ඔබ සිටින්නේ කොතැන ද?

ගුවන්විදුලියේ සවස හයේ ප්‍රවෘත්ති ආරම්භ වුණේ මං වැඩ ඇරිලා නිවසට එමින් සිටියදීයි. රිය අනතුරක් සිද්ධ වෙලා තිබු නිසා මං එන මාර්ගය පුරාම වාහන තදබදයක් නිර්මාණය වෙලා තිබුණා.

වාහනයේ ගුවන්විදුලි යන්ත්‍රයේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙලා තිබුණේ සීබීසී (Canadian Broadcasting Cooperation) එහෙමත් නැතිනම් කැනඩාවේ ප්‍රධාන ප්‍රවෘත්ති සේවා විකාශයටයි.

ප්‍රවෘත්ති අතරතුරේ දී එක සැරේම නිවේදකයා මෙහෙම දෙයක් කිව්වා.

“ අපි දැන් විශේෂ හඩ පටයක් විකාශය කරන්නයි යන්නේ. මේ හඩ පටය විනාඩියක කාලයක් පුරා තියෙනවා. එත් මේ හඩ පටයේ ඇති කරුණු මානසික පීඩනයක් ඇති කරන්නට හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පොඩි දරුවන් මේ වැඩසටහනට සවන් දෙනවා නම් ඒ ගැන විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න කියලා දෙමව්පියන්ගෙන් අපි ඉල්ලා හිටිනවා. මේ හඩ පටය අපි විකාශය කරන්නේ එයින් කියැවෙන මානුෂීය පණිවිඩය ඒ අයුරින්ම ඔබට ලබා දීමේ අරමුණින් පමණයි. ඒ නිසා අපි නැවතත් කියනවා මේ හඩ පටයෙන් මානසික පීඩනයක් ඇති වෙන්න ඉඩකඩක් තියෙන නිසා මේ හඩපටය අහන්න කලින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න කියලා ”

නිවේදකයා මේ කරුණ දෙසැරයක්ම කිව්වා. හඩ පටය විකාශය වුණේ ඊට පස්සෙයි.

හඩ පටයට පදනම් වෙලා තිබුණේ ඇමරිකාවේ පොලිස් නිලධාරියෙකු අතින් කළු ජාතික සිවිල් වැසියෙකු මරණයට පත් වීමෙන් පස්සේ කළු ජාතිකයාගේ පෙම්වතිය එම පොලිස් නිලධාරියා ඉදිරියේ හඩමින් කරන ප්‍රකාශයක්. මේ ප්‍රකාශය පුරාම ඇය කිසිම විදියකින් පොලිස් නිලධාරියාට පහත් අන්දමින් බැන වදින්නේවත්, අසැබි වචන ප්‍රකාශ කරන්නේවත් නැහැ. එම කාලය පුරාම ඇය වැළපෙමින් හඩන අතරේ පුන පුනා කී කරුණ වුණේ, “ ඔෆිසර්… ඔයා මගේ පෙම්වතා මැරුවා කියලා නම් මට කියන්න එපා… මට ආයෙත් එයාව දකින්න ලැබෙන්නේ නැහැ කියන්න නම් එපා ” කියන කාරණාවම පමණයි.

ගුවන්විදුලි නිවේදකයා කිව්ව ආකාරයටම විනාඩියකට ආසන්න කාලයක් පුරා විකාශය වෙච්ච මේ හඩ පටය නිමා වුණ ගමන්ම මට මතක් වුණේ ලංකාවේ අපේ මාධ්‍ය කලාව ගැන. (ලංකාවේ මාධ්‍ය කලාවක් කිසිසේත්ම නැති වුණත් මෙතැන දී කලාව කියන වචනය පාවිච්චි කළේ සංසන්දනයේ පහසුව නිසයි). එයින් පළමු වැනි කාරණය මේ වගේ හඩ පටයක් ලංකාවේ මීඩියා වලට කිසිසේත්ම සිත් කම්පිත කරවන පුවතක් (shocking news) නොවන නිසා. ඒ කියන්නේ ලංකාවේ මාධ්‍යවලට මේ පුවත සිත කම්පිත කරවන්නට තරම් බලපෑමක් ඇති කරවන එකක් නෙමෙයි. ඒකට හේතුව දශක ගණනාවක් පුරාම ලංකාවේ මාධ්‍ය එකට එකතු වෙලා නිර්මාණය කරලා තියෙන, මුළුමනින්ම මීඩියා නිෂ්පාදනයක් වන අපේ පාඨක ජනතාව එහෙමත් නැතිනම් ප්‍රේක්ෂක ජනතාව මේ වගේ “ සුළු මානුෂීය කරුණු වලින් ” සිත කම්පිත වෙන අය නෙමෙයි. අපේ පාඨකයන්ට / ප්‍රේක්ෂකයන්ට පුවතක් සිත කම්පා කරවන්නට නම් අඩුම තරමින් මළ සිරුරක්වත් පෙන්නන්න ඕනේ. ඒ නිසා ඉහතින් කිව්ව හඩ පටය ලංකාවේ මීඩියා එකකින් විකාශය කරන්නට කලින් නිවේදකයාට ඒ ගැන දෙසැරයක් හිතන්නවත්, සිබීසී නිවේදකයා කිව්ව විදියේ පූර්ව නිවේදනයක් නිකුත් කරන්නටවත් ඕනේ නැහැ. ඒ තරමට අපේ ජන සමාජය අද වෙනකොට අසංවේදීයි. මේ අසංවේදීතාව කොයිතරම්  ද කියනවා නම් මළ සිරුරක් දෙකක් පෙන්නන්නේ නැති අනතුරක්, අපේ ජනතාවට අනතුරක් නෙමෙයි. ලේවලින් නැහැවිච්ච සිරුරක් දෙකක් නොපෙන්වන පුවතක් සිත් කම්පා කරවන පුවතකුත් නෙමෙයි. දශක ගණනාවක් පුරා කුරිරු යුද්ධයක අමිහිරි අත්දැකීම් ඕනැ තරම් විදලා තිබුණත්, මළ මිනී දහස් ගණනකගේ සේයා රූ දැක තිබුණත් තව තවත් මළ මිනී දකින්නට, තව තවත් ලේ දකින්නට අප තුළ ඇති සැගවුණු අශ්ලීල ආසාව තවමත් පහව ගිහින් නැහැ. ලංකාවේ සියලුම පුවත්පත්වල මුල් පිටුවේත්, ලංකාවේ සියලුම විද්යුත් මාධ්‍යවල ප්‍රධාන පුවත්වලදීත් මළ මිනී, ලේ නොඅඩුව පෙන්වන්නේත්, ඒවාට සමාජායෙන් කිසිම විරෝධයක් එල්ල නොවන්නේත් ඒ නිසයි.

ලංකාවේ අපේ මාධ්‍ය තමන්ගේ මාධ්‍ය ලේවලින් නහවද්දී  ශිෂ්ට යැයි සම්මත ලෝකයේ මීඩියා ගමන් කරන්නේ මීට මුළුමනින්ම විරුද්ධ ගමනක. ශිෂ්ට සම්පන්න කිසිම රටක පුවත්පත්වල විශේෂයෙන්ම මුල් පිටුවේ ඔබට මෘත දේහයක් තබා එකම ලේ බිදුවක්වත් දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතාම විරල අවස්ථාවක එවැන්නක් පළ වන්නේ නම් ඒ අතිශය විශේෂ පනිවිඩයක් ලබා දෙන්නටම පමණයි. මෑත ඉතිහාසයේ ඇමරිකාවේ සිදු වූ දැවැන්තම ඛේදවාචකය වූ 9/11 සිදුවීමේ දී  කිසිදු මාධ්‍ය ආයතනයක් ඒ අනතුරේ භෞතික විනාශය මිස මළ සිරුරු පෙන්වන්නට ගියේ නැහැ. (ඒත් මේ අනතුර නිසා මිය ගිය අයගේ මළ සිරුරු පුවත්පතේ මුල් පිටුවේ පළ කරන්නට රොයිටර් ප්‍රවෘත්ති සේවය ඔස්සේ සොයා, එවැනි එකම පින්තූරයක්වත් සොයා ගන්නට නොහැකිව බලාපොරොත්තු සුන් වූ සිතැතිව සිටි ලංකාවේ ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් ගැන පුද්ගලික අත්දැකීමක් මේ වෙලාවේ මගේ මතකයට එනවා). දහස් ගණනක් මිය ගිය අතිශය දරුණු භූමිකම්පාවක් ජපානයේ මෑතක දී සිදුවුණා. ඒත් ජපානයේ කිසිම මීඩියා ආයතනයක් එකම මළ සිරුරක්වත් පෙන්නන්න ගියේ නැහැ. ඒ වෙනුවට ජපාන පුවත්පත්වල මුල් පිටුවේ පළ වුණේ මළ සිරුරු වසා තිබූ විනිවිද නොපෙනෙන විශාල නිල් පැහැති ප්ලාස්ටික් කවරයක් විතරයි. අපේ රට කම්පා කළ සුනාමියේ දී ලංකාවේ සියලුමමාධ්‍ය ආයතන මළ සිරුරු හඹා යද්දී ලෝක ජනමාධ්‍ය ඒ විනාශය සිත් කම්පිත කරවන ආකාරයෙන් වාර්තා කළේ එකම ලේ බිදුවක්වත් නො‍පෙන්වමිනුයි. මේ විදියේ උදාහරණ සිය දහස් ගණනක් තියෙනවා. පොදුවේ කියනවා නම් ශිෂ්ට සම්පන්න මාධ්‍ය භාවිතයක් තියෙන කිසිම රටක දී ඔබට මළ සිරුරුක් තබා ලේ බිදුවක්වත් මාධ්‍ය මගින් දකින්නට බැහැ.

aylan5

කැනඩාවේ රැකවරණ සොයා නැව් නැගි මේ මේ සිරියානු දරුවා නැවෙහි පටවා සිටි අධික මිනිසුන්ගේ බරින් පෙරළි ගිය යාමෙන් පසු ඔහුගේ මළ සිරුර වෙරළට පාවී තිබූ අයුරුයි මේ. එහෙත් මේ ඡායාරූපය බොහෝ පුවත්පත්වල පළ කෙරුණේ දරුවාගේ මුහුණේ රුව පැහැදිලිව නොපෙන්වන අයුරිණි.

මේ කරුණ කියද්දී තවත් එක්තරා පුද්ගලික කරුණක් මගේ සිහියට නැගෙනවා. මෙයින් අවුරුදු දහයක දොළහකට පමණ පෙර මා දිවයින පුවත්පතේ සේවය කරමින් සිටිය දී අපි දෙතුන් දෙනෙක් එකතු වී පත්තරේ මුල් පිටුවේ මළ සිරුරු නොපන්වන්ට කතිකා කරගත්තා. ඒ කාරණයට ඉහළ කළමනාකාරීත්වයේ කැමැත්ත ගැනීමේ කාර්යය මට පැවරුණා. මා මවිතයට පත් කරමින් ආයතනයේ ඉහළම කළමනාකාරීත්වයෙන් ඒ කරුණට ලැබුණේ මා බලාපොරොත්තු නොවුණාටත් තරම් ඉහළ අනුමැතියක් හා ආශිර්වාදයක්. සම්ප්‍රදායික මාධ්‍ය කලාවෙන් තෙම්පරාදු වෙලා හිටිය කර්තෘ මණ්ඩලයේ ඇතැම් පැරණි සාමාජිකයන්ගේ විවිධාකාර අපහාස උපහාසයන් මැද්දේ වුණත් මේ අදහස අපි ක්‍රියාත්මක කළා. එත් ඒ සති දෙක තුනකට වගේ බොහොම කෙටි කාලයකට විතරයි. ඒකට හේතුව කර්තෘ මණ්ඩලයෙන්වත්, කළමනාකාරීත්වයෙන්වත් ඇති වෙච්ච විරෝධයක් නිසා නෙමෙයි. කියන්නටත් ලැජ්ජා වුණත් ඒ විරෝධය ආවේ පාඨකයන්ගෙන්මයි. “ අපි නිවුස් එක බලන්න ඔයාලගේ පත්තරේ ගන්න ඕනේ. ඒත් පිංතූර බලන්න සල්ලි දීලා තව පත්තරයක් ගන්න ඕනේ  ” අපිට ලැබුණු බොහොමයක් දුරකථන ඇමතුම්වල කෙටි සාරාංශය වුණේ එකයි. මීඩියා කියන්නේ ව්‍යාපාරයක් නිසා පුවත්පතේ අලෙවිය රැක ගැනීම වෙනුවෙන් ඒ අදහස ආරම්භයේ දීම මරා දමන්නට සිද්ධ වුණා. නොසෑහෙන්න මළ මිනී දැක ඇතත්, මහා සාගරය තරම් ලේ ගංගා දැක තිබුණත් තව තවත් ඒ අශ්ලීල දර්ශන දකින්නට අපේ ජනතාව තුළ තියෙන නොතිත් ආශාව කෙළවරක් වෙලා නැහැ නේද කියන කාරණය ලංකාවේ ඕනෑම පුවත්පතක්, ඕනෑම විද්යුත් මාධ්‍යයක් දකින හැම මොහොතකම තහවුරු වෙනවා. පහුගිය දවස්වල ලංකාවේ සිදුවූ නාය යාමක දී පවා අනතුරින් මිය ගිය ගැබිණි මවකගේ සිරුරක් අපේ මාධ්‍ය තලු මරමින් පුන පුනා පෙන්නුවේ පිළිකුල් රසය ඉස්මතු කරවමින්. ජාතක අනතුරක දී අපේ ජනතාව ජාති භේද නොතකා එකිනෙකාට උදව් කරන්නට එකතු වන බව නිතරම කියැවෙන කාරණාවක්. ගංවතුරකදී, නාය යාමක දී විපතට පත් වූවවන්ට උදව් පදව් කරන්නට එකමුතු වන පිරිස ෆේස්බුක් වගේ මාධ්‍ය මගින් නිරන්තරයෙන් දකින්නටත් ලැබෙනවා. ඒ වගේ එකමුතුවක් ඇති කරවන්නට එහෙමත් නැතිනම් තවත් කෙනෙකුගේ විපතට පිහිට වන්නට ඉදිරිපත් වන මනසක් නිර්මාණය කරවන්නට මේ විදියේ අශ්ලීල මීඩියා භාවිතයක් අත්‍යවශ්‍ය වන තරමටම අපේ මනස අසංවේදී වි ඇතිය යන සාධකය අපි ඇත්තටම කතා කරන්නට මැලි වන එහෙමත් නැතිනම් අපි නොසිතන කාරණාවක්.

AUS_GCB_tsunami

මළ සිරුරුක් නොපෙන්වා ව්‍යසනයක භයංකාරත්වය, ලේ නොපෙන්වා අනතුරක බියකරුබව පෙන්වන්නේ කොහොමද කියන කාරණය අපේ මීඩියා වෙනමම ඉගෙන ගත යුතු දෙයක්. අඩුම තරමින් ශිෂ්ට සම්පන්න ලෝකයේ රූපවාහිනි ප්‍රවෘත්ති, පත්තර මුල් පිටු බලනවා එන අපේ මීඩියා ඔස්තාර්ලාට ඒකත් හොද අත්පොතක් වේවි. ශිෂ්ට ලෝකය තුළ මළ මිනී, ලේ වැකුණු සිරුරු නොපෙන්වීමට පදනම් වුණු කාරණා කිහිපයක්ම තියෙනවා. මුල්ම කාරණාව මිය ගිය තැනැත්තාට දක්වන ගෞරවය. ජීවත් වුණත්, මිය ගියත් මිනිසෙකු කෙරෙහි තිබිය යුතු මානුෂීය ගෞරවය සුළු කොට තැකිය යුතු නැහැ. දෙවැනි කාරණාව ඒ පුද්ගලයාගේ සමීප ඥාතීන් සහ හිතුවතුන් කෙරෙහි තිබිය යුතු ගෞරවය. කිසියම් කරුණක් මීඩියා මගින් ප්‍රසිද්ධියට පත් කළ පසු එය මුළුනින්ම බලපාන්නේ එම තැනැත්තාගේ සමීපතම පවුලේ සාමාජිකයන්ට බව අපේ ජනමාධ්‍ය කිසිසේත්ම නොසිතන කාරණාවක්. (ඉහතින් සදහන් කළ නායයාමෙන් මිය ගිය ගැබිණි මවගේ සැමියාට, දෙමව්පියන්ට, සහෝදර සහෝදරයින්ට පමණක් නෙමෙයි ඇයට තවත් දරුවන් ඇති නම් ඒ අයට මේ ඡායාරූපය තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම අමතක නොවන අප්‍රසන්න සහ සිත් කම්පිත කරවන මතකයක් වන බව අපේ මීඩියා ඔස්තාර්ලාට නම් තමන්ගේ ජීවිත කාලය පුරාවටම සිතෙන එකක් නැහැ.) ශිෂ්ට ලෝකයේ මීඩියා මගින් මළ මිනී නොපෙන්වන ඊලග කාරණාව නම් ඒ තුළින් සමාජයට ඇතිවන බලපෑමයි. කිසියම් කරුණක් සමාජය තුළ කම්පනයක් ඇති කරන්නට හැකියාව ලැබෙන්නේ ඒ කාරණාව කොයි තරම් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට පුළුවන් ද කියන කාරණාව මත මිසක් පෙන්වන මළ මිනී සංඛ්‍යාව මත නෙමෙයි. අපේ මාධ්‍ය වලට වටහා ගන්නටම අපහසු කාරණාව නම් ඒකයි. ඒත් නිර්මාණාත්මක චින්තනය කියන එක අනුරාධපුර යුගයෙන් පටන් ගෙන මහනුවර යුගය පසු කළාට පස්සේ පිරිහෙන්නට පටන් අරන් දැන් නැත්තටම නැති වෙලා තියෙන නිසා ඒ කාරණාව වටහා ගන්නට නම් ඒ තරම් පහසු වෙන එකක් නැහැ.

Picture 068

සුනාමි ව්‍යසනය සමයේ දී සංචාරයකට පැමිණි සංචාරක යුවළකගේ මේ ඡායාරූපය ඩෙන්මාර්ක් පුවත්පතක පළ වූයේ කිසියම් උපහාසාත්මක අරුතක් (සංචාරකය යුවළ සම්බන්ධයෙන්) මතු කරවීමේ අරමුණිනි.

 

මා ජීවත් වෙන කැනඩාව මාධ්‍ය සදාචාරය ඉහළින්ම සුරකින රටක්. ශිෂ්ට මාධ්‍ය සදාචාරයක් පවතින සෙසු රටවල මෙන්ම කැනඩාවේත් කිසිම විදියකින් තමන්ගේ පුද්ගලික ඡායාරූපයක් තමන්ගේ අවසරයකින් තොරව කිසිම විදියකින් ප්‍රචාරය කරන්නේ නැහැ. පාසලකට දරුවකු ඇතුළත් කිරීමේ දී පවා දරුවාගේ පාසල් ක්‍රියාකාරකමක හෝ බාහිර ක්‍රියාකාරකමක ඡායාරූපයක් පාසලේ වෙබ් අඩවියේ හෝ වෙනත් ස්ථානයක පළ කිරීමට දෙමව්පියන්ගේ කැමැත්ත අකමැත්ත ලිඛිතව ලබා ගන්නවා. තමන්ගේ දරුවාගේ ඡායාරූපයක් කිසිම විදියකින් කිසිම තැනක පළ වෙනවාට දෙමව්පියන් අකැමැති නම් එම දරුවාගේ රුව පාසලේ වෙබ් අඩවියේවත් කිසිම විදියකින් පළ කෙරෙන්නේ නැහැ. පාසලෙන් රැගෙන යන විනෝද සවාරියක දී පවා විනෝද සවාරියට පෙර එවැනි අනුමැතියක කැමැත්ත අකමැත්ත ඉල්ලා ගෙදරට ලිපියක් එනවා. මහජන අවධානය යොමු වූ බරපතල නඩු කටයුත්තක දී පවා කිසිම විදියකින් අධිකරණ භූමිය තුළ එම තැනැත්තන්ගේ සජීවී රූ විකාශය කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට විකාශය කෙරෙන්නේ අතින් ඇදුණු රූ සටහනක් පමණයි.

සුනාමි ව්‍යසනය අපේ පුවත්පත්වලින් මළ මිනී පුරවමින් පෙන්වද්දී එකම මළ සිරුරක් හෝ ලේ බිදුවක් හෝ නොපන්වා සුනාමි ව්‍යසනයේ බියකරුබව අපේ අසල්වැසි ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතින් සහ බටහිර පුවත්පතකින් පෙන්වූ අපූරුව

මෙතැන දී පෙන්වා දිය යුතු උපහාසාත්මකම කරුණක් තියෙනවා. ලංකාවේ අපේ මාධ්‍ය  කිසිම බියක් සැකක් නොමැතිව ජීවත් වන්නන් ගැන පවා නොසිතා මළ මිනී පෙන්නුවත් තමන්ගේ සාක්කුවට බලපාන කරුණු ගැන දක්වන්නේ සුනඛයා වල්ගය කොතැන හෝ ගහ ගන්නට ගන්නා උත්සාහය වගේ දෙයක්. කිසිම හිරිකතයකින් තොරව “ නිරභීතව, එඩිතරව ” මළ මිනීවලින් තමන්ගේ පත්තරවල මුල් පිටු එහෙමත් නැතිනම් තමන්ගේ ප්‍රවෘත්ති පුරවා ගන්නා අපේ මීඩියා තමන් කත් අදින දේශාපාලකයන් ගැන එහෙමත් නැතිනම් තමන්ට දැන්වීම් දෙන මහා පරිමාණ මුදලාලිලා ගැන අහිතකර පුවතක් කිසිසේත්ම පළ කරන්නේ නැහැ. පළ කරන්නට සිදුවන අවස්ථාවක දී පවා එය පළ කරන්නේ බොහෝ වෙලාවට නම් ගම් හෙළි නොකර. පුද්ගලිකත්වය ඉහළින්ම සුරකින කැනඩාව වැනි රටවල මාධ්‍ය එවැනි කරුණු ගැන නම් කිසිසේත්ම අනුකම්පාවක් දක්වන්නේ නැහැ. කිසියම් පාරිභෝගික නිෂ්පාදනයක් මිනිස් පරිභෝජනය නුසුදුසු වෙච්ච අවස්ථාවක එහෙමත් නැතිනම් කිසියම් සේවාවකින් මහජනාතාවට හිරිහැර සිදුවෙච්ච අවස්ථාවක එය රාජ්‍ය අංශයෙන් සිදුවුණත්, පුද්ගලික අංශයෙන් සිදුවුණත් ඒ සියලු නම් ගම් නිෂ්පාදනවල ඡායාරූප පවා සහිතව පළ කරන්නේ සිය වගකීම මූලිකවම ඇත්තේ මහජනතාව වෙනුවෙන් බව නිවැරුදිවම වටහා ගනිමිනුයි.

ලංකාවේ මාධ්‍යවල මේ තරම් අසෝභන ජුගුප්සාජනක සහ අශ්ලීල දේ ප්‍රචාරය වුණත් ඒ ගැන සැලකිය යුතු මහජන විරෝධයක්වත් පොදු ජන කතිකාවතක්වත් ඇති නොවන්නේ අපේ සමාජය එවැනි කරුණු ගැන ඒ තරමටම අසංවේදී වෙලා තියෙන හින්දයි. ලංකාවේ මීඩියා මේ තරම්ම මළ මිනී විකුණනන්නේ එවැනි ඉල්ලුමක් සමාජයෙන් ලැබෙන නිසා බවත් අමතක කරන්න බැහැ. එත් සාපේක්ෂව වඩා දියුණු මාධ්‍ය සදාචාරයක් ඇති රටවල මාධ්‍ය මගින් ප්‍රචාරය වන “ නරක ” යැයි සම්මත සුළු කරුණු ගැන පවා ඔවුන් බෙහෙවින්ම සැලකිලිමත් වෙනවා විතරක් නෙමෙයි ඒ ගැන නිරන්තර පර්යේෂණ පවා සිදු කෙරෙනවා. නරක ප්‍රවෘත්ති පුවත්පත්වල ප්‍රධාන පුවත් මවන්නේ ඇයි යන්න කෙරෙහි පවතින මානසිකත්වය ගැන කැනඩාවේ McGill සරසවිය මෑතක දී පර්යේෂණයක් සිදු කළා. මේ පර්යේෂණයේ ප්‍රතිළුලවල ඉහළ නිවැරදිතාවයක් ලබා ගැනීම සදහා ඔවුන් තමන්ගේ පර්යේෂණයේ අරමුණ ඊට සහාභාගි වන්නන්ට හෙළි කළේ නැහැ. ඒ වෙනුවට පර්යේෂකයන් ඊට සහභාගි වූ පිරිසට තමන්ගේ විද්‍යාගාරය තුළට පැමිණෙන්නට කීවේ “ ඇස ගැන කරන පරීක්ෂණ කටයුත්තකට ” සහභාගි වෙන්නට කියලයි. විද්‍යාගාරය තුළ දී මේ අයට විවිධාකාර වූ ප්‍රවෘත්ති නරඹන්නට ඉඩකඩ ලැබුණා. ඔවුන් ඒවා නැරඹූ සමස්ත කාලය තුළ දීත්, නැරඹීමෙන් පසු සිදු කළ ප්‍රශ්නාවලියෙනුත් යන දෙකෙන්ම තහවුරු වුණේ ධනාත්මක අර්ථය දනවන දේ වලට වඩා නිශේධනාත්මක අරුත දනවන දේ කෙරෙහි ඔවුන් වැඩි නැඹුරුවක් තිබූ බවයි. තමන්ට වඩාත් හුරුපුරුදු “Baby”, “smile” සහ “ fun” ආදී වූ වචන වෙනුවට “bomb”, “cancer”  සහ “war” ආදී වචන කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානයක් සහ වඩා ඉක්මන් ප්‍රතිචාරයක් ලැබුණු බව මෙහි දී තහවුරු වුණා. ඒ වගේම මේ සමීක්ෂණයේ දී තයවුරු වූ තවත් කාර‍ණාවක් වු‍ණේ මේ වගේ කාරණාවලදී සෙසු මිනිසුන්ට වඩා අපි ඉදිරියෙන් සිටින්නේය යන මතය අප බොහෝ දෙනෙක් විශ්වාස කරන බවයි. නිශේධනාත්මක එහෙමත් නැතිනම් සුබදායී නොවන ප්‍රවෘත්ති වලට අපේ කැමැත්තක් නැති බව අපි නිතර නිතර කිව්වත් ඇත්තෙන්ම අපේ හිත යට කැමැත්ත ඇත්තේ ඒවාට බව මේ පරීක්ෂණයෙන් එළිදරවු කෙරුණු වැදගත්ම කාරණාවක්. සමස්තයක් ලෙසින් ගත් විට මේක මානව පරිණාමයේ දී මිනිසා තුළ තවමත් ඉතිරි වී ඇති “ තිරිසන් ලක්ෂණයක් ” විදියට හදුන්වන්න පුළුවන්. ලංකාවේ අපි සම්බන්ධයෙන් ගත් විට මළ මිනී දකින්නට, ලේ දකින්නට අකැමති බව අපි මතුපිටින් කොයි තරම් ප්‍රකාශ කරන්නට හැදුවත් අපි බොහෝ දෙනෙක්ගේ යටි හිතේ කොණක ඒ ආසාව ප්‍රබලව මතුවෙලා තියෙන බව අමතක කරන්නට බැහැ.

