දැන්ම හොයන්න පටන් ගන්න!

ඒ ග්‍රීස්ම සෘතුව නම් මහ පුදුමාකාර එකක්. හිතාගන්න බැරි තරම් හැඟුම්බර සිද්ධීන් වැලක්ම එක පිට එක.

ඒ ඔක්කොම පටන් ගත්තේ එකම එක ප්‍රශ්නයකින්. ඒක නිකම්ම නිකම් නීරස ප්‍රශ්නයක්: “කොහොම ද ඉතින් ඔයාගේ වැඩ කටයුතු එහෙම…?”ප්‍රශ්නය ඇහුවේ මගේ නෑයෙක්, මට එයාව හමු වෙච්ච වෙලාවක.

මං ඒකට උත්තර දෙන්න පටන් ගත්තේ මෑතක දී මං සහභාගි වුණු වැඩමුළුවක් ගැන විස්තරයක්. 

ඒ විස්තරය කියන්න කලින් මුලින්ම කියන්න ඕනේ, මං ළමා මනෝ වෛද්‍යවරයෙක්. මේ සිද්ධිය වෙද්දී මට වයස අවුරුදු තිස් හතරයි.

දරුකමට හදා ගන්න දරුවන් ගැන තිබුණු වැඩ මුළුවක් ගැන විස්තරයක් තමයි මං මගේ ඥාතියාට කියන්න පටන් ගත්තේ. දරුකමට හදාගත්ත දරුවන්ට මානසික ව්‍යාකූලතා ඇතිවෙන්නට තියෙන ඉහළ ඉඩකඩත්, ඒ දරුවන් මුහුණ දෙන මානසික ගැටලුත්, ඒ ගැටලුවලට ප්‍රතිකාර ලබා දෙන්නට විශේෂඥ දැනුමක් ඇති වෘත්තිකයන්ගේ සහාය ලැබීමේ වැදගත්කමත් තමයි වැඩමුළුවේදී සාකච්ඡා වුණේ. 

“මේ දරුවන්ගේ අතීතය උසාවියෙන්, රාජ්‍ය ආයතනවලින් වළ දාලා සීල් කරලයි තියෙන්නේ. තමන් අරන් හදාගත්ත කෙනෙක් කියලා දැනගත්ත දවසට එයාලා ඒ අතීතය හොයා ගෙන යනවා. අන්න එතකොට තමයි මේ වළ දමපු තමන්ගේ අතීතයේ ඔක්කොම රහස් එළිවෙන්නේ. මේ රහස් එක්ක බොහොම වෙලාවට තමන් ගැන ලැජ්ජ හිතෙන දේවලුත් එළිදරව් වෙනවා” මං පැහැදිලි කළා.

“ඉතින් ඇයි එයාලට ඕන වෙන්නේ තමන් අරන් හදා ගත්ත කෙනෙක් කියලා දැනගන්න…?”, මගේ ඥාතියා ඇහුවා.

“ඒක රැකගන්න බොහොම අමාරු රහසක්. ඒ රහස තමන්ගේ දෙමව්පියන්ගෙන් පිටස්තර කෙනෙකුගෙන් දැනගත්තම ඒක එයාලට මානසිකව තදබල පහරක්. ඒ රහස මුලදිම දැනගන්න එක තමයි හොඳ” ඒ විදියේ බරපතළ ව්‍යසනවලින් කෙළවර වෙච්ච සිද්ධීන් ගණනාවක් මං මගේ ඥාතියාට පැහැදිලි කළා. ඒ වගේම දරුවන් හතර දෙනක් ඉන්න තාත්තා කෙනක් වෙච්ච මගේ බාලම දරුවා, මයිකලුත් අරන් හදාගත්ත දරුවෙක්. මයිකල්ට තමන් ගැන ඇත්ත පුළුවන් තරමින් පහදලා දෙන්න මං දරන උත්සාහයත් ඥාතියාට මං විස්තර කළා.

මගේ ඥාතියා මං දිහා බලාගෙන හිටියේ අදහා ගන්න බැරිව වගේ. ටික වෙලාවක් මං දිහා එහෙම බලාගෙන ඉඳලා එක සැරේම ඔහු මගෙන් මෙහෙම ඇහුවා ; “ඔයා අරන් හදාගත්ත කෙනෙක් නම් ඔයා මොනවද කරන්නේ….?”

“මගේ ඇත්ත අම්මයි, ඇත්ත තාත්තයි හොයාගෙන මං යනවා”,මොහොතක්වත් පරක්කු නොවී මං උත්තර දුන්නා.

“හොඳයි… එහෙම නම් දැන්ම හොයන්න පටන් ගන්න”

මුලින්ම මං හිතුවේ එයා විහිළුවක් කරනවා කියලා. ඒත් එයා කරන්නේ විහිළුවක් නෙමෙයි කියලා වැඩි වෙලාවක් යන්න කලිම් මට තේරුණා.

මුලින්ම මට දැනුණේ කවුරු හරි අත මිට මොළවලා මගේ පපුවට පාරක් දුන්නා වගේ. බොහොම කල්පනාවෙන් හිමිහිට හිමිහිට හුස්ම ඉහළට පහළට යවන ගමන් නොවැටී කෙළින් ඉන්නත් මං ලොකු උත්සාහක් ගත්තා. 

