ඈත කඳුකර හිමව් අරණේ…!

හිමාලයේ එවරස්ට් කඳු මුදුන ගුවනේ සිට – Mount Everest -Photograph by Matthieu Ricard

“මං හිතන්නේ මං මැරෙන්නයි යන්නේ” එදා උදේ තාත්තා කිව්වා. “අපි දවසක් බෝට්ටුවෙන් ආර්ජන්ටිනාවට ගියා… එහෙම නේද?” ඒ එක්කම තාත්තා ඇහුවා.

මරණාසන්න මොහොතක දී බෙහොම දෙනෙක් තමන්ගේ ගමනාන්තය කරා මෙහෙයවන තේමාවක් සොයා ගෙන යෑම සාමාන්‍ය දෙයක් කියලා නර්ස්ලා මට කිව්වා.

ඒ 2006 අවුරුද්දේ දවසක්. ඒ අවුරුද්ද පුරාම මං හිටියේ හිමාල අඩවියේ මගේ ආරාමයේ භාවනායෝගීව. තාත්තා අසනීප බව දැනගත්ත හින්දා මං හිමාලයේ ඉඳන් ප්‍රංශයේ පැරිස් නුවරට ආවා. තාත්තගෙ තනි නොතනියට රෝහලේ තාත්තගෙ ඇඳ ළඟම මාත් නතර වුණා.  

එදා සෙනසුරාදාවක්. මං නිදාගෙන හිටියේ තාත්තගේ ඇඳ පාමුල බිම මේට්ටයක් එළාගෙන.

මහ රෑ පහුවෙලා ටික වෙලාවක් ගියාට පස්සේ මට එක සැරේටම ඇහැරුණා. පහුගිය දවස් දෙකේම මට හරියට නින්දක් තිබුණේ නැහැ. ඒත් මට එක සැරේටම ඇහැරුණා. මට දැනුණා කාමරය පුදුමාකාර තරම් නිහඬයි කියලා. කිසිම සද්දයක් නැහැ.

තාත්තා හුස්ම ගන්නේ නැහැ. හුස්ම නතර වෙලා.

නර්ස්ලා කාමරයට ආපහු එන්නේ පාන්දර තුනට. මරණයක් වෙලා කියලා දැනගත්ත මොහොතෙම මෘත දේහය ළඟට ඇවිත් කරන්න වැඩ රාජකාරි ගොඩක් එයාලට තියෙනවා.

පාන්දර තුන වෙනකල්ම මට වෙලාව තියෙනවා. මං අන්ධකාරයේම තාත්තාත් එක්ක තනි වුණා. කිසිම සද්දයක් නැතිව… නිහඬව, නිසංසලව. මං පුරුදු පුහුණු කළ භාවනාවත් එක්ක මුළු හදවතින්ම මං තාත්තාත් එක්ක ඒකාත්මික වුණා.

ඊට පස්සේ තමයි පවුලේ අයට මං කතා කළේ.

සුළු මොහොතකින්ම පවුලේ අය හැමෝම තාත්තගේ මරණ මංචකය වටේ එක් රැස් වුණා. කඩවසම්, ශාන්ත දාන්ත පෙනුම තාත්තගේ මුහුණ පුරාම ඉතිරි වෙලා තිබුණා. “දැන් එයා කොහේ කොතැන ඉන්නවා ඇති ද?”, ඥාති සහෝදරයෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. උපකල්පන කියන්න නොගිහින් මං නිහඬ වුණා. මගේ සහෝදරිය තාත්තාගේ නළලත සිප ගත්තා.

තාත්තගේ මරණයෙන් පස්සේ දළයි ලාමාත් එක්ක ටික දවසකට මට බෙල්ජියමට යන්න වුණා, දළයි ලාමාගේ භාෂා පරිවර්තක විදියට. ඊට පස්සේ,  හිමාලයේ තියෙන මගේ ආරාමයට මං ගියේ අවුරුද්දේ ඉතිරි මුළු කාලයම භාවනානුයෝගීව ඉන්න පුළුවන් නේද කියලා හිත පුරාම මතුවුණු පුදුමාකාර සතුටකුත් එක්ක. වගා කරන්නට පුළුවන් සරුසාර බිම් යායක් දැක්කම ගොවියෙකුට ඇතිවන සතුට වගේ එකක් තමයි ඒක.

කඳු මුදුනේ තියෙන මගේ හුදෙකලා භාවනා කුටියේ තියෙන්නේ බොහොම සීමිත කළමනා ටිකක් විතරයි. අඩි අටේ දහයේ පුංචි කුටියක්. විවෘත ආලින්දයක් එක්ක. ආලින්දය ආවරණය කරන වැටක් නැහැ. ආලින්දයෙන් ඔබ්බට විහිදුනු කඳු බෑවුම එක දිගටම පයින් ගස් වලින් වැහිලා ගිය වනාන්තරයක්. වනාන්තරය කෙළවර මීදුමින් වැහිලා. එයින් ඔබ්බට තියෙන්නේ හිම කඳු යායක්. දර එකතු කරන්නට ඉඳහිට එන ගම්මුන් දෙතුන් දෙනෙක් හැරුණාම කවුරු හරි ඒ ලඟින් යන්නේ බොහොම කලාතුරකින්. භාවනාවට ඉඩක් ලබාගන්න තරම් මං වාසනාවන්ත වෙන හැම මොහොතකම මං යන්නේ මේ කුටියට. මට ඕන කරන හැම දෙයක්ම ඒ කුටියේ තියෙනවා.

අයිස්ලන්තයේ Langisjor නදිය – ඡායාරූපය Matthieu Ricard

එක්තරා දවසක මගේ කුටියේ විවෘත ආලින්දයේ මං ඉඳගෙන ඉන්න වෙලාවක මට මෙහෙම හිතුණා.

“සුරංගනාවියක් මං ඉස්සරහට ඇවිත් මේ භෞතික ලෝකයේ මට ඕන කරන දේවල් තුනක් ඉල්ලන්න වරයක් දුන්නොත් මං මොනවද ඉල්ලන්නේ..? ”

මගේ මේ පුංචි කුටියේ ප්‍රමාණය එක්ක හිතද්දී ඉල්ලන්න පුළුවන් දේවල් ඉතාම සීමිතයි. නවීන පන්නයේ ස්ටීරියෝ පද්ධතියකට කුටියේ ඉඩක් නැහැ… අඩුම තරමින් මේසයක් උඩ තියන්න පුළුවන් කම්පියුටරයකටවත් ඉඩක් නැහැ. පුංචි පුංචි ප්‍රතිමා කිහිපයක්, පොත් පත් විස්සක් විතර, ඇඳුම් කිහිපයක්, තව පුංචි පුංචි උපකරණ කිහිපයක් අඩුක් කරලා තියෙන කුඩා ප්‍රමාණයේ රාක්කයක් නම් මට තියෙනවා.

සුළු මොහොතකට පස්සේ මට මහ හඬින් හිනා ගියා. මට යම්තමින් හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන කිසිම දෙයක් ගැන මට හිතාගන්නවත් පුළුවන් වුණේ නැහැ. “එපා මට කිසිදෙයක්… එපා මට කිසිදෙයක්… එපා මට කිසිදෙයක්…” ඔය කියන මන්ත්‍රය මං දහ දොළොස් වතාවක් මටම කියාගත්තා. ඒ හැම වාරයකම මට දැනුණේ පුදුමාකාර සහනයක්.

