Earthrise – පායා ආ මිහිමඩල

ගෙවී ගිය සියවසේ ලොව වෙනස් කළ ඡායාරූප සියය ඇතුළත් සුප්‍රකට ග්‍රන්ථයේ කවරය හැඩ ගැන්වූ ඒ ඓකිහාසික ඡායාරූපය

———————————————————————

මුළු මහත් ලෝකයම වෙනස් කළ ඡායාරූපයක්!

ඒ ඡායාරූපය ගන්න මොහොතකට පෙර ඇති වුණු සංවාදය තමයි මේ.

ඇන්ඩර්ස් (Anders) : “ආහ්… අන්න බලන්න අර. පෘථිවිය පායා ගෙන එනවා… ෂාහ්.. කොයි තරම් නම් ලස්සනයි ද?”

බෝර්මන් (Borman) : (සිනහ වෙමින්) “හා.. හා… ඒකේ ෆොටෝ ගන්න ඕන නැහැ… අපේ රාජකාරියට ඒක අයිති නැහැ”

ඇන්ඩර්ස් (Anders) : (හඬ නගා සිනාවෙමින්) “ඔයා ළඟ තියෙනවා නේද කලර් ෆිල්ම් රෝලක්? දෙන්න මට ඉක්මනට ඒක”

ලොවෙල් (Lovell): “ආහ්… ආහ්… කොයි තරම් නම් අපූරුයි ද!”

ඔබ හිතුවා හරි. සංවාදය ඇතිවුණේ බොහොම ඈත අහසේ. හරියටම කියනවා නම් අපි මේ ඉන්න පෘථිවි තලයෙන් කිලෝ මීටර් 384,000 කට වඩා ඈත අහසේ තනිවුණු ගගනගාමීන් තුන්දෙනෙක් අතර. මේ තුන් දෙනා (Frank Borman, Jim Lovell and Bill Anders) හිටියේ ඇමරිකාව ගුවන්ගත කළ Apollo 8 අභ්‍යවකාශ යානයේ. අවුරුද්ද 1968. දවස හරියටම නත්තල් දවසට පෙර දා. ඒ කියන්නේ, ‘Christmas Eve’. ඔය කාලය වෙද්දී ලංකාවෙ පුංචි දරුවන්ගේ පොත් පත්තර ‘හඳ මාමා’ කියලා කට පුරා කිව්ව හඳේ මතුපිට දී තමයි සංවාදය ඇති වුණේ.

අර කලින් කිව්ව සංවාදයේ හිටපු ඇන්ඩර්ස් අන්තිමේ දී වර්ණ ඡායාරූපයක් ගත්තා. ඡායාරූපය ලෝකය පුරා පැතිරුණේ “Earthrise” කියන නමින්. ඒ සියවසේ දී වැඩිම බලපෑමක් කළ ඡායාරූප (Photographs that Changed the World) අතර මේ ඡායාරූපයට හිමි වුණේ ඉහළම ස්ථානයක්.

Earthrise – 1968 වසරේ දෙසැම්බර් මස 24 වැනි දින 16:39 වැනි හෝරාවේ දී ගත් ඒ ඓතිහාසික ඡායාරූපය – ඡායාරූපය NASA

———————————————————————

මේ ඡායාරූපයේ තියෙන්නේ ‘පෘථිවිය පායා ගෙන එන හැටි’ සඳ මතුපිටට පෙනෙන හැටි. මේ ඡායාරූපය නෙමෙයි පෘථිවිය පෙනෙන විදියට අහසේ ඉඳන් ගත්ත මුල්ම ඡායාරූපය. ඒ වගේම මේ ඡායාරූපය ගන්න කලින් මේ දර්ශනයේම කළු සුදු ඡායාරූප ඒ ගගනගාමීන් අරගත්තා. ඒ වගේම මේ ඡායාරූපයට කලින් සමස්ත පෘථිවියම පෙන්නුම් කරන වර්ණ ඡායාරූපත් චන්ද්‍රිකාවලින් ලබා ගෙන තිබුණා.

