කොළඹ ඉදන් කතරගමට එදා ගියේ පයින්…! දොස්තර පී. ආර්. අන්තෝනිස්

ගෙවී ගිය සියවසේ මුල් භාගයේ ගාලු පාර

 

 

බොහොමයක් අතීත මතක සටහන් හරිම සුන්දරයි. මේ නිසාම ඒ අතීත මතකයන් සිහිපත් කිරීමත් සුන්දර අත්දැකීමක්.

පැරණි ලිපි ගොනු පෙරලා බලද්දී ඒ සුන්දර අතීත මතකයට ආයෙත් සිත ඇදිලා ගියේ නොදැනුවත්වමයි.

මීට අවුරුදු දහයකට විතර ඉස්සර දවසක කොළඹ නගරය ගැන සතිපතා පිටු හතරක විශේෂාංගයක් පටන් ගන්නට මට අවස්ථාව ලැබුණා. (ඒ අවස්ථාව මට ලබා දුන්නේ එවකට දිවයින පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන් රණසිංහ සහ ප්රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහත්වරුන් බවත් ස්තුති පූර්වකව සිහිපත් කරන්නට ඕනේ). අතිරේකය පටන් ගැනීමේ අරමුණ කොළඹ නගරයේ අඩුපාඩු වගේ දේවල් ගැන කතා බහ කිරී‍්ම වුණත් මගේ අතින් ඒක සකස් වුණේ ඒ අදහසට මුලුමනින්ම පටහැනි විදියට. ඒ කියන්නේ කොළඹ අතීතය යළි ආවර්ජනය කරන විදියට. අතිරේකය මට අවශ්‍ය විදියට කරන්න සම්පූර්ණ නිදහස කතුවරුන්ගෙන් ලැබුණු නිසාම අවසානයේ දී ඒක මුලුමනින්ම කොළඹ නගරයේ ඉතිහාසය සොයා යන අතිරේකයක් බවට පත්වුණා.

මේ අතිරේකයේ දී මං වඩාත් ම සතුටින් කළ කාර්යය වුණේ මව්බිමේ නම රැන්දූ විශිෂ්ට මිනිසුන් සොයා ගෙන ඔවුන්ගේ අතීත අත්දැකීම් මතු කරගන්නට දරපු උත්සාහයයි. මේ හැම දෙනාම සමාජයේ කැපී පෙනුණු බොහොම ගරු ගාම්භීර උදාරතර චරිතයන් වුණත් තමන්ගේ අතීත මතකයන් සිහිපත් කරද්දී ඒ හැම දෙනාම බොහොම සංවේදීව ඒ වගේම සැහැල්ලු මනසින් හා සුහදව කතා බහට එක්වෙච්ච හැටි නම් හරිම අපූරුයි. ඒත් ඒ  බොහොම දෙනෙක් අද ජීවතුන් අතර නැති බව නම් සිහිපත් වෙද්දී සිතට දැනෙන්නේ හරිම කණගාටුවක්.

මේ අතිරේකයේ මංගල කලාපයේ සාකච්ඡාවට මං එක්කර ගත්තේ විශේෂඥ දොස්තර පී. ආර්. අන්තෝනිස්.  ලංකාවේ සිටි  අංක එකේ ශල්‍ය වෛද්‍යවරයෙක් වූ ඔහු ලංකාවේ ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයා ද වුණා. මේ සාකච්ඡාව කරන කාලයේත්  වෛද්‍ය වෘත්තියෙහි නිරතව සිටි දොස්තර අන්තෝනිස් ඒ වනවිට කොළඹ සරසවියේ කුලපතිවරයා ලෙසයි සිටියේ. හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට වෙඩි වැදීමෙන් පසු කළ අවසන් ශල්‍ය කර්මයට සහභාගි වූයේත් දොස්තර අන්තෝනිස්.