“ඔයා හොඳින් නේද…?” මගේ ඥාතියා ඇහුවා. 

“ඔව්”, එහෙම කිව්වත් මං හිටියේ කොහොමටවත්ම හොඳින් නෙමෙයි. මට දැනුණේ මගේ ජීවිතය හේදිලා ගියා වගේ. මං කවුද කියලා මං හිතාගෙන හිටිය හැම දෙයක්ම, එහෙමත් නැතිනම් මෙච්චර කාලයක් මගේ ජීවිතය ගැන මං දැනගෙන හිටිය හැම දෙයක්ම වගේ එක සැරේටම මගෙන් ඈතට ගහගෙන යන හැටි මට දැනුණා.

මෙච්චර කාලයක් මං හිතාගෙන හිටියේ මං ස්කොට්-අයිරිෂ් ජාතිකයෙක් කියලා. එහෙමනම් දැන් මං කොයි ජාතියකට අයිති මනුස්සයෙක් ද? මං හැදුනේ වැඩුනේ පවුලේ එකම දරුවා විදියට. එහෙමනම් ඇත්තටම මට සහෝදර සහෝදරියෝ ඉන්නවා ද? කවුද මගේ ඇත්ත අම්මා, ඇත්ත තාත්තා…?

සත්‍යය භාරගන්න සිද්ධ වෙන මොහොතක, ඒ යථාර්ථයට මුහුණ දෙන්න කොහෙත්ම සූදානම් වෙලා නැති ‘දරුකමට හදාගත්ත දරුවන්’ දරුණු විදියට හුදෙකලාවීම… තමන්ගේ ඇත්ත අම්මා තාත්තා හොයා ගෙන යන්න ඔවුන්ට ඇතිවන පෙළඹවීම… මේ විදියේ කරුණු කාරණා තව දුරටත් සිද්ධාන්ත විතරක්ම නෙමෙයි. පොත්පත් වල විතරක්ම තියෙන විස්තරත් නෙමෙයි. ඒවා ඇත්තම ඇත්ත දේවල්… මිනිසුන් මුහුණ දෙන ඇත්තම ගැටළු… ඒවා මගේම ගැටළු!

මං අයිති මොන වර්ගයට ද…?

මෙච්චර කාලයක් මං තාත්තා කියලා කිව්ව ‘තාත්තා’ හොයාගෙන එදා රෑම මං ගියා. ඒ 1976 අවුරුද්දේ දවසක්. අම්මා නැතිවුණේ ඊට කලින් අවුරුද්දේ. තාත්තා අන්දුන් කුන්දුන් වෙලා ගියා. “අපි ඒක ඔයාට කවදාවත් කිව්වේ නැහැ”, එයා කිව්වා. “ඒකට හේතුව අපිට බයක් තිබුණා ඔයා ඇත්ත අම්මයි තාත්තයි හොයා ගෙන ගියොත් අපිට ඔයාව නැතිවෙයි කියලා”

මං ම‌ගේ අත තාත්තාගෙ බාහුව උඩින් තිබ්බා. “ඔයයි, අම්මයි මගේ ඇත්තම දෙමව්පියෝ. ඔයාලා මට ආදරය කළා. මාව හදා වඩා ගත්තා. මං ආදරෙයි ඔයාලට. ඒක වෙනස්කරන්න කිසිම දේකට බැහැ”

තාත්තා මාත් එක්ක හිනා වුණා. ඒකේ තිබුණේ කෘතඥතාවක්. ඒත් ඒ හිනාව යටින් කිසියම් විදියක බියක්, සැලෙන ගතියක් මට දැනුණා.“හොඳයි… ඔයාට හිතෙනවා නම් ඒ අය හොයා ගෙන ඔයා යන්නම ඕනේ කියලා මට පුළුවන් විදියට මං ඔයාට උදව් කරන්නම්”

මාව සල්ලිවලට ගන්න කොච්චර මුදලක් ගෙව්වාද කියලා මං තාත්තගෙන් ඇහුවා. තමන් කොච්චර වටිනවාද කියලා දැනගන්න හුඟක් මිනිස්සු කැමතියිනේ. මං දන්නවා මගේ ගාන: ඩොලර් 500 යි. 

මගේ උප්පැන්න සහතිකයේ තිබුණු විදියට මං ඉපදිලා තියෙන්නේ 1938 අවුරුද්දේ ජුනි මාසයේ 30 වැනිදා මෙම්ෆස්වල. (Memphis -ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ පිහිටි නගරයකි). උප්පැන්නේ තියෙන දවස නිවැරදියි කියලා තමයි තාත්තා හිතන්නේ. ඒත් තාත්තාට මතකයක් තිබුණේ නැහැ මාව දරුකමට හදාගන්න අතරමැදියන් විදියට වැඩ කරපු මෙම්ෆස්වල ඒජන්සියේ නම. අම්මයි තාත්තයි ඒ දවස්වල පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ ඩිට්‍රොයිට්වල. (ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පිහිටිDetroit සිට Memphis දක්වා ඇති දුර දළ වශයෙන් කිලෝ මීටර් 1,200 ක් පමණ වේ). තාත්තයි අම්මයි මාව අරගන්න ඩිට්‍රොයිට් ඉඳන් මෙම්ෆස්වලට ගිහින් තියෙන්නේ තවත් යාළුවෙක් එක්ක. යාළුවාගේ නම මාර්ටින්. ඒ තරම්ම ලොකු තොරතුක් නොවුණත් ඒක, මට පුළුවන් වුණා දුරකථන ඇමතුම් සෑහෙන ගානකට පස්සේ මේ කියන මාර්ටින්ව සම්බන්ධ කරගන්න. එතකොට එයා හිටියේ කැලිෆෝර්නියාවේ. මාර්ටින් කිව්ව විදියට ඒජන්සියේ නම “Tennessee Children’s Home Society”.

