______________________
සමහර පොත් තියෙනවා, කියවලා ඉවර කළාට පස්සේ පුදුමාකාර විදියට හිතට කාවදින. අවුරුදු ගානක් ගියත් අමතක නොවන තරමට ඒ හැඟීම් හදවත පතුලටම කිඳා බහිනවා. ඒ අත්දැකීම මෙන්න මෙහෙමයි කියලා හරියටම විස්තර කරන්න කිසිම භාෂා උගතෙකුට පුළුවන් කමක් නැහැ.
ඒ වගේම තමයි, සමහර සිංදු. හොඳ ගීතයක් රස වින්ඳම දැනෙන හැඟීම විශ්ව සාහිත්‍යයේ උසස් පොතක් කියෙව්වාට පස්සේ දැනෙන හැඟීමටම සමානයි. හැබැයි වෙනස් තලයකින්. ඒ හැඟීම තීව්ර වෙන්නේ ගායකයාගේ හෝ ගායිකාවගේ කටහඬින් වගේම සංගීතයත් එකතු වුණාම කියන කාරණය ගැන විවාදයක් නැහැ. ඒත් ඒකට පදනම වැටෙන්නේ උසස් පරිකල්පන ශක්තියක් තියෙන ගේය පද රචකයා හින්දා. ගීතය සාහිත්‍යයක් විදියට විඳීමෙන් කොයි තරම් නම් අර්ථපූර්ණ රසයක් හදවතට එක් කරගන්න පුළුවන් ද?
“ලෙව් ලැකිය” සහ “කව් ලැකිය” කියලා භාෂා ව්‍යවහාරයන් දෙකක් තියෙනවානේ. ‘ලෙව් ලැකිය’ කියන්නේ ලෝක ව්‍යවහාරයට. ඒ කියන්නේ සාමාන්‍ය පොදු ජනයා වන අපි එදිනෙදා ව්‍යවහාර කරන භාෂාවට. ‘කව් ලැකිය’ කියන්නේ කාව්‍ය ව්‍යවහාරය. ඒ කියන්නේ සාහිත්‍යකරුවා භාෂාව හසුරුවන අපූරුව. ඒක හැමෝටම පිහිටන ගුණාංගයක් නෙමෙයි. තමන් දන්න භාෂාවෙන් මොනවා හරි දෙයක් ලියාගන්න පුළුවන් වුණු පමණින් අපි හැමෝටම ‘කව් ලැකිය’ නැහැ. ඔවුන් යොදා ගන්න යෙදුම්, භාෂා ප්‍රයෝග, උත්ප්රසාය පුදුමාකාරයි. සමහර යෙදුම් මතුපිටින් හරිම සරලයි. ඒත් ඒ යෙදුම් ඔප දැමූ මැණික් කැට වගේ.
‘හිත මිතුරු’ සුළඟ ළඟ එන වැහි වළාවට කියන්, දේදුනු පායා පාට වැටෙනවා ‘ජීවන අහස් තලේ’, සඳ දිය කොට කිරි වතුරින්, සරතැස නිවා ‘දිවි කතරේ’, සැඳෑ කළුවර ‘කුර ගගා විත්’, නොකියූ රහස ‘හද උතුරා වාන් දමයි’, ඔබ දිවි අරණේ රුවන් විජිතයේ ‘මැණික් පහන් වැට’ දැල්වේවා, කලාවැවේ ‘නිල් දියවර’ අපෙ අම්මා, මා ගැන ‘මතකය ගුලිකර’ මහවැලියට දමන්න, මලක් වෙලා ඔබ පිපෙන්න – ‘ආදරේ සුවඳ’ දෙන්න, නෙළුෑ සුපෙම් කැටයම් ‘හද පවුරු තලාවේ’…. මේ වගේ රසවත් අපූරු යෙදුම් කොයි තරම් නම් අපේ ගීත සාහිත්‍යයේ තියෙනවා ද?
“ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු ‘හසරැල් විලේ’” කියලා ප්‍රේමකීර්ති ලියද්දී, කේ. ඩී. කේ. ධර්මවර්ධනට ඒ දෙතොල් පෙනෙන්නේ “දෙඅදර විලිකුන් සුරත් පලේ – පෙම් මදිරා අයැදිමින් සැලේ” කියලයි. මෙතැනදී ‘දෙඅදර’ කියන්නේ දෙතොලට (පාලි/සංස්කෘත – අධර). ‘විලිකුන්’ කියන්නේ ‘හොඳින් ඉදුණු’ කියන එකටයි. එතැන දී ‘සුරත්’ කියන්නේ ‘ඉතාමත් රතු පාට’ කියන අදහසට. ඒ කියන්නේ ඇගේ දෙතොල ඉතාමත් රතු පාට (රසවත්) පළතුරක් වගේ. සැළලිහිණි සංදේශයේ දී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් බැස යන හිරු උපමා කළෙත් “විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල” විදියට කියලා ඔබට මතක ඇති.
වික්ටර් රත්නායකයන්ගේම මියුරු ස්වරයෙන් ගැයෙන “අඳුර බිඳින්නට රැයක් දවාලූ” ගීතය ගත්තම ‘තිමිරයේ තිරකඩ අරුණහෙි බිඳ හැර – හිරු තව දවසක් ගෙනැවිල්ලා’ කියන යෙදුමේ ‘තිමිරයේ තිරකඩ’ කියන යෙදුම කොයි තරම් නම් අපූරු උපමාවක් ද? තිමිරය කියන්නේ අන්ධකාරයටනේ. මේ සිංදුවේ දී ප්‍රේමකීර්ති ද අල්විස් අන්ධකාරය උපමා කරන්නේ සළුවකට. හිරු නැග එන්නේ අන්ධකාරය නැමැති සළුව විවර කරගෙන. කොයි තරම් නම් ලස්සනයි ද එ් සිතිවිල්ල?
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
දයාරත්න රණතුංග ගායනා කරන “ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි” ගීතයත් මේ වගේ අලංකාරයන්ගෙන් පිරිලා. එක පේලියක් අරගෙන බලමු. ‘හිතැඟි කළඹ කැටයම් කළ නීල පළිඟු ගොළු කැඩපත’… මෙතැනදී හිතැඟි කළඹ කියන්නේ තමන්ගේ හිතේ මතුවන සිතිවිලි සමුදාය (සිත අග ඇති කළඹ). නීල පළිඟු කියන්නේ දීප්තිමත් මැණිකක් එහෙමත් නැතිනම් ඔප දැමූ වීදුරුවක් වැනි යමක්. මේ ගීතයේ දී ඒ පළිඟුව සංකේතවත් කරන්නේ දෙනෙත්. එ් කියන්නේ තමන්ගේ පෙම්වතිය කිසිම දෙයක් නොදොඩා හිටියත් ඇගේ එ් නිල් මැණික් වන් දෙනෙත කැඩපතක් විදියට ඇගේ හද තුළ ඇති සියලු ආදර හැඟුම් කැටයම් කළාක් මෙන් පිළිබිඹු කරනවා කියලයි.
ඩබ්ලිව්. ප්‍රේමරත්න ගායනා කරන “අමකර කුරවි සරින් – තෙපළූ මධුර කතා” කියන අපූරු ගීතයේ තමන්ගේ පෙම්වතියගේ හඬ පෙම්වතාට කොයි තරම් නම් මිහිරි ද කියනවා නම්, ඒ මිහිරියාව කේ. ඩී. කේ. ධර්මවර්ධන ගේය පද රචකයා උච්ඡතම මට්ටමකට ගෙන එනවා. ‘අමකර’ කියලා කියන්නේ ‘අමා ආකරයක්’ වැනි වූ ඒ කියන්නේ ඉතා මිහිරි වූ කියන අදහස. කුරවි කියන්නේ කෝකිලාවියට. කෝකිලාවියගේ හඬ කොහොමටත් මිහිරි මධුරයි. මෙතැන දී එය තවත් මධුර මනෝහරයි.
