
——————————————————————————————
මෙහෙම දෙයක් මීට කලින් කවදාවත් සිද්ධ වෙලා නැහැ! ඊට පස්සේ සිද්ධ වුණේත් නැහැ.
සමහරවිට මේ සිද්ධිය ඔබ අහලාම නැතිව ඇති.
අහලා තිබුණා නම් සමහරවිට දැන් මතකයේ නැතිව ඇති.
එදා ලස්සනට හිරු පායලා තිබුණු දවසක්. දවස හරියම කියනවා නම් 1967 අවුරුද්දේ දෙසැම්බර් 17 වැනි ඉරිදා. උතුරු අර්ධගෝලයේ බොහොමයක් රටවලට දෙසැම්බර් කියන්නේ ශීත කාලය වුණත් ඕස්ට්‍රේලියාවට නම් ග්‍රීෂ්ම (summer) කාලය. මෙල්බර්න් නුවරින් හැතැප්ම 60 ක් විතර ඈතින් තියෙන පෝර්ට්සී (Portsea) කියන සුන්දර මුහුද තීරය එදාත් වෙනදා වගේම ග්‍රීෂ්ම හිරු රැසින් නෑවිලා තිබුණා.
ඒත් ඒ ඉරිදා දවස, ග්‍රීෂ්ම සෘතුවේ තවත් එක් උණුසුම් දවසක් විදියට නෙමෙයි ඉතිහාසයට එකතු වුණේ. මුළු ලෝකයටම කතා කරන්න තරම් බරපතළ සිද්ධියක්, හරියටම කියනවා නම් ‘අබිරහස් සිදුවීමක්’ එදා ඒ මුහුදු තීරයේ දි සිද්ධ වුණා.
මේ කියන සති අන්තයේ හැරල්ඩ් හෝල්ට් (Harold Holt), ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා කාලය ගත කරමින් හිටියේ පෝර්ට්සී වල තියෙන තමන්ගේ ගම්බද නිවාසයේ. ඊට කලින් දවසේ අගමැතිවරයා තමන්ගේ හිත මිත්‍රයන් 14 දෙනෙකුට පොඩි පාටියකුත් දුන්නා. ඒ වගේම යාළුවොත් එක්ක ටෙනිසුත් ගැහුවා. ඔය කියන ඉරිදා උදේත් අගමැතිවරයා පවුලේ අයත් එක්ක සුහදව සතුටු සාමීචියේ යෙදුණා. තමන්ගේ මිණිබිරිය එක්ක පොඩි වෙලාවක් ගෙවත්තේ සෙල්ලම් කරන්නත් අගමැතිවරයා අමතක කළේ නැහැ. එදා හවසට පවුලේ හිතවතෙකුගේ ගෙදර එළිමහන් බාබකියු පාටියකටත් යන්න තමයි හිටියේ.
සැහැල්ලු සති අන්තයකට ලැහැස්ති වෙලා හිටිය අගමැතිවරයා තමන්ගේ පොන්ටියැක් මෝටර් රථය පදවා ගෙන කඩමණ්ඩිය දිහාවට ගියේ සුළු සුළු වැඩ කිහිපයකට. ආපහු එන අතරේ අගමැතිවරයාගේ හිතවතුන් හතර දෙනෙකුත් කාරෙකේ දාගෙන තමයි ආවේ; අසල්වැසි ගෙදරක කාන්තාවකුයි, ඇයගේ දියණිය සහ ඇගේ පෙම්වතායි, ස්ටුවර්ට් කියලා තවත් හිතවතෙකුයි. එතකොට වෙලාව දවල් දොළහට විතර ඇති. සුන්දර ඕස්ට්‍රේලියානු වෙරළ තීරය දිගේ මෝටර් රථය පැද ගෙන එන අතරේ අගමැතිවරයා හැමෝටම මෙහෙම යෝජනාවක් කළා.
“අපි පොඩ්ඩක් මුහුදේ පිහිනමු”
ඒක පුදුම වෙන්න තරම් යෝජනාවක් නෙමෙයි. ඉඩක් ලැබෙන හැම වෙලාවකම අගමැතිවරයා හරිම කැමැතියි පිහිනන්න. අගමැතිවරයාගේ ගම්බද නිවස පෙනෙන නොපෙනෙන තරම් දුරින් පිහිටි වෙරළ තීරයේ මෝටර් රථය නතර කෙරුණා. මෝටර් රථයෙන් බැහැලා හැමෝම පඳුරු අස්සෙන් වැටුණු පටු අඩි පාර දිගේ මුහුදු තීරයට ආවා. ආවට පස්සේ තමයි දැක්කේ මුහුද ටිකක් සැරයි කියලා. රළ පහර වැඩියි. ස්ටුවර්ට් හැරුණම අනිත් අය කැමැති වුණේ නැහැ මුහුදට බහින්න. ස්ටුවර්ට් වුණත් ටිකක් පසු බැස්සා.

“අයියෝ මේ මුහුද ගැන මං දන්නවා මගේ පිටි අත්ල තරම්ම හොඳට” (“I know this beach like the back of my hand”) අගමැතිවරයා ස්ටුවර්ට්ගේ බය නැති කරන්න උත්සාහ කළා.
ඇත්ත තමයි. කලින් කිව්වා වගේම හැරල්ඩ් හෝල්ට් අගමැතිවරයා අති දක්ෂ පිහිනුම් කරුවෙක්. ඉඩක් ලැබෙන හැම මොහොතකම ඈත දියඹට ගිහින් පිහිනන්න, මසුන් දඩයම් කරන්න හරිම දක්ෂයෙක්. මේ මුහුද හෝල්ට්ට හොඳටම හුරුපුරුදුයි… තමන්ගේ පිටි අත්ල තරමටම! ඒත් ඒ කිව්ව වචන ටික තමයි ඕස්ට්‍රේලියානු අගමැතිවරයා විදියට ඔහු කිව්ව අන්තිම වචන ටික.
මුහුදට බැස්ස අගමැතිවරයා ස්ටුවර්ට් පහු කරගෙන මුහුදේ ඈතින් ඈතට පිහිනාගෙන පිහිනාගෙන ගියා. මුහුදේ පිහිනලා හොද පුරුදු කාරයෙක් නේ. ඒ නිසා ගියා තවත් ඈතට… තවත් ඈතට… අන්තමේ දී අගමැතිවරයා නොපෙනී ගියා. අගැමතිවරයා එක්ක ගිය පිරිස වෙරළ තීරයේ ඉඳන් බලාගෙන හිටියා… ඒත් ආයෙත් කවදාවත් අගමැතිවරයා මුහුදෙන් මතු වුණේ නැහැ…. අඩුම තරමින් මෘත දේහයවත් හමු වුණේ නැහැ.


