මේ හැම දේම ණයක්!

Jean‑Victor Schnetz විසින් නිර්මාණය කරන ලද Farewell of Consul Boetius to his family නම් වූ ඓතිහාසික සිතුවම.  

මේ සටහන කියවන්නට කලින් මේ සටහනට අමුණලා තියෙන මේ තෙල් සායම් සිතුවම දිහා බලන්න!

සිර කුටියක යකඩ කූරු අතරින් යාම්තමට එබිලා බලන සිරකරුවෙක්. මුහුණේ තියෙන්නේ දුකක් ද, වේදනාවක් ද, කළකිරීමක් ද කියලා හරියටම කියන්න බැහැ. සමහරවිට ඒ හැම හැඟීමකම එකතුවක් වෙන්න ඇති. සිර කුටියට පිටතින් ඉන්න කාන්තාව සුරතල් දරුවෙකුව ඉහළට ඔසවා ගෙන සිරකරුට පෙන්නනවා. මේ කාන්තාව සිරකරුගේ බිරිඳ වෙන්න පුළුවන්. එ් බිරිඳ කියලා හිතුවොත්, එයා ඔය පෙන්නන්නේ ඒ දෙන්නාගේ දරුවා කියලා හිතන්න පුළුවන්. මේ තුන්දෙනාට විතරක් වැඩි ආලෝකයක් ලැබෙන විදියට පසුබිමින් අඳුර මතු කරන්නට සිත්තරා උත්සාහ අරගෙන තියෙනවා. කාන්තාවට වම්පසින් ඉතාම දුක්මුසු විදියට බිම ඇණ තියාගෙන ඉන්න කාන්තාවක්. සේවිකාවක් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම විපිළිසර වෙලා බලාගෙන ඉන්න බල්ලෙක්.

මේ සිතුවම නම් කරලා තියෙන්නේ Farewell of Consul Boetius to his family (රාජ්‍ය තාන්ත්‍රික බොවීතියස් සිය පවුලෙන් සමුගැනීම) කියලා. අඩි 10 ක් දිග අඩි 8.5 ක් පළල විශාල ප්‍රමාණයේ මේ සිතුවම නෙත් දෙකින්ම නරඹන්නට අවශ්‍ය නම් ඔබට යන්නට සිද්ධ වෙනවා ප්‍රංශයේ පැරණිතම කලාගාරයක් වන Musée des Augustins, Toulouse (Salon rouge) කලාගාරයට. 1826 දී මේ සිතුවම ඇන්දේ එවකට ප්‍රංශයේ ජනප්‍රියතම චිත්‍ර ශිල්පියෙක් වුණු Jean‑Victor Schnetz. සිතුවම අවුරුදු 200 ක් පරණයි. ඒත් මේ සිතුවමේ කතාව හොයා ගන්න නම්, ධාතුසේන රජ්ජුරුවන්ගේ රාජ්‍ය පාලනයේ අන්තිම කාලයට එහෙමත් නැතිනම් සීගිරි කාශ්‍යපගේ කාලය තරම්ම ඈතට යන්න වෙනවා.  

සිතුවම දිහා බලද්දී ඔබේ හිතට අවේ අර කලින් විස්තර කෙරුණා වගේ අදහස් ටිකක් ද? එහෙම නම් ඔබ නිවැරදියි. සිතුවමේ මතුපිටින් නොපෙනෙන තවත් කරුණු කිහිපයක් එකතු කරන්නනම්. මේ සිතුවමේ ඉන්නේ එකම පවුලේ සැමියා – බිරිඳ සහ දරුවා තමයි. මේ ඒ තුන්දෙනා හමුවෙන අන්තිම මොහොත. එහෙමත් නැතිනම් ඔවුන් සිය ජීවිතයේ අවසාන වතාවට එකිනෙකා දකින මොහොත. මේ සිදුවීමෙන් පස්සේ සිරගත කරලා ඉන්න සැමියාව හිස ගසා මරා දමනවා. බිරිඳවත් හිස ගසා මරා දමනවා. බිරිඳගේ තාත්තා (සිරකරුවාගේ මාමණ්ඩිය) ගේත් හිස ගසා මරා දමනවා. ඒ හැම දෙනාම මරා දමන්නේ කිසිදා නොකළ වරදකට.  