මා ඔහු හමු වුණේ විහාර මහා දේවි උයන ඉදිරිපිට තියනෙ ඔහුගේ නිවසේ දී යි. ටයි පටියක් ද සමගින් සම්පූර්ණ යුරෝපීය ඇදුම් කට්ටලයකින් සැරසී සිටි ඔහු මා යනවිටත් කිසියම් රෝගියෙකු පරීක්ෂා කරමින් සිටි නිසා සුලු මොහොතක් එහි රැදී සිටින්නට මට සිදුවුණා. ඒ කාමරය පුරාම රසායන දියරින් පුරවා තිබූ බෝතල්වල මිනිස් අවයව රාශියක් දකින්නට තිබුණු  ආකාරය මට හොදට මතකයි. ඒ වනවිටත් ඔහු තම නිවසේ වෛද්‍ය සේවා කටයුතුවල නිරතව සිටි නිසයි ඒ. රෝගියා නික්ම ගිය පසු ඒ කාමරයේ දී ම අපි සාකච්ඡාව ආරම්භ කළත් තමන් නිතිපතා සිදු කරන බරපතල වෛද්‍ය සාකච්ඡාවන්ට වඩා වෙනස් මගක් ගනිමින් තමන්ගේම අතීතය සිහිපත් කරන මේ සංවාදය සුලු වේලාවකින්ම ඔහුගේ සිත් ඇද ගත්තා.

ඒ නිසාම සංවාදය සිදු කෙරුණේ රාජකාරී ස්වභාවයෙන් පිරී තිබුණු කාර්යාල කාමරයෙන් ඉවතට ගිහින් ගස් කොළං අවටින් පෙනෙන විසිත්ත කාමරයේ දී යි. 

හෝරා දෙකක පමණ කාලයක් ඉතාම සුහදව හා සැහැල්ලුවෙන් කෙරුණු කතා බහ අවසානයේ දී ඔහු තවත් රසවත් කරුණක් සදහන් කළා. බෙහොම දෙනෙක් තමන්ට  “ ඇන්තනිස් ” ලෙස කිව්වත් තමන් ඒකට අකමැති බවත් , තමන්ගේ නම “ අන්තෝනිස් ” මිස ඇන්තනිස් නොවන බවයි ඒ.

මේ ලිපිය දිවයින පුවත්පතේ පළ වුණෙ 1999 දී විතර. සාමාන්‍යෙයන් පුවත්පතක ලිපියක් පළ වුණාම ඇතැම් කෙනෙක් දුරකථනයෙන් කතා කරලා ස්තුති කිරීම පුවත්පත් කලාවේදියෙකු නිතර මුහුණ දෙන සුලභ අත්දැකීමක්. ඒත් දොස්තර අන්තෝනිස්ගෙන් සිදු වුණේ ඊට වඩා වෙනස් දෙයක්. ඔහු තමන්ගේ වටිනා කාලයෙන් කොටසක් වෙන් කරලා තමන්ගේම අත්සනින් යුක්තව ඉංගිරිසි බසින් ලියූ ස්තුති සටහනක් ලියාපදංචි තැපෑලෙන් මගේ නමට එවලා තිබුණේ ඔහු තුළ පැවැති ඒ නිහතමානී ගතිගුණ නිසා බවත් ඔහුට ගරු කිරීමක් ලෙසින් මෙහි සදහන් කරන්නට ඕනේ.

ගෙවී ගිය සියවස ආරම්භයේ දී ඒ කියන්නේ 1911 වසරේ දී උපත ලැබූ මේ විශිෂ්ට මිනිසා තමන්ගේ 90 වැනි උපන් දිනයට මාසයක් තිබිය දී සිය ජීවිතයෙන් සමුගත්තා. සැදැහැවත් බොදුනුවෙකු වූ දොස්තර අන්තෝනිස්ට නිවන් සුව ලැබේවා…!

  මම ඉපදුණේ බම්බලපිටියේ. අපේ ගෙදර ඇතුළේ බුදුහාමුදුරුවන්ගේ      රූපයක් රාමු කරලා එල්ලලා තිබුණා. ඒත් ගෙදර ඉස්සරහ එංගලන්ත රජ පවුලේ රූපයකුයි , සාර් රජ පවුලේ රූපයකුයි රාමු කරලා තිබුණා. රජ පවුලේ පිංතූරයක් එදා හැම ගෙදරකම වගේ තිබුණා.

