සුවඳ හදේ රඳවලා… යන්න ගිහිල්ලා…!

සමහර දවස්වල සති අන්තයේ නැගිටින්නේ ලංකාවෙන් එන දුරකථන ඇමතුමකට. මැතිවරණ උණුසුම ළඟ නිසා ලංකාවේ මිත්‍රයන්ගේ ලැබෙන ඇමතුම් දැන් දැන් ටිකක් වැඩියි.

පහුගිය සති අන්තයේ සෙනසුරාදා උදේ තරමක පාන්දරින් නැගිටින්න වුණේ එහෙම දුරකථන ඇමතුමකට.

“රට නම් ගන්නම දෙයක් නැහැ මචං” කියලා කතාව පටන් ගත්ත මිත්‍රයා රටේ හැම තැනකම දකින්න ලැබෙන සමාජ ඛේදවාචකය ගැන කතා කරන අතරේ කන කෑමට පවා වස විස මිශ්‍ර කරන වෙළෙන්දන් ගැන කතා කළේ කෝපයෙන්.

“වස විස ගහපු නැති එළවළු පළතුරු හොයා ගන්න අමාරුයි දැන්….” මිත්‍රයා කියාගෙන ගියා. “මං එළවඵ පළතුරු ගන්න කඩයක් මාර්කට් එකේ තියෙනවා. මං ගියාම එයා මට එළවළු පළතුරු දෙන්නේ කඩේ ඇතුළෙන් වෙනමම තැනකින් අරගෙන. බෙහෙත් ගහපු ඒවායින් නෙමෙයි. ඒ හින්දා මං හැමදාම එළවළු පළතුරු ගන්නේ එතැනින්” වෙළෙන්දාගෙන් ලැබෙන මේ ‘විශේෂ සැළකිල්ල’ ගැන තරමක අභිමානයකුත් එක්ක තමයි මිත්‍රයා කතා කළේ.

එදාම හවස තමයි තවත් මිත්‍රයෙකුගෙන් දුරකථන ඇමතුමක් ආවේ. මං ඉන්න වැන්කුවර් නගරයට සෙනසුරාදා හවස කියන්නේ ලංකාවට ඉරිදා උදේ. සති අන්තයේ රාජගිරියේ කඩමණ්ඩියට ගිහින් ගෙදරට උවමනා කරන එළවළු පළතුරු අරගෙන ඇවිත් ලැබුණු නිදහස් වෙලාවේ තමයි මිත්‍රයා මට කතා කළේ. (ඔහු ගැන දන්නා මගේ මිත්‍රයන්ට මේ කියන්නේ කවුරුන්ද කියලා වටහා ගන්නයි ඔහු පදිංචි නගරය ගැන සඳහන් කළේ)

“මං ඉස්සර එළවළු පළතුරු ගන්න පුරුදු වෙලා හිටපු කඩයක් තිබුණා. ඒත් දැන් කාලෙක ඉදලා මං එතැනට යන්නේ නැහැ” අහස උසට නැගුණු බඩු මිල දිහාවට කතාව ඇදිලා යද්දී මිත්‍රයා මට කිව්වා.

“ඇයි ඒ…?”

“අන්තිම සැරේ මං එතැනට ගිහින් පළතුරු ටිකත් තෝර ගනිද්දී මුදලාලි ඇවිත් මට හිමිහිට කිව්වා, ‘ඔතැනින් තෝරගන්න එපා මහත්තයා… දරුවන්ටනේ ගෙනියන්නේ. ඉන්න මං බෙහෙත් ගහපු නැති හො‍ඳ ඒවායින් මහත්තයට දෙන්නම්’ කියලා“

එහෙම කියපු මුදලාලි ඇතුළට වෙන්න තිබ්බ මැස්සකින් තෝරා ගත්ත එළවළු පළතුරු ටිකක් තමයි මිත්‍රයාට විකිණුවේ.