මේ කාරණාවේ දී ඔබ සිටින්නේ කොතැන ද කියන එක ගැන වටහා ගන්නට ඔබටම කරන්න පුළුවන් ස්වයං පරීක්ෂණයක් තියෙනවා. මළ මිනි, ලේ විතරක් නෙමෙයි මෙලෝ රහක් නැති කාලය කා දමන දේශපාලන සංවාද, ගොසිප් වෙබ් අඩවිවල, ෆේස්බුක් වැනි සමාජ ජාලයන්හි පළවන වීඩියෝ සහ පිළිකුල් රසය මතු කරවන ඕපාදූප මේ ආදී වූ හැම දෙයක් කෙරෙහිම ඔබේ අවධානය යොමු වෙන්නේ කොයි ආකාරයෙන් ද කියන එක ඔබටම අත්හදා බලන්නට පුළුවන්. ඔබ ඔබටම අවංක වෙන්නේ ඔබ වඩාත් අවධානයෙන් කියවන්නේ, නරඹන්නේ ඔබේ ඇස ගැටෙන කවර පුවතක් එහෙමත් නැතිනම් කවර ආකාරයේ වීඩියෝවක් කෙරෙහි ද යන්න මගින් ඔබට ඔබ ගැනම තක්සේරුවක් කරගන්න පුළුවන්. මේ කාරණය සංසන්දනාත්මකව බලනවා නම් වඩාත් පැහැදිලි සිතුවමක් ඔබට මතු කරගන්න පුළුවන් වේවි. උදාහරණයක් විදියට ඔබ සතුව ඇති සීමිත කාලය තුළ දී ඔබ නරඹන්නට වඩාත් නැඹුරුවක් දක්වන්නේ එකිනෙකාට මඩ ගසා ගන්නා දේශපාලන සංවාදයක් ද? නැතිනම් සාහිත කලාව හෝ පරිසරය සම්බන්ධයෙන් වෙන් වූ වැඩසටහනක් ද ? පුවත්පතක දී ඔබේ නෙත නතර වන්නේ දේශපාලන ඕපාදූපයක් හෝ නළු නිළියන්ගේ අනියම් පෙබ් සබදතාවක් ගැන වූ පුවතක් ළග ද? නැතිනම් ඔබේ දැනුමට යමක් එක් කරගත හැකි පුවතක් ළග ද?  හාන්සි පුටුවක් මත දී ඔබේ විවේකය ගෙවා දමන්නට ඔබ තෝරා ගන්නේ කවරාකාරයේ වූ රූපවාහිනී වැඩසටහනක් හෝ ටෙලි නාට්යයක් ද, නැතහොත් පොතක් පතක් කියැවීම හෝ වෙනත් කවර වූ විනෝදාත්මක කාර්යයක් ද? ඒ අනුව ඔබත් තවත් එක් අතිශය සාමාන්‍ය වූ මිනිසෙක් ද නැතිනම් ඊට තරමක් ඔබ්බට ගිය සාමාන්‍ය සමාජයෙන් ඉදිරියට ගිය මිනිසෙකු ද යන්න ඔබටම වටහා ගන්නට පුළුවන්.

බුදුන් වහන්සේ අවුරුදු දෙදහස් පන්සියයක් තරම් ඈතක දී කි කරුණ මෙතැන දී මුළුමනින්ම අදාළයි. ඔබ කවුරුන්ද යන්න තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි.

වහින්නට හැකි නම් ගිගුම් දී…

untitled.png

එක්තරා සති අන්තයක උදයේ පුස්තකාලයට ගොඩ වැදුණු මොහොතක ලංකාවේ හිතවතෙකු මුණ ගැහුණා.

ආගිය තොරතුරු කතා කර සමුගන්නා අතරේ ඔහු එක්වරම මෙහෙම කිව්වා.

“ ඔක්කොමත් හරි මේ චුරු චුරු වැස්ස තමයි මට පෙන්නන්නම බැරි… ” ඇත්තටම ඔහුගේ මුහුණේ තිබුණේ දැඩි නොපහන් බවක්. පුස්තකාලයේ පුළුල් වීදුරු බිත්තියේ එපිටින් ඒ මොහොතේත් සිහින් වැහි බිදු ඇද වැටෙමින් තිබුණා. මේ සිරිපොද වැස්ස වැන්කුවර් නගරයට බොහොම හුරු පුරුදු දෙයක්. පුස්තකාලයට මායිම් වෙච්ච බිම් තීරුවේ මේපල් අතු රිකිළි අතරින් හීන් සීරුවට ඇද වැටෙන වැහි බිංදු මගේ හිතට චමත්කාරයක් ඇති කරමින් තිබුණත් මං ඔහුට විරුද්ධ වෙන්න ගියේ නැහැ. ඔහු මගෙන් සමුගෙන පුස්තකාලයේ දොරටුවෙන් පිටවෙලා ගියේ බොහොම තරහින් , “ මේ වැස්ස නිසා එළියට බහින්නවත් හිතෙන්නේ නැහැ ” කියලා කියන ගමන්.

ඒ සිදුවීම වුණු දවසේම පුස්කකාලයෙන් ගෙනාපු පොතක් කියවන්නට කලින් එහි පෙරවදන කියවන අතරේ හරිම අපූරු සිදුවීමක් ඇහැ ගැටුණා. වැන්කුවර්හි ජීවත්වන විදේශීය ලේඛකයකු වන එම ලේඛකයා තමන්ගේ පෙරවදනේ සදහන් කරලා තිබුණේ ඔහු වැන්කුවර් නගරයට ආදරය කරන එක් කාරණයක් නම් මේ අපූරු වැස්ස නිසා බවයි. ඒ පෙරවදන කියවද්දී මට සිහිපත් වුණේ මීට අවුරුදු ගණනාවකට කලින් සාහිත්‍ය මාසය වෙනුවෙන් කරපු පුවත්පත් සාකච්ඡාවක දී කේ. ජයතිලක සහ ජයකොඩි සෙනවිරත්න කියන ප්‍රසිද්ධ ලේඛකයන් දෙදෙනාම මට කිවුව කතාවක්. ඔවුන් කිවුවේ ඔවුන්ගේ නිර්මාණ ජීවිතය දිහා පසුපස හැරිලා බලද්දී ඔවුත් අතින් වැඩිපුරම පොත් පත් ලියැවිලා තියෙන්නේ වැහිබර කාල සීමාවලදී බව සිහිපත් වෙන බවයි. ඒ නිසා වැස්ස කියන්නේ තමන්ගේ නිර්මාණ ජීවිතයට ආශිර්වාදයක් කියලා තමයි ඔවුන් කිව්වේ.

වර්ෂාව කියන කාරණය එක් අයෙකුගේ ජීවිතයට ආශිර්වාදයක් වෙද්දී තවත් කෙනෙකුට ජීවිතය අප්‍රසන්න කරවන සිදුවීමක් වෙන හැටි ගැන හිතලා බලන එකත් හරිම අපූරු දෙයක්. වැස්ස විතරක් නෙමෙයි ජීවිතයේ අපිට හමුවෙන ඕනෑම දෙයක් දිහා අපි බලන දෘෂ්ටි කෝණය අපේ ජීවිත වලට කොයි තරම් බලපෑමක් කරනවා ද කියන කාරණය හිතාබලන්න වටින දෙයක්. බොහෝ පිරිසකගේ හදවතට සමීප ගායකයෙකු වන බොබ් මාලේ එක්තරා අවස්ථාවක හරිම ලස්සන කියමනක් කිව්වා. “ සමහරු වැස්ස වින්දනය කරති. අනෙක් අය ඔහේ වැස්සට තෙමෙති ”(Some people feel the rain, Others just get wet). බොබ් මාලේගේ ඒ කියමන හරිම ගැඹුරුයි. බොබ් මාලේ තමන්ගේ සංගීත සම්ප්‍රදාය තුළින් උත්සාහ කළේ කිසියම් සමාජීය පරිවර්තනයකට මුල පුරන්න. සමහර විට ඔහු ඒ කියමන කියන්නට ඇත්තේ ඒ අරමුණින් වෙන්නට ඕනේ. වැස්ස වගේම සංගීතය වුණත් වින්දනය කරන්න හැමෝටම හැකියාවක් නැහැ. ගීතයක්, නවකතාවක්, කවියක් විතරක් නෙමෙයි සුළගට වැනෙන බෝ කොළයක් වුනත් වින්දනය කිරීමේ හැකියාව හැම දෙනාටම පිහිටලා නැහැ. එක්තරා රටාවකට අතුගාලා තිබුණු පන්සලේ මිදුලේ වැලි මළුව දිහා බලාගෙන ඉදීමෙන්ම පමණක් රහත් වුණු හිමි නමක් ගැන කතාවක් බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. පොළොන්නරුවේ තිවංක පිළිම ගෙයි බුදු පිළිමය ඉදිරිපිටම තියෙන බිතු සිතුවම් අතර කාන්තාවක් හා පුරුෂයෙක් ලිංගික කටයුතුවල යෙදෙන සිතුවක් සහිතව අසංඛ්‍යවතී ජාතක කතාව සිතුවමට නැගිලා තියෙනවා. ජාතක කතා පොත් වහන්සේ ගත්තත් අද දවසේ අරුතින් ගත්තම ඉතාම අසභ්‍ය කතා කිහිපයක්ම එහි තියෙනවා. ඒත් වින්දනය කියන හැගීම අදට වඩා එදා අපිට තිබුණු නිසා ඒවායේ සැබෑ අරුතින් රස වින්දනය කිරීමේ හැකියාව පැරණි සමාජයට තිබුණා.

ශේක්ස්පියර් තමන්ගේ හැම්ලට් නාට්‍යයේ එක්තරා අවස්ථාවක මෙහෙම සදහන් කරනවා. හොද හෝ නරක කියා කිසිවක් නැහැ. අපි සිතන සිතිවිලි අනුවයි ඒක තීරණය වෙන්නේ. (There is nothing either good or bad, but thinking makes it so). මේ අදහස බුදුන් ලොවට කිවුවේ ශේක්ස්පියර්ලා බිහිවෙන්න බොහොම කලින්: “ ඔබ සිතන්නේ කුමක් ද යන්න අනුව ඔබේ ජීවිතය තීරණය වන්නේය ” (What you think, you become).

වින්දනය කියන කාරණාව කිසිසේත්ම සරල දෙයක් නෙමෙයි. යමක් වින්දනය කිරීමේ හැකියාව කෙනෙකුට ලැබෙන්නේ විචාරශීලීව යමක් දිහා බලන්න පුළුවන්නම් විතරයි. එත් ජාතිකයක් විදියට අද අපි ඉන්නේ සියවස් ගණනාවකින් පිටුපස්සේ. සීගිරි සිතුවම් බිහිවුණු, කැටපත් පවුරේ කුරුටු ගී ලියැවුණු, තිවංක පිළිමගෙයි බිතු සිතුවම් නිමැවුණු, ජාතක පොත් වහන්සේ සිංහලයට නැගුණු යුගයේ සිටි ජාතිය අද නැහැ. ඒ වෙනුවට අද ඉතිරි වෙලා සිටින්නේ ඔපෙරා ශෛලියෙන් ගීයක් ගැයුවාම බුදු දහම විනාශ වෙලා යනවා කියලා හිතන, සිවුරක් දරාගෙන කෑ ගැසීමෙන් සිංහල බෞද්ධ ජාතිකත්වය සුරකින්නට පුළුවන් කියලා හිතන, එක් එක් දේශපාලකයන්ගේ වහලුන් වෙලා ඔවුන් වෙනුවෙන් කොදු ඇට පෙළ හතර අතට නවා ගන්නා නිවට නියාළු පරපුරක්. ජාතියක් විදියට මේ නිවට නියාළු බවට අද අපි කොයි තරම් වහළුන් වෙලා තියෙනවා ද කියනවා නම් අනේ අපි වහළුන් නේද කියලා හදුනා ගන්නවත් හැකියාවක් අද අපිට නැහැ. මේ නිසාම තමන්ගේ හිත ගත්ත දේශපාලන නායකයාගේ ඕනෑම අමනකමක් ඉතාම ඉහළින් ඔසවා තබන්නත්, තමන්ට විරුද්ධ දේශපාලන නායකයාගේ ඕනෑම යහපත් කාරියක් හෙළා දකින්නත් තරම් අපි ඉන්නේ මං මුළාවූ චින්තනයක. මේ නිසා ආණ්ඩු පෙරළුණත් කොයි කවරදාකවත් පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න ‍මුහුණු ටික වෙනස් වෙන්නේ නැහැ.

වින්දනය කිරීමේ හැකියාව මේ විදියට අපෙන් ක්ෂය වෙලා ගිහින් තියෙන නිසා දේශපාලනයෙන් විතරක් නෙමෙයි, කලාවෙන් සංගීතයෙන් බණ දහමින් පවා ඕනෑම කතක්කඩියෙකුට අපේ පරපුර මන මෝහනය කරවන්න පුළුවන්. උද්ඝෝෂණ පෙළපාලිවල දේශපාලන පාට් දමන චීවරධාරීන් අහවල් සේනාව, අහවල් බලකාය, අහවල් බලය ආදී වූ විවිධ නම්වලින් සංවිධාන බිහි කරද්දී ඒවා පසුපස දුවන්නට තරම් පරපුරක් බිහිවෙලා තිය‍න්නේත් රස විදීම සම්බන්ධයෙන් අපිට තියෙන මේ මූලික ආබාධය නිසයි. රූපවාහිනියේ ගුවන්විදුලියේ කැමරාව ඉදිරියේ පෙනී සිටිමින් ජනප්‍රිය වෙච්ච, ඒ වගේම භාවනා, අධ්‍යාත්මික වැඩසටහන් මගින් ජනප්‍රිය වෙච්ච බොහොම ප්‍රසිද්ධ ඇතැම් හිමිවරුන්ගේ බණ අහන්නට ලැබෙද්දිත් දැනෙන්නේ අපේ මිනිසුන්ව මුලාකරවන්න කොයි තරම් පහසුවෙන් පුළුවන් ද කියන කාරණයයි. දුවන්නන් වාලේ දුවනවා මිසක් තමන් දුවන්නේ කවුරුන් පසුපස්සේ ද තමන්ට මග පෙන්වන අධ්‍යාත්මික ගුරුවරයා මේ කියන්නේ බුද්ධියට ගෝචර වන කරුණු ද කියලාවත් හිතන්නට තරම් අඩුම තරමින් කාලාම සුත්‍රයේ සරල මූලධර්ම කිහිපයවත් තමන්ගේ එදිනෙදා ජීවිතයට සමීප කරගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නැහැ.

කිසිම කෙනෙගේ චින්තනමය වහලෙකු නොවී විචාර බුද්ධියෙන් යමක් දිහා බලන්නට එහෙමත් නැතිනම් යමක් සැබෑ ලෙසින්ම විදින්නට අපිට හැකිනම් දේශපාලකයන්ට, කලාකරුවන් යැයි කියාගත් කලාහොරුන්ට, චීවරධාරීන්ට විතරක් නෙමෙයි ‍අධ්‍යාත්මික නායකයන් යැයි කියාගත් ඔය ‍බොහොමයක් පිරිසට අපේ මනසට රිංගලා අපිව වහළුන් බවට පත්කරවන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒත් මේ චින්තනමය වහල් භාවයට අපි කොයි තරම් ඇබ්බැහි වෙලා තියෙවාද කියනවා වහල් කදවුරෙන් පිටත තියෙන නිදහස් ‍ලෝකයේ සුවද කොයි තරම් ද කියලා හිතන්නවත් අපි බයයි. අපේ ඔළුගෙඩි ඇතුළේ අපිම නිර්මාණය කරගෙන තියෙන මේ දැවැන්ත ප්‍රතිරූප බිද දමන තාක් ඒ නිදහසේ සුවද අපිට උරුම වෙන්නේ නැහැ. ඒත් ඒ ප්‍රතිරූප බිද දමා අනුනේ ඔළු ගෙඩි තුළින් වෙනුවට අපේම මනසින් ලෝකය දිහා බලන්නට පුරුදු පුහුණු වෙච්ච දවසක යහපත් රටක් යහපත් සමාජයක් වගේම නිදහස් නිවහල් මිනිසෙක් බිහිවේවි.

ඔහු රහසේම නික්ම ගොසිනි…!

මෙය සිදුවූයේ අදින් වසර දෙකකට පමණ පෙර දීය.  කෙටි නිවාඩුවක් සදහා මව්බිටම පැමිණි මොහොතක එක්තරා සවස් වරුවක මට දුරකථන ඇමතුමක් ලැබුණේය. රිසීවරයේ එහා කෙළවරේ සිටියේ මගේ සදාදරණීය කළණ මිතුරු ජානකය ; “ මචං ඇල්බට් එදිරිසිංහ අද නැතිවෙලා. එයා ගැන තොරතුරු හොයා ගන්න අමාරුයි. පත්තරේට පොඩි දෙයක් ලියන්න පුළුවන් ද… ”

එක්තරා යුගයක ඇස් කන්නාඩි ව්‍යාපාරයෙන් මුළු රටම හෙල්ලූ  ඇල්බට් එදිරිසිංහ සිය ජීවිතයේ සැදෑ කාලයේ දී හිමි නමක් බවට පත් වී අතිශය අප්‍රකට ජීවිතයක් ගත කළ බැවින් ඔහු ගැන කිසිදු තොරතුරක් බොහෝ කාලයකින් මම ද අසා නොතිබුණෙමි. එහෙත් ඔහු පිළිබද කිසියම් අයුරක පුද්ගලික මතකයක් මා සතුව තිබූ බැවින් ඒ සටහන ලියන්නට මා පෙළඹුණේ ඔහුගේ අභාවය (අපවත්වීම) අපේ රටේ එක්තරා යුග පුරුකක ගිලිහී යාමක් බව මම ද නොඅනුමානවම විශ්වාස කළ බැවිනි.

වෙනත් කටයුත්තක් සදහා තොරතුරු සොයමින් සිටිය දී අහම්බෙන් නෙත ගැටුණු ඒ ලිපිය මෙසේ පළ කරන්නට මට සිතුණේ ඔහුගේ දිවි ගමන කතාන්දරයක් සේ රසවත් වූවක් මෙන්ම එයින් ලද හැකි පාඩම් ද බොහෝ බැවිනි.

XXXXXXXXXXXXXXX

 ඒ හිමිදිරිය මට අද ඊයේ වාගේම මතකය.

කලබලකාරී කොල්ලුපිටිය මංසන්ධියෙන් බස් රථයෙන් බැස ගත් මම ලිබර්ටි ප්ලාසා වටරවුම ඔස්සේ ඉදිරියට ඇවිදිමින් සිටියෙමි.

මා වැඩි දුරක් ඇවිද යායුතු වූයේ නැත.

ඒ ජනාකීර්ණ වීදියටම මුහුණ ලා තිබූ පැරණි පන්නයේ නිවසක ආලින්දයේ මා බලාපොරොත්තුවෙන් ඔහු රැඳී සිටියේය.

ඒත් ඒ මා සිතා සිටි අයුරින් නොවේ.

මගේ පුවත්පත් කලා ජීවිතය තුළ දී බොහෝ සුප්‍රකට මිනිසුන් විශේෂයෙන්ම රට සුපතළ ව්‍යාපාරිකයන් මට හමුවූයේ උත්තුංග මැදුරක සුව පහසු විසිත්ත කාමරයක් තුළදීය. නැතහොත් විසල් මේසයක් අබිමුව ගරු ගාම්භීර කාර්යාල කාමරයක් තුළදීය.

ඒත් පරම්පරා ගණනාවක් පුරා මුලු දිවයිනේම නම රැන්ඳූ ඒ කීර්තිමත් මිනිසා වැඩි කලඑළියක් නොතිබූ ආලින්දයක වැල් පුටුවකට බර දී සිටියේ සැහැල්ලු කමිසයකින් හා සරමකින් සැරසී ගෙනය.

මහා ව්‍යාපාරිකයන් තුළ ලෙහෙසියෙන් දැකිය නොහැකි අතිශය අව්‍යාජ පිවිතුරු සිනාවකින් ඔහු පළමුව මට සංග්‍රහ කළේය.

මේ සිදුවීම සිදුවූයේ අදින් අවුරුදු දහ හතරකට පෙර 1999 වසරේ මේ වැනිම වූ ජූලි මාසයකදීය. මට හමු වූ ඒ  අපූරු මිනිසා ඇල්බට් එදිරිසිංහ නම් වූයේය.

රට හෙල්ලූ ව්‍යාපාරිකයෙකු වුව ද ඔහු මට හමු වූ හැම අවස්ථාවකදීම මා ඔහු තුළින් දුටුවේ සරල ගැමියෙකුගේ සොබා රුව පමණි. එබැවින් ඔහු මා හමු වූ මේ පළමු හමුවීමෙන් පසුව රට පුරා පිහිටි කන්නාඩි සාප්පුවල ඔහුගේ නාමය දකින හැම විටෙකම මට සිහිපත් වූයේ ඒ ගැමියා සහ පුලුල්ව විහිදී යන ඔහුගේ අව්‍යාජ සිනහව මිස ඇස් කන්නාඩි නොවේ.

මේ හමුවීමෙන් වසර කිහිපයකට පසු ඔහු සිය උපන් ගම්මානයට ගොස් නිහඩවම පැවිදි දිවියට ඇතුලු වූ පුවත මට දැනගැනීමට ලැබුණේ අහම්බෙනි. ගණේගම සිරි දේවමිත්ත නමින් පැවිදි දිවියට ඇතුලු වූ ඒ මහා ව්‍යාපාරිකයා හමුවන්නට දැඩි කැමැත්තක් මා තුළ වූව ද එය ඉටුකර ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. ප්‍රසිද්ධියට අකමැති වූ මේ හිමිපාණන් ගැන කිසිදු තොරතුරක් ඉන් පසුව මට අසන්නට ලැබුණේ ද නැත. අනපේක්ෂිත මොහොතක මිතුරෙකුගේ දුරකථන ඇමතුමකින්  උන්වහන්සේගේ අපවත්වීම දැනගත් වහාම මේ සියලු සිදුවීම් එකම රූපරාමුවක ජවනිකා පෙළක් මෙන් මනස පුරා සැරිසරන්නට වූයේ මෙවන් සටහනක් ලියන්නට මා පොළඹවාලමිනි.

“ මගේ ගම බද්දේගම…. 1913 අවුරුද්දේ තමයි මම ඉපදුණේ. ගමේ සිංහල බෞද්ධ ඉස්කෝලයට මුලින්ම ගිහිල්ලා ඊට පස්සේ ශාන්ත අන්තෝනිස් විද්‍යාලයට ගියා. ජූනියර් විභාගය ඉවර වෙනකල්ම ඒ කියන්නේ 1925 ඉදන් 1933 දක්වාම මම ඉගෙන ගත්තේ මහින්ද විද්‍යාලයේ. ඒත් අපිට ඒ කාලයේ තිබුණු ආර්ථික අපහසුකම් නිසා  ඉස්කෝලේ කාසි ගෙවන්නට තාත්තාට පුලුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා මගේ අධ්‍යාපනය අතරමග ඇන හිටියා. මේ නිසා මම 1933 දී ඉස්කෝලෙන් අයින් වෙලා තාත්තාටත් උදව් කරගෙන කුඹුරු කොටාගෙන ගමේ හිටියා. ” ඔහු එදා මා හා සිය ළමා කාලය සිහිපත් කළේ එසේය.

කාසි ගෙවන්නට මුදල් නැතිව කුඹුරු කොටන්නට ගමේ රැදුණු ඒ තරුණයා පසුව දෙස් විදෙස් පතල ව්‍යාපාරිකයෙක් බවට පත්වීම සැබවින්ම අසිරිමත් වූ කතාන්දරයක් නොවන්නේද…?

“ 1937 දී මම රැකියාවක් හොයාගෙන කොළඹ ඇවිත් විලියම් පේද්‍රිස් ඇස් කන්නාඩි සාප්පුවට බැඳුනා. මම එතැන අවුරුදු දහතුනක්ම වැඩ කළා. ඒ කාලයේ කොළඹින් පිට ඇස් කන්නාඩි සාප්පු තිබුණේ නැති නිසා කන්නාඩි ගන්න කාටත් කොළඹ එන්න සිද්ධ වුණා. යුද්ධය කාලයේ අපට හුගාක් ප්‍රශ්න ආවා. යුද්ධය නිසා එංගලන්තයේ ඉඳන් ඇස් කන්නාඩිවලට අවශ්‍ය කරන බඩු එන එක නතර වුණා. නැව් ගිලුණා. ඔහොම කාලය යනකොට “ ඕස්ට්රේලියන් ඔප්ටිකල් කම්පැනි ” කියලා සමාගමක් කොළඹට ඇවිත් මෙහේ ව්‍යාපාර කටයුතු කරන්නට පටන් ගත්තා. එත් ලංකාවත් ඉන්දියාවත් එක සැරේම වාගේ නිදහස ලබා ගත්ත නිසා බලාපොරොත්තු වුණු විදියට ව්‍යාපාර කටයුතු කරගන්න බැරිව 1954 දී කම්පැනිය විකුණලා දැම්මා. අමාරුවෙන් එකතු කරලා තිබුණු සල්ලි ටිකක් යොදවලා මම ඒ කම්පැනිය සල්ලිවලට ගත්තා. රුපියල් ලක්ෂ හතක විතර යන්ත්‍ර සූත්‍ර, වීදුරු රාමු වගේ දේවල් හැම දෙයක්ම ඒ අය විකුණුවේ රුපියල් පනස් දහසක මුදලකට. මේ හැම දෙයක්ම මිලදී ගෙන ධර්මපාල මාවතේ නොම්බර හය කියන තැන තිබුණු ගරාජයක නගර සභාවෙන් අවසර අරගෙන මේවා ගබඩා කළා. එතැන ඉඳන් මම බයිසිකලයක නැගලා තොග විදියට ඇස් කන්නාඩි විකුණන්න පටන් ගත්තා. ඒ අතරතුරේ දොස්තරවරුන්ගේ වට්ටෝරුවලට අනුව මගේ අතින්ම ඇස් කන්නාඩි පිළියෙළ කළා.  ”

බයිසිකලයක නැගී දාඩිය වගුරමින් කොළඹ නගරය පුරා ඇස් කන්නාඩි විකුණු මේ ධෛර්යවත් මිනිසා අන්තිමේදී ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රධාන පෙළේ දේශීය ව්‍යාපාරිකයකු බවට පත් වූයේය.

“ ඒ කාලයේ කොල්ලුපිටිය අද වගේ නෙමෙයි. හුගාක් පාලුයි. ගෙවල් කිහිපයයි තිබුණේ. කොල්ලුපිටිය හන්දියේ ලොකු බාබර් සාප්පු දෙකක් තිබුණා. ඊට ටිකක් එහායින් “ ප්ලාටේ ” කම්පැනිය තිබුණා. ගාලු මුවදොරින් පටන් ගත්තාම කොල්ලුපිටියට එනකල්ම මොනම ගොඩනැගිල්ලක්වත් තිබුණේ නැහැ. දැන් ඔබරෝයි හෝටලය තියෙන තැන බිෂොප් හවුස් කියලා පරණ විශාල ගොඩනැගිල්ලක් තිබුණා. මේවැ හැරෙන්නට වෙන මොකුත් තිබුණු බවක් මට මතක නැහැ. කොල්ලුපිටියේ මුලින්ම ඇස් කන්නාඩි සාප්පුවක් දැම්මේ මමයි. ” ඔහුගේ ස්වරයේ තිබුණේ ආඩම්බරයක් නොවේ. තෘප්තිමත් මිනිසෙකු තුළ දැකිය හැකි නිහතමානී බවයි.

මුදල් පසුපස හඹා යන හුදු ව්‍යාපාරිකයෙක් නොවූ ඇල්බට් එදිරිසිංහ ඉන් පසුව ලන්ඩන් ගොස් දෘෂ්ටි විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවේය ඒ වනවිට දෘෂ්ටි විද්‍යාව හැදෑරීම සඳහා කිසිදු පාඨමාලාවක් ලංකාවේ තිබුණේ නැත. එබැවින් තමා ලත් දැනුම අනාගත පරපුරට ද දායාද කිරීමේ අරමුණින් ඔහු එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපකුලපති වැලිවිටියේ සෝරත හිමියන් හමු වී 1960 දී ඒ පාඨමාලාව ලංකාවේ ආරම්භ කිරීමට පුරෝගාමී වූයේය. ලංකාවේ විශ්ව විද්‍යාලයකට පළමු වරට තාක්ෂණික විෂයකට අදාළ පාඨමාලාවක් ඇතුලු වන්නේ ඒ අනුවය.

