත් නැතිනම් Adoption Centers වලින් ඒ අවශ්‍යතාව ඉටුකරගන්නට කියලයි මේ අංශය වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන පෙන්වා දෙන්නේ).

image012

යුවාල් පෙන්වා දෙන විදියට අද වෙනකොට ජර්මනියේ විතරක් ගෙවල්වල සුරතලයට ඇති කරන බලු පැටවුන්ගේ සංඛ්‍යාව දශ ලක්ෂ පහයි. මුලු ලෝකයේ සියලුම වනාන්නරවල ඉන්න නරියන් හෝ වෘකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙකයි. ඒත් මේ මිහිතලය පුරා ගෙවල්වල සුරතලයට ඇති කරන බල්ලන්ගේ සංඛ්‍යාව දශ ලක්ෂ හාර සියයකට වැඩියි. මේ මුලු මිහිතලයේම විහිදිලා විසිරිලා ඉන්න සිංහයන්ගේ සංඛ්‍යාව හතළිස් දහසයි. ඒත් ගෙවල්වල සුරතලයට ඇති කරන පූසන්ගේ සංඛ්‍යාව දශ ලක්ෂ හය සියයකට වැඩියි. ඒ වගේම ගොවිපළවල්වල හැදෙන හරකුන්ගේ සංඛ්‍යාව බිලියන 1.5යි. මුලු ලෝකයේම ඉන්න පෙන්ගුවින්ලාගේ සංඛ්‍යාව දශ ලක්ෂ පනහක් වෙද්දී, කුකුළන්ගේ සංඛ්‍යාව බිලියන දෙකකට ආසන්නයි. ඔහු තමන්ගේ පොතින් පෙන්වා දෙන ආකාරයට 2009 වසරේ දී මස් හා බිත්තර පිණිස විතරක් යුරෝපයේ පමණක්ම අලුතින් බිහිකරපු කුකුළන්ගේ සංඛ්‍යාව බිලියන දෙකකට ආසන්නයි.

5a1c92d7140000460050f76b

ඉතින් මේ විදියට ලෝකයේ ජෛව විවිධත්ව අතිශයින්ම වේගයෙන් වෙනස් වෙලා යන මොහොතක ලෝකයේ දෙවැනි විශාලතම රාජ්‍ය්‍ය වන කැනඩාව මේ විදියේ ආහාර වට්ටෝරුවක් තමන්ගේ පුරවැසියන්ට නිර්දේශ කිරීම ජෛව විද්‍යාත්මකව වගේම ලෝකයේ මේ වනවිට බරපතලම ගැටලුවක් බවට පත්වෙලා තියෙන ගෝලීය උණුසුම සැලකිය යුතු විදියට පාලනය කිරීමට දැවැන්ත රුකුලක් බවයි ජීව විද්‍යාඥයන්ගේ වගේම පරිසර විද්‍යාඥයන්ගේත් මතය.

කැනේඩියානු රජය නිල වශයෙන් නිකුත් කළ කැනේඩියානුවන්ගේ නිල ආහාර වට්ටෝරුව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම දැනටමත් සිද්ධ වෙලා ඉවරයි. ඒ වගේම ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළවෙළත් රජයේ අනුග්‍රහය ඇතිව දැන් පටන් අරන්.

කැනේඩියානු රජයේ මේ තීරණයට විරෝධතා හා දැඩි විවේචනත් එල්ල වෙලා තියෙනවා. විය යුතු පරිදිම ඒ විවේචන එල්ල වෙලා තියෙන්නේ කැනඩාවේ ගොවිපළවල්, සත්ව අභිජනන මධ්‍යස්ථාන පවත්වාගෙන යන අංශ වලින්. දියර කිරි නිෂ්පාදනය බොහොම සරුවට කර්මාන්තයක් විදියට පවත්වා ගෙන යන කැනඩාවේ කිරි ගොවීන් මේ අලුත් නිර්දේශයට තමන්ගේ විරෝධය එල්ල කරලා තියෙනවා. ඒ වගේම ලෝකයේ අතිශය රසවත් හා ඉහළම ගුණාත්මක බවින් පිරිපුන් හරක් මස් නිෂ්පාදනය කරන කලාපයක් විදියට ප්‍රසිද්ධියක් උසුලන කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ සත්ව ගොවීනුත් මේ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය පළ කරලා තියෙනවා. මේ සියලු විරෝධතාවන්ට රජයේ නිල තීරණය දැනුම් දෙමින් කැනේඩියානු රජයේ සෞඛ්‍ය ඇමැතිවරිය වන Ginette Petitpas Taylor මෙහෙම උත්තරයක් ප්‍රකාශ කරලා තිබුණා: “මේ ආහාර වට්ටෝරුව සකස් කළේ ලෝකයේ විශිෂ්ටතම විද්‍යාඥයන්, වෛද්‍යවරුන් හා ඉහළ වෘත්තිකයන්ගේ නිර්දේශ මතයි. කැනේඩියානුවන්ට මස්, මාලු, කිරි කන්න බොන්න එපා කියලා අපි කියන්නේ නැහැ. ඒත් ඔබට නිරෝගී යහපත් සෞඛයයක් අවශ්‍ය නම් ඒ වෙනුවෙන් සුදුසු විකල්ප ඕනෑ තරම් අපි වටේ තියෙනවා. එවැනි යහපත් ජීවන තත්ත්වයක් ගොඩ නගා ගන්නට ඔබට විශ්වාසය තැබිය හැකි සරල හා පහසු නිර්දේශයක් කැනේඩියානුවන් විදියට ඔබට උරුම විය යුතුයි.” ජාතීන් විශාල ගණනකගේ සාමුහික එකතුවක් වන කැනඩාවේ බොහොමයක් ජාතීන්ගේ ප්‍රධාන ආහාර වේලට මස් මාලු අත්‍යවශ්‍ය අංගයක් නොවන බවත් සෞඛ්‍ය ඇමතිවරිය පෙන්වලා දෙනවා.

රටක ජනතාව ආහාරයට ගත යුත්තේ රටේ පාලකයන් නිර්දේශ කරන ආහාර වට්ටෝරුවක්ද? ඒක කොයි තරම් දුරකට යුක්ති සහගතද? කෙනෙකුට හිතෙන්නටට පුලුවන්. මේ ගැන හොදම පිළිතුරක් වෝටර්ලූ සරසවියේ සෞඛ්‍ය අධ්‍යයන අංශය භාර මහාචාර්ය ඩේවිඩ් හැමන්ඩ් (David Hammond, a professor in the school of public health at the University of Waterloo) ලබා දීලා තිබුණා.

“තවත් අවුරුදු සියයක කාලයක් පර්යේෂණවල නිරත වෙලා නිර්දේශ කරන්න ලැබුණත් අපිට මීට වඩා වෙනස් ආහාර නිර්දේශයක් නම් කරන්න බැරි වේවි. ඒ කියන්නේ අපි පුරුදු වෙන්න ඕනේ එළවුළු, පළතුරු තව තවත් ආහාරයට ගන්නවා වගේම කලින් නැවත සකස් කරපු කෑම බීම සීමා කරලා සීනි තියෙන පානයන්ගෙන් ඈත් වෙන එක තමයි”(“Even if we had the advantage of another century of research,” he said, “we’re probably going to be recommending the same thing, which is that we should eat more fruits and vegetables, limit processed foods and don’t drink too much sugar.”)

පෙනිසියුලාවේ සරසවිය (University of Pennsylvania) රටවල් 80ක් පුරා විවිධාකාර අංශ එහෙමත් නැතිනම් පරිමිතීන් 75 ක් (80 countries on 75 different metrics) ඇසුරින් 2019 වසරේ දී අලුතින්ම නිකුත් කළ පර්යේෂණ වාර්තාවට අනුව ලෝකයේ ඉහළම ජීවන තත්ත්වයක් ඇති රටවල් අතර මුල්ම ස්ථානය පිට පිටම හතර වැනි වතාවටත් හිමිකරගෙන තියෙන්නේ කැනඩාවයි. මේකට හේතුව විදියට ඒ පර්යේෂණය අවධාරණය කරන මූලිකම කාරණා දෙකක් තියෙනවා. දේශපාලනිකව රටේ ඇති ස්ථාවරත්වය එක් කාරණාවක්. අනෙක් කාරණාව රටේ පොදු ජනතාව තුළ ස්ථාපිත වී ඇති දැනුවත් භාවය (Public awareness). සරලවම කියනවා නම් ජාතියක් සතු ප්‍රබලම අවිය වහල්භාවයෙන් අත් මිදීම කියන එකයි. ඒ කියන්නේ වහල් අදහස් වලින් නිවහල් වීම ජාතියක් විදියට නිරෝගී වෙන්නට විතරක් නෙමෙයි තමන්ගේ පෞද්ගලික නිරෝගී කමටත් බලපානවා කියන එකයි. ජාතීන් හාර සිය පණහකට වැඩි ගණනක් සිටින කැනඩාවට මේ කාර්යය ජය ගන්නට පුලුවන් වුණා නම් ජාතීන් දෙක තුනක් ඉන්න රටක් ගැන කවර කතාද?

Advertisements

නූගත්කමේ බලය

අලුත් අවුරුද්දට කලින් නිම කරන්නට තිබුණු හදිසි රාජකාරි වැඩ වගයක් නිසා ‍නත්තල් සති‍යේ සිකුරාදා ම‍ගේ කාර්යාලයට යන්න සිද්ධ වුණා. ‍හැ‍මෝම ව‍ගේ නිවාඩු අර‍ගෙන තිබුණු නිසාත්, තවත් ‍බො‍හොම ‍දෙ‍නෙක් ‍ගෙදර ඉඳන් වැඩ කරපු නිසාත් ආයතන‍යේ හිටි‍යේ ‍දෙතුන් ‍දෙ‍නෙක් විතරයි. ‍‍මේ හින්දා ම‍ගේ ‍මේසයට තරමක් ඈතින් හිටිය සග‍යෙක් තමන්‍‍ගේ වැඩ වල නිරත වු‍ණේ පරිගණක‍යෙන් ටිකක් සද්‍‍දෙට සිංදු අහන ගමන්. ඔහු හිටි‍යේ තරමක් ඈතින් වුණත් පරිගණක‍යෙන් වාදනය වුණු ‍වේග රිද්ම‍යේ සංගීතය ‍බො‍හොම උස් ‍වෙච්ච නිසා ඒක ඒ තරම් ප්‍රසන්න අත්දැකීමක් වු‍ණේ නැහැ. ම‍ගේ රාජකාරි කටයුතු වැඩි ‍වෙලාවක් යන්න කලින් අවසන් ‍වෙච්ච නිසා ඒ කරදර‍යෙන් මි‍දෙන්නට පුලුවන් වුණා. ඒත් ආපහු ගෙදර එන අතරේ, උත්සව කාලය හින්දා පාරවල් වලට හැම අතින්ම ගලාගෙන ආපු ‍වාහනවල තදබදයට හිර‍‍වෙලා ඉන්න වෙලාවේ ළගින් තිබුණු වාහනයකින් ‍දෙකකින් නිකුත් ‍වෙච්ච මහා ‍‍ගෝසාකාරී සංගීතයත් එක්ක ඒ සිද්ධිය ආපහු මතකයට ආවා. ‍මේ අතරේ දෙසැම්බර් තිස් එක් ‍වෙනිදා තිබුණු සාද ‍දෙක තුනක වීඩි‍යෝ පටි ම‍ගේ හිතවතුන් කිහිප ‍දෙ‍නෙකු‍ගේ ‍‍‍ෆේස් බුක් ගිණුම් හරහා නෙත ගැටුණේත් අහම්බෙන්. මේ හැම සාදයකම තිබුණු ගෝසාකාරී සංගීතය දැක්කම මේ තරම් ගෝසාවකට ආශක්ත වෙන්න තරම් මිනිස්සු ඇබ්බැහි වෙලා තියෙන්නේ ඇයිද කියන කාරණාව ගැන හොයාලා බලන්නට හිතුණා.

මේ කාරණාව ගැන හොයලා බලද්දී හරිම අපූරු පර්යේෂණ කිහිපයක තොරතුරු දැනගන්නට ලැබුණා. මේ හැම පර්යේෂණයකින්ම වගේ තහවුරු කරලා තිබුණේ ගෝසාකාරී සංගීතයට, ඒ වගේම ගෝසාකාරී ප්‍රියසාද වලට මිනිස්සු ඇලුම් කරන්නට ප්‍රධාන හේතුව තමන් තුළ තියෙන පීඩනය දුරු කරගන්නට කියන කාරණාව. ඊට අමතරව තවත් හේතු තියෙනවා. එයින් තවත් ප්‍රධාන හේතුවක් තමයි ඒ හරහා තමන්ගේ රුධිරයට ඇඩ්‍රිනලින් පොම්ප කරන ප්‍රමාණය වැඩි කරගන්න, ඒ කියන්නේ ජවය වැඩි කරගන්න. ඒ නිසා ගෝසාකාරී සංගීතයට සවන් දෙමින් ව්‍යායාම කරන වේගය වැඩි කරගන්න පුලුවන්. ඒත් ඒක තාවකාලික ජවයක්.

ඒත් මේ පර්යේෂණයේ සමාජ විද්‍යාත්මක පැත්ත තරමක් වෙනස්. ඒ කියන්නේ බොහොම දෙනෙක් මේ විදියට තමන් පුද්ගලිකව රස විදිය යුතු සංගීතය අනෙක් හැමෝටම අහන්න මහ හඩින් වාදනය කිරීම එක්තරා ආකාරයක හීනමානයක් ප්‍රකාශයට පත් කිරීමක්. ඒ නිසා තමන් කැමැති සංගීතයට අනෙක් අයත් කැමැති විය යුතුය කියන හීනමාන සිතිවිලි මුදාහරින ක්‍රමයක් විදියට සමාජ විද්‍යාඥයන් මේ තත්ත්වය දකිනවා. ඒක සංගීතයට විතරක් නෙමෙයි, අනෙක් හැම කාරණාවකටම පොදුයි. උදාහරණයක් විදියට හන්දියක් හන්දියක් ගානේ, එහෙමත් නැතිනම් ගෙයින් ගෙට ඇවිත් තමන්ගේ ආගම ප්‍රචාරය කරන්න හදන උදවියත් මේ හීනමාන ගොන්නට අයිති පිරිස්. මේ විදියේ කාර්යයන් පිටිපස්සේ ආර්ථික ගනුදෙනුත් සිදුවෙන බව ඇත්ත. ඒත් පොදුවේ බොහොම දෙනෙක්ට ඕනේ තමන්ගේ මතය අනෙක් හැමෝගේම මතය බවට පත් කරවන්න.

දේශපාලනයේ තමන්ගේ මතය අනෙකාගේ ඔලුව මත පටවන්න උත්සාහ දරන පිරිසත් ඔය කියන හීනමානයේ ගොදුරු. පහුගිය කාලයේ ලංකාවේ සිද්ධ වෙච්ච දේශපාලනය අලකලංචිය මේකට හොඳම උදාහරණයක්. මේ තාක් කාලයක් නිදහස් චින්තනධාරීන්, ස්වාධින මතධාරීන් විදියට පෙනී හිටපු පිරිස මේ අලකලංචියෙන් කොයි තරමක් නම් කලබලයට පත් වුණාද කියනවා නම් ඒ හැම දෙනාටම තමන් උන් හිටි තැන් අමතක වෙලා තමයි අවි අමෝරාගෙන සටනට ආවේ. සමහරුන් ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බා… පෙළපාලි ගියා…. ජනමාධ්‍ය තප්පුලන්න පටන් ගත්තා… ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තියා මරණාධාර සමිතියක ව්‍යවස්ථාවක්වත් කියවලා නැති පිරිස් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විශාරදයන් බවට පත්වුණා… ඒ දේශපාලන ගැටුමේ යටි පෙළ තේරුම් ගන්නට තරම් විවේක බුද්ධියක් නොතිබුණු හිස් ඔළුගෙඩි ෆේස් බුක් ගිණුම් හරහා කොයි තරම් මෝඩ පහේ සංවාදවල නිරත වුණා ද කියනවා නම් සුප්‍රකට ඇමරිකානු විද්‍යා ලේඛකයෙක් වෙච්ච Robert A. Heinlein ගේ ප්‍රකාශයක් මේ හැම අවස්ථාවකම වගේ සිහියට නැගුණා. “ ජන සමූහයක නූගත්කම තුළ තියෙන බලය කිසිදාක අවතක්සේරු කරන්නට එපා.”,  (Never underestimate the power of human stupidity). ඉතින් අපේ දූපතේ චන්ද දායකයන් තුළ තියෙන ඔය කියන “බලය” ෆේස් බුක් සංවාද වලින් හොදින්ම තහවුරු වුණා. මොකද ෆේස් බුක් ගිනුම් අතර සැරිසරන්නේත් රටේ ඡන්දදායකයන්ම නිසා. රොබට් පෙන්වා දෙන ඔය කියන ජන බලයෙන් පාර්ලිමේන්තුවට පත් කරලා එවුව පිරිසගේ ක්‍රියාකාරකම් පහුගිය කාලයේ හොදින්ම ප්‍රදර්ශනය වුණා.  රොබට් වගේම තවත් ලෝක ප්‍රකට විද්‍යා ලේඛයෙක් වෙච්ච මයිකල් ක්‍රිච්ටන් (ඔහු තමයි ජුරාසික් පාක් පොතේ කතුවරයා) මේ වගේම කතාවත් කිවුවා මතකයි. ඔහු කිවුවේ ජනතාව නූගතුන් වන තරමටම ඒ රටේ ජනතාවගේ ජීවිතයත් දුෂ්කර වෙනවා කියලයි. (Life is hard, but it’s harder if you’re stupid). විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් නම් මේක පැහැදිලි කළේ බොහොම උපහාසාත්මක විදියට; “අපරිමිත වූ වස්තූන් ඇත්තේ දෙකක් පමණි. ඒ විශ්වය සහ මානව වර්ගයාගේ නූගත්කමයි. විශ්වයේ අපිරිමිත භාවයට සීමාවන් ඇතත්, මානව වර්ගයාගේ ගොන්කමට නම් සීමාවන් ඇත්තේ නැත”. (Only two things are infinite, the universe and human stupidity, and I am not sure about the former).

මේ හැම දේටම හේතුව තමන් දරණ දේශපානය මතය වෙනුවෙන් වහලුන් විදියට පෙනී ඉන්නවා මිසක් විමර්ශනශීලීව ඒ දිහා බලන්නට තරම් විවේක බුද්ධියක්වත්, තැන්පත් මනසක්වත් අපි බොහෝ දෙනෙකුට නැති නිසා. අපි හැමෝම ඉන්නේ එක්තරා රාමුවකට කොටුවෙලා. තමන් ඉන්නේ රාමුවක් ඇතුළේ කොටු වෙලා නම් රාමුවෙන් පිටත තියෙන යථාර්ථය තමන්ට සදාකාලිකවම අබිහරසක්. ඒ නිසා අපි බොහෝ දෙනෙක් යථාර්ථය, එහෙමත් නැතිනම් සත්‍යය කියලා හිතාගෙන ඉන්න බොහොම දේවල් ඇත්තටම මායාවන්. පටු දේශපාලන අදහස්වල වහලුන් වෙන කෙනෙකුට මේක තේරුම් ගන්න කොහෙත්ම පහසු නැහැ. ඒ නිසා දේශපාලන ගැඹුරින් පොඩ්ඩකට ඈත් වෙලා අපි මේ කාරණාව බොහොම සරලව පැහැදිලි කරගන්න උත්සාහ කරමු.

ඔන්න ඔබ දකිනවා ලස්සනට පිපුණු මලක්. එහෙමත් නැතිනම් ඔබ රස විඳිනවා ප්‍රණීත ආහාර වේලක්. ඇත්තටම ඔබ ඔය දකින මල සැබෑවක් ද? ඔබ ඔය ආහාරය රස විඳින්නේ සැබෑ ජීවිතයේ දීම ද? මේ ඔබ දකින, අත්විඳින හැම දෙයක්ම ඇත්තම ඇත්තයි කියලා ඔබ දන්නේ කොහොමද? මේ දකින්නේ සිහිනයක් නෙමෙයි කියලා ඔබ අවබෝධ කරගන්නේ කොහොමද? කෙනෙකුට හිතෙන්න පුලුවන්, ඒකට පිළිතුර හරිම සරලයි කියලා. ඒ කියන්නේ ස්පර්ශය, සුවඳ, දැකීම, ඇසීම වගේ සංවේදන වලින් ඒක තහවුරු කර ගන්න පුලුවන් නේද කියලා. ඒත් යමක් ස්පර්ශ කරලා විඳින සංවේදනය, යමක සුවඳ, යමක රසවත් බව ඔබට සිහිනෙනුත් දැනිලා තියෙනවා නේද? ඉතින් කොහොමද අපි තෝරා ගන්නේ යමක් සැබෑවක් ද? මායාවක් ද කියලා.

මේක එක්තරා ආකාරයක දාර්ශනික ප්‍රශ්නයක්. ඒත් Richard Dawkins මේ ප්‍රශ්නය හරිම අපූරුවට විග්‍රහ කරනවා තමන්ගේ The Magic of Reality කියන පොතෙන්. (Richard Dawkins කියන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයෙක් වගේම ප්‍රකට ජීව විද්‍යාඥයෙක් සහ සුප්‍රකට ලේඛකයෙක්) අර මුලින් කිව්වා වගේ මලක මල් පෙති අතගාලා, කෑමක සුවඳ විදලා අපි ඒවා ඇත්තටම පවතිනවා කියලා හිතනවා කියලා හිතමු. හිතන්න බලන්න පියවි ඇසින් දකින්න බැරි වෙනත් ක්ෂීරපථයක තියෙන දෙයක් ගැන. එච්චර දෙයක් ඕනේ නැහැ… අපි බොන වතුර කෝප්පයක තියෙන ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවින් ගැන… එහෙත් නැතිනම් බැක්ටීරියා.. ගැන හිතන්න. මේවා අපිට පියවි ඇහැට දකින්න බැරි වුණු පමණින්ම අපිට කියන්න පුලුවන්ද ඒවා නැහැ කියලා. කෙනෙකුට මේකටත් පිළිතුරක් දෙන්න පුලුවන් වේවි, පියවි ඇහැට දකින්න බැරි වුණත් දුරදක්නයක් හරි අණුදක්නයකින් හරි ඒක බලලා තහවුරු කරගන්න පුලුවන් නේද කියලා.

හොදයි, රූපවාහිනිය බලද්දී, ගුවන්විදුලියට සවන් දෙද්දී අපි දකින්නේ රූපවාහිනී තිරය විතරයි. එහෙමත් නැතිනම් රේඩියෝව විතරයි. ඒත් ගුවන්විදුලි තරංග, රූපවාහිනී තරංග දුරදක්නයකින්වත් බලන්න බැහැ. ඉතින් එතකොට කොහොමද මේ මායාව තේරුම් ගන්නේ.

අපි තවදුරටත් මෙහෙම හිතමු. අපි කවුරුත් දැකලා නැහැ ඩයිනෝසරයන්ව. අඩුම තරමින් දුරදක්නයකින්වත්, ඒ වගේම රේඩියෝ තරංග වලින්වත් අපි ඒ ගැන කිසිම දෙයක් අත්විඳලා නැහැ. ඒත් එයාලා මේ මහ පොළොව මත හිටිය බව අපි පිළිගන්නවා. ඒකට හේතුව ඒ අයගේ පොසිල අධ්‍යයනය කරලා ඩයිනෝසරයන් මේ විදියට දුව පැන යන්න ඇති කියලා තේරුම් ගන්නට තරම් විද්‍යාව දියුණුයි කියලා අපි පිළිගන්න නිසා.

දැන් අපි යමු මීට වඩා තරමක් ගැඹුරට. ඔබ දන්නවා අලෝකය ගමන් ගන්නා වේගය ශබ්දය ගමන් ගන්නා වේගයට වඩා වැඩියි කියලා. ඈතින් ඉන්න කෙනෙක් පොරවකින් ගහකට කොටන කොට අපි ඒක දැකලා තත්පර කිහිපයකට පස්සෙයි ගහට කොටපු ශබ්දය ඇහෙන්නේ. ඉර එළිය පොළොවට පතිත වෙන්නත් මිනිත්තු අටක කාලයක් යනවා. ඒ කියන්නේ අපි දැන් අත්විඳින දිවා අලෝකය හිරුගෙන් නිකුත් වුණේ මීට විනාඩි අටකට කලින්. අපිට ළගින්ම තියෙන තාරකාව තමයි ප්‍රරොක්සිමා සෙන්චුවරි  (Proxima Centuari). ඉතින් මේ තාරකාව අද, ඒ කියන්නේ 2019 දී දුර දක්නයකින් ඔබ බැලුවොත්, ඔබ දකින්නේ 2015 දි වෙච්ච දේවල්. ඒකට හේතුව පෘථිවියත්, ඔය ළගම තියෙන තාරකාවත් අතර ආලෝකය ගමන් කරන්නට යන ඔය තරම් කාල වේලාවක් යන නිසයි.

අපි මේ ඉන්න පෘථිවිය අයිති ක්ෂීර පථය (Milky Way) කියන මන්දාකිණියට. අපේ මන්දාකිණියට ළගින්ම තියෙන මන්දාකිණිය තමයි ඇන්ඩ්‍රොමීඩා (Andromeda) කියන්නේ. හබ්ල් වගේ තාක්ෂණයෙන් සපිරි දුරදක්නයකින් අපි මේ මන්දාකිණියේ තියෙන ග්‍රහලෝකයක් දිහා බැලුවොත් අපි දකින්නේ අවුරුදු මිලියන 280කට කලින් සිද්ධ වෙච්ච දේවල්. ඒ තරම් ඈතකින් තමයි මේ කියන ක්ෂිර පථ දෙක පිහිටලා තියෙන්නේ. හොදයි අපි දැන් මෙහෙම හිතමු. ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ ඉන්න පිටසක්වල ජීවියෙක් ඔය විදියේ ප්‍රබල දුරදක්නයකින් පෘථිවිය දිහා බලනවා කියලා. එතකොට එයා දකින්නේ අපිව නෙමෙයි. අවුරුදු මිලියන 280 කට කලින් මේ මිහිතලයේ සැරිසරන ඩයිනෝසරයන්ව. එහෙනම් යථාර්ථය කියන්නේ අපි දකින විඳින දේ පමණක්ම කියලා කියන්න බැහැ නේද?

අපේ මිනිස් ඇසට ගෝචර නොවන, ඒ වගේම අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන විවිධාකාර සංසිද්ධි නිරන්තරයෙන් අපට අහන්න දකින්න ලැබෙනවා. හොල්මන්, අවතාර වගේ දේවල් වුණත්. ඉතින් ඉහතින් කිව්ව කරුණු කාරණා එක්ක ගනිද්දී මේ දේවල් යථාර්ථයක් ද, මායාවක් ද කියන කාරණාවට ස්ථිර පිළිතුරක් දෙන්න අද දවසේ අපට තියෙන දැනුම ප්‍රමාණවත් නැහැ.

මෙන්න මේ විදියේ අපි හිතන්නට නොපෙළෙඹෙන කරුණු කාරණා රැසක් ගැන රිචඩ් තමන්ගේ පොතින් පැහැදිලි කරනවා. ජාතිය, ආගම, කුලය, සුදු කළු ආදී විවිධාකාර කරුණු කාරණා නිසා එකිනෙකට බෙදී වෙන්වී ගැටුම් ඇතිකරගන්නා මිනිසුන්ටත් ඔහුගේ පොතින් කදිම පිළිතුරක්  ලබා දෙනවා.  ඔහු පෙන්වා දෙන විදියට වැඩි කාලයක් නෙමෙයි පරම්පරා හත අටක් පස්සට ගියොත් අපිට අපේ මුතුන් මිත්තන් ගැන පුදුමාකාර දේවල් දැන හඳුනා ගන්න පුලුවන්. ඔබේ ඡායාරූපයක් උඩින් ඔබේ පියාගේ ඡායාරූපයක් තබන්න, ඊට උඩින් සීයාගේ ඡායාරූපක් තබන්න. සීයාගේ ඡායාරූපයක් උඩින් මුත්තාගේ ඡායාරූපයක් තබන්න. මේ විදියට ඔබට සොයා ගත හැකි තරම් ඉපැරණි ඡායාරූප එකිනෙක මත තබා බැලුවොත් ඔබටම පෙනේවි ඔබත්, ඒ ආදිතමයාත් අතර කොයි තරම් නම් වෙනස් මුහුණුවරක් තියෙනවා ද කියලා. ඉතින් ඔන්න ඔය විදියට ඡායාරූප ශිල්පය සොයා ගන්නටත් පෙර කාලයට ගිහින් ඒ කියන්නේ අවුරුදු මිලියන 417 ක් තරම් ඈතකට ගියොත් ඔබේ ඒ ඉපැරණිතම සීයාට මෙන්න මේ වගේ පෙනුමක් තියෙන්න ඇති කියලා රිචඩ් පෙන්වා දෙනවා.

3.jpg

ඔව්, ඔබ හිතුවා හරි… අවුරුදු මිලියන 417 කට කලින් හිටපු ඔබේ 185,000,000 වැනි ඉපැරණිතම සීයා මාලුවෙක්. ඒ මාලු සීයලාත්, මාලු ආච්චිලාත් අතර අභිජනනක් සිදුනොවුණා නම් අද ඔබ මේ මිහිතලය මත නැහැ. ඒත් ඔබ අහලා තියෙනවා මානව විශේෂ ගැන. අපි අයිති වෙන්නේ හෝමෝ සේපියන්ස්ට. හෝමෝ ඉරෙක්ටස් ඊට කලින් හිටිය මානව විශේෂයක්. කෙනෙකුට හිතෙන්න පුලුවන් අර කිව්ව විදියට අවුරුදු මිලියන 417 කට කලින් හිටිය මාලුවා කවදද ඔය විදියේ මිනිස් විශේෂයක් බවට පත්වු‍ණේ කියලා. ඒ කියන්නේ මුල්ම මිනිසා කවුද කියන එක. ඒකට හරියට පිළිතුරක් දෙන්න කාටවත් බැහැ. ඒක සරලව පැහැදිලි කරනවා නම් අපිට කෙලින්ම කියන්න බැහැනේ අපි අත දරු බිලිදෙක් විදියට ඉඳලා තරමක් මෝරපු දරුවෙක් බවට පත් වුණේ කවද්ද කියන එක.

ඉතින් ඔන්න ඔය විදියට අවුරුදු දශ ලක්ෂ සංඛ්‍යාත වලින් අපේ මුතුන් මිත්තන් ගැන හෙව්වොත් හරිම අපූරු තොරතුරු ටිකක් තමයි දැකගන්න ලැබෙන්නේ.

1.jpg

අවුරුදු මිලියන හයකට කලින් සිටි අපේ 250,000 වැනි මී මුත්තා (සීයා)

නූතන විද්‍යාවේ ඵලයක් වෙච්ච DNA මගින් අද දවසේ අපිට කියන්න පුලුවන් අපිට සමීපතම ඥාතීන් ගැන. ඒත් හරිම සිත් ඇදගන්නා තොරතුර තමයි මේ මිහිතලය මත ඉන්නා සියලුම සත්ව සහ ශාක විශේෂත්, ඔබත්, මාත් එකම මුතුන් මිත්තන්ගෙන් පැවත එනවාය කියන එක. අද දවසේ අපේ පවුල් ශාකයට සමීප හිමිකම් කියන චිම්පන්සින්, වදුරන් විතරක් නෙමෙයි, මීහරක්, තල්මසුන්, ගොලු බෙල්ලන්, ගඳපාන මල්, බැක්ටීරියා… එකී නොකී මේ හැම දෙයක්ම… ඒ කියන්නේ මේ මිහිතලයේ අපි ශාක හා සතුන් යන මේ හැම දෙයක්ම අපිත් එක්ක එකම නෑදෑ සනුහරයක් බෙදා හදා ගත්ත පිරිසක් බව රිචඩ් අපූරුවට පැහැදිලි කරනවා.

2.jpg

අවුරුදු මිලියන 105 කට පෙර සිටි අපේ 45,000,000 වැනි සීයා

7.jpg

අවුරුදු මිලියන 63 කට පෙර සිටි අපේ 7,000,000 වැනි සීයා

අපේ මේ ඥාති හිතමිත්‍රාදීන් ගැන කිසියම් දෙයක් ප්‍රකාශ කරන්නට පරිණාමවාදය ලොවට කියා පෑ චාල්ස් ඩාවින් උත්සාහ කළත් කිසියම් හේතුවක් නිසා ඔහුට තමාගේ අදහස කියා පාන්නට නොහැකි වූ බව රිචඩ්ගේ පොතේ ඡායාරූපයකින් පෙන්වා දෙනවා. ඩාවින් තමන්ගේ කටු සටහන් ලියපු සටහන් පොතක එක්තරා පිටුවක ඔහු මේ විදියේ පවුල් සටහනක් කුරුටු ගා එහි ඉහළින්ම I Think කියා ලියා ඇතත් ඔහුගේ දරුවෙකුගේ බාධා  කිරීමක් හෝ වෙනත් හේතුවක් නිසා එය නිම කිරීමට ඩාවින්ට නොහැකි වූ බව රිචඩ් පෙන්වා දෙනවා. මේ නිසා I Think ලෙසින් ඩාවින් සිතුවේ කුමක්ද යන්න අපට සදාකාලිකවම රහසක් වේවි කියලයි ඔහු කියන්නේ.

6.jpg

මිනිසුන් වන අප අතර භාෂාවන් බෙදී වෙන්වී ඇත්තේත් මේ විදියටමයි කියලයි රිචඩ් කියන්නේ. මේ වෙනස දකින්නත් අපි වැඩි දුරකට යන්න ඕනේ නැහැ. ඔබේ සීයා, එහෙමත් නැතිනම් ඔබේ මුත්තා කතා කළ බාසාව වටහා ගන්නට ඔබට ඒ තරම්ම අමාරු වෙන එකක් නැහැ. ඒත් පරම්පරා විස්සක් විසිපහක් ඈතට ගියොත් ඔබට ඒ තරම්ම ලෙහෙසි පහසු වෙන එකක් නැහැ ඒ භාෂාව වටහා ගන්න. ඔබ ඉංග්‍රීසි ජාතිකයෙකු නම් පරම්පරා විසි පහක් කියන්නේ 14 වැනි සියවස. ඉතින් ඒ කාලයේ හිටපු ඉංග්‍රීසි කවියෙකු වෙච්ච Geoffrey Chaucer ලියපු මේ වාක්‍යය තේරුම් ගන්න පුලුවන්ද කියලා රිඩච් තමාගේ පාඨකයන්ගෙන් අහනවා.

5.jpg

බැලූ බැල්මටම ඉංග්‍රීසි වගේ පෙනුනත්, තරමක් දුරට කියවා ගෙන යද්දී මේ ස්පාඤ්ඤ එහෙමත් නැතිනම් ඉතාලි බාසාවද කියලා ඔබට හිතේවි කියලා ඔහු කියනවා. ඒ වගේම මේ සටහනේ තියෙන වචන එදා දවසේ කවුරු හරි කතා කරන හැටි අහන්න ලැබුණා නම් ඔබට ඇත්තෙන්ම එය ඉංග්‍රීසි බාසාව යැයි ඔබ හිතන්නේවත් නැති වෙයි කියලයි ඔහු පෙන්වා දෙන්නේ. මේ නිසා අමිශ්‍ර ජාතියක්, අමිශ්‍ර සංස්කෘතියක් මේ මිහිතලයේ කොතැනකවත් නැහැ.

4.jpg

භාෂා පවුල් විහිදී විසිරී යන හැටි

තතිව හුදෙකලාව සිටීම කොයි තරම් නම් ප්‍රබලද කියන එක හෙළි වෙන්නේ මේ කියන කාරණාව ගැඹුරින් හිතද්දීයි. ඩාවින් තමන්ගේ පරිණාමවාදයට මූලික තොරතුරු සම්පාදනය කර ගත්තේ ගැලපගොස් දූපතේ හුදෙකලාව පරිණාමය වෙච්ච ජීවීන් ආශ්‍රයෙන්. භාෂාවක් වුණත් එහෙමමයි. සෙසු ලෝකයෙන් වෙන් වෙලා හුදෙකලා වුණු දූපත්වල ව්‍යවහාර වන භාෂාව විවිධාකාර උප භාෂාවන්ට කැඩිලා වෙන වෙනම පරිණාමය වෙනවා. අපේ දූපතේ වුණත්, දකුණේ, උඩරට, මැදරට, ආදි වාසී ප්‍රදේශවල භාවිත වෙන උප භාෂාවන් එකිනෙකට වෙනස්නේ. ඒ වගේම තමයි හුදෙකලා දූපත් වල විවිධාකාර සත්ව විශේෂ පරිණාමය වෙනවා. එවැනි හුදෙකලා ප්‍රදේශවලට ආවේණික ගස් වැල්, මල් පළතුරු වගේම සත්ව විශේෂ බොහෝ වෙලාවට ලෝකයේ වෙනත් කොහේවත් දකින්නට නැත්තේ ඒ නිසයි. ඒ වගේම තමයි ගොඩබිමත්, මුහුදත් අතර ඔය විදියේ විවිධාකාර වෙනස් පරිණාමයන් සිද්ධ වෙනවා. ඒත් ලෝකය සීස්‍රයෙන්  හැකිළෙමින් යන නිසා මේ හුදෙකලා බව ක්‍රමයෙන් තුනී වී යනවා වගේම දුර්ලභ ශාක, සත්ව ප්‍රභේද වඳ වෙමින් යනවා.

මේ කෘතියෙන් රිචඩ් මතුකරන තවත් ප්‍රශ්නයක් තමයි මේ මහා විශ්වයේ සිටින එකම ජීවින් පිරිස පෘථිවියේ සිටින අප පමණක්ම ද කියන එක. අද දවසේ විද්‍යාවට අනුකූලව නිර්මාණය කරපු නවීනතම දුරදක්නයකින් අපට විශ්වයේ අප සමීපයේ තියෙන ග්‍රහලෝක නිරීක්ෂණය කරන්න පුලුවන්. එත් ඒ ග්‍රහලෝක මත ජීවය තියෙනවාදැයි නිරීක්ෂණය කරන්න අද දවසේ අපට තියෙන දුරදක්නයන් ප්‍රමාණවත් නැහැ. ඒකට එක හේතුවක් තමයි මේ ග්‍රහලෝක වලින් නිකුත් කරන්නේ තමන්ගේ තාරකාවලින් බිහිවෙන ඉතාම දුබල ආලෝකයක් පමණක් වීම. ඒත් ග්‍රහලෝකයක් තමන්ගේ තාරකාවන් වටේ භ්‍රමනය වෙද්දී එහි ඉතා කුඩා කොටසක් වඩා පැහැදිලි ආලෝකයකින් අපට බලාගන්න පුලුවන්. හරියට හඳ සූර්යයා වටා භ්‍රමනය වෙද්දී එය අපට වඩාත් සමීප වෙන මොහොතක හඳ වඩාත් විශාලව දර්ශනය වෙනවා වගේ.

අපේ මන්දාකිණියේ තියෙන තාරකා සංඛ්‍යාව බිලියන සියයක් විතර වෙනවා. ඒ වගේම තමයි විශ්වයේ තියෙන මන්දාකිණි සංඛ්‍යාවත් ඒ තරම්ම විශාලයි. ඒ කියන්නේ මන්දාකිණි බිලියන සියයක් විතර තියෙනවා. එහෙම බැලුවාම මේ සමස්තයේ එකතුව බිලියන, බිලියන දස දහසක් වගේ අති විශාල ගණනක්. ඉතින් මේ තරම් අති විශාල තාරකා සංඛ්‍යාවක් අතරින් කොයි තරම් සංඛ්‍යාවකට, අපේ හිරු වගේ ජීවී පැවැත්මට ආධාර කරන තාරකා කොයි තරම් සංඛ්‍යාවක් තියෙනවාද කියන එක අපි දන්නේ නැහැ. මේ වනවිට අපි දන්නා දැනුම අනුව අපේ නිගමණය තමයි විශ්වයේ පවතින බෙහෝ සෞර ග්‍රහ මණ්ඩල ගෑස්වලින් පිරුණු තාරකාය කියන එක. ඒ නිසා ඒවා ජීවී පැවැත්මට උදව් උපකාර නොකරන බව තමයි දැනට අපේ නිගමණය. ඒත් අපි ජීවින් කියලා කියන්නේ අපි දන්නා හදුනන වර්ගයේ ජීවීන්ට . අපිට කිසිම අදහසක් නැති වර්ගයේ ජීවීන් (පිටසක්වල ජීවීන්) ඔය විදියේ තාරකාවල ජීවත් වෙන්නේ නැහැ කියන්න අපිට ඒ නිසා කිසිම හැකියාවක් නැහැ. ඒ වගේම මේ විශ්වයේ තියෙන තාරකා අතරින් කොයි තරම් ප්‍රතිශතයක පිටසක්වල ජීවීන් ජීවත් වෙන්න ඕනද කියලා අදහසක් ගන්න ඔබට අවශ්‍යයද? ඒකේ ප්‍රතිශතය කුඩා අගයක් වෙන්න පුලුවන්. ඒත් ප්‍රතිශතය ගණනය කරන්නට ඔබ සලකා බැලිය යුතු තාරකා සංඛ්‍යාව 10,000,000,000,000,000,000,000 (එකයි බිංදු විසි දෙකක්)

කොහොම වුණත් ලෝකයේ අද බොහොමයක් දේවල් තියෙනවා අපිට තේරුම් ගන්නට බැරි. ඒ කියන්නේ ලෝකයේ ඉන්න අති විශිෂ්ටතම විද්‍යාඥයන්ටවත් පැහැදිලි කරන්නට බැරි ඒවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ හැම දෙයක්ම දෙවියන්ගේවත්, වෙනත් කෙනෙකුගේවත් ප්‍රාතිහාර්යයන් (SUPERNATURAL) කියලා. අපිට ඒවා තේරුම් කරලා දෙන්න තාමත් බැහැ. එච්චරයි. නිකමට හිතන්න, ලැප්ටොප් පරිගණකයක් හරි ජංගම දුරකථනයක් හරි මධ්‍යකාලීන යුගයේ හිටිය බුද්ධිමත්ම මිනිසාගේ ඇහැ ගැටුණොත් කොහොමද එයා ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. එයා නිසැකයෙන්ම කියයි ඒක ආශ්චර්යයක් කියලා. නැතිනම් දෙවියන්ගේ හරි ඒ විදියේ අධිභෞතික බලවේගයක ප්‍රතිපලයක් කියලා. ඒත් යුගයෙන් යුගය ඒ දැනුම අත්පත් කරගෙන අවසානයේ දී ඒ විදියේ දෙයක් නිර්මාණය කරන්නට මිනිසා පෙළඹුණේ කොහොමද කියලා අද අපට අපූරුවට විස්තර කරන්න පුලුවන් වගේම ඒ විදියේ උපකරණ අද දවසේ අපිට දැනෙන්නේ ඉතාම සරල තාක්ෂණික දේවල් විදියට. ඉතින් අද දවසේ අපට පැහැදිලි කරන්නට බැරි බොහෝ දේවල් සම්බන්ධයෙනුත් අපි අද ඉන්නේ ඒ මධ්‍යකාලීන යුගයේ මිනිසාගේ මට්ටමේම තමයි.

කාල තරණ උපකරණයකින් (Time Machine) අතීතයට යනවාය කියන එක හිතන එකත් අද අපට සිහිනයක්, ප්‍රාතිහාර්යයක්. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අනාගතේ දවසක එහෙම උපකරණයක් හදන්නට ඉඩක් නැහැ කියලා.  අද දවසේ ප්‍රාතිහාර්යයන් කියලා ඔබ සිතන දේවල් ගැන තරමක් ගැඹුරින් හිතුවොත් ඔබටම වැටහේවි ඔය කියන බොහොමයක් දේවල්වලට විද්‍යාත්මක පදනමක්  තියෙනවා නේද කියන එක. එකම දේ සමහර විට ඒක පැහැදිලිව විස්තර කරන්නට තරම් දැනුමක් අද දවසේ අප අත්පත් කරගෙන නැතිව ඇති. අද දවසේ ප්‍රතිහාර්යය හෙට දවසේ තාක්ෂණයයි (Today’s miracle, tomorrow’s technology) කියලා හදුන්වන්නේ ඒ නිසයි.

මේ හැම කාරණාවකින්ම පැහැදිලි වෙන්නේ ජාතිය, ආගම, දේශපාලනය, කලාව… මේ කියන කොයි කවර අංශයකදී වුණත් යථාර්ථය වටහා ගන්නට නම් අඩුම තරමින් ඒවා වටා බැදුණු මායාවක් තියෙනවාය කියන සරල අදහස ගැන වැටහීමක් වත් අපිට තියෙන්න ඕනේ. එහෙම වුණොත් දේශපාලනයේ විතරක් නෙමෙයි ඔය කියන කොයි කවර අංශයක වුණත් වහල්ලු වෙන්න අපිට සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව යථාර්ථය කියන කාරණාව හැම මොහොතකම මතුපිටින් මතුවෙලා පෙනෙන්නේ නැති හින්දා. විශිෂ්ට ලේඛකයෙකු වෙච්ච ඇල්බෙයා කැමූ වරක් කිවුව විදියට සත්‍යය කුමක්දැයි සොයා ගැනීම කියන්නේ තමන් කැමැති කුමක්දැයි සොයා ගැනීම නම් නෙමෙයි

“ අපි හැමෝම උපදින්නේ දැනුම් තේරුම් ඇතිව නෙමෙයි. ඒත් අපි උපන්ගෙයි මෝඩයෝ විදියට මිය යනවා නම් ඒකේ වැරැද්ද තියෙන්නේ වෙන කාගේවත් අතේ නෙමෙයි, අපේ අතේම තමයි ”- මෙහෙම කිව්වේ ඇමරිකානු චින්තකයෙකු වෙච්ච බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් (We are all born ignorant, but one must work hard to remain stupid).

 

දවස් ගෙවී ගියා මෙසේ

සති තුනක් කියන්නේ බොහොම කෙටි කාලයක්. ඒත් සති තුනක කෙටි කාලයක දී කෙනෙකුට විවිධාකාර අත්දැකීම් අත්විඳින්නට පුලුවන්. බොහොමයක් වෙලාවට කෙනෙකුගේ මිහිරි අත්දැකීම් ඒ ඒ පුද්ගලයන්ට පෞද්ගලිකයි, ඒ වගේම භාවාතිශයයි. ඒ නිසා ඒ මිහිරි අත්දැකීම් බෙදා හදා ගැනීම තවත් කෙනෙකුට නීරස වෙනවා වගේම ඒ කියන අර්ථයෙන් විඳින්නත් බැහැ.

ඒත් අමිහිරි අත්දැකීම් කියන්නේ තවත් කෙනෙකුත් එක්ක බෙදා හදා ගන්න පුලුවන් දෙයක්. ඒකට හේතුව ඒ අත්දැකීම් සමාජීය යහපතට යොදා ගන්නට පුලුවන් නිසා.

ඉතින් මේ කියන්නට යන්නේ ලංකාවේ ගත කළ සති තුනක කාලයේ දී ලැබූ එවන් අත්දැකීම් කිහිපයක්.

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

මා අත තිබූ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයෙන් ලංකාවේ වාහන පදවන්නට මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් කිසියම් සහතිකයක් ගත යුතුද යන්න ගැන මා හිත මිත්‍ර උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ම අසා බැලුවෙමි. ඔවුහු සියල්ලෝම පාහේ රථ වාහන පොලිසිය භාර උසස් නිලධාරියෝ වූහ. එහෙත් ඒ සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය ගැන පැහැදිලි අවබෝධයක් ඔවුන් එක් අයෙකු හෝ සතු නොවූවාක් මෙන්ම ඔවුන් පැවසූ කරුණු ද එකිනෙක පරස්පර වූයේය. ලංකාවේ රියදුරු බලපත්‍රය මා සතුව නොතිබුණත්, ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් මා රැගෙන විත් තිබුණේය. ඒ සදහා වූ ප්‍රඥප්තියට ලංකාව ද අත්සන් කර තිබුණු බැවින් ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය වලංගු වූ රටවල් ගොන්න අතරේ ශ්‍රී ලංකාවේ නම ද එම බලපත්‍රයේම සටහන්ව තිබුණි. එහෙත් ලංකාවේ ගත කරන කෙටි කාලය තුළ දී අප්‍රසන්න සිදුවීම් ඇති වීම අවම කර ගැනීම සදහා මේ තත්ත්වය නිශ්චිතව නිරාකරණය කර ගන්නට මට ඇවැසි විය. එබැවින් රටට ඇතුලු වන්නටත් පෙරම මේ සම්බන්ධ නීතිමය තත්ත්වය මා හා නීති වෘත්තියේ යෙදුණු  මිතුරන්ගෙන් විමසූ නමුත් ඔවුන්ගෙන් ද ඒ ගැන පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිහිප වරක්ම සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කළෙමි. එහෙත් ඒ ගැන කිසිම තොරතුරක් එහි අන්තර්ගත කර තිබුණේ නැත. එබැවින් ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයේ නීතිමය තත්ත්වයට අදාළ නීති ලේඛනයක් මා රැගෙන ආවේ මතු ආරක්ෂාව පිණිසය. කෙසේ වුවද හිත මිත්‍ර ඇතැම් පොලිස් නිලධාරීන්ගෙන් කෙනෙකු කීවේ මගේ රියදුරු බලපත්‍රය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහතික කරවා ගත යුතු බවය. මගේ හිතවතෙකු හරහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු ද පැවසුවේ එවැනි සහතිකයක් ලබා ගත යුතු බවයි. පෝලිමේ රස්තියාදු නොවී එය පහසුවෙන් කරගන්නට හැකි ඉඩකඩක් ද ඔහු සලසා දුන් බැවින් ඔහු පැවසූ පරිදි මා කළ යුතු වූයේ දෙපාර්තමේන්තුවට ගොස් අදාළ නිලධාරියා කෙලින්ම හමුවී විනාඩි පහෙන් දහයෙන් එය කර ගැනීම පමණි.