සමහර යෙදුම් තියෙනවා මීට කලින් පොත් පත්වල හමුනොවෙන. බොහොම ජනප්‍රිය ‘සිකුරුලියා’ ගීතය ගත්තොත් මේ කියන ‘සිකුරුලියා’ කියන යෙදුම සාමාන්‍යයෙන් සාහිත්‍ය පොත පතේ දකින්නට නොලැබෙන යෙදුමක්. මෙැතනදී ධර්මසිරි ගමගේ සූරීන් ‘සිකුරුලියා’ කියලා යොදා ගන්න ඇත්තේ විවාහයකට යෝග්‍ය කාන්තාව කියන අර්ථයෙන් වෙන්න පුළුවන්. ඒකට හේතුව මංගල යෝගයට අධිපති ග්‍රහයා සිකුරා වෙන හින්දා. ඒ වගේම සිකුරු තරුව එහෙමත් නැතිනම් පහන් තරුව කියන්නේ සාහිත්‍යයේ දී හරිම ලස්සන තාරකාවක්. මේ කියන සිකුරුලියා ඒ තරම්ම සුන්දරයි.
සමහර සිංදු තියෙනවා අපට හිතෙන්න පුළුවන් ඒවා නිකම්ම නිකම් යෙදුම් පමණක් කියලා. මුලින් සදහන් කරපු වික්ටර් රත්නායයකයන්ගේ “ඔබෙ දෙතොල් පෙති ලිහී” කියන ගීතය උදාහරණයකට ගනිමු. එතැන දී ‘තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා’ කියන පේළිය අපූරු පද පෙළේ අහස් ගඟ කිව්වම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක නිකම්ම අහස ගඟක් විදියට අරගෙන කරපු උපමාවක් කියලා. ඒත් අහස් ගඟ කියන්නේ පුරාණ සාහිත්‍යයේ සඳහන් වන යෙදුමක්. පුරාණ සාහිත්‍යයේ අහස් ගඟ කියන්නේ අනෝතත්ත විලේ දකුණු දිශාවෙන් පටන් ගන්නා ගංගාවක කොටසක්. මේ ගංගාව තුන් වරක් විල පැදකුණු කරලා මහ ගල්තලාවක් මතින් ගලාගෙන ගිහින් පර්වතයක වැදිලා තමයි අහසට පැන නගින්නේ. ඒ පුරාණ කතාවකට අනුව අහස් ගඟ විදියට අපි දකින්නේ අහසට විසිරී යන ඒ ජලකඳයි. මේ අහස් ගංගාව එක්ක බැදුණු තවත් පුරාණ කතා කිහිපයක්ම තියෙනවා. කොහොම වුණත් එක්තරා කාලයක අහසේ ඈතින් පෙනෙන සුදු පැහැති ආලෝකය අහස් ගඟ කියලයි පැරැන්නන් කිව්වේ. අද අපි ක්ෂීරපථය එහෙමත් නැතිනම් Milky way වේ කියන්නේ පුරාණෝක්තියේ එන ආකාශ ගංගාවට කියන එකයි ජනප්‍රිය මතය.
අනෝතත්ත විල ගැන සදහන් කෙරුණු නිසා තවත් කරුණක් සිහිපත් වෙනවා. සමහර සිංදු තියෙනවා ඒ සිංදු පිටිපස්සේ විශාල කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගීතය නියමාකාරයෙන් රස විඳින්නට නම් ඒ ඉතිහාස කතාව ගැනත් දැනගෙන ඉන්නම වෙනවා. එහෙම නොදැන ඒ වගේ ගීත අනවශ්‍ය අවස්ථාවන්ට යොදා ගත්තොත් එහෙමත් නැතිනම් ඒ සිංදුවලට නර්තනයන් හෝ ‘මියුසික් වීඩියෝ’ කරන්න ගියාම ඒක තරමක විකාරයක්. මගුල් ගෙවල්වල මනාලිය කැන්දාගෙන එද්දී සමහරුන්ගේ ජනප්‍රිය ගීතයක් වෙන “අනෝතත්ත විල නෙලුම නෙලාලා” ගීතය ඒකට හොද උදාහරණයක්. (මේ ගීතය ගැන සැලකිය යුතු සටහනක් කලින් ලියලා තියෙන හින්දා ආපහු මෙතැන සඳහන් කරන්නේ නැහැ. ඒත් ඔබට ඒ ගීතයේ පසුබිම ගැන දැනගන්න කැමති නම් මේ සබැඳියාවෙන් ඒ ගැන දැනගන්න පුළුවන්.
මහදේ රන්සුමුගේ ඔබ තබලා – නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
සිංහල අවුරුදු කාලයට නිතර නිතර අහන්න ලැබෙන ගීතයක් තමයි සුනිල් එදිරිසිංහයන්ගේ “රා රා රා බොම්බියේ” කියන ගීතය. ඒකට හේතුව මේ ගීතයේ එක තැනක ‘අවුරුදු එයි හන්දියේ’ කියලා තියෙන හින්දා. ඒත් මෙතැනදී ‘අවුරුදු’ කියන්නේ සම්ප්‍රදායික අර්ථයෙන් සිංහල අවුරුද්ද නෙමෙයි. පිටරටින් එන විසූක දස්සනවලට. පිටරටින් එන හැම කුණු ගොඩක්ම භාර ගන්න එපා කියන තේරුම තමයි ගේය පද රචක සුනිල් සරත් පෙරේරා මෙතැනදී අපිට කියන්නේ.
මාහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “සරුංගලේ වරල් සැලේ” ගීතය රට හැර යන අපේ තරුණ පරපුර ගැන සරුංගලයක් උපමා කරලා ලියැවුණු ගීතයක් කියලා හැමෝම දන්නවා. ඒ වගේම ගුණදාස කපුගේ ගායනා කරන “උලලේනෝ” ගීතයත් අපේ සමාජයේ ඛේදවාචකයක හැඩරුව නිරූපණය කරන ගීතයක් බව හැමෝම දන්නවා. ඒ ගීතයේ දී ‘නිවනට ගිය දා මේ හැම දුක් දුරු වෙන්නේ’ කියද්දී එතැන ‘නිවන’ කියන්නේ යහපත් සමාජයක් කියන අර්ථය බව ගීත රස විඳින කාටත් රහසක් නෙමෙයි. මොකද ඒ ගීතයෙන් කියැවෙන්නේ යහපත් සමාජයක් උදා කරන්නට 71 කැරැල්ලේ දී තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවූ මිතුරන් අහිමිව ජීවිතය බේරා ගන්න වනගත වුණු තරුණයෙකුගේ බිඳ වැටුණු අපේක්ෂාවන් සහ අනාගත බලාපොරොත්තු සමුදායක් හින්දා.
කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපිට මේ සිංදු නිකම්ම මතුපිට අර්ථයෙන් රස විඳින්න බැරි කියලා. පුළුවන්. කිසිම බාධාවක් නැහැ. ඒත් අර්ථය දැනගෙන රස විඳිද්දී දැනෙන රසය වඩාත් තීව්රයි. උදාරහණයක් විදියට ගනිමු සුනිල් එදිරිසිංහයන් ගායන කරන “රුදුරු තුරු වදුලේ – තියුණු කටු අතරේ” කියන ගීතය. මේක බොහොම දෙනෙකුට දැනෙන්නේ පෙම් ගීතයක් විදියට. එහෙම හිතාගෙන ඒ ගීතය රස වින්දාට කිසිම ගැටලුවක් නැහැ. ඒත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මේ ගීතය ලියන්නේ තාත්තා කෙනෙකු දුවට කියන විදියට.
‘මහදේ රන්සුමුගේ ඔබ තබලා – නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා’ කියලා සැමියා හෝ පෙම්වතා තමන්ගේ බිරිඳට හෝ පෙම්වතියට කියනවාට වඩා බොහොම තීව්ර සංවේදී බවක් ඒ කියමන තාත්තා කෙනෙකුගේ මුවින් තමන්ගේ දුවට කියද්දී දැනෙනවා නේ ද? ‘සුමු’ කියන්නේ කුඩා ප්‍රමාණයේ බඳුනක් එහෙමත් නැතිනම් මංජුසාවක් වගේ දේකට. කුඩා රත්තරන් බඳුනක් බහා ලූ වටිනාම දෙයක් දෝතට ගෙන බොහොම පරිස්සමින් රැකගන්නවා වගේ තමන්ගේ දුවට රැකවරණය සලසනවා කියලයි මේ තාත්තා කියන්නේ. ඒ විදියට බිරිඳව හෝ පෙම්වතිය රැක ගන්නවා කිව්වම ඒක ටිකක් වෙනස් අර්ථයක් තමයි අරගෙන එන්නේ.
