වක්කඩ ළඟ විචාර

“එක සිත දෙතැනක නතර වෙලා…”

ටී. එම්. ජයරත්නයන්ගේ අතිශය ජනප්‍රිය ගීතයක්. කාලයකට කලින් රූපවාහිනී නාලිකාවක මේ ගීතය ප්‍රචාරය වුණේ අපූරු රූප රාමු පෙළක් එක්ක. ඒත් කුමක්දෝ නොගැලපීමක් බැලූ බැල්මටම පෙනුනා.

රූප රාමු පෙළේ හිටියේ කඩවසම් තරුණයෙක් එක්ක රුවැති යුවතියන් දෙන්නෙක්. කිසිදා එක් නොවෙන රේල් පාරක යුවතියන් දෙදෙනා ගමන් කරද්දී තරුණයා සිටියේ රේල් පාර මැද්දේ; ඒ දෙන්නා දිහා මරුවෙන් මාරුවට බල බලා. 

දින ගණනාවක් එහෙමත් නැතිනම් සති මාස කිහිපයක් තිස්සේ කාලය, ශ්‍රමය වගේම මුදල් වැය කරමින් මේ රූප රාමු පෙළ නිර්මාණය කරන්නට වෙහෙස වූ ‘දක්ෂ නිර්මාණකරුවන් පිරිස’ ට එක දෙයක් අමතක වෙලා තිබුණා. සරල අමතක වීමක් නෙමෙයි; බොහොම බරපතළ අතපසුවීමක්!

මේ ගීතයෙන් කතා කරන්නේ ප්‍රේමයන් දෙකකට මැදි වූ තරුණයෙකුගේ ආදර කතාවක් නෙමෙයි, අකලංක ප්‍රේමයකින් බැඳුණු තරුණයෙකු සහ තරුණියකගේ ආදර කතාවක් කියන කාරණාව තමයි ඒ. 

මේ විදියේ රූප රචනයක් කරන්න විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. රූප රචනය කරන්නට, කැමරාකරණයට, අධ්‍යක්ෂණයට, සංස්කරණයටවගේම රූප රාමුවලට පණ දෙන නළු නිළියන් පිරිස. ඒ විතරක් නෙමෙයි මේ ගීතය තමන්ගේ නාලිකාවේ ප්‍රචාරය කරන්නට අනුමත කරන රූපවාහිනී නාලිකාවේ වගකිව යුතු පිරිස!

මේ හැමෝම ගීතයේ මුල්ම පේළිය අස්සේ නතර වුණා. ඒ හැමෝම හිතුවේ ‘එක සිත දෙතැනක නතර වෙලා’ තියෙන්නේ යුවතියන් දෙන්නෙක් ළඟ කියලා. 

ඔය පිරිසගෙන් එක්කෙනෙකුට හරි මුළු ගීතයම නෙමෙයි, අඩුම තරමින් ගීතයේ දෙවැනි පේළියවත් අහන්න තරම් ඉවසීමක් තිබුණා නම්…!

“එක සිත දෙතැනක නතර වෙලා

ඔබේ සිතයි… මගේ සිතයි… දෙසිතම එකම සිතක් වී

ඔබේ ළඟයි – මගේ ළඟයි

ඒ සිත දෙතැනක නතර වෙලා”

 

තරමක කාලයකට කලින් මගේ මිතුරියකගේ විවාහ මංගල්‍ය උත්සවයක් ගාලු මුවදොර සමීපයෙහි පිහිටි හෝටලයක තිබුණා. 

යුවතිපතින් පෝරුවෙන් බහින වෙලාවෙදි වාදක මණ්ඩලය අපූරු ගී අනුවාදනයක් ඉදිරිපත් කළා. යුවතිපතින් පෝරුවෙන් බහින ආකාරය දිහා බල බලා ගී අනුවාදනයට සවන් දෙද්දි තමයි එක සැරේම දැනුණේ ඒ ගීතය මේ වෙලාවේ වාදනය නොකළ යුතුම ගීයක් නේද කියලා. ඒක යුග ගමනක් යන කුමරියක් ගැන කියැවෙන ගීයක් නෙමෙයි, අවසන් ගමන් යන කුමරියක් ගැන කියැවෙන ගීයක්. ඒ කාලයේ ඉතාම ජනප්‍රිය වෙච්ච ගීතයක්. 

