හො. ම. ත. ග. යු. – හොඳින් මතක තබා ගත යුතුයි!

—————————————————–

‍පෝලන්ත ජාතික දේශපාලන කාටුන් ශිල්පී Pawel Kuczynski ගේ අපූරු නිර්මාණයක් – Keep your head down

හැමදාම උදේ නමයට, කහ පාට තොප්පියක් දාගත්ත මනුස්සයෙක් පාර මැද්දට එනවා. ඇවිත් හතර වටේටම තොප්පිය වනන්න පටන් ගන්නවා.

විනාඩි පහයි… ඊට පස්සේ මිනිහා හිටිහැටියේම අතුරුදන් වෙලා යනවා.

තොප්පිය වනලා ඔය විදියට යන්න ගිය එක දවසක පොලිස් රාළහාමි කෙනෙක් මිනිහව නවත්තගෙන මෙහෙම ඇහුවා.

“මොනවද මනුස්සයෝ ඔය කරන්නේ…?”

“මං ජිරාෆ්ලව එළවලා දානවා”

“මොනව… මේ කොහෙද ජිරාෆ්ලා…?”

“ආ… ඇත්තටම… එහෙනම් මං මගේ වැඩේ හරියටම කරලා තියනවානේ”

————————————

ජනාකීර්ණ පාරක් පනින්න වුණාම අපි පාර අයිනේ තියෙන සංඥා කණුවේ බොත්තමක් ඔබනවා. ටික වෙලාවකින් වාහන වලට රතු එළිය වැටිලා, අපිට පාර පනින්න පුළුවන් කියන සංඥාව ආවම අපි පාර මාරු වෙනවා.

අපිට හිතෙවා අපි බොත්තම ඔබපු නිසා තමයි වාහනවලට රතු එළිය ආවෙ කියලා.

ඒත් ඒක ඇත්තම ඇත්ත නෙමෙයි.

ජනාකීර්ණ පාරවල්වල සංඥා එළි සැලසුම් කරලා තියෙන්නේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන විදියට. ඔබ ගිහින් බොත්තම එබුවත් නැතත් රතු එළි, කොළ එළි නියමිත වෙලාවට පත්තු වෙනවා.   

එහෙනම් ඇයි අපිට ඔබන්න බොත්තමක්…?

ඒ අපිව පාර අයිනේ ටිකකට සන්සුන් කරලා තියාගන්න. බොත්තම ඔබලා ටිකකින් පාර පනින්න සංඥාව ආවම අපිට හිතෙනවා අපි ඔබලා තමයි වාහනවටල රතු එළිය වැටුණේ කියලා. සමහර අයගේ හිතට පොඩි ගැම්මකුත් එනවා ඇති.

ඔන්න ඔහොමයි කණුවක බොත්තමක් පවා අපිට ‘කෝචෝක්’ කරන්නේ. ඉතින් බස් එක ඔන්න මෙන්න එනවා දැකලා අර බොත්තම දිගින් දිගටම ඔබ ඔබා හිටියා කියලා වාහනවලට රතු එළිය වැටෙන්නේ නැහැ. යන වාහන කොහොමටත් යනවා.

දන්නවනේ, සිංහල අවුරුද්දට කැට ගහද්දී සමහරු පුළුවන් තරම් හයියෙන් කැටේ ලෑල්ලට දමලා ගහනවා… එතකොට මහ ලොකු අංකයක් එයි කියලා හිතාගෙන. ඒත් හයියෙන් ගැහුවා කියලා ලොකු ‘නම්බර්’ එන්නේ නැහැ. ලොකු ලොකු හෝටල්වල කැසිනෝ ගහන අයත් ඔය විදියටම හිතනවා. වෙර යොදලා ඇඟේ හයියෙන් ගැහුවත්, අතින් හිමිහිට ගැහුවත් අන්තිමට සිද්ධ වෙන්නේ එකම දේ තමයි.

හිතන්න එපා අපි වටේ තියෙන හැම දෙයක්ම අපිට පාලනය කරන්න පුළුවන් කියලා. එහෙම වෙන්න අපි පුරාණ රෝමන් රාජධානියේ අධිරාජ්‍යයා නෙමෙයිනේ. මහා ඇලෙක්සැන්ඩරුත් නෙමෙයි. වෙලාවටකට අපිට එහෙම හිතෙන්න පුළුවන්. මතකයිනේ අර අත්කොට කමිසයට පදක්කම් වැල් එල්ලාගෙන ආපු ‘විරුවට’ වෙච්ච දේ. මුහුණු පොතෙත් ඕන තරම් ඉන්නවා ලෝකය කැරකෙන්නේ තමන්ව මැද්දේ තියාගෙන තමන් වටේ කියලා හිතාගෙන ඉන්න අය.