“ මට මතක ඇති කාලයේ කැස්බෑ ලෙල්ලෙන් ඇස් කන්නාඩි රාමු හැදීම මෙහේ ජනප්‍රිය ව්‍යාපාරයක්. ලංකාවේ එ තරම් කැස්බෑවෝ හිටියේ නැති නිසා මාලදිවයිනෙන් තමයි කැස්බෑ ලෙලි ගෙනාවේ. ඒකට කැස්බෑවෝ මරන්න ඕනේ නැහැ. අහක දමන ලෙලි තමයි ගන්නේ. ඒ කාලයේ මාලදිවයින ලංකාවට කප්පම් ගෙවනවා. මට මතකයි “ කප්පම් කඳ ”ආණ්ඩුකාරවරයාගේ ගෙදර ගෙනිච්ච හැටි. මාලදිවයිනෙන් ගෙනාපු කැස්බෑ ලෙලි වලින් කන්නාඩි රාමු වගේම පනා හැදීම හුගාක්ම සිද්ධ වුණේ ගාල්ල එලියට් මාවතේයි. ඒ කාලයේ තිබුණු අස් කන්නාඩි හැම එකක්ම වාගේ ඕවල් හැඩයේ ඒවා. ලංකාවට මුලින්ම ලෝහ රාමු සහිත ඇස් කන්නාඩි හඳුන්වලා දුන්නේ මමයි. මට මතක විදියට ඒ 1984 දී විතර ”

ඔහු හෙළි කරන තොරතුරු අපූරුය. එමෙන්ම රසවත්ය. මේ මහා ව්‍යාපාරිකයාගේ මුවින් ගිලිහෙන හැම වදනක්ම මා අසා සිටියේ සැබැවින්ම කුතුහලයකින් යුක්තවය.

“ විලියම් ප්‍රේදිස් සාප්පුවේ මම වැඩ කළ කාලයේ ඒ කියන්නේ එක්දහස් නමසිය තිස් ගණන්වල කාච දෙකක් අපි වික්කේ රුපියල් හතරකට. රාමුවක් වික්කේ රුපියල් හයකට. කේස් එකත් එක්ක සම්පූර්ණ කන්නාඩි කුට්ටම රුපියල් දොළහයි. මට මාසයටම ලැබුණු පඩිය රුපියල් විසි පහයි. හැම ඉරිදාම වැඩ කළොත් රුපියල් 2.50 ක් එකතු වෙනවා. හැබැයි එක ඉරිදාවක් හරි වැඩ කරන්න බැරි වුණොත් ඒ මුදල හම්බ වෙන්නේ නැහැ.  ඒ කාලයේ කයිමන් දොරකඩට එහායින් උසාවියට පහළින් කුරුඳු ගබඩා තිබුණා. ඒකේ එක ගබඩාවක් කුලියට අරගෙන පේද්‍රිස් මහත්තයා සිමෙන්ති ගබඩා කරලා තිබුණා. රුවන්වැලි සෑයට  “යකාමාක් “ සිමෙන්ති එහෙම ගෙනිච්චේ එතැනින් තමයි. පිටරටින් ගේන්නේ සිමෙන්ති බැරල්. මේ ගබඩාවේ මැද පත්තර කොළ දාලා ඊට උඩින් පැදුරු දාලයි අපි එදා නිදා ගත්තේ. ඔය ගබඩාව තිබුණේ ජනාධිපති ප්‍රේමදාස මහත්තයාගේ ගේ ඉස්සරහ. එයාලට දර මඩුවකුත් තිබුණා. ප්‍රේමදාස මහත්තයා ඒ කාලයේ කොට කලිසමකුත් ඇඳන් ෆුට්බෝල් ගහනවා මට මතකයි. අපි ඉරිදාට ගමේ යන්නේ නැති නිසා ප්‍රේමදාස මහත්තයාගේ අම්මා කොස් ටිකකුයි , පොල් ටිකකුයි , ලුණු මාලුයි එක්ක අපිට බත් එක්ක දෙනවා. මට දැනුත් ඒ කෑම වේල මතක් කරන එක ප්‍රියයි. ”

සිමෙන්ති ගබඩාවේ පත්තර කොළ මත රැය පහන් කළ මේ මිනිසා අන්තිමේදී රටේ ඉහළම නායකයා වූ ආණ්ඩුකාරවරයාට ඇස් කන්නාඩි සපයන නිල කන්නාඩි සැපයුම්කරු බවට පත් වූයේය. සෝල්බරි සාමිගේ පවා ඇස් කන්නාඩිය නිර්මාණය කළේ ඔහුය. එවකට සිටි සියලුම රාජ්‍ය නායකයන් සමීපව ඇසුරු කළ ඔහු ඒ සියල්ලන්ගේම ඉතා හොඳ මිතුරෙකු බවට පත් වූයේය.

දෙස් විදෙස් ධර්ම ප්‍රචාරයේ ද පුරෝගාමියෙකු වූ ඇල්බට් එදිරිසිංහයන් ලෝක බෞද්ධ සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති මෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරය ඇතුලු දෙස් විදෙස් සංවිධාන රැසක ප්‍රධාන නිලතල හෙබවූයේය. අන්තර් ජාතික බෞද්ධ සම්මේලනයන්හි රැසක දී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඔහුය. එමෙන්ම සෝමාවතී චෛත්‍යය ප්‍රතිසංස්කරණයට ද මුල් වූයේ ඔහුය.

මේ සටහනට සෘජුවම අදාළ නැතත් ඔහු විසින් පවසන ලද තවත් එක් රසවත් කතාවක් මෙහිදී සටහන් කළ යුතු යැයි මට සිතේ. ඊට හේතුව මෙවැනි කතාවක් ඇසිය හැකි මිනිසෙකු මින් පසු කිසිදිනෙක මට හමු නොවෙතැයි සිතෙන බැවිනි.

“ දහතුන් වැනි සියවසේ දීත් අපේ රටේ ඇස් කන්නාඩි හදලා තියෙනවා. ඒක හරිම රසවත් කතාවක්. ලංකාතිලක විහාරය ගොඩ නගලා තියෙන්නේ විජයබාහු රජ්ජුරුවන්ගේ අගමැතිවෙලා හිටිය සේනාධිලංකාර සෙනවියාගේ මූලිකත්වයෙන්. “ ස්ථාපතිරයාර් ” කියලා නිර්මාණ ශිල්පියෙක් තමයි ඒ කටයුතු භාරව ඉඳලා තියෙන්නේ. ඔන්න අන්තිමට විහාරයේ වැඩ කටයුතු නිමකරලා ඒක විවෘත කරන්න රජ්ජුරුවෝ ආවාම විහාරයේ සියුම් කැටයම් නරඹන්නට තරම් රජතුමාගේ ඇස් පෙනීම හොඳ මට්ටමක තිබිලා නැහැ. විහාරයේ කැටයම් හරිහැටි බලන්නට නොලැබීම නිසා රජ්ජුරුවෝ හරියට දුක්වෙලා තියෙනවා. මේ බව දැන ගත්ත අර නිර්මාණ ශිල්පියා රජතුමාට පැහැදිලි ඇස් පෙනීමක් ලබා දෙන්න ඉදිරිපත් වෙලා. ඒකට දවස් තුනක නිවාඩුවකුත් රජතුමාගේ නිවැරදි වයසත් අවශ්‍යයි කියලා නිර්මාණ ශිල්පියා කියලා තියෙනවා. අන්තිමට නිර්මාණ ශිල්පියා “ දිය තරිප්පු ”කියන පාෂාණයෙන් ඇස් කන්නාඩි කුට්ටමක් හදලා තියෙනවා. හරක් අඟින් හදපු පට්ටමකට තමයි කන්නාඩියේ ඇස් වීදුරු දෙක හයි කරලා තියෙන්නේ. කන්නාඩියේ රාමුව මැද්දෙන් ඔළුව වටේ ගත්ත නූලකින් ඒක කොණ්ඩයට බැඳ ගන්න ඕනේ. මේ කන්නාඩිය නිසා රජතුමාට පැහැදිලි පෙනීමක් ලැබුණු එක ගැන රජතුමා හරියට සතුටු වෙලා පිළිමතලව්වේ “ කිරි වවුල ” කියන ගම්වරයත් මේ නිර්මාණ ශිල්පියාට තෑගි කරලා තියෙනවා. මේ ගමේ අය අදත් දිය තරිප්පුවලින් කන්නාඩි හදනවා. මේක තමයි අපේ ඉතිහාසයේ මුල්ම කන්නාඩි නිෂ්පාදනය. මම ඉතාලි ගිය වෙලාවක දැක්කා එක සොහොනක්. ඒ සොහොනේ ගහලා තිබුණා “ Here lies the man who made the first pair of spectacles ” කියලා. ඒ පුද්ගලයා මිය ගිය අවුරුද්ද මට හරියට මතක නැහැ. මුල්ම කන්නඩිය හැදුවේ ඒ පුද්ගලයාද නැතිනම් ස්ථපතිරයාර් කියන ගල්වඩුවාද කියන එක හොයලා බලන්න ඕනේ. කොහොම වුණත් මුලු ලෝකයෙන්ම ඇස් කන්නාඩි නිර්මාණය කිරීමේ පළමු හෝ දෙවැනි තැන අපිට හිමිවෙනවා. ”

සියක් ආයු ලත් ඒ මිනිසා රහසේම නික්ම ගොසිනි.

අකුරු කරන්නට  කාසි සොයා ගත නොහැකිව කුඹුරු කොටා අන්තිමේදී දෙස් විදෙස් පාලකයන් හා උරෙනුර ගැටුණු ඒ මිනිසා තව දුරටත් අප අතර නැත.

ඔහුගේ පැවිදි දිවිය අප්‍රකටය. එහෙත් උන්වහන්සේ ඇසුරු කළ ගම්වාසීන්ට හා සහෝදර හිමිවරුන්ට ද දේවමිත්ත හිමියන් ගැන කියන්නට කතාවක් ඇතිවාට කිසිදු සැකයක් නැත. එහෙත් පැවිදි රුවින් උන්වහන්සේ නොදුටු මට නිසැකවම කිව හැකි කරුණක් තිබේ. එනම් රට හෙල්ලූ මේ මහා ව්‍යාපාරිකයා සිය කැමැත්තෙන්ම අතිශය අල්පේච්ඡ සැඳෑ සමයක් තෝරා ගත් බවය.

ඔහු වාසනාවන්තය. එපමණකටම පින්වන්තය. ඒ සියක් ආයු ලැබූ නිසාම නොවේ.

හිස් මිනිසුන් පිරුණු රටක උත්තම පුරුෂයකුගේ ජීවමාන රැව ගුණ මේ යැයි ඔහු රටට පෙන්වා දුන් බැවිනි.

රහසේම නික්ම ගිය හිමියනි…. ඔබට නිවන් සුව අත්වේවා…..!

මං දිහා බලාගෙන ඉන්නකෝ

පච්චයක් ‍කොටා ගත්ත තරුණ‍යෙක් ‍ලෝක නායක‍යෙක් බවට පත් ‍වෙච්ච මුල්ම අවස්ථාව ගැන එක්තරා පුවත්පතක ‍දින කිහිපයකට ‍පෙර පුවතක් පළ ‍වෙලා තිබුණා. ‍මේ පුවතට පදනම් ‍වෙලා තිබු‍ණු රට කැනඩාව. පච්චය ‍කොටා ගත්ත තරුණයා ජස්ටින් ටෲ‍ඩෝ. පහුගිය සති‍යේ පැවැති කැ‍නේඩියානු මහ මැතිවරණ‍යෙන් අති විශිෂ්ට ජයක් ලබා ගත් වත්මන් කැ‍‍නේඩියානු අගමැතිවරයායි ඔහු. ‍ලෝක‍යේ ‍දෙවැනි විශාලතම රට ‍වන කැනඩා‍ව කියන්‍නේ ‍ලෝක බලවතුන් අතර ඉදිරි‍යෙන්ම ඉන්න රටක්. ‍මෙ‍හෙම රටක නායකයා බවට පත්‍ වෙන්නට ඔහුට හැකිවු‍ණේ ‍කො‍හොමද කියන එක අ‍පේ ජීවිතවලට ‍බො‍හොම වැදගත් පාඩමක් කියා ‍දෙනවා.

PageImage-492536-3257494-IMG_06272

මාස ‍දෙකකට ‍පෙර කැ‍‍නේඩියානු මහ මැතිවරණයට දින නියම කරද්දී ටෲ‍ඩෝ කියන්නේ කැ‍නඩා‍වේ නායකයා බවට පත්‍ ‍වෙයි කියලා කවුරුත් හිතු‍වේ නැති ‍කෙනෙක් කියලා කිවු‍වොත් වරදක් නැහැ. ඔහු නි‍යෝජනය කරන ලිබරල් පක්ෂයට කැ‍නඩා‍ පාර්ලි‍‍මේන්තු‍වේ හිමි‍‍වෙලා තිබු‍ණේ ආසන 34 ක් විතරයි. සම්පූර්ණ ආසන සංඛ්‍යාව 308 ක් වුණු කැ‍‍නේඩියානු පාර්ලි‍‍මේන්තු‍වේ ආසන 34 ක් පමණක් හිමිව තිබුණු ලිබරල් පක්ෂ‍යේ ‍මේ තරුණ නායකයා ර‍ටේ පාලනය භාර ගන්නා තැනැත්තා ‍වේවිය කියලා මත විමසුමකින්වත් ‍හෙළි කරලා තිබු‍ණේ නැහැ. ‍බො‍හොම ‍දෙ‍නෙක් හිතුවේ ඔහු දිනුවත් ඔහුට පාලනය පිහිටුවන්න සිද්ධ ‍වෙන්‍‍නේ තවත් පක්ෂයක සහායක් ඇතිව කියලයි. ඒත් අන්ති‍මේදී ඔහු ආසන 184 ක පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත්තා. ඒ කියන්නේ  ඔහු‍ගේ නායකත්වය යට‍තේ පක්ෂය සියයට 150 ක වර්ධනයක් ලබා ගත්තා. මේ වර්ධනය ‍කොයි තරම් පුදුම සහගත ද කියලා ‍පෙ‍‍නෙන්‍නේ කැනඩාවේ බලවත් සියලු පක්ෂ අන්ත කඩා වැටීමකට ලක් කළ ‍‍මෙවර මහ මැතිවරණ‍යෙන් ‍මේ සා විශාල වර්ධනයක් ලබා ගත්ත එකම පක්ෂය ටෲ‍ඩෝ නායකත්වය දුන් ලිබරල් පක්ෂය විතරක්ම නිසයි. අ‍නෙක් සියලුම පක්ෂ තමන්‍ගේ ආසන සංඛ්‍යාව දැවැන්ත විදියට ‍සෝදා පාලුවට ලක් කරගත්තා.

ජස්ටින් ‍ටෲ‍ඩෝ කියන ‍මේ මිනිසා අ‍පේ ජීවිතවලට අපූරු පාඩම් ගණනාවක්ම කියා ‍දෙන අත‍රේ ‍මේ මහ මැතිවරණය ලාංකික ඡන්ද දායකයන්ටත් අපූරු පාඩම් ගණනාවක්ම කියා ‍දෙනවා. ‍

‍ලෝක‍යේ ර‍ටවල් සංවර්ධිත හා අසංවර්ධිත ‍එ‍හෙමත් නැතිනම් තුන් වැනි ‍ලෝක‍යේ රටවල් විදියට හදුන්වා දීම ‍කොයි තරමක් දුරට යුක්ති සහගත ද කියන කරුණ ඇත්‍‍‍තෙන්ම විවාදාත්මකයි. ඒත් විවෘත චින්තනය නිදහස් මානසිකත්වය කියන කරු‍ණේ දී නම් ‍මේ ‍බෙදීම අසාධාරණ නැහැ කියලයි මට හි‍තෙන්‍නේ. වි‍ශේෂ‍යෙන්ම මහ මැතිවරණයක දී එ‍හෙමත් නැතිනම් ර‍ටේ පාලකයන් තෝරා පත්කරගන්නා කවර ‍හෝ මැතිවරණයක දී අපේ ලාංකිකයන් හැසි‍රෙන ආකාරය ගත්තම සංවර්ධිත අසංවර්ධිත කියන ‍බෙදීම සර්ව සාධාරණයි කිව්‍‍වොත් වරදක් නැහැ. ඒකට ‍‍හොදම උදාහරණය පහුගිය මහ මැතිවරණය. ‍ර‍ටේ ජනාධිපති අගමැති කියන තනතුරු ‍දෙක වෙනස් වුණත් පරණ පාර්ලි‍මේන්තු‍වේත් අලුත් පාර්ලිවේන්තු‍වේත් ඉන්න මුහුණු වල ‍වැඩි ‍වෙනසක් නැහැ. ඒකට ‍හේතුව සියලු දූෂිතයන්‍, මහජන මුදල් ගසා කන මං‍කොල්ලකරුවන්‍, ‍මෙ‍ලෝ රහක් නැති නලු නිළියන්… ඔය ‍කොයි කාගේත් සිත් ‍මහ මැතිවරණයේ දී නොරිදවන්නට අ‍පේ ඡන්ද දායකයන් වග බලා ගත්ත නිසයි. සංවර්ධිත චින්තනයක් එ‍හෙමත් නැතිනම් පක්ෂ පාට ‍භේදයකින් ‍තොරව නිවරුදි ‍දේ නිවැරුදි විදියට දකින්න තරම් මානසික නිදහසක් ති‍යෙන ඔලු ‍ගෙඩි අ‍පේ ඡන්ද දායකයන්ට තිබුණා නම් පරණ පාර්ලි‍මේන්තුවේ ති‍යෙන මුහුණු ටිකම අලුත් පාර්ලි‍මේන්තුවටත් එන්න විදියක් නැහැ‍නේ.

කැනේඩියානු මැතිවරණයේ දී අපේක්ෂකයන්ට වියදම් කරන්නට පුලුවන් උපරිම මුදලක් නියම වෙලා තියෙනවා. මේ සියලු මුදල් විගණනයකට ලක්කෙරෙනවා පමණක් නෙමෙයි කවුරුන් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කළොත් ක්ෂණිකවම ඒ පැමිණිල්ල ගැන සොයා බලනවා. කොමිෂන් පත් කරලා කල් මරන්නේ නැහැ. මැතිවරණ සටනින් ජය ලබපු එක් මන්තිරිවරයෙක් අනුමත මුදලට වඩා ඩොලර් දෙදහසක් වගේ සුලු මුදල් වැඩිපුර වියකම් කළ හේතුවෙන් ඔහුගෙ මන්තිරිධුරය අහෝසි කෙරුණේ ක්ෂණිකවමයි. ඒ වගේම පහුගිය සති කිහිපය පුරාම තිබුණු කැනේඩියානු චන්ද සටනේ දී පුද්ගලික මඩ ප්රහාරයන් කිසිවක්ම දකින්නට ලැබුණේ නැහැ.

කැනඩා‍වේ විතරක් ‍නෙ‍මෙයි ‍ලෝක‍යේ දියුණුය කියලා කියන ඕනෑම රටක දූෂිත ‍දේශපාලකයන් ඉන්නවා. ඒත් ඒ රටවලත් අ‍පේ ර‍ටේ ‍වෙනසක් ති‍යෙනවා. ඒ කැනඩා‍ව ව‍ගේ රටවල් ‍කෙ‍නෙක් මහජන මුදල් කොල්ල කෑවොත් එහෙමත් නැතිනම් දූෂකයෙක් වංචනිකයෙක් වුණොත් ඔහුගේ දේශපාලන ගමන එතැනින්ම ඉවරයි. ලංකාවේ වගේ චන්දදායකයන්ගේ ආශිර්වාදය ලැබිලා ආපහු පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු වගේ නොදියුණු මුහුකුරා නොගිය මනස් ලෝකයේ දියුණුය කියන රටවල නැහැ. ඒ කියන්නේ අපේ රටේ ඡන්දදායකයන් වගේ දියුණු රටවල මිනිසුන් මානසික වහලුන් බවට පත්වෙලා නැහැ. අලුත් මතවාදවලට වගේම නිවරුදි දේ නිවැරදි විදියට පිළිගන්න ඒ මනස් විවෘතයි. ලංකාව වගේ රටක මහ මැතිවරණයට ටෲඩෝ ඉදිරිපත් වුණා නම් මුලින්ම එළියට එන්නේ ඔහුගේ අතේ කෙටා තිබෙන පච්චය ගැන වාද විවාදයි. එහෙත් නැතිනම් ඔහුගේ රූබර පෙණුම රටක නායකයෙක්ට කොයි තරම් දුරකට ගැළපෙනවා ද කියන කරුණයි. එහෙත් නැතිනම් ඉන්දු කැනේඩියානු උත්සවයකට සහභාගි වෙමින් ඔහු කළ බංගාරා නැටුමයි. ඔබාමා ලංකාවේ මැතිවරණයට ඉදිරිපත් වුණා නම් ඔහුටත් කිසිම දවසක මැතිවරණය ජයගන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ඔහුගේ ජාතිකත්වය එහෙමත් නැතිනම් සම්භවයට කරළියට එන හින්දයි. ඒත් සුදු ජාතික ජනාධිපතිවරුන්ගේ සෙල්ලම් පිට්ටනියක් බවට පත්වුණු ඇමරිකාවේ ජනාධිපතිධුරයට ඔබාමා පත් වුණේ ඓතිහාසික ජයක් ලබමින්. කැනෙ‍්ඩියානු මහ මැතිවරණයේ කිසිම වාද විවාදයක ‍ටෲඩෝ ගේ පච්චය ගැනවත් ඔහුගේ පෙනුම ගැනවත් වාද විවාද ගියේ නැහැ. සමස්ත කැනේඩියානුවන් ඇහුම්කන් දුන්‍නේ කැනේඩියනු අගමැති අපේක්ෂකයන් තම තමන්ගේ ප්‍රතිපත්ති ගැන ඉදිරිපත් කළ අදහස් හා වාද විවාදවලට පමණයි. ටෲඩෝ ගේ මේ ජයග්‍රහණයට ඔහුගේ රූපයත් කිසියම් ආකාරයක බලපෑමක් නොවුණා කියන්නට බැහැ. ඒත් ඔහුගේ සැබෑ ජයග්‍රහණය පසුපස තියෙන්නේ ඡන්ද සටනට එක්වුණු අනෙක් අපේක්ෂකයන්ට වඩා ඉදිරියට ගිහින් විවාදාත්මක කරුණුවලදී තමන්ගේ මතය නොබියව කියන්නට ඔහු ඉදිරිපත් වීම නිසයි. විශේෂයෙන්ම ජාතීන් 150 කට වඩා සිටින රටක ඇතැම් ජාතිකත්වයනට සංවේදී වන කරුණු වලදී චන්ද සටනට ඉදිරිපත්වන්නන් කරුණු දක්වන්නේ බොහොම පරිස්සමින් වුණත් ‍‍‍ටෲඩෝ ඒ අවදානම භාර ගත්තා. ඡන්ද දායකයන්ට විවෘත මනසක් තිබුණු නිසා අපේකෂකයන්  කිවුව කරුණු නුවණින් විමසා බලා මැතිවරණයේ දී තමන්ගේ පිළිතුර ලබා දුන්නා.

justin-trudeau-20140220

ලොව දෙවැනි විශාලතම රටේ නායකයා විදියට දැවැන්ත ජයක් ලබා ගත්තාට පස්සේ ඔහු කළ කතාවේ දී ඔහු කිව්වේ තමන්ගේ ජයට හේතුව තමන් ඉතාම පැරණි සටන් උපක්රමයක් අනුගමණය කළ නිසා බවයි. එනම් රටේ පුරවැසියන් හමු වී ඔවුන්ගේ අදහස්වලට සවන් දීමයි. ‍ටෲඩෝ කියන්නේ කැනඩාවේ හිටපු අගමැතිවරයකුගේ පුතෙක් වුණත් ඔහුගේ ඡන්ද සටහනට තාත්තාගේ බලපෑමක් තිබුණේ නැහැ. ලංකාවේ වගේ අප්පාගෙන් පුතාට කියන සංකල්පය තිබුණා නම් ඔහුගේ පක්ෂය පහුගිය මැතිවරණයේ දී බොහොම කුඩා ආසන සංඛ්‍යාවකට කොටු වෙන්නේත් නැහැ. සාහිත්‍යයටත්, අධ්‍යාපන ක්‍රමවේදයටත් මූලික උපාධි දෙකක්ම හිමිකරගත්ත ‍ටෲඩෝ පශ්චාත් උපාධියකටත් හිමිකම් කියනවා. ඔහු තමන්ගේ ජීවිතය ආරම්භ කළේ ද්විතියික පාසලේ ගණිතය සහ විද්‍යාව ගුරුවරයෙක් විදියට. ඒත් ඔහුගේ කැපවීමත් ඉදිරි දැක්මත් අවසානයේ දී ලෝකයේ විශාලතම දෙවැනි රටේ නායකයා බවට ඉහළින්ම ඔසවා තබන්නට සමත් වුණා. ධනාත්මක චින්තය තුළින් අපි නිශේධනාත්මක බලපෑම් යටපත් කළා ඡන්ද සටන ජයගත් පසු ඔහු පැවසුවා.

https://www.youtube.com/watch?v=JtIlAIIWRZw

මේ සටහන අවසන් කරන්නට පළමුවෙන් තවත් කරුණක් සටහන් කරන්නටම ඕනේ. පසුගිය සතියේ අන්තර් ජාතික ‍වෙළෙද ගනුදෙනුවකදී ‍ටෲඩෝ ලිවූ වචන තුනක් ඩොලර් දෙළොස් දහසකට අධික මුදලකට වෙන්දේසි වුණා. තමන් කැනේඩියානු ඡන්ද සටනට ඉදිරිපත් වන බව ‍ටෲඩෝ දැනුම දුන්නාට පස්සේ මීට අවුරුදු දෙකකට කලින් 2013 දී මයිකල් කියලා පුද්ගලයෙක්ට අහම්බෙන් ටෲඩෝ හමුවුණා‍. මේ දෙදෙනා කිසිම දවසක මුණ ගැහුණු දෙන්නෙක්වත් හදුනන දෙන්නෙක්වත් නෙමෙයි. “Can you really beat Harper?” (ඔබට ඇත්තෙන්ම හාපර් පරදවන්න පුලුවන්ද?) කියලා පුංචි සටහනක් ලියලා මයිකල් ‍ටෲඩෝට පෙන්නුවා. හාපර් කියන්නේ අවුරුදු දහයක් පුරාම කැන‍ඩාවේ අගමැති වෙලා හිටපු ප්‍රබල රාජ්‍ය නායකයෙක්. ‍පහුගිය සතිය වෙනකල්ම කැනඩාවේ අගමැතිවරයා වූයේ ඔහුයි. මයිකල්ගේ සටහනට සිනාවක් පෑ ‍ටෲ‍ඩෝ මේ වචන තුන පිළිතුරක් ලෙස සටහන් කළා. “Just watch me.” (මං දිහා බලාගෙන ඉන්නකෝ). ටෲඩෝ ගේ දැවැන්ත ජයත් එක්කම මේ සටහන ‍‍‍ඩොලර් 12,301 කට අලෙවි වුණා.

trudeau%20note

අන්තිමේදී මයිකල් විතරක් නෙමෙයි මුලු මහත් කැනඩාවම ‍ටෲ‍ඩෝ දිහා බලාගෙන හිටියා විතරක් නෙමෙයි ඔහු ඉහළටම ඔසවා තැබුවා. ඒකට හේතුව එවැනි සටහනක් ලියන්නට තරම් ආත්ම විශ්වාසයක් වගේම තමන් යන ගමන ගැන පැහැදිලි අදහසක් ඔහු තුළ තිබූ නිසයි.

ඉතින් ‍කැනඩාවේ මහ මැතිවරණය වගේම ටෲඩෝත් අපේ ජීවිතවලට බෙ‍හෝ දේවල් පවසනවා නේද?

ඔය දොරගුළු හැර දමන්න…!

