“ආසයි ද බලන්න අයින්ස්ටයින්ගේ මොළේ…?” “Want to see Einstein’s brain?”

(මිය ගිය අයින්ස්ටයින්‌ගේ මොළය සොරකම් කිරීමේ කතාව!)

කපා කොටා දමන්නට පෙර, වෛද්‍ය හාර්වේ විසින් ගනු ලැබූ අයින්ස්ටයින්ගේ මොළයේ ඡායාරූප – 1955 වසරේ දී (Einstein’s brain before dissection – Photographs taken by  DR. Harvey in 1955)  

පාළු පාරක ඔබ ඇවිද ගෙන යද්දී, එමෙත් නැතිනම් අවන්හලක කෝපි කෝප්පයක් තොළ ගාද්දී කවුරුහරි ඔබ ළගට ඇවිත් මෙහෙම ඇහුවොත්; “ආසයි ද බලන්න අයින්ස්ටයින්ගේ මොළේ…?”

නිසැකයෙන්ම ඔබ හිතාවි ඒක මහ අප්‍රසන්න මෝඩ විහිළුවක් කියලා. එහෙමත් නැතිනම්, සමහර විට ඔබ හිතාවි ඔහු පිස්සෙක් කියලා. ඒත් ඔහු එහෙම අහන්නේ ඇත්තටම නම්…? එයාගේ මෝටර් රථයේ ‘ඩිකියේ’ අයින්ස්ටයින්ගේ මොළය ඇත්තටම තියෙනවා නම්…?

ඔව් මේ දෙබස ඇත්තම ඇත්තක්. ඒ වගේම ඔය සිදුවීමත් ඇත්තටම සිද්ධ වුණා. ඒ අපූරු කතාව කියවන්න කැමැති නම් “Driving Mr. Albert – A trip Across America With Einstein Brain” කියන පොත කියවන්න ඕනේ. මේ පොත ලියලා තියෙන්නේ ඇමරිකානු ජනමාධ්‍යවේදී Michael Paternity. තමන්ගේ පැරණි බියුක් මෝටර් රථයේ ‘ඩිකියේ’ අයින්ස්ටයින්ගේ මොළය තියාගෙන ඇමරිකාව හරහා ඔහු මේ සංචාරය ගියේ ඒ මොළය හොරකම් කරපු ‘මහ ‌මොළකරුත්’ එක්ක. ඒ කවුද කියලා පස්සේ කියන්නම්.

මේ ගමනේ දී අයින්ස්ටයින්ගේ මොළය ඩිකිය ඇතුළේ තිබුණේ නිකම්ම නිකම් ග්‍රොසරි බඩු මල්ලක් අරන් යනවා වගේ ලාභ මට්ටමේ ප්ලාස්ටික් පෙට්ටියක කියලා කිව්වොත් ඔබට පුදුම හිතේවි.

පොත ගැන විස්තර කරනවාට වඩා ඔබ කැමැති වේවි මේ කතාව ගැන දැනගන්න. ඒක ඇත්තටම සිත් ගන්නාසුලු ඒ වගේම පුදුමාකාර විදියට කුතුහලය දනවන කතාවක්. ඒ නිසා පොතේ කතාවට පදනම් වෙච්ච සැබෑම සිදුවීම සරලව පැහැදිලි කරන්නම්. (පොතේ තියෙන්නේ සංචාරය ගැන විස්තරය පමණයි)

මෑත යුගයේ ලෝකයේ බිහිවෙච්ච සුපිරි බුද්ධිමතා විදියට සලකන අයින්ස්ටයින් මිය ගියේ 1955 අවුරුද්දේ අප්‍රේල් 18 වැනි දා නිව් ජර්සිවල ප්‍රින්ස්ටන් (Princeton) රෝහලේ දී. ඔහුගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිද්ධ කළේ ඒ වෙලාවේ සේවයේ නිරතවෙලා හිටිය ව්‍යාධිවේද වෛද්‍යවරයා (pathologist) වුණු ඇමරිකන් ජාතික වෛද්‍ය හාර්වේ (Dr. Thomas Stoltz Harvey). අවසන් හුස්ම හෙළද්දී අයින්ස්ටයින්ට වයස අවුරුදු 76 යි. මරණ පරීක්ෂණය කළ වෛද්‍ය හාර්වේට වයස අවුරුදු 43 යි.

(Original Caption) Dr. Einstein Is Dead At 76. (Photo by George Rinhart/Corbis via Getty Images)