ඒ නමින් තියෙන ඒජන්සියක් ගැන තොරතුරු දුරකථන නාමාවලියෙ තිබුණේ නැහැ. ඒ හින්දා මං අදාළ රාජ්‍ය ආයතනයට ලියුමක් ලියලා අවසර ඉල්ලුවා ඔය කියන ඒජන්සියේ තොරතුරු තියෙන ලේඛන පරීක්ෂා කරන්න. මට ලැබුණු උත්තරය හරිම කෙටියි. “කුලවද්දා ගැනීම (දරුකමට හදා ගැනීම) සම්බන්ධයෙන් අවසර ලබා දුන් අධිකරණය මගින් කරනු ලබන ඉල්ලීමක් ප්‍රකාරව මිස ඒ සම්බන්ධයෙන් මේ වනවිට මුද්‍රා තබා ඇති ලිපි ලේඛන යළි විවෘත කිරීම කුලවද්දා ගැනීම අරබයා ටෙනසිහි ඇති පනත් මගින් වළක්වනු ලැබ ඇත.”

මගෙන් ප්‍රතිකාර ගන්න රෝගීන්ව බලාගැනීමේ වගකීම ටික කාලයකට මගේ හිතවත් වෛද්‍යවරයෙකුට පවරලා මං කෙලින්ම ගියේ ගුවන් තොටුපළට. ගුවනින් යන අතරේ කවුළුවෙන් මට දකින්නට ලැබුණේ අනන්තයටම විහිදිලා ගිය මං මාවත්, ගොවි බිම්, ගංගා, නගර…! අන්න ඒ වෙලාවේ මං තේරුම් ගත්තා මගේ ඇත්ත අම්මා හොයා ගැනීම කොයි තරම් නම් අමාරු වැඩක් ද කියලා. මේ තරම් මහා විශාල භූමියක මං කිසිම දවසක දැකලා නැති, ඒ වගේම මං නමවත් දන්නෙ නැති කෙනෙකුගේ මුහුණක් හොයා ගෙන යන්න තමයි මං මේ උත්සාහ කරන්නේ!

“Tennessee Children’s Home Society” ගැන කිසිම තොරතුරක් මෙම්ෆස්වල නගර සභාවෙන් හොයා ගන්න බැරි වුණා. එහේ තිබුණු ප්‍රාදේශීය පත්තර කන්තෝරුවකට ගිහින් මං එයාලගෙන් අවසර ගත්තා පත්තර කන්තෝරුවේ ගබඩා කාමරයේ තිබුණු පරණ පත්තර අවුස්සලා බලන්න. කිසිම තොරතුරක් හොයා ගන්න ලැබෙයි කියලා මං හිතුවේ නැහැ.

ඒත් 1950 අවුරුද්දේ සිසිර සෘතුවේ දි මේ කියන ආයතනයේ කටයුතු තහනම් කරලා නිකුත් කරපු අධිකරණ නියෝගයක් ගැන තොරතුරු හොයා ගන්න මට පුළුවන් වුණා. මුල් පිටුවේම තමයි ප්‍රවෘත්තිය තිබුණේ. ඒ ප්‍රවෘත්තිය විදියට මේ ආයතනයේ අධ්‍යක්ෂවරිය මහ විසාල ගණන්වලට දරුවන්ව විකුණලා සෑහෙන ගානක් සාක්කුවට දාගෙන. එයා මේ විදියට දරුවන් ජාවාරම කරලා තියෙන්නේ නීත්‍යනුකූළ විවාහයකින් තොරව දරුවන් ලැබුණු අම්මලාගෙන්, ගණිකා වෘත්තියේ නියැළුණු අයගෙන් වගේම මානසික රෝගවලින් පෙළුණු දෙමව්පියන්ගෙන්. මං ඇස් කරකවල‌ මේ ප්‍රවෘත්තිය දිහා බලාගෙනම හිටියා. ඉතින් මං අයිති වෙන්නේ මේ කියන වර්ගවලින් මොන වර්ගයට ද ?

ඊළඟ දවසේ මං සම්බන්ධ කරගත්තා ඒ පැත්තේ හිටිය නීතිඥයෙක්ව.“ඔයා දන්නේ නැහැ ඔයා හොයා ගන්නේ මොනවද කියලා. සමහර බබාලා හම්බුවෙලා තියෙන්නේ ආණ්ඩුවේ මානසික රෝහලවල ඉන්න ලෙඩ්ඩුන්ට” ‘ලෝයර්’ කිව්වා. 