Jail-Cell-With-Open

බොහොම කාලයක ඉදලා දන්න කියන හාමුදුරුනමක් ගැන පුංචි කතාවක් මුලින්ම කියන්න තියෙනවා. තරුණ වයස පසුකරලා බොහොම කාලයක් නැති වුණත් මේ හාමුදුරුවන් බණ දේශනා කරන්න හරිම දක්ෂයි. බණ අහන ඕනැම කෙනෙකුට උන්වහන්සේ මතුකරන දහම් කරුණු වෙනුවෙන් හිත ඇදිලා යන්නේ නිරායාසයෙන්මයි. ඒකට හේතුව උන්වහන්සේගේ හැම ධර්ම දේශනාවක්ම බොහොම හරවත් ගැඹුරු දහම් කරුණුවලින් පිරුණු එකක් වීම හින්දයි. මවිබිමෙන් ඈත්වෙලා දුරු රටකට ආවට පස්සේ හාමුදුරුවන්ව ඇසුරු කරන්නට නොලැබුණත් පහුගිය ජනාධිපතිවරණ කාලයේ දී ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ නැවත හාමුදුරුවන් එක්ක සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබුණා. ඒත් ජනාධිපතිවරණ කාලයේ දී. එක්තරා අපේක්ෂකයකු වෙනුවෙන් උන්වහන්සේ කොයි තරම් දුරට දේශපාලන දැන්වීම් තමන්ගේ පිටුව හරහා පළ කළාද කියනවා නම් එදා මා දැන හදුනා සිටි ස්වාමීන් වහන්සේ ම ද මේ කියලා හිතෙන තරමටම මට පුදුම කම්පාවක් ඇති වුණා. අතීතයේ උන්වහන්සේ කෙරෙහි තිබුණු පැහැදීම නැති කරගන්න කැමති නොවුණු නිසාම ෆේස්බුක් පිටුව හරහා උන්වහන්සේ සමග කිසිසේත්ම සම්බන්ධ නොවී සිටින්නට මං උත්සාහ කළා.

ඒත් මහ මැතිවරණ උණුසුමත් එක්ක උන්වහන්සේ ආපහු සැරයක් තමන්ගේ අපේක්ෂකයා වෙනුවෙන් කරන කියන දේවල් දැක්කම ඇත්තෙන්ම මට ඇතිවුනේ කම්පාවටත් වඩා කණගාටුවක්. “අත් හැරීම” ගැන බොහොම ගැඹුරින් ධර්මය දේශනා කළ උන්වහන්සේ ගිහියන්ටත් වඩා දුර ගිහින් එක්තරා පුහුදුන් දේශපාලකයෙකු මේ තරම්ම “බදා වැළද ගන්නට” ගන්නා උත්සාහය උන්වහන්සේගේ සසර ගමන කොයි තරම් දුරකට ඇදගෙන යනවාද කියන කරුණ නිසයි ඒ. බල තණ්හාවෙන් ඔද වැටුණු පිරිහුණු දේශපාලකයකු වෙනුවෙන් මේ ස්වාමීන් වහන්සේ කොයි තරම් දුරකට තමන්ගේ වටිනා කාලය ෆේස් බුක් පිටුව ඔස්සේ මිඩංගු කරනවා ද කියනවා නම් උන්වහන්සේගේ නම ඇහුණමත් බෙහෝ වෙලාවට මට මතක් වෙන්නේ අර දේශපාලකයාගේ කපටි මුහුණයි.

බොහොම ගැඹුරින් ධර්මය දේශනා කළත් තමන් දෙසන දහමින් අල්පයක් තමන්ගේ ජීවිතයට සමීප කරගන්නට උන්වහන්සේ අසමත් වුණේ ඇයි ද කියන කරුණ උන්වහන්සේ නිතර හුවමාරු කරන දේශපාලන රැස්වීම්වල පිංතූර දකින හැම මොහොතකම මට හිතෙනවා. දහම් කාරණාවලදී බොහෝ දැනමුත්තකු වන උන්වහන්සේ දේශපාලනයේ දී මිසදුටු ගිහියෙකුටත් වඩා පහළ තැනකට ඇද වැටෙන හැටි දකිද්දී බොහෝ දේවල් ගැන ඉතාම ගැඹුරින් විශ්ලේෂණය කරන්නට සමත් මගේ ඇතැම් මිතුරන් දේශපාලනයේ දී නියැන්ඩර්තාල් චින්තනයක හිරවෙලා ඉන්න එක ගැන පුදුමයක් නැහැ කියලා හිතුණා.

ජීවිතයේ බොහෝ දේවල් ගැන බොහෝ විචක්ෂණව බලන ඒ වගේම සමාජයේ බොහෝ දේ ගැන දැනුම් තේරුම් ඇති බොහෝ දෙනෙක් දේශාපලනය කියන කරුණේ දී ඉතාම ළද බොළද සුකුමාර චරිත වෙන්නේ ඇයි ද කියන කරුණ ගැන මතුවෙච්ච කුතුහලය නිසාම මේ ගැන සොයා බලන්නට සිත් වුණා. එතැනදී ඇත්තෙන්ම මට දැනගන්නට ලැබුණේ බොහොම සිත් ඇද ගන්නා කරුණු කාරණා ටිකක්.

“දේශපාලනය විසින් ඔබ අන්ත මෝඩයකු බවට පත් කරනු ලබයි”  (Politics Makes You Stupid) කියන කරුණ ඉතිහාසය පුරාම ඔප්පු කර තියෙන බව මං දැනගත්තේ මේ සම්බන්ධ කරුණු කාරණා සොයා බලද්දියි. ඔබ පරිස්සම් නොවුණොත් දේශපාලනය විසින් මුලින්ම විනාශ කර දමනු ලබන්නේ ඔබේ තාර්කික ඥානයයි. ඒ එක්කම යමක් ගැන බුද්ධියෙන් වටහා ගැනීමේ හැකියාව ඔබෙන් ගිලිහී යන්නේ ඔබටත් හොරෙන්මයි. දේශපාලනය විසින් ඔබ අන්ත මෝඩයකු බවට පත් කරනු ලබයි කියන කරුණ වෙනත් විදියකට මෙහෙම කියන්නත් පුලුවන්. අපේ මෝඩකම වඩාත් හොදින් ප්රදර්ශනය වන්නේ දේශපාලනය කියන කරුණේදීයි. (Our Stupidities are Most Exposed in Politics)

විසිවන සියවසේ ලොව සිටි අගනා විද්වතකු වන අයින්ස්ටයින් කිව්ව විදියට විශ්වයටත් මිනිසාගේ මෝඩකමටත් සීමාවක් නැහැ. ඒත් විශ්වයේ සීමාවක් කවදා හරි හොයා ගත්තත් මිනිසුන්ගේ චින්තමය දුබලතාවයන්ගේ එහෙමත් නැතිනම් මෝඩකමේ සීමාවක් හොයා ගන්නට ඉඩක් ලැබෙයිද කියන එක සැකයි කියලා ඔහු කිව්වා.

දේශපාලන ගැතිකම නිසා මිනිසුන් කොයි තරම් මෝඩයන්ට ඇන්දෙනවාද කියන කරුණ පර්යේෂණ මගින් පවා ඔප්පු කරලා තියෙනවා. මිනිස් ස්වභාවය අනුව හැගීම් විශ්වාසයන්ට මුල් තැන දීමේ නැඹුරුවක් අපේ සිත්වල සහජයෙන්ම තියෙනවා. මේ නිසාම මිනිස් ස්වභාවය සිතීමට වඩා මුල් තැන දෙන්නේ විශ්වාසයන්ට හා භක්තියට. යමක් ගැන සිතා බලා සාක්ෂි සහිතව කරුණු කාරණා පිළිගන්නට ස්වභාවයෙන්ම මිනිස් සිත මැලි කමක් දක්වනවා. මේ කරුණ ඉතාම ඉහළින් ඔප්පු වෙන්නේ දේශපාලනයේ දීයි.

යේල් සරසවියේ නීතිය පිළිබද මහාචාර්ය ඩෑන් (Dan Kahan) ‍ගේ මූලිකත්වයෙන් බුද්ධිමය හා තර්කනමය හැකියාව ඉහළින්ම තිබුණු 1111 දෙනෙක් (එක්දහස් එකසිය එකොළහක්) සහභාගි කරගෙන මේ ගැන පර්යේෂණයක් සිදු කෙරුණා. මෙහිදී මේ 1111 දෙනා හට තමන්ගේ තර්ක ඥානය විමසා බැලෙන ගණිත ගැටලු මාලාවක් ලබා දුන්නා. මීට සමගාමීව සරල සමාජ කරුණු කාරණා මතුකර ඒවාට ලබා දෙන පිළිතුරුත් සන්සන්දනාත්මකව විමසා බැලුනා. පර්යේෂණයේ ප්‍රතිපල සිත් ඇදගන්නා සුලුයි. තර්ක ඥානයෙන් ගණිත ගැටලු බොහොම දක්ෂ විදියට විසදන්නට පුලුවන් වුණු මේ පිරිසෙන් බොහෝ දෙනෙකු සරල සමාජ කරුණු වලදී ඒ තර්ක ඥානය යොදා ගත්තේ නැතිම තරම්. ඇත්තටම කියනවා නම් සරල සමාජ කරුණු වලදී ඒ අය හිටියේ තාර්කික හැකියාවක් නැති සමාජයේ ඇතැම් පිරිස්වලටත් වඩා බොහොම පසුගාමී තැනක. තමන්ගේ දේශපාලන අදහස්වලට පටහැනිවන කරුණු වලදී තම තර්ක බුද්ධිය පවා ඔවුන් අතින් යටපත් වන හැටි මේ පර්යේෂණය මගින් මනාව ඔප්පු කොට පෙන්නුවා.

මිනිස් මොළය සම්බන්ධයෙන් සොයා ගත් ඉතාම සිත් කළ කිරවන සුලු සොයා ගැනීම විදියට තමයි කවුරුන් හෝ මේ පර්යේෂනයෙන් සොයා ගත්ත කරුණු ගැන අදහස් දක්වලා තිබුණේ.

බොහොම දෙනෙක් ළග තියෙන දේශපාලන ගැතිකම නිසා බොහොම දේවල් විනිවිද දකින්නට තියෙන හැකියාව එහෙමත් නැතිනම් යමක් පැහැදිලිව දකින්න තියෙන හැකියාව බොද වෙලා යනවා කියන එක පිළිගන්නට වෙන කාරණයක්. බොහොම මෑතකදී එළි දැක්ක මනෝ විද්‍යා පර්යේෂණයක පැහැදිලි නිගමණයකට ඇවිත් තිබුණු එක් කාරණාවක් වුණේ අප බොහෝ දෙනෙක් තුළ තියෙන දේශපාලන ගැතිකම නිසා එහෙමත් නැතිනම් කිසියම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් කෙරෙහි තියෙන විශේෂ ළැදියාව නිසා අප තුළ නිසර්ගයෙන් පිහිටා තිබෙන මූලික තර්කනමය හැකියාවන් පවා විනාශ වෙලා යන බවයි.

මේ පර්යේෂණයේ ප්‍රතිවල ලංකාවේ අපට නම් සියයට සියයක්ම වලංගුයි. දේශපාලනය කියන කරුණේ දී පූජකවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන් විතරක් නෙමෙයි වීදී සරන්නියන් පවා එකම මඩ ගොහොරුවක එකම කරවටක ගිලී ඉන්නා හැටි දැක්කම “අනේ අපොයි” කියලා හිතෙන තරම්. නරා වළකට වැටිලා තියෙන අපේ රටේ දේශපාලනය කියන්නේ බල පොරයකට පොරකන බලු පොරයක් කියන එක වටහා ගන්නට බොහෝ දෙනෙක් අසමත් වෙලා තියෙන්නේ අර පර්යේෂණයෙන් ඔප්පු කළා වගේ දේශපාලනය විසින් ඔබව අන්ත මෝඩයකු බවට පත් කරනු ලබයි කියන කියන කාරණය නිසයි. කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු කියන පරපුරක් එදා ඉදන්ම අපේ රටේ බිහිවෙලා තියෙන්නේ ඔය කියන අන්ත මෝඩ චින්තන ධාරාව පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන නිසයි. මේ හින්දා හරි දේ හරි විදියටත් , වැරදි දේ වැරදි විදියටත් දකින්න බැරි තරමට අපේ ඡන්දදායකයන් එකම නුගතුන් රැළක් බවට පත් වෙලා තියෙනවා. තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා කවර වැරැද්දක් කළත් අනෙක් පක්ෂයේ අපේක්ෂකුගේ වරදක් පෙන්වා වරද වරදින් සමාන කොට ඔනෑම තත්කඩියෙකු දේශප්රේමී අරවින්දයක් බවට පත් කරන්නට අපේ චන්ද දායකයන් පෙළඹෙන්නේ ඒ නිසයි.

වැරදි නිවැරදි යන්න සමාජයක තීරණය වෙන්නේ ඒ ඒ සමාජ සංස්කෘතීන්වල තියෙන ආවේණික ලක්ෂණ අනුවයි. මේ නිසාම කිසියම් සමාජයක හරි දේ වැරදි වෙන්නවත් , වැරදි දේ හරි වෙන්නවත් බැහැ. කවර දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් දූෂකයා දූෂකයාමයි. ටෙන්ඩර් මගඩියෙන් සියයට දහයක කොමිස් ගසා කන්නා කොමිස් කාක්කාමයි. පොදු දේපළ අයථා ලෙසින් පරිහරණය කරන්නා රටේ කවර තරාතිරමක නායකයකු වුවත් ඔහු හෝ ඇය තක්කඩියකුම වන්නේමයි. කුඩු එතනෝල් ගෙන්වන්නා කවර පක්ෂයක් නියෝජනය කළත් සමාජ පිළිලයක්මයි. දේශප්රේමය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පාවිච්චි කරන්නා සමාජයෙන් නෙරපා දැමිය යුතු නරුමයෙක්මයි. ඒ වගේම කවර දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් යහපත් අරමුණු නියෝජනය කරන්නා පිදිය යුත්තෙක්මයි. ඒත් කණගාටුවට කරුණ වන්නේ මේ අතිශය සරල කාරණාව සමාජයේ සිටින බොහෝ පිරිසකට කොහෙත්ම වටහා ගන්නට අමාරු කරුණක් වීමයි. ඒ ඇයි….? පිළිතුර බොහොම සරලයි. දේශපාලනය විසින් ඔබ අන්ත මෝඩයකු බවට පත් කර තිබීමයි ඒ. හරබර පොත පත ලියන විද්වතුන්, මහා දැනුම් සම්භාරයක් ඇතැයි කියන ආචාර්ය මහාචාර්යවරුන්, බුදු දහමේ ගැඹුරු කරණු සිල්වතුන්ට දේශනා කරන අර මං මුලින්ම සදහන් කළා වගේ හිමිවරුන් වෙනත් ආගම්වල පූජකවරුන්, සමාජයේ බොහෝ වැදගත් තනතුරු හොබවන වෘත්තිකයන් මේ හැම දෙනාම දේශපාලනය කියන කරුණේ දී ඇගිලි උරණ කිරි සප්පයන්ටත් වඩා අන්ත තොත්ත බබාලගේ ගනයට වැටෙන්නේ මේ නිසයි.

මේ කරුණ ගැන කිසිසේත්ම සරලව හිතන්නට බැහැ. ඒකට හේතුව මේ කරුණ නිකම්ම නිකම් දේශපාලන කරුණක් නොවන නිසා. ඇත්තෙන්ම සමාජයක බහුතරය සිය කැමැත්තෙන්ම මේ විදියේ දේශපාලන අද බාලයන් බවට පත්වීම ජීවිතයත් මරණයත් අතර ඇති සටනක්. ඒකට හේතුව ලංකාව වගේ රටක දේශපාලකයා සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙකු බවට පත් ව සිටින නිසාම සමාජ දේහයේ සෑම අංශයකටම අණ විණ කරන්නට මේ දේශපාලකයන් සමත් වන නිසයි. 1948 වකවානුවේ දී අය වැය අතිරික්තයක් තිබුණු රටක උපදින්නට සිටින දරුවා පවා ඩොලර් මිලියන ගණනින් ලොව හතර දිග්භාගයට ණය කරුවන් බවට පත් වුණු ආශ්චර්යවත් රටක අප පුරවැසියන් වී ඇත්තේ මේ නිසයි. මේ නිසාම මේ දූපතේ වෙසෙන ඔනෑම අවස්ථාවාදී තක්කඩියෙකුට ජනතා නියෝජිතයකු වන්නට වරම් ලැබිලා තියෙනවා.

මේ නිසා මේ දූපතේ වාසය කරන දූපත් වාසීන් පාලනය කරන්නට බිහිවෙන්නේ අපූරු ආකාරයේ ජනතා නියෝජතයින්. රජයේ සේවකයන් ගස් බැද දඩුවම් දෙන පාදඩ දේශපාලකයන්, රටටම කුඩු ගෙන්වමින් ගරුතර ස්වාමීන් වහන්සේලා අතින් පිරිත් නූල් බැදගන්නා පාපතරයින්, රෙදි ඇදීමට වඩා රෙදි ගලවා නටන්නට හුරු පුරුදු වූ නැට්ටුක්කාරියන්, සිංදු කියන මහ ඇමැතිවරුන් , සැමියා මළ සොවින් වැළපෙන වැන්දඹුවන්, කෝච්චිවල මාල කඩන මංකොල්ලකරුවන්, සර්පිනා වයන ජනාධිපති උපදේශකවරුන්, ඉහළම ධනපති දේශපාලනයේ නියැළෙන වාමාංශික සහෝදරවරුන්, අප්ප වෙනුවට පුතණ්ඩියන් විතරක් නෙමෙයි මෙකී නොකී ඕනෑම පල් හොරෙකුට තමන්ව විතරක් නෙමෙයි තමන්ගේ දූ පුතුන්ගේ අනාගතය පවා සින්නක්කරව ලියා දෙන්නට තරම් අපේ මේ දූපත්වාසී චන්දදායකයින් සැදී පැහැදී සිටින්නේ මේ දේශපාලන ධාරාව විසින් සමාජයක් විදියට අපි හැමෝම අන්ත මෝඩයන්ට අන්දලා තියෙන හින්දයි.

ඉතින් මේ තත්ත්වයෙන් මිදෙන්නට මගක් නැද්ද…? මගක් තියෙනවා විතරක් නෙමෙයි ඒ මග අනුගමනය කරන්නත් හරිම පහසුයි. ඒකට මුලින්ම දේශපාලනය කියන කරුණේ දී තමන් ඉන්නේ කොතැනද කියන කරුණ වටහා ගන්නට ඕනෑමයි. දේශපාලන සිරගෙයක් ඇතුළේ සිය කැමැත්තෙනම් සිරගත වෙලා ඉන්න කෙනෙකුට කූඩුවේ දොර හරින යතුර අතට දුන්නත් වැඩක් නැහැනේ. හරියට අර මාක්ස් කිව්වා වගේ වහල් භාවයෙන් මිදෙන්නට නම් මුලින්ම කරන්නට ඕනේ තමන් වහළෙක් බව හදුනා ගන්න එකයි. එක් එක් දේශපාලන අනාථයන් වෙනුවෙන් කණ වැල අල්ලන්ට නොගිහින් යමක් තර්ක ඥානයෙන් විමසා බලා හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින්නට උත්සාහ කරනවා නම් ඔබව තව දුරටත් මෝඩයාට අන්දන්නට කිසිම දේශපාලකයකු සමත් වෙන්නේ නැහැ. සරලව කියනවා නිල් රතු කොළ පාට ඇස් කන්නාඩි වලින් නොබලා දූෂකයා දූෂකයාම විදියට දකින්නට තරම් අපේ ඇස් පෙනීම දියුණු කරගැනීම කියන කරුණයි ඒ. එහෙම වුණොත් ඕනැම තක්කඩි දේශපාලකයෙක් වර්ණ අන්ධතාවයකින් තොරව හදුනා ගන්නට අපිට හැකිවේවි.

ඔබ ‍බුදුදහම අනුගමනය කරන්නෙක් නම් මේ කරුණේ දී කාලාම සූත්රය තරම් වටිනා වෙනත් කිසිවක් ඔබට කොයි කවර තැනකින්වත් සොයා ගන්නට නොහැකි වේවි. තමන්ගේ තර්ක ඥානය අන් දේවල්වලින් යටපත් කරගන්නට ඉඩ නොදිය යුතු බව බුදුන් වහන්සේ දේශනා කළේ නවීන පර්යේෂණවලින් මේ කරුණු හෙළිදරව් වන්නට අවුරුදු දහස් ගණනකට පෙරයි. තමන්ගේ විචාර බුද්ධිය පාවිච්චි කිරීමේ දී ඔබ කිසිවකුගේත් චින්තනමය වහළෙක් වන්නට ඇවැසි නැහැ. ඒකට හේතුව මහාචාර්යවරුන් , ආචාර්යවරුන් කියන ඔය කොයි කවුරුත් දේශපාලනය කියන කරුණේ දී දුගද හමන මඩ වගුරක එරිලා ඉන්න නිසයි. ඒ වගේම ලංකාවේ දේශපාලනයේ දී බෙහොම ඉක්මණින් හිත පපුව පිච්චිලා යන තවත් කොටසක් ඉන්නවා. ඒ තමයි කලාකරුවන් කියන පිරිස. මේ කියන්නේ හැමෝම ගැන නෙමෙයි. තමන්ගේ හෘදය සාක්ෂියට එකගව කටයුතු කරන අවංක කලාකරුවන් පිරිසකුත් වාසනාවකට වගේ තවමත් ඉතිරි වෙලා හිටයත් බහුතර පිරිස ඒ කලාකරුවන්ගෙන් බැහැර වෙච්ච “නලාකරුවන්” පිරිසක්. ආණ්ඩුවේ සැරසිලිකාර උත්සව වලට නැටුමක් දෙකක් පෙන්නලා කෝටි ගණනින් මුදල් හම්බ කරගත්ත පිරිසකට ඒ මුදල් කුට්ටි අහිමි වෙලා යද්දී මහා ලොකු මානව දයාවක් මතුකරගෙන ඉදිරියට එන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. පිනට පඩි ගන්න ලැබෙන ජනාධිපති උපදේශක තනතුරක්, සංස්ථා සභාපතිකමක්, මහ ඇමැති තනතුරක් වගේ ලොකු ලොකු දේවල් වෙනුවෙන් වගේම තමන්ගේ ටෙලි නාට්ටියක් හොදම වෙලාවේ රූපාවාහිනියේ පෙන්වා ගැනීම, තමන්ගේ සිංදුවක් දෙකක් නිතර නිතර ගුවන් විදුලියේ ප්රචාරය කරවා ගැනීම වගේ අරමුණු මිසක් මේ නලාකාරයන්ට වෙනත් මානව හිතවාදයක් නැහැ. හිටපු ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසු පැවැති කලාකාර හමුවකදී එක්තරා ගායිකාවක් සියලු දෙනා ඉදිරියේ පැවසුවේ “ගහලා හරි ආපහු ආණ්ඩුව ගන්නයි තිබුණේ” කියලයි. ඇගේ මිහිරි කටහඩ යට සැගවී ඇත්තේ කෙතරම් ම්ලේච්ඡ වූ මනසක්ද යන්න වටහා ගන්නා එයම ප්රමාණවත්. අරලිය ගහ මන්දිරයේ ගේට්ටු කඩන්නට උත්සාහ ගන්නා තවත් කෙනෙක්ට අඩුම තරමින් තමන්ගේ කසාදයවත් රැකගන්නට ශක්තියක් නැහැ. තවත් එක්තරා ගායිකාවක් පහුගිය ජනාධිපතිවරණයේ දී කිව්වේ තමන්ගේ පුතණුවන්ට ජනාධිපතිගෙන් හාද්දක් අරගෙන දීම තමන්ගේ එකම සිහිනය වූ බවයි. අප ජීවත්වන කොදෙව්ව පුරා පය ගසා සිටින්නේ මෙවන් වූ කලාකරුවන් පිරිසක්ය. ජනාතාවට තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරන්නට උගන්වන්නේ මෙවන් වූ අංගවිකල කලාකරුවන් පිරිසක්ය.

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන රොනල්ඩ් රේගන් වරක් අපූරු අදහසක් ලොවට කිව්වා. ඒ කියන්නේ ලොව පැරණිතම වෘත්තියත් දේශපාලනයත් අතර අතිශය සමාන සමීපකමක් තියෙනවා කියලා. (Politics is supposed to be the second-oldest profession. I have come to realize that it bears a very close resemblance to the first. ~Ronald Reagan) ලංකාවේ දේශපාලකයන් අතළොස්සක් හැරෙන්නට අනෙක් දේශපාලක නඩය ගත්තම මේ කියමන හරියටම හරි. ඒත් මට හිතෙන විදියට ලොව පැරණිතම වෘත්තියේ දී විකුණන්නේ තමන්ගේ සිරුර පමණයි. ඒත් ලාංකීය දේශපාලකයා කියන්නේ තමන්ගේ ආත්මය පවා විකුණන චරිතයක්. ඊළග ඡන්දය ගැන මිසක් ඊළග පරපුර ගැන හිතන දේශපාලකයන් අපේ රටේ හොයා ගැනීම හරියට හදේ හාවෝ හොයන්නට යනවා වගේ වැඩක්.

මේ නිසා බල තණ්හාවෙන් වියරු වැටුණු දේශපාලකයන්ගේ අරමුණුවල වහලුන් බවට පත්වෙලා තමන්ගේ තර්ක බුද්ධිය ඒ ඒ දේශපාලකයන් වෙනුනේ සින්නක්කරව ලියා දීම තමන්ගේ මිනිස්කමටත් කරගන්නා නිගාවක්. ඇයිද කියනවා නම් මිනිසුන් තිරිසනුන්ගෙන් වෙන් කරලා හදුනා ගන්න මූලිකම සාධකය මේ තර්ක බුද්ධියම වන නිසා. රජයේ සේවකයන් ගස් බැද පහර දෙන පාහර දේශපාලකයන් තමන්ගේ පක්ෂයේ සිටියදී මුනිවතින් ඉවසන කෙනෙක් ඔහු වෙනත් පක්ෂයකට ගිය වහාම කෑමොර දෙන්නට දගලන්නේ ඔය වැනි මානසිකත්වයක් ඇති වුණාම තමයි. තමන්ගේ ආණ්ඩුවේ සියලු දූෂිත හොර මැරකම් සිල්ගත් පරිද්දෙන් ඉවසා සිටිමන් අනෙක් පක්ෂයේ කුණු රොඩු අවුස්සන්නේත් එවැනි මානසිකතව්යකින් තමන්ගේ තර්ක බුද්ධිය මුලුමනින්ම වෑසී ගියාමයි.

පොදුවේ ගත්තම දේශපාලන පාදඩයන්ට, දූෂකයන්ට, කොමිස් හොරුන්ට නිල් රතු කොළ පාටක් තියෙන්නට බැහැ. කුමන පක්ෂයේ සිටියත් දූෂකයා දූෂකයාමයි. පාදඩයා පාදඩයාමයි. අමනයා අමනයාමයි. බොහොම කාලයකට ඉස්සර බැලුව ධර්මසිරි බණ්ඩාරනායකගේ “ඒකා අධිපති” වේදිකා නාට්ටියේ එක්තරා දෙබසක් තවමත් මතකයේ තියෙනවා “මේ වගේ උන් වදාපු ගර්භාෂය තව දුරටත් වදාවි”. දේශපාලන ගැතිකමින් හරි වැරැද්ද තෝරා බේරා ගන්නට නොහැකි වුණොත් සිදුවන්නේ එවැනි පරපුරකට රටේ පාලනය උරුම වීමයි.

මේ නිසා මේ ලැබිලා තියෙන්නේ බොහොම කාලයකින් අපට ලැබෙන්නට යන හරිම අපූරු අවස්ථාවක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්නට ලැබෙන අවස්ථාවක්. දේශපාලන වහල් භාවයෙන් අන‍්ධවෙලා ඒ අවස්ථාව අප අහිමි කරගත්තොත් අනාගතයේ දී අපට සාප කරනු ඇත්තේ අපේම දූ දරුවන් බව පමණක් අමතක කළ යුතු නැහැ.

ඔබේ කාලයට ස්තුතියි…!

imgp9389-13ළමා කා‍ලයේ තමන් හැදුණු වැඩුණු කුඩා ගම්මානයෙන් පිටවෙලා නගරයට ඇවිත් අවුරුදු ගණනාවක්ම ගතවෙලා ගිහින්. නගරයේ කලබලකාරී වාතාවරණයත් එක්ක ගම්මානයේ මතකයන් විතරක් නෙමෙයි තමන්ගේ එකම පුතා සහ බිරිද සමගවත් විවේකීව කාලය ගත කරන්නට තරම් ඉඩ කඩක් ජැක්ට තිබුණේ නැහැ.

“ රොබට් අන්කල් නැති වුණා. අන්තිම කටයුතු බදාදා ”අම්මාගේ දුරකථන ඇමතුම ආවේ හදිසියෙන්.

ඒ දුරකථන ඇමතුමත් එක්ක අතීත මතකයන් ජැක්ගේ හිතේ හොල්මන් කරන්නට වුණේ ඔහුටත් නොදැනීමයි.