අහසින්, ගොඩබිමෙන්, මුහුදෙන් දවස් පහක් පුරාම හෙව්වා, ඒත් ලැබුණේ නැහැ කිසිම හෝඩුවාවක්. දවස් පහකට පස්සේ අගමැතිවරයා තව දුරටත් ජීවතුන් අතර සිටින්නට ඉඩක් නැති හින්දා ඒ මෙහෙයුම නතර කෙරුණා. ඔය සිද්ධිය වෙද්දී අගමැතිවරයාගේ වයස අවුරුදු 59 යි. අන්තිමේ දී ඇමරිකානු ජනාධිපති ජොන්සන් ප්‍රමුඛ ලෝක නායකයන්ගේ සහභාගිත්වයෙන් හැරල්ඩ් හෝල්ට් අගමැතිවරයාගේ ‘අවමංගල්‍ය උත්සවය’ මහත් හරසරින් පැවැත්වුණා.
එදා මුළු මහත් ලෝකයම ආන්දෝලනයකට ලක් කළ මේ සිද්ධිය හිමිහිට හිමිහිට කාගේත් මතකයෙන් ගිලිහිලා ගියා. හැම අවුරුද්දකම වාගේ හෝල්ට්ගේ පවුලේ අයගේ සහභාගිත්වයෙන් අනුස්මරණ උත්සව පැවත්වුණා. තාමත් පැවැත්වෙනවා. අගමැතිවරයාගේ මේ අතුරුදන් වීමෙන් අවුරුදු දෙකකට පස්සේ 1969 දී ඔහුගේ නමින් (Harold Holt Swim Center) පිහිනුම් තටාකයකුත් විවෘත කෙරුණා. (ඔව් ඇත්ත… ඔහුගේ නමින් පිහිනුම් තටාකයක් විවෘත කිරීම නම් තරමක උත්ප්‍රාසයක් ගෙන දෙන කරුණක් තමයි)
ඔය විදියට දශක දෙකකට ආසන්න කාලයක් ගෙවිලා ගියා.


මැරුණා කිව්වාට මැරුණේ නැහැ!
හිටිහැටියේම තමයි වෙඩිල්ල පත්තු වුණේ. වෙඩිල්ලක් නෙමෙයි… ඒක මහා බරපතළ ගල් බෝරයක් තරම්ම දරුණු පිපිරීමක්. මේ පිපිරුමේ වෙඩි බෙහෙත් නූලේ ගිනි සිළුව පත්තු කළේ බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙක්. ඒ වගේම ජනප්‍රිය කතුවරයෙක්. ඔහුගේ නම ඇන්තනි ග්‍රේ (Anthony Grey). ඇන්තනි ග්‍රේ කියන්නේ එසේ මෙසේ පත්තරකාරයෙක් නෙමෙයි. රොයිටර් සේවාවෙන් තමන්ගේ පත්‍ර කළා ජීවිතය ආරම්භ කරපු ඇන්තනි ලෝකය පුරාම ආන්දෝලනාත්මක දේශපාලන සංසිද්ධීන් ගැන විමර්ශනාත්මක මාධ්‍යකරණයේ යෙදුණු කෙනෙක්. ඔහු මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙන්න තවත් හේතුවක් වුණේ චීන දේශපාලන යාන්ත්‍රණයේ අභ්‍යන්තරය ගැන තොරතුරු හෙළිදරවු කිරීම හින්දා චීන රජය ඔහුව අවුරුදු දෙකක්ම සිරගත කරපු හින්දා. ඒ පුවත එදා මාධ්‍ය ලෝකයම කැළඹූ කාරණයක්. බ්‍රිතාන්‍ය රජය විසින් විශිෂ්ටතම පුරවැසියන්ට පුදනු ලබන සම්මානයෙන් (OBE – Order of the British Empire) ඔහු සම්භාවනාවට පාත්‍ර වුණේ ජනමාධ්‍යවේදියෙකු විදියට ඔහු කළ විශිෂ්ට කැපකිරීම් සහ දක්ෂකම් නිසයි.
ඔහු ලිව්වා පොතක්… ඇඟ කිලිපොලා යන විදියේ එකක්. පොතේ නම “The Prime Minister was a Spy” (අගමැති ඔත්තුකාරයෙක් / චරපුරෂයෙක්).
මේ පොත ගැන අහලා තිබුණත්, ඒ වගේම පොතින් උපුටා ගත් ඇතැම් කොටස් මීට පෙර කියවලා තිබුණත් මුළු පොතම කියවන්න අවස්ථාවක් ලැබිලා තිබුණේ නැහැ. වෙනත් කිසියම් අධ්‍යයන කටයුත්තකට මේ පොත
උවමනා වුණත් වැන්කුවර් නගරයේවත්, ඊට ආසන්න නගරවලවත් රජයේ කිසිම පුස්තකාලයක මේ පොත තිබුණේ නැහැ. ඒත් වාසනාවකට වගේ මගේ දියණිය හරහා බ්‍රිටිෂ් කොළාම්බියා සරසවියෙන් (University of British Columbia) මහා බ්‍රිතාන්‍යයේ 1983 ජනවාරි පළමු වැනිදා ප්‍රකාශයට පත්වෙච්ච මුල්ම මුද්‍රණයේ පිටපතක් ලබා ගන්න පුළුවන් වුණා. (ඇමසෝන් වෙබ් අඩවියේ මේ පොතේ පිටපත් කිහිපයක් තියෙනවා. ඒත් පුස්තකාලයෙන් හෝ හිත මිතුරෙකුගෙන් හෝ අවශ්‍ය පොතක් සොයා ගෙන වැදගත් කරුණු සටහන් කරගෙන නැවත භාර දෙනවා හැරුණු විට පොත් මිලදී ගෙන ‘ගොඩ ගසා ගැනීමේ’ පුරුද්දෙන් සෑහෙන කාලයක සිට අත්මිදිලා ඉන්න නිසා පොතක් මිලදී ගන්නේ අවශ්‍යම වූ විටක පමණයි)
ඔව්… මේ පොත ඇත්තටම එක්තරා ආකාරකින් බෝම්බයක් අත හැරියා වගේ පොතක්. විමර්ශනාත්මක කෘතියක් වුණත් රහස් පරීක්ෂණ කතාවකටත් වඩා හරිම සිත් ඇදගන්නා පොතක්. හරියට ත්‍රාසජනක ක්‍රියාදාම සිනමා පටයක් වගේ. මේ පොතෙන් ඇන්තනි ග්‍රේ, අතුරුදන් වූ අගමැතිවරයා මහා ‘දරුණු විදියට’ (‘අනුකම්පා විරහිතව’ කිව්වොත් වඩාත් නිවැරදි ඇති) නිරාවරණය කරනවා. කොටින්ම කිව්වොත් හෝල්ට් තමන්ගේම මරණයේ ව්‍යාජ රඟපෑමක් තමයි එදා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මැරුණයි කිව්වට මැරුණේ නැහැ.
එදා අගමැතිවරයා ඈත මුහුදේ පිහිනන්නට ගියේ කලින් හොර රහසේ කතා කරගෙන මුහුද යට සඟවා තිබුණු සබ්මැරීනයක් හොයා ගෙන. මේ සබ්මැරීනයෙන් අගමැතිවරයා හොර රහසේම චීනයට පැන ගියා.
ඕස්ට්‍රේලියාව වගේ ප්‍රබල රටක, අගමැතිධුරය කියන මහානුභාව සම්පන්න තනතුරක සිටින මිනිහෙකුට ඇයි එහෙම හොරෙන් පැනලා යන්න හිතුණේ….? පොතේ නමේම තියෙනවා උත්තරය – ‘The Prime Minister was a Spy’. අගමැතිවරයා ඔත්තුකාරයෙක්… එහෙමත් නැතිනම් චරපුරුෂයෙක්!
ඇන්තනි ග්‍රේ මේ පොතෙන් විස්තරාත්මකව පෙන්නලා දෙන විදියට අගමැතිවරයා සරසවි ශිෂ්‍යයෙකු කාලේ ඉඳන් අගමැති තනතුර දරන කාලය දක්වාම චීනයේ චර පුරුෂයෙක් (ඔත්තුකාරයෙක්). සුළු පටු කාලයක් නෙමෙයි, අවුරුදු 30ක් පුරාවටම. අන්තිමේ දී ඒ තොරතුරු හෙළිදරවු වීමේ භීතිය හින්දා මේ විදියේ ව්‍යාජ මරණයක් ලෝකයාට පෙන්නලා හොර රහසේම වෙනත් රටක ජීවත් වෙන්නට ගියාය කියන කතාන්දරය තමයි පොත පුරාම දිග හැරෙන්නේ. අකුරෙන් අකුරට … පිටුවෙන් පිටුවට… පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට… කුතුහලයෙන් පිරුණු පොතක්. සම්පූර්ණයෙන්ම කියවලා මිසක් අත හරින්නට නොසිතෙන වර්ගයේ පොතක්.
ග්‍රේ කරන මේ ‘සාහසික’ මට්ටමේ අනාවරණය සත්‍ය වුණත් අසත්‍ය වුණත්, තමන් කියන හැම කාරණාවක්ම තහවුරු කරන්නට ඔහු විමර්ශනාත්මක සටහන්, ඓතිහාසික කරුණු කාරණා, අගමැතිවරයාගේ අතිශය පෞද්ගලික හමුවීම් සහ ඔහුගේ රහස්‍ය ලිය කියවිලි සවිස්තරාත්මකව ගෙනහැර දක්වනවා. මේ තොරතුරු ඔහු ලබා ගත්තේ කෙසේ ද කියන කාරණාවත් ඔහු සිද්ධියෙන් සිද්ධිය පෙළ ගස්වන්නේ හරිම අපූරු විදියට. ඔහු හෙළි කරන තොරතුරු පහසුවෙන් මග හැර යා නොහැකි මට්ටමේ ඒවා.
දැන් බොහොම දෙනෙකුගේ හිතේ ප්‍රශ්න වැලක් ඇති. අගමැතිවරයා ඇයි චීනයේ ඔත්තුකරුවෙක් වුණේ…? කොහොම ද ඔත්තු දුන්නේ…? මොන වගේ ඔත්තු ද දුන්නේ…? අගමැතිවරයාට ලැබුණු වාසිය මොකක්ද මේ ඔත්තු සැපයීමෙන්…? කොහොමද මේවා එළිදරවු වුණේ…? කවුද හෙළි කළේ…? මේ හැම ප්‍රශ්නයක්ම විග්‍රහ කරමින් ඒවාට හේතු සාධක සහ සාක්ෂි සපයමින් තමයි ග්‍රේ මේ පොත ලියලා තියෙන්නේ. පොතේ තියෙන හැම කරුණක්ම මේ ලිපියෙන් විස්තර කරන්න නොහැකි වුණත් මේ සටහන සම්පූර්ණ කරන්න නම් සිත් ඇදගන්නා සුළු කරුණු කිහිපයක් එකතු කරන්නටම වෙනවා.
ප්ලේබෝයි අගමැති
හෝල්ට් ඉපදෙන්නේ 1908 අවුරුද්දෙ සිඩ්නි නුවරට ආසන්න පුංචි නගරයක. මෙල්බර්න් සරසවියේ දී ඔහු නීති අංශයෙන් උසස් අධ්‍යාපනය ලබනවා. හෝල්ට් පාසල් කාලයේ ඉඳන්ම ක්‍රිකට්, ෆුට්බෝල් වගේ ක්‍රීඩාවන්ටත් දක්ෂකම් පෙන්නුවා. නීති උපාධිය අරන් සරසවියෙන් පිට වුණාට පස්සේ නීතිවේදියෙක් විදියට කටයුතු කරන අතරේම තමයි ඔහු දේශපාලනයට පිවිසෙන්නේ. 1935 දී මුලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට. පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු පහක් යන්නත් කලින් ඒ කියන්නේ ඔහුට අවුරුදු 32ක් වෙද්දී ඔහු ඇමතිවරයෙක්. මුලින්ම කර්මාන්ත සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ ඇමති. 1949 වෙනකොට ඔහු ආගමන – විගමන ඇමතිවරයා. ඊට පස්සේ කම්කරු සහ ජාතික සේවා ඇමති. 1956 වෙද්දී ඔහු පාර්ලිමේන්තුවේ සභානායක. තවත් අවුරුදු දහයකින් ඔහු ලිබරල් පක්ෂයේ නායකයා වෙනවා. 1966 දී රටේ ප්‍රබලම ධුරය වන අගමැතිවරයා බවට පත්වෙනවා. ඔහු කොයි තරම් නම් ජනප්‍රිය ‘ප්ලේබෝයි පන්නයේ’පුද්ගලයෙක් බවට පත් වුණාද කියනවා නම් හරියට අර ජේම්ස් බොන්ඩ් වගේ ‘007-Prime Minister’ විදියට තමයි පත්තරවල ‘කැප්ෂන්’ ගියේ. මේ තරම් දීප්තිමත් අනාගතයක් තිබුණු අගමැතිවරයෙක් ඇයි ඔත්තුකරුවෙක් වෙන්නේ?


ග්‍රේ කියන විදියට ඒ රහස් ජීවිතය ආරම්භ වෙන්නේ ඔහු සරසවි අධ්‍යාපනය ලබන කාලයේ ඉඳන්. ඔය කියන කාලය විශේෂ කාලයක්. දෙවැනි ලෝක යුද්ධය ඉවර වෙලා, ධනවාදී සහ සමාජවාදී කඳවුරු අතර සීතල යුද්ධයක් (cold – war ) තිබුණු කාලය. කොරියානු යුද්ධය ඇවිලෙමින් තිබුණු කාලය. චීනය සහ ජපානය අතර විරසකයන් මෝදු වෙමින් තිබුණා කාලය. චීනයට ජාත්‍යන්තර මට්ටමින් චෝදනා එල්ල වුණු කාලය.
ඒ වගේම මේ කාලයේ තමයි, හෝල්ට් දීප්තිමත් ශිෂ්‍යයෙක් විදියටත්, කැපී පෙනෙන පෞරුෂයක් තියෙන ක්‍රීඩකයෙක් විදියට මතු වෙමින් හිටියේ. ප්‍රසිද්ධ සඟරාවලට ලිපි ලිවීමේ පුරුද්දක් හෝල්ට්ට තිබුණා. මේ ලිපි වලින් ඔහු විශේෂයෙන්ම චීන සමාජවාදී කඳවුරට හිතවාදී වෙන විදියට ලියපු ලිපියක් දෙකක් එක්ක තමයි මුලින්ම මේ සම්බන්ධකම ආරම්භ වෙන්නේ. දීප්තිමත් අනාගතයක් මුල ඉඳන්ම තිබුණු මේ තරුණයා ඉතා සීරුමාරුවෙන් තමන්ට හිතවත් කර ගන්න චීන රජයේ චරපුරුෂයන්ට හැකි වෙනවා. ග්‍රේ පෙන්වලා දෙන විදියට චීනයට හිතවත්ව ලිවීම වෙනුවෙන් ඔහුට මුදල් ලැබෙනවා. ඔය කියන කාලයේ දී අන්තර්ජාලය, ජංගම දුරකථන, සමාජ මාධ්‍ය කියන ඒවා සිහිනයක්ව පැවැති කාලය බවත් මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ. මේ හින්දා පුවත්පත්, වාර සඟරාවල යන ලිපි බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණා වගේම සමාජ මතයක් ගොඩ නගන්න ප්‍රබල බලපෑමක් කරන්නටත් හැකි වුණා.
හෝල්ට් දේශපාලයට පිවිසීමත් එක්ක චරපුරුෂ සේවාව වඩාත් පුළුල් වුණා. හෝල්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා වීමත් එක්ක ධනවාදී කඳවුර වෙතින් චීනයට එල්ල වන්නට පුළුවන් අභියෝග ගැන ඉතා නිරවුල් සහ විශ්වසනීය තොරතුරු හෝල්ට් හරහා චීනයට ලැබුණා. ඒ වගේම චීනයට නිරවුල් කරගන්නට ඕන වුණු දේවල් හෝල්ට් හරහා ලෝක බලවතුන්ගෙන් විමසීම් කර ඒවාට පිළිතුරු ලබා ගන්නටත් චීනයට හැකි වුණා. ඔය කාලයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බලවත්ව තිබුණු නිසා පොදු රාජ්‍ය මණ්ඩලයේ සාකච්ඡා කෙරෙන රහසිගත තොරතුරු හෝල්ට් හරහා ඉතා ඉක්මනින් චීනය වෙත ලඟා වුණා. මා ඕ සේතුන් වගේම චෞ එන් ලායිගේ පාලනයේ යටතේ දීත් හෝල්ට් දිගටම මේ කාර්යයේ නිතර වුණා. මේ වෙනුවෙන් හෝල්ට්ට විශාල ගෙවීමකුත් ලැබුණා. මොකද චීනයට බටහිර රටක හිටිය ප්‍රබලතම චරපුරුෂයා තමයි හෝල්ට්. මේ හින්දා චීනය හෝල්ට්ව සැලකුවේ තමන්ට ඉන්න ප්‍රබලතම චරපුරුෂයා විදියට විතරක්ම නෙමෙයි, ලෝකයට යම් බලපෑමක් කරන්න පුළුවන් (‘an agent of influence’) අංක එකේ නියෝජිතයා විදියට. පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපතිවරයා විදියට හෝල්ට් චීනයේ වාසිය වෙනුවෙන් කරපු දේවල් ගැන විස්තර මේ පොතේ සටහන් කරලා තියෙනවා. චීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය හිමිවීම, මුල්ම වරට චීනය සහ ඕස්ට්‍රේලියාව අතර තානාපතිවරුන් හුවමාරු වීම වාගේ කටයුතුවලට පවා හෝල්ට්ගේ දායකත්වය බලපෑවා.
ග්‍රේ පෙන්වලා දෙන විදියට 1950 ගණන් වෙද්දී වාර්ෂිකව ඔහුට ස්ටර්ලිං පවුම් 30,000 ක විතර මුදලක් ලැබුණා. ඒ කාලයේ මේක අති විශාල මුදලක්. මේ නිසා හෝල්ට් එන්න එන්නම ධනවත් වුණා බරපතළ ඇමති ධුර ලැබුණාට පස්සේ හෝල්ට් චීනයට තව දුරටත් ඔත්තු සපයන්නට ඉදිරිපත් වෙන්නේ කොන්දේසි තුනක් යටතේ. ඔහුගේ පසුකාලීන චීන නියෝජිතයා (controller) වන Chen Yi චීනයේ විදේශ ඇමැතිවරයා බවට පත් කරන්නට චීන රජය කටයුතු කරන්න ඕනේ. දෙවැනි කොන්දේසිය තමයි රුසියානු පන්නයේ කොමියුනිස්ට් ක්‍රමයකට චීනය අනුගත නොවෙන බවට චීන රජය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න ඕනේ. තුන්වන කාරණය තමයි තමන්ගේ රට වන ඕස්ට්‍රේලියාවේ අවශ්‍යතා සහ චීන රජයේ අවශ්‍යතා එකිනෙක ගැටෙන ඒවා නොවිය යුතුයි. මේ කොන්දේසි තුනම සපුරනවා නම් තමා තව දුරටත් තොරතුරු සපයන්න සූදානම් කියලා හෝල්ට් තමන්ගේ චීන නියෝජිතයාට දැනුම් දෙනවා. චීනය මේ කොන්දේසි තුනටම එකඟ වෙන නිසා හෝල්ට් තව දුරටත් ඔත්තු සේවාවේ නිරත වෙනවා.