මතුපිටින් සිතුවම බලලා තරමක් දුරට කතාව වටහා ගන්න අපහසු නොවුණත් සිතුවම පිටුපස්සේ තියෙන කතාව නම් කොහොත්ම සරල නැහැ. අපේ ජීවිතයට ළං කර ගන්න පුළුවන් වැදගත් පාඩම් ගොඩක් මේ සිතුවම පිටුපස්සේ තියෙනවා.

අපි ඒ කතාව මෙහෙම පටන් ගනිමු.

ඒ අදින් අවුරුදු 1500 කට විතර කලින් දවසක්. ඉතාලියේ රෝම නගරයට වෙනදා වගේම හරි අපූරුවට හිරු පායා එමින් තිබුණා. නගරයේ ධනවතුන් වාසය කරන වීදියක අලංකාර මන්දිරවල වෙසෙන වංශවතුන් උදෑසන ආහාර ගන්න හෝරාව තමයි ඒ. මේ වී වීදියේ තිබුණු එක්තරා මන්දිරයක දොරටුවට කවුරුන් හරි තට්ටු කළේ අන්න ඒ වගේ හෝරාවක.

මන්දිරයේ හිමිකරුවාගේ නම බොවීතියස් (Boethius). කලින්ම කියන්නම් බොවීතියස් කියන්නේ කවුද කියලා. එයා රෝම අධිරාජ්‍යයේ එවකට හිටපු පාලකයා වුණු Theoderic රජතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ ඉතාම ඉහළ තනතුරක් දරපු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. රෝම ජනතාවගේ ගෞරවයට පාත්‍ර වේචච වංශවත් පරම්පරාවකින් තමයි ඔහු පැවැත ගෙන ආවේ. ඒ නිසා සමාජයේ ඉහළ පිළිගැනීමක් ඔහුට තිබුණා. ඒ වගේම ඉතාම උසස් මට්ටමේ අධ්‍යාපනයකුත් ඔහු ලබා තිබුණා. මේ හින්දා බොවීතියස් අතින් රචනා වෙච්ච ලිපි ලේඛන පොත් පත් සමාජයේ ගරු බුහුමනට පාත්‍ර වුණා.

මේ කියන කාලය වෙද්දී බොවීතියස්ගේ කාලයෙන් වැඩි වෙලාවක් ගත වුණේ සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යයේ පොත් පත් ලතින්වලට පරිවර්තනය කරන්න. (ඔය කාලය වෙද්දී ග්‍රීක සාහිත්‍යයේ මුල් කෘති කියවන්න තරම් භාෂා දැනුමක් රෝමයේ බොහෝ දෙනෙකුට තිබුණේ නැහැ).

අර කලින් කිව්ව විදියට තමන්ගේ මන්දිරයේ දොරටුවට කවුරුන් හරි තට්ටු කරන කාලය වෙද්දී  බොවීතියස් සමාජයේ කැපී පෙනෙන සම්භාවනීය චරිතයක්. ඔහු තමන්ගේ පවුලේ උදවියත් එක්ක බොහොම සාමකාමී සුවපහසු ජීවිතයක් තමයි ගත කළේ. ඔහුට හිටියා බුද්ධිමත් බිරිඳක්. ආදරණීය පුතුන් දෙන්නෙක්.  ඒ වෙද්දි ඔහුට වයස අවුරුදු හතළිස් ගණනක්.

බොවීතියස්ගේ මන්දිරයේ දොරටුව තට්ටු කළේ රාජ පුරුෂයන් කිහිප දෙනෙක්. ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. රාජතාන්ත්‍රික කටයුතුවලට රාජ පුරුෂයන් මේ මන්දිරයට නිතර නිතර ඇවිත් යනවා. ඒත් මේ කියන දවස විශේෂයි. මන්දිරයේ දොරටු විවර වෙච්ච ගමන්ම රාජ පුරුෂයන් එක සැරේටම කඩා පැනලා බොවීතියස් අල්ලා විලංගු දාලා ඇදගෙන ගියා.

