එදා අපි දරුවෝ! – We were Children!

තැඹිලි පාට දැක්කම ඔබට ඇතිවෙන්නේ මොන වගේ හැඟීමක් ද…?

තැඹිලි කියන්නේ පුදුමාකාර විදියට සුවිශේෂී වර්ණයක්.

රතු පාට කිව්වොත් මුළු ලෝකයටම තියෙනවා පොදු හැඟීමක්. ඒ කියන්නේ ‘අනතුරක්’ වගේ දෙයක්. ඒකට හේතුව අපේ ලේ රතුපාට හින්දා. නිල් පාට ගත්තමත් එහෙමයි. ශාන්ත ගතියක්. මුළු ලෝකයේම වෛද්‍ය සේවාවත් එක්ක නිල් පාට බැඳිලා තියෙන්නේ ඒ හින්දයි. ඔය විදියට කළු, සුදු, අළු, කහ, කොළ කියන බොහොමයක් වර්ණ වලට මුළු ලෝකයටම පොදු වෙච්ච කිසියම් හැඟීමක් තියෙනවා.

ඒත් තැඹිලි…? ඔබ හැදුණු වැඩුණු පරිසරය, සංස්කෘතිය අනුව ඒ පාටට ලැබෙන තේරුම විවිධාකාරයි.

ඒ තේරුම පැහැදිලි කරන්නට කලින් තවත් දෙයක් කියන්නටම ඕනේ. තැඹිලි කිව්වාම අපට මතක් වෙනවා ඒ නමින් තියෙන ගෙඩියත්. තැඹිලි පළතුරක් විදියට සළකනවා නම්, සිංහල භාෂාවේ වර්ණයක නමකින් තියෙන එකම පළතුර සහ වර්ණය තැඹිලි බවයි මං හිතන්නේ. (දම් පාට ‘දං’ ගෙඩියට ‘දං’ මිසක් ‘දම්’ කියන්නේ නැහැනේ).

ඉංග්‍රීසියෙනුත් එහෙමම තමයි. අපේ පංචේන්ද්‍රයන් (five senses ) හැම එකකටම හැඟීමක් එකතු කරන ඉංග්‍රීසි භාෂාවේ තියෙන එකම පොදු පැහැය තමයි “Orange” කියන්නේ.

ඉංග්‍රීසි භාෂාවෙන් “orange” කිව්වම, ඒ නමත් එක්කම ඒ හා බැඳිලා තියෙන පාට, රසය, සුවඳ, සංයුතිය වගේම විචිත්‍ර මතකයන් (name, taste, smell, texture, color, and memory) කියන හැම දෙයක්ම හිතට නැගෙනවා. ඒකට හේතුව ඉංග්‍රීසියෙන් ඒ පැහැය බැඳිලා තියෙන්නෙත් ඒ නමින් තියෙන දොඩම් කියන පළතුරක් එක්ක හින්දා. ඒ නිසා ඔබට “විඳින්න” (feel) පුළුවන් එකම පැහැය තමයි මේ.

දැන් අපි ආපහු එමු මුලින්ම කිව්ව කාරණාවට. තැඹිලි පාට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණාවට.

ලංකාව, ඉන්දියාව විතරක් නෙමෙයි පොදුවේ ගත්තම සමස්ත දකුණු ආසියාවටම තැඹිලි පැහැය කිසියම් ආගමික අර්ථයක් දනවන පැහැයක්. ඒකට හේතුව බෞද්ධ භික්ෂූන්, හින්දු ආගමික පූජකවරුන්, සාධුවරුන් සහ අධ්‍යාත්මික ජීවිත ගත කරන පිරිස තමන්ගේ වස්ත්‍ර විදියට තෝරා ගන්නේ තැඹිලි පැහැය හින්දා. ඒ නිසා දකුණු ආසියානු සංස්කෘතියට තැඹිලි පැහැය කියන්නේ අධ්‍යාත්මික භාවය, පිවිතුරුබව, පරිත්‍යාගය වගේ මනෝ භාවයන් මතු කරන ආගමික සංකේතාත්මක පැහැයක්.

නෙදර්ලන්තය වගේ රටක් ගත්තම ඕලන්දයේ රාජකීයත්වයේ වර්ණය තමයි තැඹිලි කියන්නේ. මේ හින්දා King’s Day වගේ සැමරුම් උත්සව අවස්ථාවලදී නෙදර්ලන්තවාසීන් තැඹිලි පැහැය ඇති ඇඳුම් ඇඳීමේ නැඹුරුවක් තියෙනවා. යුක්රේනය වගේ රටකට නම් තැඹිලි කියන්නේ තරමක විප්ලවවාදී ජවසම්පන්න බවක් ඇති කරන පැහැයක්. ඒකට හේතුව ආණ්ඩුවේ දූෂණයන්ට එරෙහිව 2004 දි යුක්රේනයේ මතුවුණු අරගලය “Orange Revolution” විදියට පැතිරිලා ගිය හින්දා. ජපානය වගේ රටක් ගත්තොත් තැඹිලි කියන්නේ ආදරය, සතුට වගේම උණුසුම් සහගත බැඳීම පෙන්වන ‘ආදරණීය පැහැයක්’. ඇතැම් අප්‍රිකානු රටවල තැඹිලි පැහැය විශේෂයෙන්ම ඇඳුම් පැළඳුම් වලට දීප්තිමත් පැහැයක් විදියට එක් කරගන්නේ සමෘද්ධිමත් භාවය පෙන්නුම් කරන සංකේතයක් විදියට.

ඇමරිකාව වගේ රටක් ගත්තොත් ඇමරිකානු බන්ධනාගාරවල සිර කරුවන්ගේ සිර ඇඳුමේ වර්ණය තමයි තැඹිලි. ඔබ දැකලා ඇති හොලිවුඩ් සිනමාවේ ඕන තරම් තැඹිලි පාටින් සැරසුණු සිරකරුවන්. හැලොවීන් උත්සවය සමරන යුරෝපයේ සහ උතුරු ඇමරිකානු රටවල තැඹිලි පැහැය කියන්නේ සරත් සෘතුව සමරන පැහැය. මේ හින්දා ඒ සෘතුවේ දී යෙදෙන “Halloween” සහ “Thanksgiving” කියන සැමරුම්වල පැහැය තමයි තැඹිලි වර්ණය.