“මං එදා ඉඳන් ඒ කඩේට ආපහු යන්නේ නැහැ මචං… මගේ දරුවො විතරද දරුවො.. අනිත් දරුවන්ට ඒ වසවිස කැව්වට කමක් නැද්ද…? මට මිනිහව එපාම වුණා” මිත්‍රයා කතා කළේ ඉතාම කළකිරීමකින්. තරමක කෝපයකුත් ඒ කටහඬට මුහුවෙලා තිබුණා.

එකම සිදුවීමක්.. ඒත් ප්‍රතිචාරයන් දෙකක්.

මගේ මිත්‍රයන් දෙදෙනාටම මේ ආණ්ඩුව (පැවති ආණ්ඩුවයි, පවතින ආණ්ඩුවයි දෙකම එකක් නිසා ඒ ආණ්ඩු දෙක ගැනම) බලවත් කළකිරීමක් තියෙන්නේ. ඒ නිසා ඒ දෙන්නාම මේ මැතිවරණයේ දී චන්දය පාවිච්චි කරන්නට හිතාගෙන ඉන්නේ ආණ්ඩු පක්ෂය වගේම පැවැති ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයන්ට එරෙහිව. ඒත් ඒ දෙන්නාගේ චන්දය වැටෙන්නේ එකිනෙකට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ පක්ෂ දෙකකට. ඒ ඒ පක්ෂයන් ජයග්‍රහණය කරා ගෙනියන්න මිත්‍රයන් දෙදෙනාම මහන්සියක් ගන්නවා. (ඒ කරුණ සඳහන් කළේ ඡන්දදායකයන් වෙන මගේ මිත්‍රයන් දෙදෙනා නියෝජනය කරන සිතිවිලි ධාරාවන් දෙකේ වෙනස පෙන්වන්න)

මිත්‍රයන් සිය ගණනක් මේ ජීවිත කාලයේ දී අපට හමුවුණත් මිත්‍රත්වය ඉක්මවා ගිය සහෝදරත්වයෙන් සමීප වුණු ආදරණීය යාළුවන් ඉන්නේ අතළොස්සයි. ඒ ආදරණීයයන් බොහොම දෙනෙක් දැන් ‘මිය ගිහින්’. ශාරීරිකව නෙමෙයි, අදහස්වලින්. දැන් තවදුරටත් එයාලා හදවතේ නැහැ. “සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා”

එදා රතුපාට මැයි මාර මල් සුවඳට ආදරය කළ ආදරණීය මිත්‍රයන්, දැන් මේ ජරාජීර්ණ ක්‍රමයම තවත් පරපුරකට දායාද කරන මජර යන්ත්‍රයේ දැති රෝදවලින් වෑස්සෙන කුණු තෙල් ගඳ “සුවඳක්” විදියට විඳිනවා.

ඉතින් ඒ ‘මිය ගිය මිත්‍රයන්’ නැවත හමු නොවීමත් තරමක සහනයක්. ඒකට හේතුව, ආපහු හමුවුණත් එදා වගේ බඹරු ඇවිත්, පාර දිගේ, සොල්දාදු උන්නැහේ, චන්ද කින්නරී, පිරවි වගේ චිත්‍රපටයක් ගැන දැන් අපිට කතා කරන්න බැරි හින්දා. ගුරු ගීතය, අම්මා, වානේ පන්නරය ලැබුණු හැටි වගේ පොත් පත් ගැන, කපුගේ ගේ සිංදුවක් – පවන ප්‍රසංගයේ ගීයක පද මාලාවක් ගැන පැය ගණන් සංවාදයක යෙදෙන්න බැරි හින්දා. සෙක්කුව, මකරාක්ෂයා, ධවල භීෂණ වගේ වේදිකා නාට්‍යයක් ගැන එදා වගේ හැඟුම්බර වෙන්න දැන් අපිට බැරි හින්දා. ඔව්… ආයෙ කිසිම දවසක අපිට එහෙම ළං වෙන්න බැහැ. දෙනෝ දාහක් යන එන පාරක අහම්බෙන් හමුවුණත් උණුසුමෙන් වැළඳ ගන්නට හදවතේ ඉඩක් නැහැ දැන්… එදා වගේ පැය ගණන් කතා කරන්නට මාතෘකාවක් සොයා ගන්න දැන් අපිට බැහැ!

ඒකාධිපති වේදිකා නාට්‍යයේ ඒකාධිපතියාට එදා හදවතින්ම වෛර කළ මිත්‍රයන් අද ඒ පීඩකයන් එක්ක එකට අත්වැල් බැඳගෙන ෆැසිස්ට්වාදී ගමනක යනවා.

ඉතින් මේ හමුනොවීමම සතුටක්. නැතිනම් ඒ ආදරණීය අතීතයේ සුවඳ බොඳ වෙලාම යන්න පුළුවන්… මතකයක්වත් ඉතිරි නොකර.

මැතිවරණයක දී ගහන කතිරය මිත්‍රත්වයට කිසිසේත්ම බාධාවක් විය යුතු නැහැ. කතිරය කියන්නේ මැතිවරණයක දී භාවිත කරන තාවකාලික මෙවලමක් විතරයි.

ඒත් ඒ කතිරය යටින් දිවෙන දේශපාලනික භාවිතාව කොහෙත්ම තාවකාලික නැහැ. ඒක කාලාන්තරයක් තිස්සේ ලේ වලටම බද්ධ වෙනවා. මොකද අපි දේශපාලනය ගැන නොසිතනවා කියලා හිතුවත්, දේශපාලනය අපි ගැන හිතන හින්දා. එහෙම පසුබිමක අර කිව්ව විදියේ මිත්‍රයන් ‘සහෝදරයන්ගේ’ ගොඩට වැටෙන්නේ නැහැ… ඒකට හේතුව අපේ හදවත් දැන් ගැහෙන්නේ එකම රිද්මයකට නොවෙන හින්දා…
අපි යන්නේ එකම ගමනක් නොවෙන හින්දා…
අපේ ගමනාන්තය එකක්ම නොවන හින්දා…

කාලයත් එක්ක මිනිසුන් අදහස් වලින් වෙනස් වීම ස්වභාවික සංසිද්ධියක්. වෙනස්වීමම තමයි ස්වභාවය. ඒත් පෙරදා තිබුණු අධ්‍යාත්මික ජීව ගුණයේ අංශු මාත්‍රයක්වත් ඉතිරි නොවී වෙනස් විම නම් ස්වභාවිකත්වයට ඉක්මවා ගිය විකෘතියක්. සියවස් දෙකකට කලින් චාල්ස් ඩාවින් ඒක තහවුරු කළා සාධකත් එක්කම.

වෙනස්වීම සාධාරණීකරණය වෙන්නේ ඒ වෙනස්වීම ගැන කියන්නට සාධනීය කතාවක් තියෙනවා නම් විතරයි. තමන්ට ද ජීවිතය අහිමි වී ඇති බව දැන දැනත්, තමා ද ඇතුළත් තම පංතියට ජීවිතය අහිමි කළ උන් සමග එකට පෙළ ගැහීම පාදඩකමක්.

කලින් කිව්ව කතාවේ පළමු මිත්‍රයා එළවඵ කඩේ මුදලාලිගේ සිද්ධියෙන් පස්සේ තව තවත් දේවල් කියාගෙන ගියා. මං මේ කතා කරන්නේ පෙරදා මා ඇසුරු කළ ආදරණීය මිත්‍රයා එක්ක නෙමෙයි නේද කියලා ඒ මොහොතේ මට දැනුණා.

දුරකථනය ඇමතුමේ නිමාවත් එක්කම මගේ මිත්‍රයා “මළ ගිය ප්‍රාණකාරයන්ගේ” ගේ ගොඩට අලුතින්ම එකතු වුණා.

3 thoughts on “සුවඳ හදේ රඳවලා… යන්න ගිහිල්ලා…!

Add yours

    1. සම්පූර්ණ ඇත්ත. එහෙම මිත්‍රයන් ගොඩක් දැන් හැලිලා ගිහින්. සමහර මිත්‍රයන් ඒ විදියට වෙනස් වෙයි කියලා කිසිම දවසක හිතුවේ නැහැ

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