බොවීතියස්ට තිබුණු චෝදනාව අතිශය බරපතළයි. රාජ ද්‍රෝහී කුමන්ත්‍රණය! මරණයකින් පමණක් දඬුවම් ලැබෙන බරපතළ වරදක්.

ඇත්තම කතාව නම් ඔහු කිසිම විදියකින් රාජ ද්‍රෝහී වැඩකට සම්බන්ධ වෙලා හිටිය කෙනෙක් නෙමෙයි. බොවීතියස් කියන්නේ ප්‍රතිපත්ති ගරුක, අවංක මිනිසෙක්. ඒ නිසාම ඔහුට අවශ්‍ය වුණා දූෂණයෙන් තොර සැමට සාධාරණ සහ පිරිසිදු රාජ්‍ය පාලනයක් දකින්න. ඒ හින්දා ඔහු දූෂිත මැති ඇමතිවරුන්ගේ දූෂිත ක්‍රියාවන්ට, අල්ලස් ගැනීම්වලට වැට බඳින්න අවංක උත්සාහයක් ගත්තා.

බොවීතියස් තමන්ට තර්ජනයක් බව දැනගත්ත ඒ දූෂිත ඇමතිවරුන් තමයි Theoderic රජුට බොරු කේලාම් කියලා ඔහුට රාජ ද්‍රෝහී චෝදනා එල්ල කළේ. රජවරු කොහොමයත් ඉන්නේ තමන්ගේ රාජ්‍ය පාලනය කොයි මොහොතේ බිඳ වැටේවිද කියලා බයෙන්. ඒ හින්දා රජතුමා මේ කේලාම් ඒ් විදියටම භාර ගත්තා. අවසාන ප්‍රතිඵලය වුණේ කිසිදා නොකළ වරදකට මේ අහිංසක මිනිසාගේ හිස ගසා මරා දැමීම. (ඒ වනවිට බොවීතියස්ගේ පුත්‍රයන් දෙදෙනා තරුණ වියට පා තබමින් සිටිය හින්දා සිතුවමේ ඉන්න තරම්ම කුඩා දරුවෙකු ඔහුට සිටියේ නැහැ. චිත්‍ර ශිල්පියාට අවශ්‍ය වුණේ මේ අවස්ථාව වඩාත් හැඟුම්බර කරන්න. ඒත් ඒක අපේ කතාවට අදාළ නැහැ).

දැන් තමයි කතාවේ හොඳම හරිය තියෙන්නේ.

බොවීතියස් අත්අඩංගුවට ගැනීමත් එක්ක ඔහු සතු සියලුම දේවල්, ඒ කියන්නේ ඔහුගේ මන්දිරය, වස්තුව, දුලබ පොත පත පිරුණු අගනා පුස්තකාලය, විසිතුරු ඇඳුම් පැළඳුම්, කොටින්ම කිව්වොත් ඔහුගේ මිරිවැඩි සඟළ පවා රාජ සන්තත වුණා. පරම්පරා ගණනාවක් සමෘද්ධියෙන් ආඪ්‍යව සිටි පරපුරක මිනිහෙක් එක තත්පරයෙන් සියල්ල අහිමිව යදමින් බැඳි නිකම්ම නිකම් සිරකරුවෙකු බවට පත් වුණා.