සාරාගේ ගවුමේ පබළු
අන්තර්ජාලය, ජංගම දුරකථන නැති ලෝකයක කොහොමද හෝල්ට් තමන්ට ලැබෙන තොරතුරු චීනයට දුන්නේ? ග්‍රේ පෙන්වලා දෙන විදියට මේ වෙනුවෙන් කලින් කතිකා කරගත්ත රහස් සංකේත භාවිත කෙරුණා. හෝල්ට් එක්ක විදේශ දූත ගමන්වලට ඔහුගේ බිරිය සාරාත් (Zara) සහභාගි වුණා. ඇය විලාසිතා අංශයට සම්බන්ධ ව්‍යාපාරික කටයුතුවල නිරත වුණා. ඒ නිසා ඔහු මේ පණිවිඩ යවන්නට සාරාගේතේ තමන්ගේත් ඇඳුම් පැළඳුම්වල තොරතුරු, ඒවායේ වර්ණ, සාරාගේ ආභරණවල හැඩරුව, රාජතාන්ත්‍රික භෝජන සංග්‍රහයට ලැබෙන ආහාර පාන, වයින් වර්ග, නෘත්‍ය ශාලාවල රඟ දක්වපු නළු නිළියන් සහ නාට්‍ය ශාලාවේ ස්වභාවය ගැන තොරතුරු මගින් තමයි රහස් සංකේත නිර්මාණය කරලා තිබුණේ. මේ නිසා හෝල්ට්ගේ පණිවිඩවල ඔය වගේ බාහිර කරුණු කාරණා දීර්ඝ විදියට විස්තර කෙරුණා. ඒත් කෙනෙකුට ඒවා සැක හිතෙන මට්ටමේ ඒවා නෙමෙයිනේ!
එංගලන්තයේ වෙස්මිනිස්ටර් ශාලාවේ තිබුණු එළිසබෙත් රැජිනගේ ඔටුනු පැළඳවීමේ උත්සවයට ඕස්ට්‍රේලියාව නියෝජනය කළේ හෝල්ට්. මේ සංචාරයේ දී ඔහු පණිවිඩ දුන්නේ රැජනගේ ලෝගුවේ තිබුණු එක වර්ණයක් දීර්ඝ විදියට විස්තර කරමින්. ඔටුනු පැළඳවීමේ උත්සවයේ දී ‘එම්බ්‍රොයිඩර් කරන ලද පබළු වලින් යුත් ආකර්ශනීය සුදු පැහැති ගවුමක් සාරා ඇඳගෙන සිටියාය’ කියලා සාරාගේ ගවුම දීර්ඝ විදියට විස්තර කරන හෝල්ට්, මුළු මහත් බකිංහැම් මන්දිරයම විස්තර කරලා තියෙන්නේ ‘fabulous’ (මනස්කාන්තයි) කියන තනි වචනයට ලඝු කරලා.
චීන නියෝජිතයා එක්ක බොහෝ දුරට හෝල්ට් ගනුදෙනු කළේ ඔය විදියට දුරස්ථ පණිවිඩ වලින්. දෙන්නා මුණ ගැහෙන්න ඕන වුණාම හෝල්ට්ගේ ගෙවත්තේ අඳුරු කෙළවරක අසේලියා ගස් අස්සේ තිබුණු අත් හැර දැමූ පැරණි ලියුම් පෙට්ටියට වැටෙන කොළ කෑල්ලක තැනයි, වෙලාවයි බොහොම කෙටියෙන් මෙහෙම සටහන් වෙනවා; ‘Number 2 – 16.30’. හමුවෙන ආරක්ෂිත ස්ථාන (safe-houses) කලින්ම අංක කරලයි තිබුණේ.
ඒත් මේ දේවල් හැමදාමත්ම මේ විදියටම සිද්ධ වෙයි කියලා හිතන්න අමාරුයිනේ. ඕස්ට්‍රේලියානු රහස් ඔත්තු සේවයට සැක හිතෙනවා රජයේ ප්‍රබලතම පුද්ගලයෙක් රාජ්‍ය රහස් එළිකරනවා කියන එක. එහෙම සැක හිතෙන්න හේතු කාරණා මොනවාද කියලා පොතේ සඳහන් වෙනවා. මේ සැකය තමන් දිහාවට එල්ල වෙන බව දකින හෝල්ට් භීතියට පත්වෙනවා. තමන්ට පිහිට වෙන්න කියලා චීන නියෝජිතයාගෙන් ඉල්ලා හිටිනවා. තමන්ට බරපතළ විදියේ උදව් කළ මේ ප්‍රබලතම ‘චර පුරුෂයාට’ පිහිට වෙන්න චීනය කිසිසේත්ම පසුබාන්නේ නැහැ.
ත්‍රාසජනකම සහ සිත් ඇදගන්නා සුළුම කොටස් තියෙන්නේ පොතේ අවසාන පරිච්ඡේද දෙක තුනේ. ඒ පරිච්ඡේදවල තමයි තියෙන්නේ පලා යාමේ සැලසුම, පලා යාම සහ පලා යාමෙන් පසු සංසිද්ධීන් ටික. ත්‍රාසජනකයි! ආකර්ශනීයයි! කුතුහලය දනවන සුළුයි!
මුහුදේ සඟවලා තියෙන චීන සබ්මැරීනයට පිහිනා යන්නට අගමැතිවරයා කරපු පෙර සූදානම, ඒ වෙනුවෙන් චීන ඔත්තුකරුවන් ගොඩබිම පසුබිම සකස් කළ ආකාරය, පලා යන්නට සූදානම් බවට අගමැතිවරයාත්, සබ්මැරීනය සූදානම් බවට චීන නියෝජිතයත් සංඥා (සිග්නල්) දුන්නු ආකාරය, මහ මුහුද යට දී සබ්මැරීනයට අගමැතිවරයාව නංවා ගත්ත ආකාරය, චීනයට පලා ගිය අගමැතිවරයාගේ රහසිගත ගමන් බිමන් වගේ සිදුවීම් ජාලාවක් හරිම අපූරුවට පොතේ විස්තර කෙරෙන්නේ ත්‍රිලර් වර්ගයේ සිනමා පටයක චමත්කාරය ගෙන හැර පාමින්. ඒ වගේම මේ සිද්ධීන් හැම දෙයක්ම නම් ගම්, ස්ථාන සහ දින වකවානු එක්ක පොතේ දිග හැරෙන්නේ හරියට මේ හැම දෙයක්ම කතුවරයා බලාගෙන හිටියා වගෙයි. ඒකට හේතුව මේ තොරතුරු සියල්ල කතුවරයාට හෙළි කරන්නේ චීන රජයට සම්බන්ධ විශේෂිතම පුද්ගලයෙක් නිසා.
