
“පොඩ්ඩකට කතා කරන්න පුළුවන් ද?”
කෙටි පණිවිඩය ආවේ මගේ වැඩිහිටි මිත්රයෙකුගෙන්. අපි දෙන්නා ඉන්නේ සැතපුම් දහස් ගානක් ඈත. මට දවස පටන් ගත්තා විතරයි… ඒත් ලංකාවේ ඔහුට මහ රෑ. වරින් වර අදහස් හුවමාරු කර ගත්තත් ඔහු සාමාන්‍යයෙන් මෙවැනි ඉල්ලීම් නොකරන කෙනෙක්. ඒ නිසාම රාජකාරී හෝරාවක් වුණත් දෙවරක් නොසිතාම ඔහුට ඇමතුමක් ගත්තා.
“ළඟින් ආශ්‍රය කරන තවත් මිත්‍රයන් දෙතුන් දෙනෙක් හිටියත් මේ ප්රශ්නය මට එයාලට කියන්න හිත දුන්නේ නැහැ. ඔයාත් එක්ක විතරක් මට මේක බෙදා හදාගන්න හිතුණා” ඔහුගේ කටහඬේ වෙනදාට නැති දුක්මුසු ස්වරූපයක් තැවරිලා තිබුණා.
මගේ මිත්‍රයා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරක් දැරූ විශ්‍රාමිකයෙක්. ඒත් තාමත් උපදේශන මට්ටමින් තමන්ගේ සේවාව ලබා දෙනවා. ඔහුගේ බිරිඳ මිය ගියේ මෑතක දී. සරසවි අධ්‍යාපනයේ යෙදෙන දියණියත් එක්ක දැන් ඔහුගේ ජීවිතය ගෙවිලා යන්නේ හුදෙකලාව; බිරිඳගේ වියොවත් දරාගෙන. මේ නිසා ඔහුගේ මුළු මහත් ලෝකයම දියණියත් එක්ක එකට බැඳිලා තිබුණා.
ඒත් දියණිය තමන්ට ‘නොගැලපෙන සම්බන්ධයක්’ ඇති කරගෙන තිබුණේ මෑතක දී… තරුණයාගේ පවුල් පසුබිම, හැසිරීම වගේම අධ්‍යාපන මට්ටමත් මේ තාත්තාගේ සිත් ගත්තේ නැහැ.
සම්බන්ධයටත් වඩා ගැටලුව වුණේ දියණිය තමන්ගේ උසස් අධ්‍යාපනයත් අඩපණ කරගෙන ඒ තරුණයා සමග විවාහ ගිවිස ගන්නට තීරණය කරලා තිබීමයි. දෙදෙනා අතර දැනටමත් තියෙන නොගැලපීම් නිසා විවාහයේ දී මුහුණ දෙන්නට සිදුවිය හැකි බරපතළ ගැටලු වගේම උසස් අධ්‍යාපනය අඩාල කරගෙන විවාහයකට එළඹීමේ බරපතළ ප්‍රතිවිපාක ගැනත් තමන්ගේ ආදරණීය දියණියට පැහැදිලි කර දෙන්නට මේ තාත්තා උත්සාහ දැරුවත් දියණිය මේ මොහොතේ සිටින්නේ එවැනි අවවාද ගැඹුරින් වටහා ගන්නට හැකි ලෝකයක නෙමෙයි. මේ නිසා තරුණයාගේ නිවසේ උදවිය විවාහ සාකච්ඡාවන්ට තමන්ගේ නිවසට පැමිණි අවස්ථාවේ චිත්ත පීඩාවෙන් වුණත් හිත හදා ගෙන ඒවාට මුහුණ දෙන්නට ඔහුට සිදු වුණා. වෙනදා හවසට එදිනෙදා සිදු වුණු සිදුවීම් බෙදා හදා ගන්නා තාත්තාගේත් දුවගේත් සාකච්ඡාවල දී දියණිය දැන් මාතෘකා කර ගන්නේ විවාහ උත්සවය ගැන… මාල වළලු සූදානම් කරගන්නා හැටි ගැන.
උසස් අධ්‍යාපනයක් ලබා තිබුණු මගේ මිත්‍රයාට ඒ අධ්‍යාපනයෙන් ලැබුණු පරිචයත්, ඒ වගේම උසස් අධ්‍යාපන ආයතනවල දරුවන්ට ඉගැන්වීමෙන් ලබා තිබූ අත්දැකීම් සමුදායත් නිසා මේ තත්ත්වය විඳ දරා ගැනීමේ හැකියාව තිබුණා. ඒ වගේම දියණියගේ ජීවිතයට අයිතියක් දැන් තමන්ට නැති බවත් ඔහු වටහා ගෙන තිබුණා.
ඒත් මා හා බෙදා හදා ගන්නට තරම් ඔහුට සිත් පීඩා ඇති වුණු කාරණාව වුණේ වෙනත් දෙයක්. ආර්ථික වශයෙන් එතරම් සරුසාර තත්ත්වයක නොසිටින තරුණයා විවාහයෙන් පස්සේ තමන්ගේ නිවසේ පදිංචියට ඒම. ඒ කියන්නේ බින්න බැසීම. ඊටත් වඩා බරපතළ කාරණාව වුණේ, දුටු මුල් දවසේ දීම සිත් නොගත් තරුණයාගේ දෙමව්පියන් පවා බොහෝ දුරට සිය නිවසේ පදිංචියට ඒමට ඉඩකඩක් තිබීම.
මගේ මිත්‍රයා තමන්ගේ විශ්‍රාම දිවිය නිදහසේ ගත කරන්නට තීරණය කරලා තිබුණේ තමන් දිවිගෙවන නිවසේ. ගස් කොළං වලින් වටවුණු නිස්කලංක තැනක්. විශ්‍රාම දිවියේ දී කරන්නට හිතාගෙන හිටිය කටයුතු කිහිපයකුත් ඔහුගේ හිස තුළ තිබුණා.
