රජ වැඩ කිඩ දෙන්නට උඹ රජ බඩුවක් ද?

අනර්ග සේද තිරයෙන් වර්ණවත්ව විල්ලුද බුමුතුරුණු පැතිරී ගිය ගරු ගාම්භීර කාමරයක්.

කාමරය මැද්දේ තිබුණු සුවපහසු හාන්සි පුටුවේ දෙකෙළවර ඉඳගෙන හිටියේ රටවල් දෙකක අගමැතිවරුන් දෙන්නෙක්. අගමැතිවරුන් දෙන්නා තම තමන්ගේ රාජ්‍යයන්ට අදාළ රාජ්‍ය තාන්ත්‍රික කරුණු කාරණා ගැන සුහද සංවාදයක.

අගමැතිවරුන් දෙදෙනාගේ සංවාදය මැද්දේ එක සැරේටම මේ කාමරයට කෙනෙක් කඩාගෙන වැදුණා. අඩි හප්පාගෙන සද්දයක් දාගෙන අනවසරයෙන්ම ආපු මේ පුද්ගලයා මහ හයියෙන් මොනවදෝ මොනවදෝ කියාගෙන ගියා විතරක් නෙමෙයි තමන්ගේ අත මිට මොළවලා මේසයට හයියෙන් පහරකුත් දුන්නා.

“පීටර්…” සත්කාරක රටේ අගමැතිවරයා, කාමරයට කඩා වැදුණු මිනිසාට ආමන්ත්‍රණය කළා. “කරුණාකරලා අංක හයේ රෙගුලාසිය මතක් කරගන්න” අගමැතිවරයා කිව්වේ බොහොම සන්සුන් හඩින්.

ඒක ඇහුණා විතරයි පීටර් හේබාලා ගියා. කරටි කඩන් වැටුණු පීටර්, අගමැතිවරුන් දෙන්නාගෙන්ම සමාව ඉල්ලලා ඔළුවත් පහත් කරගෙන ආපු දොරෙන්ම ආපහු හැරිලා යන්න ගියා.

අගමැතිවරුන් දෙන්නා කලින් නතර කරපු තැනින් ආපහු සංවාදය පටන් ගත්තා.

විනාඩි දහයක් පහළොවක් යන්න ඇති. අර කලින් පීටර් ආපු විදියටම තවත් කෙනෙක් කාමරයට කඩාගෙන වැදුණා. මේ සැරේ කාන්තාවක්. පිස්සියක් වගේ කොණ්ඩෙත් කඩා ගෙන කාමරයට ඇවිත් සද්ද බද්ද දාන්න පටන් ගනිද්දිම සත්කාරක රටේ අගමැතිවරයා ආපහු සැරයක් සන්සුන්ව ඇයව ආමන්ත්‍රණය කළා.

“මේරි… කරුණාකරලා අංක හයේ රෙගුලාසිය මතක් කරගන්න”

පුදුමයි… කලින් සැරේ වගේම තමයි. මේරිත් එක සැරේම ලැජ්ජාවෙන් මුහුණ රතු කරගෙන හිස නමලා අගමැතිවරුන් දෙන්නාටම ආචාර කළා. සමාව අයදින ගමන්ම සන්සුන් ගමනින් යන්න ගියා.

තවත් විනාඩි විස්සක් විතර යන්න ඇති. ආපහු සැරයක් ඒ විදියටම තුන් වැනි අමුත්තාත් කාමරයට කඩා වැදුණා. අගමැතිවරයා අර අංක හයේ රෙගුලාසිය මතක් කළා විතරයි එයත් බිමට මුහුණ ඔබාගෙන කිහිප සැරයක්ම සමාව ඉල්ලා හිමිහිට කාමරයෙන් යන්න ගියා.

“මගේ මිත්‍රයා…” අන්දුන් කුන්දුන් වෙලා හිටපු ආගන්තුක අගමැතිවරයා සත්කාරක රටේ අගමැතිවරයා ආමන්ත්‍රණය කළා.

“අගමැති කෙනෙක් විදියට පුදුමාකාර දේවල් මං දැකලා තියෙනවා. ඒත් මේ තරම්ම මාව පුදුමයට පත් කළ දෙයක් ගැන මට නම් මතකයක් නැහැ. ඔබ කැමැති ද ඔය අංක හයේ රෙගුලාසියේ රහස මොකක් ද කියලා මට කියන්න…?”

“අයියෝ සුළු දෙයක්නේ…” සත්කාරක රටේ අගමැතිවරයා, තම මිත්‍ර අගමැතිවරයාට මිත්‍රශීලී පහරක් ගහමින් සැහැල්ලුවෙන් සිනා සුණා.

“අංක හයේ රෙගුලාසියෙන් කියන්නේ මේකයි … ‘තමුසේ ඔය හිතාගෙන ඉන්න තරම් මහලොකු මිනිහෙක් නෙමෙයි’”

“ආහ්…” ආගන්තුක අගමැතිවරයා පුදුමයෙන් හිස සැලුවා. “ඇත්තටම ඒක නම් නියමම රෙගුලාසියක් තමයි”

ටික වෙලාවක් කල්පනාවේ හිටිය ආගන්තුක රටේ අගමැතිවරයා කුතුහලයෙන් ආපහු මෙහෙම ඇහුවා.

“එතකොට ඔය අංක හයේ රෙගුලාසියනේ…. අර අනිත් රෙගුලාසි ටිකත් මොනවද කියලා මට දැනගන්න පුළුවන් ද?”

“ඕක විතරයි මිත්‍රයා .. වෙන කිසිම රෙගුලාසියක් නැහැ”

*********************************************

කතාව ඉවර නැහැ… වැදගත්ම කාරණාව පටන් ගන්නේ දැන්.

ඔය කියන කතාව මං කියෙව්වේ ටික කාලයකට කලින් කියවපු පොතක. ඒත් මුහුණු පොතේ අහන්න දකින්න ලැබෙන දේ දැක්කම මේ කතාව ආපහු සැරයක් මතක් වුණ නිසා මේ සටහන ලියන්නට හිතුණා. පොතේ නම “The Art of Possibility”. හරිම අපූරු පොතක්. පොත ලියලා තියෙන්නේ Rosamund Stone Zander සහ Benjamin Zander කියන දෙපළගේ සම කර්තෘත්වයෙන්. බෙන්ජමින් කියන්නේ සුප්‍රකට සංගීත අධ්‍යක්ෂවරයෙක්. දැනට අවුරුදු 84ක් විතර වයස වුණත් තාමත් ක්‍රියාශීලීව ශාස්ත්‍රීය සංගීත සංධ්වනි මෙහෙයවන සුප්‍රසිද්ධ චරිතයක්. ඒත් ඔහු සංගීතයෙන් විතරක්ම දස්කම් පෙන්වන කෙනෙක් නෙමෙයි. අධ්‍යාපනඥයෙක්, දක්ෂ ලේඛකයෙක් වගේම නායකත්ව වැඩමුළුවල සුප්‍රකට කථිකයෙක්.

බෙන්ජමින් සහ රොස්මන්ඩ්

රොස්මන්ඩ් කියන්නේ බෙන්ජමින්ගේ බිරිඳ. ඇය සායනික වෛද්‍යවරියක්. ඒ වගේම නායකත්ව කුසලතාවන් පුරුදු පුහුණු කරවන සුවිශේෂී චරිතයක්. ලේඛිකාවක්.

යුරෝපයේ ප්‍රධාන පෙළේ ආයතනයක විධායක අධ්‍යක්ෂවරුන් පුරුදු පුහුණු කරන සැසිවාරයක දී බෙන්ජමින් ඔය කිව්ව කතාව ඒ අධ්‍යක්ෂවරුන් එක්ක බෙදා හදා ගන්නවා.

ඔය කිව්ව පුහුණු සැසිවාරයෙන් මාස හයකට විතර පස්සේ දවසක කිසියම් කටයුත්තකට බෙන්ජමින් ආපහු එනවා ඒ නගරයට. ඒ ආපු වෙලාවේ ඔහුට හිතෙනවා තමන් නායකත්ව වැඩමුළුව පවත්වපු ආයතනයටත් නිකමට වගේ ගොඩ වැදිලා යන්න. බෙන්ජමින් ආපු බව දැනගත්ත සමාගමේ සභාපතිවරයා ඔහුට ආරාධනා කරනවා තේ පානයට තමන්ගේ කන්තෝරු කාමරයට එන්න කියලා.

ඔන්න ඒ වෙලාවේ තමයි බෙන්ජමින් පුදුමයෙන් පුදුමයට පත්වෙන්නේ.

සමාගමේ සභාපතිවරයාගේ මේසයට උඩ, සභාපතිවරයාගේ පුටුව දිහාවට එල්ල වෙන විදියට ඵලකයක් තියෙනවා. ඒ ඵලකයේ කැටයම් කරලා තිබුණේ මෙන්න මේ වාක්‍යය.

“Remember Rule Number 6”

(අංක හයේ රෙගුලාසිය මතක් කරගන්න)

මේ වචන ටික මේ විදියටම කැටයම් කරපු ඵලකයන් සමාගමේ හැම අංශ ප්‍රධානියෙකුගේම මේසය උඩ තියෙන බව සභාපතිවරයා බෙන්ජමින්ට කිව්වේ ඔහු තවත් පුදුමයට පත් කරමින්. සභාපතිවරයාගේ මේසය උඩ තිබුණේ සභාපතිවරයා දිහාවට විතරක් යොමු වෙච්ච ඵලකයක්. ඒත් හැම අංශ ප්‍රධානියෙකුගේම මේසය උඩ තිබුණේ දෙපැත්තටම ඒ වචන ටික කැටයම් කරපු ඵලකයන්. මේ ඵලකයන් මේසය මත තැබූ දවසේ ඉඳන්ම සමාගමේ සම්පූර්ණ සේවා සංස්කෘතිය (cooperate culture) කැපී පෙනෙන විදියේ පරිවර්තනයකට පත් වුණා කියලා සභාපතිවරයා බෙන්ජමින්ට පැහැදිලි කළා.

මේක සත්‍ය කතාවක්.

කොයි තරම් සරල වැකියක් වුණත් මේ වැකියෙන් කොයි තරම් නම් බරපතල බලපෑමක් අපේ ජීවිතවලට කරන්න පුළුවන් ද කියලා ඔබට හිතේවි ඒ වාක්‍යය දෙතුන් වරක් කියවා බැලුවොත්.  

ඔව්… ඔය කියන අංක හයේ රෙගුලාසිය ඔබට… මට… අපි හැමෝටම ගිහි පැවිදි භේදයකින් තොරව අඩු වැඩි වශයෙන් අදාළයි. ඔය රෙගුලාසිය අමතක වුණොත් අපිටත් සිද්ධ වෙන්නේ පැනිය හදපු බාස් උන්නැහේට වෙච්ච දේම තමයි. එහෙමත් නැතිනම් කාබනික පොහොර ගැන කතා කරන්නට ගිහින් අන්තිමට හරක් වෙදෙක් ගානට ගිය විශේෂඥ වෛද්‍යවරුන්ට සිද්ධ වෙච්ච දේම තමයි.  

සමාජ මාධ්‍ය බොහොම සුලභ වෙලා තියෙන මේ වගේ කාලයක හැම අංශයකම උපරිම අන්තයට ගිය දාර්ශනිකයන් දැන් වැහි වැහලා. රටේ ලෝකේ සිද්ධ වෙන්නේ මොනවද… කිසිම අවබෝධයක් හැදෑරීමක් නැතිව තමන් තමන්ගේ මතවාද වමාරන්නේ හරියට ඒ ඒ අංශවලින් පරතෙරටම ඉගෙන ගත්තා වගේ තමයි. ඔය කියන අංක හයේ රෙගුලාසිය වැඩියෙන්ම ගැලපෙන්නේ ඔය කියන පිරිසට තමයි. ආගමද, කලාව ද, ආර්ථිකය ද, දේශපාලනය ද, ඉතිහාසය ද, පුරාවිද්‍යාව ද, වෛද්‍ය විද්‍යාව ද, කෘෂිකර්මාන්තය ද මේ ඕනෑම විෂයක් ගැන මේ අයගේ ෆේස් බුක් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා දකින ඒ ඒ අංශවල ප්‍රවීණයන්ට මේ අයව පේනේනේ සර්කස් කණ්ඩායමක විකටයන් වගේ නේද කියලා දැනෙන්නේ ඒ විදියේ ප්‍රවීණයන්ව පෞද්ගලිකව ඇසුරු කරද්දි තමයි. ඒ ප්‍රවීණයන්ට මෙයාල පේන්නේ නිල් කටරොල් මුනින්ඩ්‍රයො වගේ… දැක්කත් ඇති හිනා යනවා…

මේකෙන් අදහස් වෙන්නේ නැහැ කිසියම් කාරණාවකට තමන්ටම කියා මතයක් තිබීම වැරදියි කියන ඒක. තමන්ගේ මතවාදය සංවාදයට බදුන් කිරීම ඇත්තටම හොද දෙයක් තමයි. දහසක් මත ගැටෙද්දිනේ සහසක් මල් පිබිදෙන්නේ. ඒත් ගැටළුව වෙන්නේ තමන්ගේ මතය සදාතනික සත්‍යයක් විදියට තමන්ටම පෙනිලා තමන්ම ඒ මතවාදයෙන් ‘චූන්’ වෙලා අනිත් අයගේ ඔළුවලටත් ඒ මනස්ගාත ඔබ්බවන්නට යාම තමයි. හැමෝටම තියෙනවානේ මතවාද. හිට්ලර්ටත් තිබුණා මතවාදයක්. ඉඩි අමීන්ටත් තිබුණා. ඒවා කෙළවර වුණේ ඛේදවාචකවලින්. හොඳටම කළ ජනාධිපතිටත් තිබුණානේ මතවාදයක්. ඒ හාදයාගේ මතවාද කොයි තරම් නම් උද්දච්ච වුණා ද කියනවා නම් අන්තිමේ දී මුළු රටක්ම හිඟමනට දාලා තමන්ගේ ගෝලයෝ ටික බේරේ වැවේ නාන අතරේ හාමිනේ එක්ක රටිනුත් පැන ගත්තා. මෑතම උදාහරණය ගත්තොත් රියලිටි ෂෝවල වචන උච්ඡාරණය, ශ්‍රැතිය ගැන සිංහවංශයෙන් ‘ජජ්මන්ට්’ දුන්නත් තමන්ට ජාතික ගීයවත් කියාගන්න බැහැ නේද කියලා තේරුම් ගන්න ඒක ‘පර්ෆෝර්ම්’ කරලම බලන්න ඕනේ.  

රටේ ලෝකේ සිද්ධ වෙන හැම දේටම තමන්ගේ මතය ප්‍රකාශ කරන්න කලින් තමන් ඒ විෂය ගැන මොනවද දන්නේ කියන කාරණාව තමන්ට අමතක වීමට ප්‍රධානම හේතුව තමයි ඔය කියන අංක හයේ නීතිය අමතක වීම තමයි. මේ සියවස පටන් ගන්නත් කලින් ඒ කියන්නේ 1871 දී ඩාර්වින් කිව්වා මිනිස්සු බොහොම වෙලාවට දැඩි විශ්වාසයක් ඇති කරගන්නේ මෝඩකම වැඩි වෙලා මිසක් අවබෝධය නිසා නෙමෙයි කියලා. ඒක නම් සදාතනික සත්‍යයක්. (“Ignorance more frequently begets confidence than does knowledge”). 

ඔය කියන අංක හයේ රෙගුලාසිය කාලාන්තරයක් පුරාම විවිධාකාර විදියට අපිට අහන්න ලැබිලා තියෙනවා. ඒත් අපිට හැමදාමත් ඒ රෙගුලාසිය අමතක වෙනවා.