අයින්ස්ටයින්ගේ මිය යන්නට කලින් එයාගේ අවසන් කටයුතු සිදු වෙන්න ඕන විදිය ගැන බොහොම පැහැදිලිව විස්තර කරලා තිබුණා. අයින්ස්ටයින් අවධාරණයෙන්ම කියලා තිබුණා තමන්ගේ මෘත දේහය ප්‍රදර්ශන භාණ්ඩයක් කරගන්න එපා කියලා. ඒ හින්දා තමන්ගේ මෘත දේහය මහජනතාවට ප්‍රදර්ශනය නොකර හැකි ඉක්මනින් ආදාහනය කරන්න කියලා ඔහු ඉල්ලලා තිබුණා. විවිධාකාර දූසමාන ආරංචි, මිත්‍යා මතවාද, ප්‍රබන්ධ ප්‍රචාරය වන්නට කිසිම ඉඩක් නැති වෙන විදියට, ඒ වගේම කිසිම කෙනෙකුට කිසිම විදියකින් තමන්ට ගරු සත්කාර කරන්නට ඉඩක් නොලැබෙන විදියට රහසිගත ස්ථානයක දී තමන්ගේ සිරුරේ අළු විසුරුවා හරින්නට කියලා ඔහු අවධාරණය කරලා තිබුණා. කොටින්ම කිව්වොත් අයින්ස්ටයින්ට ඕන වුණේ නැහැ තමන්ගේ මරණයෙන් පස්සේවත් තමන් වීරයෙක් කරලා තමන් මිහිදන් කළ ස්ථානය වඳින පුදන තත්ත්වයකට පත් කරවන්න. අඩුම තරමින් සොහොන් කොතක්වත් ඔහුට උවමනා වුණේ නැහැ.

ඔහුගේ අවසන් කැමැත්ත පරිදිම අවමංගල්‍ය කටයුතු සිද්ධ වුණේ ඉතාම සරල විදියට පවුලේ සුළු පිරිසක් මැද්දේ වැඩි සද්ද බද්දයක් නැතිව. ඒ නිසාම අයින්ස්ටයින්ගේ මෘත දේහයේ ඡායාරූප කිසිවක් ප්‍රසිද්ධියට පත් වුණේ නැහැ. ඒ වගේම අයින්ස්ටයින්ගේ දේහය “මිහිදන් කළ ස්ථානය” නමින් ස්ථානයක් හෝ ඔහු වෙනුවෙන් ඉදි කළ සැබෑ සොහොන් කොතක් මේ මිහිතලයේ දකින්නට නැහැ.

සරලවම කියනවා නම් අයින්ස්ටයින්ගේ අවමංගල්‍යය ඉතා සුළුවෙන්, සද්ද බද්ද පුහු ආටෝප කිසිවක් නැතිව ඔහුගේ අන්තිම කැමැත්තෙන් ඔහු ඉල්ලා සිටි පරිදිම සිද්ධ වුණා. ඒත් එකම කරුණක් හැර. ඒ තමයි මුළු ලෝකයම කතා වෙන අයින්ස්ටයින්ගේ මොළය! ඔහුගේ මොළය ඔහුත් සමග ආදාහනය කෙරුණේ නැහැ. මොළය “සොරකම්” කෙරුණා. කවුරුවත් අතින් නෙමෙයි, අයින්ස්ටයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කරපු කලින් කිව්ව වෛද්‍ය හාර්වේ තමයි එහෙම කළේ. මේ සිදුවීමත් එක්කම වෛද්‍ය හාර්වේට වෛද්‍ය වෘත්තියේ යෙදෙන්නට තිබුණු බලත්‍රයත් අහෝසි වෙනවා.

අවුරුදු හතළියකට විතර කලින් තමන් ‘සොරාගත්ත’ අයින්ස්ටයින්ගේ මොළයේ කොටස් සමග 1994 වසරේ දී ඡායාරූපයකට පෙනී සිටින වෛද්‍ය හාර්වේ. මෙම සිදුවීමත් සමගම ඔහුට වෛද්‍ය වෘත්තියේ යෙදීමට තිබූ බලපත්‍රය අහෝසි කෙරුණි. 

අයින්ස්ටයින්ගේ මොළය කොටස් 240 කට කැපුවා!

__________________________________________________________________

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වෛද්‍ය හාර්වේ මුලින්ම කළේ අයින්ස්ටයින්ගේ මොළය ‘සොරකම්’ කරපු එක. ඒක සොරකමක් වෙන්නේ අයින්ස්ටයින්ගේ පවුලේ කිසිම අනුදැනුමක්, අනුමැතියක් හෝ ඒ අයට කිසිම දැනුම් දීමක් නොකර තමයි වෛද්‍ය හාර්වේ මේ වැඩේ තමන්ගේ හිතු මනාපයට හිතුවක්කාර විදියට කරන්නේ. අනෙක් අතට අයින්ස්ටයින් ඉතාම පැහැදිලිව තමන්ගේ අවසන් කැමැත්තෙන් ඉල්ලලා තිබුණා තමන්ගේ සිරුරේ කොටස් ප්‍රදර්ශන භාණ්ඩ බවට පත් කරන්න හෝ අධ්‍යයන කටයුතුවලට භාවිත කරන මෙවලක් බවට පත් නොකර මුළුමනින්ම ආදාහනය කරන්න කියලා.