තමන් හා පෑහීමක් නැති අලුත් නෑයන් එක්ක තමන්ට හුරු පුරුදු නිදහස් ජීවිතය ගත කරන්නට නොහැකි බව ඔහු හොඳාකාරවම දැන සිටියා. ඒ වගේම ඉදිරියේ දී තමන් බලාපොරොත්තුව සිටින කිසිම දෙයක් මේ තත්ත්වය යටතේ සිදු කරන්නට බැරිවන බවත් ඔහුට වැටහී තිබුණා. අලුත්ම තැනක අලුත්ම ජීවිතයක් ගත කරන්නට දැන් ඔහු ප්‍රමාද වැඩියි. මෙවැනි තත්ත්වයක් කිසිසේත්ම අපේක්ෂා නොකළ නිසා ඇත්තෙන්ම ඔහු පත් වෙලා තිබුණේ පීඩාකාරී මානසික ස්වභාවයකට. මේ නිසා තමන්ගේ ජීවිතයේ අවසාන කාලය නිදහසේ ගත කිරීමේ බලාපොරොත්තුව මුළුමනින්ම බිඳ වැටී තිබුණා. බිරිඳ අහිමි වීමේ ශෝකයෙන් සිත තෙරපී සිටින ඔහුට මේ වේදනාව විඳ දරා ගැනීමට සිදු වී තිබුණේ තනිවමයි.
“ගතින් ඉන්නට නැතත් ළංවී – සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොර වූ ලෝකයක් සිතා ගන්නට බැහැ…”
රහසින් වගේ කෙරුණු අපේ කතා බහ අතරේ එක සැරේම පසුබිමින් චන්ද්‍රලේඛාගේ හඬ තරමක් උස්ව ඇහුණා. ඒ පද පේළි අපේ සංවාදයත් එක්ක මොකක් හෝ සමානකමකින් බැඳිලා තියෙනවා නේද කියලා ඒ මොහොතේම මට හිතුණා.
“දුව සාලයට එනවා වගේ… මං පස්සේ කතා කරන්නම්” රේඩියෝවේ හඬ වැඩිවුණේ ඇයි කියලා මට වැටහුණේ ඒ සමගම ඔහු දුරකථනය විසන්ධි කළ නිසයි.
මගේ මිත්‍රයාගේ කතාව වගේම ඔහුගේ ශෝක බරිත හඬ මගේ හිත පුරාම ලොකු බරක් තබපු නිසා සෑහෙන වෙලාවක් යනකම් රාජකාරී කටයුතු වලට නිසි විදියට හිත යොමු කරන්නට මට හැකි වුණේ නැහැ. ඇත්තටම කියනවා නම් ඔහුගේ වේදනාව ඔහුගේ හිතට දැනෙන ගැඹුරින්ම මටත් දැනුණා. ඒ නිසා වරින් වර මේ සිදුවීම තාමත් මගේ හිත තුළ සක්මන් කරනවා.
මීට අවුරුදු ගණනාවකට කලින් මගේ මිත්‍රයෙක් කරපු ඉල්ලීමක් මේ සිදුවීමක් එක්ක මගේ මතකයට ආවා. (මිත්‍රයෙක් කිව්වාට ඔහු මට වඩා අවුරුදු තිහකටත් වඩා වැඩිමහල්. ඒත් වයස් පරතරය ඉක්මවාලන මිත්‍රත්වයකින් අපි බැඳිලා හිටියේ අපි දෙන්නාම සාහිත්‍යය නිසා සමීප වුණු දෙන්නෙක් හින්දයි).
තමන්ගේ එකම දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන යන තරුණයා ගැන හොයා බලන්නට පුළුවන් ද කියන කරුණ තමයි ඔහු මගෙන් ඉල්ලා හිටියේ. (ඒ මොහොතේ මං මාධ්‍යයට සම්බන්ධ වෙලා හිටපු හින්දා සමහර විට ඔහුට හිතෙන්නට ඇති රහස් පොලිසියේ කටයුතුත් මාධ්‍යවේදීන්ට කරන්නට පුළුවන් කියලා). කොහොම වුණත් ඒ ඉල්ලීම අහක දාන්නට මට හැකියාවක් තිබුණේ නැහැ. ඒ කාලයේ මා සතුව මෝටර් සයිකලයක් තිබුණු නිසා ඔහු ලබා දුන් ලිපිනය සොයා මා ගියා. නගරයේ ඉතා කලබලකාරී වටපිටාවක එකිනෙකට යාබදව සිරවී තිබූ නිවාස පෙළක එක් නිවසක් තමයි තරුණයාගේ නිවස වුණේ. සොයා ගත් කරුණු ඒ ආකාරයෙන්ම මා ඔහුට දැනුම් දුන්නා.
එයින් මාස කිහිපයකට පස්සේ මිත්‍රයා මගෙන් තව ඉල්ලීමක් කළා. විවාහය ගැන කතා බහ කරන්නට මුල්ම වතාවට තරුණයාගේ නිවසට යන්නට ඔහුගේ බිරිඳ සහ දියණිය සමග එන්නට පුළුවන් ද කියලා තමයි ඔහු මගෙන් ඉල්ලා හිටියේ.
අපිට යන්නට තිබුණේ එදා මා විපරම් කළ නිවසට නෙමෙයි. වෙනත් නගරයක වෙනත් නිවසකට. (තරුණයාගේ නිවස එවන් සංවාදයකට තරම් ඉඩකඩ නොතිබුණු නිසා ඔවුන් ඒ වෙනුවෙන් ඥාති නිවසක් තෝරා ගෙන තිබුණා). කතා බහ ඇදී යද්දී පවුල් දෙක අතර අදහස්, මතවාදවල බොහෝ පරතරයක් සහ පරස්පරයක් තියෙන බව මටත් දැනුණා. සමුගන්නට වේලාව එළඹුණා.
“හොඳයි… අපි මුලින්ම හඳහන් පොරොන්දම් එහෙම බලලා ඉම්මුකෝ”
හඳහන් පොරොන්දම්, නැකැත් ආදිය කිසිසේත්ම විශ්වාස නොකළ මගේ මිත්‍රයා, සමුගන්නා අවස්ථාවේ දී එහෙම කිව්වේ ඇයි කියලා ඒ තත්පරයේ දීම මං තේරුම් ගත්තා.
දියණියගේ කැමැත්තට පිටුපාන්නට තරම් හැකියාවක් නොතිබූ මේ තාත්තාට තිබුණු අන්තිම තුරුම්පුව තමයි ඔහු ඒ පාවිච්චි කළේ. එහෙත් නැතිනම් ඔහුගේ නිහඬ විරෝධය තමයි ඒ.
ඇත්තටම හඳහන් පොරොන්දම් ගැලපුණේ නැහැ. ඒත් විවාහය කෙරුණා. මගේ මිත්‍රයා දැන් බොහෝ සේ වයස්ගතයි. දියණියගේ විවාහය විවිධාකාර හැල හැප්පීම් මැද ගලාගෙන යනවා. (පොරොන්දම් ගැලපුනත් නැතත් බොහොම විවාහ ගලා යන්නේ එහෙමනේ!)