ඒත් මේ පොත ලියැවෙන 1983 අවුරුද්ද වෙනකොට (කලින්ම කිව්වානේ පොත ලියැවුණේ ඔය සිද්ධියෙන් අවුරුදු 15කට විතර පස්සේ කියලා) අගමැති හෝල්ට් තවදුරටත් ජීවතුන් අතර ඉන්නවා ද? (හිටියා නම් ඒ වෙනකොට ඔහුගේ වයස අවුරුදු 75යි) ඉන්නවා නම් සතුටින් ද ජීවත් වෙන්නේ නැතිනම් පසුතැවිල්ලක් තියෙනවා ද? තමන්ගේ රටින් මේ විදියට පිටවෙලා රහසින් ජීවත් වීමේ ‘නිදහස’ ඔහු සතුටින් භුක්ති විදිනවා ද? පොත ලියද්දී ඔහු මිය ගිහින් නම් මිය ගියේ කවදාද? කොහේදි ද? ඔහුගේ අවසාන කාලයේ ඡායාරූපයක් දකින්න පුළුවන් ද? කියලා මේ පොතේ කතුවරයා වන ග්‍රේ අහන අවසාන ප්‍රශ්න කිහිපයට විතරක් පිළිතුරු ලැබෙන්නේ නැහැ.
“අපි ඔබට කිව්වේ නැහැ මේ ගැන පොතක් ලියන්න කියලා. මීටත් වඩා තොරතුරු සපයන්න බැහැ”, චීන රජයේ නියෝජිතයා සදහන් කරනවා.
“ඒත් මේ පොත (The Prime Minister was a Spy) ප්‍රකාශයට පත් කළොත් ඔබේ රජය මේ කරුණු ප්‍රතික්ෂේප කරනවා ද?”
“පොත එළියට එනකම් මට ඒ ගැන කියන්න බැහැ… ඔබේ පොතේ තියෙන තොරතුරු නිවැරදි නම් චීන ජනතාව කිසිසේත්ම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ… මතක තියාගන්න… සත්‍යය ප්‍රතික්ෂේප කිරීමේ පුරුද්දක් චීන ජනතාවට නැහැ”, චීන රජයේ නියෝජිතයා කිව්වා වගේම මේ ‘The Prime Minister was a Spy’ පොතේ කරුණු කිසිම දෙයක් තහවුරු කරන්නවත්, ප්‍රතික්ෂේප කරන්නවත් නිල වශයෙන් චීන රජය ඉදිරිපත් වුණේ නැහැ.
චයිනීස් කන්න කැමැතිම නැහැ!
දීර්ඝ වීම වළක්වන්නට මේ ලිපියට ඇතුළත් කළේ සාරාංශයක් පමණයි. තවමත් නොවිසිඳුනු මේ අබිරහස ගැන කුතුහලයෙන් පිරුණු තොරතුරු දීර්ඝ විදියට දැනගන්නට අවශ්‍ය නම් ඔබට මේ පොත කියවන්නටම වෙනවා.
බලාපොරොත්තු විය හැකි විදියටම හිටපු අගමැතිවරයාගේ දූ දරුවන්, බිරිඳ වගේම සමීප ඥාතීන් සහ ඔහුට සමීප බොහොම දෙනෙක් මේ පොතේ කරුණු දැඩිව ප්‍රතික්ෂේප කරනවා. සබ්මැරීන් කතාව හිතළුවක් බව ඔවුන් චෝදනා කරනවා. “හැරල්ඩ් කැමැතිම නැහැ චයිනීස් කෑම කන්න… ඉතින් ඇයි එයා චීනය වෙනුවෙන් පෙනී ඉන්නේ…?”, හෝල්ට්ගේ බිරිය, සාරා කියන්නේ එහෙමයි.
“හැම අවුරුද්දෙම ඕස්ට්‍රේලියානු මුහුදේ ගිලිලා මිනිස්සු මැරෙනවා… සමහර අයගේ මෘත දේහවත් හමුවෙන්නේ නැහැ”, අතුරුදන් වූ අගමැතිවරයාගේ 50 වැනි ගුණානුස්මරණයේ දී ඔහුගේ මුණුබුරා මාධ්‍යයට කිව්වා. “සීයා අතුරුදන් වුණු තැන මුහුද කොහොමත් ගැඹුරුයි”.
මේ පොත ලියපු ඇන්තනි ග්‍රේ කියන ජනමාධ්‍යවේදියා තවමත් ජීවතුන් අතර ඉන්නවා. 1938 දී උපත ලබපු ඔහුගේ දැන් වයස අවුරුදු 85යි. ජනප්‍රිය පොත් ගණනාවක කතුවරයා වන ඇන්තනිගේ අලුත්ම පොත “The Hostage Handbook: The Secret Diary of a Two-Year Ordeal in China” 2009 දී නිකුත් වුණා. චීනයේ තමන් සිරගත කළ කාලය ඇසුරින් තමයි මේ පොත ලියලා තියෙන්නේ.
මේ පොතට චෝදනා එල්ල වෙන්න පුළුවන් බව කලින්ම දැනගෙන හිටිය නිසා ග්‍රේ තමන්ගේ පොතේ අවසාන කොටසේ දී මෙහෙම ප්‍රශ්න වැළක් අහනවා.
