ඔබ විතරක්ම දන්නා පිළිතුරක්!

ඒ ගමන යා යුතුමදැයි මා වරක් දෙවරක් නොව බොහෝ වාර ගණනාවක් සිතන්නට ඇත.

හදවතට එකඟව කතා කරන්නේ නම්, මා වඩාත්ම සිතන්නට ඇත්තේ ඒ අවස්ථාවට මුහුණ දෙන්නට තරම් ශක්තියක් සහ ‌ධෛර්යයක් මා තුළ ඇති ද යන්න බව සහතිකය.

වසර ගණනාවකට පෙර කිසියම් අධ්‍යාපන ආයතනයක මගෙන් ද ඉගෙන ගත් ආදරණීය දියණියක් සිය ජීවිතයෙන් සමුගෙන යන්නට තීරණය කර ඇත. ඒ අවසන් ගමන ඇය තෝරා ගෙන ඇත්තේ සිත අතිශය කම්පා කරවන මාවතක් ඔස්සේය.

දීප්තිමත් ඇස් දෙකකින් යුත් ඉතාම අවිහිංසක සුන්දර දියණියක් යළි නොඑනා ගමනට සැරසී සිටින නිසල රුව දකින්නට අවමංගල්‍ය ශාලාව වෙත පිය නගන්නට මා අවසානයේ දී තීරණය කළේ එසේ නොකළහොත් ජීවිතයේ සදාකාලික පසුතැවීමක් ඉතිරි වනු ඇතැයි මතු වූ බිය නිසා බව අවංකවම කිව යුතුය.

ඒ සිදුවීම අසන්නට ලැබුණේ නව වසර උදාවී දින පහක් ගතවී යද්දීය. ඒ සමගින්ම හදවත කම්පිතව කුණාටුවක් හමා ගියේය.

මෑත කාලය තුළ දී මා මේතරම් ම කම්පනයකට සහ ආතතියට පත් කළ වෙනත් යමක් මගේ මතකයේ නැත.

මැදි වයස ගෙවන අපට ද අල්ලා ගත නොහැකි තරම් වේගයෙන් ජීවිතය දිව යන මොහොතක තවමත් පිපෙන්නට වෙර දරන සුන්දර මල් කැකුළු ජීවිතය අල්ලා ගන්නේ‌ කොහොම ද…?

ජීවිතය යනු බොහෝ අකුරු අතුරුදන් වූ ප්‍රහේලිකාවක් ද…? නැතිනම් එකම රේඛා ගොන්නක් භාවිතයෙන් කරන චිත්‍ර ඇඳීමේ කලාවක් ද…? පිළිතුරක් අනවශ්‍යය.

ඉතා ආදරණීය ළෙංගතු පවුලක සාමාජිකයෙකු වූ ඒ දියණිය එවන් ඉරණමක් තෝරා ගත්තේ බාහිර සිදුවීමක් නිසා බවත්, මේ සටහනේ පහතින් දැක්වෙන සියලු දේ ඉහත සිදුවීමට අදාළව නොවන බවත් යළි යළිත් අවධාරණයෙන්ම කිව යුතුය. මේ සටහන මෙසේ ලියැවෙන්නේ මේ සිදුවීමත් සමග මා සිත තලා පෙළුෑ හැඟීම් පිට කරගනු පිණිසය.

ඒ අතීතයේ එක්තරා දවසකි. දිනය හරියටම කියන්නේ නම් 1996 වසරේ ජූලි මස 24 වැනි බදාදාය. මා එවකට සේවය කළේ දිවයින පුවත්පතේ කර්තෘ මණ්ඩලයේය.

දෙහිවල දුම්රිය ස්ථානයේ බෝම්බයක් පිපිරී ඇති බවට හිටිහැටියේම දුරකථන ඇමතුම් ගලා ගෙන එන්නට පටන් ගත්තේ කර්තෘ මණ්ඩලයේ වැඩි සෙනගක් නොසිටි ගොම්මන් අඳුර ගලාගෙන ආ හෝරාවකය.

අද මෙන් එදා සමාජ මාධ්‍ය තිබුණේ නැත. ස්මාර්ට් දුරකථන තිබුණේ ද නැත. දිනපතා පළවන ජාතික තලයේ සිංහල පුවත්පත් තිබුණේ තුනක් පමණි. ඒ අතරින් “ලංකාදීප” සහ “දිවයින” අතිශය ප්‍රබල මාධ්‍ය විය. වූයේය. එබැවින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් කර්තෘ මණ්ඩල සාමාජිකයන්ට හිමිවන හැඳුනුම්පතට විශාල බලයක් සහ ගරුත්වයක් තිබුණි.

පවනට බඳු වේගයෙන් දිවයින කර්තෘ මණ්ඩල කාර්යාලයෙන් පිටත් වූ අප රැගත් වෑන් රථය සුළු මොහොතකින්ම දෙහිවල දුම්රිය ස්ථානයේ බෝම්බය පුපුරා ගිය ස්ථානයේය. බෝම්බය පුපුරා ගිය දුම්රිය මැදිරියක් වෙත ඇතුළු වන්නට මට ද අවසර ලැබුණි. මොහොතකට පෙර ඉන්දියන් සාගරයේ සුන්දර මුහුදු තීරුවේ සිසිල් සුළං පහස විඳිමින් සිය කැදලි කරා යමින් සිටි මිනිසුන් සහ ගැහැනුන් ප්‍රාණය නිරුද්ධව තැන් තැන්වලය. හිත් පිත් අහිමි සෙල් රුවක් සේ ඒ බියකරු දසුන දෙස බලා සිටි මගේ ගත සිත පුපුරා කඩා හැළුණේ මගේ නෙත නතර වූ තැනකය.

පාසල් බැගයක්…! පුංචි පුංචි පුතෙකුගේ හෝ දුවකගේ පාසල් බෑගයක්!