තාත්තාගේ ගමන් මල්ල
—————————-
ඕහාන් පාමුක් (Orhan Pamuk) කියන නොබෙල් ත්‍යාගලාභී සුප්‍රකට තූර්කි ලේඛකයා ගැන සාහිත්‍යය හඳුනන හැම දෙනාම දන්නවා. පාමුක්ගේ පොත පත කියවන්නට නොහැකි වූ අය පවා ඔහුගේ නම අහලා තියෙනවා. ඔහුගේ නවකතාවල විශේෂත්වය තමයි දාර්ශනික සිතිවිලි ධාරවන් කතාවත් එක්ක ගැට ගැහෙන අපූරුව. මේ ශූර ලේඛකයාට තමයි 2006 වසරේ දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලැබුණේ. ඒ ත්‍යාගය ලැබෙද්දී ඔහු බොහොම අපූරු ඒ වගේම හැඟුම්බර සංවේදී කතාවක් කළා. මේ කතාව ඔහුගේ ලියැවිල්ලක් විදියට පසුව විවිධාකාරයෙන් ප්‍රකාශයට පත් වුණා. “My Father’s Suitcase” කියන නමින් තමයි ලෝකය පුරා එය ප්‍රසිද්ධියට පත් වුණේ. (“මගේ තාත්තාගේ ගමන් මල්ල” – ඒත් මේ සටහනේ දී සූට්කේසය කියන වචනයම පාවිච්චි කරන්නම්).

මේක සත්‍ය කතාවක්. ඒ නිසාම ඒක පාමුක්ගේ ස්වයං චරිතාපදානයක් (autobiography) කියලා කියන්නටත් පුළුවන්. කතාවේ සාරාංශය කියන්නම්. පාමුක්ගේ තාත්තා මිය යන්නට කලින් දිරා ගිය පැරණි සූට්කේසයක් පාමුක්ට භාර දෙනවා. තමන් මිය යන තෙක් ඒ බෑගය විවෘත කරන්නට එපා කියලා තාත්තා පුතාගෙන් ඉල්ලා හිටිනවා. අවුරුදු දෙකකට පස්සේ තාත්තා මිය යනවා. තාත්තා මිය ගියා පස්සේ මේ සූට්කේසය වරින් වර ඔහුගේ හිස තුළ හොල්මන් කරනවා. ඒ වගේම පාමුක් මේ සූට්කේසය ඉස්සරහින් එහාට මෙහාට යනවා. ඒත් සූට්කේසය විවෘත කරන්නට තරම් හිත හදා ගන්නට ඔහුට හැකි වෙන්නේ නැහැ. තාත්තා මිය ගිහින් ටික කාලයක් ගියාට පස්සේ තමයි අන්තිමේ දී ඔහු ඒක ඇරලා බලන්නේ. මේ සූට්කේසය පුරවලා තිබුණේ තාත්තාගේ පෞද්ගලික දිනපොත්… තාත්තාගේ අතින් ලියපු ලියැවිලි… තරුණ කාලයේ තාත්තාගේ හිතේ තිබුණු සිහින…. තාත්තාගේ රහස්!
පාමුක් මේ සියල්ල කියවන්නේ පුදුමාකාර කුතුහලකින්… දැඩි අභිරුචියකින්… සසල වූ සිතකින්… වරදකාරී හැඟුමකින්….වචනයෙන් කියා ගන්නට බැරි තරම් විස්මයකින්.
මේ සියල්ල අවසානයේ දී ඔහු එක දෙයක් වටහා ගන්නවා. ඒ තමයි තමන් “තාත්තා” කියලා ආමන්ත්‍රණය කරපු මිනිසාව තමන් කිසිදාක හරියට හඳුනා ගෙන හිටියේ නැහැ නේද කියන කාරණාව. ඒ වගේම තාත්තා තමන්ටත් වඩා අති දක්ෂ ලේඛකයෙකු නේද කියන කාරණාවත් ඔහුට වැටහී යනවා. ඇත්තටම ඔහු තමන්ගේ තාත්තා කවුදැයි හරියටම හඳුනා ගන්නේ තාත්තා මිය ගියාට පස්සේ මේ ලේඛනවලින්.
“තාත්තා ජීවතුන් අතර ඉන්න කාලයේ අනේ මං මේ සූට්කේස් එක විවෘත කළා නම් කියලා හිතලා මං නිතර දුක් වෙනවා” නොබෙල් තෑග්ග ගන්නා අවස්ථාවේ පාමුක් කළ දේශනයේ වඩාත්ම වේදනාකාරී ප්රකාශනය වුණේ ඒ වචන ටිකයි.
පාමුක්ගේ තාත්තා වගේ හැම තාත්තෙක්ම තමන්ගේ අදහස් අකුරු නොකරන හින්දා බොහෝ දරුවන් තමන්ගේ තාත්තා අම්මා ලෙස හඳුනා ගන්නේ ඒ නමින් හඳුන්වන ‘ගැහැනිය’ සහ ‘මිනිසා’ මිසක් තමන්ගේ සැබෑ “තාත්තා” හෝ “අම්මා” නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම තාත්තලා ගැන තමන්ට තියෙන්නේ කොයි තරම් නම් සුළු දැනුමක් ද කියන එක බොහොම දෙනෙක් වටහා ගන්නේ නැහැ. කොහොමටත් කිසිම කෙනෙකුට තවත් කෙනෙකු මුළුමනින්ම හඳුනා ගන්නට කොහෙත්ම බැහැනේ!
සමාජයේ අප බොහෝ දෙනෙකුගේ දෙමව්පියන් ලේඛකයන් නෙමෙයි… කවියන් නෙමෙයි… ඒත් ඒ හැම දෙනා තුළම නොලියූ කවියක් තියෙනවා… නොගැයූ ගීතයක් තියෙනවා… අවසන් නොකළ කතාවක් තියෙනවා. ඉතින් පුළුවන් නම් කියවන්නට උත්සාහ ගන්න ඒ නොලියූ කවිය.. නොගැයූ ගීතය.. අහන්නට උත්සාහ කරන්න කිසිදා මුවින් පිට නොවුණු වදන්.
මේ කෙටි සටහනේ දී වැඩි බරක් තියලා තියෙන්නේ තාත්තලා ගැන. ඒකට හේතුව මා දන්නා හඳුනන, මට ආශ්‍රය කරන්නට ලැබෙන බොහොම තාත්තලා සාපේක්ෂව නිහඬ චරිත නිසයි. විශේෂයෙන්ම තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමේ දී. බොහොමයක් වෙලාවට අම්මලා වෙරළේ රළ වගේ. ඒ ආදරය හඬ නැගෙන ප්රකාශනයක්. ඒත් බොහොමයක් තාත්තලා මහ මුහුද වගේ. ගැඹුරුයි…. හැම දෙයක්ම තමන්ගේ හිත පතුලේ සැඟවා ගෙන දරාගෙන ඉන්නවා.