එදා මුලු කොළඹම හුගාක් පාලුයි. ගෙවල් තිබුණේ හරිම අඩුවෙන්. ගාලු පාර හරිම පටුයි. ඇත්තටම කියනවා නම් ගාලු පාර විදියට තිබුණේ ගුරු පාරක්. ගාලු පාරට තාර දාපු දවසත් මට තාම මතකයි. එදා තාර දාන්න ගෙනාව යන්තරේ සද්දයට අශ්වයෝ හොදටම කුලප්පු වුණා. ඒ කාලයේ වැඩියෙන් ම තිබුණේ අශ්ව කරත්ත , බර කරත්ත , බක්කි කරත්ත තමයි. මෝටර් සයිකල් කිහිපයකුත් තිබුණා. ඒත් ඒවාට සයිලන්සර් තිබුණේ නැහැ. මේ හින්දා වැල්ලවත්තේ ඉදන් මෝටර් සයිකලයක් එනකොට කොල්ලුපිටියට ම ඇහෙනවා. ඒ සද්දේ ඇහෙන කොට අපි පාරට දුවගෙන ඇවිත් ඒක යනකම් බලාගෙන ඉන්නවා. අපි ඉස්කෝලේ ගියේ රික්ෂෝවල. ඒත් ටික කාලයකට පස්සේ “ බවුස්ටඩ් ”සමාගමේ බස් තුනක් පාරේ දිවුවා. මට මතක විදියට මෝටර් කාරෙකක් මුලින් ම කොළඹට ගෙනාවේ ඒ. එම්. ඩී. සිල්වා මහත්තයාගේ ගෙදරට. ඒ මහත්තයාගේ මාමා හිටියේ කොල්ලුපිටියේ මුහුද අයිනේ ලොකු ගෙදරක. එතැන ඉදන් වැල්ලවත්තේ ශ්රබරී උද්‍යානයට යනකල්ම ලොකු වත්තක් එයාට තිබුණා.

මම කලින්ම ඉගෙන ගන්න ගියේ බම්බලපිටියේ වජිරාරාමයට. පැලෑණේ ශ්රී වජිරඥාන හාමුදුරුවෝ තතමයි පන්සලේ වැලි මලුවේ “ අ ” යන්න ලියන්න මට මුලින්ම කියලා දුන්නේ.  ඒ කාලයේ බම්බලපිටියේ වජිර පාරේ ඉදන් එක දිගට ම තිබුණෙ රතු පාට බොරලු තිබ්බ පටු පාරක්. විශාඛා විද්‍යාලය ඒ වෙනකොට තිබුණේ නැහැ. එතැන තිබුණේ ලොකු කැලෑවක්. හැව්ලොක් පාරට යනකල් ම එකම ගෙයක්වත් දකින්න තිබුණේ නැහැ. එක දිගට ම රබර් වත්ත. රබර් වත්ත මැද්දෙන් අඩි පාරක් තිබුණා. අපි ඒ අඩි පාරේ තමයි ගමන් බිමන් ගියේ.

බුලර්ස් පාරේ ඉදන් මහ පාරට එන්නත් එදා පාරක් තිබුණේ නැහැ. බගතලේ පාරට යනකල් ම සම්පූර්ණයෙන් ම තිබුණේ ලොකු වත්තක්. ඒ වත්ත අයිති වෙලා තිබුණේ ශ්රීමත් චාල්ස් හෙන්රි ද සොයිසා මහත්තයට. ඒ වෙනකොට දෙහිවල සත්තු වත්ත හදලා තිබුණේත් නැහැ. චාල්ස් සොයිසා මහත්තයාගේ වත්තේ පුංචි සත්තු වත්තක් තිබුණා. ගෝන්නු , මුවෝ වගේ සත්තු ඒකේ හිටියා. චාල්ස් මහත්තයාගේ ගේ තමයි ලොකුම ගෙදර. කොළඹ කොහේවත් එදා තට්ටු ගෙවල් තිබුණේ නැහැ. කටුගේ තමයි තිබුණු ලොකුම ගොඩනැගිල්ල. උසම ගොඩනැගිලි නම් තිබුණේ කොටුවේ චැතැම් වීදියේ ඔරලෝසු කණුව ළගයි.

මම මුලින්ම ගිය ඉස්කෝලේ තමයි සෙන්ට් පීටර්ස් පාසල. අපිට ඉස්කෝලයට භාර ගත්තේ ගෙදරදීවත් සිංහලෙන් කතා කරන්නේ නැහැ කියන පොරොන්දුව උඩයි. එතකොට මට ඉංගිරිසි බැහැ. හාර මාසයක් ඇතුළත ඉංගිරිසි ඉගෙන ගත්තේ නැතිනම් ඉස්කෝලයෙන් අස් කරනවා කියලා ෆාදර් නිකලස් කිව්වා. කොහොම හරි මම ඉංගිරිසි ඉගෙන ගෙන පස් වැනි කැලෑසියේ ඉදන් ඉංගිරිසි තෑග්ගත් දිනුවා.

