“When the wind stops, flowers fall.
When a bird sings, the mountain becomes more calm.”
“සුළං නතර වෙද්දි, මල් බිම පතිත වේවි.
කුරුල්ලෙකු ගී ගයද්දි, කන්ද තව තවත් නිසල වේවි.”
හමා ගෙන යන සුළං පහර නතර වුණාට පස්සෙත්, මල් තාමත් බිමට ඇද වැටෙනවා. සුළං පහර නතර වුණා නම්, ඇයි මල් තාමත් බිමට වැටෙන්නේ?
කුරුල්ලෝ සිංදු කියනවා නම් පරිසරය නිහඬයි කියලා කියන්න බැහැනේ. ඒත් හිතන්න ඔබ තනියම යනවා කඳුකරයේ සංචාරයකට. දැන් ඔබ ඉන්නේ කඳු යායකින් වටවුණු නිම්නයක. වෙන කවුරුවත් පෙනෙන තෙක් මානයක නැහැ. අන්න ඒ වගේ වෙලාවක හිටිහැටියේම කුරුල්ලෙකු නාද කරනවා. අන්න එතකොට තමයි ඒ පරිසරයේ තියෙන නිසංසලත්වය, හුදෙකලාව, පාළු බව තව තවත් වැඩියෙන් ඔබට දැනෙන්නේ. එහෙම නේද…?
මේ සටහනේ මුලින්ම කිව්ව කවි පද දෙකේ යථාර්ථය එහෙමත් නැතිනම් ඒ සරල කවියේ හැංගිලා තියෙන ගැඹුරු දාර්ශනික පසුබිම හොයා ගන්න ලේසි වෙන්නේ දැන් තමයි.
මේක සෙන් බෞද්ධ දර්ශනයේ එන කවියක්. මතුපිටින් පෙනන තරම් සරල නැහැ මේ කවියේ යථාර්ථය.
මේ කවි පද දෙක ගලාගෙන යන්නේ ප්‍රධාන හැඟීම් ධාරාවන් දෙකක් මැද්දේ. “there is” (තියෙනවා) සහ “there is not” (එහෙම නැහැ) කියන සංකල්ප දෙක මැද්දේ. යමක් නැති වෙලාවට ඇත්තටම යමක් තියෙනවා. ඒ වගේම තමයි තියෙනවා කියලා හිතන වෙලාවට ඇත්තටම එතැන එහෙම දෙයක් නැහැ.
ටිකක් පැටලිලි සහගතයි නේද? ඒ ගැටළුව මෙහෙම ලිහා ගනිමු.
සුළඟත් එක්කම තමයි මල් පාවෙලා බිමට වැටෙන්නේ. දැන් සුළං නතරවෙලා. ඒත් තාමත් මල් පාවෙලා බිමට පතිත වෙන හැටි ඔබට පේනවා. අන්න ඒ වගේ වෙලාවට සුළං පහර තියෙන වෙලාවටත් වඩා වැඩියෙන් සුළඟ ගැන හැඟීම ඔබට දැනෙනවා.
ඈත කඳු වැටියක ඔබ හුදෙකලා වුණු මොහොතත් ඒ විදියම තමයි. පරිසරය නිස්කලංකයි. පෙනන තෙක් මානයක කාත් කවුරුවත් නැහැ. අන්න ඒ වගේ වෙලාවක හිටිහැටියේ කුරුල්ලෙක් සිංදුවක් කියනවා. කුරුල්ලා සිංදු කියන්න කලින් තිබුණු නිහඬකමට වඩා වැඩි පාළුවක්, තනිකමක් ඒ වෙලාවට තීව්‍ර වෙලා දැනෙනවා.