මනෝ විද්‍යාත්මකවත් තැඹිලි වර්ණය විශේෂයි. සමාජ මනෝ විද්‍යාවේ දී පෙන්වලා දෙන දෙයක් තමයි උණුසුම් චොකලට් පානයක් (hot chocolate) තැඹිලි පාට කෝප්පයක බොන කොට ඒ රසය මානසිකව වැඩිපුර දැනෙනවා කියලා. ඒ වගේම බඩගිනි ඇති කරවන ස්වභාවයකුත් තැඹිලි පාටට තියෙනවා. ඒ හින්දා යුරෝපයේ බොහෝ ආපන ශාලාවල ළා තැඹිලි වර්ණයෙන් විදුලි පහන්, ආපන ශාලා නාම පුවරු සැරසෙනවා.

එහෙම බැලුවාම මුළු ලෝකයටම තැඹිලි පාට කියන්නේ කිසියම් ආකාරයක සතුටු සහගත බවක්, ප්‍රෞඩත්වයක්, දිරිගැන්වීමක් ගෙන දෙන පාටක්.

ඒත් කැනඩාවට නම් ඒක එහෙම නෙමෙයි. කැනඩාවට තැඹිලි පාට කියන්නේ වේදනාවක් ගෙන දෙන වර්ණයක්. තැඹිලි පාට කැනඩාවේ සංකේතවත් කරන්නේ උදුරාගත්ත ළමා විය (stolen childhood) ගැන වේදනාබර මතකයක්.

එහෙම වුණේ කොහොම ද…? ඒ කතාව මෙහෙමයි.

දරුවන්ටත් විදුලි පුටුවක්!

එදා තමයි Phyllis Webstad මුලින්ම ඉස්කෝලේ ගිය දවස. වයස අවුරුදු හයයි. කැනඩාවේ මුල් පදිංචිකරුවන්ගේ පරපුරට (First Nation) අයත් දැරියක්. මුලින්ම ඉස්කෝලේ යන්න එයා ඇන්දේ තැඹිලි පාට අලුත්ම අලුත් ඇඳුමක්. ඇත්තටම ඒක එයාගේ ආච්චි බෙහොම ආදරයෙන් එයාට දුන්නු තෑග්ගක්.

එයා ගියේ කතෝලික පල්ලියෙන් ක්‍රියාත්මක වුණු St. Joseph’s Mission නේවාසික පාසලට. ඒත් ඉස්කෝලෙට ගිය ගමන්ම ඉස්කෝලේ හිටපු කන්‍යා සොහොයුරියන් මේ තැඹිලි පාට ලස්සන අලුත්ම අලුත් ඇඳුම පුංචි Phyllis ගෙන් ගලවලා වීසි කරලා දැම්මා. මේ පුංචි දැරියට ඒක දරා ගන්න බැරි තරම් දුකක් වුණා.

පල්ලියේ ඉස්කෝලේ දී එදා ඒ ගලවා වීසි කර දැමුවේ Phyllis ගේ ඇඳුම විතරක් නෙමෙයි. කැනඩාවේ මුල් පදිංචිකරුවෙක් විදියට එයාට තිබුණු ආත්ම ගරුත්වය, අභිමානය, සංස්කෘතික සාරධර්ම, මව් පිය සෙනෙහස, භාෂාව, ආගම.. මේ හැම දෙයක්ම ඒ ඇඳුමත් එක්කම ගුලි කරලා එළියට වීසිවෙලා ගියා. (ඇයි එහෙම කළේ කියලා මේ කතාව කියවා ගෙන යද්දී තේරුම් ගන්න පුළුවන්)

මේක ඒ පුංචි Phyllis ගේ කතාව විතරක් නෙමෙයි. කැනඩාවේ හිටපු සහ ඉන්න මුල් පුරවැසියන්ගේ දරුවන් දස දහස් ගණනකගේ අමිහිරි සහ‌ අතිශයින්ම වේදනාබර කතාව තමයි ඒ.

පල්ලියෙන් ක්‍රියාත්මක වුණු මේ නේවාසික පාසල්වලට ගිය බොහොමයක් දරුවන් ආපහු කවදාවත් තමන්ගේ අම්මා තාත්තා දැක්කේ නැහැ. තමන් පුංචි කාලයේ සෙල්ලම් කළ වන වදුළු, ගංගා, ඇළ දොළ ආපහු කිසිම දවසක දැක්කේ නැහැ. තමන්ගේ භාෂාව ආපහු කිසිම දවසක එයාලගේ කන්වලට ඇහුණේ නැහැ. බොහොමයක් දරුවන්ට ඉතාම දරුණු විදියට තමන්ගේ ජීවිතය පවා අහිමි වුණා. ජීවිතය ගලවා ගන්න පුළුවන් වේචච දරුවන්ටත් අවසානයේ දී ඉතිරි වුණේ පරම්පරාවෙන් පරම්පරාවට ගලා ගෙන ගිය වේදනාබර අතිශය අමිහිරි මානසික පීඩනයක් විතරයි.

යුරෝපීයන් කැනඩාවට ගොඩ බහින්න කලින් ඉඳන් කැනඩා භූමියේ පදිංචි වෙලා හිටියේ ඒ භූමියේ සැබෑ හිමිකරුවන් වෙච්ච මුල් පුරවැසියන්. ඒ විදියේ මුල් පුරවැසියන්ගේ කණ්ඩායම් (First Nations) සංඛ්‍යාව 50 කටත් වඩා වැඩියි. ඒ හැම කණ්ඩායමකටම එකිනෙකට අනන්‍ය වූ භාෂා ව්‍යවහාරයන් 50 කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. (අපි පුංචි කාලේ ඉස්කෝලේ ඉගෙන ගත්ත ඇස්කිමෝවරුත් (“Eskimos”) ඒ විදියේ එක කණ්ඩායමක්. ඒත් දැන් ඒ වචනය සළකන්නේ කිසියම් ආකාරයක අපහාසාත්මක වදනක් විදියට. ඒ නිසා ඇස්කිමෝවරුන් දැන් හදුන්වන්නේ ‘Inuit’ කියලයි)