අයින්ස්ටයින්ගේ මොළය ඉවත් කරගෙන ටික දවසකට පස්සේ (මේ කාලය දින කිහිපයක් ද සති කිහිපයක් ද කියලා තවමත් හරියටම නිශ්චිත නැහැ) වෛද්‍ය හාර්වේ අයින්ස්ටයින්ගේ පුතා හාන්ස් (Hans Albert Einstein) ගෙන් මේ ගැන කිසියම් ආකාරයක අනුමැතියක් ලබා ගත්තත් ඒක කොයි තරම් දුරකට සදාචාර සම්පන්න ද කියන කරුණ බොහොම විවාද සම්පන්නයි. ඒ වගේම අවධාරණයෙන් කියන්න ඕන කාරණය තමයි, ඒ කොන්දේසි සහගත අනුමැතිය වෛද්‍ය හාර්වේ ලබා ගත්තේ තමන්ගේ තනි මතයට මොළය ඉවත් කරගත්තාට පස්සෙයි කියන එක.

වෛද්‍ය හාර්වේගේ මේ ක්‍රියාව හාන්ස් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම ඒ ක්‍රියාව කෙරෙහි සතුටක් පළ කරන්නේත් නැහැ. ඒත් මේ සිදුවීම සමාජයේ මහා කලබගෑනියක් බවට පත් කරවන්නට ඔහුට උවමනා වෙන්නේ නැහැ. ඒ හින්දා ඔහු වෛද්‍ය හාර්වේට අවධාරණාත්මකව කියා සිටිනවා තමන්ගේ තාත්තාගේ මොළය විද්‍යාත්මක පර්යේෂණවලින් පිට වෙන කිසිම කටයුත්තකට යොදවන්නට එපාය කියලා. ඒ වගේම පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක ප්‍රකාශනයක හැරුණු විට ඒ කිසිම අධ්‍යයන ප්‍රතිඵලයක් වෙන කිසිදු තැනක කිසිදු විදියකින් ප්‍රකාශයට පත් නොවිය යුතුය යන්නත් ඔහු දැඩි ලෙසම කියා සිටිනවා.

දැන් ආපහු යමු, වෛද්‍ය හාර්වේ අයින්ස්ටයින්ගේ මොළය ඉවත් කරගත්ත කතාවට. ඉවත් කරගත්ත මොළය විශාල වීදුරු බීකරයකට දාලා වෛද්‍ය හාර්වේ තමන්ගේ ගෙදර අරන් යනවා. මොළය කාලයක් තියා ගන්නට ඔහු ඒ බීකරයට ෆෝර්මලීන් පුරවනවා. ඊට පස්සේ මොළය කුඩා කොටස් 240 කට කපනවා. ඒ අනුසාරයෙන් වෛද්‍ය හාර්වේ අණ්වීක්ෂීය නිදර්ශක දහසක් පමණ නිර්මාණය කර ගන්නවා. මොළයේ මේ කොටස් වීදුරු බීකරවලයි, පෙට්ටිවලයි අසුරලා දශක ගණනාවක්ම ඔහු තමන් ළග තියා ගන්නවා. ඒ විතරක් නෙමෙයි තැනින් තැනට අරගෙනත් යනවා.

Not published in LIFE. Dr. Thomas Harvey (1912 – 2007) was the pathologist who conducted the autopsy on Einstein at Princeton Hospital in 1955.

(අයින්ස්ටයින්ගේ මොළය තමා සන්තකයට ගත් වෛද්‍ය තෝමස් හාර්වේ (1912-2007) ගේ මෙම සේයාරුව ගෙන ඇත්තේ අයින්ස්ටයින් මිය ගිය වසරේ දීමය. (Dr. Thomas Harvey (1912 – 2007) was the pathologist who conducted the autopsy on Einstein at Princeton Hospital in 1955)

වෛද්‍ය හාර්වේ මේ නිදර්ශක වරින් වර විවිධ පර්යේෂකයන් වෙත තැපෑලෙන් යැව්වා. ඒ අනුව 1980 ගණන්වල ඉදන් 2000 මුල් කාලය දක්වා අයින්ස්ටයින්ගේ මොළය සම්බන්ධයෙන් පර්යේෂණ පත්‍රිකා හයක් පමණ ලියැවෙනවා. ඒත් ඒවා සාර්ථක පර්යේෂණ පත්‍රිකා නෙමෙයි. තමන්ට ලැබුණු නිදර්ශක කොටස් ඉතා කුඩා වීමත්, මොළය නිසි ලෙස සංරක්ෂණය කර නොතිබීමත්, පර්යේෂණයකට සුදුසු ලෙස මොළයේ කොටස් වෙන් කර නොතිබීමත් ගැන පර්යේෂණ කණ්ඩායම් වලින් දැඩි විවේචනයක් එල්ල වෙනවා.

ඇත්තටම කියනවා නම් අයින්ස්ටයින්ගේ මොළයේ කොටස් පර්යේෂණයට ලක් වෙනවාට වඩා වැඩි කාලයක් තිබුණේ වෛද්‍ය හාර්වේගේ කාමරයේ වීදුරු බීකර වලයි, පෙට්ටිවලයි එකම තැන හිරවෙලා. ඒ වගේම කියන්න ඕන ‌දෙයක් තමයි, අයින්ස්ටයින්ගේ මොළය සමස්තයක් විදියට, ඒ කියන්නේ කපා කොටා දාන්න කලින් තනි ඒකකයක් විදියට කිසිම පර්යේෂණාගාරයකින් පරීක්ෂා කරන්නට ඉඩක් ලැබුණේ නැහැ කියන කාරණාව. ඒ නිසා අයින්ස්ටයින් මේ තරම් විශිෂ්ට බුද්ධිමතෙකු වුණේ කොහොම ද කියන එක ගැන කිසිදු සාධනීය හෝ පිළිගත හැකි විග්‍රහයක් කිසිම පර්යේෂණයකින් අනාවරණය වුණේ නැහැ.