ඒක තමයි යථාර්ථය! ඒත්, “there is not” (එතැන නැහැ) කියලා කිව්ව ගමන් අපේ හිත තුළ අපිටත් නොදැනීම මතුවෙන හැඟීම තමයි, “සුළං නැහැ” කියන එක… එහෙමත් නැතිනම් “කිසිම සද්දයක් නැහැ” කියන එක. ඒත් මේ කවියේ කියන විදියට අපිට ඇත්තටම ඒක “දැනෙන්නේ” (feels) ඒ විදියටම නෙමෙයි. ඒ කියන්නේ සැබෑ යථාර්ථය පදනම් වෙලා තියෙන්නේ ඔය කිව්ව “there is” (තියෙනවා) සහ “there is not” (එතැන නැහැ) කියන වචන ගැන අපිට තියෙන සාමාන්‍ය අවබෝධය (usual understanding) තුළ නෙමෙයි. ඒ ගැන අපිට තියෙන සැබෑ හැඟීම (actual feeling) එහෙමත් නැතිනම් අත්දැකීම මතයි.
තවත් සරලව මේ කතාව පැහැදිලි කර ගනිමු.
තෝරා ගන්න ඇති තරම් කෑම බීම තියෙන බුෆේ අවන්හලකට ගියාම ඔබට බඩගිනි දැනෙනවා වැඩියි නේද? ඒකට හේතුව ඔබ ආස කරන කෑම බීම වැඩි වැඩියෙන් තියෙද්දී ඒ හැම දේම රස බලන්න තියෙන ආශාව හින්දා තෘප්තිමත්කම අඩුයි, සෑහීමකට පත්වෙන්නේ නැහැ. බඩ පිරිලා තිබුණත්, තාමත් රස බලන්න නොලැබුණු අතුරුපසවලින් හැන්දක් හරි කාලා බලන්න හිතෙනවා.
ඒත් හිතන්න, රාත්‍රියේ නුපුරුදු නගරක් හරහා ඔබට ගමනක් යන්න සිද්ධ වුණා කියලා. නගරයේ අවන්හල් හැම එකක්ම වහලා. දැන් ඔබට හොඳටම බඩගිනියි. අහම්බෙන් ඔබ දකිනවා එකම එක කුඩා අවන්හලක විදුලි පහනක් දැල්විලා තියෙනවා. ඒ අවන්හලත් වහන්න ඔන්න මෙන්න. තෝරා ගන්න දේවල් නැහැ. වීදුරු කැබිනෙට්ටුවේ දකින්න ලැබෙන්නේ ඉතිරි වෙලා තියෙන බනිස් කිහිපයක් විතරයි. ඒත් ඒ ඉතිරි වෙලා තියෙන බනිස් ගෙඩියක් දෙකක් කාලා උණු තේකක් බිව්වම ඔබ හරිම තෘප්තිමත්.
බුෆේ එකේ දී කෑම ඕන තරම් (“There is”) ඒත් ඔබ සෑහීමට පත් වෙන්නේ නැහැ. (“there is not”) තව තවත් බඩගින්න ආශාව වැඩියි.
විවෘත වෙලා තියෙන එකම අවන්හලේ තෝරා ගන්න තරම් දේවල් නැති වුණත් (“there is not”) ඔබ හරිම තෘප්තිමත් (“there is”).
එහෙම බැලුවම ඒ කුඩා අවන්හලේ දී “එතැන නැහැ” (“There is not”) කියන කාරණාව (බනිස් හැරුණම වෙන කන්න දෙයක් එතැන නැහැ) අර්ථ දැක්වෙන්නේ “තියෙනවා” (“there is”) කියන අර්ථයෙන් (බඩ හොඳටම පිරුණා). ඒත් යථාර්ථය විදියට අපිට “දැනෙන්නේ” ඒ තරම් දේවල් නැහැ (“there is not much”) කියලයි. (එතැන බනිස් හැරුණම වෙන දෙයක් තිබුණේ නැහැ)
මේක තමයි ඇත්ත ජීවිතය. කවියෙන් කියන්නේ ඒ ගැඹුරු කතාව තමයි. කාටවත් කියන්න බැහැ තාර්කිකව හිතන දේ (logic) ද හරි, එහෙමත් නැතිනම් අපිට ඇත්තටම දැනෙන දේ (actual feeling) ද හරි කියලා. දෙකම හරි! තාර්කිකව විතරක් හිතන්න ගියොත් ඇත්තට අපිට ‘දැනෙන දේ’ අපට මග හැරෙනවා.