බෑගයෙන් එළියට විසි වී ගිය කොපි පොතක්, පැස්ටල් පාට පෙට්ටියක්… වතුර බෝතලයක්!

ඒ වනවිට මා සිටියේ භද්‍ර යෞවනයේය. එහෙත් කඳුළක් පිට කර ළය සැහැල්ලු කරගන්න තරම් මම නරුමයෙක් නොවූවෙමි. එබැවින් මගේ දෙනෙතින් කඳුළු ගංගාවක් ගලාගෙන ගියේ නැත. එහෙත් හදවත ඉරිතලා යමින් එහි ගැඹුරුම තැනින් සුසුමක් පිට වූයේ මටත් නොදැනීමය. ඒ මිය ගිය ඔවුන් වෙනුවෙන් නොවේ. ජීවත් වන මා ගැනම ඇති වූ කළකිරීමෙනි.

1996 වසරේ මහ බැංකුවට ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයක් එල්ල වන විට මා සිටියේ කොළඹ හිල්ටන් හෝටලයේ කිසියම් ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එබැවින් ඒ සැණෙකින්ම ඛේදවාචකය සිදු වූ ස්ථානයට යන්නට මට හැකි වුයේය. එය මූසල හෝරාවකි. ඉහළ අහසට නගින ගිනි ජාලා සහ දුම් රොටු අතරින් ඒ ගිනි ජාලාවන්ට ගොදුරුව දැවෙන මහ බැංකු සේවකයන්ගේ අදෝනා ගාලු මුවදොර පුරා සිසාරා පැතිරෙමින් තිබුණි. එදිනම හවස කොළඹ මෝචරියට ගිය අවස්ථාවේ මෝචරිය ඉදිරිපිට විවෘත භූමියේ පවා මළ සිරුරු එකිනෙක ගොඩ ගසා තිබුණේ වෙරළට පාවී ආ ලී දඬු පරිද්දෙනි. ජීවිතය යනු වත්කමක් නොව උකසට ගත් වගකීමක් බව මට වඩාත්ම තහවුරු වූයේ එදාය.

විනාශ වී ගිය මහ බැංකු පරිශ්‍රයට ගොස් තොරතුරු සොයා එන ලෙස ලෙස පසු දා පාන්දර ද ප්‍රවෘත්ති කර්තෘවරයා මට රාජකාරියක් පැවරුවේය.

පෙරදා සිදු වු මහා ඛේදවාචකයෙන් පසු මහ බැංකුව පිහිටා ඇති ජනාධිපති මාවත මහජනතාවට මුළුමනින්ම වසා දමා තිබුණි. මහා දුක්මුසු පාළුවක් වීදිය පුරාම දෝර ගලා යමින් තිබුණි. ආරක්ෂක හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකු හැරුණු විට ඒ මොහොතේ ඒ පාළු වීදියේ ඉතිරිව සිටියේ මාධ්‍ය නියෝජනය කළ අප දෙතුන් දෙනෙක් පමණි.

කිසිවක්ම සිතා ගත නොහැකිව අප ගොළු වී සිටි ඒ පාළු අඳුරු හෝරාවේ, එක්වරම මතු වූ විලාපයක් මුළු පරිසරයම තලා පෙළමින් හාත්පස පැතිර යන්නට විය. විලාප හඬ නැගුණු දෙසට නෙත් යොමු කරද්දී මා දුටුවේ කිසියම් පුවරුවක් වැනි යමක් ඔසවා ගෙන එන ආරක්ෂක හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකි. ඒ පසුපසින් සිවිල් ඇඳුමින් සැරසුණු වැඩිහිටි කාන්තාවක් සහ තවත් වැඩිහිටි පිරිමින් දෙදෙනෙකි.  ආරක්ෂක හමුදා සාමාජිකයන් ඔසවා ගෙන පැමිණි පුවරුව මත වැතිරී සිටියේ යුවතියකි. ඒ වනවිට එයාර් ලංකා සමාගම සතුව තිබූ දීප්තිමත් වර්ණයෙන් යුත් සිත් ගන්නා සුළු නිල සාරියකින් ඇය සැරසී සිටියාය. (එයාර් ලංකා සමාගමේ කාර්යාලයක් ඒ වනවිට මහ බැංකු පරිශ්‍රය ඉදිරිපිට පිහිටා තිබුණේය.) සුන්දර සිනහවක සේයාවක් ඇගේ දෙතොල් මත තැවරී තිබුණි. තුවාලයක හෝ ලේ සළකුණක් හෝ ලකුණක්වත් ඇගේ සිරුරේ දකින්නට තිබුණේ නැත.

විලාපය පැමිණියේ ඇගේ දෙමව්පියන් හා ඥාතීන් යැයි සිතිය හැකි ඒ වැඩිහිටියන්ගෙනි. ඔවුන්ගේ ඒ විලාපය නොවන්නට ඒ සුන්දර යුවතිය සුව නින්දක පසුවන්නියක් මිස සිය ජීවිතය හැර දමා ගොස් ඇති බවක් මා කිසිසේත්ම විශ්වාස කරන්නේ නැත. ඇය මියගොස් තිබුණේ අධි බලැති බෝම්බයේ කම්පනයෙනි.

ඒ දින කිහිපයම මට කෑම රුචියක් දැනුනේම නැත.

ඒ 2000 වසරේ ඔක්තෝබර් මාසයේ දවසකි. කර්තෘ මණ්ඩලයේ සාමාජිකයන් එදවස සිය දවස ආරම්භ කරන්නේ සිංහල සහ ඉංග්‍රීසි සියලු ජාතික පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්ති සහ මුල් පිටු කියැවීමෙනි. (එදවස මාධ්‍ය දෙකින්ම ජාතික පුවත් පත් තිබුණේ කිහිපයක් පමණි). එදා දවසේ අවධානයට යොමු විය යුතු ප්‍රවෘත්තිමය අගයක් ඇති කාලීන සිදුවීම් ගැන අදහසක් ලබා ගන්නට ඒ පුරුද්ද සෑම පත්තරකාරයෙකු තුළම තිබුණේය.

