සමහර සිංදු තියෙනවා නිතර නිතර අහන්න හිතෙන. එහෙම සිංදු ලැයිස්තුවක් අපි හැමෝටම වගේ තියෙනවා. ඒ විදියට මගේ ලැයිස්තුවේ තියෙන එක සිංදුවක් තමයි පණ්ඩිත් අමරදේවයන් සහ අමිතා වැදිසිංහ ගයන “අනෝතත්ත විල නෙළුම නෙලාලා” කියන ගිතය.
දවස් දෙක තුනකට කලින් ඒ ගීතය යූටියුබ් මාධ්‍යයෙන් ආපහු අහද්දී අපූරු වීඩියෝවක් දැක්කා. ඒ වීඩියෝවේ තිබුණේ මංගල ගමනට යන මනාලිය පෝරුවට කැඳවා ගෙන එද්දී මේ ගීතය යොදා ගත්ත අවස්ථාවක්. මල් ගවසා ගත්ත පියකරු යුවතියන් කණ්ඩායමක් මල් වට්ටි ටිකකුත් දෝතට අරගෙන මනාලිය පෙරටු කරගෙන මේ ගීයට නර්තනයක් ඉදිරිපත් කරනවා. නර්තනය සුන්දරයි.
ඒත් මේ ගීතය මංගල ගමනට යන මනාලියක් කැඳවා ගෙන එන්නට සුදුසු ගීතයක් ද කියන කාරණාව තීරණය කරන්නට නම් ඒ ගීතයට පදනම් වෙච්ච කතාව දැනගෙනම ඉන්නට ඕනේ. මංගල දිනයට මේ ගීතය තෝරා ගත්ත තැනැත්තාත්, ඒ වෙනුවෙන් නර්තනයක් නිර්මාණය කළ තැනැත්තාත් සමහර විට හිතන්නට ඇත්තේ පහත පද පේළි කිහිපය විතරක්ම වෙන්න ඇති.
“නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් හෙලාලා
පාද කිකිණි සොලවා
එරන්දතිය එනවා”
ඒ ඇයිද කියනවා නම්, මේ ගීතයේ එරන්දතිය ඒ විදියට සුන්දර ලීලාවෙන් ගමන් කරන්නේ තමන්ගේ අම්මාගේ ‘දොළ දුකක්’ සංසිඳු වීමේ අරමුණින්.
ඔබ මේ ගීතයට පදනම් වෙච්ච ජාතක කතාව දැනගෙන හිටියේ නැතිනම්, ඒ කතාව කියවලා මේ ගීතය නැවත වාරයක් අහන්න. ඔබට පෙරදා නුදුටු, නොදැනුණු අපූරු මිහිරක් දැනේවි නිසැකයෙන්ම!
ඕනෑම කලා කෘතියක් වගේම ගීතයකුත් ජනගත වුණාට පස්සේ රසිකයාට අයිතියක් තියෙනවා ඒ කලා කෘතියට විවිධාකාර අර්ථකථන දෙන්න. උදාහරණයක් විදියට යමුනා මාලිනී පෙරේරා අතින් ලියැවුණු විශිෂ්ට පද පෙළක් වන කරුණාරත්න දිවුල්ගනේගේ ළයාන්විත හඬින් ගැයෙන “ගහක මල් පිපිලා ගීතය” ගනිමු. මේ ගීතය අසම්මත ප්‍රේමයක් පදනම් කරගත් ගීයක් නොවන බව රචිකාව ප්‍රසිද්ධියේම කියා තිබුණත්, මට පෞද්ගලිකවම ගත්තම ඒ ගීතයේ වැඩිම රසයක් දැනෙන්නේ ඒක අසම්මත ප්‍රේමයක් එක්ක ගලපලා ගත්තමයි. අසම්මත ප්‍රේමයක් කිව්වේ, පිරිමියෙක් – පිරිමියෙක් හෝ ගැහැනියක් සහ තවත් ගැහැනියෙක් අතර ඇතිවන බැඳීමක් ගැන පමණක්ම හිතලා නෙමෙයි. වැඩිහිටි පිරිමියෙක් සමග පෙමින් බැඳුණු තරුණ යුවතියක්, එහෙමත් නැතිනම් වැඩිහිටි කාන්තාවක් එක්ක පෙමින් බැඳුණු තරුණයෙක් පොදුවේ ගත්තම ‘සම්මත’ යැයි සමාජය නොසලකන බැඳීමක් එක්ක ගලපලා ගත්තාම පහතින් තියෙන පද වැල හද පතුලටම දැනෙනවා.
“සඳට සදහට සෙනේ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එක ද තරුවක් සිටිය නොහැකි ද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය – ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්”
ඒ සම්බන්ධතාව කායික පහසක්ම වෙන්න අවශ්‍ය නැහැ. මානසික බැඳීම ඊට වඩා ප්‍රබලයි. මේ වගේ උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්.
ඒත් හැම සිංදුවකටම ඒ විදියට හිතූ හිතූ අර්ථකථන දෙන්න බැහැ. සරල උදාරහණ දෙක තුනක් ගනිමු. අමරදේවයන් ගායනා කරන “ඔබේ නමින් සෑය බඳිමි – විමානයෙන් බසිනු මැනවි” කියන්නේ මන්දිරයකින් බැහැ ගෙන එන අපි දන්න කියන ‘ස්වර්ණාට’ නෙමෙයි, රුවන්මැලි සෑය ගොඩ නගන්නට කලින් ඒ භූමියේ තිබුණු තෙළඹු ගහ රැකවරණය කරගත් ‘ස්වර්ණමාලි’ කියන දේවතාවියට. අමරදේවයන්ම “එනමුත් ළඳුනේ මතු අත්භවයේ ඔබ මා යළි හමුවෙන්නේ” කියන්නේ ප්‍රේමයෙන් පැරදුණු ඕනෑම පෙම්වතුන් යුවළක් ගැන හිතලා නෙමෙයි; ඉතිහාසයේ හිටිය ප්‍රමිලා බිසවට. “රන් රස සේ ගැලපෙන සේමා… නොබැඳෙමි ද පෙමින් කෝමා” කියලා දිවුල්ගනේ ගැයුවත්, ඇත්තටම එහෙම අහන්නේ දිවුල්ගනේ නෙමෙයි, ඇලපාත මුදලි ගජමන් නෝනාගෙන් කියලා ඉතිහාස කතාව දන්න අය දන්නවා. මෙහෙම උදාහරණ සිය ගණනක් වුණත් කියන්න පුළුවන්. ඒ වගේ ගීත වලට නිශ්චිත තේරුමක් තියෙනවා. අපිට හිතූ හිතූ හැටියට අර්ථකථන දෙන්න බැහැ.
“අනෝතත්ත විල නෙළුම නෙළාලා” කියන විශිෂ්ට ගීතයට පාදක වුණු ඉතිහාස කථාවක් තියෙන නිසා ඕනෑම මනමාලියකට, ඕනෑම යුවතියකට ඒ කතාව ගලපා ගන්න කොහෙත්ම බැහැ.
ඒත් මේ ගීතය නිර්මාණාත්මක සාහිත්‍යය හදාරන කෙනෙකුට විශේෂයෙන් අධ්‍යයනය කරන්නට වටිනා ගීතයක්. ගී පද පෙළක්, කවියක් ලියන කෙනෙකුට සාහිත්‍ය ප්‍රතිනිර්මාණයක් කියන්නේ මොකක් ද කියලා අවබෝධ කරන්නට කදිම මාර්ගෝපදේශයක් දෙන ගීතයක්. ඒකට හේතුව මේ ගීතයට පදනම් වෙලා තියෙන්නේ ජාතක කතා පොතේ දීර්ඝ ජාතක කතාවක් වන විධුර ජාතකයේ එකම එක කෙටි අවස්ථාවක් විතරක්ම හින්දා. ඒ වගේම ගීත රචක සුනිල් සරත් පෙරේරා ඒ අවස්ථාව ජාතක කතාවෙන් එළියට අරන්, වෙනත් සන්දර්භයකින් වෙනත් ආකාරයකට ගොඩ නගන ප්‍රතිභා ලීලාව හරිම අපූරුයි. හැබැයි ඔහු එහෙම කරන්නේ ජාතක කතාවේ ඒ සංසිද්ධියටත් කිසිම හානියක් නොකරයි. බොහොම දිග කතාවක එකම එක අවස්ථාවක් හුදෙකලාව අරගෙන කොයි තරම් නාට්‍යමය ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය කරන්නට ප්‍රතිභාව සහිත පුද්ගලයෙකුට පුළුවන් ද කියලා තේරුම් ගන්න මේ ගීතය කදිම උදාහරණයක්.