බොහොම ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙකු වන Ummon එක දවසක් තමන්ගේ ශිෂ්‍යන්ගෙන් අපූරු ප්‍රශ්නයක් ඇහුවා.
“ගත වුණු සති දෙක කොහොම කියලා මං ඔයාලගෙන් අහන්නේ නැහැ. ඒත් ඉදිරි සති දෙක ඔයාලට කොහොම ද?”
ගුරුවරයා ඇහුවේ ගත වෙච්ච කාලය ගැන නෙමෙයි, දැන් මේ අද ඉඳන් ඉදිරියට උදාවන සති දෙක කොහොම ද කියලයි.
කවුරුවත් උත්තරයක් දුන්නේ නැහැ.
“හැම දවසක්ම සුබ දවසක්!” පිළිතුරක් නැති හින්දා ගුරුතුමාම පිළිතුරක් දුන්නා. සුබ දවස් දහ හතරක්ම අපිට ඉස්සරහට තියෙනවා. ඒ හැම දවසක්ම සුන්දර දවස්!
ඒ කියන්නේ උදාවෙන්න තියෙන ඉදිරි සති දෙකම අර කිව්ව “තිබෙන” සහ “නොතිබෙන” කියන ගුණ දෙකම අන්තර්ගත දවස්. ඒ දෙකෙන් මොකක් වුණත් කමක් නැහැ. දෙකම හොඳයි. යමක් නැති වුණත් (“there is nothing”) ඒකෙන් කියවෙන්නේ නැහැ කිසිම දෙයක් කොහෙත්ම නැහැ කියලා. මොනවා හරි තියෙනවා. යමක් තිබුණත් (“there is something”) මොනවා හරි දෙයක් එතැන නැති බවත් මතක තබා ගන්න ඕනේ. ඔන්න ඔය වෙනස හඳුනා ගන්න පුළුවන් නම්, ඔබට පුළුවන් හැම දෙයකින්ම පරිපුර්ණ නිදහස ලබා ගන්න. ඒ වගේම හැම දෙයක්ම ඒකේ සැබෑ ගුණයෙන්ම අත්දකින්න.
ජීවිතය ඔබට බුෆේ සත්කාරයක් පිරිනමන්නත් පුළුවන්. බනිස් ගෙඩියක් විතරක් දෙන්නත් පුළුවන්. ඔබ සතුට කියන කාරණාව මනින්නේ වැඩි ද අඩු ද (“more” or “less”) කියන පදනමින් නෙමෙයි නම් ඔය තැන් දෙකෙන් කොතැනින් කෑවත් ඒක සම්පූර්ණ ආහාර වේලක් විදියට ඔබට දැනේවි. සතුට එක විදියටම තියේවි.
ඉදිරියට උදා වෙන සති දෙක කියන්නේ “මොනවා හරි වෙනවා” කියන එක විතරක්ම නෙමෙයි. “මොනවා හරි වෙන්නේ නැහැ” කියන අදහසත් එතැන තියෙනවා.