අයින්ස්ටයින්ගේ මොළය විතරක් නෙමෙයි හොරකම් කළේ!

_________________________________________________________________

මේ සටහන පටන් ගනිද්දිම කිව්ව, “Driving Mr. Albert” පොතෙන් විස්තර කෙරෙන්නේ අයින්ස්ටයින්ගේ මොළය වාහනයේ ඩිකියේ තියාගෙන, ඒ මොළය ‘හොරකම් කරපු’ වෛද්‍ය හාර්වේ (Dr. Thomas Stoltz Harvey) ත් ඉදිරිපස අසුනේ හිදුවා ගෙන පොතේ කතුවරයා වුණු මයිකල් ඇමරිකාව හරහා ගිය සංචාරයක්. මේ සංචාරය සිද්ධ වෙද්දී වෛද්‍ය හාර්වේ වයෝවෘද්ධයි. වයස අවුරුදු 84 යි. මේ කතාව මේ විදියට ලෝකයට හෙළිදරවු කිරීම වෙනුවෙන් මයිකල්ට 1998 අවුරුද්දේ දී ඇමරිකාවේ “National Magazine Award” කියන ජාතික සම්මානයත් හිමි වුණා.

“We’re just driving… and Einstein’s brain is right behind us.” (අපි අපේ ගමන දිගටම ගියා, අයින්ස්ටයින්ගේ මොළයත් අපේ පිටිපස්සෙන් තියාගෙන) මයිකල් තමන්ගේ පොතේ එහෙම කියනවා.

දැන් ඔබ හිතනවා ඇති ඇයි එයාලා ඒ විදියේ ගමනක් යන්නේ කියලා.

ඇමරිකාව හරහා සැතපුම් දහස් ගණනක් දුර ගෙවාගෙන කැලිෆෝර්නියාවේ ඉන්න අයින්ස්ටයින්ගේ මිණිබිරියට මොළයේ කොටස් භාර දෙන්න හිතාගෙන තමයි ඒ දෙන්නා ඔය ගමන යන්නේ. ඒත් ඇත්තටම කියනවා නම් අන්තිමේ දී සංචාරය නිමා වෙන්නේ අරමුණකින් තොරව ඔහේ ඉබාගාතේ ගිය ගමනකින්. කොටින්ම කිව්වොත් මිණිබිරිය හමුවෙලා මොළය භාර දීමක් සිද්ධ වෙන්නෙත් නැහැ.

ඔය ගමනේ දී එයාලා විවිධාකාර තැන්වලට යනවා. ඒ වගේම විවිධාකාර පුද්ගලයන් මග තොටේ දී හමුවෙනවා. ඒ වගේ වෙලාවට වෛද්‍ය හාර්වේ පාරෙදි අහම්බෙන් හම්බු වෙන මිනිස්සුන්ගෙන් මෙහෙම අහනවා: “Want to see Einstein’s brain?” (“ආසයි ද බලන්න අයින්ස්ටයින්ගේ මොළේ…?”). කාව හරි එක දිගට වට දහයක් පහළොවක් කරකවලා අතහැරලා දානවා වගේ ප්‍රශ්නයක් තමයි ඒක.

තවත් දෙයක් කියන්නට ඕනේ. අයින්ස්ටයින්ගේ මොළය විතරක්ම නෙමෙයි මේ විදියට අයින්ස්ටයින්ගේ කැමැත්තක් නැතිව ඉවත් කෙරුණේ. අයින්ස්ටයින්ගේ ඇස් දෙකත්, ඔහුගේ අක්ෂි වෛද්‍ය Henry Abrams විසින් ඉවත් කරගනු ලැබුවා. ඔහුත් ඒ ඇස් තමන් සන්තකයේ තබා ගත්තා. තමන්ගේ මළ සිරුරේ කොටස් ප්‍රදර්ශන භාණ්ඩ බවට පත් කරන්නට එපා කියලා අයින්ස්ටයින් ඉල්ලා හිටියත්, ඔහුගේ මොළයේ කොටස් ෆිලඩෙල්ෆියාවේ තියෙන සුප්‍රකට Mütter වෛද්‍ය විද්‍යාත්මක කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.