“හැමදාම මං පුතා ගැන හිතන්නේ නැහැ…
ඒත් හැමදාම හැම පැයකම මං මගෙ පුතා ගැන හිතනවා”
(“I don’t think of him every day; I think of him every hours of every day”)
අවුරුදු ගානකට කලින් මිය ගිය තමන්ගේ පුතා ගැන ඇහුවම, කවුරුත් දන්න හඳුනන ග්‍රෙගරි පෙක් (Gregory Peck) කියන විශිෂ්ට හොලිවුඩ් නළුවා උත්තර දුන්නේ එහෙමයි.
පුතා කෝ…?
—————
මෑතක දී මට කියවන්නට ලැබුණා සින්තියා (Cynthia Rylant) කියන ඇමරිකානු ලේඛිකාවකගේ “Papa’s Parrot” (‘තාත්තාගේ ගිරවා’ එහෙමත් නැතිනම් ‘තාත්තාගෙ පෙත්තප්පු’) කියලා කතාවක්. මේ කතාව හරිම කෙටියි. ඒත් හිත සසල කරන කතාවක්.
මේ කතාවේ තාත්තාට කුඩා ප්‍රමාණයේ රස කැවිලි කඩයක් තිබුණා. මේ තාත්තාගේ එකම පුතා තාත්තාව ඒ තරම්ම ගණනකට ගත්ත කෙනෙක් නෙමෙයි. තාත්තා එක්ක උණුසුම් සම්බන්ධයක් පුතාට කොහෙත්ම තිබුණේ නැහැ. අන්තිමේ දී තාත්තා අසාධ්‍යව රෝගී වුණු මොහොතක පුතාට සිද්ධ වෙනවා රස කැවිලි කඩය තාවකාලිකව බලාගන්න. රස කැවිලි කඩයේ කූඩුවක ගිරවෙක් ඉන්නවා. මේ ගිරවා නිතර නිතර මොනවා දෝ කියවනවා පුතාට ඇහෙනවා. ඒ හින්දා ඔහු උවමනාවෙන් ගිරවාට සවන් දෙනවා.
“මගේ පුතා කෝ… මට පුතා බලන්න ඕනේ”
බොහොමයක් තාත්තලා වගේ ඒ තාත්තාත් තමන්ගේ තනිකම, පාළුව, දුක බෙදා හදා ගෙන තිබුණේ නිහඬවම… මේ කතාවේ දී නම් ගිරවා එක්ක.
“Chicken Soup for the Soul” කියන පොත් මාලාවේ එක් පොතක “The Bench in the Rain” කියලා කතාවක් තිබුණා මතකයි. ඒ කතාව සත්‍යම කතාවක් විදියටයි ලේඛකයා ලියලා තිබුණේ. උද්‍යානයක කෙළවර තිබුණු බංකුවක හැමදාමත් හවසට වයස්ගත මිනිසෙක් නිසොල්මනේ වාඩි වෙලා ඉන්න හැටි ලේඛකයා දකිනවා. වැස්ස වැටෙන හැන්දෑවක වුණත් ඔහු බංකුවෙන් නැගිටින්නේ නැහැ.
“ඇයි මෙහෛම බලාගෙන ඉන්නේ…?” වැස්ස වැටෙන දවසක ලේඛකයා අර වයස්ගත මිනිසාගෙන් අහනවා.
“මගේ දුව හැමදාම හවසට මං එනකම් බලාගෙන ඉන්න පුරුදු වෙලා හිටියේ මේ බංකුව උඩ. දුව අවුරුදු පහකට කලින් නැති වුණා. ඒත් එයා කවදා හරි දවසක ආපහු මාව හොයා ගෙන එන වෙලාවට මං මේ බංකුවේ හිටියේ නැතිනම් එයාට දරාගන්න බැරි පාළුවක් දැනේවි” තාත්තා උත්තර දෙනවා.
‘මිදුලේ වැලි මාලිගාවෙ’ කියන බොහොම සංවේදී ගීතයේ;
‘එපා ඔටුණු මගේ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මග හිඳුනු මැනේ’ කියන පේලි කිහිපය ඒ කතාව කියවද්දී ඉබේම මතකයට ආවා.
ඒ පද පේළිය මතකයට එන්න තවත් එක හේතුවක් තමයි මගේ මිතුරියක් මට කිව්වා කතාවක්. ඇගේ සාලයේ දිගු හාන්සි පුටුවක් තියෙනවා. හැමදාම උදේට මගේ මිතුරිය තමන්ගේ වාහනයෙන් රැකියාවට යද්දී මේ පුටුවේ ඉඳන් දුවට අත වනන්නට තාත්තා පුරුදු වෙලා හිටියා. ඒත් සමහර දවස්වල ඇය ගෙදරින් පිටවෙන්නේ කඩිමුඩියේ. පුළුවන් තරම් ඉක්මනින් වාහනය පණ ගන්වා ගෙන රැකියාවට යනවා මිසක් පෙරළා අත වනන්නටවත් ඇයට ඉස්පාසුවක් තිබුණේ නැහැ. දැන් තාත්තා නැහැ. අත වනන්නට කෙනෙක් නැහැ. අර කිව්ව හාන්සි පුටුව තාමත් සාලයේ තියෙනවා. පුටුවේ තාත්තා නැහැ. හාන්සි පුටුව දැන් නිකම්ම නිකම් හිස් පුටුවක්. පුටුවට ජීවය ලැබුණේ තාත්තා නිසා නේද කියන කාරණාව මගේ මිතුරියට දැනෙන්නේ දැන්.
“දැන් ඒක නිකම්ම නිකම් හිස් පුටුවක්… ඒ හිස් හාන්සි පුටුව හින්දා හැමදාම උදේට මං වේදනා විදිනවා. ඒත් ඒ පුටුව අයින් කරන්නට මට ශක්තියක් නැහැ… ” මිතුරිය මට කිව්වා.
දරුවන් නොදකින ගින්න!
——————————-
හාන්සි පුටුව ගැන කිව්ව නිසා මේ වෙලාවේ තවත් පොතක් මතකයට එනවා. ඒක 1950 ගණන් වලදී තමයි මුලින්ම ප්‍රකාශයට පත් වුණේ. අලුත් මුද්‍රණ තියෙනවා ද කියලා දන්නේ නැහැ. පොතේ නම “Ash on a Young Man’s Sleeve”. කතුවරයාගේ නම Dannie Abse. මේ පොත නවකතා ශෛලියෙන් ලියැවුණු ස්වයං චරිතාපදානයක්. ඒත් ගීතමය ලාලිත්‍යයක් ඒ පොතේ තියෙනවා. ඩැනියෙල් කියන්නේ වේල්ස් ජාතික කවියෙක්. ඒ වගේම වෛද්‍යවරයෙක්. පොතට පදනම් වෙන්නේ ලෝක යුද්ධයේ සෙවණැලි අතර ගෙවිලා යන 1930 – 40 වගේ කාලය. වේල්සයේ තමයි කතාවේ චරිත ජීවත් වෙන්නේ. ඒ හැම චරිතයක්ම ඇත්ත චරිත.
මේ කතාවේ තාත්තා බොහොම ප්රතාපවත්, ශක්තිමත් උස මහත පුද්ගලයෙක්. ඒත් පවුලේ හැමෝම තමන්ගේ එදිනෙදා වැඩ කටයුතුත් එක්ක කලබලකාරීව ඉන්න හින්දා දවසින් දවස මොහොතින් මොහොත තමන්ගේ තාත්තා දන්නෙම නැතිව සෑහෙන දිරාපත් වෙලා වයසට ගිහින් නේද කියන කාරණාව දකින්නේ නැහැ… දැනෙන්නේ නැහැ…
‘තාත්තා සෑහෙන දිරාපත් වෙලා නේද?’ කියලා පුතාට අකුණක් වැදුනා වගේ දැනෙන්නේ අහම්බෙන්. සාලයේ හාන්සි පුටුවේ තාත්තා දැන් නිකම්ම නිකම් ඡායාවක් බවට පත් වෙලා නේද කියලා තේරුණාම ඔහු පුදුමාකාර විදියට කම්පනයට පත් වෙනවා.
“He had become ash on my sleeve. And I didn’t even notice the burn”
ඒක තමයි කතාවේ බරපතළම, හැඟුම්බරම, ඒ වගේම හිතට තදින්ම කා වදින සංවේදී ප්‍රකාශය. ඒ ඒ භාෂාවල තියෙන භාෂා අනන්‍යතා ලක්ෂණ හින්දා ඇතැම් ප්‍රකාශ තියෙනවා කැඩපතක ඡායාවක් වගේ (‘perfect mirror’) ඒ විදියටම පරිවර්තනය කරන්නට බැරි. එහෙම කිරීමත් ඇත්තටම මුල් ලේඛකයාට කරන බරපතළ අසාධාරණයක්. ඒ හින්දා ඒ අදහස වෙනත් විදියකට පැහැදිලි කර දීම වඩාත් සුදුසුයි කියලයි හිතෙන්නේ.
කිසියම් දෙයක් ගින්නට ලක් වුණාට පස්සේ ඉතිරි වෙන්නේ අළු. මෙම ප්‍රකාශයේ දී ලේඛකයා ‘burn’ සහ ‘ash’ කියන වචන යොදා ගන්නේ සංකේතාත්මක අර්ථයකින්. ඒ කියන්නේ දවා හළ පසු ඉතිරි වන අළු ගැන කිසිම දෙයක් ඔහු මෙතැනින් අදහස් කරන්නේ නැහැ. මෙතැනදී ‘burn’ කියන වචනයෙන් ඔහු පෙන්වා දෙන්නේ තාත්තා නිහඬව විඳින වේදනාවයි. කෙටියෙන්ම කියනවා නම් කාටත් නොපෙනී නොදැනී තාත්තා වයසට ගිහින් වැහැරී දුර්වල වී යන හැටි… දිනෙන් දින තාත්තා ‘දැවී යන හැටි’ ගැනයි. ඒත් ඒ ‘දැවී යාම’ ගෙදර අයට දැනෙන්නේ නැහැ. ඒ ගැන හරිහැටි දැනුවත්භාවයක් ගෙදර අයට නැහැ.
‘sleeve’ කියන්නේ ඇඳුමක අත කොටස බව කවුරුත් දන්නවා. මෙතැනදී මේ ලේඛකයා කියන්නේ “He had become ash on my sleeve” කියලයි. තමන්ගේ කමිස අත කියන්නේ තමන්ට ඉතාම සමීප ස්ථානයක්. නිරන්තරයෙන් ඇස ගැටෙන තැනක්. ඒ කියන්නේ ශාරීරිකව තාත්තා ඉන්නේ පුතාගේ ඇසට අසුවන මායිමේ! ළඟ ළඟම… අත ළඟම…! හරියට අපි නොදැනුවත්ම අපේ කමිස අතේ තැවරෙන ඒ වගේම කමිස අතෙන් ගිලිහී විසිරී යන සියුම් අළු දුහුවිලි වගේ. “… And I didn’t even notice the burn” ඒත් තාත්තා දිනෙන් දින ශාරීරිකව සහ මානසිකව වැහැරී යාම පුතාට දැනෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ. හඳුනාගන්නේ නැහැ. ඒ වැටහීම ඇතිවන්නේ එක සැරේම.. විදුලි කෙටුවා වගේ. ඒත් එතකොට හොඳටම ප්‍රමාද වැඩියි.
ගින්නක් වගේ ශක්තිමත්ව හිටිය තාත්තාගේ කතා බහ දැන් අඩුයි. වැහැරිලා ගිහින්. ඕනෑම කෙනෙකුට පහසුවෙන් අමතක කර දමන්නට එහෙමත් නැතින්ම නොසලකා හරින්නට හැකි දුර්වල පුද්ගලයෙක් බවට පත් වෙලා. අර ප්රතාපවත් ගින්න තමන්ගේ දෑස් අබියස දීම සෙමෙන් සෙමෙන් වියැකී මතු යම් දවස අළු ගොඩක් පත් වෙන හැටි තරුණ පුත්‍රයා දකින ආකාරයයි ඒ.
“He had become ash on my sleeve. And I didn’t even notice the burn” කොයි තරම් නම් ප්‍රබල, කොයි තරම් නම් අරුත්බර වචන පෙළක් ද ඒ. මෙැතනදී ලේඛකයා තාත්තාගේ මේ ශාරීරික සහ මානසික දිරාපත් වීම ප්‍රබල අරුතකින් වටහා ගන්න කොට හොඳටම ප්‍රමාද වැඩියි. ඒ නිසා මෙතැනදී ‘burn’ කියන වචනයෙන් කතුවරයාගේ හිත පශ්චාත්තාපයෙන් ගිනි ගන්නා හැටිත් ගම්‍ය වෙනවා.