ගී අනුවාදය නතර කරන්නට උත්සාහයක් ගත්තත් එතකොටත් හොඳටම ප්‍රමාද වැඩියි! මුළු ගීයම වාදනය වෙලා ඉවරයි.

විවාහ මංගල්‍යයෙන් මාස දෙක තුනකට පස්සේ මගේ මිතුරිය තමන්ගේ විවාහ උත්සවයේ වීඩියෝ පටයේ පිටපතක් මටත් නරඹන්නට දුන්නා. මං මුළුමනින්ම නිරුත්තර වුණේ එතකොටයි!

මුළු වීඩියෝ පටය පුරාම පසුබිමින් වාදනය වුණේ එදා ඔවුන් පෝරුවෙන් බහිද්දී වාදනය වුණු ගීතයේ අනුවාදනයයි. 

“කුමරී මගේ – මා කුමරියේ

නොඑනා ගමන් ගියා

යළි නොඑන සේ…”

දින ගණනාවක් පුරුදු පුහුණු වෙලා ගීතය වාදනය කළ වාදක මණ්ඩලයටත්, සති ගණනක් මහන්සි වෙලා වීඩියෝ පටය නිර්මාණය කළ කැමරා ශිල්පියාටත් ඇසුණේ, දැනුණේ එකම එක පේළියක් විතරයි. “කුමරී මගේ… මා කුමරියේ!”

ඔව්, බැලූ බැල්මටම හරිම ආදරණීයයි තමයි. ඒත් අඩුම තරමින් දෙවැනි පේළියටවත් සවන් දුන්නා නම්…!

ගහක මල් පිපිලා

අමරදේවයන්ගේ වක්කඩ ළඟ ගීතයට පුදුමාකාර තේරුමක් දෙමින් කළ වීඩියෝවක් මෑත කාලයේ අන්තර්ජාලයේ දකින්නට ලැබුණා. වක්කඩ ළඟ ගීතය නිර්මාණය කළ මහගම සේකරයන්ගේ එකම එක කවි පොතක් හරි කියවලා තියෙන කෙනෙකුට මහගම සේකරයන් කියන්නේ කවුරුන්ද කියලා අමුතුවෙන් වටහා දෙන්න අවශ්‍ය නැහැ. ඒත් මහගම සේකරයන්වත්, අමරදේවයන්වත් කිසිදා නොසිතූ පුදුමාකාර විග්‍රහයක් දෙමින් කළ ඒ විඩියෝව බොහෝ දෙනා යළි යළිත් බෙදා හැර (share) තිබුණේ ඇත්තටම ඒ ගීතයෙන් කියැවෙන්නේ එවැනි අරුතක් කියලා විශ්වාස කරන්නට තරම් මහගම සේකරයන් ගැන තිබුණු දැනුම අල්ප හින්දයි. 

සුනිල් එදිරිසිංහයන්ගේ ‘සඳකඩ පහණක කැටයම් ඔපලා’ ගීතයටත් මේ විදියේ අරුම පුදුම විචාරයක් එක්තරා ස්වාමීන් වහන්සේ නමක්අන්තර්ජාලයේ පළකර තිබුණා. උන්වහන්සේ පවසන ආකාරයට මේ ගීතය වොලී නානායක්කාරයන් රචනා කරලා තියෙන්නේ සිය මවගේ අනියම් ප්‍රේමයක් දකින කුඩා දැරියකගේ සිතිවිලි විග්‍රහ කරමින්. ඒ විග්‍රහය වෙනුවෙන් උන්වහන්සේ ගීතයෙන් ගෙන හැර පාන උදාහරණ නම් අතිශයින්ම හාස්‍යජනකකයි. ඒ ගීතය ඇතුළත් වූ  ‘මාතර ආච්චි’සිනමා පටයේ සන්දර්භයට කිසිසේත්ම නොගැලපෙන විග්‍රහයක්. ඒත් උන්වහන්සේගේ ‘විචාරය’ අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනෙක් යළි යළිත් බෙදා හදාගෙන තිබුණේ තමන් මෙතෙක් කලක් නොදැන සිටි ගීතයේ ‘සැබෑ අරුත’ පෙන්වා දීම ගැන උන්වහන්සේට කළ නොවක් තුති ප්‍රචාරත් එක්ක. 