ක්ෂණිකව සිදු වූ මේ ඛේදවාචකයෙන් කම්පනයට පත්වෙලා විලංගුත් එක්ක පුංචිම පුංචි කුටියක සිර කෙරුණු බොවීතියස් ලෝක පූජිත මිනිසෙකු බවට පත් වීමේ කතාව පටන් ගන්නේ සිර කුටියේ බිත්ති හතරෙන්. මරණය පෙනී පෙනී තත්පරයෙන් තත්පරය මරණයට ළං වන තමන්ගේ ජීවිතයේ මේ දුෂ්කරම කාලපරිච්ඡේදය සන්සුන්ව ගත කරන්න බොවීතියස්ට උවමනා වුණා. ඒ වගේම මරණය අබිමුව පවා තමන්ගේ බුද්ධි ප්‍රභාව පහළට වැටෙන්නට නොදී නිරවුල්ව තබා ගන්නත් ඔහුට උවමනා වුණා. ඒ වෙනුවෙන් බොවීතියස් හරිම අපූරු උපක්‍රමයක් තමයි පාවිච්චි කළේ. ඒ තමයි තමාගේ මනසින් කාන්තාවක් නිර්මාණය කර ගැනීම. කාන්තාවක් කිව්වට ඒ නිකම්ම නිකම් කෙනෙක් නෙමෙයි, දර්ශනය (philosophy) කියන විෂය, ලේ මස් නහර තියෙන පණ ඇති කාන්තාවක් විදියට බොවීතියස් මනසින් නිර්මාණය කර ගත්තා. මේ කාන්තාවට ඔහු නමක් දුන්නා – “Lady Philosophy”.

සිරකුටියේ සිරවෙලා ඉන්න බොවීතියස් හමුවෙන්න තමන්ගේ මනසින් නිර්මාණය වුණු Lady Philosophy නිතර නිතර සිර කුටියට එනවා. ඒ දෙන්නා හෝරා ගණන් සංවාද කරනවා. Lady Philosophy උදව් කරනවා බොවීතියස්ට ජීවිතය වටහා ගන්න. තව තවත් නිරවුල්ව හිතන්න ඉඩකඩ ලබා දෙන්න. මේ අන්තිම දුෂ්කර මොහොතේ පවා සන්සුන්ව සිටින්නට උදව් කරන්න.

පොඩ්ඩකට හිතන්න…. කොයි තරම් නම් අපූරු ප්‍රායෝගික ප්‍රවේශයක් ද? 

සම්භාවනීය ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී Mattia Preti විසින් 1600 ගණන් වලදී තෙල් සායමින් නිර්මාණය කරන ලද “Boethius and Philosophy” (බොවීතියස් සහ දර්ශනය) සිතුවම. “Lady Philosophy” මෙහිදී සිතුවමට නැගී ඇත්තේ සිත් ඇදගන්නා සුළු ආකාරයටය.

ඔහු මේ සංවාද සියල්ල සටහන් කරනවා. අඳුරු සිර කුටියේ තනි වුණු මේ වංශවත් මිනිසාට ලියන්නට අවශ්‍ය කරන කළමනා හොර රහසේ ලබා දෙන්නේ ඔහු ගැන අනුකම්පා කළ හිතවතුන් කිහිප දෙනෙක්.

බොවීතියස්, Lady Philosophy එක්ක කරපු සංවාද ඇතුළත් මේ ලිය කියවිලි ඔහුගේ හිස ගසා දැමුවාට පස්සේ බුද්ධිමත් මිනිසුන්ගේ ඇස ගැටෙනවා. ඒ සංවාදවල තියෙන ගැඹුර සහ වටිනාකම හඳුනාගත්ත ඒ යහපත් මිනිසුන් මේ ලියවිලි පොතක් විදියට එළියට දාන්න කටයුතු කරනවා. පොතේ නම  “The Consolation of Philosophy”(‘දාර්ශනික සැනසිල්ල’එහෙමත් නැතිනම් ‘දර්ශනයේ අස්වැසුම’වගේ අදහසක්). බොවීතියස් තමන්ගේ මේ පොතේ පිළිගැන්වීම කරලා තිබුණේ ඔහුගේ ආදරණීය පුතුන් දෙන්නාට. මේ පොත කොයි තරම් නම් ජනප්‍රිය වුණා ද කියනවා නම් මධ්‍යකාලීන යුරෝපයේ වැඩිම පිරිසක් කියවපු, ඒ වගේම වැඩියෙන්ම ජනප්‍රිය වෙච්ච පොත් අතර මේ පොත තිබුණේ ඉදිරියෙන්මයි. 