“ජැෆ්නා යන්න ලැහැස්ති වෙන්න. වාහනය ලැහැස්තියි. දැන්මම යන්න” 

ප්‍රවෘත්ති කර්තෘවරයා මගේ උරහිසට අත තබා කිව්වේ හදිසියෙනි. ඔහුගෙන් වේලාව ලැබුණේ නෝට් පොත සහ පෑන අහුලා ගන්නට පමණි.

පත්තර කන්තෝරුවේ වාහනය රත්මලාන ගුවන් තොටුපළට ළං වනවිට මා දන්නා හඳුනන තවත් මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙක් එහි සිටියේය. ඒ වනවිට ඉතිරිව තිබූ ඒ වර්ගයේ එකම ඇන්ටනොව් යානය අප වෙනුවෙන් සූදානම්ව තිබුණේය. සෙසු ඇන්ටනොව් යානා කඩා වැටී තිබූ අතර ඉතිරිව තිබූ මේ යානය ද අප පිටත්වන තෙක්ම එහි තිබූ කාර්මික දෝෂයක් අලුත්වැඩියා කරමින් තිබුණේය. ඒ යුද්ධය තදින්ම පැතිරී තිබූ කාලයයි. මේ දවස වනවිට මා විවාහ වී ගෙවී යමින් තිබුණේ මාස දෙකක කාලයක් පමණි.

අප රැගත් ඇන්ටනොව් යානය ගුවන් ගත වූයේ දොරවල් විවෘත කරගෙනය. ගුවන් ගත වූ යානයේ විවෘත වූ දොරටුවල එක් පාදයක් අහසටත්, තවත් පාදයක් යානය තුළටත් තබාගෙන බිම හිඳගෙන සිටි හමුදා නිලධාරීන්ගේ ගෙලෙහි පතොරම් වැල් එල්ලෙමින් තිබුණි. යානය තුළ සිටි අපට ආසන බඳ පටි තබා අඩුම තරමින් “ආසනයක්වත්” තිබුණේ නැත. ඒ වෙනුවට තිබුණේ දිගට තිබූ බංකු දෙකක් සහ අල්ලා ගන්නට කඹයක් වැනි යමකි.

උතුරුකරයේ දී යානය ගොඩ බැස්ස වූයේ සිග්-සැග් ආකාරයටය. ඒ කාලය පුරාම යානයේ සිටි හමුදා සාමාජිකයන් පහළට වෙඩි තබමින් සිටියේය. එයට හේතුව වූයේ සක්‍රීය ලෙස යුද්ධය ඇවිලෙමින් තිබූ මොහොතේ වනාන්තරයේ සැඟව සිටින සතුරාගෙන්  එල්ල වන ප්‍රහාරයන් වළක්වා ගන්නටය.

ආපසු කොළඹට එන ගුවන් ගමනේ දී මාධ්‍යවේදී අප හැරෙන්නට තවත් පිරිසක් යානයට පැටවුණේය. එයින් පිරිසක් ඒ විනවිටත් ජීවිතය හැර ගොස් තිබුණේය. තවත් පිරිසක් බරපතළ ලෙස තුවාල ලැබූවෝය. අප දෙපා පාමුල ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් කොළඹට ආ ඒ සොහොයුරන් අතරින් කවුරුන් අද ජීවතුන් අතර සිටින්නේ දැයි මා දන්නේ නැත.

මාධ්‍ය ජීවිතය තුළ මෙවන් සිදුවීම් ඕනෑ තරම්ය. මීට වඩා ඉතා දරුණු සහ බරපතළ වූ සිදුවීම්හි ඔබ ද සාක්ෂිකරුවන් විය හැකිය. එහෙත් මේවා මගේම අත්දැකීම්ය. මේ සටහන දීර්ඝ වීම වැළැක්වීම සඳහා මාධ්‍ය ජීවිතයේ ලද මෙවන් අත්දැකීම් සිය ගණනක් අතරින් තවත් එකම එක අත්දැකීමක් පමණක් විස්තර කරන්නට අවසර දෙන්න.

පුවත්පත් ආයතනයේ වෙනත් අංශයක (කර්තෘ මණ්ඩලයේ නොවේ) සිටි එක්තරා සාමාජිකයෙකු කිසියම් ආකාරයක මානසික ව්‍යාකූලත්වයකින් පෙළෙමින් සිටියේය. ඔහුගේ රාජකාරී කටයුතු කිසිම බාධාවකින් තොරව කරන්නට තරම් නිරවුල් මනසක් ඔහුට තිබුණු බව සැබෑය. එහෙත් ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් රැවටීමට (ලණු ගිල්ලවීමට) හැකි වර්ගයේ ඉතා අහිංසක චරිතයකි ඔහු. මේ හේතුව නිසාම ඒ අංශයේ ඇතැම් සේවකයන් සිය වින්දනය උදෙසාම ඔහුට විවිධාකාර ‘ලණු දීම’ සිරිතක්ව තිබුණි. ඒ බොහෝ දේ බරපතළ නොවූ වාචික උසුළු විසුළු වූ නමුත් එසේ නොවූ අවස්ථාවන් ද මගේ මතකයේ ඇත.

එක්තරා දවසක දී ඔහුගේ බිරිඳ සහ එකම දියණිය කිසියම් හේතුවක් සඳහා පුවත්පත් ආයතනයට පැමිණියේය. ඔහු විවාහක බවත් ඔහුගේ බිරිඳ ලංකාවේ ප්‍රසිද්ධම බාලිකා විද්‍යාලයක ගුරුවරියක බවත්, ඔවුන්ට ඉතා සුරතල් පාසල් යන වයසේ දියණියක ද සිටින බවත් මා දැනගත්තේ එදාය. ඒ සිඟිති දියණියගේ මුහුණු දුටු මොහොතේ මගේ මුළු ජීවිතයම මොහොතකට කඩා වැටුණේය. කාර්යාලයේ දී තාත්තාට කෙරෙන උසුළු විසුළු සහ අමන ක්‍රියාකාරකම් ඔහුගේ බිරිඳට සහ ඒ අහිංසක දියණියට කෙසේ බලපානු ඇති දැයි සිහිපත් වී මගේ සිත දැඩි ලෙස පීඩාවට පත් වූයේය. මන්ද යත් ඒ ඇතැම් අකටයුතුකම් ඔහුගේ සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම්වලට ද බලපෑමක් එල්ල විය හැකි මට්ටමේ ඒවා වූ බැවිනි. ඒ අකටයුතුකම් සඳහා මා කිසිදු විටෙක කිසිදු අයුරකින් දායක වී නැතත්, ඒවාට සිහහ සෙන්නට ඇතිද යන සැකය මා තුළ තවමත් හොල්මන් කරන්නේය. එය එසේ වූයේ නම්, මා කිසිදා මටම සමාවක් දෙන්නේ නැත.

කාර්යාලයේ හෝ එදිනෙදා ජීවිතයේ දී ඔබේ හෝ මගේ කෙටි කාලීන වින්දනය උදෙසා කෙරෙන උසුළු විසුළු හමුවේ තිරයෙන් පිටුපස සිට ජීවිතයෙන් පීඩා විඳින අහිංසක ජීවිත ගැන මට හරිහැටිම වැටහුණේ ඒ මොහොතේ දීය. අපට දිනපතා මුණගැහෙන කවර අයෙකුට වුව ද ඔහු හෝ ඇය පසුපස කිව නොහැකි විශාල කතාන්දරයක් ඇති බව මා අත්දැකීමෙන්ම වටහා ගත්තේ එදාය.

ඔබ සාහිත්‍යයට ළැදි කෙනෙකු නම් ෆ්‍රාන්ස් කෆ්කා (Franz Kafka) නම් වූ අසහාය ලේඛකයා ගැන දන්නා බවට කිසිදු සැකයක් නැත. 1912 වසරේ දී ජර්මන් බසින් පළ වූ ඔහුගේ “The Judgment” (තීන්දුව) නම් අතිශය සුප්‍රකට නවකතාවේ කතා නායකයා වන ජෝර්ජ් (Georg Bendemann) මා ඉහතින් සඳහන් කළ වර්ගයේ අහිංසක චරිතයකි. ඔහු හැම විටෙකම පියාගේ අණසකට යටත් වූ චරිතයකි.

“උඹ වතුරේ ගිලිලා මැරියන්” තාත්තා දවසක් කෝපයෙන් සිය පුතුට දොස් පවරයි. තාත්තාගේ ඒ ‘තීන්දුව’ පුතා ඉත සිතින් භාරගනියි. පාලම මතට දිව යන පුත්‍රයා ගලා යන ගංගාවට පැන සිය දිවි නසා ගනියි.

ඔබ කෆ්කාගේ ජීවිත කතාව කියවා ඇතිනම් ඒ ලෝක පූජිත ලේඛකයාගේ සැබෑ ජීවිතය ද ඊට වඩා වෙනසක් නැති බව ඔබට සිහිපත් වනු ඇත්තේය. ජීවිත කාලය පුරාම සිය පියාණන්ගේ කුරිරු ආධිපත්‍යයට යටත්ව සිටි කෆ්කා සිය ජීවිතයේ අවසාන කාලයේ දී පියාගෙන් තමාට සිදුවූ සියලු ගැහැට සහ පියාගෙන් නොලැබුණු ආදරය ගැන පිටු සියයක දිර්ඝ ලිපියක් ලියන්නේය. එහෙත් කෆ්කා මියන්නේ ඒ ලිපිය සිය පියා අතට පත් කරන්නට පවා අවස්ථාවක් නොලැබය.

“කොහොම ද ජීවිතය….?” මගේ වැඩිමහල් දියණියගේ යෙහෙළියකගෙන් මා ඇසුවේ දැන් සති කිහිපයකට පමණ පෙරදීය.

“මහන්සිසි…” ඈ දුන්නේ කෙටි පිළිතුරකි. එහෙත් ඒ කෙටි පිළිතුර තුළ බොහෝ දේ ගැබ්ව තිබුණි. මනෝ විද්‍යා උපාධිධාරිණියක වන ඇය මේ වනවිට සිය පශ්චාත් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඊට අදාළ ආයතනයක සේවය කරයි. රාජ්‍ය ආයතනයක් වන ඒ ආයතනය පිහිටුවා ඇත්තේ ජීවිතයෙන් විඩාවට පත්ව ඇති, එසේත් නැතිනම් සිය දිවි නසා ගන්නට සිතමින් සිටින මිනිසුන්ට සහාය වීමේ අරමුණිනි. මේ ආයතනයේ පැය 24 පුරා නොමිලයේ ක්‍රියාත්මක වන දුරකථන සේවාවක් (HOT LINE) ඇත. ජීවිතයේ වෙහෙසට පත්ව, දැන් ජීවත් වුණා ඇති යැයි සිතෙන මිනිසුන් සිය ජීවිතයේ අවසාන දුරකථන ඇමතුම ඇතැම් විට ලබා දෙන්නේ මේ දුරකථන අංකයටය. ඒ දුරකථන ඇමතුම ඔවුන්ගේ ජීවිතයේ අවසාන ඇමතුම නොවන තත්ත්වයට පත් කර ජීවිතයට ආදරයක් ඇති කිරීම මේ සේවාවේ අරමුණයි.