අයින්ස්ටයින් කියන්නේ ඉතා කලාතුරකින් පහළ වන ප්‍රාඥයෙක්. ඒ හින්දා තමන් මිය ගියාට පස්සේ තමන්ගේ සිරුරට මොන වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් ද කියලා අනුමානයක් ඔහුට තිබුණා. එවැන්නක් සිදුවීම වළක්වන්නට තමයි අයින්ස්ටයින් ඉතා පැහැදිලිව තමන්ගේ අවසන් කැමැත්ත ප්‍රකාශයට පත් කළේ. ඒත් ඇත්තටම සිද්ධ වුණේ ඔහු නොකරන ලෙස ඉල්ලා සිටි බොහෝ දේ සිදුවීමයි. (ඒත් ඒ අයින්ස්ටයින් පවුලේ මැදිහත් වීමකින් තොරව බවත් කියන්නට ඕනේ). ඒ කියන්නේ මරණයෙන් පස්සේ අයින්ස්ටයින්ට සාධාරණත්වයක් කොහෙත්ම ඉෂ්ට වුණේ නැහැ. අඩුම තරමින් ඔහුගේ කැමැත්තට පටහැණිව ඉවත් කර ගත් ඔහුගේ මොළය විධිමත් පර්යේෂණයකටවත් ලක් කෙරුණේ නැහැ.

(පහතින් දැක්වෙන්නේ අයින්ස්ටයින් අවසන් හුස්ම හෙළා හෝරා කිහිපයක් ඇතුළත දී අයින්ස්ටයින්ගේ කාමරයට රිංගා ගන්නා රැල්ෆ් විසින් මෙම අති දුර්ලභ ඡායාරූපය ගන්නා ලදී. මෙහි දැක්වෙන්නේ ප්‍රින්ස්ටන්හි පිහිටි සිය කාර්යාල කාමරය අයින්ස්ටයින් විසින් අවසන් වරට පරිහරණය කළ අවස්ථාවෙන් පසු එය දිස් වූ ආකාරයයි. (A photo of Albert Einstein’s office – taken mere hours after Einstein died, Princeton, New Jersey, April 1955 : Ralph Morse – Life Pictures)

Albert Einstein’s office Ñ just as the Nobel Prize-winning physicist left it Ñ taken mere hours after Einstein died, Princeton, New Jersey, April 1955.
අවසන් හුස්ම හෙළන්නට වසර දෙකකට පෙර එනම් 1953 වසරේ මාර්තු මාසයේ දී අයින්ස්ටයින් සිය බිරිඳ වැලන්ටීන් සමග ප්‍රින්ස්ටන් හි පිහිට තම නිවස ඉදිරිපිට දී (Albert Einstein with Mrs. Valentine Bargmann outside his home in Princeton, NJ, March 14, 1953. (Photo by Esther Bubley).

පුද්ගලයෙකු අති විශිෂ්ටයෙකු වූ පමණින් ඔහුගේ ජීවිතය පොදු දේපළක් බවට පත් වෙනවා ද? ඒ කියන්නේ විශිෂ්ටයෙකු වූ පමණින්ම ඔහුගේ දේහය ගැන තීරණ ගන්න සුවිශේෂී අයිතියක් සමාජයකට හිමි වෙනවා ද?

කෙටිම පිළිතුර “කිසිසේත්ම නැහැ”

කෙනෙකු මිය ගිය පමණින් ඔහුගේ නාමය එහෙමත් නැති නම් ඔහුගේ උරුමය (legacy) නිමා වෙන්නේ නැහැ. මරණයෙන් පසු වුවත්, මිය ගිය තැනැත්තා තවත් එක් මෙවලමක් (object) විදියට සළකන්න අපිට කොහෙත්ම අයිතියක් නැහැ. සමාජයේ මන‌ දොළ සපුරාලන්නට හෝ සමාජයේ කුතුහලය නිවා දමන්නට කිසිවෙකුගේ මෘත දේහය හෝ එයින් කොටසක් යොදා ගන්න කිසිම අයිතියක් කිසිවෙකුටවත් නැහැ. මිය ගිය තැනැත්තා සමාජයේ කෙතරම් ගෞරවනීය සහ අතිශය විශිෂ්ට බුද්ධිමතෙකු වුණත්, නීත්‍යනුකූල රාමුවක් තුළ දී ඔහුගේ ජීවිතය ගැන තීරණ ගැනීමේ අයිතිය මුළුමනින්ම හිමි විය යුත්තේ ඒ තැනැත්තාටයි.

තමන් කිසිදා අපේක්ෂා නොකළ, එමෙන්ම කිසිසේත්ම නොකරන ලෙස ඉල්ලා සිටි ක්‍රියාවක් තමන්ගේ මෘත දේහයට සිදු වනු ඇතැයි අයින්ස්ටයින් දැන සිටියා නම් ඔහුට කුමක් සිතේවි ද? එය අපේම පෞද්ගලික ජීවිතයට සම්බන්ධ කරගත්තොත් අපට කොහොම හිතේවි ද?

සේයාරු සටහන්

(ප්‍රින්ස්ටන් රෝහලේ සිට අවමංගල්‍ය ශාලාව වෙත ගෙන යන අයින්ස්ටයින්ගේ මිනී පෙට්ටිය දැක්වෙන මෙම එකම දුර්ලභ ඡායාරූපය ලයිෆ් සඟරාවේ රැල්ෆ් විසින් ගනු ලැබුවකි. (Albert Einstein’s casket was moved for a short time from the Princeton Hospital to a funeral home, Princeton, New Jersey, April 1955 : Ralph Morse – Life Pictures)

පවුලේ අයගේ සහභාගිත්වයෙන් පමණක් ඉතා චාම්ව සිදු කෙරුණු අයින්ස්ටයින්ගේ අවමංගල්‍යය වෙනුවෙන් සුසාන භූමියට ඇදෙන මෙම පිරිස අතරින් ළා පැහැති කබායකින් සැරසී සිටින්නේ අයින්ස්ටයින්ගේ පුත්‍රයා වන හාන්ස්ය. ළා පැහැති දිග කබායකින් සැරසී සිටින අනෙක් කාන්තාව වන්නේ අයින්ස්ටයින්ගේ දීර්ඝ කාලීන ලේකම්වරිය වන හෙලන්ය. සෙසු පිරිස කවුරුන්දැයි නිශ්චිත නැත. (Albert Einstein’s son, Hans Albert (in light suit), Einstein’s longtime secretary Helen Dukas (in light coat) arriving at the Ewing Crematorium, New Jersey April 18, 1955 :Ralph Morse – Life Pictures)

 මෘත දේහය රැගත් අවමංගල්‍ය රථය පිටුපසින් සුසාන භූමිය වෙත ඇදෙන පිරිස (Mourners walked into the service for Albert Einstein, passing the hearse that carried his casket from Princeton, April 1955 : Ralph Morse – Life Pictures)

ලෙනින්ගේ මොළයත් කෑලි 31,000 කට කැපුවා!

________________________________________________________

අයින්ස්ටයින්ගේ මොළය විතරක්ම නෙමෙයි මේ විදියට ‘අශීලාචාරව’පාවිච්චි කෙරුණේ. සමාජයේ ප්‍රසිද්ධ තවත් බොහොම දෙනෙකුට මේ වගේ දේවල් සිද්ධ වුණා. උදාහරණ කිහිපයක් කියන්නම්.

1963 අවුරුද්දේ දී ඝාතනයට ලක් වුණු ඇමරිකාවේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ මරණ පරීක්ෂණයේ දීත් මේ විදියටම ඔහුගේ මොළය ඉවත් කරලා විශේෂිත වානේ ඇසුරුමක තැන්පත් කෙරුණා. මොළය සහිත මේ ඇසුරුම ඇමරිකානු ජාතික ලේඛනාගාරයේ අගුලු දමපු කුටීරයක තමයි සුරක්ෂිත කරලා තිබුණේ. ඒත් අවුරුදු තුනකට පස්සේ 1966 දී කෙරුණු බඩු පරීක්ෂාවේ දී (inventory) කෙනඩිගේ මොළය ආගිය අතක් නැහැ. ඒ මොළය තාමත් හොයා නැහැ. අඩුම තරමින් මොකක් ද වුණේ කියලාවත් දන්නේ නැහැ.

James Swanson කියන ලේඛකයා මේ අබිරහස ගැන පොතක් ලියලා තියෙනවා. ඒ පොතේ නම “End of Days.” ඒක ටිකක් ලොකු පොතක්. කෙනඩිගේ ඝාතනය සහ ඝාතනයට පෙර හා පසු සිදුවීම් තමයි පොතෙන් විස්තර කෙරෙන්නේ. මේ පොතෙන් ජේම්ස් කියන්නේ මේ‌ හොරකම කරන්නට ඇත්තේ කෙනඩිගේ සහෝදරයා රොබර්ට් කියලයි. ඒකට හේතුව කෙනඩිගේ රෝගාබාධ ලෝකයට හෙළිවීම වළක්වන්න. ඒත් ඒක තියරියක් විතරයි. කවුරුත් අද වෙනකල්ම ඇත්තටම දන්නේ නැහැ කෙනඩිගේ මොළයට සිද්ධ වෙච්ච දේ.

ඇමරිකානු සාහිත්‍යයේ පතාක යෝධයෙක් තමයි Walt Whitman කියන්නේ. නිදහස් පද්‍ය කලාවේ (“father of free verse”) පුරෝගාමියා ඔහු කියලා තමයි සාහිත්‍ය ලෝකයේ පිළිගැනීම. ඔහුගේ මේ විශිෂ්ටත්වය හින්දාම 1892 දී ඔහු මිය ගියාට පස්සේ ඔය විදියටම ඔහුගේ මොළය ඉවත් කර ගත්තා. ඒත් එහෙම ඉවත් කරගත්ත මොළය පර්යේෂකයන්ගේ නොසැලකිල්ලෙන් බිමට අතහැරිලා සී සී කඩ විසිරිලා විනාශ වෙලා ගියා. අන්තිමේ දී ඒ මහා සාහිත්‍යධරයාගේ මොළය නිකම්ම කුණු කූඩයට විසි කෙරුණා.

වඩාත්ම සුප්‍රකට උදාහරණය තමයි ලෙනින්. ලෙනින්ගේ බිරිඳගේ බරපතළ විරෝධය නොතකා සෝවියට් සමුහාණ්ඩුව ලෙනින්ගේ මෘත දේහයෙන් මොළය ඉවත් කරලා කුඩා කොටස් 31,000 කට විතර කපා දමලා මිලි මීටර් 0.02 ක තරමේ මයික්‍රෝ නිදර්ශක නිර්මාණය කර ගත්තා. ලෙනින්ගේ මොළය පරීක්ෂා කරන්නටම කියලා සෝවියට් සමුහාණ්ඩුව 1924 දී වෙනමම අධ්‍යයයන ආයතනයක් පවා පිහිටුවුවා.