“මොනවා හරි නොවෙන” තාක් කල් (nothing happening) ඔබට මේ විශ්වයේ සුන්දරත්වය දකින්න පුළුවන්. ඉර, හඳ විතරක් නෙමෙයි කඳුකර නිම්නයේ ඈත අහසේ දිදුලන තාරකා පවා…! එහෙම වෙලාවට ඔබ දකින්නේ තරු විතරක්ම නෙමෙයි, සතර දිගට විහිදුනු ආකාසයේ අපරිමිත බව ඔබට “දැනෙන්න” පටන් ගන්නවා. ඒත් ඔබ ඒ අත්දැකීම ඒ විදියට විඳින්නේ “කිසිම දෙයක් නොවන” අවස්ථාවල විතරයි. ඒත් මොනවා හරි වෙන (something happening) දවස්වල ඔබ මේ කිසිම දෙයක් අත්විඳින්නේ නැහැ. ඔබ දන්නවනේ සමහර සිංදු, ඒ වගේම ලෝකයේ අතිවිශිෂ්ට සංගීත ඛණ්ඩ තියෙනවා සුළු මොහාතක් කිසිම සංගීත භාණ්ඩයක් වාදනය නොකරන (dead silence). අන්න එහෙම වෙලාවට තමයි, සංගීතයේ මිහිර වගේම නිහඬතාවයේ මිහිරත් හොඳින්ම අත් විඳින්න පුළුවන් වෙන්නේ.
දැන් සමස්ත කතාව කෙටියෙන් අර ගනිමු.
අපේ ජීවිතය පිරිලා තියෙන්නේ ඔය කියන සංකල්ප දෙකෙන්. ඒ කියන්නේ යමක් ‘පවතින’ හෝ ‘නොපවතින’ (“there is” and “there is not”) කියන සංකල්ප දෙකෙන්. අපිට බැහැ කිසිම දෙයක් නොසලකා හරින්න ඒවා ‘හරි’ හෝ ‘වැරදියි’ කියලා. එහෙමත් නැතිනම් ‘දිගයි’ ‘කොටයි’ කියලා. ‘ලස්සයි’ ‘අවලස්සනයි’ කියලා
උණ ගහ හොඳයි, පයින් ගහත් හොඳයි. පොල් ගහත් හොඳයි තණ කොළත් හොඳයි. රෑට වැටෙන කළුවරත් හොඳයි. කෑ ගහන ගෙම්බොත් හොඳයි. රෝස මලත් හොඳයි. තුත්තිරි මලත් හොඳයි. හැම දෙයක්ම හොඳයි.
ඒ වගේම තමයි නැති දේත් හොඳයි. ඈතට විහිදුණු මිටියාවත හොඳයි. කඳු යායත් හොඳයි. කළුවර අහසත් හොඳයි. ගස් කොළං නැති පර්වතයත් හොඳයි. මේ හැම දෙයක්ම ඒ හැටියටම විඳ ගනිමු. දවසින් දවස අපි පරිණත වෙනවා කියන්නේ ඇති දේ ඇති සැටියෙන් විඳ ගන්න පුරුදු වෙනවා කියන එකයි.
ඔබේ මනස සන්සුන්, නිශ්චලත්වයෙන් පිරිලා ගියාම ඔබ දකින ඒ හැම දෙයක්ම ඒ හැටියෙන්ම (“things as it is”) විඳින්න ඔබට පුළුවන් වේවි. ඒක තමයි Ummon සෙන් ගුරුතුමා කිව්වේ ඉදිරියට උදාවන හැම දවසක්ම සුන්දර දවසක් කියලා.
සුළං නතර වෙද්දි, මල් බිම පතිත වේවි.
කුරුල්ලෙකු ගී ගයද්දි, කන්ද තව තවත් නිසල වේවි.
(මේ කරුණු ලියැවුණේ මාසයකට කලින් නිකුත් වූ Becoming Yourself – Teachings on the Zen Way of Life නම් කෘතියෙන් උපුටා ගත් කරුණු ඇසුරිණි. මෙම කෘතිය රචනා වී ඇත්තේ ජපානයේ අතිශය ප්‍රකට සෙන් භික්ෂුවක් වූ Shnryu Suzuki (1904-1971) ගේ දේශනා ඇසුරිණි. මෙම කෘතිය පෙන්ගුවින් සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ 2025 වසරේ දෙසැම්බර් මාසයේ දීය)

ප්‍රතිචාරයක් ලබාදෙන්න