මේ දුරකථන අංකයට අනුබද්ධ අංක ජාලයක් පැය විසිහතර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්, ඒවාට අඛණ්ඩව දුරකථන ඇමතුම් ගලා ගෙන එන බවත් මා දැනගත්තේ ඇයගෙනි. ඇයට ලැබෙන දුරකථන ඇමතුම්වලින් අතිශය බහුතරය මැදි වියේ පසුවන්නන් බවත්, ඒ ඇමතුම් වලින් වැඩිම ප්‍රමාණයකට හේතුව සිය ජීවිතය තලා පෙළන තනිකම බවත් ඇය විස්තර කළාය.

“ඒ අයගෙන් සමහර අය ඇත්තටම සිය දිවි හානි කරගන්න හිතන අය. තවත් අය ඒ වෙනුවෙන් දැනටමත් ‘ප්ලෑන්’ එකක් ඔළුවේ තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන අය,”  ඇගේ පිළිතුර මා විස්මයට පත් කළාටත් වඩා මා ත්‍රස්ත කළා කිව්වොත් නිවැරදිය.

දරුවෙකු පමණක් නොව වැඩිහිටියෙකු පවා සිය දිවි නසා ගන්නට පෙළඹෙන්නේ සැබැවින්ම ජීවිතය අතහැර දැමීමේ අදහසින් නොවේ. තමන්ට උසුලා ගත නොහැකි මානසික හෝ ශාරීරික පීඩාවෙන් මිදෙනු පිණිසය.

අප ජීවත් වන්නේ පුදුමාකාර ලෙසින් වේගයෙන් දිව යන විෂම වූ ලෝකයක් තුළය. දේශපාලන බල පොරය, තාක්ෂණය, සමාජ මාධ්‍ය භාවිතය පමණක් නොව සාහිත්‍ය කලාව පවා අවිචාරවත් ලෙසින් හැල්මේ දිව යන මොහොතකය. තරුණ වියේ අප ගත කළ ජීවිතයට වඩා අපේ දරුවන් මුහුණ දෙන ජීවිතය විෂමය, කුරිරුය, හැඟීම් දැනීම් වලින් තොරය. දරුවන් සහ තරුණයන් ලෙස අප ගත කළ කාලය තුළ තිබූ මනුෂ්‍යත්වය සමාජයෙන් ගිලිහී යමින් ඇත්තේ මානව ශිෂ්ටාචාරය තුළ මිනිස් වර්ගයාගේ වල්ගය ක්ෂීණ වී ගියාක් මෙන්ය. මේ හේතුවෙන්, “ඔය වයස අපිත් පහු කළා…” කියමින් සැහැල්ලුවෙන් අත පිස දා ගන්නට අපට හැකියාවක් නැත.

ඇමරිකානු සමාජ විද්‍යාඥ George Ritzer තමන්ගේ The McDonaldization of Society පොතෙන් විස්තර කළාක් මෙන් අද අප ජීවත්වෙන්නේ මැක්ඩොනලඩ්ස්කරණය වූ සමාජයකය. අවසානයේ සියල්ල හිස්ය. මැදිවියේ අපටවත් ජීවිතය අල්ලා ගන්නට නොහැකි මොහොතක ඉහතින් කී දියණිය වැනි මල් කැකුළුවන් දරුවන් ජීවිතය අල්ලා ගන්නට සිතන්නේවත් කොහොම ද..?

බොහෝ විට මේ ඛේදවාචකයන්ට ගොදුරු වන්නේ සංවේදී දරුවන්ය. වසර දහයකට වඩා වැඩි කාලයක් කිසියම් අධ්‍යාපන ආයතනයක ඉහළම පංතිවල සිසුන්ට ගුරුවරයෙකු ලෙසින් කටයුතු කළ බැවින් ඇතැම් අවස්ථාවල දෙමව්පියන්ගේ ඉල්ලීම මත ඒ දරුවන්ගේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මැදිහත් වීමේ අත්දැකීමක් මට ඇත. මේ සටහන ආරම්භයේ දැක් වූ ඛේදවාචකයෙන් පසුවත් එවන් අත්දැකීමක් මට තිබේ. මේ දරුවන් මුහුණ දී ඇත්තේ පෙරදා දරුවන් හා තරුණයන් ලෙසින් අප මුහුණ දුන් බාධකයන්ට වඩා සංකීර්ණ වූ බාධකයන් සහිත සමාජයකටය. දෙමව්පියන් දරුවන් හා සමීපව සිටියත් බොහෝ දරුවන්ට සිය සමකාලීනයන්ගෙන් (peer pressure) ලැබෙන පීඩනය ප්‍රබලය.

පංති කාමරයේ දී දරුවා මුලින්ම ඉගෙන ගන්නේ විෂයයි. ප්‍රශ්න පත්‍රය දරුවාට ලැබෙන්නේ පාඩම් මාලාව අවසානයේ වාර විභාගයේ දීය. ඒ වනවිට බොහෝ දරුවන්ට විෂය නිර්දේශය හුරුය. ‌බොහෝ කරුණු කට පාඩම්ය. එහෙත් සැබෑ ජීවිතයේ අත්දැකීම් මිස පාඩම් මාලා නැත. මුලින්ම එල්ල වන්නේ ප්‍රශ්නයයි. කෙතරම් කටුක වුව ද ජීවන පාඩම ඉගෙන ගන්නට ලැබෙන්නේ අමිහිරි අත්දැකීම විඳගත් පසුවය.