සනත් නන්දසිරිගේ මිහිරි ස්වරයෙන් ගායනා කරන “වරදක් කළත් සිතකින් නොවේ” ගීතයත් පෙම්වතියන් දෙදෙනෙකුට මැදි වූ පෙම්වතෙකුගේ සිතිවිලි සමුදායක් විදියට පෙනුණත් එය තමන්ගේ මෑණියන් සහ බිරිඳගේ ආදර විරසකයට ලක් වූ පුතෙකු හෝ සැමියෙකුගේ මුවට නැගෙන ශෝකී සිතිවිලි සමුදායක්.
ෂෙල්ටන් පෙරේරා ගායනා කරන “එගොඩහ යන්නේ ගීතය” මතුපිටින් තොටියෙකුගේ වෙහෙසකර මුවින් ගැයෙන ගීයෙක් විදියට පෙනුනත් පුදුමාකාර විදියේ යටි අරුත් දක්වන ගීතයක්. මෙතැනදී ‘තොටියා’ උපමා වන්නේ වෙහෙසට පත්ව පරිනිර්වාණයට ආසන්නයේ සිටින බුදු හිමියන්ට. (මේ ගීතය ගැන වඩාත් විස්තර සහිතව කියවන්න කැමැති නම් මේ පහලින් තියෙන සබැදියාවට යන්න)
මහගම සේකරයන්ගේ විශිෂ්ට පද රචනයක් විදියට පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන “ඈත කඳුකර හිමව් අරණේ” ගීතයත් ගීත සාහිත්‍යයේ අති සුවිශේෂී ගීතයක්. ඒකට හේතුව සාමාන්‍යයෙන් කවීන් සාහිත්‍යවේදීන් නිරන්තරයෙන් කරන්නට පුරුදු වෙලා ඉන්න ස්ත්‍රී ලාලිත්‍ය වර්ණනාව වෙනුවට පුරුෂ වර්ණනාවක් අඩංගු එකම සිංහල ගීතය විදියට මේ ගීතය හඳුන්වන හින්දා. මේ ගීතයට පදනම් වෙලා තියෙන්නේ නල-දමයන්ති ආදර කතාව. නල කුමාරයා කියන්නේ බොහොම ජවසම්පන්න කඩවසම් තරුණයෙක්. ඔහුගේ දුනු හී පහරින් මරණයට පත්වෙන්නට යන ස්වර්ණ හංසයෙකු කුමාරයට කියනවා තමන්ව මරණයෙන් බේරනවා නම් ඈත දීපංකරයක ඉන්න දමයන්ති කියන රූපවත් රජ කුමරියට ඔහුගේ වර්ණනාව කියලා ආදර සම්බන්ධයකට අඩිතාලම දාලා දෙන්නම් කියලා. දමයන්ති ඉදිරියේ හංසයා නල කුමාරයා ගැන කරන වර්ණනාව තමයි ඒ ගීතයේ තියෙන්නේ. ‘හදේ මෝරන ආදරේ – සදේ සොම් ගුණ යා කෙරේ’…. නල කියන්නේ පුන්සඳ වගේ සෞම්‍ය විදියට ආදරය කරන ප්‍රේමවන්තයෙක්. එහෙමයි හංසයා නල කුමාරයාගේ හදවතේ තියෙන ආදරය ගැන දමයන්තිට කියන්නේ.
ඉතින් ඔය විදියට පසුබිම දැනගෙන ගිතයක් රස විඳිද්දී ඒක දැනෙනවා වැඩියි. සාහිත්‍ය කෘතියක් වුණත් ඒ වගේනේ. හෙමිංවේගේ “මහල්ලා සහ මුහුද” (The Old Man and the Sea) කෘතිය අරගෙන බලන්න. වයසක මනුස්සයෙක් මහ විසාල මාළුවෙක් එක්ක ඔට්ටු අල්ලන හැටි තමයි මතුපිටින් බැලුවාම මුළු පොත පුරාම තියෙන්නේ. ඒත් ඊට යටින් දිව යන්නේ බරපතළ කතාවක්. මිනිසෙකුගේ ආත්ම ගරුත්වය, ජීවන අරගලය, නොපසුබට උත්සාහය වගේ කරුණු ගණනාවක්. “ගුරු ගීතය” බෙහොම පුංචි පොතක්. ඒත් ගුරුවරයා සහ සිසුවා අතර තියෙන සදාකාලික ජීවන බැඳීම ගැන අත්පොතක් තමයි ගුරු ගීතය කියන්නේ.
දිනයක් එළඹෙනු ඇත මන නන්දන – අසෙනිය මල් මත සිරිකත කැන්දන
ඒත් හැම ගීතයකටම අර්ථකථන ඕනේ ද? කොහෙත්ම නැහැ. සමහර ගීත තියෙනවා සරලව රස විඳින්න පුළුවන්. ඒ ගීතත් ජීවිතයට අපූරු මිහිරක් එකතු කරනවා. ඒවාට කෘත්‍රිම විදියට තේරුම් ඔබන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. පණඩිත් අමරදේවයන් ගායනා කරන මහගම සේකරයන්ගේ “වක්කඩ ළඟ දිය වැටෙන තාලයට” ගීතයට කාන්තාවකගේ ශාරීරික මාසික වෙනස්වීම් වලට සම්බන්ධ කරලා කිසිම තේරුමක් නැති අර්ථයක් ඔබන්නට උත්සාහ කරනවාට වඩා කොච්චර අපූරු ද වැස්සක් වහින්න ඔන්න මෙන්න තියෙද්දි වක්කඩ ළඟ තිත්ත පැටව් උඩ පනිමින් නටන දසුන මනසින් වින්දනය කරන එක.
ඒ වගේම බරපතළ විදියට අසාධාරණයට ලක්වෙච්ච ගීතයක් තමයි සුනිල් එදිරිසිංහයන් ගායනා කරන “සඳකඩ පහණක” ගීතය. මේ පදමාලාවට විවිධාකාර පිරිස දෙන පුදුමාකාර අර්ථකථන මේ ගීතය දැක්වෙන ‘මාතර ආච්චි’ චිත්‍රපටයේ කතා තේමාව ළඟින්වත් යන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් ඒ ගීතයේ සැබෑ අරුත ගැන නිශ්චිත අර්ථයක් දෙන්න හැකියාව තියෙන්නේ ගීතය රචනා කළ වොලී නානායක්කාරට පමණක්ම බව සුනිල් ආරියරත්නයන් පවා වරක් කිව්වා මතකයි. ඒත් අවාසනාවකට වගේ ඔහු ඒ ගීතය ගැන අර්ථ කථනයක් දුන් බවක් මා අසා නැහැ.
“දිනයක් එළඹෙනු ඇත මන නන්දන – අසෙනිය මල් මත සිරිකත කැන්දන” කියන අපූරු දෙපදය ඇහන්නේ සෝමතිලක ජයමහ සහ පුණ්‍යා කත්‍රිආරච්චි ගායනා කරන “දෙනුවර මින්පසු එක නුවරක් වෙමි” කියන ගීතයේ. මෙතැන දී ‘අසෙනිය මල්’ කියන්නේ කොයි වගේ මලකට ද කියන කාරණාව ඇතැමෙකුට තියෙනවා. ඒකට හේතුව සංස්කෘත බසින් ‘අර්චනීය’ (පූජනීය) සහ ‘අශනි’ (අකුණු) කියන වචන දෙකම සිංහලයට එද්දේ ‘අසනි’ වෙන හින්දා. එදිරිවීර සරච්චන්ද්‍ර තමන්ගේ “විලාසිනියකගේ ප්‍රේමය” පොතේ මේ අසෙනිය මල් ගැන ලියන්නේ “ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ රිසි වූ කෙනෙකුට පූජා කරනට” කියලයි. එතැන දී සරච්චන්ද්‍රයන් අර්චණීය එහෙමත් නැතිනම් පූජනීය කියන අර්ථයෙන් තමයි ඒ වචනය යොදා ගන්නේ.
ඒත් මේ ගීතයේ ගායකයා වගේම ගේය පද රචකයාත් වන සෝමතිලක ජයමහ ඉතාම සූර විදියට අසෙනිය මල් කියන වචනය යොදා ගන්නවා ලදපස් මල්වලින් එකක් වුණු විළඳ එමෙත් නැතිනම් පොරි වලට. අකුණු ගගහ වහිද්දි අසනි වැසි එහෙමත් නැතිනම් අසෙනිය වැසි කියලා කියනවානේ. වී ඇට, පොරි බවට පත්වෙන්නෙත් අකුණු ගහනවා වගේ පිපිරීමකට පස්සේ නිසයි ඒ නම පොරි වලට යොදන්නේ. කොයි තරම් නම් විචක්ෂණශිලීව ඔහු ඒ අදහස ගීතයට ගලපලා තියෙනවා ද?
සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ
තේරුමත් එක්ක හිතුවම ප්‍රශ්නයක් හිතේ ඉතිරිවන ගිතත් නැතිවාම නෙමෙයි. මොහිදින් බෙග් රුක්මණි දේවි එක්ක ගායනා කරන “පෙම් මල් මාලා නෙලා ගොතාලා” ගීතය හැමෝම දන්න බොහොම ජනප්‍රිය උදාහරණයක්. ‘පියඹා ආවා ප්‍රේම කුරුල්ලා – ස්වප්න පුරේ හී කූඩ තනන්ටා’ කියන ගීතය එහි රචකයා වුණු ඒ. ජේ. ද සොයිසා හරියට ලියලා තිබුණත් බෙග් මාස්ටර් ගායනා කරන්නේ ‘රත්නපුරේ’ කියලයි. ඒකට හේතුව බෙග් මාස්ටර් ලංකාවට ආපු මුල්ම කාලයේ සිංහල බස ගැන තිබුණු නුහුරු බව හින්දා. ‘ස්වර්ණපුරය’ සහ ‘රත්නපුරය’ කියන වචන දෙක පටලවා ගත්තම සිද්ධ වෙන්නේ බරපතළ වෙනසක්.
සමහර සිංදු තියෙනවා ගීත රචකයා වගේම ගායකයාත් ඒ ගීතයට සාධාරණත්වය ඉෂ්ට කරනවා. ඒත් කොයි තරම් අහලා තිබුණත්, පදවැල් අපේ දෙතොල් අග රැඳිලා තිබුණත් සමහර දේවල් මග හැරිලා යනවා. හොඳම උදාහරණයක් තමයි වික්ටර් රත්නායකයන් ගයන “අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්” කියන ගීතය. මේ ගීතය මෑතක් වනතෙක් මාත් හිතාගෙන හිටියේ පද මාලාව පටන් ගන්නේ ‘අපි’ කියලා කියලයි. එත් ඒක අපි නෙමෙයි, ‘අපෙ’ කියලා දැනගත්තේ මෑතකදී තීක්ෂණ පටබැදිගේ සොයුරාගේ වීඩියෝවකින්. ඒ වචන දෙක අතරින් මතුවන තේරුම්වල සියුම් වෙනසක් තියෙනවා. ඒ වගේම ඔහුගේ වීඩියෝවකින් ආපහු මතකයට නැගුණු දෙයක් තමයි සෝමසිරි මැදගෙදර ගයන “ඉස්සර බැඳි පෙම හිත්වල සුවඳයි කියන” ගීතය. මේ ගීතයේ දී ‘එක්කර අතැඟිලි ඔබ ඔහු සමගයි – මට ඉවසන්න හැකි’ කියන පදය බොහෝ දෙනෙකු හිතාගෙන ඉන්නේ ‘මට ඉවසන්න බැරි’ කියලයි. ඒ ‘හැකි’ සහ ‘බැරි’ කියන සරල වචන දෙකෙන් මැවෙන වෙනස කොයි තරම් නම් විශාල ද? ‘මට ඉවසන්න හැකි’ කිව්වොත් මැවෙන්නේ තමන්ගේ පෙම්වතිය තවෙකෙකු සමග අතිනත ගෙන යන ආකාරය අසරණව බලා සිටින පෙම්වතෙකුගේ හිතේ මැවෙන අහිංසක සිතිවිල්ලක්. එතැන ප්‍රේමය මිසක් වෛරය නැහැ. ඒත් ‘මට ඉවසන්න බැරි’ කියන වචනයෙන් ගම්‍ය වෙන්නේ පෙම්වතියත්, ඇගේ අතගත් මනාලයත් කෙරෙහි මතුවන වෛරයක් වගේ හැඟීමක්. අද කාලයේ නම් පිහි ඇණුමකින් කෙළවර වන්නට තරම් දරුණු හිතකට මූල බීජයක්.
එඩ්වඩ් ජයකොඩි ගායනා කරන “කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ – නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදම් කරන්නයි – කිරි කැටි පුතුණේ…” ගීතයේ ‘සුහුඹුල්’ අත් පා තියෙන්නේ ඒ කිරි කැටි පුතාට කියන කාරණාව පැහැදිලියි. ඒත් ‘සුහුඹුල්’ කියන වචනයේ සැබෑ තේරුම ඉතා හොඳින් වැඩුණු එහෙමත් නැතිනම් මේරූ කියන අදහස. පාසලේ විද්‍යා පංතිවලදී වුණත් ජීවන චක්‍රය බිත්තරයෙන් පටන් අරන් කීටයා, පිළවාට පස්සේ ඊළඟ පරපුර බිහිකරන්නට තරම් මෝරා ගිය ජීවන චක්‍රයේ උච්ඡතම අවස්ථාව තමයි සුහුඹුලා කියන්නේ.
ඒ වගේම අවස්ථාවක් තමයි නිරෝෂා විරාජිනී ගායනා කරන “පුන්සද රෑට ඇවිදින්” ගීතය. ජීවන බර උසුලාගෙන යන කටුක ගමනේ දී තනි යහනේ සැතපෙන්නට බල කෙරුණු බිරිඳගේ මුවින් නැගෙන සිතිවිලි සමුදායක් කියා පාන විශිෂ්ට ගීතයක්. ඇය සිහින මවන්නේ දරුවෙකු ගෙපැලට කැන්දා ගෙන එන්න. ඒත් ජීවිතය ඇද ගෙන යන්නට රෑට පැල් රකින්නට යන සැමියා නිසා ඒ බලාපොරොත්තුවට ඉඩක් නැහැ. ඒත් ‘තුන් පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන – රන් කැටි පුතුට ඉඩ මදිවා ද මගේ යහන’ කියලා කිව්වාට අලි ඇතුන්ගේ රාජධානියේ මූලිකයා ඇතින්න මිසක් ඇතා නෙමෙයි. අලින්ගේ සමාජය මාතෘ මූලික සමාජයක් නිසා පිරිමි අලි බොහෝ විට ජීවත් වෙන්නේ තනිව. ඒ හින්දා ‘තුන් පත් රෑන’ කියන්නේ අලි අම්මා, තාත්තා සහ අලි පැටියා කියලා බොහෝ දෙනෙකුට හිතුනට එතැන ඉන්නේ ඇතින්න, අලුත උපන් පැටියා එක්ක ඊට කලින් උපන් පැටියා. ඒ කියන්නේ අලුත උපන් අලි පැටියාගේ අක්කා කෙනෙක්.
එක්තරා කාලයක අතිශයින් ජනප්‍රිය වෙච්ච ගීතයක් තමයි අනුර සේනානායක ගායනා කරපු “සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ” කියන ගීතය. පාලි, සංස්කෘත භාෂාවල ‘කින්නර’ කියලා හඳුන්වන වචනය තමයි සිංහලයට ‘කිඳුරා’ වෙන්නේ. මේ ගීතයේ දී ‘සඳ කිදුරු කිදුරියන්’ වෙරළේ ගැවසෙන බව කිව්වත් සඳ කිඳුරු ජාතකය වගේ පැරණි සාහිත්‍යය ගත්තම සඳ කිඳුරා (චන්ද කින්නර) හැම වෙලාවෙම ඉන්නේ වනයේ. සඳ කිඳුරාට පාද සතරක් තියෙනවා. ඒ වගේම අර්ධ මිනිස් අර්ධ සිවුපා පෙනුමක් තමයි තියෙන්නේ. අප නිතර රූපවල දකින උඩු අර්ධය මිනිස් වේශයත්, පහළ අර්ධය මත්ස්‍ය වේශයත් තියෙන අයට තමයි දිය කිඳුරන් කියන්නේ. එතකොට සඳ පාන තියෙන රාත්‍රියේ වෙරළට එන්නේ දිය කිඳුරන් මිසක් සඳ කිඳුරන් නෙමෙයි.
නන්දා මාලනිය ගායනා කරන “බුද්ධානුභාවේන” ගීතයත් කාලයකට කලින් කතා බහට ලක් වුණු ගීතයක්. මේ ගීතයේ එක තැනක තියෙනවා ‘දසතින් ගලා ක්ෂීර පාසාස ධාරා’ කියලා. සංස්කෘතයෙන් ‘ක්ෂීර පායාස’ කියන්නේ කිරිබත්. (උදක පායාස කියනවා දිය බත්වලට). කිරිබත් වගේ ගණැති ආහාරයක් ගලා ගෙන යන්නේ කොහොම ද කියන ප්රශ්නය තමයි මෙතැනදී මතු වුණේ. ඒත් රටේ හැම අතකින්ම කිරි බත් පිසීම්, කිරි ඉතිරවීම් වගේ දේවල් සිදුවුණා කියන්න රූපකයක් විදියකට මහාචාර්ය ආරියරත්නයන් මේ යෙදුම යොදා ගත්තා වෙන්නත් පුළුවන්.
මාහාචාර්ය ආර්යරත්නයන් විසින්ම රචනා කරන ලද “පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය” ගීතයේ ‘ගමේ චණ්ඩි ස්ටැන්ලි ද සිටියාය’ ගීතයේ උක්ත ආඛ්‍යාත සම්බන්ධය ගැන ඇතැම් දෙනා ප්‍රශ්න මතු කළත් මෙතැන දී මහාචාර්යවරයා හිතාමතාම ඒ වෙනස සිදු කළ බව පැහැදිලියි. ඒකට හේතුව මෙතැන දී නන්දා මාලනිය එය ගයන්නේ ගමේ ගොඩේ ගැහැනියකගේ මුවින් පිටවන වචන වැළක් විදියට. ඩිංගිරි අම්මාට වට වන්දනාවෙදි තමන් ලත් අත්දැකීම් මිසක් ව්‍යාකරණයෙන් පලක් නැහැ.
කෙනෙකුට හිතෙන්න පුළුවන් සිංදුවක වචන ගැන හරි ව්‍යවහාරයන් ගැන වද වෙන්න ඕනේ නැහැ නේද කියලා. ඇත්ත. ගීත රචකයාට පූර්ණ අයිතිය තියෙනවා ගීතයට අවශ්‍ය විදියට වචන හරඹ කරන්න. ඒත් ඒ වචන හරඹය ගැන අවබෝධයක් අපිට නොතිබුණොත් බාසාව හෝ එහි යෙදුම් ගැන වැරදි වැටහීමක් අපිට ඇතිවෙන්න පුළුවන්. අමතක කරන්න එපා. ගීතය කියන්නෙත් බාසාවක විචිත්රත්වය වටහා ගන්න තියෙන විශිෂ්ටතම මාධ්‍යයක්.
මේ සරල උදාහරණය බලන්න. ‘කනාටු’ සහ ‘කුණාටු’ කියලා වචන දෙකක් සිංහල බාසාවේ තියෙනවා. හැබැයි සපුරාම වෙනස් තේරුම් දෙකක්. ‘කනාටු’ කිව්වම එතැන තියෙන්නේ නිස්සාර, එහෙමත් නැතිනම් වැහැරිලා ගිය වගේ අදහසක්. කනාටු පොල් ගස්වලින් ඵලදාවක් නැහැනේ. ඒත් ‘කුණාටු’ කියන්නේ බොහොම ජවසම්පන්න විදියට හමා ගෙනා චණ්ඩ කාලගුණ තත්ත්වයක්. නන්දා මාලනිය ගායන කරන “රන් කෙන්දෙන් බැඳ” ගීතයේ ‘කනාටු සුළඟේ දුහුල් මලකි අද – වල්මත් වී පාවෙන්නේ’ කියන ගීතයේ ‘කනාටු’ සහ ‘කුණාටු’ කියන වචන පටලවා ගෙන ගීතය ගායනා කරනවා ඕන තරම් ඇහිලා තියෙනවා. දුහුල් මලක් කියන්නේ සුසිනිඳු මලක්. ඉතින් වියලි කනාටු සුළඟට අහුවෙලා මලානිකව හිමිහිට ගහගෙන යද්දී ඒ මලට දැනෙන ජීවිතයේ නිස්සාර බව, වේදනාකාරී බව වැඩියි, කුණාටු සුළඟකට අහුවෙලා එක සැරේටම ගහගෙන යනවාට වඩා. ඒ ගීතය ඇතුළත් වෙන ‘දුහුළු මලක්’ චිත්‍රපටයේ තේමාවත් ඒක්ක ගත්තම සිනමා පටයේ කතාවට ඒ තරම්ම බද්ධ වූ වෙනත් ගීතයක් තියෙනවා ද කියලා මට නිතරම හිතෙනවා. ඒ ගීතයෙන් අජන්තා රණසිංහ තවත් ධ්වනිථාර්ථයක් මතු කරනවා. ඒ තමයි ජවයක් නැති සුළඟකටත් ගහගෙන යන්න තරම් සිනමා පටයේ ප්‍රධාන චරිතය (නීටා ප්‍රනාන්දු රඟ පෑ චරිතය) ප්‍රේමයන් දෙකක් අතර වල්මත් වෙලයි හිටියේ.
මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන “දිනෙක රන් සළු පළදා සඳ නැගි මේලාවෙන්” කියන ගීතය සමහර අය තේරුම් ගන්නේ ‘මේලාවෙන්’ කියලා නෙමෙයි, සද නැගී ‘වේලාවෙන්’ කියලයි. ඒත් ‘මේලාව’ සහ ‘වේලාව’ කියන වචන දෙක අතරත් ලොකු වෙනසක් තියෙනවා. මා ලඟ තියෙන මහා සිංහල අකාරාදියට අනුව මේලාව කියන්නේ සැණකෙළිය. හින්දි බසිනුත් මේලාව කියන්නේ ඒ වගේ අරුතකින්ම තමයි. ඒකට හේතුව ඒ වචනය බිඳිලා ඇවිත් තියෙන්නේ සංස්කෘත භාෂාවේ ‘මේලක’ කියන වචනයෙන් හින්දා. ඉතින් හඳ පායපු රැයක් කියනවාට වඩා කොයි තරම් ලස්සන ද අහසත් පොළොවත් සඳ එළියෙන් නැහැවිලා යන සැණකෙළියක් වගේ වගේ රාත්‍රියක ඇයව කැඳවා ගෙන යන්න ඔහු එනවා කියන එක.
ඔය කිව්ව ‘මේලක’ කියන වචනයේ මූලික ධාතුව තමයි ‘මිල්’ කියන්නේ. හමුවීම, එකතුවීම වගේ අර්ථයක් ඒ වචනයේ තියෙනවා. ඒ වචනය ඉතාම සූර විදියට සුනිල් ආරියරත්න “මුළු නුවරම නිදිගත් මේ මොහොතේ” කියන ගීතයේ දී යොදා ගෙන තියෙන හැටි බලන්න.
“වන උයන් පුරා මල් සමය උදා වේ
දිය දම් දිනිතිය යොවුන් වියේ
අප මධුර මිලනයේ තියු ගී රාවේ
ප්‍රාර්ථනා කරන්නේ
කවදාද අප හමු වන්නේ”
මෙතැනදී ‘දිය දම් දිනිතිය’ කියන්නේ සොබාදහමට. (‘දිය’ කියන්නේ ලෝක ධාතුවට. ‘දම්’ කියන්නේ ස්වභාවයට. ‘දිනිතිය’ කියන්නේ මාතාව කියන අරුතින්). සංස්කෘතියෙන් බිදී ආපු ‘තියු’ කියන වචනයේ තේරුම ස්තුති ප්‍රශංසාව වගේ අදහසක්. ‘මිලනය’ කියන්නේ හමුවීම, එක් වීම වගේ අදහසක් බව අපි දැන් දන්නවානේ. එහෙම බැලුවාම වෙන්ව සිටින මේ පෙම්වතුන්ගේ එක්වීම දකින්නට සොබා දහමත් බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්. ඒ එක්වන දවස වෙනුවෙන් ස්තුති ගී ගයන්නට සොබා දහම පවා බලාගෙන ඉන්නවා. ඉතින් කවදා ද අපි හමුවන්නේ…?