අහන්න ලැබෙන ඕනම දේකට මුහුණ දෙන්න මට පුළුවන් කියලා මං තේරුම් ගත්තා. ඒ ව‌ගේම මේ දේවල් නොදැන ඉන්නවාට වඩා දැනගෙන ඉන්න එක හොඳයි කියලා මට තද විශ්වාසයක් තිබුණා.

මං ඔයාව හොයා ගත්තා

පැය විසි හතරක් ගතවෙද්දි ‘ලෝයර්’ මට කෝල් එකක් දුන්නා. “මං ඔයාව හොයා ගත්තා! ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවල තියෙන විදියට ඔයාගේ උපන් නම ‘ඩොනල්ඩ් ඇල්ෆ්‍රඩ් කාර්ඩල්’. ඔයා ගැන තොරතුරු මුද්‍රා තියලා තියෙන්නේ මෙම්ෆස්වල අධිකරණයේ. හෙට  අපි බලමු එහෙට ගිහින් මොනව ද කරන්න පුළුවන් කියලා.”

එදා දවසේ ඉතිරි වෙලා තිබුණු මුළු කාලයම විතරක් නෙමෙයි මහ රෑත් සෑහෙන වෙලාවක් මගේ නම මං මටම ආපහු ආපහු කියා ගත්තා:ඩොනල්ඩ් ඇල්ෆ්‍රඩ් කාර්ඩල්… ඩොනල්ඩ් ඇල්ෆ්‍රඩ් කාර්ඩල්

මාව දරුකමට හදා වඩා ගැනීම සම්බන්ධ නීතිමය ලියවිලි මුද්‍රා තබලා උසාවියේ ලේඛන අස්සේ හිර කරලා තිබුණේ අවුරුදු බර ගණනකට කලින්. හොඳ වෙලාවට මගේ නීතිඥයාගේ දැන හැඳුනුම්කමක් තිබුණා උසාවියේ ලිපිකාරිණියක් එක්ක. එයාගෙ පිහිටෙන් වැඩි වෙලාවක් යන්න කලින් අපේ අතට හම්බු වුණා මුද්‍රා තබපු ලියුම් කවරයක්.

මං ලියුම් කවරය විවෘත කළේ ගැහෙන අත් වලින්. ලියුම් කවරය ඇතුළේ තිබුණු නීතිමය කඩදාසි එළියට අරන් මං ඒවා අපේ ඉස්සරහින් දිග හැරියා. උසාවි නියෝගයේ දිනය සටහන් වෙලා තිබුණේ 1940 අවුරුද්දේ අගෝස්තු 17 වැනි දා විදියට. අම්මාගේ නම විදියට සටහන් වෙලා තිබුණේ ‘ඈන් සිමන්ස් කාර්ඩල්.’ තාත්තා ගැන කිසිම සඳහනක් නැහැ. “රැකවරණය අහිමි වූ අනාථ දරුවෙකි”, නීතිමය ලියවිල්ලේ මං ගැන සටහන් වෙලා තිබුණේ එහෙමයි. “පියා දරුවා හැර දමා ගොස් ඇත”. ඒකෙන් තේරෙන්නේ මං නීත්‍යනුකූල විදියට උපත නොලබපු අනාථයෙක් කියන එකයි. අවුරුදු ගණනාවකට කලින් කාටත් එපා වෙලා අත් හැරලා දාපු ඒ පුංචි දරුවා ගැන මට එක සැරේටම මහා දුකක් ඇතිවුණා.

“මට මේකෙන් පිටපතක් දෙන්න”, මං කිව්වා මගේ ලෝයර්ට. මං කවුද කියලා ලිපිකාරිණිය දැනගත්තේ එතකොටයි. එයා ඉක්මණටම මගෙන් ඒ ලියවිල්ල උදුරා ගත්තා. “විනිශ්චයකාරවරයාට විතරයි මේක ඔයාට බලන්න අවසර දෙන්න පුළුවන්”, එයා දැඩි විදියට කිව්වා. ඒත් ඒ වෙනකොටත් මං මට ඕන කරන දේවල් ටික බලලා ඉවරයි.

දැන් මං දන්නවා මගේ ඇත්ත නම. ‘ලෝයර්’ එක්ක මං ගියා අවට තිබුණු රෝහල් කිහිපයකට. අන්තිමේ දී එක රෝහලක ලේඛනවල මගේ අම්මාගේ නම සටහන් වෙලා තිබුණා. මගේ අම්මා මිසිසිපිවල ගුරුවරියක්.

මං ආපහු චාරිකාව පටන් ගත්තා. මේ සැරේ ජැක්සන්වලට. ඒ කියන්නේ මිසිසිපිවල අගනුවරට. ජැක්සන්වලට ගොඩ බැහැපු ගමන් මං කළේ වාහනයක් කුලියට අරගෙන මිසිසිපිවල අධ්‍යාපන අමාත්‍යාංශය හොයා ගෙන ගිය එක. අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්තා බලන්න එයාලා මට අවසර දුන්නා. ඒත් මුළු දවසක්ම බොහොම වෙහෙසකර විදියට ගත කරලත් ‘ඈන් කාර්ඩල්’ කියලා නමක් අධ්‍යාපන අමාත්‍යංශයේ වාර්තාවල මට හොයා ගන්න ලැබුණේ නැහැ. 