‌මේකෙන් අදහස් වෙන්නේ නැහැ කලා නිර්මාණයකට අරුතක් දෙන්න අපට අයිතියක් නැහැ කියන එක. ඒත් ඒ දෙන අරුත බලෙන් ඔබ්බවපු කෘත්‍රිම එකක් වීම ඒ නිර්මාණයට දායක වුණු කලාකරුවාට පවා කරන අගෞරවයක්. උදාහරණයක් විදියට ගත්තම ප්‍රතිභාපූර්ණ ගීත රචිකාවක වන යමුනා මාලිනීගේ ‘ගහක මල් පිපිලා’ ගීතය සම්මත ප්‍රේමයක් ගැන කියැවෙන සුන්දර ගීතයක් බව ඇයම කිහිප වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් සම්මත ප්‍රේමයක් වගේම වියපත් මිනිසෙකු හා පෙමෙන් බැඳෙන යුවතියක්, එහෙමත් නැතිනම් වියපත් කාන්තාවක් සමග පෙමින් බැඳෙන තරුණයෙක්, එහෙමත් නැතිනම් තරුණයෙකු හා තරුණයෙකු වගේම තරුණියක හා තවත් තරුණියක අතර ඇතිවන ප්‍රේමයක් ගැන කියැවෙන ගීයක් කියන අරුතින් ඒ ගීතය තවත් රස විඳිද්දී වඩාත් අපූරුයි කියලයි හිතෙන්නේ. 

“ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි

හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි

නුඹට හිත බැඳුණේ කිමැයි මා තවම නොදන්නෙමි

නුඹට හිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි”

 

දශක දෙක තුනකට කලින් ලයනල් රන්වල සූරීන් හමු වුණු වෙලාවක අපේ ශාස්ත්‍රීය ගීත වලට පාදක වෙච්ච වෙනත් රටවල තනු ගැන කතා බහක් කෙරුණා. අප හමු වූ කාලය වෙද්දී “බොරළු ඇනෙන පය රිදවන” ගීතය ආපු මුල්ම කාලෙ. අතිශය දක්ෂ ගායිකාවක වන දීපිකා ප්‍රියදර්ශනීගේ ඒ ගීතය ඇගේ අනිත් ගීත වගේම අතිශයින්ම ජනප්‍රියයි. මේ ගීතයේ ජන ගී ආර ගැන විමසද්දී රන්වල සූරීන් මට කිව්වේ එය බංග්ලාදේශයේ ජන ගීයක තනුවක් කියලයි. ඔහු ඒ බංගලි ජන ගීය ගීයෙන් කොටසක් ගායනා කරලා පෙන්වූ බවකුත් මතකයි. ඒ වගේම සිංහල ස්වතන්ත්‍ර තනු ලෙස හිතාගෙන සිටි ශාස්ත්‍රීය ගී කිහිපයකම ඇති විදේශ තනු ගැන අපූරු උදාහරණ කිහිපයකුත් ඔහු මට කියලා දුන්නා. විවිධාකාර ක්ෂේත්‍රයන්හි අප කොයි තරම් දුහුනන් ද කියලා දැනෙන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් හමු වුණාමයි.