ඒත් ඇත්තටම කියනවා නම් අපියි, අර මුලින් කිව්ව කහ පාට තොප්පි කාරයයි අතර වැඩි වෙනසක් නැහැ.

අපිට බලපෑමක් කරන්න පුළුවන් කරුණු කාරණා අතළොස්ස අතරින්, තමන්ට වැදගත්ම කියලා හිතෙන කරුණු කාරණා කිහිපය ගැන විතරක් අවධානය යොමු කරන තරමට පරිණත වෙන්න පුළුවන් නම් අපි කාට කාටත් හොඳයි. අනෙත් හැමදේම ඉතින් ‘කබි කුෂි කබි ගම්’ තමයි.

——————————————————————-

මං දෙන්නම් ඔයාට හැමදාම රුපියල් දාහ ගානේ මාසයක්ම එක දිගට.

එහෙම නැතිනම් මුල් දවසේ සතයක්. දෙවැනි දවසේ සත දෙකක්. තුන් වන දවසේ සත හතරක්. හතරවැනි දවසේ සත අටක්… ඔන්න ඔය විදියට.

කොහොමද කැමැති?

බොහොම වෙලාවට හිතෙයි, හැමදාම දාහ ගානේ ගත්තනම් හොඳයි කියලා. එහෙමද ආසා?

එහෙමනම් මාසෙ අන්තිමට උපරිම ලැබෙන්නේ රුපියල් තිස් දාහයි. ඒත් අර සතෙන් සතේ දවසින් දවස වැඩි වෙන විදියට ගියානම් මාසෙ අන්තිමට ලැබෙන මුදල ලක්ෂ සීයත් පැනලා! (කැල්කියුලේටරයකින් හරිම පහසුවෙන් ගාන හදා ගන්න පුළුවන්). ඔය සරළ ගණිත ගැටලුව තේරුම් ගන්න පුළුවන් නම් දේශපාලකයන් කරගහගෙන එන හාල් ගෝනියට, වැසිකිලි පෝච්චියට ඡන්දෙ දීලා පරම්පරා ගණනාවක්ම උන් ගොඩ යන හැටිත් තමන්ටම ගණන් බලාගන්න පුළුවන්.

නිකමට අතට ගන්න කඩදාසියක්. කොයි තරම් වාර ගානක් ඔබට ඒ කඩදාසිය නවන්න පුළුවන් කියලා ද හිතෙන්නේ?

උපරිම වුණොත් අපි නවාවි හත් අට සැරයක්.. ඒත් ඒක කොහෙත්ම ලේසි නැහැ. හය සැරයක් විතර තමයි බොහොම දෙනෙකුට පුළුවන්.

කඩදාසියක ගණකම අඟල් 0.0004 ක් කියලා හිතුවොත්, අපි ඔය කඩදාසිය 50 සැරයක් කොහොම හරි නවාගත්තා නම් ඒකෙ ගණකම හැතැප්ම ලක්ෂ හත් සියයක් විතර වේවි. හරියට පෘථිවියයි, සූර්යයායි අතර තියෙන දුර වගේ.

අපිට මතුපිටින් පේන තරම් සරල නැහැ හැමදේම.

කැමති ද අඳින්න හිට්ලර්ගෙ කමිසයක්?

කමිසය සිය සැරයක් විතර හොඳට හෝදලා, මැදලා සැවැන්දරා සුවඳත් එක්ක නැවුම් ගතියට තියෙනවා කියලා හිතන්න. හිට්ලර්ගේ සිරුරෙන් ගලා ගෙන ගිය එක දහදිය බිංදුවක්වත්… කොටින්ම කිව්වොත් හිට්ලර්ගේ සිරුරේ අංශු මාත්‍රයක අණුවක්වත් දැන් ඒ කමිසයේ නැහැ.

ඉතිහාසය හදාරලා, කියවලා තියෙන කෙනෙක් නම් දෙවරක් නොසිතාම ඔබ කියයි එපා කියලා. ඒකට හේතුව මිලියන ගණනක් ජනතාව අමානුෂිකව ඝාතනය කළ කෙනෙකු ගැන තියෙන පිළිකුළටත් වඩා තිරිසන් විදියට මරා දැමූ ඒ අහිංසකයන්ට අගෞරව කරන්නට ඔබේ හිත නැමෙන්නේ නැති නිසා.