කෙනෙකුට හිතෙන්නට පුළුවන් දෙමව්පියන් වයසට යමින් වැහැරී යාම අපි දකිනවා… කරන්න පුළුවන් විදියට සළකනවා නේද කියලා. ඒත් මේ කතාවෙන් කියන්නට උත්සාහ කරන්නේ ඊට වඩා තරමක් ගැඹුරට ගිය දෙයක්. ඇත්ත… අපි දකිනවා, සළකනවා තමයි. ඒත් සැබෑ ලෙසින්ම ඔවුන් වටහා ගන්න, තේරුම් සහගත මානසික සම්බන්ධතාවක් ගොඩ නගා ගන්න, ඔවුන්ගේ චිත්ත වේදනාවන් (emotional pain) වටහා ගන්න සමත් වෙන්නේ කීයෙන් කීදෙනා ද කියන කාරණාව තමයි ඔය කිව්ව පොතෙන් ප්‍රශ්න කරන්නේ.
ඒ විදියට ප්රතාපවත්ව, ශක්තිමත්ව හිටපු පියවරුන් දරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා කොයි තරම් අසරණ මට්ටමකට වැටිලා ඉන්නවා ද කියන කාරණය කෙටි නිවාඩුවකට ලංකාවට ආපු මොහොතක මට දැක ගන්න ලැබුණා. අර කලින් කිව්ව කතාවේ දී වගේ තාත්තලාගේ දැවී යාම දරුවන්ට දැනෙන්නේ නැහැ (“He had become ash on my sleeve. And I didn’t even notice the burn”). ඒ කතාවේ දී වගේම ආරක්ෂක අංශයක ඉහළ තනතුරක් දරමින් ප්රතාපවත් ගින්නක් වගේ හිටපු තාත්තා කෙනෙක් දැන් ගත කරන්නේ විශ්‍රාමික ජීවිතයක්. ඒත් ඒ තාත්තා දැන් දවස් ගෙවන්නේ එක්තරා බියක් හිත යට හංගා ගෙන. තමන්ගේ එක් පුතෙකුගේ පහර කෑමට (ඊටත් වඩා වැඩි අනතුරකට) කොයි මොහොතක හෝ තමන් ඉලක්ක විය හැකි යැයි බියක් නිරන්තරයෙන් සිත තුළ දරා ගෙන ඔහු වේදනා විඳින ආකාරය දැකලා ඇත්තටම මං බොහෝ සෙයින් කම්පා වුණා.
මේ වගේ තාත්තලා කිහිප දෙනෙක්ම මගේ ළඟ තමන්ගේ අන්තිම කැමැති පත්‍ර තබා තියෙනවා. ඒ විදියේ අන්තිම කැමැති පත්‍රයක් ඇති බව ඒ දරුවන්වත් දන්නේ නැහැ. ඒ වගේම ඒ අන්තිම කැමැති පත්‍රවලින් මට කවර ආකාරයේ රාජකාරියක් පැවරිලා
තියෙනවා ද කියන කාරණාව මං දන්නෙත් නැහැ. ඒත් කවදා හෝ දවසක ඒ අන්තිම කැමැති පත්‍ර විවෘත කරන්නට සිදු වූ මොහොතක ඒ අන්තිම කැමැත්ත ඇතුළේ බොහොම අනුවේදනීය කතාවක් තියෙන්නට පුළුවන් කියන හැඟීම මට දැනෙනවා.
ලංකාවේ තියෙන සංස්කෘතියක් එක්ක බොහෝ දරුවන් හිතනවා තමන්ගේ දරුවන් (මුණුබුරු, මුණුබිරියන්) බලා ගැනීම දෙමව්පියන්ගේ යුතුකමක් වගේම වගකීමක් කියලා. එහෙම හිතන දරුවන් විදෙස්ගත වුණාම තමන්ගේ දරුවන් බලාගන්න, එහෙමත් නැතිනම් දිවා සුරුකුම් මධ්‍යස්ථානවලට ගෙවන ඉහළ මුදල ඉතිරි කර ගන්න විශේෂයෙන්ම තමන්ගේ අම්මලාව තමන් ඉන්න රටට ගෙන්වා ගන්නවා. ලංකාවේ සංස්කෘතිය අනුව අම්මලත් හිතනවා ඒක තමන්ගේ වගකීමක් තමයි කියලා. මේ බොහොම වෙලාවට තාත්තලා මහගෙවල්වල තනිවෙනවා. ජීවිතයේ අවසාන කාලයේ දී ඒ විදියට තනි වෙලා අන්තිමේ දී දුක්බර විදියට අවසන් හුස්ම හෙළළුෑ තාත්තලා ගැන පෞද්ගලික අත්දැකීම් ගණනාවක්ම තියෙනවා.
අත් ඔරලෝසුව
——————
“The Watch”. ඒක කෙටි කතාවක නමක්. කියවපු තැන මතක නැති වුණත් කතාවේ නම මතක හිටියේ ඒකේ සරලකම හින්දා. ඒ වගේම කතාවත් හොඳට මතකයි. ඒත් ඇත්ත කතාවක් ද කියලා දන්නේ නැහැ. ඒක අදාළත් නැහැ.
මේ කතාවේ තාත්තාගේ මරණයෙන් පස්සේ පුතාට හම්බු වෙනවා තාත්තා පාවිච්චි කරපු අත් ඔරලෝසුව. ඔරලෝසු මුහුණත පුරාම එක එක සීරීම්. ඒක බොහොම අබල දුබල වේචච පැරණි අත් ඔරලෝසුවක්. මේ ඔරලෝසුව දැක්ක ගමන්ම පුතාට ඇතිවෙන්නේ සරදම්කාරී හිනාවක්. ඉවතලන්න පුළුවන් සුන්බුන් භාණ්ඩයක් විදියට තමයි ඔහු ඒක දකින්නේ. ඒත් ඔරලෝසුව අතට ගත්තාට පස්සේ ඔහු මුළුමනින්ම වෙනස් මිනිහෙක් බවට පත් වෙනවා. ඒ ඔරලෝසුව හරහා තාත්තාගේ උණුසුම ඔහුට දැනෙනවා. මේ අත් ඔරලෝසුව හිමි කරගන්නට තාත්තා කොයි තරම් මහන්සියක් ගන්නට ඇතිද කියලා ඔහුට හිතෙනවා. අත් ඔරලෝසුවේ සීරීම් හැම එකකින්ම පෙනී යන්නේ ජීවිතය ගැට ගහන්න තාත්තා වින්ද දුක් වේදනාවන් නේද කියලා ඔහුට වටහා ගන්නවා. ඔරලෝසු මුහුණතේ සීරීම් හරහා පුතා, තාත්තාගේ අප්රකාශිත ආදරය අත්විඳිනවා. ඒත් දැන් තාත්තා නැහැ.