මේ සටහන ලියන්නට සිත් වූණේ දැනුම් තේරුම් තියෙන විද්වතුන් වගේම මැතිවරණයෙන් පස්සේ මාරාන්තික නිහැඬියාවක ඉඳලා ආචාර්ය – අනාචාර්ය විවාදයත් එක්ක හිටිහැටියේ ‘ෆෝර්ම්’ වුණු ‘කබ්බන්’ ද බහුල වූ මොහොතක් උදා වෙලා තියෙන නිසයි. තමන් ගැඹුරින් හදාරා නැති විෂය ක්ෂේත්‍රයන් ගැන මහා වියත් විදියට අදහස් දක්වන්නට යන කොට්ටෝරුවන් කොයි කවදත් අඩුවක් නැතිව හිටියා.

සැතපෙන බුදු පිළිමය


ලෝක ප්‍රකට පුරාවිද්‍යාඥ ආචාර්ය සිරාන් දැරණියගල පුරා විද්‍යා කොමසාරිස්ව සිටි කාලයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ඔහුගේ කාර්යාලයේ දී කිහිප වරක්ම එතුමා හමුවන්නට අවස්ථාව ලැබුණා. ඒකට හේතුව මෙරට ප්‍රාග් ඓතිහාසික යුගය ගැන ලිපි මාලාවක් ‘ඉරිදා දිවයින’ පුවත්පත වෙනුවෙන් සම්පාදනය කරමින් හිටිය හින්දයි. 

මේ සාකච්ඡාවේදී ඇතැම් වෙලාවට අපේ මාතෘකාවට පරිබාහිර කරුණු ගැනත් සාකච්ඡාව ගලා ගෙන ගියා. ඒ හැම කරුණකටම එතුමා අතිශය පැහැදිලි පිළිතුරු ලබා දුන් නමුත් ඒ ඇතැම් කරුණු පුවත්පතේ සඳහන් නොකරන ලෙස ඔහු ඉල්ලීමක් කළා. ඒකට හේතුව ඇතැම් තොරතුරු බුද්ධිමත්ව විමසා බලන්නට හැකි ප්‍රජාවක් අද මෙන්ම එදා ද නොසිටි බව ඔහු දැනගෙන හිටිය හින්දා. අපේ රටේ එක්තරා ප්‍රධාන මහා මාර්ගයක් අභ්‍යන්තරයේ තිබෙන බවට සැක කරන සැතපෙන බුදුපිළිමයක් ගැන තොරතුරත් එතුමා කිව්ව ඒ වගේ කතාවක්. 

“අපි තවමත් ගොඩ අරන් තියෙන්නේ පොළොව යට තියෙන පුරාවස්තූන්ගෙන් සියයට එකක විතර ප්‍රමාණයක්. ගොඩට ගත් දේවල් රැක ගන්නත් ලොකු පරිශ්‍රමයක් දරන්න වෙලා තියෙනවා. ඒ නිසා අනාගතයේ දී දියුණු තාක්ෂණික ඥානයක් යටතේ ඒවා ගොඩ අරන් ඒ පුරාවස්තූන් රැක ගැනීම අනාගත පරපුරට භාර කරමු. එතකම් ඒ දේවල් පොළොව යටම තියෙන එක වඩාත් සුරක්ෂිතයි” තමන් ගැඹුරින්ම හැදෑරූ විෂයක් ගැන වුණත් අදහස් දැක්වීමක් කළ යුත්තේ කොයි අවස්ථාවක කවර තත්ත්වයන් යටතේ ද යන්න ගැන ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ට තියෙන ස්වයං විනයට ඒක ‌ඉතාම හොඳ නිදසුනක්.