ඔබ හරිම රැඩිකල් කෙනෙක් නම් කියන්න ඉඩ තියෙනවා, ‘ඕවා පිස්සු කතා… නිකම් දෙනවා නම්, මං කැමැතියි අඳින්න කියලා’.

හරි දැන් ඒ ප්‍රශ්නය අපි මෙහෙම අහමු.

ඔබේ ආදරණීය දුවගේ, පුතාගේ එහෙමත් නැතිනම් බිරිඳ – සැමියා හරි පවුලේ ආදරණීයම කෙනෙකුගේ පිංතූරයක් එල්ලලා ඒකට වෙඩි තියන්න කිව්වොත් ඔබ වෙඩි තියනවා ද?

මේ සියවසේ ජීවත් වෙන ඔබ හොඳටම දන්නවා, එහෙම රූපයකට වෙඩි තිබ්බා කියලා ඔබේ පවුලේ කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ කියලා. (ඒත් මාතර පැත්තේ කට්ටඩි වැඩවලදි නම් ඔබේ පෙනුමට හදපු බෝනික්කෙුකට කටු ගහලා, එහෙම නැතිනම් ඉටි රූපයක් දිය කරලා ජීවිත හානි වුණත් කරන්න පුළුවන්ලු. අනේ මන්දා!)

මේ මොහොතේ ඔබට පෙනි පෙනිම ඔබේ දුව පුතා ඔබ ළඟම හිටියත්, ඔබ පැකිලේවි වෙඩි තියන්න පිංතූරයකටවත්. ඇත්තටම එහෙම පරීක්ෂණයක් කළා පෙනිසිල්වේනියා සරසවියේ පර්යේෂණ කණ්ඩායමක්. තමන් නොදන්නා කෙනෙකුගේ පිංතූරයකට හරියට ඉලක්කයට වෙඩි තියාගන්න පුළුවන් වුණු අයට බැරි වුණා තමන්ගේ පවුලේ කෙනෙකුගේ රූපයකට වෙඩි තියන්න.

සදාම් හුසේන්ව බලයෙන් පහ කරපු ඇමරිකානු හමුදා මෙහෙයුමට සහභාගි වුණු අතළොස්සක් වෙච්ච මාධ්‍යවේදින් අතර හිටපු ප්‍රංශ මාධ්‍යවේදිනියකගේ නිවහනේ කුඩා සාදයක් තිබුණා. සදාම්ව බලයෙන් පහකර මරා දැම්ම මොහෙතේ දීම සදාම්ගේ මන්දිරයට හමුදාවත් එක්කම ඇතුලු වෙන්න ඇයටත් අවස්ථාව ලැබුණා.

පැරිස් නගරයේ පිහිටි ඇගේ නිවහනේ තිබුණු සාදයේ දී අමුත්තන්ට වයින් පිළිගැන්නුවේ රත්තරන් වැඩ දාපු දැකුම්කළු වීදුරුවල.

“මේ තරම් ඉස්තරම් වීදුරු ගත්තේ අහවල් තැනින් ද?” වයින් තොලගාමින් සිටි කෙනෙකු ධනවතුන් ගැවසෙන සාප්පුවක නමක් සදහන් කරමින් ඇහුවා.

“නැහැ… ඒවා සදාම් හුසේන්ගේ ගෙදරින්” ඇය අවංකවම කිව්වා.

බිරන්තට්ටු වුණු අමුත්තා ඒක සැරේටම වයින් වීදුරුව ඈතට තල්ලු කළා විතරක් නෙමෙයි එළියට දුවලා ගිහින් දිගින් දිගටම කෙළ ගහන්න පටන් ගත්තා. “ඔයා දන්නවා ද ඔයා හුස්ම ගද්දී පවා කොයි තරම් නම් වායු අංශ ගණනාවක් ඔයා සදාම් එක්ක හුවමාරු කරගෙන තියෙනවා ද කියලා?” සාදයේ හිටපු කෙනෙක් එහෙම අහද්දී ඔහුට නවත්තගන්න බැරි තරම් කැස්සකුත් මතු වුණා.