මේ ගීතයට පාදක වුණු විධුර ජාතකය අරුම පුදුම ජාතක කතාවක්. වෙනත් ජාතක කතා වලට වඩා බොහොම වෙනස්. ත්‍රාසය, භීතිය, කුතුහලය එක විදියට මුසු වෙච්ච ජාතක කතාවක්. ඒ විතරක් නෙමෙයි, මිනිස් ලෝකය, නාග ලෝකය, යක්ෂ ලෝකය වගේ එකිනෙකට වෙනස් ලෝක තුනක්ම එකම වෙලාවට එකිනෙක සම්බන්ධ වෙන ජාතක කතාවක්. විධුර ජාතකය කියවද්දී ඒ කතාවේ දර්ශන හිතින් මවා ගත්තොත් (visualize කළොත්) හරියට අති නවීන ත්‍රිමාන සිනමා පටයක් (IMAX 3D) එහෙමත් නැතිනම් විද්‍යා ප්‍රබන්ධ (Sci-Fi) සිනමා පටයක දර්ශන වගේ. ජයන්ත චන්ද්‍රසිරි වගේ පරිකල්පනයක් තියෙන නිර්මාණ අධ්‍යක්ෂවරයෙකුට අපූරු ‘plot’ එකක්. (කතා තේමාවක්)
හැම ජාතක කතාවක්ම පදනම් වෙලා තියෙන්නේ කිසියම් ආකාරයක ගුණ ධර්මයක් (moral) ජීවිතයට සමීප කරවන්න. ඒත් මේ විධුර ජාතකය ඒ විදියේ ‘මොරාල්’ ගණනාවක්ම විස්තර කරන කතාවක්.
විධුර ජාතකය කෙටියෙන් කියන්නට කලින් ජාතක කතාවේ සඳහන් නොවන ඒත් මේ ගීතයට පදනම් වෙන අත්‍යවශ්‍ය කරුණු කිහිපයකුත් ඉතාම කෙටියෙන් කියන්නම්.
කලින්ම කියන්නම් අනෝතත්ත විල ගැන. බෞද්ධ සාහිත්‍යයේ නිතර මුණ ගැහෙන අතිශය සුන්දර ඒ වගේම පවිත්‍ර විලක් තමයි අනෝතත්ත විල කියන්නේ. මේ විල තියෙන්නේ හිමාල වන පියසේ. මේ විල වට කරගෙන පර්වත පහක් තියෙනවා. (සුදර්ශනකූට, චිත්‍ර කූට, කාල කූට, ගන්ධමාදන, කෛලාස). හිමාලය මුදුනේ තියෙන මේ ගිරි කූටයන් මස්තකයෙන් ගලා ගෙන එන සුනිල්වන් දිහ දහරාවන්ගෙන් තමයි අනෝතත්ත විලට වතුර ලැබෙන්නේ. ඒ හින්දා මේ විල පාරිශුද්ධත්වයේ සංකේතයක්. මේ පර්වත පහ නිසා මේ විලට හිරු එළියවත්, සඳ එළියවත් සෘජුව පතිත වෙන්නේ නැහැ. ඒ නිසා විලේ ජලය පවිත්‍රව විතරක් නෙමෙයි සිසිල්වත් තියෙනවා. කිසිදා හිරු (හෝ සඳු) ගේ තාපයෙන් (උණුසුමෙන්) නොතැවෙන කියන තේරුමෙන් අනව + තප්ත යන්න අනෝතප්ත හෝ අනෝතත්ත වූ බව තමයි නිරුක්තියෙන් කියන්නේ. ඒ නිසා මේ විලට ‘අනෝතත්ත’, වගේම ‘අනවතප්ත’ කියලත් කියනවා.
මේ නිසාම තමයි දෙවිවරුන් මේ විලට ඇවිත් ස්නානය කරන්නට කැමැති. සහම්පතී බ්‍රහ්මයා බුදුන්ට පැන් ගෙන ආවේත් මේ විලෙන් කියලා තමයි බෞද්ධ සාහිත්‍යයේ සදහන් වෙන්නේ. නෙළුම කියන්නෙත් බෞද්ධ සාහිත්‍යයේ පාරිශුද්ධත්වය පිළිබිඹු කරන සංකේතයක්. ඉතින් ඒ තරම් පිවිතුරු විලකින් තමයි භද්‍ර යෞවනයේ සිටින අතිශය සුන්දර එරන්දතිය පාරිශුද්ධත්වයේ සංකේතයක් වන නෙළුම නෙළා ගෙන කාලගිරි පර්වතයේ ඉඳන් ගැමි ළියකගේ සිරියෙන් එන්නේ. ගීත සාහිත්‍යයේ අතිශය සුන්දර ලෙස කරන ස්ත්‍රී භාව ලීලා වර්ණනයක්. හැම වචනයකින්ම චිත්‍ර රූප මැවෙනවා.
ඒත් කලින් කිව්වා වගේම ඇය මෙහෙම එන්නේ තමන්ගේ අම්මාගේ ‘දොළ දුකක්’ සංසිදුවන්න. දොළ දුක සංසිදු වීමේ ඒ කතාව නම් ඒ තරම් සුන්දර නැහැ. එක්තරා ආකාරයකින් ලොමු දැහැගන්වෙන තරමක බිහිසුණු කතාවක්. ඒ විදියේ කතාවකින් මේ තරම් මිහිර වෑහෙන සිංදුවක් මවන්නට නම් පුදුමාකාර ප්‍රතිභාවක් තියෙන්නට ඕන කියන කාරණාවට මේ ජාතක කතාව කියෙව්වාට පස්සේ ඔබත් මාත් එක්ක එකඟ වෙන බව නිසැකයි.
අනෝතත්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනා – එරන්දතිය එනවා
සිතක උපන් දොල සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා
එරන්දතිය එනවා …
කෝමල ගමනින් කෝල හැඟුම් හල
කාලගිරෙන් සිතුවිලි සේනා ගෙන
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා …
නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් හෙලාලා
පාද කිකිණි සොලවා
එරන්දතිය එනවා …
පද රචනය : සුනිල් සරත් පෙරේරා
ගායනය : පණ්ඩිත් අමරදේවයන් සමග අමිතා වැදිසිංහ
සංගීතය : වික්ටර් දලුගම
_______________________________________________________________________
විධුර ජාතකය (බොහොම කෙටියෙන්)
_________________________________________
එක්තරා කාලයක බරණැස් නුවර බොහොම උසස් බ්‍රාහ්මණ කුලයක ඉපදුණු තරුණයන් හතර දෙනෙකු හිටියා. මේ හතර දෙනාටම හිතුණා තමන්ගේ සියලු සැප සම්පත් අත්හැර තවුස්දම් රකින්නට. ඉතින් ඒ හතර දෙනාම හිමාලයේ වනගත පෙදෙසකට ගිහින් තවුස්දම් රකින්නට පටන් ගත්තා. ආහාරයට ගත්තේ පළතුරු. ඒත් ලුණු ඇඹුල් සොයා ගන්න වරින් වර මනුෂ්‍ය වාසයට ඇවිත් පිඬු සිඟා යන්නට ඔවුන්ට සිද්ධ වුණා.
