මෝඩයාගේ දවස කවදා ද …?

මෝඩයාගේ දවස යෙදෙන්නේ කවදා ද කියලා කියන්න හැමෝම දන්නවා.

මේ දවසට බොහොමයක් පත්තරවලත් මුල් පිටුවේ විකාර පුවතක් දෙකක් පළ කරන්නේ තමන්ගේ පාඨකයාව මෝඩයාට අන්දන්නටයි.

මෝඩයාගේ දවස ගැන ආපහු සැරයක් හිටි හැටියේම සිහිපත් වුණේ පහුගිය ඉරිදා දවසක රජයේ ප්රධානතම සිංහල සති අන්ත පුවත්පතක මුල්ම පුවත විදියට දැවැන්ත කලු අකුරින් පළ කරලා තිබුණු පුවතක් ඇස ගැටුණු හින්දයි. මේ පුවතෙන් කියවුණේ ඕනෑම පුවතක් ඇත්තක් නම් එය පළ කරන්නට පැකිළෙන්නට එපා යැයි ජනාධිපතිවරයා රජයේ මාධ්‍යයන්ට පවා දැනුම් දුන්නා කියලයි.

මේ වගේ අදහසක් ජනාධිපතිවරයා පැවසීම වෙනම කරුණක්. ඒත් ඒ අදහස විශේෂයෙන්ම සති අන්ත පත්තරයක මුල්ම පුවත විදියට පොල් ගෙඩි අකුරින් පළ වීම නම් කිහිප සැරයක්ම හිතන්න ඕන කරුණක්.

ඒකට හේතුව පොල් ගෙඩි අකුරින් පළ කරන්න සුදුසු පුවත් ඕන තරම් තියෙද්දී මේ වගේ අදහසක් මුල්ම පුවතවිදියට පළ කරන්නට මොකක් හෝ විශාල හේතුවකුත් තියෙන්නට ඕන කියලා ඇමතිවරයකුගේ චූටි මොළයකට වුණත් තේරෙන නිසයි. (මිහින්තලේ පහළ මලුවේ නායක චීවරධාරියා නොදරුවෙක් දූෂණය කිරීමේ සිද්ධිය ගැනවත් අඩුම තරමින් විශේෂාංග ලිපියක් තියා පුංචිම පුංචි නිවුස් කෑල්ලක්වත් මේ මහා ජාතික පුවත්පතේ පළ නොවුණ එක මෙතැනට අදාළ කාරණයක් නෙමෙයි)

කොහොම වුණත් කලින් කිවුව විදියට මේ පුවත පළ වුණු ඉරිදා දිනය මෝඩයාගේ දවස නොවුණත් මේ විදියේ පුවතක් එදා දවසේ මුල්ම පුවත විදියට පළ කරන්නට ඇත්තේ ලංකාවේ පුවත්පත් කියවන පාඨකයා අවුරුද්දේ දවස් 365 ම හැමදාමත් මෝඩයාගේ දවසට අදින හින්දා වෙන්න පුලුවන්.  (එහෙම කියන්නේ ඇයි කියලා මේ ලිපියෙන්ම කතා කරමු).

දෙවැනි කාරණය නම් පුවත්පතක් කියන්නේ ඒ වචනයෙන් කියැවෙන විදියටම ඇත්ත පුවත් පළ කරන මාධ්‍යයක්. එහෙම නැතිනම් ඒක කැලෑ පත්තරයක්නේ…! ඉතින් පුවත්පතින් ඇත්ත කියන්න පැකිලෙන්න එපා කියන අදහස පත්තරයකම මුල්ම පුවත විදියට පළ කෙරෙන්නේ ඒ අදහස පවා ඒ පුවත්පතට මහා ලොකු පුවතක් එහෙත් නැතිනම් මැජික් එකක් වෙලා නිසයි. ඒ කියන්නේ ජාතික යැයි කියාගන්නා මේ මහා සති අන්ත පුවත්පතේ මේතාක් කාලයක්ම පළ වෙලා තියෙන්නේ පල් හෑලි මිසක් පුවත් නෙමෙයි.