මගේ උදේ ආහාරය නේපාල ධාන්‍ය අහුරක්… තේ එකකුත් එක්ක. දිවා ආහාරයෙන් පස්සේ මං, මගේ හිත ගත්ත බෞද්ධ පොතක් කියවනවා. එහෙමත් නැතිනම් ටිකක් ලියනවා. සමහර වෙලාවට පරිවර්තනයක් කරනවා. එයින් පස්සේ මං මගේ මනස ගැන අවධානය යොමු කරනවා. ගැඹුරින් ගැඹුරට මනසත් එක්ක ඒකාත්මික වෙද්දී වළාකුළු මීදුම් පටල ඈතට විසිරිලා ගිය පැහැදිලි අහසක් වගේ හැම දෙයක්ම සරල සුගම විදියට දර්ශනය වෙනවා. රාත්‍රියේ දී මං මෛත්‍රී භාවනාව වඩනවා. හැම දෙනා කෙරෙහිම කරුණාව මෛත්‍රිය පතුරුවනවා. ඊට පස්සේ මට පුදුමාකාර සැහැල්ලුවකින් නින්දට යන්න පුළුවන්.

සමහරු මගෙන් අහනවා හිමාලයේ ඔය ආරාම කුටියේ ඉඳලා මට එපා වෙන්නේ නැති ද කියලා. ඒ විදියේ කම්මැලි කමක් මට කිසිම දවසක දැනිලා නැහැ. ඇත්තටම නම් ඒකේ අනිත් පැත්ත. ජීවිතය අධ්‍යාත්මික පුහුණුවටම කැප කරපු කෙනෙකුට බාහිර ලෝකයේ ඇලීම් ගැලීම්වලින් තොරව දිවි ගෙවන්නට මීටත් වඩා සුදුසු තැනක් වෙනත් කොයින්ද? ඒ වටිනකාම මනින්නට වෙනත්ම මිනුම් දණ්ඩක් ඕනේ. හැම මොහොතක්ම තනිකරම රත්තරන් බිඳුවක් වගේ. ගෙවිලා යන හැම පැයක්ම කාලය අතරින් හිමිහිට හිමිහිට ගලාගෙන යන රත්තරන් නදියක් වගේ. සරුසාර හුදෙකලා දිවියේ හැම අංශුවක්ම සුවපත් කරන අමෘත දහරාවක් වගේ”.

Matthieu Ricardමැතිව් රිකාඩ් හිමියන්

මේ කතාව කියන්නේ මැතිව් රිකාඩ් (Matthieu Ricard) කියන උපතින් ප්‍රංශ ජාතික බෞද්ධ භික්ෂුව. බටහිර ජනමාධ්‍ය “happiest person in the world” (ලොව සතුටින්ම සිටින මිනිසා) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මැතිව් භික්ෂුවට දැන් වයස අවුරුදු 78ක්. බොහෝ වෙලාවට වැඩ වාසය කරන්නේ හිමාලයේ හුදෙකලා කුටියක භාවනානුයෝගීව.

බෞද්ධ දර්ශනයට ආකර්ශනය වෙලා පැවිදි දිවියට පත් වෙන්නට කලින් ඔහු විද්‍යාඥයෙක්. ආචාර්ය උපාධිය ලබා ගන්නේ අනුක ජීව විද්‍යාවෙන් (molecular genetics).  බෞද්ධ දර්ශනය සහ විද්‍යාව කියන විෂයන් පදනම් කරගෙන ලියැවුණු අතිශය ප්‍රකට පොත් පත් රැසක කතුවරයෙක්. වර්තමාන දළයි ලාමාගේ භාෂා පරිවර්තක විදියටත් මැතිව් භික්ෂුව සේවය සලසනවා.

මැතිව් භික්ෂුව රචනා කරපු අලුත්ම පොතේ ඉංග්‍රීසි පරිවර්තනය, “Notebooks of a Wandering Monk” (සංචාරක භික්ෂුවකගේ සටහන්) ප්‍රකාශයට පත්වෙලා තවම මාස කිහිපයයි. පොයින්ට් අට‌ ප්‍රමාණයේ කුඩා අකුරින් පිටු 700ක් පුරාම දිව යන විශාල පොතක් වුණත් ඉතාම කැමැත්තෙන් කියවපු වටිනා පොතක්. ස්වයං චරිතාපදානයක් විදියට පොත ගලාගෙන ගියත් ජීවිතය හැඩ ගස්වා ගන්න හරිම අපූරු උපදෙස් ගණනාවක් මේ පොත ඇතුළේ තියෙනවා.

ලංකාවේ අපිට අද දවසේ නිතර අහන්නට නොලැබෙන බෞද්ධ හිමිවරුන්ගේ අල්පෙච්ඡ දිවිය, සැබෑ ලෙසින්ම බෞද්ධ ජීවන දිවිපෙවෙතට අනුව සරලව ජීවිතය හැඩ ගස්වා ගත් භික්ෂූන් වගේම ඒ බෞද්ධ යතිවරුන් ඔස්සේ දිග හැරෙන සරල ජීවන දිවි පැවැත්වමකට අවශ්‍ය කරන ජීවන උපදෙස් බොහොමයක් මේ පොතෙන් දිග හැරෙනවා.

“ හිමාල අඩවියේ තියෙන අපේ ආරාමයේ මටම කියලා කිසිම ඉඩක් තිබුණේ නැහැ. රෑට මං සැතපුණේ ගුරු හාමුදුරුවන්ගේ පාමුල. උදේ පාන්දරින්ම මං මගේ පැදුරයි කොට්ටයයි අකුළලා කාමරයේ කෙළවරක තිබුණු පුංචි කැබිනෙට්ටුව යටින් තියනවා. ගුරු හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ මං සැතපුණේ ගුරු හාමුදුරුවෝ දේශනා කටයුතු කරගෙන ගිය විශාල ශාලාවේ බිමට එළලා තිබුණු පළසක් උඩ. අවුරුදු ගණනාවක්ම මං සැතපුණේ එහෙම තමයි. අවුරුදු ගණනාවකට පස්සේ ආරාමයේ පරිපාලන කටයුතු කරන නිලධාරියෙක් උඩු මහලේ පුස්තකාලයට යාබදව තිබුණු අඩි දහය දහයේ ප්‍රමාණයේ කුඩා කාමරයකට මාව එක්කරගෙන ගිහින් මෙහෙම කිව්වා: ‘මේක තමයි ඔබේ කාමරය’. පැවිදි දිවියට පත් වුණාට පස්සේ ගත වුණු අවුරුදු දොළහක කාලයටම මං ඇඳක සැතපිලා තිබුණේ ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් තරම් අඩු දවස් ටිකක් විතරයි. 2015 දී භූමි කම්පාවකින් ආරාමයට අලාභ හානි වෙනකල්ම මං හිටියේ ඒ කාමරයේ තමයි. අවුරුදු ගණනාවක් වෙහෙස මහන්සි වෙලා අපි ඒ ආරාමය ආපහු ගොඩ නැගුවාට පස්සේ මාව තරමක් සුවපහසු වෙනත් කාමරයකට යැව්වේ බලහත්කාරයෙන් වගේ. භික්ෂුවක් අවුරුදු 74 වයස සම්පූර්ණ කළාට පස්සේ ඒ විදියේ කාමරයක් ලැබෙනවා කියලා මං දැනගත්තේ ඊට පස්සේ. එ් විදියේ තරමක විශාල කාමරයක වාසය කරන්න මට ඉඩ ලැබුණේ ජීවිතයේ ප්‍රථම වතාවට තමයි”.