එක් එක් තැන්වල සෙනග පොදි කමින් සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරියා සිටි කාර්යාලය කරා මා යද්දී ඔහු හමුවී තම වැඩ කටයුතු කරගැනීම සදහා ඒ වනවිටත් මිනිස්සු හය හත් දෙනෙක් පෝලිම් ගැසී සිටියහ. ඇදුනුම්කම මාර්ගයෙන් පෝලිම මග හැර ඔහුගේ කාර්යාලයට රිංගන්නට හිරිකිතයක් දැනුණු බැවින් මම ද පෝලිමේ අවසානයට එක් වූයෙමි. හිමිහිට ඉදිරියට ඇදුණු පෝලිම, මට ඉදිරිපිටින් එක් කෙනෙකු සිටිය දී නතර වූයේය. ඒ අදාළ නිලධාරියා කාමරයෙන් පිටතට ගිය බැවිනි. ඔහු පැමිණෙන්නට විනාඩි හතළිස් පහකට අධික කාලයක් ගත වූ බැවින් ඒ වන විට බොහෝ දිගු පෝලිමක් මා පසුපසින් පෙළ ගැසී තිබුණි. පැයක පමණ කාලයක් පුරා එක තැන සිටගෙන සිටීම සුවපහසු කාරණාවක් නොවූවත්, නිලධාරියා යළි එනතුරු බලා සිටිනු හැර කරන්නට කිසිත් නොතිබුණේය. මා පෝලිම් ගැසී සිටි කාමරයට යාබද කාමරයේ සිටි නිලධාරියා හමුවන්නට ද එවැනිම පෝලිමක් තිබුණේය. ඒ පෝලිමේ සිටි කිසිවෙකුට දුරකථන ඇමතුමක් ලැබුණේය.

“ මං දන්නේ නැහැ මචං කීයට එන්න පුලුවන් වෙයිද කියලා. අත්සනක් අරගෙන යන්න තාම මේ පෝලිමේ රස්තියාදු වෙනවා ”. ඔහු සිය දුරකථනයට පිළිතුරු දෙන හඩ ඒ අවට සිටි අපට පමණක් නොව එහේ මෙහේ සැරිසරමින් සිටි ආරක්ෂක නිලධාරියාට ද ඇසෙන්නට ඇත.

“ සද්දෙ අඩු කරලා ඔයා ෆෝන් එක සාක්කුවට දාගන්නවා…. නැතිනම් තමුසෙවයි, තමුසෙගෙ ෆෝන් එකයි දෙකම අල්ලලා එළියට ඇදලා දානවා ”

ආරක්ෂක නිලධාරියා ගුගුළේය. ඇතැම් විට ඒ පෝලිමේ රස්තියාදු වෙමින් සිටි සෙසු මහජනතාවට ද අනතුරු හගවනු පිණිස විය යුතුය.

මහජනතාවගේ මුදලින් නඩත්තු වෙන රාජ්‍ය ආයතනයක ආරක්ෂක නිලධාරියෙකුට තම දෙපාර්තමේන්තුවට එන මහජනතාවට එපමණ බලයක් පාන්නට ඉඩක් ලැබුණේ කෙසේදැයි සිතා ගත නොහැකිව අන්දමන්දව සිටියදී මා බලා සිටි නිලධාරියා යළිත් කාමරයට පිවිසුණේය. ඒ සමගින්ම කොහෙන්දෝ ආ කිහිප දෙනෙක්ම පෝලිමට පිටතින් විත් දොරටුවට අනිත් පැත්තෙන් පෙළගැසී කාමරයට ඇතුලු වන්නට මාන බලන්නට වූහ. මා ඉදිරිපිටින් සිටි තැනැත්තාට තරමක උස් හඩින් මම මෙසේ කීවෙමි.

“ ඔයා මෙතැන දැන් පැයක විතර ඉදන් මාත් එක්ක පෝලිමේනේ ඉන්නේ.  ඒ නිසා කාටවත් යන්න දෙන්න එපා. ඔයා යන්න. ඊට පස්සේ මායි යන්නේ ”

ඒ සමගින්ම දොරටුව විවර වූ බැවින් ඔහු මා කී පරිදිම කාමරයට ඇතුලු වූයේ පෝලිමට පිටින් පැන ආ කිහිප දෙනාට ඉඩක් නොදීමය. ඒත් ඒ මොහොතේ දීම ආයතනයේ සේවකයෙකු තම හිතවතෙකු සමග මා ඉදිරිපිට මගේ ඉඩ අහුරා සිටගත් බැවින් මට යළිත් කටහඩ අවදි කරන්නට සිදුවූයේය.

“ ඔයා ඔය කරන වැඩේ වැරදියි නේද? අපි මේ හැමෝම දැන් මෙතැන පැයකට වඩා එක තැන හිටගෙන ඉන්නවා. ඔය විදියට ඔයාට පෝලිමෙන් පිට යන්න බැහැනේ ”

“ අපිට තියෙන්නේ මේ පොඩි අත්සනක් ගන්න ”, ඔහු කීවේ ගානකට නොගෙනය.

“ මටත් තියෙන්නේ පොඩි අත්සනක් ගන්න විතරයි. මේ පෝලිමේ ඉන්න හැමෝටම තියෙන්නේ අත්සනක් ගන්න විතරයි ”

“ මං මේ මහත්තයව අදුනනවා. ඒකයි ” මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ නීතිය එයද යන්න මා නොදන්නා නමුත් ඔහු එය කීවේ එය අතිශය සාමාන්‍ය කරුණක් ලෙස සලකා බව නම් පැහැදිලිය.

“ මාත් ආවේ ඇදුරුම්කමක් තියාගෙන තමයි. ඒත් මේ තරම් මිනිස්සු පෝලිමේ ඉන්දැද්දි පෝලිමට පිටින් යන එක හරි නැති නිසා තමයි මේ විදියට පෝලිමේ ඉන්නේ ”

“ ඇදුරුම්කමක් තියෙනවා නම් යන්නේ නැත්තේ ඇයි? ” තරමක විමතියෙන් මෙන් ඔහු කීවේ මට ඉඩ දෙමිනි. පෝලිමේ ඉදිරියෙන්ම සිටින්නේ මා වුවද ඇතුළට ගිය තැනැත්තා එනතෙක් කාමරයට ඇතුලු විය නොහැකිය.

“ ඔන්න මහත්තයා යන්නේ නැතිනම් මං යනවා ”, එසේ කී ඔහු ඒ නිමේෂයෙන්ම කාමරයේ සිටි තැනැත්තා නික්ම යන්නටත් පෙරම දොර විවෘත කරගෙන සිය හිතවතාද සමග කාමරයට රිංගා ගත්තේ මට හිතන්නටවත් ඉඩක් නොදෙමිනි.

ජංගම දුරකථනයෙන් කතා කළ තරුණයාට ගෝරනාඩු කළ ආරක්ෂක නිලධාරියාට ද මේ දෙබස ඇසුණත් ඔහු බීරෙකු සේ නිහඩය.

මෙවැනිම අත්දැකීමක් ආගමන හා විගමන කාර්යාලයේ දී මෙයින් වසර කිහිපයකට පෙර ලැබූ හැටි මට මතකය. මගේ දෑස් ඉදිරිපිටම එහිදී සිදුවූයේ මහ දවල් මංකොල්ලයක් බදු වූ මගඩි රැසකි.

මම මට පසුපසින් පෝලිමේ සිටි පිරිස දෙස බැලුවෙමි. පහළොවකට වැඩි පිරිසක් පෝලිමේය. මගේ පසුපසින්ම සිටියේ තාත්තා කෙනෙකුගේ වයස ඇති අහිංසක ගැමියෙකි.

“ අර මනුස්සයා ආවට පස්සේ මම යනවා. කිසි කෙනෙකුට පෝලිම පනින්නට දෙන්න එපා. මං එළියට එද්දිම ඔය මහත්තයා ඇතුළට යන්න ”, මා උස් හඩින් කීවේ නීති විරෝධීව පෝලිම් ගැසී සිටි පිරිසට ඇසෙන ලෙසය. මගෙන් පසු ඒ අහිංසක ගැමියාට කාමරය තුළට යන්නට ඉඩක් ලැබුණා ද යන්න ඇත්තටම මට මතක නැත. එයට හේතුව මා කාමරයෙන් පිටතට ආවේ විපිළිසර මනසකින් යුක්තව නිසාය. පැයක පමණ කාලයක් පෝලිමේ රස්තියාදු වීමෙන් පසුව අන්තිමේ දී මට දැනගන්නට ලැබුණේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියාත්, උසස් පොලිස් නිලධාරියාත් කිවූ ලෙසින් සහතිකයක් මට අවශ්‍ය නොවන බවයි.  තම රාජකාරියට අයත්, තම දෙපාර්තමේන්තුවට අයත් බොහෝ සේ සරල රාජකාරී කාරණාවක් සැක හැර දැන ගැනීම වෙනුවෙන්ම ලංකාවේ ගත කළ අතිශය කෙටි කාලයෙන් වටිනා වරුවක්ම ගත වී ගියේය. තම වෙබ් අඩවියට එකම එක පේලියක් පමණක්ම එක් කීරීමෙන් මෙය කරන්නට හැකි බවට වූ නුවණැසක් අනේ ඔවුන්ටත් තිබුණා නම්!

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

කොල්ලුපිටියේ අතුරු මාර්ගයකින් වාහනය පදවා ගෙන පැමිණි මම ගාලු පාරට වාහනය හරවා ගැනීමේ අපේක්ෂාවෙන් සිටියෙමි. ඒ ඉරු දින සවස් වරුවේ ගාලු මුවදොර සරුංගල් සැණකෙළියක් තිබූ බැවින් කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර දක්වා මාවත බොහෝ සේ තදබද වී තිබිණ. මා යමින් සිටියේ සරුංගල් සැණකෙළියට නොවුණත්, මා යමින් සිටි ස්ථානය ඇත්තේ ගාලු මුවදොරත්, කොල්ලුපිටියත් අතර තැනක වූ බැවින් ඒ සදහා වෙනත් විකල්ප මාර්ගයක් මට තිබුණේ නැත. තදබදය නිසාම ප්‍රධාන පාරේ සිටි පොලිස් නිලධාරියෙක් සිය දෑත් වලින් වාහන හසුරවමින් සිටියේය. පොලිස් නිලධාරියාගේ සංඥාව ලැබෙන තුරු අතුරු පාරෙන් ගාලු පාරට වාහනය හැරවීම සදහා සිටි වාහන පෙළෙහි මුලින්ම සිටියේ මාය. හතර අතටම වාහනත්, මිනිසුනුත් එකට පොදි කමින් සිටි ඒ මංසන්ධියේ වාහන හැසිරවීම ඇත්තෙන්ම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.  මගේ පසුපසින් සිටි වාහනය නොනවත්වාම වාහනයේ නළාව ශබ්ද කරමින් සිටියේය. මේ වාහන පෙළ නොතකා වාහනය ධාවනය කරන ලෙස ඔහු මට කරන විධානයකි ඒ. ඉදිරියෙන් පොලිස් නිලධාරියෙකු පාර හසුරුවන බව ඔහු නොදැන සිටියා විය යුතුය. පාර පනින පදිකයෙකුට වාහනය නැවැත්වූ විට “ඇයි ඉඩ දුන්නේ?” යන ප්‍රශ්නාර්ථය නැගීමටත්,  වාහනය ධාවනය කරන සංඥාව හගවමින් කොළ එළිය වැටෙන්නටත් පෙර රතු එළිය තිබියදීම “දැන් සූදානම් වෙයන්” යන අනතුරු හැගවීම කරන්නටත්, නියමිත වේගයෙන් වාහනය ධාවනය කරන විට “හයියෙන් පලයන්” යන විධානය දෙන්නටත් පසුපසින් එන  වාහන වලින් නැගෙන මේ ආකාරයේ හෝන් විධාන වලට මේ වනවිට මා බොහෝ සේ හුරු පුරුදුව සිටි බැවින් මට පසුපසින් නොනවත්වා නැගෙන හෝන් හඩ මම මොහොතකටවත් මායිම් නොකළෙමි. එහෙත් මා කණස්සල්ලෙන් සිටියේ ඉදිරියේ සිටින පොලිස් නිලධාරියා මේ හෝන් හඩ නැගෙන්නේ මගෙන් යැයි සිතා දැන් දැන් පැමිණ මට දඩ කොළයක් ලියාවිය යන සිතිවිල්ලෙනි. මහත් පුදුමයකි. රථ වාහන හසුරවමින්ම මා දෙස බැලූ පොලිස් නිලධාරියා “ මොහොතකට ඉවසා ඉන්න ” යන සංඥාව මට කළේ “මගේ හෝන් නාදයට ” කාරුණික ප්‍රතිචාර දක්වමිනි.

ඒ පුදුමය වැඩි වේලාවක් දරා ගෙන ඉන්නට මට ලැබුණේ නැත. ගාලු පාරට හැරවූ සැනින්ම වාගේ ප්‍රධාන පාරේ පාර පනින්නට ඇති කහ ඉරි තීරු මතින් රථ වාහන පොලිස් නිල ඇදුම හැඳ සිටි තවත් පොලිස් නිලධාරියෙක් පාර පනිමින් සිටියි. මගේ ඉදිරිපිටින් සිටි වාහනයේ රියදුරා කහ ඉර මතින් පාර පනින පොලිස් නිලධාරියාට නොනවත්වා හෝන් හඩ නාද කරයි, ඒ ඉක්මනින් පාර පනින ලෙස පොලිස්ක නිලධාරියාට කරන විධානයකි. “මේ සැරේ නම් එයාට දඩ කොළය ෂුවර්”,  මම සිතුවෙමි. තවත් පුදුමයකි. “පොඩ්ඩක් ඉන්න” යැයි අතින් සංඥා කළ පොලිස් නිලධාරියා ඉක්මන් ගමනින් පාර පැන්නේය.

මහ පාරේ නීතිය හසුරවන්නේ රියදුරුන් නම් රටේ නීතිය හසුරවන්නේ කවුරුන් විය හැකිද?

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

මොරටුව හරහා ගිය ගමනක දී සපත්තු ජෝඩුවක් මිලදී ගන්නට සපත්තු වෙළෙඳ සැලකට ගොඩ වැදුණෙමි. මගේ සිතට සරිලන සපත්තුවේ මට අවශ්‍ය ප්‍රමාණය සොයා ගෙන එනතෙක් වීදුරු කවුළුවෙන් පිටත බලා සිටි මගේ නෙත ගැටුණේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ සමරු ඵලකය වෙතය. වීදුරු කවුළුවෙන් මා කියවූ දේ නිවැරුදිදැයි මටම විශ්වාස කළ නොහැකි වූයෙන් සාප්පුවෙන් ඉවතට විත් සමරු ඵලකය යළිත් වරක් සමීපව කියවූවෙමි. මා කියවූ හැටි නිවැරැදිය. සමරු ඵලකයේ සටහන් වන විදියට ජනතා මුදලින් ගොඩනැගිල්ල නිමකරන්නට මුල් වී ඇත්තේ මොරටුව “ වන්දනීය ” නගරාධිපති විසිනි. (ගොඩනැගිල්ල විවෘත කර ඇත්තේ 2005 වසරේ දීය).

20180820_092515_HDR

මා දන්නා දැනුමේ ප්‍රමාණයට වන්දනීය යන්නෙහි අරුත වන්දනාමානයට සුදුසු වූ එසේත් නැතිනම් ඉංග්‍රීසි බසින් HONOURABLE යන්නෙහි පර්යාය පදය වන පූජනීය යන අරුත දෙන වචනයකි. මොරටුවේ නගරාධිපතිවරයා හිමිනමක් හෝ වෙනත් ආගමක පූජකවරයෙකුදැයි ඇති වූ කුතුහලය නිසාම මා ඒ නම කිහිප වරක්ම කියැවූවෙමි. එහෙත් එය ගිහි නමක් බව මම වටහා ගත්තෙමි. මහජනතාවගේ බදු මුදලින් ගොඩනැගිල්ල ඉදිකළ බව සමරු ඵලකයේම සටහන්ව ඇති නමුත් සමරු ඵලකයට සම්මාදන් වූවෝ බොහෝය. ඔබ විශ්වාස කරන්නේ නම්, මේ සමරු ඵලකයේ සටහන්ව ඇති නම් ගම් ප්‍රමාණය තිහකි.  වීවෘත කරන්නට සහභාගි වී ඇත්තේ ද  කොළඹ සරසවියේ නීති පීඨය පවා හෙබවූ මහාචාර්ය ඇමැතිවරයෙකි. වන්දනීය යන්නට මා නොදන්නා වෙනත් තේරුමක් තිබිය යුතුමය. නැතිනම් මේ සමරු ඵලකයේ දෙතැනකම සටහන් වී ඇති “වන්දනීය” යන වචනය එසේ තියන්නට සමරු ඵලකයට නම ඔබා ගත් ඒ උගත් උතුමන් තිස් දෙනාගෙන් අඩුම තරමින්  එක් අයෙකු හෝ ඉඩ නොදෙන බව සහතිකය.

නොදන්නා දේ ඉගැනීම මගේ පුරුද්දකි. එබැවින් මගේ දැනුම වර්ධනය කරගනු වස් මේ සමරු ඵලකයේ පින්තූරයක් ගෙන මා හිත මිත්‍ර සිංහල ඇදුරෙකුට පෙන්නූවෙමි. “ගැටලුවක් නැහැ… කොළඹට ඉන්නවා පැන්ෂන් ගිය රූප රාජිනියක්,  මහරගමට ඉන්නවා නගරාධිපති සර් කෙනෙක්, මොරටුවට ඉන්නවා වන්දනීය නගරාධිපති කෙනෙක්… ඉතින් උඹට අවුල්ද? ” මා අවුල්දැයි නැතැයි කියාගන්නටත් පෙරම, තමන්ගේ ජංගම දුරකථනය ඇදගත් ඔහු තවත් ඡායාරූප කිහිපයක් මට පෙන්නුවේය. (තමන්ගේ ඇස ගැටෙන මෙවන් ඡායාරූප රැසක් ඔහුගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබුණි. ඔහු මට කීවේ එය තමන්ගේ අධ්‍යයන කටයුතුවලදී මහත් සේ ප්‍රයෝජනවත් වන බවය)

FB_IMG_1528036182153

ඔහු පෙන්වූ එක් සමරු ඵලකයක කොයි තරම් නම් ගම් ඔබා සිර කර තිබුණේ ද කියනවා ඒ දුටු මට සිහිවූයේ ජොකියන්ගේ නම් ගම් ඔබ්බවූ රේස් පත්තරයකි. ඔහු පෙන්වූ තවත් තවත් සමරු ඵලකයක ඡායාරූපය අනුව රටේ අධ්‍යාපන ඇමැතිවරයා සඳුන් ගසක් හිටවා තිබේ. සඳුන් පැලයට පිංසිදු වෙන්නට ඇමතිවරයා වෙනුවෙන් ද මහා සමරු ඵලකයක් ඉදිවී තිබේ. (මේ සටහන ලියද්දී ඒ ඡායාරූප දෙක මට එවන්නට ඔහු කාරුණික වූයේය)

පළාත් සභා මන්ත්‍රීවරුන්ට, නගරාධිපතිවරුන්ට ඇමතිවරයාට, නගරාධිපතිවරයාට මෙහෙම නම් රටේ අගමැතිවරයාට, ජනාධිපතිවරයාට කොහොම සමරු ඵලක ඉදිවෙනු ඇතිද? පොළොන්නරුවට ගිය ගමනේ දී සිද්ධ වෙනවා යැයි කියන සංවර්ධන ව්‍යාපෘති ගැන ලක්ෂ ගණනින් නාස්ති කරමින් පාර පුරා ඔසවා තිබූ යෝධ දැන්වීම් පුවරු විදුලියක් මෙන් මගේ සිතිවිලි අතරින් ඇදී නොපෙනී ගියේය. ඒ දැන්වීම් පුවරුවල පමණක් මුදල් එකතු කළේ නම් නාගරික රෝහලක් හෝ නාගරික පාසලක් පහසුවෙන්ම ඉදිකරන්නට හැකියාව තිබුණි. හම්බන්තොට වරාය විවෘත කරන්නට කළ රැගුම් ගැයුම් වෙනුවෙන් වැය කළ කෝටි දෙකහමාරක බිල්පත් පවා ඒ එක්කම මගේ මනසේ ඇදී නොපෙනී ගියේය.

FB_IMG_1535680775828

මේ සියලු සංවර්ධන කටයුතු, සියලු ගොඩනැගිලි ඉදිවන්නේ මහජනතාවගේ බදු මුදලිනි. දේශපාලකයන් සිය නිවසින් ගෙනා එකම එක සතයක් හෝ සංවර්ධන ව්‍යාපෘති වලට දායක වී නැත. එබැවින් සමරු ඵලක වුවමනාම නම් ඒවා ඉදිවිය යුත්තේ බදු මුදල් ගෙවන මහජනතාව වෙනුවෙනි.  මේ අකාරයේ ඔලමොට්ටල සංවර්න ඵලක ඉදිවන වේගයටත්, ඒවායෙහි නම් ගම් එබෙන ප්‍රමාණයටත් සමානුපාතිකව රටක පුරවැසියන්ගේ වහල්කම හා දීනකම ප්‍රදර්ශනය වන්නේය.

“ උඹට අවුල්ද ? ”යාළුවා යළිත් ඇසුවේය.

ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සිය ධුර කාලය පුරාම වරින් වර මහ පොළොව හාරා ගස් සිටවූයේය. කවුරුන් හෝ ගත් ඡායාරූපයක් හැරෙන්නට සමරු ඵලක නැත. ලොව පුළුල්ම පාලමට හිමි ගිනස් වාර්තාව ඇති අතිශය දැවැන්ත පාලම ඇත්තේ කැනඩාවේ මගේ නිවස පෙනෙන නොපෙනන මානයේය. පාලමේ කිසිම තැනක සමරු ඵලකයක් නැත. අනේ ඇමරිකාවත්, කැනඩාවත් ලංකාව තරම් පොහොසත් වුණා නම්…!

obama_planting_trees_z.jpg

 

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

පොළොන්නරුවේ දීප උයනට ඇතුලු වුණෙමි. කලින් සූදානම්ව සිටි කාර්යයකට තවත් හෝරාවක පමණ කාලයක් ඉතිරිව තිබූ බැවින් දීප උයනේ හිස් අවකාශය සිතට සිසිලසක් ඇති කරනු ඇතැයි සිතුණු බැවිනි ඒ. තණ නිල්ලෙන් වැසුණු ඒ කුඩා බිම් තීරුවට ඇතුලු වෙන්නටත් පෙරම, “ ටිකට් අරගෙනයි යන්න ඕනේ ” කියන හඬක් මතු වුණෙන් රුපියල් විස්ස ගණනේ ගෙවා සැමට ටිකට් පත් ලබා ගත්තෙමි.

දීප උයනෙන් නික්ම යාමට මත්තෙන් වැසිකිළිය වෙත පා නැගූ සැමට ටිකට් පත් නැවත අලෙවි කෙරුණේය. “රුපියල් දහයයි ” පිරිසිදු කරන්නිය කීවාය.

“ ඇයි අපි දැනටමත් සල්ලි දීලානේ ආවේ ?”

“ඒ පාක් එකට එන්න විතරයි. වැසිකිළියට ඇතුලු වෙන්න වෙනම ටිකට් ගන්න ඕනේ ”

උද්‍යානයට ඇතුලු වෙන ප්‍රවේශ පත් අලෙවි කරන කුටියත්, වැසිකිළියත් ඇත්තේ එකිනෙකට ඉතා සමීපවය, මීටර් කිහිපයක් නුදුරිනි.

“ඉතින් ඇයි එක ටිකට් එකකින් ඔය හැම දෙකම කරන්න බැරි ? මේක බොහොම පොඩි උද්‍යානයක්නේ” ප්‍රශ්නය ඇයට එල්ල කිරීමෙන් පළක් නොවන බව ප්‍රශ්නය නගද්දීම වැටහී ගියෙන් ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවූවෙමි.

පෙරදා දිවා ආහාරය සදහා ගොඩ වූ හෝටලයේ වැසිකිළියේ ද මෙවැනි දැන්වීමක් අලවා තිබූ බව මගේ මතකයට ආවේය. “හෝටලයේ අහාර පාන ලබා නොගන්නා අය වැසිකිළිය වෙනුවෙන් රුපියල් පනහක් ගෙවිය යුතුය”, යන්න එහි සටහන්ව තිබුණේය. දීප උයන, හෝටලය පමණක් නොව රට හරහා ගිය ගමනේ දී මෙවැනි දැන්වීම් පුවරු මම ඕනෑ තරම් දුටුවෙමි. මිනිසෙකුගේ අතිශය මූලික අවශ්‍යතාවක් වෙනුවෙන් මුදල් අය කරන ලොව එකම රට ශ්‍රී ලංකාවදැයි මම නොදන්නෙමි. ඒත් මා සංචාරය කර ඇති වෙනත් කිසිදු රටක එවැනි පුද්ගලික අත්දැකීමක් මට නැත.

“වැසිකිළිය භාවිත කිරීම සඳහා මුදල් අය කරනු නොලැබේ” යන දැන්වීම මගේ මුලු මහත් ජීවිත කාලය පුරාවටම මුල්ම වරට මා දුටුවේ ද මේ ගමනේ දී ලංකාවේදීය. වැසිකිළියට මුදල් අය නොකරන බව සිංහල, දෙමළ හා ඉංග්‍රීසිය යන භාෂා තුනෙන්ම සටහන් කරන්නට තරම් මහා ප්‍රවෘත්තියක් වීම ගැන මුවගට නැගුණු සිනාව නිසාම එහි ඡායාරූපයක් ගත්තෙමි. මේ දැන්වීම් පුවරුව මා දුටුවේ සීගිරිය කෞතුකාගාරයේය. ඒත් නොමිලයේ ලැබෙන වැසිකිළිය භාවිත කරන්නට පෙර කෞතුකාගාරය වෙනුවෙන් මුදල් ගෙවා ප්‍රවේශ පත්‍ර ලබා ගත යුතුය. (ලොව අට වැනි පුදුමය ලෙසින් නම් කරන්නට තරම් ලෝකයා විස්මිත කළ සීගිරියේ කෞතුකාගාරය නම් එවැනි පුදුමයකට කිසිසේත්ම උචිත නොවූ ඇල්මැරුණු කෞතුකාගාරයක් බව නම් නොකියාම බැරිය)

20180823_120625_HDR (1)

වැසිකිළිය ගැන කතාව ඇදුණෙන් ඒ හා බැඳුණු තවත් කතාවක් මගේ මතකයට එන්නේය. වසර ගණනාවකට පෙර ජීවිතයට බෙදා හදා ගත් ස්ථානයක් තරමටම සමීප වූ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටින් රිය පදවා ගෙන යද්දී ඊට ගොඩවී යන්නට මහත් සේ ආසා ඇති විය. ඒ හදිසි සිතිවිල්ලෙන්ම වාහනය පුස්තකාල භූමියට ඇතුලු කළෙමි. අතීත ස්මරණයන් ඔස්සේ පුස්තකාලයට ගොඩ වැදී ඒ මතක අතර සැරිසරා පුස්තකාලයේ ආපන ශාලාව වෙත දෙපා ඔසවද්දී දුටු දැන්වීමෙන් මම යළිත් වරක් විස්මයෙන් විස්මයට පත්වීමි. “ වැසිකිළිය භාවිත කරන්නට නම් රුපියල් දහයක් ගෙවිය යුතුයි ”. පොත් පත් ඇසුරු කරන්නට, පාඩම් කරන්නට දවස පුරා දරු දැරියන් රැඳී සිටින කොළඹ මහජන පුස්තකාලයේ ජරාජීර්ණ වැසිකිළිය භාවිත කරන හැම අවස්ථාවකම  රුපියල් දහය ගානේ. කොළඹ පුරපතිනියගේ වැසිකිළිය අලුත්වැඩියාවට පමණක් ඒ දූ දරුවන්ගේ දෙමව්පියන්ගේ බදු මුදලින් රුපියල් ලක්ෂ එකසිය හතළියක්! ආසියාවේ ආශ්චර්යය.

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

උදේ පාන්දර හිමිදිරියේ ඉර නැග එන්නටත් පෙර පොළොන්නරුවේ ගල් විහාරයට ගියෙමි. මිනිස් හඬින් තොර වූ ඒ මහා පිංබිමේ සිට එහි අතීත සෞභාග්‍යය සිතින් මවා ගත්තෙමි. කුරුළු හඩ හා ගස් අතු අතර පැන දුවන රිලා පැටවුන් මිස කිසිදු හඩක් නැත. උත්තුංග බුදුරුවේ ගල් කුළු මත තැවරුණු සිසිලස හදවත පතුලටම දැනුණු තරම්ය. සිත පුරා නැගුණු පහන් සිතිවිලිත් සමග පොළොන්නරුවේ කිරිවෙහෙර භූමිය ඔස්සේ රන්කොත් වෙහෙර වෙත පා නගන්නට සිතුවෙමි. ගල්කුළක අලවා තිබූ පෝස්ටරයක් නෙත ගැටුණේ කිරිවෙහෙරෙන් පිටතට ආ මොහොතේය.

“ සූවිසි දහසක් මහ රහතුන් වන්දනාව – පහන් අසූ හාර දහසක මහා අලෝක පූජාව – පැන් පාත්‍රා විසි හතර දහසක මහා පැන් පූජාව – ගුවන් ගැබෙන් ඇද හැලෙන පිච්ච මල් පූජාව සහ ලක්ෂ ගණනින් සුවඳ මල් පිදෙන මහා පුෂ්ප පූජාව… ” තවත් මෙකී නොකී අරුමෝසම් බොහෝය. පූජාව මෙහෙවන හිමියන්ගේ නම ද දැවැන්ත අකුරින් සටහන්ව තිබුණි. චෛත්‍යය වටලා උන්වහන්සේ කළ පළතුරු පූජාව මේ දැන්මවීම කියවද්දී මතකයේ ඇදී නොපෙනී ගියේය.

Rankoth

“දැන් පොළොන්නරුවේ කාටවත් ළිං වතුර බොන්න බැහැ. අපි වතුර ගන්නේ සල්ලී දීලා. ළිං වතුර වලට වස විස කවලම් වෙලා. බොහොම දෙනෙකුට වතුර ගන්න සල්ලි නැහැ. මැදිරිගිරිය පැත්තේ දරුවෝ නහයෙන් ලේ දාලා මැරෙනවා, වතුර සල්ලි දීලා ගන්න දෙමව්පියන්ට වත්කමක් නැති නිසා” මගේ මිතුරා කීවේ දැන්වීම කියවන්නට මා බොහෝ වේලාවක් ගත කරන බව දුටු නිසාය. මේ මහා පැන් පාත්‍රා විසි හතර දහස ඒ දරුවන් වෙනුවෙන් වැය වූවා නම්… අර මහා පළතුරු සලාදය ආර්ථික අගහිගකම් නිසා දිවි නසා ගන්නා දරු පවුල් වෙනුවෙන් වෙන් වුණා නම්….!

“ශ්‍රද්ධාව වැඩි වුණාමත්, ප්‍රඥාව ගිලිහිලා ගිහින් මහ ගොබ්බ සිතිවිලි තමයි අන්තිමට පහළ වෙන්නේ” මගේ මිතුරා කීවේය.

ගල් විහාරයේ දී සිතට දැනුණු අපමණ පහන් හැගුම්, සිත කොණින් මෝදු වී එන අපුලින් වැසී යා නොදිය යුතු බැවින් මම නැවත ආපසු හැරුණෙමි.

“ඇයි රන්කොත් වෙහෙරට යන්නේ නැද්ද ?”

“එපා… ආපහු ලංකාවට ආපු දවසක යමු” මිතුරා කිසිත් නොකීවේය. මහා පූජාව ගැන ඇළවූ දැන්වීම් පත්‍රිකා පිරුණු බොරළු පාර දිගේ අපි  බොහෝ දුරක් ඇවිද ආවෙමු. නිහඩව ඇවිද ආවද අපේ සිතිවිලි දොඩමළු වූයේ එකම අයුරින් බව අපි දෙදෙනාම දැන සිටියෙමු.

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

පොළොන්නරුවේ සිටි කාලය තුළ මා නැවතී සිටි නවාතැන පිහිටා තිබුණේ වැවක් අද්දරය. එය පරාක්‍රම සමුද්‍රයටම සම්බන්ධ වැව් තටාකයක් ද යන්න හරි හැටිම නොදන්නා නමුත් ඒ බිම් කඩ අතිශය සුන්දරය . ඉර බැස ගිය සවස් වරුවේ වැව් සිසිල විඳිනු රිසින් වැව අද්දරට පියමං කළෙමි. අලින් පන්නා හරිනු සදහා අධි සැර සහිත අලි වැටක් ඉදිකර තිබුණ ද වැව් තාවුල්ලේ සුවය විදින්නට එය කිසිසේත්ම බාධාවක් නොවීය.

මා සිටි වැව් තලය කෙළවරට වන්නට පිහිටි මහා මන්දිරයකින් නොනවත්වා වරින් වර විදුලි පන්දම් එළි ඈතට විහිදෙනු පෙනුනෙන් අසල සිටි ගම්වැසියෙකුගෙන් මම ඒ ගැන විපරම් කෙරුවෙමි. මන්දිරයේ අයිතිය ඇත්තේ ජනාධිපති පුත්‍රයෙකුටය. පුත්‍රයා මන්දිරයේ ඇතත් නැතත් කමාන්ඩෝ ආරක්ෂාව තරය. එළි දල්වන්නේ ආරක්ෂාව සහතික කරනු පිණිසය. මන්දිරය හිමි ජනාධිපති පුත්‍රයා රටේ සිවිල් සේවයේ හෝ ආරක්ෂක සේවයේ නිලයක් හොබවන්නට තරම් මුහුකුරා ගිය තරුණයෙක යැයි මා සිතන්නේ නැත. ආරක්ෂාව දෙන්නට තරම් ඔහුට ඇති තර්ජනය කුමක්දැයි මා දන්නේ ද නැත. රට සාමයෙන් පිරුණු සුරක්ෂිත දිවයිනක් බවට සහතික ලබා දෙන්නේ ද රජයමය. එබැවින් කමාන්ඩෝ ආරක්ෂාව මැද මන්දිරයක ජීවත් වීම ඔහුගේ සරල දිවි පැවැත්මේ සාමාන්‍ය අංගයක් විය යුතුය. හරියට මල්වානේ මන්දිරය මෙන්ය. අලුතින්ම හිතන්නට පුරුදු පුහුණු විය යුතු බොහෝ දේ රට තුළ සිදුවෙමින් පවතින්නේය. අපේ රටේ පරිපාලන සේවයට එක්වූ උගතුන්ට උපදෙස් දෙන්නට ජනාධිපති දියණියක වීම පමණක්ම ප්‍රමාණවත් බව එසේ මා මෑතකදී අවබෝධ කරගත් තවත් එක් කාරණාවකි.  “ජනාධිපති තාත්තා” කෙනෙකු සිටීම හරිම අපූරුය.

නීති විද්‍යාලයේ වැඩිම ලකුණු ලබා ගත් නීති ශිෂ්‍යයා, නාවික හමුදාවේ දක්ෂතම නාවික නිලධාරියා, ශ්‍රී ලංකාවේ ප්‍රථම අභ්‍යවකාශ විද්‍යාඥයා ද බිහිවූයේ එවැනි ජනාධිපති තාත්තෙකු සිටි එකම පවුලකිනි. එකම පවුලකින් මෙවැනි වාර්තාවන් තබන්නට තරම් සමත්කම් දැක්වූ වෙනත් රාජ්‍ය නායක පවුල් ලොව ඇතිද යන්න සෙවීම ගිනස් කමිටුවට භාරය.

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

සීගිරියෙන් පිටත් වී අනුරාධපුරයට එද්දී දවල් වී නොතිබුණෙන් සෙසු ස්ථාන කිහිපයක සැරිසරා නවාතැන වෙත ගියේ රුවන්වැලි සෑය වෙත යන්නට සුදුසුම වේලාව එය නොවන බව සිත කී බැවිනි. හිමිදිරි පාන්දර ගල් විහාරයට ගියාක් මෙන් හිරු බැස යන අඩ අදුරේ රුවන්වැලිසෑය අබියස හෝරාවක් දෙකක් තැන්පත්ව සිටින්නට සැලසුම් කරගෙන සිටියේ ලංකාවට එන්නටත් පෙර සිටමය.

සිහින් පිනි පොද වැස්සක් ඇද වැටුණු ඒ අපූරු හැන්දෑව හරිම මිහිරිය. නවාතැන් පොළේ සිට රුවන්වැලි සෑය වෙත පිය නැගුවේ ඒ මිහිරියාව ද සිත්හි දරාගෙනමය. රුවන්වැලි සෑයට වැටෙන මාවත අද්දර තරුණයෝ පිරිසක් මහ සෑයට ඇදෙන පිරිස වෙත ළා දම් පැහැති වරා මල් බෙදා දෙති. ඒ අපූරු තරුණයන් පිරිස ගැන ඇති වූ පහන් හැගිමින් සිත පිබිදී යනවාත් එක්කම ඇසුණු මහා ඝෝෂාවකින් මගේ අවධානය වරා මල් වෙතින් මහා සෑයට පිවිසෙන දොරටුව වෙත යොමු වූයේය. මා සිතුවේ කිසියම් කලබලයක් කියාය. මා සිතූ හැටි වැරදිය. එකිනෙකට වෙනස් රිද්මයන්ගෙන් නැගුණු සාධුකාරයත්, බෙරහඩත්, අතරින් ඇදෙන මහ පෙරහරකි ඒ. පෙරහරේ ගෙනියන්නේ “මහා චීවරයකි”. වරා මල් දෑතින් ගත් උපාසක උපාසිකාවෝ චීවරය තමන් පසුකර යන්නට පෙර ඊට අතගැසීමේ ලොබින් එහේ මෙහේ දුව යති. ඒ ගාලගෝට්ටිය නිම වනතෙක් තරමක් වේලා මහ සෑයට පිටතම රැදී සිටි අපි ඉන්පසුව මහ සෑ භූමියට ඇතුලු වූයෙමු.

මා බලාපෙරොත්තු වූ කාරණාව කිසිසේත්ම ඉටුකරගත නොහැකි බව පසක් වූයේ රුවන්වැලි සෑ භුමියට ඇතුලු වූ සැණකින්මය. මහ සෑයට පිටින් අප දුටු චීවර පෙරහැර මෙන්ම, තවත් චීවර ගත් පෙරහැර ගණනාවක් මහ සෑය වටා සක්මන් කරති. මහ සෑයට පැමිණ සිටි පිරිස ද මේ චීවර පෙරහැර වෙත ලහි ලහියේ යමින් ඊට අත ගසන්නට තැත් දරති. බෙර හඩ පරයා මහා සෙනගක මිනිස් හඩ දෝංකාර දෙන්නේය. ඒ අතරේ සිවුරු දරාගත් හිමිවරුත්, ගිහියෝත් මහ සෑයට නැග, ලහි ලහියේ මහ සෑය වටා සිවුරු අන්දවති. කඩිනමින් කළ යුතු බැවින් මහ සෑය උඩ ඔවුහු ඔබනොබ දුව යති. බිම සිටින ගිහියෝ මහ සෑයට සිවුරු අන්දවන පිරිසට උස් හඩින් උපදෙස් දෙති. නිස්කලංකයක් සොයා ඒ මහා සෑය වටාම පැදකුණු කළ ද මේ චීවර පෙරහැරේ ගාලගෝට්ටියත්, සෑය වටා සිවුරු අන්දවන පිරිසගේ කසිලි බිසිලියෙනුත් මිදෙන්නට කිසිම ඉඩක් කොතැනකවත් නැත.

IMG_1903.JPG

මහ සෑ රදුන් ඉදිරියේ තිබුණු එක්තරා කුටියක වසර ගණනාවක් පුරා එක්රැස් වූවයි සිතිය හැකි අටපිරිකර ගොඩ ගසලාය. තවත් කොණක රන්වන් පාට කළ කළ ගෙඩිවල නෙළුම් මල් පුරවලාය. සිහින් පිනි පොද වැස්ස නිසා තෙත් වූ භූමිය තමන්ගේ චීවර පූජාවට බාධාවක් කරාවිදෝ යැයි සිතුණු බිය නිසාදෝ තවත් පිරිසක් කොහේදෝ සිට ගෙන එන වතුර ඇද දමමින් මඩ සෝදා දමන්නට ගත් විගඩමෙන් සෑ මළුව තවත් මඩ වෙමින් තිබිණ.

IMG_1920.JPG

පොළොන්නරුවේ රන්කොත් වෙහෙරේ පැන් පාත්‍රා පූජාව හා පළතුරු පූජාව මෙන්ම මේ මහා චීවර පූජාවත් එකම හිමිනමකගේමද යන්න මම නොදනිමි. එය දැනගැනීමෙන් ඇති පළක් ද නැත. පූජාවන් කෙරෙන්නේ තරගයටය. එකෙකුට එකෙක් නොපරදින්නටය.

මහ සෑය ඉදිරිපිට කරන්නට අප සිතා සිටි කාරණාව සිහිපත් වීමෙන්දෝ මේ මහා ගාලගෝට්ටිය නිසා විපිළිසරව සිටි මගේ වැඩිමහල් දියණිය මා දෙස බැලුවාය.

“ අපි යමු… මේ මං දැනගෙන හිටිය බුද්ධාගමවත්, මං දැන හදුනාගෙන හිටිය බෞද්ධයෝවත් නෙමෙයි ”, මම ඇයට කීවෙමි. අපි ගිය පයින්ම ආපහු ආවෙමු.

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

කොළඹට එන අතරතුර අවුකන ප්‍රතිමා භූමියට ද පිය මැන්නෙමු. ලොවක් මවිත කළ ඒ අසහාය ප්‍රතිමාව අබියස දී සිතට මතුවන අප්‍රමාණ වූ හැගුම් සමුදාය නිදහසේ විඳින්නට ඉඩක් නැත්තේ ආධාර දෙන පිංවතුන්ගේ නම් ගම් කියමින් මයික්‍රෆෝනයෙන් මතුවන අප්‍රසන්න යකඩ හඩවල් නිසාය. අවුකන යනු මහා පෞරුෂත්වයෙන් සපිරි බුදු පිළිමයක් පමණක්ම නොවේ. අසහාය ප්‍රතිභාවක් සහිත කලාකරුවෙකුගේ අර්ථ පූර්ණ කලාකෘතියක් ද වේ. ඒ කලාකෘතිය විදිය හැක්කේ ප්‍රතිමාව ඉදිවූ පරිසරයේ ඇති සොබා දහම හා අනුගත වෙමින් මිස වානිජකරණයට ලක් වූ පන්සලක් තුළ දී නොවේ.

ප්‍රතිමාව පෙනෙන නොපෙනෙන සීමාවේ ප්‍රතිමාව ඉදිරියෙන් ලහි ලහියේ ඉදිවන ගොඩනැගිල්ලකි. මේ ගොඩනැගිල්ල ඉදිවූ පසු යකඩ කටවල් තුළින් දිවා රෑ පුරා පිරිත් සජ්ජායනා විකාශය නොවනු ඇතැයි සිතන්නට විහාර භූමියේ දැන් පවතින පරිසරය වෙතින් කොහෙත්ම ඉඩක් නැත.

“ සමහර විට අවුකන ප්‍රතිමාව මේ විදියට හරි විදින්න ලැබෙන අන්තිම අවස්ථාව මේක වෙන්න පුලුවන් ” මා මගේ බිරිදට කීවේ ගොඩනැගිල්ල ඉදිරිපිටින් ආපසු එන ගමනේ දීය. එය කියා නිම වෙන්නටත් කලින් ඉදිරියෙන් ඇසුණේ විශාල බැන අඩ ගැසීමකි. ඒ චීවරයක් දරා ගත් කෙනෙකුගෙනි. හිමිනමක් යන්න භාවිත කරන්නට මගේ හිත නොදෙන්නේ ඇසුණු වදන් කිසිසේත්ම සභ්‍ය නොවූ බැවිනි. මේ බැන අඩගැසීම කුමක්දැයි කන් දුන් විට මා වටහා ගත්තේ මේ බැන වදින්නේ අප ඉදිරියෙන් ගිය දැරිවියන් කිහිප දෙනා අතර සිටි එක දැරියක වෙත බවය. කිසිසේත්ම අසභ්‍ය ඇදමක් නොවූවත්, ඇය ඇඳ සිටි ඇඳුම දික්වී තිබුණේ දණහිස දක්වා පමණය.  එහෙත් චීවරධාරියාගේ මුවින් පිටවූ වචන ඇඳුම් හැඳ සිටි අයට පවා ඇඳුම් ගලවා උනා දමන්නට සිතෙන තරමටම පරුෂය.

“ සිවුරු දරාගෙන ඉන්න හැමෝම හාමුදුරුවරු නෙමෙයි. ඔයා ඒ දැක්කෙත් හාමුදුරු නමක් නෙමෙයි ” ඇය පසුකර යද්දී මම ඒ දැරිවියට කීවෙමි.

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

ලංකාවේ පුවත්පත් කියවීම හා රූපවාහිනිය නැරඹීම නවතා බොහෝ කාලයක් ගතවී තිබුණ ද ලංකාවේ සිටි කාලය තුළ රූපවාහිනියට ඇහැ යොමුවීම යන අප්‍රසන්න ජවනිකාවට මුහුණ දෙන්නට සිදු වූයේ මා නතර වී සිටි ඇතැම් ස්ථානවල නිරන්තරයෙන් රූපවාහිනිය ක්‍රියාත්මක වෙමින් තිබූ බැවිනි. කාණු ගද ගලායන සමස්ත වැඩ සටහන් ගොන්න අතරේ ඉවසන්නට බැරි තරම් ගද ගැස්වූ ප්‍රවෘත්ති දර්ශන බොහොමයක් දකින්නට ලැබුණි. ලොව පුරා රාජ්‍ය නායකයන් හමුවන්නටත්, රටේ සමස්ත ජනතාවකගේ අනාගතයට බලපාන තීන්දු තීරණ ගන්නටත් මුල්වන රටේ ප්‍රධානතම නිල මැදුර වන අරලිය ගහ මන්දිරය, සෝලියස් මංගල උත්සව ශාලාව බවට පත්කරමින් රටටම විහිලුවක් වූ තුට්ටු දෙකේ දේශපාලන පුත්‍රයෙකුගේ මගුල් තුලා කටයුතු වෙනුවෙන් වෙන් කිරීම එයින් එකකි. අරලිය ගහ මන්දිරයේ මෙවැනි මගුල් තුලා කටයුතු ගෙවී ගිය රාජ්‍ය පාලන සමය තුළ දී ද මෙයාකාරයෙන්ම සිදු වූ බව මතකය. ගැටලුවක් නැත, දැන් මුලු රටම මගුල් මඩුවකි.

ගද ගැස්සූ තවත් වැඩසටහනක් ප්‍රවෘත්තියක් වූයේ “ජන බලය” කොළඹට ගෙන්වමින් කළ මහා විකාරයයි. ජනබලය මෙහෙය වූ නායකයන් සහ ඔවුන්ගේ පුත්‍ර රත්නයන් කොළඹ තරු පහේ හෝටල්වල නතර වී රස මසවුළු සුව විදිමින් සුව පහසුවේ රැය පහන් කරද්දී, වහල්ලු කොළඹ වීදි වෙත බඩගාමින් ගිරිය කඩාගෙන කෑ ගසති.