ඔය කාලය වෙද්දී මුද්‍රණ කර්මාන්තය සොයා ගෙන නැහැනේ. (මුද්‍රණ යන්ත්‍රය බිහිවුණේ මේ සිදුවීමෙන් අවුරුදු 900කට විතර පස්සේ). ඒ කාලයේ මේ පොත් නිර්මාණය වුණේ පදම් කළ සත්ත්ව හම්, පැපිරස් පත් මත. දිවා රෑ නොනවත්වා සති මාස ගණන් ගත කරමින් අතින් අත යමින් තමයි මේ පොතේ පිටපත් සිය දහස් ගණන් නිර්මාණය වුණේ. එහෙම අපහසුවෙන් අතින් පිටපත් කෙරුණු පොත් මධ්‍යකාලීන යුගයේ යුරෝපය පුරාම පුස්තකාල, සරසවි, උසස් අධ්‍යාපන ආයතන, රජ මැදුරු, දේවස්ථාන වලට බෙදා හැරුණා. අවුරුදු දෙතුන් සියයක් නෙමෙයි, අවුරුදු 1,000 ක තරම් දීර්ඝ කාලයක්ම එක දිගට ජනප්‍රියත්වය රැක ගෙන එදා යුරෝපයේ වැඩිම පිරිසක් කියවපු පොතක් විදියට “The Consolation of Philosophy” ඉතිහාස ගතවුණා.

පුරාණ ග්‍රීක සංගීත සම්ප්‍රදායේ අන්තර්ගත දාර්ශනික සහ ගණිතමය සම්බන්ධතාවන් විවරණය කරමින් බොවීතියස් විසින් ලතින් බසින් සම්පාදනය කරන ලද De institutione musica කෘතිය 1491 දී පමණ පැරිසියේ දී ප්‍රකාශයට පත් වූ අවස්ථාවේ එම කෘතියේ මුල් කවරයයි මේ. බොවීතියස්ගේ ජීවිත කාලය තුළ දී මුද්‍රණ කර්මාන්තය බිහිව නොතිබූ බැවින්, ඔහු විසින් ලියන ලද මුල් ලිපි ලේඛන ඇසුරින් මෙම කෘතිය මේ අයුරින් මුද්‍රණයට පත් වූයේ බොවීතියස්ගේ මරණයෙන් පසුවය. පයිතගරස් ගණිත ප්‍රමේයන් ඇසුරින් ග්‍රීක සංගීත සම්ප්‍රදායේ පවතින සංගීත රිද්මය, අංකමය සම්බන්ධතාවන්, විශ්වය සහ මිනිස් ජීවිත සමග ග්‍රීක සංගීතයේ ඇති දාර්ශනික සම්බන්ධතාවන් ගැන මධ්‍ය කාලීන යුරෝපය දැන හදුනා ගත්තේ බොවීතියස්ගේ මෙම කෘතියෙනි.

අවුරුදු දාහක කාලයක්ම මේ පොත මේ තරම්ම ජනප්‍රිය වුණේ ඇයි?

ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ ජීවිත වලට හැමදාටම ගලපා ගන්න පුළුවන් කරුණු රැසක්ම මේ පොතේ තිබීම. ඒ සියලු කරුණු කාරණා බොවීතියස්ගේ ජීවිතයට ඇත්තටම බලපාපු ඒවා හින්දා ඒ කරුණුවල තියෙන පිළිගතහැකි බවත් බොහොම ඉහළයි.

“The Consolation of Philosophy” පොතේ තියෙන වැදගත් කරුණු කිහිපයක් මේ විදියට පෙළ ගස්සන්න පුළුවන්.  