මගේ හැම බලාපොරොත්තුවක්ම කඩවුණා. දූවිල්ලෙන් පිරුණු ෆයිල් මිටි ටික අත හැරලා දාලා එන්න හදද්දී අහම්බෙන් වගේ දැක්කා තවත් බොහොම පරණ ෆයිල් මිටියක් පැත්තකට දාලා තියෙනවා. “අධ්‍යාපන වාර්තා” කියලා තමයි ඒක නම් කරලා තිබුණේ. මං ඒ ෆයිල් මිටියත් නිකමට විවෘත කරලා බැලුවා. අන්න එතකොට තමයි මං දැක්කේ කහ ගැන්විලා තිබුණු ෆයිල් එකක මතුපිට බොහොම අපූරුවට ‘ඈන් සිමන්ස් කාර්ඩල්’ කියලා ලියලා තියෙනවා. ඒ වාර්තාවට අනුව මගේ අම්මා ශාස්ත්‍රපති උපාධිය (M.A.) අරගෙන තියෙන්නේ 1952 දී. විශ්ව විද්‍යාලයේ නමත් වාර්තාවේ තිබුණා.

මං දුරකථන ඇමතුමක් ගත්තා ඒ විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම් කාර්යාලයට. මට ඕන වුණා දැනගන්න ඈන් කාර්ඩල්ගේ ලිපිනය විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය වාර්තාවල තියෙනවා ද කියන එක. 

“සමාවෙන්න සර්… මිස් කාර්ඩල් ගැන අන්තිමට සටහනක් තියෙන්නේ මීට අවුරුදු දහයකට කලින්. ඒ Natchez (නාචස්) වල. සමහර වෙලාවට දැන් එයා ජීවතුන් අතර නැතිව ඇති”

මං ආපහු ගියා ගුවන් තොටුපළට. මේ සැරේ මගේ ගමනාන්තයNatchez.

Natchez වල ගුවන් තොටුපළේ තිබුණු දුරකථන නාමාවලියේ කාර්ඩල්ලා හය දෙනෙක් ගැන තොරතුරු තිබුණා. ඒත් ඒ එක්කෙනෙක්වත් ‘ඈන්ලා’ නෙමෙයි. මුලින්ම තිබුණු නම ඇල්ෆ්‍රඩ් කාර්ඩල්. මං ඒ අංකයට දුරකථන ඇමතුමක් ගත්තා. 

“මගේ අම්මාගේ කැම්පස් යාළුවෙක් හිටියා ඈන් කාර්ඩල් කියලා. මං අම්මට පොරොන්දු වුණා මං Natchez වලට කවදහරි දවසක ආවොත් අම්මාගේ යාළුවා ගැන හොයලා බලනවා කියලා. ඈන් කාර්ඩල් කියලා කෙනෙක් ගැන ඔයාට අහන්න ලැබිලා තියෙනවා ද?”, එහෙමයි මං ඇහුවේ. 

“ඒ මගේ නැන්දා”, රිසීවරය අනිත් පැත්තේ හිටිය කෙනා උත්තර දුන්නා.“නැන්දා ඉන්නේ සැවනා (Savannah) වල”

“මට පුළුවන් ද නැන්දගේ ලිපිනය දෙන්න”, පුළුවන් තරම් සන්සුන් වෙන්න උත්සාහ ගනිමින් තමයි මං කතා කළේ. “මං සමහර විට සැවනාවලට යයි ඉස්සරහ දවසක”

එදාම රෑ මං ගියා සැවනාවලට. ගුවන් තොටුපළට ගොඩ බැහැපු ගමන්ම මං කළේ දුරකථන කුටියක් හොයා ගෙන ගිය එක. දුරකථනය නාද වුණේ දෙසැරයයි; “හලෝ…?”

“ඈන් කාර්ඩල්…?” මං ඇහුවා.

“ඔව්”

“කාර්ඩල් නෝනා, මගේ නම ගෝර්ඩන් ලිවින්ග්ස්ටන්. මේක‌ කොහොම කියාගන්න ද කියලා මට තේරෙන්නේ නැහැ. ඒත් මං මේ තරම් දුරක් ඔයාව හොයා ගෙන ආවේ එකම එක දෙයක් කියන්න… මං ඔයාගේ පුතා. මං ආවේ බොහොම දුර ඉඳන්. ඔයාව හමුවෙන්න පුළුවන් නම් මට ඒක හරිම වටිනවා”

එක සැරේටම උත්තරයක් ලැබුණේ නැහැ. නිහැඬියාවක් පැතිරිලා ගියා. අන්තිමට දකුණු කරේ භාෂාවෙන් එයා දුන්නු උත්තරය මාව පුදුමයට පත් කළා: “ඔව්, මට තියෙනවා හුඟාක් දේවල් ඔයත් එක්ක කතා කරන්න”

සමාව දෙන්න, එයාට…?

