මළ බව නොදැන ජීවත් වීම

 

art-black-candle-695644

පහුගිය වසන්ත කාලයට පස්සේ කැනඩාවේ වැන්කුවර් පුරවරයට කවදාවත්ම නැති තරම් සැරට ඉර මුදුන් වෙච්ච දවස තමයි ඒ. හිමිදිරි උදය ගෙවිලා යන්නටත් කලින් හිම කඳු යාය උඩින් පායාගෙන ආපු ඉර, එදා හවස් වරුව පුරාමත් එක දිගටම විසිරිලා පැතිරිලා ගියා. ඇත්තටම ඒක ඇඟපත දවාලන තරම් උණුසුමක්.

වැන්කුවර් නගරය පිහිටලා තියෙන්නේ කැනඩා – ඇමරිකා දේශ සීමාව ආසන්නයේ හින්දා මේ රටවල් දෙකේම වාසය කරන ශ්‍රී ලාංකිකයන් බොහොම පිරිසක් මේ ගිනි උණුසුම මැද්දේ වුණත් බොහොම දිගට විහිදුණු එළිමහන් පෝලිමකට එකතු වෙලා හිටියා. සත් සමුදුරින් ඈතක වාසය කරන මේ ශ්‍රී ලාංකිකයන්ට විතරක් නෙමෙයි මවුබිමේ වාසය කරන ලාංකිකයන්ට පවා බොහොම දුර්ලභ අත්දැකීමක් විඳගැනීම තමයි මේ හැමෝගෙම අරමුණ වුණේ. ඒ ලාංකීය සංගීත ලෝකයේ විශිෂ්ටයන් හතර දෙනකුගේ සම්ප්‍රාප්තිය එදා සිද්ධ වුණු නිසයි. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ටී. එම්. ජයරත්න, රෝහණ වීරසිංහ කියන මේ ප්‍රවිණයන් හතර දෙනාත්, ඔවුන් තරමටම විශිෂ්ට වූ වාද්‍ය ශිල්පීන් සිව් දෙනෙකුත් එක්ක ඒකාත්මික වුණු ඒ සැන්දෑව ඒ අවස්ථාවට සහභාගි වෙච්ච බොහොමයක් ශ්‍රී ලංකිකයන්ට අමරණීය මොහොතක් වුණාට කිසිම සැකයක් නැහැ.

ජීවිතයේ සිය දහස් වාරයක් අසා රස විඳි ගීත වුණත්, ඒ සැන්දෑ යාමයේ ගලා ගෙන ගිය මියුරු සංගීතයට මුහුවෙලා සජීවීව මතුවුණු ගී රාවයත් එක්ක තැවරිලා පාවෙලා ආපු තරම් මිහිරකින් මං මීට කලින් කිසිම දවසක ඒ ගීත රස විඳලා තිබුණේ නැහැ. එදා ඒ රැයෙහි ගැයුණු ඇතැම් ගීත කොයි තරම් නම් සංවේදී වුණාද කියනවා නම් වේදිකාවත් එක්කම ඒකාත්මික වෙලා හිටපු කිහිප දෙනෙකුම කදුළින් තෙත් වුණු දෙනෙත් පිහ දාන හැටි අඩ අඳුරේ දී වුණත් අඳුනා ගන්න මට අමාරු වුණේ නැහැ. විවේකයේදීත්, ප්‍රසංගය අවසානයේ දීත් සුළු සුළු කතාබහට එක්වුණු කිහිප දෙනෙකුගෙන්ම අහන්නට ලැබුණු කරුණු වලින් මං තේරුම් ගත්තේ ඒ හෝරා කිහිපය ඒ අයගේ ජීවිත වලට කොයි තරම් නම් සංවේදීව බලපෑවා ද කියන කාරණාවයි.

ඒකට හේතු කිහිපයක්ම තිබුණා. මූලිකම හේතුව ප්‍රසංගය බලන්නට ආපු හැම දෙනාවම වගේ ඒ ඒ අයගේ ජීවිතවල බොහොම ඈත සුන්දර අතීතයකට ගෙනි යන්නට තරම් සමර්ථ කමක් ඒ කටහඬවල් කිහිපය සතුව තිබුණු නිසයි. එදා මෙදා තුර පොකුරු පොකුරු ගණනින් ගායක ගායිකාවන් බිහිවුණත් මේ කටහඬ වලට හිමි පෞරුෂත්වයටවත්, ඒ අසහාය ගීත සමුච්චයටවත් අඩුම තරමින් අභියෝගයක්වත් එල්ල වෙලා නැහැ. ඉතින් මේ නිසා එදා ඒ රාත්‍රියේදී තමන්ගේම අතීත මතක විනිවිද දකින්නට බොහෝ දෙනෙකුට පුළුවන් වුණා. ඒකට හේතුව ඒ හැම ගීයක්ම වාගේ තමන්ගේ ජීවිතවල කිසියම් වූ සංසිද්ධියකට, කිසියම් වූ අතීත මතකයකට, සුන්දර අත්දැකීමකට එහෙමත් නැතිනම් අඩුම තරමින් තමන්ගේ ජීවන රිද්මය කැටිවුණු සිහින වැළකට ගෙන යන්නට සමත් වෙච්ච හින්දයි.

ගෝසාවක් නොවුණු සොඳුරු සංගීතයත්, පෞරුෂත්වය රැඳුණු මිහිරි හඬත් විතරක්ම නෙමෙයි ඒ සැන්දෑව ඒ තරම්ම දැනෙන්නට තරම් බලපෑවේ. වේදිකාවේ තිබුණු නිසලත්වයත් ඒකට ඒ තරමටම බලපෑවා. ලංකාවේ විතරක් නෙමෙයි විදේශවලත් තියෙන මේ විදියේ බොහොමයක් ප්‍රසංග නැටුම් වලිනුත් පිරිලයි තියෙන්නේ. මේ බොහොමයක් නැටුම් ගීතයට කිසිම විදියකින් සමපාත නොවෙනවා විතරක් නෙමෙයි, රස වින්දනයටත් කියන්න බැරි තරම් බාධාවක්. මේ බොහොමයක් නැටුම් වලදී වේදිකාව මැද්දට කඩා ගෙන පනින නැටුම් කණ්ඩායම තමන්ගේ ඇඟපතින් මුළුමනින්ම ගායකයාව වහගන්න නිසා ගායකයා විතරක් නෙමෙයි අඩුම තරමින් මයික්‍රෆෝනයේ රැහැන් පටවත් ප්‍රේක්ෂකාගාරයට බලාගන්න බැරි අවස්ථා එමටයි. ඉතින් ඒ විදියේ විසූක දස්සන එකක්වත් මේ ප්‍රසංගයට ඇතුළත් නොවිච්ච නිසාම පුදුමාකාර විදියට ඒකාත්මක වෙලා ප්‍රසංගය නරඹන්න හැමෝටම අවස්ථාව හිමිවුණා.

බණ පදයක් තරමටම, මිහිරි ගී පදයකටත් සිත කොයි තරමක් නම් සුවපත් කරන්නට පුළුවන් ද කියන කාරණව ඒ හෝරා කිහිපය අතරේදී කිහිප සැරයක්ම මට හිතුණා. ගෙවිලියකගේ ගොයම් කවියකට ස්වාමීන් වහන්සේලා හැට නමක් රහත් වුණු කතාවක් බොද්ධ සාහිත්‍යයේ තියෙනවා. එවැනි ප්‍රාතිහාර්යයක් සිදුවන්නට නම් සංසාරය පුරාම වර්ධනය කරගෙන ආපු චිත්ත ශක්තියකුත් තියෙන්නට ඕන බව ඇත්ත. ඒත් ඒ වගේම මිහිරි සංගීතයකට මුහුවුණු උසස් ගී පදයකිනුත් කොයි තරම් නම් කාරියක් කරන්නට පුළුවන්ද? ගුත්තිලයේ එන මිහිරි වීණා වාදනයේදී මව්වරුන්ගේ ඇකයෙන් දරුවන් පවා ගිලීහී වැටීම ඇත්තෙන්ම පුදුමයක් නෙමෙයි. සිත නිවන ගී පද වැලක් ඇසීමත් හරියට භාවනාවක් තරමට සිත සමාධිගත කරවන අපූරු අභ්‍යාසයක්.

නෙතට කඳුළක් මතු කරන්නට තරම්  හදවත් සංවේදී කරන්නට ගී පදයකට පුළුවන් නම් සමාජයක් වෙනස් කරන්නට කොයි තරම් නම් කාර්යභාරයක් කලාකරුවෙකුට කරන්නට පුළුවන්ද කියන සිතිවිල්ල ප්‍රසංගය පැවැති ඒ මුලු කාලය පුරාම විතරක් නෙමෙයි ප්‍රසංගයෙන් පස්සෙත් කිහිප සැරයක්ම හිතට නැගුණා. ලෝක ඉතිහාසයම අරගත්තාම ඇත්තටම ලෝකය සාධනීය විදියට වෙනස් කරන්න මුල් වුණෙත් කලාකරුවෝම තමයි. මුලු මහත් ලෝක ඉතිහාසය පුරාම ගුණාත්මක වෙනස්කම් ඇති කළේ කලාකරු‍වො මිසක් දේශපාලක‍යො නෙමෙයි.

රුසියානු විප්ලවයේ කැඩපත විදියට ලෙනින් නම් ක‍ළේ ලියෝ ‍‍ටෝල්ස්ටෝයි කියන සාහිත්‍යවේදියාව. ‍‍ටෝල්ස්ටෝයි කියන්නේ ධනපති පැළැන්තිය නියෝජනය කළ තරමක අහංකාර රදළයෙක්. ඒ විදියේ චරිතයක් නිර්ධන පංති නැගිටීමක කැඩපතකට සමාන කරන්නට ලෙනින් පෙළඹුණේ ටෝල්ස්ටෝයිගේ නිර්මාණ වලින් එවකට රුසියානු සමාජය විනිවිද පෙන්නන්නට සමත් වෙච්ච හින්දයි.

ලෝක‍යේ මුල්ම සැ‍රේට නීත්‍යනුකුල ජනතා මැතිවරණයකින් සමාජවාදය දිනාගත්ත රට තමයි චිලි දේශය. මැතිවරණ‍යෙන් නායකත්වයට පත් වු‍ණේ ‍ලොව පුරාම ප්‍රගතිශීලී ජනතාව‍ගේ ආදරයට පාත්‍ර ‍වෙච්ච සැල්වදෝර් අය්යන්දේ. ඒත් හමුදා කුමන්ත්‍රණයකින් ‍බො‍හොම බිහිසුණු විදියට ර‍ටේ බලය විතරක් ‍නෙ‍මෙයි අයියන්‍‍දේ‍ගේ ජීවිතයත් පැහැර ගත්‍‍තේ අයියන්දේ විසින්ම හමුදාපති ධුරයට පත් කරපු ඔගස්ටෝ ෆිනොචේ විසින්. එයින් පස්සේ ‍දෙදහසකටත් වඩා සමාජවාදී ක්‍රියාකාරීන් ‍බො‍හොම දරුණු විදියට ඝාතනය ‍කෙරුණා ව‍ගේම ලක්ෂ තුනකට ආසන්න පුරවැසියන් පිරිසක් අත්අඩංගුවට ගැණුනා. ෆිනොචේ‍ගේ ඝාතන රැල්‍‍ලේ එක් ‍ගොදුරක් වු‍ණේ වික්ටර් හාරා. වික්ටර් හාරා කියන්‍‍නේ මුලු ‍ලෝකය පුරාම ප්‍රගතිශීලී ජනතාව‍ගේ ආදරයට පාත්‍ර ‍වෙච්ච ජනතා කලාකරු‍වෙක්. පීඩිත ජනතාව‍ගේ කදුළ සුසුම තමන්‍‍ගේ අතින්ම පද රචනා වලට ‍ගොනු කරලා ඒවා ගීත බවට පත් කිරී‍මේ වරදට හමුදා පාලකයන් නැවත පෑනක් අල්ලන්න බැරි ‍වෙන විදියට, ඒ ව‍ගේම ගිටාර‍යේ තත් ආපහු වයන්නට බැරි ‍වෙන විදියට වික්ටර් හාරා‍ගේ දෑත් විනාශ කරලා අන්ති‍මේ දී ඔහුව දරුණු විදියට ඝාතනය කරලා දැම්මා. එත් තමන් ජීවත් ‍වෙච්ච අවුරුදු හතළියක ‍‍කෙටි කාලය ඇතුළේ හාරා සටහන් කළ අමරණීය නාමය අදටත් වලංගුයි.

හාරා තමන්‍‍ගේ ජීවිත‍යේ අන්තිමටම ලිවුව පද වැල තමයි;

We are 5,000, here in this little corner of the city.
How many are we in all the cities of the world?
All of us, our eyes fixed on death.
How terrifying is the face of Fascism
For them, blood is a medal,
carnage is a heroic gesture.

Song, I cannot sing you well
When I must sing out of fear.
When I am dying of fright.
When I find myself in these endless moments.
Where silence and cries are the echoes of my song.

“සම්මානයකි රුධිරය උන්ට – වීරත්වයකි සංහාරය”

සංහාරය වීරත්වය කරගත්ත, ඒ ව‍ගේම රුධිරය තමන්‍‍ගේ පැවැත්‍‍මේ ආභරණයක් කරගත්ත නායකයන් අ‍පේ ර‍ටේ ‍කොයි තරමක් නම් බිහිවුණාද…? බිහිවෙලා ඉන්නවද? බිහි‍වෙන්න බලා‍ගෙන ඉන්නවද…? ඒත් වික්ටර් හාරාලා ව‍ගේ කලාකරුවන් නම් ඒ විදි‍යේ අනුපාතයකින් රටකට බිහි‍වෙන්‍‍නේ නැහැ.

.

අනුරාධපුර‍යේ මහ‍මෙවුනා උය‍නේ සමාධි බුද්ධ ප්‍රතිමා‍වේ, ගල් විහාර බුද්ධ ප්‍රතිමාවලින්, අවුකන ප්‍රතිමා‍‍වෙන් හිතට දැ‍නෙන චිත්ත සමාධිය ‍‍නෙළුම් කුලුනින්, අයිෆල් කුලුනින් විඳ දරා ගන්නට බැහැ. ඒකට ‍හේතුව කලින් කිවුව ප්‍රතිමා ගල් කටු‍වෙන් මැ‍වෙද්දී ඒකට සං‍වේදී සිතිවිලි පරම්පරාවකුත් එක්කහු කරන්නට කලාකරුවා සමත් ‍වෙච්ච හින්දයි. ඒක විඳින්‍න  ‍බෞද්ධ‍යෙක් ‍වෙන්නම ඕ‍නේ නැහැ. තමන්‍‍ගේ හිත වැඩි‍යෙන්ම සන්සුන් කළ එකම වස්තුව අනුරාධපුර‍යේ සමාධි ප්‍රතිමා‍ව බව කිවුව එවකට ඉන්දීය අගමැති ජවහර් ලාල් ‍නේරු තමන් සිරගත වෙලා හිටපු කාල‍යේ පවා සිරකුටි‍යේ ‍මේ ප්‍රතිමා‍‍වේ ඡායාරූපයක් තබා‍ගෙන හිටියා.

කලාකෘතියකට ජාති ආගම් ‍භේදයක් නැහැ. ජාතිවාදී ඇහින් කලාව දකින්න හදනවා නම් ඒක ම්‍‍ලේච්ඡත්වයක්. තිරිසන් ලක්ෂණයක්. යාප‍න‍යේ පුස්තකාලය ගිනි තැබීම ගැන සතුටු ‍වෙන්නට පුළුවන් ‍කෙ‍නෙකු ඉන්නවා නම් එවැනි ‍කෙ‍නෙකු‍ගෙන් තිරිසන් සතෙකුටවත් මානව දයාවක් නම් කිසිම දවසක බලා‍පො‍රොත්තු ‍වෙන්න බැහැ. යාපනය පුස්තකාලය ගිනි තිබ්බ ‍මො‍හො‍තේ , ‍බො‍හොම ඈතින් ‍පෙ‍නෙන ඒ ගිනිදලු ‍මොනවාද කියලා දුරකථන‍යෙන් විපරම් කරපු ‍ඩේවිඩ් කියන පූජකවරයා ඒ ගිනි ගන්‍‍නේ තමන් ‍බෙහෙවින්ම ආදරය කරපු පුස්තකාලය බව දැනගත්ත ‍මො‍හො‍තේ දුරකථන රිසීවරය අ‍තේ තියා‍ගෙනම ළය පැලී මිය ගිය කතාවක් ධර්මසිරි බණ්ඩාරනායක මෑතකදී ‍හෙළි කළා.

බාමියන් නිම්න‍යේ දැවැන්ත බුදු පිළිම අන්තවාදී මුස්ලිම් මූලධර්මවාදීන් සුනු විසුනු කර දමද්දී සිත් කම්පා ‍‍නොවූ ‍කෙ‍නෙකු වූ‍යේ නම් එවන් හදවතකින් සං‍වේදී සිතිවිල්ලක් කිසිදා කිසි‍දි‍නෙක පහළ වෙන්‍‍නේ නැහැ.

ගලින් කරපු ඉසුරුමුණි‍යේ ‍පෙම් යුවළ දිහා බලා‍ගෙන ඉන්න ‍කොට හිතින් විඳින හැගී‍මෙන් අංශු මාත්‍රයක්වත් රජ පවු‍ලේ දැවැන්ත සරුව පිත්තල විවාහය දිහා බලා‍ගෙන ඉන්න ‍කොට විඳින්න පුළුවන්ද? කලාවැ‍ව පිස‍ගෙන එන සුළං රැල්ලක පහස ෂැංග්‍රිලා ‍හෝටල‍‍යේ විදුලි පංකාවකින් විඳින්න පුළුවන්ද? රුවන්වැලි දාගැ‍බ පාමුලදී දැ‍නෙන විසල් හැඟී‍මෙන් අංශුවක්වත්, ‍දැවැන්ත සු‍‍ඛෝප‍භෝගී සාප්පු සංකීර්ණයක විසිතුරු අබිමු‍වෙහි අත්විදින්න පුළුවන්ද? ඒකට ‍හේතුව රුවන්වැලි දාගැබ කියන්නේ ග‍‍‍ඩොල් ‍ගොඩක් පමණක් ‍නොවන හින්දා. ඒ හැම ‍දෙයක්ම ආගමිකත්වය පවා ඉක්මවා ගිය මහා දැවැන්ත කලා කෘති.

අනුරාධපුර‍යේ සුපුරුදු වට වන්දනා මාර්ග‍යෙන් බැහැර‍ වෙලා ‍පොඩ්ඩක් එළියට ගිහින් බැලු‍වොත් දකින්න ලැ‍බෙන, අතීත හිමිවරුන්ට වාසස්ථාන සැපයූ පධානඝර කියන ආරාමික ‍ගොඩනැගිලි නිර්මාණය ‍වෙලා ති‍යෙන්‍‍නේ තනිකරම කලුගලින්. ‍දැවැන්ත කලුගල් කුට්ටිවලින් නිර්මාණය ‍වෙච්ච ‍මේ ‍ගොඩනැගිලිවල පුදුමාකාර සිසිලසක් අදත් දකින්න ලැබුණත් ‍මේ ‍‍ගොඩනැගිලිවල ති‍යෙන ගල් කුලුනු කිසිම එකක ‍කොයියම්ම විදියක කැටයමක්වත්, බාහිර අලංකාරයක්වත් නැහැ. ඒ  ඒත් පධානඝරවලට යාබදව ති‍යෙන කැසිකිළි ගල් හරිම අපූරු කැටයම්වලින් පිරිලා ඉතිරිලා ගිහින්.  ‍බෞද්ධ චින්තන ධාරාවට අනුව පුහු අලංකාරය කොයි තරම් නම් නිස්සාර ‍දෙයක්ද කියන ‍ලෝක ධර්මතාවය ‍මේ තරම් අපූරුවට කලාත්මකව ඒ වගේම සංකේතාත්මකව ප්‍රකාශ කරපු ‍වෙනත් කිසිම අවස්ථාවක්, ‍වෙනත් කිසිම ස්ථානයක් ම‍ගේ මතකයට නැ‍ගෙන්‍‍නේ නැහැ. ‍චෛත්‍යය ව‍ටේ පළතුරු අතුරලා, මල් අතුරලා, ‍චෛත්‍යය  බ‍ඳේ ‍බෞද්ධ ‍කොඩි ‍පොරවලා, චෛත්‍යයට උඩින් වළාකුලු වලින් මැ‍වෙන බුද්ධ රූප ගනන් කරලා, අහ‍සේ මතු‍වෙන බුදුරැස් ‍හෙයා ‍හොයා එ‍හෙමත් නැතිනම් වර්ග හැට හැත්තෑවක කෑම බීම වලින් බුදුන්ට දන් පිළිගන්වලා කිසියම් ‍කෙනෙකු ‍බුදුන්ගේ ධර්මය හොයන්නට උත්සාහ කරනවා නම් ඒක ඒ අති විශිෂ්ට චින්තන ධාරාවට, දාර්ශනික සම්ප්‍රදායට කරන නිග්‍රහයක් විතරක් ‍නෙ‍මෙයි මහා අවමානයක්.

Toilet Stones

කලාව එහෙමත් නැතිනම් කලාකරුවා කියන පුද්ගලයා උත්තරීතරයි. ජාති ආගම්, දේශ සීමා මායිම් කිසිවක් කලාවට නැහැ. ඉරාන සිනමා පටයක ගැබ්වෙලා තියෙන ජීවන දර්ශනය වටහා ගන්නට අපි ඉරාන ජාතිකයන් විය යුතු නැහැ. බීතෝවන්ගේ සංගීත කණ්ඩයක් රස විඳින්නට අපි සංගීත ශාස්ත්‍රය හදාරන්නට උවමනා නැහැ. ක්‍රමානුකූල පාසල් අධ්‍යාපනයක් නොලැබූ රවීන්ද්‍රානත් තාගෝර් මුලු මහත් ඉන්දීය සමාජයේම කලා සම්ප්‍රදාය සහමුලින්ම වෙනස් කරන්නට සමත් වුණා.

අති විශිෂ්ට උත්තුංග කලා සම්ප්‍රදායක් තිබුණු රටක් තමයි ලංකාව කියන්නේ. බුදු පිළිමයම දැවැන්ත කලා කෘතියක්. ඒ උදාර අතීත කලා සම්ප්‍රදාය මොහොතකට අමතක කරලා මෑත යුගයේ ලාංකීය කලා නිර්මාණ දිහා බැලුවොත්ව මෑත ඉතිහාසයේ පවා කලා නිර්මාණවලින් සමාජයේ ගමන් වෙනස් කරන්නට ලොකු දායකත්වයක් ලැබුණු අවස්ථා ඕන තරම් හොයා ගන්න පුලුවන්. යටත් විජිත මානසිකත්වය කිසියම් දුරකට වෙනස් කරන්න පියදාස සිරිසේනගේ නවකතා වලින් විශාල දායකත්වයක් ලැබුණා. අයාලේ ගිය කලාවක දේශීය ගමන් මග හසුරුවන්නට ලෙස්ටර් ජේම්ස් පීරිස්, සරච්චන්ද්‍රයන්ගෙන් ලැබුණු දායකත්වය අමතක කරන්නට බැහැ. ඊයේ පෙරේදා විකාශය වුණු කූඹියෝ පවා අයාලේ යන ටෙලි නාට්‍ය කලාවකට අතුල් පහරක් එල්ල කළා. සහෝදරයා ටෙලි නාට්‍යය හිස් වෙලා ගිය ඔළුගෙඩි උඩු යටිකුරු කරලා දැම්මා.