ඇන්ඩර්ස් සිය වර්ණ ඡායාරූපය ගන්නට මොහොතකට පෙර ඇපලෝ මෙහෙයුමේ ප්‍රධානියාව සිටි බෝර්මන් විසින් ගනු ලැබූ කළු සුදු ඡායාරූපය – ඡායාරූපය NASA

———————————————————————

ඒත් අපි මේ ජීවත් වෙන පෘථිවිය කොයි තරම් නම් පහසුවෙන් කැඩිලා බිඳිලා යන්න පුළුවන් ‘බිඳෙන සුළු’ දෙයක් ද කියලා ඒ කිසිම ඡායාරූපයකින් මේ තරම් දැනුණේ නැහැ. ඒකට හේතුව මේ ඡායාරූපය ගත්ත කැමරා කෝණය. පසුතලය සහ ඡායාරූපයට නැගුණු ස්ථානය කියන මේ හැම දෙයක්ම නිසා.

ලේ බිඳුවක්, අපරාධයක සලකුණක්, බිය උපද්දවන කිසිම අද්භූත සත්වයෙක් නොහිටියත් මේ අපූරු ඡායාරූපය බොහොම දෙනෙකුගේ සිත් සතන් සසල කළා. විශ්වයේ තනි වී පණ ගැහෙන අපේ ලෝකය වගේම, ඒ ලෝකය තුළ ගුලි වී පණ ගැහෙන අපේ ජීවිතවල අස්ථිරසාර භාවය ගැන බොහොම දෙනෙකුට ඇත්තටම ‘දැනුණේ’ මේ ඡායාරූපයෙන්.

ඇන්ඩර්ස් ඒ ඓතිහාසික ඡායාරූපය ගත් අවස්ථාව – ඡායාරූපය NASA

———————————————————————

ඒ නිසාම මේ ඡායාරූපය මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් කළා. පොත්, පත්තර, සඟරාවල මේ ඡායාරූපය යළි යළිත් පළ වුණා. ඒ කාලයේ බොහොම ජනප්‍රියව තිබුණු පිංතූර තැපැල්පත්වල (picture postcards) මේ ඡායාරූපය දස දහස් ගණනින් මුද්‍රණය වුණා. ඊළඟ අවුරුද්දේ ඇමරිකානු රජයේ නිල මුද්දරවලට මේ ඡායාරූපය ආවා.

අභ්‍යවකාශ තරණයේ බොහෝ දුර ගිහින් අතිශය ප්‍රබල දුරේක්ෂ හරහා සමස්ත පෘථිවියම උඩු ගුවනේ ඉඳන් ඉතා සමීප වර්ණ ඡායාරූපයන්ට නැගෙන මේ යුගයේ ජීවත් වෙන කෙනෙකුට සමහරවිට හිතේවි ඔය කියන “Earthrise” කියන තනි ඡායාරූපය ඔය තරම්ම වැදගත් ඇයි ද කියලා.

ඇත්ත… 1990 වැලන්ටයින් දවසේ දී පෘථිවියෙන් කිලෝ මීටර් බිලියන හයක් (සැතපුම් බිලියන 3.7ක්) ඈත ඉඳන් ‘Voyager 1’ අරගත්ත අපේ මන්දාකිණියේ ඡායාරූපයේ සමස්ත මිහිතලයම පුංචිම පුංචි නිල් පාට තිතක් විතරයි. ඔව් ඒ තිත තමයි අපේ මේ මුළු මහත් පෘථිවියම! ඉතිහාසය පුරාම මිනිස් වර්ගයා එකිනෙකා කා කොටා ගෙන අදටත් වාද විවාද තර්ක විතරක් වල පැටලි පැටලි ඉන්න අපේ මේ ලෝකය විශ්වයේ කොයි තරම් නම් නොවැදගත් අංශුවක් ද කියන එක වටහා ගන්න වොයේජර් ගත්ත ඒ ඡායාරූපයම ප්‍රමාණවත්.

වොයේජර්-1 ලබා ගත් ඡායාරූපයට අපේ මේ මිහිතලය කුඩා තිතක් මෙන් දිස්වන අයුරු

———————————————————————

ඒ වගේම දැන් අපිට පුළුවන් ගෙදර සාලයේ පුටුවක දිගාවෙලා කෝපි කෝප්පයක් තොල ගාන ගමන් ගූගල් අර්ත් හරහා සමස්ත පෘථිවියේම සමීප රූපයක් පහසුවෙන් දැක බලාගන්න.