තාත්තයි – පුතයි

මේ සටහන ආරම්භයේ දීම සඳහන් කරපු මැතිව් භික්ෂුවගේ තාත්තා, ලෝකය පුරා සමකාලීන විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච ප්‍රංශ ජාතික දාර්ශනිකයෙක්. සමාජ පරිවර්තනයකට දායක වුණු සුප්‍රකට දේශකයෙක් වගේම ලේඛකයෙක්. තාත්තගෙ නම Jean-François Revel.

බොහොම කාලයකට පස්සේ තාත්තයි පුතයි හමුවෙන්නේ අපූරු විදියට… ඒ හමුවීම කෙළවර වෙන්නේ දාර්ශනික ලෝකයට වගේම ලෝක සාහිත්‍යයට අමරණීය සම්පතක් එකතු කරමින්.

ප්‍රංශයේ නාගරික පරිසරයේ විද්වතුන් අතර කල්යල් ගෙවමින් සමාජ පරිවර්තනයකට දායක වෙන දාර්ශනික තාත්තා, දශක කිහිපයක් පුරාම බාහිර ලෝකයෙන් ඈත්ව හුදෙකලා සන්සුන් දිවියක් ගත කරන තමන්ගේ පැවිදි පුතා හොයා ගෙන එක්තරා දවසක හිමාලයේ බෞද්ධ ආරාමයට යනවා. තාත්තා සහ පුතා සති තුනක කාලයක්ම ටිබැටයේ හිමෙන් වැසුණු කඳු මුදුන් අතර පිහිටි සුන්දර පරිසරයේ කාලය ගත කරනවා. ඒ නිකම්ම නෙමෙයි. මේ හමුවේ දී බටහිර දැනුමින් සන්නද්ධව දාර්ශනික තාත්තා අහන ගැඹුරු ප්‍රශ්නාවලියකට වසර දහස් ගණනක් පැරණි බෞද්ධ දාර්ශනික චින්තාවලියෙන් පැවිදි පුතා උත්තර දෙනවා. මේ ප්‍රශ්න උත්තර කිසිවක් මුලදී කතිකා කරගත්ත දේවල් නෙමයි. සුන්දර නිසංසල කඳුකර පරිසරයේ දී දෙදෙනා අතර ස්වභාවිකව මතුවන සංවාදයක්. මේ සංවාදයේ ප්‍රතිඵලයක් විදියට “The Monk and the Philosopher” නමින් පොතක් බිහිවෙනවා. ඒ 1997 වසරේ දී. (ඔබ මේ අංශයෙන් පොත පත කියවන්න කැමැති නම්, මේ පොතත් බොහොම ආකර්ශනීය පොතක්. මිලින්ද-නාගසේන සංවාදය සිහිපත් කරවන පොතක්).

දාර්ශනික තාත්තයි – පැවිදි පුතයි පැරිසියේ දී – Ricard with his father, the philosopher Jean-Francois Revel, on the day of Revel’s reception at the French National Academy in Paris – Photo by lionsroar

Pleasure සහ Happiness

‘Pleasure’ සහ ‘Happiness’ කියන වචන දෙක ඉංග්‍රීසි යෙදුමේ දී භාවිත වෙන්නේ එකිනෙකට වෙනස් තේරුම් දෙකකින්. (මේ වචන දෙක ඒවායේ අර්ථයේ වෙනස දැනෙන අයුරින් භාවිත කරන සිංහල වචන දෙකක් මතකයට එන්නේ නැහැ) ‘Pleasure’ කියද්දී කිසියම් ආකාරයක ආශ්වාදයක තැවරුණු ප්‍රීති ප්‍රමෝදයක් ගැන තමයි කතා කරන්නේ. ඒ ප්‍රමෝදය තාවකාලිකයි.. සුළු මොහොතකට සීමා වන පෞද්ගලික හැඟීමක්. අරක්කු කාලකින්, සිගරැට්ටුවකින් වගේම ශාරීරික කාරියකින් වුණත් කෙනෙකුට ඔය කියන හැඟීම ළං කරගන්න පුළුවන්. ඒ නිසා ඔය කියන ප්‍රමෝදයට කෙනෙක් ඇබ්බැහි වෙන්න වුණත් පුළුවන්. ඒත ‘Happiness’ කියන්නේ ඔය කියන විදියේ බාහිර ඇබ්බැහියකින් ළං කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක වඩාත් දිගු කාලයකට විහිදිලා යන සතුටක්. ‘Pleasure’ පෞද්ගලිකව විඳ ගන්නා අත්දැකීමක් වුණත් ‘Happiness’ කියන එක කණ්ඩායමක් එක්ක සාමුහිකව වුණත් බෙදා හදා ගන්න පුළුවන්දෙයක්.

මේ හින්දා ‘Pleasure’ කියන්නේ ‘Happiness’ කියන එකේ ඡායා මාත්‍රයක් විතරයි කියලා හින්දූන්ගේ යෙදුමක් තියෙනවා. (“Pleasure is but the shadow of happiness”). ඒක තවත් විචිත්‍ර විදියට “Pleasure is the happiness of the fool; happiness is the pleasure of the wise” කියලා කියන්නත් පුළුවන්.

මේ පොතෙන් දෙන තවත් එක් ඉතාම වැදගත් කාරණාවක් තමයි බෞද්ධ මූලධර්ම අනුව ගත්තම ජීවිතයේ අපේ අරමුණ එහෙමත් නැතිනම් ඉලක්කය (goal) විය යුත්තේ ‘happiness’ කියන එක බව සිහිපත් කරලා දීම. ඒත් අද අපි හැමෝම, අපි කරන කාර්යයන් හරහා සතුට හොයා ගන්න හදනවා මිසක් සතුට කියන ඉලක්කය හිතේ තියාගෙන ඒ අනුව ජීවිතය ගෙනි යන්න උත්සාහ කරන්නේ නැහැ.

මැතිව් භික්ෂුව මේ පොතේ තවත් තැනක මෙහෙම සඳහන් කරනවා.