අද අපේ රටේ සිද්ධ වෙන දේවල් එකිනෙකට එකක් කොයි තරමක් නම් සංකීර්ණ විදියට ගැට ගැහිලා පැටලිලා තියෙනවාද කියනවා නම් මේ ගැට ලිහලා දාන්න හරිම අමාරුයි. අපේ ඉතිහාසය මහාවංශයෙන් ඔබ්බට, ඒ කියන්නේ විජයගෙන් ඔබ්බට විහිදිලා යනවා කියන කාරණාව පුරාවිද්‍යාත්මක සාධකවලින්ම තහවුරු වුණේ දශක ගණනාවකට කලින්. අපේ ඉතිහාසය මහාවංශයේ සදහන් වෙන කාලයට වඩා බොහොම ඈතට ඇදිලා යනවා කියන කාරණාව අද පාවිච්චි කරන්නේ බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන කාරණාව තහවුරු කරවන්න. (මේ කාරණාවේ බරපතලකම තමයි බෞද්ධයන් ලවාම ශ්‍රී මහා බෝධිය කපා බිම හෙළන, බෞද්ධයන් ලවාම බුද්ධගයාවට ගල් ගස්සවන, බෞද්ධයන් ලවාම දෙව්රම් වෙහෙර සමතලා කරවන සමාජ මානසිකත්වයක් බිහිවීමයි). හමුදා සෙබළාට “ රණ විරුවා ” කියන ලේබලය අලවන්නේ පරාජිත දේශපාලන මානසිකත්වයකට හුළං පිඹින්න. තමන් විසින්ම චීනයට විකුණා දැමූ යුද හමුදා පරිපාලන මූලස්ථානයේ සුන්බුන් මතින් ඉදිවුණු ෂැංග්‍රිල්ලා හෝට‍ලයට එක්රැස් වෙලා රටේ ස්වාධිපත්‍ය්‍ය ගැන කතා කරන්නට පෙළ ගැහෙන වියත් මගේ විද්වතුන්ගේ විද්වත් භාවය රැඳිලා තියෙන්නේ තමන්ට අහිමි වෙලා ගිය වරප්‍රසාද කුට්ටි ටික අත්පත් කරගන්න කම් පමණයි. ර‍ටේ ආණ්ඩුව පවා ක්‍රියාත්මක වෙන්නේත් ඡන්ද දායකයන් වෙනුවෙන් තමන්ට කරන්නට පැවරිලා තියෙන ප්‍රධානතම රාජකාරිය කොළඹ පුරපතිනියට ලක්ෂ පනස් හතක වියදමකින් වැසිකිළියක් අලුත්වැඩියා කර දීම මේ ‍මොහොතේ දී රට වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම සද්කාර්යය කියලා හිතාගෙන ඉන්න මානසිකත්වයෙන්.

සිංහල සමාජය තාමත් දිරිමත් කරන්නේ දෙමළ කොටියා වගේම දෙමළ සමාජයෙන් ‍බහුතරයක් තාමත් අපේක්ෂා කරන්නේත් ජාතිවාදී සිංහලයායි. මේ විරසකය තුරන් කරන්නට කලාවට බොහොම දෙයක් කරන්න පුලුවන් වුණත් කලාකරුවන් කියන පිරිසත්, කලාවෙනුත් සිද්ධ වෙන්නේ ඒ විරසකයට තව තවත් පු‍ෂ්පෝපහාර පවත්වන එකයි.

පරාජිත දේශපාලකයන් බලයට පත් කිරීමේ අරමුණින් කලාකරුවන් කියන පිරිස එකතු වෙලා සුදෝ සුදු ඇදුම් වලින් සැරසිලා එරමිණියා ගොතා ගෙන සත්‍යග්‍රහයක ඉන්න පිංතූරයක් අන්තර්ජාලයේ මං දැක්කා. මළ ගෙදරකට ඇවිත් වගේ සුදු පිරුවට ඇද ගෙන ඇස් වහගෙන සත්‍යග්‍රහයේ ඉන්න මේ අය දිහා දැක්ක ගමන්ම ඔළුවට ආපු හිතිවිල්අල තමයි, එතැන හිටිය හැමෝම තමන් දැනටමත් මැරිලා ගිහින් බව නොදැන ජීවත් වෙන පිරිසක් නේද කියන එක. අපේ බොහෝ කලාකරුවන් දන්නේ නැහැ තමන්ගේ කුණු කය වැනි වැනී තිබුණත් නිර්මාණකරුවන් විදියට තමන් දැනටමත් මිය ගිහින් කියලා. ජනාධිපතිගේ සංගීත උපදේශකවරයා වෙන්න, නිවාස අමාත්‍යංශයෙන් පිනට වාහනයක් ලබා ගන්න, තමන්ගේ දුවව විදේශ සේවාවේ රැකියාවකට දාගන්න, ටවර්  හෝල් රගහල පදනමේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න, රාජ්‍ය උත්සවවල රජතුමා පිනවන්නට නැටුමක් දෙකක් පෙන්නලා ගතමනාවක් හොයා ගන්න, අඩුම තරමින් අරලිය ගහ මන්දිරයට ගිහින් කෑම වේලක් කන්න, තමන්ගේ දරුවාගේ විවාහ මංගල්ලයට ජනාධිපති ලවා අත්සනක් ගන්න… ඔන්න ඔය වගේ ‍‍බොහොම සිල්ලර චීත්ත රෙදි කරුණු කාරණා මිසක් රටේ ජනමතයට සාධනීය ලකුණක් එකතු කරන්න, මේ නරාවළින් ගොඩ එන්නට මගක් පෙන්නන්න තරම් දැක්මක්වත්, උවමනාවක්වත් මේ නඩයට නැහැ. ඒ නිසා ඇත්තටම අපේ කලාකරුවන්ගෙන් බහුතරයක්ම තමන්ම මළ බව නොදැන ජීවත් වෙන මිනිස්සු.

මේ සටහන නිමා කරන්නට මත්තෙන් තවත් එක් කාරණාවක් ගැන මතකයට එනවා. මැන්‍‍ඩෙලා සාධකය (Mandela Effect) නමින් අපූරු සංකල්පයක් මෑත කාලයේ බටහිර බොහොම ජනප්‍රිය වුණා. මේ සංකල්පය බෙහොම සරලව පැහැදිලි කරනවා නම් ඒකෙන් කියැවෙන්නේ සමාජයක් විදියට අපි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න, ඒත් ඇත්තටම ඒක එහෙම ‍නොවෙන දෙයක් ගැන විස්තර කරන්නයි. මේ සංකල්පයට මැන්ඩෙලා කියන නම දාලා තියෙන්නේත් අපි කවුරුත් දන්න හඳුනන නෙල්සන් මැන්ඩෙලා‍ගේ සිදුවීමක් ඒකට පාදක වෙච්ච නිසයි.

තරුණ නෙල්සන් මැන්ඩෙලා කියන්නේ දකුණු අප්‍රිකානු කළු ජාතිකයන් තලා පෙලා දැමූ වර්ග භේද වාදයට විරුද්ධව නොබියව සුදු මිනිසුන් හා සටන් වැද කළු ජාතිකයන්ට බොහෝ දේ දිනා දුන් වීරයෙක්. මේ අරගලවලට නායකත්වය දීම නිසාම අවුරදු විසි හතක කාලයක් පුරාම ඔහුට සිරබත් කන්නට පවා සිද්ධ වුණා. සිරගත දිවියෙන් මිදිලා ආපහු සිවිල් සමාජයට ආපු මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා බවටත් පත්වුණා. එදා විමුක්තිකාමියෙකු ලෙසින් හිටපු මැන්ඩෙලා චරිතය, අවසානයේ දී සම්ප්‍රදායික ජනාධිපතිවරයෙකුගේ භූමිකාවට කොටු වුණු හින්දා ඔහු පිළිබඳ මතකය මිනිසුන්ගෙන් ගිලිහී ගියා. ඒකට ‍හේතුව මිනිසුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වුණේ අරගලයට පණ පෙවූ විප්ලවවාදියා මිසක් සම්ප්‍රදායික ජනාධිපතිවරයා නොවුණු නිසා. මේ නිසා අවසාන කාලයේ දී මිනිසුන්ට මැන්ඩෙලා කවුරුන්ද කියන එක පවා අමතක වෙලා ගිහින් ඔවුන් හිතුවා ඇත්තටම මැන්ඩෙලා දැනටමත් මිය ගිහින් කියලා. මැන්ඩෙලා ඇත්තටම මිය ගියේ බොහොම මෑතකදී, ඒ කියන්නේ 2013 දී. මැන්ඩෙලා මළ පුවත ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වෙද්දී ‍ ‍බොහෝ බටහිර ජාතිකයන්ට විතරක් නෙමෙයි ලොව පුරා බොහෝ දෙනෙකුට මතු වුණු සිතිවිල්ල තමයි, “ හානේ.. ඇත්තටම මැන්ඩෙලා මේ වෙනකම්ම ජීවත් වුණාද….? මං හිතුවේ මැන්ඩෙලා මීට හුගාක් කලින් හිරගෙදරදිම මැරුණා කියලයි ”. ඒකට හේතුව ඔවුන්ගේ හිත් ඇතුළේ තිබුණු වීරයා මිය ගිහින් හුග කාලයක් ගත වෙලා ගිහින් තිබුණු හින්දයි.

ඉතින් මේ විදියේ උදාහරණ බොහොමයක් ඔය කියන සංකල්පය පැහැදිලි කරමින් මෑතකාලයේ දී එළියට ආවා. තවත් සරල උදාහරණ්‍යක් කියනවා නම්, Curious George කියන්නේ බටහිර රටවල අතිශය ජනප්‍රිය ළමා කාටුන් තතා මාලාවක්. ළමා කාටුන් චරිතයක් වුණත් කියුරියස් ජෝර්ජ් බලන්නට වැඩිහිටියන් පවා හරිම කැමතියි. මේ කතා මාලාවේ ප්‍රධාන චරිතය වෙන ‍‍ජෝර්ජ් කියන්නේ හරිම අපූරු හුරතල් වඳුරු පැටියෙක්. නගරයේ ගෙදරක මිනිසුන් ඇසුරේ හැදෙන වැඩෙන මේ වඳුරු පැටියා කරන කියන දේවල් තමයි කතාවට පාදක වෙලා තියෙන්නේ. අවුරුදු ගණනාවක් පුරාම හැමදාම වගේ උදේට හවසට විකාශය වෙන, ඒ වගේම නම කිව්ව පමණින්ම බාල මහලු කොයි කාගේත් හිත්වල මැවෙන කොයි කවුරුත් දන්නා හඳුනන මේ ජෝර්ජ් කියන වඳුරු පැටියාට වලිගයක් නැහැ කියන කාරණාව මිනිස්සුන්ගේ ඔළුවට ආවේ ඔය කියන මැන්ඩෙලා සාධකය කරළියට ආවට පස්සේ තමයි.

Curios George

ඉතින් කලාකරුවෙකු මිනිස්සුන්ගේ හිත්වල අමරණීය විදියට රැඳෙන්නේ තරුණ නෙල්සන් මැන්ඩෙලා වගේ තමන්ගේ කලා නිර්මාණවල නිරත  වුණොත් විතරයි. එහෙම වුණොත් මිය ගිය නෙල්සන් මැ‍න්ඩෙලා පවා තාමත් ජීවතුන් අතර කියලා මිනිසුන්ට දැනේවි. හරියට වික්ටර් හාරාලා වගේ. බීතෝවන්ලා වගේ. මැක්සිම් ගොර්කිලා වගේ.

අපට ඉන්න කලාකරුවන් බොහොම දෙනෙක් ඒ වගේ අය නොවන බැව ඇත්ත. ඒත් ඔය කිව්ව මැන්ඩෙලා සාධකය ඔය විදියටම ගලපලා  මේ කියන කලාකරුවෝ මිය ගිහින් කියලා අපේ මිනිස්සු විශ්වාස කරනවා කියලා කිව්වොත් ඒක මුසාවක්. ඒක අපිට මේ විදියට කියන්න පුළුවන්. ඒ විදියේ කලාකරුවන් තමන්ම මළ බව නොදැන ජීවත් වෙන මිනිස්සු වගේ. එහෙමත් නැතිනම් තමන්ගේ නැට්ට අහිමි වෙච්ච වඳුරු පෝතකයෝ වගෙයි.

(මේ සටහනට පාදක ‍වු‍ණේ ලිපියේ මුලදීම සටහන් කරන්නට යෙදුණු අමරණීය සංගීත සන්ධ්‍යාව වුණත් මේ ලිපියේ කරුණු කාරණා කිසිම දෙයක් ඒ අසහාය කලාකරුවන් පාදක කරගෙන නොලිය වුණු බවත්, මෙතැනදී සාකච්ඡාවට ගැනුණේ පොදුවේ ලාංකීය කලාව හා කලාකරුවන් ගැන බවත් අවධාරණය කරන්නට ඕනේ)

 

Advertisements

බඹර වද දුටිමි… බිතු සිතුවම් නොදුටුවෙමි!

βιβ-ία-ανάγνωσης-αγοριών-φαντασίας-στην-έ-ρα-37025166

දවල් කෑම වෙලාවට කාර්යාලයේ කෑම මේසය වටේ රොද බදින පිරිස එක්ක එකතු වෙන එක සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් නෙමෙයි. එත් ඉඳහිට දවසක මේ කණ්ඩායමට මාත් එකතු‍ වෙනවා. පහුගිය සතියේ දවසකත් ඒ විදියට අහම්බෙන් මේ කණ්ඩායමත් එක්ක කෑම ගන්න මාත් එකතු වුණා. ලෝකයේ හැම රටකින්ම ආපු පිරිස අපේ කන්තෝරුවේ වැඩ කළත් හැමදාමත් ඔය කතා බහ ඇදිලා යන්නේ මෙලෝ රහක් නැති මාතෘකා වලට… එකිනෙකාගේ කෑම බීමවල වග විස්තරවලින් පටන් අරන් අහල පහළ තියෙන රෙස්ටෝරන්ට්වල වගතුග වලට, ඇමසෝන් අඩවියෙන් එහෙත් නැතිනම් ඊ බේ එකෙන් තමන් ගෙන්න ගත්ත උපකරණයක විස්තරවලින් පටන් අරන් අහළ පහළ සාප්පු සංකීර්ණවල විකිණෙන බඩු භාණ්ඩ ගැන ඕපාදූපවලට, බොක්සිං ඩේ එක දවසේ පාන්දර ‍ඉඳන් පෝලිමේ රැකගෙන ඉඳලා මිලදී ගත්ත උපකරණයක් ගැන විස්තර වලට‍‍.. කලින් දවසේ ඇවිදලා දහනය කරලා දාපු කැලරි ගාන… අන්තිමේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කෙරුවාව ගැන. මේ වල්පල් අතරේ හිමිහිට ලිස්සලා යන්න හදද්දී මගේ අතේ තිබුණු පොත දැක්ක අපිත් එක්ක වැඩ කරන ඉන්දියන් ජාතික ගැහැනු ළමයෙක්ඒ ගැන මගෙන් යමක් ඇහුවා. කෙටි උත්තරයක් දීලා ගැලවෙන්න ඕන හින්දා ‘ඔයා පොත් කියවනවාද ?’ කියලා මං එයාගෙන් පෙරළා ඇහුවා.

“ පොත්…? අපොයි නැහැ ” එයා කිව්වේ හරියට සර්පයෙක් දැක්කා වගේ පස්සට ගැස්සිලා.
විවේක වෙලාවට මොනවද කරන්නේ කියලා ඇහුවම එයා මට මෙහෙම උත්තර දුන්නා.
“ අපි නිතර නිතර පාටීස් වලට යනවා. මූවීස් වලට යනවා. ” (එයයි එයාගේ සැමියායි ඉන්දියාවේ ඉඳන් කැනඩාවට සංක්‍රමණය වෙලා තියෙන්නේ අවුරුදු දෙකකට විතර කලින්)
කෑම මේසයේ හිටපු කොරියන් ජාතික තවත් මිත්‍රයෙක්  කතාවට හවුල් වෙමින් කිව්වේ පොත් පත් කියවන එක තරම් නීරස දෙයක් එයාටත් තවත් නැහැ කියලයි. පුංචි කාලයේ විභාගවලට තිබුණු සාහිත්‍ය පොත් පත්වල පොඩි කොටසක් කියෙව්වත් තමන්ට නින්ද ගිය බවක් තමයි එයත් කිව්වේ. කෑම මේසයේ හිටිය කිහිප දෙනෙක්ම ඒ අදහස අනුමත කරලා හිනාවෙද්දී මාත් ඒ හිනාවට හවුල් වුණේ කතාව මග හරින්න පහසුම උපක්‍රමය ඒක හින්දයි.

එදාම හවස රෑ කෑමෙන් පස්සේ රූපවාහිනී වැඩසටහනක් බලද්දී මේ සිද්ධිය ආපහු මතකයට ආවා. ලංකාවේ රූපවාහිනී නාළිකා නැරඹීමේ “පුරුද්දක් ” ලංකාවේදීවත් නොතිබුණත්, විවේකයක් ලැබුණු ‍මොහොතක තෝරා ගත්ත ඇතැම් වැඩසටහන් යූ ටියුබ් මාධ්යුය ඔස්සේ නැරඹීම ඉඳහිටලා කරන දෙයක්. හිත් ගත්ත කෙනෙක් ආරාධිතයෙකු විදියට සම්බන්ධ වුණු අවස්ථාවල විතරක් නරඹන ඒ වගේ එක වැඩසටහනක් තමයි ජාතික රූපවාහිනියේ “ සිහිනයකි රෑ ”. ඉතින් ඔය කියන දවසේ මේ වැඩසටහනට ඇවිත් තිබුණේ එඩ්වඩ් ජයකොඩි කියන ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියා. වැඩසටහනේ දී ඔහු මතු කළ අපූරු කරුණු කාරණා ගොන්න අතරින් එකක් මං කලින් කී සිද්ධියට සම්බන්ධයි. තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක් කරන්නට දෙමව්පියන් උත්සාහ ගත්තත් ඒ දරුවා “හොඳ ”වෛද්‍යවරයෙක්, “හොඳ ”ඉංජිනේරුවෙක්, “හොඳ ” ගුරුවරයෙක් කරන්න මහන්සි වෙන්න කියන පණිවිඩය තමයි එඩ්වඩ් මතුකළේ. මේ “හොඳ ” කියන කාරණාව එන්නේ සෞන්දර්ය කලාවට තියෙන බැඳීමත් එක්කයි කියන කරුණ ඉස්මතු කරපු එඩ්වඩ්, විභාග පසු පස්සේම දරුවන් පන්නන්නට මහන්සි නොවී සෞන්දර්ය කලාවටත් දරුවාව යොමු කරවන්න කියන පණිවිඩය මතක් කළා.
ඔහු මතුකළ කාරණය හැබෑම සත්‍යයක්. අද අපිට ඕන තරම් වෛද්‍යවරු ඉන්නවා, ඒත් කරුණාව හදවතේ ඉතිරි වෙලා තියෙන්නේ අත‍ළොස්සකගේ විතරයි. ඕන තරම් ඉංජිනේරුවො ඉන්නවා, ඒත් මනුස්සකම ගෑවිලා තියෙන්නේ බොහොම ටික‍ දෙනාටයි. ගුරුවරු ඕන තරම්, ඒත් පෞරුෂත්වයක් තියෙන්නේ සුළුතරයකට විතරයි. (ලංකාවේ දේශපාලකයො ගැන නම් කතා කරන එක කාලය කා දැමීමක්, සෞන්දර්යය පිහිටන්න තරම් ඔළුවක් ජන්මයෙන්ම එයාලට පිහිටලා නැහැනේ). ඇත්තටම කියනවා නම් “හොඳ ” සොල්දාදුවෙක් පවා බිහිවෙන්නේ හිත ඇතුළේ සංවේදිකමත් ගෑවිලා තිබුණොත් තමයි. යුද්ධයකට සහභාගී වෙච්ච පමණින්, මිනිහෙක් මරා දැමීමෙන් පමණක් කෙනෙක් රණවිරුවෙක්වත්, විමුක්තිකාමියෙක්වත් වෙන්නේ නැහැ. මේ නිසා තමයි එක සැරයක් චේගුවේරා ප්‍රකාශ කළේ සැබෑ විමුක්තිකාමියෙක් වෙන්න නම් මලක සුවඳ විතරක් නෙමෙයි මලක මෙළෙකත් හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා.
උසස් සංගීතයක් රස විඳින්න, උසස් පොතක් කියවන්න, උසස් කලා කෘතියක් රසවිඳින්න හැමෝටම පුළුවන් කමක් නැති එක ඇත්ත. ඒත් ඒකට හුරුවෙන්න පුළුවන් නම් සමාජය යහපත් තැනක් වීම කෙසේ වුණත් අඩුම තරමින් තමන්ගේ ජීවිතයට පෞරුෂත්වයක් එක් කරගන්නවත් කෙනෙකුට පුළුවන් වෙනවා. දේශපාලකයන්ගේ විතරක් නෙමෙයි තමන් ඇසුරු කරන , තමන් වටා ඉන්න කාගේවත් අදහස් උදහස්වල වහලෙක් නොවී තමන්ගේම පෞරුෂයක් ගොඩ නගා ගන්න පුළුවන් වෙනවා. උසස් සාහිත්ය් කෘතියක් රස විඳින්නට, උසස් සංගීතයක් රස විඳින්නට තරම් හැකියාවක් තියෙන කෙනෙක් දේශපාලනිකවවත්, මතවාදීවවත් පහසුවෙන් ගොදුරු කරගන්නට පුළුවන් කමක් නැහැ කියන කාරණාව තහවුරු කරලා ලෝකය පුරාම සරසවි වලින් කරපු පර්යේෂණ පත්‍රිකා අන්තර්ජාලයේ දකින්නට පුළුවන්. ඒකට හේතුව එවැනි කෙනෙක් වැඩෙන්නේ ඇඟපතින්, බඩ කඳින් විතරක් නෙමෙයි, විචාර බුද්ධියත් එක්ක නිසයි. මෙතැනදී පැහැදිලි කර ගන්න ඕන කරන කාරණයක් තියෙනවා. ඒ බුද්ධියත්, විචාර බුද්ධියත් කියන කාරණා දෙක. පොත පත පාඩම් කරලා, තමන්ගේ විෂයට ප්‍රවීණයෙක් වෙලා කෙනෙකුට බුද්ධිය වර්ධනය කරගන්න පුළුවන්. ආචාර්යවරු, මහාචාර්යවරු බවට පත්වෙන්න පුළුවන්. ඒත් විචාර බුද්ධිය කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දේකට. සරලවම කියනවා නම් ඇසූ පිරූ තැන් ඇත්තෙකුට. ඒ කියන්නේ පොත පත කියැවීමෙන් වගේම ජීවිත පන්නරය ඔස්සේ තමන් ලත් දැනුම ජීවිතයට ගලපා ගන්න පුළුවන් කෙනෙකුට. ඒ නිසා උපාධියක් තිබූ පමණින්, ආචාර්ය මහාචාර්ය ධුරයක් දැරූ පමණින් කෙනෙකු තුළ විචාර බුද්ධිය පිහිටන්නේ නැහැ. (විචාර බුද්ධිය ගිලිහිලා ගිය ඒ වගේ ආචාර්ය මහාචාර්යවරු, කලාකාරයො චන්ද කාලෙදි අපේ රටේ අහුරු ගණනින් දැකගන්න පුළුවන්, පත්තර පිටුවක් බැලුවාම. තමන් කඩේ යන මොකක් හෝ දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්න කියලා කිසිම හිරිකිතයක් නැතිව තමන්ගේ අස්සන ගහන්නේ අන්න ඒ වගේ පිරිස තමයි)
පොත පත කියවන කෙනෙකු තුළ ගොඩ නැගෙන පෞරුෂත්වය නිසා එවැනි කෙනෙකු පාලනය කරන්න තවත් කෙනෙකුට අමාරුයි. පොත පත කියවන සමාජයක් තමන්ගේ දේශපාලන අතකොළු කරගන්නට රටක පාලකයන්ට බැහැ. ඒ නිසාම පොත පත ඇසුරු කරන පිරිස, දේශපාලන යදම්වලින් බැඳිලා ඒ යදම් වලට ආදරය කරන වහල්ලු බවට පත්වෙන්නේ නැහැ. දේශපාලකයන් වෙනුවෙන් වාද විවාද කරන වහල්ලු බවට තමන් පත් නොවන නිසාම ඒ අයගේ මනස නිදහස්. ඒකට හේතුව දේශපාලකයන්ගේ එහෙමත් නැතිනම් සමාජයේ වෙනත් මතවාදී නායකයන්ගේ බරින් තමන්ගේ ඔළුව නිදහස් වෙලා තියෙන නිසා නිදහසේ යමක් දකින්නට, නිදහසේ හිතන්නට, නිදහසේ තීරණ ගන්නට තමන්ට පුළුවන් වෙන නිසයි.
මේ කාරණාව බුදුදහමේ සූත්‍රයකින් විස්තර කෙරෙනවා. කණුවක ගැටගහලා තියෙන සුනඛයෙකුට නිදහසේ සැරිසරන්නට පුළුවන් තමන් බැඳ දමා තියෙන ලණුවේ දිගට විතරයි. මේ නිසා බල්ලාගේ මුළු ලෝකයම, කණුව වටා තියෙන ඒ ලණුවේ පරිධියේ දිග විතරයි. ඒ නිසා තමන් හිරවෙලා ඉන්න මේ සීමාව ඇතුළේ ඉඳන් වාද විවාද කරන්නේ ලණුවෙන් පිට ලෝකය ගැන කිසිම අවබෝධයක් තමන්ට නැති නිසයි. හරියට අපි ඔය දේශපාලකයන්ගේ කෙරුවාව ගැන වාද විවාද කරනවා වගේ. බුදු දහමේ මේ කරුණ විස්තර කරන්නේ තමන්ට තමන්වත් අයිති නැති ලෝකයක, තණ්හාව නැමැති වරපටින් බැඳිලා ඉන්න තාක් විමුක්තියක් ලබන්න බැහැ කියන කාරණාව බොහොම ගැඹුරින් විස්තර කරන්න. ඒත් මේ උදාහරණයම අපේ මාතෘකාවට අදාළව කතා කළොත් අපිත් ඇත්තෙන්ම මේ බල්ලාට සමානයි. වෙනසකට ඇත්තේ අපි එකිනෙකාගේ ලණුවල දිග ප්‍රමාණයන් වෙනස් වීම විතරයි. බොහොම පොත පත කියවන පිරිසට පුළුවන් පහසුවෙන්ම ඒ ලණුව දිගු කරගන්න. ඒ නිසා තමන්ට අඩු පරිධියේ කැරකෙන පිරිසට ඔබ්බට ගිහින් හිතන්න එයාලට පුළුවන්. ෆේස් බුක් මාධ්‍යය ඔස්සේ තම තමන්ගේ මතවාද වෙනුවෙන් යුද වදින. ඒ වගේම එකිනෙකා හමුවුණාම තම තමන්ගේ දේශපාලකයන් වෙනුවෙන් වාද විවාද කරන මට්ටමට කෙනෙකු පත් වෙන්නේ මේ අවබෝධය නැති වුණාමයි. ඒත් තමන් කාගේ හෝ දේශපාලන කුළුණක ගැටගහපු සුනඛයෙක් නේද කියන කාරණාව තේරුම් ගන්න එකත් ඒ තරම්ම ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකට හේතුව ලණුව ලෙහා ගන්න කලින් අඩුම තරමින් තමන් කණුවක බැඳලා ඉන්න බවවත් තේරුම් ගන්න තරම් වැටහීමක් තමන්ට තියෙන්න ඕන නිසයි.
මෙතැනදී තවත් කරුණක් ඉස්මතු වෙනවා. කලින් කිව්ව සිදුවීමේ දී එඩ්වඩ් මතු කළා වගේම හොඳ ගීතයක්‍, හොඳ සිනමා පටයක්, හොඳ පොතක් කියන්නේ මොකක්ද කියන එක. ඒකට නම් නිර්වචනයක් නැහැ. මේ “හොඳ ” කියන කාරණාව තම තමන්ගේ බුද්ධි මට්ටම්, තම තමන්ගේ රුචි අරුචිකම් මත වෙනස් වෙන දෙයක්. ඒත් ඒක මේ විදියේ උදාහරණයකින් පැහැදිලි කරන්න පුළුවන්. ඔබ සීගිරිය කඳු මුදුනට නැගලා තියෙනවා නම්, සිගීරියේ ආකෘතියක් නරඹලා ඒ විදියේ මිහිරක් ලබන්න ඔබට බැහැ. ඒකට හේතුව පර්වතය මුදුනට ගියාම අත්විදින්න පුළුවන් ඒ මිහිරියාව ඔබ දැනටමත් අත් විඳලා තියෙන නිසා. ඔබ විශිෂ්ට මට්ටමේ (විශිෂ්ට කියන එකත් මෙතැනදී සාපේක්ෂයි) පොත පත කියවන්න පුරුදු පුහුණු වෙච්ච කෙනෙක් නම් මල් පොත් වලින් සතුටක් ලබන්නට ඔබට හැකියාක් නැත්තෙත් ඒ වගේම තමයි. ඒත් ඔබ සීගිරියට යනවා කියලා සීගිරි බිතු සිතුවම්වත්, සිගීරි පර්වතය මුදුනටවත් නොයා, සිංහ පාදය ළඟින් හැරිලා, බඹර වද විතරක් බලලා එනවා නම්…? ඔබ කියවන පොත පත තීරණය කළ යුත්තේත් අන්න ඒ ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර අනුව තමයි. එකම හොරු නඩයකට රට පාලනය කරන්නට ඉඩ දෙන අපේ ඡන්දදායකයනුත්, ඒ හොරු නඩය වෙනුවෙන් වාද විවාදවල පැටලෙන පිරිසත් සීගිරිය නොදැක බඹර වද නරඹලා එන පිරිස වගේ තමයි. තමන්ට ළං වෙන්නවත් බැරි පර්වත මුදුනක තමයි යථාර්ථය තියෙන්නේ. ඒ යථාර්ථය දකින්න නම් තමන්ගේ මානසික වහල් භාවයෙන් මිදෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් බැඳපු ලණු පට ලෙහා ගන්න ඕනේ.
සිරුර නිරෝගීව තියාගන්න ව්යාමයාම කරනවා වගේම මනස නිරවුල්ව තියාගන්න නම් පොත් පත් කියවන්න, එහෙමත් නැතිනම් අඩුම තරමින් උසස් රසාස්වාදයක් දෙන සංගීතයක්වත් ශ්රවවනය කරන්න ඕනේ. ‘ ඔබේ මිතුරන් කවුදැයි කියන්න, මා ඔබ කවුදැයි කියන්නම් කියලා ’ කවුරුන් හෝ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ කියවන පොත පත අනුව ඔබ කවුරුන්ද කියන එක තීරණය වේවි. සමහර පොත් පත් සුදුසු වෙන්නේ හපලා රස විඳලා ගිලලා දාන්න විතරයි, එත් හපලා හැම අංශුවක්ම සිරුරට දිරවා ගන්න ඕන කරන පොත පතත් තියෙනවා (Some books should be tasted, some devoured, but only a few should be chewed and digested thoroughly) කියලා ඉංග්‍රීසි චින්තකයෙකු වෙච්ච ෆ්රැන්සිස් බේකන් වරක් කිව්වා. ඒ විදියේ හපලා දිරවාගන්න ඕන කරන වර්ගයේ පොතක් කියවද්දී ඒක ඔබේ ජීවිතයේත් පරිච්ඡේදයක් බවට පත්වේවි. ඒ පොතේ චරිත ඔබේ ජීවිතයේ දී එදිනෙදා හමුවන චරිත බවට පත්වේවි. පොතෙන් මතු කෙරෙන සබදතා ඔබේ ජීවිතයේ අත්දැකීම් බවට පත්වේවි. ඔබේ හිත් ගත්ත පොතක් කියැවීමෙන් පස්සේ ඒ පොතේ කොයියම්ම හෝ කොටසක් ඔබේ ජීවිත කාලය පුරාම ඔබත් එක්ක එකට රැදේවි. මේ අමතර අත්දැකීම් ගොන්න නිසාම ඔබ, ඔබේ වයසට වඩා ජීවිත පරිඥානයෙන් මුහුකුරා යාවි. ඒකට තමයි නිර්මාණාත්මක කියැවීම කියලා කියන්නේ. (නිර්මාණාත්මක ලේඛනය වගේම නිර්මාණාත්මත කියැවීමක් කියලා දේකුත් තියෙන බව අමතක කරන්න එපා).