දුම්රියේ මාල කැඩූ සොරා අද කෝටිපතියෙකි. රක්ෂණ වාරික අලෙවි කරමින් සිටි රක්ෂණ නියෝජිතයාට කෝටි ගණනින් දේපළ තිබේ. රතු පක්ෂයෙන් පැන ආ පැන්ෂන් ගිය විප්ලවවාදියාට දේපළ පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් පවා දෙක දෙක තිබේ. ඉගුරු කල්ලිය නම් කල්ලියක් හදාගෙන රගපෑමක් කළ පැන්ෂන් ගිය පත්තරකාරයාට ඇමරිකානු පුරවැසිකම පමණක් නොව කෝටිපතියෙකුද වන්නට වරම් ලැබී ඇත්තේ සිය බිරිද සිංදු කියා හම්බු කළ මුදලින් නොවේ. සුනාමි ආධාර ලෙස ලැබුණු මුදල් එකම පවුලකට නොගියා නම් රටේ සමස්ත ණය බර ගෙවා දමන්නට එයම ප්‍රමාණවත්ය. “ජනතා අරගල” වලට නායකත්වය දෙන පැන්ෂන් ගිය වාමාංශික නායකයන්ගේ දූ පුත්තු ඇමරිකාවේ හෙයෙන් වැජඹෙති. ර‍ටේ ඇමතිවරුන්ගේ ගිණුම් වලට හිටිහැටියේම ඇමරිකන් ‍‌‍‍ඩොලර් දශ ලක්ෂ විසිපහක මුදල් බැරවේ.

මේ සියල්ල හොදින්ම දන්නා අපි පක්ෂ පාට වලට බෙදී තවමත් වාද විවාද කරගනිමු. එය වහලෙකු හදුනා ගැනීමේ මූලිකම ලක්ෂණයයි. තම වහල් හිමියන්ට මේ අයුරින් යස ඉසුරු  පහළ වෙන්නේ ඇයිදැයි සොයන්නට ඉතිහාසයේ කිසිම දිනෙක වහලුන් උත්සාහ කළේ නැත. (ඒසේ වූයේ ඇයිදැයි සොයන්නට උත්සාහ දරන්නෝ වහල්ලු නොවෙති).

කැනඩාවේ කම්කරු දිනය යෙදෙන්නේ සැප්තැම්බර් මස පළමු වැනි සදුදාය. එය ලංකාවේ මෙන් වහල් බලය කොළඹට ගෙන්වා උගුර ලේ රහ වන්නට කෑ ගසමින් කරන මහා මගඩියක් නොවේ. සැබෑ ලෙසින්ම වැඩ කරන ජනතාවගේ දිනයකි. වැටුප් සහිත නිවාඩු දිනයක් වන එදා රටේ රාජ්‍ය නායකයා පවා රටේ සෙසු පුරවැසියන් මෙන්ම සිය අඹු දරුවන් සමග නිදහසේ කාලය ගත කරති. කම්කරු දිනය යනු සැබෑ ලෙසින්ම ජනතාවගේ දිනයක් මිස බොල් දේශපාලකයන්ගේ හිස් ප්‍රතිරූප ඔසවන වහල් දිනයක් නොවන බව වටහා ගන්නට තරම් සියල්ලෝම බුද්ධිමත්තුය.

එදා වේල ගැට ගහගන්නට දහ අතේ කල්පනා කරමින්, බස් රථවල කෝච්චිවල පා පැදියේ එල්ලී යමින් පවා අපි අපේ වහල් හිමියන්ට ආවඩමු. ජාතික රෝහලේ ඇදක් නැතිව බිම ලගින අසාධ්‍ය රෝගියා පවා, රොහලේ කෙටි තාප්පයෙන් ඔබ්බට පෙනෙන නෙළුම් කුළුණ දැක “අනේ කොයි තරම් අපූරු වැඩක්දැයි” කියන තරමටම සිතිවිලි වලින් අපි දීනයෝ වෙමු. එබැවින් ජන බලය කොළඹට ගෙන්වීම එදා මෙන්ම අදත් හරිම පහසුය. විධානය දීම පමණක්ම ප්‍රමාණවත්ය. ඇත්තෙන්ම එය ජන බලය නොව වහල් බලය පෙන්වීමයි.

පසුගිය දා නිමා වූ එවන් එක් වහල් බලයකට එක් වූ පිරිස ලේක් හවුස් වටරවුම අසල මහ මග සුනඛ සීපාවුන් සේ බිම ලගින පිංතූරයකට සටහනක් එක් කර තිබූ මගේ මිතුරෙක් මෙසේ සටහන් කර තිබුණේය.

“සෑම දූපත් වැසියෙකුගෙන්ම කරන ආදරණීය ඉල්ලීම.. කීයක් හරි හොයා ගෙන දවසකට හෝ මේ දූපතෙන් පිටට ගොස් එන්න… ලෝකය ලොකුයි! ”

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

එසේ සටහනක් තැබූ මගේ සගයා බොහෝ සේ ඇසූ පිරූ තැන් ඇති උගතෙකු වුව ද ඔහුට ද වැරදුණු තැනක් තිබේ. දූපතෙන් පිටතට එන සැමටම ලෝකය දකින්නට නොහැකිය. කටුනායකින් ගුවනට නැග ලොව වෙනත් රටකට ගොඩ බහින දූපත්වාසීන්ගෙන් බහුතරයගේ ජීවන රටාවන් දෙස බලද්දී පෙනී යන්නේ සිදුවීඇත්තේ සිය මවුරටේ සිදු කළ උදර පෝෂණය තවත් රටකට ගොඩ බැස සිදු කරන බව පමණය. ඉදිරියට යන ලෝකය දැක තමන් අලුත් වෙන්නට, අඩුම තරමින් තමා තුළ ඇති වහල් හැගුම්, දීන සිතුම් ඉවත් කර ගන්නට දූපතින් පිටතට ආ බොහෝ දෙනෙකු තවමත් සමත් වී නැත. මා ජීවත් වන කැනඩාව යනු නීතිය සහ යහපාලනය සැබෑ ලෙසින්ම ක්‍රියාත්මක වෙන රටකි. එවැනි රටක ජීවත් වෙමින් පවා මගෙන් මෙසේ ඇසූ අය ඇත්තේ එක්කෙනෙකු දෙදෙනෙකු නොවේ:  “වෙනද මට මාතරට යන්න දවස් භාගයක්ම යනවා. දැන් අධිවේගී පාරවල් ටික නිසා පැයෙන් දෙකෙන් මාතර. අධිවේගී පාරවල් හැදෙනවා නම්, කොළඹ ලස්සන වෙනවා නම් ඔය පවුලක් දෙකක් සල්ලි ටිකක් හොරකම් කරගත්තත් මොකද වෙන්නේ ?”

රට මාරු වූවාට ඔවුහු තාමත් වහල් හැගුමින් පිරුණු දූපත් වාසීහුය.  අඩුම තරමින් චින්තනයෙන්වත් නිවහල් වෙන්නට බැරි තරමට ඔවුහු සිය වහල් හිමියන්ට පෙම් බදිති. කැලේ මාරු වූවාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැත.

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

අවසාන වශයෙන් කියන්නට යන්නේ පසු කතාවකි.  අමිහිරි මතකයන් අතරේ පවා සුන්දර අත්දැකීම් රැසක් ද සිත්හි පුරවා ගනිමින් යළිත් වැන්කුවර් නුවරට පැමිණියෙමි. මා ජීවත් වෙන වැන්කුවර් පුරවරය ද ලාංකීය බෞද්ධයන්ට නම් පැරණි දඹදිව කාලාම ග්‍රාමය මෙනි. අතීත දඹදිව කාලාම ග්‍රාමය පිහිටා තිබුණේ ගම් නියම් ගම් යා කරන දේශ සීමාවකය. එබැවින් බොහෝ ශාස්තෘවරු, දේශකයෝ මේ ගම්මානය හරහා පියමං කරන අතරේ සිය දර්ශනය, සිය මතවාද ගම්වාසීන් අතර පතුරවන්නට ද පසුබට නොවූහ. මේ සියලු දර්ශනයන් හා මතවාද එකිනෙක හා පරස්පර විය. මේ ගම්මානය හරහා බුදුන් වැඩම කරද්දී ගම්වැසියෝ තමන් තුළ ඇති දැවෙන ගැටලුවක් උන්වහන්සේට යොමු කළහ. එනම් මේ මතවාද හා දර්ශනයන් එකිනෙක පරස්පර බැවින් නිවැරදි දර්ශනය හෝ දහම කුමක්දැයි තමන් හරිහැටි වටහා ගන්නේ කෙසේ ද යන්නයි. ලෝක දාර්ශනික ඉතිහාසයේ සංධිස්ථානයක් වූ කාලාම සූත්‍රය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ මේ කරුණ අරබයා කාලාම වාසීන්ටය. (කාලාම සූත්‍රය විග්‍රහ කිරීම මේ සටහනේ අරමුණ නොවේ).

වැන්කුවර් පුරවරයට ද බොහෝ ස්වාමීන් වහන්සේලා වඩිති. බොහෝ දේ දේශනා කරති. එකම ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයන් යැයි පැවසුවද මේ දහම් එකිනෙකට වෙනස්ය. පරස්පරය. එහෙත් ලාංකීය බෞද්ධයන් මෙන්ම වැන්කුවර් බෞද්ධයන්ගෙන් බහුතරය ද පැරණි කාලාම වාසීන්ට බුදුන් දෙසූ දහම අසා නැතුවාක් විය යුතුය. අසා ඇති නම් එය අවබෝධ කරගන්නට නොහැකි වූවා විය යුතුය. මේ නිසා ඔවුහු මේ සියලු මතවාද අනුගමනය කරන්නට උත්සාහ කරති.

පාලි භාෂාව පරතෙරට උගත් විද්වත් මණ්ඩලයකට ත්‍රිපිටකය සිංහලයට පෙරලන්නට අවුරුදු තිහක කාලයක් ගත වූයේය. එහෙත් පැවිදි දිවියට පිවිස දශකයකටත් වඩා අඩු කාලයක් වූ එමෙන්ම පාලි භාෂාවට නවකයන් වූ හිමිවරු පාලි ත්‍රිපිටකයට නව අර්ථ කථන දෙති. භාවනා වැඩමුළු පවත්වති. තරගයට අසපු බිහි කරති. මේ වැඩ මුළුවලදී අපට ඇසෙන්නේ අප දන්නා හදුනන ත්‍රිපිටක දහම නොවේ. මේ අසපුවල අප දකින්නේ ද නාරි දේහ මිස දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත බුදු රූ නොවේ. සුදු කිරණ, කළු කිරණ, අධි සංඛ්‍යාත තරංග වැනි අපුරු අපූරු දේ මේ දහම්වලින් වැගිරේ. වැන්කුවර් නුවර පැවැති එක් වැඩමුළුවක සහභාගි වූවන්ට අපූරු අත්දැකීම් ලබන්නට හැකි වුණි. ධ්‍යාන ඵල ලබද්දී ඔවුන්ගේ සිරුරු වලින් ඕජස් වැගිරේ. රාග දෝස මෝහ පිටවෙන වේගයට වැගිරෙන ඕජස් ප්‍රමාණය ද උත්සන්න වේ. යූ ටියුබ් මාධ්‍යය ඔස්සේ සජීවීව විකාශය වූ මෙවන් වැඩමුළුවකට සහභාගි වූ කෙනෙකු සිය ධ්‍යාන ඵල අත්දැකීම් විස්තර කරද්දී කියා සිටියේ මේ සජීවී වැඩසටහන නරඹන වැන්කුවර් නගරයේ සිටින සිය මෑණියන්ට බඩ එළිය යන්නට පටන් ගෙන ඇති බවය. ඒ තවත් ධ්‍යාන ඵලයක සලකුණකි! (මේ වැඩසටහන් යූ ටියුබ් මාධ්‍යය ඔස්සේ තවමත් නැරඹිය හැකිය). මේ ස්වාමීන් වහන්සේ විසින් සෝවාන් කරලු ලැබූ, ධ්‍යාන ඵල ලැබූ කිහිප දෙනෙකු ද අප අතරම වෙසෙති.

ධ්‍යාන ඵල ලබා රහත් භාවයට පත් වූ තෙරුන් වහන්සේලා පිළිබද දහසකුත් කතා බෞද්ධ ඉතිහාසයේ ඇත. බුද්ධ පර්නිර්වාණයෙන් පසු එක් රැයක් තුළ දී ධ්‍යාන වඩා ආනන්ද හිමියෝ අරහත් භාවයට පත් වූහ. ආනන්ද හිමියන්ටවත්, රහත් භාවයට පත් වූ සෙසු මහ තෙරුන්ටවත් බඩ එළිය යමින් ඕජස් පිටාර ගලමින්, කළු කිරණ – සුදු කිරණ දර්ශනය වෙමින් ධ්‍යාන ඵල ලැබූ බවක් අප දන්නා බෞද්ධ ඉතිහාසයේ කිසි තැනක සදහන්ව නැත. බුදු දහම යනු කය මෙන්ම සිත ද බුද්ධියෙන් පිරිසිදු කරන දහමක් මිස උදර විරේකය වෙනුවෙන් දෙන ඖෂධ මාත්‍රාවක් නොවේ. මෙවන් වැඩසටහනක ප්‍රචාරක පටය නම් කර තිබුණේ “පෙර නොඇසූ විරූ දහමක්” ලෙසයි.  සැබෑය, මෙය කොයි තරම් දුරකට පෙර නොඇසූ විරූ දහමක් ද යත් ගෞතම බුදුන් පමණක් නොව අට විසි බුදුන් වහන්සේලා වැඩම කළද මේ දහම හදාරන්නට උන්වහන්සේලාට ද සෑහෙන කාලයක් ගත වනු ඇත්තේය.

“මා පිය වන්දනා” නමින් පාසල් දරුවන් සිය දෙමව්පියන් හා එක් වාඩි කරවමින් කළ වැඩසටහන් මාලාවක් යූ ටියුබ් මාධ්‍යය ඔස්සේ මම දුටුවෙමි. ස්වාමීන් වහන්සේගේ හැගුම්බර දේශනාව පටන් ගෙන අවාසනය දක්වාම දරුවන් පමණක් නොව දෙමව්පියෝද එක හුස්මට කදුළු වගුරුවති. එකිනෙකා වැළද බදා ගනිමින් ඉකි ගසති. බුදු දහම ඇත්තේ මිනිසුන් හඩවන්නට නොවේ. මිහිරි මීපැණි හඩින් දෙසවන් පිනවමින් උපාසිකාවන්ගේ හිත් සංවේදී හැගුම් වලින් පුරවන්නට නොවේ. වාද විවාද කරගන්නට නොවේ. එය බුද්ධියේ දහමකි. පෙර නොඇසූ විරූ දහමක් නොව මේ විශ්වයේ සදාතනික සත්‍යතාව පිළිබද දහමකි. බුද්ධ දර්ශනය පහළ වූයේ ගෞතම බුදුන්ගේ මනසේ මනසේ මිස බුදුන් උපන් ස්ථානයේ නොවේ. උන්වහන්සේ බුද්ධ නම් වන්නේ එහෙයිනි.

Fruit

උතුරු ඇමරිකාව, යුරෝපය ප්‍රමුඛ බටහිර ජාතිකයෝ බුදු දහමේ හරය වටහා ගනිමින් ලොව පුරා භාවනා වැඩසහන් ක්‍රියාත්මක කරති. ඇමරිකාවේ නාවික හමුදාව නිල වශයෙන්ම භාවනාව ප්‍රගුණ කරති. ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් සිය කාර්ය මණ්ඩලයට භාවනාව ප්‍රගුණ කරවති. යුරෝපීයෝ මෙන්ම බටහිර ජාතිකයෝ බෞද්ධ දාර්ශනික කරුණු අරබයා මහත් සේ පොත් පත් ලියති, පර්යේෂණ කරති, ඒවායෙහි ප්‍රතිළුල සිය ජීවිතයට බද්ධ කර ගනිති. එහෙයින් ගැටලුවක් නැත. “ලාංකීය බෞද්ධයෝ” යන කුලකයට අයත් අපි ලංකාවේ ජීවත් වුණත්, වැන්කුවර් හෝ වෙන කවර නම් රටක ජීවත් වූවත් බුදුන් උපන් ස්ථානය ලුම්බිනියේ නොවන බව කියන්නට කෙස් පැලෙන තර්ක විතර්කවල පැටලෙමු. අසූ හාර දහසේ පහන් පිංකම්, එකසිය අටක් වූ ඖෂධ පූජාවන්, මහා පිච්චමල් පූජාවන්, පැන් පාත්‍රා විසි හතර දහසේ පූජාවන්හි යෙදෙමු. බුදුරැස් විහිදෙන තෙක් කොත් කැරැල්ල පාමුල සිට අහසට නෙත් යොමා ගෙන සිටිමු. ගව් ගණන් දිග චීවර පූජාවට සාදුකාර දෙමින් චෛත්‍යයට හැට්ට අන්දමු. චෛත්‍යය වටා පළතුරු ගෙනැවිත් ගොඩ ගසමු. ඔව් ගැටලුවක් නැත… යුරෝපීයන් සහ බටහිර සුදු ජාතිකයන් බුදු දහම රැක ගනු ඇත.

බුදු දහම ඇත්තේ ප්‍රඥාවන්තයන්ට මිස මෝඩයන්ට නොවන බව (පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ – නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස) අවුරුදු දෙදහස් හයසියයකට පෙර බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ ලාංකීය අප ගැනම සිතා බලා විය යුතුය.

පුද්ගලිකයි… රහසිගතයි….!

59o-ZUQR4ie0UUaOEBM8WmZMHAU

අලුත් මල් කොළ දළු දාලා වසන්තය ඇවිල්ලා. අවුරුද්දේ බොහොම කාලයක් සීතල කාලගුණයට හුරු පුරුදු වෙලා ඉන්න කැනඩාවේ බොහොම දෙනෙක් මේ වසන්තය එනකම් මග බලාගෙනයි ඉන්නේ. වසන්තයේ දී දරුවන්ටත් පාසල්වල දීර්ඝ නිවාඩුවක් හිමිවෙන හින්දා කාර්යාලවල වැඩ කරන අයත් තමන්ගේ වාර්ෂික නිවාඩු අරගෙන සංචාරවල යෙදෙන්නේ මේ කාලයේ තමයි.

වසන්ත කාලයේ දී තම තමන් කරන්න හිතාගෙන ඉන්න දේවල් ගැන මගේ කාර්යාලයේ කිහිප දෙනෙක් බොහොම සතුටින්, උනන්දුවෙන් කතා කර කර හිටිය මොහොතක මගේ මිතුරියක් එක සැරේටම මෙහෙම කිව්වා. “ මට නම් හරිම සතුටුයි මේ සමර් එක ගැන. මට අලුත්ම කකුලක් හම්බු වෙන්නයි යන්නේ ”. ආණ්ඩුවෙන් ළගදීම ලැබෙන්න තියෙන තරමක විශාල මුදලකුත් එක්ක තමන් ඉතිරි කරපු මුදල් ටිකකුත් එකතු කරලා තමන් මිලදී ගන්න සූදානමින් ඉන්න, අලුත්ම තාක්ෂණයට අනුව හදපු කෘත්‍රිම පාදයක් ගැන ඇය විස්තර කරලා කියද්දී හැමෝම ඒ ගැන උනන්දුවෙන් අහගෙන හිටියා. අපේ කාර්යාලයට අලුතින්ම එකතු වෙච්ච සගයන් දෙන්නෙකුත් ඒ වෙලාවේ එතැන හිටියා. අලුත් කෘත්‍රිම පාදය ගැන විස්තර මිසක්, එක් පාදයක ආබාධයක් තියෙන මේ මිතුරියගේ කකුලේ ආබාධය ගැන කිසිම කෙනෙක් කිසිම දෙයක් ඇහුවේ නැහැ… අඩුම තරමින් අර අලුතින්ම කාර්යාලයට ආව සගයන් දෙන්නා පවා.

මේ ආබාධිත මිතුරිය අපේ කාර්යාලයට එකතු වුණේ අවුරුදු දෙකකට කලින්. මගේ අසුනට ආසන තුනක් ඈතින් ඉන්න මේ මිතුරිය අපහසුතාවයෙන් ඇවිදගෙන යන අතරේ දවසට කිහිප සැරයක්ම නිතර නිතර හමුවුණත්, කතා බහ කළත් ඇගේ පාදයට සිදු වෙච්ච ආබාධය ගැන මාත් කිසිම දවසක ඇගෙන් කිසිම දෙයක් අහලා නැහැ. අඩුම තරමින් මගේ කාර්යාලයේ සගයන් කිසිම කෙනෙක් ඒ ගැන අහනවා මේ අවුරුදු දෙකක කාලය තුළ දී මං කිසිම දවසක දැකලත් නැහැ. ඒකට හේතුව කෙනෙකුගේ පුද්ගලිකත්වයට ගරු කරන්නට හැම දෙනාම පුරුදු පුහුණු වෙලා ඉන්න නිසයි.

තමන්ට හිමිවෙන්න යන අලුත් පාදය ගැන ඇය ‍මේ විදියට දිගින් දිගටම විස්තර කරන අත‍රේ ම‍ගේ මතකයට ආ‍වේ එකි‍නෙකා‍ගේ පුද්ගලිකත්වයට ගරු කරන මේ විදියේ වටපිටාවක් ලංකා‍වේ අ‍පේ සමාජ‍යේ බිහිකරන්නට ‍තවත් කොයි තරම් නම් කාලයක් බලා‍ගෙන ඉන්න ‍වේවිද කියන එකයි. ‍‍මගේ මිතුරිය සේවයට ආවේ ලංකාවේ කාර්යාලයකට නම්, එහෙමත් නැතිනම් ඇය ලංකාවේ ජීවත් වුණා නම් ඇයට සිද්ධ ‍වෙන්‍‍‍නේ තමන්ට ‍මේ ආබාධය ඇති වු‍ණේ උපතින්ද, නැතිනම් පස්‍‍සේ කාලයක ද, ‍‍මොනවද කරපු ප්‍රතිකාර,  ‍පාදය නිට්ටාවටම සුව කරන්න බැරිද, ඇවිදින ‍කොට අමාරුද… ඔන්න ඔය ව‍ගේ ප්‍රශ්න දාහකට උත්තර දකින දකින හැම ‍දෙනාමට විස්තර කරන්නට ‍පේවිලා ඉන්න ‍වෙන එකයි.

‍පෞද්ගලිකත්වයට ගරු කිරීම කියන මේ කාරණාව සටහන් කරද්දී මට සිද්ධ ‍වුණු තවත් පුද්ගලික අත්දැකීමකුත් මගේ මතකයට එනවා. ඒකත් මා ‍සේවය කරන ආයතනයටම සම්බන්ධ කාරණාවක්. ‍මේ ආයතන‍යේ රැකියාව ‍වෙනු‍වෙන් අවුරුදු ‍දෙකකට කලින් සම්මුඛ පරීක්ෂණයට ආපු ‍වෙලා‍වේ සිද්ධ ‍වෙච්ච අත්දැකීමක් තමයි ඒ. පැයක පමණ කාලයක් පුරා තිබුණු දුරකථන සම්මුඛ පරීක්ෂණ‍යෙන් සති කිහිපයකට පස්‍‍සේ අවසන් සම්මුඛ පරීක්ෂණයට ආයතනයට එන්න කියලා මට කැදවීමක් ලැබුණා. ‍‍නිලධාරීන් ‍දෙ‍න්‍‍නෙක් ඉදිරිපිට තමයි ‍මේ පරීක්ෂණයට මුහුණ ‍දෙන්න මට සිද්ධ වු‍ණේ. ආපහු සැරයක් පැයක විතර කාලයක්ම ඇදිලා ගිය ‍මේ සාකච්ඡා‍වේදී එයින් එක් නිලධාරියෙකු ඇහුව ප්‍රශ්නයකට ම‍‍ගෙන් ලැබුණු උත්තරයක් නිසා මං හැදුණු වැඩුණු රට මොකක්ද කියන ප්‍රශ්නය ඔහුගේ කටින් එක්වරම පිටවුණා. ඒත් ඒ ඇසිල්‍‍ලෙන්ම මට උත්තරය ‍දෙන්නවත් ඉඩක් ‍නොදී නැගී හිටපු ඒ නිලධාරියා කිහිප සැරයක්ම ම‍‍ගෙන් සමාව අයැද හිටියා විතරක් ‍නෙ‍මෙයි ඒ ප්‍රශ්නයට පිළිතුරු ‍නො‍දෙන ‍ලෙසත් ම‍ගෙන් ඉල්ලා හිටියා. එවැනි ප්‍රශ්නයක් අසන්නට තමන්ට කිසිම අයිතියක් නැති බවත්, ඒ ප්‍රශ්නය තමන්ගෙන් පිටවු‍ණේ  මා මතු කළ කාරණාවක් නිසා ඇති ‍වෙච්ච කුතුහලය නිසා ‍නොදැනුවත්ම බවත් ඔහු සමාව අයදිමින්ම කියා හිටියා.

‍කෙ‍නෙකු ඉපදුණු ර‍ට ‍මොකක්ද කියලා අහන එක ‍ඔය තරම් නම් කලබගෑනියක් ඇති ක‍ළේ ඇයිද කියලා ‍කෙ‍නෙකුට හි‍තෙන්නට පුළුවන්. ලංකාව ව‍ගේ රටකට ඒක ඉතාම සරල කාරණාවක් ‍‍වෙන්න පුළුවන්. ඒත් කැනඩාව ව‍ගේ රටකට නම් ඒක ‍‍බො‍හොම බරපතල කාරණාවක්, වි‍ශේෂ‍යෙන්ම රැකියා සම්මුඛ සාකච්ඡාවක දී එහෙමත් නැතිනම් තරගකාරීත්වයක් තියෙන ඒ වගේ වෙනත් කටයුත්තකදී ඒක අතිශය බරපතල කාරණාවක්. ලංකා‍වේ අපි සම්මුඛ පරීක්ෂණයකට අයදුම් කරද්දී සදහන් කරන අත්‍යවශ්‍යම අංගයන් ‍වෙන උපන් දිනය, වයස, ආගම, ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, විවාහක අවිවාහකභාවය කියන “අතිශය වැදගත්” කරුණු කාරණා කැනඩා‍වේ රැකියාවකට අයදුම් කරද්දී සදහන් ‍නොකළම යුතු “අතිශය තහනම්” කරුණු කාරණා. ඒ ව‍ගේම සම්මුඛ පරීක්ෂ‍ණ‍යේ දී ඔය කියන කරුණු කිසිම ‍දෙයක් අහන්නවත් සපුරා තහනම්. අදාළ තනතුර ‍වෙනුවෙන් ඇති සුදුසුකම් මිසක් සම්මුඛ පරීක්ෂණයට ආපු පුද්ගලයා කුමන රටකින්, කුමන ජන වර්ගයකින්, කුමන ආගමකින් පැවත එනවාද කියන එකවත්, ඔහු‍ගේ ‍හෝ ඇය‍ගේ වයස, විවාහක අවිවාහක භාවය කියන කරුණු කිසිම විදියකින් විමසන්නට කැනඩා‍වේ නීති‍යෙන්ම අවසර ලබා දීලා නැහැ. සියලු ජනවාර්ගික, සියලු ආගමික, සෑම වයස් කාණ්ඩයකටම අයිති ස්ත්‍රී පුරුෂ සෑම සියලු ‍දෙනාමට සමාන පදනමින් සැලකීම කැනඩා‍වේ නීති‍යේ මූලිකම අංගයක් නිසා හදිසි‍යේ හරි ඒ වගේ විමසීමක් සිදුකරලා තමන්ට රැකියාව ‍නොලැබු‍ණොත් “වෙනස් කොට සැලකීම” (discrimination) කියන පදනම ය‍ට‍තේ අදාළ ආයතනයට විරුද්ධව නඩු පවරන්නට ‍ඕනෑම පුරවැසියෙකුට නෛතික අයිතිය තියෙනවා.

‍මේ ‍නෛතික රාමුව කැනඩා‍වේ කැබිනට් මණ්ඩල‍යේ පවා ඒ විදියටම දකින්න පුලුවන්. අගමැතිත් එක්කම විසි ‍‍දෙ‍නෙකු‍ගෙන් විතරක්ම සමන්විත කැබිනට් මණ්ඩල‍යේ සාමාජික සංඛ්‍යාව ‍බෙදිලා ති‍යෙන්‍නේත් කාන්තාවන් දහයකුත්, පිරිමින් දහයකුත් කියන සමාන පදනම යට‍තේ. ඒ ව‍ගේම කැබිනට් මණ්ඩල‍යේ සාමාජිකයන් ස‍මේ පැහැය විවිධාකර ‍වෙච්ච විවිධ ජනවාර්ගික, ආගමික පසුබිමක් නිරූපණය කරන පිරිසක්. උදාහරණයක් විදියට කියනවා නම් කැනඩාවේ ආරක්ෂක ඇමතිවරයා සීක් ජාතික හමුදා නිලධාරියෙක්. වනිතා කටයුතු ඇමැතිවරිය ඇෆ්ගන් සම්භවයක් තියෙන කාන්තාවක්. ආගමන විගමන ඇමැතිවරයා සරණාගතයෙක් විදියට කැනඩාවට සංක්‍රමණය වුණු අප්‍රිකානු සම්භවයක් සහිත තැනැත්තෙක්. (තරුණ කටයුතු ඇමතිවරයා අවුරුදු 45 කට අඩු තැනැත්තෙක් කියන එකත් සිහිපත් කරන්නට ඕනේ)

තවත් ‍කෙ‍නෙකු‍ගේ පුද්ගලිකත්වයට ගරු කරන්න ඉ‍ගෙන‍ ‍නොගත් මිනිසුන් අතර ආත්ම ගරුත්වයක් ඇතිව ගැවසීම ඒ තරම් ලෙහෙසි පහසු කාර්යයක් ‍නෙ‍මෙයි. ‍තවත් ‍කෙ‍නෙකු‍ගේ පුද්ගලිකත්වයට ගරු නොකිරී‍මේ කලාව ලංකා‍වේ අ‍පි ‍කොයි තරම් නම් ප්‍රගුණ කරලා ති‍යෙවාද කියනවා නම් ඒක වරදක් විදියට අපිට ‍‍දැනෙන්නේවත් නැහැ.

පණ්ඩිත් අමර‍දේවයන් මියගිය ‍‍මො‍‍හො‍තේ ‍රෝහ‍ලේ ‍හෝ ‍මෘත ශරීරාගාර‍යේ තැන්පත් කර තිබුණු එතුමා‍ගේ ‍දේහය‍යේ ඡායාරූපයක් ගත්ත තැනැත්‍‍‍තෙක් තමන් සතුව ඇති ඒ ඡායාරූපය “අති දුර්ලභ ඡායාරූපයක්” විදියට සටහනකුත් එක්ක ‍‍ෆේස් බුක් මාධ්‍යයේ පළ කරලා තිබුණා. ‍‍මේ ඡායාරූපයට අදහස් පළ කරලා තිබුණු සිය ගණනක් වෙච්ච මිනිසුන් හැම දෙනාම ඒ ඡායාරූපය අගය කරමින් එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කළා මිසක් හමුදා ප්‍රහාරයකින් මියගිය කැරළි නායක‍යෙකුගේ මට්ටමට එතුමා ඇද දාන එවැනි ගණයේ ග්‍රාම්‍ය ඡායාරූපයක් නිසා එතුමන්ට සිද්ධ ‍වෙන හානිය ගැන වචනයක්වත් කතා තරලා තිබු‍ණේ නැහැ. ඔද්දල් ‍වෙච්ච සමාජ යන්ත්‍රණයක් තියෙන රටකට ඒ ව‍ගේ කරණු කාරණා ගැන සමාජ සං‍වේදීතාවයක්වත් ඇති‍වෙන්න ඉඩක් නැහැ.

යූ ටියුබ් හරහා සිය ගණනින් මුදා හැරෙන කුණු රසය පිරුණු මියුසික් වීඩි‍යෝ, ‍දේශපාලකයන්‍‍ගේ ජුග්ප්සාජනක වාද විවාද විතරක්‍ ‍නෙ‍මෙයි එකි‍නෙකාට මඩ ගසා ගනිමින් ‍නොසරුප් වදන් ‍දෙසාබාන චීවරධාරීන්‍‍ගේ වැදි බණ පවා අ‍පේ මිනිස්සු වි‍වේචනය කළත්, ඒ හැම ‍දෙනාම ව‍ගේ මුලු මහත් වීඩි‍යෝවම නරඹන්න අමතක කරන්‍‍නේ නැහැ. ම‍නෝ විද්‍යාත්මකව විතරක් ‍නෙ‍මෙයි මානව විද්‍යාවේ පවා ඒකට ‍හේතුවක් ති‍යෙනවා. ප්‍රාථමික එ‍හෙමත් නැතිනම් මූලික මිනිස් චිත්තය කුණු රසයට බරයි. ඒ රසය ‍වෙනස් ‍වෙන්නට නම් අධ්‍යාපනය විතරක් ‍නෙ‍මෙයි රස වින්දනය කියන අංගයත් අ‍නෙක් ශරීරාංග ව‍ගේම හරි හරියට වැඩි දියුණු ‍වෙන්න ඕ‍නේ. ඇගපත වැඩුනත් ඔය කියන ශරීරාංගය වැඩි දියුණු ‍වෙලා නැති ‍බො‍‍හෝ පිරිසක් අපි අතර ඉන්න නිසා ‍සංගීත ‍‍ලෝක‍යේ, ‍දේශපාලන‍යේ විතරක් ‍නෙ‍මෙයි ආගම දහ‍මේ පවා අමනයන්ට ‍බො‍හෝ ‍සේ යහතින් කරණම් ගහන්නට පුලුවන් ‍වෙලා ති‍යෙනවා. ඒකට ‍හේතුව ‍කුණු රසයට ‍‍‍බො‍හෝ මිනිසුන් අතර ඉල්ලුමක් ති‍යෙන නිසයි. ඒක නූතන මිනිසා තුළ තවමත් ඉතිරි ‍වෙලා ති‍‍යෙන තවත් තිරිසන් ලක්ෂණයක්.  රූපවාහිනී චැනල් වල මහ රෑ පුරා ඕජස් වගුරුවන ජුගුප්සාජනක ‍දේශපාලන වාද විවාද නිදි මරා‍ගෙන මරන්නට ‍බො‍‍හෝ ‍දෙ‍නෙක් ‍පෙළ‍‍ඹෙන්‍නේ ‍මේ කුණු රසය විදින්නට ති‍යෙන ප්‍රාථමික කැමැත්ත නිසයි.

එකි‍නෙකා‍ගේ වගතුග ‍සොයා බලන්නට, තවත් ‍කෙ‍නෙකු‍‍ගේ ඉදිරි ගමනට බාධා කරන්නට අ‍පේ ර‍ටේ මිනිස්සු ‍කොයි තරම් නම් කාලයක් නාස්ති කරනවාද කියන එක ‍‍ෆේස් බුක් එ‍කෙන් පවා තහවුරු ‍වෙන ‍දෙයක්. කවුරුන් හෝ කෙනෙක් කිසියම් හෝ යහපත් කාරණාවක් නිසා රටේ නමක් දිනාගන්න හදනවා නම්, එහෙමත් නැතිනම් රටට වැඩදායි දෙයක් කරන්නට උත්සාහ කරනවා නම් ඒ කාර්යයටත් කලින්ම මුලින්ම කරළියට එන්නේ ඒ තැනැත්තාගේ පැටිකිරියයි.

කිසිම ‍තේරුමක් නැති කරුණු කාරණා වලට, ‍දේශපාලන මතවාද වලට, එකි‍නෙකා‍ගේ ‍පෞද්ගලික වගතුග වලට අපි ‍කොයි තරමක් නම් කාලයක් නැති නාස්ති කරනවාද? ලංකා‍වේ තමන් ‍සේවය කරපු කාල‍යෙන් වැඩිම ‍වෙලාවක් තමන්ට වැය කරන්නට සිද්ධ වු‍ණේ ‍බෙල්ල ‍නොකැපී ජීවත් ‍වෙන්නේ කොහොමද කියන එක ප්‍රගුණ කරමින් නිසා රටට සේවය කරන්නට තිබුණු වෙලාවෙන් වැඩි කාලයක් ඒ වෙනුවෙන් නැති නාස්ති වුණා කියලා මං දන්න හදුනන බොහොම ප්‍රසිද්ධ මහාචාර්යවර‍යෙක් මට එක සැරයක් කිව්වා. ‍වි‍දේශයක ‍සේවය කරන කාල‍යේ දී තමන්ට ‍‍නොහිතන්නම සිද්ධ ‍වෙන කාරණයත් ඒකම තමයි කියලයි මහාචාර්යතුමා කිව්‍‍වේ. (ඒක නම් සම්පූර්ණ ඇත්ත. මටත් ඒ කාරණාව ඒ විදියටම ‍පොදුයි.)  මේ කාරණාව නිසා රටට අහිමි වෙලා ගිය දැනුම මිල කරන්නට බැරි තරම් අපිරිමිතයි.

පොත් පත් පවා ලියන මගේ සමීපතම මිතුරියක් අදින් දශකයට පමණ කලින් රට හැර ගියා. තරුණ වයසේ පසුවෙච්ච මගේ මිතුරිය විවාහ වෙලා වසර ගණනාවක් ගත වෙලා ගියත් ඒ වනවිට ඇයට දරුවන් සිටියේ නැහැ. දරුවන් සිටිම හෝ නොසිටීම දියුණු රටවල සමාජයේ මිනිසුන්ට කතා කරන්නටවත් නොවටිනා තරම් සරල මාතෘකාවක් වුණත් ලංකාවේ අපිට නම් ඒක බොහොම බරපතල කාරණාවක්නේ. ඉතින් මගේ මිතුරියට තමන්ට දරුවන් නැති වීම කියන ඔය කාරණාවට පිළිතුරු බදින්නට සිද්ධ වුණේ තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට විතරක් නෙමෙයි, කාර්යාලයේ දී මග තොටේ දී හමුවෙන සගයන්ගෙන් පවා ඇයට ගැලවිල්ලක් ලැබුණේ නැහැ. තමන්ගේ නිදහස, ස්වාධීනත්වය ඉහළින්ම අගය කරපු මගේ මිතුරිය අවසානයේ දී මේ මානසික කන්දොස්කිරියාවෙන් ගැලවෙන්නට තමන්ට ගැලපෙන වාසස්ථානයක් සොයා ගෙන විදේශගත වුණා. අද වෙනකොට ඇය බොහොම නිදහස් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනවා. (පතිරූප දේස වාසොච කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළෙත් මේ කාරණයම තමයි).

ලංකාවේ අපිට අනුන්ගේ පෞද්ගලිකත්වය ගැන ඇත්තේ පුදුමාකාර අනුකම්පාවක්. විවාහ විය යුතු වයසේ පසුවන තරුණියක් නම් ඇය විවාහ කර දෙන තෙක්ම ඥාති හිත්‍ර මිත්‍රාදීන් විතරක් නෙමෙයි මග තොටේ දී හමුවන අයට පවා ඇත්තේ ඇගේ දෙමව්පියන්ටවත් නැති තරම් බරක්. ඒත් විවාහ වූ පසුවත් ඇයට යහතින් ඉන්නට නම් ඉඩක් නැහැ. ඒ මගතොටේ කතා බහ දරුවන් ගැන අලුත් වටයකින් ඇරඹෙන හින්දා.  දික්කසාදයක් සිදුවූවුණොතින් නම් සිද්ධ වෙන්නේ ලෝක විනාසයක්. කළ යුතු නොකළ යුතු සියල්ල කියා දෙන්නට පුරෝහිතයන් බිහිවෙන්නේ අහුරු ගණනින්. වෙන්ව ගිය පාර්ශ්වයට එරෙහිව සතුරු කදවුරු බදින්නට අවි අමෝරා ගන්නා හැටි කියාදෙන්නට එන යුද විශ්ලේශකයන්ගෙන් කෙළවරක් නැහැ.

මේ කාරණය සටහන් වෙද්දී තවත් පෞද්ගලික අත්දැකීමක් මගේ මතකයට එනවා. අදින් අවුරුදු පහළොකවකට විතර කලින් මේ අත්දැකීම මට විදින්නට ලැබුණේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් ඩෙන්මාර්කයේ ගත කළ කාලයේ දී. ඒ සීත සෘතුවේ එක්තරා උදෑසනක්. කෝපන්හේගන් නගරයේ උමං දුම්රියකට ගොඩ වෙලා මගේ අධ්‍යාපන ආයතනයට යමින් හිටියදී මගේ උපදේශකවරයාත් ඒ දුම්රියටම ගොඩ වුණා. වේගයෙන් ඇදිලා යන දුම්රිය ඇතුළේ සුහද පිළිසදරක යෙදෙමින් අපි දෙන්නා ගමන් කරද්දී අතරමග නැවතුමකින් දුම්රියට ගොඩ වුණු සුන්දර කාන්තාවක් මගේ උපදේශකවරයා දැකලා යුහුසුළුව එයා ලගට ඇවිත් ඔහුව තදින් වැළද ගෙන කම්මුල සිප ගත්තා. ඒ තමන්ගේ පෙර විවාහයේ බිරිද කියලා ඇයව මට හදුන්වා දෙන්නත් උපදේශකවරයා අමතක කළේ නැහැ. තවත් නැවතුම් පොළවල් තුනකට පස්සේ ඇය දුම්රියෙන් බැස යන තෙක්ම ඔවුන් දෙදෙනා ඩෙන්මාර්ක් භාෂාවෙන් බොහොම සැහැල්ලුවෙන් සතුටු සාමීචීයේ යෙදුණා. සමුගන්නට කලින් නැවත වරක් දෙදෙනා සිපාචාර කරගන්නට අමතක කළේ නැහැ. මේ දර්ශනය කොයි තරම් අපූරුව ඒ වගේම කොයි තරම් සුන්දරව මගේ හිතට දැනුණා ද කියනවා නම් ඒ ළෙංගතු කම මට දැනුණේ හරිම පිවිතුරු අත්දැකීමක් විදියටයි. “ අපි දෙන්නා අතර නොගැලපීම් තිබුණා. ඒ හින්දා අපි දෙන්නා කතා බහ කරලා සුහදව වෙන්වුණා. ඒත් අපි දැන් බොහොම හොද යාළුවෝ ”, උපදේශකවරයා  මට කිව්වා. මගේ උපදේශකවරයා වගේම ඔහුගේ පෙර විවාහයේ බිරිදත් දැන් ආපහු විවාහ වෙලා. ඒ දෙන්නාටම සුරතල් ළදරුවන් ඉන්නවා. ඒත් ඒ පවුල් දෙකම සමීප හිත මිතුරන්. විනෝද ගමන් පවා එකට යනවා. ඒ වගේම හදිසි අවස්ථාවල ඔවුන් එකිනෙකාගේ දරුවන් රැකබලා ගන්නා බවත් (Baby Sitting) උපදේශකවරයා මට කිව්වා.

මේ අත්දැකීම කෙනෙකුට ඕනෑම විදියකට අර්ථ දක්වන්න පුලුවන්. සංස්කෘතිය කියලා තමන්ම හිතින් මවාගත්ත මනස්ගාත වලින් ඔළුව පුරවා ගෙන ඉන්න කෙනෙකුට මේ සිද්ධිය තමන්ගේ සංස්කෘතික රාමුවට දරාගන්න බැරි තරම් මහා කම්පනයක් තමයි. ඒත් තමන්ට නොගැලපෙන කෙනෙක් එක්ක තමන්ගේ ඉතිරි මුලු ජීවිත කාලයකම විදවමින් ඉන්නවාට වඩා  කොයි තරම් නම් සැහැල්ලුවක් ද, කොයි තරම් නම් සහනයක් ද එකිනෙක සුහදව වෙන් වෙලා තමන්ගේ මාවත තෝරා ගන්න එක. (අපේ රටේ දික්කසාදයක් වුණා නම් දෙපාර්ශ්වයම පරම හතුරන් විදියට කදවුරු බදිනවා විතරක් නෙමෙයි, ජීවිත වලින් පවා වන්දි ගෙවන්ටයි සිද්ධ වෙන්නේ)

බුදුසමය බූදලයක් කරගෙන බුදු බණ ඉක්මවා ගිය හිස් බමුණු මතවාද වෙනුවෙන් සටන් වදින අපිට වඩා බුදුසමයේ දාර්ශනික, අධ්‍යාත්මික හරය ඇත්තටම විදින්නේ මේ මිනිස්සු නේද කියන කාරණාව ඔය සිදුවීම සිහිපත් වෙන හැම මොහොතකම මට හිතුණේ වරක් දෙවරක් නෙමෙයි.

තමන්ගේ ජීවිතයේ අතිශය පෞද්ගලික කරුණු කාරණා තමන්ට උවමනා විදියට ගලපා ගන්නට අපේ සමාජය තුළ නම් කෙනෙකුට මහා ධෛර්යයක් තියෙන්නට ඕනේ. මේ විදියට තමන්ගේ පුද්ගලිකත්වය ක්‍රියාත්මක කරගන්නට ධෛර්යයක් නැති වුණාම තමයි තමන්ගේ විවාහය පවා රටට ලෝකයට ණය වෙලා කරගෙන තමන්ගේ උවමනාවටත් වඩා අනුන්ගේ මන දොල සපුරන්න බොහොම දෙනෙකුට සිද්ධ වෙලා තියෙන්නේ.

ඒකත් ඇත්තටම එක්තරා ආකාරයක චිත්ත රෝගී ස්වභාවයක්. මේ රෝගය ජාතියක් විදියට අපි කොයි තරම් නම් දුරකට වර්ධනය කරගෙන ඇවිත් තියෙනවා ද කියනවා නම් මේ රෝග ලක්ෂණ අපි දන්නෙම නැතිව අපේම පුද්ගලිකත්වයත් පුදුමාකාර විදියට ආක්‍රමණය කරලා තියෙනවා. සෙනග ගැවසෙන ස්ථානයකට මුහුණ දෙන්නට සිදුවෙන මොහොතක අපේ ඇදුම් පැළදුම් ගැන අවධානයක් යොමු කරන්නට ඕනේ කියන කාරණය ගැන කිසිම තර්කයක් නැහැ. ඒත් අනවශ්‍ය සාටෝප, විච්චූර්ණ වෙනුවෙන් කොයි තරම් නම් කාල හෝරාවන් ගණනක් අපි ඒ වෙනුවෙන් වැය කරනවාද? කොණ්ඩයට එක තැනකට, සාරිය හැඩ කරගන්නට තවත් තැනකට, මුහුණට පේෂල් දමා ගන්න තවත් තැනකට…  සංගීත සන්ධ්‍යාවකට පැමිණෙන බොහෝ දෙනෙකු දුටුවාම හිතෙන්නේ ඒ අය ඇත්තටම ඇවිත් තියෙන්නේ ගීත රස විදින්නද නැතිනම් විලාසිතා දැක්මට ද කියලයි. ඇදුම් පැළදුම්, මේකප් වලින් හිරවෙලා උසස් ගීතයක් නියමාකාරයෙන් රස විදින්නට කෙනෙකුට පුලුවන් නම් ඒකත් ප්‍රාතිහාර්යයක්. තමන්ගේ ඇදුමට පවා වහල් වෙච්ච පරපුරකට වහල් සිතිවිලි වලින් මිදෙන්න නම් ලෙහෙසි පහසු වෙන එකක් නැහැ.

ඉතාලි‍යේ බොහෝ මිනිසුන් යන එන මාවතක එක්තරා වීඩියෝවක් ෆේස්බුක් මාධ්‍යයෙන් හුවමාරු වෙන හැටි මෑතක දී මං දැක්කා. අවන්හල්, කඩ සාප්පුවලින් පිරුණු බොහෝ දෙනා යන එන මේ ජනාකීර්ණ වීදියේ මාවත අද්දර සිටින වයලීන වාදක‍යෙක් බොහොම මිහිරියට සංගීත වාදනයක් කරනවා.  සංගීත වාදනය රස විදිමින්ම මාවතේ ගමන් කරන පිරිස අතර සංචාරයේ ‍යෙදෙන එක්තරා තරුණියක් මේ නාදයට කොයි තරමක් නම් වශි වෙනවාද කියනවා නම් ඇය මහ මාවතට බැස ඒ සංගීත නාදය ඔස්සේ බොහොම අපූරු බැලේ රංගනයක් ඉදිරිපත් කරනවා. ඇයගේ රංගනයත්, සංගීත නාදයත් එකකට එකක් සුසංයෝග වෙන්නේ පුදුමාකාර ඒකමිතියකින්. දෙනෝ දාහක් යන එන මාවතක මෙවැනි උසස් රංගනයක යෙදෙන්නට ඇගේ මනසට කොයි තරම් නම් සැහැල්ලුවක් තිබිය යුතුද, ඒ වගේම ඇය පා තැබූ සමාජය කොයි තරම් නම් නිවහල් වෙන්න ඕනද කියන කාරණාව වීඩියෝව නරඹන මුලු කාලය පුරාම මගේ හිතේ සැරිසරුවා. (ලංකාවේ පාරක මේ වගේ දෙයක් වුණා නම් ඒක පත්තරවල මුල් පිටුවල පළවෙන ඡායාරූපයක් වෙනවා විතරක් නෙමෙයි, ඇගේ පැටිකිරිය හෙළිදරවු කරන්නට මාධ්‍ය කණ්ඩායම් ඇගේ නිවසට යන්නත් පොරකාවි).