කැනඩාවේ පාලනය යුරෝපීයන් අතට පත් වුණාට පස්සේ 1880 ඉඳන් 1996 තරම් මෑතක් වෙනකල්ම ඔය කිව්ව මුල් පුරවැසියන්ගේ දරුවන් 150,000 කට වඩා වැඩි පිරිසක් බලහත්කාරයෙන් තමන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් කරලා අර පුංචි Phyllis ට වුණා වගේ පල්ලියෙන් පවත්වාගෙන යන නේවාසික පාසල්වල ගාල් කෙරුණා. වයස අවුරුදු තුනේ ඉඳන් පහ වෙනකල් හිටපු කිරි දරුවනුත් මව්වරුන් හඬා වැටෙද්දී මව් ඇකයෙන් බලහත්කාරයෙන් උදුරා ගෙන ගියා. මේ හැම දෙයක්ම සිද්ධ වුණේ ‘අශිෂ්ට මිත්‍යා දෘෂ්ටිකයන්’; ‘දෙවියන් වහන්සේ අදහන ශිෂ්ට සම්පන්න’ මිනිසුන් බවට පත් කිරීම කියන සංකල්පය යටතේ.

පල්ලියේ පාසල් ක්‍රියාත්මක වුණේ ඒ සංකල්පය පෙරදැරිව. ඒ හින්දා පල්ලියේ ඉස්කෝලෙදි මේ දරුවන්ට තමන්ගේ භාෂාව කතා කරන්න තහනම් වුණා. තමන්ගේ අම්මා, තාත්තා ඇතුළු පවුලේ සාමාජිකයන් එක්ක සම්බන්ධකම් තියාගන්නත් තහනම් කෙරුණා. එයාලගේ සංස්කෘතියට අයිති කිසිම දෙයක් කරන්න දුන්නේ නැහැ. කොටින්ම කිව්වොත් පල්ලියෙන් දුන්නු අලුත් නම මිසක් තමන්ගේ නියම නම පවා භාවිත කරන්න තහනම් වුණා.

සියවස් ගණනාවක් ප්‍රෞඩ විදියට කැනඩා භූමියේ ජීවත් වුණු මේ මුල් පුරවැසියන්ගේ සංස්කෘතිය, ආගම, භාෂාව මහා භයානක, පිළිකුල් කටයුතු, දරුණු දෙයක් විදියට තමයි මේ පාසල්වල ඉගැන්නුවේ. පල්ලියේ නීති රීති කැඩුවොත් දුන්නු දඬුවම් හරිම බරපතළයි. පල්ලියේ පාසල්වල ගුරුවරුන් විදියට කටයුතු කළ දේවගැතිවරුන් සහ කන්‍යා සොහොයුරියන් ඒ දරුවන්ට කිසිම ආදරයක්, කරුණාවක් දැක්වුවේ නැහැ. (මේ තත්ත්වය 17, 18 සහ 19 සියවස්වල ලෝකය පුරා යටත්විජිත බොහොමයක සිද්ධ වුණා. ලංකාවේත් මිෂනාරි අධ්‍යාපනය තුළ මේ විදියේම බරපතළ තත්ත්වයන් සිද්ධ වුණා).

තමන්ගේ පවුලෙන් සහ සංස්කෘතියෙන් සාහසික ලෙස වෙන් කරලා නේවාසික පාසල්වල බලහත්කාරයෙන් ගාල් කරපු දරුවන්ට දේවගැතිවරුන්, කන්‍යා සොහොයුරියන් සහ පල්ලියේ සේවය කළ අයගෙන් සිදුවුණු දරුණු වධ හිංසාවන්, අමානුෂික ලිංගික හිංසනයන් සහ බරපතළ දූෂණයන් මේ විදියේ සටහනකින් ලියන්න බැරි තරම් සාහසිකයි, අසෝබනයි, ම්ලේච්ඡයි. අන්තිමේ දී ඒ දරුවන් බොහොම දෙනෙකුට ජීවිතය අහිමි වුණා. සමහරු වධ හිංසාවන්ගෙන්. සමහරු කුසගින්නෙන්. අඩුම තරමින් සොහොන් කොතක්වත් ඒ දරුවන් වෙනුවෙන් ඉදි වුණේ නැහැ.

මේ පාසල්වලට ඉගෙනුම ලබලා තවමත් ජීවතුන් අතර ඉන්න වාසනාව හිමිවුණු පළමු පුරවැසියන් දැන් වයෝවෘද්ධයි. ඒ අය හෙළි කරන තොරතුරුවලින් නිර්මාණය වුණු රූපවාහිනී වාර්තා වැඩ සටහන් සෑහෙන ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් අහන්නට දකින්නට පුළුවන්. ඒ අය ලියපු පොත්පත් බොහෝ සේ තියෙනවා.

St. Anne’s නේවාසික පාසලේ බාල මට්ටමින් නිෂ්පාදනය කරපු අති අමානුෂික විදුලි පුටුවක් පවා තිබූ බව දිවි ගලවාගත් එක් වයෝවෘද්ධ වැඩිහිටියෙක් හෙළිදරව් කළා. එවැනි විදුලි පුටු තිබූ නේවාසික පාසල් කිහිපයක්ම තිබූ බව පසුව කළ විමර්ශනවලින් හෙළිදරවු වුණා. ඇතැම් පාසල්වල බොහෝ පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් හැම දිනකම දරු දැරියන් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළා. ඒවාට මුහුණ දී තවමත් ජීවතුන් අතර සිටින වැඩිහිටියන් හෙළිදරව් කරන කරුණු කාරණා අසා සිටින්නට බැරි තරම්ම කටුකයි. (මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්නට ඔබත් කැමැති නම් Canadian residential schools the survivors and their descendants නමින් YouTube මාධ්‍යයෙන් සොයා බැලුවොත් ඉතා උසස් මට්ටමින් කළ වාර්තා වැඩසටහන් බොහෝ ප්‍රමාණයක් පහසුවෙන් සොයා ගන්නට පුළුවන්. ඒත් ඒවා බොහොමයක් අතිශය සංවේදී සහ අනුවේදනීය බවත් කියන්නට අවශ්‍යයි). මේ පාසල් සම්බන්ධයෙන් කැනේඩියානු රජය විසින් පවත්වනු ලැබූ පරීක්ෂණවලින් හෙළි කරගත්ත හීත කීරි ගස්සන තොරතුරුත් පොදු මහජනතාවට විවෘතයි. ඇත්තටම මේ සිදුවීම් ජාලාව කැනඩාවට ලැජ්ජාවක්.