“Henry David ගේ “සරල වෙන්න! සරල වෙන්න! සරල වෙන්න!” කියන පද පෙළට මං හරිම ආසයි. (19 වැනි සියවසේ මැද භාගයේ ජීවත් වූ ඇමරිකානු ජාතික දාර්ශනික කවියෙකු වූ Henry David Thoreau ගේ  “Our life is frittered away by detail. Simplify, simplify, simplify!” යන කාව්‍යමය වැකිය බටහිර සාහිත්‍යයේ සහ විවිධාකාර දේශන වැඩමුළුවන නිරන්තරයෙන් හමුවන‍‍‍ පද පෙළකි). අදහස්වලින් සරල වෙන්න… වචන වලින් සරල‌ වෙන්න… ක්‍රියාවන්ගෙන් සරල වෙන්න… මේ සරලකම හින්දා  අපේ ජීවිතවලට සීමා බන්ධන පැනවෙන්නේ නැහැ. අපේ නිර්මාණශීලීත්වය මොට වෙන්නෙත් නැහැ. කෘත්‍රිම විදියට විකෘති වුණු සංකීර්ණ ජීවන ගමනේ අපි මේ උසුලාගෙන ඉන්න දිගුකාලීන දුක් කරදර සමුදාය තුනී කරලා අපේ මනස ස්වභාවික විදියට තැන්පත්ව තියාගෙන ශාන්ත සුවදායීබවක් අත්පත් කරගන්න ඒ ක්‍රමය උදව් උපකාරී‌ වෙනවා. හරියට ගහක අත්තකින් හිමිහිට වෙන් වෙලා මහ පොළොවට පාවෙලා යන තුරු පතක් වගේ. එමෙත් නැතිනම් වළාකුළු අතරින් හිරු මෝදු වෙනවා වගේ. නිසසල සුනිල්වන් දිය තලය මත පිළිඹිබු වන ඡායාවක් වගේ. කඳු මුදුන් අතරින් ගලාගෙන එන පිරිසිදු නැවුම් සුළං රැල්ලක් වගේ. වළාකුළකුදු නොමැති අහස සිසාරා හෙළන බැල්මක් වගේ. එහෙමත් නැතිනම් තුරුලතාවන්ගෙන් වැහුණු ඈත කඳු මුදුනක් සිසාරා ඇදී යනවා වගේ. ඔබේ මනසේ නිකැළල් ස්වභාවය දිහාවට යොමු කරන අභ්‍යන්තර නෙත් සඟලක් වගේ තමයි ඒක”.

කඳුකර භික්ෂූන්ගේ ආගමික උත්සවයක එක් අවස්ථාවක් – ඡායාරූපය Matthieu Ricard

සමනලයයි – මලයි

“එක දවසක් මගේ කුටියේ තනිවෙලා ඉන්න කොට මං දැක්කා මද සුළගේ එහාට මෙහාට පැද්දෙන මලක සමනලයෙක් වහන හැටි. සමනලයා ආවේ මල් රේණු හොයා ගෙන. ඊ‌ට පස්සේ කිසිම හේතුවක් නැතිව ආයෙම, ආයෙම ඒ මල හොයා ගෙන සමනලයා ආපහු ආවා… ලස්සන නිල් පාට අත්තටු විහිදා ගෙන ආයෙ ආයෙත් අර තැඹිලි පාට මල් පෙති හොයා ගෙන ආවා. මේක සිද්ධ වුණා කිහිප සැරයක්ම. මේ සිද්ධියත් එක්ක මට සිහිපත් වුණා විසිරිලා ගිය මනස එක්තැන් කරගන්න හැටි. ඔබට හිතෙනවා නම් ඔබේ මනස එක අරමුණක නැහැ… අලුත් අලුත් සිතිවිලි එක්ක අයාලේ යනවා කියලා, ආපහු ආපහු එන්න ඒ එකම අරමුණ ඉලක්ක කරගෙන. ඒ වෑයම සාර්ථක නොවී ඔබට වෙහෙස මහන්සියක් දැනෙනවා නම් සිතිවිලිවලට තමන්ගේ පාඩුවේ විසිරෙන්න ඉඩ දෙන්න. සිතිවිලි බලහත්කාරයෙන් එක තැනක රඳවා ගන්නවත්, සිතිවිලි වලට හැම තැනකම සැරිසරන්නට උනන්දු කරන්නවත් යන්න එපා… හිතේ අභ්‍යන්තර සාමය ඒ විදියට පවත්වාගෙන මනසේ ස්වභාවික හැසිරීමට ටික වෙලාවකට ඉඩ හදලා දෙන්න. එහෙම වෙලාවට හිතේ සැබෑ ස්වරූපය වටහා ගන්නට උත්සාහ කරන්න.  මේ මනසට හැඩයක්… වර්ණයක්… තැනක් නොතැනක් තියෙනවා ද? එහෙම දෙයක් හොයා ගන්න බැරි වුණාම ඔය කියන “සොයා ගන්න බැරි ස්වභාවය” (“unfound”) ත් එක්ක සැහැල්ලුවෙන් නිදහසේ නතර වෙන්න. සිතිවිලි මතුවුණු විදියටම ආපහු ඒවා කඩා බිඳ දාන්න සිතිවිලි වලටම ඉඩ දෙන්න. හරියට දිය මතුපිට ඇඟිල්ලෙන් ඇඳපු රේඛාවක් මැකිලා යනවා වගේ”.

ටිබැට් කාන්තාවක් – ඡායාරූපය Matthieu Ricard

සැබෑ ලෙසින්ම බෞද්ධ සම්ප්‍රදායන් පිළිපදින යතිවරුන් බොහොම දෙනෙක් මේ පොත පුරාම අපිට හමුවෙනවා. ඒ අයගේ අල්පේච්ඡ දිවිය, ඉවසීම, කරුණාව වගේ ගුණාංග මතු කරන උදාහරණ රැසක් පොත ඇතුළේ විස්තර කෙරෙනවා.

ටිබැටයේ බොහෝ සේ සුප්‍රසිද්ධ ගුරු භික්ෂුවක වන Khyentse Rinpoche වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවක සිදු වූ සිදුවීමක් මේ පොතේ මෙහෙම විස්තර වෙනවා.

“පෙරදිග ප්‍රතිකාර ක්‍රම හැදැරූ ප්‍රංශ ජාතික වෛද්‍යවරයා Rinpoche ගුරු හිමියන්ට ප්‍රතිකාර කරන අතරේම අපට යමක් විස්තර කරන්නට පටන් ගත්තා. ටික වෙලාවකින් හම් පිළිස්සෙන ගන්ධයක් කාමරය පුරාම පැතිරෙන්නට පටන් ගත්තා. වෛද්‍යවරයා කතාව නතර කරලා ක්ෂණිකවම රෝගියා දිහා බැලුවා. ඒ එක්කම වෛද්‍යවරයා භීතියෙන් එක තැනම ගල් ගැහුණා. ඒ වෙනකොටත් ගුරු හාමුදුරුවන්ගේ උදරයේ දරුණු පිළිස්සුමක් ඇතිවෙලා ඉවරයි. එක දිගටම සමාව ඉල්ලපු වෛද්‍යවරයා පිළිස්සෙන බව නොකිව්වේ මන්දැයි භික්ෂුවගෙන් විමසුවේ බොහොම ගරු සරුව ඇතිව… බය පක්ෂපාතීව. ප්‍රතිකාර කෙරුණු මේ මුළු කාලය පුරාම බෞද්ධ පොතකට අවධානයෙන් හිටපු ගුරු හාමුදුරුවෝ බොහොම සැහැල්ලුවෙන් මෙහෙම උත්තර දුන්නා: ‘ආහ්… මං හිතුවා ඒකත් ප්‍රතිකාරයේම කොටසක් කියලා’. මං බොහොම සැලකිල්ලෙන් ගුරු හිමියන් දිහා බලාගෙනම හිටියා. අඩුම තරමින් වේදනාවකවත්, අපහසුතාවකවත් පුංචිම පුංචි සළකුණක්වත් ඒ මුහුණේ තිබුණේ නැහැ. ඒ පිළිස්සුම් තුවාලට සුව වෙන්න බොහොම කාලයක් ගත වුණා.