 

පුද්ගලිකත්වය කියන කාරණාව කොයි තරම් නම් භාරදූරව දියුණු සමාජවල සලකනවා ද කියනවා නම් කෙනෙකුගේ පුද්ගලිකත්වයට ගරු කිරීම නෛතික ක්‍රියාවලියක් විදියටම ආරම්භ වෙන්නේ දරුවෙකුගේ උපතේ සිටන්මයි. මා ජීවත් වෙන කැනඩාවේ පමණක් නෙමෙයි බොහෝ දියුණු රටවල දරුවකු ළදරු පාසලට ඇතුළත් කරන අවස්ථාවේ දීම දෙමව්පියන්ගේ අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් පාසලෙන් ලබා දෙන මූලිකම ලියවිල්ලක් තමයි පාසලේ ක්‍රියාකාරකමකදී දරුවාගේ ඡායාරූපයක් හරි වීඩියෝවක් ප්‍රසිද්ධියට පත් කරන්නට පාසලට අයිතියක් තියෙනවාද කියන කාරණාව. ඒ කාරණාවට එකග වෙන්නට හෝ නොවෙන්නට ඔබට අයිතිය තියෙනවා වගේම, ඔබෙන් ඊට අනුමැතිය ලැබීම හෝ නොලැබීම දරුවා පාසලට ඇතුළත් කර ගැනීමේ කාර්යයට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. අඩුම තරමින් ආබාධිත දරුවන්ට පවා විශේෂම අවස්ථාවක මිසක් අද ගොළු බිහිරි පාසල් කියලා වෙන්‍ කොට සලකන විශේෂ පාසල් දියුණු සමාජවල ඇත්තේ නැහැ. ඒ දරුවන් හැදෙන්නේ වැඩෙන්නේත් සාමාන්‍ය පාසල්වල සාමාන්‍ය දරුවන් එක්ක වෙනසක් නැතිවයි. ආබාධිත තැනැත්තෙකු දිහා නැවත හැරිලා බලන්නට තරම් කුතුහලයක් නැති සමාජයක් බිහි‍වෙන්නට නම් ඒ සමාජ‍යේ පුරවැසියන් දියුණු විදියට හිතන්න පතන්න පුලුවන් පිරිසක් ‍වෙන්න ඕ‍නේ.

දියුණු සමාජයක පුවත්පතක ඡායාරූපයක් පළවන්නට කලින් ඡායාරූපයේ සිටින පුද්ගලයාගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යයි. ඒ වගේම පොලිසිය හෝ නීතිය ක්‍රියාත්මක කරන කිසිම ආයතනයක් අදාළ නීතිමය කටයුතු නිසියාකාරව ඉටු වෙන තෙක් චෝදනාවන්ට ලක්වන පුද්ගලයන්ගේ නම් ගම් කිසිම විදියකින් හෙළි කරන්නේ නැහැ. මළ මිණි විකිණීම මාධ්‍යවලට සපුරාම තහනම්. පුද්ගලිකත්වය රැක ගැනීම රාජ්‍යයක ව‍ගේම සමාජ‍යේත් සාමුහික වගකීමක්.

මේ තරම් ගැඹුරට ගිය දියුණු සමාජය යන්ත්‍රණයක් නැති වුණත් අඩුම තරමින් අපේ ජීවිතයට අදාළ කරුණු කාරණාවලදීවත් අපේ ස්වාධීන අදහස් මත ක්‍රියා කරන්නට, එහෙමත් නැතිනම් අපේ රුචි අරුචිකම් මත ක්‍රියා කරන්නට තරම් ආත්ම ධෛර්යයක් ඇත්තේ අප අතරින් කීයෙන් කී දෙනාටද? මේ කාරණාවට අදාළ තවත් කරුණක් මේ මොහොතේ දී මට මතක් වෙනවා. සමාජ මාධ්‍ය ජාලයේ පොත් පත් කියවන සමූහයකගේ එකතුවක් තියෙන තැනක මීට දින කිහිපයකට පෙරදී Jesus Lived in India කියන පොතේ සිංහල පරිවර්තන කිහිපයක් ගැන සටහනක් පළ වුණා. මේ සටහන නිකුත් වෙලා පැය කිහිපයක් යන්නත් කලින් ඒ ගැන ඇති වෙච්ච වාද විවාද කොයි තරම් නම් බලු පොරයකට පත් වුණා ද කියනවා නම් අන්තිමේ දී ඒක 83 වර්ගවාදී කෝලාහලය තරමටම මතවාද වලින් දුරදිග ගියා. පොතින් මතුකරන කරුණු කාරණා ගැන වාද විවාද කරනවා වෙනුවට අන්තිමේ දී එකිනෙකාගේ ආගම්වලට ගරහන, ‍‍පෞද්ගලිකත්වය ඉස්මතු කරන බොහොම පටු අන්තයකට ඒ සාකච්ඡාව ඇදිලා ගියා. මේ කාරණාවටම අදාළ පුද්ගලික කරුණකුත් මගේ මතකයට එනවා. Jesus Lived in India කියන පොත ලිව්වේ Holger Kersten කියන ජර්මන් ජාතික පර්යේෂකයෙක්.  මේ පොත වසර ගණනාවක පර්යේෂණාත්මක කාර්යයක ප්‍රතිඵලයක් ලෙසින් බිහිවුණු බොහෝ සේ බරසාර කරුණු වලින් පිරුණු පොතක් වුණත්, යේසුස් වහන්සේට අපහාස කිරීමේ කිසිම අරමුණක් ඔහු තුළවත්, ඔහුගේ කෘතිය තුළින්වත් මතුවෙන්නේ නැහැ. අදින් අවුරුදු විස්සකට විතර කලින් මේ ලේඛකයා ලංකාවේ කෙටි සංචාරයකට ආවා. මගේ මිත්‍ර සුප්‍රකට බර්ගර් ජාතික චිත්‍ර ශිල්පියෙකුගේ ගෙදර ඔහු නතර වෙච්ච නිසා චිත්‍ර ශිල්පියා හරහා එවකට මා සේවය කළ දිවයින පුවත්පත වෙනුවෙන් ඔහුගෙන් විශේෂ සාකච්ඡාවක් ලබා ගන්නට ඔහු මට අවසර දුන්නා. මේ සාකච්ඡාව පළ වුණේ ඉරිදා දිවයින පුවත්පතේ. මේ සාකච්ඡාව පළවූ ඉරිදා දිනයේ (ඉරිදා පුවත්පත් සෙනසුරාදා උදය වරුවේ වෙළෙද පොලට නිකුත් වෙනවා) උදෑසන මා දිවයින කාර්යාලයේ  සේවයට පැමිණෙද්දී සිය ගණනක පිරිසක් දිවයින දොරටුව ඉදිරිපිට බෝඩ් ලෑලි අල්ලාගෙන මහ හඩින්උද්ඝෝෂණයක  නිතර වෙලා ඉන්න හැටි මං දැක්තේ ඈතදීමයි. මේ උද්ඝෝෂණය පුවත්පතේ සාකච්ඡාවට විරෝධය පෑමක් කියලා මං දැනගත්තේ සෙනග අතරින් බොහොම අමාරුවෙන් කාර්යලයේ දොරටුවෙන් ඇතුලු වුණාට පස්සෙයි. (උද්ඝෝෂණයේ ලෙළ දුන්නු බෝඩ් ලෑලි අතර අපහාසාත්මක උපසර්ග සමගින් මගේ නමත් සටහන් වෙලා තිබුණත්,  වාසනාවකට වගේ ඔවුන් මගේ නම මිස මුහුණ හැදිනුවේ නැහැ. ඒ වගේම මේ උද්ඝෝෂණයට සම්බන්ධ වුණේ ආගමට හැරවීමේ ප්‍රචාරකවාදී ක්‍රියාවල නිරත වෙන කල්ලියකගේ මෙහෙවීමක් නිසා මිස ඔවුන් සැබෑ කතෝලිකයන් හෝ ක්‍රිස්තියානු සහෝදරවරුන් නොවන බවත් අවධාරණය කරන්නට ඕනේ). පුවත්පතේ ලිපිය පළ වෙන අවස්ථාවේදීත් කතුවරයා ලංකාවේ හිටිය නිසා මං ඒ මොහොතේම දුරකථනයෙන් ඔහු අමතා ආයතනයට පිටින් සිද්ධ වෙන උද්ඝෝෂණය ගැන කියද්දී ඔහු පුදුමාකාර කම්පනයකට පත් වුණා විතරක් නෙමෙයි එය වටහා ගන්නට නොහැකි තරම් පුදුමයටත් පත් වුණා. මෙම කෘතිය සෑම අවුරුද්දකදීම යළි යළිත් මුද්‍රණය වෙන අතිශය ජනප්‍රිය පොතක් වුණා වගේම සරසවි මට්ටමින් කතාබහට ලක්වෙන කෘතියක්. අතිශය බහුතරයක් ක්‍රිස්තියානි දහම අදහන රටවල දේශන සිය ගණනකට තමන් සහභාගි වෙලා තිබුණත්, ලෝක ප්‍රකට දේශනාගාරවල බොහෝ පිරිස් මැද ශාස්ත්‍රීය වාද විවාද ගණනාවකට පුද්ගලිකවම මැදිහත් වෙලා තිබුණත් ලංකාවේ දී තමන් අත් විදි මේ අත්දැකීම ලෝකයේ කොතැනකවත් තමන්ට අත් විදින්නට ලැබිලා නැහැ කියන කාරණාව ඔහු මට කිව්වේ රිසීවරය ඔස්සේ කාර්යාලයට පිටතින් ඇහෙන උද්ඝෝෂණවලටත් ඇහුම්කන් දෙන ගමන්.  අපේ දූපත්වාසීන්ගේ චින්තන ධාරාව ගලාගෙන යන්නේ කොයි තරම් පටු සීමාවකින් ද කියන කාරණාව හොල්ගර් කර්ස්ටන් එදා හොදටම තේරුම් ගන්න ඇති.

Holger-Kersten-269x225

Holger Kersten

පුද්ගලිකත්වය කියන කාරණාව අපේ රටේ කොයි තරමක් නම් හෑල්ලුවට ලක්වෙලාද කියන එක ලංකාවේ පළවෙන ඕනෑම පුවත්පතක්, ඕනෑම රූපවාහිනී චැනලයක්, ඕනෑම ගුවන් විදුලි නාලිකාවක් දිහා බලපුවාම උදාහරණ සිය දහස් ගණනක් එක්ක ලබා ගන්න පුලුවන්. දුක් කදුළු, මළ සිරුරු විකුණමින් එදා වේල මාධ්‍ය කලාවක නිරත වෙන රටකට ජීවත්ව සිටින මිනිසෙකුගේ විතරක් නෙමෙයි මිය ගිය මිනිසෙකුගේවත් ආත්ම ගරුත්වය කිසිසේත්ම වටින්නේ නැහැ. මේ තත්ත්වය අද වෙන කොට කොයි තරම් නම් උග්‍ර වෙලාද කියනවා නම් ලංකාවේ පළවන පොතපතවල කවරය පවා මළ මිනීවලින් සැරසිලා තියෙන හැටිත්, එවැනි පොත පත ආචාර්ය මහාචාර්යවරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරව එළි දැක්වෙන හැටිත් දැක්කම රට යන අත ගැන අමුතුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය කෙරෙන්නේ නැහැ.

කිසියම් කාරණාවක් ගැන යූ ටියුබ් මාධ්‍යය හරහා වීඩියෝවක් සොයා ගෙන යද්දී ලංකාවේ පොලිස් නිලධාරියෙකු අල්ලස් ගන්නා වීඩියෝ පටයක් අහම්බෙන් නෙත ගැටුණා. මේ වීඩියෝවට සමගාමීව එවැනි අකටයුතු කම් ගැන සිය ගණනක වීඩියෝ අන්තර්ජාලයේ තියෙන හැටි දැක්කම නීතිය ක්‍රියාත්මක කරන්නට සිටින පොලිස් නිලධාරියාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා රටේ හැම හරස්කඩකම පුද්ගලිකත්වය මහ දවාලේ මහ මගදීම කොයි තරමක් නම් බාල්දු වෙලා යනවාද කියන කාරණාව තහවුරු වෙනවා. (ඒත් මේ වීඩියෝ පටවලින් මතු කෙරෙන අමතක නොකළ යුතු තවත් සත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ රටේ නීතිය කොයි තරම් නම් වල් වැදිලාද කියන කාරණාව. මේ වීඩියෝ බොහොමයක් ප්‍රසිද්ධියේම පොලිස් නිලධාරියාට පෙනි පෙනී ඔවුන්ට අභි‍යෝග කරමින් සාමාන්‍ය මහජනතාව වීඩියෝ ගත කරපු ඒවා. පොලිස් නිලධාරියා පමණක් නෙමෙයි, ඔවුන්ගේ සේවා අංක පවා පැහැදිලිව මේ වීඩියෝ පටවල සටහන්ව තියෙනවා. රටේ ජනතාව ප්‍රසිද්ධියේම නීතියට අභියෝග කරන මට්ටමට පත් වෙලා තියෙන්නේ පොලිස් නිලධාරීන්ගෙන් සිදුවන මේ අකටයුතුකම් වලට නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙනවාය කියන විශ්වාසය අල්ප වශයෙන්වත් මහජනතාව අතර නැති නිසාය කියන කාරණාව පැහැදිලියි. අතීතයේ නාඩගම් වල මුදලි කෝලම, පොලිස් කෝලම වගේ කෝලම් රග දැක්වූවේ තමන්ට සිදුවන අකටයුතුකම් වගේම තමන් මුහුණ දෙන පීඩනය හාස්‍ය රසය තුළ සගවා පිට කරලා දාන්න. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනතාවත් යූටියුබ් වීඩියෝ හරහා මේ පිටකර දාන්නේ එදා නාඩගමින් සිදු කළ පීඩනයම නේද කියන කාරණාව මේ වීඩියෝ පට දිහා බලද්දී මට හිතුණා).

නීතිය වල් වැදිලා සමාජය වළපල්ලටම ඇදගෙන වැටුණු රට ගොඩ නගන්නට ඕනේය කියන එක කා එක්ක කතා කළත් හැමෝම පිළිගන්න දෙයක් තමයි. ඒ වගේම රට ගොඩ ගන්නට ඉක්මනින්ම වෙනසක් වෙන්නට ඕනේ කියන කාරණයත් හැමෝම එක වගේ පිළිගන්න දෙයක්. ඒත් පුදුමයටම කාරණාව තමයි රට ගොඩ නගන්න කතා කරන මිනිස්සුන්ගේ ආකල්පවල තියෙන අංග විකල භාවය. සමාජ මාධ්‍ය ජාලාවල එකිනෙකා අතර ඝට්ටනය වෙන වාද විවාද, පුවත් වෙබ් අඩවිවල ප්‍රවෘත්තිවලට මිනිසුන් එකිනෙකා දක්වන අදහස් මතවාද දිහා බලද්දී ඇත්තටම කියනවා නම් රට ගොඩ නගන්නට රටේ සාමාන්‍ය ජනතාවට අල්ප මාත්‍රයකවත් හැගීමක් උවමනාවක් නැහැ නේද කියලයි හිතෙන්නේ. දූෂකයන්, මංකොල්ලකරුවන්, ගිනි මද්දහනේ රට විකුණූ සොරුන් රැක ගන්නට වාද විවාද කරන පිරිස දැක්කම මෙහෙම රටකට ඉර පායන එකත් දැනෙන්නේ මහා පුදුමාකාර දෙයක් විදියටයි.

පහුගිය ආණ්ඩුව සොරා කෑ බව ඒ ආණ්ඩුවේම ප්‍රබලයෝ පිළිගන්නවා. ඒ වගේම මේ ආණ්ඩුවත් සොරා කන බව මේ ආණ්ඩුවේම ප්‍රබලයෝත් පිළිගන්නවා. ඒත් පුදුමයට කාරණාව නම් ජනතාව මේ කාරණාව පිළි ගන්නේ නැති එකයි. ඒ නිසා එදා හොරාගේ හොරකම් මේ හොරාගේ හොරකම් වලින් යටපත් වෙලා යනවා. මේ හොරාගේ හොරකම් එන්න ඉන්න හොරාගේ හොරකම් වලින් යටපත් වෙලා යනවා. මේක චක්‍රයක් වගේ නැවතීමක් නැතිව දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වෙමින් තියෙන හින්දා අද වෙනකොට ඒක කොයි තරම් නම් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා ද කියනවා නම් හොරකම් කළත් මොකද, පාරවල් ටික හැදෙනවා නම් කියන්න තරම් දීන මානසිකත්වයක් ජාතියක් විදියට අපි ගොඩ නගාගෙන තියෙනවා. ඒ හින්දා මොන ආණ්ඩුව බලයට ආවත්, කැබිනට මණ්ඩලයේ සංශෝධන මොන තරම් සිද්ධ වුණත්‍ ඒකත් හරියට පුංචි කාලයේ අපි ඉගෙන ගත්ත සරල වාක්‍ය රචනාවක් වගෙයි. “මේ ගහේ හිටි ගොනා අනිත් ගහේ බැද සිටී… අර ගසේ බැද සිටි ගොනා මේ ගසේ බැද සිටී. ඉතින් හෙට ඉදන් මේ ගොනා නැවතූ තැනින් අර ගොනා උලා කයි. අර ගොනා නැවතූ තැනින් මේ ගොනා උලා කයි.” තමන් කැමැති හොරා රට කන එකේ කිසිම අවුලක් අපිට නැහැ. අපිට අවුලක් තියෙන්නේ අපි අකමැති හොරා රට කද්දී විතරයි. මේ මොන හොරා හොරා කෑවත් ඒවායේ පොලිය ආපහු ගෙවන්නට සිද්ධ වෙන්නේ තමන්ගේම දූ දරුවන්ට නේද කියන අතිශය සරල කාරණාව තේරුම් ගන්නට තරම් නිරවුල් මානසිකත්වයක් ජාතියක් විදියට ‍ගොඩ නගා ගන්න අපිටත් පුළුවන් නම් රට ගොඩ ගන්නට තාමත් ප්‍රමාද නැහැ.

 

මළ බව නොදැන ජීවත් වීම

 

art-black-candle-695644

පහුගිය වසන්ත කාලයට පස්සේ කැනඩාවේ වැන්කුවර් පුරවරයට කවදාවත්ම නැති තරම් සැරට ඉර මුදුන් වෙච්ච දවස තමයි ඒ. හිමිදිරි උදය ගෙවිලා යන්නටත් කලින් හිම කඳු යාය උඩින් පායාගෙන ආපු ඉර, එදා හවස් වරුව පුරාමත් එක දිගටම විසිරිලා පැතිරිලා ගියා. ඇත්තටම ඒක ඇඟපත දවාලන තරම් උණුසුමක්.

වැන්කුවර් නගරය පිහිටලා තියෙන්නේ කැනඩා – ඇමරිකා දේශ සීමාව ආසන්නයේ හින්දා මේ රටවල් දෙකේම වාසය කරන ශ්‍රී ලාංකිකයන් බොහොම පිරිසක් මේ ගිනි උණුසුම මැද්දේ වුණත් බොහොම දිගට විහිදුණු එළිමහන් පෝලිමකට එකතු වෙලා හිටියා. සත් සමුදුරින් ඈතක වාසය කරන මේ ශ්‍රී ලාංකිකයන්ට විතරක් නෙමෙයි මවුබිමේ වාසය කරන ලාංකිකයන්ට පවා බොහොම දුර්ලභ අත්දැකීමක් විඳගැනීම තමයි මේ හැමෝගෙම අරමුණ වුණේ. ඒ ලාංකීය සංගීත ලෝකයේ විශිෂ්ටයන් හතර දෙනකුගේ සම්ප්‍රාප්තිය එදා සිද්ධ වුණු නිසයි. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ටී. එම්. ජයරත්න, රෝහණ වීරසිංහ කියන මේ ප්‍රවිණයන් හතර දෙනාත්, ඔවුන් තරමටම විශිෂ්ට වූ වාද්‍ය ශිල්පීන් සිව් දෙනෙකුත් එක්ක ඒකාත්මික වුණු ඒ සැන්දෑව ඒ අවස්ථාවට සහභාගි වෙච්ච බොහොමයක් ශ්‍රී ලංකිකයන්ට අමරණීය මොහොතක් වුණාට කිසිම සැකයක් නැහැ.

ජීවිතයේ සිය දහස් වාරයක් අසා රස විඳි ගීත වුණත්, ඒ සැන්දෑ යාමයේ ගලා ගෙන ගිය මියුරු සංගීතයට මුහුවෙලා සජීවීව මතුවුණු ගී රාවයත් එක්ක තැවරිලා පාවෙලා ආපු තරම් මිහිරකින් මං මීට කලින් කිසිම දවසක ඒ ගීත රස විඳලා තිබුණේ නැහැ. එදා ඒ රැයෙහි ගැයුණු ඇතැම් ගීත කොයි තරම් නම් සංවේදී වුණාද කියනවා නම් වේදිකාවත් එක්කම ඒකාත්මික වෙලා හිටපු කිහිප දෙනෙකුම කදුළින් තෙත් වුණු දෙනෙත් පිහ දාන හැටි අඩ අඳුරේ දී වුණත් අඳුනා ගන්න මට අමාරු වුණේ නැහැ. විවේකයේදීත්, ප්‍රසංගය අවසානයේ දීත් සුළු සුළු කතාබහට එක්වුණු කිහිප දෙනෙකුගෙන්ම අහන්නට ලැබුණු කරුණු වලින් මං තේරුම් ගත්තේ ඒ හෝරා කිහිපය ඒ අයගේ ජීවිත වලට කොයි තරම් නම් සංවේදීව බලපෑවා ද කියන කාරණාවයි.

ඒකට හේතු කිහිපයක්ම තිබුණා. මූලිකම හේතුව ප්‍රසංගය බලන්නට ආපු හැම දෙනාවම වගේ ඒ ඒ අයගේ ජීවිතවල බොහොම ඈත සුන්දර අතීතයකට ගෙනි යන්නට තරම් සමර්ථ කමක් ඒ කටහඬවල් කිහිපය සතුව තිබුණු නිසයි. එදා මෙදා තුර පොකුරු පොකුරු ගණනින් ගායක ගායිකාවන් බිහිවුණත් මේ කටහඬ වලට හිමි පෞරුෂත්වයටවත්, ඒ අසහාය ගීත සමුච්චයටවත් අඩුම තරමින් අභියෝගයක්වත් එල්ල වෙලා නැහැ. ඉතින් මේ නිසා එදා ඒ රාත්‍රියේදී තමන්ගේම අතීත මතක විනිවිද දකින්නට බොහෝ දෙනෙකුට පුළුවන් වුණා. ඒකට හේතුව ඒ හැම ගීයක්ම වාගේ තමන්ගේ ජීවිතවල කිසියම් වූ සංසිද්ධියකට, කිසියම් වූ අතීත මතකයකට, සුන්දර අත්දැකීමකට එහෙමත් නැතිනම් අඩුම තරමින් තමන්ගේ ජීවන රිද්මය කැටිවුණු සිහින වැළකට ගෙන යන්නට සමත් වෙච්ච හින්දයි.

ගෝසාවක් නොවුණු සොඳුරු සංගීතයත්, පෞරුෂත්වය රැඳුණු මිහිරි හඬත් විතරක්ම නෙමෙයි ඒ සැන්දෑව ඒ තරම්ම දැනෙන්නට තරම් බලපෑවේ. වේදිකාවේ තිබුණු නිසලත්වයත් ඒකට ඒ තරමටම බලපෑවා. ලංකාවේ විතරක් නෙමෙයි විදේශවලත් තියෙන මේ විදියේ බොහොමයක් ප්‍රසංග නැටුම් වලිනුත් පිරිලයි තියෙන්නේ. මේ බොහොමයක් නැටුම් ගීතයට කිසිම විදියකින් සමපාත නොවෙනවා විතරක් නෙමෙයි, රස වින්දනයටත් කියන්න බැරි තරම් බාධාවක්. මේ බොහොමයක් නැටුම් වලදී වේදිකාව මැද්දට කඩා ගෙන පනින නැටුම් කණ්ඩායම තමන්ගේ ඇඟපතින් මුළුමනින්ම ගායකයාව වහගන්න නිසා ගායකයා විතරක් නෙමෙයි අඩුම තරමින් මයික්‍රෆෝනයේ රැහැන් පටවත් ප්‍රේක්ෂකාගාරයට බලාගන්න බැරි අවස්ථා එමටයි. ඉතින් ඒ විදියේ විසූක දස්සන එකක්වත් මේ ප්‍රසංගයට ඇතුළත් නොවිච්ච නිසාම පුදුමාකාර විදියට ඒකාත්මක වෙලා ප්‍රසංගය නරඹන්න හැමෝටම අවස්ථාව හිමිවුණා.

බණ පදයක් තරමටම, මිහිරි ගී පදයකටත් සිත කොයි තරමක් නම් සුවපත් කරන්නට පුළුවන් ද කියන කාරණව ඒ හෝරා කිහිපය අතරේදී කිහිප සැරයක්ම මට හිතුණා. ගෙවිලියකගේ ගොයම් කවියකට ස්වාමීන් වහන්සේලා හැට නමක් රහත් වුණු කතාවක් බොද්ධ සාහිත්‍යයේ තියෙනවා. එවැනි ප්‍රාතිහාර්යයක් සිදුවන්නට නම් සංසාරය පුරාම වර්ධනය කරගෙන ආපු චිත්ත ශක්තියකුත් තියෙන්නට ඕන බව ඇත්ත. ඒත් ඒ වගේම මිහිරි සංගීතයකට මුහුවුණු උසස් ගී පදයකිනුත් කොයි තරම් නම් කාරියක් කරන්නට පුළුවන්ද? ගුත්තිලයේ එන මිහිරි වීණා වාදනයේදී මව්වරුන්ගේ ඇකයෙන් දරුවන් පවා ගිලීහී වැටීම ඇත්තෙන්ම පුදුමයක් නෙමෙයි. සිත නිවන ගී පද වැලක් ඇසීමත් හරියට භාවනාවක් තරමට සිත සමාධිගත කරවන අපූරු අභ්‍යාසයක්.

නෙතට කඳුළක් මතු කරන්නට තරම්  හදවත් සංවේදී කරන්නට ගී පදයකට පුළුවන් නම් සමාජයක් වෙනස් කරන්නට කොයි තරම් නම් කාර්යභාරයක් කලාකරුවෙකුට කරන්නට පුළුවන්ද කියන සිතිවිල්ල ප්‍රසංගය පැවැති ඒ මුලු කාලය පුරාම විතරක් නෙමෙයි ප්‍රසංගයෙන් පස්සෙත් කිහිප සැරයක්ම හිතට නැගුණා. ලෝක ඉතිහාසයම අරගත්තාම ඇත්තටම ලෝකය සාධනීය විදියට වෙනස් කරන්න මුල් වුණෙත් කලාකරුවෝම තමයි. මුලු මහත් ලෝක ඉතිහාසය පුරාම ගුණාත්මක වෙනස්කම් ඇති කළේ කලාකරු‍වො මිසක් දේශපාලක‍යො නෙමෙයි.

රුසියානු විප්ලවයේ කැඩපත විදියට ලෙනින් නම් ක‍ළේ ලියෝ ‍‍ටෝල්ස්ටෝයි කියන සාහිත්‍යවේදියාව. ‍‍ටෝල්ස්ටෝයි කියන්නේ ධනපති පැළැන්තිය නියෝජනය කළ තරමක අහංකාර රදළයෙක්. ඒ විදියේ චරිතයක් නිර්ධන පංති නැගිටීමක කැඩපතකට සමාන කරන්නට ලෙනින් පෙළඹුණේ ටෝල්ස්ටෝයිගේ නිර්මාණ වලින් එවකට රුසියානු සමාජය විනිවිද පෙන්නන්නට සමත් වෙච්ච හින්දයි.

ලෝක‍යේ මුල්ම සැ‍රේට නීත්‍යනුකුල ජනතා මැතිවරණයකින් සමාජවාදය දිනාගත්ත රට තමයි චිලි දේශය. මැතිවරණ‍යෙන් නායකත්වයට පත් වු‍ණේ ‍ලොව පුරාම ප්‍රගතිශීලී ජනතාව‍ගේ ආදරයට පාත්‍ර ‍වෙච්ච සැල්වදෝර් අය්යන්දේ. ඒත් හමුදා කුමන්ත්‍රණයකින් ‍බො‍හොම බිහිසුණු විදියට ර‍ටේ බලය විතරක් ‍නෙ‍මෙයි අයියන්‍‍දේ‍ගේ ජීවිතයත් පැහැර ගත්‍‍තේ අයියන්දේ විසින්ම හමුදාපති ධුරයට පත් කරපු ඔගස්ටෝ ෆිනොචේ විසින්. එයින් පස්සේ ‍දෙදහසකටත් වඩා සමාජවාදී ක්‍රියාකාරීන් ‍බො‍හොම දරුණු විදියට ඝාතනය ‍කෙරුණා ව‍ගේම ලක්ෂ තුනකට ආසන්න පුරවැසියන් පිරිසක් අත්අඩංගුවට ගැණුනා. ෆිනොචේ‍ගේ ඝාතන රැල්‍‍ලේ එක් ‍ගොදුරක් වු‍ණේ වික්ටර් හාරා. වික්ටර් හාරා කියන්‍‍නේ මුලු ‍ලෝකය පුරාම ප්‍රගතිශීලී ජනතාව‍ගේ ආදරයට පාත්‍ර ‍වෙච්ච ජනතා කලාකරු‍වෙක්. පීඩිත ජනතාව‍ගේ කදුළ සුසුම තමන්‍‍ගේ අතින්ම පද රචනා වලට ‍ගොනු කරලා ඒවා ගීත බවට පත් කිරී‍මේ වරදට හමුදා පාලකයන් නැවත පෑනක් අල්ලන්න බැරි ‍වෙන විදියට, ඒ ව‍ගේම ගිටාර‍යේ තත් ආපහු වයන්නට බැරි ‍වෙන විදියට වික්ටර් හාරා‍ගේ දෑත් විනාශ කරලා අන්ති‍මේ දී ඔහුව දරුණු විදියට ඝාතනය කරලා දැම්මා. එත් තමන් ජීවත් ‍වෙච්ච අවුරුදු හතළියක ‍‍කෙටි කාලය ඇතුළේ හාරා සටහන් කළ අමරණීය නාමය අදටත් වලංගුයි.

හාරා තමන්‍‍ගේ ජීවිත‍යේ අන්තිමටම ලිවුව පද වැල තමයි;

We are 5,000, here in this little corner of the city.
How many are we in all the cities of the world?
All of us, our eyes fixed on death.
How terrifying is the face of Fascism
For them, blood is a medal,
carnage is a heroic gesture.

Song, I cannot sing you well
When I must sing out of fear.
When I am dying of fright.
When I find myself in these endless moments.
Where silence and cries are the echoes of my song.

“සම්මානයකි රුධිරය උන්ට – වීරත්වයකි සංහාරය”

සංහාරය වීරත්වය කරගත්ත, ඒ ව‍ගේම රුධිරය තමන්‍‍ගේ පැවැත්‍‍මේ ආභරණයක් කරගත්ත නායකයන් අ‍පේ ර‍ටේ ‍කොයි තරමක් නම් බිහිවුණාද…? බිහිවෙලා ඉන්නවද? බිහි‍වෙන්න බලා‍ගෙන ඉන්නවද…? ඒත් වික්ටර් හාරාලා ව‍ගේ කලාකරුවන් නම් ඒ විදි‍යේ අනුපාතයකින් රටකට බිහි‍වෙන්‍‍නේ නැහැ.

.

අනුරාධපුර‍යේ මහ‍මෙවුනා උය‍නේ සමාධි බුද්ධ ප්‍රතිමා‍වේ, ගල් විහාර බුද්ධ ප්‍රතිමාවලින්, අවුකන ප්‍රතිමා‍‍වෙන් හිතට දැ‍නෙන චිත්ත සමාධිය ‍‍නෙළුම් කුලුනින්, අයිෆල් කුලුනින් විඳ දරා ගන්නට බැහැ. ඒකට ‍හේතුව කලින් කිවුව ප්‍රතිමා ගල් කටු‍වෙන් මැ‍වෙද්දී ඒකට සං‍වේදී සිතිවිලි පරම්පරාවකුත් එක්කහු කරන්නට කලාකරුවා සමත් ‍වෙච්ච හින්දයි. ඒක විඳින්‍න  ‍බෞද්ධ‍යෙක් ‍වෙන්නම ඕ‍නේ නැහැ. තමන්‍‍ගේ හිත වැඩි‍යෙන්ම සන්සුන් කළ එකම වස්තුව අනුරාධපුර‍යේ සමාධි ප්‍රතිමා‍ව බව කිවුව එවකට ඉන්දීය අගමැති ජවහර් ලාල් ‍නේරු තමන් සිරගත වෙලා හිටපු කාල‍යේ පවා සිරකුටි‍යේ ‍මේ ප්‍රතිමා‍‍වේ ඡායාරූපයක් තබා‍ගෙන හිටියා.

කලාකෘතියකට ජාති ආගම් ‍භේදයක් නැහැ. ජාතිවාදී ඇහින් කලාව දකින්න හදනවා නම් ඒක ම්‍‍ලේච්ඡත්වයක්. තිරිසන් ලක්ෂණයක්. යාප‍න‍යේ පුස්තකාලය ගිනි තැබීම ගැන සතුටු ‍වෙන්නට පුළුවන් ‍කෙ‍නෙකු ඉන්නවා නම් එවැනි ‍කෙ‍නෙකු‍ගෙන් තිරිසන් සතෙකුටවත් මානව දයාවක් නම් කිසිම දවසක බලා‍පො‍රොත්තු ‍වෙන්න බැහැ. යාපනය පුස්තකාලය ගිනි තිබ්බ ‍මො‍හො‍තේ , ‍බො‍හොම ඈතින් ‍පෙ‍නෙන ඒ ගිනිදලු ‍මොනවාද කියලා දුරකථන‍යෙන් විපරම් කරපු ‍ඩේවිඩ් කියන පූජකවරයා ඒ ගිනි ගන්‍‍නේ තමන් ‍බෙහෙවින්ම ආදරය කරපු පුස්තකාලය බව දැනගත්ත ‍මො‍හො‍තේ දුරකථන රිසීවරය අ‍තේ තියා‍ගෙනම ළය පැලී මිය ගිය කතාවක් ධර්මසිරි බණ්ඩාරනායක මෑතකදී ‍හෙළි කළා.

බාමියන් නිම්න‍යේ දැවැන්ත බුදු පිළිම අන්තවාදී මුස්ලිම් මූලධර්මවාදීන් සුනු විසුනු කර දමද්දී සිත් කම්පා ‍‍නොවූ ‍කෙ‍නෙකු වූ‍යේ නම් එවන් හදවතකින් සං‍වේදී සිතිවිල්ලක් කිසිදා කිසි‍දි‍නෙක පහළ වෙන්‍‍නේ නැහැ.

ගලින් කරපු ඉසුරුමුණි‍යේ ‍පෙම් යුවළ දිහා බලා‍ගෙන ඉන්න ‍කොට හිතින් විඳින හැගී‍මෙන් අංශු මාත්‍රයක්වත් රජ පවු‍ලේ දැවැන්ත සරුව පිත්තල විවාහය දිහා බලා‍ගෙන ඉන්න ‍කොට විඳින්න පුළුවන්ද? කලාවැ‍ව පිස‍ගෙන එන සුළං රැල්ලක පහස ෂැංග්‍රිලා ‍හෝටල‍‍යේ විදුලි පංකාවකින් විඳින්න පුළුවන්ද? රුවන්වැලි දාගැ‍බ පාමුලදී දැ‍නෙන විසල් හැඟී‍මෙන් අංශුවක්වත්, ‍දැවැන්ත සු‍‍ඛෝප‍භෝගී සාප්පු සංකීර්ණයක විසිතුරු අබිමු‍වෙහි අත්විදින්න පුළුවන්ද? ඒකට ‍හේතුව රුවන්වැලි දාගැබ කියන්නේ ග‍‍‍ඩොල් ‍ගොඩක් පමණක් ‍නොවන හින්දා. ඒ හැම ‍දෙයක්ම ආගමිකත්වය පවා ඉක්මවා ගිය මහා දැවැන්ත කලා කෘති.

අනුරාධපුර‍යේ සුපුරුදු වට වන්දනා මාර්ග‍යෙන් බැහැර‍ වෙලා ‍පොඩ්ඩක් එළියට ගිහින් බැලු‍වොත් දකින්න ලැ‍බෙන, අතීත හිමිවරුන්ට වාසස්ථාන සැපයූ පධානඝර කියන ආරාමික ‍ගොඩනැගිලි නිර්මාණය ‍වෙලා ති‍යෙන්‍‍නේ තනිකරම කලුගලින්. ‍දැවැන්ත කලුගල් කුට්ටිවලින් නිර්මාණය ‍වෙච්ච ‍මේ ‍ගොඩනැගිලිවල පුදුමාකාර සිසිලසක් අදත් දකින්න ලැබුණත් ‍මේ ‍‍ගොඩනැගිලිවල ති‍යෙන ගල් කුලුනු කිසිම එකක ‍කොයියම්ම විදියක කැටයමක්වත්, බාහිර අලංකාරයක්වත් නැහැ. ඒ  ඒත් පධානඝරවලට යාබදව ති‍යෙන කැසිකිළි ගල් හරිම අපූරු කැටයම්වලින් පිරිලා ඉතිරිලා ගිහින්.  ‍බෞද්ධ චින්තන ධාරාවට අනුව පුහු අලංකාරය කොයි තරම් නම් නිස්සාර ‍දෙයක්ද කියන ‍ලෝක ධර්මතාවය ‍මේ තරම් අපූරුවට කලාත්මකව ඒ වගේම සංකේතාත්මකව ප්‍රකාශ කරපු ‍වෙනත් කිසිම අවස්ථාවක්, ‍වෙනත් කිසිම ස්ථානයක් ම‍ගේ මතකයට නැ‍ගෙන්‍‍නේ නැහැ. ‍චෛත්‍යය ව‍ටේ පළතුරු අතුරලා, මල් අතුරලා, ‍චෛත්‍යය  බ‍ඳේ ‍බෞද්ධ ‍කොඩි ‍පොරවලා, චෛත්‍යයට උඩින් වළාකුලු වලින් මැ‍වෙන බුද්ධ රූප ගනන් කරලා, අහ‍සේ මතු‍වෙන බුදුරැස් ‍හෙයා ‍හොයා එ‍හෙමත් නැතිනම් වර්ග හැට හැත්තෑවක කෑම බීම වලින් බුදුන්ට දන් පිළිගන්වලා කිසියම් ‍කෙනෙකු ‍බුදුන්ගේ ධර්මය හොයන්නට උත්සාහ කරනවා නම් ඒක ඒ අති විශිෂ්ට චින්තන ධාරාවට, දාර්ශනික සම්ප්‍රදායට කරන නිග්‍රහයක් විතරක් ‍නෙ‍මෙයි මහා අවමානයක්.

Toilet Stones

කලාව එහෙමත් නැතිනම් කලාකරුවා කියන පුද්ගලයා උත්තරීතරයි. ජාති ආගම්, දේශ සීමා මායිම් කිසිවක් කලාවට නැහැ. ඉරාන සිනමා පටයක ගැබ්වෙලා තියෙන ජීවන දර්ශනය වටහා ගන්නට අපි ඉරාන ජාතිකයන් විය යුතු නැහැ. බීතෝවන්ගේ සංගීත කණ්ඩයක් රස විඳින්නට අපි සංගීත ශාස්ත්‍රය හදාරන්නට උවමනා නැහැ. ක්‍රමානුකූල පාසල් අධ්‍යාපනයක් නොලැබූ රවීන්ද්‍රානත් තාගෝර් මුලු මහත් ඉන්දීය සමාජයේම කලා සම්ප්‍රදාය සහමුලින්ම වෙනස් කරන්නට සමත් වුණා.

අති විශිෂ්ට උත්තුංග කලා සම්ප්‍රදායක් තිබුණු රටක් තමයි ලංකාව කියන්නේ. බුදු පිළිමයම දැවැන්ත කලා කෘතියක්. ඒ උදාර අතීත කලා සම්ප්‍රදාය මොහොතකට අමතක කරලා මෑත යුගයේ ලාංකීය කලා නිර්මාණ දිහා බැලුවොත්ව මෑත ඉතිහාසයේ පවා කලා නිර්මාණවලින් සමාජයේ ගමන් වෙනස් කරන්නට ලොකු දායකත්වයක් ලැබුණු අවස්ථා ඕන තරම් හොයා ගන්න පුලුවන්. යටත් විජිත මානසිකත්වය කිසියම් දුරකට වෙනස් කරන්න පියදාස සිරිසේනගේ නවකතා වලින් විශාල දායකත්වයක් ලැබුණා. අයාලේ ගිය කලාවක දේශීය ගමන් මග හසුරුවන්නට ලෙස්ටර් ජේම්ස් පීරිස්, සරච්චන්ද්‍රයන්ගෙන් ලැබුණු දායකත්වය අමතක කරන්නට බැහැ. ඊයේ පෙරේදා විකාශය වුණු කූඹියෝ පවා අයාලේ යන ටෙලි නාට්‍ය කලාවකට අතුල් පහරක් එල්ල කළා. සහෝදරයා ටෙලි නාට්‍යය හිස් වෙලා ගිය ඔළුගෙඩි උඩු යටිකුරු කරලා දැම්මා.

අද අපේ රටේ සිද්ධ වෙන දේවල් එකිනෙකට එකක් කොයි තරමක් නම් සංකීර්ණ විදියට ගැට ගැහිලා පැටලිලා තියෙනවාද කියනවා නම් මේ ගැට ලිහලා දාන්න හරිම අමාරුයි. අපේ ඉතිහාසය මහාවංශයෙන් ඔබ්බට, ඒ කියන්නේ විජයගෙන් ඔබ්බට විහිදිලා යනවා කියන කාරණාව පුරාවිද්‍යාත්මක සාධකවලින්ම තහවුරු වුණේ දශක ගණනාවකට කලින්. අපේ ඉතිහාසය මහාවංශයේ සදහන් වෙන කාලයට වඩා බොහොම ඈතට ඇදිලා යනවා කියන කාරණාව අද පාවිච්චි කරන්නේ බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන කාරණාව තහවුරු කරවන්න. (මේ කාරණාවේ බරපතලකම තමයි බෞද්ධයන් ලවාම ශ්‍රී මහා බෝධිය කපා බිම හෙළන, බෞද්ධයන් ලවාම බුද්ධගයාවට ගල් ගස්සවන, බෞද්ධයන් ලවාම දෙව්රම් වෙහෙර සමතලා කරවන සමාජ මානසිකත්වයක් බිහිවීමයි). හමුදා සෙබළාට “ රණ විරුවා ” කියන ලේබලය අලවන්නේ පරාජිත දේශපාලන මානසිකත්වයකට හුළං පිඹින්න. තමන් විසින්ම චීනයට විකුණා දැමූ යුද හමුදා පරිපාලන මූලස්ථානයේ සුන්බුන් මතින් ඉදිවුණු ෂැංග්‍රිල්ලා හෝට‍ලයට එක්රැස් වෙලා රටේ ස්වාධිපත්‍ය්‍ය ගැන කතා කරන්නට පෙළ ගැහෙන වියත් මගේ විද්වතුන්ගේ විද්වත් භාවය රැඳිලා තියෙන්නේ තමන්ට අහිමි වෙලා ගිය වරප්‍රසාද කුට්ටි ටික අත්පත් කරගන්න කම් පමණයි. ර‍ටේ ආණ්ඩුව පවා ක්‍රියාත්මක වෙන්නේත් ඡන්ද දායකයන් වෙනුවෙන් තමන්ට කරන්නට පැවරිලා තියෙන ප්‍රධානතම රාජකාරිය කොළඹ පුරපතිනියට ලක්ෂ පනස් හතක වියදමකින් වැසිකිළියක් අලුත්වැඩියා කර දීම මේ ‍මොහොතේ දී රට වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම සද්කාර්යය කියලා හිතාගෙන ඉන්න මානසිකත්වයෙන්.

සිංහල සමාජය තාමත් දිරිමත් කරන්නේ දෙමළ කොටියා වගේම දෙමළ සමාජයෙන් ‍බහුතරයක් තාමත් අපේක්ෂා කරන්නේත් ජාතිවාදී සිංහලයායි. මේ විරසකය තුරන් කරන්නට කලාවට බොහොම දෙයක් කරන්න පුලුවන් වුණත් කලාකරුවන් කියන පිරිසත්, කලාවෙනුත් සිද්ධ වෙන්නේ ඒ විරසකයට තව තවත් පු‍ෂ්පෝපහාර පවත්වන එකයි.

පරාජිත දේශපාලකයන් බලයට පත් කිරීමේ අරමුණින් කලාකරුවන් කියන පිරිස එකතු වෙලා සුදෝ සුදු ඇදුම් වලින් සැරසිලා එරමිණියා ගොතා ගෙන සත්‍යග්‍රහයක ඉන්න පිංතූරයක් අන්තර්ජාලයේ මං දැක්කා. මළ ගෙදරකට ඇවිත් වගේ සුදු පිරුවට ඇද ගෙන ඇස් වහගෙන සත්‍යග්‍රහයේ ඉන්න මේ අය දිහා දැක්ක ගමන්ම ඔළුවට ආපු හිතිවිල්අල තමයි, එතැන හිටිය හැමෝම තමන් දැනටමත් මැරිලා ගිහින් බව නොදැන ජීවත් වෙන පිරිසක් නේද කියන එක. අපේ බොහෝ කලාකරුවන් දන්නේ නැහැ තමන්ගේ කුණු කය වැනි වැනී තිබුණත් නිර්මාණකරුවන් විදියට තමන් දැනටමත් මිය ගිහින් කියලා. ජනාධිපතිගේ සංගීත උපදේශකවරයා වෙන්න, නිවාස අමාත්‍යංශයෙන් පිනට වාහනයක් ලබා ගන්න, තමන්ගේ දුවව විදේශ සේවාවේ රැකියාවකට දාගන්න, ටවර්  හෝල් රගහල පදනමේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න, රාජ්‍ය උත්සවවල රජතුමා පිනවන්නට නැටුමක් දෙකක් පෙන්නලා ගතමනාවක් හොයා ගන්න, අඩුම තරමින් අරලිය ගහ මන්දිරයට ගිහින් කෑම වේලක් කන්න, තමන්ගේ දරුවාගේ විවාහ මංගල්ලයට ජනාධිපති ලවා අත්සනක් ගන්න… ඔන්න ඔය වගේ ‍‍බොහොම සිල්ලර චීත්ත රෙදි කරුණු කාරණා මිසක් රටේ ජනමතයට සාධනීය ලකුණක් එකතු කරන්න, මේ නරාවළින් ගොඩ එන්නට මගක් පෙන්නන්න තරම් දැක්මක්වත්, උවමනාවක්වත් මේ නඩයට නැහැ. ඒ නිසා ඇත්තටම අපේ කලාකරුවන්ගෙන් බහුතරයක්ම තමන්ම මළ බව නොදැන ජීවත් වෙන මිනිස්සු.

මේ සටහන නිමා කරන්නට මත්තෙන් තවත් එක් කාරණාවක් ගැන මතකයට එනවා. මැන්‍‍ඩෙලා සාධකය (Mandela Effect) නමින් අපූරු සංකල්පයක් මෑත කාලයේ බටහිර බොහොම ජනප්‍රිය වුණා. මේ සංකල්පය බෙහොම සරලව පැහැදිලි කරනවා නම් ඒකෙන් කියැවෙන්නේ සමාජයක් විදියට අපි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න, ඒත් ඇත්තටම ඒක එහෙම ‍නොවෙන දෙයක් ගැන විස්තර කරන්නයි. මේ සංකල්පයට මැන්ඩෙලා කියන නම දාලා තියෙන්නේත් අපි කවුරුත් දන්න හඳුනන නෙල්සන් මැන්ඩෙලා‍ගේ සිදුවීමක් ඒකට පාදක වෙච්ච නිසයි.

තරුණ නෙල්සන් මැන්ඩෙලා කියන්නේ දකුණු අප්‍රිකානු කළු ජාතිකයන් තලා පෙලා දැමූ වර්ග භේද වාදයට විරුද්ධව නොබියව සුදු මිනිසුන් හා සටන් වැද කළු ජාතිකයන්ට බොහෝ දේ දිනා දුන් වීරයෙක්. මේ අරගලවලට නායකත්වය දීම නිසාම අවුරදු විසි හතක කාලයක් පුරාම ඔහුට සිරබත් කන්නට පවා සිද්ධ වුණා. සිරගත දිවියෙන් මිදිලා ආපහු සිවිල් සමාජයට ආපු මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා බවටත් පත්වුණා. එදා විමුක්තිකාමියෙකු ලෙසින් හිටපු මැන්ඩෙලා චරිතය, අවසානයේ දී සම්ප්‍රදායික ජනාධිපතිවරයෙකුගේ භූමිකාවට කොටු වුණු හින්දා ඔහු පිළිබඳ මතකය මිනිසුන්ගෙන් ගිලිහී ගියා. ඒකට ‍හේතුව මිනිසුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වුණේ අරගලයට පණ පෙවූ විප්ලවවාදියා මිසක් සම්ප්‍රදායික ජනාධිපතිවරයා නොවුණු නිසා. මේ නිසා අවසාන කාලයේ දී මිනිසුන්ට මැන්ඩෙලා කවුරුන්ද කියන එක පවා අමතක වෙලා ගිහින් ඔවුන් හිතුවා ඇත්තටම මැන්ඩෙලා දැනටමත් මිය ගිහින් කියලා. මැන්ඩෙලා ඇත්තටම මිය ගියේ බොහොම මෑතකදී, ඒ කියන්නේ 2013 දී. මැන්ඩෙලා මළ පුවත ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වෙද්දී ‍ ‍බොහෝ බටහිර ජාතිකයන්ට විතරක් නෙමෙයි ලොව පුරා බොහෝ දෙනෙකුට මතු වුණු සිතිවිල්ල තමයි, “ හානේ.. ඇත්තටම මැන්ඩෙලා මේ වෙනකම්ම ජීවත් වුණාද….? මං හිතුවේ මැන්ඩෙලා මීට හුගාක් කලින් හිරගෙදරදිම මැරුණා කියලයි ”. ඒකට හේතුව ඔවුන්ගේ හිත් ඇතුළේ තිබුණු වීරයා මිය ගිහින් හුග කාලයක් ගත වෙලා ගිහින් තිබුණු හින්දයි.