ඔය විදියට හැම විෂයක් ගැනම තමන්ට පුදුමාකාර දැනුමක් තියෙනවාය කියන ස්වයං දිව්‍ය විමානවල සැරිසරන අයව හඳුන්වන්න තරමක ග්‍රාමීය යෙදුමක් තියෙනවානේ… ඒ තමයි ‘මං පොර සංකල්පය’.

මං පොර සංකල්පය උග්‍ර වෙන්නේ තමන්ගේ ‘Ego’ එක ඉහවහා ගියාම. Ego කියන වචනයේ නියම අරුත තනි සිංහල වචනයකින් විග්‍රහ කරන්න අමාරුයි. ඒකට හේතුව බටහිර මනෝ විද්‍යාඥයන් Ego සංකල්පයට විවිධාකාර දාර්ශනික අරුත් කාවද්දලා තියෙන හින්දා. (හරියට පාලි භාෂාවේ ‘දුක්ඛ’ කියන වචනයට සිංහල හෝ ඉංග්‍රීසි හෝ වෙනත් කිසිම භාෂාවකින් හෝ තනි වචනයකින් තේරුම දෙන්න බැහැ වගේ තමයි)

ඒත් ඔය Ego කියන වචනයෙන් දෙන අදහස ඊටත් වඩා ඉතාම පුළුල් දාර්ශනික අර්ථයෙන් බුදුන් දේශනා කළේ අවුරුදු දෙදහස් පන්සියයකටත් කලින්. ඒකට තමයි ‘සංකාය දිට්ඨි’ කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය ඉහවහා ගියාම කෙනෙකුට හිතෙනවා ලෝකය කියන්නේ තමන්ම තමයි කියලා. ඒ කියන්නේ ලෝකය කැරකෙන්නේ සූර්යයා වටේ නෙමෙයි තමන්ගේ වටේ කියලා. ලෝකය කියන්නේ තමන්… තමන් කියන්නේ ලෝකය කියලා.

බුදුන් පුළුල් අර්ථයෙන් දේශනා කළ සක්කාය දිට්ඨිය කියන සංකල්පය තේරුම් ගැනීම කෙසේ වෙතත්  ෆොයිඩ් ප්‍රමුඛ බටහිර චින්තකයන් ඒ් තරම්ම පුළුල් නොවන අර්ථයකින් විග්‍රහ කළ Ego කියන සංකල්පයවත් තේරුම් ගන්න බොහොම දෙනෙකුට බැහැ. ගැඹුරු වැඩියි. ඉතින් ඒ අයට තේරුම් ගන්න තමයි ජප්සීස් සුනිල් පෙරේරා බොහොම සරල සිංහල බාසාවෙන් සිංදුවෙන් මෙහෙම ඇහුවේ,

‘රජ වැඩ කිඩ දෙන්නට උඹ රජ බඩුවක් ද?’

(ඡායාරූපයේ දැක්වෙන්නේ මේ අනන්ත වූ විශ්වයේ නිරීක්ෂණය කළ හැකි මට්ටමකට (observable universe) ලඝු කළ කල්හි අපේ පෘථිවිය දූවිලි අංශුවක් බව පෙන්වන දුරේක්ෂ ඡායාරූපයයක්. දූවිලි අංශුව තරම් කුඩා වූ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙසෙන ඔබ හා මට උරුම වන්නේ විශ්වයේ නිරීක්ෂණය කළ හැකි සීමාව හා සසදන කළ 500,000,000,000,000,000,000,000,000 (five hundred trillion trillion) තරම් කුඩා වූ ඉඩක් බව වටහා ගැනීම ඔබට මට මෙන්ම අපි හැමෝටම වැදගත්)

3 thoughts on “රජ වැඩ කිඩ දෙන්නට උඹ රජ බඩුවක් ද?

Add yours

  1. Dear Malli,
    I was trying to post the below comments, but unfortunately I don’t have a
    “WORD PROCESS” account. . However, it was great malli.

    You are a walking library …..Brilliant . Thanks for providing us with
    this kind of valuable info in a condensed manner, especially folks like us,
    who have made lives so complicated and have no time to read in detail. Well
    done and keep doing”.
    ..

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