අවසාන වශයෙන් තවත් දෙයක් කියන්නට ඕනේ.සාමාන්‍ය පුද්ගලයෙකුගේ මොළයේ බර ප්‍රමාණය ග්‍රෑම් 1,400ක් වුණත් අයින්ස්ටයින්ගේ මොළයේ බර ඊට අඩුයි, ඒ කියන්නේ ග්‍රෑම් 1,230යි. ඒ කියන්නේ මොළයේ විශාලත්වය හෝ ධාරිතාව සහ ප්‍රඥාව අතර සම්බන්ධයක් නැහැ. කොටස් 31,000 කට විතර කපා ගත්ත ලෙනින්ගේ මොළයෙන් පවා විශේෂ යමක් පර්යේෂකයන් සොයා ගත්තේ නැහැ.

සරලවම කියනවා නම් ‘මැජික්’ එක තිබුණේ ලෙනින්ගේ, අයින්ස්ටයින්ගේ මොළයේ නෙමෙයි, ඔවුන් ලෝකය තේරුම් ගත්තේ කොහොමද කියන කාරණාව මතයි. ඒ කියන්නේ ඔවුන් හිතන්නට පෙළඹුනු ක්‍රමය (thinking process) මතයි. ඒ හින්දා තමයි මැරෙන්න කලින් අයින්ස්ටයින් මෙහෙම කිව්වේ: “Any fool can know. The point is to understand” (ඕන මෝඩයෙකුට පුළුවන් දැනගන්න. ඒත් වැදගත් වෙන්නේ තේරුම් ගන්න එක).

Version 1.0.0

පසු සටහනක්

________________

මේ සටහනට අමුණා ඇති අයින්ස්ටයින්ගේ අවසන් ගමනේ ඡායාරූප කිහිපය ගැනත් විශේෂ යමක් කියන්න තියෙනවා. කලාතුරකින් පහළ වන ප්‍රාඥයෙකු වන අයින්ස්ටයින්ගේ අවසන් ගමනේ ඡායාරූප තමන්ගේ කැමරාවට හසුකර ගන්න ලැබුණු එකම එක තැනැත්තා තමයි ලෝක ප්‍රකට ‘ලයිෆ්’ සඟරාවේ (LIFE magazine) රැල්ෆ් මෝර්ස් (Ralph Morse) කියන ඡායාරූප ශිල්පියා.

අයින්ස්ටයින් මිය ගිය බව දැනගත්ත ගමන්ම ඔහු තමන්ගේ කැමරාවත් අරගෙන ඉස්පිරිතාලයටත්, අයින්ස්ටයින්ගේ ගෙදරටත් දිව ගියා. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ලෝකයාට හොර රහසේ බව දැනගත්ත රැල්ෆ් ස්කොච් විස්කි බෝතල් කිහිපයක් කාර්ය මණ්ඩලයට දීලා තමයි අයින්ස්ටයින්ගේ අවමගුල් උත්සවයටත්, ඔහුගේ කාමරයටත් රිංගා ගන්නේ.

අයින්ස්ටයින්ගේ මෘත දේහයේ හැරුණු විට අනෙක් පිංතූරට ටික ගන්න ඔහු සමත් වෙනවා. ඒත් අයින්ස්ටයින්ගේ පුතා හාන්ස්, ලයිෆ් සඟරාවෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරලා මේ ඡායාරූප මේ වෙලාවේ ප්‍රසිද්ධ කරන්නට එපාය කියලා. ඒ ඉල්ලීමට ගරු කරලා සඟරාව මේ ඡායාරූප පළ කරන්නේ නැහැ.

අයින්ස්ටයින්ගේ මොළය වෛද්‍ය හාර්වේ ගෙදර බීකරවල සිරවෙලා තිබුණා වගේම මේ ඡායාරූපත් දශක ගණනාවක්ම ලයිෆ් සඟරාවේ පුස්තකාලයේ සිරවෙලා තියෙනවා. අවුරුදු පනහක් විතර ගිහින් 2010 දි තමයි අහම්බෙන් මේ ඡායාරූප හමුවෙලා ඒවා ප්‍රසිද්ධියට පත් වෙන්නේ. මේ සටහනට අමුණලා තියෙන්නේ රැල්ෆ් විසින් ගනු ලැබූ ඒ අති සුවිශේෂී ඡායාරූප තමයි.

6 thoughts on ““ආසයි ද බලන්න අයින්ස්ටයින්ගේ මොළේ…?” “Want to see Einstein’s brain?”

Add yours

  1. එය තමන්ගේ පරම අයිතියක් වුණත් මැරුණට පස්සේ මළකඳට මොනවා වුනහම මොකද කියා අයින්ස්ටයින්ට හිතුනේ නැත්තේ ඇයි?