දැන් පොඩ්ඩකට කතාව වෙන තැනකට ගෙනි යන්න ඕනේ.

මේ විදියට තමන්ගෙන් උදුරා ගෙන ගිය දරුවන් ආපහු කිසිමදාක ගෙදර ආපු නැති බවත්, ඒ දරුවන් අතුරුදන්ව ඇති බවත් කැනඩාවේ මුල් පුරවැසියන් අවුරුදු ගණනාවක් තිස්සේ දිගින් දිගටම කියා සිටියත්, ඒවා බොහොම දෙනෙක් විශ්වාස කළේ නැහැ. ඒවා තනි තනි සිද්ධි හැටියට සැලකුවා මිසක් අඩුම තරමින් ඒ ගැන පුළුල් පරීක්ෂණයක්වත් කෙරුණේ නැහැ.

අන්න ඒ වගේ පසුබිමක කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ Kamloops කියන සුන්දර නගරයෙන් බොහොම අසුන්දර ආරංචියක් හිටි හැටියේම මතු වුණා.

ඒ 2021 මැයි මාසයේ දවසක්. Kamloops නගරය වාසභූමිය කරගත්ත පළමු පුරවැසියන් කණ්ඩායමකට සොහොන් කොත් නැති නන්නාඳුනන සොහොන් බිමක් ගැන මුල්ම ඉව වැටුණේ රේඩාර් තාක්ෂණය සහිත යන්ත්‍රයකින් භූමියක් පරීක්ෂා කරද්දී. ඒ භූමියේ කතෝලික පල්ලිය 1890 – 1969 දක්වා කාලයේ නේවාසික පාසලක් පවත්වාගෙන ගොස් තිබුණා. මේ සොහොන් භූමි මොනවා ද කියලා හොයලා බලන්න කියලා මුල් පුරවැසියන් බලධාරීන්ට තරයේම කියා හිටියා.

ඒ අනුව පරීක්ෂණයක් ආරම්භ වුණා. අන්න එතකොට තමයි නන්නාඳුනන සොහොන් 215 ක් මේ බිමෙන් හොයා ගත්තේ. ඒ හැම දෙනාම පල්ලියේ ඉස්කෝලවලට ගිය මුල් පුරවැසියන්ගේ දරුවන්. මේ විදියට වළ දාලා තිබුණු ඇතැම් දරුවන්ගේ වයස අවුරුදු තුනයි. කැනඩාවේ මුල් පුරවැසියන් හැමදාමත් වේදනාවෙන් හඬ නගපු තමන්ගේ දරුවන්ගේ ශෝඛාන්තය සාක්ෂි සහිතව මුලින්ම හෙළිදරව් වුණේ මේ සොයා ගැනීමත් එක්කයි.

ඊට පස්සේ කැනඩාවේ හතර අතින්ම මේ විදියේ සොහොන් කොත් ඉදි නොවුණු මහා පරිමාණ සොහොන් භූමි ගැන තොරතුරු හෙළිදරව් වෙන්නට පටන් ගත්තා. Saskatchewan ප්‍රදේශයෙන් සොයා ගත්ත එක් භූමියක තිබුණු සොහොන් ගණන 750 ක් තරම් අති විශාලයි. ඒ හැම දෙනාම පාසල් ගිය දරුවෝ.

මේ වෙනකොට ඒ විදියට 2500 කට ආසන්න සොහොන් ප්‍රමාණයක් කැනඩා භූමියෙන් සොයා ගෙන තියෙනවා. මේ හැම සොහොනක්ම හමුවන්නේ එදා කතෝලික පල්ලිය තමන්ගේ නේවාසික පාසල් පවත්වාගෙන ගිය පාසල් භූමි වලින්. මේ විදියේ සුසාන භූමි තාමත් අලුතින් හමුවෙනවා. පහුගිය අගෝස්තු 15 වැනිදාත් බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ St. Augustine’s Residential School භූමියෙන් මේ විදියට වළ දැමූ දරුවන් 81 දෙනෙකුගේ සොහොන් සොයා ගත්තා. සැප්තැම්බර් 16 වැනිදා ඒ කියන්නේ සති දෙක තුනකට කලින් ක්විබෙක් ප්‍රාන්තයෙන් තවත් ඒ විදියේ සුසාන භූමියක් සොයා ගත්තා. ඒ රෝමානු කතෝලික පල්ලියෙන් පාලනය වුණු නේවාසික පාසල් (Sainte Thérèse de l’Enfant Jésus school) භූමියකින්.

දරුවන් දෙසියයකට අධික සංඛ්‍යාවකගේ සොහොන් හමු වූ කැම්ලූප්ස් නේවාසික පාසල. ජීවත් වීමට වාසනාව ලැබුණේ මේ අය අතරින් ඇතැමෙකුට පමණි.
The Kamloops Indian Residential School in 1931 (Photo – National Center for Truth and Reconciliation)
නේවාසික පාසල්වල දරුවන්ගේ නිදි යහන
A dormitory at the residential school
(Photo – WORLD’S CHILDRENS PRIZE FOUNDATION)
අපි හැම මොහොතකම හිටියේ බඩගින්නේ
“We were always hungry”
(Photo – University of Toronto)
විදුලි පුටුවක් පවා තිබූ St. Anne’s Indian Residential School – 1945
(Photo – CBC)
මේ වනවිට සංරක්ෂිත කලාපයක් බවට පත් කර ඇති එක් නේවාසික පාසල් භූමියක්
One of two residential schools designated national historic sites
(Photo – Library and Archives Canada)

මේ නේවාසික පාසල්වලින් සිදු වූ දරු සංහාරය ගැන සොයා බලන්නට කැනඩා රජය විසින් පත් කරනු ලැබූ කොමිසමේ හිටපු ප්‍රධානියා වන විනිසුරු සින්ක්ලෙයාර් (Justice Murray Sinclair – former Chair of the TRC) කියන විදියට දරුවන් 3,201 කගේ මරණ නිල වශයෙන් වාර්තාවී තිබුණත් නිල නොවන මට්ටමින් ඒ සංඛ්‍යාව 6,000 ක් තරම් විශාලයි. ජීවත් වන්නට වාසනාව උරුම වුණු පිරිසට පවා අවසානයේ දී ඉතිරි වුණේ මරණය තෙක්ම අත නොහැරෙන වේදනාත්මක මතකයක්. ඒක හරියට බියකරු සිහිනයක් වගේ.