කොයි තරම් දියුණු ලෝකයක ජීවත් වුණත් අපේ හිත යට ගුලි ගැහිලා තියෙන හැගීම් අපිව පාලනය කරන හැටි පෙන්නන්න තමයි ඔය උදාරහණ ගෙනාවේ. හැගීම් වලට විතරක් නෙමෙයි අර කලින් කිව්ව පාර අයිනේ තියෙන හිත් පිත් නැති කණුවටත් පුළුවන් අපිව පාලනය කරන්න.


ආර්ජන්ටියානු ජාතික MORDILLO ගේ නිර්මාණයක් – සම්මතයට එකග නොවීම

————————————————————————————————

“මේ තරම් විශිෂ්ට කලා නිර්මාණයක් ඔබ කළේ කොහොමද?” ලෝක ප්‍රකට ඩේවිඩ් ප්‍රතිමාව දැකලා විස්මයට පත් වුණු පාප් වහන්සේ මයිකල් ආන්ජිලෝගෙන් ඇහුවා.

“හරිම සිම්පල්… ඩේවිඩ්ට අයිති නැති හැමදේම මං අයින් කළා”

ඔය දේම තමයි ගල් විහාර නිර්මාණකරුවා කළේත්. සමාධි ප්‍රතිමාවට පණ දුන්නු නිර්මාණ ශිල්පියා කළේත්… පිහිටි ගලෙන් අසහාය බුදුරුවක් මතුකරමින් අවුකන නිර්මාණ ශිල්පියා කළේත්.

‘සිම්පල්ම’ අදහසක් තමයි. ඒත් පණිවිඩය හරිම ගැඹුරුයි.

නිශේධනාත්මක දැනුම (negative knowledge), ඒ කියන්නේ “නොකළ යුත්තේ කුමක් ද” (what not to do) කියන එක ධනාත්මක දැනුමට (positive knowledge), ඒ කියන්නේ “මොනවාද කළ යුත්තේ” (what to do) කියන එකට වඩා හරිම ප්‍රබලයි. අපි අපේ ජීවිතයේ දීත් වැඩියෙන්ම අවධානය යොමු කරන්න ඕනේ අර කිව්ව මුල්ම දේට. ඒ තමයි ‘ඩේවිඩ්’ නොවන හැමදේම එහෙමත් නැතිනම් අවුකන බුදුරුවට අයිති නැති හැම දේම නියන් පහරින් පතුරු ගලවලා ඉවත්කරලා දාන එක.

ඔය කියන කාරණාව ජීවිතයට බද්ධ කරගත්තම අපිට පුළුවන් අනවශ්‍ය පුද්ගලයන් ජීවිතයෙන් ඈත් කරගන්න අපි හැමෝටම ඉන්නවා තමන්ගේ ජීවිතවලින් ඈත් කරලා තබා ගත්තාට කමක් නැති ‘යාළුවෝ’. පුංචි උන් ඉස්සරහට ඇවිත් චණ්ඩි පාට් දාලා වාද විවාදවලට ආවම පැනලා දුවන යාළුවෝත් අපි හැමෝටම ඉන්නවා.

————————————————————-

ඔබ ළඟ තියෙන එකම ආයුධය මිටිය විතරක් නම්, ඔබ දකින හැම ප්‍රශ්නයක්ම ඇණම තමයි. (“If your only tool is a hammer, all your problems will be nails”) එහෙම කිව්වේ ලෝක ප්‍රකට ලේඛක මාර්ක් ට්වේන්. ‍ඔබ කිසියම් ගැටලුවකට විසදුමක් සොයනවා නම්, එක් අංශයක විශේෂඥයෙකුගෙන් පරිපූර්ණ නිවැරදිම විසදුමක් ලැබෙයි කියලා හීනෙකින්වත් හිතන්නවත් එපා.