මහාචාර්ය වික්ටර් ෆ්රෑන්ක්ල් (Viktor E. Frankl) ගැන බොහොම දෙනෙක් දන්නවා. ඔහු හිට්ලර්ගෙ අවුට්විෂ්ට් වධකාගාරයේ ජීවිතයත්, මරණයත් අතර අසීරු සටනකින් පස්සේ ජීවිතය ගලවා ගත්ත යුදෙව් ජාතික වෛද්‍යවරයෙක්. තමන්ගේ ජීවිතය ඇසුරින් ඔහු ලිව්ව ‘Man’s Search for Meaning’ කියන පොත විවිධ භාෂාවන් සිය ගණනකින් යළි යළිත් මුද්‍රණය වෙන බෙහොම ජනප්‍රිය ඒ වගේම අතිශය සංවේදී පොතක්. වධකාගාරයේ දුක් වේදනාවන් ඉවසා ගන්න බැරිව තමන් සමග සිටි බොහෝ යුදෙව් ජාතිකයන් වධකාගාරය වටා තිබුණු විදුලි වැට අල්ලාගෙන අවසන් ගමන් ගිය හැටි ඔහුගේ පොතේ විස්තර කෙරෙනවා. මරණය හැර එයාලට ජීවිතයෙන් බලාපොරොත්තු වෙන්න තවත් කිසිම දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. වධ හිංසාවන් විඳ දරා ගන්නට නොහැකිව සිය දිවි නසා ගන්නට දැඩි උවමනාවෙන් පෙළුණු, ඒ වගේම මැරෙන හැටි ගැන නිතර නිතර කතා කළ දෙදෙනෙක් ගැන මහාචාර්යවරයා විශේෂයෙන් කතා කරනවා. ඒ දෙන්නාටම තමන්ගේ ජීවිත අහිමි වෙලයි තිබුනේ. තවත් බලාපොරොත්තු ඉතිරි වෙලා නැහැ. ඒත් ඒ දෙන්නාටම දැනෙනවා කිසියම් දෙයක් තව දුරටත් ජීවිතය තමන්ගෙන් ඉල්ලා සිටින බව.
එයින් එක් අයෙක් විද්‍යාඥයෙක්. වධ කඳවුර ඇතුළේ ඔහු බොහොම අසීරුවෙන් අත් පිටපතක් හංගා ගෙන ඉන්නවා. ඒක ඔහුගේ මුළු ජීවිතය පුරාම ඔහු ලබා ගත්ත දැනුම පදනම් කරගෙන ලියැවුණු පොතක්. ඔහුගේ මුළු ජීවිතයම තමයි දැන් ඒ පොත. ඔහු හැරුණාම මිහිමත ඉන්න වෙන කිසිම කෙනෙකුට ඒ කාර්යය ඒ විදියට නිම කරන්න බැහැ. ඒ නිසා අනාගතයේ කවදා හෝ දවසක ඒ පොත ප්‍රකාශයට පත් කිරීම තමයි සිය දිවි නසා ගැනීමේ අදහසින් ඔහු පසුපසට ඇද්ද කාරණාව.
අනෙක් කාරණාව ඒ විදියේ අජීවී වස්තුවක් ගැන නෙමෙයි. සජීවී දෙයක්. අනෙක් තැනැත්තා තාත්තා කෙනෙක්. වධ කඳවුරට ගාල් කරන්නට කලින් නාසි ජර්මනියෙන් වෙනත් රටකට පැනගන්න ඒ තාත්තාගේ එකම පුතාට හැකියාව ලැබෙනවා. මේ පුතා තමයි තාත්තාට ඉතිරි වෙලා තියෙන එකම වස්තුව. ඒ පුතාත් තාත්තාට දැඩිව ආදරය කළ කෙනෙක්. පුතාට තාත්තාගේ ආදරය පුරවන්න තමන් හැර මිහිමත වෙනත් කිසිම මිනිසෙකු නැති බව තාත්තා දන්නවා. ඒ නිසා කවදා හෝ දවසක මියැදෙන්නට කලින් තමන්ගේ පුතා දැක ගැනීම තමයි ඒ තාත්තා ජීවත් කළ එකම හේතුව.
මහාචාර්යවරයා තමන්ගේ මුළු පොත පුරාම සමස්තයක් විදියට අවධාරණය කරන එක කාරණාවක් තියෙනවා. ඒක නිට්ෂේ කියන ලෝක ප්‍රකට ජර්මන් දාර්ශනිකයා කිව්ව ප්‍රකාශයක් තව දුරටත් තහවුරු කරන කාරණයක්. ඒ තමයි ‘ජීවත් වෙන්න හේතුවක් තියෙනවා කියලා දැනෙන කෙනෙකුට, ජීවිතයේ ඕනෑම දෙයක් විඳ දරා ගන්න ඕනේ කොහොමද කියලා හොයා ගන්න පුළුවන්ය’ කියන කාරණාව. (He who has a why to live can bear almost any how)
ඇත්ත… ඒත් අද දවසේ තාත්තලා සෑහෙන පිරිසක් මුහුණ දෙන ඛේදවාචකය තමයි ජීවත් වෙන්න හේතුවක් හොයා ගන්න එක.
සිත සසල කරන දීර්ඝ ලියවිල්ලක්. තව සැරයක් නිදහසේ කියවන්න යළි එනවා.
කැමතියිLiked by 1 person
බොහොම ස්තුතියි
කැමතියිකැමතියි
එක හුස්මට කියෙව්වා. වැඩියම හිත කීරී ගැහුනේ, අර වයස්ගත මිත්‍රයන් ගැන කතාවෙන්.
කැමතියිLiked by 1 person
බොහොම ස්තුතියි. ඒ හැම දෙයක්ම සත්‍ය සිදුවීම්
කැමතියිකැමතියි
මතක විදිහට Reddit වල කියවපු පෝස්ට් එකක්. දුවෙක් කම්ප්ලේන් කරනව තමන්ගෙ 60 හැවිරිදි වැන්දඹු අම්මා, පාට්නර් කෙනෙක් හොයාගෙන ගෙදරින් යන්න හදන එක ගැන. ඔය වයසට මොන එෆයාර්ද, එතකොට අපේ ලමයි බලා ගන්නෙ කව්ද වගේ, එන්ටයිටල් කතාවක් තමයි කිව්වෙ. හරිම සෝචනීයයි.
කැමතියිLiked by 1 person
හොඳ ලිපියක්.
