“එහෙමටම කියන්න තරම් විශේෂ කෙනෙක් නෙමෙයි ඔයා. ඒකට හේතුව ඔයා නිතර පොත පත කියවන කෙනෙක් නොවෙන හින්දා” (“Your thinking and personality are ordinary because your reading habits are ordinary.”)
තමන්ගේ මුළු ජීවිතයම වෙනස් වුණේ ඒ ප්රකාශයට පස්සේ කියලා විදේශීය විශේෂඥ වෛද්යවරයෙකු කරපු ප්රකාශයක් මෑතක දී මට කියවන්නට ලැබුණා. වෛද්යවරයාට ඒ ප්රකාශය කරලා තිබුණේ අවසන් වසරේ වෛද්ය විද්යාලයේ දී ඔහුට උගන්නපු වියපත් මහාචාර්යවරයා. වෛද්ය උපාධිය ඉහළින්ම සමත් වෙලා වෛද්ය විද්යාලයෙන් පිටත්ව යන මොහොතේ තමන් ගැන දැනෙන අවංක හැඟීම (honest feedback) කියන්න කියලා තමන්ගේ ප්රියතම මහාචාර්යවරයාගෙන් ඉල්ලා හිටපු වෙලාවේ තමයි ඔහු මේ ප්රකාශය කරලා තියෙන්නේ.
“ඒ කාලේ මගේ වයස අවුරුදු විසි ගණනක්. බොහොම තරුණ කාලේ. ඒත් මහාචාර්යතුමාගේ ඒ ප්රකාශයට මට තරහ ගියේ නැහැ. ඒ වෙනුවට මං ඒ ප්රකාශය බොහොම සීරියස් විදියට භාර ගත්තා. එදා ඉඳන් තමයි මගේ විෂයට පරිබාහිර පොත් පත් කියවන්න මං පුරුදු වුණේ. මගේ ජීවිතය ඇත්තටම වෙනස් වෙන්න පටන් ගත්තේ පොත් පත් කියවන පුරුද්ද ජීවිතයට ළං කරගත්තට පස්සේ. ඇත්තටම මට දැන් හිතෙන්නේ එකම දෙයයි: ‘මේ අවවාදය මට ඊට කලින් ලැබුණා නම්….?’”
දන්න කියන කරුණක් වුණත්, මහාචාර්යතුමා ඒ සත්යය ප්රකාශ කරලා තිබුණු නිර්භීත ස්වභාවය ගැන මගෙත් හිත ඇදිලා ගියා. මේ සටහන ලියැවෙන්නේත් ඒ නිසයි. මහාචාර්යතුමා කිව්ව කාරණාව වෙනත් විදියකට කියනවා නම්, ඒකෙන් කියන්නේ අපි කියවන සහ ග්රහණය කරගන්නා දේවල් අපගේ සිතුවිලි සහ පෞරුෂය හැඩගැස්වීමට සෘජුවම බලපානවා කියලයි.
අපට ඇසුරු කරන්නට ලැබෙන පිරිසෙන් අතිශය බහුතරයක් පොත පත කියවන්නේ නැහැ කියන එක සත්යයක්. එහෙම පිරිස අතරේ අහම්බෙන් වගේ පොත පත කියවන අය හමුවුණාම ඒ වෙනස හොඳටම දැනෙනවා. ඒ වගේම ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න, ‘දැනෙන යමක්’ කතා බහ කරන්න තියෙන අවස්ථාව බොහොම වැඩියි. කාර්යාලයේ හමුවන සගයන් අතර පවා පොත පත කියවන කෙනෙක් මුණ ගැහුණාම ඒ සම්බන්ධය පැය අටේ සීමාවෙන් ඔබ්බට දිව යනවා. ඒ වගේම තමයි නන්නාඳුනන මිනිසෙකු හමුවුණත් ඔබත් ඔහුගේත් පොදු සාධකය සාහිත්යය නම් ඒ කතා බහ හරිම සුන්දරයි.