සමහර දොස්තරලා ඉන්නවා හැම ලෙඩකටම තමන්ට හුරු පුරුදු එකම බෙහෙත දෙන. (දිවයින පත්තර කන්තෝරුවේ වැඩ කරද්දී අපිට හිටිය ඔය විදියේ දොස්තර කෙනෙකුට දාලා තිබුණු අන්වර්ථ නම තමයි “දුන්න මළා”) මොකද අලුත් වෛද්‍ය විද්‍යාත්මක දැනුම ගැන කිසිම විදියක නව දැනුමක් එයාලට නැහැ. දැනුම ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. හමුදා නායකයන් දන්නේ තුවක්කු විසඳුමක් විතරයි. ඉංජිනේරුවරුන්ට හිතෙන්නේ ව්‍යුහාත්මක විසඳුම් ගැන විතරයි. IT කරන බෙහොම දෙනෙකුට තොරතුරු තාක්ෂයෙන් පිට ලෝකයක් ගැන මෙලෝ අදහසක් නැහැ. ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවා ඉංග්‍රීසියෙන් කතා කළාම ආධාර ගලාගෙන ඇවිත් රට හදන්න පුළුවන් කියලා හිතන. සමහර ඡන්ද දායකයෝත් ඉන්නවා රට හදන්න නම් බස් රථ රියදුරු සහතිකයක් තියෙන්න ඕන කියලා හිතන. තූර්කි කියමනක් තියෙනවා, මේ වෙලාවේ මතක් කළොත් හොඳයි කියලා හිතෙන. “විකටයෙක් රජ මාලිගාවට ගිය විටෙක, ඔහු රජ වෙන්නේ නැහැ. ඒත් මාලිගාව සර්කස් මඩුවක් වෙනවා” (“When a clown moves into a palace, he does not become a king. The palace becomes a circus”). ඒත් සාමාන්‍යයෙන් ලංකාවේ සිද්ධ වෙන්නේ පිස්සන්ව රජ කරවලා පිස්සු නැති උන්ට බෙහෙත් හොයන එක.

අපිට තියෙන තවත් මෝඩම බයක් තමයි “අන්තිම අවස්ථාව” (last chance) ගැන තියෙන බය. එහෙම බයවල් ගොඩාක් අපිට පහුගිය කාලයේ තිබුණානේ. රට බේරා ගන්න තිබුණු අන්තිම අවස්ථාව… සිංහල ජාතිය බේරාගන්න තිබුණු අන්තිම අවස්ථාව… බුදු දහම බේරා ගන්න තියෙන අන්තිම අවස්ථාව… අයිස් උවදුරෙන් දරුවන් බේරා ගන්න ලැබෙන අන්තිම අවස්ථාව… ඒ කාලයට හැම දෙමළාම කොටියෙක්. හැම මුසල්මානුවෙක්ම සහරාන් කෙනෙක්. මේ හැම දේම අර්ථ දැක්වෙන්නේ පාලකයාගේ උවමනා එපාකම් අනුව. දෙමළා බිහිසුණු කොටියෙක් විදියටත්, මුසල්මානු වෙළෙන්දා වඳ කොත්තුකරුවෙකු ලෙසත්, සමාජ වෙනසක් අපේක්ෂා කරන තරුණයා සිය දෙමව්පියන් පවා මරන්නට පසුබට නොවන ‘චේගුවේරාකාරයෙක්’ ලෙසත් අර්ථ දැක්වෙන්නේ පාලකයාටත්, ඒ පංතියටත් අවශ්‍ය කෙරෙන ප්‍රමාණයට. මතකයිනේ පහුගිය ඡන්දයේ දී මහාචාර්යවරු, ආචාර්යවරු, කලාකාරයෝ, විශේෂඥවෛද්‍යවරු, ටියුෂන් ගුරාලා කියන හැම කෙනාම එකම වළකට වැටුණු හැටි.

“සිංහයා, කොටියා සහ පැන්තර් හානිකර නැත. ඒත් කුකුළන් සහ තාරාවන් ඉතාම බිහිසුණු සත්වයෝ වෙතියි පණුවෙක් සිය දරුවන්ට පැවසීය” (The tiger, the lion, and the panther are harmless animals. Instead, chickens, geese, and ducks, they are highly dangerous animals – a worm said to his children). බර්ට්‍රන්ට් රසල් කියන දාර්ශනිකයා තමයි ඒ අපූරු කියමන කිව්වේ.

මේ නිසා කාලෙන් කාලයට අපූරු තේමා පාඨ කරළියට එනවා. ‘ධර්මිෂ්ඨ සමාජය’, ‘යළි පුබුදමු ලංකා’, ‘අසියාවේ ආශ්චර්යය’, ‘යහ පාලනය’, ‘සුබ අනාගතයක්’… දරුවයි, කලිසමයි දෙකම වඩාගෙන, වැල් පාලමේ යන මහත්තයාට අනුව නම් 2048 දී සංවර්ධනය නියතයි! හැබැයි කෙන්යාව පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශගත කරද්දී අපිට තාමත් බැරි වුණා පාලන මිලට බිත්තර දෙන්න.