ඒත් හිතන්න.. මේ කියන ‌ ඓතිහාසික ජායාරූපය ගත්ත 1968 කියන්නේ ලංකාවේ දරුවන්ගේ පෙළ පොත්, කතාන්දර පොත්වල හඳ මාමාගෙන් කිරි පැණි හෙව්ව කාලයක්. ඩිජිටල් ඡායාරූපකරණය විතරක් නෙමෙයි HD (High Definition) ඡායාරූප සිහිනයක්ව තිබුණු කාලයක්. අන්තර්ජාලය, ජංගම දුරකථනය කියන වචන නුහුරු නුපුරුදු යුගයක්. කොටින්ම කිව්වොත් ඡායාරූපයක් ගන්නට සේයා පට (film roll) පමණක්ම පාවිච්චි වූ යුගයක්.

මේ ඡායාරූපයට අදාළ කතාවක් මීට සතියකට කලින් “මගේ දුවට” කියන මාතෘකාව යටතේ පළ කළා. ඒත් මේ ඡායාරූපය ගැන වෙනමම කතාවක් ලියන්නට හිතුණේ ලෝකයක් වෙනස් කළ මේ ඡායාරූපය ගත් මිනිසා මේජර් ජනරාල් ඇන්ඩර්ස් (William Anders) මීට සති දෙක තුනකට කලින් මිය ගිය නිසයි. ඔහු මිය ගිය සතියේම, ඔහු මිය ගිය බව නොදැන ඔහු හා බැඳුණු ලිපියක් පළ කිරීම පුදුමාකාර අහම්බයක්.

විලියම් ඇන්ඩර්ස්  – (William A. Anders – ඡායාරූපය The New York Times)

———————————————————————

මේජර් ජෙනරාල් ඇන්ඩර්ස් මිය ගියේත් ගුවන් අනතුරකින්. මිය යද්දී ඔහුගේ වයස අවුරුදු අනූවක්. අනූ හැවිරිදි මේ ‘වියපත් තරුණයා’ තමන් තනිවම පදවාගෙන ගිය ගුවන් යානය ඇමරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ දූපත් සමූහයක් (San Juan Islands) ආසන්නයේ මුහුදට කඩා වැටීමෙන් තමයි ඔහු මරණයට පත් වුණේ. (ඔහුගේ යානය අනතුරට ලක්වන ඡායාරූපයක් මේ ලිපියට එක් කර ඇත.)

අපේ පෘථිවියෙන් මිදිලා මිනිසුන් අරගෙන හඳට ගිය මුල්ම යානය තමයි මේ කියන ඇපලෝ 8. මේ යානයේ ගිය කිසිම කෙනෙක් හඳට පය නොතිබ්බා වුණත් චන්ද්‍රයා වටා දහ සැරයක්ම කක්ෂගත වෙලා ආරක්ෂිතව නැවත පෘථිවියට ආවා. මේ අභ්‍යවකාශ චාරිකාවේ සාර්ථකත්වය නිසා තමයි ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 1969 දී නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු පිරිසට හඳ මතුපිටට පය තියන්නට ඉඩ ලැබුණේ.

ඇපලෝ 8 අභ්‍යවකාශ චාරිකාවට එක් වූ ගගනගාමීන් තිදෙනා

———————————————————————

“අපි මේ තරම් දුරක් ගෙවා ගෙන හඳට ආවේ හඳ ගැන හොයලා බලන්න. ඒත් අන්තිමේ දී හඳේ ඉඳන් අපි ගවේශනය කළේ පෘථිවිය”. (“Here we came all the way to the moon to discover Earth.”) මේ ඡායාරූපය ගත්ත ඇන්ඩර්ස් කිව්වේ එහෙමයි. “අපේ අභ්‍යවකාශ චාරිකාවේ අරමුණ වෙන දෙයක් වුණත්, ඇත්තටම කියනවා නම් ඒ සමස්ත චාරිකාවේම සිත් ඇදගන්නා සුළු කාරණාව වු හඳේ ඉඳන් පෘථිවිය දැක්ක එක තමයි”.

ඇන්ඩර්ස් ඉපදුණේ හොංකොං දේශයේ. න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාවෙන් පශ්චාත් උපාධිය නිමා කරලා ඇන්ඩර්ස් ඇමරිකානු ගුවන් හමුදාවේ දීර්ඝ කාලයක් සේවය කළා. ඔහු දියණියන් දෙදෙනෙකු සහ පුතුන් සිව් දෙනෙකුගේ පියෙක්.