දෙමව්පියන් ජීවත් වෙලා ඉද්දී ම රාජකාරි ගෙදර වැඩ නිසා ඈත් වෙලා ඉන්න වෙලාවක මේ සිතුවිලි හොඳින් danenenawa.
Lost in America කියන පොත හොයාගෙන කියවන්න.
කැමතියිLiked by 1 person
Lost in America කියවලා නැහැ. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට. අදම පුස්තකාලයෙන් ඉල්ලුම් කරන්නම්. මේ නමින් සිනමා පටයකුත් තියෙනවා නේද? ඒ දෙකම එකම කතාව ද?
කැමතියිකැමතියි
Lost in America
Book by Sherwin B. Nuland
Read if you want to get emotional, but you’re eyes and might get wet if you have regrets about the things you’ve done for parents.
කැමතියිLiked by 1 person
Thank you very much. I already ordered the book from the library. Waiting to read it
කැමතියිකැමතියි
You seems to be a avid reader,
Read and review this book if possible.
“The Stone and the flute by Hans Bemman”
කැමතියිLiked by 1 person
Yes, I read lot. But most of them are new arrivals. Thanks for this tip. Will read this book as well.
කැමතියිකැමතියි
බස්සා මහත්මයාගේ හෝඩුවාවක් උඩ සෙනසුරාදා බ්ලොග් කියවනකොට හම්බවුනේ. අපුරැ ලියවිල්ලක්.
තවත් තාත්තලා ඉන්නවා . එහෙම අය ගැනත් ළමයි ගැනත් ලියවුන හොඳම ගීතයක් තමයි සුනිල් එදිරිසිංහ මහත්මයාගේ මේ ගීතය.
වන්නි වන පෙතේ..
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ
වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්
කන්ට බෑ කියා – තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත් – නිතර දන්
දුන් පියවරුන් වෙතින්..
ජාත වී ඇතත් – පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..
කැමතියිLiked by 1 person
බොහොම ස්තුතියි.
මේ ලිපියට සහ ඒ ගීතයට පදනම් වූ තේමාවන් දෙකේ වෙනසක් තිබුණත් දෙකේම කතා කරන්නේ තාත්තලා ගැන.
අම්මාවරුන් පමණ ද මතු බුදු වන්නේ…!
කැමතියිකැමතියි
පළමුව අපූරු බ්ලොග් එකක් . මගේ එකේ එල්ල ගන්නවා . අර පස්සේ ලියපු කතා ගොඩක් නම් දන්නවා . ඒත් නවතැහැ කිවනකොට හිතට ආයෙමත් දුකයි තත්ත්ව මතක් වෙනවා . මගේ තාත්තා ගැන ලීව එකක් 2015 දී . මෙතැන් පල කෙරුවට කමක් නැහැ කියල හිතනව. https://kolambagamaya.blogspot.com/2015/02/blog-post_66.html මම අවුරුදු හතක තාත්ත බලන්න ගියේ නැහැ . අදටත් ඒක හිතට වද දෙන දෙයක්. මම එච්චර දරුණු වුනේ ඇයි . කොහොමහරි යන්න තිබ්බ නේද කියල හිතෙන කොට වාවන්නේ නැහැ . මැරුණට තාත්තා ගේ කිට් බොක්ස් කියලා තියන් හෙටිය පෙට්ටියක දිනපොත් හම්බ වුනා . තාත්ත හැටදෙකේ කුමන්ත්‍රණ නඩුවේ ප්‍රසිද්ධ කෙනෙක් ව බේරා ගන්න සාක්කි දීල තියනව දැන ගත්ත . ඒවා දැන ගෙනේ හිටියේ නැහැ . මැරෙන්න අන්තිම අවුරුද්දේ ලොකු පුතා වන මම ගැන ලියන එක තාත්ත නතර කරලා තිබ්බ
කැමතියිLiked by 1 person
බොහොම ස්තුතියි මේ සටහනට සහ ඒ ලිපිය බෙදා හදා ගත්තාට.
මට මතක විදියට මා ඔබේ බ්ලොග් එක මුලදී කියෙව්වා. ඒත් කුමක් හෝ හේතුවත් නිසා මග හරී ගිහින්. නැවත සබ්ස්ක්‍රයිබ් කරන්නම්🙂
කැමතියිකැමතියි
අර පියාට කියන්න ඒ විවාහය කරන්න දෙන්න එපා කියල . කොහොම හරි ක්‍රමයක් හොයා ගන්න ඒක නවත්වන් එක්කෝ දුවට ගේ ලියන්න එපා . මේ ලඟදි පීටරට ඉන්න ගැහැණු ළමයෙක් ආමි එකේ කෙනෙක් එක්ක යහළු වෙලා බැඳලා . බැන්දට පස්සේ දැනගෙන හින්නේ අර මනුස්සය බැඳලා තියෙන්නේ විසා එක ගන්න විතරයි කියල . මේ ළමය ගැන කිසි ආදරයක් නැහැ . මම කෙලින්ම කීව අයින් වෙන්න කසදෙන් කියල . හරියට ඒ වගේ දේ වෙනවා .
කැමතියිLiked by 1 person
ඔව්… ඔබ නිවැරදිය්. මා හිතන්නේ නැහැ ඔහු නිවස ඒ විදියටම ලියා දේවි කියලා. ඒත් ඔහුගේ ස්වභාවය අනුව විවාහය නතර කරන්නට ඔහු කෙතරම් දුරට කටයුතු කරාවිද කියන එක සැකසහිතයි.
කොහොම වුණත් ඔබේ අදහසට එකඟයි.
කැමතියිකැමතියි
තාත්තලා ගැන කියන්න තිබෙන දේ ගොඩක් දිගයි. ඒ ගැන යම්තාක් දෙයක් කියන්න මාත් පෝස්ටුවක් ම ලිව්වා…
https://drackey.blogspot.com/2025/07/blog-post_27.html
කැමතියිLiked by 1 person
ඇත්තටම ආදරයෙන් බලපු සිනමා පටයක්. සිලිලාර වෙබ් අඩවියේ මේ ලිපිය කියවක පිරිස මේ තියෙන ලින්ක් එක හරහා ඒ ලිපියත් කියවන්න. ඒ සිනමා පටයත් නරඹන්න.
කැමතියිකැමතියි
Did yyou read those books?
කැමතියිLiked by 1 person
Yes… I think now you can read them online as well.
කැමතියිකැමතියි
Yes aavailable in the Archive.
What do you think about the books?
කැමතියිLiked by 1 person
I like “The Stone and the flute by Hans Bemman” better than the other book
කැමතියිකැමතියි