මේ දරුවන්ගේ මරණවලට වගකිව යුත්තේ කවුරුන් ද..?

කැනඩාවේ රජයට මේ වගකීමෙන් කොහෙත්ම ගැලවෙන්න බැහැ. ඒකට හේතුව මුල් පුරවැසියන්ගේ දරුවන් ‘ශිෂ්ටත්වයට’ පත් කරලා ‘ශිෂ්ට සමාජයට අනුගත කරන්නට’ නේවාසික පාසල් පද්ධතියක් නිර්මාණය කළේ කැනේඩියානු රජයයි. එතැනදී කැනේඩියානු රජයේ ඉලක්කය වුණේ “kill the Indian in the child” එහෙත් නැතිනම් ‘දරුවා තුළ සිටින අශිෂ්ටයා තුරන් කරමු’ කියන තේමාව. මුල් පුවැසියන්ගේ සංස්කෘතික අනන්‍යතා මුළුමනින්ම මකා දමලා ‘කැනේඩියානු සාරධර්මයන්ට’ හුරු කරවීම තමයි ආණ්ඩුවේ අරමුණ වුණ්. 1996 අවුරුද්ද වෙනකල්ම මේ විදියේ නේවාසික පාසල් 139 ක් නිල වශයෙන් කැනඩාවේ ක්‍රියාත්මක වුණා. මේ හැම පාසලක්ම පවත්වාගෙන ගියේ කැනේඩියානු රජයේ මුදලින්. නිල නොවන වශයෙන් තවත් පාසල් ජාලයක් ක්‍රියාත්මක වුණා.

ඔය කිව්ව අරමුණෙන් මේ පාසල් පවත්වාගෙන යාමේ වගකීම කැනේඩියානු රජය මුළුමනින්ම පැවරු‌වේ පල්ලියට. හරියටම බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලංකාවේ සිද්ධ වුණා වගේ. මේ පාසල්වලින් සියයට 60 කම පාලනය තිබුණේ කතෝලික පල්ලියට. ඉතිරි ඒවා පාලනය කළේ ඇන්ග්ලිකානු, යුනයිටඩ් සහ ප්‍රෙස්බටීරියන් කියන පල්ලි. ඒ අය තමයි මේ දරුවන් ගාල් කරලා කුරිරු වධ හිංසාවන්ට සහ ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කිරීම ගැනත් දරුවන් මරණයන්ට පත් වීම ගැනත් වගකීම භාර ගත යුත්තේ.

සිය රාජකීය පුරපුරෙන් සිදු වූ විනාශය ගැන රාජකීය චාර්ල්ස් මේ කතා කරන්නේ නේවාසික පාසලක ඉගෙනුම ලබා දිවි ගලවා ගත් ආදිවාසී පුරවැසියෙකු සමගය – Prince Charles meets with residential school survivors and elders.
(Photo – AP)

දරුවන්ගේ සොහොන් සොයා ගැනීමෙන් පස්සේ මොකද වුණේ…?

පල්ලියෙන් පවත්වාගෙන ගිය නේවාසික පාසල්වල දරුවන්ට අත් වූ මේ ඉරණම සාක්ෂි සහිතව හෙළිදරව් වීමත් එක්කම මේ අතීතය නොදැන සිටි කැනේඩියානුවන් කම්පාවට පත් වුණා. තව තවත් ඒ ගැන සොයා යන්නට ඔවුන් පෙළඹුණා. නේවාසික පාසල්වල යථාර්ථය සම්බන්ධයෙන් තමන් තුළ තිබුණේ කොයි තරම් නම් සුළු දැනුමක් ද යන්න ඔවුන් වටහා ගත්තේ ඒ තොරතුරු සොයා යාමත් එක්කයි. මේ ගැන රට පුරාම සංවාද, කතිකාවත් අලුතින් ආරම්භ කෙරුණා.

කැනඩාවේ රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කෙරුණා. බොහෝ රාජ්‍ය ආයතනවල මාස පහකට වඩා වැඩි කාලයක් එක දිගටම ජාතික කොඩිය අඩකුඹු කෙරුණා. රට පුරාම තැනින් තැන මිය ගිය දරුවන් වෙනුවෙන් පහන් දැල්වුණා. විරෝධතා පැවැත්වුණා. ඇතැම් කතෝලික දේවස්ථානවලට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර ගියා. කතෝලික දේවස්ථාන 60කට වැඩි සංඛ්‍යාවක් ගිනි තබා විනාශ කිරීම හෝ දැඩි අලාභහානි කිරීම සිද්ධ වුණා. ඇතැම් දේවස්ථාන මුළුමනින්ම පොළොවට සමතලා වුණා. බොහෝ දෙවස්ථානවල බිත්ති පුරා පහත විදියේ සටහන් විශාල කළු අකුරින් සටහන් වුණා :”We were children” (එදා අපි දරුවෝ) “No pride in genocide.” (සංහාරය ආඩම්බරයක් නොවේ)