  • යහපත් මිනිසුන්ට ඕනැම මොහොතක නොසිතූ නපුරක් වෙන්න පුළුවන් (Bad things happen even to good people.)
  • සමෘද්ධිය කියන්නේ ඇස් බැන්ඳුමක්. වස්තුව, බලය, සමාජ තත්ත්වය හැමදාම එක විදියට තියේවි කියලා කිසිම දවසක හිතන්න එපා. (Fortune (luck) changes all the time, so we should not depend on wealth, power, or status.)
  • බලය සහ ධනය සොයා යෑමෙන් අපට කිසිදා කිසි විටෙක සෑහීමකට පත් වෙන්න බැහැ. ඒවා පසුපස හඹා යාමෙන් සිද්ධ වෙන්නේ අපි තව තවත් නොසංසිඳෙන ආශාවන්ගේ ගොදුරක් වීම විතරයි. (“All riches are like flowing water; he who clings to them only finds himself in constant thirst.”)
  • සැබෑ සැනසුම රැඳිලා තියෙන්නේ තමන් වර්ධනය කරගෙන තියෙන ප්‍රඥාව, සාරධර්ම සහ ආත්ම ශක්තිය මතයි. දැනුම සාක්ෂාත් කර ගන්නට වෙහෙසීමෙන් සහ යහපත් ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කිරීමෙන් මිස කීර්තිය හෝ ධනය පසුපස හඹා යෑමෙන් සැබෑ ප්‍රීතියක් කිසිමදාක උරුම වෙන්නේ නැහැ. ( No man can be truly happy unless he seeks wisdom and virtue rather than riches or fame.)
  • ඔබෙන් උදුරා ගත නොහැකි එකම ‘වස්තුව’ ඔබේ දැන උගත්කම විතරයි. (Wisdom is the only thing no one can take away)
  • ජීවිතය අපිට පෙරළා සළකන විදිය කොයි තරම් අසාධාරණ වුණත්, අපේ ප්‍රතිපත්ති මත පිහිටලා කටයුතු කරන්න (stay true to who we are) තරම් ශක්තියක් ගොඩ නගා ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ.
  • සියල්ල අහිමි වූ මොහොතක පවා නිරවුල්ව සහ සිහිබුද්ධියෙන් සිටින්නට ඔබට හැකි නම් ඔබේ ජීවන ගමනට අලෝකය එයම වනු ඇත්තේය. (“It is in the darkest nights that the soul’s light shines the brightest.”)

මේ පොතේ මගේ වඩාත්ම සිත්ගත්ත වැකිය තමයි´“Even in chains, the soul can remain free.”යදමින් බැඳ විලංගු දා තිබුණත් ඔබට ඔබම විය හැකියි!

මධ්‍ය කාලීන යුගයේ දී ප්‍රංශ බසින් නිකුත් වූ බොවීතියස්ගේ Consolation of Philosophy අත්පිටපතේ දර්ශනයක්. දිගු ලෝගුවකින් සැරසී සිටින්නේ බොවීතියස්ය. මෙහි කාන්තා රූපය “Lady Philosophy” වන අතර පසුපසින් පෙනෙන කතුරු ඔංචිල්ලාව සංකේතවත් කරන්නේ “The Wheel of Fortune” (වාසනා චක්‍රය) යි.  

පෙරදිග දර්ශනයත්, බෞද්ධ සංකල්පත් එක්ක ගත්තම ඔය කිව්ව කරුණු කාරණා ආසියානු සමාජයට ඒ තරම්ම ආගන්තුක නොවුණාට යුරෝපයේ බොහොම දෙනෙකුට  ජීවිතයේ අතිශය දුෂ්කර සහ දුක්ඛිත අවස්ථාවක පවා සිතින් නොවැටී ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන උත්තේජනයක් ලැබුණේ මේ පොතෙන්. බුදු දහමේ එන අ‌ට ලෝ දහම වගේ “The Wheel of Fortune” කියලා සංකල්පයක් බොවීතියස් තමන්ගේ ලේඛන වලින්  හදුන්වලා දුන්නා. ඒක අට ලෝ දහම තරම්ම පරිපූර්ණ විග්‍රහයක් නොවුණ බව ඇත්ත. ඒත් අපේ ජීවිතවල හැම දෙයක්ම සතුට සහ දුක කියන අන්ත දෙකත් එක්ක නිරන්තරයෙන්ම වෙනස් වෙමින් පවතින බවත්, ඒවා වෙනස් කරන්නට අපි කාටවත්ම නොහැකි බවත් කියන්නට සංකේතයක් විදියට තමයි බොවීතියස් ඒ සංකල්පය යොදා ගත්තේ.