ලංකාවේ ඉඳන් කැනඩාවට එද්දී ගතවන ගුවන් කාලය බොහොම දීර්ඝයි. ඒක ඇත්තටම වෙහෙසකර ගමනක්. මේ ගමනේ දී ඔබේ ආසනයට යාබදව සිටින අනෙක් ගුවන් මගියා එක්ක ඇතිවෙන්නේ බොහොම කෘත්රිම වචන කිහිපයක කතා බහක් විතරයි. ඒත් සති කිහිපයකට කලින් එවැනි ගුවන් ගමනක දී මා අසලම අසුන් ගෙන සිටි සුදු ජාතික ප්රසන්න මිනිසා අත පොතක් තිබෙනවා දැකලා මා ඔහු සමග සංවාදයක් ආරම්භ කළා. ඔහු කැනඩාවේ පුස්තකාල කිහිපයක සේවය කළ පුස්තකාලාධිපතිවරයෙකු මෙන්ම මේ වනවිට වගකිව යුතු ජාත්යන්තර රැකියාවක නිරත වෙලා ඉන්න කෙනෙකු බව තේරුම් ගත්තේ අපේ සංවාදය දිගට ඇදී ගෙන යද්දී. ගුවන් ගමන අවසාන වනතෙක්ම අපට කතා බහ කරන්නට ඕන තරම් දේවල් තිබුණා. ඒ වගේම වෙනදා සුපුරුදු දීර්ඝ වෙහෙසකර ගමන ඉතා කෙටි ප්රසන්න සංචාරයක් බවට පත් වුණේ අපි දෙදෙනාගේම පොදු සාධකය සාහිත්යය සහ පොත් පත් වුණු නිසයි. වැන්කුවර් ජාත්යන්තර ගුවන් තොටුපළ අපගේ ගමනාන්තය වුණත්, අප වෙන් වුණේ දීර්ඝ කාලීන මිත්රයන් බවට පත් වීමේ පෙරනිමිතිත් එක්ක.
නිතර දකින්නට ලැබෙන හෝමෝ සේපියන්ස්ලා අතරේ වෙනස්ම හෝමෝ සේපියන්ස් කෙනෙකු වෙන්නට ඕනෑ නම් හොඳම දේ තමයි පොත් පත් කියැවීමට ඇබ්බැහි වීම. පොත් පත් කියවන්නන් අතරේ වුණත් වෙනස් විදියට හිතන නැවුම් මිනිසෙකු වෙන්නට උවමනා නම් ඒ කියැවීම අර්ථවත් විය යුතුයි. ඒ කියන්නේ කියැවීමේ විෂය පරාසය පුළුල් වෙන්නට ඕනේ. (“If you want to be different, read differently”). එහෙම අයට තමයි පුළුවන් වෙන්නේ සිතිය යුත්තේ කොහොම ද (how to think) කියන කාරණාවට තමන්ටම පිළිතුරු සපයා ගන්න. නැතිනම් සිද්ධ වෙන්නේ සමාජයේ බහුතරයක් වගේ අනිත් අය කියන විදියට හිතන්නට (what to think) පෙළඹෙන්න. ඒ කියන්නේ තමන් වෙනුවෙන් හිතන්නට අනිත් අයට තමන්ගේ මස්තිෂ්කයේ ඉඩකඩ හදලා දීම. එහෙම අයට තමන්ටම කියලා මතයක් නැහැ. ඔහේ රැල්ලට වැනෙන චරිත.
අර මහාචාර්යවරයා කිව්ව විදියේ සුවිශේෂී මිනිසෙකු වෙන්නේ ඔහේ යන්නන් වාලේ, එහෙමත් නැතිනම් ඉඩක් ලැබුණු වෙලාවට ඉඳලා හිටලා පොතක් අතට ගැනීමෙන් නෙමෙයි. කියැවීම තමන්ගේ ජීවිතයේම කොටසක් (part of the lifestyle) බවට පත් වුණොත් විතරයි. එහෙම වුණාම කියැවීමත්, ඒ කියැවීමෙන් ලැබෙන අත්දැකීමත් ජීවිතය එක්ක අත්වැල් බැඳ ගන්නවා. ඒ වගේම තමන් නොදැනුවත්වම ඒ පරිචය තමන් තුළින් විද්යාමාන වෙනවා.
මුලු ජීවිත කාලයටම පොත් පනහයි….?
ස්විස් ජාතික ලේඛක ඩූබලි (Rolf Dobelli) තමන්ගේ “The Art of the Good Life” පොතෙන් හරිම අපූරු කාරණාවක් මතු කරනවා. තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම කෙනෙකු කියවලා තියෙන පොත් පත් ප්රමාණය පනහක් හැටක් කියලා හිතමු. සමාජයේ බොහොම දෙනෙකුට ඒක හිතන්නවත් තරම් ප්රශ්නයක් නෙමෙයි. ඒත් පොත් පත් කියවන ඔබෙන් ඒ ප්රශ්නය ඇහුවොත්, ඒක ඔබට කොයි තරම් ලොමු දැහැගන්වන භයානක සිතිවිල්ලක් ද? ඔබට මෙහෙම හිතේවි: “මුලු ජීවිත කාලයටම පොත් පනහයි….? හපොයි, ඔය තරම් අඩු ගණනක පොත් ටිකක් විතරක් කියවලා වනචාරියෙක් විදියට ද අන්තිමේ දී මැරිලා යන්නේ…? (How are you supposed to get through life in a half-civilized manner with so few books?)
මාර්ටින් වික්රමසිංහ වගේ මිනිසුන්ගේ සරසවිය වුණේ පොත් පත් මිසක් පාසල නොවෙයි. නොබෙල් තෑග්ග හිමිකරගත්ත ප්රථම ආසියානුවා වුණු රවීන්ද්රනාත් තාගෝර් පවා ඒ දැනුම ලබා ගත්තේ පාසල් පංති කාමරයක් තුළ නෙමෙයි. සාහිත්යය වෙනුවෙන් නොබෙල් තෑග්ග හිමිකර ගත්ත පෘතුගීසි ලේඛක සරමාගෝ (José Saramago) අධ්යාපනය ලැබුවෙත් පුස්තකාලයෙන් මිසක් පාසලෙන් නෙමෙයි. ඩාවින්සි, තෝමස් එඩිසන්, මයිකල් ෆැරඩේ, ඒබ්රහම් ලින්කන්… මේ විදියට පොත පතින් පමණක්ම දැනුම උකහා ගත්ත මිනිස්සු ආසියාවෙන් වගේම බටහිරෙනුත් දස දහස් ගණනින් හොයා ගන්න පුළුවන්.
The Body of the Dead Christ in the Tomb
ඔබ අහලා තියෙනවා ද හෝල්බයින් (Hans Holbein :1497-1543) කියන සුප්රකට ජර්මන්-ස්විස් චිත්ර ශිල්පියා ගැන? පසුකාලීනව බ්රිතාන්යය රජ මැදුරේ රාජකීය චිත්ර ශිල්පියා බවට පත් වුණෙත් ඔහු තමයි. ඔහුගේ සුප්රකටම චිත්රයක් තමයි “The Body of the Dead Christ in the Tomb” (සුසානඝරයේ ඇති යේසුස්ගේ මෘත දේහය). යථාර්ථයේ බිහිසුණුකම අතිශය අව්යාජව සහ සාහසික ලෙස නිර්භීතව ඉදිරිපත් කරන (one of the most chillingly realistic and brutally honest) කලා කෘතියක් ලෙස බටහිර කලා ලෝකය තුළ මේ සිතුවමට හිමිවෙලා තියෙන්නේ අතිසුවිශේෂී ස්ථානයක්.
ඇයි ඒ? ඒකට හේතුව හෝල්බයින් මේ සිතුවම නිර්මාණය කරන්නේ යේසුස් කියන චරිතය අසාමාන්ය මිනිසෙකු විදියට අරගෙන නෙමෙයි. ඔබ මා වැනිම වූ සාමාන්ය මිනිසෙකු මිය ගියාට පස්සේ දකින්නට ලැබෙන ස්වාභාවික මෘත දේහයක් විදියට. මෘත දේහයේ අත් පා, මුහුණ, යටි පතුල හැරිලා. ඇස් බාගෙට ඇරිලා. මුව තරමක් විවර වෙලා. රැස් වළල්ලක් නැහැ. සාමාන්ය මිනිසෙකුගේ මෘත දේහයකට කිසිම වෙනසක් නැහැ. මේ කරුණ මට සිහිපත් කරන්නේ “පිපාසයි ආනන්ද! ක්ලාන්තයි ආනන්ද!” කියන බුදු වදනට.