දීර්ඝ කාලයක් පුරා කැනේඩියානු සමාජයේ කිසියම් ආකාරයක ගෞරවයට සහ සම්භාවනාවට පාත්‍ර වූ පුද්ගලයන්ගේ ප්‍රතිමා කඩා බිඳ දැමුණා. මෙසේ කඩා බිඳ දැමුණු ප්‍රතිමා අතර මුල් තැනක් ගත්තේ කැනඩාවේ ප්‍රථම අගමැති ජෝන් ඒ. මැක්ඩොනල්ඩ්ගේ (Sir John A. Macdonald) ප්‍රතිමා. ඒකට හේතුව මේ නේවාසික පාසල් පද්ධතිය හඳුන්වා දීමේ පුරෝගාමියා විදියට ඔහු කටයුතු කළ නිසා. වික්ටෝරියා සහ දෙවැනි එළිසබෙත් රැජිනගේ ප්‍රතිමාවන් ද කඩා බිඳ දැමුණා. අධිරාජ්‍යවාදී පාලනය යටතේ අත්තනෝමතික බලයක් පල්ලියට ලබා දීලා මේ විදියේ ළමා සංහාරයක් කරන්නට ඉඩකඩ සලසා දීම නිසා තමයි ඒ. ඔවුන්ගේ ප්‍රතිමා රතු තීන්තවලින් නැහැවුණා. ඒ මියගිය (‘මරාදැමූ’) දරුවන්ගේ රුධිරය සංකේතවක් කරමින්. මේ ක්‍රියාවන්ට ගෑවුණු හැම දෙනෙකුගේම නම්වලින් නම් කෙරුණ ගොඩනැගිලි, පාරවල්වල නම් පවා වෙනස් කෙරුණා.

මේ සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන් “ප්‍රභූන්” ලෙස සැලකීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර විය යුතු බවට ප්‍රබල මහජන මතයක් ගොඩ නැගුණා. උදාහරණයක් විදියට කැනඩාවේ ප්‍රධාන පෙළේ කීර්තිමත් සරසවියක් වන බ්‍රිටිෂ් කොළොම්බිය සරසවිය (University of British Columbia – UBC) මෙම සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් සහ තම සරසවිය අතර කිසියම් සම්බන්ධයක් තියෙනවා ද කියන එක සොයන්නට කමිටුවක් පත් කළා. ඒ අනුව දශක ගණනාවක් පුරා භාවිතයේ තිබුණු සරසවි ගොඩනැගිලිවල නම් ඉවත් කෙරුණා. තම සරසවියෙන් ලබා දුන්නු ගෞරව උපාධි අවලංගු කළා.

එක උදාහරණයක් තමයි John Fergus O’Grady බිෂොප්වරයාට ලබා දුන්නු සම්මාන ආචාර්ය උපාධිය. මේ බිෂොප්වරයා 1939 ඉදන් 1952 දක්වා කාලයේ දී මේ විදියේ මිෂනාරි පාසල් ගණනාවක විදුහල්පතිවරයා ලෙස කටයුතු කරලා තිබුණා. ඔහුගේ පාලනය යටතේත් මේ පාසල්වල දරුවන් මරණයට පත්ව තිබුණා. ඒකට හේතු වුණේ දරුවන් නොසලකා හැරීමත්, දරුවන්ට ආරක්ෂාව ලබා දෙන්නට කටයුතු නොකිරීමත් නිසා.

අධිරාජ්‍යවාදී පාලනයට සහ පල්ලියේ බලයට යටත්ව සැකසුණු සැබෑ තොරතුරු වසන් කරන ව්‍යාජ ඉතිහාසය අධ්‍යාපනික පාඩම් මාලාවන්ගෙන් වහාම ක්‍රියාත්මක වන විදියට වෙනස් කෙරුණා. ඒ වෙනුවට පල්ලියෙන් පාලනය වුණු පාසල්වල සැබෑ යථාර්ථය හෙළිදරව් වන විදියේ අලුත්ම ඉතිහාස පාඩම්, පාසල් පෙළ පොත්වලට එකතු වුණා. කැනඩාවේ ප්‍රථම පුරවැසියන්ගේ සංස්කෘතීන්ට ගරු කෙරෙන සහ ඔවුන්ගේ ඉතිහාසය ඉස්මතු කරවන නව පාඨමාලා, අධ්‍යාපනික වැඩසටහන්, දේශන සහ ප්‍රදර්ශන කැනඩාව පුරාම පාසල්වලත් උසස් අධ්‍යාපන ආයතනවලත් විෂය ධාරාවන්ට එකතු වුණා.

වැදගත්ම දේ තමයි National Day for Truth and Reconciliation නමින් හැම වසරකම සැප්තැම්බර් 30 වැනිදාට ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් වීම. මේ දිනය ඒ නමින් නම් කෙරුණත් මේ දවසට කියන බොහොම ජනප්‍රිය යෙදුම තමයි “Orange Shirt Day” කියන එක. ඒකට හේතුව පුංචි Phyllis මුලින්ම පාසලට ඇඳගෙන ගිය ඇඳුමේ පාට තැඹිලි හින්දා. (වාසනාවකට ඇයට සිය ජීවිතය අහිමි වුණේ නැහැ) මේ හින්දා මේ වේදනාබර සිදුවීම සිහිපත් කරන්නට කැනඩාවේ බොහොම දෙනෙක් සැප්තැම්බර් 30 වැනිදාට තැඹිලි පාට ඇඳුම් අඳින්නේ කැනඩාවේ මුල් පුරවැසියන්ට ගෞරව කිරීමක් විදියට. මේ ඇඳුම්වල එක වැකියක් සටහන් වෙලා තියෙනවා. ඒ තමයි “Every Child Matters.” ඒ කියන්නේ හැම දරුවෙකුගේම ජීවිතය කොයි තරම්නම් වටිනවා ද කියන කාරණය. මේ වාක්‍යය තමයි මේ දවසේ තේමාව. සැප්තැම්බර් මාසයේ දී කැනඩාවේ හැම තැනකම වගේ මේ වාක්‍යය දකින්න පුළුවන්. ගොඩනැගිලි, පාසල්, රැකියා ස්ථාන, අවන්හල් විතරක් නෙමෙයි ඊමේල්වල පවා. ගොඩනැගිලිවල ජාතික කොඩිය අඩකුඹු කෙරෙනවා.

කැම්ලූප්ස් සමූහ මිනී වළ සොයා ගැනීමෙන් මාසයකට පසු Saskatchewan පෙදෙසින් සොයා ගත් සමූහ සොහාන් බිමක්. මේ භූමියේ තිබී දරුවන්ගේ සොහොන් 750 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනුණේය.
Flag marks are seen at the site of unmarked graves near a former indigenous residential school in Saskatchewan, Canada, on June 27, 2021
(Photo – Xinhua)

මේ දරුවන්ට සාධාරණයක් ඉෂ්ට වුණා ද?