හිතන්න සංචාරක සෆාරි පත්‍රයක මෙහෙම තියෙනවා කියලා. “රයිනොසිරස්ලා වඳ වෙලා යන්නට කලින් බලන්නට ලැබෙන අන්තිම අවස්ථාව.” (“the last chance to see a rhino before the species is extinct”).  ඉතින් මේ ‘අන්තිම අවස්ථාව’ මග හරින්නේ කොහොමද? සල්ලි තියෙනවා නම් කොළඹ ඉදන් ටැන්සානියාවට ගිහින් රයිනෝ බලන්න යන සෆාරියට එකතු වෙන්න ඔබත් පසුබට වෙන එකක් නැහැ. ඒත් මෙච්චර කාලයකට ඔබට රයිනෝලා හිටියත් එකයි, නැතත් එකයි. ඒ ගැන කැක්කුමක් කොහොමටත් ඔබට තිබුණේ නැහැ. ඉතින් ඇයි දැන් එහෙම? මොකද ‘අන්තිම අවස්ථාව’ කියන වචනය හිත ඇතුළේ පුදුමාකාර බය බිරාන්තකමක් ඇති කරන හින්දා. 


Pawel Kuczynski ගේ තවත් අපූරු නිර්මාණයක් – ඡන්දය (Vote)

——————————————————————————————

ලෝක ප්‍රකට ආජන්ටියානු ලේඛක Jorge Luis Borgesගේ ප්‍රසිද්ධම කෙටි කතාවක් තමයි  “Del rigor en la ciencia” කියන්නේ. කෙටිම කෙටි, කෙටි කතාවක්. කතාවට තියෙන්නේ එකම එක ඡේදයයි.

ඒ කතාවේ තියෙන්නේ එක්තරා රටක් ගැන. කෙටි කතාවට අනුව ඒ රටේ මිනිස්සු හිතනවා නිවැරදිම සිතියමක් අඳින්න ඕන නම් ඒක සැබෑ පරිමාණයෙන්ම අඳින්න ඕනේ කියලා. ඒ කියන්නේ 1:1 පරිමාණයෙන්. ඉතින් අන්තිමට ඒ සැබෑ පරිමාණයෙන් සිතියම ඇන්දම, සිතියමේ ප්‍රමාණය ඒ රට තරම්ම විශාලයි. අන්තිමේ දී මිනිස්සු තේරුම් ගන්නවා තමන් දැනටමත් දන්න දේවල් ඇරුණම වෙන කිසිම අලුත් දෙයක් මේ සිතියමේ නැහැ නේද කියලා.

මේ කෙටි කතාවෙන් බොහොම ගැඹුරු අවබෝධයක් දෙනවා. ඒ තමයි තොරතුරු දන්නවා වැඩි වුණු පමණින් නිවැරදි තීරණ ගන්න බැහැ කියන එක. ‌හැම දෙයක්ම ඔළුවේ ඔබාගෙන ඉන්න ගත්තම අන්තිමට තමන් නොදන්න දෙයකුත් නැහැ…. ඒත් ඇත්තටම දන්න දෙයකුත් නැහැ. මේ නිසා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ “If You Have an Enemy, Give Him Information” (ඔබේ සතුරාට වැඩි වැඩියෙන් තොරතුරු දෙන්න) කියලා.

ඔබ අන්තර්ජාලය පාවිච්චි කරන්නේ ෆේස් බුක් එකෙන් නෝනට, මහත්තයට, අම්මට තාත්තාට උපන්දිනයට සුබ පතන්න, කාපු බීපු තැන් පෙන්නනන, එහෙමත් නැතිනම් දරුවගේ විභාග ප්‍රතිඵල හැමෝටම පේන්න වැලේ වනන්න වගේ සිල්ලර වැඩ වලට නෙමෙයි නම් අන්තර්ජාලයෙන් තොරතුරු ගලාගෙන යන්නේ රාවණා ඇල්ලට වඩා වැඩි ප්‍රවාහයකින්… නයගරා වගේ. ඒත් මේ තොරතුරු අවශ්‍ය පමණින් තෝරා බේරා නොගත්තොත් සිද්ධ වෙන්නේ දිය ඇල්ලට යටවෙලා අපි නිකම්ම නිකම් ගහගෙන යන එක. මුහුණු පොතේ දරුවගේ ඕලෙවල්, ඒලෙවල් ප්‍රතිපල බොහොම උජාරුවෙන් අමුණන දෙමව්පියන් බොහොම දෙනෙකුට වැටහීමක් නැහැ දරුවාගේ මුළු මහත් අනාගතයම රැඳිලා තියෙන්නේ ඒ ප්‍රතිපල සහතිකය මත නෙමෙයි, තමන් ඡන්දෙදි ගහන කතිරය මත ලැබෙන ඡන්ද ප්‍රතිපලයෙන් කියලා.