පොත් පත් කියවන්නා තමන්ගේ මරණයට පෙර අවුරුදු දහසක් ජීවත් වුණත්, පොත පත නොකියවන්නා ජීවත් වෙන්නේ එක දවසයි කියලා (A reader lives a thousand lives before he dies, The man who never reads lives only one) ඇමරිකානු ලේඛක ජෝර්ජ් මාර්ටින් කීවේ ඔය කියන විදියේ ජීවිත පරිඥානය ගැනයි.
තම තමන්ගේ ජීවිතවල තියෙන මානසික කුණු කන්දල් ගෙනැවිත් අතහැරලා දාන්න සමහරුන් පුරුදු වෙලා ඉන්න ෆේස් බුක් සමාජ ජාලයේ පොත් පත් කියවන අයගේ එකතුවක් තියෙනවා. මේ එකතුවේ ඉන්න ඇතැම් අය තමන්ගේ පොත් රාක්කයේ, එහෙමත් නැතිනම් තමන් මිලදී ගත්ත පොත්පත් හැමෝටම පේන්න ප්‍රදර්ශනය කරන එක දැන් විලාසිතාවක් වෙලා. (තමන් කියවන පොත පත හැමෝටම පෙන්න පෙන්න ඉන්න එකත් එක්තරා ආකාරයක ප්‍රදර්ශන කාමයක්). මේ විදියේ ඡායාරූප අතරේ එක්තරා විශේෂ ඡායාරූපයක් පහුගිය දවසක මට දකින්නට ලැබුණා. මේ ඡායාරූපයේත් තිබුණේ තමන් මිලදී ගත්ත පොත් ටිකක් තමයි, ඒත් ඒ පොත් ටිකට යටින් තිබුණු සටහන හරිම අපූරුයි. තමන් පොත් පත් කියවන්නට පුරුදු වෙලා හිටිය කෙනෙකු නොවුණත්, පොත් පත් කියවන අය අතරේ ගැවසෙද්දී ඒ අය තුළ තිබුණු දැනීම ගැන තමන් පුදුම වුණු බවත්, ඒ නිසාම පොත පත කියන්නට තමනුත් පුරුදු වුණු බවත්, පොත් පත් කියවන්නට පුරුදු වූ මේ කෙටි කාලය තුළදී පවා ජීවිතය ගැන තමා මෙතෙක් නොදුටු බොහෝ දේ අවබෝධ කරගත් බවත් ඒ සටහනේ සටහන් වෙලා තිබුණා. තමන් ඒ ඡායාරූපය පළ කළේ පොත පත කියවන්නට තමා ලත් ඒ ජීවිත පාඩමට උපහාරයක් වෙනුවෙන් බවයි ඒ තැනැත්තා සටහන් කර තිබුණේ. දහස් ගණනින් මුදල් ගෙවා තමන් මිලදී ගත්ත පොත් පත් ප්‍රදර්ශනය කරන හීනමාන මානසිකත්වයක් ඇති දහසකුත් ඡායාරූප අතර ඒ තැනැත්තාගේ සටහන හිතට බොහොම කාවදින දෙයක්. ඒ වගේම සත්‍යයක්.
පොතපත කියැවීමෙන් ලබා ගන්න පුළුවන් පරිචය වෙනත් දේකට සම කරන්න හරිම අමාරුයි. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ සුපර්මෑන් ගැන පොතක් කියවලා තමන්ටත් පියාඹන්න පුළුවන් කියනවා වගේ සරල අදහසක් නෙමෙයි. ජීවිත පරිඥානය පුළුල් වීම ගැනයි ඒකෙන් අදහස් වෙන්නේ. ඒ වගේ කෙනෙක් මතුපිටින් තැන්පත්, ඒත් එයාගේ මනස හරිම ප්‍රබලයි. එහෙම කිව්වේ ස්ටීවන් කිං කියන ජනප්‍රිය ඇමරිකානු ලේඛකයා. (Quiet people have the loudest minds).
එක්තරා දවසක මට අහම්බෙන් හමුවුණා විශේෂඥ වෛද්‍යවරයෙක්. මැදි වයසේ හිටපු වෛද්‍යවරයා මං ලංකාවේ කියලා දැනගත්ත මොහොතේම මගෙන් ඇහුවේ ඒ වෙනකොට අලුතින්ම නිකුත් වෙලා තිබුණු කැනේඩියානු ශ්‍රී ලාංකික ලේඛකයෙකු වෙන මයිකල් ඔන්ඩච්චිගේ Cat’s Table කියන පොත මං කියවලා තියෙනවා ද කියන එකයි. (වාසනාවකට වගේ ඒ වෙනකොට මං ඒ පොත කියවලා තිබුණා) ලංකාවේ තොරතුරු, ලාංකිය ජන ජීවිතය විතරක් නෙමෙයි අපේ සංස්කෘතික හැසිරීම් රටා ගැන පවා බොහොමයක් දේවල් එයා මාත් එක්ක කතා කරපු විදියට, එයා ලංකාවේ සංචාරය කරලා තියෙනවාද කියලා මං ඇහුවත්, වෛද්‍යවරයා මට කිව්වේ තමන් ඒ සියල්ල දැනගත්තේ පොත් පත් කියැවීමෙන් කියලයි. (ඒත් ලාංකීය සම්භවයක් ඇති ලෝක ප්‍රකට ලේඛකයන් දෙදෙනෙකු; මයිකල් ඔන්ඩච්චි සහ ෂ්‍යාම් සෙල්වදුරෙයි කැනඩාවේ ඉහළම ලේඛකයන් අතර වැජඹෙන බව කැනඩාවේ ජීවත් වෙන ලාංකිකයන්ගෙන් අතළොස්සක්වත් දන්නේ නැහැ).
ඇත්තටම කියනවා නම් උසස් සංගීතයක් රස විඳීමෙන්, උසස් පොතක් කියැවීමෙන් ලැබෙන තෘප්තිය විස්තර කරන්නට කිසිම භාෂාවක වචන සමත් වෙන්නේ නැහැ. ඒ විදියට ජීවිත කාලය පුරාවටම කම්පනයක් ඇති කළ පොතක් තමයි අවුරුදු ගණනාවකට පෙර පුංචි කාලයේ දී කියවපු “ ගැහැනුන් දෙදෙනෙක් ” කියන පරිවර්තන පොත. මේ පොතේ ඉංග්‍රීසි පිටපත බොහොම මෑතකදී ආපහු කියෙව්වේ අවුරුදු ගණනාවක් ගිහිල්ලත් ඒ කම්පනය හිතේ රැඳිලා තිබුණු නිසයි. (ඉංග්‍රීසි පිටපත තරමක් විශාල එකක් නිසා, සිංහලෙන් පළ වුණේ සම්පූර්ණ පරිවර්තනය ද කියන එක හරියටම දන්නේ නැහැ). අල්බර්ටා මොරාවියා ඉතාලි බසින් ලියපු Two Women කියන මේ කතාව යුද්ධයක තියෙන සැහැසිකම, ම්ලේච්ඡකම, ජීවිත උඩු යටිකුරු කරන ආකාරය විස්තර කරන්නේ අම්මෙක් සහ දුවෙක් කියන චරිත දෙකක් විතරක්ම උපයෝගී කරගෙන, පුදුමාකාරව සිත කම්පා කරන විදියට.
පුරාණ පොළොන්නරු රාජධානිය පදනම් කරගෙන බ්‍රිතාන්‍යයේත්, ඇමරිකාවේත් අවුරුදු දෙකකට කලින් එකවර ප්‍රකාශයට පත් කෙරුණු River of Ink කියන පොතත් කියවලා නිම වෙච්ච සැනින් ඇති වෙච්ච කම්පනය, ආස්වාදය වචනයකට ගොනු කරන්නට බැහැ. ඒක පුදුමාකාර අත්දැකීමක්. ඒ වගේම ඒ ආස්වාදය, ඒ කම්පනය මුළු ජීවිත කාලය පුරාම බැඳිලා තියෙන දෙයක්. (මේ පොතේ සිංහල පරිවර්තනයක් ළඟදීම නිකුත් වෙනවා). මේ නවකතාවට පදනම් වෙලා තියෙන්නේ කාලිංග මාඝ පොළොන්නරුව ආක්‍රමණය කළ 1215 කියන යුගය. අපේ රට ආක්‍රමණය කරපු හැම ආක්‍රමණිකයෙක්ම මූලික අවධානය යොමු කළේ අපේ සම්පත් සූරාගෙන ඒවා තමන්ගේ රටට ගෙනියන්න. ඒත් කාලිංග මාඝ ඒ හැම ආක්‍රමණිකයෙකුටම වඩා වෙනස්. එයාට ඕන වුණා දේශීය සංස්කෘතිය, බෞද්ධ සදාචාරය මුළුමනින්ම මුලිනුපුටලා දාන්න. (පෟතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන ආක්‍රමණිකයන් අතිනුත් මේ දේ සිද්ධ වුණත් එයාලගේ වැඩිම අවධානයක් යොමු වුණේ අපේ සම්පත් කොල්ලකාගෙන තමන්ගේ රටවල්වලට ගෙනියන්න. ඒ නිසා තමයි අපේ පෞරාණික පොත් පත්, පෞරාණික ධන නිධාන ලන්ඩන් කෞතුකාරයේ මිසක් කොළඹ කටුගෙයි දකින්න නැත්තේ). දේශීය සභ්‍යත්වය, බෞද්ධ සදාචාරය විනාස කරලා දාන්න කාලිංග මාඝ යොදා ගත්ත අවිය තමයි පන්සල් වෙහෙර විහාර වල තිබුණු සියලුම පොත්පත්, වගේම සාමාන්යත මිනිස්සු අතරත් ගැවසුණු සියලු පොත් පත් විනාශ කරලා ගිනිබත් කරලා දාපු එක. (මේ නවකතාවේ ඒක ඉතාම අපූරුවට විස්තර කරනවා). ඒ වගේම මාඝගේ දෙවිවරුන් වුණේ දකුණු ඉන්දියාවේ දෙවිවරුන් නිසා ඒ කාලයේ පොළොන්නරුවේ තිබුණු හින්දු සංස්කෘතියට පවා එයා වෛර කළා. රටක සංස්කෘතිය පෙරළා දාන්න නම් පහසුම දේ රටේ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ පොත් පත් විනාශ කිරීම බව ඒ ඈත අතීතයේ දී පවා කාලිංග මාඝ දැනගෙන හිටියා. මේ කාරණාව අද දවසට ගැලපුවාම ගන්න පුළුවන් දේ තමයි අද දවසේ සංස්කෘතියක් විනාශ කරන්න පොත් පත් ගිනි තියන්නම ඕනේ නැහැ. පොත් පත් නොකියවන ජනතාවක් බිහිකළාම හොඳටෝම ඇති. පොත් පත් නොකියවන පරපුරක් බිහිවීමේ පල විපාක අද අපි හොඳටම අත් විඳිනවා. පාර්ලිමේන්තුවේ ඉන්න බාගෙට බාගයක් සාමාන්‍ය පෙළ සමත් නැහැ කියන ප්‍රසිද්ධ කාරණාවම ඇතිනේ රටේ තත්ත්වය ගැන හිතාගන්න. ‘අද දවසේ කියවන්නා, හෙට දවසේ නායකයා’ (Today a reader, tomorrow a leader) කියලා ඇමරිකානු සමාජ ක්‍රියාකාරිනියක් වුණු මාග්‍රට් ෆුලර් වරක් ප්‍රකාශ කළා. ඒ වගේම තමන් ඉගෙන ගත්ත හැම දෙයක්ම තමන් ලබා ගත්තේ පොත් පත්වලින් කියලා ඒබ්‍රහම් ලින්කන් ප්‍රකාශ කළා. ඒත් මේ කියමන අපේ රටට ගැලපුවොත් නම් ‘අද දවසේ තක්කඩියා, හෙට දවසේ පාලකයා’ කියලා විතරමයි කියන්නට පුළුවන්.
මේ වෙලාවෙදි මතක් වෙනවා බොහොම ඉස්සර පුංචි කාලයේ දී කියවපු ගී ද මෝපසාන්ගේ කෙටි කතාවක්. කතාවේ නම මතක නැහැ. ඒත් කතාව ගලා ගෙන යන්නේ කාත් කවුරුවත් නැතිව හුදෙකලා වෙච්ච චරිතයක් ගැන. හැම අතකින්ම පීඩනයට පත් වෙලා ඉන්න මේ තැනැත්තා, තමන් ජීවත් වෙන සමාජයෙන් මිදිලා හිරේට ගියොත් කිසියම් සැනසීමක් ලැබේවි කියලා හිතලා, පොලිසියට අහුවෙන්න හිතාගෙනම සුළු සුළු හොරකම්, සුළු සුළු සිද්ධීන්වලට පැටලෙනවා. ඒත් ඒ හැම උත්සාහයක්ම ව්‍යර්ථ වෙලා ගිහින් අන්තිමේදී වෙහෙසට පත්වෙලා ගහක් යට ඉඳගෙන ඉන්න කොට අසල්වැසි මන්දිරයකින් සංගීත නාදයක් ඇහෙනවා. මේ සංගීතය එයාව කොයි තරම් දුරට මුදු මොළොක් කරලා, හිතේ තිබුණු සියලු අසහනකාරී හැඟීම් තුරන් කරලා දැම්මාද කියනවා නම් ඒ සංගීතය රස විඳීමෙන්ම පමණක් එයා වෙනස්ම තැනැත්තෙක් බවට පත්වෙන්නට හිතා ගන්නවා. (ඒත් අවාසනාවකට වගේ යහපත් මිනිහෙක් බවට පරිවර්තනය වුණු ඒ තැනැත්තාව අන්තිමේ දී පොලිස් අත්අඩංගුවට පත් වෙන්නේ සංගීත නාදය ගලාගෙන ආව මන්දිරය කොල්ල කන්නට උත්සාහයක නිරත වුණා කියලා සැක කරලයි).
ටික කාලයකට කලින් සම්මාන පිට සම්මාන ලබමින් අතිශයන්ම ජනප්‍රිය වෙච්ච The Reader කියන සිනමා පටයට පාදක වුණේ මේ විදියට පොත් පත් කියවන්න සැබෑ ආසාවෙන් පසුවුණු, ඒත් නාසි හමුදාවේ හිටපු අපකීර්තිමත් කාන්තාවක් ගැන. සැබෑ සිදුවීම් පෙළක් පදනම් කරගෙන නිර්මාණය වුණු මේ අති විශිෂ්ට සිනමා පටයේ සිටින ඒ කාන්තාව යුදෙව්වන් සිය දහස් ගාණකට වධ හිංසා පමුණුවන්නට මුල් තැනක් ගත්ත අපකීර්තිමත් චරිතයක් වුණත්, ඇය පොත් පත් කියවන්න ‍නොතිත් ආසාවෙන් පසුවුණු ගැහැනියක්. ඒත් පොත් පත් කියවන්නට අකුරු නොදන්නාකම නිසාම ළාබාල තරු‍ණයෙකුට ලිංගික අල්ලස් දෙමින් ඇය විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට කෘතින් ඔහු ලවා තමාට කියවා ගන්නවා.
උසස් සංගීතයෙන්, උසස් පොත පතකින් එහෙමත් නැතිනම් සරලව කියනවා නම් රස වින්දනය කියන කාරණාව තමන්ගේ හිත තුළ වගා කරගැනීම තුළින් ජීවිතය වෙනස් කරගත්ත මිනිස්සු ඉතිහාසය පුරා වගේම වර්තමානයේත් ඕනෑ තරම් හමුවෙනවා. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන විදියට ඉදලකින් අපූරු රටාවකට අමදලා තියෙන විහාර මළුවේ, ඒ අපූරු රටාව ගැන මෙනෙහි කිරීමෙන් පමණක්ම එක්තරා හිමිනමක් රහත් භාවයට පත්වෙනවා. ගැමි ළියකගේ ගොයම් කවියක මිහිර විඳීමෙන් ඒ කෙත් යාය අසලින් වඩිමින් හිටිය හිමිවරු රහත් භාවයට පත් වූ හැටි බෞද්ධ කෘතිවල සඳහන් වෙනවා.
ඒත් රසවින්දනය කියන එක කාටවත් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒත් තමන් තුළ රස වින්දනය ගැන පුංචි හරි හැඟීමක් තියෙනවා නම් ඒක දියුණු කරගන්න තමන්ටම පුළුවන්. බටහිර රටවල බොහොමක් සරසවිවල රස වින්දනය ගැන වගේම නිර්මාණාත්මක ලේඛනය ගැන උපාධි පාඨමාලා තියෙනවා. රස වින්දනය, ලේඛන කලාව තමන් තුළ පිහිටලා තියෙන කෙනෙකුට මේ පාඨමාලාවලින් ඇත්තටම උපරිම ඵල නෙලා ගන්න පුළුවන්.
පොත් පත් කියවන්න ඇතැම් අය අකමැති වෙන්න බලපාන හේතු ගැන අපූරු තොරුතුරු විවිධාකාර පර්යේෂණ මගින් එළිදරවු වෙලා තියෙනවා. ඒකට මූලිකම හේතුවක් තමයි පුංචි කාලයේ දී පොත් පත් කියැවීමේ පරිසරයක් තමන්ට අහිමි වීම. ඒ වගේම රස වින්දනය කියන කාරණාව නිසියාකාරව ළමා වියේදී නොලැබීමත් ඒකට හේතුවක් කියලා පර්යේෂකයන් පෙන්වලා දෙනවා. ඒත් තමන් වැඩිහිටියන් බවට පත් වූ පසුව ඒ අභියෝග සිය උත්සාහයෙන් ජය ගන්න පුළුවන් වුණත්, මොට වෙලා ගිය රස වින්දනය මුවහත් කරගන්න උවමනාවකුත් තියෙන්න ඕන බවයි පර්යේෂකයන් කියන්නේ. ඒ වගේම තමන් තුළ ඇති අදහස් මතවාද වෙනස් වෙනවාට බයෙනුත් පොත් පත් කියැවීමෙන් වැළකෙන පිරිසක් ඉන්න බව පර්යේෂකයක් පෙන්වා දෙනවා. ඒක වෙන කොයි රටකට කෙසේ වෙතත් දූපත් වාසී අපිට නම් පැහැදිලි ඇත්තක්. තමන්ගේ අදහස් මතවාද වෙනස් කරගන්නට තරම් විවෘත මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්නවා නම් එකම හොරු තක්කඩි රැළක් විවිධාකාර පක්ෂවලින් හැමදාමත් පාර්ලිමේන්තුවට රිංගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන්නේ නැහැනේ.
පොත් පත් කියවන්න තමන්ට වෙලාවක් නැහැ කියන කාරණාව නම් කිසිසේත්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ගේ කාලයෙන් මිනිත්තු පහළොවක් එහෙමත් නැතිනම් පැය භාගයක් පොතක් කියවන්නට වෙන් කරගන්න බැරි තරමට අපි කවුරුත් කාර්යබහුල නැහැ. ලෝකයේ ප්‍රබලම රාජ්‍ය නායකයන් පවා පොත් පත් කියවනවා විතරක් නෙමෙයි, පොත පත ලියන එකත් කරනවා. ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පවා බොහොම පොත පත කියවපු කෙනෙක් වගේම තමන්ගේ තනතුර දරද්දීම ළමා පොත් පවා රචනා කරපු කෙනෙක්.
මුළු ලෝකයේම කෝටිපතියන් අතර ඉදිරියෙන්ම ඉන්න වොරන් බුෆේ (Warren Buffet) කියන්නේ තමන් හැමදාම දවසේ සෑහෙන වෙලාවක් නිසංසලව වාඩි වෙලා කියවන්නත්, කියවපු දේ මෙනෙහි කරන්නත් පුරුදු වෙලා ඉන්නවා කියලයි. “මං ආදරය කරන්නේ ඒ විදියට ගත කරන ජීවිතයකට නිසයි මං එහෙම කරන්නේ ” කියලා ඔහු කියනවා. පොත් පත් කියවන්න දැඩිව ඇළුම් කරන ඔහු දවසකට පැය පහක්වත් පොත් පත් කියවන්න වෙලාව වෙන් කරගන්නවා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම Microsoft සමාගමේ නිර්මාතෘ, ලොව ධන කුවේරයන් අතර ඉහළින්ම ඉන්න බිල් ගේට්ස් කියන්නේ තමන් අද මේ තත්ත්වය ඇවිත් තියෙන්නේ පුංචි කාලයේ ඉඳන්ම කියවන්න පුරුදු පුහුණු වෙච්ච හින්දා කියලයි. බිල් ගේට්ස් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට කරපු සම්මුඛ සාකච්ඡාවක දී හෙළි කළේ තමන් වසරකට අඩුම තරමින් පොත් පනහක්වත් කියවනවා කියලයි. ලෝක ප්‍රකට ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් තමන්ගේ ජීවිත කතාව විවරණය කරමින් ලිවුව පොත මිලියන ගණනින් අලෙවි වුණා.
ඒ විතරක් නෙමෙයි කාලය කන මෙවලමක් විදියට අපිම පත් කරගෙන තියෙන ෆේස්බුක් නිර්මාතෘ, ලොව ළාබාලතම කෝටිපතියා වන මාර්ක් සකර්බර්ග් පවා පොත් පත්වලට දැඩිව ඇළුම් කරන පුද්ගලයෙක්. බිල් ගෙට්ස් එක්ක මාර්ක් සකර්බර්ග් එකතු වෙලා හැම දෙනාටම කියවන්න නිර්දේශ කරපු පොත් පත්වල ලැයිස්තුවක් පවා අන්තර්ජාලයේ තියෙනවා. ජංගම දුරකථනයට එබීගෙන උදේට බීපු තේ කෝප්පය, දවල්ට කාපු බත් පිඟාන, රෑට ගිය පාටිය, කන්තෝරුවේ වැඩ කරන හැටි, අලුතින්ම ගත්ත වාහනය ගැන පිංතූර හැමෝටම පේන්න ප්රමදර්ශනය කරන ගමන්, එක ගෙයි එක වහළ යට ඉන්න අඹුසැමියන්ට ආදරෙයි කියන්න, එකිනෙකාට සුභ උපන්දිනයක් ප්රාෙර්ථනා කරගන්න පවා මුහුණු පොතට ගිහින් කිසිම තේරුමක් නැතිව අපි පැය ගණනක් නිකරුණේ කාලය මරා දාද්දී ඒ මෙවලම නිර්මාණය කරපු මාර්ක්, පැත්තකට වෙලා නිවීහැනහිල්ලේ පොතක් පතක් කියවනවා. මුහුණු පොත හරහා අපි එකිනෙකාගේ ඕපාදූප තලු මරමින් නිකමුන් බවට පත්වෙද්දී, මාර්ක් පොත පත හරහා තමන්ගේ ජීවිත පරිඥානය පුළුල් කරගන්නවා.
මේ වගේ උදාහරණ කියන්න ගියොත් නිමාවක් නැහැ. බැරැක් ඔබාමා, වොරන් බුෆේ, මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස්ලාට තමන්ගේ අති මහත් රාජකාරී කටයුතු මැද්දේ නිදහසේ පොතක් කියවලා රස විඳින්න වෙලාව හොයා ගන්න පුළුවන් නම් අපිටත් ඒකට බැරි කමක් නැහැ. ඒත් ඒකට පුරුද්දක් එහෙමත් නැතිනම් පොතක් පතක් රස විඳින්න උවමනාවකුත් තියෙන්න ඕනේ.
කොහොම වුණත් පොතක් පතක් රස විඳින්න හැමෝටම බැරිවීම ගැන පර්යේෂකයන් තවත් අපූරු කරුණු කාරණා කිහිපයක් එළි කරනවා. මේ විදියේ පර්යේෂණ කණ්ඩායමකට නායකත්වය දුන්නු එක් පර්යේෂකයෙක් මෙහෙම කියනවා, “ කතාන්දර වලට අපි හැමෝම ආසයි. කතාන්දර කියවන්න කෙනෙක් අකැමැතියි කියන්නේ තාමත් එයාට ගැලපෙන කතාව හොයා ගන්න බැරි වෙලා කියන එකයි. එහෙමත් නැතිනම් එයාට ගැලපෙන පොත තාමත් එයාගේ අතට පත්වෙලා නැහැ කියන එකයි ”.
ඒත් මීට සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් තවත් එක් පර්යේෂණ කණ්ඩායමක් කෙටියෙන් මෙහෙම විස්තර කරනවා.
“ හැමෝම චීස් වලට ආස නැහැ… ඒ ඇයි…? පොත් පත් කියවීමත් ඒ වගේ තමයි ”.

ඔබ සිටින්නේ කොතැන ද?

ගුවන්විදුලියේ සවස හයේ ප්‍රවෘත්ති ආරම්භ වුණේ මං වැඩ ඇරිලා නිවසට එමින් සිටියදීයි. රිය අනතුරක් සිද්ධ වෙලා තිබු නිසා මං එන මාර්ගය පුරාම වාහන තදබදයක් නිර්මාණය වෙලා තිබුණා.

වාහනයේ ගුවන්විදුලි යන්ත්‍රයේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙලා තිබුණේ සීබීසී (Canadian Broadcasting Cooperation) එහෙමත් නැතිනම් කැනඩාවේ ප්‍රධාන ප්‍රවෘත්ති සේවා විකාශයටයි.

ප්‍රවෘත්ති අතරතුරේ දී එක සැරේම නිවේදකයා මෙහෙම දෙයක් කිව්වා.

“ අපි දැන් විශේෂ හඩ පටයක් විකාශය කරන්නයි යන්නේ. මේ හඩ පටය විනාඩියක කාලයක් පුරා තියෙනවා. එත් මේ හඩ පටයේ ඇති කරුණු මානසික පීඩනයක් ඇති කරන්නට හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පොඩි දරුවන් මේ වැඩසටහනට සවන් දෙනවා නම් ඒ ගැන විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න කියලා දෙමව්පියන්ගෙන් අපි ඉල්ලා හිටිනවා. මේ හඩ පටය අපි විකාශය කරන්නේ එයින් කියැවෙන මානුෂීය පණිවිඩය ඒ අයුරින්ම ඔබට ලබා දීමේ අරමුණින් පමණයි. ඒ නිසා අපි නැවතත් කියනවා මේ හඩ පටයෙන් මානසික පීඩනයක් ඇති වෙන්න ඉඩකඩක් තියෙන නිසා මේ හඩපටය අහන්න කලින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න කියලා ”

නිවේදකයා මේ කරුණ දෙසැරයක්ම කිව්වා. හඩ පටය විකාශය වුණේ ඊට පස්සෙයි.

හඩ පටයට පදනම් වෙලා තිබුණේ ඇමරිකාවේ පොලිස් නිලධාරියෙකු අතින් කළු ජාතික සිවිල් වැසියෙකු මරණයට පත් වීමෙන් පස්සේ කළු ජාතිකයාගේ පෙම්වතිය එම පොලිස් නිලධාරියා ඉදිරියේ හඩමින් කරන ප්‍රකාශයක්. මේ ප්‍රකාශය පුරාම ඇය කිසිම විදියකින් පොලිස් නිලධාරියාට පහත් අන්දමින් බැන වදින්නේවත්, අසැබි වචන ප්‍රකාශ කරන්නේවත් නැහැ. එම කාලය පුරාම ඇය වැළපෙමින් හඩන අතරේ පුන පුනා කී කරුණ වුණේ, “ ඔෆිසර්… ඔයා මගේ පෙම්වතා මැරුවා කියලා නම් මට කියන්න එපා… මට ආයෙත් එයාව දකින්න ලැබෙන්නේ නැහැ කියන්න නම් එපා ” කියන කාරණාවම පමණයි.

ගුවන්විදුලි නිවේදකයා කිව්ව ආකාරයටම විනාඩියකට ආසන්න කාලයක් පුරා විකාශය වෙච්ච මේ හඩ පටය නිමා වුණ ගමන්ම මට මතක් වුණේ ලංකාවේ අපේ මාධ්‍ය කලාව ගැන. (ලංකාවේ මාධ්‍ය කලාවක් කිසිසේත්ම නැති වුණත් මෙතැන දී කලාව කියන වචනය පාවිච්චි කළේ සංසන්දනයේ පහසුව නිසයි). එයින් පළමු වැනි කාරණය මේ වගේ හඩ පටයක් ලංකාවේ මීඩියා වලට කිසිසේත්ම සිත් කම්පිත කරවන පුවතක් (shocking news) නොවන නිසා. ඒ කියන්නේ ලංකාවේ මාධ්‍යවලට මේ පුවත සිත කම්පිත කරවන්නට තරම් බලපෑමක් ඇති කරවන එකක් නෙමෙයි. ඒකට හේතුව දශක ගණනාවක් පුරාම ලංකාවේ මාධ්‍ය එකට එකතු වෙලා නිර්මාණය කරලා තියෙන, මුළුමනින්ම මීඩියා නිෂ්පාදනයක් වන අපේ පාඨක ජනතාව එහෙමත් නැතිනම් ප්‍රේක්ෂක ජනතාව මේ වගේ “ සුළු මානුෂීය කරුණු වලින් ” සිත කම්පිත වෙන අය නෙමෙයි. අපේ පාඨකයන්ට / ප්‍රේක්ෂකයන්ට පුවතක් සිත කම්පා කරවන්නට නම් අඩුම තරමින් මළ සිරුරක්වත් පෙන්නන්න ඕනේ. ඒ නිසා ඉහතින් කිව්ව හඩ පටය ලංකාවේ මීඩියා එකකින් විකාශය කරන්නට කලින් නිවේදකයාට ඒ ගැන දෙසැරයක් හිතන්නවත්, සිබීසී නිවේදකයා කිව්ව විදියේ පූර්ව නිවේදනයක් නිකුත් කරන්නටවත් ඕනේ නැහැ. ඒ තරමට අපේ ජන සමාජය අද වෙනකොට අසංවේදීයි. මේ අසංවේදීතාව කොයිතරම්  ද කියනවා නම් මළ සිරුරක් දෙකක් පෙන්නන්නේ නැති අනතුරක්, අපේ ජනතාවට අනතුරක් නෙමෙයි. ලේවලින් නැහැවිච්ච සිරුරක් දෙකක් නොපෙන්වන පුවතක් සිත් කම්පා කරවන පුවතකුත් නෙමෙයි. දශක ගණනාවක් පුරා කුරිරු යුද්ධයක අමිහිරි අත්දැකීම් ඕනැ තරම් විදලා තිබුණත්, මළ මිනී දහස් ගණනකගේ සේයා රූ දැක තිබුණත් තව තවත් මළ මිනී දකින්නට, තව තවත් ලේ දකින්නට අප තුළ ඇති සැගවුණු අශ්ලීල ආසාව තවමත් පහව ගිහින් නැහැ. ලංකාවේ සියලුම පුවත්පත්වල මුල් පිටුවේත්, ලංකාවේ සියලුම විද්යුත් මාධ්‍යවල ප්‍රධාන පුවත්වලදීත් මළ මිනී, ලේ නොඅඩුව පෙන්වන්නේත්, ඒවාට සමාජායෙන් කිසිම විරෝධයක් එල්ල නොවන්නේත් ඒ නිසයි.

ලංකාවේ අපේ මාධ්‍ය තමන්ගේ මාධ්‍ය ලේවලින් නහවද්දී  ශිෂ්ට යැයි සම්මත ලෝකයේ මීඩියා ගමන් කරන්නේ මීට මුළුමනින්ම විරුද්ධ ගමනක. ශිෂ්ට සම්පන්න කිසිම රටක පුවත්පත්වල විශේෂයෙන්ම මුල් පිටුවේ ඔබට මෘත දේහයක් තබා එකම ලේ බිදුවක්වත් දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතාම විරල අවස්ථාවක එවැන්නක් පළ වන්නේ නම් ඒ අතිශය විශේෂ පනිවිඩයක් ලබා දෙන්නටම පමණයි. මෑත ඉතිහාසයේ ඇමරිකාවේ සිදු වූ දැවැන්තම ඛේදවාචකය වූ 9/11 සිදුවීමේ දී  කිසිදු මාධ්‍ය ආයතනයක් ඒ අනතුරේ භෞතික විනාශය මිස මළ සිරුරු පෙන්වන්නට ගියේ නැහැ. (ඒත් මේ අනතුර නිසා මිය ගිය අයගේ මළ සිරුරු පුවත්පතේ මුල් පිටුවේ පළ කරන්නට රොයිටර් ප්‍රවෘත්ති සේවය ඔස්සේ සොයා, එවැනි එකම පින්තූරයක්වත් සොයා ගන්නට නොහැකිව බලාපොරොත්තු සුන් වූ සිතැතිව සිටි ලංකාවේ ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් ගැන පුද්ගලික අත්දැකීමක් මේ වෙලාවේ මගේ මතකයට එනවා). දහස් ගණනක් මිය ගිය අතිශය දරුණු භූමිකම්පාවක් ජපානයේ මෑතක දී සිදුවුණා. ඒත් ජපානයේ කිසිම මීඩියා ආයතනයක් එකම මළ සිරුරක්වත් පෙන්නන්න ගියේ නැහැ. ඒ වෙනුවට ජපාන පුවත්පත්වල මුල් පිටුවේ පළ වුණේ මළ සිරුරු වසා තිබූ විනිවිද නොපෙනෙන විශාල නිල් පැහැති ප්ලාස්ටික් කවරයක් විතරයි. අපේ රට කම්පා කළ සුනාමියේ දී ලංකාවේ සියලුමමාධ්‍ය ආයතන මළ සිරුරු හඹා යද්දී ලෝක ජනමාධ්‍ය ඒ විනාශය සිත් කම්පිත කරවන ආකාරයෙන් වාර්තා කළේ එකම ලේ බිදුවක්වත් නො‍පෙන්වමිනුයි. මේ විදියේ උදාහරණ සිය දහස් ගණනක් තියෙනවා. පොදුවේ කියනවා නම් ශිෂ්ට සම්පන්න මාධ්‍ය භාවිතයක් තියෙන කිසිම රටක දී ඔබට මළ සිරුරුක් තබා ලේ බිදුවක්වත් මාධ්‍ය මගින් දකින්නට බැහැ.

aylan5

කැනඩාවේ රැකවරණ සොයා නැව් නැගි මේ මේ සිරියානු දරුවා නැවෙහි පටවා සිටි අධික මිනිසුන්ගේ බරින් පෙරළි ගිය යාමෙන් පසු ඔහුගේ මළ සිරුර වෙරළට පාවී තිබූ අයුරුයි මේ. එහෙත් මේ ඡායාරූපය බොහෝ පුවත්පත්වල පළ කෙරුණේ දරුවාගේ මුහුණේ රුව පැහැදිලිව නොපෙන්වන අයුරිණි.

මේ කරුණ කියද්දී තවත් එක්තරා පුද්ගලික කරුණක් මගේ සිහියට නැගෙනවා. මෙයින් අවුරුදු දහයක දොළහකට පමණ පෙර මා දිවයින පුවත්පතේ සේවය කරමින් සිටිය දී අපි දෙතුන් දෙනෙක් එකතු වී පත්තරේ මුල් පිටුවේ මළ සිරුරු නොපන්වන්ට කතිකා කරගත්තා. ඒ කාරණයට ඉහළ කළමනාකාරීත්වයේ කැමැත්ත ගැනීමේ කාර්යය මට පැවරුණා. මා මවිතයට පත් කරමින් ආයතනයේ ඉහළම කළමනාකාරීත්වයෙන් ඒ කරුණට ලැබුණේ මා බලාපොරොත්තු නොවුණාටත් තරම් ඉහළ අනුමැතියක් හා ආශිර්වාදයක්. සම්ප්‍රදායික මාධ්‍ය කලාවෙන් තෙම්පරාදු වෙලා හිටිය කර්තෘ මණ්ඩලයේ ඇතැම් පැරණි සාමාජිකයන්ගේ විවිධාකාර අපහාස උපහාසයන් මැද්දේ වුණත් මේ අදහස අපි ක්‍රියාත්මක කළා. එත් ඒ සති දෙක තුනකට වගේ බොහොම කෙටි කාලයකට විතරයි. ඒකට හේතුව කර්තෘ මණ්ඩලයෙන්වත්, කළමනාකාරීත්වයෙන්වත් ඇති වෙච්ච විරෝධයක් නිසා නෙමෙයි. කියන්නටත් ලැජ්ජා වුණත් ඒ විරෝධය ආවේ පාඨකයන්ගෙන්මයි. “ අපි නිවුස් එක බලන්න ඔයාලගේ පත්තරේ ගන්න ඕනේ. ඒත් පිංතූර බලන්න සල්ලි දීලා තව පත්තරයක් ගන්න ඕනේ  ” අපිට ලැබුණු බොහොමයක් දුරකථන ඇමතුම්වල කෙටි සාරාංශය වුණේ එකයි. මීඩියා කියන්නේ ව්‍යාපාරයක් නිසා පුවත්පතේ අලෙවිය රැක ගැනීම වෙනුවෙන් ඒ අදහස ආරම්භයේ දීම මරා දමන්නට සිද්ධ වුණා. නොසෑහෙන්න මළ මිනී දැක ඇතත්, මහා සාගරය තරම් ලේ ගංගා දැක තිබුණත් තව තවත් ඒ අශ්ලීල දර්ශන දකින්නට අපේ ජනතාව තුළ තියෙන නොතිත් ආශාව කෙළවරක් වෙලා නැහැ නේද කියන කාරණය ලංකාවේ ඕනෑම පුවත්පතක්, ඕනෑම විද්යුත් මාධ්‍යයක් දකින හැම මොහොතකම තහවුරු වෙනවා. පහුගිය දවස්වල ලංකාවේ සිදුවූ නාය යාමක දී පවා අනතුරින් මිය ගිය ගැබිණි මවකගේ සිරුරක් අපේ මාධ්‍ය තලු මරමින් පුන පුනා පෙන්නුවේ පිළිකුල් රසය ඉස්මතු කරවමින්. ජාතක අනතුරක දී අපේ ජනතාව ජාති භේද නොතකා එකිනෙකාට උදව් කරන්නට එකතු වන බව නිතරම කියැවෙන කාරණාවක්. ගංවතුරකදී, නාය යාමක දී විපතට පත් වූවවන්ට උදව් පදව් කරන්නට එකමුතු වන පිරිස ෆේස්බුක් වගේ මාධ්‍ය මගින් නිරන්තරයෙන් දකින්නටත් ලැබෙනවා. ඒ වගේ එකමුතුවක් ඇති කරවන්නට එහෙමත් නැතිනම් තවත් කෙනෙකුගේ විපතට පිහිට වන්නට ඉදිරිපත් වන මනසක් නිර්මාණය කරවන්නට මේ විදියේ අශ්ලීල මීඩියා භාවිතයක් අත්‍යවශ්‍ය වන තරමටම අපේ මනස අසංවේදී වි ඇතිය යන සාධකය අපි ඇත්තටම කතා කරන්නට මැලි වන එහෙමත් නැතිනම් අපි නොසිතන කාරණාවක්.

AUS_GCB_tsunami

මළ සිරුරුක් නොපෙන්වා ව්‍යසනයක භයංකාරත්වය, ලේ නොපෙන්වා අනතුරක බියකරුබව පෙන්වන්නේ කොහොමද කියන කාරණය අපේ මීඩියා වෙනමම ඉගෙන ගත යුතු දෙයක්. අඩුම තරමින් ශිෂ්ට සම්පන්න ලෝකයේ රූපවාහිනි ප්‍රවෘත්ති, පත්තර මුල් පිටු බලනවා එන අපේ මීඩියා ඔස්තාර්ලාට ඒකත් හොද අත්පොතක් වේවි. ශිෂ්ට ලෝකය තුළ මළ මිනී, ලේ වැකුණු සිරුරු නොපෙන්වීමට පදනම් වුණු කාරණා කිහිපයක්ම තියෙනවා. මුල්ම කාරණාව මිය ගිය තැනැත්තාට දක්වන ගෞරවය. ජීවත් වුණත්, මිය ගියත් මිනිසෙකු කෙරෙහි තිබිය යුතු මානුෂීය ගෞරවය සුළු කොට තැකිය යුතු නැහැ. දෙවැනි කාරණාව ඒ පුද්ගලයාගේ සමීප ඥාතීන් සහ හිතුවතුන් කෙරෙහි තිබිය යුතු ගෞරවය. කිසියම් කරුණක් මීඩියා මගින් ප්‍රසිද්ධියට පත් කළ පසු එය මුළුනින්ම බලපාන්නේ එම තැනැත්තාගේ සමීපතම පවුලේ සාමාජිකයන්ට බව අපේ ජනමාධ්‍ය කිසිසේත්ම නොසිතන කාරණාවක්. (ඉහතින් සදහන් කළ නායයාමෙන් මිය ගිය ගැබිණි මවගේ සැමියාට, දෙමව්පියන්ට, සහෝදර සහෝදරයින්ට පමණක් නෙමෙයි ඇයට තවත් දරුවන් ඇති නම් ඒ අයට මේ ඡායාරූපය තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම අමතක නොවන අප්‍රසන්න සහ සිත් කම්පිත කරවන මතකයක් වන බව අපේ මීඩියා ඔස්තාර්ලාට නම් තමන්ගේ ජීවිත කාලය පුරාවටම සිතෙන එකක් නැහැ.) ශිෂ්ට ලෝකයේ මීඩියා මගින් මළ මිනී නොපෙන්වන ඊලග කාරණාව නම් ඒ තුළින් සමාජයට ඇතිවන බලපෑමයි. කිසියම් කරුණක් සමාජය තුළ කම්පනයක් ඇති කරන්නට හැකියාව ලැබෙන්නේ ඒ කාරණාව කොයි තරම් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට පුළුවන් ද කියන කාරණාව මත මිසක් පෙන්වන මළ මිනී සංඛ්‍යාව මත නෙමෙයි. අපේ මාධ්‍ය වලට වටහා ගන්නටම අපහසු කාරණාව නම් ඒකයි. ඒත් නිර්මාණාත්මක චින්තනය කියන එක අනුරාධපුර යුගයෙන් පටන් ගෙන මහනුවර යුගය පසු කළාට පස්සේ පිරිහෙන්නට පටන් අරන් දැන් නැත්තටම නැති වෙලා තියෙන නිසා ඒ කාරණාව වටහා ගන්නට නම් ඒ තරම් පහසු වෙන එකක් නැහැ.