2008 වසරේ දී කැනේඩියානු රජය නිල වශයෙන් මේ සාහසික ක්‍රියාව ගැන මුළු රටේම ඉන්න පළමු පුරවැසියන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවා. ප්‍රොතෙස්තන්ත්‍ර පල්ලියත් සමාව ඉල්ලුවා. ඒත් කතෝලික පල්ලිය සමාව ඉල්ලන්නවත්, තමන්ගෙන් සිද්ධ වෙච්ච ඒ ඓතිහාසික වැරැද්ද හෙළා දකින්නවත් සූදානම් වුණේ නැහැ. කතෝලික පල්ලිය දිගින් දිගටම බොහොම මුරණ්ඩු විදියට තමන්ගේ ඒ වගකීම පැහැර හැරියා.

මුල් පුරවැසියන්ගේ විරෝධය කොයි තරම් ප්‍රබලව මතු වුණත්, ඒ වගේම කැනේඩියානු රජය පවා සමාව ඉල්ලුවත් කතෝලික පල්ලිය 2022 වෙද්දීත් මේ ඓතිහාසික සංහාරය ගැන සමාව ඉල්ලන්න කිසිම විදියකින් සූදානම්ව හිටියේ නැහැ. අන්තිමේ දී 2022 අවුරුද්දේ ජුලි මාසයේ දී පාප් ෆ්‍රැන්සිස් කැනඩාවට ආපු මොහොතේ “ක්‍රිස්තියානින් බහුතරයක් කළ මේ නීච ක්‍රියාව” (“evil committed by so many Christians.”) ගැන ඔහු සමාව ඉල්ලුවා. “I am deeply sorry… Sorry for the ways in which, regrettably, many Christians supported the colonizing mentality … I ask forgiveness … I humbly beg forgiveness for the evil committed by so many Christians against the Indigenous Peoples.” – Pope Francis )

කැනඩාවට පැමිණි පාප් වහන්සේ එදා පල්ලියෙන් සිදු වුණු ඓතිහාසික වැරැද්ද ගැන කම්පාවෙමින්. මේ සොහොන් කොත් ඉදිවී ඇත්තේ පල්ලියේ පාසල්වලට ගොස් නැවත කිසිදා ගෙදර නොපැමිණි දරුවන් වෙනුවෙනි.
Pope Francis prays at the Ermineskin Cree Nation Cemetery in Maskwacis, Alberta, before meeting with First Nations, Métis and Inuit communities (Photo – VATICAN MEDIA)

කැනේඩියානු රජයත්, කතෝලික පල්ලියත් මේ සමාව ඉල්ලුවේ දශක ගණනාවකට පස්සේ, බොහොම ප්‍රමාද වෙලා. වෙන්න ඕන සියලුම විනාශයන් වුණාට පස්සේ. මේ වැරැද්ද ආපහු කිසිමදාක නිවැරදි කරන්නට බැහැ. කොහොම වුණත් මේ සා විනාශයක් සහ වේදනාවක් සමාවකින් සැහැල්ලුවෙන් මකා දමන්නට පුළුවන් ද කියන කාරණාව තමයි මුල් පුරවැසියන් හැම‌ දෙනාම ප්‍රශ්න කරන්නේ.

හිතන්න පොඩ්ඩක්… උදයේ ගෙදරින් පිටවෙලා ආපහු සදාකාලයටම ගෙදරට නොඑන දරුවෙකු ගැන…! ඔබට කොයි වගේ හැඟීමක් ඇති වේවිද..? සමාවක් දෙන්නට පුළුවන් ද ඔබට..?

ඒ නිසා ලෝකයේ ඕනෑම රටකට සැප්තැම්බර් 30 කියන්නේ තවත් එක් සාමාන්‍ය දවසක් වෙන්න පුළුවන් වුණත් කැනඩාවට ඒක එහෙම නෙමෙයි.

කැනඩාවේ‌ මුල්පදිංචිකරුවන්ගේ දරුවන් බලහත්කාරයෙන් තමන්ගේ දෙමව්පියන්ගෙන් උදුරා ගෙන පල්ලියෙන් ක්‍රියාත්මක වුණු පාසල්වලට ගාල් කරලා, ආදිවාසීන්ගේ සංස්කෘතිය, භාෂාව, ආගමික හා සංස්කෘතික සාරධර්ම, පොදුවේ ගත්තම එයාලගේ අනන්‍යතාව මුළුමනින්ම විනාශ කර මකා දමන්නට ගත් ඒ පිළිකුල් ක්‍රියාව වේදනාවෙන් සමරන්නට තමයි මේ දවස වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා මේක උත්සවයක් විදියට සමරන දවසක් නෙමෙයි. අතීතය වේදනාවෙන් සිහිපත් කරන දවසක්. පරම්පරාවෙන් පරම්පරාවට හිත තුළ පොදි කරගෙන වින්ද දරුණු මානසික පීඩනයේ හඩට සවන් දෙන දවසක්. ජාතියක් විදියට හැම දෙනාම ඒ වේදනාව දරා ගන්නට උත්සාහ කරන දවසක්.

2024 දී Orange Shirt Day සැමරූ අවස්ථාවක්
(Photo – THE CANADIAN PRESS – John Woods)
ඉතිහාසයට සමාව දෙන්නට සූදානම් නොවූ විරෝධතාකරුවන් කැනඩාවේ ප්‍රථම අගමැති මැක්ඩොනල්ඩ්ගේ පැරණි ප්‍රතිමාවක් මෙසේ කඩා බිද දැමු‍වේ බොහෝ දෙනාගේ ඔල්වරසන් මැදය.
The toppling of the SJAM statue in Hamilton. This photo is only two seconds after the photo.
(Photo – JOEY COLEMAN / THEPUBLICRECORD)

මේ සටහනින් කියා පෑවේ කැනඩාවේ තිබූ නේවාසික පාසල් ගැන කෙටි සටහනක්. අධිරාජ්‍යවාදී පාලනයන් යටතේ පල්ලියේ මෙහෙයවීම මත මේ විදියේ නේවාසික පාසල් ලෝකය පුරා බොහෝ රටවල තිබුණා. 19 වැනි සහ 20 වැනි සියවස්වලදී ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්වීඩන්, ෆින්ලන්තය, ග්‍රීන්ලන්තය, ජපානය, ලතින් ඇමරිකානු රටවල්වල මේ විදියේ නේවාසික පාසල් දහස් ගණනින් ක්‍රියාත්මක වුණා. ඒ සියල්ල පල්ලියේ පාලනය යටතේ තිබුණත් ඒවා පවත්වාගෙන යන්නට මූල්‍ය ආධාර ලබා දුන්නේ අධිරාජ්‍යවාදී පාලකයන්.