එදා කොළඹ ගෙවල්වල නාන කාමර , වැසිකිළි එහෙම තිබුණේ නැහැ. කොළඹ කවුරුත් නාන්න ගියේ “ බාල්දි වත්ත ” ට. ඒක තිබුණේ දැන් මල්ලිකා නිවාසය තියෙන වත්තට අල්ලපු වත්තේ. අපි බම්බලපිටියේ ඉදන් පයින් ම එතැනට යනවා. පාර වැටිලා තිබුණේ වතු මැද්දෙන්. ගෙවල් අඩු නිසා හැමෝම අදුනනවා. මේ නිසා නාන්න යනකොට හම්බු වෙන හැම ගෙයක් ම “ හා… හා…කෑම ටිකක් කන්න එන්න ” කියලා අපිට කතා කරලා කෑම බීම නොදී මිසක් යන්න දෙන්නේ නැහැ. බාල්දි වත්තේ ලොකු ළිදක් තිබුණා. ගැහැණු පිරිමි වෙන වෙනම කොටස් දෙකක එතැන නෑවා.

ගෙවල්වල වැසිකිළි තිබුණේ නැති නිසා සේරම ගෙවල්වල අය වතුර අරගෙන එක වත්තක තිබුණු බාල්දි වැසිකිළිවලට යනවා. ගැහැණු පිරිමි දෙගොල්ලන්ට වෙන වෙනම බාල්දි තිබුණා. මහ රෑට එන මනුස්සයෙක් ඒ බාල්දි සෝදනවා.

කඩවල් ගානේ ගිහින් එදා බඩු ගේන්න ඕන වුණේ නැහැ. ලූණුකාරයා , වට්ටි අම්මා ගෙදරට ම එනවා. දවල්ට පාන් අරගෙන කෙනෙක් එනවා. හවසට කේක් අරගෙන වෙළෙන්දෙක් එනවා. “ බ්ලූඩර් ”කියලා වර්ගයක් තමයි කේක් විදියට ඒ කාලයේ තිබුණේ. කරත්තෙන් එන වෙළෙන්දෙක් ගේ ඉස්සරහ පැත්තේ පැදුරක් එළලා කරත්තේ බඩු සේරම ඒ පැදුරට හලනවා. එතැන හොද ඇදුම් , අරුමෝසම් බඩු වගේ දේවල් තියෙනවා. රෙදි නැන්දාත් ගෙදර එනවා. රෙදි නැන්දාට සල්ලි වෙනුවට හාල් , පොල් තමයි දෙන්නේ. කොහොමටත් එදා කොළඹ කඩ තිබුණේ හරිම අඩුවෙන්. ඒවායේත් වැඩියෙන්ම වෙළදාම් කළේ මුස්ලිම් අය.

ඉස්කෝලේ යනකොට මට ගෙදරින් සත පහක් ලැබෙනවා. සත තුනකට දවල්ට එන පාන් වෙළෙන්දගෙන් පාන් පෙති අරගෙන කනවා. සත දෙකකට අයිස් ක්රීම් කනවා. තුට්ටුව , තුට්ටු දෙක , සත භාගේ , සත කාලේ මුදල් මට හොදට මතකයි.

රාජගිරිය හන්දියේ අද තියෙන බෝ ගහ ළග එදා තිබුණේ රේන්ද පොළක්. එතැනින් යන අය රේන්ද පොළට ශතයක් දාන්න ඕනේ. වැලිකඩ ඉදන් කලපලුවාවට යනකල්ම කන්ද. කන්ද නගින කොට පිරිමි ටික කරත්තෙන් බහිනවා. නැතිනම් කරත්තය අද්දන්න බැහැ. දියවන්නා ඔය ළග ඉදන් ඉස්සරහට යනකල් මුලු පැත්තටම තිබුණේ ගෙවල් දෙකයි.