ලිපිනය හොයා ගෙන මං ගියා. බොහොම පිළිවෙළකට තිබුණු වීදියක තමයි ගෙදර තිබුණේ. මං දොරට තට්ටු කළා. දොර ඇරුණම මං දැක්කේ හරිම ආකර්ශනීය, ඒවගේම ප්‍රතාපවත් කාන්තාවක්. වයස අවුරුදු 60 ක් විතර ඇති. උපැස් යුවළ අතරින් ඇය මං දිහා බොහොම උවමනාවෙන් බැලුවා. ඇය මට මුළුමනින්ම ආගන්තුකයි! “කරුණාකරලා ගෙට එන්න” ඇය කිව්වා. 

කෝපි එකක් බොන්න මං කැමැත්ත පළ කරපු හින්දා මට ඇහුණා ඇගේ වෙව්ලන දැත්වලින් කුස්සියේ පීරිසි කෝප්ප එකිනෙක ගැටෙන සද්දේ.

දෙන්නට දෙන්නා කියා ගන්න මොකවත්ම නැතිව තරමක අපහසුතාවයකින් සුළු මොහොතක් ගත කළා. අන්තිමේ දී මං කිව්වා මගේ තාත්තා ගැනයි, අම්මා ගැනයි විස්තර දැනගන්න මං කැමැතියි කියලා. එයා කතා කරන්නට පටන් ගත්තා… වචන අහුල අහුල බොහොම හිමිහිට.

එයා ඉපදිලා තියෙන්නේ 1912 දි මිසිසිපි වල ගොවි පවුලක දරුවෙක් විදියට. සකසුරුවම්කාර පවුලක් හින්දා ගෙදර අයට පුළුවන් වෙලා තියෙනවා එයාට උසස් අධ්‍යාපනය ලබා දෙන්න. අවුරුදු විස්සක කාලයක් පුරාම මිසිසිපිවල ප්‍රාථමික පංතිවල ගුරුවරියක් විදියට එයා උගන්වලා තියෙනවා. ඊට පස්සේ ගුරු වෘත්තියෙන් සමු අරන් තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ රැකියාවක් ලැබුණු හින්දා.

මං ඉපදුනු හැටි ගැන කතා කරද්දී නම් එයාගේ කටහඬේ තිබුණේ බොහොම හැඟුම්බර ස්වරයක්. “දකුණේ පුංචි ගමක බැඳපු නැති ගෑනියෙකුට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන්නේ ඒ කාලයේ හැටියට බොහොම දරුණු නින්දාවක්… ඒක මට දරාගන්න බැරි තරම් දෙයක් වුණා… මගේ පවුලේ අයට ඒක කියන්නවත් මට හිත හදාගන්න බැරි වුණා” ඒ කතාව එයා කියන්න පටන් ගත්තේ එහෙමයි.

“ඒ මං උගන්නන්න පටන් අරන් මුල්ම අවුරුද්ද. ඔයාගේ තාත්තා මට වඩා ටිකක් වයසයි. එතකොට එයාට අවුරුදු 28 යි. හරිම කඩවසම් කෙනෙක්. බොහොම ලස්සනට ඩාන්ස් කරන්නත් පුළුවන්. මං ආදරය කළ එකම එක්කෙනා එයා විතරමයි… එදා ඉඳන් අද වෙනකල්ම! මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත ගමන්ම මං එයාට බැගෑපත් වුණා මාව විවාහ කරගෙන දරුවාට නින්දාවක් නොවෙන විදියට වැඩ කරමු කියලා. ඒත් එයා කිව්වා ඊට කලින් හිතන්න දේවල් ගොඩක් තියෙනවා කියලා. ඊට පස්සේ කවදාවත්ම මං ආපහු එයාව දැක්කේ නැහැ. ඒ හින්දා දරුවා ලැබෙනකල් පදිංචියට මං මෙම්ෆස්වලට ගියා. පවුලේ කිසිම කෙනෙක් අද වෙනකල්ම මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. අවුරුදු තුනකට කලින් මට ආරංචි වුණා ඔයාගේ තාත්තා… ඔයාගෙ තාත්තා කැන්සර් එකකින් මැරුණා කියලා”

ඒක තමයි කතාව. මං හොයා ගෙන ගිය මගේ කතාවේ අවසානය. හැම අතකින්ම බැලුවම ඒක කිසිසේත්ම අසාමාන්‍ය කතාවකුත් නෙමෙයි.

එක් පැත්තකින් පමණක් සිද්ධ වුණු ආදර සම්බන්ධයක්! දරුවෙක් එක්ක අන්ත අසරණ වෙච්ච තරුණ කාන්තාවක්! ඒත් ඒක අපේ කතාව. එයාගෙයි මගෙයි කතාව.

අවුරුදු ගානක් ගත වෙලා තිබුණත්, එයයි මායි වෙන් කරන්නට එදා ඒ තරුණ පාසල් ගුරුවරියට බලපාපු ලැජ්ජාව, මානසික වියවුල කොයි වගේ වෙන්න ඇති ද කියලා මටත් දැනුණා.