කැම්ලූප්ස් නේවාසික පාසලේ දී සිය ජීවිතයට සමුදුන් දරුවන් සිහිපත් කරමින් වැන්කුවර් කලාගාරයේ පිය ගැට පෙළ මත ළදරු සපත්ත් සහ බෝනික්කන් පෙළ ගස්වමින් ශෝකය බෙදා ගත් අවස්ථාවක්.
A memorial honouring the 215 children whose remains were found on the former site of the Kamloops Indian Residential School on the steps of the Vancouver Art Gallery.
(Photo credit: GoToVan)

ලංකාව, ඉන්දියාව වගේ රටවලත් අධිරාජ්‍යවාදී පාලනය යටතේ මේ විදියේ මිෂනාරි පාසල් පද්ධතියක් පවත්වාගෙන ගියා. ඒවායේත් මේ විදියේම අතිශය අමිහිරි සිදුවීම් සිදුවුණා. තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ ආගමට සහ සංස්කෘතියට වෛර කරන්නට ඒ මිෂනාරි පාසල් ජාලය දරුවන්ට බල කරපු ආකාරය පැරණි වාර්තාවල සාධක සහිතව දකින්න පුළුවන්. ඒ පාසල්වල දරුවන්ගේ ජීවිත බොහොමයක් කෙළවර වුණේත් මේ විදියේ ඛේදවාචකවලින්.

දෙමව්පියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, තමන් හැදුනු වැඩුණු පරිසරයෙන් ඈත් කරලා ‘පාසල් වධකාගාර’ තුළ දරුණු වධ වේදනා මැද්දේ ජීවිතයත් මරණයත් අතර සටන් කරද්දී ඒ දරුවන්ගේ හිත් තුළ මොන විදියේ දේවල් මතුවෙන්නට ඇති ද…?

(මේ සටහන ලියැවුණේ කිසිදු ආගමික සම්ප්‍රදායකට පහර ගැසීමේ හෝ හෙළා දැකීමේ අරමුණින් නොවන බව අවධාරණය කරන්නට ඕනේ. මේ ආගමික සම්ප්‍රදායන් නිර්මාණය කළ ශාස්තෘන් වචනයේ පරිසමාප්තියෙන්ම සාමය සහ අවිහිංසාව පෙරදැරිව තම දර්ශනය ලොවට හදුන්වා දුන් ගරු කටයුතු චරිත. එහෙත් මේ සියල්ල සිදුවූයේ ඒ ආගමික ශාස්තෘෘවරුන්ගේ දහමට පිටුුපාමින් අත්තනෝමතිකව ආගම සිය අවියක් බවට පත්කරගත් පූජකවරුන් සහ පූජකවරියන් බව සදහන් කළ යුතුමයි).

Every Child Matters

හැම දරුවෙකුම රත්තරන්!

10 thoughts on “එදා අපි දරුවෝ! – We were Children!

Add yours

  1. හොඳ ලියවිල්ලක් කළු. ආගම් ශාස්තෘවරුන් විසින් බිහි කලත් ඒවා පාලකයන්ගෙ ආයුධ බවට පත් උනා බොහොම ඉක්මනට. මේ ඒවායෙ අතුරු ප්‍රතිපල තමා..

    Liked by 1 person

  2. එක්සත් ජනපදයේ සහ ඕස්ට්‍රේලියාවෙත් ඔය තත්වය ඔහොමම වුනා . මේවා ඇත්තටම ජෙනොසයිඩ් කියල කියන්න පුළුවන් . මේ එක්සත් ජනපදයේ කතාව . අර පිල්ග්රීම් ලා ගැන තියන ටෙලිවිෂන් සීරිස් එකෙත් මේ ගැන කතා වෙනවා . මේ ඉතිහාසය දැනගත්තට පස්සේ මම ඇමෙරිකන් කව්බෝයි ෆිල්ම්ස් බලන එක සහමුලින්ම නැවැත්තුව . මොකද ඒවා අමු බොරු නිසා . මීහරක් (නේටිව් ජනයාගේ ප්‍රධාන ආහාරය ) මිලියන් ගානක් මරල නේටිව් ඇමෙරිකන් ලා සාගින්නේ මරා දැමුවේ 1920 ට ළඟ කාලෙක https://boardingschoolhealing.org/us-indian-boarding-school-history/

    Liked by 1 person

    1. ඇත්ත. මේක genocide එකක් තමයි. ඉතිහාසය මකා දමන්නට සුදුසුම තැනින් එයාලා ඒක අල්ල ගත්තා. ඒ කියන්නේ දරුවන්ගේ හිත් වලින් තමන්ගේ සංස්කෘතිය මකා දැමීමේ ක්‍රියාවලිය ඔවුන් මේ පාසල් හරහා මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කළා.

      කැමතියි

      1. ඒක ඇත්ත . වැඩේ කියන්නේ කොලම්බස් හොයා ගත්තේ අමෙරිකාවක් නැහැ , කොලොම්බස් දිනය විහිළුවක් කියල කීව නිසා ඇමෙරිකාවේ ඉන්න ලංකාවේ අය කිහිප දෙනෙක්ට තරහ ගියා මා එක්ක .

        Liked by 1 person

    1. ඒ ලිපිය කියෙව්වා. ඇත්ත. කැනඩාවේ සිද්ධ වුණේත් ඕස්ට්‍රේලියාවේ සිදු වූ දෙයම තමයි. කැප්ටන් කුක් සහ කොළොම්බස් යනු මුල් පුරවැසිටන්ට නම් ද්‍රෝහීන් පමණි.

      කැමතියි

කළු වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