කොහොම නමුත් ඇයි හෝල්බයින් යේසුස්ගේ මෘත දේහය අර විදියට සිත්තම් කරන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ඔහුට උවමනා කරනවා කොයි තරම් යහපත් දෙයක් වුණත් ස්වභාව ධර්මයට යටයි කියන සනාතනික දහම මතු කරන්න. (‘සියලු සංස්කාර ධර්මයන් අනිත්ය වන්නේය’ යන බුදු වදන වගේ). මරණය මේ තරම්ම කටුක සහ යථාර්ථවාදී නම්, නැවත උත්ථානය වීමක් ගැන හිතන්නවත් පුළුවන් ද?
තමන්ගේ අධ්යාත්මික ශාස්තෘවරයා පිටසක්වලින් පැමිණි අසාමාන්ය චරිතයක් විදියට හිතන පතන අදහන්නන්ට සහ පසුකාලීනව ලියැවුණු ආගමික ග්රන්ථ භක්තියෙන් මිස බුද්ධියෙන් ග්රහණය කර නොගන්නා අයට හෝල්බයින්ගේ මේ සංකල්පය තැති ගන්වන සුළුයි. (බුදුන් සහ යේසුස් කියන චරිත දෙකම සිය අසාමාන්ය අධ්යාත්මික බුද්ධි ප්රභාව හමුවේ පවා ඔබ මා මෙන්ම හෝමෝ සේපියන්ස් මානව විශේෂයට අයත් බවත්, ඔවුන් දෙදෙනාගේම ඒ ප්රභාව තව තවත් දැල්වෙන්නේ ඒ ශාස්තෲවරුන් දෙදෙනාම ප්රකාශ කළ ආකාරයට මිනිස් කුලකයෙන් මතු වූ සුවිශේෂී චරිත දෙකක් ලෙසින් සැලකූ කල්හි පමණක් බවත් ඒ ආගමික දර්ශනයන් අනුගමණය කරන ‘අදහන්නන්ගෙන්’ ගිලිහී යාම වෙනමම කතා කළ යුතු මාතෘකාවක්)
ලොව අමරණීය ලේඛකයෙකු වන දොස්තයෙව්ස්කි (Fyodor Dostoevsky) ට මේ සිතුවම නරඹන්නට ලැබෙන්නේ 1867 අවුරුද්දේ දි ස්විට්සර්ලන්තයේ Basel හි පිහිටි Kunstmuseum කලා කෞතුකාගාරයට ගොඩ වැදුණු මොහොතේ දි. දොස්තයෙව්ස්කි මේ සිතුවමට වශී වෙලා කොයි තරම් නම් වෙලාවක් ඒ දිහා බලාගෙන හිටිය ද කියනවා නම් අන්තිමේ දී ඔහුගේ බිරිඳට සිද්ධ වුණා දොස්තයෙව්ස්කිව එතැනින් ඉවතට ඇදගෙන යන්න. එයින් වසර දෙකකට පස්සේ ඔහු තමන්ගේ “The Idiot” කියන අමරණීය ග්රන්ථය රචනා කරද්දී (මුනිදාස සෙනරත් යාපා විසින් “නිවටයා” නමින් විශිෂ්ට ලෙස පරිවර්තනය කරන ලද මෙම කෘතිය සූරිය ප්රකාශනයක් විදියට යළිත් වරක් මුද්රණයට පත් වෙලා තියෙනවා) අර සිතුවමේ තිබුණු හැම සුළු කාරණාවක්ම ඔහුගේ මතකයේ ඒ විදියටම රැඳිලා තිබුණා. (ඔබේ අයිෆෝනයට ඒ සමර්ථකම කරන්නට බැහැ නේද?)
“The Idiot” (නිවටයා) කෘතිය ඔබ කියවලා තියෙනවා නම්, එහි ප්රධාන චරිතය තමයි මිෂ්කින් කුමාරයා (Prince Myshkin). ඔහු නියෝජනය කරන්නේ යහපත, මනුෂ්යත්වය, දයාව, කරුණාව. මිෂ්කින් කුමාරයාව වරදට පොළඹවන චරිතය තමයි ධනවත් තරුණ වෙළෙන්දෙකු වෙන රොගෝෂින් (Rogozhin). ඔහු නියෝජනය කරන්නේ ඊර්ෂ්යාව, කුහකකම, දුෂ්ටකම වගේ චරිත ලක්ෂණ. අර කලින් කිව්ව සිතුවම කොයි තරම් අපූරුවට මේ නවකතාවට දොස්තයෙව්ස්කි සංකේතාත්මකව ගලපනවා ද කියනවා නම්, “The Body of the Dead Christ in the Tomb” සිතුවමේ පිටපතක් Rogozhin ගේ මූසල ස්වභාවය ඇති අඳුරු නිවසේ බිත්තියක එල්ලෙනවා. ඒ ඇසුරින් මේ සිතුවම ගැන දොස්තයෙව්ස්කි මතකයෙන් ගිලිහී නොයන අපූරු විස්තරයක් කරනවා. දොස්තයෙව්ස්කිට අවශ්ය වෙනවා යථාර්ථයක් වන මරණය හමුවේ සුන්දරත්වය, ආදරය, භක්තිය කියන කාරණාවලට පැවැත්මක් තියෙනවා ද කියන කරුණ දාර්ශනිකව ප්රශ්න කරන්න. යහපත සහ අයහපත අතර ගැටුම තමයි මේ නවකතාව පුරාම කේන්ද්රීය විදියට ප්රශ්න කෙරෙන්නේ.

“The Idiot” කෘතිය කියැවීම නිසා ලත් ප්රහර්ශය නිසාම මෙම කලාකෘතිය නැරඹීමට ලොව සතර දෙසින් මෙම කලාගාරයට ඇදෙන සාහිත්ය ලෝලීහු බොහෝය. මෙම කලාගාරයට පිවිසෙන ඔබට, අතිසුවිශේෂී අත්දැකීමක් ලබා දෙන්නට කලාගාරයේ බලධාරීන් කටයුතු යොදා තිබෙනවා. එනම්, කලාගාරයට පිවිසෙන ඔබව, එදා දොස්තයෙව්ස්කි කලාගාරයේ කාමර වෙත පියමං කළ අනුපිළිවෙළටම එකිනෙක කාමර හරහා ඔබව කැඳවා ගෙන යන එහි සිටින මාර්ගෝපදේශකයෙකු අවසානයේ දී ඔබව නතර කරන්නේ සියවස් එක හමාරකට කලින් දොස්තයෙව්ස්කි එදා ගල් ගැසී නතර වුණු ඇත්දැකීම ඔබට ලැබෙන ආකාරයේම ස්ථානයක. එදා දොස්තයෙව්ස්කිට දැනුණු හැගීම ඒ ආකාරයටම ඔබට සමීප කරවන්නට කලාගාරය විවිධාකාර උපක්රම භාවිත කරලා තියෙනවා.
____________________________________________________________________________________________________________


______________________________________________________________________________________________________
හෝල්බයින්ගේ සිතුවම මේ සටහනට අදාළ වෙන්නේ කොහොම ද කියලා ඔබට හිතේවි. ඒ කතාව මෙතැන දී සිහිපත් කළේ කියැවීම කියන්නේ ඔබව නොපෙනන ඈතට ගෙනි යන කොයි තරම් සජීවී ක්රියාකාරකමක් ද කියන කාරණාවට උදාහරණයක් විදියට. තවත් සරලව මෙහෙම පැහැදිලි කරන්නම්. හෝල්බයින්ගේ සිතුවම දොස්තයෙව්ස්කි කියන ලේඛකයාට තමන්ගේ සිතේ තිබුණු වස්තු බීජයක් නවකතාවක් බවට පත් කිරීමේ දී ප්රබල උත්තේජනයක් සැපයුවා. ඒ මත පදනම් වෙලා ඒ අසහාය ලේඛකයා අතින් ලියැවුණු නවකතාව සියවස් ගණනාවක් පුරා විවිධ භාෂාවන්ට පරිවර්තනය වෙමින් මිලියන ගණනක් වූ පාඨකයන් අමන්දානන්දයට පත් කළා. මේ කෘතිය කියවද්දී, විශිෂ්ට කලා කෘතියක්, තවත් කලා කෘතියකට ආභාෂය දෙමින් ගලා යන සිතිවිලි ධාරවක ඔබත් එක් පුරුකක් බවට පත් වෙනවා. පාඨකයෙකු විදියට ඔබට එයින් ඇතිවන උත්තේජනය, සිතිවිලි හා හැඟීම් ඔබේ පැවැත්ම තුළින් තවත් ඉදිරි පරපුරකට ගලා ගෙන යාවි. සමහර විට “නිවටයා” පොත කියැවීමෙන් මේ දේ ඒ විදියටම නොවෙන්න පුළුවන්. ඒත් ඔබ කියවන අනිත් පොත් පත් අතරින් අඩුම තරමින් කිහිපයක හෝ මේ ගලා යාම ඒ විදියට සිද්ධ වේවි. ඔබේ ජීවිතය අර්ථවත්වීම තුළින් ඔබේ පවුලේ සමීපතමයන් සහ ඔබ ඇසුරු කරන පිරිසටත් ඒ ධනාත්මක බලපෑම සමීප වේවි.
එකම පොත දෙසැරයක් කියවන්නේ ඇයි?
ඔබ හිතනවා ද එකම පොත දෙවරක් කියවිය යුතුයි කියලා. ඩූබලි පෙන්වා දෙන විදියට එකම සිංදුව අපි යළි යළිත් අහනවා නම්, එකම සෙල්ලම යළි යළිත් කරනවා නම්, එකම ආහාරය යළි යළිත් ඇණවුම් කරනවා නම්, ඉතින් ඇයි පොතක් විතරක් දෙවරක් කියවන්නේ නැත්තේ? කියවන ඒ හැම වාරයකම අලුත් සිතිවිලි, අලුත් අදහස්, අලුත් දෘෂ්ටිකෝණයන් ඔබේ හිතේ මැවේවි. (එකම ගංගාවට දෙසැරයක් බහින්න කාටවත් බැහැනේ. ගංගාව වගේම අපත් මොහොතින් මොහොත වෙනස් වෙමින් ගලා යන ප්රපංච. ඒ වගේම තමයි එකම පොත වුණත් යළි යළිත් කියවද්දී ඔබ කියවන්නේ සිතිවිලි සහ අත්දැකීම් මුහුකුරා ගිය වෙනස්ම ජීවියෙක් විදියට. ඒ නිසා තමයි පෙරදා නොදැනුණු දේ පොතේ පිටු අතරින් මතුවෙන්නේ)
හැබැයි ඉතින් එහෙම දෙසැරයක් කියැවිය යුත්තේ මොන වගේ පොත් ද කියන කාරණාව තෝරා ගැනීම ඔබටම භාරයි. කවුද කැමැති රහස් පරීක්ෂණ කතාවක් හරි අපරාධයක් ගැන කියැවෙන කතාවක් හරි නැවත නැවත කියවලා මිනීමරුවා කවුද කියලා ආයෙ ආයෙ හොයා ගන්න.
මේ සටහන අවසන් කරන්නට මත්තෙන් තවත් කරුණක් සටහන් කරන්නට කැමැතියි. බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි වයසට අනුව කියැවිය යුතු පොත් මොනවා ද කියන කාරණාව. මේ කාරණාව විවාදසම්පන්නයි. ඒ නිසා මතයක් දෙන්නට බැහැ. විශේෂයෙන්ම ඔබ, ළමා විය ගත කරන දරුවන් සිටින මවක හෝ පියෙකු නම් ඒ ගැන සැළකිලිමත් විය යුතු බව ඇත්තක්. කොහොම වුණත් බොහෝ විශේෂඥයන්ගේ මතය වෙන්නේ වයස කියන්නේ කෙනෙකුගේ බුද්ධිමය හෝ භාවමය පරිණතබව මනින්නට විශිෂ්ටතම සාධකයක් නෙමෙයි කියන එකයි. (Age classification is useful guidance, but it isn’t a perfect measurement of intellectual or emotional maturity).
මේ කිව්ව කාරණාවට අදාළ අතිශය පෞද්ගලික අත්දැකීමකුත් මේ සටහනට එක් කරන්නට කැමැතියි.
මේ කියන සිදුවීම සිද්ධ වුණේ අදින් දශක ගණනාවකට කලින්. හරියටම කියනවා නම් මා පාසලේ හයේ පංතියේ ඉන්නා කාලෙ දී. ඒ මොහොත් මා සිටියේ බස් නැවතුම් පොළේ බස් රථයක් එනකම්. මා මෙන්ම බස් රථය එනතුරු බලා සිටි පිරිස අතරේ උන් මැදි වියෙහි ගැහැනුන් දෙදෙනෙකු මා දෙස බලා නොසතුටින්, ඇත්තටම කියනවා නම් පිළිකුලෙන් කිසියම් දෙයක් කතා කරනවා මගේ අවධානයට යොමු වුණේ අහම්බෙන්. ඔවුන් සිය කතාව සහ පිළිකුල සඟවා ගන්නට උත්සාහ නොකළ නිසාම ඔවුන් කතා කරන දේ මට පැහැදිලිව ශ්රවණය කරන්නට හැකි වුණා. ඔවුන්ගේ පිළිකුළ යොමු වී ඇත්තේ මගේ අතේ තිබූ පොත් දෙක වෙත බව වටහා ගන්නට මට ගත වුණේ සුළු මොහොතක්. මෙවන් පොත් පත් මා වැනි ‘බාලවයස්කාර දරුවෙකුගේ’ අතට යොමු කිරීම ගැන මේ ගැහැනුන් දෙදෙනාගේ බරපතළ විවේචනය යොමු වෙලා තිබුණේ මටත් වඩා මගේ මාපියන්ටයි. මේ සිදුවීම තදින්ම මතකයේ රැඳී තිබූ නිසා ඒ මොහොතේ මා අත තිබූ පොත් දෙකත් මට හොඳටම මතකයි. එක පොතක් තමයි ලෙටීෂියා බොතේජුගේ “ගඟ අද්දර”. දෙවැන්න තමයි එඩ්වඩ් මල්ලවාරච්චිගේ “ලොකු දුව” කියන පොත. “ගඟ අද්දර” ඒ වනවිටත් සිනමාවට නැගිලා තිබුණු බව මතක තියෙන්නේ මා එදා කියවපු පොතේ පිටකවරය සිනමා පටයේ රඟ පෑ විජය-වසන්ති ගේ රුවකින් සැරසිලා තිබුණු හින්දා. “ලොකු දුව” සිනමාවට නැගුණේ පසු කාලයේ දී. මේ සිනමා පට දෙකම අධ්යක්ෂණය කළේ සුමිත්රා පීරිස්.
ඉතින් අර කිව්ව කාන්තාවන් දෙන්නාටම දරාගන්න බැරි තරම් කම්පනයක් ඇති වුණා මගේ වයසේ දරුවෙක් මේ පොත් දෙක “ලැජ්ජා බයක්” නැතිව කියැවීම. ඒ වගේම හිරිකිතයක් නැතිව ප්රසිද්ධියේ ඒ පොත් දෙක හැමෝටම පේන්න අතේ තියාගන්න තරම් නොහික්මුණු ළමයෙක් විම ගැන. (හැබැයි ඩබ්ලිව්. ඒ. සිල්වාගේ පරිවර්තනයක් වුණු වාල්මිකීගේ රාමායණයත් කියැව්වේ ඔය කාලයේ දීම බව මට මතක තියෙන්නේ එතැනදීත් ඔය වගේම සිද්ධියක් මගේ මතකයේ තියෙන හින්දයි). කොහොම නමුත් ඔය කියන පොත් දෙකම එදා මගේ හිත තදින්ම කම්පනයට පත් කළ පොත් දෙකක්. ඒ පොත් දෙක අතරිනුත් මා වඩාත්ම කම්පනයට පත් කළේ “ලොකු දුව” පොත. පාසලේ හය වසරේ සිටිය දී කියවූ ඒ පොත්වල පිටු අතරින් හිතට එදා හිතට දැනුණු කම්පනයේ ශේෂයන් තවමත් මගේ මතකයෙන් ගිලිහිලා නැහැ.
(Photos: Wikimedia Commons)

හෝල්බයින්ගේ සිතුවම මං දැක්කේ අද යි. ඒක අපූරුයි, to say the least.
“ගඟ අද්දර” සහ “ලොකු දුව” පොත් දෙකත් මා බාල/තරුණ කළ කියවා තියෙනවා. මට මතක විදියට “ගඟ අද්දර” රචනා කළේ ලැටීෂියා බොතේජු. Please check.
කැමතියිLiked by 1 person
බොහොමත්ම ස්තුතියි රසික.
ඔබ හරියටම හරි. ගඟ අද්දර ලිව්වේ ලෙටීෂියා තමයි. මං දන්නේ නැහැ ඇයි මට නම පැටළුණේ කියලා. මේ මොහාතේම එය නිවැරදි කරනවා. වැරැද්ද පෙන්වා දුන්නාට බොහොම ස්තුතියි🙏
කැමතියිකැමතියි