    මාත් මම මැරුණට පස්සේ මෙහෙම කරන්න කියා ලියා තියෙනවා නමුත් ඇත්තටම එහෙම කරයිද නැද්ද කියන එක ගැන මට දැන ගන්න වෙන්නේ නැහැ විතරක් නෙමෙයි මැරුනට පස්සේ මොන මගුලක් උනත් මට කමකුත් නැහැ

    මං හිතන්නේ අමරදේවත් කියා තිබුණා තමන්ගේ මරණයෙන් පසු නිහඬවම අවමගුල් කටයුතු කරන්න කියා නමුත් ඔහුගේ ඒ ඉල්ලීම නොසලකා මහා උත්සවයක් පැවැත්වුවා.

    Liked by 1 person

    1. මං හිතන්නේ මෙතැන තියෙන්නේ සදාචාරය සහ ගෞරවය ගැන ගැටලුවක්. අයින්ස්ටයින්ට හිතෙන්න ඇති කෘත්‍රිමව ඉදි කරන ස්මාරකයකට වඩා, තමා කළ කාර්ය භාරයම ප්‍රමාණවත් කියලා තමන් ගැන මතකය රැඳී පවතින්න (ඇත්තම කතාවත් ඒකම තමයි)

      රේරුකානේ චන්දවිමල හිමියන්ගේ අවසන් කැමැත්ත වුණේ තමාගේ දේහය පැදුරක ඔතලා පැය කිහිපයකින් ආදාහනය කරන්න කියලා. ඒ කැමැත්ත ඒ විදියටම ඉතා ඉක්මනින් නිහඬව සිදු කෙරුණා. ඒත් උන්වහන්සේගේ පොත් පත් තවමත් මුද්‍රණය වෙනවා. ඉතා හොඳට අලෙවි වෙනවා.

      කැමතියි

  2. හැමදාම වගේ කියවන්න වගේම හිතන්නත් යමක් ඉතුරු කරන ලියැවිල්ලක් වෙනුවෙන් ස්තුතියි කළු. මරණයෙන් පස්සෙ පස්සෙ මලකඳට මොනව උනාම මොකද කියල හිතන්න පුලුවන් උනත්, මලකඳ කියන්නෙ පුද්ගලයාගෙ එක කොටසක් විතරයි නෙ. පුදගලයා කියන ප්‍රපංචය හැදෙන්න ඔහුගේ කය වගේම ඔහුගෙ සිතුම්පැතුම් එහෙම නැත්නම් පුද්ගල සංස්කෘතිය කියන එකත් එකතු වෙනව නෙ. ඒ නිසා ස්වකැමැත්තෙන් තොරව මලකඳට හානියක් කිරීමත්, එය මොන තරම් හොඳ හිතින් කලා වුනත් වැරදියි මම හිතන්නෙ. යමෙකුගෙ මලකඳ ඔහු කියපු විදිහටම අවසාන කටයුතු කරල ඊට පස්සෙ ඔහුගෙ සිතුම්පැතුම් වැනි දෑ විකෘති කොට තවෙකෙක් ප්‍රසිද්ධ කරයි නම්, ඒකත් මේ වගේම තමයි නේද?

    Liked by 1 person

    1. අනිවාර්යයෙන්ම එකඟයි. ඔබ සඳහන් තළ පුද්ගල සංස්කෘතිය කියන වචනයට මං හරිම කැමතියි. ඔව් මතුපිටින් පෙනෙන ප්‍රපංචය විතරක්ම නෙමෙයි පුද්ගලයා කියන්නේ. ඔබ කිව්ව විදියටම ඒ සංස්කෘතියත් එහි කොටසක්. ජීවත් වුණත් නැතත් එය ඔහුගේ අයිතියක්. මෙතැනදී ඉතාම අවාසනාවන්ත කාරණය වන්නේ අයින්ස්ටයින්ගේ පරම කැමැත්ත සහ අයිතියට පිටින් ගිහිල්ලත් ඔහුට කිසිසේත්ම සාධාරණයක් ඉෂ්ට නොවීම. ඒක එක්තරා ආකාරයකට අමානුෂිකයි. සදාචාර විරෝධියි. ඒ වගේම අනීතිකයි.

      කැමතියි

  3. මේකට මම දිග කමෙන්ට් එකක් ලිව්වා . හොඳ ලිපියක් බව කියන්නත් දැන නොසිටි කාරණයක් බව කියන්නත් . වර්ඩ්ප්‍රෙස් එකට ලොගින් වෙන්න බැරි වුනා, මුර පදය වැරදියි ලු . . සාමාන්‍ය ගුගල් ලොගින් එක වැඩ කරන්නේ නැහැ

    අජිත් (කොළඹ ගමයා )

    Liked by 1 person

    1. ඔව්, වර්ල්ඩ් ප්‍රෙස් එක්ක වැඩ කරද්දී බොහොම වෙලාවට මටත් ඒ අත්දැකීම තියෙනවා. විශේෂයෙන්ම ලිපියකට පිංතූර එක් කරද්දී අවශ්‍ය විදියට ඒ කාර්යය කරන්න අමාරුයි. ලිපියක් සංස්කරණය කරද්දිත් ගැටලු එනවා. කමෙන්ට් එක කියවන්නට නොහැකි වීම ගැන කණගාටුයි. ඒත් ඒ වෙනුවෙන් කාලය වෙන් කළාට බොහොම ස්තුතියි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