ඒ අර්ථයෙන් ගත් විට තිරිසන් සතුන් සිටින්නේ අපට වඩා ඉදිරියෙනි. අපේ වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් පෙරදා අප සතුව මුලදී තිබූ සුවිශේෂී සංවේදී අංග ගණනාවක් මානව පරිණාමයත් සමගම දැන් අපෙන් ගිලිහී ගොසිනි. වෙනත් සතුන්ට ඇති ‘ඉව’ හෝ එවන් සංවේදී අංගයන් අද අපට අහිමිය.  මේ හේතුවෙන් කළ යුත්තේ කුමක් දැයි නිවැරදිව කියන්නට සමත් සංවේදනයන් හෝ සම්ප්‍රදායක් මිනිසුන් වන අප සතුව නැත. එහි ප්‍රතිඵලයක් ලෙසින් අප තුළ ගොඩ නැගෙන “අභ්‍යන්තරික හිස්කම” නැතහොත් ශුන්‍යත්වය මහාචාර්ය වික්ටර් ෆ්‍රෑන්ක්ල් හඳුන්වන්නේ ‘Existential Vacuum’ නමිනි. අන්‍යයන් අනුගමණය කරන්නට හෝ අන්‍යයන් අපෙන් බලාපොරොත්තු වනු ඇතැයි අපිට සිතෙන ආකාරයට අපි කටයුතු කරන්නට පෙළෙඹෙන්නේ මේ හේතුව නිසාය.

අඩක් පිරවූ වතුර වීදුරුවක් දෙස බලා අපට බොහෝ සේ වාද විවාද කළ හැකිය.

“වීදුරුව භාගයක්ම හිස්” යැයි කිසිවෙකු කියද්දී  “නැහැ.. භාගයක්ම පිරිලා” යැයි පැය ගණනින් වාද විවාද කරන්නට අපට හැකිය. එහෙත් යථාර්ථය ඇත්තේ එතැන නොවේ. වීදුරුව හැම විටෙකම පුරවා දමන්නට හැකිය. එබැවින් දරුවන්ට හෝ දෙමව්පියන්ට දොස් තබා ප්‍රශ්නයෙන් ගැලවී යන්නට අපට හැකියාවක් නැත. මන්ද යත් ප්‍රශ්නය අපේ නොවන තාක් කල් අපට බොහෝ සේ දාර්ශනික පිළිතුරු සැපයිය හැකි බැවිනි. ජීවිතය ද වතුර වීදුරුව මෙනි. අද දවසේ අපේ කාර්යය වී ඇත්තේ යුත්තේ අපේ දරුවන්ගේ පමණක් නොව අපේ ජීවිත ද පුරවා දමන්නට හැකි මාවත් සොයා යන්නටය.

ජීවත් වෙන්නට හේතුවක් හොයා ගන්නට සමත් වන්නේ නම්, කුමන බාධක මධ්‍යයේ වුව ද ජීවිතය වැළඳ ගන්නට හැකි බව (“He who has a why to live for can bear almost any how.”) නීට්ෂේ (Nietzsche) කීවේය. එහෙත් අවාසනාවකට මෙන් සමාජයේ බොහෝ දෙනෙකුට ඇත්තේ ජීවත් වන්නට හේතුවක් සොයා යෑමේ ගැටලුවයි. ජීවිතයේ කිසියම් අවස්ථාවක ඒ ගැටලුවට මුහුණ දෙන්ට අපට ද ඉඩක් නැතැයි සිතන්නට තරම් අප සුරක්ෂිත යැයි සිතන්නට අප ඉක්මන් විය යුතු නොවේ. රෝස් කෙනඩි කීවාක් මෙන් ජීවිතය ගතවී යන්නේ ඒ ඒ මොහොතින් මොහොතට උදාවන අවස්ථාවන් මත මිස ගව් ගණන් දිගු ජීවන අත්දැකීම් මත නොවේ. (Life isn’t a matter of milestones, but of moments)

ඔබත් සමග එකම කෝපි හලේ යාබද අසුනේ කෝපි කෝප්පයක් තොල ගාන නන්නාඳුනන මිනිසා මුළු මහත් ජීවිතයම කළකිරුණු මිනිසෙකු විය හැකිය. කෝපි හලෙන් ගලා ගෙන එන උණුසුම් කෝපි කෝප්පයේ සුවදින් ඔබේ ගත සිත ප්‍රබෝධවත්ම ඇති ඒ මොහොතේ ඔබ ප්‍රබෝධවත් කරවන කෝපි සුවඳම දැනෙන නන්නාඳුනන මිනිසා ඒ පානය කරන්නේ සිය ජීවිතයේ අවසන් කෝපි කෝප්පය විය හැකිය. මොහොතකට පෙර ඔබ පසුකර ගිය තැනැත්තා තම ජීවිතය ගැන කළකිරී සිය ජීවිතයේ අවසාන මොහොත වෙත පා තබන්නෙකු විය හැකිය. ඔබෙන් ලැබෙන එකම එක ළෙංගතු සිනාවක් ඒ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එකතු කළ හැකිය. ඔහුට යළිත් මනුෂ්‍යත්වය ගැන ආදරයක් ඇති කළ හැකිය.

ජීවිතයේ අවසන් ගමනට පෙර අවන්හලේ කෝපි කෝප්පයක් තොල ගාන ඒ නන්නාඳුනන මිනිසාට මෙන්ම ඔබ‌ත්, මාත් මරණයත් අතර ඇත්තේ මිනිත්තු හත අටක කාලයක් පමණි. අප හුස්ම ගන්නා සෑම හුස්මක දීම ඒ කාලය යළි යළිත් සකස් (re-setting) වේ.

ඔබේ පරිගණකයේ දෝෂයක් ඇතිනම් තිරය හරහා ඔබට ලැබන්නේ යන්ත්‍රානුසාරී නීරස පණිවිඩයකි. (Error massage). හැඟීම් දැනීම් යන්න යන්ත්‍රයක් සතු ගුණාංග නොවේ. එහෙත් ඔබ කටයුතු කරන්නේ මිනිසුන් සමග නම් ඒවා පිටවන්නේ හැඟීම් (Feelings) ලෙසිනි.

රාජකාරී ජීවිතයේ දී අපේ ඇතැම් රාජකාරී හමුවීම් (meetings) තරමක් උණුසුම්ය. බරපතළ තීරණ හමුවේ උණුසුම් වාද විවාද (heated arguments) ඇති වීම ද සාමාන්‍යය. එවන් අවස්ථාවල හඬා වැටෙන ඇතැම් කළමනාකාරිණියන් මට මුණගැසී ඇත්තේය.