“ පුතේ ඔයා අහගෙන ද ඉන්නේ…? ”අම්මා ඇහුවා.

“ ඔව් අම්මේ…ඒත් ඇත්තටම කියනවා නම් මම හිතුවේ රොබට් අන්කල් දැනටමත් නැතිවෙලා කියලයි.”

“ රොබට් අන්කල් හැමදාමත් හමුවුණාම ඔයා ගැන අහනවා. ඔයා ඒ දවස්වල එයාගේ වත්තේ වැටට එහා පැත්තේ ඉදන් එයත් එක්ක කතා කර කර හිටපු හැටි ගැන එයා හැමදාමත් ආදරෙන් මතක් කළා.. ”අම්මා කිව්වා.

“ ඔව් අම්මේ …රොබට් අන්කල් හිටපු ඒ පරණ ගෙදර මට තාම මතකයි.. මම ඒ ගෙදරට ආසයි ”
“ ඔයා දන්නවද පුතේ… තාත්තා නැති වුණාට පස්සේ එයා ඔයා ගැන හුගක් හිතුවා. ඔයාට හොද අනාගතයක් ඇති වෙනවා දකින්න එයාට හැමදාමත් ඕන වුණා. ”

“ ඔව් අම්මේ… එයා තමයි මට පොත් පත් ගැන උනන්දුවක් ඇති කළේ. එයා හුග කාලයක් ගත කළා පොත් පත් ගැන කරුණු මට කියලා දෙන්න. එයා නොහිටින්න මම අද මේ නතතුරේ නොහිටින්න ඉඩ තිබුණා…අම්මේ මම කොහොම හරි හෙට උදේම මෙහෙන් එන්නම් රොබට් අන්කල්ගෙ අවසන් කටයුතුවලට සහභාගි වෙන්න. ”

කොයි තරම් වැඩ රාජකාරි තිබුණත් ජැක් ඊළග දවසේ උදෙන්ම තිබුණු ගුවන්යානයකින් තමන් ඉපදුණු ගම්මා නයට ගියා. රොබට් අන්කල්ගේ අවමංගල උත්සවය තිබුණේ බොහොම චාම්ව, නිහඩව.රොබට් අන්කල්ට දරුවන් හිටියේ නැහැ. ඒ වගේම ඔහුගේ නෑ හිතවතුන් බොහොම දෙනෙක් ඒ වෙනකොටටත් මිය ගිහින් හිටියේ.

බොහොම කාලයකට පස්සේ ගම්මානයට ආව නිසා ජැක්ගේ හදවත පුරාම අතීත මතකයන්ගෙන් පිරුණා. අවමංගල උත්සවයෙන් පස්සේ හවස් වරුවේ ජැක් අම්මත් එක්ක රොබට් අන්කල්ගේ නිවසට ගොඩ වැදුණේ අතීත මතකයන් අවදි කරගන්නත් එක්කයි. ඒ පැරණි නිවසේ හැම දෙයක්ම වගේ පරණ විදියටම තිබුණා. බිත්තියේ එල්ලා තිබූ පින්තූර ඒ තැන්වලම තිබුණා. හැම ගෘහ භාණ්ඩයක්ම ඒ වගේම තිබුණා. නිවසේ ඇවිද ගිය ජැක් එක තැනකදී නතර වුණේ හදිසියේමයි.

“ ඇයි පුතේ…” අම්මා ඇහුවා.

“ අර පෙට්ටිය නැහැ… ”

“ මොන පෙට්ටිය ද ..? ”අම්මා පුදුමයෙන් ඇහුවා.

“ මෙතැන කනප්පුව උඩ රත්තරන් පාට ගාපු ලස්සන පොඩි පෙට්ටියක් තිබුණා. මම සිය වාරයකටත් වඩා රොබට් අන්කල්ගෙන් අහලා තියෙනවා ඒ පෙට්ටිය ඇතුළේ තියෙන්නේ මොනවාද කියලා. ඒත් එයා මට කිව්වේ ඒක ඇතුළේ තියෙන්නේ එයාට ජීවිතේ වටිනාම දේ කියලා විතරයි. ”

රොබට් අන්කල්ගේ නිවසේ සියලුම දේ ඒ විදියටම තියෙද්දී ඒ පෙට්ටිය විතරක් එතැන නැති වුණේ ඔහුගේ පවුලට සමීප කෙනෙක් එය රැගෙන යන්නට ඇති නිසා යැයි ජැක්ට හිතුණා.

“ අපරාදේ දැන් මට ආයේ කිසිදාක දැන ගන්න ලැබෙන්නේ නැහැ එයාට ඒ තරම්ම වැදගත් වෙච්ච දේ මොකක්ද කියලා… ”ජැක් පසුතැවිලි වුණා.

රොබට් අන්කල්ගේ අවසන් කටයුතුවලට සහභාගි වෙලා සතියකට විතර පස්සේ එක්තරා දවසක ජැක්ට පාර්සලයක් තැපෑලෙන් ලැබිලා තිබුණා. ඒ පෙට්ටිය දුර්වර්ණ වී තිබුණා. අත් අකුරුත් හදුනන්න බැරි තරමට අපැහැදිලියි. එත් ආපසු ලිපිනයට රොබට් කියන නම දැක්ක ගමන් ජැක් විස්මයට පත්වුණා. ඔහු ඒ මොහොතේම පෙට්ටිය විවෘත කළා. ඒ ඇතුළේ තිබුණේ ජැක්ට හුරු පුරුදු ඒ රන්වන් පැහැති කුඩා පෙට්ටිය සහ ලියුම් කැබැල්ලක්.

“ මගේ මරණයෙන් පසු මේ පෙට්ටිය ජැක් ස්මිත්ට යවන්න. මගේ ජීවිතයේ දී මට වැඩියෙන්ම වැදගත් වූ වස්තුව මේ තුළ ඇති දෙයයි. ”

ලියුමේ සදහන් කර තිබුණේ එපමණයි. ඒ සමගම කුඩා යතුරක් ද ලියුමට අමුණා තිබුණා.
ජැක් ගැහෙන හදවතින් සහ සැලෙන දෑතින් යුක්තව යතුර ගෙන ඒ පෙට්ටිය විවෘත කළා. කදුලුවලින් ඔහුගේ දෑස ඒ වනවිටත් තෙත් වී තිබුණා.

පෙට්ටිය ඇතුළේ තිබුණේ අලංකාර රන්වන් අත් ඔරලෝසුවක්.

“ ජැක් ඔබේ කාලයට ස්තුතියි…! ”ඔරලෝසුව යට පැත්තේ සියුම්ව කොටා තිබුණා.

“ ඔහුගේ ජීවිතයේ වටිනාම වස්තුව මා ‍ඔහු සමග ගත කළ කාලයයි. ”ජැක්ට කියැවුණේ නොදැනුවත්වමයි.

ඔරලෝසුව දෙස මොහාතක් නෙත් හෙළා බලා සිටි ජැක් එකවරම තමන්ගේ ලේකම්වරිය ජැනට්ට දුරකථන ඇමතුමක් ගත්තා.

“ ඉස්සරහ දවස් දෙකේ මට තියෙන ඇපොයිමන්ට්ස් ඔක්කොම කැන්සල් කරලා දාන්න. ”
“ ඒ ඇයි ”ලේකම්වරිය පුදුමයෙන් ඇහුවා.

“ මට ඕනේ මගේ පුතයි නෝනයි එක්ක නිදහසේ කාලය ගත කරන්න… ”ජැක් කිවුවා. “ ජැනට් ඔයාගේ කාලයටත් බොහොම ස්තුතියි ”

(අන්තර්ජාලය ඇසුරින් පරිවර්තනය කරන ලදී)

මුරුගසං වරුසාවට ‍තෙ‍මෙන්නට පෙර…

අතීතයේ දවසක එක්තරා සති අන්ත ජාතික පුවත්පතක් ලංකා‍වේ නමගිය නලුවෙකු එක්ක කළ සාකච්ඡාවක් ගැන අහම්‍බෙන් මට මතක් වු‍ණේ ජනාධිපතිවරණ‍යෙන් පසුව කියවන්න ලැබුණු පුවතක් නිසයි. ‍ ඇත්තටම කියනවා නම් ‍මේ නලුවා කවුරුන්ද කියන එක මතක‍යෙන් හරිහැටිම ‍තෝරා ‍බේරා ගන්න අමාරු වුණත් ඔහු ලංකා‍වේ ප්‍රවීණ නලු‍වෙකු බව නම් හි‍තේ රැදිලා ති‍යෙනවා. පුවත්පත් සාකච්ඡාවට පදනම් ‍වෙලා තිබු‍ණේ සිනමා කටයුත්තක් සදහා මෑතකදී ඔහු කළ වි‍දේශ සංචාරයක් ගැනයි. සංචාරයේ දී මුහුණ දුන් අත්දැකීම් අත‍රේ තමන්ට අමතක ‍නොවන සිදුවීමක් ද ඔහු විස්තර කර තිබුණා.  එනම් එරට සිටි සිය මිතු‍රෙකුත් එක්ක සුපිරි ‍වෙ‍ළෙද සැලකට ‍ගොඩ වැදුණු  ‍මො‍හො‍තේ ‍සෙසු පාරිභෝගිකයන් එක්ක එළවලු ‍තෝරමින් සිටි මිනි‍සෙකු ‍පෙන්වමින් “ඒ අ‍පේ ර‍ටේ අගමැති” යැයි මිතුරා කී‍මෙන් තමන් මවිතයට පත් වුණු ආකාරයයි. ඔහු සදහන් කළ රට ඕස්ට්‍රේලියාව ‍හෝ නවසීලන්තය යන රටවල් ‍දෙ‍කෙන් එකක් බව මට යාන්තමට මතකයි. ඒ තරම් සුවිසල් බලගතු රටක ඉහළම පුරවැසියා තමන් අත තිබූ ලැයිස්තුවක් ‍බලමින් එළවලු ‍‍‍‍තෝරන මේ දර්ශන‍යෙන්  තමන් අතිශයින්ම පුදුමයට පත් වුණත් ‍වෙ‍ළෙද සැ‍ලේ හිටිය කාටවක්වත් ඔහු ගැන ගාණක් මිම්මක් ‍නොවූ බවත් ඔහු සදහන් කර තිබුණා.

ස්වාසිලන්තය ව‍ගේ ගෝත්‍රික සමාජවල වෙසෙන ජනතාවට ‍මේ ව‍ගේ තත්ත්වයක් ‍තේරුම් ගන්න අමාරු බව පුදුමයකට කාරණාවක් ‍‍නෙ‍මෙයි. ඒ ව‍ගේම ‍කොල්ලකරුවන් පිරිසක‍ගේ පාලනයකට යටත්‍ ‍‍වෙලා ති‍යෙන ‍සෝමාලියාව ව‍ගේ රටවල ජනතාවටත් ‍මේ ව‍ගේ තත්ත්වයක් ‍තේරුම් ගන්න අමාරු බව පුදුමයක් ‍නෙ‍මෙයි. ඒත් කණගාටුවට කාරණය නම් විධායක ජනාධිතිවරුන්‍‍ගේ බලතලවල උණුසුමින් දැ‍වෙන දූපත්වාසීන් ‍වෙන අපිටත් ‍මේ ව‍ගේ සිදුවීම් ‍‍තේරුම් ගන්න ආමරු වීමයි.

‍‍මේ පුවත්පත් සාකච්ඡාව අහම්‍බෙන් ව‍ගේ මතකයට ආ‍වේ ජනාධිපතිවරණ‍යෙන් පස්‍සේ දැක්ක පුවතක් නිසයි. ජනාධිපතිවරණ‍යෙන් ජයගත් අලුත් ජනාධිපතිවරයා රැගත් වාහන ‍පෙළ මහනුවරදී කහ ඉ‍රෙන් පා‍ර මාරු වන පදිකයන් ‍වෙනු‍වෙන් නවතා ලීමයි ‍මේ පුවත වු‍‍ණේ. ‍මේ සිදුවීම දුටු පා‍රේ සිටි පිරිස අත්පොළසන් දුන් බවකුත් පුව‍තේ සදහන් ‍වෙලා තිබුණා. වාහනයක් කහ ඉර ළග නතර කිරීම ව‍ගේ ‍බො‍හොම සරල නීතියක් ජනාධිපතිවරයා පිළිපැදීම පුවතක් වන‍්නේ ‍කො‍හොමද කියන එකත් ඒ ව‍ගේම ඒ ‍වෙනු‍වෙන් මිනිසුන් අත් පොළසන් ‍දෙන මට්ටමකට පත්‍ ‍වීමත් මගින් කියා පාන්නේ  අ‍පේ රට අද ‍වෙන‍කොට තවත් ස්වාසිලන්තයකට එ‍හෙමත් නැතිනම් ‍නීතියක් අහිමි වී ගිය ‍තවත් ‍සෝමාලියාවක් බවට පත්‍ ‍වෙලා ති‍යෙන කාරණය ‍නේද කියන එක ඔබටත් හි‍තෙනවා ඇති. ජනාධිපතිවරයා ර‍ටේ සරල නීතියත් පිළිපැදීම පුවත්පතක මුල් පුවතක් නිර්මාණය කරන රටක යහ පාලනයක් ඇති කරන්නට යාම ඒ අතින් බැලුවාම හිනාවට කාරණයක්. ඒකට ‍හේතුව අඩුම තරමින් යහ පාලනයක හැඩ රුව ‍මොන ව‍ගේදැයි කියන හැගීම පවා දූපත්වාසී අ‍පේ හිත්වලට සමීප ‍‍වෙලා නැති නිසයි.

‍‍සංවර්ධන‍යේ මුදුන් ‍පෙත්තටම නැග සිටින ‍ලෝක‍යේ ඉහළම රටවල් දිහා බැලුවාම ඒ හැම රටකම දියුණු‍වේ පිටුපස ති‍යෙන්‍නේ නීති‍යේ ආධිපත්‍යය සුරක්ෂිත වීම බව ‍හොදටම ‍පේන්න ති‍යෙනවා. ඇමරිකාව , කැනඩාව, ඕස්‍ට්‍‍රේලියාව, නවසීලන්තය පමණක් ‍නො‍‍වෙයි යු‍රෝපයේ සෑම රටක් ගත්තමත් ඒ ර‍ටේ පාලකයා කියන්‍නේ නීතියට යටත් පුරවැසි‍යෙක් මිසක් නීතියට පිටින් වැඩ හිටින ‍දේවතා‍වෙක් ‍නෙ‍මෙයි. මේ නිසාම නීතිය ඉදිරි‍යේ කවුරුත් සමානයි. සරලම උදාහරණයක් ගත්‍‍තොත් උපන් දා ඉදන්ම දිවි ‍ගෙවූ මව්බි‍මේ දී වාහනයක් පදවා ‍ගෙන යද්දී දැ‍නෙනවට වඩා නිදහසක් ව‍ගේම සුරක්ෂිතකමක් මා දිවි‍ගෙවන වි‍දේශ ර‍ටේ දී වාහනයක් පදවා‍ගෙන යා‍මේදී මට දැ‍නෙනවා. ඒකට ‍හේතුව මව් බි‍මේ දී කා‍ගේ ‍හෝ වැරැද්දකින් වාහනය අනතුරට ලක් වු‍ණොත් නීතිය ක්‍රියාවට නැ‍ගෙන්‍නේ බලවතා‍ගේ පැත්තෙන් නිසයි. ‍මේ බලවතා ‍බිම් මට්ට‍මේ ‍හෝ ‍දේශපාලකයකු වු‍ණොත් වාහනය අනතුරට ලක්වුණු තැනැත්තාට විද ගන්නට සිද්ධ ‍වෙන්‍නේ අලාභය විතරක් ‍නෙ‍මෙ‍යි. ‍‍පොලිසි‍‍යෙන් නින්දා අපහාස,  උසාවි‍යෙන් දඩ මුදල් තවත් ‍‍මෙකී ‍නොකී සියලු අතුරු අන්තරාවලට මුහුණ ‍දෙන්නට තමයි සිද්ධ ‍වෙන්‍නේ. ඒත් නීති‍යේ බලය නිසි ‍ලෙසින්ම පිළිපදින වි‍‍දේශයක දී නම් ඔ‍බේ වාහනය අනතුරට ලක්වු‍ණේ අගමැතිවරයා‍ගෙන් වුණත් නීතියේ රැකවරණය ඔබට ‍නොඅඩුව ලැ‍බෙන බව සහතික ‍ලෙසින්ම කියන්නට පුලුවන්.

විධායක ජනාධිපතිවරයා කියන තනතුර ‍මේ තරම්ම ‍දේවත්වයෙන් පිදුම් ලබන මට්ටමට ‍ගෙන එන්නට ජාතියක් විදියට අපි නිවට වු‍ණේ ‍කො‍හොමද කියන එක ඇත්‍‍තෙන්ම හිතා බලන්න ඕ‍නේ කාරණයක්.  ‍මේ ‍දේශපාලන පිළිකාව අ‍පේ සමාජ දේහ‍යේ ‍කොයි තරම් ඔඩු දුවලා ද කියලා කියනවා නම් මහජනතාව ‍දහස් ගණනින් රැස්‍ව ඉන්න ‍වේදිකාවල දී පවා මැති ඇමතිවරුන් සිය ‍කොන්ද ‍දෙකට හතරට නවමින් විධායක ජනාධිපතිවරයා ඉදිරි‍යේ වැද වැ‍ටෙන  දර්ශන පහුගිය කාල‍යේ ‍නොඅඩුවම දකින්නට ලැබුණා. රජයේ නිලධාරීන් ඇමතිවරුන් දුටු පමණින් ‍කොන්ද වකුටු කරගනිමින් වැද වැටෙන දර්ශනත් ඕනෑ තරම් දකින්නට ලැබුණා. රජ‍යේ පත්වීම් ලබන උපාධිධාරීන් මහ දවල් කිසිම හිරිකිතයක් ‍නැතිව ඇමතිවරුන් ඉදිරි‍යේ දණ ගසා වදින හැටිත් රූපවාහිනි‍යේ නිතර දකින්නට ලැබුණා. ‍නාගරික මන්ත්‍රිවරයකු ‍පොලිසියට ‍ගොඩ වූ සැනින් සිය ආසනය දී එකත් පස්ව සිටින ‍පොලිස් ස්ථානාධිපතිවරුන් බිහිවුණු රටක නීතිය ගැන කවර කතාවක් ද? ‍‍නීති‍යේ ආධිපත්යය ‍මේ තරම්ම සුනාමියකට ලක්කළ පාදඩ ‍දේශපාලන සංස්කෘතියක් ඉතිහාස‍යේ ‍කොයි කවරදාවත් අපට තිබු‍ණේ නැහැ.

‍ලංකාව නම් වූ ‍මේ පුංචි දූප‍තේ විධායක ජනාධිපතිවරයා සියලු බලතල සහිත සක්විති ර‍‍ජෙක් බවට පත්වී‍මේ විහිලුව පහුගිය අවුරුදු කිහිපය තුළ දී ‍කොයි තරම් උත්සන්න වුණා ද කියනවා නම් අයි‍‍බෝ ‍වේවා මහරජා‍ණෙනි  ‍ලෙසින් ගැයූ ගායිකාව‍ගේ නමින් පාරක් පවා විවෘත වුණා. ලාංකීය ලකුණ ‍ලොවට ‍හෙළි කළ විරල ගණ‍යේ පඩිවරයකු වූ ආනන්ද කුමාරස්වාමි‍ගේ නමින් තිබූ මාවත්වල නම් ගලවා දමමින් එකම එක සිංදුවක් කී ගායිකාව‍ක‍ගේ නමින් මාවත් විවර ‍වීම නිහඩවම විද දරා ගන්නා යටත් වැසියන් පිරිසයක් සිටීම ර‍ජවරුන්ගේ පැත්‍තෙන් බැලූ විට සැබෑම වාසනාවක්. ඒත් නූතන ‍‍ලෝක දේශපාලන ධාරාව තුළ ර‍ජෙක් කියන්‍නේ මහජනතාව‍ගේ සිතුම් පැතුම් විනාශ කර දමන ප්‍රජාතන්ත්‍ර වි‍රෝධී ගමනක නිරත වන පුද්ගලයකුට කියන එක ඒ ගායිකාවවත්, සිංදුව ලිවුව රචකයාවත් දන්‍නේ නැතිව ඇති. ‍‍‍දියුණු ‍දේශපාලන සංස්කෘතීන් ඇති රටවලින් රජ පවුල් සංස්කෘතිය නැත්තටම නැති වී ඇත්තේ ඒ නිසයි. එක්සත් රාජධානි‍යේ රැජින සංස්කෘතිමය සළකුණක් මිසක් ර‍ටේ පාලනයට සෘජුව බලපාන සාධකයක් ‍නෙ‍මෙයි.

‍ලෝක‍යේ බලගතුම ‍දේශපාලන නායකයා බවට නිතරග‍යෙන් පත්ව ඉන්න ඇමරිකානු ජනාධිපතිවරයා පවා ර‍ටේ නිතියට යටත් පුරවැසි‍යෙක්. ‍‍ලොව බලගතුම රාජ්‍ය නායකයා වුණත් ඔහු ‍සාමාන්‍ය ජීවිත‍යේ දී සෙසු ඇමරිකානු පුරවැසියන් සමග සම්බන්ධ ‍වෙන්‍නේ තවත් ඇමරිකානු‍වෙක් විදියට විතරයි. එක්තරා ආයතනයකට ඔහු ‍ගොඩ වැදුනු වි‍ටෙක ඔහු‍ගේ අනන්‍යතාව තහවුරු කරන්නට සිය හැදුනුම්පත ඉදිරිපත් කරන වීඩි‍‍යෝවක් මෑතකදී දකින්නට ලැබුණා. ඒ ව‍ගේම හදිසි ගමනක් යාමට ‍හෙලි‍කොප්ටරයට ‍ගොඩ වැදුණු පසුවත් නැවත යාන‍යෙන් බැස ‍ගොස් පිටත සිටි හමුදා භට‍යෙකුට ආචාර කර පැමිණි ආකරයත් ඒ විදියේම වීඩි‍යෝවක්  රූපවාහිනි‍යේ ප්‍රචාරය වුණා. වි‍දේශ කුමන්ත්‍රණ කියමින් ‍තොල් මතුරමින් සිටින කාල‍යෙන් ‍කොටසක් වැය කරලා යහපත් ‍දේ යහපත් විදියට බලන්නට පුරුදු ‍වෙන්නට දැන්වත් අප ප්‍රමාද නැහැ.

obama

සිය අනන්යතාව ‍පෙන්වීමට හැදුනුම්පත ඉදිරිපත් කරන ජනාධිපති ඔබාමා

 

එක්සත් රාජධානි‍යේ අගමැති ‍ඩේවිඩ් කැමරන් ජීවත් ‍වෙන්‍නේ සාමාන්‍ය නිවාසයක. ඒ ව‍ගේම අගමැති කාර්යාලයට යන්න කැමරන් ‍පොදු දුම්රිය ‍සේවාව පවා පාවිච්චි කරනවා. ‍අවස්ථාව ලද හැම විටකම සිය සිගිති දියණිය පාස‍ලෙන් ගන්නට ‍සෙසු පියවරුන් ‍මෙන්ම පාසලට පවා යනවා.

cameron 2

එක්සත් රාජධානි‍යේ අගමැතිවරයා මගී දුම්රියක නැගී සේවයට යමින්

‍කෝටි හයක ‍වෙච්ච ඉතාලි ජනතාවට නායකත්වය ‍දෙන ඉතාලි අගමැති Matteo Renzi ‍පො‍ළො‍වේ පය ගහලා ඉන්න තවත් ‍‍දේශපාලඥ‍යෙක්. ෆ්ලොරෙන්ස් හී නගරාධිපති හැටියට, ටොයිලට් පේපර්ස්වල වියදම දක්වා අන්තර්ජාලය තුලින් ජනතාවට දැනගන්නට සැලැස්වීමෙන් පෙන්වන ලද විනිවිදභාවය සහ පරිපාලනය නිසා කිසි දිනක පාර්ලිමේන්තුවට ගොඩනොවී තිබූ 39 හැවිරිදි මේ තරුණ නායකයාට ඉතාලියේ අගමැති පුටුව හිමිවු‍ණේ ඔහු ර‍‍‍ජෙක් වන්නට හි‍නෙකින්වත් ‍නොසිතූ හින්දයි.

‍ලෝක‍යේ දුප්පත්ම ජනාධිපති විදියට සැලකෙන උරුගුවේ ජනාධිපති 78 හැවිරිදි José Mujica  ජීවත් ‍වෙන්‍නේ තමන්‍‍ගේ බිරිදට හිමි ‍ගොවිපලක තනි කාමරයේ පුංචි ‍ගෙදරක. ජනාධිපතිවරයා ‍විදියට තමන්ට ලැ‍බෙන වැටු‍පෙන් සියයට අනූවක්ම ඔහු වැය කරන්‍‍නේ සුභ සාධක වැඩවලට. මිලියන 3.3 ක් ජීවත් වන උරුගු‍වේ ඔහු‍ගේ පාලනය තුළ දී දූෂණ‍යෙන් ‍තොරවූ ඉතාම සාමකාමී සහ ජීවන තත්ත්වය උසස් වූ එමෙන්ම මාධ්‍ය නිදහස සුරකින පළමු ලතින් ඇමරිකානු රට බවට අද පත්‍ ‍වෙලා ති‍යෙනවා. ‍මේ නිසාම José ‍කියන්‍නේ ‍ර‍ජෙක් යැයි ‍පුරවැසියන්ට ‍නොසි‍තෙන සැබෑ ජනහිතකාමී ර‍ජෙක් මිස කිසි‍සේත්ම දුප්ප‍තෙක් ‍නෙ‍මෙයි. ඒත් ‍මෙතැනදී ර‍ජ කියන වචනය පාවිච්චි ‍වෙන්නේ දූපත්වාසීන් වන අපිට අද දව‍සේ හුරු‍වෙලා තියෙන විධායක බලතල ඇති ර‍ජකු ගැන නම් ‍නෙ‍මෙයි කියන එකත් සිහිපත් කරන්න ඕ‍නේ.  ‍‍කෝටි අනූවකට අධික ‍දේපළක් තිබුණු මෑතකදී මිය ගිය සවුදි අරාබි‍යේ රජ අබ්දුල්ලාට අන්ති‍මේ දී ඉතිරි වු‍ණේ මහ පොළො‍වේ හතර රියන පමණයි.  José ව‍ගේ නායකයන් මේ තත්තවය තේරුම් අරන් තිබුණත් අපේ සක්විති රජවරුන්ට නම් කිසිදාක ‍තේරුම් ගන්නට අමාරු වන්‍නේත් මේ සරල කාරණයමයි.

uruguway2

උරුගු‍වේ ජනාධිපතිවරයා සිය දිළිදු නිවහ‍නේ

අපේ ‍මේ පුංචි දූප‍තේ විධායක ජනාධිපති ධුරය දරන්නන් විතරක් ‍නෙ‍මෙයි පළාත් සභා‍වේ දේශපාලකයන් පවා මුලු පාරම වසා‍ගෙන වාහන පිරිවරා නගර සංචාරය කරද්දී දූප‍තේ විශාලත්වය නිසාම මහාද්වීපයක් විදියට සැල‍කෙන ඕස්‍ට්‍රේලියා‍වේ බලගතුම පුරවැසියා වන එරට අගමැතිවරයා තමන්ගේ කාර්යාලයට පුෂ් බයිසිකලයක් පැද‍ගෙන යනවා.

ලංකාව කියන දූපත ව‍ගේ 60 ගුණයකටත් වඩා විශාල අසල්වැසි ඉන්දියාව ගත්තත් ‍‍රජතුමා සංකල්ප‍යේ දී නම් අපිට වඩා ‍බෙ‍‍හොම ඉදිරි‍යෙන් තමයි ඉන්‍නේ. හිටපු ඉන්දියානු ජනාධිති ආචාර්ය අබ්දුල් කලාම් ‍මහ මැතිවරණ‍යේ දී පැයකට අධික කාලයක් ඡන්දය දාන්න ‍බො‍හොම නි‍සොල්ම‍නේ ‍පොදු ජනතාවත් එක්ක ‍පෝලි‍මේ ඉන්නේ ඔහු ‍පො‍ළො‍වේ පය ගහලා ඉන්න සැබෑ ජන නායකයකු ‍වෙච්ච නිසයි.