සොබා දහම සුන්දරත්වයෙන් පිරී ඉතිරී ගිය වසන්තයේ දී තම පෙම්වතා දකිනා තුරු නොඉවසිල්ලෙන් සහ නොනිමි ආශාවෙන් තමන්ගේ පැලේ හුදෙකලාව පසුවන පෙම්වතියගේ මුවින් මතුවන දුක්බර හැඟුම් සමුදාය කොයි තරම් අපූරුවට ඒ ගීතයෙන් වර්ණවත් වෙලා තියෙනවා ද? ඒ විදියටම පරිසර අසිරිය සහ ප්‍රේමය එකට එක් කරලා සුනිල් ආරියරත්නයන්ම රචනා කරලා තියෙන නන්දා මාලනිය ගායනා කරන “මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න” කියන ගීතය තේරුම වටහා ගෙන වින්දනය කරද්දී දැනෙන චමත්කාරය කොයි තරම් නම් විචිත්‍ර ද?
“සදැස් විදා මොනරු නටති – මේඝ වලා පාවේ
බලා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ
සහ ගුම් බිගු පේලි සැදී – නගන මධුර නාදේ
මල් ගොමු තුළ නිල් පලු දල යහන නිබද සෑදේ”
මොනරුන් පිල් විදහා රැඟුම් පාන්නේ වැහි වළාකුළු (මේඝ වලා) අහසේ විසිරිලා යන වෙලාවක. ඒ කළු පැහැති වළාකුළු අතරින් සුදු පාට කොකුන් රැලක් විදියට (සුළු කළිගු දා වතෙහි දී ‘බලා වැල’ කියන යෙදුම අර්ථ ගන්වන්නේ කොකුන් පෙළක් විදියට) අහසේ පියාඹලා යන්නේ සුදු පාට මලින් (මලිතිය මල් – සමන්, දෑ සමන් මල්) නිමැවුණු සුදු මාලයක් වගේ. ඒ අතරේ මී මැසි රංචුවක් (සහ ගුම් බිඟු) පේළි ගැහිලා මිහිරි සංගීත රාවයක් පතුරුවනවා. වනන්තරේ මල් ගොමු අස්සේ තද නිල් පාට (ප්‍රසන්න තද කොළ පැහැය සාහිත්‍යයේ දී නිල් පාටක් විදියටයි හඳුන්වන්නේ) ළපටි දළු (නිල් පලු දල) සුවපහසු යහනක් නිර්මාණය කරන්නේ මේ සුන්දර දසුන නිදහස් සුවයෙන් විඳින්නට කරන ආරාධනයක් වගෙයි.
හරබර වචන පෙළක් වුණත් තේරුම දැනගෙන රස විඳිද්දී කොයි තරම් නම් චමත්කාරයක් හිතට දැනෙනවා ද? සාහිත්‍ය කෘතියක් කියවනවා වගේ කොයි තරම් නම් අපූරු චිත්ත රූප පෙළක් මතුවෙනවා ද? අඟල් 50 හෝ 60 රූපවාහිනී තිරයකින් තබා පුළුල් තිර සිනමා පටයකින්වත් මවන්න පුළුවන් දර්ශනයක් ද?
මගේ හඳ මඩල මල් යහනකි ප්‍රභාවතී
මේ විදියට බාසාවට පුදුමාකාර විදියට ජීවයක් එක් කරන්නට හැමෝටම බැහැ. ඒ නිසාම තමයි ඒ දුලබ හැකියාව තියෙන රචකයන් වෙතින් බිහිවුණු නිර්මාණ සාහිත්‍ය කෘතියක් විදියට අපි විඳිය යුත්තේ. ඒ වගේම අපේ වාග්කෝෂය පොහොසත් කරගන්න අපූරුම මාධ්‍යයක් තමයි ගීතය කියන්නේ. විමසිල්ලෙන් සුභාවිත ගීතයකට කන් දුන්නොත් ඔබ කුතුහලයට පත් කරන යෙදුම් ඕන තරම් හමුවේවි.
“මානසවිල මැද රණතිසරාණෙනි – වෘන්දා වනයේ වසන්තයයි” කිව්වම මොකක් ද මේ ‘මානසවිල’ කියන්නේ? පුරාතන සාහිත්‍යයයේ කියැවෙන විදියට මානසවිල කියන්නේ හිමාලයේ තියෙන රත් පියුම් පිපෙන ඉතා පිරිසිදු නිසල විලක්. මේ විල අයිති කුවේරට. ජාතක කතා සාහිත්‍යට අනුව බෝධිසත්වයන් සහ යසෝදරාව පෙර ආත්ම භවයක දී දිය කිඳුරන්ව මේ විලෙහි වාසය කරලා තියෙනවා. මේ ගීතයේ දී රාධා – ක්රිෂ්ණ ප්‍රේම වෘත්තාන්තයට මානසවිල සංකේතයක් විදියට සම්බන්ධ කරලා තියෙන්නේ තමන්ගේ සිත නම් වූ සුන්දර නිසල විලෙහි නිරන්තර සැරිසරන රණ හංසයෙක් විදියට තමන්ගේ පෙම්වතා නිරතුරුව තමන්ගේ හදවතේ ඉන්නවා කියන අදහසිනුයි.
සුනිල් එදිරිසිංහයන් ගායනා කරන “ලෙංචිනා මගෙ නංගියේ ගීතයේ” ගීතයේ ‘පෙත්තරේ ළඟ පැන්තොටේ ගම්මානයේ පවු සෝදනා’ කියන කොටසේ ‘පෙත්තරේ’ කියන්නේ මොකක් ද? කුල ධුරාවලිය තදින්ම තිබුණු කාලයේ රෙදි සෝදන කුලය (රදා හෝ හේන කුලය) ට අයිති පිරිස රෙදි හෝදන්න භාවිත කළ ඇල – දොළ අද්දර තිබුණු ගල් පතුරට තමයි පෙත්තරේ කියන්නේ. මේ ගල් පතුර එයාලා යොදා ගත්තේ රෙදි ගලේ ගහලා හෝදන්න. පොදුවේ ගත්තම රෙදි සෝදන කුලයේ පිරිස රෙදි හෝදන්න භාවිත කරපු ඇළ දොළ කොටසටත් පෙත්තරේ කියනවා. අපිරිසිදු රෙදි පොට්ටනිය, එහෙමත් නැතිනම් මිනිසුන් සෝදන්න දෙන රෙදි පොට්ටනිය තම්බන හැලියට තමයි ‘වෙල්ලාව’ කිව්වේ.
සෝමතිලක ජයමහ ගායනා කරන “දස බිම්බර මාර සෙනඟ” ගීතයේත්, කපුගේ ගායනා කරන “බිම්බරක් සෙනඟ” ගීතයෙත් ‘බිම්බරක්’ කියන්නේ කොයි විදියේ සංක්‍යාවක් ද? පොළොවෙන් එක් පැත්තකට එක්රැස් වූ විට අනෙක් පැත්ත උඩ යන තරම් සේනාව විදියට තමයි සුමංගල ශබ්දකෝෂයේ මේ සංඛ්‍යාව හඳුන්වන්නේ. නිශ්චිත සංඛ්‍යාවක් දක්වලා නැහැ. ‘දස බිම්බරක්’ වෙන්නට නම් ඒ සංඛ්‍යාව වගේ දහ ගුණයක්. පොදුවේ ගත්තම පොළොවටත් බර තරම් අති විශාල සෙනගක්.
එහෙමනම්, අමරදේවයන් ගයන මහගම සේකරයන් අතින් ලියැවුණු “රත්නදීප” ගීතයේ ‘සින්ධුපමාන වැව් තලා මතින් ඇදී’ කියද්දී ‘සින්ධුපමාන’ කියන්නේත් ඒ වගේම සංඛ්‍යාවක් ද? ‘සින්ධු’ කියන්නේ මහා සාගරයට. අපේ මේ මව්බිමේ වැව් අමුණු මහ මුහුද තරම්ම සුවිසල් කියන තේරුම තමයි එතැන තියෙන්නේ.