Picture 068

සුනාමි ව්‍යසනය සමයේ දී සංචාරයකට පැමිණි සංචාරක යුවළකගේ මේ ඡායාරූපය ඩෙන්මාර්ක් පුවත්පතක පළ වූයේ කිසියම් උපහාසාත්මක අරුතක් (සංචාරකය යුවළ සම්බන්ධයෙන්) මතු කරවීමේ අරමුණිනි.

 

මා ජීවත් වෙන කැනඩාව මාධ්‍ය සදාචාරය ඉහළින්ම සුරකින රටක්. ශිෂ්ට මාධ්‍ය සදාචාරයක් පවතින සෙසු රටවල මෙන්ම කැනඩාවේත් කිසිම විදියකින් තමන්ගේ පුද්ගලික ඡායාරූපයක් තමන්ගේ අවසරයකින් තොරව කිසිම විදියකින් ප්‍රචාරය කරන්නේ නැහැ. පාසලකට දරුවකු ඇතුළත් කිරීමේ දී පවා දරුවාගේ පාසල් ක්‍රියාකාරකමක හෝ බාහිර ක්‍රියාකාරකමක ඡායාරූපයක් පාසලේ වෙබ් අඩවියේ හෝ වෙනත් ස්ථානයක පළ කිරීමට දෙමව්පියන්ගේ කැමැත්ත අකමැත්ත ලිඛිතව ලබා ගන්නවා. තමන්ගේ දරුවාගේ ඡායාරූපයක් කිසිම විදියකින් කිසිම තැනක පළ වෙනවාට දෙමව්පියන් අකැමැති නම් එම දරුවාගේ රුව පාසලේ වෙබ් අඩවියේවත් කිසිම විදියකින් පළ කෙරෙන්නේ නැහැ. පාසලෙන් රැගෙන යන විනෝද සවාරියක දී පවා විනෝද සවාරියට පෙර එවැනි අනුමැතියක කැමැත්ත අකමැත්ත ඉල්ලා ගෙදරට ලිපියක් එනවා. මහජන අවධානය යොමු වූ බරපතල නඩු කටයුත්තක දී පවා කිසිම විදියකින් අධිකරණ භූමිය තුළ එම තැනැත්තන්ගේ සජීවී රූ විකාශය කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට විකාශය කෙරෙන්නේ අතින් ඇදුණු රූ සටහනක් පමණයි.

සුනාමි ව්‍යසනය අපේ පුවත්පත්වලින් මළ මිනී පුරවමින් පෙන්වද්දී එකම මළ සිරුරක් හෝ ලේ බිදුවක් හෝ නොපන්වා සුනාමි ව්‍යසනයේ බියකරුබව අපේ අසල්වැසි ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතින් සහ බටහිර පුවත්පතකින් පෙන්වූ අපූරුව

මෙතැන දී පෙන්වා දිය යුතු උපහාසාත්මකම කරුණක් තියෙනවා. ලංකාවේ අපේ මාධ්‍ය  කිසිම බියක් සැකක් නොමැතිව ජීවත් වන්නන් ගැන පවා නොසිතා මළ මිනී පෙන්නුවත් තමන්ගේ සාක්කුවට බලපාන කරුණු ගැන දක්වන්නේ සුනඛයා වල්ගය කොතැන හෝ ගහ ගන්නට ගන්නා උත්සාහය වගේ දෙයක්. කිසිම හිරිකතයකින් තොරව “ නිරභීතව, එඩිතරව ” මළ මිනීවලින් තමන්ගේ පත්තරවල මුල් පිටු එහෙමත් නැතිනම් තමන්ගේ ප්‍රවෘත්ති පුරවා ගන්නා අපේ මීඩියා තමන් කත් අදින දේශාපාලකයන් ගැන එහෙමත් නැතිනම් තමන්ට දැන්වීම් දෙන මහා පරිමාණ මුදලාලිලා ගැන අහිතකර පුවතක් කිසිසේත්ම පළ කරන්නේ නැහැ. පළ කරන්නට සිදුවන අවස්ථාවක දී පවා එය පළ කරන්නේ බොහෝ වෙලාවට නම් ගම් හෙළි නොකර. පුද්ගලිකත්වය ඉහළින්ම සුරකින කැනඩාව වැනි රටවල මාධ්‍ය එවැනි කරුණු ගැන නම් කිසිසේත්ම අනුකම්පාවක් දක්වන්නේ නැහැ. කිසියම් පාරිභෝගික නිෂ්පාදනයක් මිනිස් පරිභෝජනය නුසුදුසු වෙච්ච අවස්ථාවක එහෙමත් නැතිනම් කිසියම් සේවාවකින් මහජනාතාවට හිරිහැර සිදුවෙච්ච අවස්ථාවක එය රාජ්‍ය අංශයෙන් සිදුවුණත්, පුද්ගලික අංශයෙන් සිදුවුණත් ඒ සියලු නම් ගම් නිෂ්පාදනවල ඡායාරූප පවා සහිතව පළ කරන්නේ සිය වගකීම මූලිකවම ඇත්තේ මහජනතාව වෙනුවෙන් බව නිවැරුදිවම වටහා ගනිමිනුයි.

ලංකාවේ මාධ්‍යවල මේ තරම් අසෝභන ජුගුප්සාජනක සහ අශ්ලීල දේ ප්‍රචාරය වුණත් ඒ ගැන සැලකිය යුතු මහජන විරෝධයක්වත් පොදු ජන කතිකාවතක්වත් ඇති නොවන්නේ අපේ සමාජය එවැනි කරුණු ගැන ඒ තරමටම අසංවේදී වෙලා තියෙන හින්දයි. ලංකාවේ මීඩියා මේ තරම්ම මළ මිනී විකුණනන්නේ එවැනි ඉල්ලුමක් සමාජයෙන් ලැබෙන නිසා බවත් අමතක කරන්න බැහැ. එත් සාපේක්ෂව වඩා දියුණු මාධ්‍ය සදාචාරයක් ඇති රටවල මාධ්‍ය මගින් ප්‍රචාරය වන “ නරක ” යැයි සම්මත සුළු කරුණු ගැන පවා ඔවුන් බෙහෙවින්ම සැලකිලිමත් වෙනවා විතරක් නෙමෙයි ඒ ගැන නිරන්තර පර්යේෂණ පවා සිදු කෙරෙනවා. නරක ප්‍රවෘත්ති පුවත්පත්වල ප්‍රධාන පුවත් මවන්නේ ඇයි යන්න කෙරෙහි පවතින මානසිකත්වය ගැන කැනඩාවේ McGill සරසවිය මෑතක දී පර්යේෂණයක් සිදු කළා. මේ පර්යේෂණයේ ප්‍රතිළුලවල ඉහළ නිවැරදිතාවයක් ලබා ගැනීම සදහා ඔවුන් තමන්ගේ පර්යේෂණයේ අරමුණ ඊට සහාභාගි වන්නන්ට හෙළි කළේ නැහැ. ඒ වෙනුවට පර්යේෂකයන් ඊට සහභාගි වූ පිරිසට තමන්ගේ විද්‍යාගාරය තුළට පැමිණෙන්නට කීවේ “ ඇස ගැන කරන පරීක්ෂණ කටයුත්තකට ” සහභාගි වෙන්නට කියලයි. විද්‍යාගාරය තුළ දී මේ අයට විවිධාකාර වූ ප්‍රවෘත්ති නරඹන්නට ඉඩකඩ ලැබුණා. ඔවුන් ඒවා නැරඹූ සමස්ත කාලය තුළ දීත්, නැරඹීමෙන් පසු සිදු කළ ප්‍රශ්නාවලියෙනුත් යන දෙකෙන්ම තහවුරු වුණේ ධනාත්මක අර්ථය දනවන දේ වලට වඩා නිශේධනාත්මක අරුත දනවන දේ කෙරෙහි ඔවුන් වැඩි නැඹුරුවක් තිබූ බවයි. තමන්ට වඩාත් හුරුපුරුදු “Baby”, “smile” සහ “ fun” ආදී වූ වචන වෙනුවට “bomb”, “cancer”  සහ “war” ආදී වචන කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානයක් සහ වඩා ඉක්මන් ප්‍රතිචාරයක් ලැබුණු බව මෙහි දී තහවුරු වුණා. ඒ වගේම මේ සමීක්ෂණයේ දී තයවුරු වූ තවත් කාර‍ණාවක් වු‍ණේ මේ වගේ කාරණාවලදී සෙසු මිනිසුන්ට වඩා අපි ඉදිරියෙන් සිටින්නේය යන මතය අප බොහෝ දෙනෙක් විශ්වාස කරන බවයි. නිශේධනාත්මක එහෙමත් නැතිනම් සුබදායී නොවන ප්‍රවෘත්ති වලට අපේ කැමැත්තක් නැති බව අපි නිතර නිතර කිව්වත් ඇත්තෙන්ම අපේ හිත යට කැමැත්ත ඇත්තේ ඒවාට බව මේ පරීක්ෂණයෙන් එළිදරවු කෙරුණු වැදගත්ම කාරණාවක්. සමස්තයක් ලෙසින් ගත් විට මේක මානව පරිණාමයේ දී මිනිසා තුළ තවමත් ඉතිරි වී ඇති “ තිරිසන් ලක්ෂණයක් ” විදියට හදුන්වන්න පුළුවන්. ලංකාවේ අපි සම්බන්ධයෙන් ගත් විට මළ මිනී දකින්නට, ලේ දකින්නට අකැමති බව අපි මතුපිටින් කොයි තරම් ප්‍රකාශ කරන්නට හැදුවත් අපි බොහෝ දෙනෙක්ගේ යටි හිතේ කොණක ඒ ආසාව ප්‍රබලව මතුවෙලා තියෙන බව අමතක කරන්නට බැහැ.

මේ කාරණාවේ දී ඔබ සිටින්නේ කොතැන ද කියන එක ගැන වටහා ගන්නට ඔබටම කරන්න පුළුවන් ස්වයං පරීක්ෂණයක් තියෙනවා. මළ මිනි, ලේ විතරක් නෙමෙයි මෙලෝ රහක් නැති කාලය කා දමන දේශපාලන සංවාද, ගොසිප් වෙබ් අඩවිවල, ෆේස්බුක් වැනි සමාජ ජාලයන්හි පළවන වීඩියෝ සහ පිළිකුල් රසය මතු කරවන ඕපාදූප මේ ආදී වූ හැම දෙයක් කෙරෙහිම ඔබේ අවධානය යොමු වෙන්නේ කොයි ආකාරයෙන් ද කියන එක ඔබටම අත්හදා බලන්නට පුළුවන්. ඔබ ඔබටම අවංක වෙන්නේ ඔබ වඩාත් අවධානයෙන් කියවන්නේ, නරඹන්නේ ඔබේ ඇස ගැටෙන කවර පුවතක් එහෙමත් නැතිනම් කවර ආකාරයේ වීඩියෝවක් කෙරෙහි ද යන්න මගින් ඔබට ඔබ ගැනම තක්සේරුවක් කරගන්න පුළුවන්. මේ කාරණය සංසන්දනාත්මකව බලනවා නම් වඩාත් පැහැදිලි සිතුවමක් ඔබට මතු කරගන්න පුළුවන් වේවි. උදාහරණයක් විදියට ඔබ සතුව ඇති සීමිත කාලය තුළ දී ඔබ නරඹන්නට වඩාත් නැඹුරුවක් දක්වන්නේ එකිනෙකාට මඩ ගසා ගන්නා දේශපාලන සංවාදයක් ද? නැතිනම් සාහිත කලාව හෝ පරිසරය සම්බන්ධයෙන් වෙන් වූ වැඩසටහනක් ද ? පුවත්පතක දී ඔබේ නෙත නතර වන්නේ දේශපාලන ඕපාදූපයක් හෝ නළු නිළියන්ගේ අනියම් පෙබ් සබදතාවක් ගැන වූ පුවතක් ළග ද? නැතිනම් ඔබේ දැනුමට යමක් එක් කරගත හැකි පුවතක් ළග ද?  හාන්සි පුටුවක් මත දී ඔබේ විවේකය ගෙවා දමන්නට ඔබ තෝරා ගන්නේ කවරාකාරයේ වූ රූපවාහිනී වැඩසටහනක් හෝ ටෙලි නාට්යයක් ද, නැතහොත් පොතක් පතක් කියැවීම හෝ වෙනත් කවර වූ විනෝදාත්මක කාර්යයක් ද? ඒ අනුව ඔබත් තවත් එක් අතිශය සාමාන්‍ය වූ මිනිසෙක් ද නැතිනම් ඊට තරමක් ඔබ්බට ගිය සාමාන්‍ය සමාජයෙන් ඉදිරියට ගිය මිනිසෙකු ද යන්න ඔබටම වටහා ගන්නට පුළුවන්.

බුදුන් වහන්සේ අවුරුදු දෙදහස් පන්සියයක් තරම් ඈතක දී කි කරුණ මෙතැන දී මුළුමනින්ම අදාළයි. ඔබ කවුරුන්ද යන්න තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි.

වහින්නට හැකි නම් ගිගුම් දී…

untitled.png

එක්තරා සති අන්තයක උදයේ පුස්තකාලයට ගොඩ වැදුණු මොහොතක ලංකාවේ හිතවතෙකු මුණ ගැහුණා.

ආගිය තොරතුරු කතා කර සමුගන්නා අතරේ ඔහු එක්වරම මෙහෙම කිව්වා.

“ ඔක්කොමත් හරි මේ චුරු චුරු වැස්ස තමයි මට පෙන්නන්නම බැරි… ” ඇත්තටම ඔහුගේ මුහුණේ තිබුණේ දැඩි නොපහන් බවක්. පුස්තකාලයේ පුළුල් වීදුරු බිත්තියේ එපිටින් ඒ මොහොතේත් සිහින් වැහි බිදු ඇද වැටෙමින් තිබුණා. මේ සිරිපොද වැස්ස වැන්කුවර් නගරයට බොහොම හුරු පුරුදු දෙයක්. පුස්තකාලයට මායිම් වෙච්ච බිම් තීරුවේ මේපල් අතු රිකිළි අතරින් හීන් සීරුවට ඇද වැටෙන වැහි බිංදු මගේ හිතට චමත්කාරයක් ඇති කරමින් තිබුණත් මං ඔහුට විරුද්ධ වෙන්න ගියේ නැහැ. ඔහු මගෙන් සමුගෙන පුස්තකාලයේ දොරටුවෙන් පිටවෙලා ගියේ බොහොම තරහින් , “ මේ වැස්ස නිසා එළියට බහින්නවත් හිතෙන්නේ නැහැ ” කියලා කියන ගමන්.

ඒ සිදුවීම වුණු දවසේම පුස්කකාලයෙන් ගෙනාපු පොතක් කියවන්නට කලින් එහි පෙරවදන කියවන අතරේ හරිම අපූරු සිදුවීමක් ඇහැ ගැටුණා. වැන්කුවර්හි ජීවත්වන විදේශීය ලේඛකයකු වන එම ලේඛකයා තමන්ගේ පෙරවදනේ සදහන් කරලා තිබුණේ ඔහු වැන්කුවර් නගරයට ආදරය කරන එක් කාරණයක් නම් මේ අපූරු වැස්ස නිසා බවයි. ඒ පෙරවදන කියවද්දී මට සිහිපත් වුණේ මීට අවුරුදු ගණනාවකට කලින් සාහිත්‍ය මාසය වෙනුවෙන් කරපු පුවත්පත් සාකච්ඡාවක දී කේ. ජයතිලක සහ ජයකොඩි සෙනවිරත්න කියන ප්‍රසිද්ධ ලේඛකයන් දෙදෙනාම මට කිවුව කතාවක්. ඔවුන් කිවුවේ ඔවුන්ගේ නිර්මාණ ජීවිතය දිහා පසුපස හැරිලා බලද්දී ඔවුත් අතින් වැඩිපුරම පොත් පත් ලියැවිලා තියෙන්නේ වැහිබර කාල සීමාවලදී බව සිහිපත් වෙන බවයි. ඒ නිසා වැස්ස කියන්නේ තමන්ගේ නිර්මාණ ජීවිතයට ආශිර්වාදයක් කියලා තමයි ඔවුන් කිව්වේ.

වර්ෂාව කියන කාරණය එක් අයෙකුගේ ජීවිතයට ආශිර්වාදයක් වෙද්දී තවත් කෙනෙකුට ජීවිතය අප්‍රසන්න කරවන සිදුවීමක් වෙන හැටි ගැන හිතලා බලන එකත් හරිම අපූරු දෙයක්. වැස්ස විතරක් නෙමෙයි ජීවිතයේ අපිට හමුවෙන ඕනෑම දෙයක් දිහා අපි බලන දෘෂ්ටි කෝණය අපේ ජීවිත වලට කොයි තරම් බලපෑමක් කරනවා ද කියන කාරණය හිතාබලන්න වටින දෙයක්. බොහෝ පිරිසකගේ හදවතට සමීප ගායකයෙකු වන බොබ් මාලේ එක්තරා අවස්ථාවක හරිම ලස්සන කියමනක් කිව්වා. “ සමහරු වැස්ස වින්දනය කරති. අනෙක් අය ඔහේ වැස්සට තෙමෙති ”(Some people feel the rain, Others just get wet). බොබ් මාලේගේ ඒ කියමන හරිම ගැඹුරුයි. බොබ් මාලේ තමන්ගේ සංගීත සම්ප්‍රදාය තුළින් උත්සාහ කළේ කිසියම් සමාජීය පරිවර්තනයකට මුල පුරන්න. සමහර විට ඔහු ඒ කියමන කියන්නට ඇත්තේ ඒ අරමුණින් වෙන්නට ඕනේ. වැස්ස වගේම සංගීතය වුණත් වින්දනය කරන්න හැමෝටම හැකියාවක් නැහැ. ගීතයක්, නවකතාවක්, කවියක් විතරක් නෙමෙයි සුළගට වැනෙන බෝ කොළයක් වුනත් වින්දනය කිරීමේ හැකියාව හැම දෙනාටම පිහිටලා නැහැ. එක්තරා රටාවකට අතුගාලා තිබුණු පන්සලේ මිදුලේ වැලි මළුව දිහා බලාගෙන ඉදීමෙන්ම පමණක් රහත් වුණු හිමි නමක් ගැන කතාවක් බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. පොළොන්නරුවේ තිවංක පිළිම ගෙයි බුදු පිළිමය ඉදිරිපිටම තියෙන බිතු සිතුවම් අතර කාන්තාවක් හා පුරුෂයෙක් ලිංගික කටයුතුවල යෙදෙන සිතුවක් සහිතව අසංඛ්‍යවතී ජාතක කතාව සිතුවමට නැගිලා තියෙනවා. ජාතක කතා පොත් වහන්සේ ගත්තත් අද දවසේ අරුතින් ගත්තම ඉතාම අසභ්‍ය කතා කිහිපයක්ම එහි තියෙනවා. ඒත් වින්දනය කියන හැගීම අදට වඩා එදා අපිට තිබුණු නිසා ඒවායේ සැබෑ අරුතින් රස වින්දනය කිරීමේ හැකියාව පැරණි සමාජයට තිබුණා.

ශේක්ස්පියර් තමන්ගේ හැම්ලට් නාට්‍යයේ එක්තරා අවස්ථාවක මෙහෙම සදහන් කරනවා. හොද හෝ නරක කියා කිසිවක් නැහැ. අපි සිතන සිතිවිලි අනුවයි ඒක තීරණය වෙන්නේ. (There is nothing either good or bad, but thinking makes it so). මේ අදහස බුදුන් ලොවට කිවුවේ ශේක්ස්පියර්ලා බිහිවෙන්න බොහොම කලින්: “ ඔබ සිතන්නේ කුමක් ද යන්න අනුව ඔබේ ජීවිතය තීරණය වන්නේය ” (What you think, you become).

වින්දනය කියන කාරණාව කිසිසේත්ම සරල දෙයක් නෙමෙයි. යමක් වින්දනය කිරීමේ හැකියාව කෙනෙකුට ලැබෙන්නේ විචාරශීලීව යමක් දිහා බලන්න පුළුවන්නම් විතරයි. එත් ජාතිකයක් විදියට අද අපි ඉන්නේ සියවස් ගණනාවකින් පිටුපස්සේ. සීගිරි සිතුවම් බිහිවුණු, කැටපත් පවුරේ කුරුටු ගී ලියැවුණු, තිවංක පිළිමගෙයි බිතු සිතුවම් නිමැවුණු, ජාතක පොත් වහන්සේ සිංහලයට නැගුණු යුගයේ සිටි ජාතිය අද නැහැ. ඒ වෙනුවට අද ඉතිරි වෙලා සිටින්නේ ඔපෙරා ශෛලියෙන් ගීයක් ගැයුවාම බුදු දහම විනාශ වෙලා යනවා කියලා හිතන, සිවුරක් දරාගෙන කෑ ගැසීමෙන් සිංහල බෞද්ධ ජාතිකත්වය සුරකින්නට පුළුවන් කියලා හිතන, එක් එක් දේශපාලකයන්ගේ වහලුන් වෙලා ඔවුන් වෙනුවෙන් කොදු ඇට පෙළ හතර අතට නවා ගන්නා නිවට නියාළු පරපුරක්. ජාතියක් විදියට මේ නිවට නියාළු බවට අද අපි කොයි තරම් වහළුන් වෙලා තියෙනවා ද කියනවා නම් අනේ අපි වහළුන් නේද කියලා හදුනා ගන්නවත් හැකියාවක් අද අපිට නැහැ. මේ නිසාම තමන්ගේ හිත ගත්ත දේශපාලන නායකයාගේ ඕනෑම අමනකමක් ඉතාම ඉහළින් ඔසවා තබන්නත්, තමන්ට විරුද්ධ දේශපාලන නායකයාගේ ඕනෑම යහපත් කාරියක් හෙළා දකින්නත් තරම් අපි ඉන්නේ මං මුළාවූ චින්තනයක. මේ නිසා ආණ්ඩු පෙරළුණත් කොයි කවරදාකවත් පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න ‍මුහුණු ටික වෙනස් වෙන්නේ නැහැ.

වින්දනය කිරීමේ හැකියාව මේ විදියට අපෙන් ක්ෂය වෙලා ගිහින් තියෙන නිසා දේශපාලනයෙන් විතරක් නෙමෙයි, කලාවෙන් සංගීතයෙන් බණ දහමින් පවා ඕනෑම කතක්කඩියෙකුට අපේ පරපුර මන මෝහනය කරවන්න පුළුවන්. උද්ඝෝෂණ පෙළපාලිවල දේශපාලන පාට් දමන චීවරධාරීන් අහවල් සේනාව, අහවල් බලකාය, අහවල් බලය ආදී වූ විවිධ නම්වලින් සංවිධාන බිහි කරද්දී ඒවා පසුපස දුවන්නට තරම් පරපුරක් බිහිවෙලා තිය‍න්නේත් රස විදීම සම්බන්ධයෙන් අපිට තියෙන මේ මූලික ආබාධය නිසයි. රූපවාහිනියේ ගුවන්විදුලියේ කැමරාව ඉදිරියේ පෙනී සිටිමින් ජනප්‍රිය වෙච්ච, ඒ වගේම භාවනා, අධ්‍යාත්මික වැඩසටහන් මගින් ජනප්‍රිය වෙච්ච බොහොම ප්‍රසිද්ධ ඇතැම් හිමිවරුන්ගේ බණ අහන්නට ලැබෙද්දිත් දැනෙන්නේ අපේ මිනිසුන්ව මුලාකරවන්න කොයි තරම් පහසුවෙන් පුළුවන් ද කියන කාරණයයි. දුවන්නන් වාලේ දුවනවා මිසක් තමන් දුවන්නේ කවුරුන් පසුපස්සේ ද තමන්ට මග පෙන්වන අධ්‍යාත්මික ගුරුවරයා මේ කියන්නේ බුද්ධියට ගෝචර වන කරුණු ද කියලාවත් හිතන්නට තරම් අඩුම තරමින් කාලාම සුත්‍රයේ සරල මූලධර්ම කිහිපයවත් තමන්ගේ එදිනෙදා ජීවිතයට සමීප කරගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නැහැ.