Abdul Kalam

ජනාධිපති කලාම් චන්දය දමන්නට ‍පෝලි‍මේ

‍මේ විදියට උදාහරණ ‍දෙන්න ගි‍යොත් ‍කෙළවරක් දකින්න බැහැ. රජතුමා සංකල්පයට අදින්නට ර‍ටේ පාලනයට එකතු ‍වෙන නායක නායිකාවන් කොයි තරම් සැදී පැහැදී සිටිනවාද යන්න ව‍ගේම විධායක ජනාධිපතිවරයාව සීතාම්බර පට සලුවලින් සරසවන්නට අ‍පේ ජනතාවත් ‍පේවී ඉන්නවා ද කියන එක ජනාධිපතිවරයා අමතන වචන මාලා‍වෙන්ම හිතා ගන්න පුලුවන්. මහා බලගතු ඇමරිකා‍වේ ජනාධිපතිවරයා අමතන්නට Mr. President හැ‍රෙන්නට තවත් වචනයක් ඇමරිකානු ජනතාව‍ගේ ශබ්ද ‍කෝෂ‍යේ නැහැ. කැනඩාව, එක්සත් රාජධානිය, ‍ඩෙන්මාර්කය, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව ‍මේ ආදී ‍මෙකී ‍නොකී ‍බො‍හොමයක් රටවල්වලත් තමන්‍ගේ ර‍ටේ මුල්ම පුරවැසියා අමතන්නට ‍යොදන එකම ‍‍ගෞරවාන්විත වචනය Mr. යන්නම පමණයි. එත් අ‍පේ දූප‍තේ ජනාධිපතිවරයා අමතන්නට මහා ගරු ගාම්බීර වචන ‍කෝෂයක්ම ජනතා ශබ්ද‍‍‍කෝෂ‍යේ ති‍යෙනවා. මරණාධාර සමිතියක එ‍හෙමත් නැතිනම් දායක සභාවක තනතුරු දරන නිලධාරි‍යෙක්ට ගරු කියන වචනය පාවිච්චි කරන්නට වචන‍යේ පරිසමාප්ති‍යෙන්ම අයිතියක් ති‍යෙනවා. ඒ තමන් ඒ තනතු‍රෙන් වැටුපක් ගන්‍නේ නැති හින්දා. ඒත් සියලු විධායක බලතලවලින් සුඛිත මුදිත වුණු ඒ ව‍ගේම ඒ බලතල ජනතා සුභ සිද්ධියට වඩා තමන්‍ගේම යහපතට පාවිච්චි කරන විධායක ජනාධිපතිවරුන්ට අතිගරු අති ‍‍‍ගෞරවණීය උතුමා‍ණෙනි ව‍ගේ වචන පාවිච්චි කරන්‍‍නේ කො‍හොමද කියන එක හිතාගන්නත් අමාරුයි.  2012 පටන් ඉන්දියානු ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජි “Mr President” සංකල්පය ඉන්දියාවටත් හදුන්වලා දුන්නා. එත් අපි තවමත්ඉන්‍නේ වැඩවසම් යුග‍යේ වහල් සමාජ ලක්ෂණවලින් පිරුණු මති මතාන්තර එක්ක.

Mahmoud-Ahmadinejad-bus

ඉරාන‍යේ සිටි බලගුම ජනාධිපතිවරයකු වූ Mahmoud-Ahmadinejad සිය තනතු‍රෙන් ඉවත් වූ පසු තමාට සුපුරුදු ගුරු වෘත්ති‍යේ ‍යෙදීමට මගී බස් රථයක නැගී යන අයුරු

‍කො‍හොම වුණත් පහුගිය ජනාධිපතිවරණ‍යේ දී ජය පැරදුම කාට හිමි වුණත් ‍බො‍‍හොම සාධනීය කරුණු ගණනාවක්ම සිද්ධ වුණු බව නම් ‍පේනවා. මුල්ම කාරණය නම් නව ජනාධිපතිවරයා තමන් තව දුරටත් ර‍‍ජෙක් ‍‍නොවන බවත් තමන් ර‍ටේ ප්‍රධානතම සේවකයා පමණක් බවත් දළදා වහන්සේ වැඩ හිදින භූ‍මි‍යේ දී ම ජනතාවට ප්‍රතිඥාවක් දීමයි. ‍සක්විති රාජ සංකල්ප‍යෙන් සමු අරන් විධායක ජනාධිපති ධුරය මතින් වැඩමවන වැඩවසම් පීඩිත සම්ප්රදා‍යෙන් ර‍ටේ ජනතාව මුදාගන්නට නව ජනාධිපතිවරයාට ශක්තිය ලැ‍බුණොත් ඒක ඇත්‍‍තෙන්ම ජනතාව‍ගේ ජයක්. ඒ ව‍ගේම මහදැනමුත්තන් විදියට හැම ‍දේටම කටත් ‍හොටත් දාන්නට යන නැකැත් කාරයන්ට යන එන මං නැතිවීමත් පහුගිය ජනාධිපතිවරණ‍යේ දී ජනතාව ලබපු තවත් එක් ජයක්. ඒ ව‍ගේම නලාකරුවන් බවට පත්‍ ‍වෙච්ච කලාකරුවන් නඩයකටම ආතක් පාතක් නැති වීමත් ‍‍මේ ජනාධිපතිවරණ‍යේ දී සිද්ධ ‍වෙච්ච සාධනීය ‍දෙයක්. සිංදුවක් ඇහුව පමණින් රැගුමකට අත් ‍පොළසමක් දුන්නු පමණින් උන්‍‍ගේ අත්සනින් එළි දකින නි‍වේදන දිහා බලා‍ගෙන උන් අත දිගුකරන අ‍පේක්ෂකයන්ට ඡන්දය දාන්නට සූදානම් නැති බත් කන මිනිසුන් තවමත් සිටින බව ‍‍හෙළිදරවු වීමත් ‍බො‍හොම ‍හොද ‍දෙයක්.

සැමියා මිය ගිය ‍‍ශෝකයට බිරිදට ඡන්දය ‍දෙන, තාත්තා ගැන හිතා පුතාට ඡන්දය ‍‍දෙන විදි‍යේ මානසිකත්වයක් අ‍පේ ර‍ටේ ති‍යෙන නිසා ඉතිහාසය පුරාම අ‍පේ ර‍ටේ වැඩිම ඡන්ද ගණනාවක් තමන්‍ ‍ගේ මල්ලට පුරවා ගන්නට පුලුවන් වු‍ණේ ‍ශෝක රසය උද්දීපනය කරන්නට පුලුවන් ‍වෙච්ච අයට තමයි. ඒ නිසා අ‍පේ රටේ ඡන්දදායකයා නම්මවා ගන්න පුලුවන් ‍හොදම සාධකය බුද්ධියට වඩා කදුල බවත් අමතක කරන්නට හොද නැහැ. ‍‍මේ නිසා ‍මේ පුංචි දූප‍තේ මිනිසුන් ලවා රජතුමාට අන්දවා ගන්න අ‍පේ ‍දේශපාලකයන්ට හරිම පහසුයි. ඉතිහාස‍යේ මුල්ම වතාවට ඇමරිකා‍වේ ජනාධිපතිවර‍යා විදියට කලු ජාතික‍යෙක් පත් වුණාම ඒ පත්වු‍ණේ කල්ලන්‍ගේ ඡන්ද වලින්ද, එ‍හෙමත් නැතිනම් සුද්දන්‍ ‍ගේ ඡන්ද වලින් ද එ‍හෙමත් නැතිනම් මැක්සිකානුවන්‍ගේ ඡන්ද වලින් ද කියලා ‍හොයලා බලන්න කවුරුවත් සූදානම් වු‍ණේ නැහැ. ඒත් ‍මේ පුංචි දූප‍තේ ජනාධිපතිවරයෙක් පත් වුණාම ඒ පත්වු‍ණේ සිංහල ‍බෞද්ධ ඡන්දවලින්ද, එ‍හෙමත් නැතිනම් ‍දෙමළ මුස්ලිම් ඡන්ද වලින්ද කියලා ඡන්ද සිතියම පාට ගාන්නට ඉදිරිපත් වන මානසික මට්ටමක් ‍ගො‍ඩ නැ‍ගෙන්‍නේ අර කලින් කිව්ව ‍කො‍දෙව් මානසිකත්ව‍යෙන් අපි ‍වෙළා‍ගෙන ඉන්න නිසයි.

King Abdullah

ඩොලර් බිලියන ගණනින් වත්කම් තිබූ සවුදි රජතුමාට අවසාන‍යේ දී ඉතිරි වූයේ මහ ‍පො‍ළො‍වේ‍ ‍මේ හතර රියන පමණි

දිගින් දිගටම ‍මේ කතාව ඇදිලා යන්න කලින් කවුරුත්දන්නා කතාවකින් ‍මේ ලියැවිල්ල අවසාන කරන්න හිතුණා. මේ කතා‍වේ කාලාන්තරයක් පුරා නිගයගයකින් පීඩා වින්ද එක්තරා දූපතක් තිබුණා. අවුරුදු ගණනාවක ‍මේ දරුණු නියග‍යෙන් පස්‍ සේ එක්තරා දිනයක මහා වැස්සක් කඩා හැ‍ලෙන බවත් ‍මේ ඒත් ‍මේ මුල්ම වැස්සට ‍තෙ‍මෙන ‍මිනිසුන් උමතු ‍වන බවත් ‍‍‍බො‍‍හොම දැන උගත් පඩිවර‍යෙක් ඒ දූප‍තේ ඉන්න දූපත්වාසීන්ට අනතුරු ඇ‍ගෙව්වා. (හැබැයි එයා නැකැත් කාර‍යෙක් නම් ‍නෙ‍මෙයි). ඉතින් ඒ පඩිවරයා කිව්ව විදියටම කිව්ව දව‍සේ කිව්ව ‍වෙලාවටම මහා වැස්සක් ඇද වැටුණා. පඩිවරයා අනතුරු අගවලා තිබුණත් කාලයකට පස්‍සේ මහා වැස්සක් ඇද හැලුණු සතුටට මිනිස්සු එළියට ඇවිත් ‍ලොකු සතුටකින් වැ‍ස්‍සේ ‍තෙ‍මෙන්න පටන් ගත්තා. පඩිවරයා විතරයි වැස්සට ‍තෙමු‍ණේ නැත්‍තේ. ‍මේ නිසා වැස්සට ‍තෙ‍මුණු දූපත් වාසීන් හැ‍මෝම උමතු වුණා. ‍මේ වර්ෂාව තමයි උමතුසං වර්ෂාව විදයට හදුන්වන්‍නේත්. ඉතින් දූප‍තේ උමතු නැති ‍කෙ‍නෙක්ට හිටිය එකම එක පුද්ගලයා ‍අ‍පේ පඩිවරයා විතරයි. ඒත් දූප‍තේ හැ‍මෝම උමතු නිසා උමතු ‍නොවුණු පඩිවරයාට හැ‍මෝම පිස්සා පිස්සා කියන්න පටන් ගත්තා. පිස්සන් පිරිසක් මැද්‍දේ ජීවත් ‍වෙන්න බැරි ‍වෙච්ච නිසාම අන්ත‍මේ දී ‍මේ පඩිවරයාත් උමතුසං වර්ෂාවට ‍තෙමිලා පිස්‍සෙක්ම වුණා. ‍මේ දූපත ලංකාව‍ ‍‍නොවුණත් අ‍පේ දූප‍තේත් ‍බො‍හොම දෙ‍නෙක් අද ඉන්‍‍නේ උමතුසං වර්ෂාවට ‍තෙ‍මුණු ‍නො‍තෙමුණු ගානට තමයි. ඉතින් එ‍හෙම පිරිසක් අත‍රේ ජීවත් ‍වෙමින් සමාජයක් විදියට අ‍පේ මිනිසුන් කරන උමතු විකාර දැක්කම තමන්ටත් උමතුසං වර්ෂාවට ‍තෙමිලා පිස්සුම හැ‍දෙනවා නම් ‍හොදයි කියලා සිහි බුද්ධිය ඇති මිනි‍හෙකුට හිතු‍ණොත් ඒ‍කේ පුදුමයකුත් නැහැ. ‍දේශපාලන අව් කන්නාඩිවලින් සැරසුණාම කුහකත්වයකින් ‍තොරව ‍හරි ‍දේ හරි ‍‍ලෙසත් වැරදි ‍දේ වැරදි ‍ලෙසත් දකින්නට පුලුවන් ‍කමක් නැති බව ඇත්ත. පහුගිය ජනාධිපතිවරණ‍යේ දීත් ජනාධිපතිවරණ‍යෙන් පස්‍සේ ‍ගෙවිලා යන ‍මේ පශ්චාත් ජනාධිපතිවරණ සම‍යේ දීත් අහන්නට දකින්නට ලැ‍බෙන ‍දේවල්වලින් ‍පේන්නේ දූපත්වාසී අපේ ‍බො‍හොම දෙ‍නෙකු‍ගේ හිත්වල පිරිලා ඉතිරිලා යන දේශපාලන පරාධීනත්වය, කුහක ‍දේශප්‍රේමය ජාතිවාදී ‍කො‍දෙවු මානසිකත්වය ‍මිසක් එකම ජාතියක් ‍ලෙසින් රට නගා හිටුවන්නට එක්වී‍මේ උත්සාහයක් ‍නොවන බව නම් ‍හොදටම පැහැදිලියි.

කියන්න පොඩි හාමුදුරුවනේ…!

සීනුව නාද වෙන කොටත් මං හිටියේ පංති කාමරයේ කවුළුව අයිනේ.

හරියට ම හිතා ගන්න බැරි ඈත අතීතයක සැරි සරමින් තිබුණු මගේ හිත සීනු හඬත් එක්ක ආපහු පියවි ලෝකයට ආවා.

මහ වැස්සෙන් පස්සේ දූවිලි පොළොවෙන් විසිරිලා යන තෙතමනය මුහුවෙච්ච මේ සුවඳ හැමදාමත් මාව නොදන්නා අතීතයකට අරගෙන යනවා… මගේම පුංචි කාලයේ කොහේ හරි ඉසව්වකට.

විදුහල්පති බාලසූරිය මහත්තයා නම් කිව්වේ මේ පාර ගමට වැස්සක් ඇද හැලුණේ මාස ගණනාවකට ම පස්සේ කියලයි. දවස් තුන හතරකට කලින් මං ගමට එනකොටත් ගුරු පාර දෙපැත්තේ ගස්වැල් වේලිලා තිබුණා මට මතකයි.

නැවුම් පොළොවෙන් මතුවන තෙතමනයේ සුවඳ විඳිමින් හිටිය මං කවුළුව අයිනේ ඉඳන් ම දරුවන් ටික පන්සිල් ගන්න හැටි බලාගෙන හිටියේ මගේ ම අතීත මතකයෙන් මතු වුණු ආදරණීය මතකයත් තුරුළු කරගෙනයි.

අලුත් පංතියේ උගන්වන්න ආපු දෙවැනි දවස වුණත් පුංචි පැටවුන්ගේ මුහුණු ටික මට දැන් හුරු පුරුදුයි. පන්සිල් ගන්න අතරේ ළඟ ඉන්න යාලුවන්ට ඇඟිල්ලෙන් අනිමින් කරන දඟකාරකම් මට පෙනුනත් ඒවා නොදැක්ක තාලෙට ඉන්න උත්සාහ කළේ ඒ දඟකාරකම් තරුණ මගේ හිතේත් කිසියම් චමත්කාරයක් ඇති කළ නිසා වෙන්නට ඇති.

ඒ චමත්කාරයෙන් යුක්තව ම පංතියේ දරුවන්ගේ මුහුණු දිහා බලාගෙන යද්දී ඒ මුහුණ ආපහු මගේ නෙත ගැටුණේ හදිසියෙන්මයි.

ඒ මොහොතේ ම ආපහු සැරයක් ඒ පාලු හැඟීම එකසැරේම මගේ හදවත පුරා පැතිරිලා ගියා.

ඔව්… ඒ පුංචි ඇස් දෙක පංතියට ආපු මුල් පැයේ ඉඳන් ම මගේ හදවත පුරා නුහුරු නුපුරුදු හැඟීමක් ඇති කරන්නට සමත් වුණේ ඇයි ද කියලා තවමත් මට හිතා ගන්නට බැහැ. අපේ හමුවීම ඒ විදියට සිදු නොවුණා නම් කොයි තරම් හොඳද කියලා අද මට හිතෙන්නේ මේ සිදුවීමෙන් අවුරුදු ගණනාවකට පස්සේ අද දවසේ පවා ඒ මතකය දිහා ආපහු හැරිලා බලද්දී තවමත් ඒ හැඟීම ඒ විදියටම මගේ හදවත නොදන්නා ශෝකයකින් වෙළා ගන්නා නිසයි.

අඩුම තරමින් පංතියේ බුදු පිළිමය දිහාවත් නෙත් යොමු කරන්නේ නැතිව තමන්ගේ ම එක් කළ දෑත් මත නෙත් දල්වාගෙන පන්සිල් ගන්නා මේ පුංචි රූපය දිහා මං තවත් මොහොතක් බලාගෙන හිටියා. ඔහුගේ මුවෙන් ගාථා මිමිණෙනවා ඇතැයි මට නොසිතුණේ එක් කළ දෑතේ මහපැටඟිලි පුංචි තොල් පෙති මත තෙරපී තිබුණු නිසයි.

ඔව්.. අද මං මේ කතාව කියන්නට යන්නේ තරුණ ගුරුවරයෙක් විදියට මට ලැබුණු මුල්ම අත්දැකීමක් ගැන වුණත් දශක දෙකක පස්සේ අද දවසේ වුණත් ඕනෑම අවස්ථාවක සිත මොහොතකට නිසල කරන්නට තරම් මේ අත්දැකීම මට ප්‍රබලයි. තරුණ වයසේ සිටි මගේ සිත මේ තරම් ම කම්පනයකට ලක් කරන්නට බලපෑවේ ඒ පුංචි දරුවා තුළ වූ කුමන වූ අංගයක් නිසාදැයි මෑතක් වනතුරුම මට  මහත් ගැටලුවක් වූ නමුත් අද මට සිතෙන්නේ ඒ ඔහුගේ දෙනෙත නිසා වුවක් බවයි.  අහිංසකත්වයෙන් පිරී ගිය සිඟිති මුහුණේ සිහින් දෙනෙතින් මතු වූ නිහඬ ශෝකී සේයාව සිහි කරද්දී එදා මෙන් ම අදත් මා සිත වෙළී යන්නේ වචනයට නගා ගත නොහැකි පාළු අඳුරු ස්වභාවයකිනුයි.

දෙදෙනා බැගින් සිටින සේ සකස් කර තිබූ පංති කාමරයේ නිසල් …( ඔව් ඒ ඔහුගේ නමයි ) හිමිකරුවා වී සිටියේ කවුළුව අසල ම තිබූ තනි අසුනකයි. ඔහුට යාබදව තිබූ අසුන හැමදාමත් හිස්ව තිබුණේ කිසිවකුත් ඔහු හා අසුන් ගන්නට මැලි වූ නිසාද නැතිනම් ඔහුට යහලුවන් නොසිටි නිසා ද යන්න ගැන හරිහැටි ම අවබෝධයක් මුල් දවස් කිහිපයේ මට නොතිබුණත් ඒ හේතුන් දෙක ම ඊට එකසේ බලපාන්නට ඇති බව මට වැටහී ගියේ ටික දිනකින්මයි. නිසල්ගේ අසුනට යාබද අසුනේ කිසිවකු හෝ වාඩි කරවන්නට මා ගත් සියලු ම උත්සාහයන්ගෙන් සිදු වූයේ සිය අසල්වැසියාගේ විවිධාකාර වූ හිරිහැරයන්ට භාජනය වීමට ඔහුට සිදුවීමයි. ඒ වාගේ ම සිය අසල්වැසියාගේ පැන්සලක් , මකනයක් නැති වූ හැම අවස්ථාවක දී ම එහි වගකීම නිරායාසයෙන් ම භාර ගන්නට සිදු වුණේත් ඔහුටමයි. බොහොමයක් වෙලාවට නැති වූයේ යැයි කී යමක් ඩෙස්කයක් තුළ හෝ චෝදනාව යොමු කළ දරුවාගේ ම බෑගයේ තිබී හමුවුවත් ඒ කිසිදු අවස්ථාවක කිසිදු හැඟීමක් නිසල්ගේ මුහුණෙන් දකින්නට මට හැකි වූයේ නැත. ඔහුගේ නිහඬ බව නිසා ම එවැනි චෝදනාවන් සම්බන්ධයෙන් වරක් දෙකක් ඔහු මගේ සැකයට පවා භාජනය වූ අවස්ථාවන් ද නොතිබුණේ නොවේ. එහෙත් ඒ සෑම අවස්ථාවක දී ම සොරකම් චෝදනාවෙන් නිදහස ලැබීමෙන් පසු , ඔහුගේ දෙනෙත් මගේ දෙනෙත් හා ගැටෙද්දී එහි සටහන්ව තිබූ නිසලත්වයෙන් හැම විටෙකම මම සසල වී ගියෙමි. ඒ වරදකාරී හැඟීමෙන් මා සිත තලා පෙළා දමන අතරේ දී මය.

පංතිය තුළ දී අන් දරුවන්ගේ සමාගමයෙන් ඔහු පැහැදිලිව ම වෙන් වී සිටියේය. ඒ තත්ත්වය ඔහු විසින් ම ඇති කර ගනු ලැබූවක් ද යන්න ගැන ඒ තරම්ම පැහැදිලි හැඟීමක් මට නොතිබුණත් පංතියේ අනිත් දරුවන් හැම දෙනාම පාහේ හැසිරුණේ ඔහු වැනි කෙනෙකු පංතියේ සිටින බවට හැඟීමකින් නොවන බව නම් නිසැකයෙන්ම කිව හැකිය. පංතියේ කිසිදු සාමුහික කටයුත්තකට නිසල් ක්‍රියාකාරීව සහභාගි වූ බවක් ඇත්තෙන් ම මගේ මතකයට නගා ගන්නට අසීරුය.

පංතියේ දී මම කිසියම් ක්‍රියාකාරකමක් කියා දෙද්දී දරුවෝ සියලු දෙනාම මා වටා රැස්වෙති. මගේ ආසන්නයට ම පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඔවුහු එකිනෙකා තෙරපෙති. එවැනි විටෙක දී නිරන්තරයෙන් ම පසෙකට තල්ලු වී යන නිසල් තරමක් ඈතට වී මා කියන්නකට ඇහුම්කම් දෙන්නේ තද කර ගත් තොල් පෙති සඟලින් යුක්තවය. අනෙක් දරුවන්ට විශේෂත්වයක් නොදැනෙන සේ එවැනි මොහොතක නිසල් මා වෙතම කැඳවා ගන්නට මා දැරූ උත්සාහයන් හි දී ඔහුගේ මුහුණින් කිසිඳු හැගීමක් පළ නොවුණත් ; ඒ දෑස්වල තැවරිලා තිබූ කෘතඥතාවේ තෙතමනය හඳුනා ගන්නට මට කිසිවිටෙකත් අසීරු වූයේ නැත.

දරුවන් තමන්ගේ ශක්තිය උපරිම විදියට යොදා ගන්නේ විවේක කාලයේ දී ය. කඩිමුඩියේ සිය ආහාර බඳුන් ඉවතට ගන්නා ඔවුහු විවේක කාලයේ දී පංති කාමරය සිය රාජධානිය කර ගනිති. එවන් මොහොතක ඇතැම් අවස්ථාවක කිසිවෙකුගේ අතින් ඉගිලී යන පාන් වාටියක් ගුවනින් පාවී ගොස් අනෙකාගේ මුහුණේ ගැටෙන්නේ නිමේෂයකිනි. පහර කෑමට ලක් වූ තැනැත්තා වටපිට බලද්දී පහර දුන් තැනැත්තා කිසිත් නොවුනාක් මෙන් සිය පාඩුවේ ආහාර ගන්නා ආකාරය මගේ මුවගට පවා සිනහවක් නංවන්නට සමත් වුණත් දරුවන්ට තදින් සිටින්නට මගේ තරුණකම මට ඉඩ නොදුන්නේ එයින් මා ද කිසියම් චමත්කාරයක් විඳි නිසා යැයි අද මට සිතේ.

මෙවන් මොහොතක දී මගේ දෙනෙත් නිරායාසයෙන් ම යොමු වෙන්නේ නිසල් වෙතය. ඔහු සුපුරුදු පරිදි ම නිහඬව සිය අඳුරු පැහැති පොත් බෑගය මේසය මත තබා ඒ තුළට අත යවමින් යම් කිසිවක් සෙමින් සෙමින් විකන්නේ භාවනාවක් මෙන් බෙහෙවින් ම නිසොල්මන්වය. ඔහු මේ කාර්යය කෙතරම් සීරු මාරුවට කරන්නේ ද යත් ඔහු ආහාරයට ගන්නේ කවර ආකාරයක දෙයක් දැයි කිසිදා කිසි විටෙක මට දැනගත හැකි වූයේ නැත.

ඇතැම් අවස්ථාවන් හි ගුවනේ පාවී එන පාන් කැබැලිවල ගොදුරක් බවට පත්වෙන්නට නිසල්ට සිදු වුණත් කිසිම මොහොතක අඩුම තරමින් ඒ දිහා හිස ඔසවා බලන්නවත් ඔහු උනන්දු වූයේ නැත. කඩිමුඩියේ සිය කෑම ටික ගිල දමා සෙල්ලමට දිව යන දරුවන් අතරේ නිසල් වෙත ම  නෙත් දල්වා ගෙන සිටින මා නිතරම දකින්නේ  පාසල් ගෙට්ටුව අබියස සිට ඈතින් පෙනෙන මාවත දෙස නෙත් යොමු කරමින් බලා සිටින ඔහුගේ හුදෙකලා රූපයයි.

නිසල් ජීවත් වුයේ තමන්ගේ ම ලෝකයකය. නොදන්නා පාළු හැඟීමකින් හැමදාමත් , හැම මොහොතකමත් මගේ හිත පුරවා දමන මේ දරුවා හා දොඩමළු වීමේ දැඩි උවමනාවකින් මා වෙලී සිටිය ද ඒ සඳහා මා තැත් කළ හැම මොහොතකදී ම නිසල් වෙතින් මට ලැබුණේ කිසිසේත්ම දරිමත් කරවන ප්‍රතිචාරයක් නොවේ. නිසල්ට සමීප වන්නට මා දරන වෑයම ඔහුට හිරිහැරයකිය යන චෝදනාවෙන් මා පෙළන්නට වූ බැවින් අවසානයේ දී  මට සිදු වූයේ ඒ අවශ්‍යතාව වෑයමින් යටපත් කරගන්නටය.

පාසල නිමා වන්නට සීනුව නාද වෙන්නේ මුලු පංතිය ම එකම යුද පිටියක් බවට පත් කරමිනි. එකිනෙකා තෙරපා ගෙන එළියට දිව යන මේ දරුවන් මට සිහි ගන්වන්නේ කූඩුවෙන් මුදා හළ කුරුල්ලන් රංචුවකි. හැමට ම පසුව පංතියෙන් පිටවී යන නිසල් දොරටුව අසල රැඳී සිටින මාපියන් වෙත දිව යන දරුවන්ට ඉඩ දෙනු සඳහා වඩාත් අයිනක වී ගමන් කරන්නේ වටපිට නොබලාමය. රෙදි වලින් මසන ලද සිය පොත් බෑගය මහාර්ඝ වස්තුවක් මෙන් තුරුලු කරගෙන පාසල් පිට්ටනිය හරහා හුදෙකලාව පියමං කරන ඔහුගේ රුව දේවදාර ගස් අතරින් නොපෙනී යනතෙක් ම බලා සිටීම බොහෝ විටෙක මගේ දින චර්යාවේ ම අංගයක් බවට පත් වී තිබුණි.