ඔය සිද්ධිය වුණු සති අන්තයේ ඇයි අගමැතිවරයා තමන්ගේ ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාවම නිදහස් කළේ? ඔය කියන සති අන්තයට මාස කිහිපයකට කලින් කම්කරු ඇමතිවරයාට වෙඩි තැබීමක් සිදු වුණු නිසා අගමැතිවරයාගේ ආරක්ෂාව තර කරලා පැය 24 පුරාම ආරක්ෂක මුර භටයන් යොදවලයි තිබුණේ. ඒ වගේ මොහොතක තමයි අගමැතිවරයා තමන්ගේ ආරක්ෂක භටයින්ට නිවාඩු දෙන්නේ. ඇයි තමන්ම තනිවම වාහනය පදවාගෙන ගිහින් මාර්ගයේ වැරදි පැත්තක වැරදි විදියට වාහනය නවත්තලා ටික වෙලාවක් තියෙන්න හැරියේ? (ග්‍රේ පොතින් පෙන්නලා දෙන්නේ ඒක ගොඩබිම හිටපු චීන නියෝජිතයාට තමන් පලා යන්නට සූදානම් බවට කළ ‘සිග්නල්’ එකක් කියලයි). අගමැතිවරයාගේ අතුරුදන් වීමේ අබිරහස ගැන දිගින් දිගටම සොයා බලමින් පෞද්ගලික විමර්ශනයක් කළ ඕස්ට්‍රේලියානු ජාතික විශ්‍රාමික හමුදා නිලධාරයෙකු වුණු මේජර් බොබ් බ්‍රවුන් පෝර්ට්සී වෙරළ තීරයේ තමන්ගේ සුරතල් බල්ලා සමග ඇවිදිමින් සිටිය දී හිටිහැටියේම අතුරුදන් වෙන්නේ කොහොමද? ඒ සිද්ධිය වුණේ 1974 අවුරුද්දේ නොවැම්බර් 11. මේජර්වරයාවත්, ඔහුගේ බල්ලාවත් අද වෙනකල්ම හමුවුණේ නැහැ.
අගමැතිවරයාගේ අතුරුදන් වීමෙන් දවස් තුනකට පස්සේ ඒ කියන්නේ 1967 දෙසැම්බර් 20 වැනිදා ඇලන් ස්ටුවර්ට් කියන තැනැත්තා මහමගදී හදිසි මාර්ග අනතුරකින් දරුණු විදියට තුවාල ලබන්නේත් ඔය කිව්ව පෝර්ට්සී ප්‍රදේශයේදීමයි. ස්ටුවර්ට්ගේ ස්නායු පද්ධතියට බරපතළ හානි සිද්ධ වෙනවා. ස්ටුවර්ට් පදවා ගෙන ගිය මෝටර් රථයේ තරංග පද්ධතියට අදාළ තරලයට (hydraulic fluid) කිසියම් කෙනෙකු රසායන ද්‍රව්‍යයක් එක් කර තිබූ බව පසුව සොයා ගන්නවා. මේ ස්ටුවර්ට් කියන්නේ අගමැතිවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සාක්කි දුන්නු කෙනෙක්.
හෝල්ට්ගේ අතුරුදන් වීම සිදු වූ මුහුදු තීරයට ආසන්න ඕස්ට්‍රේලියාවේ ගිණිකොන දිග වෙරළේ සබ්මැරීනයක් දුටු බවට ධීවර බෝට්ටුවක් මගින් ලඟම තිබුණු පොලිස් ස්ථානයකට ලබා දුන් රේඩියෝ පණිවිඩය ගැන වාර්තාව
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා වාර්තා ගොන්නෙන් අතුරුදන් වූ බවත් ග්‍රේ පෙන්නලා දෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ සටහන පොලිසියේ වාර්තාවන්ගෙනුත් අතුරුදන් වෙලා. එහෙම වුණේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශයන්ට කිසියම් දෙයක් සඟවන්නට ඕන වුණ නිසාද කියලා ග්‍රේ ප්‍රශ්න කරනවා.
ඕස්ට්‍රේලියානු රහස් ඔත්තු සේවයට තමන්ගේම අගමැතිවරයා ගැන සැකයක් හට ගෙන තිබූ නිසා අවසාන කාලයේ දී විශේෂිතම ආරක්ෂක තොරතුරු රටේ ප්‍රධානියා වන අගමැතිවරයාටවත් ලබා නොදුන් බවත්, ඒ වගේම හෝල්ට්ගේ අතුරුදන් වීමෙන් පසු චීන ඔත්තුකරුවන්ට අදාළ රහස්‍ය වාර්තා කිහිපයක් අතුරුදන් වූ බවත් ග්‍රේ තමන්ගේ පොතෙන් පෙන්නලා දෙනවා.
අගමැතිවරයාගේ මේ රහසිගත මෙහෙයුමට චීනය මුහුදින් වගේම ගොඩබිමිනුත් උදව් කළ නිසා චීන නියෝජිතයන් රැසක් විවිධ ස්ථානවල ස්ථානගත කර තිබුණු බව මේ පොතේ සදහන් වෙනවා. අගමැතිවරයා අතුරුදන් වූ දවසේ වෙනදාට වඩා වැඩි ආසියාතිකයන් පිරිසක් පෝර්ට්සී ප්‍රදේශයේ ගැවසුණු බව නගරවාසීන් කිහිප දෙනෙක්ම පවසා තිබුණා. අගමැතිවරයා එක්ක අවසාන පිහිනුම් චාරිකාවට සහභාගි වුණු පිරිසෙන් එක් අයෙක් පොලිසියට දුන්නු කට උත්තරයේ තියෙනවා අගමැතිවරයා අතුරුදන් වූ ඈත මූදේ එක පාරටම විශාල කැළඹීමක් වගේ දෙයක් දැක්කා කියලා.
ඇමරිකාවේ සීඅයිඒ (CIA), රුසියාවේ කේජීබී (KGB) වගේ රාජ්‍ය ඔත්තු සේවාවන් තමන්ගේ ඔත්තුකරුවන් ගැන රහස් හෙළි කරන්නේ නැහැ. ඒත් ඇයි චීනය විතරක් මේ තොරතුරු හෙළි කළේ…? ඒකට හේතු කිහිපයක්ම ග්‍රේ තමන්ගේ පොතින් හෙළිදරවු කරනවා. තමන්ගේ රහස් ඔත්තු සේවාවේ විශිෂ්ටත්වය හෙළිදරවු කිරීම නිසා ලැබෙන ප්‍රසිද්ධිය ඒකට එක හේතුවක්. ඒ වගේම වෙනත් රටකට හොර රහසේ සබ්මැරීනයක් ඇතුළු කර බරපතළ අවදානමක් දරමින් සිය ඔත්තුකරුවන්ට රැකවරණය සලසන්නට තරම් චීනයේ ගෞරවනීය බව සහ නිර්භීතකම ලොවට පෙන්නුම් කිරීමත් එක හේතුවක්. තමන් වෙනුවෙන් ඔත්තු සපයන පිරිසට ලැබෙන ඉහළ ආරක්ෂාව ගැන පණිවිඩයක් සෙසු ඔත්තුකරුවන්ට ලබා දී ඔවුන් දිරිමත් කිරීමත් ඒ හරහා සිද්ධ වෙනවා. තමන්ගේ ඔත්තු කරුවෙකු ගැන තොරතුරු හෙළි කිරීමෙන් යම්කිසි හානියක් වෙන්න ඉඩ තිබුණත්, මේ හරහා චීනයට ලැබෙන අභිමානය ඊට වඩා වැදගත් බව චීනය සිතන්නට ඇති.