මුලින්ම අපට චිත්තරපටියක් බලන්න ලැබුණේ කොල්ලුපිටියේ ශ්රබරී උද්‍යානයේ ටෙන්ට් එකක් ගහලා පෙන්වපු ජර්මන් චිත්රපටියක්. අපේ ගෙදර හැමෝම ඒක බලන්න ගියා. ඒකේ එක “ සීන් ” එකක කොල්ලයි කෙල්ලයි ඉඹිනවා. මේක දැකපු අපේ තාත්තා “ චිහ් … මේව බලන්න ද සල්ලි දීලා ආවේ ” කියලා ගෝරනාඩු කරලා අපිවත් ඇදගෙන නැගිටලා ගියා.

ඩාර්ලි පාරේ කෙළවරේ “ සීවලී තියටර් ”කියලා සිනමා ශාලාවක් තිබුණා. හවස තුනට තමයි චිත්රපට පෙන්වන්න පටන් ගන්නේ. ඒවා කලු සුදු. දෙබස් නැහැ. ඉංගිරිසියෙන් කතාව ලියැවෙනවා විතරයි. චිත්රපටය බලලා පයින් ම ආයෙත් බම්බලපිටියට එන්න ඕනේ. බම්බලපිටියේ ඒ කාලයේ බත් කඩ කිහිපයකුත් තිබුණා. අපේ තාත්තාටත් කුලියට දෙන්න ගෙවල් පහක් තිබුණා. ඒ ගෙවල් කුලියට දුන්නේ රුපියල් දහය ගානේ. අපේ ආච්චි අබිං කනවා. අපි බම්බලපිටියේ ඉදන් කොටුවට රික්ෂෝ එකකින් ගිහින් මේන් ස්ටීරීට් එකේ කඩයකින් අබිං ගන්නවා.

නිදහස් චතුරසය ලග අද තියෙන ස්වදේශීය කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තියෙන තැන එදා තිබුණේ පිස්සන් කොටුවක්. ඒකේ හිර කරලා තිබුණු පිස්සේ කෑ ගහන සද්දය ඈතට ඇහෙනවා. හරියට මී වදයක මී මැස්සෝ ගුමු ගුමු ගානවා වගේ. ඒ කාලයේ ඒවාට හරියට වෙදකමකුත් තිබුණේ නැහැනේ.

බුලර්ස් පාරේ ඉදන් බොරැල්ල කනත්ත ලගට යනකල්ම පාර හරිම පාලුයි. කිසිම මනුස්සයෙක් නැහැ. මිනිරන් පතල් වලින් ගන්න මිනිරන් ඒ කාලේ කනත්ත ලගට.

ඒ කාලේ කොළඹ මීනී මැරුම් වගේ දේවල් තිබුණේ ම නැති තරම්. එහෙම එකක් වුණොත් එහෙම කවි කොළ ගහලා විරිදු කියලා ඒකට ලොකු ප්රසිද්ධියක් දෙනවා. ගෙවල් බිදුම් නම් තරමක් තිබුණා. හරක්  හොරකමත් එදා කොළඹ තිබුණා.

එදා කොළඹ හිටිය පිරිමි හැමෝම වගේ ඇන්දේ පට සරම. එහෙම නැතිනම් පලේකාට් සරම. බැනියමකුත් ඇන්දා. ලේන්සුවක් නම් කරේ තියෙනවාමයි. අපේ තාත්තා නම් ඇන්දේ සරමයි , ලොකු සෙරෙප්පු දෙකකුයි විතරයි. හැබැයි ගමනක් යනකොට පනාව නම් කොණ්ඩේ ගහ ගන්නවාමයි. එතකොට සුදු කෝට් එකකුත් දාගන්නවා. ගෑණු අය හැමෝම ඇන්දේ සුදු පාට හැට්ට. සාය නම් එක එක පාටින් ඇන්දා. අපේ ඉස්කෝලේ ඇදුමට නිල ඇදුමක් කියලා දෙයක් තිබුණේ නැහැ. හැබැයි අපි හැමෝම තොප්පි දාගෙනයි ඉස්කෝලේ ගියේ.

කොළඹ එදා වැඩියෙන් ම තිබුණේ වඩු වැඩ , මේසන් වැඩ වගේ රස්සාවල්. බඩල් මිනිස්සු , නයිදෙ (කම්මල්කරුවන්) අනිවාර්යයෙන්ම හිටියා. කොළඹින් පිට නම් ඉතින් ගොවිතැන තමයි.