ඔබත්, මාත් ඇතුළත්ව බිලියන අටක් වෙච්ච මේ මහා මිනිස් කන්දරාව දරාගෙන සිටින මේ කුඩා පෘථිවිය අසීමිත වූ විශ්වය තුළ කොයි තරම් අස්ථිරසාර ක්ෂුද්‍ර වූ ජීවී ඒකකයක් ද යන්න මිනිස් වර්ගයාට මුලින්ම පෙන්වා දුන් මේජර් ජෙනරාල් ඇන්ඩර්ස්… ඔබට සුබ චාරිකාවක්!

90 හැවිරිදි ඇන්ඩර්ස් අනතුරට ලක් වන අවස්ථාව කැමරාවක සටහන් වූ අයුරු (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

———————————————————————

මේ කෙටි සටහන අවසන් කරන්නට කලින් තවත් තියෙනවා දෙයක් කියන්න. ඔබ පොත් පත් කියවන්නට කැමැති කෙනෙක් නම් සමහර විට කියවලා ඇති ජූල්ස් වර්න් (Jules Verne) ගේ “Around the Moon” කියන පොත. ඒ පොත මුලින්ම නිකුත් වුණේ මේ ඡායාරූපය නිකුත් වෙන්න සියවසකට විතර කලින්. ඒ කියන්නේ ඡායාරූප කලාව ආරම්භ වෙන්නත් කලින්. ඒ පොතේ ජූල්ස් වර්න් කියන සාහිත්‍යවේදියා හඳේ ඉඳන් පෘථිවිය පෙනෙන හැටි විස්තර කරන්නේ මෙන්න මෙහෙමයි. “its delicate crescent suspended in the deep blackness of the sky” (සියුමැලි පෘථිවිය අහස් වියනේ ගන අන්ධකාරය තුළ ගිලෙමින් දෝලනය වන්නේය). හඳට පෙනෙන පෘථිවිය ඔහු තවදුරටත් විස්තර කරන්නේ මෙන්න මෙහෙමයි. “its light, rendered blueish by the thickness of its atmosphere” (තමා වටා ඇති වායුගෝලයේ ගනැති ස්වභාවය නිසා පෘථිවිය නිල් පැහැයෙන් දිදුලන්නේය).

ලෝක සාහිත්‍යයේ තියෙන තවත් අමරණීය පොතක් තමයි එච්. ජී. වේල්ස්‌ (H. G. Wells) ගේ “The First Men in the Moon” කියන පොත. මේ පොත නිකුත් වුණෙත් සියවසකට කලින්. ඒ කියන්නේ 1901 දී. ඒ පොතේ වේල්ස් විස්තර කරනවා අභ්‍යවකාශ යානයකින් පෘථිවියෙන් මිදිලා යන චාරිකාවක් ගැන. “The land below us was twilight and vague, but westward the vast grey stretches of the Atlantic shone like molten silver.” (“අපට පහළින් වූ මිහිතලය ගොම්මන් අඳුරින් නොපැහැදිලිව දර්ශනය වූ නමුත් දිය වී වැගිරෙන රිදී දහරක් ලෙසින් අත්ලාන්තික් සාගරයේ අළු පැහැති තීරු බටහිර දෙසින් දිදුලන්නට විය.)

අපේ මේ පෘථිවිය වාතයෙන් සහ ජලයෙන් සපිරි ජීවී ගුණයෙන් පිරුණු දිදුලන ලෝකයක් කියන එක, ඒ කියන්නේ ‘Earthrise’ කියන සංසිද්ධිය සාහිත්‍යකරුවන් දැක්කේ අභ්‍යවකාශගාමීන් ඒක දකින්න සියවසකටත් වඩා කලින්. (බෞද්ධ දර්ශනයේ පඨවි – අපෝ – තේජෝ – වායෝ කියන ජීවයක් හැදෙන්නට අත්‍යවශ්‍ය සාධක හතරත් මේ මොහොතේ සිහිපත් නොකර බැහැ).

ඉතින් පොත පත කියවන්නට පුරුදු පුහුණු වෙච්ච කෙනෙකුට නම් වර්තමානයට පෙර අනාගතය දකින්නට ලෙහෙසියි. පොත පත නොකියවන කෙනෙකුට විශ්වකර්ම වන බොහොම දේවල් පොත පත කියවන කෙනෙකුට මහා අරුමයක් වෙන්නේත් නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