කපුගේ ගායනා කරන “මගේ හඳ මඩල මල් යහනකි ප්‍රභාවතී” ගීතයේ දී ‘පවලම් පොටින් ගිලිහුණු තාරකාවියේ’ කිව්වම ‘පවලම් පොට’ කියන්නේ මොන වගේ ආභරණයක් ද? අපේ ජනශ්රැතියේ එන බොහෝ කවි වල මේ පවලම් පොට ගැන කියැවෙනවා. සොකරි කවි වලත් ‘’තෝඩු දමන්නී පවලම් මාල බඳින්නී’ කියලා කියැවෙනවා ඔබට මතක ඇති. මෙතැනදී පවලම් කියන්නේ පබළු කියන අදහස. විවාහයක දී හිසේ පළඳන පබළු මාලයේ නළල් තලයට වැටෙන කොටසේ තාරකාවක හැඩය තියෙන විශේෂ පබළුවක් (පෙන්ඩනයක්) තියෙනවා. මේ තාරතා පෙත්ත ගිලිහිලා වැටෙනවා කියන්නේ විවාහ දිවියක අවසානය. ඒ කියන්නේ දික්කසාදයක පෙර ලකුණු. ඒ වගේම වක්‍රාකාරයෙන් මේ කියන ප්‍රභාවතී චරිතවත් කාන්තාවක් නොවන බවත් ගීත රචක ස්වර්ණ ශ්‍රී බණ්ඩාර අපට ඉඟි කරනවා.
“දන්නෝ බුදුන්ගේ ගීතය” තරම් යුග ගණනාවක් පුරා එක විදියටම ජනප්‍රිය වෙච්ච ගීතයක් තවත් නැති තරම්. නීතිඥ ජෝන් ද සිල්වා විසින් මේ ගීතය රචනා කරනු ලැබුවේ 1903 වසරේ දී වේදිකාගත වුණු ‘සිරිසඟබෝ’ නෘත්‍යයට. එදා ඉදන් අද වෙනකල් විවිධාකාර ගායක ගායිකාවන් විවිධ ශෛලීන්ගෙන් මේ ගීතය ගායනා කළා. 2013 වගේ කාලයේ දී සමිතා මුදුන්කොටුවත් මේ ගීතය ගායනා කළා. (මට මතක විදියට සංයුක්ත තැටියකට) ඒත් ඇය ‘දන්නෝ බුදුන්ගේ ගීතය’ ගායනා කළේ ‘ධර්ම බුදුන්ගේ’ කියලයි. ඒ වගේම එදා දක්වාම වැරදි විදියට ගායනා කළ ගීතය තමන් නිවැරදිව ගායනා කළා කියලාත් ප්‍රසිද්ධියේම කිව්වා. ඒත් ඒ හා සමගින්ම සුනිල් ආරියරත්නයන් ගායිකාවගේ අතින් වෙච්ච ඒ වැරැද්ද ප්‍රසිද්ධියේ පෙන්වා දුන්නා. ඒකට හේතුව ‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ ඒ වැකියෙන් කියැවෙන්නේ බුදුන්ගේ ධර්ම ස්කන්ධය දන්නා වූ කිසිවෙක් වේද (දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා) ඒ තැනැත්තා නිරත්තර සීල සමාධියෙන් කටයුතු කරන බවයි. ‘ධර්ම බුදුන්’ කිව්වම ඒක විකාරයක්. කිසිම තේරුමක් නැහැ. බුදුන්ට විශේෂණයක් පදයක් දැම්මා වගේ. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි, ‘දන්නෝ බුදුන්ගේ ගීතය’ කියන්නේ බොහෝ දෙනෙකු හිතාගෙන ඉන්න විදියට බුදු ගුණ ගීතයක් නෙමෙයි. වෙසක් කාලයට බොදු බැති ගී ප්රසංගවලටත් නැතිවම බැරි ගීතයක් වෙලා තිබුණත්, මේ ගීතයේ දී වර්ණනා කරන්නේ පුරාණ අනුරාධපුර නගරයේ ශ්‍රී විභූතියයි. සංඝතිස්ස, සංඝබෝධි සහ ගෝඨාභය කියන කුමාරවරුන් තිදෙනා අනුරාධපුර රාජධානියට එද්දී එහි ශ්‍රී විභූතිය දැක මවිතවෙලා නගරයේ අසිරිසිරිය ගැන ගායන කරන ගීතයක් මිසක් මේ ගීතයේ දී බුදුන්ගේ ධර්මස්කන්ධය ගැන විග්‍රහයක් කෙරෙන්නේ නැහැ.
දන්නෝ බුදුන්ගේ ගීතය බුදුගුණ ගීයක් නොවුණත්, ඒ ගීතයේ තනුව සහ සංගීතය ගලාගෙන යන්නේ ළයාන්විතව. ඒත් සමහර ගීත තීයෙනවා ගීතයේ කියැවෙන අදහස සංගීතය සහ තනුවෙන් විකෘති වෙන. එහෙම වුණාම ඒ පද රචනයෙන් ඉස්මතු කරන්නට උත්සාහ කරන අදහස අර්ථවත් වෙන්නේ නැහැ. උදාහරණයක් තමයි “වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ” ගීතය. පද රචනයෙන් කියැවෙන්නේ නිවන් සම්පත පතා අටමස්ථානය වැඳ පුදා ගැනීමට කරන ආරාධනයක් වුණත් ඒ ගීතයේ තනුව නිර්මාණය වෙලා තියෙන්නේ වේග රිද්මයෙන්. ඒ හින්දා මත්පැන් උතුරා යන සාදයක දී වුණත් නට නටා ගයන්න පුළුවන් ගීතයක්. එහෙම සිංදුත් ඕන තරම් තියෙනවා.
දුවේ කියා මා අමතන් පියාණෙනි!
තවත් ගීත තියෙනවා මුළු ගීතයේම සාරාංශය එක වැකියකින් අපූරුවට කැටි කරන. කෘතහස්ත ගේය පද රචකයෙකු වන කුමාරදාස සපුතන්ත්‍රි අතින් රචනා වෙච්ච “මිදුලේ වැලි මාලිගාවෙ” ගීතය එහෙම පද රචනයක්. දුවෙකු තමන්ගේ තාත්තාට කරන ආදරණීයම ආමන්ත්‍රණයක් තමයි ගීතය පුරාම තියෙන්නේ. තමන් ගෙදරින් දුරස් වෙලා දුර ඈතක ගිහින් උසස් අධ්‍යාපනය සපුරාගෙන ඉහළම තැනකට ආවත් තමන්ට ඇති එකම ගෞරවය සහ තමන්ගේ ජීවිතයේ ඇති එකම වස්තුව තාත්තා තමන්ට ‘දුවේ’ කියා ආමන්ත්‍රණය කිරීම පමණක්ම බව කොයි තරම් ළෙංගතුව අන්තිම පේළියට එකතු කරලා තියෙනවා ද? – ‘දුවේ කියා මා අමතන් පියාණෙනි’
සූර රචකයාට පුළුවන් සභ්‍ය -අසභ්‍ය රේඛාවේ පැටලෙන්නේ නැතිව ඉතාම සංයමයකින් වචන හසුරුවලා හිතාගන්නත් බැරි තරමේ පණිවිඩයක් දෙන්න. අමරදේවයන් ගායන කරන “කුමරියක පා සළඹ සැළුණා” ගීතය හොඳම උදාරහණයක්. “සිරි යහනේ ලණු ඉහිරී” ගීතයත් එවැනි ගීතයක් තමයි.
ගීතය එහි සාහිත්‍යමය අරුතත් මුල් කරගෙන රස විඳිද්දී දැනෙන මිහිර හරිම වැඩියි. හැබැයි නිකම්ම අහලා අමතක කරන්න පුළුවන් ගීතත් ඕනෑවටත් වඩා අපිට තියෙනවා. ඒවායේ වචන හරඹ නැහැ. නිකම්ම පද පෙළක් විතරයි. “රුචිරාණෙනි අහන්න – එක පාර මා මරන්න”, “රම්බරි කියපන් උඹේ නොම්බරේ”, “ලස්සන මලක් හා හා ‘ලසන’ ළදක්”, “මැණිකේ ඔබේ හිතේ”…. ඔය වගේ ලැයිස්තුවක්ම කියාගෙන කියාගෙන යන්න පුළුවන්.