ඒ විදියේ විනයක් නැතිව අහුරු ගණනින් ‘විචාරකයන්’ බිහිවෙලා ඉන්න ක්ෂේත්‍රයක් තමයි සාහිත්‍යය කියන්නේ. අපිට පුළුවන් පොතක් ගැන ‘අපේ අදහස්’ කියන්න. හරියට ‘ගූගල් රිවීව්’ එකක් කරනවා වගේ. ඒත් ඒක කොහෙත්ම ‘විචාරයක්’ (critic) වෙන්නේ නැහැ. ඒ පොත ගැන අපේ කැමැත්ත අකැමත්ත ගැන තියෙන අදහස් තමයි ඒ. ඒක ‘විචාරයක්’ කියලා හඳුන්වන එක බරපතළම වැරැද්දක්. ඇත්තටම ‘විචාර කලාව’ කියලා දෙයක් ලංකාවේ ඉතිරි වෙලා තියෙනවා ද? ප්‍රශ්න කරන්නේ මං නෙමෙයි. අපෙන් සමුගත් මහාචාර්ය සිරි ගුනසිංහ.

එතුමා පදිංචිව සිටි සුන්දර වික්ටෝරියා දූපතේ ගස් කොළං වලින් වටවී තිබූ නිස්කලංක නිවහනේ දී කිහිප වරක්ම එතුමා හමුවීමේ විරල අවස්ථාව මට හිමිවුණා. දිවියෙන් සමුගන්නට පෙර එතුමා සමග කළ එක් සංවාදයක් එතුමාගේ අවසාන පුවත්පත් සාකච්ඡාව විදියට ‘ඉරිදා ලක්බිම’ පත්‍රයේ පළකෙරුණා. (එතුමා සමග කළ සාකච්ඡාව මුළුමනින්ම කියවන්නට කැමැති නම් පහත දිගුවෙන් කියවන්න)

https://sililara.com/2011/05/23/%e0%b6%b7%e0%b7%8f%e0%b7%82%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b6%bd%e0%b7%8f-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%89%e0%b6%a9-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b8/

අපේ රටේ විචාරය සම්බන්ධයෙන් එතුමා කී කරුණු එතුමාගේ වචනවලින්ම මෙහෙමයි.

“විචාරය කියන එක ඕනෑම කෙනෙකුට කරන්න පුලුවන් කියලා හිතන එකලොකුම වැරැද්දක්. මොකද ඕන කෙනෙකුට සිනමාපටයක් , සිංදුවක් හෝ පොතක් ගැන මොනව හරි ලියන්න පුලුවන්නේ. ඒත් විචාරය කියන එක වෙනමම ඉගෙන ගන්න ඕන විෂයක්. විචාරය කියන්නේ මොකක්ද … යමක් විචාරය කළ යුත්තේ කොහොමද කියන එක ගැන ලංකාවේ සරසවිවලවත් උගන්වන්නේ නැහැ. එහෙම විෂයක් අපේ සරසවිවල නැහැ. ඒ කාලයේ තිබුණෙත් නැහැ. සාහිත්‍යය උගන්වනවා කියලා ඇත්ත වශයෙන්ම කළේ පොතේ ව්‍යාකරණය උගන්වන එකයි. ‘කව් සිළුමිණ’ ගත්තොත් ඒක සරල බසින් කියලා දීලා ව්‍යාකරණ කරුණු සාකච්ඡා කිරීම තමයි සරසවිවල සිංහල සාහිත්‍යය උගන්වනවා කියලා එදත් කළේ. මම උනත් සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තේ ඔය විදියට තමයි. ඒත් එයින් පිට පැනලා සාහිත්‍ය කෘතියක කතාව නෙමෙයි සැබෑ සාරය සොයන්න අපට හැකියාව ලැබු‍ණේ විචාරය කියන විෂය ඉංගිරිසි භාෂාවෙන් හැදෑරුවට පස්සේ තමයි. අපේ පුවත්පත්වල ඉංගිරිසියෙන් ගුණාත්මක විචාර ලිපි පළ වුණත් ඒවා කියවන පිරිස බොහොම සීමිතයි. අනෙක් අතට ඒ ලිපි ලියන පිරිස සිංහල පොත පත කියවන්නේත් නැහැ. ඒක කනගාටුවට කරුණක්. ඉන්දියාවේ ඉංගිරිසි උගතුන් හින්දි භාෂාවෙන් පළවෙන පොත පත කියවනවා. ඒත් අපේ රටේ සිංහල පොත පත කියවන ඉංගිරිසි උගතුන් පහුගිය කාලය පුරාවටම බිහිවුණේ දෙතුන් දෙනයි.”