පාසල නිමවා නවාතැන වෙතට යන මගේ සවස් වරුවන් බොහෝ විට ගෙවී ගියේ අලස කමිනි. මවත් සොහොයුරියත් පමණක් සිටි පවුලෙන් මා මෙසේ ඈත් වී යාම ඔවුන් දෙදෙනා විසින් උපේක්ෂාවෙන් විඳ දරා ගනු ලැබුවේ ගුරු වෘත්තිය කෙරෙහි මා තුළ වූ ඇල්ම නිසාම වුවත් , තනිකමින් ගෙවී යන සවස් වරුව මා වෙත ද ඇති කර තිබුණේ කාන්සියකි. පොතක් පතක් කියවන්නට කම්මැලි හිතෙන එවන් බොහෝ සවස් වරුවන් හි ගම් පියසේ ඇවිදින්නට යාම මගේ පුරුද්දක් බවට පත් වූයේ නිරායාසයෙනි. එවන් සෑම මොහොතකම පාහේ ඒ සඳහා මා විසින් උවමනාවෙන් ම තෝරා ගනු ලැබුවේ නිසල් ගේ නිවස පිහිටා තිබූ බඩ වැටිය අද්දර ගුරු පාරයි.

නිසල්ගේ නිවස පිහිටා තිබුණේ මගේ නවාතැනට එතරම්ම දුරකින් නොවේ. සම්ප්‍රදායිකව නිවසක් ලෙසින් හැඳින්වුවත් ඇත්තෙන් ම පිටතින් එය කාමරයකට වඩා විශාල වූයේ නැත. නිවසේ ඉදිරිපස කෙටි තාප්පයකින් වටවුණු පිල්කඩට ඉහළින් වූ සාර්ලිස් මාස්ටර්ගේ අඳුරු පැහැ ගැන්වුණු සිතුවම හැරුණු විට ඒ පිල්කඩෙහි වෙනත් කිසිදු සැලකිය යුතු යමක් මා ගමන් කරන ගුරු පාරට දර්ශනය වූයේ නැත. පිල් කණ්ඩිය අද්දරම තිබුණේ සරුවට වැඩුණු ඉද්ද පඳුරකි. නිසල්ගේ නිවසේ කෙටි තාප්පයේ පාරට මුහුණ ලා තිබූ කොටසට ලම්භකව පිහිටි කුඹුරු යාය කෙළවර ඉඩමකින් මතුවුණු සුදු පිරියම් ගෑ උස් වූ සොහොන් කොත මගේ නවාතැනටත් දැක ගන්නට හැකිය.

බඩ වැටිය අද්දර ගුරු පාර දිගේ නිසල්ගේ නිවස ඉදිරිපිටින් ගමන් කරන සෑම මෙහොතකදී ම මගේ ගමන් වේගය උවමනාවෙන් ම අඩුවන්නේ මටත් නොදැනීමය. අනාරාධිතව හෝ පිල් කඩිත්තට ගෙට ගොඩ වී කා සමගින් හෝ කතා බහ කරන්නට ඇති වූ දැඩි පෙළඹීම යටපත් කරන්නට සිදු වූයේ  ඒ සඳහා කිසිදු පසුබිමක් නිර්මාණය කර ගන්නට මා සමත් නොවූ නිසාය. ඒ පාළු නිවසින් කිසිවකුගේ හෝ රුවක් දකින්නට මගේ නෙත් සිටියේ නිරතුරුවම සැදී පැහැදී ගෙනය. එහෙත් මේ නිවස හැම විටෙකම පාහේ ගිලී තිබුණේ හුදෙකලාවකය.

ඇතැම් දවසක කෙටි තාප්පය මත දෙකකුල් රුවා ගෙන තනිව ම කිසියම් සෙල්ලමක නිරතව සිටින නිසල්ගේ රුව ඈතදී ම හඳුනා ගන්නට මා සමත් වුණත් බඩ වැටිය සමීපයෙන් මගේ රුව ළං වෙද්දී පසුබා ඉවතට ඇදෙනු විනා ඔහු කිසිවිටෙකත් පිල් කණ්ඩියේ රැඳී සිටියේ නැත.

තවත් දවසක මට දකින්නට ලැබුණේ මහළු කාන්තාවක් වත්තේ කිසියම් වැඩක නිරතව සිටින ආකාරයයි. ඇය සැරපරුෂ කාන්තාවක් විය හැකි යැයි යන හැඟීම මා සිත තුළ පැලපදියම් වී තිබුණත් එසේ සැක කරන්නට තරම් කිසිදු සාධාරණ හේතුවක් මට තිබුණේ නැත.

එක්තරා දවසක පාසල අවසන් වෙන්නට හෝරාවක් තිබියදී මහ වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත්තේ හිටි හැටියේමය. සිරි පොද වැස්ස ගිගිරුම් සහිත මහ වැස්සක් බවට පෙරලෙද්දී දරුවන් ද එහි උපරිම ප්‍රතිපල නෙලා ගන්නට උත්සාහ කළේ වැස්සේ ඝෝෂාවට එක්වෙමිනි. මෙවැනි මොහොතක ඔවුන් නිශ්ශබ්ද කරවීමේ ප්‍රායෝගික දුෂ්කරතාව අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන සිටි මා ඔවුන්ට රිසි සේ සිය නිදහස භුක්ති විඳින්නට ඉඩ හළේ පාසල නිමා වන්නට මත්තෙන් කළ යුතු කිසියම් රාජකාරී කටයුතු කිහිපයක්ම මා වෙත පැවරී තිබූ බැවිනි. වෙසක් පොහොය නිමිත්තෙන් එදිනෙන් පසු තරමක දිගු නිවාඩුවක් තිබූ බැවින් එදින ම හවස් වරුවේ කොළඹ යාමට මා ද සිටියේ තරමක නොඉවසිල්ලකිනි. පාසලේ සේවයට පැමිණ මාස තුනකට ආසන්න කාලයක් ගත වී නොතිබුණත් මගේ එකම සොහොයුරියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් මා ඉල්ලා සිටි නිවාඩුව අනුමත වීම මා සිත තුළ ද ඇති කර තිබුණේ කිසියම් උද්දාමයකි. මේ නිසා දරුවන්ගේ කෙළි සෙල්ලම් දෙස වරින් වර මගේ නෙත් ද යොමු වූයේ සතුටු සහගත මනෝ භාවයකිනි.

එහෙත් කුණාටු සුළං මැද තනි වූ ගල් කුළක් මෙන් නිසල් නිහඬය.

කවුළුවට ඔබ්බෙන් පෙනෙන වැහි අඳුර දෙස දෙනෙත් යොමා ගෙන සිටින ඔහුගේ මුහුණේ ගෑවි නොගෑවී  වේගයෙන් පියාඹා ගිය කොළ ගුලියක් දැල් කවුලුවේ හැපී බිම වැටුණේ මා බලා සිටියදීමය. කොළය විසිකළ දඟකාරයා සොයා පංතිය සිසාරා මගේ නෙත් ලුහුබැන්ඳ ද  එවැන්නෙක් කෙසේ වෙතත් අඩුම තරමින් සැකකාර දෑසක්වත් සොයා ගන්නට මා දක්ෂයෙක් වුයේ නැත. එහෙත් තමන් සිටි ඉරියව්වෙන් ම නිසල් වර්ෂාව දෙස නෙත් යොමා සිටියේ එවැන්නක් කිසිදා කිසිවිටෙක සිදු නොවූ ආකාරයෙනි.

පාසල නිමා වන්නට සීනුව නාද කෙරුණේ පංතිය තුළ මෙවැනි වාතාවරණයක් තිබියදී ය. වර්ෂාව ඒ වනවිටත් නිමා වී නොතිබුණ ද එහි ප්‍රචණ්ඩත්වය සමහන් වී තිබූ නිසා දරුවන් දිවගොස් මා පියන් සමග එක්වෙද්දී මා ද කඩිනමින් පොත් පත් අස් කරන්නට වූයේ එදින ම කොළඹ යන්නට සිටි බැවිනි. එතෙක් වේලා එකම යුද පිටියක් බවට පත් ව තිබූ පංති කාමරය අසපුවක් සේ එක්වරම නිහඩ වෙද්දී කිසියම් වූ කිසියම් වූ නුපුරුදු අමුත්තක් මා සිත වෙලා ගත්තේ නොදැනුවත්වමය. ඔව්… නිසල් පමණක් තවමත් පංති කාමරයේ රැඳී සිටියි. මා කවදත් සසල කරවන ඒ දෙනෙත් යොමු වී ඇත්තේ මා වෙතය.

“ ඇයි ඔයා අද ගෙදර යන්නේ නැද්ද පුතා …? ”

“ පුතා ” නම් වූ ආමන්ත්‍රණය ඔහු තුළ කිසියම් වූ විපර්යාසයක් ඇති කළ ආකාරය මා දුටුවේ ඔහුගේ දෙනෙත් පුරා පැතිරී ගිය වෙනස් වීම නිසාය. මේ වනවිට ඔහුගේ දෙනෙතේ ඇති වන වෙනස්වීම් හඳුනා ගැනීමේ කිසියම් ඉවක් මා විසින් ගොඩ නගා ගනු ලැබ තිබුණි.

“ සර් වෙසක් පෝයට කොළඹ යනවද…? ”

“ ඔව් පුතා… මම අදම යනවා… ඇයි….? ”

“ මේක අපේ තාත්තට දෙන්න පුලුවන් ද …? ”

රෙදී බෑගයෙන් ඉවතට ගෙන ඔහු මා වෙත පෑ හතරැස් කාඩ්බෝඩ් කැබැල්ලේ තිබුණේ කිසියම් සිතුවමකි එහි සටහන්ව තිබුණේ කාන්තාවක හා පුරුෂයෙකු ලෙස සිතිය හැකි රූප දෙකක් සහ කුඩා දරුවකුගේ යැයි සිතිය හැකි රුවකි. ඔවුන්ගේ දෙඅත් වෙසක් කූඩුවක් වෙත යොමු වී තිබූ බැවින් ඔවුන් එය දල්වතියි සිතන්නට මට අපහසු වූයේ නැත.  කාඩ්බෝඩ් රූපය පිටුපස “ තාත්තා ” යන අකුරු තරමක් විශාලව ලියා තිබූ ආකාරය අද ද මට සිහිපත් වන්නේ එදා මා තුළ ඇති වූ කම්පනයෙන් යුක්තවමය.

“ මම පුතාගේ තාත්තාව අඳුනන්නේ නැහැනේ… ” ඔහු මා දෙස බලා සිටින්නේ බලාපොරොත්තු දැල්  වූ දෑසිනි.

“ අපේ තාත්තා ඉන්නේ කොළඹ කියලා අම්මා කිවුවා… ”මේ ඔහු අයුරින් මා ඉදිරියේ දොඩමළු වන මුල්ම අවස්ථාවයි.

“ පුතාගේ තාත්තා කොයි වගේ ද…?  ” මා ඇසුවේ නොඇසිය යුතුව තිබූ පැනයක් බව මට අවබෝධ වූයේ ප්‍රමාද වීමෙන් පසුවය. මෙතෙක් වේලා මා වෙත දැල් වී තිබූ ඒ දෑස් ඒ වනවිට දැල් කවුළුවෙන් ඈත අනන්තයට එල්ල වී හමාරය. වැස්ස දැන් හොඳටම අඩු වී ඇතත් සීතල හිරිකඩ පංතිය සිසාරා යමින් තිබුණේය.

“ අම්මා කිවුවා තාත්තා ළඟදීම ගෙදර එයි කියලා…. ” ඔහු එක්වරම පැවසුවේ අවධානය මා වෙත නැවතත් යොමු කරමිනි.

“ පුතාගේ ගෙදර ඉන්නේ කවුද …? ”මෙතෙක් දවස් සිර කරගෙන සිටි ප්‍රහේලිකාවේ හිස් කොටු පුරවා දැමීම මගේ අරමුණ වූ බව නිසැකය.

“ අම්මයි ආච්චියි….”

“ අම්ම මොනවද කරන්නේ…? ”

“ අම්ම වැඩ කරන්නේ ඈත…. හවසට ගිහින් උදේට එනවා….”  පංති කාමරයේ දොර හඬ නගා බිත්තියේ ගැටී ගියේ එක්වරම හමා ගිය සීතල සුළං රැල්ල නිසාය.

“ සර් තාත්තට කියන්න ගෙදර එන්න කියලා ” ඔහුගේ හඬ ක්‍රමයෙන් සිහින් වන්නේය.

ඔහු සිය රෙදි බෑගය පපුවට තුරුලු කර ගත්තේ බොත්තම් ගැලවී ගිය කමිසයේ අඩුපාඩු අතකින් වසා ගන්නට උත්සාහ දරන අතරේදීමය.

“ හොඳයි …. මං මේක තාත්තට දෙන්නම්… ගෙදර එන්න කියලත් කියන්නම්..”

එවර ඔහුගේ දෙනෙත් පුරා පැතිරී ගියේ බලාපොරොත්තුවක සේයාවක් ද නැතිනම් තෘප්තිමත් බවේ සතුටක් ද යන්න එක්වරම තෝරා බේරා ගන්නට මහ පහසු වූයේ නැත. සමහර විට ඒ හැඟීම් දෙක ම ඒ දෑස් මත තැවරී තිබෙන්නට ඇත. වෙනදා මෙන් ඔහු නොපෙනී යනතෙක් පාසල් පිට්ටනිය වෙත නෙත් අයා සිටින්නට තරම් කාලවේලාවක් මට නොතිබුණේ කොළඹට යන අවසන් “ ඉන්ටර්සිටි ” බස් රථය අල්ලා ගන්නට පෙර ගමන් බෑගය ගෙන යන්නට නවාතැනට ගොඩ වීමේ අවශ්‍යතාවක් ද මා තුළ තිබූ නිසාය.

එයින් පසුව උදා වූයේ බෙහෙවින් ම අවිවේකී සති දෙකකි. සොයුරියක් පමණක් සිටි පවුලේ එකම පිරිමි දරුවා මා වූ බැවින් විවාහ මංගල්ලයේ බොහොමයක් සුලු ‍දෙයට පවා දුව පනින්නට සිදු වූයේ මටය.

මා යළිත් සේවයට වාර්තා කළේ සොයුරියගේ වෙන්ව යාම නිසා ඇති වූ මානසික කම්පනයෙන් මෙන්ම ශාරීරිකව දැනුණු වෙහෙසින් ද හෙම්බත් වීමෙන් පසුවය. එහෙත් සේවයට වාර්තා කිරීමෙන් පසු පාසලේ දී ද මට මුහුණ දෙන්නට සිදු වූයේ එවැනි ම වූ වෙහෙසකර කාල පරිච්ඡේදයකටය. ඒ දෙවැනි වාරය වෙනුවෙන් දරුවන්ගේ ප්‍රගති වාර්තා සකස් කිරීමේ කාර්යයත් නිසා ම නොවේ.  වාර්ෂික ක්‍රීඩා උත්සවයේ වෙනුවෙන් සවස් කාලයේ දරුවන් පුහුණු කිරීමේ බොහෝ වැඩ කටයුතුත් විදුහල්පති බාලසූරිය මහතා විසින් මා වෙත ම පවරනු ලැබ තිබූ නිසාය. ඒ සතිය පුරාම නිසල්ගේ රුව පංති කාමරය තුළ දී දකින්නට නොලැබීම මගේ සිත කැළඹීමට පත් කරන්නට සමත් වුණත් ඒ පිළිබඳ හෝඩුවාවක් ලබා ගන්නට සති අන්තය වන තෙක්ම බලාගෙන සිටින්නට මට සිදු වූයේය.

සතිය ගෙවී යමින් උදා වූ  මුල්ම සෙනසුරාදා සවස් යාමයේ දී නිසල්ගේ නිවස පිහිටි ඉසව්ව කරා මා පියමං කළේ ඔහුගේ නිවසට ගොඩ වැදීමේ අරමුණ ඇතිවමය. බඩ වැටිය වෙත යොමු වූ දෙවැට අතරින් ගෙවත්තට පිවිසෙන තෙක්ම මා දුටුවේ සුපුරුදු නිහැඬියාවේ ගිලී ඇති පිල් කඩයි. සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිහිපත් කරවන සාර්ලිස් මාස්ටර්ගේ සිතුවම ඒ මොහොතේ මට දැනුණේ කිසියම් වූ සජීවී වස්තුවක් ලෙසිනි.

දොර පියන් පත විවර වී තිබුණ ද කිසිවකුත් පෙනෙන්නට නොසිටි නිසා මම දෙවරක් ම දොරට තට්ටු කළෙමි.  ක්‍රමයෙන් මතුවුණු පා හඬක් ඉදිරියට ඇදෙද්දී වෙනදා දකින මහලු කාන්තාවගේ රුව මම හඳුනා ගත්තෙමි.

“ මම තමයි නිසල්ට උගන්වන්නේ … ළඟදියි මේ ඉස්කෝලෙට ආවේ. ”මෙතෙක් වේලා අමුතු ම සත්ත්වයෙක් දෙස විපරම් කරන්නාක් මා දෙස විපිළිසරව බලා සිටි ඇය මගේ පිළිතුරෙන් සෑහීමකට පත් වූ බවක් දැකිය හැකි විය.

“ ඉඳගන්න මහත්තයෝ… ” ඇගේ කටහඬේ කිසිදු උද්යෝගයක් නැත.

පිල්කඩෙහි කෙළවර වැල් ඉහිරී ගිය පුටුවක් තිබුණ ද මා අසුන් ගත්තේ පෙරදා නිසල් වාඩි වී සිටි කෙටි තාප්පය මතය. නිවස ඇතුළින් කිසිදු හඬක් නැත.

“ ගෙදර කවුරුත් නැද්ද …? ”

“ කෙල්ල වැඩට ගිහින් ”ඇගේ පිළිතුරු කෙටිය.

මෙවැනි සවස් වරුවක වැඩට යන ඇය නිරත වනු ඇත්තේ කවර රැකියාවක විය හැකි ද …?

“ එතකොට නිසල්…? ”

“ පොඩි එකා නැහැ මහත්තයෝ ”

“ මේ සතියේම නිසල් ඉස්කෝලේ ආපු නැති නිසයි බලන්න ආවේ… නිසල් කොහේ හරි ගිහිල්ල ද …? ”

“ පොඩි එකා ආපහු ඉස්කෝලේ එන්නේ නැහැ… ” උදයේ පිපී පරව ගිය මලින් පිරුණු ඉද්ද මල් පඳුර වෙත දෙනෙත් රඳවා ගෙන සිටි ඇය මා ඇමතුවේ කිසිදු හැඟීමකින් තොරවයි.

“ ඒ කිව්වේ…? ”

“ කොලුවා මහණ කළා… බදුල්ලේ පන්සලක… මගේ මල්ලි වෙන කෙනෙක් තමයි පන්සලේ නායක හාමුදුරුවෝ. ගිය සතියේ තමයි පිංකම තිබුණේ. අපිත් තැපැල් රේල්ලුවෙන් පිංකම බලන්න ගියා..”

පපුව තුළින් මතු වුණු සිහින් උණුසුමක් මගේ මුලු සිරුර ම වෙලා ගන්නට පටන් ගත්තේය. ඒ උණුසුම සුළු මොහොතකින්ම මගේ දෙකොපුල් සහ කන් පෙති අතර සැරි සරනු මට දැනුණි.

“ ඉතින් නිසල්ගේ අම්මා කැමති වුණා ද…? ”  නිහැඬියාව බිඳිමින් මම සෙමෙන් කටඬ අවදි කළෙමි.

“ ඒකිය කියලා කොහොම ද මේ ඔක්කොම කරන්නේ … ඒකි කීයක් හරි හොයාගෙන ආවොත් මිසක අපට ඔය කාගෙන්වත් සත පහක්වත් ලැබෙනවැයි…. අඩුම තරමින් දැන් කොලුවා තුන් වේලම කාලවත් ඉන්නේ නැතැයි… ” ඇගේ හඬ ක්‍රමයෙන් උස් වෙයි. ඒ කටහඩේ තැවරී ඇති නොරිස්සුම යොමු වන්නේ මා වෙත ද…?

සුදු සොහොන් කොත පෙනෙන ඈත ඉසව්වෙන් හෙමිහිට ඇදෙන ලොරියක රුව පෙනී ගියත් එහි හඬ මා සිටි පිල් කණ්ඩියට ඇසුණේ නැත.

“ එතකොට නිසල්…? ”

“ කොලුවා කැමති වුණා මහත්තයෝ ”

පෙරදා නිසල් වාඩි වී සිටි ඒ බිත්ති කණ්ඩිය මත තව දුරටත් රැඳී සිටින්නට මගේ හිත මට සිත් දුන්නේ නැත. සිතිවිලි තෙරපෙමින් මහත් බරකින් යුක්තව හද පත්ලෙහි ම තැන්පත් වෙද්දී මං පිල්කඩෙන් මෑත් වුණේ සිරුර පුරාම පැතිරුණු අසහනකාරී හැඟීම් සමුදායක් එක්කයි.

එයින් පසුව පංති කාමරයේ කවුළුව අසල හිස් වී ඇති නිසල්ගේ මේසය හා පුටුව දෙස නොබලන්නට උත්සාහ දැරුවත් හැම නිමේෂයක දී ම මගේ දෙනෙත් ඒ වෙත යොමු වුණේ මටත් රහසේමය. දරුවන්ට කිසියම් අත්වැඩක් සැපයීමෙන් පසුව ගුරු මේසයේ අසුන මත හිඳ ඈතින් පෙනෙන පාසල් පිට්ටනිය වෙත නෙත් යොමු කරද්දී රෙදි බෑගය තුරුළු කරගත් නිසල්ගේ රුව පිට්ටනිය කෙළවර ඇති දේවදාර ගස් අතරින් මගේ මනසේ ඇඳී මැකී යන්නේ විදුලි සැරයක් පරිද්දෙනි. ගුරු මේසය හා හිස්ව තිබූ නිසල්ගේ මේසය හා පුටුව වෙනත් තැනකට ගෙන ගියත් පංති කාමරයේ නොසිටි ඔහු , පංති කාමරයේ රැඳී සිටි නිසල්ට වඩා මගේ හිත කැළඹීමට ලක්කළ බව කීවොත් ඇත්තෙන් ම එය නිවැරදිය. දොඩමළු පංති කාමරය පුරා මට දැනුණේ කිසියම් වූ හිස්කමක් තැවරී ඇති බවකි. කාන්සිය මකා ගන්නට ගම් පියසේ ඇවිද යාම පුරුද්දකට මෙන් සිදු කෙරුණත් එම පාසලෙන් මාරුවක් ලබා ගන්නා තෙක්ම යළි කිසි දිනක නිසල්ගේ නිවස වෙත යොමුව තිබූ බඩ වැටිය ඔස්සේ ගමන් කරන්නට තරම් ධෛර්යයක් හෝ ශක්තියක් මට තිබුණේ නැත.

නිසල් නොමැතිව ගෙවී ගිය සති කිහිපයකට පසු යළිත් වරක් ඇද හැළුණු සිරි පොද වැස්සක් දවසේ මං පංති කාමරයේ කවුළුව ළඟට ඇදුණේ බොහොම කාලයකට පසුවයි. දරුවන්ට කිසියම් අත්වැඩක් පවරා බොහෝ විට මා රැඳී සිටින පංති කාමරයේ මගේ ප්‍රියතම අඩවිය වුණු දැල් කවුළුව පිහිටි ඉසව්ව මේ වනවිට මා විසින් ම තහනම් කලාපයක් කරගනු ලැබ තිබුණේය. ඒ කවුළුව සමීපයෙන් නිසල්ගේ මතකයේ සුවඳ තවමත් මට දැනුණු බැවිනි. අවසන් වරට නිසල් මා හා දොඩමළු වූ ඒ වැහිබර දිනයේ මතකයෙන් ම කවුළුවෙන් පිටතට නෙත් යොමු කරද්දී එක්වරම දුටු දර්ශනයෙන් මම මොහොතකට කම්පනයට ලක් වුණෙමි.

තැඹිලි පාට දාස් පෙතියා මල් පොකුරක්…..

මං හැමදාමත් ආස කළ සිරි පොද වැස්සේ තෙතමනයේ උණුහුමත් එක්ක මුහුවුණු දාස් පෙතියා මල් පොකුරේ නැවුම් සුවඳ මගේ මුළු හදවත පුරා ම පැතිරිලා ගියේ සුලු මොහොතකට මුලු මහත් විශ්වයෙන්ම මා තනි කරලා ඉවතට අරගෙනයි.

සිරි පොද වැස්සත් එක්ක දඟ කරමින් සුළගේ ලෙළෙන ඒ මල් පොකුර පිපුණු පුංචි මල් පාත්තිය කාගේ ද යන්න හඳුනා ගන්නට මට මොහොතක්වත් අසීරු වූයේ නැත. පන්ති කාමරයේ තවත් එක් ක්‍රියාකාරකමක් ලෙසින් මල් පාත්ති සකස් කරද්දී නිසල් තමන්ගේ පාත්තිය විදියට තෝරා ගත්තේ කවුළුව පහළින් එක එල්ලයේ ම තිබුණු මේ බිම්කඩයි.

දාස් පෙතියා මල් පොකුරේ ම රැඳිලා තිබුණු මගේ දෑස් අනෙක් පාත්ති දිහාවටත් විහිදිලා ගියත් ඒ  බොහොමයක් පාත්ති තිබුණේ වේලිලා ගිහින්. පැළ හටගෙන තිබූ අනෙක් පාත්ති කිසිවකත් ඒ වනවිට මල් හටගෙන තිබුණේ නැත.

හැමදාමත් මල් දරාපු ඒ දාස් පෙතියා මල් පාත්තිය පාසලේ සිටිය මුලු කාලය පුරා ම ආපහු සැරයක් පංති කාමරයේ මගේ ප්‍රියතම ඉසව්ව කවුළුව සමීපය බවට යළිත් පත් කළේ මටත් නොදැනුවත්වමයි.

මේ සිද්ධිය සිදුවෙලා දැන් දශක දෙකකටත් වඩා වැඩි කාලයක්. කසාවතින් සැරසුණු පුංචි නිසල්ගේ රුව සොයා යන්නට මගේ හිත කවදාවත් මාව උනන්දු කළේ නැත්තේ ඇයි ද කියලා මට තවමත් හිතා ගන්නට අපහසුයි.

ඒත් අද මං ඉන්නේ ඒ පුංචි ඉස්කෝලෙන් විතරක් නෙමෙයි මගේ රටෙනුත් බොහොම ඈත විදේශයක… මැදි වියත් එක්ක අත්වැල් බැඳගෙන. ඒත් තරුණ වියේ ඒ මතකයේ උණුසුමත් තුරුළු කරගෙන පොඩි හාමුදුරුවන්ව සොයා ගන්නට හැකියාවක් ඇතිනම් ඒ වෙනුවෙන් බොහෝ දේ කැප කරන්නට අද මං සූදානම්.

ඒ එකම අරමුණක් වෙනුවෙන්.

එනම් ජීවිතයේ සැබෑ ම  සතුට කුමක්දැයි පොඩි හාමුදුරුවන්ගෙන් ම අසා දැන ගන්නටය.

පිළිතුරක් ඕනෑ කර තිබේ….!

Reading-Books

මගේ සේවා ස්ථානයට පහුගිය සතියක අලුත් සේවකයන් කිහිප දෙනෙක් බඳවා ගෙන තිබුණා. ඒ කිහිප දෙනාම විවිධ රටවලින් කැනඩාවට ආපු අය. කැනඩාව කියන්නේ ලෝකයේ හැම රටකින්ම පැමිණෙන විවිධාකාර ජාතීන් ඉන්නා රටක් නිසා කැනඩාවේ රැකියා ස්ථානවල විතරක් නෙමෙයි පාසල් ඇතුලු හැම පොදු ස්ථානයකම මේ විදියේ බොහොම අපූරු ජනවාර්ගික විවිධත්වයක් දකින්න පුලුවන්.

ස්වභාවයෙන්ම මිතුරන් ඇති කරගන්න කැමැත්තක් තියෙන මං ඉඩක් ලැබුණු හැම වෙලාවකම මේ අලුත් සාමාජිකයන් එක්ක අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට අමතක කළේ නැහැ. මෙයින් එක් කෙනෙක් ඇවිත් තිබුණේ චිලී රටෙන්. පොත් පත්වලට ආස කරන ඕනැම කෙනෙකුට චිලී රට සිහිපත් වුණාම මතක් වෙන්නේ ඉසබෙල් ඇලෙන්ඩේ (Isabel Allende) කියන ලේඛිකාව. ඒ තරමටම ඇය මුලු ලොව පුරාම නම ගිය ලේඛිකාවක්. චිලී රටේ නාමය ලෝක ඉතිහාසයේ සටහන් කරන්නට මේ ලේඛිකාවගෙනුත් ලැබුණේ අමරණීය දායකත්වයක්. අලුත් මිතුරාත් එක්ක සංවාදයේ යෙදෙද්දී ඉසබෙල් ඇලෙන්ඩේ ලේඛිකාවගේ නාමය ලංකාවේ පවා බොහොම දෙනෙක් දන්නා බව මං ඔහුට කිව්වා. ඒත් ඔහුගේ කතාවෙන් මට වැටහුණේ මේ ලේඛිකාව ගැන හරි හැටි වැටහීමක් ඔහු තුළ නොතිබුණු බවයි. ඇත්තෙන්ම ඔහු මේ ලේඛිකාව ගැන නොදන්නවාද කියන කරුණ තහවුරු කර ගන්නට මං පොත්පත්වලට ආදරය කරන කවුරුත් දන්නා ඉසබෙල්ගේ ඊවා ලූනා (Eva Luna) නව කතාව ගැන විමසුවා. එහෙත් ඔහු සිතුවේ මං විමසන්නේ තවත් ලේඛිකාවක් ගැන කියලයි. “ ඊවා ලූනා දැන් ඇත්තටම ආච්චි කෙනෙක් ” ඔහු මට පිළිතුරු දුන්නා. මේ පිළිතුරෙන් මං කොයි තරම් පුදුමයට පත් වුණත් ඒ බව ඔහුට පෙන්නුවේ නැහැ. සාහිත කලාව ගැන මේ මිතුරා සමග කතා කිරීමෙන් පළක් නැති බව හොදින්ම තහවුරු වුණ නිසා චිලී දේශයේ කාලගුණය, සංස්කෘතිය ගැන විමසමින් මං කතාව වෙනත් පැත්තකට යොමු කළා. ඒත් ඒ කතාව අතරේ පවා සිත ඇතුළෙන් මගේ හිත ලොකු අරගලයක යෙදෙමින් තිබුණා. චිලී දේශයේ උපත ලබා සති කිහිපයකට පෙර කැනඩාවට පා තබනා තෙක්ම සිය ජීවිත කාලයම එහි ගත කළ මේ තරුණයා තමන්ගේ රටේ නම ලෝකයේ ඉහළින්ම සටහන් කළ ලේඛිකාවක් ගැන නොදැන සිටීම කොයි තරම් අවාසනාවන්ත කරුණක් ද කියන එක ඔහු හා කළ මුලු සංවාදය පුරාම මගේ හිත ඇතුළේ මහත් බරකින් තෙරපෙමින් තිබුණා.

ආයතනයට ආපු තවත් අලුත් සාමාජිකයෙක් එක්ක කතා කරද්දිත් මේ විදියේම දෙයක් තමයි සිද්ධ වුණේ. ඔහු ඇවිත් තිබුණේ ඇෆ්ගනිස්තානයෙන්. ඇෆ්ගනිස්තානයේ තලිබාන් පාලනය, සරුංගල් තරග තහනම් කිරීම, හසාරා ජනවර්ගය ගැන මං දැනගෙන හිටිය කරුණු ගැන සාකච්ඡාව පටන් ගනිද්දී ඔහු පුදුම වෙලා ඇහුවේ මං ඇෆ්ගනිස්තානයට ඇවිත් තියෙනවද කියලයි. ඒත් මේ දේවල් දැනගත්තේ ඔහුගේ රටේ ලේඛකයෙක් වන කාලිඩ් හොසෙනි (Khaled Hosseini)ගේ පොත්පත්වලින් (The Kite Runner, A Thousand Splendid Suns, And the Mountain Echoed) වලින් කියලා කිවුවම එහෙම ලේඛකයෙක් ගැන ඔහු අහලාවත් තිබුණේ නැහැ. තලේබාන් පාලනයේ කුරුරු බව වගේම ඇෆ්ගන් සංස්කෘතියේ හැඩරුව ලොවට ගෙන ගිය ලේඛකයන් අතර ඉදිරියෙන්ම සිටින කාලිඩ් හොසෙනි ගැන ඔහු නොදැන සිටීම ඉතාම පුදුමාකාර දෙයක් විදියට තමයි ඒ මොහොතේ මට දැනුණේ. The Kite Runner සිනමා පටය ඔහු නරඹලා තිබුණත් ඒ සිනමා පටයට පදනම් වෙලා තිබුණේ ඒ නමින් බිහිවුණු කාලිඩ්ගේ පොතින් බව පවා ඔහු දැනගත්තේ මගෙන්.

තමන් උපන් දේශයෙන් වෙන් වෙලා වෙනත් රටකට පා තබද්දී මේ විදියට තමන්ගේ දේශයේ උරුමයන් ගැන මෙලෝ හසරක් නොදැන සිටීම මගින් අවමානයට පත් වෙන්නේ තමන්ම ද එහෙමත් නැතිනම් තමගේ රට ද එහෙමත් නැතිනම් ඒ දෙකම ද යන්න ගැන සිතා බැලීම ඔබට භාරයි.

මගේ නවක මිතුරන්ට තමන්ගේ රටේ සාහිත කලාව ගැන තියෙන වැටහීම මෙහෙම තත්ත්වයක තියෙද්දී විදේශයන්හි ජීවත් වෙන අපේම ලාංකිකයන්ගේ තත්ත්වය කොහොම වෙන්න පුලුවන්ද කියලා මට නිකමට හිතුණා. මෑත කාලයේ දී අන්තර්ජාතික තලයට ගිය ලාංකීය ලේඛකයන් අතර ඉදරියෙන්ම සිටින මුල්ම පෙළේ ලේඛකයන් දෙදෙනෙක්ම ඉන්නේ මං ජීවත් වෙන කැනඩාවේ. ඒ මයිකල් ඔන්ඩච්චි (Michael Ondaatje) සහ ෂ්යාම් සෙල්වදුරෙයි (Shyam Selvadurai) යන ලේඛකයන් දෙන්නා. මයිකල් තමන්ගේ ද ඉංග්ලිෂ් පේෂන්ට් (The English Patient) කියන කෘතියට බුකර් සම්මානය හිමිකරගත්තා විතරක් නෙමෙයි ඒ කෘතිය ඇසුරින් ඒ නමින්ම තැනුණු විශ්ෂ්ට සිනමා පටයට සම්මාන ගණනාවක්ම හිමිවුණා. පොත් පත් සම්බන්ධයෙන් කැනේඩියානු රජයෙන් පිරිනමන ඉහළම ගෞරවණීය සම්මානයක් වන Governor General’s Award මෙන්ම ඒ හා සමාන විශිෂ්ට වර්ගයේ සම්මාන ගණනාවක්ම ඔහුට හිමිවුණා. ඔහුගේ අලුත්ම නවකතාව වන The Cat’s Table පොතත් ගවර්නර් ජනරාල් සම්මානයට නිර්දේශ වූ සීමිත පොත් කිහිපය අතර ඉදිරියෙන්ම තිබුණා.

සම්මාන රැසකින්ම පිදුම් ලැබූ තවත් ලාංකීය ලේඛකයෙකු වන ෂ්යාම් අන්තර්ජාතික තලයේ දී බොහෝ කතාබහට ලක්වුණු ලේඛකයෙක්. ඉතාම ආකර්ෂණීය කතා ශෛලියක් සහිත ඔහුගේ ෆනී බෝයි (Funny Boy) කෘතිය ඒ විදියේම රසවත් ස්වරයකින් සුගතපාල ද සිල්වා “අමුතු ඉලන්දාරියා” නමින් සිංහලට පෙරලුවා. ඔහුගේ අලුත්ම නවකතාව වන “ද හංග්රි ගෝස්ට්” (The Hungry Ghost) කෘතියත් ඉතාම රසවත් ස්වරයකින් ලියැවුණු බොහොම අපූරු නවකතාවක්.

මේ ලේඛකයන් දෙදෙනාම ඉතාම ශූර ලේඛකයන් දෙදෙනෙකු නිසාම මේ දෙදෛනාගේ අලුත් පොතක් නිකුත් වුණු හැම මොහොතකම එය කතා බහට ලක්වෙනවා. ඒ වගේම ඒ දෙදෙනාගේම පොත් පත් බොහොමයකම පසුබිම ලංකාවට සම්බන්ධයි. මේ දෙදෙනාගේ අලුත්ම පොත් දෙක වන මයිකල්ගේ “කැට්ස් ටේබල්” වගේම ෂ්යාම්ගේ “හන්ග්රි ගෝස්ට්” පොත් දෙකම ලංකාව පසුබ්ම් කරගත් නවකතා දෙකක්. “හංග්රි ගෝස්ට්” පොතේ කවරය පවා සැරසිලා තියෙන්නේ ලංකාවේ වලව්වක සමීප රූප රාමුවකින්. මේ පොත් දෙකම නිකුත් වූණු කාලවල කැනඩාවේ ප්රධානම පුවත් සේවවා වන සීබීසී (CBC) පුවත් සේවාව මේ පොත් දෙකම Governor General සම්මානය සඳහා නිර්දේශිත බව කියමින් ඒවා පිළිබඳ විස්තරයක් වරින් වර ඉදිරිපත් කළා. ඒ වගේම කැනේඩියානු පොත් වෙළෙඳ සැල්වල බොහොම කැපී පෙනෙන තැන් වල තමයි මේ පොත් විකුණනන්නට තබා තිබුණේත්. එක්තරා අවස්ථාවකදී අහම්බෙන් මට හමුවූ කැනේඩියානු වි‍ශේෂඥ වෛද්යවරයෙක් මා ලංකාවේ බව දැනගත් මොහොතේම මා හා කතාබහ ආරම්භ කළේ මයිකල්ගේ කැට්ස් ටේබල් කෘතිය මා කියවා ඇතිද යන්න ගැන විමසමිනුයි. ඔහු ලංකාව ගැන මා හා කතා බහ කරන්නට පටන් ගත්තේ පොත පිළිබදව කතා බහ අවසන් වුනාට පස්සෙයි.

ඒත් කැනේඩියානු සාහිත ලෝකයේ මෙන්ම අන්තර්ජාතික තලයේ සාහිත පෙරළිකාරයන් බවට පත්වෙලා ඉන්න මේ ලාංකීය ලේඛකයන් දෙදෙනා ගැන නමින්වත් අසා ඇති කැනඩාවේ සිටින ලාංකිකයන් ගණන අතළොස්සක් බව මං හොඳින්ම දන්නවා.

මේ කතාවත් එක්ක මගේ දෑස් ඉදිරිපිට සිදුවුණු තවත් සිද්ධියක් මට මතක් වෙනවා. දිවයින පුවත්පතේ “බදාදා අතිරේකය” මා අතින් සංස්කරණය වන්නට පෙර එය සංස්කරණය වුණේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුවත්පත් කලාවේදියෙකු වුණු කිත්සිරි නිමල් ශාන්ත සූරීන් අතින්. දවසක් දා බදාදා සාහිත අතිරේකය වෙනුවෙන් කුමාරතුංගගේ සහ වික්රමසිංහයන්ගේ ඡායාරූප දෙකක් පුවත්පතේ පුස්තකාලයෙන් රැගෙන එන ලෙස ඔහුට සහාය වන තරුණ පුවත්පත් කලාවේදියෙකුට ඔහු කිව්වා. ඔහු අදහස් කළේ මුනිදාස කුමාරතුංගයන් සහ මාර්ටින් වික්රමසිංහයන් ගැනයි. ඒත් මේ පුවත්පත් කලාවේදියා අරගෙන ආවේ රනිල් වික්රමසිංහගේ සහ චන්ද්රිකා කුමාරතුංගගේ ඡායාරූප දෙකකුයි. තමන් ඡායාරූප ගෙනි යන්නේ සාහිත අතිරේකයට බව හොඳින්ම දැන දැනත් දේශපාලකයන් දෙදෙනෙකුගේ ඡායාරූප මේ පුවත්පත් කලාවේදියා රැගෙන ආවේ ඔහු පොත් පත් හෝ ලේඛකයන් ගැන මෙලෝ හසරක අවබෝධයක් නොතිබුණු පුද්ගලයෙකු වූ නිසයි.

ඉතාම දියු‍ණු කාර්මික රටවල පවා සාහිත කලාවන් පිළිබඳව තවමත් දක්වන්නේ බොහොම ගෞරවණීය ආකල්පයක්. මේ නිසාම කොයි තරම් තාක්ෂණික මෙවලම් ආවත් පොත පත සම්බන්ධයෙන් තියෙන ඉල්ලුම හා කැමැත්ත ඒ රටවල තවම දකින්න පුලුවන්. කැනඩාවේ පොත් සාප්පු බොහොමයක පොත් පත් මිලදී ගන්න එන අයට ඉඳගෙන පොත පත කියවන්න බොහොම සැප පහසු පුටු තබා තියෙන ආකාරය දකින්න පුලුවන්. ඔබ පොත මිලදී ගත්තත් නැතත් මුලු පොතම වුණත් බොහොම නිදහසේ සැප පහසුව කියවලා යන්න මේ පොත් සාප්පුවල කිසිම බාධාවක් නැහැ. මා ජීවත් වන පෙදෙස ආසන්නවම තියෙන පොත් සාප්පුව තුළ එක් කොටසක කෝපි අවන්හලක් පවා තියෙනවා. මේ නිසා කෝපි අවන්හලෙන් කෝපි කොප්පයක් හා හපන්නට යමක් අරගෙන පොත් සාප්පුවේ සැප පහසු පුටු මත හිදගෙන පුස්තකාලයක මෙන් පොත් පත් කියවන පිරිස මේ පොත් සාප්පුවට ගොඩවන හැම මොහොතකම මං දකිනවා.

පුවත්පත් වැඩමුලුවකට ස්වීඩනයට ගිය මොහොතක ඒ රටේ මුදල් නෝට්ටුවල සටහන් වෙලා තිබුණු මුහුණු දේශපාලකයන්ගේ වෙන්න බැහැය කියන අදහස හිතට දැනුණු නිසා මං ඒ ගැන වැඩ මුළුව මෙහෙයවපු තැනැත්තාගෙන් විමසීමක් කළා. ඒ මොහොතේ මට දැනගන්න ලැබුණේ ඒ හැම නෝට්ටුවකම වගේ සටහන් වෙලා තියෙන්නේ රටේ කවියන්, ලේඛකයන්ගේ මුහුණු බවයි. කවියන්, ලේඛකයන් තමන්ගේ මුදල් නෝට්ටුවල විතරක් නෙමෙයි ජනතාව අතරට යන බොහොමයක් දේවල සටහන් කර ඇති රටවල් රැසක් ලෝකයේ තියෙන බව මං දැනගත්තේ බොහොම මෑතකදී ඒ ගැන සොයා බලද්දියි. ඒත් බැලූ බැල්මටම අපුලක් ඇති කරන දේශපාලකයන්ගේ මූණත් තහඩු හැරෙන්නට අපේ කවියෙකුගේ හෝ ලේඛකයකුගේ රුවක් ලාංකීය මුදල් නෝට්ටුවක කිසිම දවසක සටහන් වෙන්න ඇතියි කියලා මං හිතන්නේ නැහැ. ඒ වෙනුවට අපේ රටේ සිද්ධ වෙන්නේ කවියන් ලේඛකයන් හෝ බුද්ධිමතුන්ගේ නමින් විවෘත වෙලා තිබුණ දේවල් පවා කාලකන්නි දේශපාලකයන්ගේ නම් ගම් වලින් යළිත් නම් කෙරෙන එකයි. රටක ගමන්මගේ දිශානතිය හඳුනා ගන්නට ඒක හොඳම සංකේතයක්. එක්තරා යුගයක අපේ රටේ කලාව සංස්කෘතිය හා සාරධර්ම ගැන මුලු ලොවටම හෙළි කළ ආනන්ද කුමාරස්වාමිගේ නමින් පැවැති මාවත පවා මේ අන්දමින් වෙනස් කෙරුණේ වැඩි ඈතකදී නෙමෙයි. අපේ නූතන ලාංකීය දරු පරපුරට ඒ විදියේ දුලබ උගතුන් ගැන අවබෝධයක් නැති බව ඇත්තක්. ඒත් අඩුම තරමින් එවැනි නමකින් මාවතක් හෝ නම් කර ඇති විටෙක ඒ මාවතේ යන එන්නන්ගෙන් කිහිප දෙනෙකුට හෝ තමන් නොදන්නා මේ පුද්ගලයා ගැන සොයා බලන්නට අදහසක් හිතේ ඇති වෙන්නට තියෙන ඉඩකඩ වැඩියි. බලයට පත්වෙන හැම ආණ්ඩුවකින්ම සිද්ධ වෙන මේ විදියේ අමන වැඩ කටයුතු නිසා සිද්ධ වෙන්නේ ටියුෂන් ගුරුවරුන් එහෙමත් නැතිනම් මල් කතා පොත් වලින් බඩ වඩා ගන්නා තොරොම්බල් පොත පත ලියන්නන් රටේ ඉහළම සාහිතධරයන්, බුද්ධිමතුන් ලෙස දරුවන්ගේ මනස තුළ තැන්පත් වීම පමණයි. ටියුෂන් ගුරුවරයා කොයි තරම් දේවත්වයෙන් පුදන්නට අපේ දරු පරපුර මේ වනවිට යොමු වෙලා තියෙනවාද කියන එක මෑත කාලයේ ෆේස් බුක් අඩවියෙන් දුටු වීඩියෝ කිහිපයක් මගින් මට දකින්නට ලැබුණා. පූදින මල් කැකුලු මෙන් වූ මේ දරුවන් පංතියේ අන්තිම දවසේ දී ඉකි ගසා හඩමින් එක්තරා ටියුෂන් ගුරුවරයකු ඉදිරියේ වැද වැටෙද්දී අඩුම තරමින් සිය අසුනින් නැගිටින්නටවත් ඔහු සදාචාර සම්පන්න වෙන්නේ නැහැ. අද වනවිට ටියුෂන් පංතියට දේශපාලකයන් වඩම්මවන මට්ටමට නූතන දිසාපාමොක් පරපුර කසල සෝධක පරපුරක් බවට ඇද වැටී තියෙනවා. තමන් දුකසේ උපයන කාසි අල්පය වැය කර ශිල්ප ලබන්නට තම දරුවන් යවන ටියුෂන් සුපර් මාකට් තුළින් අනාගත ඡන්ද දායකයන් බිහිකිරවීමේ මේ නපුංසක කටයුත්තට අඩුම තරමින් දෙමාපියන්ගේවත් පැහැදිලි විරෝධයක් එල්ල වෙන බවක් මං දුටුවේ නැහැ.

කිසියම් පරපුරක් පොත් පත් කියවීමෙන් එහෙමත් නැතිනම් සාහිත රසවින්දනයෙන් ඈත් වෙනවා කියන්නේ ඒ පරපුරේ විතරක් නෙමෙයි සමස්ත අනාගත පරපුරේම සංවේදී භාවයන් පවා මොට වෙනවා කියන එකයි. ටියුෂන් ගුරුවරුන්ට විතරක් නෙමෙයි දේශපාලකයන්ටත් අපේ දරු පරපුරට වගේම ඔවුන්ගේ දෙමව්පියන්ට පවා මේ විදියේ ඕනෑම අශ්ලීල අඩව්වක්, කස්තිරමක් ගසා පෙන්වන්නට පුලුවන් තරමට අපේ සමාජය අසංවේදී වෙලා තියෙන්නේ සමාජයක් විදියට අපේ රටේ සංවේදී භාවයන් මේ වන විට වල් වදිමින් තියෙන නිසයි. ඇග පසග සොළවීමෙන් පමණක්ම මනාප ගොඩ ගසා ගන්නා නළු නිළි රූපකායන් දියවන්නා ඔය තරණය කරන්නට සමත් වන්නේත්, හොර ආචාර්යවරුන්, හරක් හොරුන්, කුඩු වෙළෙන්දන්, මිනී මරුවන් වගේම සල්ලාල දූෂකයන් ජනතාව පාලනය කරන්නට ඒ මහ ජනතාවගේම ඡන්දයෙන් තේරී පත්වන්නේත් අපේ සමාජයේ සංවේදීභාවයේ අංගවිකලත්වය නිසාම තමයි.

විසි වන සියවසේ සිටි අංක එකේ බුද්ධිමතා ලෙස නිතරගයෙන්ම නම් කෙරුණු ඇල්බට් අයින්ස්ටයින් නිතරම අමතකවීම් සිද්ධ වුණු තැනැත්තෙක් විදියට තමයි සලකන්නේ. ඒත් ඔහුගේ එක්තරා කියමනක මෙහෙම සඳහන් වෙනවා. “The only thing you absolutely have to know is the location of the library.” (ඔබ නිසැකයෙන්ම දැන සිටිය යුතු කරුණ නම් පුස්තකාලයට යන මාවතයි).

පොත්පත් කියවීම හැමෝටම කරන්න බැරි දෙයක් බව ඇත්ත. ඒකට හේතුව ඒ සඳහා කිසියම් සංවේදීතාවක් වගේම රසවින්දන හැකියාවකුත් ඕන කරන නිසා. ජීවිත කාලය තුළ අපිට බොහෝ දේ ඉගෙන ගැනීමෙන් ලබා ගන්නට පුලුවන් බව ඇත්ත. උදාරහණයක් විදියට දොස්තරවරයෙක්, ඉංජිනේරුවරයෙක්, ගණකාධිකාරවරයෙක්, නීතිවේදියෙක්, කාර්මික ශිල්පියෙක් හෝ වෙනත් ඕනෑම වෘත්තියක් සදහා ඇවැසි දැනුම අපිට කිසියම් රටාවක් අනුව ඉගෙන ගැනීම මගින් ලබාගන්න පුලුවන්. ඒත් කවියක්, කෙටිකතාවක්, නවකතාවක් රසවිදීමේ හැකියාව ඒ විදියට ලබා ගන්න බැහැ. ඒ සදහා තමන්ගේ හදවත තුළ සියුම් කවුළු විවිර වෙලා තියෙන්නට ඕනේ. සංවේදී භාවයන් පුබුදු වෙලා තියෙන්නට ඕනේ. සැබෑ විප්ලවවාදියෙක් වෙන්නට නම් මලෙක සුවඳ විතරක් නෙමෙයි මලෙහි පෙති වල සියුම් බවත් විඳින්නට හැකි කමක් තියෙන්නට ඕනේ කියලා චේ ගුවේරා කියලා තියෙනවා. ඒකට හේතුව සැබෑ විප්ලලවාදියෙක් තුළ මානව දයාව තිබිය යුතුම නිසයි. පොත්පත් කියවන්නට කැමැති ඒ වගේම පොතක් රස විදින්නට තරම් හැකියාවක් තියෙන අය තුළත් මේ මානව දයාව දකින්නට පුලුවන්.

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියන බොහොම පැරණී කියමනට මුල්වෙලා තියෙන්නේ කියවීමත් සමගින්ම ජීවිතයට එක්වන ජීවිත පරිඥානය නිසයි. මේ නිසාම බොහෝ පොත පත කියවන මිනිසුන්ට ජීවිතය තේරුම් ගන්න හරිම පහසුයි. සමාජය තේරුම් ගන්න වගේම ජීවිතයේ ගැටලු වලට බොහොම සවිඥානිකව පිළිතුරු සපයා ගන්නට පොත් පත් කියවන පොත් පත් ඇසුර කරන පුද්ගලයන්ට ඉතාම පහසුවෙන් පුලුවන් බව සියලු නූතන පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. අද දවසේ බොහෝ දෙනෙක් පීඩා විඳින බව කියන මානසික අවපීඩනය (Depression) පොත පත කියවන්නට පුරුදු පුහුණු වූවන් තුළ හරිම අඩුයි.

ගෙවී ගිය සතියේ එක්තරා සති අන්ත සිංහල පුවත්පතක සංවාදයක් මා කියෙව්වා. ඒ සංවාදය තිබුණේ බොහොම විවේචනවලට භාජනය වන සංගීත කණ්ඩායමක නායකයා එක්ක. ඔහුගේ ගීතවලින් අපේ සංස්කෘතියට, සදාචාරයට හානියක් වෙනවා නේද කියන කරුණ පුවත්පත් කලාවේදිනිය අසා තිබුණා. ඔහු ඊට දී තිබුණු පිළිතුර මගේ සිත් ගත්තේ හිතන්නට බොහෝ දේවල් ඔහු ඒ පිළිතුර තුළ ගැබ් කරලා තිබුණ නිසයි. තමන්ගේ ගීතවලින් සංස්කෘතියට, සදාචාරයට හානියක් වෙනවා කියලා චෝදනාවක් තියෙනවා නම් ඒක පිළිගන්න තමන් සූදානම් නමුත් ඊට කලින් ලාංකිකයන් විදියට අපිට දැන් ඉතිරිවෙලා තියෙන සදාචාරය, සංස්කෘතිය මොකක්ද කියන එක පොඩ්ඩක් තමන්ට පැහැදිලි කරලා දෙන ලෙස ඔහු පුවත්පත් කලාවේදිනියගෙන් පෙරලා ප්රශ්න කරලා තිබුණා. ඇත්තෙන්ම අපිට සංස්කෘතියක් සදාචාරයක් එහෙත් නැතිනම් සංවේදීභාවයක් දැන් ඉතිරි වෙලා තියෙනවාද….? තියෙනවා නම් ඒ කොතැනද…..? කොයි මට්ටමකින්ද ඒක ඉතිරි වෙලා තියෙන්නේ…..? ඒ සංගීත කණ්ඩායමේ නායකයා පෙරලා සමාජයෙන් අහන ගැටලුවලට කාගෙන් හෝ පිළිතුරක් ලැබෙනවා නම් ඒක දැනගන්න මටත් ආසයි.

නික්ම යාම

Nice-Wallpaper-Of-Good-Morning

සඳ රැස් ගලා ඇවිදින් සිරි යහන වෙ ත
විකසිත කුසුමකිය සොඳුරිය ඔබේ ව ත
කිරි සුවඳක එතුණු පුතුගේ සිගිති ග ත
මොහොතක් සසල කෙරුවා මා තුරුණු සි ත

මල් පෙති සුවඳ මුසුවුණු සිහිලැල් පව නේ
බිළිඳු සිනා විසිරෙන කිරි කැටි සිහි නේ
සොඳුරුම සිත්තමකි සොඳුරිය ඔබ නය ‍ නේ
හදවත් පවුර කලතා උණුසුම දැනු නේ

කිසිවෙකු කිසි විටෙක කිසිදා නොවිඳි තර ම්
සෙනෙහස ඔබෙන් ලත් සිලිලාරෙකි මනර ම්
සිතිවිලි තරග මා හද කළඹන මෙතර ම්
සොඳුරිය ඔබ පමණි දුටු මා සිතුම් පැතු ම්

කුමරිය දුටුව මොහො‍තේ ඔබ මුල්ම දි න
සුපුරුදු සුවඳ දැනුනා සසරින් හම න
භවයෙන් භවය ආවත් අප පතා ‍ගෙ න
යළි හමු නොවනු ඇත මින්මතු කිසිම දි න

කිරිකැටි යුගත් පා මව් වෙත තුරුලු වෙමි න්
පිපි මුව කමල රන්වන් සියපතක් ලෙසි න්
මදහස පාන කිරි සුවඳැති දෙතොල් අගි න්
සිප ගන්නට සිතෙයි පොඩි පුතු වැළඳ පෙමි න්

සෙවනැල්ලක් විලස ආ මග සසර පු රා
මා සිත හැඳිනු කිසිවෙකු වෙද ඔබම හැ රා
කඳුලක් මතුව ආවද ඔය නෙතඟ ක රා
මේ වෙන්වීම වටහා ගනු ඇත සපු රා

හැම සම්පතම තිබුණත් නොඅඩුව සපි රී
නැහැ සැනසුමක් සිත යයි ඈතක විසි රී
මේ හැම දෙය කෙළවර නොම වෙයි මිහි රී
ඇති බව හැ‍ඟෙයි කළ යුතු කිසිවක් පැව රී

හෙට හිරු නැගෙන විට නිල්වන් ගුවන අ රා
අරුණළු දකිනු රිසියෙමි ඝන තිමිර ඉ රා
මාවත විවර කරනට නව ලොවක් ක රා
සමුගමි ඉතින් අවසර මට යසෝද රා