“ගෙදර කවුරුවත්ම නැති වෙලාවට මං මහ හයියෙන් කෑ ගහලා අඬනවා” මා දන්නා හිතවතියක් මට කීවේ සති කිහිපයකට පෙරදීය. ඇයත් සමග ජීවිතය බෙදා ගත් සමීපතමයා වියෝ වී වසරකටත් වඩා කාලයක් ගත වී ඇතත් ජීවිතය යළි යළිත් ඇය රිදවයි.

“පාළුව තනිකම දරාගන්නම බැරි වුණාම මං එයාගෙ ෆෝන් එක අරගෙන මටම කෝල් කරගන්නවා. ඊට පස්සේ එයා ඉන්නවා කියලා හිතාගෙන මං කතා කරනවා” ඒ මට අහන්නට ලැබුණු තවත් එවැනිම දුක්බර කතාවකි.

“කව්ද කිව්වේ මං හැමදාම මගේ පුතා ගැන හිතනවා කියලා…? ගතවෙලා යන හැම දවසකම හැම පැයකම මං මගේ පුතා ගැන හිතනවා,” අවුරුදු ගණනාවකට කලින් අකාලයේ මිය ගිය තම පුතනුවන් ගැන රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී අතිශය ජනප්‍රිය නළු ග්‍රෙගරි පෙක්ගෙන් (Gregory Peck) විමසූ විට ඔහු දුන් පිළිතුරයි ඒ.  (“I don’t think of him every day; I think of him every hours of every day”)

ඔබ නව යොවුන් වියෙහි දරුවන් සිටින දෙමව්පියෙකු නම්, ඔබට හැකියාවක් ඇතිනම් Netflix හි ඇති කතාංග හතරකින් යුත් ‘Adolescence’ නරඹන්න. ඒ කතාවට පදනම් වී ඇත්තේ නව යොවුන් වියෙහි පසුවන ජේමි නම් වූ පිරිමි දරුවෙකුගේ අභ්‍යන්තර ලෝකය වටාය. සිය පාසලේම සහෝදර සිසුවියක මරා දැමීම සම්බන්ධව එල්ල වන බරපතළ චෝදනාවත් සමගම ඔහු පොලිස් අත්අඩංගුවට පත් වන්නේ දෙමාපියන්ගේ දැඩි විරෝධය මැදය. තමන්ට එරෙහිව මතුවන චෝදනා සියල්ල ජේමි විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේය. ඔහුතේ තැති ගත් අහිංසක මුහුණ දකින ප්‍රේක්ෂකයාට පවා ඔහු අතින් එවැන්නක් සිදු විණියැයි සිතෙන්නේ නැත.

“මට ඇත්ත කියන්න පුතේ… ඔයා ඒ මරණය සිද්ධ කළා ද…?”

පොලිස් භාරයේ සිටින පුතා හා තනි වූ අවස්ථාවක තාත්තා පුතාගේ දෑස දෙස එබී බලමින් අසයි.

“නැහැ මං ඒක කළේ නැහැ…” පුතාගේ පිළිතුරයි.

එහෙත් සියල්ල කණපිට හැරෙන්නේ ජේමී අතින් මිනීමැරුම සිදුවන ආකාරය සීසීටීවී දර්ශන ඔස්සේ ප්‍රබල සාක්ෂියක් ලෙසින් ඉස්මතු වීමත් සමගය. මතුපිටින් නිසංසලව සිටිය ද ජේමිගේ ජීවිතය අභ්‍යන්තරයෙන් මුළුමනින්ම කඩා වැටී තිබුණේය.

ඒ දරුවන්ගේ හැටිය. සිය ජීවිතයේ සෑම සියලු සිදුවීමක්ම දෙමව්පියන් හා බෙදා හදා ගන්නට දරුවන් සූදානම් යැයි සිතීම මුළාවකි.

ඔබට ද එවැනි වයසේ දරුවන් සිටී නම් ඔවුන් හා ආදරයෙන් බැදෙන්න. තරවටු කර ‘යහපත්’ දරුවකු නිර්මාණය කරගන්නට ඔබ උත්සාහ දරන්නේ නම් ඔබ තවමත් දරුවාගේ ලෝකය හඳුනා ගත් මවක හෝ පියෙකු නොවේ. තරවටුවෙන් හෝ සැර පරුෂවීමෙන් තොරව යහපත් දරුවන් නිර්මාණය කිරීමේ ශිෂ්ට සම්පන්න ක්‍රමවේදය එසේනම් ඔබට තවමත් බොහෝ ඈතය. විභාගයක ලකුණු යනු තම ජීවිතයම නොවන බව දරුවා සමගම ඔබත් අවබෝධ කරගන්න. දරුවා කැමැති විෂයක් ඔස්සේ ඔහුගේ හෝ ඇයගේ ජීවිතය හැඩ ගස්වා ගන්නට උදව් කරනු මිස ළමා කාලයේ ඔබ දුටු ඔබේ සිහින පසුපස හඹා යන්නට දරුවා තල්ලු නොකරන්න. ජීවිතයේ සාර්ථකත්වය ගොඩ නගා ගන්නට ඔබේ ආර්ථික මට්ටම ද යම් බලපෑමක් කරන නමුත් ජීවිතයේ සතුට නිර්ණය කිරීමේ දී මුදල යනු අතිශය නොවැදගත් සාධකයකි.