ඇන්තනි ග්‍රේ කියන ජනමාධ්‍යවේදියා සිය The Prime Minister was a Spy කෘතිය අවසන් කරන්නේ මේ අවසන් වාක්‍යයෙන්:
“හැරල්ඩ් හෝල්ට් පිළිබද මතකය අනාගත ලෝකයට එකතු වන්නට බොහෝ දුරට ඉඩ ඇත්තේ සිය ධුර කාලයේ දී යම් මට්ටමකින් සාර්ථකත්වයට පත් වූ අගමැතිවරයෙකු ලෙසින් නොව සිය චරපුරුෂ සේවාව අවසානයේ ‘චිත්තාකර්ශනීයව’ පරාජයට පත් වූ මිනිසෙකු ලෙසය”.







අඩුම වශයෙන් පහුගිය අවුරුදු 250ක කාලය තුල ලෝකයේ සෑම රටකම පාහේ ජාතික වශයෙන් හෝ ජ්‍යාත්තන්තර වශයෙන් – ද්වීපාර්ශීය ගැටුම් ලෙස වාර්තා වුනු (මැතිවරන ඇතුළු) සියලු ගැටුම් වල දෙපැත්තටම මුල්‍ය ආධාර දීම සහ මතවාදී අවකාශය නිර්මාණ කරදීම පිටුපස්සෙ ඉඳලා තියෙන්නෙ (තවමත් ඉන්නෙ ලෝක ජ්න්ගහනයෙන් 1% පමණවූ) ඉතා අත්ලොස්සක් වූ එකම ගෝලීය ව්‍යාපාරික කල්ලියක් බවට සාක්ෂි තියෙනවා…. තොරතුරු එළිවීම – ගවේෂණය වීම – සහ ඒවාට මාධ්‍ය අවකාශය විවරවීම තනිකරම ඒ කල්ලිය විසින් පාලනය කෙරෙන බවයි කියවෙන්නේ….
චීන – බටහිර බෙදුමද මේ විදියේම එකක් කියලා අපි තේරුම් ගන්න ඕනෙ… මාඕසෙතුන් බලයට ගෙන ඒම පිටුපස ලෝක බැංකුව ඇතුළු බටහිර මූල්‍ය ආධාර-අයෝජන තිබිලා තියෙනවා…. බොහෝවිට තමන් දෙගොල්ලම මෙහෙයවනු ලබන්නේ එකම බලවේගයක් විසින් බව නොදැන මේ දෙපැත්තෙම අය එකිනෙකාට විරුද්ධව ඔත්තු කියන්න නෙවේ, ගහ මරා ගන්නත් පෙළඹෙනවා,,,,, චෙස් බෝඩ් එකේ දෙපැත්තෙම ඉත්තො අදින්නෙ එකම කෙනා කියලා ඉත්තො දන්නෙ නෑ….
මෙතනදිත් වෙන්ඩ ඇත්තෙ ඒකම වෙන්ඩ බැරි නෑ…. සමහර විට ට්‍රම්ප් කියන්නෙත් විදෙස් ඔත්තුකාරයෙක් කියන සැකය යළි ඇතිකරවන්න මේ කතාව වගේ ඒවාට ඉදිරීකාලේ වැඩිපුර මාධ්‍ය අවකාශයක් ලැබෙන්නත් ඉඩ තියෙනවා… 🙂
ARUNA SYLVA http://www.harithacharika.blogspot.com
කැමතියිLiked by 1 person
ඔව්, එකඟයි. අතීතයේ අප අත්දුටු කරුණුවල සැබෑ හැඩරුව වර්තමානය වනවිට නිරාවරණය වී තියෙනවා. පුද්ගල චරිත ගත්තත්, තනි තනි සංසිද්ධින් ගත්තත් වෙනසක් නැහැ. ඉතිහාසයේ හැමදාම පීඩකයා එකම පංතියක, පීඩිතයා තවත් පංතියක. මේ පංති දෙක කවදාවත් වෙනස් වුණේ නැහැ. දේශපාලනයේ දී දක්ෂිණාංෂික සහ වාමාංශික බලවේග ගත්තත් එහෙමයි. මේ නිසා හැමදාමත් සැබෑ දකුණක් සහා ව්‍යාජ වමක් තිබුණා.
කැමතියිකැමතියි
මේක අපූරු ප්‍රවෘත්තියක් කළු. කවදාවත් අහල තිබුනෙ නෑ. කරුමෙට ඉන්ග්‍රීසි පොත් කියවන එක මලා වගේ වැඩක්. නැත්නං අනිවා කියවනවා.
හැබැයි මේක අර කොරහෙයි තලියෙයි හැම මලදානෙම කුමන්ත්‍රන පේන උන්නැහේලාගෙ වැඩක් වෙන්න බැරිද?
කැමතියිLiked by 1 person
බොහොම ස්තුතියි කෞශල්‍ය🙂 ඇත්තටම මේ කතාව හරිම කුතුහලය දනවන කතාවක්. කතාවේ සත්‍ය අසත්‍යතාව කුමක් වුණත්, පොතේ කර්තෘවරයා පොත ලියලා තියෙන්නේ පහසුවෙන් ඉවත දාන්නට බැරි ප්‍රබල සාක්ෂි එක්ක. මේ සිදුවීම ඒ විදියටම සිදුවුණා නම් ඒක සමස්ත ඉතිහාසයේම සිදු නොවූ තරම් පුදුම සහගත සිදුවීමක්. පොත ප්‍රකාශයට පත් වෙලා දැන් අවුරුදු 40 ක් විතර. කර්තෘත් තවම ජීවතුන් අතර ඉන්නවා. පොතේ කරුණුවලට බිඳ හෙලන්න පුළුවන් මට්ටමේ සාක්ෂි කිසිම දෙයක් නැහඅ. ඒ වගේම පවුලේ කිසිම කෙනෙක් හෝ චීන රජය හෝ පොතට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක්
ගන්න ඉදිරිපත් වෙලාත් නැහැ. මේ සිදුවීම තවමත් අබ්රහසක්.
කැමතියිLiked by 1 person
physically impossible for a submarine to be positioned so close to the shore.
කැමතියිLiked by 1 person
This note is a summary of a big book. The author describes that there are deep areas near that shore and those deep areas have different names. One of the deep area called as ‘Holt Hole’ the reason Holt used to go that area for deep diving when he had free time. There are more deeper areas other than ‘Holt Hole’ as per the author. Didn’t add all those details to this story to limit the length.
කැමතියිකැමතියි