කිසිම කෙනෙගේ චින්තනමය වහලෙකු නොවී විචාර බුද්ධියෙන් යමක් දිහා බලන්නට එහෙමත් නැතිනම් යමක් සැබෑ ලෙසින්ම විදින්නට අපිට හැකිනම් දේශපාලකයන්ට, කලාකරුවන් යැයි කියාගත් කලාහොරුන්ට, චීවරධාරීන්ට විතරක් නෙමෙයි ‍අධ්‍යාත්මික නායකයන් යැයි කියාගත් ඔය ‍බොහොමයක් පිරිසට අපේ මනසට රිංගලා අපිව වහළුන් බවට පත්කරවන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒත් මේ චින්තනමය වහල් භාවයට අපි කොයි තරම් ඇබ්බැහි වෙලා තියෙවාද කියනවා වහල් කදවුරෙන් පිටත තියෙන නිදහස් ‍ලෝකයේ සුවද කොයි තරම් ද කියලා හිතන්නවත් අපි බයයි. අපේ ඔළුගෙඩි ඇතුළේ අපිම නිර්මාණය කරගෙන තියෙන මේ දැවැන්ත ප්‍රතිරූප බිද දමන තාක් ඒ නිදහසේ සුවද අපිට උරුම වෙන්නේ නැහැ. ඒත් ඒ ප්‍රතිරූප බිද දමා අනුනේ ඔළු ගෙඩි තුළින් වෙනුවට අපේම මනසින් ලෝකය දිහා බලන්නට පුරුදු පුහුණු වෙච්ච දවසක යහපත් රටක් යහපත් සමාජයක් වගේම නිදහස් නිවහල් මිනිසෙක් බිහිවේවි.

මං දිහා බලාගෙන ඉන්නකෝ

පච්චයක් ‍කොටා ගත්ත තරුණ‍යෙක් ‍ලෝක නායක‍යෙක් බවට පත් ‍වෙච්ච මුල්ම අවස්ථාව ගැන එක්තරා පුවත්පතක ‍දින කිහිපයකට ‍පෙර පුවතක් පළ ‍වෙලා තිබුණා. ‍මේ පුවතට පදනම් ‍වෙලා තිබු‍ණු රට කැනඩාව. පච්චය ‍කොටා ගත්ත තරුණයා ජස්ටින් ටෲ‍ඩෝ. පහුගිය සති‍යේ පැවැති කැ‍නේඩියානු මහ මැතිවරණ‍යෙන් අති විශිෂ්ට ජයක් ලබා ගත් වත්මන් කැ‍‍නේඩියානු අගමැතිවරයායි ඔහු. ‍ලෝක‍යේ ‍දෙවැනි විශාලතම රට ‍වන කැනඩා‍ව කියන්‍නේ ‍ලෝක බලවතුන් අතර ඉදිරි‍යෙන්ම ඉන්න රටක්. ‍මෙ‍හෙම රටක නායකයා බවට පත්‍ වෙන්නට ඔහුට හැකිවු‍ණේ ‍කො‍හොමද කියන එක අ‍පේ ජීවිතවලට ‍බො‍හොම වැදගත් පාඩමක් කියා ‍දෙනවා.

PageImage-492536-3257494-IMG_06272

මාස ‍දෙකකට ‍පෙර කැ‍‍නේඩියානු මහ මැතිවරණයට දින නියම කරද්දී ටෲ‍ඩෝ කියන්නේ කැ‍නඩා‍වේ නායකයා බවට පත්‍ ‍වෙයි කියලා කවුරුත් හිතු‍වේ නැති ‍කෙනෙක් කියලා කිවු‍වොත් වරදක් නැහැ. ඔහු නි‍යෝජනය කරන ලිබරල් පක්ෂයට කැ‍නඩා‍ පාර්ලි‍‍මේන්තු‍වේ හිමි‍‍වෙලා තිබු‍ණේ ආසන 34 ක් විතරයි. සම්පූර්ණ ආසන සංඛ්‍යාව 308 ක් වුණු කැ‍‍නේඩියානු පාර්ලි‍‍මේන්තු‍වේ ආසන 34 ක් පමණක් හිමිව තිබුණු ලිබරල් පක්ෂ‍යේ ‍මේ තරුණ නායකයා ර‍ටේ පාලනය භාර ගන්නා තැනැත්තා ‍වේවිය කියලා මත විමසුමකින්වත් ‍හෙළි කරලා තිබු‍ණේ නැහැ. ‍බො‍හොම ‍දෙ‍නෙක් හිතුවේ ඔහු දිනුවත් ඔහුට පාලනය පිහිටුවන්න සිද්ධ ‍වෙන්‍‍නේ තවත් පක්ෂයක සහායක් ඇතිව කියලයි. ඒත් අන්ති‍මේදී ඔහු ආසන 184 ක පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත්තා. ඒ කියන්නේ  ඔහු‍ගේ නායකත්වය යට‍තේ පක්ෂය සියයට 150 ක වර්ධනයක් ලබා ගත්තා. මේ වර්ධනය ‍කොයි තරම් පුදුම සහගත ද කියලා ‍පෙ‍‍නෙන්‍නේ කැනඩාවේ බලවත් සියලු පක්ෂ අන්ත කඩා වැටීමකට ලක් කළ ‍‍මෙවර මහ මැතිවරණ‍යෙන් ‍මේ සා විශාල වර්ධනයක් ලබා ගත්ත එකම පක්ෂය ටෲ‍ඩෝ නායකත්වය දුන් ලිබරල් පක්ෂය විතරක්ම නිසයි. අ‍නෙක් සියලුම පක්ෂ තමන්‍ගේ ආසන සංඛ්‍යාව දැවැන්ත විදියට ‍සෝදා පාලුවට ලක් කරගත්තා.

ජස්ටින් ‍ටෲ‍ඩෝ කියන ‍මේ මිනිසා අ‍පේ ජීවිතවලට අපූරු පාඩම් ගණනාවක්ම කියා ‍දෙන අත‍රේ ‍මේ මහ මැතිවරණය ලාංකික ඡන්ද දායකයන්ටත් අපූරු පාඩම් ගණනාවක්ම කියා ‍දෙනවා. ‍

‍ලෝක‍යේ ර‍ටවල් සංවර්ධිත හා අසංවර්ධිත ‍එ‍හෙමත් නැතිනම් තුන් වැනි ‍ලෝක‍යේ රටවල් විදියට හදුන්වා දීම ‍කොයි තරමක් දුරට යුක්ති සහගත ද කියන කරුණ ඇත්‍‍‍තෙන්ම විවාදාත්මකයි. ඒත් විවෘත චින්තනය නිදහස් මානසිකත්වය කියන කරු‍ණේ දී නම් ‍මේ ‍බෙදීම අසාධාරණ නැහැ කියලයි මට හි‍තෙන්‍නේ. වි‍ශේෂ‍යෙන්ම මහ මැතිවරණයක දී එ‍හෙමත් නැතිනම් ර‍ටේ පාලකයන් තෝරා පත්කරගන්නා කවර ‍හෝ මැතිවරණයක දී අපේ ලාංකිකයන් හැසි‍රෙන ආකාරය ගත්තම සංවර්ධිත අසංවර්ධිත කියන ‍බෙදීම සර්ව සාධාරණයි කිව්‍‍වොත් වරදක් නැහැ. ඒකට ‍‍හොදම උදාහරණය පහුගිය මහ මැතිවරණය. ‍ර‍ටේ ජනාධිපති අගමැති කියන තනතුරු ‍දෙක වෙනස් වුණත් පරණ පාර්ලි‍මේන්තු‍වේත් අලුත් පාර්ලිවේන්තු‍වේත් ඉන්න මුහුණු වල ‍වැඩි ‍වෙනසක් නැහැ. ඒකට ‍හේතුව සියලු දූෂිතයන්‍, මහජන මුදල් ගසා කන මං‍කොල්ලකරුවන්‍, ‍මෙ‍ලෝ රහක් නැති නලු නිළියන්… ඔය ‍කොයි කාගේත් සිත් ‍මහ මැතිවරණයේ දී නොරිදවන්නට අ‍පේ ඡන්ද දායකයන් වග බලා ගත්ත නිසයි. සංවර්ධිත චින්තනයක් එ‍හෙමත් නැතිනම් පක්ෂ පාට ‍භේදයකින් ‍තොරව නිවරුදි ‍දේ නිවැරුදි විදියට දකින්න තරම් මානසික නිදහසක් ති‍යෙන ඔලු ‍ගෙඩි අ‍පේ ඡන්ද දායකයන්ට තිබුණා නම් පරණ පාර්ලි‍මේන්තුවේ ති‍යෙන මුහුණු ටිකම අලුත් පාර්ලි‍මේන්තුවටත් එන්න විදියක් නැහැ‍නේ.

කැනේඩියානු මැතිවරණයේ දී අපේක්ෂකයන්ට වියදම් කරන්නට පුලුවන් උපරිම මුදලක් නියම වෙලා තියෙනවා. මේ සියලු මුදල් විගණනයකට ලක්කෙරෙනවා පමණක් නෙමෙයි කවුරුන් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කළොත් ක්ෂණිකවම ඒ පැමිණිල්ල ගැන සොයා බලනවා. කොමිෂන් පත් කරලා කල් මරන්නේ නැහැ. මැතිවරණ සටනින් ජය ලබපු එක් මන්තිරිවරයෙක් අනුමත මුදලට වඩා ඩොලර් දෙදහසක් වගේ සුලු මුදල් වැඩිපුර වියකම් කළ හේතුවෙන් ඔහුගෙ මන්තිරිධුරය අහෝසි කෙරුණේ ක්ෂණිකවමයි. ඒ වගේම පහුගිය සති කිහිපය පුරාම තිබුණු කැනේඩියානු චන්ද සටනේ දී පුද්ගලික මඩ ප්රහාරයන් කිසිවක්ම දකින්නට ලැබුණේ නැහැ.

කැනඩා‍වේ විතරක් ‍නෙ‍මෙයි ‍ලෝක‍යේ දියුණුය කියලා කියන ඕනෑම රටක දූෂිත ‍දේශපාලකයන් ඉන්නවා. ඒත් ඒ රටවලත් අ‍පේ ර‍ටේ ‍වෙනසක් ති‍යෙනවා. ඒ කැනඩා‍ව ව‍ගේ රටවල් ‍කෙ‍නෙක් මහජන මුදල් කොල්ල කෑවොත් එහෙමත් නැතිනම් දූෂකයෙක් වංචනිකයෙක් වුණොත් ඔහුගේ දේශපාලන ගමන එතැනින්ම ඉවරයි. ලංකාවේ වගේ චන්දදායකයන්ගේ ආශිර්වාදය ලැබිලා ආපහු පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු වගේ නොදියුණු මුහුකුරා නොගිය මනස් ලෝකයේ දියුණුය කියන රටවල නැහැ. ඒ කියන්නේ අපේ රටේ ඡන්දදායකයන් වගේ දියුණු රටවල මිනිසුන් මානසික වහලුන් බවට පත්වෙලා නැහැ. අලුත් මතවාදවලට වගේම නිවරුදි දේ නිවැරදි විදියට පිළිගන්න ඒ මනස් විවෘතයි. ලංකාව වගේ රටක මහ මැතිවරණයට ටෲඩෝ ඉදිරිපත් වුණා නම් මුලින්ම එළියට එන්නේ ඔහුගේ අතේ කෙටා තිබෙන පච්චය ගැන වාද විවාදයි. එහෙත් නැතිනම් ඔහුගේ රූබර පෙණුම රටක නායකයෙක්ට කොයි තරම් දුරකට ගැළපෙනවා ද කියන කරුණයි. එහෙත් නැතිනම් ඉන්දු කැනේඩියානු උත්සවයකට සහභාගි වෙමින් ඔහු කළ බංගාරා නැටුමයි. ඔබාමා ලංකාවේ මැතිවරණයට ඉදිරිපත් වුණා නම් ඔහුටත් කිසිම දවසක මැතිවරණය ජයගන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ඔහුගේ ජාතිකත්වය එහෙමත් නැතිනම් සම්භවයට කරළියට එන හින්දයි. ඒත් සුදු ජාතික ජනාධිපතිවරුන්ගේ සෙල්ලම් පිට්ටනියක් බවට පත්වුණු ඇමරිකාවේ ජනාධිපතිධුරයට ඔබාමා පත් වුණේ ඓතිහාසික ජයක් ලබමින්. කැනෙ‍්ඩියානු මහ මැතිවරණයේ කිසිම වාද විවාදයක ‍ටෲඩෝ ගේ පච්චය ගැනවත් ඔහුගේ පෙනුම ගැනවත් වාද විවාද ගියේ නැහැ. සමස්ත කැනේඩියානුවන් ඇහුම්කන් දුන්‍නේ කැනේඩියනු අගමැති අපේක්ෂකයන් තම තමන්ගේ ප්‍රතිපත්ති ගැන ඉදිරිපත් කළ අදහස් හා වාද විවාදවලට පමණයි. ටෲඩෝ ගේ මේ ජයග්‍රහණයට ඔහුගේ රූපයත් කිසියම් ආකාරයක බලපෑමක් නොවුණා කියන්නට බැහැ. ඒත් ඔහුගේ සැබෑ ජයග්‍රහණය පසුපස තියෙන්නේ ඡන්ද සටනට එක්වුණු අනෙක් අපේක්ෂකයන්ට වඩා ඉදිරියට ගිහින් විවාදාත්මක කරුණුවලදී තමන්ගේ මතය නොබියව කියන්නට ඔහු ඉදිරිපත් වීම නිසයි. විශේෂයෙන්ම ජාතීන් 150 කට වඩා සිටින රටක ඇතැම් ජාතිකත්වයනට සංවේදී වන කරුණු වලදී චන්ද සටනට ඉදිරිපත්වන්නන් කරුණු දක්වන්නේ බොහොම පරිස්සමින් වුණත් ‍‍‍ටෲඩෝ ඒ අවදානම භාර ගත්තා. ඡන්ද දායකයන්ට විවෘත මනසක් තිබුණු නිසා අපේකෂකයන්  කිවුව කරුණු නුවණින් විමසා බලා මැතිවරණයේ දී තමන්ගේ පිළිතුර ලබා දුන්නා.

justin-trudeau-20140220

ලොව දෙවැනි විශාලතම රටේ නායකයා විදියට දැවැන්ත ජයක් ලබා ගත්තාට පස්සේ ඔහු කළ කතාවේ දී ඔහු කිව්වේ තමන්ගේ ජයට හේතුව තමන් ඉතාම පැරණි සටන් උපක්රමයක් අනුගමණය කළ නිසා බවයි. එනම් රටේ පුරවැසියන් හමු වී ඔවුන්ගේ අදහස්වලට සවන් දීමයි. ‍ටෲඩෝ කියන්නේ කැනඩාවේ හිටපු අගමැතිවරයකුගේ පුතෙක් වුණත් ඔහුගේ ඡන්ද සටහනට තාත්තාගේ බලපෑමක් තිබුණේ නැහැ. ලංකාවේ වගේ අප්පාගෙන් පුතාට කියන සංකල්පය තිබුණා නම් ඔහුගේ පක්ෂය පහුගිය මැතිවරණයේ දී බොහොම කුඩා ආසන සංඛ්‍යාවකට කොටු වෙන්නේත් නැහැ. සාහිත්‍යයටත්, අධ්‍යාපන ක්‍රමවේදයටත් මූලික උපාධි දෙකක්ම හිමිකරගත්ත ‍ටෲඩෝ පශ්චාත් උපාධියකටත් හිමිකම් කියනවා. ඔහු තමන්ගේ ජීවිතය ආරම්භ කළේ ද්විතියික පාසලේ ගණිතය සහ විද්‍යාව ගුරුවරයෙක් විදියට. ඒත් ඔහුගේ කැපවීමත් ඉදිරි දැක්මත් අවසානයේ දී ලෝකයේ විශාලතම දෙවැනි රටේ නායකයා බවට ඉහළින්ම ඔසවා තබන්නට සමත් වුණා. ධනාත්මක චින්තය තුළින් අපි නිශේධනාත්මක බලපෑම් යටපත් කළා ඡන්ද සටන ජයගත් පසු ඔහු පැවසුවා.

https://www.youtube.com/watch?v=JtIlAIIWRZw

මේ සටහන අවසන් කරන්නට පළමුවෙන් තවත් කරුණක් සටහන් කරන්නටම ඕනේ. පසුගිය සතියේ අන්තර් ජාතික ‍වෙළෙද ගනුදෙනුවකදී ‍ටෲඩෝ ලිවූ වචන තුනක් ඩොලර් දෙළොස් දහසකට අධික මුදලකට වෙන්දේසි වුණා. තමන් කැනේඩියානු ඡන්ද සටනට ඉදිරිපත් වන බව ‍ටෲඩෝ දැනුම දුන්නාට පස්සේ මීට අවුරුදු දෙකකට කලින් 2013 දී මයිකල් කියලා පුද්ගලයෙක්ට අහම්බෙන් ටෲඩෝ හමුවුණා‍. මේ දෙදෙනා කිසිම දවසක මුණ ගැහුණු දෙන්නෙක්වත් හදුනන දෙන්නෙක්වත් නෙමෙයි. “Can you really beat Harper?” (ඔබට ඇත්තෙන්ම හාපර් පරදවන්න පුලුවන්ද?) කියලා පුංචි සටහනක් ලියලා මයිකල් ‍ටෲඩෝට පෙන්නුවා. හාපර් කියන්නේ අවුරුදු දහයක් පුරාම කැන‍ඩාවේ අගමැති වෙලා හිටපු ප්‍රබල රාජ්‍ය නායකයෙක්. ‍පහුගිය සතිය වෙනකල්ම කැනඩාවේ අගමැතිවරයා වූයේ ඔහුයි. මයිකල්ගේ සටහනට සිනාවක් පෑ ‍ටෲ‍ඩෝ මේ වචන තුන පිළිතුරක් ලෙස සටහන් කළා. “Just watch me.” (මං දිහා බලාගෙන ඉන්නකෝ). ටෲඩෝ ගේ දැවැන්ත ජයත් එක්කම මේ සටහන ‍‍‍ඩොලර් 12,301 කට අලෙවි වුණා.

trudeau%20note

අන්තිමේදී මයිකල් විතරක් නෙමෙයි මුලු මහත් කැනඩාවම ‍ටෲ‍ඩෝ දිහා බලාගෙන හිටියා විතරක් නෙමෙයි ඔහු ඉහළටම ඔසවා තැබුවා. ඒකට හේතුව එවැනි සටහනක් ලියන්නට තරම් ආත්ම විශ්වාසයක් වගේම තමන් යන ගමන ගැන පැහැදිලි අදහසක් ඔහු තුළ තිබූ නිසයි.

ඉතින් ‍කැනඩාවේ මහ මැතිවරණය වගේම ටෲඩෝත් අපේ ජීවිතවලට බෙ‍හෝ දේවල් පවසනවා නේද?

වෙසෙත් උතුමෝ අහුරු ගණනින්….!

උපත ලබන්නට සුදුසුම රට කුමක් ද...?

උපත ලබන්නට සුදුසුම රට කුමක් ද…?

හොඳින් හිරු පායා තිබුණ ද සීත සුළං හමා ගිය සීතල උදය වරුවකි ඒ.

කාර්ය බහුල වැන්කුවර් නගරය සමීපයේ වූව ද තරමක නිසංසල වටපිටාවක පිහිටි අවහන්හලකට ඉතාලි ජාතික මගේ මිතුරෙකුත් මාත් ගොඩ වූයේ දිවා ආහාරය පිණිසය.දිවා ආහාර සදහා තරමක් උදෑසන වැඩි වූ බැවින්දෝ ඒ වනවිට අවන්හලේ රැඳී සිටියේ කිහිප දෙනෙකු පමණි.

ආහාර පිළියෙළ කිරීම සඳහා තරමක් කාලය ගත වන බව අත්දැකීමෙන්ම දැන සිටි බැවින් අසුන් ගන්නට පෙරදීම අවන්හලේ කවුන්ටරයට යාබදව තිබූ රාක්කයෙන් සගරාවක් ගත්තේ පුරුද්දට මෙනි.

මිතුරා සමග අල්ලාප සල්ලාපයෙහි යෙදෙන අතරම සගරාවේ කවරය වෙත නෙත් යොමු කළ මා දුටුවේ සිත් ඇද ගන්නා සුලු මාතෘකාවකි. වසර 2013 දී උපත ලබන්නට සුදුසුම රට කුමක් ද…? යන්න සගරාවේ කවරයේ කතාවට පාදක වී තිබූ මාතෘකාව වූයේය. ස්වාධීන ආර්ථික සමීක්ෂණ සංවිධානයක් විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයක් ඔස්සේ සකස් කර තිබූ වාර්තාවක් ඇසුරින් ගත් තොරතුරු සමුදායක් සගරාවේ සටහන්ව තිබූ බැවින් මිතුරාත් මාත් දෙදෙනාටම අපේ ආහාර සකස් වනතෙක් එය අපූරු මාතෘකාවක් බවට පත් වූයේ නිරායාසයෙන්ය. උසස් ජීවන තත්ත්වය , උපතේදී අපේක්ෂිත ආයු කාලය , සමානාත්මතාව , දික්කසාද වීම් ආදී වූ පුද්ගල සාධක මෙන්ම වර්ෂාපතනය , පරිසරයේ ගුණාත්මකභාවය ආදී වූ කාලගුණ දත්තයන් පවා අවධානයට යොමු කර සකස් කර තිබූ මෙම සමීක්ෂණයට අනුව 2013 වසරේ දී උපදින්නට සුදුසුම රට ස්විට්සර්ලන්තයයි. උපදින්නට සුදුසුම සෙසු රටවල් දහය අතර ඇත්තේ ඕස්ට්රේලියාව , නෝර්වේ , ස්වීඩන් , ඩෙන්මාර්ක් , සිංගප්පූරුව , නවසීලන්තය , නෙදර්ලන්තය , කැනඩාව සහ හොං කොං දේශයයි. ලොව බලවත්ම රට බවට නිතරගයෙන් පත්ව තිබෙන ඇමරිකාව මෙම දර්ශකයට අනුව 16 වන ස්ථානයට පත්ව ඇති අතර ජර්මනිය ද සම තත්ත්වය ලබමින් එම ස්ථානයට පත්ව තිබුණේය. 2012 වසරේ දී හොඳින්ම දරුවකු හදා වඩා ගන්නට හැකියාව තිබූ රට ලෙස සටහන්ව තිබුණේ කැනඩාවයි.

මගේ මිතුරා ඉතාලිය ඇත්තේ කවර ස්ථානයකදැයි බලන්නට උත්සුක වෙද්දී මගේ දෙනෙත් ද ඉක්මණින්ම දිව ගියේ ලංකාවේ තත්ත්වය දකිනු රිසියෙනි. දර්ශකයට අනුව ඉතාලිය තිබුණේ 21 වැනි ස්ථානයේය. දරුවකු බිහිවීමට නුසුදුසුම රට ලෙස දර්ශකයේ අවසන් ස්ථානය වූ 80 වැනි ස්ථානය ලබා ගනිමින් නයිජීරියාව නම් කොට තිබූ අතර ලංකාවත් , පිලිපීනයත් සම තත්ත්වයේ සිටිමින් 63 වන ස්ථානයේ ස්ථානගත වී තිබුණේය.

2012 වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් වූ අවසාන සඟරාව බැවින් සගරාවේ සෙසු ලිපි ද වෙන් වී තිබුණේ 2012 වසරේ ලෝකය දෙස ආපසු හැරී බැලීම සදහාය. මේ නිසාම සගරාවේ තිබූ සෙසු ලිපි ද කුතුහලය දනවන ආකර්ශනීය තේමාවන් ඔස්සේ සකස් වී තිබුණේය.

ඒ අනුව 2012 වසරේ ලොව යහපත්ම රටවල් එසේත් නැතිනම් අඩුම දූෂණයන්ගෙන් යුත් රටවල් දහය සම්බන්ධයෙන් ද ලියැවුණු අපූරු ලිපියක් එහි වූයේය. ඒ අනුව දූෂණයෙන් තොරවූ රටවල් අතර මුල්ම ස්ථානය ඩෙන්මාර්කයට හිමි වී තිබූ අතර ඊට මූලිකව බලපා තිබුණේ රටේ ජාතික ආදායම ජනතාව වෙනුවෙන් යහපත්ව වැය කරන ලොව විශාලතම සමෘද්ධිමත් සුභ සාධක රට ලෙස එය හදුන්වාදෙමිනි.

දෙවැනි ස්ථානය හිමි තිබූ ෆින්ලන්තය ගැන සටහන් කර තිබුණේ දුෂණ චෝදනාවන් ඉතාම කලාතුරකින් මතුවන රටක් ලෙසය. දුෂණයන්ට එරෙහිව සාර්ථකව වැට බැඳ ඇති රටවල් අතර මුල් තැනක් ගනිමින් ඒ සදහා විනිවිද පෙනෙන ඉතා සාර්ථක ක්රමවේදයක් සකස් කළ රටක් ලෙස ෆින්ලන්තය හඳුන්වා තිබුණි.

