ජාති ආලයේ තියරිය

“ පාදඩයකුට ඇති අන්තිම රැකවරණය ජාතිආලය හෙවත් දේශප්රේමයයි ” (The last refuge of a scoundrel is patriotism) යනුවෙන් ආචාර්ය සැමුවෙල් ජොන්සන් පැවසුවේ බොහෝ කාලයකට පෙරදීය. ඔහු විසින් ඒ ප්‍රකාශය කරන ලද්දේ අදින් වසර දෙසියයකටත් පමණ පෙර එක්තරා සවස්වරුවක දී ය.

වසර හැට හතරක “ නිදහස  ” සමරන මේ මොහොතේ ආචාර්ය සැමුවෙල් ජොන්සන්ගේ ඒ අදහස් යළි යළිත් සිහිපත් වන්නේ ආචාර්ය ජොන්සන් එය කවර සමාජ කොටසක් ඉලක්ක කරගෙන පැවසුව ද ලාංකීය සමාජයට නම් ඒ අදහස සියයට සියයක්ම වලංගු වන නිසාය.

“ නිදහස ” නම් වූ මේ අකුරු හතර ලංකාවේ නිල නාමයේ සැරසිල්ලක් ලෙස එක් වූ දා සිටම අපේ රටේ දේශපාලනය මුලුමනින්ම පදනම් වූයේ ජාතිආලය හෙවත් දේශප්රේමය තුළින් ලාංකීය ඡන්දදායකයින් ගොනාට අන්දවන්නේ කෙසේද යන තියරිය මත පිහිටාය. සිංහල දෙමළ සහ වාමාංශකියන් යැයි කියාගන්නා දේශපාලකයන් පමණක් නොව ප්රභාකරන් පවා මිනීමැරුවේ ජාති ආලයේ නාමයෙනි. ප්‍රභාකරන්ගේ ලේ පිපාසිත මානසිකත්වය ලොවට රහසක් නොවුණ ද එදා මෙදාතුර රට පාලනය කළ සහ පාලනය කරන සිංහල දෙමළ දේශපාලකයන්ගේ නාමයෙන් මිය ගිය අහිංසක සිංහල දෙමළ තරුණ තරුණියන්ගේ අවසන් සුසුම් සමාජයේ විරෝධත්වයකින් තොරවම හිස් වාතලයට මුසුව ගියේ ඒ සියලු ජීවිතවල ලන්සුව දේශපාලකයන්ගේ දේශප්රේමී ගණ තිර මතින් වැසී ගිය බැවිනි.

කන්නන්ගර අධ්‍යාපන ඇමතිවරයා නිදහස් අධ්‍යාපන පනත ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ ඈත යුගයේ දී පවා දේශප්රේමී ජනතා නායකයන් ලෙස සලකන බණ්ඩාරණායකවරුන් මෙන්ම සේනානායකවරුන් ඊට එරෙහිව එක් කදවුරකට ගොනු වූයේ නිදහසේ පත පොත ඇසුරු කරන්නට හැමට ඉඩකඩ ලැබුණොත් වත්තේ පොල් කඩන්නටවත් කෙනෙක් ඉතිරි නොවනු ඇති බවට සිල්ලර බාල තර්ක ඉදිරිපත් කරමිනි. මැතිණියගේ යුගයේ දී ටයර් සෑය නම් වූ අලුත්ම සංකල්පය බිහිකරනු ලැබුවේ ද දේශප්රේමයේ නාමයෙනි. ඒ යුගයේ දේශප්රේමය හමුවේ හැට දහසකට අධික තරුණ ජීවිත පිපෙන්නටත් පෙර පරව ගියේය. එයින් ඇරඹී තරුණ සංහාරය අසූව දශකයේ දී උච්ච අවස්ථාවට පත් වූව ද ඒ තරුණ ජීවිතවල වටිනාකම අද ශේෂ වී ඇත්තේ ඒ වෙනුවෙන් ලියැවුණු කවි ගී පද පේළි හා නවකතාවල යල් පැන ගිය වස්තූ බීජයන් ලෙසින් පමණි. මේ නිසා අද දවසේ වුවද සුදු වෑන් රථයකින් යළි නොඑන ගමන් යන කවරකුගේ වුව ද ජීවිතයේ ඉරණම සටහන් වන්නේ දේශප්රේමය වෙනුවෙන් නොඑන ගමන් යන්නකු ලෙසිනි.