අනෙත් කාරණාව තමයි මධ්‍යකාලීන යුගයේ සාර්ථක වෙච්ච පොත් හැම හැම එකක්ම වාගේ ක්‍රිස්තියානි දහමත් එක්ක එකට බැඳුණු ඒවා. ඒකට හේතුව පල්ලියේ ආශිර්වාදය නැතිව පොත පත නිකුත් කරන්නට තිබුණු බාධාව හින්දා. ඒ හින්දා කතුවරුන්ට සිද්ධ වුණා ආගමත් එක්ක අත්වැල් බැදන් එහෙමත් නැතිනම් ආගමට කිසිම හානියක් නොවන විදියට බොහොම පරිස්සමින් තෝරා බේරා ගත්ත මාර්ගයක් දිගේ ලේඛන වෘත්තිය කරගෙන යන්න.  ඒත් බොවීතියස්ගේ මේ පොත ක්‍රිස්තියානි ආගමත් එක්ක අත්වැල් බැඳ ගෙන නොගිය ස්වාධීන පොතක්.

14 වැනි සියවසේ දී නිකුත් වූ Consolation of Philosophy අත් පිටපතේ මුල් කවරය. මෙම සිතුවමේ දී බොවීතියස් ගුරුවරයෙකු ලෙසින් නිරූපණය කර ඇති අතර සිතුවමේ පහත කොටසින් දැක්වෙන්නේ ඔහු සිරගත කර තිබූ සිර කුටියයි.

ඔබ සතුව තියෙන හැම දෙයක්ම ඒ කියන්නේ ඔබේ අඹු දරුවන්, ආදරණීයයන්, ඔබේ කීර්තිය, සමෘද්ධිය, යාන වාහන, ගේ දොර ඉඩ කඩම්, සමාජ තත්ත්වය මේ හැම දෙයක්ම කවර මොහොතක හෝ ක්ෂණිකව නැති වෙලා යන්න පුළුවන්. ඒ හින්දා ඔය කිව්ව හැම දෙයක්ම තමන්ගේ මරණයෙන් කෙළවර වන තෙක් ගත්ත ණයක් විදියට සැලකුවාට වරදක් නැහැ කියන එක බොවීතියස් අපිට කියනවා.

පහුගිය දවස්වල ඇතිවුණු ගංවතුර ව්‍යසනයත් අපි හැමෝටම කියලා දුන්නෙත් මේ පාඩම ම නේද?

ඉතාලියේ මිලානෝ නගරයට සැතපුම් තිහක පමණ ඈතින් තියෙන Pavia වල San Pietro in Ciel d’Oro දේවස්ථානයේ තිබෙන බොවීතියස්ගේ සොහොන. කෙනෙකුට හිතෙන්න පුළුවන් අවුරුදු 1500 ක කලින් මියගිය කෙනෙකුගේ සොහොන කොහොමද තාමත් තියෙන්නේ කියලා. ඒකට හේතුව ඔහුව මිහිදන් වුණේ ඒ කාලයේ තිබුණු ප්‍රධාන පෙළේ දේවස්ථාන භූමියක. පසුව පැමිණි රජවරුන් මේ රෝමානු දාර්ශනිකයාට සහ ඔහුගේ කෘතීන්වලට ගරු කළ නිසා මේ සොහොන් කොත සුරක්ෂිත කරන්නට කටයුතු කළා. මේ නව දේවස්ථානය ඉදි වෙලා තියෙන්නේ එදා බොවීතිස් භූමිදාන කරපු බිමේම තමයි.

One thought on “මේ හැම දේම ණයක්!

Add yours

  1. වැදගත් කරුණු ලැයිස්තුව කියවෙන විට සතුටක් දැනුණා.

    මක්නිසා ද යත් කුඩා කාලයේ සිටම අපේ ජීවිත හැඩගස්වා ගන්නට ඒ කරුණු අපට එක්කෝ වැඩිහිටියන් විසින් කියා දුන් නිසායි. එසේ නොමැති නම් විවිධ අත්දැකීම් සහ කියවීම් මත අපම වටහා ගන්නා ලද නිසායි

    කැමතියි

freesuit4d4dabe0e2 වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