ඉතින් මේ විදියේ උදාහරණ බොහොමයක් ඔය කියන සංකල්පය පැහැදිලි කරමින් මෑතකාලයේ දී එළියට ආවා. තවත් සරල උදාහරණ්‍යක් කියනවා නම්, Curious George කියන්නේ බටහිර රටවල අතිශය ජනප්‍රිය ළමා කාටුන් තතා මාලාවක්. ළමා කාටුන් චරිතයක් වුණත් කියුරියස් ජෝර්ජ් බලන්නට වැඩිහිටියන් පවා හරිම කැමතියි. මේ කතා මාලාවේ ප්‍රධාන චරිතය වෙන ‍‍ජෝර්ජ් කියන්නේ හරිම අපූරු හුරතල් වඳුරු පැටියෙක්. නගරයේ ගෙදරක මිනිසුන් ඇසුරේ හැදෙන වැඩෙන මේ වඳුරු පැටියා කරන කියන දේවල් තමයි කතාවට පාදක වෙලා තියෙන්නේ. අවුරුදු ගණනාවක් පුරාම හැමදාම වගේ උදේට හවසට විකාශය වෙන, ඒ වගේම නම කිව්ව පමණින්ම බාල මහලු කොයි කාගේත් හිත්වල මැවෙන කොයි කවුරුත් දන්නා හඳුනන මේ ජෝර්ජ් කියන වඳුරු පැටියාට වලිගයක් නැහැ කියන කාරණාව මිනිස්සුන්ගේ ඔළුවට ආවේ ඔය කියන මැන්ඩෙලා සාධකය කරළියට ආවට පස්සේ තමයි.

Curios George

ඉතින් කලාකරුවෙකු මිනිස්සුන්ගේ හිත්වල අමරණීය විදියට රැඳෙන්නේ තරුණ නෙල්සන් මැන්ඩෙලා වගේ තමන්ගේ කලා නිර්මාණවල නිරත  වුණොත් විතරයි. එහෙම වුණොත් මිය ගිය නෙල්සන් මැ‍න්ඩෙලා පවා තාමත් ජීවතුන් අතර කියලා මිනිසුන්ට දැනේවි. හරියට වික්ටර් හාරාලා වගේ. බීතෝවන්ලා වගේ. මැක්සිම් ගොර්කිලා වගේ.

අපට ඉන්න කලාකරුවන් බොහොම දෙනෙක් ඒ වගේ අය නොවන බැව ඇත්ත. ඒත් ඔය කිව්ව මැන්ඩෙලා සාධකය ඔය විදියටම ගලපලා  මේ කියන කලාකරුවෝ මිය ගිහින් කියලා අපේ මිනිස්සු විශ්වාස කරනවා කියලා කිව්වොත් ඒක මුසාවක්. ඒක අපිට මේ විදියට කියන්න පුළුවන්. ඒ විදියේ කලාකරුවන් තමන්ම මළ බව නොදැන ජීවත් වෙන මිනිස්සු වගේ. එහෙමත් නැතිනම් තමන්ගේ නැට්ට අහිමි වෙච්ච වඳුරු පෝතකයෝ වගෙයි.

(මේ සටහනට පාදක ‍වු‍ණේ ලිපියේ මුලදීම සටහන් කරන්නට යෙදුණු අමරණීය සංගීත සන්ධ්‍යාව වුණත් මේ ලිපියේ කරුණු කාරණා කිසිම දෙයක් ඒ අසහාය කලාකරුවන් පාදක කරගෙන නොලිය වුණු බවත්, මෙතැනදී සාකච්ඡාවට ගැනුණේ පොදුවේ ලාංකීය කලාව හා කලාකරුවන් ගැන බවත් අවධාරණය කරන්නට ඕනේ)

 

එනමුදු මගෙ රටයි ලෝකෙන් උතුම් රට!

blind_toppick_crop

දිනය හරියටම මතක නැති වුණත් ඒ 2009 වසරේ සැප්තැම්බර් මාසයේ එක්තරා රාත්‍රියක්. මං හිටියේ කොළඹ ජාතික රෝහලේ. ඒත් රෝගියෙකු විදියට නෙමෙයි. රෝගීව හිටපු මගේ තාත්තගේ ඇඳ ළඟ, තාත්තගේ තනියට. රෝහලේ වාට්ටුව 41 හරි 44 හරි වගේ තමයි මතක. වෙලාව රෑ අට නමය වගේ වෙන්න ඕනේ. රෝගීන් හැරුණාම වාට්ටුවේ හිටියේ රෑ වැඩ මුරය භාරව හිටිය එකම එක හෙදියකුත්, රෝගීන්ගේ තනි නොතනියට හිටපු මං වගේ තව දෙතුන් දෙනෙකුත් විතරයි. ඈතින් ඉඳහිට ඇහුණු වාහනවල සද්දයත්, රෝහලේ පරණ විදුලි පංකාවලින් මතුවුණු බොල් සද්දයත්, බිත්තියේ ඉහළට සවි කරලා තිබුණු රූපවාහිනී යන්ත්‍රයකින් මතුවෙච්ච කන්කරච්චලයත් රාත්‍රියේ නිසංසලකම බිඳලා දාලා තිබුණා. රූපවාහිනියේ විකාශය වෙමින් තිබුණේ රාත්‍රී ප්‍රවෘත්ති. ඒ වෙනකොට මැතිවරණ උණුසුමක් තිබුණු නිසා ගිරිය යටින් කෑ ගහන දේශපාලකයන්ගේ පිළිකුල උපදවන කටවල්වල සද්දය වාට්ටුව පුරාම පැතිරිලා යමින් තිබුණේ හරියට වාට්ටුව අයිනෙන් ගලා ගෙන යන කුණු කාණුව වගේ, ගන්ධස්කාරයෙන්. ප්‍රවෘත්ති විකාශයත් එක්කම මැතිවරණය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ප්‍රචාරය කෙරුණා. ඒකෙදි දකින්න ලැබුණේ ප්‍රධාන පක්ෂ දෙකෙන් තරග වදින දේශපාලකයො සිංදු කියන හැටි. මැතිවරණ වේදිකාවේම කොටසක සංගීත කණ්ඩායමක් සංගීතය සපයන්න සූදානම් වෙලා හිටියා. වැඩි වෙලාවක් යන්න කලින්ම මැතිවරණ වේදිකා සංගීත මඩු බවට පෙරළුණා. දේශපාලකයො රැළ, ගායකයො රැළක් බවට පත් වුණා. දහසකුත් දුක් කම්කටොළු හිස දරාගෙන එදා වේල ගැට ගහගන්න අනන්ත දුක් විඳින ජනතාව වේදිකාවට අබියස නටන්න පටන් ගත්තා. අන්තිමේදී මුලු මහත් මැතිවරණ රැස්වීමම එකම කෝලම් මඩුවක් බවට පෙරළුණා. ඒ වෙනකොට මං ලංකාවෙන් බැහැර වෙලා හිටපු කාලය ඒ තරම්ම දිග කාලයක් නොවුණත්, මේ ජුගුප්සාජනක දර්ශනය මං ඊට කලින් දැකලා තිබුණු දෙයක් නෙමෙයි. ගුවන් තොටුපලෙන් ගොඩ බැහැපු වෙලාවේ ඉඳන් මිනිස්සුන්ගේ සංවේදීකම, රටේ හද ගැස්ම මේ හැම දෙයක්ම වෙනස් වෙලා තියෙන බව පැය කිහිපයක් ඇතුළතම අත්විඳින්නට ලැබුණු නිසා මේ දර්ශනයත් පුදුමාකාර විදියට අප්‍රසන්න කමින් අත් විඳිද්දී තමයි එක සැරේටම වාට්ටුවේ විදුලිය විසන්ධි වුණේ.

විදුලිය විසන්ධි වෙනවත් එක්කම මුළු වාට්ටුවම එක සැරේම අඳුරේ ගිලිලා ගියා. හදිසි වෙලාවක දැල්වෙන්න තිබුණු ලොකු විදුලි පහන් දෙකක් රූපවාහිනිය  තිබුණු තැන, බිත්තියක මුදුනින් මහ උජාරුවෙන් විරාජමාන තිබුණු හැටි මං කලින් දැක්කත් ඒ එකක්වත් දැල්වුණේ නැහැ. ඈතින් ඇහුණු වාහනයක දුබල සද්දයක් හැරුණම වෙන කිසිම සද්දයක් ඇහුණේ නැහැ. රූපවාහිනියේ ගාලගෝට්ටිය නතර වෙච්ච නිසා පුදුමාකාර සහනයක් හිතට දැනුණත් ඒ සහනය වැඩි වෙලාවක් තිබුණේ නැහැ. විදුලි පංකා නතර වෙච්ච නිසා ඒ උණුසුම් රාත්‍රිය දහදියෙන් නැහැවෙන්න පටන් ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් කොහෙන්දෝ ආපු තඩි මී රංචුවක් වාට්ටුව පුරා සැරිසරන්න පටන් ගත්තා. වාට්ටුවේ බිමත් රෝගීන් දෙතුන් දෙනෙක් ඉන්න බවක් මං කලින්ම දැක්ක නිසා ඒ අහිංසකයන්ට මේ මීයන්ගෙන් නම් කොහෙත්ම ගැලවිල්ලක් නොලැබෙන්න ඇති. හොඳටම අසරණ වෙලා හිටපු රාත්‍රී හෙදියගේ ලාච්චුවේ ඉටිපන්දමක්වත් තිබුණේ නැහැ. හෙදිය හඬ නගලා කරපු ඉල්ලීමට වාට්ටුවේ හිටපු කවුරුන් හරි රෝගියෙක් තමන් අතේ තිබුණු  ඉටිපන්දමක් දල්වලා හෙදිය හිටපු මේසයේ සවි කළා. ඒ ඉටිපන්දම් එළිය විතරයි මුළු වාට්ටුවටම තිබුණේ. මේ ජවනිකාව ඉක්මනින්ම ඉවර වෙයි කියලා හිතුවත් එහෙම වුණේ නැහැ.  ජීවිතයේ ඉතාම දිගු වෙහෙසකර රාත්‍රියක් ඒ මොහොතේ අත් විඳින අතරේ මං හෙදියත් එක්ක කතාබහක යෙදුණා. රෝගීන් පිරිලා හිටිය ඒ වාට්ටුවේ බොහොමයක් රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටන් වදින වකුගඩු රෝගීන්.  ඒ හැම දෙනාටම අනිවාර්යයෙන්ම දිය යුතු දෛනික බෙහෙත් පෙත්තක් තිබුණා. ඒත් හෙදිය මට කිව්වේ විදුලිය ආවේ නැතිනම් රෝගීන් කාටවත් බෙහෙත් දෙන්නට විදියක් නැහැ කියලයි. කළුවරේ වැරදි බෙහෙතක් දීලා රෝගීන්ගේ ජීවිතය අනතුරේ හෙළනවාට වඩා බෙහෙත් නොදී ඉන්න එක අඩු අවදානමක් කියන එකයි ඇගේ තර්කය වුණේ. ඒකත් ඇත්ත. එදා මුළු රෑම විදුලිය ආපහු ආවේ නැහැ. ඒ නිසා ජීවිතයත් මරණයත් අතර සටන් වදිමින් හිටපු රෝගීන් කාටවත් බෙහෙත් වේල ලැබුණේත් නැහැ. දේශපාලකයන් එක්ක මහ ජනතාව හරි හරියට ජෝගි දමමින් නටමින් ඉන්න රටක, රටේ ප්‍රධානතම ජාතික රෝහලේ වාට්ටුවක රැයක් ගැන විස්තරයක් තමයි ඔය ඔබ කියෙව්වේ. ඒ කියන්නේ සුද්දාගේ පාලනය කළු සුද්දා අතට ඇවිත් දශක හය හතකට පස්සේ රටේ අස්වැන්නෙන් එක දෝතක්. හරියටම කියනවා නම් අපේ වහල් සේවය වෙනුවෙන් පෙරළා අපිට ලැබුණු ගතමනාව තමයි ඒ.

මේ අවුරුදු හැත්තෑව ඇතුළේ අපිව වහල්ලු විදියට විකිණෙන මේ වහල් වෙළදාමට අපි කොයි තරම් නම් ආදරය කරනවාද කියනවා නම් අපිට හීනෙකින්වත් හිතෙන්නේ නැහැ අපි වහල්ලු කියලා. මේකත් හරියට බුදුදහමේ එන චතුරාර්ය සත්‍යය වගෙයි. මුල්ම කාරණාව වහල්කම. දෙවැන්න තමයි අපි වහල්ලු වුණේ ඇයි කියන කාරණාව. තුන්වැන්න තමයි මේ වහල්කම නැති කරගැනීම. අන්තිම කාරණාව තමයි වහල්කම නැති කරගන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් මේ අන්තිම කාරණාවට එන්න නම් තව පරම්පරා ගණනාවක්ම අපිට බැරි වේවි. ඒකට හේතුව අඩුම තරමින් අපි ඔය පළමු වෙනි කාරණාවටත් තාම ඇවිත් නැති නිසා. ඒ කියන්නේ අපි තමා දන්නේ නැහැ අපි වහල්ලු කියලවත්. ඉතින් කොහොමද වහල්කම නැති කරගන්නේ. අපි කොයි තරම් නම් වහල්ලුද කියනවා නම් අපේ මිනිස්සු අද හිතන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන නෙමෙයි, තමන්ගේ පක්ෂ නායකයාගේ අනාගතය ගැනයි. එදා වේල හොයා ගන්න බැරිව ජීවන බර ඉවසා දරා ගෙන ඉන්න අපි තමන්ගේ පක්ෂයේ නායකයාට හරි ආර්යාවට හරි දුවට පුතාට හරි විරුද්ධව වචනයක් කිව්වොත් ඒක මොහොතකටවත් ඉවසා දරා ගන්නේ නැති තරමටම වහල්ලු.

වැඩවසම් වහල් සමාජයේ තිබුණු වහල් වෙළඳාම නතර වුණේ නීතියකින්ම වහල් සේවය තහනම් කරපු හින්දා. ඒත් නීතියකින් බැහැනේ අපේ ඔළුගෙඩි ඇතුළේ හිරවෙලා තියෙන සීමා බන්ධන බිඳලා දාන්න. අපේ සමාජය අද කොයි තරම් නම් හිරිවැටිලාද කියනවා නම් එහෙම දෙයක් හිතීමත් බොහොම දෙනෙකුට ඇඟ කිලිපොලා යන මාරක සිතිවිල්ලක්.  මේ හින්දා තමයි අර පැන්ෂන් ගිය ටියුෂන් ගුරු මන්ත්‍රීවරයා කිව්වේ තමන්ගේ පක්ෂයෙන් පොල් ලෙල්ලක් දැම්මත් බලය ගන්න පුළුවන් කියලා. සහතික ඇත්ත… බලයට ආපු හැමෝම වගේ පොල් ලෙලි තමයි. ඒ පොල් ලෙලි ටික හින්දා තමයි අද රටේ ප්‍රධානතම ආදායම් මාර්ගය මැද පෙරදිග ගෘහ සේවය බවට පත්වෙලා තියෙන්නේ. රණවිරුවො, දේශප්‍රේමියො, සිංහල ජාතිය ආගම රැක ගන්න ගිරිය යටින් කෑ ගහන අධිරාජ්‍ය විරෝධි වීරයෝ පිරිලා ඉන්න මේ දූපතේ ප්‍රධානතම ආදායම් මාර්ගය තමයි මැද පෙරදිගට කුස්සි අම්මලා සැපයීම.

මැද පෙරදිගට ගැහැනුන් විකුණන එක ප්‍රධානතම ආදායම් මාර්ගය වුණාට අපේ පුරසාරම් නම් කෙළවරක් නැහැ. ලෝකයේ උසම නත්තල් ගහට ගිනස් වාර්තාව තිබ්බා. උසට උසේ නෙළුම් කුළුණු හැදුවා. දිගම සාරි පොටට වාර්තාව තිබ්බා. පිටි ගුලියකට ඇදිරි නීතිය දාපු රටක් විදියටත් හෙට අනිද්දට ගිනස් වාර්තාව තියයි. නන්දා මාලිනිය නමින්වත් පාරක් නැති රටේ එකම එක ප්‍රශස්ති ගායනක් කරපු තරුණියකට පාරක් පවා නම් කළා. ඒ වගේද අපේ රටේ නම පවා කොයි තරම් නම් ගරු ගාම්භීරද? ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. ඇමරිකාවේ නම නිකම්ම නිකම් එක්සත් ජනපදය. ලෝකයේ දෙවැනි විශාලම රට වෙච්ච කැනඩාවේ නිල ජාතික නාමය නිකම්ම නිකම් කැනඩාව. බ්‍රිතාන්‍යත් නිකම්ම නිකම් මහා බ්‍රිතාන්‍යය. රටේ නම විතරක් නෙමෙයි අපේ නායකයාත් කොයි තරම් ගරු ගාම්භීරද…? අතිගරු ශ්‍රීමත් ජනාධිපති උතුමාණෝ. ඇමරිකාවේ බැරැක් ඔබාමාට වොෂිංටන් පෝස්ට් පත්තරය විතරක් නෙමෙයි රටේ සියලුම ජනමාධ්‍යයි, පුරවැසියනුයි කතා කළේ නිකම්ම ඔබාමා කියලා. මිස්ටර් කෑල්ල දැම්මේ මිස්ටර් ප්‍රසිඩන්ට් කියලා ජනාධිපති කියන තනතුර හඳුන්වන්න විතරයි. ට්‍රම්ප් පවා නිකම්ම නිකම් ට්‍රම්ප්. කැනඩාවේ අගමැතිවරයාත් නිකම්ම ජස්ටින්. තනතුරට ගෞරව කරන්න යොදා ගන්න එකම යෙදුම මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර් විතරයි. පුටින් නම් පුටින්. එත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජීවත් වෙන අපිට අතිගරු ශ්‍රීමත් ජනාධිපති උතුමාණන් විතරක් නෙමෙයි අතිගරු ශ්‍රීමත් මැති අමැතිවරුන්ගෙන් අඩුවක් නැහැ. ඒ විතරක් නෙමෙයි මහ රජාණන්ලා මදිවට අතිගරු ආර්යාවොත් ඉන්නවා. ඒත් අන්තිමේදී දන්නෙම නැතිව රට අසාදු ලේඛනයටත් ඇතුළත් වෙලා. ඉතින් මේ හැම දෙයක්ම ගෝත්‍රික සමාජයක ලක්ෂණ. එහෙමත් නැතිනම් වැඩවසම් වහල් සමාජයක අංගෝපාංග. ආගම, ජාතිය විතරක් නෙමෙයි සංස්කෘතිය පවා අපි අල්ලගෙන තියෙන්නේ වැරදි තැනකින්. මේ නිසා ජාතිආලය, දේශප්‍රේමය මේ දූපතෙන් වෑස්සිලා ගිහින් ඉන්දියන් සාගරය පුරා දෝරේ ගලනවා. සීතාම්බර පට කතාවේ නිරුවතින් හිටියේ රජතුමා විතරයි. ඒත් මේ දූපත ඇතුළේ අපි හැමෝම සීතම්බර පට සළුවලින් තමයි සැරසිලා ඉන්නේ. ඔය දූපත ඇතුළේම හිරවෙලා දූපත් මානසිකත්වයෙන් බලනතාක් කල් අපිට හිතෙන්නේ අපි ඉන්නේ අනර්ඝ සළුපිළි වලින් සැරසිලා කියලයි. ඒත් ඒ නිරුවත පේන්නේ දූපත් මානසිකත්වයෙන් මිදෙන්න පුළුවන් උන්ට විතරයි. සමාජයක් විදියට අපි ඉන්නේ නිරුවතින් කියලා හඳුනා ගන්න පුළුවන් වෙනකල්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කිය කියා ළිං පතුලේ හිරවෙලා එකම තැන උඩ පනින ගෙම්බො වගේ ඉන්නවා මිසක් මේ ළිං කටින් ගොඩ එන්න නම බැහැ අපිට කිසිම දවසක.

දියුණු වෙමින් තියෙන ලෝකයේ අනිත් රටවල් දිහා බැලුවම ඒ හැම රටකම මිනිස්සු ඡන්දය දෙන්නේ කෙනෙකුගේ ප්‍රතිපත්තිවලට. ඒත් අපේ රටේ? මේ අවුරුදු හැට හැත්තෑව පුරාම අපිට තිබු‍ණේ හාල් පොල් දේශපාලනයක්. පොල් ගෙඩියක මිල අඩු කිරීම, හාල් කිලෝවක් සත පනහකින් අඩු කිරීම, පාන් ගෙඩිය රුපියලකින් බැස්සීම… මැතිවරණයක් දිනාගන්න මේ වගේ පොරොන්දු දෙක තුනක් හොඳටම ඇති. මැතිවරණය දිහා, එහෙමත් නැතිනම් රට භාර දෙන්න සුදුසු නායකයන් කවුරුන්ද කියලා අපි බලන්නේ කොයි තරම් නම් මෝඩ තකතිරු විදියට ද කියනවා නම් දේශපාලකයෙක් දරුවෙක් වඩාගෙන හුරතල් කිරීමත් රටක් භාර දෙන්න ලොකුම ලොකු සුදුසුකමක්. එහෙමත් නැතිනම් මුළු පවුලම එකතු වෙලා ආරිය සිංහල ඇඳුමින් සැරසිලා ඡායාරූපයකට පෙනී හිටීමත් අපේ ඡන්දදායකයන්ගේ හදවත් උණුසුමින් පුරවන්න හොඳටම ප්‍රමාණවත්. පවුලේ හැමෝම එකතු වෙලා සිංහල හින්දු අලුත් අවුරුද්දට ලිප ගිනි මොළවන පිංතූරයකුත් හොඳටම ඇති රටේ පාලනය භාර දෙන්න.

මේ කාරණා සටහන් කරන්නට හිතුණ් කරුණු කිහිපයක් හින්දා. මූලිකම කාරණය තමයි පහුගිය දවසක නිමාවෙච්ච මැතිවරණය. බලයෙන් පැරදිලා ආපහු බලයට එන්න පොරකන අයයි, බලයේ ඉන්න අයයි කියන කරන දේවල් දැක්කම, ඒ වගේම දෙන පොරොන්දු දැක්කම සිහිබුද්ධිය යම්තමින් හරි තියෙන කෙනෙකුට මතුවෙන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඉතින් මේ අවුරදු හැත්තෑව ඇතුළත ඇයි ඔය දේවල් වලින් අංශු මාත්‍රයක් හරි නොකළේ කියන එක. මොකද 1948  ඉදන් අද වෙනකම් අවුරුදු හැත්තෑවක්ම රට පාලනය කළේ ඔය කියන පක්ෂ දෙක හරියටම කියනවා නම් දේශපාලන පවුල් දෙකක් මාරුවෙන් මාරුවට. ඉතින් මේ අවුරුදු හැත්තෑව ඇතුළේ ඔබේ කරමතින් බලයට පත්වෙච්ච මේ පවුල් ආණ්ඩුවලින් පෙරළා ඔබට ලැබුණු දෙයක් නම් කරන්න පුළුවන්ද? අඩුම තරමින් එකම එක දෙයක්?

නිදහස් සෞඛ්‍ය? එහෙම දෙයක් නැහැ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඔය උඩින් සඳහන් කළ කතාවම ඇතිනේ. රජයේ රෝහලකට ගියාම කොයි තරම් නම් පිරිසක් ඇඳන් නැතිව බිමට ඇදලා දාලා තියෙනවද? අඩුම තරමින් හදිසි ලේ පරීක්ෂණයක් කරන්නවත් පුළුවන්ද පුද්ගලික සායනකින් සල්ලි නොගෙවා මිසක්. රජයේ රෝහලෙන් මිල නියම කරන බෙහෙත් මිලදී ගන්න සල්ලි නැතිව කොයි තරම් නම් පිරිසක් අකාලයේ මිය ඇදෙනවද? එත් අපූරුම කාරණේ තමයි, 1930 අවුරුද්දේ ඉඳන්ම අපේ රටේ ජනතාව නිදහස් සෞඛ්‍ය සේවාව භුක්ති විඳිනවා කියලා මෑතකදී තිබුණු 68 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේදී පුරසාරම් දෙඩුව සෞඛ්‍ය ඇමතිවරයාවම, සුළු අසනීපයකට බෙහෙත් ගන්නත් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලට පැන ගන්නවා. (හැබැයි ඒ ඔක්කොම ජනතාවගේ සල්ලි). මැති අමැත්තන්ගේ රථ වාහන පර්මිට් වෙනුවෙන් පමණක්ම ‍‍කෝටි පන්දහක විතර ධනස්කන්ධයක් නාස්ති කරන රටක පිළිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගන්න මිනිස්සුන්ගෙන් සල්ලි හිඟාකද්දි සාමාන්‍ය පුරවැසියන් තමන්ගේ අතේ මුදලින් තමයි ඒකත් අරන් දුන්නේ.  රටේ සෞඛ්‍ය අමැතිවරයාටවත් විශ්වාසයක් නැති රටේ සෞඛ්‍ය සේවාවත් හරියට “හාමුදුරුනමක්” රටේම හෙදියො ටික පාලනය කරනවා ව‍ළ පල්ලටම බැහැලයි තියෙන්නේ.

එතකොට නිදහස් අධ්‍යාපනය? ඔබේ දරුවා ළදරු පාසලට දාපු දවසේ ඉඳන් සරසවි අධ්‍යාපනය දක්වාම කොයි තරම් නම් මුදල් කන්දරාවක් වැය කරන්නට ඔබට සිද්ධ වෙනවාද? පාසලට ඇතුළත් කරන්න ගෙවන අල්ලස හැරුණාම, පංතියේ තීන්ත, මේස පුටුවල ඉඳන් හැම දෙයකටම වැය වෙන්නේ දෙමව්පියන්ගේ සල්ලි. අනෙක් අතට ලංකාවේ පාසල් පද්ධතිය කියන්නේ නමට තියෙන දෙයක් විතරයි. දෙක තුන වසරේ ඉඳන්ම කොයි තරම් නම් ධනස්කන්දයක් වියදම් කරන්න ඕනේද ටියුෂන් වලට? ඉතින් කොහේද නිදහස් අධ්‍යාපනයක්. ඒත් ධනවාදී කියලා ලේබල් ගහන ලෝකේ අනෙක් සෑම රටකම වගේ සරසවි අධ්‍යාපනය හැරුණාම ඒ දක්වාම අධ්‍යාපනය වචනයේ පරිසමාප්තියෙන්ම නිදහස්. මේ සෑම රටකම පුරවැසියන්ට රටේ සෞඛ්‍ය සේවාවේ පල නොමිලයේම විඳින්න පුළුවන්. ටියුෂන් නැහැ. චැනලින් නැහැ. වෛද්‍ය පරීක්ෂණවලට ගෙවන්න ඕනේ නැහැ.

ඉතින් තවත් වෙන මොනවා හරි දෙයක් මේ අවුරුදු හැත්තෑව ඇතුළේ ඔබට ලැබිලා තියෙනවාද? අධිවේගී මාර්ග, ගොඩනැගිලි හැදෙන්නේ ජනතාවගෙ සල්ලිවලින් මිසක් ඔය කිසිම පවුලක බූදලයකින් නෙමෙයි කියන එක මතක් කරන්නට අවශ්‍ය නැහැනේ. සංවර්ධන ව්‍යාපෘති කියලා ඔය කියන සෑම ව්‍යාපෘතියකින්ම අඩුම තරමින් සියයට තිහක මුදලක් කොමිස් විදියට එකිනෙකාගේ සාක්කුවලට යන බවත් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැනේ.

සිංගප්පූරු රජය තමන්ගේ අතිරික්ත ජාතික ආදායමෙන් කොටසක් එහි පුරවැසියන්ට දීමනාවක් විදියට නොමිලයේ දෙන්න ආපහු සැරයක් තීරණය කළා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි එක පාරටම සිංගප්පූරුව මතක් වුණේ. කියලා. වැඩි කාලයක් නෙමෙයි අදින් අවුරුදු පනහකට විතර කලින් සිංගප්පූරුව කියන්නේ ලංකාවට වඩා ‍බොහොම පහළ තලයක තිබුණු රටක්. 1956 දී මුලින්ම ලංකාවට ආව සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ ලංකාව දැකලා කොයි තරම් සතුටට පත් වුණා ද කියනවා නම් එයා ප්‍රසිද්ධියේම කියපු දෙයක් තමයි සිංගප්පූරුවත් කවදා හරි දවසක ලංකාවක් බවට පත් කරනවා කියන එක. ඒත් එයින් අවුරුදු තිහක් යන්නත් කලින් 1998 දී ලී ක්වාන් යූ ට කියන්නට සිද්ධ වුණා සිංගප්පූරුව තවත් ශ්‍රී ලංකාවක් නම් නොවේවා කියලා. මෙහෙම වුණේ ඇයි? හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු හැම එකක්ම කෙටි කරලා ගත්තොත් කියන්න පුළුවන් කාරණාව තමයි බුද්ධිමත් තීරණ ගන්න පුළුවන් නායකයන් පිරිසක් අපිට නැතත් එයාලට සිටීම. සිංගප්පූරු කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරුන් 22 දෙනාගෙන් විස්සක්ම අඩුම තරමින් පශ්චාත් උපාධියක්වත් හිමි කරගන්නා මට්ටමට උසස් අධ්‍යාපනයක් තියෙන අය. බ්‍රිතාන්‍යය ගත්තොත් හැම කැබිනට් අමැතිවරයෙක්ම වගේ ඔක්ස්ෆර්ඩ් හරි කේම්බ්‍රිජ් හරි අඩුම තරමින් වෙනත් ඉහළ පෙළේ සරසවියකින් හරි උසස් මට්ටමේ උපාධි ලබාගත්ත අය. ඒ තියා අපේ අසල්වැසි ඉන්දියාවේ පවා කැබිනට් ඇමතිවරුන්ගෙන් බහුතරයක්ම නීති උපාධිධාරියො, එහෙමත් නැතිනම් පිළිගත්ත සරසවිවලින් පිටවුණු විද්‍යාවේදියො. ඉතින් අපේ රටේ…? අඩුම තරමින් පාසල් අධ්‍යාපනයවත් හරියට නිම කරගත්තේ නැති 102 ක්ම අපේ මැති ඇමති ලැයිස්තුවේ ඉන්නවා. සියයට ආසන්න පිරිසක් සාමාන්‍ය පෙළත් අසමත්. ඉතින් ඔහොම පිරිසක් තියාගෙන රට සංවර්ධනය වෙනකම් අපි බලාගෙන ඉන්නවා. ලෝකයේ ශිෂ්ට සම්පන්න හැම රටකම ඡන්දයට එන්නේ විද්වතුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන් වගේ විවිධාකාර අංශවල ප්‍රවීණ්‍යන් වුණත් අපේ රටේ බලයට එන්නේ කුඩුකාරයො, මංකොල්ලකරුවො, තුට්ටු දෙකේ නිළියො, බේබද්දො, දූෂකයො කියන අංශවලින් ප්‍රවීණයො.

මේ සැරේ මැතිවරණයෙනුත් කසිප්පු නඩු 42 ක් තියෙන කසිප්පු කාරයො. කාන්තාවන් සියයක් දූෂණය කරලා වාර්තාවක් තිබ්බ දුෂකයො. රටට වැඩක් නොකර නිකම්ම වයසට ගිය අවුරුදු අසූවේ සීයලා ඔබේ දේශප්‍රේමී කතිරයෙන් මේ සැරෙත් බලයට පත් වුණා. ඉහළම ඡන්දෙන් බලයට පත්වෙච්ච නිළි බබා අවුරුදු පහක්ම තොදොල් වෙවී හුරතල් වෙවී ඉඳලා අන්තිමේ දී ජීවිත කාලයටම පැන්ෂන් එකත් හදාගෙන , වාහන පර්මිට් එකත් අරන් ගෙදර ගියා, මව් පදවියට සූදානම් වෙන්න. මේ ආණ්ඩුවත් බලයට ආපු ගමන්ම කළේ ජනතාවට එපා වෙලා පැරදුණු  අර මුණත් තහඩු ටික ආපහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම විතරක් නෙමෙයි ඇමති තනතුරු පවා අරන් දීම. මැතිවරණයක් ඉවර වුණු ගමන්ම අපේ රටේ සිද්ධ වෙන්නේ මුළු මහත් මැතිවරණයම හිස් පුස්සක් බවට පත් කරලා හරියට අර ශාන්ත ජෝන් මාළු වෙළෙදපොලේ මාළු ලෑල්ල වෙන්දේසි කෙරෙනවා වගේ මන්ත්‍රී ශරීරත් වෙන්දේසි වෙන එක තමයි. (ඒ ශරීර වෙන්දේසියට මිසක් වෙන වැඩකට ගන්නත් බැහැ තමයි). රණවිරුවො ගැන, දේශප්‍රේමය ගැන, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන බෙරිහන් දෙන ගමන් ආණ්ඩුවට පතුර යන්න බැන වදින විපක්ෂය, මන්ත්‍රී වැටුප් දීමනා වැඩි කරද්දී, විශ්‍රාම වැටුප දෙගුණ කරද්දී, වාහන පර්මිට් දීමනාව ඉහළ දාද්දී හීන් සීරුවේ ආණ්ඩුවත් එක්ක එකට අත උස්සනවා. අඩුම තරමින් විවාදයක් වත් නැහැ. අපිත් වහල්ලු නිසා ජීවන බර කොයි තරම් තිබුණත්, ඒ බරටත් කර දෙනවා. ඇයි ඉතින් අපේම පක්ෂයේ අයනේ. එහෙම තමයි අපි හිතන්නේ. වැරැද්දක් දකින්න දිව නැමෙන්නෙම නැහැ. ඒ හින්දා තමයි අපිට වහල්ලු කියන්නේ. අපි අපිව බැඳලා තියෙන මේ යදම් වලට කොයි තරම් නම් ආදරය කරනවා ද කියනවා නම් නිදහස කියන දේ තේරුමවත් අපි දන්නේ නැහැ. ඒකටත් හේතුවත් තියෙනවා. 1948 දී අපිට ලැබුණාය කියන “නිදහස” ලැබුණේ සටන් කරලාවත්, ඒ වෙනුවෙන් අරගල කරලාවත් නෙමෙයිනේ. ඉන්දියාවේ ජාතික අරගලයේ ප්‍රතිඵලයක් විදියට ඉන්දියාවට නිදහස ලැබෙද්දී තමන්ටත් වඩා හොඳින් තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පිරිසක් ලංකාවේ බිහිවෙලා ඉන්නවා දැකලා, ඒ සන්තෝසෙට නිකම් ඔහේ වීසි කරලා දාපු දෙයක් තමයි ඒක. තමන්ගේ පංතියට බලය ලබා ගන්නට මිසක් කැපී පෙනෙන ජාතික අරගලයක් අපිට කොයි විදියකින්වත් තිබුණේ නැහැ. ඒ නිසා නිදහස කියන්නේ මොකක්ද කියන එක අපිට ඓතිහාසකිවම දැනිලා නැහැ. අපි දන්නෙත් නැහැ. කාලාන්තරයක් තිස්සේ මේ වහල්කමට, මේ යදම්වලට අපි කොයි තරමක් නම් පුරුදු වෙලා තියෙනවාද කියනවා නම් මේ යදම් ගලවලා දැම්මොත් අපිට වුණත් මහම මහ හිස්කමක් දැනේවි.

ඉතින් නිදහසක අගය දන්නේ නැති වහල්ලුන්ව ගොන්නුන්ට අන්දන්න හරිම ලේසියි. මොන දූෂණ වංචා මිනීමැරුම් කළත් ඊට විරුද්ධව වචනයක් වත් කතා කරන්න බැහැ… සිංහල බෞද්ධ කියන ලේබලය අලවපු ගමන් එතැනින්ම ඒක ඉවරයි. රටේ සම්පත්, දේපළ අමු අමුවේ කොල්ල කෑවත්, පවුල් පිටින් හොරකම් කළත් අනේ සිංහල බෞද්ධ නායකයෙක්නේ කියලා හිතන තරමට පුදුමාකාර කරුණාවක් අපේ හිත් තුළින් දෝර ගලාගෙන යනවා. එහෙම කෙනෙකුට අත තිබ්බොත් ඒක දේශද්‍රෝහී, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. හමුදා සෙබළෙක් මොන දූෂණය කළත් ගැටලුවක් නැහැ‍, ඇයි එයා රණවිරුවෙක්නේ. රණවිරුවෙක් කියන්නේ කවුද හමුදා සෙබළෙක් කියන්නේ කවුද කියලා තේරම් ගන්න තමන්ගේම දියණිය දූෂණයට ලක්වෙනකල්ම වටහා ගන්න බැරි තරමටම අපේ සමාජය නිර්වින්දනය වෙලා.

දෙමළ සටන්කාමියෙකු වෙච්ච කුට්ටුමනී මරා දාන්නට කලින් 1982 අවුරුද්දේදී උසාවියේදී කිව්ව දෙයක් තමයි එදා දවසේ තමන්ට එල්ල වෙන තුවක්කු අනාගතයේ දී සිංහල තරුණයන්ට එල්ල වේවිය කියන එක. අලිමංකඩ වධ කඳවුර අනාගතයේ දී හම්බන්තොටට ගෙනි යාවි කියලත්, ගුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙන යාවි කියලත් කිව්ව කුට්ටුමනී එදා දෙමළ තරුණයන් වෙනුවට අනාගතයේ දී සිංහල තරුණයන් ඔය කදවුරුවල වධ විඳීවී කියන එක උසාවියේ දී ප්‍රකාශ කළේ තමන්ව මරා දාන්න කලින්. ඒක හැබෑ වෙන්න දශකයක්වත් ගියේ නැහැ. හම්බන්තොට විතරක් නෙමෙයි රට පුරාම වධ කඳවුරු බිහිවෙලා දෙමළ තරුණයන් වෙනුවට සිංහල තරුණයන් දහස් ගණනින් බිලිවුණා. 1982 දී වීරෝධාර හමුදාව විදියට නම් කෙරුණු හමුදාවම තවත් දශකයක් ඇතුළත 88 – 89 කාලයේ දී ආණ්ඩුවේ කුලී මැරයන් බවට පෙරළුණා. ඊට පස්සේ තවත් දශකයක් යන්නත් කලින් ආපහු සැරයක් ඒ නම රණවිරුවා බවට පත් වුණා. මේක මෙතැනින් නතර වෙන්නේ නැහැ. තවත් දශකයක් යන්න කලින් ඔය නම ආපහු සැරයක් පරිවර්තනය වෙනවා. තරුණයෙක් හමුදාවට යන්නේ රණවිරුවෙක් වෙන්නවත්, කුලී මැරයෙක් වෙන්නවත් නෙමෙයි. දරිද්‍රතාවය නිසා රැකියාවක් හොයා ගෙන. මේ හැම වෙලාවකම හමුදා සෙබළා වෙනස් වුණේ නැහැ. පාලකයන්ගේ උවමනාවට ඔහුගේ කාර්යභාරය වෙනස් වුණා විතරයි. මේ තත්ත්වය තේරුම් ගන්න තරම් අපි තාමත් ළාමක වැඩියි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1979 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එද්දී බහුතර සිංහල ජනතාව එකහෙළා ඒක අනුමත කළා. ඒකට හේතුව එදා උතුරේ මිසක් දකුණේ ත්‍රස්තවාදයක් නොතිබුණු හින්දා. මේ හින්දා සාමාන්‍ය මිනිස්සු මේ පනත හැඳින්නුවේ “කොටි පනත ” කියලයි. ඒත් අන්තිමේ දී මේ පනත නිසා වධ වේදනා වින්දේ, ඝාතනයට ලක්වුණේ දෙමළ තරුණයන්ටත් වඩා සිංහල තරුණයොයි. එදා සිංහල ජනතාවගේම ආශිර්වාදයෙන් නීතියක් බවට පත් කළ පනත් කෙටුම්පත අන්තිමේ දී සිංහල ජනතාවගේම දරු දැරියන් ම්ලේච්ඡ විදියට වධ හිංසාවට ලක් කරලා ඝාතනය කරන්න ප්‍රධානතම ආයුධය බවට පත් වුණා. බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම එදා ඉඳන් අද දක්වාම කළේ ඒකම තමයි. ඒත් මේ මිනී කඳු වලින් අපි තාමත් පාඩමක් ඉගෙන ගෙන නැහැ.

ඉතාම ඉහළ වෘත්තියක් දරන ලංකාවේ ඉන්න මගේ සමීපතම හිතවතියක් පහුගිය මැතිවරණ කාලයේ දී දිවා රෑ දෙකේ ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ එක්තරා පරාජිත පක්ෂයක් වෙනුවෙන් දිගට හරහට පළ කරන දේවල් නිසා ඇයගේ තනතුරටත් ඇයටත් එයින් සිද්ධ වෙන හානිය පෙන්වා දෙන්න මං උත්සාහ කළා. ඒත් ඇගේ පිළිතුරු වුණේ මේ මොහොතේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරනවා කියලයි. මේ ඇගේ අපූරු “ යුතුකම ” නිසා ඇගේම දරුවන්ට අනාගතයේ උරුම වෙන ඛේදවාචකය ගැන හිතන්නවත් බැරි තරමටම දේශපාලකයන් විසින් මවනු ලබන ජාතිය ආගම කියන පාට පාට සළු පිළි වලට ඇස් ගිණි කණ වැටුණු දේශපාලන වර්ණ අන්ධතාවයකින් තමයි ඇය හිටියේ. ඇය කියන ඔය “ යුතුකම ” කියන කාරණය වටහා ගන්න බැරිකම නිසාම අන්තිමේ දී මේ දූපතේ අපි හැමෝම අපේ යුතුකම ඉටුකරන්නේ පාදඩයන් රැළකට බත් බැලයන් වෙලයි, පහුගිය අවුරුදු හැත්තෑව පුරාම වුණා වගේ. යුතුකම ඉටු කරන්න ඕනේ නම් ජාතිමාමක වෙන්න ඕනේ නම්, සැබෑ දේශප්‍රේමීන් වෙන්න ඕනේ නම් නැගී හිටින්න ජාතික ධනය මහ දවල් මංකොල්ල කෑමට විරුද්ධව, රටේම ඉන්න හොරුන්ට, මංකොල්ලකාරයන්ට, තුට්ටු දේකේ නිළියන්ට රටක් පාලනය කරන්න නාම යෝජනා දෙන එකට විරුද්ධව, ජනතාවගේ සල්ලි වලින් ලෝකේ පුරා සවාරි ගහන තක්කඩියන්ට විරුද්ධව, ඔබේ දරුවාට අධ්‍යාපන වරම අහිමි වෙද්දී නීති උපාධිය පවා හොරට ගන්නා දේශපාලක දූපුතුන්ට විරුද්ධව, රජයේ රෝහලේ රෝගීන් එකා පිට එකා බිම වැතිරී හිදිද්දී රටේ ජාතික ධනයෙන් සෞඛ්‍ය ඇමතිලා සිංගප්පූරු රෝහල්වලට ඇතුළත් වීමට විරුද්ධව, බස් රථයක් කෝච්චියක් එනතුරු පැය ගණන් මග බලා පාපුවරුවේ එල්ලී යද්දී ඔබේ කතිරයෙන් පත්වෙන නිකමුන්ගේ දූ දරුවන්ට පවා රථ වාහන වෙන්වීමට විරුද්ධව… රටේම ඉන්න අහිංසක ගැහැනුන් ටික රට පටවලා හම්බු කරන සල්ලි වලින් දේශප්‍රේමය, ජාති හිතෛෂීකම, රණ විරුවො  ගැන කතා කරන එක තරම් විලි ලැජ්ජ නැති විහිළුවක් තවත් තියෙනවද?

අසූ තුනේ කළු ජූලියේ අමිහිරි මතකය අපි තවම අත් විඳිනවා. ඒත් අපි ඒ අමිහිරි මතකයෙන් කිසිම දෙයක් ඉගෙන ගෙන නැති බව පිටි ගුලියක් නිසා වෙච්ච හදියෙන්ම පේනවා. සහෝදරත්වයෙන් ජීවත් විය යුතු ජාතීන් දෙකක් පර සතුරන් බවට පත් කරලා ඒ මළ මිනී මතින් තමන්ගේ බලය ගොඩ නගා ගත්ත දේශපාලකයන්ගෙන් ඉතිරි වෙච්ච මිනීමරුවෝ තාමත් රටේ පාලක පක්ෂයේත් විපක්ෂයේත් යෙහෙන් වැඩඹෙනවා. ඒත් මිනී කඳු ගොඩනැගුණත් ඒක දැනෙන්න තරම් අපේ සමාජය මුහුකුරා ගිහින් නැති නිසා තමයි පිටි ගුලියකට පවා වෛර ගිනි ඇවිලෙන රටක් බවට අපි පත්වුණේ. මුළු මහත් සමාජයක්ම මේ විදියට උමතු කරවන්න දේශපාලන දඩ බල්ලන්ට පුළුවන් වෙන්නේ කොහාමද කියන එක ගැන තමන්ගේ සිසුන් ඇසුරින් ගුරුවරයෙකු කරපු සත්‍ය පර්යේෂණයක් නවකතා පොතක් වශයෙන් පළ වෙලා තියෙනවා. පොතේ නම Wave. එකට සමගියෙන් ජීවත් වෙච්ච තමන්ගේම අල්ලපු ගෙදර වාසය කළ යුදෙව් ජාතිකයාව මරන්නට පෙරමුණ ගන්නට තරම් ජර්මන් ජනතාව සාහසික වුණේ කොහොමද කියන එකත්, ඒ මළ මිනී මතින් බලයට එන්නට හිට්ලර්ට පාර කැපුණේ කොහොමද කියන එකත් වටහා ගන්න ගුරුවරයෙකු තමන්ගේ ශිෂ්‍යයොත් එක්ක එකට එකතු වෙලා කරපු සැබෑම පර්යේෂණයක් තමයි මේ පොතට ඇතුලු වෙලා තියෙන්නේ. මුලු මහත් සමාජයක්ම හරි වැට්ටුවාට පස්සේ, බලලෝභී එක දේශපාලකයෙක් උසි කිව්ව ගමන්ම පිස්සු බල්ලන් වගේ එකිනෙකාට කඩා පනින්න සමාජයක් හසුරුවන එක කොයි තරම් පහසු ද කියන එක ඒ නවකතාවෙන් අපූරුවට කියා පානවා. එදා හිට්ලර්ගේ සමාජය අද අපේ දූපතේ කොයි තරම් අපූරුවට පැළ කරන්න මේ අවුරුදු 60 – 70 කාලය ඇතුළත දී අපේ පාලකයන්ට පුළුවන් වුණා ද කියනවා නම් අද අපි පිටි ගුලියකට පවා කඩා පනින පිස්සු බල්ලන් රෑනක් බවට පත්වෙලා.