ට්රෑම් කාර් කොළඹට ආවේ පස්සේ කාලයක. පිටකොටුව ඉදන් ග්රෑන්ඩ්පාස් වලටත් , මරදානේ ඉදන් බොරැල්ලටත් උදේ ඉදන් රෑ වෙනකල්ම ට්රෑම් කාර් දෙකක් හැම තිස්සේ ම එහා මෙහා ගියා. හෝල්ට්ස් තිබුණේ නැහැ. ලණුව ඇද්දම ඕනෑම තැනක නවත්තනවා. ඩැයිවර් වගේ ම කොන්දොස්තරත් නිල ඇදුමක් ඇන්දා. ට්රෑම් කාර් එක තමයි වේගයෙන් ම යන්න තිබුණු වාහනේ. ගෙවල්වල පාවිච්චි කළේ භූමිතෙල් පහන්. ජර්මනියෙන් ගෙන්නපු චිමිනි තමයි හොදම චිමිනි. පාරවල්වල ගෑස් පහන් තිබුණා.

ඉස්සර අපි හැමෝම ආගම දහමට ලැදියි. පැය දෙක හමාරක් ම එක දිගට බණ කියනවා. අපි පැදුරු අරගෙන තමයි පන්සලට යන්නේ බණ අහන්න. බණ ඉවරවුණාම රතිඤ්ඤා මල් වෙඩි පත්තු කරනවා. මරණයක් වුණාමත් දවස් හතක් යනකල් එක දිගට ම වෙස්සන්තර ජාතකය කියවනවා. වට්ටක්කා , මෑ කරල් , කරවල තමයි දානෙට උයන්නේ. හැමෝම ඒ බත් කන්න ඕනේ. නොකා ගියොත් අමනාප වෙනවා.

ඒ කාලයේ කොළඹ තිබුණු පත්තරවලින් “ කවට කතිකයා ” හරිම ජනප්රියයි. “ මෝනිං ස්ටාර් ” පත්තරේත් තිබුණා. ඒත් ඉංගිරිසි දන්න අය හිටියේ අඩුවෙන්. කිකට් , ෆුට්බෝල් වගේ සෙල්ලම් තිබුණේ නැහැ. අපි බෝල ගහන එක තමයි කළේ.

මගුලක් වුණාම අස්ස කරත්තේ සුදු අස්සයෝ දෙන්නෙක් බැදලා මනාල ජෝඩුව යනවා. මගුල් මේසයේ පනහකට හැටකට කන්න දෙන්න පුලුවන්. පිට අය ඒ මේසයේ ඉද ගන්නේ නැහැ. කුල භේදය ඒ කාලයේ තදින්ම කොළඹත් තිබුණා.

කොළඹ මහ රෝහල එදත් තිබුණේ දැන් තියෙන තැනමයි. ගැබිණි වාට්ටුවකුත් ඒකේ තිබුණා. ඒත් ගෙදරම තමයි හුගාක් වෙලාවට  දරු උපත් සිද්ද වුණේ. විහාර මහා දේවි උද්‍යානයත් එදා තිබුණා.

අපේ ආච්චි තරුණ කාලයේ බම්බලපිටියේ ඉදල් කතරගමට වන්දනාවේ යන්නේ පයින්. කණ්ඩායම් හැදිලා. මාස තුනක් විතර යනවලු යන්න. අතරමග නවාතැන් ගන්නවා. අපේ ආච්චි බම්බලපිටියේ ඉදල් පයින් ම සිරීපාදේ දහ සැරයක් ගිහින් තියෙනවා. පයින් යන්න බැරි අය බර කරත්තවල යනවා. එදා කවුරු ගෙදරකට ආවත් නවාතැන් දෙන්න ඕනේ. නැතිනම් කන්න බොන්න තැනක් වෙන නැහැ. අපේ ගෙදරත් ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට නවාතැන් දෙන්න පැදුරු තිබුණා. කෑම දෙන්නත් ලැහැස්ති කරලා තිබුණා.

ඒ කාලේ කොළඹ කෑම බීම හරිම පිරිසිදුයි. පළතුරු , එළවලු වත්තෙන්මයි ගත්තේ. හැමෝම එක වගේ එකමුතුයි. ඒ එකමුතුව සහෝදරත්වය අද දකින්නවත් නැහැ.

3 thoughts on “කොළඹ ඉදන් කතරගමට එදා ගියේ පයින්…! දොස්තර පී. ආර්. අන්තෝනිස්

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: