සමහර තැන් තියෙනවා එතැනට ගියාම හිතට එන ගුප්ත සිතිවිලි අකුරුවලට පෙරළා ගන්නට අමාරුයි කියලා හිතෙන.
මතුපිටින් බොහොම සන්සුන් නිශ්චලව තියෙන තැනක් වුණත් ඒ නිශ්චලත්වය යටින් මහා කතාවක් සැඟවිලා තියෙනවා කියලා මතකයට එද්දි ඒ ගුප්ත බව හදවතට දැනෙනවා හොඳටම වැඩියි.
මේ කියන තැනට අපි යද්දී තෙරක් නොපෙනන නිල්වන් අහස ඉස්මත්තේ ඉර මුදුන් වෙලා. බැලූ බැලූ අත පෙනෙන්නට තිබුණේ අනන්තයට විහිදිලා යන මහා විශාල උතුරු අත්ලාන්තික් සාගරය. අපි හිටියේ එ් සාගරයේ රළ පෙළ මහා ගෝසාවකින් වදින කඳු ශිඛරයක් අද්දර. ඇත්තටම කියනවා නම් මෙතැන තමයි ලෝකයේ එක කෙළවරක තියෙන අන්තිම ප්‍රදීපාගාරය (The Last Light on the Edge of the World). මුළු මහත් උතුරු ඇමරිකානු අර්ධද්වීපයේ ගිණිකොණ දිගම කෙළවර. මෙැතනට කියන්නේ “Cape Race” කියලා.(මේ සටහනට අමුණලා තියෙන ඡායාරූප වලින් මුලින්ම තියෙන ඡායාරූප දෙක, අපි මෙතැනට ගිය මොහොතේ එතැන ස්වභාවය)
ගුප්ත බවක් දැනෙන තැනක්. ඒ හින්දාම තමයි අවුරුදු සිය ගණනාවක් පුරා නාවිකයන් මෙතැනට “අත්ලාන්තික් සාගරයේ සොහොන් භූමිය” (“the graveyard of the Atlantic”) කියලා කිව්වේ. අවුරුද්දේ සෑහෙන කාලයක් මේ ප්‍රදේශය පුදුම සහගත විදියට මීදුමින් වැහෙනවා. අන්න ඒ වෙලාවට සාගරයේ යාත්‍රා කරන නෞකා මේ ආසන්නයට ඇවිත් හැපිලා විනාශ වෙනවා. 1866 ඉඳන් 1904 දක්වා කාලයේ දී විතරක් මේ ආසන්නයේ හැපිලා විනාශ වුණු නැව් ගණන 94 ක්. ඒ නැව්වල සුන්බුන්වත් හොයා ගන්නට ලැබුණේ නැති තරම්. සිය ජීවිතයට සමුදුන්න මගීන්ගේ සංඛ්‍යාව දෙදහසකට වැඩියි.
CQD CQD SOS SOS — MGY
හැබැයි මේ කියන්නට යන්නේ ඔබ හැමෝම දන්න කතාවක අතුරු කතාවක්. ඒක සිද්ධ වෙන්නේ අවුරුදු 115 කට විතර කලින්; 1912 අවුරුද්දේ අප්‍රේල් මාසයේ 14 වැනිදා. එදා බොහොම සීතල රාත්‍රියක්. මධ්‍යම රාත්‍රිය පහුවුණා පමණයි. හරියටම කියනවා නම් වෙලාව රාත්‍රී 12.15 යි.
මේ ඡායාරූපයේ තියෙන ප්‍රදීපාගාරය එක්ක තිබුණු මාකෝනි සංඥා මධ්‍යස්ථානය භාරව එදා සේවය කරමින් හිටියේ වයස අවුරුදු විසි දෙකක් වෙච්ච නව යෞවනයේ තරුණයෙක්. ඔහුගේ නම වෝල්ටර් (Walter Gray). සාගරය අද්දර තියෙන මේ පුංචි කුටියට දැනුණු දැඩි සීතල හින්දා තමන්ගේ කන් වලට දාගෙන හිටපු ශ්‍රවණ උපකරණය තවත් තද කරගත්ත වෝල්ටර්ට එක සැරේටම ඇහුණේ සීතල විනිවිද බොහොම දුර්වල විදියට එන මෝස් සංඥා නාදයක්.
CQD CQD SOS SOS — MGY
MGY කියන්නේ ටයිටැනික් නැවට දීලා තිබුණු සුවිශේෂී සංකේතය. මේ සංඥාවෙන් කියැවුණේ මේ වගේ අදහසක්: “අපි අයිස්බර්ගයක හැප්පුණා. අපිව වේගයෙන් ගිලෙනවා. අපිට වහාම උදව් අවශ්‍යයි”
මේ සංඥාව ආවේ මං කලින් කිව්ව ඡායාරූපයේ තියෙන ප්‍රදීපාගාරයට සැතපුම් තුන් සියයක විතර ඈතකින්. එතැන තමයි ටයිටැනික් නෞකාව අයිස් කන්දේ හැප්පුණේ. ඒ කාලයේ ලෝකයේ තිබුණු සුඛෝපභෝගීම මගී නෞකාව සීතල මහ රෑ අත්ලාන්තික් සාගරයේ රළ පෙළ අතර තනිවී අන්ත අසරණව ජීවිතය අයදිනවා.
තමාගේ කණට යොමුවෙන මේ මෝස් සංඥාව සැබැවක් දැයි වටහා ගන්නට මේ මා සිටින ප්‍රදීපාගාරයේ එදා හිටිය තරුණ වෝල්ටර්ට හිතාගන්නවත් බැරි වුණා. ටයිටැනික් නෞකාවත් එක්ක පෞද්ගලික සම්බන්ධයකුත් වෝල්ටර්ට තිබුණා. ටයිටැනික් නෞකාවේ ප්‍රධාන සංඥා මෙහෙයුම්කරු ජැක් ෆිලිප්ස් (Chief Wireless Operator, Jack Phillips) සහ වෝල්ටර් මාර්කෝනි සංඥා පුහුණු පාසලේ ඉගෙන ගත්තේ එකට. ඒ දෙන්නා සමීප මිත්‍රයන්. ටයිටැනික් නෞකාව විනාශ වෙන්න හෝරා දෙක තුනකට කලිනුත් එයාලා එකිනෙකා යහළුකමට පණිවිඩ හුවමාරු කරගත්තා. නෞකාවේ තියෙන සුඛෝපභෝගී දේවල් ගැනත් විහිළු තහළු කරලා “good night” කියලා තමයි මේ විනාශයට ටිකකට කලින් ෆිලිප්ස් වෝල්ටර් එක්ක සංඥා සංවාදය නිමා කළේ.
අනතුරු සංඥාව ආපු ගමන්ම වෝල්ටර් මොහොතක්වත් ප්‍රමාද වුණේ නැහැ. ඒ මොහොතේ දීම ඒ සංඥාව සාගරය පුරා ඒ මොහොතේ යාත්‍රා කරමින් සිටි නෞකාවන්ට බෙදා හැරියා.
ඒත් ටයිටැනික් නෞකාව මේ සංඥාව නිකුත් කරන්නේ අනතුර සිද්ධ වෙලා මිනිත්තු විස්සකට විතර පස්සේ. මහා සාගරය මැද්දේ ගිලෙමින් තියෙන ටයිටැනික් නෞකාවේ ඉරණම තීරණය වෙන්න තවත් ඉතිරි වෙලා තිබුණේ පැය දෙකක කාලයක් විතරයි. ටයිටැනික් නෞකාවෙන් අන්තිම සංඥාව නිකුත් වුණේ පාන්දර 2.20ට විතර. ඊට පස්සේ මහා බියකරු නිහඬතාවක්. ජීවිත 2,200ක් විතර අරගෙන ගමන් අරඹූ නෞකාවේ 1,500ක විතර පිරිසක්ම ආපහු නොඑන ගමන් අරගෙන නෞකාව සීතලම සීතල ආත්ලාන්තික් සාගරයේ සැතපුම් තුනක් ගැඹුරු මහා අගාධයේ මුළුමනින්ම ගිලිලා ගියේ අන්න ඒ මොහොතේ දීයි. (වෝලටර්ගේ යුහුසුළුකම නිසා ටයිටැනික් ගිළුණු ස්ථානයට තරමක් ආසන්න සාගරයේ යාත්‍රා කරමින් සිටි RMS Carpathia නෞකාව තමන්ට හැකි පමණින් ජීවිත ගණනාවක් බේරා ගත්තා.)

The Titanic sinking
Photo Credits: GETTY IMAGES

Survivors of the Titanic shortly before being rescued by the ship RMS Carpathia
Photo Credits: Wikimedia Commons

The iceberg photographed on the morning of 15 April by the chief steward of the Prinz Adalbert who, before learning of the collision, noticed a red smear along the iceberg’s base. Other icebergs are also claimed to have had red streaks.
_________________________________________________________________________________________________________
_______________________________________________________________________________________________________________
ඊට පස්සේ වෙච්ච දේවල් බොහොම දෙනෙක් දන්න නිසා මෙතැන විස්තර කරන්නට යන්නේ නැහැ. ඒත් තවත් කරුණු දෙකක් මේ සටහනට එක් කරන්නම්.
කවුද මේ කොළුවා?
මේ සටහනට අමුණා තියෙන එක් ඡායාරූපයක් ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ “Titanic Paper Boy” කියලා. මේ ඡායාරූපය විසි වන සියවසේ අතිශය කතාබහට ලක් වූ ඡායාරූප අතරින් එකක්. මේ ඡායාරූපය පසුපස කුහුල දනවන කතාවක් තියෙනවා. මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ 1912 අවුරුද්දේ අප්‍රේල් මාසයේ 16 වැනිදා. ඒ කියන්නේ ටයිටැනික් ඛේදවාචකය සිදු වූ දිනයට දවස් දෙකකට පස්සේ. අවුරුදු 15ක් වයස මේ තරුණ කොළු ගැටයා පුවත්පත් විකුණන්නේ ටයිටැනික් නෞකාවේ හිමිකාරිත්වය තියෙන White Star Line සමාගම ගොඩනැගිල්ල ඉදිරියේ. ඔහුගේ අතේ තියෙන්නේ, එදා හවසට නිකුත් වන පුවත්පතේ ටයිටැනික් ඛේදවාචකය ගැන සිරස්තලය දැක්වෙන පෝස්ටරයක් – ‘Titanic Disaster Great Loss of Life’.
අද වගේ සමාජ මාධ්‍ය, රූපවහිනී විකාශයන් නැති ඒ කාලයේ ජනතාවට ප්රවෘත්ති දැනගන්න තිබුණු ප්‍රධානතම මාධ්‍යය තමයි පුවත්පත. ඔබට පේනවා ඇති මේ කොළු ගැටයා, පුවත්පත් සිරස්තලය ප්‍රදර්ශනය කරමින් සිටින ලන්ඩනයේ වීදියේ ඉන්න මිනිස්සුන්ගේ මුහුණු. ඔය කිව්ව දවසේ උදේ නැගිට්ට පස්සේ තමයි ලන්ඩනයේ මිනිස්සු මේ ඛේදවාචකය ගැන දැනගත්තේ. එ් පුවත දැනගත්ත මේ මිනිසුන්ගේ ස්වභාවික හැඟීම් තමයි මේ ඡායාරූපයේ ඔබට ඔය දකින්නට ලැබනේනේ. මිනිස්සු වගේම මේ කොළු ගැටයාත් ඉන්නේ විපිළිසර මුහුණින්.
මේ ඡායාරූපය හින්දා මේ කොළු ගැටයාගේ මුහුණ බොහොම දෙනෙකුට හුරු පුරුදුයි. ඒත් කවුද මේ කොළුවා? ඔහු කවුද කියන එකත් සෑහෙන කාලයක් අබිරහසක් වෙලා තිබුණා. අවුරුදු ගණනාවකට පස්සේ තමයි ඔහු කවුද කියලා හොයා ගත්තේ. ඔහුගේ නම එඩ්වර්ඩ්. (Ned (Edward) John Parfett). මේ ඡායාරූපය අරන් අවුරුදු හයක් ගත වෙද්දී ඔහුටත් තමන්ගේ ජීවිතය අත් හැරලා යන්න සිද්ධ වුණේ ටයිටැනික් වගේම ඛේදවාචකයකින්.
පළමු ලෝක යුද්ධය ඇවිලෙමින් තිබුණු කාලයේ සාමාන්‍ය තරුණයෙකුට තමන් කැමැති වුණත් අකමැති වුණත් යුද්ධයට බැඳෙන්නට සිද්ධ වුණා. ඒ ඉරණමම තමයි එඩ්වර්ඩ්ටත් අත් වුණේ. බ්‍රිතාන්‍ය හමුදාව වෙනුවෙන් ඔහුට සටන් කරන්නට සිද්ධ වුණේ ප්‍රංශයේ. යුද්ධය අතරතුරේ දී, 1918 අවුරුද්දේ ඔක්තෝබර් 29 වැනිදා ඔහුට නිවාඩුවක් ලැබුණා ගෙදර ගිහින් එන්න. ගෙදර යන්න තියෙන සතුට හින්දා එඩ්වර්ඩ් ගියා ඒ ළඟම තිබුණු වෙළෙද සැලකට තමන්ගේ පවුලේ අයට රෙදි පිළි ටිකක් මිලදී ගන්න.
අන්න ඒ මොහොතේ දීම අවාසනාවන්ත විදියට ජර්මන් හමුදාව මේ රෙදිපිළි වෙළෙද සැල තිබුණු ගොඩනැගිලි සංකීර්ණයට බෝම්බ හෙළුවා. සෑහෙන පිරිසක් මිය ගියා. එඩ්වර්ඩ් එයින් එක්කෙනෙක්. එතකොට ඔහුට වයස අවුරුදු 22 යි. එඩ්වර්ඩ්ගේ මරණයෙන් සති දෙකකට පස්සේ යුද්ධයත් නිමා වුණා. තරුණ එඩ්වර්ඩ්ගේ මෘත දේහය තමන්ගේ මව් රට වුණු බ්‍රිතාන්‍යයටවත් ගෙන ආවේ නැහැ. ප්‍රංශයේ යුද සුසාන භූමියක දීම මිහිදන් කෙරුණා.

Titanic Sinking; No Lives Lost
Photo Credits: For John Mackie [PNG Merlin Archive] PNG
_______________________________________________________________________________________________________________
ඒ කතාව බොරුවක්!
බොහොම දෙනෙක් හිතාගෙන ඉන්න දෙයක් තමයි, මේ සුවිසල් නෞකාව කිසිම දවසක මුහුදේ ගිල්ලවන්න බැහැ (unsinkable) කියලා හිතුව නෞකාවක් කියලා. හුඟක් දෙනෙක් ටයිටැනික් කතාව ගැන උනන්දු වුණේ ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටයෙන්නේ. ඒ සිනමා පටයත් තමන්ගේ ප්රචාරක වැඩ කටයුතු වලදී ඔය කියන කාරණාව අවධාරණය කළා. ඇත්ත, ටයිටැනික් කියන්නේ ඒ කාලයේ හැටියට ඉංජිනේරු විද්‍යාවේ විශ්ව කර්ම නිර්මාණයක් තමයි. ඒත් ටයිටැනික් හිමිකරුවන්වත් (the White Star Line) ඒ සුවිසල් නෞකාව හදපු සමාගමවත් (Harland & Wolff) කිසිම දවසක කිව්වේ නැහැ මේ සුවිසල් නෞකාව කිසිම දවසක මුහුදේ ගිල්ලවන්න බැහැ කියලා. ඒවා පස්සේ එකිනෙකා එකතු කරපු “ලුණු ඇඹුල්”.