එක්තරා අවස්ථාවක මේ විදියට ඔවුන් පිඬු සිඟා යමින් කාලචම්පා කියලා ජනපදයකට (නුවරට) පැමිණියා. කාලචම්පා නුවර හිටපු කුල පුත්‍රයන් හතර දෙනෙකුට මේ තවුසන් හතර දෙනා ගැන ඇති වුණේ බොහොම ප්‍රසාදයක්. ඒ හින්දා තවුසන් දිනපතා තමන්ගේ නිවාස වලට ගෙන්නලා දානය පිරිනමන්නට ඔවුන් පුරුදු වුණා. තවුසන් හතර දෙනාත් මේ නිවාස වලින් දානය අරන් දිවා විවේකයට විවිධ ස්ථානවලට යන්න පුරුදු වෙලා හිටියා.
එක් තවුසෙක් දිවා විවේකයට යන්නේ දිව්‍යලෝකයට. තවත් තවුසෙක් යන්නේ නාග ලෝකයට. තවත් කෙනෙක් ගරුඬ භවනට. තවත් තවුසෙක් යන්නේ කෞරව රජුගේ ‘මහා රුචි’ කියන උද්‍යානයට. ඉතින් පසුදා දන් වැළදීමට ආපු වෙලාවට තමන් ආ ගිය ලෝකවල දකින විසිතුරු ඒ ඒ දායකයන්ට කියන්නට තවුසන් පුරුදු වෙලා හිටියා.
දිනපතා දාන මාන කටයුතු කරන මේ කුල පුත්‍රයන් ඒ විස්තර ඇසීමෙන් සිත පහදවාගෙන අවසානයේ දී තමන්ගේ ආයුෂ නිම වුණාට පස්සේ මිය ගිහින් උපත ලබන්නේත් ඒ ඒ දිව්‍ය ලෝකවලමයි. ඒ කියන්නේ එක් කුල පුත්‍රයෙක් ශක්‍ර දේවේන්ද්‍ර විදියට උපත ලබනවා. තවත් කෙනෙක් නාග ලෝකයේ වරුණ නම් වූ නා රජු ලෙස උපත ලබනවා. තවත් කුල පුත්‍රයෙක් ගුරුළු රාජ භවනේ සුපර්ණ ගුරුළු රජු විදියටත්, අනෙක් කුල පුත්‍රයා ධනංජය කෞරව රජු නමින් කෞරව රාජ්‍යයේ රජු විදියටත් උපත ලබනවා. (අර කලින් කිව්ව තාපසවරුන් තමන්ගේ ආයු කාලය නිමා වුණාට පස්සේ බ්‍රහ්ම ලෝකවල උපත ලබනවා).
ධනංජය කෞරව රජු දශ රාජ ධර්මයෙන් ඉතා ධාර්මිකව කටයුතු කරන රජ කෙනෙක්. මේ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට කීර්තිමත් පණ්ඩිත ඇමතිවරයෙක් ඉන්නවා. ඔහුගේ නම තමයි විධුර. මහා නුවණැති මේ විධුර පඬිවරයාගේ අවවාද හිස් මුදුනින් පිළිගන්නා කෞරව රජු නිතිපතා සිල් රකිමින්, දන් දෙමින් සහ සිය ජනතාවට යහපතක්ම කරමින් තමන්ගේ රාජ්‍යය ඉතා සාමකාමීව පවත්වා ගෙන යනවා.
සිල් සමාදන් වූ එක්තරා දවසක ධනංජය රජතුමා භාවනා කරන්න උයනකට යනවා. මේ දවසේ දීම සිල් සමාදන් වෙච්ච ශක්‍ර දේවේන්ද්රයොත්, සුපර්ණ ගරුඬ රජ්ජුරුවොත්, නා රජ්ජුරුවොත් සිල් සමාදන් වෙලා විවේකීව සිල් රකින්නට තැනක් හොයද්දී මේ උයන දැකලා මෙතැනටම එනවා. හවස් වරුවේ මේ හතර දෙනාම පොකුණක් අද්දර දී හම්බු වෙලා පැරණි හිත මිත්‍රකම් නැවත අලුත් කර ගන්නවා.
ඔන්න ඔය වෙලාවේ හතර දෙනා අතර මිත්‍රශීලී විවාදයක් ඇති වෙනවා. ඒ තමයි තමන් හතර දෙනාගේ සීලයෙන් වැඩිම බරක් (ඒ කියන්නේ වඩාත් ශ්‍රේෂ්ඨ සීලවන්තභාවය) තියෙන්නේ කාට ද කියලා.
“මේ මෙතැන ඉන්න ගරුඬ රජ්ජුරුවෝ හැම තිස්සෙම අපිට විරුද්ධව තමයි වැඩ කළේ. අපේ ජීවිත විනාශ කරන්නමයි උත්සාහ කළේ. ඒත් සතුරා දැක දැකත් අපි මෛත්‍රී සහගතව හිටියා. කෝප වුණේ නැහැ. ඒ හින්දා මගේ සීලය උතුම්,” නා රජ්ජුරුවෝ කිව්වා. (නාගයන් සහ ගරුඬන් සදාකාලික සතුරන් බව ඔබ දන්නවානේ)
“මේ නා රජ්ජුරුවෝ මට අග්‍ර භෝජන වෙන්න තිබුණු අවස්ථාවලත් මං බඩගින්න ඉවසාගෙන මගේ සීලය රැක්කා. ඒ හින්දා මගේ සීලය තමයි උතුම්,” ගරුඬ රජ්ජුරුවෝ ඒකට පිළිතුරු බැන්දා.
“සියලුම දිව්‍ය සැප සම්පත් අත්හැරලා තමයි මං සිල් රකින්නට මිනිස් ලෝකයට ආවේ. ඒ හින්දා මගේ සීලයයි උතුම්,” ශක්‍ර දේවේන්ද්‍රයෝ කිව්වේ එහෙමයි.
අන්තිමට උත්තර දුන්නේ ධනංජය කෞරව රජ්ජුරුවෝ. “මම වස්තුව විතරක් නෙමෙයි, ස්ත්‍රීන් 16,000කගෙන් සම්පූර්ණ වූ අන්තඃපුරයත් අත හැරලා මහනදම් පුරන්නට ආවේ. ඒ හින්දා මගේ සීලය නේද උතුම්?”
හතර දෙනාටම බැරි වුණා කාගේ සීලය ද උතුම් කියලා තීරණයකට එන්න. ඒකට උත්තරයක් හෙව්වේ ධනංජය රජ්ජුරුවෝ.
“මට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන සමුදුර තරම් මහා ප්‍රඥාවක් ඇති විධුර නම් පණ්ඩිතයෙක් ඉන්නවා. අපි ඔහුගෙන් මේ ගැන අහමු” හැමෝම ඒ අදහසට කැමති වුණා. හතර දෙනාම විධුර පණ්ඩිතයන් සමීපයට ගියා.
“ඔබ හැම දෙනාම තම තමන්ගේ සීලයන් ගැන කිව්ව දේවල් නිවැරදියි. ඒ වගේම තමයි ඔබ හතර දෙනාගේම සීලය එක හා සමානවම උසස්. එහි උස් පහත් භේදයක් නැහැ,” එහෙම තමයි විධුර පණ්ඩිතයන් පිළිතුරු දුන්නේ.
මේ පිළිතුරෙන් බොහෝ සේ සතුටට පත් වුණු ශක්‍ර දේවේන්ද්‍රයන් නිලුපුල් පැහැයෙන් වර්ණවත් දිව්‍යමය දුහුල් වස්ත්‍රයක් විධුර පණ්ඩිතයන්ට පිළිගැන්නුවා. ගුරුළු රජ්ජුරුවෝ දුන්නේ විකසිත පද්මයක් විදියට හැඩ ගැන්වුණු රන් මාලයක්. වරුණ නා රජ්ජුරුවෝ පිළිගැන්නුවේ තමන්ගේම ගෙල පැළැඳි මනහර මාණික්‍යයක්. කෞරව රජ්ජුරුවෝ ගවයන් දහසක්, අජානීය අශ්වයන් සහිත රථ දහසක් සහ ගම්වර සොළොසක් පිළිගැන්නුවා.
වරුණ නා රජුගේ බිරිඳගේ නම විමලාදේවී. ආපසු සිය මන්දිරයට පැමිණි වරුණ රජුගේ ගෙලෙහි මාණික්‍යය නුදුටු විමලාදේවි, ඒ ඇයිදැයි ඔහුගෙන් විමසුවා. නා රජු තමන් මුහුණ දුන් සිදුවීම ඇයට විස්තර කළා. ඒ වගේම විධුර පණ්ඩිතයන්ගේ දැනුම සහ මධුර ධර්ම කථිකත්වය ගැනත් අපූරු විස්තරයක් කළා. ඒ විස්තර ඇසුවාට පස්සේ විධුර පණ්ඩිතයන් දැක බලා ගන්නට විමලාදේවිට ඇති වුණේ මැඩ පැවැත්විය නොහැකි ආසාවක්.
“මට දකින්නට මේ පණ්ඩිතයන් මෙහි කැඳවා ගෙන එන්නට කියලා කිව්වොත් ඒක කවදාවත් ඉෂ්ට වෙයි කියලා හිතන්න බැහැ. ඒ හින්දා වෙනත් උපායක් යෙදීම තමයි හොඳ” මෙහෙම හිතපු විමලාදේවිය තමන් ගිලන් වූ බව පරිවාර ස්ත්රීන්ට කියා සිය සයනයේ දිගා වෙලා ගිලන් වූ බවක් මවා පෑවා.
සිතක උපන් දොල සංසිදුවාලා
__________________________________
සිය බිරිඳ රෝගාතුරව ඇති බව අසන්නට ලැබුණු වරුණ නා රජ්ජුරුවෝ ඇය සොයා පැමිණ ඒ ගැන විමසීමක් කළා.
“විමලාවෙනි, තිගේ සිරුර පඬුවන්ය. කෘශය. දුබලය. රූපශ්‍රීය අඩුව ගොසිනි. තිට කවර ශරීර වේදනාවක් පවතී ද?”
“රජතුමනි, දොළ යනු ස්ත්රීන්ට පොදු දෙයකි. විධුර පඬිතුමාගේ හදවත පතන්නෙමි. එය ලැබුණොතින් මම ජීවත් වෙමි. නැතිනම් මගේ දිවි තොරව යනු ඇත. එබැවින් මගේ දොළ සංසිදුවාලන්නට විධුර පඬිතුමා දැහැමි ලෙස මෙහි ගෙන ආ යුතුය”
එය කෙසේ කරන්න ද? විධුර පඬිතුමා ගෙන ඒම කෙසේ වෙතත් අඩුම තරමින් ඔහුව දැකීම පවා අසීරු කටයුත්තක්. මේ මුළු මහත් දඹදිව සියලුම රජ දරුවෝ ඔහුට රැකවරණය සලසති. එය කිසිවෙකුටත් කළ හැකි දෙයක් නොවේ,” වරුණ නා රජු පිළිතුරු දුන්නා.
“එසේනම් මගේ මරණය මෙතැනම සිදු වනු ඇත” යි පිළිතුරු දුන් විමලාදේවිය සිය යහනේ පෙරළී මුහුණ වසා ගත්තා.
මේ කාරණාවෙන් දුක් පීඩාවට පත් වෙච්ච වරුණ නා රජ්ජුරුවෝ මේ ගැන කුමක් කරන්නට දැයි කල්පනා කරමින් සිටින මොහොතේ තමයි, රජුගේ දුව වන, රූප ශ්‍රීයෙන් අග තැන්පත් එරන්දතී නම් වූ නාග කන්‍යාව ස්වර්ණාභරණයෙන් සැරසිලා තමන්ගේ පියා වෙතට එන්නේ. සිය පියාණන් දුකින් පෙළෙනු දකින එරන්දතී දියණිය ඒ කවර හේතුවක් නිසාදැයි විමසා සිටිනවා. සිද්ධිය විස්තර කරන වරුණ නා රජ්ජුරුවෝ අවසානයේ දී සිය දියණියට මේ විදියේ පුදුමාකාර යෝජනාවක් කරනවා.
“එරන්දතිය, දර්ශනය පවා දුර්ලභ වූ විධුරව මෙහි ගෙන එන්නට කවුරුන් නම් සමත් වේවි ද? එවැන්නෙකු මා සමීපයේ නැත. නුඹේ මවට ජීවිතය දිය හැකි වන්නේ නුඹටමය. විධුරව මෙහි ගෙන එන්නට සමත් වන ස්වාමියෙකු සොයා ගන්න” (ඒක තාත්තා කෙනෙක් නොකළ යුතු මට්ටමේ යෝජනාවක්)
වරඟන පිරිවරිනා – එරන්දතිය එනවා
________________________________________
තමාට එය කළ හැකි බව කියා සිය පියාව මෙන්ම මව ද අස්වසන එරන්දතිය තද රත් පැහැති ඉතා සුන්දර විස්ත්රයකින් සැරසිලා ඒ රාත්‍රියේම හිමාලයේ හැට යොදුනක් උස කාලපබ්බක (කළු පැහැති පර්වතය) මුදුනට ගිහින් කෙලෙස් බරින් පීඩිත සැමියෙකු සොයා යෑමේ කාර්යය ආරම්භ කරනවා.
මෙන්න මේ අවස්ථාව තමයි සුනිල් සරත් පෙරේරා සූරීන් හරිම අපූරුවට විස්තර කරන්නේ.
එරන්දතිය ඒ ගල් තලාව විවිධාකාර පුෂ්පයන්ගෙන් සරසනවා. ඒ මල්වල සුවඳින් මුළු හිමාලයම පිරී යනවා. ප්‍රසන්න සුවඳ පිරුණු ඒ සුන්දර හිමවත මුදුනේ ඉතා සුන්දරව සැරසී ඇය මිහිරි ස්වරයෙන් ළයාන්විත ගී ගයන්නට පටන් ගන්නවා.
ඒ ගීයේ අර්ථය මේ වගේ: “කවර නම් වූ ගන්ධබ්බයෙකු, රකුසෙකු, නාගයෙකු, කිඳුරෙකු, මිනිසෙකු හෝ කවර නම් වූ පණ්ඩිතයෙකු විධුරගේ හෘදය මාංසය පිළිබඳ දොළදුකින් පෙළෙන මගේ මවගේ මනදොළ මුදුන්පත් කර මට බොහෝ කාලයක් ස්වාමියා වන්නේ ද?”
වෛශ්‍රවණ මහරජුගේ බෑනා වුණු පූර්ණක නම් යක්ෂ සේනාධිපතිට මේ ගීය කණ වැකෙනවා. එරන්දතිය තමන්ගේ පෙර ආත්ම භාවයෙහි බිරිඳ වූ බව සිහිපත් වීම හින්දා යක්ෂ සේනාධිපතිගේ සිත තුළ මේ ඉල්ලීම තදින්ම තැන්පත් වෙනවා. ඇය කාගේ කවුදැයි විමසා සිටින පූර්ණක, විමලාදේවියගේ දොළ දුක නිවාලන්නට විධුර පණ්ඩිතයන් කැඳවා ගෙන ඒමේ අභියෝගය භාර ගන්නවා.
පූර්ණක තමන්ගේ පෙර ආත්මයේ සැමියා බව වටහා ගන්නා එරන්දතිය ද මහත් සතුටින් ඔහු සමග රජ මාලිගයට ගොස් තම පියා වන වරුණ නා රජු මුණ ගැහෙනවා.
“නා රජතුමනි, ඔබේ දියණිය එරන්දතිය මට හිමි කර දෙන්න. මා ඔබට පඬුරු පිණිස ඇතුන් සියයක් ද, අසුන් සියයක් ද, වෙළඹුන් යෙදූ රථ සියයක් ද, විවිධාකාර මුතු මැණික්වලින් පිරුණු ගැල් සියයක් ද දෙන්නම්” යි පූර්ණක, නා රජුට එහෙම කියනවා.
මේ වස්තුව ගෙන සිය දියණිය පුර්ණකට ලබා දෙමුදැයි යෝජනාවක් වරුණ සිය බිරිඳ විමලාගෙන් ඇසුවත් ඇය දෙන්නේ මුරණ්ඩු උත්තරයක්. “ස්වාමීනි, වස්තුව නිසා එරන්දතිය පාවා නොදෙමු. විධුර පණ්ඩිතයන්ගේ හෘදය මාංශය ගෙනෙනන්ට සමත් වුණොත් පමණක් ඇය පාවා දෙමු”
මිනිසුන් අතර දාසයෝ හතර වර්ගයකි!
_____________________________________________
අන්තිමේ දී පූර්ණක රජ මැදුරෙන් පිට වන්නේ විධුර පණ්ඩිතයන් සොයා යෑමේ අරමුණින්. එහෙත් මහා පිරිස් ඇති විධුර පණ්ඩිතයන් රැගෙන ඒම ඉතා අසීරු කාර්යක් කියන අවබෝධය ඔහුට හොඳින්ම වැටහෙනවා. මේ හින්දා ඔහු වෙනත් උපායක් කල්පනා කරනවා. ඒ සූදු ක්‍රීඩාවට කැමැත්තක් දක්වන ධනංජය කෞරව රජු සූදුවෙන් පරාජය කර විධුර පණ්ඩිතයන් තමන් සන්තක කර ගැනීමයි. දැනටමත් බොහෝ වස්තුව ඇති කෞරව රජුන්, සූදුවට පොළඹවා ගන්නට ඔහු ඉතා වටිනා වජ්ර මාණික්‍යයක් අරගෙන කුරුරටට යනවා. ඒ යන්නේ මිනිස් තරුණයෙකුගේ ස්වරූපයක් මවා ගෙන. ඔහු කුරුරටට යද්දී රජ දරුවන් සිය දෙනෙක් සූදු ක්‍රීඩාවේ නිරතව ඉන්නවා. මිනිස් වේශයෙන් සිටින පූර්ණක මේ රජ දරුවන් සියලු දෙනාම සූදුවට කැඳවනවා.
බිය සැක රහිතව තමන්ව සූදුවට කැඳවන්නට තරම් නිර්භීත ඔහු කාගේ කවුරුන්දැයි රජ දරුවන් විමසා සිටිනවා. පූර්ණක තමන්ගේ සැබෑ නම වෙනුවට තමන්ගේ පෙර අත්භවයේ නම වූ “කෘත්‍යායන” කියා සිටිනවා.
“හොඳයි, ඔබ මේ සූදුවෙන් පැරදුනොත් ඔබට කුමන වස්තුවක් තිබේ ද?” ධනංජය කෞරව රජු විමසා සිටිනවා.
“මහ රජතුමනි මා ළඟ මැණිකක් ඇත. එය සිතූ පැතූ සැප සම්පත් ලබා දෙන මැණිකකි. එමෙන්ම සතුරන් පරාජය කරන්නට සමත් අජානීය අශ්ව රත්නයක් ද මා සතුව ඇත. මා පරදවා ඒ වස්තු දෙක ලබා ගන්න.” ඔහු ඒ දුර්ලභ මාණික්යයයේත්, අශ්වයාගෙත් මහිම දීර්ඝ ලෙස විස්තර කරනවා. ඒ වගේම ඒවායේ විශ්ෂ්ටත්වය ද රජ දරුවන් ඉදිරියේ පෙන්වා ඔවුන් මවිතයෙන් මවිතයට පත් කරවනවා.
මේ වස්තුව ලබා ගන්නට ලොල් වූ ධනංජය රජු, “දරුව මාගේ ශරීරයත්, මා හැඳ සිටින වස්ත්‍රයත් හැර මා සන්තක අන් සියලුම දේ ඔබට දෙමි” යි යැයි පවසා පූර්ණක සමග සූදුවට එක් වෙනවා. ධනංජය රජු සූදුවට දක්ෂයෙකු වුව ද ඔහු මේ තරගයෙන් පරාජයට පත් වෙන්නේ පූර්ණකගේ යක්ෂ බල මහිමයෙන්.
“මා සන්තකයේ ඇති සියලුම වස්තුව ඔබ කැමති පරිද්දෙන් ගෙන මෙතැනින් නික්මෙන්න,”පරාජය පිළිගනිමින් ධනංජය රජු ශෝකභරිතව පූර්ණකට දැනුම් දෙනවා.
“මහ රජතුමනි, මට ඔබගේ සෙසු සම්පත් උවමනා නැත. මට අවශ්‍ය වන්නේ ඔබගේ විධුර නම් වූ පණ්ඩිතයා පමණි.”
“එය කිසිසේත්ම කළ නොහැකිය. මගේ රැකවරණය ඔහුය. මගේ මුළු ජීවිතයටම ඔහුය”
“රජතුමනි, අපි මේ ගැන පණ්ඩිතයන්ගෙන්ම විමසා සිටිමු.
ඔහුගේ විනිශ්චයට ඉඩ දෙමු” පූර්ණකගේ යෝජනාවට ධනංජය රජු ද කැමැති වෙනවා. ඔවුන් විධුර පණ්ඩිතයන් හමු වන්නට යන්නේ රජ දරුවන් සියයක් එක්කයි..
එතැන දී පූර්ණක, විධුර පණ්ඩිතයන්ගෙන් මේ විදියේ ප්‍රශ්නයක් අහනවා.
“ඔබ ධර්මයෙහි පිහිටන තැනැත්තෙක් බව කියැවෙනවා. ඔබ රජුගේ දාසයෙකු ද? නැතිනම් ඥාතියෙකු ද? රජුට වඩා උසස් හෝ පහත් කෙනෙකු ද? සත්‍යයම පවසන්න”
විධුර පණ්ඩිතයන් ඊට පිළිතුරු දෙන්නේ මෙන්න මෙහෙමයි.
“මා රජුට වඩා උතුම් කියා හෝ රැජුගේ ඥාතියෙකු යැයි කියා පෙන්වීම ඉතා සුළු දෙයකි. එහෙත් මේ ලෝකයෙහි සත්‍යය තරම් වටිනා තවත් ධර්මයක් නැත්තේය. එබැවින් මම ඔබට සැබෑවක්ම කියමි.
මිනිසුන් අතර දාසයෝ හතර වර්ගයක් වෙති. සමහරුන් දාස වන්නේ දාසියකගේ කුසින් උපන් හෙයිනි. සමහරු මුදලට විකිණී ගොස් මිලයට ගත් දාසයෝ වෙති. තවත් සමහරු තම බත් පත වෙනුවෙන් සේවය සැපයීමෙන් තමන් විසින්ම දාස බවට පත් වෙති. තවත් සමහරු බිය නිසා දාස බවට පත් වෙති. මම ද උපස්ථායකත්වයෙන් ස්වයං දාස භාවයට පත් වූවෙකි. රජතුමා ජය පඬුරට තබා නුඹට මා පවරා දෙන්නේ නම්, එය අධර්මයෙන් නොව, ධර්මයෙන්ම දෙන සේක්වා!”
විධුරගේ කතාවෙන් පූර්ණක අතිශයින්ම සතුටට පත් වුවත්, රජුට ඇති වුණේ තදබල නොසතුටක් එක්කම තරහක්.
“තමුන් තමුන්ටම කියා ගන්නවා නම්, තමා දාසයෙක් කියලා, ධනයන් අතරින් උතුම්ම ධනය වූ ඔහුව රැගෙන යව!” රජතුමා පූර්ණකට දැනුම් දෙන්නේ කෝපයෙන්.
ගෘහවාස ප්රශ්නය
_____________________
ඒත් විධුර පණ්ඩිතයන් ගියාට පස්සේ තමන්ට ධර්මයක් හෝ අනුශාසනයක් අසන්නට වෙනත් කිසිවෙකු නැති බව වටහා ගන්නා රජතුමා, තමන්ගෙන් වෙන්ව යන පණ්ඩිතයන්ගෙන් අවසාන වරට ප්‍රශ්නයක් අහනවා. මේ ප්රශ්නය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ “ගෘහවාස ප්රශ්නය” විදියටයි. මෙතැනදී රජතුමා අසා සිටින්නේ සිය නිවසෙහි වෙසෙන ගිහියාට (ඒ කියන්නෙ ඔබ හා මා වැනි වූ ගිහියන්ට) සුරක්ෂිත ජීවිතයක් ගෙන යන්නට උවමනා කරන ධර්මතා ගැනයි. මේ ප්‍රශ්නයට පණ්ඩිතයන් දෙන පිළිතුර දීර්ඝයි. ඔබට පුළුවන් ඒ ගැන ජාතක පොතෙන් කියවන්න. ඒත් සාරාංශයක් විදියට ගත්තම විධුර පණ්ඩිතයන් පෙන්වා දෙන ධර්මතා අතර මෙන්න මෙහෙම දේවලුත් තියෙනවා.
ඥාන වර්ධනයට හේතු නොවන කිසිවක් සොයා යන්නට වැර වෑයම් නොකළ යුතුය.
උගතුන් සහ සිල්වතුන් ගෞරව පූර්වකව ඇසුරු කළ යුතුය.
දැනීම දියුණු කර ගැනීම සදහා නිතර නිතර උගතුන් විමසිය යුතුය.
සිල්වත්වීම සහ මසුරු නොවීම.
තියුණු නැවණැති වීම.
මිහිරි කතාව.
අප්‍රමාද වීම.
අන් බිරියන් හා වැරදි ලෙස හැසිරීම නොකළ යුතුය.
රසවත් ආහාර තනිවම භුක්ති නොවිඳිය යුතුය.
මේ ඔබ මිනිස් ලොව දකින අවසාන අවස්ථාවයි!
_____________________________________________________
නික්ම යන්නට මත්තෙන් තම දරුවන්ට, ඥාතීන්ට සහ හිතවතුන්ට අවවාද අනුශාසනා කරන්නට දින තුනක් කාලයක් දෙන්නැයි විධුර පණ්ඩිතයන් මිනිස් වෙසින් සිටින පූර්ණක යක්ෂයාගෙන් අවසර ඉල්ලා සිටිනවා. ඒ දින තුනක කාලයේ දී තම දරුවන් සහ ඥාති හිතවතුන්ට දුන් අවවාද අනුශාසනා ජාතක කතාවේ දීර්ඝ ලෙස විස්තර කෙරෙනවා. (ඔබ ඒ ගැන උනන්දුයි නම්, ඔබට ජාතක පොතෙන් ඒ ගැන කියවන්නට පුළුවන්). ඒ වගේම එ් දින තුනක කාලය තුළ දී පූර්ණකටත් ඉතා ඉහළින් සැප සම්පත් ලබා දෙන්නට විධුර පණ්ඩිතයන් කටයුතු කරනවා.
දින තුන අවසානයේ දී රජතුමා හමුවන විධුර පණ්ඩිතයන් තමන්ගේ දරුවන් සහ ඥාතීන් රැක බලා ගන්නා ලෙස රජතුමාගෙන් ඉල්ලා සිටිනවා.
“උතුම් වූ මහා ප්‍රාඥය! ඔබට යන්නට දිය නොහැකියි. මා ඒ කෘත්යාන නම් වූ මානවකයා තළා පෙළා මරා දමන්නම්! නුඹ කොහේවත් නොයා මෙහිම රැඳෙන්න” ධනංජය රජු හැගුම්බරව ආයාචනා කරනවා.
“රජතුමනි, ස්වාමියා යනු දාසයාගේ අධිපතියාය. (දාසයා) නසා දමන්නත්, දාසයාගේ අභිවෘද්ධිය ඇති කරන්නත්, පෝෂණය කරන්නත් හැකියාව ඇත්තේ අධිපතියාටය. අධර්මයෙහි සිත නොයොදන්න. පුණ්‍යවන්ත වන්න. ළාමක වූ පාප ක්‍රියාවන්හි නොයෙදෙන්න. මානවකයා (පූර්ණක) සමග මට වෛරයක් නැත. මම ඔහු හා යමි,” එසේ කියමින් විධුර පණ්ඩිතයන් රජතුමාට දෙන උපදෙස් මාලාව ජාතක කතා පොතෙන් දීර්ඝ ලෙස කියවන්නට ඔබට පුළුවන්.
“මේ අජානීය අශ්වයාගේ වලිගයෙන් අල්ලා ගන්න. මේ ඔබ මිනිස් ලොව දකින අවසාන අවස්ථාවයි!” පූර්ණක එසේ කියන්නේ විධුර පණ්ඩිතයාටයි. ඒත් විධුර පණ්ඩිතයන් වලිගයෙන් පමණක් නොවෙයි, පාද දෙකෙනුත් අශ්වයාගේ කලවා හිර කර ගන්නවා.
විධුර පණ්ඩිතයන් රැගෙන යන පූර්ණක අතරමග දී පණ්ඩිතයා මරා දමන්නට නොයෙක් වර උත්සාහ කරනවා. හිමාලයේ ගල් පර්වතවල හප්පලා සුණු විසුණු කරන්නට උත්සාහ කරනවා. ගස් කොළංවලට තලා දාලා මරන්නට උත්සාහ කරනවා. මහා වේගයෙන් ගිහින් සුළං පහරේ වේගයට මරා දාන්නට හදනවා. මහා භයානක රාක්ෂ වේෂයක් අරගෙන බියකරලා මරා දාන්නට හදනවා. සිංහයෙකු, මද කිපුණු ඇතෙකු, විශාල සර්පයෙකු වගේ විවිධාකාර බිය ජනක වේෂයන් පෙන්වලා බිය ගන්වා මරා දාන්නට හදනවා. මහ පොළොව තිගස්සවන මහා බයංකාර ගිගිරුමක් නංවලා මරා දාන්නට උත්සාහ කරනවා. ඒත් මේ කිසිම බාහිර උපක්‍රමයකින් විධුර පණ්ඩිතයන් මරා දාන්නට බැරි බව වටහා ගන්නා පූර්ණක, වෙනත්උපක්රමයක් භාවිත කරනවා.
“බාහිර උපක්‍රමවලින් මොහුව මරා දාන්නට බැහැ. මගේ අතින්ම මරා දමමි” මෙසේ සිතන පූර්ණක විධුර පණ්ඩිතයන්ගේ හිස පහතට සිටින සේ අහසට වීසි කරනවා. එහෙම වීසි කරන අතරේ බිමට වැටෙන්නට පෙර නැවත පාද වලින් අල්ලා ඔහු මිය ගොස් ඇති දැයි විමසා බලනවා. මේ විදියට ඔහු කිහිප වාරයක් විවිධ උස ප්‍රමාණ වලින් බිමට අතහැර බැලුවත් එය සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා තව තවත් යොදුන් ගණනාවක් දිග වැඩි කර උඩට වීසි කරමින් වැටන්නට පෙර පාද වලින් අල්ලා බලමින් පූර්ණක මේ ක්‍රියාව සිද්ධ කරනවා.
ඒ වෙලාවේ විධුර පණ්ඩිතයන්ට මේ විදියට හිතෙනවා.
“මොහු මා මුලින් යොදුන් පහළොවක් පහතට හෙළා මා මරණ්යට පත් වූවා ද කියලා බැලුවා. ඊට පස්සේ යොදුන් තිහක්. ඊට පස්සේ යොදුන් හැටක්. දැන් නම් ඔහු උත්සාහ කරන්නේ පර්වත මුදුනේ මගේ හිස ගසා මරා දමන්නට බව නිසැකයි. ඊට ප්‍රථම ඔහු මා මෙසේ මරන්නට උත්සාහ කරන්නේ ඇයි කියලා දැන ගන්නට අවශ්‍යයි”
මරණය අබියස මහා ප්‍රපාතයක එල්ලෙමින් ඉතා බිහිසුණු අවස්ථාවක සිටිය දී විධුර පණ්ඩිතයන් පූර්ණකගෙන් මෙසේ විමසා සිටිනවා.
“රූපයෙන් නුඹ දෙවියෙකු වගේ. ඒත් නුඹ ළග කිසිම විදියකින් උත්තම ගුණයක් නහැ. සංයමයකුත් නැහැ. රුදුරු සැහැසිකම් නිසා කිසිම විදියක කුසලයකුත් නැහැ. මා මෙසේ මරා දමා නුඹට අත්වන්නේ කවර ප්‍රයෝජනයක් ද? දැන් නුඹගේ පෙනුම අමනුෂ්‍යයෙකුට සමානයි. නුඹ කවර නම් යක්ෂයෙකු ද?”
“පූර්ණක නම් යක්ෂයා ගැන තොප අසා තිබේද? ඔහු වෙසමුණි රජුගේ ඇමැතියා වෙයි. ඒ මමයි” පණ්ඩිතයන් අල්ලා ගෙන එන්නට තමන්ට හේතු වූ කරුණු කාරණා පූර්ණක විස්තර කර දෙනවා. ඒ විස්තරයෙන් පසු ඔහු මෙහෙමත් කියනවා.
“කාමාශාව නිසා ඉතා පහසුවෙන්ම මාමණ්ඩිය මා නම්මා ගත්තා. පඬිතුමනි, මා මුලා වූවා නොවේ. අයුතු ලෙස මා ගත් කිසිත් නැත. දැහැමින් ලබන ඔබගේ හදවත නිසා එරන්දතිය මට හිමි වනු ඇත්තේය. තොප මේ ප්‍රපාතයේ හෙළා මරා හදවත රැගෙන යන්නෙමි”
තමාගේ හදවතින් විමලාදේවියට වැඩක් නැති බවත්, වරුණ නා රජු තමන් ගැන කළ වර්ණනාවක් හේතුවෙන් ඇයට තමා දැක බලා ගැනීමට ඇති උවමනාව වැරදි ලෙස තේරුම් ගැනීමක් මෙතැන දී සිදු වී ඇති බවත් ඒ මොහොතේ දීම විධුර පණ්ඩිතයන්ට තේරුම් යනවා. ඒ නිසා ඔහු යක්ෂයාට මෙසේ කියනවා.
“මානවකය, එසේ නම්, මා මරා දමන්නට පෙර පර්වත මුදුනෙහි මා හිඳුවා යහපත් මනුෂ්‍ය ධර්මයන් අසන්න. එයින් පසුව ඔබ කැමැති දෙයක් කරන්න.” තමන් නොදැන සිටි විශේෂ යමක් කියන්නට පඬිවරයා උත්සාහ දරන බවට ඇති වූ වැටහීමෙන් මේ අදහසට පූර්ණක කැමති වෙනවා.
තෙත් වූ අත දැවීම නොකරන්න
___________________________________
තම සිරුර කිළිටි වී ඇති බැවින් ධර්ම දේශනයට පෙර ස්නානය කළ යුතු බවට කළ ඉල්ලීමටත් පූර්ණක කැමැති වෙනවා. ස්නානයෙන් පස්සේ දිව්‍යමය වස්ත්‍ර, සුවඳැති මල් මාලා ආදියෙන් ද සරසා දිව්‍යමය භෝජනයක් ද පිළිගන්වන පූර්ණක කාලගිරි පර්වතය මුදුනේ උතුම් ආසනයක් ද පනවනවා.
කාලගිරි පර්වතය මස්තකයේ ඉදන් විධුර පඩිවරයා “උදාර මනුෂ්‍ය සාධු ධර්ම” හතරක් ප්‍රකාශ කරනවා. ඒත් ඒ ඉතා කෙටියෙන්. “මානවකය, යන්නන් අනුව යන්න. තෙත් වූ අත දැවීම නොකරන්න. මිතුරන් කෙරෙහි කිසිවිටෙකත් ද්‍රෝහී නොවන්න. ස්ත්රීන්ගේ වසගයට නොයන්න”
එය වටහා ගත නොහැකි වූ පූර්ණක වඩාත් විස්තරාත්මකව ඒවා පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.
යන්නන් අනුව යන්න – තමන් කිසිදා නුදුටු අයෙකු වුව ද තමාට අසුනක් පිළිගන්වීමෙන් හෝ කිසියම් හෝ උදව් උපකාරයක් කළේ නම්, නුවණැති පුද්ගලයා පෙරළා ඔහුට උදව් උපකාර කරන්නේය.
තෙත් වූ අත දැවීම නොකරන්න – කිසිවෙකුගේ නිවසේ එක් රැයක් හෝ ගත කර ආහාර පාන ලබා ගත්තේ නම්, ඔවුන් ගැන අවැඩක් කිසිදා කිසිවිටෙක නොසිතන්න.
මිත්‍ර ද්‍රෝහී නොවන්න – රුක් සෙවනක හෝ සුවය ලැබුවේ නම් කිසිදා එම ගසෙහි අත්තකට හෝ හානියක් නොකරන්න.
ස්ත්රීන්ට වශී නොවන්න – අවස්ථාවක් ලැබුණු හැම විටෙකම අන් පුරුෂයන් ගැන සිතන අසද්ධර්මගති ඇති ස්ත්‍රීන් වසඟයට නොයන්න.
මේ ධර්ම කාරණා පූර්ණක තව දුරටත් හිතන්නට පොළඹවනවා. තමන් දින තුනක්ම මහත් වූ සත්කාර ලබමින් විධුර පණ්ඩිතයන්ගේ නිවසේ ආගන්තුක සුවය ලැබූ බවත්, ඉහත කී කරුණු හතරම තමන්ට අදාළ වන බවත් පූර්ණකට වැටහෙනවා.
ඒ වගේම තමන් කරන්නට ගිය කාර්යය ගැන බරපතළ පශ්චාත්තාපයකුත් ඇති වෙනවා. ඒ නිසාම නැවතතත් විධුර පණ්ඩිතයන්ගේ නුවරටම ඔහු ඇරලවා ශෝකයෙන් පෙළෙන නුවර වැසියන් සතුටු කරවන්නට පූර්ණක උත්සාහ කළත් විධුර පණ්ඩිතයන් ඔහු වළක්වාලමින් මෙසේ කියනවා.
“යක්ෂය, මා ගෙදර නොයවන්න. නාග භවනට ගෙන ගොස් ඔබේ මාමණ්ඩියගේ කාර්යය මා වෙත පවරන්න. මා කිසිදා දැක නැති නාග විමානය දකින්නට මට ද කැමැත්තක් ඇත”
ඒ අදහසට පූර්ණක පුදුමයට පත් වෙනවා. ”ඔබට සතුරු වූ ඒ රාජධානියට යන්නට ඔබ කැමැති වන්නේ කවර හේතුවක් නිසා ද?”
” මා කිසිදා පාපයක් කර නැත. එබැවින් එවැනි මරණයක් ගැන මට සැකයක් නැත. අනෙක් අතට යක්ෂයෙකු වූ ඔබ මගේ කතාව අසා මෘදු බවට පත් වූයේ නම් නාග රාජයාගේ සැර පරුෂ බව නැති කිරීම මට අසීරු කාර්යයක් නොවේ”
පණ්ඩිතයන්ගේ ප්‍රඥාව යනු හදවතයි
___________________________________________
අන්තිමේ දී විධුර පණ්ඩිතයන්ගේ ඉල්ලීම අනුව පූර්ණක ඔහුව නාග භාවනට ගෙනි යනවා. නාග භවනට ගිහින් වරුණ නා රජු හමු වුණාම පණ්ඩිතයන් තමන්ට වැඳ නමස්කාර නොකිරීම ගැන නා රජුට ඇති වෙන්නේ කෝපයක්.
“ඔබ මින් පෙර නුදුටු නාග භාවන දැක මරණ බියෙන් සලිත වී සිටින නිසා මට නමස්කාර නොකරන බව පේනවා. එය ප්‍රඥාවන්තයට ගැලපෙන්නේ නැහැ,” නා රජු පණ්ඩිතයන්ට කියන්නේ කෝපයෙන්.
“ඔබේ නාග භවන දැක මා පුදුම වුණේ නැහැ. මරණ භයට පත් වුණේත් නැහැ. ඔබ මා මෙහි ගෙනාවේ මා මරා දමන්නටය. යමෙකු නසන්නට ගෙන ආ විට කෙසේ නම් ඔහුට වැඳුම් පිදුම් කරන්න ද? වැඳුම් පිදුම් ලබන්න ද?”
විධුර පණ්ඩිතයන් පසුව විමලාවන් හමු වන අවස්ථාවේ දීත් තමාට වැඳුම් පිදුම් නොකිරීම ගැන ඇයත් උරණ වෙනවා. රජතුමාට දුන් පිළිතුරම පණ්ඩිතයන් ඇයටත් දෙනවා. ඒ වගේම නාග ලෝකය වැනි ස්ථානයක සියලු සැප සම්පත් ලබන්නට පෙර කළ පින් මහිමය කිසියම් ආකාරයක හේතු වූයේ ද, මතු උපදින ආත්මයකත් එවැනිම සැප සම්පත් ලබන්නට නම් මේ භවයේ දීත් තවත් ජීවිතයක් විනාශ නොකරන ලෙසත්, කිසිවෙකුටත් ද්වේශ නොකර ලෙසත්, එමෙන්ම දානමය කටයුතුවල යෙදෙමින් යහපත් ජීවිතයක් ගත කළ යුතු බවට දීර්ඝ වශයෙන් කරුණ දැක්වීමක් සැමියාටත්, බිරිඳටත් දෙදෙනාටම වෙන වෙනම කියා දෙනවා. මේ දේශනාවෙන් නා රජුත්, විමලාදේවී බිසවත් දෙදෙනාටම කරුණු වැටහී බලවත් සතුටට පත් වෙනවා.
“රජතුමනි, මිත්‍ර ද්‍රෝහී ක්‍රියාවක් කළේ යැයි පැකිළෙන්නට අවශ්‍ය නැහැ. මගේ හදවතින්, මගේ මාංශයෙන් තොපට ප්‍රයෝජනයක් ඇති නම් එය ගන්නට අවස්ථාවයි මේ,” විධුර පණ්ඩිතයන් නොබියව පවසද්දී වරුණ රජු දුන් පිළිතුරු හරිම අපූරුයි.
“පණ්ඩිතයන්ගේ ප්‍රඥාව යනු හදවතයි. ඒ ප්‍රඥාවෙන් අපි මහත් සේ සතුටු වූයෙමු. පූර්ණකට ඔහුගේ බිරිඳ ලැබෙනු ඇත. ඔබට ද නිරුපද්‍රිතව සිය රටට යා හැකිය” පණ්ඩිතයන් නාග ලෝකයට ගෙන ආවාට වඩා මහත් හරසර ඇතිව පූර්ණක විසින් නැවත ඔහුව සිය රටට ගෙන යන්නේ නා රජු විසින් ලබා දෙනු ලබන වටිනා මාණික්‍යයක් ද තෑග්ගක් විදියට අරගෙනයි.
මුළු මහත් කුරුරට ම විධුර පඬිවරයා පිළිගන්නේ මහත් හරසරෙන්. මුළු නුවරම ජනතාවට රිසි රිසි සේ ආහාර පාන, මත් පැන් බිමට කැමැත්තක් ඇති අයට ඇති තරම් මත්පැන්, බන්ධනාගාරගතව සිටින්නන්ට නිදහස ආදී විවිධාකර විදියෙන් මුළු නුවරම උත්සවශ්‍රීයෙන් ඇළලී යනවා. එයින් පසුව විධුර පඬිවරයාගේ අවවාද අනුශාසනා ඇතිව රජතුමා දැහැමෙන් සිය රාජ්‍යය පාලනය කරනවා.
අනෙක් ජාතක කතා වලට වඩා බොහොම විස්තරාත්මකව විග්රහ කරන්න පුළුවන් ජාතක කතාවක් තමයි විධුර ජාතකය කියන්නේ. හැම අවස්ථාවක්ම, හැම සංසිද්ධියකින්ම ගැඹුරු සංකල්ප මතු කෙරෙනවා. ඒත් ඒ සංකල්ප විග්රහ කරන්නට යාමෙන් තව දුරටත් මේ දීර්ඝ ලිපිය දීර්ඝ කිරීම සුදුසු නැහැ. ඒත් අවසාන වශෙයන් මේ කතාවේ පුර්ව හා අපර චරිත කවුද කියලා කියන්නම්,
මේ කතාවේ විධුර පණ්ඩිතයන් කවුද කියන එක අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැනේ. ඒ තමයි මතු බුදුවන බෝසතාණන්. ධනංජය කෞරව රජු තමයි ආනන්ද හිමියන්. වරුණ නාගරාජයා තමයි සැරියුත් මහ තෙරුන්. සුපර්ණ ගරුඬ රජු තමයි මුගලන් මහ තෙරුන්. අනුරුද්ධ තෙරුන් තමයි ශක්‍ර දෙවියන්. විමලාදේවිය තමයි උප්පලවණ්ණා රහත් මෙහෙණිය. පුර්ණක (පුණ්ණක) කවුද කියන එක ඒ තරම්ම පැහැදිලි නැහැ. විවිධ තැන්වල විවිධ නම් දැක්වෙනවා. ඒත් ඒ බුද්ධ කාලයේ සිටි ඉතා අකීකරු භික්ෂුවක වූ උදම්ම බවට තමයි වැඩිපුරම සාධක තියෙන්නේ.
දැන් ඉතින් මේ කතාවත් සිහිපත් කරගෙන සිංදුව ආපහු අහන්න. වෙනදා නොදැනුණු මිහිරක් හිතට දැනේවි!
ඉතාමත් හොඳට ජාතක කතාව සහ සින්දුව විග්රහ කරනවා . ස්තූතියි
කැමතියිLiked by 1 person
කැමති සිංදුවක් . ඒත් ම විධිහේ තේරුමක් දැනන් හිටියේ නැහැ .
කැමතියිLiked by 1 person
🙏🙏🙏
කැමතියිකැමතියි
ස්තූතියි කළු, සිංදුවට සහ විග්රහයට. මමත් නම අහල තිබුනට විදුර ජාතකය දැනන් හිටියෙ නැහැ. හැබැයි මංගල වීඩියෝවකට උනත් අවුලක් නෑ කියල මට හිතුනේ..මොකද අද කාළෙ එරන්දතීලත් ඔය සැරසිල එන්නේ තමුන්ගෙ අම්මලගෙ දොළ සංසිඳවන්න තමයි.
කෞශල්‍ය
කැමතියිLiked by 1 person
ඒක නම් ඇත්ත. මටත් නොහිතුණු දෙයක්. අද මංගල ගමනක් කියන්නේ යුවතිපති දෙන්නාට වඩා අනෙක් අයගේ දොළ සංසිද වීමේ ක්‍රියාවලියක් තමයි.
කැමතියිකැමතියි