අති දක්ෂ රචකයෙකුට පුළුවන් ඕනෑම දෙයකට අර්ථ මවන්න. උදාහරණයක් විදියට ‘ඇස් දෙක’ කියන වචනය අරන් බලමු. රූකාන්ත ගුණතිලක “ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ” කියද්දී ඒ ඇස් දෙක ගැනම විවිධ විදියට ගීතවල ලියැවෙනවා. “රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්”, “මැණික් රුවක් ඇඳී තිබේ – ආදර නිල් දෑසේ”, “නිල් නුවන් පෙඟෙන අදුර ගලා නුරාවෙන් වෙලී”, “‘නෙතට උළෙලක්’ විය එදා ඔබ”…. “උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා” කියද්දිත්, “නිළුපුල් යුවලේ – රතු තොල් සඟලේ” ‘උපුල්’ කියන්නේ මානෙල් මල්. ‘නිල් උපුල්’ කියන්නේ නිල් මානෙල්. මානෙල් මල් මෙන් පියකරු වූ වූ දෑස්. “ඉගිල යන්න බැහැ මට මියුලැසියේ ඔබ ළගින්” කියද්දී එතැන ‘මියුල්’ කියන්නේ මුවාට. ‘මියුලැසිය’ කියන්නේ මුවෙකුගේ බඳු අහිසංක ඇස් දෙකක් ඇති තැනැත්තී කියන එකයි. වික්ටර් රත්නායකයන්ගේ “හෝපළු වනපෙත කම්පිත කරවන” ගීතයේ ‘අංජන ගල්වන පංකජ නයනී’ කියලා හඳුන්වන්නේත් ඇස් දෙකම තමයි. ‘පංක’ කියන්නේ මඩ. ‘පංකජ’ කියන්නේ ‘මඩෙන් උපන්’. නෙලුම් වලට කියන තවත් නමක්. ‘පංකජ නයනී’ කියන්නේ නෙලුම් මලක් වැනි විචිත්‍රවත් දෑසක් හිමි කියන තේරුමයි.
එකම සිදුවීමක් පදනම් කරගෙන ඒ ඇසුරින් ලියැවුණු ගීත වලිනුත් අපේ ගීත සාහිත්‍යය හරිම පොහොසත්. උදාහරණයක් විදියට හින්දු සහ බෞද්ධ ජාතක කතා සාහිත්‍යයේ විවිධ අයුරින් වර්ණනා කෙරෙන සුර-අසුර යුද්ධය වගේ තේමාවක් උනත් අරගන්න පුළුවන්. සුරයන් (දෙවියන්) සහ අසුරයන් අතර ඇති වෙච්ච මේ සුප්‍රකට යුද්ධයේ දී විෂ්ණු දෙවියන්ගේ උපදෙස් මත අමරණීයත්වය ලබා දෙන අමෘතය ලබා ගන්නට තමයි සුරයන් සහ අසුරයන් එක්වෙලා ක්ෂීර සාගරය (කිරි සයුර) කළඹන්නේ. මේ කිරි සයුර කැළඹීමේ දී අපූරු වස්තූන් ගණනාවක් හමුවෙනවා. එහෙම හමුවුණු වස්තූන් තමයි ක්ලැරන්ස් විජේවර්ධන තමන්ගේ පුතුට අරගෙන එන්නේ – “කිරි මුහුද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි”.
ඔය කිරි මුහුද කැළඹීමේ දී මුලින්ම මතුවුණු උග්‍ර විෂක් තමයි ‘හලාහල විෂ’. (මේ විසෙන් ලෝකය බේරා ගන්න හිතානෙ ඒක පානය කරලා තමයි ශිව දෙවියන් නිල් පැහැ වුණා කියන්නේ). නන්දා මාලනී ගායනා කරන “පෙම් ලොවදී දුටු ඔහුම ද මේ” ගීතයේ ‘මිදි යුෂ යැයි රැවටී හලාහල විෂ බිව්වේ ඇයි මා’ කීමෙන් ගම්‍ය වෙන්නේත් හදවත එතරම් දරුණු ලෙස වේදනාවට පත් කළ බවයි.
එඩ්වඩ් ජයකොඩි ගායනා කරන “මාරම්බරී” ගීතයේ එන ‘රම්බරී’ කියන්නේත් කිරි මුහුද කළඹන අවස්ථාවේ මතු වූ අප්සරාවන්ගෙන් කෙනෙක්. දිව්‍ය ලෝකයේ සිටින ලස්සනම දෙවියා විදියට සැලකෙන නළකූබර (ධනයට අධිපති වෛශ්‍රවණ හෙවත් කුවේරගේ පුත්‍රයා) ට තමයි රම්බරීව හිමිවෙන්නේ. ‘මාරම්බරී’ කියන්නේ ‘මගේ රම්බරී’ එහෙමත් නැතිනම් මගේ ආදරිය, මගේ සොඳුරිය කියන තේරුම.
මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන ඉවුරු තලා ගංගා බැස යනවා ගීතයටත් එහි රචක කේ. ඩී. කේ. ධර්මවර්ධන මේ අපූරු කතාව පසුබිම් කරගත් වදනක් ඇතුළත් කර තියෙනවා
“මන්දර පව්වේ හිම පියසේ – චන්දන අරණේ මද සිසිලේ
සුව නොලබා – ගියෙදෝ කෙසේ” කියන කොටසේ ‘මන්දර පව්ව’ එහෙමත් නැතිනම් මන්දාර පර්වතය කියන්නේ ඔය කිව්ව කිරි සයුර කළඹන්න මන්ථයක් (යමක් කළඹන්නට යොදා ගන්න දණ්ඩක් වැනි දෙයක්) විදියට යොදා ගත්ත පර්වතයයි. පෙම්වතා තමන්ගේ හදවත සමාන කරන්නේ හිමාලයේ මන්දර පව්ව අසබඩ ඇති සිසිල් සුවදායක සුන්දර පරිසරයට. මා ඇයට පුද කළ ඒ තරම් සුන්දර සුවදායක ආදරයේ සුවය නොවිඳ කොහොම ද ඇය මගෙන් වෙන් වෙලා ගියේ…?
සුවඳ දැනී.. දැනී… දැනෙනවා
ඒ වගේම තමයි සාහිත්‍යයේ දී විශේෂයෙන්ම ගීත සාහිත්‍යයේ දී පුනරෝක්තිය කිසිසේත්ම වරදක් විදියට දකින්නේ නැහැ. පුනරුක්ති දෝශය කියන්නේ සඳැස් කවියක පද හතර ඇතුළේ එකම වචනය එහෙමත් නැතිනම් සමාන තේරුම් දෙන වචනය කිහිප වාරයක් යෙදීමයි. ඒක දෝෂයක් විදියටයි සළකන්නේ. ඒත් ගීතයේ දී එ් දෝශය වරදක් විදියට දකින්නේ නැහැ. ඇත්තටම කියනවා නම් ගීතයේ දී ‘පුනරුත් දෝශය’ ගීතය තව තවත් සුන්දර කරනවා.
“ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා සිනා සෙන්න
රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න”
“සුවඳ දැනී.. දැනී… දැනෙනවා…”
“සඳ හොරෙන්.. හොරෙන්.. හොරෙන්.. බලා – වලාකුළක සැඟවිලා”
මිණි මිණි පොද වැටේවි – මල් මිනි දැදිරි වේවි…. ඒ වගේ අවස්ථාවන්ට උදාහරණ.
(මල් මිනි දැදිරි වෙනවා කියන්නේ මල් පොහොට්ටුව වසාගෙන ඇති මණිපත්‍රය හෙවත් කොපුව පුපුරා (දැදිරිව) යනවා කියන එකයි. මල් පොහොට්ටුව දැදිරි වෙනවා කියන්නේ මල පිපනෙවා කියන එකයි.
මේ විදියට විස්තර කරන්නට ගියොත් එක සටහනක් නෙමෙයි, සටහන් මාලාවක් වුණත් ලියන්න පුළුවන්. ඒ තරමට අපේ ගීත සාහිත්‍යය සුන්දරයි. සුපිෂ්පිතයි. අරුත්බරයි. එවැනි විශිෂ්ට වූ ගීත රචකයන් බොහෝ සංඛ්‍යාවක් ලබන්න තරම් අපි වාසනාවන්තයි. (එ් විශිෂ්ට ගේය පද රචකයන් නම් වශයෙන් ලියන්න බැරි තරම්). සාහිත්‍ය කෘතියක් කියවන තරමට උනන්දුවෙන් සහ ආශාවෙන් ඒ ගීතවලට ඇහුම්කම් දුන්නොත් පෙරදා නොවිඳි රසයක් ඔබට දැනේවි.
(ඔබ කැමැති නම් ඔබේ සිත්ගත් එවන් පද මාලා හෝ ඔබේ අත්දැකීම් කමෙන්ටුවක් ලෙස සටහන් කළොත් මා ද ඇතුලුව බොහෝ දෙනෙකු ඒ අදහස් ආසාවෙන් රස විඳිවි)

ප්‍රතිචාරයක් ලබාදෙන්න