ටයිටැනික් නෞකාවේ ඛේදවාචකය ගැන මුලින්ම අහන්නට ලැබුණු මේ Cape Race ප්‍රදීපාගාරය තියෙන භූමිය අද කැනඩාවේ ඓතිහාසික ජාතික සංකේතයක් (National Historic Site). කැනඩාවේ නැගෙනහිරම අන්තයේ තියෙන නිවුෆවුන්ඩ්ලන්තය නම් වූ සුන්දර දූපතේ කෙළවරකම තමයි මේ තැන පිහිටලා තියෙන්නේ. කවුරුත් නිතර යන එන තැනක් නෙමෙයි.
ඒත් ඉතිහාසය ගැන හදාරලා එතැනට යන කෙනෙකුට මේ අතීත ඛේදවාචකය සඟවා ගත්ත ගුප්ත බව හදවතට දැනෙනවා නිසැකයි. ඒකට හේතුවක් තියෙනවා. එදා වගේම අදත් උතුරු අත්ලාන්තික් සාගරයේ රළ මහා බියකරු ගෝසාවකින් මේ කදු ශිඛරයේ හැපී බිඳෙනවා. ඒ අතරේ සාගරය පිස ගෙන එන සීතල සුළං රැළි කියා ගන්නට බැරි ගුප්ත හඬක් මතු කරනවා, හරියට විලාපයක් වගේ. කදු ශිඛරයේ අද්දරට ගිහින් ඉඳන් ඈත අනන්තය දිහා බලද්දී, එදා ටයිටැනික් නෞකාව තමන්ගේ ඛේදාන්ත ඉරණම් ගමන ගිය ඉසව්ව ඔබට දකින්න පුළුවන්.
එදා ඒ ඉරණම් රාත්‍රියේ මේ භූමියේ තිබුණු ඇඟ කිලිපොලා යන සීතල… සිය ජීවිතවලට කිසිම හව්හරණක් නොමැති බව දැන දැනම මුහුදු පතුලේ මරණය සොයා ගෙන ගිය අහිංසක ජීවිත… මේ ඔබ පය ගසා ගෙන සිටින භූමියේ සියවසකට කලින් ඒ බියකරු පණිවිඩය සවන් වැකුණු නව යෞවනයේ වෝල්ටර්… ‘ටයිටැනික් පේපර් බෝයි’… මේ හැම දෙයක්ම සිහිපත් කරමින් මොහොතකට එතැන තනි වුණොත් හදවතට දැනෙන බර දරා ගන්න බැරි තරම්.
ඇත්තටම කියනවා නම් අපිත් ඒ භූමියේ වැඩි වෙලාවක් රැඳිලා හිටියේ නැහැ. ඒත් ඒ සුළු මොහොතට හදවතට දැනුණු බර තවමත් දැනෙනවා.






ඒ බර කියවන මටත් දැනුනා . නොදැන හිටි කතාවක් .
කැමතියිLiked by 1 person
ඔව්…. ඒක අමුතුම තැනක්
කැමතියිකැමතියි
+++++++++++++++++++
කැමතියිLiked by 1 person
************……. Worth reading.. Thanks a lot brother.
කැමතියිLiked by 1 person
🙏🙏🙏
කැමතියිකැමතියි