ඔබේ ගරුත්වය හෝ සමාජයේ පිළිගැනීම ඔබ විසින්ම නිර්මාණය කරගනු ලැබූවක් වන අතර දරුවාගේ ලෝකය දරුවා විසින් ගොඩ නගා ගනු ඇත. දරුවන්ගේ තීරණයකට ඔබ එකග නොවන්නේ නම් ආදරයෙන් ළංව ජීවිතය කියා දෙන්න. අරුත් සහගත සංවාදයන්හි (meaningful conversation) යෙදෙන්න. දරුවාගේ ජීවිතය දරුවාට මිස ඔබට අයත් නොවන බව වටහා ගන්න. අද දවසේ දරුවන් මුහුණ දෙන්නේ ඔබ මා හැදී වැඩුණු සමාජ පරිසර සාධක අතරේ නොවේ. ඊට වඩා බෙහෙවින්ම සංකීර්ණ වූ සමාජ දේහයයක් තුළය. එවන් සමාජයක අප හැදී වැඩුණු පරිසරයට දරුවන්ට බලහත්කාරයෙන් ඔබ්බවන්නට යාම නිෂ්ඵල නිරර්ථක ක්‍රියාවක් වන්නේය. කුඩා කළ සිටම ඔබ හා දරුවා අතර ළෙංගතු සමීපත්වයක් ගොඩ නගා ගන්නට ඔබ අසමත් වන්නේ නම් සිය ජීවිතයේ සියලු හැළ හැප්පීම් දරුවා ඔබට පවසනු ඇතැයි කිසිදා කිසිවිටෙක බලාපොරොත්තු නොවන්න. ජීවිතයේ මතු යම් දවසක අවසානයේ දී දරුවාට සවන් යොමු කරන්නට ඔබ සූදානම් වන මොහොතේ දරුවා ඔබ හා සංවාදයක යෙදීමේ තීරණය අත්හැර බොහෝ කාලයක් ගත වී තිබිය හැකිය.

ජීවිතයේ කිසියම් දවසක ඔබේම ජීවන ගමන් මග, තෘප්තිමත් සිනාවක් මුවෙහි රඳවා ගනිමින් ආවර්ජනය කරන්නට ඔබට හැකි නම් ඔබ ගමන් කර ඇත්තේ ඔබ තෝරා ගත් මාවතක් ඔස්සේය. ඒ තෘප්තිය ඒ අයුරින්ම භුක්ති විදීමේ අයිතිය ඔබේ දරුවාට ද ලබා දෙන්න.

දරුවන් දෙමව්පියන්ට අසීමිතව ආදරය කරන අතරේ, එමෙන්ම දෙමව්පියන් වෙතින් දරුවන්ට එවන් වූ අසීමිත ආදරයක් හිමිවන අතරේ මුළුමනින්ම තනි වූ හැඟීමක් දරුවකුගේ සිත තුළ ඇතිවීම ස්වභාවිකය.

එය වැඩිහිටියන් වන අපට ද පොදුය.

දහස් මුවෙකින් නැගෙන ඔල්වර – සිනා හඩ දසතින් ඇසේ

දහස් ගණනක් සෙනග අතරේ – මහා තනියක් මට දැනේ

මහගම සේකරයන්ගේ අතින් ලියැවුණු ඒ පදපෙළ සිත් කාවදින් අයුරින් ගායනා කළේ නන්දා මාලිනියයි. “The worst loneliness is not to be comfortable with yourself” (දරුණුතම තනිකම වන්නේ තමාට තමා කෙරෙහිම සුවදායී හැගීමක් නොවුණු මොහොතක බව මාර්ක් ට්වෙන් කීවේ ද ඒ නිසාය. ඒ තනිකම අපට ද වඩා තදින් දරුවන්ට දැනිය හැකිය.  

යළි යළිත් අවධාරණය කරමි. මේ කතාවට ප්‍රවේශය ලියැවුණේ අපෙන් සමුගත් ඒ ආදරණීය දියණියගෙන් වන නමුත් මේ සටහනේ විස්තර වන කිසිවක් ඒ දියණියට හෝ ඇගේ ආදරණීය පවුලේ කිසිවෙකුට අදාළ නොවේ.

මේ සටහන ලියැවුණේ අපේම ජීවිතය ගැන යළි යළිත් සිතා බැලීමේ අරමුණිනි. මේ සටහනේ කිසියම් යමක් කිසිවෙකුගේ ජීවන ගමනට වැදගත් යැයි ඔබට සිතෙන්නේ නම් ඔබේ ද අදහස් ඇතිව මේ සටහන බෙදා හදා ගැනීමට ඔබට ආරාධනය කරමි.

මා බොහෝ සේ කැමැත්තෙන් කිහිප වරක්ම කියවා ඇති මහාචාර්ය වික්ටර් ෆ්‍රෑන්ක්ල්ගේ “Man’s Search for Meaning” සහ “Yes to Life” යන පොත් දෙකෙන්ම අවධාරණය කරන මා දැඩි සේ සිත්ගත් කොටසකින් මේ සටහන නිමා කරමි.

“මේ ජීවිතයේ අරුත කුමක්ද.?” යන ප්‍රශ්නය කිසිදා කිසිවිටෙක විමසන්නට යන්නට එපා. එය නිරර්ථක ක්‍රියාවක්. එයට හේතුව ජීවිතයේ අරුත මිනිසාගෙන් මිනිසාට, දවසින් දවසට, හෝරාවෙන් හෝරාවට නිරන්තරයෙන්ම වෙනස් වන්නක් වන බැවිනි. එබැවින් ඔබ නිරන්තරයෙන් සිත්හි ධාරණය කරගත යුත්තේ ඒ ප්‍රශ්නය ජීවිතය විසින් ඔබෙන් විමසනු ලබන්නක් මිස ඔබ විසින් විමසනු ලැබිය යුත්තක් නොවන බවය.

ඉතින් ජීවිතය ඔබෙන් ඉල්ලා සිටින්නේ කුමක් ද…?

පිළිතුර ලබා දිය හැකි වන්නේ ඔබටම පමණි. ඊට පිළිතුර ඔබම සොයා ගන්න.

ඒ පිළිතුර ඔස්සේ ඔබේ ජීවිතයේ ඉතිරි වී ඇති කාලය ගත කරන්නට ඔබ කිසිසේත්ම ප්‍රමාද නැත.




ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