දැන් අපි ජනා‍ධිපතිවරයායි, ඔය ජාතික පත්තරයයි පැත්තකින් අයින් කරලා ජනාධිපතිවරයා කිවුව අදහස ගැන විතරක් හිතුවොත් ඒක මුලුමනින්ම විහිලුවක්… එහෙමත් නැතිනම් විකාරයක්. ඒකට හේතුව ලංකාවේ කිසිම මාධ්‍යයකට නිවැරදි සැබෑ පුවත් පළ කරන්නට හැකියාවක් නැති හින්දයි. එහෙමත්‍ නැතිනම් ඒ විදියේ අවශ්‍යතාවක් නැති හින්දයි. ඒක මේ ආණ්ඩුව යටතේ විතරක් වෙන දෙයක් නෙමෙයි. බලයට පත්වුණු සෑම ආණ්ඩුවක් යටතේම සිද්ධ වුණු , සිද්ධ වෙන දෙයක්. මාධ්‍ය නිදහස ගැන කොහොමටත් කාටත් මතක් වෙන්නේ විපක්ෂයට ගියාමනේ.

(සමහර විට ඔබට හිතෙන්න පුලුවන් බටහිර රටවල ඔය කියන පූර්ණ මාධ්‍ය නිදහස තියෙනවාද කියලා. ඒත් අපි මේ කතා කරන්නේ “ආසියාවේ ආශ්චර්යය”  වුණු ලංකාව කියන දූපත ගැනයි. ඒ නිසා බටහිර මාධ්‍ය භාවිතාව වෙනම ලිපියකට තියා ගනිමු)

හැම දෙයකටම ඇමතිවරයෙක් වගේම ඇමති කාර්යාලයකුත් තියෙන අපේ රටේ රෙදි ඇපිල්ලීමට විතරක් වෙනම අමත්‍යංශයක් නැත්තේ සියලු රෙදි ඇපිල්ලීමේ සහ සෝදා වේලීමේ කාර්යයන් රජයේ මාධ්‍යයන්ට නිල බලයෙන්ම පැවරිලා තියෙන නිසයි. මේ නිසා රජයේ මාධ්‍ය ගැන මෙතැනදී කතා කරන එකත් මේ ඉඩකඩ අපතේ යැවීමක්. ඒ හින්දා මහජන මුදලින් රෙදි ඇපිල්ලීමේ කාර්යය ඒ අයට දිගටම කරගෙන යන්න ඉඩදීලා අපි අනෙක් මාධ්‍ය දිහාවට හැරෙමු.

ලංකාවේ විද්යුත් හෝ මුද්රිත හෝ කිසිම පුද්ගලික මාධ්‍ය ආයතනයක් ස්වාධීනව ක්රියාත්මක වෙන්නේ නැහැ. ඒක බොහොම වගකීමෙන් කියන්න පුලුවන්. ඒ හැම ආයතනයක්ම ක්රියාත්මක වෙන්නේ එක්කෝ දේශපාලන අරමුණක් වෙනුවෙන්. එහෙමත් නැතිනම් සිය ව්‍යාපරික ජාලය පුලුල් කර ගැනීමේ තවත් එක් ව්‍යාපෘතියක් වෙනුවෙන්. ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් පුවත් පළ කිරීමේ අදහසින් පවත්වාගෙන කිසිම මාධ්‍ය ආයතනයක් ලංකාවේ නැහැ. මේ සෑම ආයතනයකම අයිතිකරුවා , සරලව කියනවා නම් මුදලාලි මහතා අනිවාර්යයෙන්ම දේශපාලනය එක්ක බද්ධ වෙච්ච කෙනෙක්. සමහරුන් සෘජුවම පාර්ලිමේන්තු මන්තිරිවරුන්. තවත් සමහරුන් සංස්ථා සභාපතිවරුන්.

අයිතිකරුවන් පමණක් නෙමෙයි මේ පත්තරවල කතුවරුවරුන් පවා රජයට සම්බන්ධ මොකක් හෝ ආයතනයක , එහෙමත් නැතිනම් මණ්ඩලයක සාමාජිකයන්. පොදුවේ ගත්තම මේ සියල්ලන්ම පවතින දේශපාලන දේහයේ බොහොම සජීවී කොටස්කරුවන්. ඒ වගේම ඒ ජරා ජීර්ණ ව්‍යුහයෙන් යැපෙන පිරිසක්. ඉතින් මේ ව්‍යුහය වෙනස් කරන්නට ඒ කිසිවෙකුට ඕනකමක් නැතිවා වගේම මතුපිටින් පෙනෙන බොහොම ලස්සන පටපිලී දැවටිල්ල ගලවලා දාලා මේ සමාජ දේහයේ සැබෑ නිරුවත අපේ ජනතාවට පෙන්වා දෙන්නත් මේ අය කැමති නැහැ. (තමන් හම්බු කරගෙන කන කප්රුකේ අතු පතර කපා දාන්න කැමති වෙන්නේ කවුද…?)

ඉතින් මේ හින්දා බොහොම රැඩිකල් විදියට පෙනෙන මාධ්‍ය ආයතන වලින් පවා රජයෙන් හරි විපක්ෂයෙන් හරි එහෙත් නැතිනම් ඇමතිවරයෙක්ගෙන් හරි කෙරෙන දහසකුත් එකක් නොසන්ඩාල වැඩවලින් අංශුවක් පෙන්වා දෙන්නේත් බොහොම සීරුමාරුවට අඩුම තරමින් ඒ ඇමතිවරයාටවත් කරදරයක් නොවන විදියට හරිම අහිංසක විදියට. ඒ මොකද කියනවා නම් මේ ජරා ජීර්ණ වේදිකාවේ එක කුලුණක් හරි දෙදරලා ගියොත් හැමෝම  නටන නැටුම් එළිවෙනවානේ. මේ හින්දා අඩුම තරමින් විපක්ෂය පවා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ වංචා දූෂණයක් ගැන කතා කරන්නේ බොහොම පරිස්සමින්. පාදමට කිසිම අනතුරක් නැතිව මතුපිටට විතරක් පොඩි තට්ටුවක් දාන විදියට. ඇයි බලයට ආවාම තමන්ටත් ඒකම කරන්න ඉඩ තියෙන්න ඕනනේ. ඉතින් මේ විදියට ආණ්ඩුවත් , විපක්ෂයත්  ,  ජාතික යැයි කියාගන්නා අපේ මාධ්‍යයත් එකට අත්වැල් අල්ලාගෙන නටන මේ මොනර නැටුමේ පිල් කළඹ දිහා විතරක් බලන්නට අපේ කීකරු පුරවැසියනුත් දැන් අඩසිය වසක කාලයක් තිස්සේම පුරුදු පුහුණු වෙලයි ඉන්නේ.

ලංකාවේ දිනපතා පුවත්පතක සාමාන්‍ය මිල රුපියල් විස්සක්. ඒත් එක් පත්තරයක නිෂ්පාදන වියදම රුපියල් හතලියක් විතර වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන වියදම පුවත්පතේ මිලට වඩා වැඩියි. ඉතින් කොහොම ද මේ නිෂ්පාදන වියදම පියවා ගන්නේ…? ඒක පියවාගන්නේ දැන්වීම්වලින්. මේ නිසා පත්තරයේ පුවත් පළ වෙන්න ඕන කොයිතරම් පිටු ප්රමාණයකින්ද කියලා තීරණය කරන්නේ පත්තරයේ දැන්වීම් අංශයෙනුයි. ඒ කියන්නේ දැන්වීම් අංශයෙන් මෙන්න මේ ඉඩ දැන්වීම්වලට වෙන්කරන්න ඕනය කියලා කරන නියෝගය කඩ කරන්න පත්තරයක කතුවරයෙකුටවත් බැහැ. මේ නිසා දැන්වීම් අංශයෙන් වෙන් කර දෙන ඉඩකඩ ප්රමාණයේ විතරයි පත්තරයක පුවත් පළ වෙන්නේ. මේ නිසා ජනතාවගේ කියවීමේ අයිතිය තීරණය කරන්නේ රටේ මුදලාලිලා පිරිසයි. රටේ කොයි තරම් දේවල් සිද්ධ වුණත් පුවත් පළ කරන්නට හැකියාව තියෙන්නේ මුදලාලිලා වෙන් කරදෙන ඉඩකඩේ විතරයි.

මෙතැන තියෙන තවත් භයානකම කරුණ වෙන්නේ මේ මුදලාලිලාට සම්බන්ධ දැවැන්ත ව්‍යාපාර ජාලයේ කිසිම ආයතනයකින් සිද්ධ වෙන දූෂණ විතරක් නෙමෙයි ජනතාවට සිද්ධ වෙන කිසිම හිරිහැරයක් පුවත්පත්වල පළ කරන්නට අයිතියක් නැති වීමයි. මෑතකදී හිර කූඩුවේ පවා ලගින්නට සිද්ධ වුණු ලංකාවේ අංක එකේ කෝටිපතියෙකුගේ ආයතනවලින් ලැබුණු දැන්වීම්වලින් පමණක් බොහෝ මාධ්‍ය ආයතනවල සේවකයන්ගේ පඩි නඩි පවා ගෙවන්නට තරම් විශාල වුණු නිසා මේ කෝටිපතියාගේ ව්‍යාපාර ජාලයෙන් සිද්ධ වුණු මහජන හිරිහැර පමණක් නෙමෙයි ඔහුගේ බලපෑම මත සිද්ධ වුණු ආගම්වලට හැරවීමේ ව්‍යාපෘති ජාලය ගැන පවා වචනයක්වත් ලියන්නට සිංහල බෞද්ධ ජාතික පුවත්පත්වලට පවා හැකියාවක් තිබුණේ නැහැ. ලංකාවේ හැමෝම දන්නා මාජරින් වර්ගයක් අවුරුදු තුනෙන් අඩු දරුවන්ගේ වර්ධනයට හානි කරනවා කියලා මෑතකදී උසාවියෙන් පවා තීරණය වෙලා තියෙද්දීත් ඒ අධිකරණ තීන්දුවවත් පුවත්පත්වල පළ නොවන්නේ දරුවන් මැරිලා ගියත් දැන්වීම් කොන්තරාත්තුව අහිමි කර ගැනීම ඊට වඩා පාපයක් කියලා ජාතික පුවත්පත්වලට වගේම රූපවාහිනී නාලිකාවන්ටත් හිතෙන හින්දයි.

අද දවසේ පුවත්පත් රූපවාහිනී ආයතනවලට දැන්වීම් කොන්තරාත් හිමිවෙන්නේ ඊට සමගාමීව අදාල රූපවාහිනී ආයතනයේ ගුවන් කාලයෙන් හෝ පුවත්පතේ ඉඩකඩෙන් සැලකිය යුතු ඉඩක් ඒ ආයතනවල පුරසාරම ගැනකියැවෙන ලිපිවලට වෙන්විය යුතුය යන කොන්දේසියත් එක්කයි. මේ නිසා කතා කරන්නට මොන තරම් දේවල් තිබුණත් කතා කළ යුත්තේ මුදලාලිලා කතා කළ යුතු යැයි බල කරන දේවල් විතරයි. කොහේවත් යන තෙල් බෙහෙත් වෙළෙන්දෙක් බොහොම අනුහස් තියෙන ඉසිවරුන් විදියට සලු පිලි අන්දවලා ජනතාව පෝලිම් ගස්වමින් මරුවැල් කරා අද්දාගෙන යන ලිපි ලියැවෙන්නේත් මේ දාමයේම තවත් එක් පුරුකක් විදියටයි. ඒත් අන්තිමේ දී ඉසිවරයා තක්කඩියෙක් බව ඔප්පු වුණාට පස්සේ ඒ තක්කඩියා පසුපස්සේ ගිහින් අමාරුවේ වැටුණු පවුල් වලට ගිහින් ඒ අයගේ දුක් කදුලු රස කරමින් තවත් ලිපි පෙළක් පළ කරලා මුදල් හම්බු කරන්නට තරම් අපේ මාධ්‍යකලාවේ නිම් වළලු අද පුලුල් වෙලා තියෙනවා.

ඉතාම පිළිකුල් කටයුතු ඇත්ත නම් මහජන මුදලින් නඩත්තු වෙන රජයේ ආයතනවල දූෂණ පවා මේ විදියේම මුදලාලිකරණය වෙලා තිබීමයි. ඒ කියන්නේ රජයේ ආයතන වල දූෂණයක් ගැන වචනයක්වත් ලියැවුණොත් ඒ ආයතනයෙන් ලැබෙන දැන්වීම් කොන්තරාත්තුව ලැබෙන්නේ නැහැ. වැරදිලා හරි පුවතක් පළ වෙලා දැන්වීම් ටික නොලැබිලා ගියොත් ඒ දැන්වීම් කොන්තරාත්තුව ආයෙත් ලබා ගන්න ඒ ආයතනයත් , ඇමතිවරයාත් , සභාපතිවරයාත් වර්ණනා කරමින් විශේෂාංග ලිපි දෙක තුනක්වත් ලියලා පව් සමා කරගන්නට ඕනේ. යූ ඇන් පී ආණ්ඩුව කාලයේ වගේම වර්තමානයේත් සතොස වංචා දූෂණ හොදම උදාහරණයක්.

අද දවසේ ආණ්ඩුවලින් මාධ්‍ය ආයතන පාලනය කෙරෙන්නේ මීට දශක දෙකකට විතර කලින් තිබුණු විදියට තුවක්කු පෙන්වලා මිනීමරලාම නෙමෙයි. (තවමත් එහෙම වෙන අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා). අද මාධ්‍ය ආයතන පාලනය කෙරෙන්නේ බොහොම සුහදව කෙරෙන එක දුරකථන ඇමතුමකින් . මේ නිසා සමහර පුවත් සාකඡ්චාවල කරුණු කිසිම පුවත්පතක කිසිම විදයකින් පළවෙන්නේ නැහැ. මේ නිසා ඒ සාකචඡාවලදී කියැවුණු එහෙත් නැතිනම් හෙළිවුණු වංචා දුෂණ හැම දෙයක්ම ජනතාවට සාදාලිකවම රහසක්.

ගමේ මිනිහෙක් කිතුලක් කැපුවත් පුවතක් ලෙසින් පළ වෙන අපේ පුවත්පත්වල මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණයක් පළ කරන්නට තීන්ත වෙන් නොවන්නේ මේ හින්දයි. යූ ඇන් පී ආණ්ඩුව යටතේ වගේම මේ ආණ්ඩුව යටතේත් බරපතල මිනීමැරුම් චෝදනාවලට ලක්වුණු අමැතිවරුන්ගේ නඩු වාර්තා කිසිවක් අපේ පුවත්පත්වල පළ වෙන්නේ නැත්තේත් , ඒ වගේම කොළඹ හතේ ඉඩම් අක්කරය රුපියල් දහ හතර ගානේ ගත් ඇමතිවරුන් ගැන වචනයක් වත් පුවත්පත්වල පළ වෙන්නේ නැත්තේත් , ඒ විතරක් නෙමෙයි රජයේ බැංකුවලට කෝටි ගණනින් පොලු තැබූ අය ගැනවත් අකුරක්වත් පුවත්පත්වල පළ නොවන්නේත් මෙන්න මේ කාරණය හින්දයි. ඒ හින්දා මේ වගේ පිරිස් බොහොම සුචරිතවාදී විදියට ජනතාව ඉදිරියේ පෙනී ඉන්නවා විතරක් නෙමෙයි අවංක සත්ගුණවත් මහත්වරුන් විදියට නගරාධිපතිකම්වලට , මහ ඇමතිධුරයන්ට පවා බය නැතිව ඉදිරිපත් වෙනවා.  (ලංකාව කියන දූපත වටවෙලා තියෙන්නේ මොන සාගරයෙන්ද කියලා කියන්නවත් දන්නේ නැති තුට්ටු දෙකේ නලු නිලියන් පවා දෙකෝටියක ජනතාවගේ හෙට දවස තීරණය කරන තීන්දු ගන්නා රටක ඒක පුදුමයකුත් නෙමෙයි).

ජනතාව ඉදිරියේ දේශප්රේමීන් විදියට පෙනී ඉන්න ජනතා නායකයන් යැයි කියාගන්නා දේශපාලන වීරයන් , මහා කලාකරුවන් විදියට පෙනී ඉදිමින් සරස්වතිය පවා ගණිකා වෘත්තියේ යොදවන කලාහොරුන් , මහා පණ්ඩිතයන් විදියට පෙනී ඉදිමින් අන්තිමේදී මොකක් හෝ පක්ෂයකට චන්දය දෙන්නට කියාල චන්දය හිගාකන දැන්වීම් වලට අත්සන් තියන වියත් සේල්ස්රෙප්වරුන් ගැන හොද වැටහීමක් ලබා ගන්න නම් මාසයක් පුවත්පත් කාර්යාලයක රැදිලා හිටියොත් හොදටම ඇති. වීරයන් විදියට කෑ මොර දෙන බොහොමයක් දේශපාලන පුහු වීරයන් පාර්ලිමේන්තුවේ කතාව ඉවර කර ගමන්ම පත්තර වාර්තාකරුවන් රැදිලා ඉන්න ගැලරියට දුවගෙන ඇවිත් පිංසෙණ්ඩු වෙන්නේ තමන්ගේ කතාවෙන් හෙඩිමක් ගන්න කියලයි. ඒ වගේම පත්තරේ පළවෙන තමන්ගේ රූපය පරණ එකක් කියලා නොක්කඩු කියමින් රැඩිකල් පෙනුමක් තියෙන පිංතූර තොග පිටින් ගෙනත් දෙනත්නෙත් මේ මහා දේශප්රේමීන්ම තමයි. (මේ විදියට පුහු ප්රසිද්ධිය පස්සේ දුවගෙන නොගිය එකම දේශපාලන මහත්මයා විදියට මට නම් හමුවෙලා තියෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර් කියන චරිතය විතරයි.)

ඉතින් මේ දේශපාලකයන් එක්ක කතුවරුන්ගේ තියන සුහදත්වය එක්ක එහෙමත් නැතිනම් පත්තර අයිතිකාරයාගේ තියෙන සුහදත්වයේ ප්රමාණය අනුව කොයි තරම් ඉඩ ප්රමාණයකින් ඒ කතාව පළ වෙනවාද කියලා තීරණය කෙරෙනවා. ඒ බැදීම හුගාක් ඉහළ නම් පුවත්පත් සාකච්ඡාවක් පවා පළ කෙරෙනවා පමණක් නෙමෙයි ඒ පුවත්පත් සාකච්ඡාව පළ වෙන්නට කලින් ඒක සංස්කරණය කරන්න දේශපාලකයාටම ඉඩකඩ ලැබෙනවා. තවත් සමහර අවස්ථාවල වාර්තාකරුවෙක්ගේ නම පමණක් කුලියට අරගෙන දේශපාලකයාම ප්රශ්න හදලා එයාම ඒවාට පිළිතුරු ලියලා දෙනවා. දේශපාලකයාම තමන්ගෙන් අහගන්න බොහොම රැඩිකල් ප්රශ්න දකින අපේ අහිංසක පාඨකයන්ට හිතෙන්නේ බය නැතිව මේ විදියේ ප්රශ්න අහලා එන්න කොයි තරම් නිර්භීතකමක් තියෙන්න ඕනේද කියලා.  ඉතින් බොහොම හිත උණුවෙන පාඨකයන් බොහෝ පිරිසක් පත්තර කන්තෝරුවට කතා කරලා වාර්තාකරුවාට විතරක් නෙමෙයි කතුවරයාගේ අම්මාට තාත්තාට පවා සෙත් පතලා පරිස්සමින් ඉන්න කියලා කියන්න අමතක කරන්නේ නැහැ.

ඔය විදියටම කතුවරුන්ගේ හිත් ගත්ත එහෙමත් නැතිනම් පොඩි පොඩි වාසි එහෙම ලබා දෙන කලාකරුවොත් ඉන්නවා. මේ මහා කලාකරුවන් මොන ගොන් පාට් එකක් කළත් ඒක දැවැන්ත දෙයක් විදියට කතුවැකි පවා ලියැවෙනවා. ඒත් නමක් හදා ගත්ත නැති තරුණයෙක් බොහොම දුක් මහන්සියෙන් නිර්මාණයක් කළොත් ඒ නිර්මාණයට විතරක් නෙමෙයි තරුණයාගේ අග පසගවලට පවා පුද්ගලිකව පහර දෙන්න දෙසැරක් හිතන්නේ නැහැ. මේ නිසා නමක් හදාගත්ත මහා කලාකරුවන් කලාකාරිනියන් අනුන්ගේ සිංදු කියලා සීඩී පටියක් ගැහුවත් ඒ ගැන තීරු ලිපි ලියැවෙන්නේ ඒක හොරකමක් විදියට නෙමෙයි…බෙහොම වර්ණනාවක් ඇතිව නැවුම් සංකල්පයක් විදියටයි.  ඒත් අලුතින් බිහිවෙන කලාකරුවෙක් තමන්ගේ නිර්මාණයකට ග්රැම‍ෆෝන් සිංදුවක කෑල්ලක් යොදා ගත්තොත් අන්තිමට ඒ කලාකරුවාට රට හැර නොයන්න පාර නොකැපුණොත් පුදුමයක්.

ඉතින් මේ විදියට අපේ ජනතාව අවුරුද්දේ දවස් 365 ම මෝඩයාගේ දවසට අදින හැටි ගැන කතා කරන්න ගියොත් කෙළවරක් නැහැ.

මේ ලිපිය ඉවර කරන්න කලින් තවත් පොඩි කතාවක් සිහිපත් වෙනවා. එක්තරා කාලයක දිවයින පුවත්පතේ බොහොම ජනප්රිය අතිරේකයක්ව තිබුණු බදාදා අතිරේකය සංස්කරණය කළේ කිත්සිරි නිමල් ශාන්ත කියන බොහොම සුන්දර මිනිසෙක්. සාහිත කලාවටම වෙන්වෙලා තිබුණු මේ අතිරේකයේ ලිපියකට අදාල පිංතූරයකට වික්රමසිංහගේතේ , කුමාරතුංගගේත් පිංතූර දෙකක් පුස්තකාලයෙන් ගේන්නට කියලා නිමල් ශාන්ත කියන සංස්කාරකවරයා තමන් යටතේ හිටිය මාධ්‍යවේදීයෙකුට කිව්වා. සංස්කාරකවරයා එ නම් දෙකෙන් අදහස් කළේ අපේ සාහිත කලාවේ අමරණීය සලකුණු තැබූ දෙන්නෙක් ගැනයි.  ඒ කියන්නේ මාර්ටින් වික්රමසිංහ හා මුනිදාස කුමාරතුංගයි. ඒත් අපේ මේ මාධ්‍යෙව්දියා පුස්තකාලයෙන් අරගෙන ආවේ රනිල් වික්රමසිංහගේත්, චන්ද්රිකා කුමාරතුංගගේත් පිංතූර දෙකක්. ඒකට හේතුව පොතක් පතක් කියවීමේ පුරුද්දක් නොතිබූ මේ මාධ්‍යෙව්දියාගේ ලෝකයේ සිටි එකම කුමාරතුංග සහ වික්රමසිංහ චරිත දෙක රනිල් සහ චන්ද්රිකා වීමයි. මේ සිද්ධියෙන් මාස කිහිපයක් යන්නටත් කලින් මේ මාධ්‍යෙව්දියා පුවත්පතේ ප්රධාන ප්රවෘත්ති කර්තෘ ධුරයට පත් වුණා. මේ සිද්ධියත් මෙතැනට අදාළ කරගත්තේ ඒ මාධ්යවේදී  මිතුරා අවමානයට ලක්කිරීමේ අදහසින් නම් නෙමෙයි. පුවතක් ජනතාව කියවිය යුතුද යන්න නිගමණය කරන අද දවසේ පුවත් කතුවරුන් බොහොමයක් ඒ මට්ටමේ සිටින බව දන්නා නිසයි.

ඒ වගේම අවසාන වශයෙන් අපේ රටේ මාධ්‍ය ලෝකයේ සිද්ධ වෙන තවත් විකාරයක් ගැන නම් නොකියාම නවත්වන්නට හිතෙන්නේ නැහැ. ඒ තමයි කර්තෘ සංසදය මගින් සිද්ධ වෙන වසරේ විශිෂ්ටතම හා ජනප්රියතම මාධ්‍ය සම්මාන පිරිණැමීමේ උත්සවය ගැනයි. මේ සංසදය මගින් වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදියා , වසරේ හොදම පුවත්පත් ලිපි , කාටුන් , තීරු ලිපි , විද්යුත් මාධ්‍ය සදහා වන සම්මාන සියල්ලම පිරිනැමෙන්නේ අපූරුම ආකාරයටයි. ඒ කියන්නේ සම්මාන ගන්න අවශ්‍ය නම් තමන්ට සම්මානයක් ඕනේ කියලා ඉල්ලුම් කරන්නට ඕනේ. තවත් සරලව කියනවා නම් තමන්ම තමන්ගේ ලිපි , කාටුන් කපලා අලවලා අනේ මටත් සම්මානයක් දෙන්න සලකලා බලන්න කියලා කර්තෘ සංසදයට යවන්න ඕනේ. (විලි ලැජ්ජාවක් කියලා දෙයක් තියෙන කිසිම මිනිහෙක්ට ඒ වගේ දෙයක් කරන්න බැරි නිසා එහෙම දෙයක් තියෙන අය සම්මානයක් ගන්න ඉල්ලුම් කරන්නේ නැහැ.) ඉතින් මොකක් හෝ අංශයකට … උදාරහණයක් විදියට අපි හිතමු හොදම තීරු ලිපියට කියලා… කවුරුන්  හරි ඉල්ලීමක් කළොත් ඒ අංශයෙන් ඉල්ලීමක් කළේ එයාම විතරයි නම් වසරේ විශිෂ්ටතම තීරු ලිපි රචකයා වෙන්නේ එයයි. බොහොම වෙලාවට ඒ විදියට සම්මාන ඉල්ලලා ලියුම් යවන්නේ දක්ෂයන් නොවෙන හින්දා මේ සම්මාන ගන්න හරිම ලේසියි. ඒ නිසා විලි ලැජ්ජාව කියලා දෙයක් තියෙන මිනිහෙක් කොයි තරම් හොද තිරු ලිපි සිය ගණනක් ලියලා තිබුණත් , කොයි තරම් කාටුන් ඇදලා තිබුණත් , තමන්ගේ රැකියාව වෙනුවෙන් කොයි තරම් කැපවීමකින් කටයුතු කරලා තිබුණත් අඩුම තරමින් එයා පත්තරයක තේ හදන මල්ලි කෙනෙක් තරමටවත් පිළිගැනේනේ නැහැ. එක අතකින් ඒක වැරදිත් නැහැ. සම්මාන විතරක් නෙමෙයි ආචාර්ය උපාධිකම් එහෙමත් නැතිනම් අඩුම තරමින් මන්තිරිකෙනෙක් වෙන්නවත් ඕනේ නම් විලි ලැජ්ජාව කියන එක පැත්තකට දාන්න ඕන රටේ මාධ්‍ය කලාවට විතරක් මොකටද විලි ලැජ්ජාවක්…? අනෙක් අතට විලි ලැජ්ජාව තියාගෙන පත්තර ටීවී කරන්න ගියොත් ඒවා වහලා දාන්නනේ වෙන්නේ…!

ඉතින් මේ නිසා කාටුන් ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව කතුවරයා කියන විදියට මොනව හරි දෙයක් ඇදලා දෙන තැනැත්තා වසරේ හොදම කාටුන් ශිල්පියා වෙනවා. (එහෙම වුණ අවස්ථා ඕන තරම් තියෙනවා).  දේශපාලන පක්ෂවලින් මුදල් ලබාගෙන ඒ ඒ පක්ෂවල දේශපාලකයන් ලියලා දෙන හෑලි ටික එකතු කරලා ඒක මොකක් හරි විග්රහයක් කියලා තමන්ගේ නමින් පළ කරන පුද්ගලයා හොදම තීරු ලිපිරචකයා වෙනවා. (ඒ විදියට ස්ථාවරම දේශපාලන පක්ෂවලින් මුදල් ගන්න අය පුවත්පත්වල වගේම රූපවාහිනී ආයතනවලත් ඉහළම පුටුවල ඉදන් පහළම පුටු දක්වා විවිධ තරාතිරම්වලින් ඉන්නවා) . මාර්ටින් වික්රමසිංහ කියන්නේ කවුද කියලා දන්නේ නැති කෙනෙක් වසරේ විශිෂ්ටතම පුවත්පත්කලාවේදියා බවට පත්වෙලා දහසින් බැදි පියලි වගේම පත්තරේ මුල්පිටුවේ පිංතූරයකුත් පළ කරගන්නවා. අන්තිමේදී මේ පිංතූර එක්ක ලැබුණු සම්මානය ඉදිරිපත් කරලා පිටරටින් ලැබෙන බොහොමයක් සංචාරවලට එක්වෙලා සල්ලි හම්බු කරගන්නවා විතරක් නෙමෙයි රටත් ගද ගස්සවනවා.

මේ ලිපිය අවසන් කරන්නට කලින් තවත් එක් දෙයක් කියන්නටම ඕනේ. මේ සිද්ධවෙන ජරා ජීර්ණ නාටකයට එක් නොවී ඒ වගේම නිරන්තරයෙන්ම දේශපාලකයන්ගෙන් ලැබෙන සාදයන්ට සහභාගි නොවෙමින් තමන්ට හැකි මට්ටමින් යමක් කරන්නට උත්සාහ දරන ඒ වගේම විලි ලැජ්ජාව කියන දෙයත් ඉතිරි වෙලා තියෙන සැබෑම සැබෑ මිනිසුන් පිරිසකුත් තවමත් පෑන අතැතිව ඉන්නවා.

ඒ දයාබර සොහොයුරන්ට මගේආචාරය..!

2 thoughts on “මෝඩයාගේ දවස කවදා ද …?

Add yours

  1. එහෙම නම්බුකාර. මාධ්‍යවේදීන් කියන්න පුළුවන් දෙන්නෙක් මමත් දන්නවා. එක්කෙනෙක් මේව දැකලා කලකිරිලා රට හැර ගියත් තාම රටයි ජනතාවයි ගැන දුක්වෙන ඒ අයගේ ජීවිත යථාර්ථයට ලංකරන්න හදන “සිලිලාර”. අනිත් කෙනා තවමත් රටේ උරුමය වෙනුවෙන් තම පෑන හසුරුවන රට දැය සමයේ අගය ගැන මේ රටේ මිනිස්සුන්ට බැණ බැණ හරි කියාදෙන අසාධාරණයේදී ඕනෑම ජගතෙකුට විරැද්ධව තම පෑන හසුරුවන ” වසබ”.
    —කේතුමතී—

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