හොඳයි අපි හිතමු රටේ අනෙක් හැම පුරවැසියෙක්ම අපේ දූපතෙන් එළවලා දාලා “පිරිසිදු සිංහල ජාතියක්” ඉතිරි වුණා කියලා. ප්‍රශ්නය නතර වෙනවද? … නැහැ. අපි සිංහල බොදු ගොවි, අපි රදව්, අපි උඩරට, අපි පහතරට, අපි කරාව කියලා ගැටුම අලුත් වටයකින් පටන් ගන්නවා. දෙමළ ජාතිය විතරක් ඉතිරි වුණත්අපි වෙල්ලාල, අපි හින්දු කියලා ගැටුම පටන් ගන්නවා. කොටි සංවිධානය ඇතුළේ  ප්‍රභාකරන් පවා ඔය ගැටුම නිර්මාණය කරලයි තිබුණේ. ගැටුමක් නැතිනම් සිංහල, දෙමළ, මුල්ලිම් කියන ඔය කොයි නායකයාටත් පැවැත්මක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් කියන මේ සියලු ජනතාවගේ සැබෑ අර්බුදය එහෙමත් නැතිනම් ලාංකීය ජනතාව පොදුවේ මුහුණ දෙන සැබෑම ගැටළුව වෙන ආර්ථික ගැටළුව අමතක කරවන්න හොඳම ආයුධය තමයි මේ විදියේ වාර්ගික, ආගමික ගැටුම් ඇති කරන එක. නැතිනම් ඔය ජන කොටස් තුනම එකට එකතු වෙලා අත්වැල් බැඳගෙන මේ කපටි පාලකයන් රැළ පන්නා දාන්න පසුබට වෙන්නේ නැහැ කියන එක 1948 ඉඳන් අද වෙනකල්ම බලයට ආපු හැම ආණ්ඩුවක්ම දන්නවා. ඒ නිසා තමයි ආණ්ඩු මාරුවුණත් කිසිම දවසක හොරුන්ට දඩුවම් නොලැබෙන්නේ. ඔබට නම් කරන්නට පුළුවන්ද ජාතික ධනය විනාශ කළ, මහ දවල් ඝාතන සිදු කළ එකම දේශපාලකයෙකුවටත් දඩුවමක් ලැබුණු අවස්ථාවක් ගැන….? එහෙම වෙන්නේ නැහැ, කිසිම දවසක. ඒකට හේතුව ලේ වලටත් වඩා තමන්ගේ පංතිය ඝන හින්දා.

ඔය තත්ත්වය මාක්ස් බොහොම ඈතකදී පහදලා දුන්නා. ඔහු පෙන්වලා දුන්න විදියට සිදුවන හැම සිදුවීමක්ම තල දෙකකින් තමයි සිද්ධ වෙන්නේ. යටම තලය තමයි ආර්ථික තලය. මේ යටම තලයේ සිද්ධ වෙන හැම චලනයක්ම ඊට උඩින් තියෙන තලයේත් ඒ විදියටම සිද්ධ වෙනවා. හැබැයි උඩින් තියෙන තලයේ ඒ චලනයන් අපිට පේන්නේ ආගම, ජාතිය, දේශප්‍රේමය, සිංහල බෞද්ධකම, දෙමළ හිංදුකම වගේ විවිධාකාර සරුවපිත්තල නම් වලින්. උඩින් පේන ඔය හැම දෙයක්ම ඇතිවෙන්නේ යටින් තියෙන ආර්ථික තලයේ වෙනස්කම් නිසා වුණත් ඒ යට තලය අපිට පේන්නේ නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න තරම් මොළයකුත් අපිට නැති නිසා අපි හිතනවා ඔය මතුපිටින් පේන හැම දෙයක්ම ඇත්ත කියලා. ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සුවොත් බලයට ඇවිත් ආපහු පුළුවන් තමන්ගේ ආර්ථික වාසි ටික ආපහු ලබා ගන්න. උඩින් පේන්න අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, සිංහල බෞද්ධ සංහාරය ගැන කතා කළොත් පුළුවන් තමන්ට අහිමි වෙච්ච වරප්‍රසාද ආපහු සැරයක් ලබා ගන්න. කලාකාරයො ටික බෝධි පූජා තිබ්බොත් ආපහු සැරයක් පුළුවන් තමන්ගේ දුව පුතාව තානාපති සේවයට යවා ගන්න. රණවිරුවො ගැන කතා කළොත් පුළුවන් ආපහු සැරයක් මල්වානෙන් ගෙවල් ගන්න. දළදා මාළිගාව ඉස්සරහ රේස් පදින්න. ප්‍රභූ ගමන් බලපත් දෙක තුනක්ම හොරට තියාගන්න. බැදුම්කර වංචාවන් එළිපිටම කරන්න. දතේ කැක්කුමටත් සිංගප්පූරුවේ මවුන්ට එළිසබෙත් රෝහලට පෞද්ගලික ගුවන් ගමන් යන්න.

සමහර මාධ්‍යවේදියො බැදුම්කර වංචාව ගැන පොත්පත් ලියනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් කොයි තරම් නම් සමාජ මෙහෙවරක්ද මේ කරන්නේ කියලා. අනේ එහෙම නැහැ. පහුගිය ආණ්ඩුවෙන් තමන්ට ලැබුණු වරප්‍රසාද, ගුවන් සංචාර නැතිවෙච්ච හිතේ දුකට මිසක් ඔය පොත් පත් ලියැවෙන්නේ රටට ආදරයට නෙමයි. ඊළග ආණ්ඩුවේ වංචාවන් ලියන්න තවත් පිරිසක් ඔය විදියටම පෙළ ගැහේවි. ඕක කෙළවරක් නැහැ. මාධ්‍යවේදියො කියන පිරිසෙන් බහුතරයක්, කලාකරුවො කියන පිරිසෙන් බහුතරයක් වගේම උගත්තුය කියන පිරිසෙන් බහුතරයක්ම පහුගිය අවුරුදු විස්ස තිහක කාලය පුරාම කරන්නේ දේශපාලකයන් එක්ක හරි හරියට එකතු වෙලා ඔය දූපතත්, දූපත්වාසීනුත් තමන්ගේ, තම දරු පවුලේ සුඛ විහරණය උදෙසා උකසට තැබීම විතරයි. මේ හැම දෙනාම රැවටීමේ කලාව බොහොම අපූරුවට ප්‍රගුණ කරපු අය.

කලාකාරයො රැළවල් එකතුවෙලා බෝධිපූජා තියෙනවා. මාධ්‍ය හමුවන් තියෙනවා. මේ රට වෙනුවෙන්ද? එහෙමත් නැතිනම් ඔබේ දුව පුතා වෙනුවෙන්ද? අනේ නැහැ. බොහොම සරල දේවල් වලට. ජනාධිපතිගේ උපදේශක කෙනෙක් වෙන්න. දුවව හරි පුතාව හරි විදේශ තානාපති සේවයට යවන්න. නිවාස අධිකාරියේ රස්සාවක් හොයා ගන්න. ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ධුරයක් ගන්න. මහ ඇමැතිකමක්, අමාත්‍යංශ ලේකම් කමක්, එහෙමත් නැතිනම් අඩුම තරමින් අරලිය ගහ මන්දිරයට ගිහින් ජනාධිපති එක්ක එකට වාඩිවෙලා කෑම වේලක් කන්න. ඔන්න ඔය වගේ සරල ආසාවන්. එක්තරා ගායිකාවක් කිව්වා එයාට තිබුණු එකම හීනය තමයි තමන්ගේ දරුවා ජනාධිපතිවරයා ඉඹිනවා දකින්න කියලා. ඔය බෝධිපූජා වලට එකතුවෙන කලාකරුවන් බොහොම දෙනෙකුගේ ඇත්තටම කියනවා නම් හැමෝගෙම වගේ මානසිකත්වයවත් ඒකම තමයි. ජාතික චින්තනය ගැන කතා කරන මහාචාර්යවරයෙක් ජනාධිපති පුතෙක් ඉස්සරහ දෙකට තුනට නැමිලා ඉන්න පිංතූරයක් මං ඊයේ පෙරේදා අන්තර්ජාලයේ දැක්කා. ඒ ජනාධිපති පුත්‍රයාම පුරාවිද්‍යා චක්‍රවර්ති හාමුදුරුනමකගේ උරහිස බදාගෙන ඇවිදින පිංතූරයකුත් ඒ එක්කම දැක්කා. දියුණු රටවල දේශපාලකයන් කලාකරුවන් ඉදිරියේ අසුනින් පවා නැගිටිද්දී, කලාව ගැන මහා බරසාරෙට කයිය ගහන අපේ කලාකරුවො දේශපාලකයන්ගේ ඉදිරියේ විතරක් නෙමෙයි එයාලගේ භාර්යාව, දරුවො පවා ඉස්සරහ හතර ගාතෙන් නැමෙන හැටි දැක්කම ඒ මූණත් තහඩු පේන නාට්‍යයක්වත්, ඒ ප්‍රශස්ති කටවල්වලින් ගැයෙන ගීයක්වත් අහන්න පිළිකුල් හිතෙනවා.

මේ දූපතේ දිස්ත්‍රික්ක 24 ට බලය පතුරුවන කොට්ඨාශ 4924 ක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 යි, ඔය කියන පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුයි ඔක්කොම එකතු කළාම මේ දූපත සුරපුරයක් කරන්න මහජනතාවගේ බදු මුදලින් යැපෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9100 ට වැඩියි. මේ මන්ත්‍රීවරු රැළයි, එයාලගේ දූ දරු බිරින්ඳෑවරුයි, ඥාති හිතමිත්‍රාදීනුයි නඩත්තු කරන්නයි, එයාලගේ විදේශ සංචාර, ගසා කෑම් වලටයි වැය වන මුදල හින්දා ලෝකෙම් උතුම්ම රට කියලා අපි අපිම කියාගන්න මේ දූපතේ අද දවසේ ඉපදෙන දරුවා පවා රුපියල් ලක්ෂ හතරක විතර ඒක පුද්ගල ණයකට හිමිකම් කියනවා. මේ මැති ඇමතිවරු නඩත්තු කරන්නට පෝලිමේ ගොස් කතිරය ගහන මිනිස්සු මැතිවරණයෙන් පස්සේ දවසේ ඉඳන්ම හරියට කෑම වේලක්වත් නොකා, දරුවාට බෙහෙත් පෙත්තක් අරන් දෙන්නවත් අතේ සතේ නැතිව, බස් රියේ කෝච්චියේ බල්ලන් බළලුන් වගේ එල්ලිලා ආපහු සැරයක් අර හුරුපුරුදු ජීවන අරගලයේ යෙදෙනවා. මේ වගේ රටවල් මුලු ලෝකයටම තියෙන්නේ එකයි දෙකයි. අහන්න දෙයක් නැහැ. ඒවාත් බොහොම ගෝත්‍රික මට්ටමේ අන්ත දිළිදු පසුගාමී රටවල්, අපි වගේමයි.

මේ අවුරුදු හැට හැත්තෑව කාලය පුරාම අපි කළේ ඇන්ටනාව එක තැන තියලා රූපවාහිනිය හතර වටේ කරකැවීමයි කියලා කවුදෝ කියලා තිබුණා. ඒක ඇත්ත. වැරදුණු තැන්, රැවටුණු තැන් වෙනස් කරන්න දැන් හොදටම ප්‍රමාදයි. ඒ නිසා අඩුම තරමින් අපිට වෙනස් වෙන්න පුළුවන් නම් අනාගතයක් ඉතිරි වෙන්නේ ඔබේම දරුවාටයි. ඒත් ඉතින් පීඩනය දරාගෙන, පීඩනයම ආදරයෙන් වැළදගන්නා ජනතාවක් නම් රටේ ඉන්නේ තවත් අවුරුදු හැට හැත්තෑවකට කිසිම ගැලවිල්ලක් නම් නැහැ.

බඹර වද දුටිමි… බිතු සිතුවම් නොදුටුවෙමි!

βιβ-ία-ανάγνωσης-αγοριών-φαντασίας-στην-έ-ρα-37025166

දවල් කෑම වෙලාවට කාර්යාලයේ කෑම මේසය වටේ රොද බදින පිරිස එක්ක එකතු වෙන එක සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් නෙමෙයි. එත් ඉඳහිට දවසක මේ කණ්ඩායමට මාත් එකතු‍ වෙනවා. පහුගිය සතියේ දවසකත් ඒ විදියට අහම්බෙන් මේ කණ්ඩායමත් එක්ක කෑම ගන්න මාත් එකතු වුණා. ලෝකයේ හැම රටකින්ම ආපු පිරිස අපේ කන්තෝරුවේ වැඩ කළත් හැමදාමත් ඔය කතා බහ ඇදිලා යන්නේ මෙලෝ රහක් නැති මාතෘකා වලට… එකිනෙකාගේ කෑම බීමවල වග විස්තරවලින් පටන් අරන් අහල පහළ තියෙන රෙස්ටෝරන්ට්වල වගතුග වලට, ඇමසෝන් අඩවියෙන් එහෙත් නැතිනම් ඊ බේ එකෙන් තමන් ගෙන්න ගත්ත උපකරණයක විස්තරවලින් පටන් අරන් අහළ පහළ සාප්පු සංකීර්ණවල විකිණෙන බඩු භාණ්ඩ ගැන ඕපාදූපවලට, බොක්සිං ඩේ එක දවසේ පාන්දර ‍ඉඳන් පෝලිමේ රැකගෙන ඉඳලා මිලදී ගත්ත උපකරණයක් ගැන විස්තර වලට‍‍.. කලින් දවසේ ඇවිදලා දහනය කරලා දාපු කැලරි ගාන… අන්තිමේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කෙරුවාව ගැන. මේ වල්පල් අතරේ හිමිහිට ලිස්සලා යන්න හදද්දී මගේ අතේ තිබුණු පොත දැක්ක අපිත් එක්ක වැඩ කරන ඉන්දියන් ජාතික ගැහැනු ළමයෙක්ඒ ගැන මගෙන් යමක් ඇහුවා. කෙටි උත්තරයක් දීලා ගැලවෙන්න ඕන හින්දා ‘ඔයා පොත් කියවනවාද ?’ කියලා මං එයාගෙන් පෙරළා ඇහුවා.

“ පොත්…? අපොයි නැහැ ” එයා කිව්වේ හරියට සර්පයෙක් දැක්කා වගේ පස්සට ගැස්සිලා.
විවේක වෙලාවට මොනවද කරන්නේ කියලා ඇහුවම එයා මට මෙහෙම උත්තර දුන්නා.
“ අපි නිතර නිතර පාටීස් වලට යනවා. මූවීස් වලට යනවා. ” (එයයි එයාගේ සැමියායි ඉන්දියාවේ ඉඳන් කැනඩාවට සංක්‍රමණය වෙලා තියෙන්නේ අවුරුදු දෙකකට විතර කලින්)
කෑම මේසයේ හිටපු කොරියන් ජාතික තවත් මිත්‍රයෙක්  කතාවට හවුල් වෙමින් කිව්වේ පොත් පත් කියවන එක තරම් නීරස දෙයක් එයාටත් තවත් නැහැ කියලයි. පුංචි කාලයේ විභාගවලට තිබුණු සාහිත්‍ය පොත් පත්වල පොඩි කොටසක් කියෙව්වත් තමන්ට නින්ද ගිය බවක් තමයි එයත් කිව්වේ. කෑම මේසයේ හිටිය කිහිප දෙනෙක්ම ඒ අදහස අනුමත කරලා හිනාවෙද්දී මාත් ඒ හිනාවට හවුල් වුණේ කතාව මග හරින්න පහසුම උපක්‍රමය ඒක හින්දයි.

එදාම හවස රෑ කෑමෙන් පස්සේ රූපවාහිනී වැඩසටහනක් බලද්දී මේ සිද්ධිය ආපහු මතකයට ආවා. ලංකාවේ රූපවාහිනී නාළිකා නැරඹීමේ “පුරුද්දක් ” ලංකාවේදීවත් නොතිබුණත්, විවේකයක් ලැබුණු ‍මොහොතක තෝරා ගත්ත ඇතැම් වැඩසටහන් යූ ටියුබ් මාධ්යුය ඔස්සේ නැරඹීම ඉඳහිටලා කරන දෙයක්. හිත් ගත්ත කෙනෙක් ආරාධිතයෙකු විදියට සම්බන්ධ වුණු අවස්ථාවල විතරක් නරඹන ඒ වගේ එක වැඩසටහනක් තමයි ජාතික රූපවාහිනියේ “ සිහිනයකි රෑ ”. ඉතින් ඔය කියන දවසේ මේ වැඩසටහනට ඇවිත් තිබුණේ එඩ්වඩ් ජයකොඩි කියන ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියා. වැඩසටහනේ දී ඔහු මතු කළ අපූරු කරුණු කාරණා ගොන්න අතරින් එකක් මං කලින් කී සිද්ධියට සම්බන්ධයි. තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක් කරන්නට දෙමව්පියන් උත්සාහ ගත්තත් ඒ දරුවා “හොඳ ”වෛද්‍යවරයෙක්, “හොඳ ”ඉංජිනේරුවෙක්, “හොඳ ” ගුරුවරයෙක් කරන්න මහන්සි වෙන්න කියන පණිවිඩය තමයි එඩ්වඩ් මතුකළේ. මේ “හොඳ ” කියන කාරණාව එන්නේ සෞන්දර්ය කලාවට තියෙන බැඳීමත් එක්කයි කියන කරුණ ඉස්මතු කරපු එඩ්වඩ්, විභාග පසු පස්සේම දරුවන් පන්නන්නට මහන්සි නොවී සෞන්දර්ය කලාවටත් දරුවාව යොමු කරවන්න කියන පණිවිඩය මතක් කළා.
ඔහු මතුකළ කාරණය හැබෑම සත්‍යයක්. අද අපිට ඕන තරම් වෛද්‍යවරු ඉන්නවා, ඒත් කරුණාව හදවතේ ඉතිරි වෙලා තියෙන්නේ අත‍ළොස්සකගේ විතරයි. ඕන තරම් ඉංජිනේරුවො ඉන්නවා, ඒත් මනුස්සකම ගෑවිලා තියෙන්නේ බොහොම ටික‍ දෙනාටයි. ගුරුවරු ඕන තරම්, ඒත් පෞරුෂත්වයක් තියෙන්නේ සුළුතරයකට විතරයි. (ලංකාවේ දේශපාලකයො ගැන නම් කතා කරන එක කාලය කා දැමීමක්, සෞන්දර්යය පිහිටන්න තරම් ඔළුවක් ජන්මයෙන්ම එයාලට පිහිටලා නැහැනේ). ඇත්තටම කියනවා නම් “හොඳ ” සොල්දාදුවෙක් පවා බිහිවෙන්නේ හිත ඇතුළේ සංවේදිකමත් ගෑවිලා තිබුණොත් තමයි. යුද්ධයකට සහභාගී වෙච්ච පමණින්, මිනිහෙක් මරා දැමීමෙන් පමණක් කෙනෙක් රණවිරුවෙක්වත්, විමුක්තිකාමියෙක්වත් වෙන්නේ නැහැ. මේ නිසා තමයි එක සැරයක් චේගුවේරා ප්‍රකාශ කළේ සැබෑ විමුක්තිකාමියෙක් වෙන්න නම් මලක සුවඳ විතරක් නෙමෙයි මලක මෙළෙකත් හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා.
උසස් සංගීතයක් රස විඳින්න, උසස් පොතක් කියවන්න, උසස් කලා කෘතියක් රසවිඳින්න හැමෝටම පුළුවන් කමක් නැති එක ඇත්ත. ඒත් ඒකට හුරුවෙන්න පුළුවන් නම් සමාජය යහපත් තැනක් වීම කෙසේ වුණත් අඩුම තරමින් තමන්ගේ ජීවිතයට පෞරුෂත්වයක් එක් කරගන්නවත් කෙනෙකුට පුළුවන් වෙනවා. දේශපාලකයන්ගේ විතරක් නෙමෙයි තමන් ඇසුරු කරන , තමන් වටා ඉන්න කාගේවත් අදහස් උදහස්වල වහලෙක් නොවී තමන්ගේම පෞරුෂයක් ගොඩ නගා ගන්න පුළුවන් වෙනවා. උසස් සාහිත්ය් කෘතියක් රස විඳින්නට, උසස් සංගීතයක් රස විඳින්නට තරම් හැකියාවක් තියෙන කෙනෙක් දේශපාලනිකවවත්, මතවාදීවවත් පහසුවෙන් ගොදුරු කරගන්නට පුළුවන් කමක් නැහැ කියන කාරණාව තහවුරු කරලා ලෝකය පුරාම සරසවි වලින් කරපු පර්යේෂණ පත්‍රිකා අන්තර්ජාලයේ දකින්නට පුළුවන්. ඒකට හේතුව එවැනි කෙනෙක් වැඩෙන්නේ ඇඟපතින්, බඩ කඳින් විතරක් නෙමෙයි, විචාර බුද්ධියත් එක්ක නිසයි. මෙතැනදී පැහැදිලි කර ගන්න ඕන කරන කාරණයක් තියෙනවා. ඒ බුද්ධියත්, විචාර බුද්ධියත් කියන කාරණා දෙක. පොත පත පාඩම් කරලා, තමන්ගේ විෂයට ප්‍රවීණයෙක් වෙලා කෙනෙකුට බුද්ධිය වර්ධනය කරගන්න පුළුවන්. ආචාර්යවරු, මහාචාර්යවරු බවට පත්වෙන්න පුළුවන්. ඒත් විචාර බුද්ධිය කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දේකට. සරලවම කියනවා නම් ඇසූ පිරූ තැන් ඇත්තෙකුට. ඒ කියන්නේ පොත පත කියැවීමෙන් වගේම ජීවිත පන්නරය ඔස්සේ තමන් ලත් දැනුම ජීවිතයට ගලපා ගන්න පුළුවන් කෙනෙකුට. ඒ නිසා උපාධියක් තිබූ පමණින්, ආචාර්ය මහාචාර්ය ධුරයක් දැරූ පමණින් කෙනෙකු තුළ විචාර බුද්ධිය පිහිටන්නේ නැහැ. (විචාර බුද්ධිය ගිලිහිලා ගිය ඒ වගේ ආචාර්ය මහාචාර්යවරු, කලාකාරයො චන්ද කාලෙදි අපේ රටේ අහුරු ගණනින් දැකගන්න පුළුවන්, පත්තර පිටුවක් බැලුවාම. තමන් කඩේ යන මොකක් හෝ දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්න කියලා කිසිම හිරිකිතයක් නැතිව තමන්ගේ අස්සන ගහන්නේ අන්න ඒ වගේ පිරිස තමයි)
පොත පත කියවන කෙනෙකු තුළ ගොඩ නැගෙන පෞරුෂත්වය නිසා එවැනි කෙනෙකු පාලනය කරන්න තවත් කෙනෙකුට අමාරුයි. පොත පත කියවන සමාජයක් තමන්ගේ දේශපාලන අතකොළු කරගන්නට රටක පාලකයන්ට බැහැ. ඒ නිසාම පොත පත ඇසුරු කරන පිරිස, දේශපාලන යදම්වලින් බැඳිලා ඒ යදම් වලට ආදරය කරන වහල්ලු බවට පත්වෙන්නේ නැහැ. දේශපාලකයන් වෙනුවෙන් වාද විවාද කරන වහල්ලු බවට තමන් පත් නොවන නිසාම ඒ අයගේ මනස නිදහස්. ඒකට හේතුව දේශපාලකයන්ගේ එහෙමත් නැතිනම් සමාජයේ වෙනත් මතවාදී නායකයන්ගේ බරින් තමන්ගේ ඔළුව නිදහස් වෙලා තියෙන නිසා නිදහසේ යමක් දකින්නට, නිදහසේ හිතන්නට, නිදහසේ තීරණ ගන්නට තමන්ට පුළුවන් වෙන නිසයි.
මේ කාරණාව බුදුදහමේ සූත්‍රයකින් විස්තර කෙරෙනවා. කණුවක ගැටගහලා තියෙන සුනඛයෙකුට නිදහසේ සැරිසරන්නට පුළුවන් තමන් බැඳ දමා තියෙන ලණුවේ දිගට විතරයි. මේ නිසා බල්ලාගේ මුළු ලෝකයම, කණුව වටා තියෙන ඒ ලණුවේ පරිධියේ දිග විතරයි. ඒ නිසා තමන් හිරවෙලා ඉන්න මේ සීමාව ඇතුළේ ඉඳන් වාද විවාද කරන්නේ ලණුවෙන් පිට ලෝකය ගැන කිසිම අවබෝධයක් තමන්ට නැති නිසයි. හරියට අපි ඔය දේශපාලකයන්ගේ කෙරුවාව ගැන වාද විවාද කරනවා වගේ. බුදු දහමේ මේ කරුණ විස්තර කරන්නේ තමන්ට තමන්වත් අයිති නැති ලෝකයක, තණ්හාව නැමැති වරපටින් බැඳිලා ඉන්න තාක් විමුක්තියක් ලබන්න බැහැ කියන කාරණාව බොහොම ගැඹුරින් විස්තර කරන්න. ඒත් මේ උදාහරණයම අපේ මාතෘකාවට අදාළව කතා කළොත් අපිත් ඇත්තෙන්ම මේ බල්ලාට සමානයි. වෙනසකට ඇත්තේ අපි එකිනෙකාගේ ලණුවල දිග ප්‍රමාණයන් වෙනස් වීම විතරයි. බොහොම පොත පත කියවන පිරිසට පුළුවන් පහසුවෙන්ම ඒ ලණුව දිගු කරගන්න. ඒ නිසා තමන්ට අඩු පරිධියේ කැරකෙන පිරිසට ඔබ්බට ගිහින් හිතන්න එයාලට පුළුවන්. ෆේස් බුක් මාධ්‍යය ඔස්සේ තම තමන්ගේ මතවාද වෙනුවෙන් යුද වදින. ඒ වගේම එකිනෙකා හමුවුණාම තම තමන්ගේ දේශපාලකයන් වෙනුවෙන් වාද විවාද කරන මට්ටමට කෙනෙකු පත් වෙන්නේ මේ අවබෝධය නැති වුණාමයි. ඒත් තමන් කාගේ හෝ දේශපාලන කුළුණක ගැටගහපු සුනඛයෙක් නේද කියන කාරණාව තේරුම් ගන්න එකත් ඒ තරම්ම ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකට හේතුව ලණුව ලෙහා ගන්න කලින් අඩුම තරමින් තමන් කණුවක බැඳලා ඉන්න බවවත් තේරුම් ගන්න තරම් වැටහීමක් තමන්ට තියෙන්න ඕන නිසයි.
මෙතැනදී තවත් කරුණක් ඉස්මතු වෙනවා. කලින් කිව්ව සිදුවීමේ දී එඩ්වඩ් මතු කළා වගේම හොඳ ගීතයක්‍, හොඳ සිනමා පටයක්, හොඳ පොතක් කියන්නේ මොකක්ද කියන එක. ඒකට නම් නිර්වචනයක් නැහැ. මේ “හොඳ ” කියන කාරණාව තම තමන්ගේ බුද්ධි මට්ටම්, තම තමන්ගේ රුචි අරුචිකම් මත වෙනස් වෙන දෙයක්. ඒත් ඒක මේ විදියේ උදාහරණයකින් පැහැදිලි කරන්න පුළුවන්. ඔබ සීගිරිය කඳු මුදුනට නැගලා තියෙනවා නම්, සිගීරියේ ආකෘතියක් නරඹලා ඒ විදියේ මිහිරක් ලබන්න ඔබට බැහැ. ඒකට හේතුව පර්වතය මුදුනට ගියාම අත්විදින්න පුළුවන් ඒ මිහිරියාව ඔබ දැනටමත් අත් විඳලා තියෙන නිසා. ඔබ විශිෂ්ට මට්ටමේ (විශිෂ්ට කියන එකත් මෙතැනදී සාපේක්ෂයි) පොත පත කියවන්න පුරුදු පුහුණු වෙච්ච කෙනෙක් නම් මල් පොත් වලින් සතුටක් ලබන්නට ඔබට හැකියාක් නැත්තෙත් ඒ වගේම තමයි. ඒත් ඔබ සීගිරියට යනවා කියලා සීගිරි බිතු සිතුවම්වත්, සිගීරි පර්වතය මුදුනටවත් නොයා, සිංහ පාදය ළඟින් හැරිලා, බඹර වද විතරක් බලලා එනවා නම්…? ඔබ කියවන පොත පත තීරණය කළ යුත්තේත් අන්න ඒ ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර අනුව තමයි. එකම හොරු නඩයකට රට පාලනය කරන්නට ඉඩ දෙන අපේ ඡන්දදායකයනුත්, ඒ හොරු නඩය වෙනුවෙන් වාද විවාදවල පැටලෙන පිරිසත් සීගිරිය නොදැක බඹර වද නරඹලා එන පිරිස වගේ තමයි. තමන්ට ළං වෙන්නවත් බැරි පර්වත මුදුනක තමයි යථාර්ථය තියෙන්නේ. ඒ යථාර්ථය දකින්න නම් තමන්ගේ මානසික වහල් භාවයෙන් මිදෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් බැඳපු ලණු පට ලෙහා ගන්න ඕනේ.
සිරුර නිරෝගීව තියාගන්න ව්යාමයාම කරනවා වගේම මනස නිරවුල්ව තියාගන්න නම් පොත් පත් කියවන්න, එහෙමත් නැතිනම් අඩුම තරමින් උසස් රසාස්වාදයක් දෙන සංගීතයක්වත් ශ්රවවනය කරන්න ඕනේ. ‘ ඔබේ මිතුරන් කවුදැයි කියන්න, මා ඔබ කවුදැයි කියන්නම් කියලා ’ කවුරුන් හෝ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ කියවන පොත පත අනුව ඔබ කවුරුන්ද කියන එක තීරණය වේවි. සමහර පොත් පත් සුදුසු වෙන්නේ හපලා රස විඳලා ගිලලා දාන්න විතරයි, එත් හපලා හැම අංශුවක්ම සිරුරට දිරවා ගන්න ඕන කරන පොත පතත් තියෙනවා (Some books should be tasted, some devoured, but only a few should be chewed and digested thoroughly) කියලා ඉංග්‍රීසි චින්තකයෙකු වෙච්ච ෆ්රැන්සිස් බේකන් වරක් කිව්වා. ඒ විදියේ හපලා දිරවාගන්න ඕන කරන වර්ගයේ පොතක් කියවද්දී ඒක ඔබේ ජීවිතයේත් පරිච්ඡේදයක් බවට පත්වේවි. ඒ පොතේ චරිත ඔබේ ජීවිතයේ දී එදිනෙදා හමුවන චරිත බවට පත්වේවි. පොතෙන් මතු කෙරෙන සබදතා ඔබේ ජීවිතයේ අත්දැකීම් බවට පත්වේවි. ඔබේ හිත් ගත්ත පොතක් කියැවීමෙන් පස්සේ ඒ පොතේ කොයියම්ම හෝ කොටසක් ඔබේ ජීවිත කාලය පුරාම ඔබත් එක්ක එකට රැදේවි. මේ අමතර අත්දැකීම් ගොන්න නිසාම ඔබ, ඔබේ වයසට වඩා ජීවිත පරිඥානයෙන් මුහුකුරා යාවි. ඒකට තමයි නිර්මාණාත්මක කියැවීම කියලා කියන්නේ. (නිර්මාණාත්මක ලේඛනය වගේම නිර්මාණාත්මත කියැවීමක් කියලා දේකුත් තියෙන බව අමතක කරන්න එපා).

පොත් පත් කියවන්නා තමන්ගේ මරණයට පෙර අවුරුදු දහසක් ජීවත් වුණත්, පොත පත නොකියවන්නා ජීවත් වෙන්නේ එක දවසයි කියලා (A reader lives a thousand lives before he dies, The man who never reads lives only one) ඇමරිකානු ලේඛක ජෝර්ජ් මාර්ටින් කීවේ ඔය කියන විදියේ ජීවිත පරිඥානය ගැනයි.
තම තමන්ගේ ජීවිතවල තියෙන මානසික කුණු කන්දල් ගෙනැවිත් අතහැරලා දාන්න සමහරුන් පුරුදු වෙලා ඉන්න ෆේස් බුක් සමාජ ජාලයේ පොත් පත් කියවන අයගේ එකතුවක් තියෙනවා. මේ එකතුවේ ඉන්න ඇතැම් අය තමන්ගේ පොත් රාක්කයේ, එහෙමත් නැතිනම් තමන් මිලදී ගත්ත පොත්පත් හැමෝටම පේන්න ප්‍රදර්ශනය කරන එක දැන් විලාසිතාවක් වෙලා. (තමන් කියවන පොත පත හැමෝටම පෙන්න පෙන්න ඉන්න එකත් එක්තරා ආකාරයක ප්‍රදර්ශන කාමයක්). මේ විදියේ ඡායාරූප අතරේ එක්තරා විශේෂ ඡායාරූපයක් පහුගිය දවසක මට දකින්නට ලැබුණා. මේ ඡායාරූපයේත් තිබුණේ තමන් මිලදී ගත්ත පොත් ටිකක් තමයි, ඒත් ඒ පොත් ටිකට යටින් තිබුණු සටහන හරිම අපූරුයි. තමන් පොත් පත් කියවන්නට පුරුදු වෙලා හිටිය කෙනෙකු නොවුණත්, පොත් පත් කියවන අය අතරේ ගැවසෙද්දී ඒ අය තුළ තිබුණු දැනීම ගැන තමන් පුදුම වුණු බවත්, ඒ නිසාම පොත පත කියන්නට තමනුත් පුරුදු වුණු බවත්, පොත් පත් කියවන්නට පුරුදු වූ මේ කෙටි කාලය තුළදී පවා ජීවිතය ගැන තමා මෙතෙක් නොදුටු බොහෝ දේ අවබෝධ කරගත් බවත් ඒ සටහනේ සටහන් වෙලා තිබුණා. තමන් ඒ ඡායාරූපය පළ කළේ පොත පත කියවන්නට තමා ලත් ඒ ජීවිත පාඩමට උපහාරයක් වෙනුවෙන් බවයි ඒ තැනැත්තා සටහන් කර තිබුණේ. දහස් ගණනින් මුදල් ගෙවා තමන් මිලදී ගත්ත පොත් පත් ප්‍රදර්ශනය කරන හීනමාන මානසිකත්වයක් ඇති දහසකුත් ඡායාරූප අතර ඒ තැනැත්තාගේ සටහන හිතට බොහොම කාවදින දෙයක්. ඒ වගේම සත්‍යයක්.
පොතපත කියැවීමෙන් ලබා ගන්න පුළුවන් පරිචය වෙනත් දේකට සම කරන්න හරිම අමාරුයි. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ සුපර්මෑන් ගැන පොතක් කියවලා තමන්ටත් පියාඹන්න පුළුවන් කියනවා වගේ සරල අදහසක් නෙමෙයි. ජීවිත පරිඥානය පුළුල් වීම ගැනයි ඒකෙන් අදහස් වෙන්නේ. ඒ වගේ කෙනෙක් මතුපිටින් තැන්පත්, ඒත් එයාගේ මනස හරිම ප්‍රබලයි. එහෙම කිව්වේ ස්ටීවන් කිං කියන ජනප්‍රිය ඇමරිකානු ලේඛකයා. (Quiet people have the loudest minds).
එක්තරා දවසක මට අහම්බෙන් හමුවුණා විශේෂඥ වෛද්‍යවරයෙක්. මැදි වයසේ හිටපු වෛද්‍යවරයා මං ලංකාවේ කියලා දැනගත්ත මොහොතේම මගෙන් ඇහුවේ ඒ වෙනකොට අලුතින්ම නිකුත් වෙලා තිබුණු කැනේඩියානු ශ්‍රී ලාංකික ලේඛකයෙකු වෙන මයිකල් ඔන්ඩච්චිගේ Cat’s Table කියන පොත මං කියවලා තියෙනවා ද කියන එකයි. (වාසනාවකට වගේ ඒ වෙනකොට මං ඒ පොත කියවලා තිබුණා) ලංකාවේ තොරතුරු, ලාංකිය ජන ජීවිතය විතරක් නෙමෙයි අපේ සංස්කෘතික හැසිරීම් රටා ගැන පවා බොහොමයක් දේවල් එයා මාත් එක්ක කතා කරපු විදියට, එයා ලංකාවේ සංචාරය කරලා තියෙනවාද කියලා මං ඇහුවත්, වෛද්‍යවරයා මට කිව්වේ තමන් ඒ සියල්ල දැනගත්තේ පොත් පත් කියැවීමෙන් කියලයි. (ඒත් ලාංකීය සම්භවයක් ඇති ලෝක ප්‍රකට ලේඛකයන් දෙදෙනෙකු; මයිකල් ඔන්ඩච්චි සහ ෂ්‍යාම් සෙල්වදුරෙයි කැනඩාවේ ඉහළම ලේඛකයන් අතර වැජඹෙන බව කැනඩාවේ ජීවත් වෙන ලාංකිකයන්ගෙන් අතළොස්සක්වත් දන්නේ නැහැ).
ඇත්තටම කියනවා නම් උසස් සංගීතයක් රස විඳීමෙන්, උසස් පොතක් කියැවීමෙන් ලැබෙන තෘප්තිය විස්තර කරන්නට කිසිම භාෂාවක වචන සමත් වෙන්නේ නැහැ. ඒ විදියට ජීවිත කාලය පුරාවටම කම්පනයක් ඇති කළ පොතක් තමයි අවුරුදු ගණනාවකට පෙර පුංචි කාලයේ දී කියවපු “ ගැහැනුන් දෙදෙනෙක් ” කියන පරිවර්තන පොත. මේ පොතේ ඉංග්‍රීසි පිටපත බොහොම මෑතකදී ආපහු කියෙව්වේ අවුරුදු ගණනාවක් ගිහිල්ලත් ඒ කම්පනය හිතේ රැඳිලා තිබුණු නිසයි. (ඉංග්‍රීසි පිටපත තරමක් විශාල එකක් නිසා, සිංහලෙන් පළ වුණේ සම්පූර්ණ පරිවර්තනය ද කියන එක හරියටම දන්නේ නැහැ). අල්බර්ටා මොරාවියා ඉතාලි බසින් ලියපු Two Women කියන මේ කතාව යුද්ධයක තියෙන සැහැසිකම, ම්ලේච්ඡකම, ජීවිත උඩු යටිකුරු කරන ආකාරය විස්තර කරන්නේ අම්මෙක් සහ දුවෙක් කියන චරිත දෙකක් විතරක්ම උපයෝගී කරගෙන, පුදුමාකාරව සිත කම්පා කරන විදියට.
පුරාණ පොළොන්නරු රාජධානිය පදනම් කරගෙන බ්‍රිතාන්‍යයේත්, ඇමරිකාවේත් අවුරුදු දෙකකට කලින් එකවර ප්‍රකාශයට පත් කෙරුණු River of Ink කියන පොතත් කියවලා නිම වෙච්ච සැනින් ඇති වෙච්ච කම්පනය, ආස්වාදය වචනයකට ගොනු කරන්නට බැහැ. ඒක පුදුමාකාර අත්දැකීමක්. ඒ වගේම ඒ ආස්වාදය, ඒ කම්පනය මුළු ජීවිත කාලය පුරාම බැඳිලා තියෙන දෙයක්. (මේ පොතේ සිංහල පරිවර්තනයක් ළඟදීම නිකුත් වෙනවා). මේ නවකතාවට පදනම් වෙලා තියෙන්නේ කාලිංග මාඝ පොළොන්නරුව ආක්‍රමණය කළ 1215 කියන යුගය. අපේ රට ආක්‍රමණය කරපු හැම ආක්‍රමණිකයෙක්ම මූලික අවධානය යොමු කළේ අපේ සම්පත් සූරාගෙන ඒවා තමන්ගේ රටට ගෙනියන්න. ඒත් කාලිංග මාඝ ඒ හැම ආක්‍රමණිකයෙකුටම වඩා වෙනස්. එයාට ඕන වුණා දේශීය සංස්කෘතිය, බෞද්ධ සදාචාරය මුළුමනින්ම මුලිනුපුටලා දාන්න. (පෟතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන ආක්‍රමණිකයන් අතිනුත් මේ දේ සිද්ධ වුණත් එයාලගේ වැඩිම අවධානයක් යොමු වුණේ අපේ සම්පත් කොල්ලකාගෙන තමන්ගේ රටවල්වලට ගෙනියන්න. ඒ නිසා තමයි අපේ පෞරාණික පොත් පත්, පෞරාණික ධන නිධාන ලන්ඩන් කෞතුකාරයේ මිසක් කොළඹ කටුගෙයි දකින්න නැත්තේ). දේශීය සභ්‍යත්වය, බෞද්ධ සදාචාරය විනාස කරලා දාන්න කාලිංග මාඝ යොදා ගත්ත අවිය තමයි පන්සල් වෙහෙර විහාර වල තිබුණු සියලුම පොත්පත්, වගේම සාමාන්යත මිනිස්සු අතරත් ගැවසුණු සියලු පොත් පත් විනාශ කරලා ගිනිබත් කරලා දාපු එක. (මේ නවකතාවේ ඒක ඉතාම අපූරුවට විස්තර කරනවා). ඒ වගේම මාඝගේ දෙවිවරුන් වුණේ දකුණු ඉන්දියාවේ දෙවිවරුන් නිසා ඒ කාලයේ පොළොන්නරුවේ තිබුණු හින්දු සංස්කෘතියට පවා එයා වෛර කළා. රටක සංස්කෘතිය පෙරළා දාන්න නම් පහසුම දේ රටේ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ පොත් පත් විනාශ කිරීම බව ඒ ඈත අතීතයේ දී පවා කාලිංග මාඝ දැනගෙන හිටියා. මේ කාරණාව අද දවසට ගැලපුවාම ගන්න පුළුවන් දේ තමයි අද දවසේ සංස්කෘතියක් විනාශ කරන්න පොත් පත් ගිනි තියන්නම ඕනේ නැහැ. පොත් පත් නොකියවන ජනතාවක් බිහිකළාම හොඳටෝම ඇති. පොත් පත් නොකියවන පරපුරක් බිහිවීමේ පල විපාක අද අපි හොඳටම අත් විඳිනවා. පාර්ලිමේන්තුවේ ඉන්න බාගෙට බාගයක් සාමාන්‍ය පෙළ සමත් නැහැ කියන ප්‍රසිද්ධ කාරණාවම ඇතිනේ රටේ තත්ත්වය ගැන හිතාගන්න. ‘අද දවසේ කියවන්නා, හෙට දවසේ නායකයා’ (Today a reader, tomorrow a leader) කියලා ඇමරිකානු සමාජ ක්‍රියාකාරිනියක් වුණු මාග්‍රට් ෆුලර් වරක් ප්‍රකාශ කළා. ඒ වගේම තමන් ඉගෙන ගත්ත හැම දෙයක්ම තමන් ලබා ගත්තේ පොත් පත්වලින් කියලා ඒබ්‍රහම් ලින්කන් ප්‍රකාශ කළා. ඒත් මේ කියමන අපේ රටට ගැලපුවොත් නම් ‘අද දවසේ තක්කඩියා, හෙට දවසේ පාලකයා’ කියලා විතරමයි කියන්නට පුළුවන්.
මේ වෙලාවෙදි මතක් වෙනවා බොහොම ඉස්සර පුංචි කාලයේ දී කියවපු ගී ද මෝපසාන්ගේ කෙටි කතාවක්. කතාවේ නම මතක නැහැ. ඒත් කතාව ගලා ගෙන යන්නේ කාත් කවුරුවත් නැතිව හුදෙකලා වෙච්ච චරිතයක් ගැන. හැම අතකින්ම පීඩනයට පත් වෙලා ඉන්න මේ තැනැත්තා, තමන් ජීවත් වෙන සමාජයෙන් මිදිලා හිරේට ගියොත් කිසියම් සැනසීමක් ලැබේවි කියලා හිතලා, පොලිසියට අහුවෙන්න හිතාගෙනම සුළු සුළු හොරකම්, සුළු සුළු සිද්ධීන්වලට පැටලෙනවා. ඒත් ඒ හැම උත්සාහයක්ම ව්‍යර්ථ වෙලා ගිහින් අන්තිමේදී වෙහෙසට පත්වෙලා ගහක් යට ඉඳගෙන ඉන්න කොට අසල්වැසි මන්දිරයකින් සංගීත නාදයක් ඇහෙනවා. මේ සංගීතය එයාව කොයි තරම් දුරට මුදු මොළොක් කරලා, හිතේ තිබුණු සියලු අසහනකාරී හැඟීම් තුරන් කරලා දැම්මාද කියනවා නම් ඒ සංගීතය රස විඳීමෙන්ම පමණක් එයා වෙනස්ම තැනැත්තෙක් බවට පත්වෙන්නට හිතා ගන්නවා. (ඒත් අවාසනාවකට වගේ යහපත් මිනිහෙක් බවට පරිවර්තනය වුණු ඒ තැනැත්තාව අන්තිමේ දී පොලිස් අත්අඩංගුවට පත් වෙන්නේ සංගීත නාදය ගලාගෙන ආව මන්දිරය කොල්ල කන්නට උත්සාහයක නිරත වුණා කියලා සැක කරලයි).
ටික කාලයකට කලින් සම්මාන පිට සම්මාන ලබමින් අතිශයන්ම ජනප්‍රිය වෙච්ච The Reader කියන සිනමා පටයට පාදක වුණේ මේ විදියට පොත් පත් කියවන්න සැබෑ ආසාවෙන් පසුවුණු, ඒත් නාසි හමුදාවේ හිටපු අපකීර්තිමත් කාන්තාවක් ගැන. සැබෑ සිදුවීම් පෙළක් පදනම් කරගෙන නිර්මාණය වුණු මේ අති විශිෂ්ට සිනමා පටයේ සිටින ඒ කාන්තාව යුදෙව්වන් සිය දහස් ගාණකට වධ හිංසා පමුණුවන්නට මුල් තැනක් ගත්ත අපකීර්තිමත් චරිතයක් වුණත්, ඇය පොත් පත් කියවන්න ‍නොතිත් ආසාවෙන් පසුවුණු ගැහැනියක්. ඒත් පොත් පත් කියවන්නට අකුරු නොදන්නාකම නිසාම ළාබාල තරු‍ණයෙකුට ලිංගික අල්ලස් දෙමින් ඇය විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට කෘතින් ඔහු ලවා තමාට කියවා ගන්නවා.
උසස් සංගීතයෙන්, උසස් පොත පතකින් එහෙමත් නැතිනම් සරලව කියනවා නම් රස වින්දනය කියන කාරණාව තමන්ගේ හිත තුළ වගා කරගැනීම තුළින් ජීවිතය වෙනස් කරගත්ත මිනිස්සු ඉතිහාසය පුරා වගේම වර්තමානයේත් ඕනෑ තරම් හමුවෙනවා. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන විදියට ඉදලකින් අපූරු රටාවකට අමදලා තියෙන විහාර මළුවේ, ඒ අපූරු රටාව ගැන මෙනෙහි කිරීමෙන් පමණක්ම එක්තරා හිමිනමක් රහත් භාවයට පත්වෙනවා. ගැමි ළියකගේ ගොයම් කවියක මිහිර විඳීමෙන් ඒ කෙත් යාය අසලින් වඩිමින් හිටිය හිමිවරු රහත් භාවයට පත් වූ හැටි බෞද්ධ කෘතිවල සඳහන් වෙනවා.
ඒත් රසවින්දනය කියන එක කාටවත් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒත් තමන් තුළ රස වින්දනය ගැන පුංචි හරි හැඟීමක් තියෙනවා නම් ඒක දියුණු කරගන්න තමන්ටම පුළුවන්. බටහිර රටවල බොහොමක් සරසවිවල රස වින්දනය ගැන වගේම නිර්මාණාත්මක ලේඛනය ගැන උපාධි පාඨමාලා තියෙනවා. රස වින්දනය, ලේඛන කලාව තමන් තුළ පිහිටලා තියෙන කෙනෙකුට මේ පාඨමාලාවලින් ඇත්තටම උපරිම ඵල නෙලා ගන්න පුළුවන්.
පොත් පත් කියවන්න ඇතැම් අය අකමැති වෙන්න බලපාන හේතු ගැන අපූරු තොරුතුරු විවිධාකාර පර්යේෂණ මගින් එළිදරවු වෙලා තියෙනවා. ඒකට මූලිකම හේතුවක් තමයි පුංචි කාලයේ දී පොත් පත් කියැවීමේ පරිසරයක් තමන්ට අහිමි වීම. ඒ වගේම රස වින්දනය කියන කාරණාව නිසියාකාරව ළමා වියේදී නොලැබීමත් ඒකට හේතුවක් කියලා පර්යේෂකයන් පෙන්වලා දෙනවා. ඒත් තමන් වැඩිහිටියන් බවට පත් වූ පසුව ඒ අභියෝග සිය උත්සාහයෙන් ජය ගන්න පුළුවන් වුණත්, මොට වෙලා ගිය රස වින්දනය මුවහත් කරගන්න උවමනාවකුත් තියෙන්න ඕන බවයි පර්යේෂකයන් කියන්නේ. ඒ වගේම තමන් තුළ ඇති අදහස් මතවාද වෙනස් වෙනවාට බයෙනුත් පොත් පත් කියැවීමෙන් වැළකෙන පිරිසක් ඉන්න බව පර්යේෂකයක් පෙන්වා දෙනවා. ඒක වෙන කොයි රටකට කෙසේ වෙතත් දූපත් වාසී අපිට නම් පැහැදිලි ඇත්තක්. තමන්ගේ අදහස් මතවාද වෙනස් කරගන්නට තරම් විවෘත මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්නවා නම් එකම හොරු තක්කඩි රැළක් විවිධාකාර පක්ෂවලින් හැමදාමත් පාර්ලිමේන්තුවට රිංගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන්නේ නැහැනේ.
පොත් පත් කියවන්න තමන්ට වෙලාවක් නැහැ කියන කාරණාව නම් කිසිසේත්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ගේ කාලයෙන් මිනිත්තු පහළොවක් එහෙමත් නැතිනම් පැය භාගයක් පොතක් කියවන්නට වෙන් කරගන්න බැරි තරමට අපි කවුරුත් කාර්යබහුල නැහැ. ලෝකයේ ප්‍රබලම රාජ්‍ය නායකයන් පවා පොත් පත් කියවනවා විතරක් නෙමෙයි, පොත පත ලියන එකත් කරනවා. ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පවා බොහොම පොත පත කියවපු කෙනෙක් වගේම තමන්ගේ තනතුර දරද්දීම ළමා පොත් පවා රචනා කරපු කෙනෙක්.
මුළු ලෝකයේම කෝටිපතියන් අතර ඉදිරියෙන්ම ඉන්න වොරන් බුෆේ (Warren Buffet) කියන්නේ තමන් හැමදාම දවසේ සෑහෙන වෙලාවක් නිසංසලව වාඩි වෙලා කියවන්නත්, කියවපු දේ මෙනෙහි කරන්නත් පුරුදු වෙලා ඉන්නවා කියලයි. “මං ආදරය කරන්නේ ඒ විදියට ගත කරන ජීවිතයකට නිසයි මං එහෙම කරන්නේ ” කියලා ඔහු කියනවා. පොත් පත් කියවන්න දැඩිව ඇළුම් කරන ඔහු දවසකට පැය පහක්වත් පොත් පත් කියවන්න වෙලාව වෙන් කරගන්නවා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම Microsoft සමාගමේ නිර්මාතෘ, ලොව ධන කුවේරයන් අතර ඉහළින්ම ඉන්න බිල් ගේට්ස් කියන්නේ තමන් අද මේ තත්ත්වය ඇවිත් තියෙන්නේ පුංචි කාලයේ ඉඳන්ම කියවන්න පුරුදු පුහුණු වෙච්ච හින්දා කියලයි. බිල් ගේට්ස් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට කරපු සම්මුඛ සාකච්ඡාවක දී හෙළි කළේ තමන් වසරකට අඩුම තරමින් පොත් පනහක්වත් කියවනවා කියලයි. ලෝක ප්‍රකට ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් තමන්ගේ ජීවිත කතාව විවරණය කරමින් ලිවුව පොත මිලියන ගණනින් අලෙවි වුණා.
ඒ විතරක් නෙමෙයි කාලය කන මෙවලමක් විදියට අපිම පත් කරගෙන තියෙන ෆේස්බුක් නිර්මාතෘ, ලොව ළාබාලතම කෝටිපතියා වන මාර්ක් සකර්බර්ග් පවා පොත් පත්වලට දැඩිව ඇළුම් කරන පුද්ගලයෙක්. බිල් ගෙට්ස් එක්ක මාර්ක් සකර්බර්ග් එකතු වෙලා හැම දෙනාටම කියවන්න නිර්දේශ කරපු පොත් පත්වල ලැයිස්තුවක් පවා අන්තර්ජාලයේ තියෙනවා. ජංගම දුරකථනයට එබීගෙන උදේට බීපු තේ කෝප්පය, දවල්ට කාපු බත් පිඟාන, රෑට ගිය පාටිය, කන්තෝරුවේ වැඩ කරන හැටි, අලුතින්ම ගත්ත වාහනය ගැන පිංතූර හැමෝටම පේන්න ප්රමදර්ශනය කරන ගමන්, එක ගෙයි එක වහළ යට ඉන්න අඹුසැමියන්ට ආදරෙයි කියන්න, එකිනෙකාට සුභ උපන්දිනයක් ප්රාෙර්ථනා කරගන්න පවා මුහුණු පොතට ගිහින් කිසිම තේරුමක් නැතිව අපි පැය ගණනක් නිකරුණේ කාලය මරා දාද්දී ඒ මෙවලම නිර්මාණය කරපු මාර්ක්, පැත්තකට වෙලා නිවීහැනහිල්ලේ පොතක් පතක් කියවනවා. මුහුණු පොත හරහා අපි එකිනෙකාගේ ඕපාදූප තලු මරමින් නිකමුන් බවට පත්වෙද්දී, මාර්ක් පොත පත හරහා තමන්ගේ ජීවිත පරිඥානය පුළුල් කරගන්නවා.
මේ වගේ උදාහරණ කියන්න ගියොත් නිමාවක් නැහැ. බැරැක් ඔබාමා, වොරන් බුෆේ, මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස්ලාට තමන්ගේ අති මහත් රාජකාරී කටයුතු මැද්දේ නිදහසේ පොතක් කියවලා රස විඳින්න වෙලාව හොයා ගන්න පුළුවන් නම් අපිටත් ඒකට බැරි කමක් නැහැ. ඒත් ඒකට පුරුද්දක් එහෙමත් නැතිනම් පොතක් පතක් රස විඳින්න උවමනාවකුත් තියෙන්න ඕනේ.
කොහොම වුණත් පොතක් පතක් රස විඳින්න හැමෝටම බැරිවීම ගැන පර්යේෂකයන් තවත් අපූරු කරුණු කාරණා කිහිපයක් එළි කරනවා. මේ විදියේ පර්යේෂණ කණ්ඩායමකට නායකත්වය දුන්නු එක් පර්යේෂකයෙක් මෙහෙම කියනවා, “ කතාන්දර වලට අපි හැමෝම ආසයි. කතාන්දර කියවන්න කෙනෙක් අකැමැතියි කියන්නේ තාමත් එයාට ගැලපෙන කතාව හොයා ගන්න බැරි වෙලා කියන එකයි. එහෙමත් නැතිනම් එයාට ගැලපෙන පොත තාමත් එයාගේ අතට පත්වෙලා නැහැ කියන එකයි ”.
ඒත් මීට සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් තවත් එක් පර්යේෂණ කණ්ඩායමක් කෙටියෙන් මෙහෙම විස්තර කරනවා.
“ හැමෝම චීස් වලට ආස නැහැ… ඒ ඇයි…? පොත් පත් කියවීමත් ඒ වගේ තමයි ”.

ඒ දිවයිනට මා, පා කර හරින්න

ළා කොළ පාට පසුබිමක කරත්ත රෝදයක් එක්ක සෙල්ලම් කරන පිරිමි ළමයෙකුගේ රූපයක් ඇදපු පිටකවරයක් තියෙන පොතක් බොහොම ඈත කාලයක කියවන්නට ලැබුණා. ඒ කියන්නේ අවුරුදු තිහකට විතර කලින් පාසලේ ඉහළ ප්‍රාථමික පංතිවල ඉගෙන ගන්න කාලයේ. නවකතාවක්ම නොවුණත්, නවකතාවකටත් වඩා රසවත් මේ පොත මතකයේ කොයි තරම් රැඳුණා ද  කියනවා නම් ඔය කිව්ව කවරයේ  පෙනුම විතරක් නෙමෙයි සිය ගණනක් පුස්තකාල පාඨකයන්ගේ අතින් අතට ගිහින් පොතේ කවරයේ තැනින් තැන මතුවෙලා තිබුණු කඩතොළු පවා තාමත් අද වගේම මතකයි. මේ පොත පරිවර්තනයක්. පරිවර්තනයේ නම මා පයට තණ නිල්ල. පොත පරිවර්තනය කරලා තිබුණේ නිව්ටන් ජයසේන කියලා මහත්මයෙක්.

මේ පොත ගැන මතකය ආපහු අලුත් වුණේ අහම්බෙන්. එදා කියවූ සිංහල පරිවර්තනය ඉතාම ඉහළ මට්ටමින් තිබුණත්, පොතේ මුල් ඉංග්‍රීසි පොත කියවන්නට තිබුණා නම් හොඳයි කියලා පහුගිය දවසක අහම්බෙන් හිතුණා. ලංකාවේ ඈත පිටිසර ගමක් ගැන, අවුරුදු අසූවක් තරම් ඈත අතීතයේ දී ලියැවුණු මේ වගේ පොතක් බටහිර රටක පුස්තකාලයක තියෙන්නට ඉඩක් නැති බව හිතුණත්, පොත ගැන පුස්තකාලයෙන් විපරම් කළා. මාව පුදුමයට පත් කරමින් ඒ පොත මං ජීවත් වෙන ප්‍රාන්තයේ එක්තරා සරසවියක පුස්තකාලයක තියෙන බව අන්තර්ජාලයෙන් දැන ගන්නට ලැබුණා. ලෝකයේ දෙවැනි විශාලතම රට වෙච්ච කැනඩාවේ මං ජීවත් වෙන බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තය විතරක් ලංකාව වගේ පහළොස් ගුණයක් විශාලයි. ඉතින් මේ පොතේ පිටපතක් තිබුණේ මං ජීවත් වන වැන්කුවර් නගරයට බොහොම ඈත තැනක සරසවියක පුස්තකාලයේ විතරයි. තමන්ට ආසන්න පුස්තකාල කිසිවක නැති පොතක්, දුර බැහැර පුස්තකාලයකින් හෝ නොමිලයේ ගෙනැවිත් දීමේ අපූරු සේවයක් කැනඩාවේ පුස්තකාල සේවාව ක්‍රියාත්මක කරන නිසා අන්තර්ජාලය ඔස්සේ මා ඉල්ලුම් කළ ඒ පොත සතියක් දෙකක් යන්නටත් කලින් මගේ අතටම ලැබුණා.

Grass for my Feet කියන මේ මුල් ඉංග්‍රීසි පොත අතට ලැබුණාම මට දැනුණේ ඉතාම හිතවත් මිතුරෙක් හමුවුණා වගේ හැඟීමක්. ඒ හැඟීම තවත් තීව්‍ර වෙලා ඇත්තටම කියනවා නම් ලංකාවේ ඒ ඈත පිටිසර ගම්මානයට ගොඩ වැදිලා මේ ලේඛකයාත් එක්ක ඒ ගම්මානයේ අඩිපාරවල් ඔස්සේ ඇවිද ගෙන යනවා වගේ හැඟීමක් ඇති වුණේ මා අතට පත්වෙච්ච පොත අතිශය පෞරාණික අගයකින් යුක්ත වෙච්ච නිසයි. සුදෝ සුදු පාට පිටුවලින් යුක්තව, විවිධාකාර වර්ණවත් කවරවලින් අපේ අතට අද දවසේ පොත් පත් එක්ක ගත්තම මේ පොත අතට ගත්තම ඇතිවුණේ වචනයෙන් විස්තර කරන්නට බැරි තරම් බැතිමත් හැඟීමක්. මේ පොත මුල්ම වරට බ්‍රිතාන්‍යයේ දී මුද්‍රණය වෙලා තියෙන්නේ 1935 වසරේ දී. මගේ අතට පත් වෙච්ච පොත ඒකේ තුන්වැනි මුද්‍රණය විදියට 1943 දී නිකුත් කරපු පොතක්. ලංකාවේ ඈත පිටිසර ගමක් ගැන ලියැවුණු පොතක් මහා බ්‍රිතාන්‍යය වගේ රටක අවුරුදු අටක් වගේ කෙටි කාලයක් ඇතුළත දී තුන් සැරයක්ම මුද්‍රණය කරන්නට සිදු වුණා කියන එක තරමක විස්මය දනවන කාරණාවක් වගේම එදා මේ පොත කොයි තරමක් නම් ජනප්‍රිය වෙන්නට ඇතිද කියන එකත් ඒකෙන් කියැවෙනවා.

 

1943 වසරේ දී නිකුත් කෙරුණු මගේ අතට ලැබුණු පොත තුළ තිබුණේ කෞතුකාගාර පුස්තකාලයක තැන්පත් කර තියෙන මහානුභාවසම්පන්න පොතක ගති ලක්ෂණ. පොත දිග හරිද්දිම දැනුණු සැබෑ පොතක පිටුවල තීන්ත සුවඳ, පැරණි පන්නයේ අතීත පිටුවල මුහුවුණු මටසිළුටු ස්පර්ශය, පැරණි මුද්‍රණවලට ආවේණික වෙච්ච අපූරු අංග ලක්ෂණ නිසා පොත කියවන්නට කලින් ඒකේ සුවඳ, පෞරාණික රසය විඳින්න මං සෑහෙන වෙලාවක් ගත කළා. පොත කොයිතරමක් නම් පැරණි වුණත්, එදා පාසලේ දී මං කියෙව්ව පරිවර්තන පොතේ කවරයෙයි, ඇතුල් පිටුවලයි තිබුණු විදියේ කඩතොළු කිසිම දෙයක් මේ පොතේ තිබුණේ නැහැ. මුද්‍රණයේ පෞරාණික ස්වභාවය හැරෙන්නට පොතේ පිටුවකටවත් කිසිම හානියක් වෙලා තිබුණේ නැහැ.

මේ පොත ගැන මේ විදියේ සටහනක් ලියන්නට හිතුණේ පොත ආපහු කියැවීමෙන් ලැබුණු ආස්වාදයටත් වඩා, මං කිසිදාක දැක නොතිබුණු දේවල් කිහිපයක්ම මේ පොතේ මට දකින්නට ලැබුණු නිසයි. මේ පොත නිකුත් වෙලා තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයේ සෙවණැලි වැටෙමින් තිබුණු කාලයක. ඒ නිසා මේ පොතේ කවරයේ බීබීසී සේවාව සම්බන්ධයෙන් කළ අපූරු විස්තරයක් අඩංගු වෙනවා. මිත්‍ර හමුදාවන්ගේ සැබෑ තොරතුරුත්, යුද්ධයේ නවතම තොරතුරුත් දැනගන්න බීබීසී සේවාවට ඇහුම්කන් දෙන්න කියන විස්තරය පොතේ කවරයේ බොහොම විස්තරාත්මකව සටහන් වෙලා තියෙනවා. සාහිත්‍ය කෘතියක මේ විදියට යුද්ධය වෙනුවෙන් නිල ප්‍රචාරයක් සිදු කරලා තියෙන හැටි මං දැක්කේ මුල්ම වතාවටයි. ඒත් එය කතුවරයාගේ හෝ පොත ප්‍රකාශයට පත් කර තිබූ ලන්ඩනයේ Edward Arnold නම් ජනප්‍රිය පොත් ප්‍රකාශන සමාගමේ උවමනාවට වූවක් නොව යුද සමයේ පැවැති නීති රීති මත සිදුවූවක් බව පැහැදිලියි. ඒකට හේතුව මේ පොත මුද්‍රණය කර ඇත්තේ යුද නීතිරීතිවලට අනුකූලව අඩුම ආර්ථික පිරිවැයක් දරන කඩදාසි හා මුද්‍රණ ශිල්ප ක්‍රමවලින්ය කියන සහතිකයත් පොතේ පැහැදිලිවම සටහන් කර තියෙන නිසයි.

 

 

පිටු 230 කින් යුත් මේ කුඩා පොතේ එදා මිල කීයක් වුණා ද කියන එක නම් කවරයේ සටහන්ව තිබුණේ නැහැ. ඒත් පොත ඇතුළේ තිබිලා හරිම අපූරු වෙනත් සිහිවටනයක් නම් හමුවුණා. ඒ තමයි ලන්ඩනයේ බස් ටිකට් පතක්. මේ ප්‍රවේශ පත්‍රයේ අවුරුද්ද සටහන් වෙලා නැතත් පොත තරමටම ටිකට් පතත් පෞරාණික බව නම් පැහැදිලිවම පේනවා. දශක ගණනාවක අතීතයක් පුරා මේ පොත ඇතුළේ සුරක්ෂිතව රැදුණු මේ ප්‍රවේශ පත්‍රයේ ගාස්තුව සටහන් වෙලා තියෙන්නේ පැන්ස පහක් විදියට. පැන්සය හදුන්වන පැරණි මිල ක්‍රමය වන D අකුර තමයි ඒකේ සටහන් වෙලා තියෙන්නේ.

මේ කිව්ව හැම දෙයක්ම පොතේ ඉපැරණි ස්වභාවය හා එහි විශේෂ ලක්ෂණ ගැන කියන දේවල්. ඔන්න දැන් තමයි පොතේ  අන්තර්ගතයත්, කතුවරයා ගැනත් සිත් ඇදගන්නා සුළු දේවල් කියන්නට යන්නේ.

මේ පොතේ සටහන් වෙන්නේ ගෙවුණු සියවසේ මුල්ම කාලයේ දී, ලංකාවේ දකුණු බඩ ගාල්ලට කිට්ටුව තියෙන ඌරල කියන ගමත්, ඒ ගමේ ජීවත් වෙච්ච ගම්මුන්ගේත් යටගියාව ගැනත් රසවත් තොරතුරු සමුදායක්. ගමේ සිරියාව, මිනිස්සුන්ගේ ජීවනෝපාය, ආගමික කටයුතු හා වතාවත්, ගැමිකතා, එදිනෙදා ජීවිතයේ ස්වභාවය, බලි තොවිල්, හදි හූනියම් විතරක් නෙමෙයි මිනීමැරුම් ගැන පවා තොරතුරු මේ පොතේ අපූරුවට ලියැවිලා තියෙනවා. පොතේ කතුවරයා වන ජිනදාස විජයතුංග මහතා උපත ලබලා හැදිලා වැඩෙන්නේ මේ ගමේ. ඒත් පසු කාලයක ඔහු බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචියට යනවා. තමාට අහිමි වී ගිය ඒ අතීත වසන්ත සමය සිහිපත් කරමින් ලන්ඩනයේ දී තමයි ඔහු මේ පොත නිකුත් කරන්නේ. මේ පොත නවකතාවක් නෙමෙයි. නිකම්ම නිකම් සිහිවටන එකතුවකුත් නෙමෙයි. ඒත් නවකතාවකටත් වඩා රසවත්, චරිත කතාවකටත් වඩා නැවුම් හරිම අපූරු පොතක්. ඒ නිසාම පොත කියවද්දී ගමේ ජීවන සුවඳ වගේම ගැමියන්ගේ හෘදයාංගම උණුසුම හදවතට දැනෙනවා. කතුවරයා තමන්ගේ කුඩා අවදියේ ජීවන අත්දැකීම් අප හා බෙදා හදා ගන්නේ කියවන පාඨකයාත් ඒ ගමේම තවත් එක් ගැමියෙක් බවට පත් කරමින්.

මෙහි කතුවර ජිනදාස විජයතුංග මහතා උපත ලබන්නේ 1902 වසරේ දී ඌරල කියන ගම්මානයේ දී. ඔහු බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙන්නේ 1931 වසරේ දී. ඉංග්‍රීසි ගුරුවරයෙකු විදියට සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන විජයතුංග මහතා රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ පෞද්ගලික ඉල්ලීම මත ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙසත් කටයුතු කරනවා. කල්කටා සරසවියේ විභාග පරීක්ෂකවරුන්ගේ මණ්ඩලයේ පවා සාමාජිකයකු වන ඔහු එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ප්‍රමුඛ ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයන් හා පවා සමීප ඇසුරක් පැවැත්වූ තැනැත්තෙක්.

ග්‍රන්ථ ගණනාවක කතුවරයා වන ඔහු ලන්ඩන් ටයිම්ස්, නිව්යෝර්ක් ටයිම්ස් ආදී ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනවල සම්මානනීය ජනමාධ්‍යවේදියෙකු ලෙසත් කටයුතු කරනවා.

වියපත්ව සිටි විජයතුංග මහතා පෞද්ගලිකව හමු වී කතා බහ කළ තොරතුරු සමුදායක් එක්කරමින් ආචාර්ය තිලක් ප්‍රනාන්දු වෙබ් අඩවියකට ලියූ ලිපියක් ඔහු ගැන තොරතුරු සොයා බලද්දී මට අහම්බෙන් හමුවුණා. තමාට විජයතුංග මහතා හමුවන විට ඔහු 86 හැවිරිදි වියෙහි පසු වූ බවත්, ඔහු අතිශය මිත්‍රශීලී, සුහද හා ප්‍රසන්න මිනිසෙකු වූ බවත් ආචාර්ය තිලක් ප්‍රනාන්දු මහතා තම ලිපියේ විස්තර කර තියෙනවා. තමා ඔහුව හමුවූයේ උතුරු ලන්ඩනයේ ඔහු දිවි ගෙවූ කුඩා හුදෙකලා නවාතැනක දී බව පෙන්වා දෙන ආචාර්ය ප්‍රනාන්දු එවන් වූ උත්තුංග චරිතයක් එවැනි හුදෙකලා කාමරයක තනි වී ජීවත් වීම තමා මවිතයට පත් කළ බවත් පෙන්වා දෙනවා.

මා අතට පත් වූ විජයතුංග මහතාගේ ඉංග්‍රීසි පොත ඔහු පිළිගන්වා තිබුණේ තමන්ගේ මෑණියන්ටයි. පොතට ඔහු පෙරවදනක් ලියා තිබුණේ නැහැ. ඒත් ඒ වෙනුවට ඔහු කවි දෙකක් පමණක් සටහන් කර තිබුණා. බෙහොම හෘදයාංගම ඒ කවි දෙක,පොත පුස්තකාලයට භාර දෙන්නට කලින් පිටපත් කරගන්නට සිටියත් ඉතාම අවාසනාවන්ත ලෙස එය මග හැරී ගියා. ඒත් ඔහු ඒ එක් කවියක් අවසන් කර තිබුණේ Drift me to that country (ඒ දිවයිනට මා පාකර හරින්න) කියන වාක්‍යයෙන් බව නම් හොඳටම මතකයේ රැදුණා. රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇසුරු කරමින් මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වුණත් ඔහුගේ හදවත හා මනස තවමත් රැඳී තිබුණේ තමාගේ ළමා විය ගෙවී ගිය ලංකාවේ ඒ  පිටිසර ගම්මානයේ බවට ඊටත් වඩා කුමන වූ සාක්ෂියක් ද..?

මිය යන්නට පෙර ඔහු යළි තම මව්බිමේ පදිංචියට පැමිණි බව මහා බ්‍රිතාන්‍යයේ විද්‍යාර්ථින් ගැන තොරතුරු පළවන වෙබ් අඩවියක පළ වී තිබෙනු මා දුටුවත් ඔහුගේ අවසන් කාලය පිළිබද වැඩිමනත් තොරතුරු සොයා ගන්නට මට හැකි වූයේ නැහැ.

ජිනදාස විජයතුංග මහතාණෙනි, ඔබට නිවන් සුව…!

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ… සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමුදෝ…!

video-F.jpg

ලංකාවේ ජීවත් වෙන මගේ සමීපතම ඥාතියෙක්, මේ ගෙවී යන වසන්තයේ කෙටි සංචාරයකට කැනඩාවට ආවා. මලින් පලින් පිරුණු මේ වසන්ත සමයේ කැනඩාවේ තමන්ට අත්විඳින්නට ලැබුණු හැම අත්දැකීමක්ම හරිම  ආස්වාදයකින් රසවින්ත්, දවස සම්පූර්ණ වන්නට නම් තවත් එක් දෙයක් ඔහුට නැතිවම බැරි වුණා. ඒ ලංකාවේ රූපවාහිනිය, විශේෂයෙන්ම ප්‍රවෘත්ති විකාශය නැරඹීමයි. මා ජීවත් වන වැන්කුවර් නගරයත්, ලංකාවත් අතර පැය දොළහක පමණ කාල පරතරයක් තියෙන නිසා මගේ ඥාතියා වෙනුවෙන් වැන්කුවර් හි පිහිටි මගේ නිවසේ බොහොම වෙලාවට උදේට දවස පටන් ගන්නේත්, දවස අවසාන වෙන්නේත් ලංකාවේ රූපවාහිනී නාළිකාවක් විකාශය වෙන ගමන්. මගේ ඥාතියා බලන්නට පුරුදු වෙලා හිටිය එක් විශේෂ රූපවාහිනී නාළිකාවක් තිබුණා. ඒ නිසා නිතර දෙවේලේ මගේ නිවසේ විකාශය වුණෙත් කොම්බුවකින් පටන් ගන්න නමක් කියෙන මේ නාළිකාව තමයි. විකාශය ආරම්භ වුණු මොහොතේ පටන් දුරස්ථ පාලකයෙන් රූපවාහිනිය නිවා දමන කල්ම මේ නාළිකාව කොයි තරම් කන්දොස්කිරියාවක් ද කියනවා නම් මේ නාළිකාව විකාශය වෙද්දී පොතක් පතක් බලන්නවත්, අඩුම තරමින් වෙනත් කිසිම කාර්යයකට හිත යොදවනවා තියා ඒ ගැන හිතන්නටවත් බැහැ. ඒ නිසා ලංකාවේදීවත් රූපවාහිනිය නැරඹීම ඇබ්බැහියක් වෙලා නොතිබුණු මටත්, ලංකාවේ රූපවාහිනිය නැරඹීම මේ කාලය තුළ අනිවාර්ය අංගයක් බවට ඉබේටම පත් වුණා.

මේ නාළිකාවේ උදෙන්ම පටන් ගන්නේ පත්තර කියවිල්ල. පත්තරවල මුල්පිටුවේ ප්‍රවෘත්ති සිරස්තලය කියවන නිවේදකයා ඊට පස්සේ ඒ සිරස්තලය ගැන තමන්ගේ මතය කියවන්න සෑහෙන වෙලාවක් ගන්නවා. ප්‍රේක්ෂකයා කැමති වුණත්, නැතත් කිසිම ගැලවිල්ලක් නැහැ… මේ නිවේදකයාගේ දිග හෑල්ල මුළු රටම අහගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ කිසියම් ප්‍රවෘත්තියක් ගැන අපේ හිතේ කුමන ආකාරයක මතවාදයක් තිබුණත්, ඒ වගේම ප්‍රවෘත්තියට අදාළ කාරණාව සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබුණත්, ප්‍රවෘත්තිය ගැන ඔබ අහන්නට ඕනේ ඒ නිවේදකයාගේ මතයට යටත් වෙලයි. ප්‍රවෘත්තිය අරබයා ඔහු කරන නීරස කියවිල්ල තුළින් ඔහුගේ දේශපාලනය මෙන්ම ඔහුගේ චින්තනයේ දිග පළල හොදින්ම පැහැදිලි වෙන නිසා මේක හරියට මොනර නැටුමකට සමානයි. කොහොම වුණත් රටේ හැම ක්ෂේත්‍රයක් ගැනම ඉහළම විශේෂඥ දැනුමක් තමන් සතුව ඇතැයි නිවේදකයා හිතාගෙන ඉන්න එක ගැනත් එක අතකින් පුදුමයක් නැහැ. ඒකට හේතුව රටේ බොහොමයක් නිවේදක නිවේදකයන් විතරක් නෙමෙයි පත්තර පිටුවල දිග හෑලි ලියා දමන වාර්තාකරුවන් හැම දෙනාම වගේ ඉන්නේ ඒ විදියේ සිහින ලෝකයක හින්දා. කොහොමටත් මාධ්‍ය ආයතන හිමිකරුවන්ට රටේ ජන විඥානය ගැනවත්, ඔය කියන මොනම අංශයක් ගැනවත් මෙලෝ දැනුමක් නැති නිසා මේ සෑම මාධ්‍ය ආයතනයක්ම බඩ පිනුම් ගහන හිස් පඹයන්ගේ තෝතැන්නක් වෙන්න පටන් ගත්තේ අද ඊයෙක ඉදලා නෙමෙයිනේ.

නිවේදක හාදයාගේ පත්තර කියවිල්ලෙන් පස්සේ ප්‍රවෘත්ති පටන් ගන්නවා. මළ මිණී, අ‍දෝනා වලින් පමණක්ම පිරුණු මේ ප්‍රවෘත්ති විකාශය හරියට ජයරත්න මල් ශාලාවේ සජීවීව රූගත කරන මෙගා නාට්‍යයක් වගෙයි. මෙගා නාට්‍යයක් වගෙයි කියලා කිව්වේ හැමදාමත් විකාශය වෙන්නේ එකම මාතෘකා ටිකක්, එකම මූණත් තහඩු ටිකක් නිසයි. අදෝනාවන්, විලාපයන්, කෑගැසීම්, බැන අඬගැසීම් හැරුණාම වෙන කිසිම දෙයක් මේ මුළු ප්‍රවෘත්ති විකාශය තුළම නැහැ. පටන් ගත්ත මොහොතේ ඉඳන් අවසානය දක්වාම එකම කන්දොස්කිරියාවක්. ගත යුතු කිසිම හරවත් දෙයක් මේ මුළු ප්‍රවෘත්ති විකාශයේ කිසිම තැනක නැහැ. එක්තරා අවස්ථාවක පළිගැනීම සඳහා උණු වතුරෙන් පිළිස්සූ දියණියක් ගැන ප්‍රවෘත්තියක් මේ නාළිකාවේ විකාශය වුණා. ඉතාම සංවේදී වදන් යොදාගනිමින් මේ දැරිවියගේ පිළිස්සුණු අඟ පසඟ පෙන්වමින් මේ ප්‍රවෘත්තිය කොයිතරම් අභිරුචියකින් හා තලුමරමින් විකාශය වුණා ද කියනවා නම් ශිෂ්ට සම්පන්න කිසිම මිනිසෙකුට ඔක්කාරයකින් තොරව ඒ ප්‍රවෘත්තිය නරඹන්නට පුළුවන් වුණා යැයි මට හිතුණේ නැහැ. රටේ සිදුවන සාහසික අපරාධවල ගොදුරු බවට පත්වූ අහිංසකයන්ගේ මළමිණී බොහොම සමීප රූප ඉදිරිපත් කරමින් මේ ප්‍රවෘත්ති විකාශය තුළ දී වෙන්දේසි කෙරෙන ආකාරය හරිම අශ්ලීලයි. මළ මිණී ජවනිකාවෙන් පස්සේ තම නාළිකාවට පමණක් ලැබුණු අතිවිශේෂ ප්‍රවෘත්තියක් විදියට තවත් විගඩමක් දවසක්   පෙන්නන්න පටන් ගත්තා.ඒ රජයේ වෛද්‍යවරුන් බොහොම දෙනෙක් සයිටම් ආයතනයට විරුද්ධව වර්ජනයක නිරත වෙමින් ඉන්නා මොහොතක රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් ගැන ප්‍රවෘත්තියක්. මේ වෛද්‍යවරයා පසුපස මේ නාළිකාවේ මාධ්‍ය නඩය හඹාගෙන යන්නේ පොලිස් බල ඇණියක් වගෙයි. වෛද්‍යවරයා වටකරගත්ත මාධ්‍ය නඩය, සෙසු වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරතව සිටියදී තමන් පමණක් රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ ඇයි දැයි තර්ජනාත්මකව ප්‍රශ්න කරන්නේ මේ ලොව ඇති බිහිසුණුම අපරාධකරුවා ඔහු බවට පත්කරමින්. වෛද්‍ය සංගමයේ ඉහළ නිලධාරීන්  වැඩ වර්ජනය අතරතුර කිසිදු හිරිකිතයකින් තොරව පෞද්ගලික වෛද්‍ය සේවාවේ නිරතව සිටියදී මේ අහිංසක වෛද්‍යවරයා නොමිළයේ සිය සේවය අසරණ රෝගීන් වෙනුවෙන් ලබා දීම බරපතල වරදක් බවට පත් කොට ‍මේ මාධ්‍ය නාළිකාව ඔහු කෙතරම් පීඩනයකට පත් කළාද කියනවා නම් අවසානයේ දී වෛද්‍යවරයාට රෝහලේ දොරටුවෙන් එළියට පැන සිය ගණනක් රථ වාහන සැරිසරන ජනාකීර්ණ මහාමාර්ගය හරහා වීදියේ අනෙක් කොටසට දිව යන්නට සිදුවුණා. දිව යන වෛද්‍යවරයා පසුපස සිය කැමරාව හඹා ගිය මාධ්‍ය නඩය තමන් මහත් වීරකමක් කළාක් මෙන් මේ ප්‍රවෘත්තිය විකාශය කරන ආකාරය දකිද්දීත්, ප්‍රවෘත්තිය කියවන නි‍වේදකයා ඊට තවත් පිළිකුල් ඌන පූරණයක් සපයපු හැටියි දැක්කම ලංකාවේ අපි ජීවත් වෙන්නේ ශිෂ්ට ලෝකයෙන් කොයි තරම් සියවස් ගණනක් ඈතින් ද කියලා මට හිතුණා. මට හොඳටම අමාරුයි පුතේ… ඒත් අපි මැරුණත් කමක් නැහැ මේ වර්ජනයට අපිත් එකඟයි… ප්‍රවෘත්තියෙන් පස්සේ අවුරුදු අසූවක විතර රෝගී මාතාවක් නාළිකාවේ මයික්‍රෆෝනයෙන් රටටම ඇහෙන්නට කිව්වා. රට කරවන ඒ ව‍ගේම බලයට පොරකන දේශපාලකයන්ගේත්, සයිටම් පාලකයන්ගේත්, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේත් දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදත් අහිංසක රෝගී මව ගැන කිසිම පුදුමයක් නොසිතුණේ මුලු මහත් ලාංකීය සමාජයම චින්තනමය වශයෙන් රෝගීව ඔත්පල වෙලා ඉන්න මොහොතක මේ මහලු අම්මා පමණක් නිරෝගීව සිටින්නට කිසිම ඉඩකඩක් ති‍යෙන්නට හැකියාවක් නැති නිසයි. ඊට පස්සේ පටන්ගන්නේ දේශපාලකයන්ගේ බැන ඇඩගැසීම්වල වාරය. බලයේ ඉන්න. ඒ වගේම බලයට පොරකන නිලමැසි දේශපාලකයන්ගේ ගන්ධස්කාරය හැරුණාම , විදේශ කුමන්ත්‍රණ – බහු ජාතික අධිරාජ්‍යවාදී අතපෙවීම් වගේ හැමදාමත් පුරුදු වාග්‍‍කෝෂ‍ය,  උද්‍‍ඝෝෂණ, ප්‍රවෘත්ති සාකච්ඡා ‍මේ හැම ‍දෙයක්ම එකම ගාල‍‍ගෝට්ටියක් මිසක් නිස්කලංක‍යෙන් බලන්නට කිසිම ‍දෙයක් ‍මේ මුලු මහත් ප්‍රවෘත්ති විකාශය තුළම නැහැ. ප්‍රවෘත්ති අතරතු‍රේ දී ‍පෙරදා රැ‍යෙහි දී විකාශය වූ ‍දේශපාලන විවාදයක ‍කොටසුත් අතරින් පතර විකාශය ‍කෙර‍නෙවා. ‍පාරට වීසි කරපු මස් කට්ටකට ‍පොරකන අයා‍ලේ යන බල්ලන් රැළක‍ගේත්, ‍‍දේශපාලන විවාදයට සහභාගි ‍වෙන ආණ්ඩු පක්ෂ‍යේත්, ඒකාබද්ධ විපක්ෂ‍‍‍යේත්‍ ‍දේශපාලුවන් අතරත් කිසිම ‍වෙනසක් දකින්නට නැහැ. උසස් පෙළ අසමතුන් සියයකට වඩා ගරු ගාම්භිරව දියවන්නාවේ සැරිසරන මෙවන් වූ රටක අපේ මුලු ජීවිත කාලය තුළම ශිෂ්ට සම්පන්න දේශපාලන විවාදයක් ලංකාවේදී නම් දකින්නට ලැබෙන එකක් නැහැ.

හැමදාමත් විකාශය ‍වෙන ප්‍රවෘත්ති අඩු වැඩි වශ‍යෙන් ඔන්න ඔ‍හොමයි. පුදුමයට කාරණාව නම් උ‍දේට පත්තර කියවන්නත්, ප්‍රවෘත්ති කියවන්නත්, ‍දේශපාලන වැඩසටහන් ‍මෙ‍හෙය වන්නත් ‍මේ හැම ‍දේකටම හැමදාම ව‍ගේ දකින්න ඉන්‍‍නේ එකම නි‍වේදක හාද‍යෙක්. ඔය කියන වැඩ සටහන් වලට අමතරව ‍තරු පංති‍යේ ‍හෝටල්වල සහ රථ වාහන ගෙන්වා බෙදා හරින ආයතනවල මූල්‍ය දායකත්වයෙන් ඒ ආයතනවල ප්‍රචාරක ව්‍යාප්තියක් දියත් කරන අතරේ රටේ රජමහා විහාර සහ ගම් නියම්ගම්වලට කැමරාව අල්ලමින් අපේ සංස්කෘතික අනන්‍යතාවන් සිය ප්‍රචාරක අරමුණ වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවන මෙලෝ රහක් නැති වැඩ සටහනකුත් ‍මේ හාදයා ‍මෙ‍හෙයවනවා. මේ හාදයා හැ‍රෙන්නට ‍වෙනත් කිසිම නි‍වේදක‍යෙක් ‍මේ නාළිකාවට නැද්ද කියලා මට හිතු‍ණේ ‍කොයි ‍වෙලා‍වේ ‍‍‍මේ නාළිකාව ක්‍රියාත්මක කළත් ‍බො‍හොමයක් ‍වෙලාවට දකින්නට ලැ‍බෙන්‍‍නේ ‍මේ නි‍වේදකයාම පමණක් නිසයි. ‍සියල්ල දත් ‍මේ නි‍වේදකයා‍ගේ ඉමක් ‍කොණක් නැති හිස් පණ්ඩිත පල්හෑලි අහ‍ගෙන ඉන්දැද්දී මට හිතු‍ණේ මේ හාදයාට අවුරුද්දකට බලය දුන්‍‍නොත් රට නිසැක‍යෙන්ම සුරපුරයක්ම‍ ‍කරන්නට බැරි කමක් නැතිද කියලයි.

ප්‍රවෘත්ති වලින් පස්‍‍සේ ‍ටෙලි විගඩම් සමුදායක්ම විකාශය ‍කෙ‍රෙනවා. ‍මේ හැම වැඩසටහනක්ම ‍මෙ‍‍හෙය වන්නන් විතරක් ‍නෙ‍‍මෙයි සහභාගි වන ‍බො‍හොම ‍දෙ‍නෙකුත් එකම ‍කෝලම් මඩුවක ‍කෝලම්කරුවන් ව‍ගෙයි. කිසිම දවසක නම අසා නැති නළු‍වෙක් යැයි කියන නළු‍වෙකු ‍වේදිකාවට කැඳවපු නි‍වේදකයා ‍තවත් ‍කෙල්ලන් ‍දෙන්‍නෙක් සමඟ නටමින් ‍වේදිකාවට පිවිසි මේ ()ප්‍රසිද්ධ නළුවා‍ගේ බඩ අතාගමින්  ‍මොකද දැන් ‍මේ බඩ ඇවිල්ලා…? ”යැයි කියද්දී නළුවාද නටමින්ම නි‍වේදකයා‍ගේ බඩ අතාගාමින් ඇයි ‍මේ ඔයා‍ගේත් බඩ ඇවිත් ති‍යෙන්‍‍නේ යැයි කියද්දී එම වැඩසටහනේ සංගීතය මෙහෙවන ප්‍රසිද්ධ සංගීත ශිල්පියා ද හුනස්නෙන් නැගට සිය උදරයේ ප්‍රමාණය පෙන්වන්නට පටන් ගත්තා. මේ විදියේ ඔක්කාරය දනවන වැඩ සටහනකින් පස්‍‍සේ පටන් ගත්තේ පුංචි දරුවන්‍‍ගේ රියලිටි ‍ෂෝ එකක්. පහ වසර ශිෂ්‍යත්වයටවත් ‍පෙනී ‍නොසිටි බව නිසැක පුංචි දැරියක් , මගෙ හද ඔබෙ සුව යහන තමයි – ඔබ ‍සොයනා කළු ‍කෙල්ල මමයිගීතය ගායනා කිරීමෙන් පස්සේ ඒ වගේම තවත් පුංචිම දියණියකුත්, පුතෙකුත් පෙම් යුග ගීයක් ගයන්නට ගත්තා. අත් පටලා තුරු අතරින් දිව යමුදෝ…සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමුදෝ…පෙම් සැඳෑව මේ සුරඟනා ලොවේ… යහන්තලා වේවිදෝ මන්දා යැයි පෙම් යුග ගීය ගැයූ දරුවන් දෙදෙනාත් අවුරුදු අවුරුදු දහයට අඩු වයසේ වෙන්න ඕනේ.

රෙදි හැට්ට සරොම් ඇදගත් පුංචිම දරු දැරියන් පිරිසක්, රටක් වටින කෙනෙක් එක්ක මටත් හනික දීග යන්න – අනේ තාම ආවෙ නැහැනේ මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා ගීතය ගයමින් රඟ දැක්කුවේ ගීතයේ ඒ ඒ ජවනිකාවලට සුදුසු අංග චලන විදහා පාමින්.

විනිශ්චය මණ්ඩලයේ අපූරු පැසසුම් මැද්දේ දරුවන් වේදිකාවෙන් බහිද්දී ආඩම්බරයෙන් කැමරාවට හිස යොමන මේ දරුවන්ගේ දෙමව්පියන් දුටු මට සිතුණේ මෙවන් වූ දෙමව්පියන් ලද දූ දරුවන් කවර නම් වූ පෙර පවක් කරන්නට ඇති ද කියලයි. මාතෘත්වය හා පීතෘත්තවයේ උත්තරීතරත්වය හදුනා ගන්නට තරම් මානසිකත්වයක් දෙමව්පියන්ට නැති නම් අඩුම තරමින් මේ (උගත්) විනිසුරු මණ්ඩලයවත් මේ දැන් දැන් එය පහදාදෙනු ඇතැයි සිතුණත් විනිසුරු මඩුල්ලෙන් ලැබුණේ තවත් එවැනි පෙම් ගී ගයන්නට ඇරයුමක් පමණයි.  

මේ බහුරූ කෝලම් ගැන කතාබහක යෙදෙද්දී මගේ මිතුරෙකු මට කීවේ වෙනත් රටවලත් දරු දැරියන් වැඩිහිටි ගීත ගායනා කරන නිසා එවැන්නක වරද කුමක්ද යන්නයි. ඒත් මගේ මිතුරා කල්පනාවට නොගත් යමක් තිබුණා. ඒ සෑම රටකටම ඒ රටට සුවිශේෂී වූ සාරධර්ම හා සංස්කෘතික පද්ධතියක් තියෙනවාය කියන කාරණයයි. (රැකගගන්න තරම් සාරධර්ම පද්ධතියක් අද අපේ රටේ තියෙනවාද කියන ප්‍රශ්නයට නම් පිළිතුරක් නැහැ) විවාහයට පෙර ලිංගික සබඳතා යන්න බොහෝ බටහිර රටවල අතිශය සාමාන්‍ය දෙයක් වුණත් ලාංකීය සමාජ පසුබිම තුළ එවැන්නක් අනුමත වන්නේ නැත. දෙමාපිය දූ දරු සබඳතා යුරෝපීය සහ බටහිර රටවල මිනුම් දඬුවලින් අපේ රටවල මැනෙන්නේ නැහැ. ඒත් ඒ රටවල සමාජය ඉදිරියට ගමන් කරන්නේ තමන් යා යුතු ගමන කුමක්දැයි හොඳින්ම දැන හඳුනා ගෙන නිසා මේ වගේ කරුණු කාරණා අරබයා එවැනි රටවල සමාජ ගැටුම් ඇතිවන්නේ හරිම කලාතුරකින්. ඒත් ගමන කුමක්දැයි නොදැන අයාලේ අතපත ගාන අපේ සමාජය තුළ සියල්ල ඇත්තේ කණපිට පෙරළිලා. පෙබරවාරි දහ හතරවැනිදාට යෙදෙන වැලන්ටයින් දිනය උදාහරණයක් විදියට අරගෙන බලමු. බටහිර රටවල් බොහොමයක මෙන්ම මා ජීවත් වන කැනඩාවේ ද වැලන්ටයින් දිනය සමරන්නේ ආදරය ප්‍රකාශ කිරීමේ දිනයක් ලෙසින් මිස පෙම්වතුන්ගේ දිනයක් ලෙසින් නෙමෙයි. මේ නිසා දෙමව්පියන් දරුවන්ට, දරුවන් දෙමව්පියන්ට, සිසුන් ගුරුවරුන්ට, මිතුරෙකු සිය සමීතම මිතුරෙකුට වැලන්ටයින් කාඩ් පතක්, චොකලට් එකක් හෝ මල් කළඹක් දීම සිය සුහදත්වය එහෙමත් නැතිනම් ළෙංගතුකම ප්‍රකාශ කරන සාමාන්‍ය දෙයක්. ඒත් බටහිරින් එන සියල්ල කණපිට පෙරළාගෙන මතුපිටින් අතපත ගාන අපි වැලන්ටයින් දිනය සමරන්නේ පෙම්වතුන්ගේ දිනයක් විදියට විතරමයි. මේ නිසාම ඔය කියන සෑම නාළිකාවක්ම පාහේ වැලන්ටයින් දිනයේ සරාගී කෝච්චි සවාරි, සමාජ ශාලා රැඟුම් ගැයුම් සංවිධානය කරනවා. විද්යුත් මාධ්‍ය නාළිකාවල මේ බලපෑම නිසා වැලන්ටයින් දිනය ලාංකීය සමාජයට අද බරපතල පිළිලයක් වෙලා. වැලන්ටයින් දිනයේ දී සිය කන්‍යභාවය අහිමි කරගන්නා ලාංකීය ළාබාල දැරියන්ගේ සංඛ්‍යාව අතිශය ඉහළ අගයක් ගන්නා බවත් එය වසරින් වසර බියජනක ලෙසින් ඉහළ යන බවත් සමාජ සමීක්ෂණ වාර්තා හෙළිදරවු කරනවා. ඒත් එවැනි ගැටලුවක් බටහිර සමාජයට නැහැ. 

අන්තර්ජාලය වගේම ෆේස්බුක් ආදී වූ සමාජ මාධ්‍ය ජාලාත් බටහිර හා යුරෝපීය රටවල සමාජගත වන්නේ සමාජීය දැනුමක් ද එක්කයි. අන්තර්ජාල පරිහරණයේ දී සිය පෞද්ගලිකත්වය සුරක්ෂිත කරගන්නා අතරේම ඒවායේ හානිකර විපාකවලින් ගැලවෙන ආකාරය ගැන දරුවන් දැනුවත් වන්නේ පාසල්වල දෙවැනි තුන්වැනි පංතියේ ඉඳන්මයි. මේ නිසාම ඒ වගේ කරුණු කාරණා දියුණු රටවල සමාජ අර්බුදයක් බවට පත්වෙලා නැහැ. ඒත් අන්තර්ජාලය ගැනවත්, එහි භාවිතය ගැනවත් කිසිම ආකාරයක ක්‍රමානුකූල ඉගැනීමකින් තොරව ගෙඩි පිටින් එය වැළඳ ගන්නා ලාංකීය සමාජයට ෆේස් බුක් පවා අද සමාජ අර්බුදයක්. ෆේස්බුක් නිසා සිදුවූ සොරකම් හෝ කොල්ලකෑම් පමණක් නෙමෙයි,  ජීවිත හානි කරගැනීම් පවා ගෙවී ගිය වසර පහක කාලය තුළ දී අතිශය ඉහළ අගයක් ගෙන තියෙනවා. වෛද්‍ය සිසුවියන් පවා ෆේස්බුක් හේතුවෙන් සිය දිවි නසා ගන්නවා නම් වෛද්‍ය උපාධිය දක්වා ඔවුන් ලද අධ්‍යාපනයේ හරයක් තියෙනවාද..?

කටේ කිරි සුවඳ තවමත් හමන මේ දරුවන්ගේ පෙම් ගී අසද්දී මගේ හිතට එක්වරම ඇතුලු වූණු තවත් සිදුවීමක් නම්  පහුගිය සතියක මාධ්‍ය වාර්තාවකින් එළිදැක්වුණු මා තිගැස්සූ එක් කාරණාවක්. මේ වනවිට ලංකාවේ ළමා ගබ්සා වගේම, ළමා උපත්පාලන සංඛ්‍යාව අතිශයින් ඉහළ යමින් පැවතීමයි ඒ. මේ අවුරුද්දේ ගෙවී ගිය මාස කිහිපය තුළදී දිඹුලාගල කලාපයේ පමණක් වාර්තා වූ අඩු වයස් ගැබ් ගැනීම් සංඛ්‍යාව 23ක්. දිඹුලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණිය පෙන්වා දෙන ආකාරයට ගිය වසරේ දී පමණක් දිඹුලාගල කලාපයේ සිදුකළ උපත්පාලන සංඛ්‍යාව 527ක්. මේ වසරේ දී මේ වනවිට එවැනි උපත්පාලන සංඛ්‍යාවන් 52 ක් සිදු කරලා තියෙනවා. මෙයින් බොහොම දෙනෙක් පාසල් යන වයසේ පසුවන දැරියන්. මේ එකම එක ග්‍රාම නිලධාරී වසමක් විතරයි. රටේ සමස්ත තත්ත්වය ගත්තොත් එය අතිශයින්ම බිහිසුණුයි. ළමා වියේ කඩුල්ල තවමත් පැන නොගිය දරු දැරියන් උතුම් මාතෘත්වය සහ පීතෘත්තවය දැරීම තබා ඒ ගැන වැටහීමක් පවා ඇති කරගන්නේ කොහොමද…? මේ හේතුව නිසාම ඔය කිව්ව දිඹුලාගල විතරක් දෙමව්පියන් අහිමි වූ දරුවන්ගේ ගණන සියයකට වැඩියි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පෙන්වා දෙන තවත් බිහිසුණුම කාරණාව නම් තම දියණිවරුන්ට මේ උපත්පාලන සැත්කම්, ගබ්සා කිරීම්වලට අනුබල දෙන්නේ ඔවුන්ගේම මව්වරුන් වීමයි. තම දරුවන් රියැලටි ෂෝවලට යවා රටටම පෙනෙන්නට ඔවුන්ගේ ළමා මුවින් ශෘංගාරය වෑහෙන ගී ගයවන්නට හැකි දෙමව්පිය පරපුරක්  සිටින රටක අනාගතය කවර නම් වූ දිසාවකට පෙරළෙනු ඇතිද…?