භාවනාවට පුරුදු පුහුණු වුණාම කෙනෙකුට වේදනවා ඉවසා දරා ගන්න පුළුවන් ද? මේ කාරණාවට පිළිතුරු හොයන්න ලෝකය පුරා විවිධාකාර පර්යේෂණාගාරවල නිරන්තර පර්යේෂණ සිද්ධ වෙනවා. විස්කොන්සින් සරසවියේ දී වගේම තවත් පර්යේෂණාගාර කිහිපයක සිදුකෙරුණු ඒ විදියේ දීර්ඝ පර්යේෂණයන්ට මාත් පෞද්ගලිකව සම්බන්ධ වුණා. විවිධාකාර විද්‍යුත් කම්පන වේදනාවන්ට ලක් වන අතරේ මෛත්‍රී භාවනාව වඩද්දී ශාරීරික වේදනාව ඉවසා දරා ගැනීමේ ශක්තිය හිතට දැනෙනවා. දීර්ඝ කාලීන භාවනාව හුරුපුරුදු කෙනෙකුට වේදනාව විඳිමින් පවා ඉතාම පහසුවෙන් වේදනාකාරී ස්වභාවයෙන් ප්‍රකෘති ස්වභාවයට පරිවර්තනය වෙන්න පුළුවන්”.

Dilgo Rinpoche ගුරු හිමියන් – ඡායාරූපය Matthieu Ricard

උඩුගුවනේ දී තේ හදන්නේ මෙහෙමයි

“එක්තරා අවස්ථාවක Rinpoche ගුරු හාමුදුරුවන්ටයි, මටයි නතර වෙන්න සිද්ධ වුණේ කිසිම පහසුකමක් නැති තැනක. අපිට නවාතැන් දුන්න පුද්ගලයා ඒ ගැන අපෙන් සමාව ඉල්ලුවා. “වහිද්දි තෙමෙන්නෙ නැතිනම් ඒ හොදටම ඇති” ගුරු හාමුදුරුවෝ කිව්වේ එච්චරයි. උණුසුම් ග්‍රීෂ්මයේ වගේම තද සීතල සිසිරයේ ගල් ගුහා, වන ආරාමවල අවුරුදු තිහක්ම භාවනායෝගීව වාසය කරමින් හිතාගන්නත් බැරි තරම් දුක් පීඩා වින්ද කෙනෙකුට ඒ නවාතැන ගැන හිතන්නවත් දෙයක් තිබුණේ නැහැ. කොටින්ම කිව්වොත් බාහිර දුක් පීඩා කියන කාරණාව කිසිසේත්ම සැලකිල්ලට භාජනය වෙච්ච කරුණක් නෙමෙයි.

එක වෙලාවක අපි ඉන්දියාවේ ඉඳන් ප්‍රංශයට ගුවන් ගමනක යෙදෙමින් හිටියා. තරුණ හාමුදුරුනමක් Rinpoche ගුරු හාමුදුරුවන්ට ගිලන්පස කෝප්පයක් පිළියෙල කරලා දුන්නේ බොහොම ගරුසරු ඇතිව. ගුවන්යානය අහසේ වලාකුළු අතරින් කිමිදිලා යනහැටි කවුළුවෙන් බලන ගමන්ම ගුරු හාමුදුරුවෝ හිමිහිට හිමිහිට තේ කෝප්පය තොළ ගෑවා. තේ කෝප්පය පානය කරලා තරුණ හාමුදුරුවන්ට කෝප්පය දුන්නාට පස්සේ කෝප්පයේ ඉතිරි වෙලා තිබුණු තේ කහට උගුර තරුණ හාමුදුරුවෝ පානය කළේ තමන්ට ලැබුණු ගෞරවයක් වගේම ආශිර්වාදයක් කියලා හිතාගෙන. තේ උගුර පානය කරද්දිම තරුණ හාමුදුරුවන්ගේ මුහුණ විකෘති වෙලා රතු පාට වෙන හැටි මං දැක්කා. තරුණ හාමුදුරුවෝ වැරදීමකින් උණු වතුරට මිශ්‍ර කරලා තිබුණේ අබ කුඩු පැකට්ටුවක්. තේ ටික කොහොමටවත්ම කටේ තියන්නට බැහැ. ‘ඇයි ඔබ වහන්සේ මට කිව්වේ නැත්තේ…?’ අන්දුන් කුන්දුන් වෙලා තරුණ හාමුදුරුවෝ ඇහුවා. ‘ආහ්… මං හිතුවා උඩුගුවනේ දී තේ හදන්නේ මෙහෙම තමයි කියලා’ බොහොම සන්සුන්ව ගුරු හාමුදුරුවෝ උත්තර දුන්නා”.

හිමාලයේ සුප්‍රකට Amnye-Machen කඳු ශිඛරය – Photo by SnowLion Tours

හොරුත් එක්ක තේ

Amnye Machen කියන්නේ බෞද්ධයන්ගේ වන්දනාමානයන්ට ලක්වෙන ටිබැටයේ තියෙන පූජනීය, ඒ වගේම අති සුන්දර කඳු වැටියක්. කඳු වැටියේ ඉස්මත්ත මීටර් 6,282ක් උසයි. ඒ ග්ලැසියර් මුදුනට යන්නට සති දෙක තුනක් ගත වෙනවා. හැතැප්ම 120ක් දිග මේ වන්දනා ගමනට වාර්ෂිකව ටිබැට් බෞද්ධයන් බොහොම දෙනෙක් සහභාගි වෙනවා. මේ සංචාරයේ එක් අවස්ථාවක මැතිව් භික්ෂුව ඇතුළු පිරිස කඳුකර ගල් ගුහාවක භාවනායෝගීව වැඩ ඉන්නවා. පල් හොරු රංචුවක්ම ගල් ගුහාවට කඩා වදින්නේ අන්න එහෙම වෙලාවක. හොරු රංචුව භික්ෂූන්ගේ ආම්පන්න අවුස්සද්දී නායක භික්ෂුව කටහඩ අවදි කරනවා.

“අපේ දේවල් හොයන්න මහන්සි වෙන්න එපා. අපිට තියෙන හැම‌ දෙයක්ම තමයි මේ අපි ඉස්සරහ තියෙන්නේ. ඔය කණ්ඩායමේ කවුරුහරි දවල් කෑමට අපිටත් එක්කම තේ ටිකක් හදාල දීලා, අපි ළඟ තියෙන දෙයක් ඔයාලත් අරගෙන යන්න”, නායක භික්ෂුව කියන්නේ බොහොම සන්සුන්ව. තේ පානයෙන් පස්සේ මංකොල්ල කණ්ඩායමේ නායකයා මෙහෙම කියනවා.

“අපි ඔබවහන්සේලාගේ අඩුම කුඩුම වලින් ටිකක් අරගෙන යන්නේ අපිටම කියලා කිසිම කිසි දෙයක් අපිට නැති හින්දා. නැතිනම් අපි කිසිම විදියකින් ඔබවහන්සේලාව මංකොල්ල කන්නේ නැහැ. සිල්වත් ඔබවහන්සේලාට පුළුවන්ද අපිට ආශිර්වාද කරන්න?”

භික්ෂූන් සතුව තිබුණු අඩුම කුඩුමවලින් කොටසකුත් අරගෙන හොරු රංචුව ගල් ගුහාවෙන් පිටවෙන්නේ උන්වහන්සේලාගේ ආශිර්වාදයත් නොඅඩුව ලබාගෙන.

මේ සිද්ධියෙන් දවස් කිහිපයක් ගියාට පස්සේ සතියක කාලයක් පුරාම දිවා රෑ එක දිගට හිමාලයට හිම වැටෙන්නට පටන් ගන්නවා. ඔය වගේ වෙලාවට භාවනායෝගීන් තමන් නතර වෙලා ඉන්න තැනින් ඈතට නොයාම තමයි සම්ප්‍රදාය. අඩුම තරමින් තේ කෝප්පයක් රත් කරගෙන බොන්නවත් පුළුවන් කමක් නැහැ. මේ වගේ කාලවල දියවෙන හිම කැටිතිවලින් බාර්ලි පිටි දියකරගෙන බොන අතරේ දිගින් දිගටම භාවනායෝගීව ඉන්න එක තමයි සිද්ධ වෙන්නේ.

ටිබැට් බෞද්ධයන්ගේ අති පූජනීය ස්ථානයක් වන හිමාලයේ සුප්‍රකට Amnye-Machen ග්ලැසියරය  – Photo by Mysterious Tibet

‘හරි අපූරු සුවඳක්නේ!’

දළයි ලාමා සමග කටයුතු කිරීමේ දී සිදුවුණු රසවත් සිදුවීම් ගණනාවකුත් “Notebooks of a Wandering Monk”  පොතේ ඇතුළත්ව තියෙනවා.

“දළයි ලාමා, රාජ්‍ය තාන්ත්‍රික රෙගුලාසි ගැන බරපතළ විදියට සැළකුවේ නැහැ. 2001 අවුරුද්දේ දී ප්‍රංශයේ  යුරෝපීය පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ දේශනයකට දළයි ලාමාට ආරාධනා කරලා තිබුණා. දළයි ලාමා භෝජන ශාලාවට ඇතුලු වෙද්දී ඔහු පිළිගන්න ප්‍රධාන පෙළේ යුරෝපීය නියෝජිතයන් විසි දෙනෙකු විතර බලාගෙන හිටියා. භෝජන ශාලාවට ඇතුලු වෙද්දිම දළයි ලාමා අහම්බෙන් දැක්කා භෝජනාගාර මුළුතැන්ගෙයි අඩක් විවර වුණු දොර අස්සෙන් කෝකියන් දෙතුන් දෙනෙක් උත්සව ශාලාවට ආපු අමුත්තන් දිහා බලාගෙන ඉන්න හැටි. මුළුතැන්ගේ දොර ඇරගෙන ඇතුළට ගිය දළයි ලාමා කෝකියන් එක්ක ටික වෙලාවක් සතුටු සාමිචීයේ යෙදෙන්න පටන් ගත්තේ යුරෝපීය නියෝජිතයන් පුදුමයෙන් බලාගෙන ඉන්දැද්දි. අන්තිමේ දී තමන් එනකම් භෝජන සංග්‍රහ මේසය වටේ සීරුවට අසුන් අරගෙන හිටපු නියෝජිතයන් ළගට ඇවිත් දළයි ලාමා ඉඳගත්තේ මෙහෙම කියාගෙන : ‘ හරි අපූරු සුවඳක්නේ!’

ප්‍රංශ ජනාධිපති මන්දිරයේ දී, ප්‍රංශුවා මිතරොන් ජනාධිපතිවරයා එක්ක දළයි ලාමාට නිල සාකච්ඡාවක් තිබ්බා. සාකච්ඡාවෙන් පස්සේ දළයි ලාමාට සමුදෙන්න ජනාධිපතිවරයාත් පිය ගැට පෙළ බැහැගෙන ඔහු එක්කම ජනාධිපති මන්දිරයේ දොරකඩට ආවා. වාහනය නවත්තලා තිබ්බේ දොරකඩ ළඟම. වාහනයට නගින්න හදද්දී දළයි ලාමා දැක්කා හමුදා භටයින් කිහිප දෙනෙක්ම ආරක්ෂාවට මිදුලේ ඉන්න හැටි. රාජ්‍ය තාන්ත්‍රික රෙගුලාසි පැත්තකට දාපු දළයි ලාමා මිදුලට ගිහින් ආරක්ෂක භටයින්ට අතට අත දීලා සුබ පතන්න ගත්තා. ‘මන්දිරයට ඇතුළට යනවා ද?.. නැතිනම් එතැනම ඉන්නවාද?’ කියලා හිතාගන්න බැරිව මිතරොන් ජනාධිපතිවරයා අන්දුන්කුන්දුන් වෙලයි හිටියේ. ඒත් අන්තිමේ දී දළයි ලාමා හැමෝටම අතට අත දීලා ආපහු එනකල්ම ජනාධිපතිවරයා පියගැට පෙළ පාමුල නැවතිලා බලාගෙන හිටියා.

දළයි ලාමා, ඩෙස්මන්ඩ් ටුටූ  – ටින් ටින් කාටුනයක – tin tin and tutu in tibet by http://www.zapiro.com

ආගමික දර්ශනයන් දෙකක් නියෝජනය කළත් අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ – දළයි ලාමා අතර තියෙන්නේ පුදුමාකාර මිත්‍රත්වයක්. 2006 අවුරුද්දේ බ්‍රසල්ස් නුවර තිබුණු ජාත්‍යන්තර රැළියක දී ටුටූ තමන්ගේ දේශනය ඇරඹුවේ සුප්‍රකට ටින්ටින් චරිතය ඇසුරින් දකුණු අප්‍රිකානු පත්තරයක පළ වුණු ‘Tintin and Tutu in Tibet’ කියන කාටුනයත් අතට අරගෙන. දළයි ලාමා සමහර වෙලාවට තමන් කවුද කියලා අමතක කරලා දඩබ්බර වැඩ කරන නරක කොල්ලකු විදියට හැසිරෙනවා කියලා සරදම් කරපු ටුටූ මෙහෙමත් කිව්වා: “ ඔයිට වඩා හොඳට හැසිරෙනවා නම් හොඳයි. මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්නවා. ඔයා සමාජය ඉස්සරහට එන්න ඕනේ අධ්‍යාත්මික නායකයෙකු විදියට කියන එක අමතක කරන්න එපා.” ඒ සරදමින් පස්සේ තවත් සරදමක්… “ දෙවියන් වහන්සේට මං පුදුමාකාර විදියට ස්තුතිවන්ත වෙනවා දළයි ලාමාව මවපු එක ගැන. ‘මේ මනුස්සයා නම් පුදුමාකාර හොඳ මනුස්සයෙක්. ඒත් එයා ක්‍රිස්තියානි නොවීම කොයි තරම් නම් කණගාටුවක් ද?’ කියලා දෙවියන් වහන්සේ කල්පනා කරනවා ඇති කියලා ඔබට සමහරවිට හිතෙනවා ඇති. ඒත් ඔයාලා දන්නව ද…. දෙවියන් වහන්සේත් ක්‍රිස්තියානිකාරයෙක් නෙමෙයි.”

2008 අවුරුද්දේ අප්‍රේල් මාසයේ දී ඩෙස්මන් ටුටූත්, දළයි ලාමාත් වොෂිංටන් සියැටල්වලදී මහජනයා ඉදිරියේ සංවාදයක නිරත වුණා. මේ හමුව බලන්න 60,000 මිනිස්සු රැස්වෙලා ඉන්නවා කියලා සංවිධායකයන්ගෙන් දැනගත්ත ගමන් දළයි ලාමා දිහාවට හැරුණු ටුටූ එක සැරේම මෙහෙම කිව්වා: “ මට ඉරිසියාවක් නැහැ… කොහෙත්ම නැහැ… ඒත් හරියට ඉංග්‍රීසි කතා කරන්න බැරි මනුස්සයෙක් කියන දේ අහන්න ඇයි මේ හැට දාහක මිනිස්සු පිරිසක් ආවේ? ”

දළයි ලාමා සහ ඩෙස්මන්ඩ් ටුටූ – Dalai Lama and Archbishop Desmond Tutu during the Seeds of Compassion Interfaith Dialogue held in Seattle – Washington, USA on April 2008 – Photo by Tomas – Seeds of Compassion

දළයි ලාමාගේ 80 වැනි උපන් දිනය වෙනුවෙන් ටුටූ 2015 මැයි මාසයේ දී ඉන්දියාවේ ධර්මශාලා පුරවරයට ආවා. ඒ වෙලාවෙ දි දළයි ලාමාත්, ටුටුත් සතියක කාලයක්ම මිත්‍ර සංවාද, විහිළු තහළු වගේම මනුෂ්‍යත්වය, කරුණාව, දයාවෙන් පිරිපුන් පෞද්ගලික සංවාදවල නිරත වුණා. ‘මගේ ජීවිතයේ දී මං අත්දැකපු හොඳම අත්දැකීමක් තමයි ඔබව හමුවීම’, එහෙම කියපු ටුටූ රැස්වෙලා හිටපු මහජනතාව දිහා බලාගෙන වචනයෙන් වචනය බර දාලා මෙහෙම කිව්වා. “මට හමුවුණු හොඳම අධ්‍යාත්මක චරිතය තමයි දළයි ලාමා. කරුණාකරලා…. අනේ කරුණාකරලා මේ කියන දේ අහන්න. දළයි ලාමා තරම් මේ මිහිතලය මත සාමය ප්‍රාර්ථනා කරන වෙනත් කවුරුවත් නැහැ…” ටුටූ මේ කිව්වේ චීනයට ඇහෙන්න එක්ක. 

කෛලාශ කඳු පෙළ – ඡායාරූපය Matthieu Ricard

හුදෙකලාව ද? තනිකම ද ?

“භාවනායෝගියෙකු අත් විඳින හුදෙකලාව මහා නගරයක තනිවුණු පුද්ගලයෙකු මුහුණ දෙන අමිහිරි හුදෙකලාවට වඩා බොහොම වෙනස්. ඇමරිකාවේ කරපු සමීක්ෂණයකින් හෙළිදරව් වුණා සෑම ඇමරිකානුවන් පස් දෙනෙකුගෙන් එක අයෙක් ඒ සමීක්ෂණයට සති දෙකකට පෙර දරුණු තනිකමක් අත්වින්දා කියන එක. තමන්ට දැනුණු ඒ තනිකම බෙදා හදා ගන්න කාත් කවුරුවත් හිටියේ නැහැ කියන එක ඒ අය කිව්වා. මානසික වගේම ශාරීරික ලෙඩ රෝග රැසකට මුල තමයි ඔය කියන සාමාජීය හුදෙකලාව. යහපත් සමාජශීලී ජීවිතයක් ගත කරන අයට පුළුවන් දුම්වැටි, ඇල්කොහොල්, මත් ද්‍රව්‍ය නැතිව සෞඛ්‍ය සම්පන්න ශාරීරික සහ මානසික ජීවිතයක් ගත කරන්න.

හුදෙකලාව (solitude) සහ තනිවීම (separation) කියන වචන දෙක තුළ තියෙන්නේ වෙනස්ම සංකල්ප දෙකක්. බෞද්ධ අභ්‍යාසවල නිරත වෙන අපේ මේ හුදෙකලාව තුළ ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ වෙන්වෙනවා වෙනුවට අපි මුළුමනින්ම පිරිලා ඉතිරිලා යෑමයි. බාහිර ලෝකයෙන් වෙන්ව තනි වෙනවා වෙනුවට මේ හුදෙකලාව තුළ අපි හැම කෙනා එක්කම එකට බැඳෙනවා. කෙනෙකුගෙන් තව කෙනෙකුට වෙන්ව යා නොහැකි ලෙස අපි හැමෝම එකිනෙකා එකිනෙකාට බැඳිලා තියෙන බව වටහා ගන්නා අතරේම සෑම ජීවියෙකු කෙරෙහිම අසීමාන්තික වූ ආදරයක් හිත තුළ ජනිත වෙනවා. මේ හැම දෙයකම තියෙන අනිත්‍යතාව සාක්ෂාත් වෙනවා… මිනිස් ජීවිතයක තියෙන අස්ථිර භාවය.. ඒ අස්ථිර මිනිස් ජීවිතයට වටිනාකමක් එහෙමත් නැතිනම් අරුතක් දිය යුතු බව සිහිපත් වෙනවා.

මේ මිහිතලයේ බිලියන ගණනක් වූ මිනිසුන් ජීවත් වෙනවා. ඒත් තමන්ගේ පැවැත්මේ තියෙන වටිනාකම වටහා ගෙන ඉන්නේ එයින් කීයෙන් කීදෙනෙක්ද? භාවනානුයෝගී කටයුතුවල නිරත වන අය අතරින් නිර්වාණාවබෝධය ලබා ගන්න පිරිස පෙරඹර දිදුලන තාරකා තරම් අල්පයි. ඒ අවබෝධය උදා කරගෙන, දුක් පීඩාවෙන් පිරුණු මේ සංසාරයේ වක්‍රාකාර ගමන් මග නවත්වන්න ඕන කරන මානසික ඒකාග්‍රතාව ඇති කරගන්න මේ හුදෙකලාව අත්‍යවශ්‍යයි.

අපේ මේ හුදෙකලා අධ්‍යාත්මික භාවිතාවේ දී සියලුම බාධක අවහිරකම් වලින් අපි නිදහස් වෙනවා…. සිසිල් සුළං රැල්ලේ හිමිහිට පැද්දෙන තුරු අතු අතර ගී ගයන කුරුල්ලන් අපිම වෙනවා.. තණ නිල්ල සහ ගුවන් තලය… මේ විශ්වයේ හැම අංශුවක්ම… ඒ හැම අංශුවක්ම පුරවන නිහඬතාව සහ කසුකුසුව අපි අපිම වෙනවා. සරල, ප්‍රීතිමත් සහ ශාන්ත සුන්දර ඒකාත්මිකතාව අපිම වෙනවා. අධ්‍යාත්මික අභ්‍යාසයන්වල නිරත වෙමින් හුදෙකලා බිම් කඩක කල් ගත කරද්දී පරක් තෙරක් නොදකින ඈතට විහිදී විසිරී ගිය සැබෑම සැබෑ සතුටක් අත් විඳින්නට ඉඩකඩ හා කාලය අපිට ලැබෙනවා”. 

සුප්‍රකට ඇන්ඩිස් කඳු යාය ගුවනේ සිට – ඡායාරූපය Matthieu Ricard

බීබීසී (BBC) සේවාව මාත් එක්ක කරපු සාකච්ඡාවක දී මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා.

“මේ විදියේ අධ්‍යාත්මික දිවියක් ගත කරන පිරිසගෙන් සමාජයට වෙන සෙතේ මොකක් ද? ඒක හරිම ආත්මාර්ථකාමී දෙයක් නේද?”

භාවනාවේ මූලික අරමුණම ආත්මාර්ථකාමීබව තුරන් කිරීම නම් කාටද කියන්න පුළුවන් මේ කාර්යය ආත්මාර්ථකාමී දෙයක් කියලා. ආත්මාර්ථකාමීත්වය අපි හැමෝගෙම ජීවිත වරින් වර වසා ගන්නවා. ඒ තත්ත්වය තුරන් කරන්නට නම් පරාර්ථකාමීත්වය පුරුදු පුහුණු කරගන්න වෙනවා. ලෝකයාට යහපතක් නොවන ක්‍රියාවන්ගෙන් වැළකෙන්න කියන එක බෞද්ධ සාරධර්මයක්. භාවනානුයෝගී තැනැත්තා තමන්ගේ ආත්මාර්ථකාමීත්වයෙන් මිදෙන්න උත්සාහ කරනවා වගේම සමාජයේ සෙසු පිරිස වෙතත් කරුණාව මෛත්‍රිය පතුරුවමින් සමාජය යහ මගට ගන්න උත්සාහ කරනවා. හුදෙකලාව අධ්‍යාත්මික දිවි පෙවෙතක් ගත කරන පුද්ගලයා වෛද්‍යවරයෙක් වගේ. වෛද්‍යවරයා දන්නවා මහ මගදී තමන්ට බැහැ කියලා බරපතල ශල්‍යකර්මයක නිතර වෙන්න. වඩාත් කාර්යක්ෂමව වැඩි රෝගීන් පිරිසකට සේවය සලසන්න නම් ඔහුට රෝහල් ගොඩනැගිල්ලක් ඇතුළට යන්නම වෙනවා. ඒ වගේම මතකයට නගා ගන්න ඕන දෙයක් තමයි, මේසන් කෙනෙකුට, පයිප්ප වැඩකරුවෙකුට බැහැ කියලා වෛද්‍යවරයාගේ ඒ කාර්යය කරන්න”.

හිමාලයේ වළාකුළු යහන – ඡායාරූපය Matthieu Ricard

අපි කොතැන ද?

තමන්ගේම ප්‍රතිමා නිර්මාණය කරගෙන මෝඩ බැතිමතුන් ලවා වන්දනාමාන කරවා ගන්න, ගොවිතැන් කටයුතු, අලි බැලීම විතරක් නෙමෙයි දරු පවුල් නඩත්තු කිරීමත් තමන්ගේ මහනකමේ කොටසක් කියලා හිතාගෙන ඉන්න, කඳු මුදුන් වල ගඩොල් ගොඩ ගහලා ඒවාට වැඳ වැටීමෙන් ධර්මාවබෝධය ලබන්නට පුළුවන් කියලා හිතන, ඒ වගේම හැමදාමත් පන්සලේ කොන්ක්‍රීට් ගොඩ ගහන, දේශපාලන නිකායන් පස්සේ හිඟා වැටෙමින් දේශපාලකයන් ඉදිරියේ තම අසුන පවා පූජා කරන, බුදුන් ලංකාවේ උපන්නා ද නැද්ද හිතමින් දහ අතේ වාද විවාද කරන, චෛත්‍ය පාමුල ලක්ෂරි පන්නයේ ආමිස පූජා පවත්වමින් චෛත්‍යය වටේ හැට්ට අන්දවන, ගැහැනියක් වීමේ විපාක ගැන සද්ධාසීල පන්නයේ වැදි බණ කියන, එහෙමත් නැතිනම් මීවනපලාන – වහරක පන්නයේ  සිවුරු රඳවන එක්ක ගත්තම බුදුන් දෙසූ දහම ලංකාවේ අපිට කොයි තරම් නම් ඈත ද කියන එක මේ පොත පුරාම වරින් වර සිහිපත් වීම කිසිසේත්ම වළක්වා ගන්නට බැහැ.

කලින් කිව්වා වගේ පිටු 700ක් පුරාවට විහිදිලා යන පොත අවසන් වෙන්නේ මෙන්න මේ විදියට.

“හිමාලයේ ‘නමෝ බුද්ධාය’ ආරාමයේ එහෙමත් නැතිනම් ටිබැටයේ හරි ලෝකයේ වෙනත් කොතැනක හරි තියෙන ඒ විදියේ භූමියක මිය යන්නට ලැබෙනවා හැරෙන්නට වෙනත් කිසිම ආසාවක් මට නැහැ. මගේ ගුරු හාමුදුරුවරුන්ගෙන් ලැබුණු ගුරු හරුකම් ඔස්සේ භාවනාව ප්‍රගුණ කරමින් මනසේ පියවි ස්වභාවය සරලව අතිවිඳිමින් මගේ අවසන් මොහොත දක්වාම හිත එකම අරමුණකට යොමු කරගැනීම තමයි මගේ එකම ප්‍රාර්ථනය. ඒ විදියට මට මගේ ගුරු හිමියන්ගෙන් ලැබුණු එක් උපදේශයක් තමයි මේ:  ‘හදිසියේ කඩා පාත්වෙන අකුණක් වගේ මරණය මේ අද දවසේම ඔබ සොයා ආවත්, ඒ අවසන් ගමනේ දී ඔබට තනිකර හැර දමා යන්නට සිදුවන කිසිම දෙයක් ගැන අවම වශයෙන්වත් බැඳීමක් ඇති කර නොගෙන පශ්චාත්තාපයක් හෝ දුකක් නොමැතිව ඒ ගමන යන්නට සූදානම් වෙන්න. ඔබේ අවසන් අරමුණ හිතේ ධාරණය කරගෙන ඈත අහසේ පියාඹා යන රාජාලියෙකු සේ මේ දිවිය හැර යන්න’”.

(මැතිව් රිකාඩ් භික්ෂුව අති දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. උන්වහන්සේගේ ඡායාරූප නරඹන්නට ඔබත් කැමැති නම් මේ පිවිසුම හරහා යන්න – https://www.matthieuricard.org/en/photographies/)

කැනඩාවේ යූකෝන්හි වොට්සන් නදිය  – ඡායාරූපය Matthieu Ricard
කැනඩාවේ ප්‍රිම්රෝස් නදිය ගුවනේ සිට  – Yukon, Whitehorse by Matthieu Ricard
දකුණු ඇමරිකාවේ Patagonie සිට ආර්ජන්ටිනාවේ Road to El Chalten දක්වා වූ මාවත – ඡායාරූපය Matthieu Ricard (Route vers El Chalten, Patagonia, October 2018)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