ඒ නිසා තමයි ඉතිහාසඥ ඩැනියෙල් කිව්වේ අපිට තියෙන ලොකුම බාධාව නොදැනුවත්කම නෙමෙයි, තියෙන දැනුමෙන් අන්ධවීම කියන එක. (“The greatest obstacle to discovery is not ignorance – it is the illusion of knowledge” Daniel J. Boorstin). ඒ අදහස වෙනත් අර්ථ කථනයකින් Alvin Tofler මෙහෙම කිව්වා. අද දවසේ නූගත්කම කියන්නේ කියවන්නවත්, ලියන්නවත් නොදැනීම නෙමෙයි. යළි යළිත් සිදුවන ජීවිතයේ පාඩම් ඉගෙන ගන්න තියෙන නොහැකියාව කියලා. (The illiterate of the 21st century will not be those who cannot read and write, but those who cannot learn, unlearn, and relearn”

———————————————————————-

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී චීන හමුදාවක් නැව් නැගිලා චීනයේම තවත් ප්‍රාදේශීය පාලයක් පෙරළලා දමන්න සටනට ගියා. අවසන් සටනට විශාල ගංගාවක් තරණය කරන්න වුණා. හැමෝම නින්දට වැටුණු රාත්‍රියේ දී, හමුදා නායකයා තමන්ගේ විශ්වාසවන්ත සෙබළුන් කිහිප දෙනෙකුට නියම කළා තමන් ආපු නැව් ටික මුළුමනින්ම ගිනිබත් කරන්න කියලා. පහුවැනිදා උදේ ඔහු සියලුම සෙබළුන් රැස් කරලා මෙහෙම කිව්වා.

“දැන් ඔයාලට වෙන විකල්පයක් නැහැ… එක්කෝ සටන් කරලා දිනන්න. නැතිනම් මැරෙන්න”

මේ විදියෙම දෙයක් 16 වැනි සියවසේ දී ස්පාඥ්ඤ හමුදා නායකයෙකුත් කළා. මැක්සිකෝවේ නිරිතදිග‌ වෙරළට පා තිබ්බාට පස්සේ ඔහු තමන් පැමිණි නෞකාව ගිනිබත් කළා.

මෙතැනදී සෙබළුන්ට වෙන විකල්පයක් නැහැ. එකම ඉලක්කයක් විතරයි තියෙන්නේ. එහෙම වුණාම ඕනම සටනක් ජයගන්න ලේසියි. මැතිවරණයක් ගැන දින ගනින ලාංකිකයන්ටත් දැන් තියෙන්නේ ඔය විකල්පය විතරයි. මේ ගෙවිලා යන්නේ අර්බුද නිර්මාණය කළ පිරිසම ඒ අර්බුදවලට පිළියම් ඡන්ද පොරොන්දු විදියට අරගෙන එන කාලය. නැව ගිනි අරන් ඉවරයි. එක්කෝ පහුගිය අවුරුදු 76 දීම කළා වගේ ගින්නට අහුවෙලා සතුටින් මරණය භාරගන්න. රැවටෙන්නට ආසයි නම් ආයෙත් රැවෙටන්න. අමතක කරන්න එපා අපි අර මන්ද මානසික පැණි බාස්ටත් රැවටුණු ජාතියක් කියලා. ඇත්ත… රැවටීම සමාජ සම්මතයක් වුණු රටක නොරැවටීම කියන එකම විකෘතියක්!

————————————————————————-

Willem de Vlamingh සහ කළු හංසයා සිහි ගන්වමින් ඕස්ට්‍රෙිලියාවේ ඉදිකර ඇති ස්මාරකය

‘හැම හංසයෙක්ම සුදු පාටයි’. එහෙම තමයි සියවස් ගානක් හැමෝම හිතුවේ. වෙන පාටක හංසයෙක් ගැන කවුරුවත් ඊට කලින් හිතලා තිබුණේ නැහැ. ඒකට හේතුව සුදු පාට නොවන හංසයෙක් වෙන කවුරුවත් ඊට කලින් දැකලා නොතිබුණු හින්දා. ඒත් 1697 දි Willem de Vlamingh ඕස්ට්‍රේලියානු භූමිය මුලින්ම ගවේශ කරද්දී මුල්ම සැරේට දැක්කා කළු හංසයෙක්. එදා ඉදන් ‘කළු හංසයා’ (black swan) කියන යෙදුම ඉංග්‍රීසි බාසාවේ සලකන්නේ සිදු නොවිය හැකි දෙයක් (improbable) හඟවන සංකේතයක් විදියට.