පිළිවෙළින් තුන සහ හතර වැනි ස්ථානයන් හිමිකරගත් නවසීලන්තය සහ ස්වීඩනය යන රටවල පාලකයන් දූෂණයට එරෙහිව වැට බැද ඇති අකාරය ද සගරාවේ අපූරුවට විස්තර කර තිබුණේය. පස්වැනි ස්ථානය ගත් සිංගප්පූරුව දීර්ඝ කාලයක් පුරා එක දිගට ලොව අඩුම දූෂණයන් අසන්නට ලැබෙන රටක් ලෙස ස්ථානගත වන්නට හේතු වී ඇත්තේ එරටෙහි ඇති කතා කිරීමේ නිදහස , යහපත් අධිකරණ පාලනය සහ නීතිය අකුරටම ක්රියාවේ යෙදවීමයි.

හය වැනි ස්ථානය ලබා ගත් ස්විට්සර්ලන්තය සටහන්ව තිබුණේ දූෂණයෙන් තොර රටක් ලෙසින් පමණක් නොව සෙසු සංවර්ධිත රටවල් අතර ඉතාම ඉහළ පරිසර සංරක්ෂණයක් පවත්වාගෙන යන රටක් ලෙස ද නම් කරමිනි.හත්වැනි සහ අටවැනි ස්ථානයන් හිමිකරගත් ඕස්ට්රේලියාව සහ නෝර්වේ එම ස්ථානයන්ට පත්ව ඇත්තේ එම රටවල දක්නට ලැබෙන විනිවිද පෙනෙන සුලු ඉහළ ගුණාත්මක බවින් යුත් දේශපාලන සංස්කෘතිය මත පිහිටාය.

නව වන ස්ථානයේ තිබූ කැනඩාව දූෂණයන්ගෙන් අවම වූ රටක් බවට පත්ව ඇත්තේ ලොව වෙන කිසිදු රටකට අසමාන වූ මානුෂික නිදහස සහ මූලික අයිතිවාසිකම් ඉහළින්ම සුරැකීමට කැනඩා රජය සමත් වී තිබූ නිසාය.

දහවන ස්ථානයට පත් ව තිබූ නෙදර්ලන්තය එම දීර්ඝ කාලයක් පුරා පරම්පරානුගත සංස්කෘතික නිදහසකට උරුමකම් කීම දූෂණයන්ගන් අවම වීමට බලපා ඇති බව සගරාවේ සටහන්ව තිබුණි.

මෙම ලිපියේම කොටසක ඉතාලියේ හිටපු අගමැතිවවරයා සිදු කරනු ලැබූ අදායම් බදු වංචාවක් නිසා ඔහුව වසර හතරකට සිර ගෙට යැවූ බවට වූ විශේෂ සටහනක් එම හිටපු අගමැතිවරයාගේ වර්ණ ඡායාරූපයක් ද සමග පළ කර තිබුණේ දූෂණයන්ට වැට බැදීම සදහා ඉතාලි රජය විසින් මෑතක දී සම්මත කරගත් නීතියක යහපත් අංග පිළිබඳව ද විස්තරාත්මක සටහනක් තබමිනි.

දූෂණය සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය කෙසේදැයි මගේ මිතුරා විමසද්දී මා ඒ කතාවෙන් ලිස්සා ගියේ අවහන්හලේ සේවිකාව විසින් ගෙන එනු ලැබූ සලාදයක ගුණා ගුණ කියමිනි. මගේම වාසනාවට ලොව දූෂණයෙන් අඩුම රටවල් අතර වූ ඒ ලැයිස්තුවේ ලංකාවට හිමිවන්නේ කවර ස්ථානය ද යන්න නිශ්චය කරගත හැකි කිසිදු සළකුණක් සගරාවේ ලේඛකයන් අතින් ලියැවී තිබුණේ නැත.එය වාසනාවක් ලෙසින් මට සිතුණේ දූෂණ සම්බන්ධයෙන් ගත් විට හොද කැරැට්ටුවක් අපට ඇතැයි සිහිනෙකිනුදු සිතියි නොහැකි වු බැවිනි.

මා ජීවත් වන කැනඩාව පමණක් නොව ඇමරිකාව , ස්වීඩනය , ඩෙන්මාර්ක් , ඕස්ට්රේලියාව හෝ වෙනත් ඕනෑම සමෘද්ධිමත් රටක් ගත් විට මෙම රටවල දැකිය හැකි දියුණුවත් , යහපත් රාජ්ය පාලනය මෙන්ම දූෂණය හා වංචාව අවම වීමටත් බලපා ඇති මූලිකම සහ වැදගත්ම සාධකය වී ඇත්තේ මෙම සියලු රටවලට පොදු වූ ධර්මතාවන් දෙකක් නිසාය. ඒ නීතියේ සමානාත්මතාවය සහ දේශපාලනය පාදඩකරණයට ලක් වී නොතිබීම යන හේතූන් දෙකයි.මේ රටවල නීතියේ සමානාත්මතාව කෙතරම් ඉහළ ද යත් මේ මේ සියලු රටවල අගමැතිවරයා හෝ ජනාධිපතිවරයාටත් , රටේ ජීවත්වන කොයි කවර අන්දමේ පුරවැසියාටත් නීතිය ඉදිරියේ හිමිවන්නේ සමාන තත්ත්වයකි.

ලොව අන් කවර දේසයකින් හෝ සොයා ගත නොහැකි අරුම පුදුම මැජක් තනතුරක් වන ලංකාවේ විධායක ජනාධිපතිවරයාට හිමිවන බලතල වලින් දහයෙන් පංගුවක බලයක්වත් ලොව බලවත්ම රට වන ඇමරිකාවේ ජනාධිපතිවරයාටවත් කිසිදා කිසිදිනක හිමි වී නැත.මිහිපිට සිටි කිසිදු ඇමරිකානු ජනාධිපතිවරයකුට හිමි වූයේ ද නැත. මේ නිසාම නීතිය අතට ගන්නට මේ කිසිදු රටක ව්ය වස්ථාදායකයට හැකියාවක් නැත. මේ සියලු රටවල ආණ්ඩු ක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීම බරපතල අපරාධයක් වන්නේය. ඒත් අපේ රටේ විධායකය එසේත් නැතිනම් විධායක බලතල සහිත ජනාධිපතිවරයා කෙසේ හැසිරුණු ද එය පාලනය කිරීමේ බලයක් ව්යස්ථාදායකය හොබවන පාර්ලිමේන්තුවටවත් , අධිකරණයටවත් නැත. එය ලෝකයේ දියුණු යැයි සම්මත එසේත් නැතිනම් ශිෂ්ට යැයි සම්මත කිසිදු රටක දක්නට නැති විකාර සහගත රාජ්‍ය පාලනයකි. මේ නිසාම විධායක ජනාධිපති ධුරයට පත්වන කවර යහපත් පාලකයකු වුව ද දරුණු ඒකාධිපතියකු බවට පත් කිරීමේ හැකියාව අපේ ආණ්ඩු ක්රම ව්යවස්ථාවට ඇති බව අපි අත්දැකීමෙන්ම දනිමු. දියුණු යැයි සම්මත සියලු රටවල ආණ්ඩු ක්රම ව්යවස්ථාව එම රටවල සිවිල් ආගම බවට පත්ව ඇත්තේය. එහෙත් අපේ රටේ ආණ්ඩු ක්රිම ව්යවස්ථාව සම්බන්ධයෙන් එසේ සිතීම පවා ඉල ඇදෙන මට්ටමේ විහිලුවක් වන්නේය. මේ නිසාම අපේ දේශපාලකයන්ට ජනතා ආශිර්වාදය ඇතිවම ආණ්ඩු ක්රම ව්යවස්ථාව යන නාමය තොල් මතුරමින් ජනතාවට වින කටින නාඩගම් පාන්නට ඉඩ කඩ ලැබී තිබේ.

ලොව දියුණු යැයි සම්මත සියලු රටවල අධිකරණ නිදහස ද වචනයේ පරිසමාප්තියෙන්ම උත්තරීතරය. ඒත් අද වන විට ලං‍කාවේ පාලක රජය අධිකරණයේ තීන්දු පිළි නොගන්නා බව නිළ වශයෙන්ම ප්රසකාශ කර ඇති බැවින් මිනිසුන් පිළිසරණ සොයා අධිකරණය ඉදිරියට යනු වෙනුවට අද සිදුව ඇත්තේ තම නිදහස සොයා අධිකරණයට මිනිසුන් ඉදිරියට යාමටය. මුලු ලොවම තවත් නව වසරකට පා තබන මේ මොහොතේ ලංකාවේ අප ලොව දූෂිතම රාජ්ය පාලනයන් ගුරු කොට ගැනීම කවර නම් වූ අවාසනාවක් ද…?

එදා සිටම අදත් හෙටත් අපේ ජනතාව රැවටිය හැකි අපූරු වචන සමුදායක් අපේ පාලකයන්ටත් , අපේ මාධ්යන්ටත් තිබේ. ඒ “ පාර්ලීමේන්තුවේ උත්තරීතරභාවය ” සහ “ ජනතා පරමාධිපත්යය ” නම් වූ හිස් වචන දෙකයි. ඉතාම කීකරු ජනතාවක් වූ ලාංකීය පුරවැසියා කිසිදා කිසිදිනක උත්තරීතරවන්නේ කුමක්දැයි එහෙමත් නැතිනම් තමන්ට හිමිව ඇති මේ පරමාධිපත්යය කියන්නේ කුමක්දැයි පෙරළා ප්රශ්න නගන්නේ නැත. ඒ නිසාම මේ දේශපාලක “ උත්තරීතර ” මිනිසුන් විසින් ජනතා පරමාධිපත්යය ලබමින්ම රට “ උත්තරීතර ආගාධයක ” ට දක්කමින් තිබේ.

දිනපතා පුවත්පතක් බැලූ විට සියලු හොර මැරකම් දූෂණයන්ට මුල් වී ඇත්තේ ජනතා පරමාධිපත්යය ලැබූ මේ උත්තරීතර මිනිසුන්ය. කිරි සුවද නොගිය දැරියන් දූෂණය කරනුයේ නිකම්ම නිකම් පළාත් සභා මන්තිරිවරුන් නොව පළාත් සභා සභාපතිවරුන්ය. උත්තරිතර දේශපාලකයකුගේ වාහන අනතුරක් සිදුවූ විට එම වාහන තුළින් මතු වන්නේ කිලෝ ගණනින් ගංජා සහ නීති විරෝධී ටී 56 ගිනි අවිය. තවත් උත්තරීතර ඇමති ආචාරියකු සිය උත්තරීතර පුතණ්ඩියා සමග එක්ව මුලු ලංකාවේම දරුවන්ට මත් කුඩු සහ එක්ස්ටසි නම් වූ මත් පෙති බෙදා දෙන අතර මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජාවන්ට එරෙහිව බජාර් සටන් පාඨ නගන්නේ ජාතියේ දරුවන් රැක ගැනීමට වඩා එළුවන් රැක ගැනීම රජයේ ප්රතිපත්තිය නිසා විය යුතුය. දහම් පාසල් විභාගයක්වත් හරිහැටි පවත්වා ගත නොහැකි වූ ලොව අසාර්ථකම අධ්යාපන ඇමතිවරුන් දෙබානක් ඉල්ලා අස්නොවී තව දුරටත් සුදු රෙද්ද හඳින්නට තරම් සදාචාර සම්පන්න වී ඇත්තේ මේ උත්තරීතරභාවය නිසා විය යුතුය. ඒ නිසාම ඉල්ලා අස්වනු වෙනුවට පිට වූ ප්රශ්න පත්තර සදහා නොමිළයේ ලකුණු දීමේ පිළිවෙළක් ලොවට හඳුන්වා දුන් මෙවැනි උත්තරීතර දේශපාලුවන් සිටින රටක් ඇතුළත් කළ හැකි දර්ශකයක් තවම හඳුන්වා දී නොතිබීම සැබැවින්ම වාසනාවකි. රටේ දිග පළලවත් හරිහැටි කියා ගන්නට නොදොන්නා තොදොල් නලු නිළියන් රටේ ජනතාව බරපතල තීන්දු තීරණ ගන්නේ ඔවුන්ගේ උත්තරීතර භාවය නිසා නම් මෙගා ටෙලි කෝලම්වල රගපාන සියලුම නලු නිළියන් උත්තරීතර විය යුතුය. සියලු මත් කුඩු ජාවාරම්කරුවන් , හරක් හොරුන් , මැරයන් පවා උත්තරීතර විය යුතුය. මන්ද යත් ලංකාවේ වර්තමාන දේශපාලය යනු මේ සකල විධ නාඩගම්කරුවන්ගේ එකමුතුවක් බැවිනි. රටේ හතරවැනි පුරවැසියා වන අග විනිසුරුවරිය සිය තනතුරට සුදුසුදැයි සොයා බලා නීතිය විග්රහ කරන්නට “අට සමත් උගතුන් ” සහ දත් දොස්තරවරුන් සහභාගි වන තරමටම මේ උත්තරීතරභාවය දෝර ගලා යමින් තිබේ.

යුද්ධය නිමා වූයේ යැයි පම්පෝරි ගැසුව ද ජනතාව මත මිරිකී ඇති ජීවන බර යුද්ධය පැවැති දශක තුන තුළ දී ම නොතිබූ තරම්ම දරුණුය. පාන් ගෙඩියට බදු පටවන අතරේ සුඛෝපභෝගී මෝටර් රථවල බදු ඉවත්කරන ලොව එකම රට ද ලංකාවට බවට සැකයක් නැත. අනෙත් අතට යුද්ධය නිමා වී වසර තුනක්ම ගත වුව ද අද වන විට ද 11,000 කට අධික පිරිසක් මේ වනවිටත් යා යුතු මගක් නොමැතිව කඳවුරුවල දුක්විඳින බව මෑතකදී නිකුත් වූ අලුත්ම අන්තර්ජාතික මානව හිමිකම් වාර්තාවේ පවා සදහන් කර තිබේ. පිටරට යවන බව කියමින් අහිංසක මිනිසුන්ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කරමින් පරණ යකඩ බඩු පවා වංචාකොට විකිණූ අධමයන් විවෘත වරෙන්තු තිබියදීත් රාජ්ය මාධ්ය ආයතනවල ඉහළම ධුරයන් හොබවන ලොව එකම රට ද ලංකාවය.

තවත් වසරක් ගෙවී යමින් අලුත් වසරක් උදා වූ මේ මොහොතේ මුලු ලොවම ඉදිරියට පා තබද්දී මේ උත්තරීතර මිනිසුන්ට පින් සිදු වන්නට මේ වනවිට අපි ගල් යුගය වෙත හැල්මේ දුවමින් සිටිමු. රට මෙවැනි අගාධයක සිරගත වූයේ හිටි හැටියේම නොවේ. එය ගෙවී ගිය දශක ගණනාව පුරාම සිදූ වූවක් බැවින් රට වැටී ඇති ආගාධයේ පීතෘත්වයේ වගකීමෙන් ගැලවෙන්නට විපක්ෂයට ද කිසිසේත්ම හැකියාවක් නැත.

දශක ගණනාවකට පෙර මහජන නියෝජිතයන් ලෙස තේරී පත් වූ පිරිස කිසියම් ආකාරයක උගත්කමින් හෙබි පිරිසක් වූහ. මේ නිසාම ඒ යුගයේ හැන්සාඩ් වාර්තා පවා ගැඹුරුය. හරවත්ය. එහෙත් අද වනවිට ලංකාවේ දේශපාලනය යනු පාදඩ පැලැන්තිය නියෝජනය කරන්නක් බවට පත් වී ඇත. සොත්ති උපාලිලා කෘත්යා ධිකාරී මණ්ඩලයේ සිටි යුගය නිමාවී ඔවුන් උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුව නියෝජනය කරන යුගයකට රට අවතීර්ණ වී ඇත. දේශපාලනයේ මේ පාදඩකරණය තුළ 2013 වසර දරුවකු උපදින්නට තබා දරුවකු පය ගසන්නටවත් සුදුසු රටක් ලෙස ලංකාව කිසියම් දර්ශකයකට ඇතුළත් කළ හැකි වේවි ද…?

මේ ආකාරයට මං මුළා වී ආගාධයක ගිලී යන රටක් ගොඩ නගන්නට හැකියාව ඉතිරිව ඇත්තේ ආයතන තුනකට පමණි. එනම් අධිකරණය , විපක්ෂය සහ ජනමාධ්ය යි. ඉහතින් සදහන් කළ ලෙස අධිකරණයට පවා අද මහජනතාවගේ සරණ පතනු මිස අන් සරණක් නැත. විපක්ෂයක් කියා යමක් රටේ නැති බැවින් ඒ ගැන සටහන් කිරීම පවා වචන අපතේ යැවීමකි. ස්වාධීන සහ නිදහස් ලෙසින් තමන්ම හඳුන්වා ගන්නා සියලුම මාධ්යයන් ලේක් හවුස් මුද්රණ යන්තරයෙන් බෙදා හරින පත්තර කඩමාලුවලට වඩා වෙනස් වන්නේ නමින් පමණි.

ඉතින් එවන් වූ රටකට තවත් අලුත් අවුරුද්දක් උදා වී තිබේ.

උදා වූ වසර සුභ නව වසරක් වන්නේ “ උත්තරීතරභාවය ”සහ “ පරමාධිපත්යය ”යන වචන දෙක මේ වසර තුළ දීත් දොහොත් මුදුනින් පිළිගන්නට අපේ පුරවැසියන් කොයි තාක් දුරකට සිත හදා ගෙන ඇති ද යන බරපතල කාරණය මත පමණක් බව අවසාන වශයෙන් සටහන් කළ යුතුව ඇත.

පොතක් එක්ක කතා කරමු

සරේ මහජන පුස්තකාලය (Surrey City Center Library)

සරේ මහජන පුස්තකාලය (Surrey City Center Library)

සීතල වැහි බිඳු ඇද හැලෙමින් තිබූ සති අන්තයේ තවත් එක් සවස් වරුවකි ඒ. මේ සිරි පොද වැස්ස කැනඩාවේ වැන්කුවර් නගරයට බෙහෙවින්ම හුරු පුරුදුය.

සති අන්තයේ සවස් වරුවක් බොහෝ විට ගෙවී යන්නේ පුස්තකාලයේ බැවින් සිරි පොද වැසි ඇද හැලුණු එදින ද මා යමින් සිටියේ පුස්තකාලය වෙතය. එහෙත් ඒ සවස් වරුවේ නම් ඒ සදහා තවත් එක් සුවිශේෂී හේතුවක් ද තිබුණේය. පුස්තකාලයේ සුපුරුදු පොත් පත් රාක්ක වලට අමතරව මා එනතෙක් බලා සිටින තවත් එක් “සජීවී පොතක් ”ද එහි ඇති බව දැන සිටි හෙයිනි ඒ.  සජීවි පොත් (living Books) …? ඔව්… කැනඩාවේ පුස්තකාලයන්හි ක්රියාත්මක වන අලුත්ම ප්රවණතාවකි ඒ. මේ සංකල්පය ක්රියාත්මක වන්නේ මානව පුස්තකාලය (Human Library) නම් වූ නවතම සංකල්පයක් යටතේය.  මෙම සංකල්පයේ තේමාව වන්නේ කඩදාසි පිටු පුරා දිවෙන තීන්ත අකුරු අතරින් ලබා ගත නොහැකි දැනුමක් පාඨකයා වෙත සමීප කරවීමයි. මෙම මානව පුස්තකාලය ක්රියාත්මක වන්නේ තෝරා ගත් දිනයක තෝරාගත් තේමාවක් යටතේය. මෙවර මානව පුස්තකාලයේ තේමාව වී තිබුණේ “ සුවිශේෂී වූ වෘත්තීන්හි නියැලෙන සැබෑ මිනිසුන් ”යන්නයි. ඒ අනුව යෝගා උපදේශකවරයකු , වේශ නිරූපණ ශිල්පියෙකු , සපත්තු මෝස්තර නිර්මාණය කරන්නෙකු , පුද්ගලික රහස් පරීක්ෂකයකු , ගිනි නිවීමේ හමුදාවේ කාන්තා නිලධාරයෙකු , ජල නල කාර්මිකයෙකු , අවමංගල්ය‍ අධ්යක්ෂවරයකු ආදී වූ විවිධ විෂයන්හි නිරතවන වෘත්තිකයන් කිහිප දෙනෙක් ම ඒ සඳහා තෝරා ගෙන තිබුණි. මානව පුස්තකාලය සඳහා එක්වීමට කැමැති පාඨකයන් පුස්තකාලයෙන් අදාළ දිනයේ තමාට පහසු වේලාව මුලදී ම වෙන් කර ගත යුතුය.  මෙම සජීවී පොත් හෙවත් මානව පුස්තකාලයට සම්බන්ධ වන්නෝ සිය වෘත්තීන්හි ක්රියාකාරීව නිරතව සිටින අය වෙති. එබැවින් පුස්තකාලයේ කාමරයක් තුළ දී තමන් තෝරා ගත් සජීවී පොත තනිව හමු වී ඔවුන්ගේ  අත්දැකීම් බෙදා හදා ගන්නටත් , ඇවැසි කවර හෝ දෙයක් විමසා දැන ගන්නටත් මෙහිදී පාඨකයන්ට ඉඩකඩ ලැබෙයි. මෙය සාමාන්ය පොතකින් ලබා ගත හැකි දැනුම මෙන්ම සාමාන්යය පොතක විෂය පථය ද ඔබ්බවා යන්නකි. මානව පුස්තකාලය යටතේ ක්රියාත්මක වන සජීවී පොත් පත් හි ඇති විශේෂත්වය වන්නේ එයයි.

ආකර්ශනීය රැකියාවන් රැසක පුද්ගලයන් මෙවර මානව පුස්තකාලය හා එක්ව සිටිය ද අවමංගල්ය අධ්යක්ෂවරයා හමු විය යුතුය යන්න මට සිතුණේ වඩාත් සිත් ඇදගන්නා සුලු තොරතුරු ඔහු සතුව ඇතැයි සිතුණු බැවිනි. ඇතැම් විට ඒ සඳහා මා පොළඹවන්නට ඇත්තේ පුස්තකාලයෙන් ම ලබා ගෙන මෑතක දී මා විසින් නරඹනු ලැබූ සම්මානනීය සිනමා පටයක් ද  වන්නට ඇත. ඩිපාර්චර්ස් (Departures) නම් වූ එම ජපන් සිනමා පටය මළ මිනී හැඩ ගැන්වීමේ කලාව හෙවත් අවමංගල්ය අධ්යක්ෂවරයකුගේ භූමිකාව හා බැඳුණු අතිශය ආකර්ශනීය සිනමා පටයක් වූයේය.

මානව පුස්තකාලය ගැන තවත් යමක් කියන්නට මත්තෙන් සරේ (Surrey) මහජන පුස්තකාලය ගැන ද යමක් සටහන් කළ යුතු යැයි හැඟෙන්නේ එයින් අපට ද ලබා ගත හැකි ආදර්ශ බොහෝ ඇති බැවිනි. අති නවීන පහසුකම් සියල්ලෙන්ම පරිපූර්ණ  වුව ද මෙම පුස්තකාලය ක්රියාත්මක වන්නේ අතිශය පරිසර හිතකාමී අයුරිනි. වාස්තු විද්යාවේ අපූරු නිර්මාණයක් වන මෙම ගොඩනැගිල්ල නිම වී ඇත්තේ නෞකාවක් පරිද්දෙනි. එහි බොහෝ කොටස් වීදුරු වලින් නිර්මාණය වී ඇති නිසා පුස්තකාලය ඇතුළත ආලෝකවත් කිරීම සඳහා හිරු එළිය උපරිම මට්ටමන් භාවිතා කෙරෙන අතර පුස්තකාලයේ පියස්ස මුලුමනින්ම තෘණ වර්ග වවා ඇත්තේ යහපත් අභ්යමන්තර උණුසුමක් පවත්වාගෙන යාම සඳහාය. පුස්තකාලයේ වීදුරු බිත්තියක් මත විවිධ භාෂාවන්ගෙන් සුභ පැතීමේ වදන් සටහන් කර ඇති අතර එහි සිංහල භාෂාවෙන් ද ආයුබෝවන් කියා සටහන් කර ඇති බව ද මෙහි දී සඳහන් කරන්නේ අභිමානයෙනි.