කිසියම් කලාකෘතියක් ගැන විචාරයක් ලියන්නට නම් ඔබ පෙර අපර දෙදිග විචාර මූලධර්ම හදාරා තිබිය යුතුමයි. ඒ වගේම අදාළ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශ්ෂඥ දැනුමක් (specialized knowledge), අත්දැකීම් සමුදායක් වගේම ගැඹුරු අවබෝධයක් (deeper understanding) ඔබට තියෙන්නටම ඕනේ.

උදාහරණයක් විදියට ඔබ ඉංග්‍රීසි පොතක සිංහල පරිවර්තන කෘතියක් ‘විචාරය’ කරනවා නම් මුල් ඉංග්‍රීසි කෘතිය කියවා තිබිය යුතු වගේම ඒ කෘතිය ලියන්නට පදනම් වෙච්ච සමාජ පසුබිම – සංස්කෘතික පරිසරය ගැන මනා අවබෝධයක් ඔබට තිබෙන්නට ඕනේ. පෙර අපර දෙදිග නවකතා විචාර මූලධර්ම ගැන හදාරා තියෙන්න ඕනේ. මුල් කෘතිය ලියැවුණු භාෂාවේ භාෂා ප්‍රයෝග වගේම යෙදුම් ගැන මනා වැටහීමක් තියෙන්නට ඕනේ. අදාළ කෘතියේ කථන ශෛලිය (narrative structure), තේමාව (themes), ඊට බලපෑ ඓතිහාසික පදනම (historical context) ගැන වැටහීමක් නොමැති කෙනෙකු අතින් ලියැවෙන සටහනක කියෙන්නේ වැඩි ගැඹුරක් නැති (entertainment value) නිකම්ම නිකම් අදහස් පෙළක් විතරයි.

උදාහරණයක් විදියට ජෝර්ජ් ඕවිල් (George Orwell) ගේ 1984 කියන පොත ලියන්නට පදනම් වෙච්ච සමාජ පසුබිම, එහි ඓතිහාසික වැදගත්කම ගැන නොදන්නා කෙනෙකුට ඒ කෘතිය දැඩි ලෙස පීඩනකාරී (too depressing) ඒ වගේම අතාර්කික (unrealistic) කෘතියක් විදියට පෙනෙන්නට පුළුවන්. ඒත් විචාරකයන්ට ඒ කෘතිය ලෝක සාහිත්‍යයේ තවත් එක් මහාර්ඝ වස්තුවක්. ඒ වගේ උදාහරණය සිය දහස් ගණනක් දෙන්න පුළුවන්.

අපට ඉතාම දුර්වල සහ නීරස ලෙස පෙනෙන සිනමා පටයක්, සිනමාවේදය (cinematography) සිනමා සංස්කරණය, සිනමා කතා කලාව (storytelling) ගැන ගැඹුරින් හැදෑරූ කෙනෙකුට අති විශිෂ්ට සිනමා නිර්මාණයන් වෙන්නට පුළුවන්. ඒකට හේතුව ඔවුන් ඒ සිනමා කෘතිය විචාරයට ලක් කරන්නේ සිනමාව, සිනමා සාහිත්‍යය සහ එහි කලාත්මක භාවය කියන සෑම සාධකයක්ම සලකා බැලීමෙන් පස්සේ නිසයි.

නූතන කලා සම්ප්‍රදායන්, කලාකරුවාගේ අභිලාශය වගේ සියුම් තැන් ග්‍රහණය කර ගන්නට අපොහොසත් වෙන කෙනෙකුට කලාගාරයේ සිතුවම් අතර තියෙන නූතන අමූර්ත සිතුවමක් (abstract) කිසිම වැඩකට නැති විකාරයක් විදියට පෙනෙන්නට පුළුවන්.