අපේ මුළු ජීවිතයම කළු හංසයෝ තමයි. ඔබ මේ ලිපිය කියවන අන්තර්ජාලය සියවසකට කලින් හීනයක්. මුහුණු පොත කියන එකත් කළු හංසයෙක්. එහෙම දෙයක් කවුරුවත් දැනගෙන හිටියේ නැහැ දශක කිහිපයක කලින්. දුටුගැමුණු රජ්ජුරුවෝ මරණයට පත් වුණේ ඩයිනෝසරයන් කියලා ජාතියක් හිටිය බව නොදැන. ශේක්ස්පියර් හිතුවේ නැහැ ඊබුක් (e-book) ගැන. සීසීටීවී කැමරා කියලා ජාතියක් එයි කියලා රොබින් හුඩ්වත්, සරදියෙල්වත් හිතුවේ නැහැ. මයිකල් ජැක්සන් දැනගෙන හිටියේ නැහැ ‘ටික් ටොක්’ ගැන.

සමහර දේවල් තියෙනවා ‘නොදන්නා බව දන්න’ (known unknowns). අපිට පුළුවන් වේවි කවදා හරි දවසක ඒවා ගැන දැනගන්න. හරියට සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවල තොරතුරු… එහෙමත් නැතිනම් තත්පර කිහිපයක් ඇතුළත ලෝකයේ එක් කෙළවරක ඉඳන් අනිත් කෙළවරට බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන ක්‍රමයක් වගේ දේවල්. තවත් දේවල් තියෙනවා ‘නොදන්නා බව නොදන්න’ (unknown unknowns). ඒවාට තමයි කළු හංසයින් කියන්නේ.

අපේ රටේ බොහොමයක් මිනිස්සු ඉපදිලා මැරිලා යන්නේ දියුණු සමාජ ක්‍රමයක් ගැන, දියුණු දේශපාලන දර්ශනයක් ගැන, දියුණු ලෝකයක් ගැන හාංකවිසියක්වත් නොදැන. මුළු ජීවිත කාලයම කරන්නේ ජීවත් වෙන්න හීන දකින එක. ඒත් ඒ පිරිසම තමයි තමන් මුළු ජීවිතයම විඳවලා අන්තිමේ දී තමන්ගේ දරුවන්ටත් ඒ හීනයම උරුම කරලා දීලා අවසන් හුස්ම හෙළන්නෙත්.  

(මෙම සටහන සදහා මීට කාලයකට කලින් කියවූ Rolf Dobelli ගේ The Art of Thinking කෘතියේ ඇතැම් තොරතුරු ද භාවිත කළ බව සළකන්න)

2 thoughts on “හො. ම. ත. ග. යු. – හොඳින් මතක තබා ගත යුතුයි!

Add yours

  1. පාර පනින තැන රතු ලයිට් ගැන කියවද්දි මතක් උනේ සමාජ මාධ්‍යවල සංසරණය උන වීඩියෝ එකක්. බස් දෙකක් තරගෙට එනවා කොළඹ නගරයේ තැනක. පාර පනින තැන ලයිට් හයි කරලා කියන තැනකදී ඉස්සරහින් යන බස් එකේ කොන්දොස්තර බැහැලා දුවගෙන ගිහිල්ලා කණුවේ බට්න් එක ඔබලා ආපහු බස් එකේ එල්ලෙනවා. පසුපසින් ආපු බස් එකට නවත්වගෙන ඉන්න සිද්දවෙනවා රතු ලයිට් එක පත්තු උන නිසා. ඒ කොහොම උනත් ටිකක් දිග උනත් වටිනා ලිපියක්. නිතර දකින දේ නොදන්නා පැත්ත.

    කැමතියි

    1. ඔව් මේක නිතරම වෙන දෙයක්. ජනාකීර්ණ නොවන මංසන්ධිවල නම් ඒ බොත්තමෙන් බලපෑමක් තියෙනවා. ඒත් ප්‍රධාන මංසන්ධි බොහොමයක තියෙන්නේ ස්වයංක්‍රීය පද්ධතියක්. බොහොම ස්තුතියි අදහසට

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