එයාගේ හිත වෙලාගෙන තිබුණු වේදනාව සුළු පටු නැහැ. “මගේ බියසුළුකම හින්දා මගේ දරුවා මට නැතිවෙච්ච එක ගැන මං මුළු ජීවිත කාලය පුරාම පසුතැවෙනවා”, එයා කිව්වා. “ඒත් ඔයා දරුවෙක් විදියට හැදෙන වැඩෙන හැටි ගැන මං හැම තිස්සෙම හිතින් කල්පනා කළා. මං දැනගෙන හිටියා 1944 දි ඔයාට වයස අවුරුදු හයක් කියලා. ඒ කියන්නේ ඔයා ඉස්කෝලේ එකේ පංතියේ ඉන්න ඕන. ඒ අවුරුද්දේ මගේ පංතියේ පාසල් වාරය පටන් ගන්නකල් මට ඉවසුමක් තිබුණේ නැහැ. මගේ පංතියේ වැඩිම ලකුණු ගන්න දරුවා ඔයා කියලා තමයි මට හිතුණේ. කවුරුහරි දරුවෙක් අඩු ලකුණු ගනිද්දී මට හොඳටම බය හිතුණා ඒ ඔයාවත් ද කියලා”

ඊට පස්සේ එයාගේ මුහුණේ හිනාවක් ඇදිලා ගිය හැටි මට මතකයි.“ඔයා ඒ අවුරුද්දේ හැම දෙයක්ම හොඳටම කළා. වැඩිම ලකුණු ගත්තේ ඔයා තමයි. ඔයාට ටිකක් තරහ යනවා. ඒත් කවුරුහරි තදින් යමක් කිව්වොත් ඔයාගේ හිත හොඳටම රිදෙනවා. මට තේරුණා ඔයාට ඕනේ ආදරයයි, ඉවසීමයි තියෙන පරිසරයක් කියලා. ඒක ඔයාට දෙන්න ඕන හින්දා තමයි මං මගේ මුළු පංතියේම හිටපු දරුවන්ට ඒ ආදරයයි,කරුණාවයි දුන්නේ”, සුළු මොහොතකට පස්සේ ආයෙත් එයා කතා කරන්න පටන් ගත්තා.

“ඔව්… මං දන්නවා ඒක මගේ හිතේ මැවුණු මායාවක් විතරයි කියලා. ඒත් මං ඒක බාගෙට බාගයක් විශ්වාස කළා. සරත් සෘතුවේ දී පාසල් වාරය ඉවරවෙලා ඒ දරුවන්ට සමුදෙන්න සිද්ධ වුණාම මගේ හිතේ තිබුණේ වරදකාරී හැඟීමක්. ඒ හින්දා මට දැනුණේ නැහැ මං සනීපෙන් ඉන්නවා කියලා. ඒක හරියට මං ඔයාව ආපහු සැරයක් අතහැරලා දැම්මා වගේ හැඟීමක්”

“ඊට පස්සේ ශීත සෘතුවේ දී මට ආරංචි වුණා තුනේ පංතියේ ටීචර් විශ්‍රාම යනවා කියලා. මං පුළුවන් තරම් ඉක්මනට අමාත්‍යාංශයට අයදුම්පත්‍රයක් යැව්වා ඒ පංතිය මට දෙන්න කියලා. මට ඒක ලැබුණා. ඒ කියන්නේ මං අයෙත් ඔයාගේ පංතියේ ටීචර් වුණා. එතකොට ඔයාට වයස අවුරුදු අටයි”.

“ඔයා ඒ විදියට උස් මහත් වෙනවා මං බලාගෙන හිටියා. ඔයාට ඔයාගෙම කියලා ලෝකයක් ගොඩ නැගෙනවා කියලා තේරුණු හින්දා මට ඔයා ගැන ආඩම්බරයක් හිතුණා. ඒත් ඒ එක්කම ඔයයි මායි අතර තියන බැඳීම දුරස්වෙන එක ගැන මගේ හිතට දැනුණේ වේදනාවක්. ඒ පාසල් වාරය ඉවර වෙද්දී මං තීරණය කළා ඔයාව මගේ හිතෙන් ඈත් කරගන්න. මං දන්නවා, ඒක හරිම ආත්මාර්ථකාමී වැඩක්…”

“මගෙන් අත්හැරුණු ඒ දරුවාව මට ආයෙත් ඕන වුණා. මං වයසට යද්දී මං දෙවියන්ට කිව්වා මට ආපහු එයාව මුණගස්සන්න වැඩුණු මිනිහෙක් විදියට කියලා…. එතකොට මට පුළුවන් එයාගෙන් සමාව ඉල්ලන්න”

මට දැනුණේ මගේ උගුර හිරවෙනවා වගේ. මගේ ඇස්වලින් කදුළු කැට කඩන් පනිනවා කියලා මට තේරුණා.

සමාව දෙන්න, එයාට…?

කොයි තරම් වැරදිදි මං එයා ගැන හිතාගෙන හිටිය විදිය…? මං නැගිට්ටේ ගල් පිළිමයක් වගේ… වේදනාබර හිතිවිලිවලින් හිත කීරි ගැහිලා!

එයා තමයි මුලින්ම ඉස්සරහට ආවේ. හිමිහිට… හිමිහිට… බොහොම මෘදුව… ගරුසරු ඇතිව…. අත් දෙක ඉස්සරහට දික්කළා. ජීවිතයේ මුල්ම වතාවට, අවුරුදු 37 කට පස්සේ මං මගේ අම්මව ඇල්ලුවා… අම්මා මාව ඇල්ලුවා! අපි දෙන්නා එකිනෙකා වැළඳ ගත්තා.