 Duchamp ගේ ලෝක ප්‍රකට ‘කලා නිර්මාණය’ – Fountain. ඔහු එයට අත්සන් තැබුවේ  “R. Mutt, 1917” නම් අන්වර්ථ නාමයකිනි.

මේකට තියෙන සම්භාව්‍ය උදාහරණයක් තමයි Marcel Duchamp ගේ Fountain කියන ‘කලා කෘතිය. ඒක ඇත්තටම මුත්‍රා කිරීමට නිර්මාණය වුණු පෝසිලේන් කැසිකිලි පෝචිච්යක් උඩු යටිකුරු කරලා.  ඔහු ඒක මිලදී ගත්තේ නිව්යෝර්ක් නගරයේ ගෙඩනැගිලි අමුද්‍රව්‍ය විකුණන ‘හාඩ්වෙයාර්’ එකකින්. “ඒක කලා කෘතියක් නෙමෙයි” (“it’s not art”) බොහොම දෙනෙක් ඒ කාලයේ අවි අමෝරා ගත්තා. කලා ප්‍රදර්ශනයකට ඔහු මේ කැසිකිලි ආකෘතිය මුලින්ම ඉදිරිපත් කළේ 1917 දී. ඒත් වැඩි කාලයක් යන්නට කලින්ම කලා විචාරකයන් එය හඳුනාගන්නේ 20 වැනි සියවසේ වඩාත්ම බලපැමක් කළ කලා  නිර්මාණයක් විදියට. Duchamp මේ රැඩිකල් ප්‍රවේශය Dadaism නමින් නූතන කලා සම්ප්‍රදායක් බිහිකළා. Duchamp කැසිකිලි ආකෘතිය ප්‍රදර්ශනය නොකරන කලාගාරයක් අද ලෝකයේ නැහැ. හැම විශිෂ්ට කලාගාරයකම ඒ ආකෘතිය අද ඔබට දකින්න පුළුවන්. ‘කලාව යනු කුමක්ද?’ කියන මාතෘකාව යටතේ ලෝකය පුරාම සරසවිවල කෙරෙන සෑම දේශනයකටම මේ ආකෘතිය ගැන කතා කරන්නට අමතක කරන්නේ නැහැ. ඒත් සාමාන්‍ය පුද්ගලයෙකුට‌ නම් මේක නිකම්ම නිකම් කැසිකිලි ආකාතියක් විතරයි. (ඇයි Duchamp මේ කැසිකිලි ආකෘතිය කලා නිර්මාණයක් විදියට ඉදිරිපත් කළේ කියලා ඔබට හිතෙනවා නම්, ඒකට හේතුව තමයි කලාකෘතියක් කියලා සම්ප්‍රදායිකව පිළිගත්ත නිර්ණායකයන්ට අභියෝග කරන්නට ඔහුට උවමනා වුණා. Duchamp ගේ මේ කැසිකිලි ආකෘතිය හින්දා කලා කෘතියක දී අවධානය යොමු කෙරෙන්නට ඕනේ, ඒ කෘතිය විතරක්ම මතුපිටින් අරගෙන නෙමෙයි ඒක යටින් දිවෙන අදහස් මතිමතාන්තර වලට (focus from the object itself to the ideas behind it) කියන කාරණාව යුරෝපීය සමාජයට තදින්ම දැනුණා.