පුස්තකාලයේ ඇතුළත දර්ශනයක්

පෙර කී දිනයේ දී ගිවිස ගත් පරිදි ම පුස්තකාලයේ සුවපහසු කාමරයක් තුළ ඒ සජීවී පොත මා එනතෙක් එහි රැඳී සිටියේය. ඔහුගේ සැබෑ නම ජස්ටින්ය. පුරා වසර 18 කට අධික කාලයක් අවමංගල්ය අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති ඔහු පැවසුවේ සිය ආදරණීයයකුගේ වියෝවෙන් පීඩා විඳින පවුලේ සාමාජිකයන්ගේ සිත් තැවුල් තුනී කිරීම හා බැඳුණු තම රැකියාව සම්බන්ධයෙන් ඔහු බෙහෙවින් ම තෘප්තිමත් බවයි. විවිධාකාර වූ ආකර්ශනීය රැකියාවන්ගෙන් පිරී ඇති ලොවක මෙම ක්ෂේත්රයට සම්බන්ධ වීමට ඔහු පෙළඹ වූ කරුණු කාරණා කවරක්දැයි විමසූ විට ඔහු සඳහන් කළේ එය අහම්බෙන් සිදුවූවක් මිස මෙම වෘත්තිය තෝරා ගැනීමට ඔහු ළමා කළ සිහින මැව්වේ නැති බවය. මෘත දේහ හා කටයුතු කිරීමට බොහෝ දෙනෙක් දක්වන්නේ කිසියම් අප්රසන්න බවක් හා බියකි. මම ඒ පිළිබඳව ද ඔහුගෙන් විමසීමි. ්

ජස්ටින් (Justin Schultz)

සෑම සංස්කෘතියක් තුළම ගුප්ත සාධක රැසක් මරණය හා සම්බන්ධ කර තිබීම මේ බියට එක් ප්රධානතම හේතුවක් බව පෙන්වා දුන් ඔහු මරණය ජීවිතයේම කොටසක් ලෙස සිතන්නට තරම් අපට බුද්ධිමත් විය හැකි නම් එය කිසිසේත්ම බියජනක හෝ අප්රකසන්න යමක් නොවන බව අවධාරණය කළේය. තමන්ගේ දශක දෙකකට ආසන්න වෘත්තීය ජීවිතය තුළ දී මෘත දේහ සහ සුසාන භූමි ආශ්රිතව නිරන්තරයෙන්ම ගැවසුණ ද අවතාර හොල්මන් හෝ වෙනත් කිසිදු අසාමාන්ය සිදුවීමකට තමන් මුහුණ නොදුන් බව ද ඔහු සඳහන් කළේය. අවමගුල් කටයුතු සඳහා අධික වියදමක් වැය කරන්නට සිදු වන කැනඩාවේ අවමංගල්ය අධ්යක්ෂවරයකු වීම ද පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා වසර තුනක පුර්ණ කාලීන පාඨමාලාවක් හැදෑරිය යුතු අතර ප්රායෝගික පුහුණුවක් ද අනිවාර්යය. වසර දෙකකට වරක් සිය රැකියාව සම්බන්ධයෙන් දැනුම වර්ධනය කර ගැනීමේ පාඨමාලාවන්ට සහභාගි වීම ද ඔවුනට අනිවාර්ය වන අතර වසරින් වසර සිය බලපත්රය අලුත් කර ගැනීම ද සිදු කළ යුතු වේ.  පාරිභෝගික ආරක්ෂක පනත යටතේ සිය යුතුකම් සහ වගකීම් කඩකළ අවමංගල්ය  අධ්යක්ෂවරයකුට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්නට කැනේඩියානුවන්ට අයිතිය ඇත.

සිය රැකියාවේ වඩාත්ම අභියෝගාත්මක කටයුත්ත හෝ එසේත් නැතිනම් වැදගත්ම අංශය වන්නේ කුමක්දැයි විමසූ විට ඔහු මට කීවේ එය සන්නිවේදනය බවයි. සිය ආදරණීයන්ගේ වියෝවෙන් පීඩා විඳින සිත් සතන් හා ගනු දෙනු කිරීමේ දී මෙන්ම එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර අවමගුල් කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් විවිධාකාර ගැටුම් සහගත  අදහස් ඇති විටෙක දී ඉවසිලිමත්ව සහ ඉතාම පරිස්සම් සහගතව සන්නිවේදන කටයුතු සිදු කිරීම තම රැකියාවේ ප්රබලම අභියෝගය බව ඔහු පැවසුවේය. ඔහුගේ අත්දැකීම් සම්බන්ධයෙන් කළ කතා බහ සියල්ල සටහන් කර තැබීමට තරම් ඉඩකඩ ප්රමාණවත් නොවුණ ද අවසන් වශයෙන් එක් වැදගත් කරුණක් පමණක් මෙහි සඳහන් කිරීම සුදුසු යැයි හැඟේ.

කැනඩාවේ පුවත්පත්වල අවමංගල්යස දැන්වීම් පළ වන්නේ ලංකාවේ අපට හුරු පුරුදු ආකාරයට වඩා තරමක් වෙනස් ආකාරයෙනි. එනම් මිය ගිය තැනැත්තාගේ උපතේ සිට ඔහුගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් , ඔහු විසින් කරන ලද වෘත්තිය හා ඔහුගේ සමාජ ජීවිතයේ විවිධ භූමිකාවන් විස්තර කරමින් පළ කෙරෙන මෙම අවමංගල්යු දැන්වීම් සිත් ඇදගන්නා සුලු කරුණු වලින් ගහණය. ලංකාවේ පුවත්පත්වල මරණ දැන්වීම් තීරුව කියවීමේ පුරුද්දක් නොතිබුණ ද කැනේඩියානු පුවත්පත් කියවීමේ දී අවමංගල්ය දැන්වීම් පිටුවේ ද සැලකිය යුතු වේලාවක් රැඳී සිටින්නට මා නිරායාසයෙන් ම හුරු වූයේ මෙම එම පිටුවේ ඇති මෙම විශේෂත්වය නිසාය. මෙම පිටු අතර සැරිසරද්දී මට හැගී ගිය වැදගත්ම කරුණ වූයේ ශෝකයෙන්  හා කඳුලින් පමණක් ම මරණය පිළි ගැනීමට හුරු පුරුදු වී සිටින අපට වඩා තරමක් ඔබ්බට ගොස් මරණය කිසියම් ආකාරයක ආදරණීය අනුස්මරණයක් ලෙස සලකන්නට කැනේඩියානුවන් හුරු වී සිටින ආකාරයයි. එක්තරා ආකාරයකින් කියනවා නම් එය මරණය “ සැමරීමක් ”බදුය. මේ නිසාම පුද්ගලයකුගේ මිය ගිය පසු ඔහුගේ අවසන් කටයුතු නිමා කළ මොහොතේ මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටිය දී කළ කී දෑ සිහිපත් කරමින් සියලු නෑ හිත මිතුරන් එක් වී ඉතා ඉහළ මට්ටමන් භෝජන උත්තසවයකට සහභාගී වීම කැනේඩියානුවන්ට හුරු පුරුදු අත්දැකීමකි. මෙවැනි භෝජන සංග්රහයන් පවත්වන උත්සව ශාලාවන් ද අවමගුල්  ශාලා පරිශ්රයේම පිහිටා ඇත.  මේ ගැන ද මම ඔහුගෙන් විමසුවෙමි.

කැනඩාවේ අවමංගල්ය ශාලාවක ඇතුළත ඇති භෝජන සංග්රහ කාමරයක්

“ ඔව් ඒක ඇත්ත. දුක්වෙලා ඇඩීමෙන් මිය ගිය පුද්ගලයාටවත් , ජීවත් වන පුද්ගලයන්ටවත් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මේ නිසා අඬා වැලපෙන්නේ නැතිව මිය ගිය පුද්ගලයාගේ ජීවිතයේ ආදරණීය මතක සටහන් සතුටින් සිහිපත් කරන්නට පුලුවන් මිය ගිය පුද්ගලයා හැමදාමත් අපේ හදවතේ සතුටුදායක හැගීමක් ඇති කරාවි. ඒක ජීවත් වන පුදගලයන්ටත් ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන්න මග පෙන්වාවි. ”

අධ්‍යාත්මික පෝෂණය ඉහළින් ම ලබන්නට හැකි ආගමික පසුබිම නොඅඩුව ඇති ලංකාව වැනි රටකට ඔහුගේ මේ අදහස් නුහුරු නුපුරුදු නොවන බව සැබෑය. එහෙත් ගැටලුව ඇත්තේ අප සතුව ඇති එවන් අධ්යාුත්මික අංග ලක්ෂණවලින් පෝෂණය වන්නට තරම් සමාජයක් ලෙසින් අප තවමත් පරිණත නොවීම ද යන්න ඔහුගෙන් සමුගෙන පුස්තකාලයෙන් පිටතට ආපසු එද්දී මා සිත්හි පැනයක් ලෙසින් ඉතිරි වී තිබිණ.

“රැවටීම සහ රැවට්ටීම”

ලොව දෙවැනි විශාලතම රාජ්‍යය වන කැනඩාවේ මහා මැතිවරණය නිමාවට පත් වූයේ නොබෝදාය.

කැනඩාවේ ප්රධානතම පුවත් ජාලය වන CBC රූපවාහිනී සේවාව මහා මැතිවරණ සමයේ විකාශය කළ පුවතකට පාදක වී තිබුණේ අපූරු තේමාවකි.

එහිදී රූපවාහිනී කණ්ඩායම , කැනඩාවේ සරසවි භූමියකට ඇතුලු වී යන එන සරසවි සිසුන් මොහොතකට නවතමින් ඔවුන් වෙත ඡායාරූප හතරක් පෙන්වමින් එම ඡායාරූපවල සිටින පුද්ගලයන් හදුනා ගත හැකි දැයි සිසුන්ගෙන් විමසති. මෙම ඡායාරූප හතරේ වූයේ කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර් (මැතිවරණයෙන් යළි අගමැති ධුරයට පත් වූයේ ද ඔහුමය.) සහ මැතිවරණයට තරග කළ සෙසු ප්රධානතම දේශපාලන පක්ෂ තුනේ නායකයන්ගේ ඡායාරූපයන්ය. සිත් ඇදගන්නා සුලු කරුණ වන්නේ සිසුන්ගෙන් අතිශය බහුතරයකට සෙසු දේශපාලන නායකයන් කෙසේ වෙතත් අඩුම තරමින් කැනඩාවේ අගමැතිවරයාවත් හදුනා ගන්නට නොහැකි වීමය.

විශාලත්වයෙන් රුසියාවට පමණක් දෙවැනි වන එමෙන්ම වසර පහකට වරක් පමණක් මහා මැතිවරණයක් පවත්වන කැනඩාව වැනි රටක අනාගතය භාර ගැනීමට සූදානමින් සිටින තරුණ පරපුර දේශපාලනය සම්බන්ධයෙන් මේ තරම්ම ඇල් මැරුණු ස්වභාවයක් දක්වන්නේ ඇයි…?

එහෙත් සැබෑ තත්ත්වය නම් මැතිවරණය සම්බන්ධයෙන් එවන් වූ අලස ස්වභාවයක් දක්වන පිරිස සරසවි සිසුන් පමණක් නොව පොදුවේ ගත් විට සමස්ත කැනේඩියානු පුරවැසි පරපුරම වීමය. මේ නිසාම කැනඩාවේ මැතිවරණයක් යන්න ආසියාවේ අපට සාපේක්ෂව උණුසුමින් තොර වූවකි. ගෙවී ගිය වසර පනහක කාලය තුළම කැනඩාවේ මැතිවරණය සදහා ඡන්දය පාවිච්චි කළ පිරිස ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 65 ඉක්මවා නැත. රටේ ජනගහනය සමස්ත ලෙස ගෙන බැලූ විට ජනගහනයෙන් අඩක්වත් ඡන්දය පාවිච්චි කරන්නේ නැත. ඒ ඇයි…?

ඔව්.. එයට හේතුවක් තිබේ.

එනම් කවර ආණ්ඩුවක් බලයට පත් වුවද කැනේඩියානුවන්ගේ ඉහළ ජීවන තත්ත්වය සුරක්ෂිත කරවන ශක්තිමත් නීති රීති පද්ධතියක් ක්රියාත්මක වීමය. මේ නීති රීති පද්ධතිය බලවත් බැවින් දේශපාලකයා හෝ දේශපාලන පක්ෂය යන්න කැනේඩියානු ජීවන පරිසරයේ වැදගත් අංගයක් නොවේ. මැතිවරණයක දී ඡන්ද දායකයන් සිය ඡන්දය පාවිච්චි කරන්නේ ද තමන් ගරු කරන අදහස් සහිත දේශපාලන පක්ෂයට මිස තනි තනි දේශපාලකයට නොවේ. මේ නිසාම මැතිවරණයෙන් ජයගන්නා අගමැතිවරයාට පවා සිය පක්ෂයේ මූලධර්ම මත පිහිටා මිස සිය හිතුමතයේ වැඩ කරන්නට කිසිදු ඉඩක් කැනේඩියානු ව්‍යවස්ථාව තුළ නැත.

පොදුවේ ගත් විට කැනේඩියානු මැතිවරණය සම්පදාය තුළ දේශපාලකයා යන්න අවලංගු සාධකයකි. මේ නිසාම ඡන්දය දීමට පමණක් නොව මැතිවරණයෙන් පසු ජයගත්තේ කවර දේශපාලන පක්ෂය ද යන්න පවා දැන ගැනීමට බොහෝ දෙනෙකු තුළ උනන්දුවක් නැත. මේ තත්ත්වය කැනඩාවේ පමණක් නොව ලොව දියුණු යැයි සම්මත බොහෝ රටවල දක්නට ඇති සාමාන්‍ය කරුණකි.

ලංකාව හා සංසන්දනය කරද්දී කැනඩාව යනු අතිශය විශාල රටක් වන්නා සේම එහි එක් ප්රාන්තයක් පවා ලංකාවට නම් වූ දූපතට වඩා බෙහෙවින්ම විශාලය. එහෙත් මේ සා දැවැන්ත සමස්ත කැනඩාවම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ ඇත්තේ මන්තිරිවරුන් 308 ක් පමණි. එහෙත් ලංකාවේ ව්‍යවස්ථාවෙන් අපේ ජනාධිපතිවරයාට හිමිවන බලතල වලින් අඩුම තරමින් සියයට දහයක බලතලවත් මේ සා බලවත් රාජ්‍යයක අගමැතිවරයාට නැත. අඩුම
තරමින් පොලිස් දඩ කොළයකින් බේරෙන්නටවත් කැනේඩියානු අගමැතිවරයා හෝ වෙනත් කිසිදු මන්තිරිවරයකුට හැකියාවක් නැත. එනම් අගමැතිවරයා ද තවත්  පුරවැසියකුම පමණි. සාමාන්‍ය පුරවැසියකුට අහිමි කිසිදු වරපුසාදයක් අගමැතිවරයාට හිමිවන්නේ නැත. නීතිය කාටත් සමානය. නීතිය ක්රියාත්මක කරන්නට එන පොලිස් නිලධාරියකුට හෝ වෙනත් කිසිදු හෝ රජයේ නිලධාරියෙකුට “ මම අගමැති “ යැයි පැවසුවහොත් අගමැතිවරයාට
සිදුවන්නේ පසුදාම සිය තනතුරෙන් සමුගන්නටය.

සියලුම පුරවැසියන්ට නීතිය සමානව හිමිවන බැවින් කවර පුරවැසියකුට හෝ රටේ අගමැතිවරයාගේ සිට සමස්ත පාලන ක්රමය නිර්දය ලෙසින් විවෘත විවේචනය කරන්නට හෝ ලිපි ලේඛන පළ කරන්නට කිසිදු බාධාවක් නැත. කිසියම් දේශපාලකයෙන් සොරකමක් හෝ මහජන විශ්වාසය කඩ කරන කිසියම් වූ හෝ ක්රියාවක් සිදු කළහොත් ඔහුට  හෝ ඇයට සිදුවන්නේ දේශපාලනයෙන් සදහටම සමුගන්නටය. ජනාධිපති කොමිසම් පත් කරමින් වැරදි කරුවන්ට චරිත සහතික ලියා දී සියලු වැරදි මිටි තැනින් යැවීමේ ක්රමය වෙනුවට මෙහි සිදුවන්නේ සියලු වැරදි ඉහළ තැනින් ම ගලා යාමයි. මේ නිසා කැනේඩියානු දේශපාලකයා යනු වචනයේ පරිසමාප්තියෙන්ම ජනතා සේවකයෙක් පමණි.

මේ සටහන නිමා කරන්නට මත්තෙන් ලංකාවේ අපට වැදගත් වන කරුණක් ද සදහන් කළ යුතුමය. එකිනෙකාට හාත්පසින්ම වෙනස් වූ අතිශය විවිධාකාර සංස්කෘතීන්ට අයත් ජාතීන් 150 කට අධික සංඛාවක් කැනඩාවේ ජීවත් වුවද කැනඩාව යනු අතිශය සාමකාමී රටකි. කැනේඩියානු පුවත්පතක් ගත්විට එහි ඇත්තේ ලංකාවේ මට්ටමින් ගත් විට අතිශය නීරස වූ පුවත් කිහිපයක් පමණි. ගෙවී ගිය මාසයක එක් දිනක කැනඩාවේ ප්රධානතම පුවත්පතක මුල්ම පිටුව මුලුමනින්ම වෙන් ව තිබුණේ චාල්සි ඩිකන්ස්ගේ නවකතාවක පරිච්ඡේදයක් පළ කිරීම සදහාය. එහෙත් ප්රධාන ජාතීන් තුනක් පමණක් ජීවත් වන ලංකාව නම් වූ දූපත තුළ ලොව ඇතිතාක් සියලු ප්රශ්න පවතින්නේය. ලංකාවේ පුවත්පතක පළවන පුවත් ගෙන බැලූවිට මේ සියලු පුවත් මවා ඇත්තේ දේශපාලකයන් පිරිසගේ කාලකන්නි ක්රියාවන් නිසා බව අතිශය පැහැදිලි කරුණකි. දූෂිතයන් තනතුරුවල යහතින් වැජඹෙන්නේත් , මුලු රටටම මත්කුඩු ගෙන්වන අමන දේශපාලකයන් කැබිනට් ඇමති තනතුරුවලින් පිදුම් ලබන්නේත් , සංවර්ධනය නම් වූ වචනයට මුවාවෙමින් කෝටි ගණනින් ජනතා මුදල් කොල්ල කන්නේත් , නීතිය රැකිය යුතු පිරිස නගර සභා මන්තිරිවරයාට පවා සැලියුට් ගසා කොන්ද නමන තත්ත්වයට පත් ව ඇත්තේත් එදා මෙදා තුර බලයට පත් වූ දේශපාලකයන් නඩය නිසා බව රහසක් නොවේ. මේ නිසා මෑත ඉතිහාසය ඉතිහාසය පුරාවටම හැමදාමත් රැවටීමට ලක්වූයේත් ඉදිරියේ දී රැවටීමට ලක්වන්නේත් සිංහල – දෙමළ – මුස්ලිම් සමස්ත පීඩිත ජනතාවම මිස ඔවුන් නියෝජනය කරන දේශපාලකයන් නඩය නොවේ.

එදා සිට අද දක්වාම ලංකාවේ සමස්ත දේශපාලන ක්රමය ගත් විට එය වචන දෙකකට සංක්ෂිප්ත කළ හැකිය. ඒ “රැවටීම සහ රැවට්ටීම” යන වචන දෙකයි. මෑත ඉතිහාසය තුළ කිසිම අවස්ථාවක දී එදා සිට අද දක්වාම අපේ රටේ සියලු දේශපාලන ක්රියාදාමයන් මේ වචන දෙක තුළින් පිට පැන නැත.

ලංකාවේ අපේ අධ්‍යාපන රටාව තුළ පාසල්වලදී එදාත් අදත් අපට උගන්වන බරපතල මිථ්‍යාවක් තිබේ. එනම් ලංකාව වැනි රටවල් සුභ සාධක රටවල් බවත් , කැනඩාව , ඇමරිකාව වැනි රටවල් ධනවාදී පරිධියේ පවතින රටවල් බවත්ය. එහෙත් එය සැබෑවක් නොවේ. කැනඩාව පමණක් නොව ලොව බොහෝ දියුණු රටවල් සිය පුරවැසියන් සදහා සෞඛ්‍ය සේවාවන් ලබා දෙන්නේ නොමිලයේය. එමෙන්ම සරසවි අධ්‍යාපනය දක්වාම මේ බොහෝ රටවල පුරවැසියන් අධ්‍යාපනයට කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ. ඒ සේවාවාන් ක්රියාත්මක වන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම නොමිලයේය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්රියාත්මක වන බව පැවසුවද එහි ප්රතිලාභ ලැබීම සදහා කොතරම් මිලක් ගෙවිය යුතු ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. රජයේ රෝහලක ලේ සාම්පලයක් පරීක්ෂා කර ගැනීමට පවා යා යුත්තේ පුදගලික ඩිස්පැන්සරියකට මුදල් ගෙවාය. පාසලට ඇතුලු කර ගැනීමේ දී සිට දරුවා පාසලින් ඉවත් කර ගන්නා තෙක්ම පාසලේ ඩෙස් බංකුවේ සිට කුණු බාල්දිය පවා මිලදී ගන්නේ
දෙමාපියන්ගේ මුදල් පොකට්ටුවෙන් මිස මහජන මුදලික් ලොව පුරා සවාරි යන ඇමතිවරුන්  සිව් දෙනෙක්ම යහතින් වැජඹෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ ගිනුමෙන් නොවේ.

කටුනායකින් රටට ඇතුලු වන හැම සුද්දෙක්ම රට ගිලගන්නට පැමිණෙන කුමන්තණකරුවන්ය යන මිථ්‍යාව අපේ දේශපාලකයන් විසින් දැනුවත්වම ජනතාව මත පටවනු ලබන්නේත් තම සියලු අමන ක්රියාවන් කුමන්තණ බිල්ලා මත පටවා සිය පරම්පරා ජාතකය ශක්තිමත් කරන්නට බව හදුනා ගන්නට අපේ ජනතාවගෙන් බොහෝ දෙනෙකුට තවමත් හැකියාවක් නැත. මේ දේශපාලුවන්ට අනුව ඉන්දියන් සාගරයේ වඩදිය රැල්ල පවා ඇතිවන්නේ ජාත්‍යන්තර කුමන්තණ ජාලයක කොටසක් ලෙසිනි. අනෙක් අතට එදා සිට අද දක්වා වූ අපේ දේශපාලකයන් රැල මහජන දේපළ සහ රටේ සම්පත් විනාශ කරන පි‍ළිකුල් සහගත ස්වභාවය ගත් විට පිටරටින් පැමිණ විනාශ කරන්නට තරම් යමක් රටේ ඉතිරි වී ඇති නම් එය ද පුදුමයකි.

යළිත් වරක් කැනඩාව දෙස හැරී බැලුවහොත් වසර දහයක කාලයක් කැනඩාවේ වාසය කරන සියලු පුරවැසියන්ට ඔවුන් ලොව කොහේ ජීවත් වුවත් විශ්රාම වැටුපක් අනිවාර්යයෙන්ම හිමිවන්නේය. එමෙන්ම කැනඩාවේ ජීවත්වන සියලුම දරුවන්ට ඔවුන්ගේ වයස් අවුරුදු 18 සම්පූර්ණ වනතෙක් මාස්පතා දීමනාවක් හිමිවන්නේ දරුවන් සතුටින් තැබීමේ
මූලික අපේක්ෂාව පෙරදැරි කරගෙනය. මේ සියලු වරපුසාද කැනේඩියානුවන්ට හිමිවන්නේ මහජන මුදල් කාබාසිනියා කරන දේශපාලක නඩයක් ඔවුන් වෙත උරුම වී නැති බැවිනි. එමෙන්ම අල්ලස හා දූෂණයෙන් තොර වූ මුලුමනින්ම විනිවිද පෙනෙන පාලන ක්රමයක් ඔවුන් හට උරුමව ඇති බැවිනි. මේ නිසාම මහජන බදු මුදල් සෑම සතයක්ම පෙරලා මහජනතාවගේ සේවය වෙනුවෙන්ම වැය වෙනු මිසක දේශපාලක පැලැන්තිය නඩත්තු කිරීම සදහා වැය කෙරෙන්නේ නැත.

මේ සියලු කරුණු පොදුවේ ගත් විට සදහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ කැනඩාව පමණක් නොව දියුණු යැයි සම්මත මේ බොහෝ රටවල දියුණුව පසුපස ඇති එක්තරා මහා පොදු සාධකයක් බවය. එනම් රටේ අගමැතිවරයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා සියලු දෙනාම එකාමෙන්ම එක්ව රට දියුණු කිරීම සදහා වැඩ කිරීමය