ආදරය කරන්න බැරි නම් අඩුම තරමින් හිතේ සැනසිල්ලක්වත්….!

මගේ ඇත්ත තාත්තා කවුද කියලා දැනගන්නත් මට කුතුහලයක් තිබුණා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. දැන් එයා මිය ගිහින්. එයාට දුවෙක් ඉන්නවා. ඒ දුව ඉන්නේ කොහේද කියලා මං හොයා ගත්තා. 

පවුලේ එකම දරුවා වෙච්ච මට අන්තිමේ දී අර්ධ සහෝදරියකුත් ඉන්නවා නේද කියන එක ගැන හිතමින්ම මං එයාට දුරකථන ඇමතුමක් ගත්තා. එයා ඇත්තටම සතුටු වුණා මාව හමුවීම ගැන. ඒත් එයාත් දරුකමට අරන් හදාගත්ත කෙනෙක්. තමන්ගේ ඇත්ත අම්මා තාත්තා හොයා ගෙන යන එක ගැන හිත හිතා තමයි එයත් හිටියේ.

ඉතින් අපි දෙන්නා එකම තාත්තාගේ දරුවො ද…? අපි දෙන්නාට දෙන්නාගේ නෑකමක් තියෙනවා ද…?

තමන්ගේම දරුවාට ඔහේ ඉබාගාතේ යන්න ඉඩ හැරපු අතීතය රහසක් විදියට තියාගෙන ඉන්න ගමන්, තමන්ගේ බිරිඳගෙන් දරුවෙක් ලබා ගන්න බැරිවෙච්ච එක ගැන එයාට මොනවා හිතෙන්න ඇද්ද? එයාගේ දුව මට ඡායාරූපයක් එව්වා. ඒක තමයි එයා සම්බන්ධයෙන් මට තියෙන එකම එක දේ.

මිය ගිය හමුදා සොල්දාදුවන්ගේ දරුවන් ඉන්නවා තමන්ගේ තාත්තාව කවදාවත්ම දැකලා නැති, එහෙමත් නැතිනම් තමන්ගේ තාත්තාව කොහොමටවත් මතක් කරගන්න බැරි. තමන්ගේ තාත්තාගේ පරණ ඡායාරූප දැක්කම ඒ දරුවන්ට ඒක කොහොම ද දැනෙන්නේ කියන එක ගැන හැඟීමක් මට තියෙනවා. එහෙම ඇස්වල මං දැක්කේ කිසියම් විදියක දුකක් වේදනාවක්. 

එයත් එක්ක මොහොතකට හරි කතා කරන්න මට ඉඩක් ලැබුණා නම් මං එයාට කියනවා එදා එයා හැඟුම්බරව කරපු වැරැද්ද අන්තිමට කෙළවර වුණේ හොඳකින් කියලා. එයාට ආදරය කරන්න මට බැරි නම්, අඩුම තරමින් හිතේ සැනසිල්ලක් හරි එහෙනම් මට එයාට දෙන්න තිබුණා.  

වෛද්‍ය ලිවින්ග්ස්ටන්
(Photo credits – Psychiatry online)

 

___________________________________________________

ගෝර්ඩන් ලිවින්ග්ස්ටන් (Gordon S. Livingston :1940–2016)ඇමරිකානු ජාතික මනෝ වෛද්‍යවරයෙකු මෙන්ම දක්ෂ ලේඛකයෙකි. ඇමරිකන් හමුදාවේ නිලධාරියෙකු ලෙසින් ද කටයුතු කළ ඔහු හමුදා වෛද්‍යවරයෙකු ද ලෙසින් ද සම්මානයට පාත්‍ර වූයේය. වෛද්‍ය සේවාවේ දී ඔහු වඩාත් කීර්තියට පත් වූයේ විවිධාකාර හේතූන් මත පුද්ගලයින් මුහුණ දෙන මානසික පීඩාවන් සහ හුදෙකලාව ආදී වූ මනෝ භාවයන් සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරයෙකු ලෙසිනි.

තමන් දරුකමට හදා ගත් තැනැත්තෙකු බව ඔහු වටහා ගන්නේ වයස අවුරුදු 37 ක් ගත වූ පසුවය. සිය සැබෑ මව් පියන් සොයා ඔහු ගිය ගමන සම්බන්ධයෙන් ඔහු විසින්ම රචනා කරන ලද Too Soon Old, Too Late Smart කෘතියෙන් සහ Search for a Stranger යන ලිපිය ඇසුරෙන් මෙම පරිවර්තනය කරන ලද්දේ එය ඉතාම අනුවේදනීය සත්‍ය කතාවක් වන බැවිනි.

තම පුතුන් දෙදෙනෙකුම අකාලයේ මිය යාම ගැන සිය දැඩි සිත් කැවුලෙන් පසු වූ වෛද්‍ය ලිවින්ග්ස්ටන් 2016 වසරේ දී මිය ගියේය. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 78 කි.

6 thoughts on “දැන්ම හොයන්න පටන් ගන්න!

Add yours

කළු වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