සරලම උදාහරණයක් ගනිමු. අවන්හලක කෑමක් රස බලලා, මං ඊට අකමැති වුණා නම්, ගෙවූ මුදල ගැන අමනාපයෙන් අවන්හල ගැන බොහොම නිර්දය විවේචනයක් ගූගල් සටහනක් ලෙස තබන්නට මට හිතෙන්න පුළුවන්. ඒත් අත්දැකීම් බහුල උගත් සූපෙව්දියෙකු ඒ ආහාරය ගැන සිය මතය පළ කරන්නේ ඒ ඒ ආහාරයන්ට ආවේණික සූප ශාස්ත්‍ර මූලධර්ම, ඒ ආහාරයට පසුබිම් වූ රටේ ආහාරය පිළියෙල කරන්නට යොදා ගන්නා ක්‍රමවේදය (culinary standard and local authenticity) කියන සෑම සාධකයක්ම සලකලා බලලයි. මට නීරස වුණු ආහාරය සූපවේදියාට ඉස්තරම්ම නිර්මාණයක් වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ, මං ආහාරයක් රස බැලිය යුත්තේ සූපවේදියාට ඕන විදියට කියන එක. මේ කියන්නට උත්සාහ කරන්නේ අත්දැකීම් බහුල සූපවේදියාගේ මතය ඒ ආහාරය සම්බන්ධයෙන් සැබෑ ‘විචාරයක්’ වුණත්, මගේ විවේචනය මගේ පෞද්ගලික අත්දැකීමක් විස්තර කරන නිකම්ම නිකම් ලියවිල්ලක් විතරයි කියන ඒක

ඔබ නැරඹු සංගීත සංධ්වනියක් ගැන ඔබේ ‘අදහස්’ කියන්නට ඔබට පුළුවන් වුණත් ඒ ගැන ‘විචාරයක්’ කරන්නට නම් සංගීත සංධ්වනියක තිබිය යුතු ශිල්පීය ලක්ෂණ, හඬ පාලනය, වාදක ශිල්පීන් ස්ථානගත කර ඇති ආකාරය, වේදිකාවට පතිත වන ආලෝක ධාරාවන් සංගීතයේ තීව්‍රතාව වැඩි දියුණු කිරීමට බලපාන ආකාරය වගේ ‌බොහෝ කරුණු කාරණා ගැන මනා පුහුණුවක් සහ දැනුමක් ඔබට තියෙන්න ඕනේ. සංගීත විෂය ගැඹුරින් ප්‍රගුණ කරපු කෙනෙකුට විතරයි වාදනයේ සහ ගායනයේ සියුම් තැන් ග්‍රහණය කරගන්න පුළුවන්.

මේ නිසා දකින දකින හැම දේටම තමන්ගේ අදහස් පළකරන්නට කලින් ඒ විෂය ගැන තමන් මොනවද දන්නේ කියන එක ගැන දෙසැරයක් හිතන එක අපි කාට කාටත් හොඳයි.

බල්ලාගේ කාර්යය බූරුවා කරන්නට යාමේ ආදීනව දෙකක් තියෙනවා. එකක් තමයි කාර්යය හරි හැටි නොකෙරීම. දෙවැන්න තමයි බලා සිටින්නන්ගේ හාස්‍ය්‍යට බූරුවා ලක් වීම. තමන් මෙලෝ හසරක් නොදන්නා කාබනික පොහොර ගැන කතා කරන්නට ගිහින් අන්තිමේ දී තමන්ගේ විෂය ක්ෂේත්‍රය ගැනවත් කතා කරන්නට එළියට බැහැ ගන්න බැරි විදියට හාස්‍යයට ලක් වූ විශේෂඥ දොස්තර හොඳම උදාහරණයක්.

 

(ඉහළම ඡායාරූපය – බෙල්ජියම් කලාකරුවෙකු වන Thomas Leroy ගේ “The Weight Of Thought” නමින් නම් කර ඇති මේ ප්‍රතිමාව ප්‍රායෝගිකත්වයෙන් තොර අදහස්වලින් බර වූ ‘බක පණ්ඩිතයන්’ ගැන කදිම සංකේතයක්.)

 

One thought on “වක්කඩ ළඟ විචාර

Add yours

  1. කාගේත් අවධානය යොමුවිය යුතු ලියවිල්ලක්. ජනප්‍රිය ගීත ගැන නොයෙකුත් විකෘති අර්තකථන කොතෙකුත් දක්නට ලැබෙනවා. ඒවා ජනගත වී සත්‍යය ලෙස පැතිරෙනවා.

    Liked by 1 person

Mahinda Abeysinghe වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