දිගු කලකින් නොදුටු නිසා අසනීප වී සිටින තමා බලන්නට එන්නැයි තම දරුවන්ට ආයාචනා කරන පියෙකු තම ඡායාරූපය ද සහිතව තම දරුවන්ට ආයාචනා කරමින් කරන පුවත්පත් දැන්වීමක් රටේ ප්‍රධානතම ජාතික පුවත්පතක පළ වූයේ දින දෙක තුනකට පෙරදීයි. මාතෘත්වය සහ පීතෘත්වය සිල්ලරට ගිය යුගයක මින් පෙර නොදුටු මෙවන් දැන්විම්වලින් පුවත්පත්වල පිටු පිරෙන කාලය ළගාවන්නට තවත් වැඩි කාලයක් ගතවෙන එකක් නැහැ.

මේ විදියට නාළිකාවේ වැඩසටහන් ඔහේ ගලාගෙන ගියාට පස්සේ පටන් ගන්නේ ටෙලිනාට්‍ය මාලාවක්. මේකත් කෙළවරක් නැහැ. රාත්‍රියේ විකාශය වූ ටෙලි නාට්‍ය උදේ වරුවේ ආපහු ආපහු විකාශය කෙරනවා. ලොව සෑම ශිෂ්ට රටකම ප්‍රධාන රූපවාහිනී නාළිකාවල ගුවන් කාලය කියන්නේ අතිශය පරිස්සමින් පරිහරණය කරන සම්පතක්. මේ ගුවන් කාලය තුළ විකාශය කෙරෙන වැඩ සටහන්, නිවේදකයන්ගේ හැසිරීම් ප්‍රේක්ෂකයන්ගේ සෘජු විවේචනයන්ට ලක්වෙනවා පමණක් නෙමෙයි එම ආයතනවල අභ්‍යත්තරයේම ඇති පරිපාලනමය ව්‍යුහයක් මගින් දැඩි නිරීක්ෂණයකට ලක්වෙනවා. මේ නිසා ඉදිරිපත් කෙරෙන සෑම වැඩසටහනක්ම තරගකාරී පසුබිමක්මත ගුණාත්මකභාවයේ ඉහළින්ම සනිටුහන් කරන්නට එම වැඩසටහන්වලට දායක වන පිරිස වගබලා ගන්නවා. ඇමරිකාවේ ප්‍රධානතම මාධ්‍ය ජාලයක් වන ඒබීසී (ABC) මාධ්‍ය ජාලයේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ඩෑන් හැරිස් මෑතකදී ලියා පළ කළ 10% Happier නම් කෘතියෙන් සැබෑ මාධ්‍යකරණයක් උදෙසා ජනමාධ්‍යවේදීන්, රූපවාහිනී නිවේදකයින් කොයි තරම් පරිත්‍යාගයක්, කැපකිරීමක් කළ යුතු ද යන්න කදිමට විස්තර කරනවා. ඒ වගේම එම ජනමාධ්‍ය ආයතනවල කළමනාකාරීත්වය පවා ගුණාත්මකබවින් පිරිපුන් වැඩසටහන් නිර්මාණය කරවීමේ අරමුණින් කෙතරම් දැඩි පාලනයක් පත්වාගෙන යන්නේ ද ගැනත් ඔහු අපූරුවට විස්තර කරදෙනවා. මේ නිසා බටහිර හා යුරෝපීය රටවල නිර්මාණය වන වාර්තා වැඩසහටන් පවා අති විශිෂ්ටයි. ඒවායින් සිදුකරන සාධනීය සමාජීය බලපෑමත් හරිම ඉහළයි. එවැනි වාර්තා වැඩසටහනක් ලෙසින් නිර්මාණය වූ පසුව ලොවම සසල කළ සිනමා නිර්මාණයක් බවට පත් වූ Black Fish ඊට එක් නිදසුනක් පමණයි. එම වාර්තා වැඩසටහන සිහිබුද්ධියෙන් නැරඹූ කිසිම කෙනෙකුට දැවැන්ත මින් මැදුරු විතරක් නෙමෙයි සතුන් කූඩු කළ සත්ව උද්‍යානයක් පවා නරඹා කිසිම සතුටක් ලබන්නට බැහැ. මේ වාර්තා වැඩසටහන නැරඹීමෙන් ඇති වූ කම්පනය නිසා මතුවූ ජනතා විරෝධය නිසාම ඇමරිකාවේ අතිශය ප්‍රසිද්ධ මිරිදිය උද්‍යානයක් (Amusement Park)  වන Sea World හි එක් අංශයක් මුළුමනින්ම වසා දමන්නට සිද්ධ වුණා. ඒ වගේම මා ජීවත්වන වැන්කුවර් නගරයේ අතිශය ප්‍රසිද්ධ වැන්කුවර් මින්මැදුරේ පාලනාධිකාරිය විසින් ඩොල්ෆින්, තල්මසුන් වැනි විශාල ක්ෂීරපායින් නැවත එහි ගෙන නොඑන බවට ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් දුන්නා. විශිෂ්ට වාර්තා වැඩසටහනකින් කළ හැකි බලපෑම ඒ තරමටම ප්‍රබලයි. මේ වගේ උදාහරණ කෙළවරක් නැතිව කියන්නට පුළුවන්.

ඒත් රෑ පුරා කාලය කා දැමූ වැඩසටහන් යළි යළිත් උදයේ විකාශය කරමින්, ඉන්දියානු මෙගා පල්හෑලි වලට දෙබස් කවමින් පැය ගණනින් ප්‍රචාරය කරමින්, කිසිම බරක් හෝ මෙලෝ රහක් නැති වැඩසටහන් වලින් ගුවන් කාලය පුරවා දමන අපේ නාළිකාවලට, කුමක් හෝ පෙන්වා සිය අයිතිකාරයාගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් නාළිකාව පවත්වාගෙන යෑම මිස වෙනත් කිසිම අරමුණක් නැහැ. (මේ තත්ත්වය අපේ රටේ පුවත්පත්වලටත් එකසේම අදාළයි). අනෙක් අතට සාර්ථක වැඩසටහනක් නිර්මාණය කරන්නට තරම් දක්ෂයන් පිරිසකුත් ඒවා ඇතුළේ නැහැනේ.

මේ සියලු  ටෙලි විගඩම් අවසානයේ දී රූපවාහිනිය නිවා දැම්මාම දැනෙන්නේ පුදුමාකාර සහනයක්. හරියට මුරුගසන් වර්ෂාවක් වැහැලා පෑවුවා වගෙයි. මළ මිණී, අදෝනා, විලාප, බැන අඬගැසීම්, අංගම්පොර ආදී වූ සියලු සටන් කලාවන්ගෙන් අගතැන්පත් ලෝක සිතියමේ තිතක්වන් ලංකාවේ ප්‍රවෘත්ති විකාශය අවසන් කරලා, ලොව දෙවැනි විශාලතම රට වූ කැනඩාවේ ප්‍රවෘත්ති නරඹද්දී කොයි තරම් සංයමයක්, නිස්කලංකයක් තියෙනවාද කියන කාරණය අන්තිමේ දී මගේ ඥාතියාගේ මුවින්ම පිටවුණා. මේ කිව්ව කරුණු මං සඳහන් කරන නාළිකාවට විතරක්ම සීමා වූවක් නෙමෙයි. ලංකාවේ සෙසු නාළිකා කිහිපයකට චැනල් මාරු කර බලද්දී මට දකින්න ලැබුණේ සෑම නාළිකාවකම මේ කී කරුණු අඩුවැඩි වශයෙන් පවතින බවයි. ගංවතුර ව්‍යසනය මැද්දේ විගඩම් වැඩසටහන් ඉදිරිපත් කිරීම කොයි තරම් සදාචාරවත් ද කියලා ඇහුව ප්‍රේක්ෂිකාවකට, මගෙන් මුකුත් අහගන්න එපා යැයි කියන්නට තරම් නපුංසක වූ නිවේදකයන් රොත්තක් තමයි ඒවායිත් ඉන්නේ. (මේ නිවේදක නිවේදිකා රූකඩයන් අතර සැබෑ ලෙසින්ම උඩුගං බලා පිහිනන්නට උත්සාහ දරන අතිශය අතළොස්සක් වූ නිවේදක නිවේදිකාවන් පිරිසකුත් ඉන්න බව නොකිව්වොත් ඒක කුහක කමක්)

කොහොම වුණත් උදේ ඉඳන් සවස දක්වා නිතර දෙවේලේ මේ විදියේ අසහනකාරී රූපවාහිනී චැනල් ඇසුරේ හැදී වැඩෙන අපේ රටේ දරු පරපුර අනාගතයේ කොයි කවර ඉසව්වකට ගමන් කරාවිද කියන කාරණය හිතද්දිත් දැනෙන්නේ පුදුමාකාර තිගැස්මක්.

ඕනෑම ශිෂ්ට සම්පන්න දියුණු මාධ්‍ය සදාචාරයක් ඇති රටක සම්මුඛ සාකච්ඡා වාද විවාද මෙහෙයවන නිවේදකයෙකු කියන්නේ අඩුවෙන්ම කතා කරන වැඩියෙන් සවන් දෙන බොහෝ ඇසූ පිරූ චරිතයකට. ඒකට හේතුව නිවේදකයාගේ කාර්යභාරය විය යුත්තේ තමා ඉදිරිපිට සිටින මිනිසා කතා කරවීම මිස, තමන් තොරතෝංචියක් නැතිව දොඩමළු වීම නොවන හින්දා. ඒත් අපේම අවාසානාවකට අපේ නිවේදක පරපුර හඳුනා නොගත් එහෙමත් නැතිනම් ඉගෙන නොගත් මූලිකම පාඩමත් ඒකම තමයි.

ඒ විදියේ සැබෑ නිවේදක පරපුරක් ඇත්තටම අප සතුව හිටියත් අනූව දශකයේ අග භාගය වෙද්දී ඒ පරපුරේ නශ්ටාවශේෂයක් පමණක් එක්ක අද අහුරු ගනනින් ඉතිරි වෙලා ඉන්නේ පෙත්තප්පුලා ටිකක්.

මං ජීවත් වෙන කැනඩාවේ නිතර විකාශය වන අපූරු වැඩසටහනක් තියෙනවා. Hello Good Bye නම් වූ මෙම වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ ගුවන් තොටුපල වෙත පැමිණෙන හා පිටවෙන මගීන් හා දොඩමළු වෙමින් කරන සාකච්ඡාවලින්. ලෝකයේ කොයි කවර රටක වුණත් ගුවන් තොටුපළ කියන්නේ සතුට වගේම දුකත් එකසේ දරාගන්න තැනක්. ඒකට හේතුව ගුවන්තොටුපළ තුළ ඇත්තේ හමුවීම් සහ වෙන්ව්‍ම් පමණක්ම නිසයි. මේ වැඩසටහන හසුරුවන මාධ්‍යවේදියා එය කොයි තරම් අපූරුවට හසුරුවනවාද කියන එක බලා ඉන්න හරිම අපූරුයි. ඇත්තෙන්ම කියනවා නම් එම මාධ්‍යවේදියා මෙම වැඩසටහන තුළ කැපී පෙනෙන්නේ ඔහුගේ දොඩමළුකම නිසා නෙමෙයි. ඔහුගේ නිහඬකම නිසයි. ඉතාම සුළු වචන කිහිපයක් පමණක් භාවිත කරමින් තමන් ඉදිරිපිට සිටින තැනැත්තා හඬවන්නට වගේම ඔවුන්ගේ පෞද්ගලික ජීවන සබඳතා ඉස්මතු කර සංවේදී කරුණු කාරණා පිළිබඳව ඔවුන් දොඩමළු කරවීමට මේ නිවේදකයා සමත් වෙන්නේ බොහොම සීරුමාරුවට පාවිච්චි  කරන වචන දෙක තුනකින්.

ගුණාත්මක බවින් ඉහළ වූ ඉතා ඉහළ මට්ටමේ වාර්තා වැඩසටහන්, ගී වැඩසටහන් වගේම ටෙලි නාට්‍ය පවා අතීතයේ දී ජාතික රූපවාහිනිය ප්‍රධාන කොට ගෙන අයි ටී එන් නාළිකාවේත් විකාශය වුණා. ඒකට හේතුව හැකියාවක් මෙන්ම ඔළුවක් ද තිබූ පිරිසක් ඒවාට සමබන්ධ වෙලා හිටිය නිසයි. ඒ ගුණාත්මකභාවය එළෙසින්ම නැතත්,  එහි නෂ්ටාවශේෂ තවමත් ජාතික රූපවාහිනියේ ඉතිරිව තියෙන බව මං දැක්කේ මගේ ඥාතියා නරඹන රූපවාහිනී නාළිකාවෙන් හෙම්බත්ව වෙනත් නාළිකාවන් ගැන සොයා බලද්දියි. (ප්‍රවෘත්ති නම් නෙමෙයි; “ ප්‍රවෘත්ති කියන එකම නාළිකාවක්වත්, “ ප්‍රවෘත්ති පළ කරන එකම පුවත්පතක්වත් අද ලංකාවේ නැහැනේ. මෙතැනදී ප්‍රවෘත්ති කියලා අදහස් කළේ සැබෑ නිර්වචනයන්ම ප්‍රවෘත්ති මිසක් ලංකාවේ ජනමාධ්‍ය ප්‍රවෘත්ති කියලා අදහස් කරන පල්හෑලි නොවන බව අවධාරණය කරන්නට ඕනේ) එත් අද හැම නාළිකාවකම වගේම පිරිලා ඉන්න බොහොම දෙනෙක් හැකියාවෙන් වගේම ඔළුවෙනුත් හිස් වෙච්ච නඩයක් නිසා රූපවාහිනී කාලය කා දමන්නට යමක් පුරවනවා මිසක් මිනිසුන්ගේ හිස් පුරවන්නට යමක් එයින් ලැබෙන්නේ නැහැ. අනෙක් අතට මිනිසුන්ගේ හිස් පුරවන්නට නම් කලින්ම එයාලගේ හිස් පිරිලා තියෙන්න එපැයි. අඩුම තරමින් හිරිකිතයකින් තොරව ගීතයකට රූප රචනයක් කරන්නටවත් හැකියාවක් තියෙන පිරිස මේ නාළිකාවල ඉන්නවාද කියන කරුණ හරිම සැකසහිතයි. ටී. එම්. ජයරත්න නම් වූ ප්‍රවීණ ගායකයාගේ එක සිත දෙතැනක නතර වෙලා ගීතයට එක්තරා නාළිකාවක් කරපු රූප රචනයක් මට දකින්න ලැබුණා. මෙහිදී ගීතය පසුබිමන් යද්දී පෙම්වතියන් දෙදෙනෙකු අතරට මැදි වූ පෙම්වතෙකු මුලු ගීතය පුරාම දකින්නට ලැබුණා. මේ ගීතය තුන් කොන් ප්‍රේමයක් ගැන නෙමෙයි, දෙදෙනෙකු අතර ඇති ප්‍රේමයක් කියලා වටහා ගන්නට තරම් ඔළුවක් ඊට සහභාගි වූ කිසිම කෙනෙකුට තිබුණේ නැහැ. මෙවැනි ගීතයකට රූප රචනාවක් කරලා විකාශය කෙරෙන්නේ කණ්ඩායමකගේම සහභාගිත්වයෙන් මිසක් එක්කෙනෙක් දෙන්නෙක්ගේ අතින් නෙමෙයි. ගීතයට රූප රචනය කරපු තැනැත්තා, එය කැමරාකරණය කරපු තැනැත්තා, නිෂ්පාදනය කරපු තැනැත්තා, එහි පිටපත ලියා අධ්‍යක්ෂණය කරපු තැනැත්තා විතරක් නෙමෙයි අඩුම තරමින් එහි රගපෑ නළු නිළියන්ටවත් මේ සරල ගීතය වටහා ගන්න බැරි වීම හිතාගන්නවත් බැරි තරම් පුදුමයි. ඒ කියන්නේ මුලු ගීතයම රූප රචනය කරලා තියෙන්නේ ගීතයේ මුල් පේලි දෙක විතරක් අහලා. අඩුම තරමින් ගීතයේ තුන්වැනි හතරවැනි පද පේළි දෙකවත් ඇහුවා නම් මේ ගීතය තුන් කොන් ප්‍රේමයක් නොවන බව වටහා ගන්නට පහ හය වසරේ දරුවෙකුට වුණත් පුළුවන්. අඩුම තරමින් ගායකයාගෙන්වත් ඇහුවා නම් ඒ ගැන ඉගෙන ගන්න තිබුණා. මේ විදියේ හිස් ඔළුගෙඩි වලින් පිරුණත් මේ නාළිකාවල ශීර්ෂ පාඨ ඇහුනම නම් දෙපැත්තෙන්ම හිනා යනවා … People’s Channel, ශ්‍රී ලාංකීය අභිමානය, පවුලේ නාළිකාව, අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන…  මේ ටෙලිවිෂන් අලුත් කරන්න කාලයයි…

රෑපවාහින‍ී කැමරාව ඉදිරියට ගිහින් මූණත් තහඩුව අල්ලන්න කලින් අඩුම තරමින් ශිෂ්ට මාධ්‍ය ලෝකය තුළ නිර්මාණය වන වාර්තා වැඩසටහන් දෙක තුනක්වත් නරඹන්නට පුලුවන්නම් තමන්ගේ මාධ්‍ය භාවිතාව කොයි තරම් හිස් විලාපයක් ද කියන එක හදුනාගන්න ඔලුවක් ඇති කවර කෙනෙකුට වුණත් පුලුවන්. ලොවම කම්පා කළ සුනාමියේදී ලංකාවට පදනම් කරගනිමින් එකම මළමිනියක්වත්, එකම දුක් අදෝනාවක්වත් නොපෙන්වා එහි බිහිසුණු බව කදිමට හුවා දැක්වූ අතිවිශිෂ්ට වාර්තා වැඩසටහන් ලොව පුරා බිහිවූවත්, මළ මිණියකින් තොරව අඩුම තරමින් පැය භාගයක වාර්තා වැඩසහටනක්වත් නිර්මාණය කරන්නට අපේ රූපවාහිනී නාළිකා සමත් වුණේ නැහැ. බීබීසී ලෝක සේවය මගින් නිර්මාණය කළ Planet Earth නම් වූ වාර්තා වැඩසටහන් මාලාව ලොව අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය වන්නට බලපෑවේ එහි තිබූ තාක්ෂණික  කුසලතා හෝ ඒ වෙනුවෙන් වියදම් කළ මූල්‍ය සම්පත් හෝ නිසා නොවේ. එහි සාර්ථකත්වයට බලපෑවේ එම වාර්තා වැඩසටහන නිර්මාණය කළ පිරිස සතුව තිබූ ඉවසීම, ධෛර්යවන්තභාවය සහ අධිෂ්ඨානශීලීත්වයයි.

 

මෙතැනදී කෙනෙකුට හිතෙන්නට පුලුවන් මේ වගේ නිර්මාණ කරන්නට තරම් දැවැන්ත මුදලක් අපේ රටවලට තියෙනවාද කියලා. ඒක මුලුමනින්ම වැරදි සංකල්පනාවක්. ගුණාත්මකභාවයයි මුදලයි කියන්නේ එකට අත්වැල් බැද යා යුතුම කරුණක් නෙමෙයි. හැකියාව හා දක්ෂකම ඇති නම් ප්‍රාග්ධනය කියන්නේ තවත් එක් සරල සාධකයක් විතරයි. බැදුම්කර සොරාගෙන මාධ්‍ය කරවන අපේ රටට ප්‍රාග්ධනය කියන්නේ සරල දෙයක්. ඒත් හැකියාව හා දක්ෂකම නම් බැදුම්කර තියා මහ බැංකුව උකස් කරලාවත් ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි.

එක් හෝටලයකින් පිටවී තවත් හෝටලයකට ලගින්නට යන අතරේ හමුවන පන්සලක්, ගමක්, වැවක් වෙත කැමරාව අල්ලා මෙන්න අපේ රටේ සුන්දරත්වය යැයි පෙන්නවන අඳ බාල ළාමක නිවේදක පරපුරකට එවැන්නක මහිම වටහා ගන්නට පවා අසීරු බවට තර්කයක් නැහැ. ඊට දොසක් කියන්නටත් බැහැ… ඒකට හේතුව ඒ අය නියෝජනය කරන්නේ අපේ රටේ උගත්කම එහෙමත් නැතිනම් කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැති රැකියාවන් දෙකෙන් එකක් නිසා.  දේශපාලනය සහ ජනමාධ්‍ය කියන්නේ අපේ රටේ සුදුසුකම්, උගත්කම් හෝ දැනුම පළපුරුද්ද කියන කිසිම කරුණක් අදාළ නොවන රැකියා දෙකක්. මේ නිසා රස්සාවක් හොයා ගන්නට තරම් සුදුසුකමක්, දැනුමක්, පළපුරුද්දක් නැති කොයි කවර කෙනෙකුට වුවත් මේ ක්ෂේත්‍ර දෙකට එකතුවෙන්නට විතරක් නෙමෙයි එහි හිනිපෙත්තට නැගලා කර්තෘ සංසදයෙන් රන් කුසලාන දිනාගන්නත් හරිම පහසුයි. මේ ක්ෂේත්‍ර දෙකට සම්බන්ධ වෙලා ඉන්න පිරිස දැක්කම ඒ ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය වෙන්නේ නැහැනේ.

ඒත් කණගාටුම කාරණාව නම් මේ විදියට නූගතුන්ගෙන් පිරිලා ඉතිරිලා ඇත්තේ රටේ සමස්ත දිශානතිය හසුරුවන ප්‍රබලතම අංශ දෙක වීමයි. ඔපෙරා ශෛලියෙන් ගීයක් ගැයූ ගායිකාවක බැළලියකට සමාන කොට එවන් බැළලියකට දිය යුතු දඬුවම ගලකින් ගැසීම බව කීවේ ද මේ නාළිකාවේම තවත් හාදයෙකු බවත් මේ මොහොතේ මගේ මතකයට එනවා. රටේ කුණු ටික කළමනාකරණය කරගන්නට බැරි, මදුරු කීටයෙකු මෙල්ල කරගන්නට නොහැකි රටක පය තබාගෙන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන නන්දොඩවන වීරවංසයේ දේශපාලකයන් පරපුරක් අපිට උරුම වෙලා තියෙන්නේත් දේශපාලනයට සහ මාධ්‍ය කලාවට උගතුන් අනවශ්‍ය වීමේ ප්‍රතිඵලයක් විදියටයි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකින් විනාස කරන්නට තරම් රටක් අද අපිට ඉතිරි වෙලා නැහැ. තප්පුලන දේශපාලකයන් රැළත්, මාධ්‍ය යැයි කියන කොඩිවිණයත් ඒ විනාසය දැනටමත් සිදුකරලා හමාරයි.

අනෙක් පැත්තෙන් ගත්තම හොරකම, මංකොල්ලකෑම,  ස්ත්‍රී දූෂණය, රාජ්‍ය සම්පත් පවුලේ පරිහරණයට යොදා ගැනීම දේශපාලන සුදුසුකමක් ලෙසින් සලකන ජනතාවක් සිටින රටකට මෙවැනි මාධ්‍ය නාළිකාවන් තිබීමේ වරදකුත් නැහැ.  ඒකට හේතුව ගුණාත්මකභාවය, රසඥතාව කියන කාරණාව අපේ සමාජයෙන් මේ වනවිට නැත්තටම නැති වෙමින් යන හින්දා. රස වින්දනය කියන කාරණාව තමන්ගේ ජීවිතවලින් හිතාමතාම ඈත්කරගත්ත අති විශාල පිරිසකින් තමයි අද අපේ සමාජය හැදිලා තියෙන්නේ. මේ හින්දා උසස් වර්ගයේ පොතක් කියවලා රස විඳින්නට, උසස් සිනමා නිර්මාණයක් නරඹලා ඔළුවට යමක් ගන්නට හැකියාවක් ඇත්තේ අපේ සමාජයේ මිනිසුන්ගෙන් කීයෙන් කීදෙනාටද…? එවැනි පරපුරකට උසස් වර්ගයේ රූපවාහිනී වැඩසහටහන්, ඇසූ පිරූ ඇති නිවේදකයින්, කොටින්ම කියතොත් ශිෂ්ට මාධ්‍ය සම්ප්‍රදායක් හෝ සදාචාර සම්පන්න දේශපාලන සම්ප්‍රදායක් අවශ්‍ය වන්නේ කවර නම් කරුණකටද…?

මේ කාරණාව වටහා ගන්නට තවත් සරලම උදාහරණයක් මේ මොහොතේ දී මගේ මතකයට එනවා. සිය ජීවිත කාලයම ජනසන්නිවේදනය හැදෑරූ බව කියන.. එමෙන්ම අවුරුදු පහළොවකට අධික කාලයක් ජන සන්නිවේදනය විෂය උගැන්වූ බව කියන…ඒ වෙනුවෙන්ම බොහෝ පොතපත ලියා පළකළ,  ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක ජන සන්නිවේදන අංශය භාරව සිටි මහාචාර්යවරයාට සති කිහිපයකට පෙරදී විවෘත අධිකරණයේ සිය ගණනක පිරිස ඉදිරියේ වැද වැටී සමාව ගන්නට සිදුවුණා. ඇයි ඒ…? උගතුන් යැයි කියාගත් රටේ සෙසු ()ප්‍රබුද්ධ ආචාර්ය මහාචාර්යවරුන් පිරිස හා එක්ව කඩේ යාම වෙනුවෙන් දොළ පිදේනි බෙදා දෙන අතරේ දී තමන්ට ලැබුණු ජනමාධ්‍ය ආයතනයේ සභාපතිධුරය දරන කාලයේ දී සිදුවූ සිදුවීමක් වෙනුවෙන් වරද පිළිගැනීම නිසා ලැබුණු ඳඬුවමක් තමයි ඒ. ඉතින් කුමක් ද ඒ වරද…? පහුගිය මැතිවරණයේ දී මැතිවරණ නීතියට අනුව මාධ්‍යකරණයේ යෙදෙමු යැයි සේවකයන් තිදෙනෙකු කළ යෝජනාවට කුපිත වී බැන වැදී ඔවුනට පහරදීමයි ඒ. ජනසන්නිවේදනය සිය බඩ රස්සාව කරගත්, සරසවියක ජනසන්නිවේදන අංශය පවා භාරව සිටිමින් සිය දහස් ගණනකට ජන සන්නිවේදනය උගැන්වූ, පුවත්පත් පිටු පුරා ජනමාධ්‍ය සදාචාරය මෙසේ විය යුතුයැයි හඬගා කී මහාචාර්යවරයාගේ ජනමාධ්‍ය සදාචාරය මෙය නම් මුළු මහත් රටේම මාධ්‍ය සදාචාරය ගැන කවර නම් වූ කතාද…?

නන්නත්තාරේ යන මෙවන් හිස් නාළිකා මුලු මහත් රටක්ම අයාලේ යවද්දී එයින් සතුටු වන ප්‍රධානම පිරිස බලයේ සිටින සහ බලයට එන්නට පොර කන දේශපාලකයන් බවත් රහසක් නෙමෙයි. ඒකට හේතුව දැනුවත් පරපුරක් බිහිවුණොත් තමන්ගේ දේශපාලනයට යන එන මං නැති වන නිසා… බත් පැකට් එකට මැයි පෙළපාලියට ගෙන්වන්නට හැකි පිරිසක් නිර්මාණය නොවන නිසා… පවුල තර කිරීම පමණක් තම දේශපාලනයේ එකම පරමාර්ථය කරගත් ඊනියා ජනතා නායකයන්ගේ දේශපාලනයේ යථාර්ථය වටහා ගන්නට සමත් බුද්ධියක් ඇති මිනිසුන් පිරිසක් බිහිවීමේ අනතුරක් එයින් බිහිවන නිසා… විදේශ කුමන්ත්‍රණ, දේශ ප්‍රේමීත්වය, ජාතිකත්වය වගේ ලොමු දැහැගැන්වෙන වදන් භාවිත කරමින් ඡන්ද දායකයන් ගොනාට ඇන්දවීමට ඇති ඉඩකඩ අහිමි වී යන නිසා…

ඒත් රටේ බුද්ධිමතුන් කියාගත් පිරිස මේ ව්‍යසනය පෙනි පෙනී නිද්‍රාශීලීත්වයක සිටීම නම් කිසිසේත්ම අනුමත කරන්නට බැහැ. අනෙක් අතට බැලුවාම ජනතාවගේ පරම පූජනීය සහ අතිශය පෞද්ගලික අයිතියක් වූ ඡන්දය පවා දැමිය යුත්තේ කුමන පක්ෂයටදැයි ප්‍රසිද්ධියේ කියා පාමින් පුවත්පත් දැන්වීම්වලට පොරකමින් අත්සන් තබන ලොව කොයි කවර රටකවත් නැති වර්ගයේ අපූරු කලාකරුවන් සහ ආචාර්ය මහාචාර්යවරුන් නඩයකගෙන් එවැනි සද්කාර්යයක් ගැන හිතීමත් විහිලුවක්.

රටකට උරුම වන්නේ ජනතාවට බලාපොරොත්තු වන මට්ටමේ එසේත් නැතිනම් රටේ ජනතාවටම ගැලපෙන පන්නයේ දේශපාලකයන්ය; ඔවුනටම ගැලපෙන රූපවාහිනී නාළිකාවන්ය; නිවේදක නිවේදිකාවන්ය. පුවත්පත්ය.

වෙනසක් සිදුවිය යුතුනම් එය පටන් ගත යුත්තේ එසේත් නැතිනම් වෙනස් විය යුත්තේ ඒ රටේ ජනතාවයි.

වෙනස් වෙන්නට හීනෙකින්වත් නොසිතන ජනතාවක් සිටින රටක අමතක කරමු අපි මේ සියල්ලම…!

දුවේ පුතේ මව් ඇකයෙන් මිදී එන්න ගයන්නට පෙම් ගී… !

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ…සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමුදෝ…!

 

 

පිපුණු කුසුම පරවූවා

IMG_9765

ඒ සුන්දර උදෑසන මට කිසිදිනක අමතක නොවනු ඇත.

සුවිසල් පැසිෆික් සාගරයේ දිය රැළි මතින් සුදෝ සුදු පෙන කැටි විසුරුවාලමින් ගමනේ යෙදුණු සුවිසල් මගී නෞකාවක පියස්සේ වූ එළිමහන් වේදිකාවක මම ඒ මොහොතේ රැඳී සිටියෙමි.

හිමිදිරි වළාකුළු මතින් හිරු රැස් පෙරී ආවේ සයුරු රළ මත රන්වන් රටා මවමිනි.

වරින් වර රංචු ගැසී පියාඹා යන කුරුල්ලන්ගේ මිහිරි නාදයත්, ගමන ආරම්භ වූ මොහොතේ සිටම එක දිගට හමා ආ සිසිල් සුළං රැල්ලත් මගේ ගත මෙන්ම සිත ද එකසේ ප්‍රබෝධවත් කරමින් තිබුණේය.

මා ගමන් ඇරඹූ වැන්කුවර් නුවර පියස්ස අතරින් හිම කැටිති තැවරුණු කඳු මුදුන්වල දසුන පෙනී නොපෙනී යද්දී මගේ ගමනාන්තය වූ ඒ සුන්දර දූපත ඈතින් මතුව ආවේය.

මගීන් පමණක් නොව ඔවුන්ගේ රථ වාහන ද පටවාගෙන හෝරා දෙකක පමණ කාලයක් පුරා කළ යාත්‍රාවකින් පසු නෞකාව නතර වූයේ මගේ ගමනාන්තය වූ කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ වික්ටෝරියා නම් මනරම් දිවයිනේය.

නගරයේ වීදී පසුකර යමින් සරුවට වැඩුණු තුරුලතා අතරින් වූ නිසංසල මාවත දිගේ රිය පදවාගෙන යද්දී මගේ ගමනට බාධා කළ කළේ වරින් වර පාර පුරා දිව ගිය මුව රංචු පමණි.

ඒ සුන්දර දූපතේ හුදෙකලා ගම් පියෙසක පිහිටි පැරණි පන්නයේ අපූරු නිවහනක කවුළුවක් සමීපයේ වූ අසුනක වාඩි වී යමක් කුරුටු ගාමින් සිටි ඒ මිනිසා අවසානයේ දී මට මුණ ගැසුණේය.

ඔහු මහදුරු සිරි ගුනසිංහයන්ය.

ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ කිසිම අවස්ථාවක රාජකාරී කටයුතුවලදී ස්වාමීන් වහන්සේ කෙනෙකුට හැර වෙනත් කිසිවෙකුට වැද නමස්කාර කිරීමේ පුරුද්දක් නොතිබුණත් මේ මහා ප්‍රාඥයා ඉදිරියේ දී මා ඔහුට වැඳ නමස්කාර කළේ කිසිදු පැකිලීමකින් තොරවය. ඒ මා මේ ගමනට සහභාගි වූයේ ජනමාධ්‍යාවේදී කටයුත්තක් සිත්හි තබාගෙනම පමණක් නොවූ බැවිනි. කැනඩාවට පැමිණි දා සිටි ඔහු මුණ ගැසී දොඩමළු වන්නට බොහෝ කාලයක් පුරා බලාගෙන ද සිටි බැවිනි.

භාෂා ගණනාවක ප්‍රවිණයෙකු මෙන්ම ක්ෂේත්‍ර ගණනාවක මහා දැනුම් සම්භාරයකින් සන්නද්ධව සිටිය ද ඔහු මා සිතුවාටත් වඩා අතිශය සරල හා සුහද මිනිසෙක් වූයේය. ඉතිහාසය, කලාව, සාහිත්‍යය පමණක් නොව භාෂාව සම්බන්ධයෙන් ද එකසේ මහා දැනුම් සම්භාරයකින් පරිපූර්ණ වූ අපේ පරපුරේ අවසාන ජීවමාන පඬිවරයා ඔහු වූයේය.

ලොව කීර්තිමත් සරසවියක් වන කැනඩාවේ වික්ටෝරියා සරසවියේ  මහාචාර්වරයෙකු ලෙසින් වසර හතලිහක කාලයක් පුරා සේවය කළ ඔහු සිය ආදරණීය බිරිඳ ආචාර්ය හේමමාලී ද සමග නිදහස් විශ්‍රාම දිවියක් ගතකරමින් සිටියේ වික්ටෝරියා සරසවියටම යාබදව තිබූ නිවෙසකය. මා ඔහු හමුවූ මුල්ම දිනයේ එතුමන්ගේ නිවසට යාබද නිවසේ ගෙහිමියා මියගොස් තිබුණි. ගෙහිමියාගේ දරුවන් අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරන්නට ගෙට ගොඩ වූයේ ද අප දොඩමළු වෙමින් සිටි හෝරා කිහිපය අතරේදීය. එම හදිසි සාකච්ඡාව නිමවීමෙන් පසු හුනස්නෙන් නැගී සිටි ඔහු කිසියම් වූ කල්පනාවක නිරත වෙමින් කවුළුවට පිටතින් පෙනෙන එම නිවස දෙස බොහෝ වේලාවක් බලාගෙන සිටි ආකාරය මට තවමත් මතකය. ඒ දසුන බලාගෙන සිටි මට මෙවන් වූ පඬිවරයෙකු සත් සමුදුරින් ඈතින් පිහිටි මෙවන් වූ දූපතක තනිවී සිටිය යුතු ද යන්න සිතට නැගුණේ නිරායාසයෙන්මය. ඒ මොහොතේ මා සිත තුළ මතු වූ ඒ සිතිවිල්ල වචනයට පෙරළා ඔහුගෙන් අසා සිටිය නොහැකි තරමටම ඒ සිතිවිල්ල බලවත් වූයේය.

සැප පහසුකම් අතින් ඉහළම රටක මං ඉන්න බව ඇත්ත. ඒත් ඒක භෞතිකයි. මා තුළ තිබෙන පුරුද්ද නිසා මට ඒක ඒ තරම් වැදගත් නැහැ. ඒ නිසා මානසිකමය වශයෙන් මට ඒ තරම් තෘප්තියක් නැහැ. සිංහලෙන් ලියන්න , කියන්න, සිංහල පොත පත කියවන්න තවමත් මං පුරුදු වෙලා ඉන්නේ ඒ තෘප්තිමත් බව ලබා ගන්නයි. ඒ වගේම අවුරුද්දකට සැරයක් ලංකාවට ගිහින් පැරණි මිතුරන් හමුවෙන්නේත් ඒ හැගීමෙන්ම තමයි. ඒ අතීත සබදකම් හරහා ජීවිතය අලුත් වෙනවා.

ඔහු මහා ඇදුරෙකු වූයේ සිංහල හෝ සංස්කෘතික හෝ වෙනත් භාෂාවන් ගණනාවකට පමණක් නොවේ. ඉතිහාසය, සාහිත්‍යය, චිත්‍ර කලාව පමණක් නොව සිනමාව පවා ඔහු අතින් පෝෂණය වූයේය. මතුපිටින් අතගාමින් තිබූ සාහිත්‍යය ඔහු සිය මස් ලේ නැති ඇට තුළින් යථාර්ථවාදී තලයකට ගෙන ආවේය. ඔහු විසින් නිර්මාණය කළ එකම සිනමාපටය වූ සත් සමුදුර රාජ්‍ය සම්මානයෙන් පමණක් නොව ප්‍රේක්ෂක විචාරයකයන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වූයේය.  සිංහල භාෂාවේ න-ණ ල-ළ ‍භේදය ඉවත් විය යුතුය යන්න දැඩි සේ විශ්වාස කළ ඔහු වියපත් වූ පසු පවා භාෂාව සම්බන්ධයෙන් තිබුණේ හණ මිටි අදහස් නොව තාරුණ්‍යයෙන් සපිරි අදහස් සමුදායකි.

මුල් කාලයේ පත්තරයක් අරගෙන බලන්න. ඒ පත්තර භාෂාව අද පත්තරවල නැහැ. ඒ කියන්නේ භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒත් මිනිස්සු පිළිගන්නේ නැහැ භාෂාව වෙනස් වෙනවා කියලා. භාෂාවේ ස්වභාවය තමයි වෙනස් වීම කියන්නේ. ගොනා තන කයි කියලා කිවුවම ගොනා කන්නේ මොනවද කියලා ඕනම කෙනෙකුට තේරෙනවා.  උදාහරණයක් විදියට දැන් අපි කියනවා එයා ඇමතිතුමා වෙනුවෙන් කඩේ යනවා කියලා. ඔය කඩේ යනවා කියන එක භාෂාවේ වෙනස්වීමක් නේ. ඒක හරිම ප්‍රාණවත් රූපකයක්. ඒ ප්‍රාණවත් රූපකය ඇති වෙන්නේ නැහැ භාෂාවේ නිදහස නැති කළා නම්. භාෂාව වෙනස් වෙලා තියෙනවා , භාෂාව වෙනස් වෙමින් තියෙනවා , භාෂාව වෙනස් විය යුතුය කියන එක පිළිගන්න බැරි එක තමයි මෙතැන තියෙන මූලිකම දේ. ඔහු කීවේ බොහෝ සේ උදාහරණ දක්වමිනි.

මහාචාර්ය ගුනසිංහයන් සංස්කෘත කාව්‍යය කොයි තරම් රසවත්ව විග්‍රහ කරලා අපිට උගැන්නුවාද කියනවා නම් සාහිත්‍ය රසාස්වාදය ගැන ඉගෙන ගන්න අපට ආසාවක් ඇතිවුණේ ඔහු නිසයි මහදුරු සුචරිත ගම්ලත් වරෙක කී බව මට මතකය.

මහාචාර්ය පරණවිතානයන් මෙන්ම සීගිරියට සහ සීගිරි කවියට පෙම් බැඳි ඔහු සීගිරිය සම්බන්ධයෙන් මෑතකදී ද උසස් මට්ටමේ පොතක් ඉංග්‍රීසි බසින් ලියා පළ කළේය. තමන් ප්‍රවීණතාවක් දැක්වූ සෑම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම මහත් වූ ඥාන සම්භාරයකට උරුමකම් කී ඔහු ඉතා විශ්වාසයෙන්  යුක්තව ශක්තිමත් මතවාදයන් ගෙන හැර පාන්නට කිසිවිටෙක පසුබට වූයේ නැත. ඔහු විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද ලිපියක් සිංහලට පෙරළීමේ වාසනාව වරෙක මට හිමි වූ අතර එම ලිපිය මගින් පොළොන්නරුවේ පිහිටි පරාක්‍රමබාහු ප්‍රතිමාව නමින් ප්‍රචලිත පිළිමය අගස්ති සෘෂිවරයාගේ බවට වූ ප්‍රබල මතයක් ඔහු ගෙන හැර පා තිබුණේ ප්‍රාමාණික සාක්ෂි සාධක රැසක් මතුකරමිනි.

විචාර කලාවේ මෙන්ම යථාර්ථවාදී නිසදැස් කලාවේ පුරෝගාමියෙකු වූව ද ඔහු නූතන ලාංකීය කලාවේ සහ විචාර සම්ප්‍රදාය ගැන සිටියේ පැහැදීමකින් නොවේ.

විචාරය කියන එක ඕනෑම කෙනෙකුට කරන්න පුලුවන් කියලා හිතන එක තමයි ලොකුම වැරැද්ද වුණේ. මොකද ඹ්න කෙනෙකුට සිනමාපටයක් , සිංදුවක් හෝ පොතක් ගැන මොනව හරි ලියන්න පුලුවන්නේ. ඒත් විචාරය කියන එක වෙනමම ඉගෙන ගන්න ඕන විෂයක්. විචාරය කියන්නේ මොකක්ද යමක් විචාරය කළ යුත්තේ කොහොමද කියන එක ගැන ලංකාවේ සරසවිවලවත් උගන්වන්නේ නැහැ. එහෙම විෂයක් අපේ සරසවිවල නැහැ. ඒ කාලයේ තිබුණෙත් නැහැ. සාහිත්‍යය උගන්වනවා කියලා ඇත්ත වශයෙන්ම කළේ පොතේ ව්‍යාකරණය උගන්වන එකයි. කවි සිළුමිණ ගත්තොත් ඒක සරල බසින් කියලා දීලා ව්‍යාකරණ කරුණු සාකච්ඡා කිරීම තමයි සරසවිවල සිංහල සාහිත්‍යය උගන්වනවා කියලා එදත් කළේ. මම උනත් සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තේ ඔය විදියට තමයි. ඒත් එයින් පිට පැනලා සාහිත්‍ය කෘතියක කතාව නෙමෙයි සැබෑ සාරය සොයන්න අපට හැකියාව ලැබු‍ණේ විචාරය කියන විෂය ඉංගිරිසි භාෂාවෙන් හැදෑරුවට පස්සේ තමයි. ඒ වගේම මම හිතන්නේ 19 වැනි ශත වර්ෂයේ නෙමෙයි ඊටත් ඈත යුගයේ තිබුණු වාරණයක් තමයි අද ලංකාවේ තියෙන්නේ. කලා කෘතියකට අවම මට්ටමේවත් නිදහසක් අවශ්‍යයි. සිනමා පටයක සිගරැට්ටුවක් බිවුවා කියලා මිනිස්සු සිගරැට් බොන්න පුරුදු වෙනවද ?නොබොන මිනිහා කොහොමත් බොන්නේ නැහැ. මේ වාරණය කලාවේ දියුණුවට විශාල බාධාවක්.

සෑම විෂයක් කෙරෙහිම ඔහුගේ දැක්ම බොහෝ සේ තීව්‍ර වූයේය. රජෙකු එතැයි අප කොපමණ පැතුවත් එන්නේ හිඟන්නෝමැයි යනුවෙන් ඔහු ලීවේ සිය අබිනික්මන කාව්‍ය සංග්‍රය පළවූ 1958 තරම් ඈතකදීය. එය අදට පමණක් නොව ලංකාවේ අපට හෙට දවසේ ද තමත් යථාර්ථයක් වන්නේය. මේ කවි දෙපද මා ඔහුට සිහි කරද්දී ඔහු අද දවසේ අපේ රට ගැන පළ කළේ මෙවන් අදහසකි.

අද තියෙන ගැටළුව නම් වෙනස්කමක් කරන්න පටන් ගන්නේ කොතැනින්ද කියන එක නෙමෙයි වෙනස්කමක් පටන් ගන්න පුලුවන්ද කියන එකයි. පහුගිය අවුරුදු විස්සක කාලය ගත්තම මැතිවරණයෙන් මැතිවරණයට සමාජය පහතට ඇද වැටීම මිසක් ඉහළට යාමක් නම් සිදු වුණේ නැහැ. අඩුම තරමින් රටේ ආර්ථිකම දියුණුවක් හෝ තියෙනවා නම් අනිවාර්යයෙන්ම අනිත් අංශවලත් දියුණුවක් තියෙන්න ඕනේ. ලෝකයේ අනෙක් රටවල් ගත්තත් ආර්ථිකමය පදනමේ දියුණුවක් ඇතිවෙනවා නම් සමාජීය දියුණුවකුත් ඒ එක්කම ඇති වෙන්න ඕනේ. ලංකාවේ දේශපාලකයන් කියනවා නම් ආර්ථිකමය දියුණුවක් තියෙනවා කියලා ඒ අය රට දියුණු කරන විදියේ අඩුපාඩුවක් තියෙන්න ඕන. ඒකට හේතුව සමාජීය වශයෙන් එහෙම දියුණුවක් දකින්න නැති නිසා. අනිත් අතට එහෙම දියුණුවීමක් ඇති කරන්න සුදුසුකම් තියෙන මිනිස්සුත් ඉන්න ඕන නේ…!  මේ කඩා වැටීම පහුගිය අවුරුදු පනහ තිස්සේම හෙමිහිට සිද්ධ වුණා. අපේ රට තියෙන්නේ දේශපාලනමය වශයෙන් ඇද වැටුණු තැනක. දේශපාලනමය සහ ආර්ථිකමය වශයෙන් ඇද වැටුණු රටක අනිවාර්යයෙන්ම සිදුවන දේවල් තමයි අපේ රටේ සිද්ධ වෙන්නේ

ඔහු කෙතරම්ම උතුම් මිනිසෙකුද වූයේ ද යත් මා වැනි දුහුනෙකු විසින් ලියන ලද කෘතියක අත්පිටපතේ සෝදුපත් බලන්නට පමණක් නොව ඊට පෙරවදනක් ලියාදෙන්නට තරම් අතිශය නිහතමානී මිනිසෙකු වූයේය. එය සිදුවූයේ ඔහු තදින් අසනීපව සිටි මෙයින් මාස කිහිපයකට පෙරදී බැවින් ඔහු විසින් කියවන ලද අවසාන සිංහල අත් පිටපත එය වූවාට සැකයක් නැත.

සිය අවාසන කාලයේ දී ඔහුගේ දරු දැරියන්ට අමතරව ඔහුගේ සෙවණැල්ල මෙන් ළගින්ම සිටියේ ඔහුගේ ආදරණීය බිරිඳ ආචාර්ය හේමමාලිය. ජීවිතයේ අවසාන භාගයේ දී මහාචාර්යතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වරින් වර අයහපත් වෙමින් තිබූ පසුබිමක් යටතේ ඒ සියලු කටයුතුවල වගකීම භාරගෙන කටයුතු කළේ ඇයයි. තමන් සිංහල නවකතාවක් ලියමින් සිටින නමුත් එය ලියැවෙන්නේ ඉතා සෙමන් බව ඔහු මීට වසර කිහිපයකට පෙර මට කීවත් එම කෘතිය සැබවින්ම නිමා වූයේ ද යන්න මම නොදනිමි. 

ඔහුගේ අවසන් ඉල්ලීම මත අවසන් කටයුතු කෙරෙන්නේ ඉතා චාම්ව පවුලේ සමීපතමයන්ගේ සහභාගිත්වය මතය.

ඔහු අවසන් වරට හමුවූ අවස්ථාවේ දී නිවසින් පිටතට විත් මා රිය පණ ගන්වාගෙන ඔහුගේ ගෙමිදුලින් නික්ම යනතෙක්ම ඔහු බලා සිටි ආකාරය මට මේ මොහොතේත් මැවී පෙනෙන්නේය.

එතුමන් පිළිබද වූ ඒ සජීවී මතකය එලෙසින්ම මා සිත තුළ ඉතිරි කරගනිමින්, ඔහුගේ මේ නික්ම යාම දන්වාලමින් ආචාර්ය හේමමාලී විසින් මා වෙත එවනු ලැබ තිබූ ඊ මේල් ලිපියේ මාතෘකාවෙන්ම මෙම ලිපිය අවසන් කරන්නට මට අවසර; …. පිපුණු කුසුම පරවූවා.

 මහඇදුරුතුමනි ඔබට නිවන් සුව!