කොයි කවර හැටියෙන් වුවත් හැට හතර වෙනි නිදහස සමරන මේ මොහොතේ අපේ රටේ දේශප්රේමය ක්රියාත්මක වන්නේ හරිම අපූරු ආකාරයටය. ඒ කුමන්ත්‍රණ නම් වූ නවතම තියරිය යටතේය. ඒ අනුව රටේ සිදුවන හැම නස්පැතිතියක්ම සිද්ධවන්නේ කුමන්ත්‍රණයක් නිසාය. උසස් පෙළ විභාගයට මුහුණ දුන් දෙලක්ෂ තිස් නව දහසක් වූ දරුවන්ගේ අනාගාතය විනාස කෙරුණේ තකතීරු ඇමතිවරුන් සහ විභාග කොමසාරිස්වරයාගේ මන්ද බුද්ධික ඔල මොට්ටලකම් නිසා නොව විභාග පිළිතුරු පත් පරීක්ෂා කළ ගුරුවරුන්ගේ කුමන්ත්‍රණ නිසාය. හැම අතින්ම බිද වැටුණු සමාජයක දරුවන් සතුව තිබූ එකම ගැලවිල්ල වූ අධ්‍යාපනය නම් වූ මල්පෙති පවා කිළිටි අත්වලින් තලා පොඩි වී යද්දී අධ්‍යාපන ඇමති දෙබාන එය “ සුලු දෙයක් ”යැයි මාධ්‍ය සාකච්ඡා ඔස්සේ පවසන ආකාරය පිළිකුළෙන් යුක්තව බලා සිටිනු හැර අන් යමක් කරන්නට මේ දේශප්රේමී සමාජය තුළ ඉඩ කඩක් නැත. සමස්ත සිසු පරපුරටම දත නියවා හිටපු විභාග කොමසාරිස්වරයා විභාග දෙපාර්තමේන්තුවේ පඩි පෙළ බැස යද්දී නව කොමසාරිස්වරයා දෙකට නොව තුනටම නැවී වැද වැටී අධ්‍යාපන ඇමතිවරයා හමුවේ වැඩ භාරගත් අයුරු දුටු කවරකුට වුවද පිළිකුළට එහා ගිය යමක් ඉතිරි වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. කොයි කවර හැටියෙන් වුවත් රට ගිනිබත් කළ උසස් පෙළ අවුල වැනි යමක් බටහිර රටක සිදු වන්නේ නම් අදාළ ඇමතිවරයා ඉල්ලා අස්විම සාමාන්‍ය පිළිවෙතක් නොවන්නේ දැයි පුවත්පත්කලාවේදියෙකු ඇසූ පැනයට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා දුන් පිළිතුර නම් සැමුවෙල් ජොන්සන්ගේ කතාව මෙන්ම නූතන මහාවංශයේ රන් අකුරින්ම ලියැවිය යුතු සටහනකි. එනම් ; වෙනත් රටවල එසේ සිදුවූවත් මේ ලංකාව නිසා එසේ ඉල්ලා අස්වීමේ හේතුවක් නැති බවය. විශ්රාම ගිය ටියුෂන් ගුරුවරයකු වූ ඇමතිවරයාගේ කතාවෙන් සමස්ත ලාංකීය දේශපාලනයේ ප්රතිපත්තිගරුක ස්වභාවය සහ අද දවසේ දේශපාලකයන්ගේ සාදාචාරය මැනවින් හෙළිදරව් කෙරෙන බැවින් ඒ සම්බන්ධයෙන් වෙනත් කිසිදු අදහසක් දැක්විය යුතු නොවේ.

(එම වීඩියෝව පහත සබැදුමෙන් නැරඹිය හැකිය)

http://www.youtube.com/watch?v=VXVGnUrtacg&feature=share

උසස් පෙළ අවුල් පමණක් නොව අද දවසේ බඩු මිල පවා ඉහළ යන්නේ වෙළෙදුන්ගේ සහ ගොවීන්ගේ කුමන්ත්‍රණ නිසාය. පාන් මිල ඉහළ ගියේ බේකරි හිමියන්ගේ සටකපට කම් නිසාය. බස් ගාස්තු ඉහළ යන්නේ බස් රථ හිමියන්ගේ කුමන්ත්‍රණ නිසාය. රටට කුඩු ගලා ගෙන එන්නේ අහිංසක ඇමතිවරුන් ජනතාවගේ වෛරයට ලක් කරවීමේ කුමන්ත්‍රයක ප්‍රතිපල නිසාය. බයිසිකල් පැද ගෙන එන තරුණයන් ඇමති පුතුන්ගේම වාහනවලට යට වන්නේ හිතාමතාම සිදු කරන කුමන්ත්‍රණ නිසාය. චීවරධාරීන් සිදු කරන සියලු දූෂණයන් සිද්ධවන්නේත් අන්‍යාගමික කුමන්ත්‍රණ නිසාය. ඒ තරමටම මේ සිරිලක් ද්වීපය කුමන්ත්‍රණයන්ට ගොදුරු වී හමාරය.මේ නිසාම රටේ පාලකයන්ට විශේෂයෙන්ම කරන්නට කියා කිසිවක් නැත. මන්දයත් පාලන තන්ත්‍රයම කුමන්ත්‍රණවලට හසු වී ඇති බැවිනි. අනෙක් අතට ඔබාමාගේ සිට ලොව සියලු බලවත් රටවල නායකයන් නින්දට යන්නේ සිරි ලංකාව නම් වූ ආසියවේ මේ නැගී ගෙන එන ජාතික බලවේගයන්ට මුහුණ දෙන්නේ කෙසේදැයි යන්න ගැන කණස්සල්ලෙන් ඔලුව පුරවා ගනිමිනි. මේ නිසා උසස් පෙළ විභාගයේ ප්‍රතිපල සකස් කරන පරිගණකයට වෛරසයක් ඇතුලු කර රටේ අනාගත බලවේග විනාශ කිරීම සී අයි ඒ නිලධාරීන් සහ කේ ජී බී ඔත්තුකරුවන්ට සුලු දෙයකි. (එවැනි කොණක් අල්ලා ගන්නට ආණ්ඩුවේ මාධ්‍යයන්ට තවමත් ඉඩක් නොලැබීම ඇත්තෙන්ම පුදුමයකි). විකිලීක්ස් නිර්මාර්තෘ ජුලියන් අසාන්ජේ ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු බලධාරීන්ට යවනු ලැබූ කේබල් පණිවිඩ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්රසිද්ධියට පත් කළේ අසාන්ජේ අපේ කාලයේ වීරයකු බවට පත් කරමින් ලියැවුණු විශේෂාංග ලිපි ද සමගිනි. ඒත් ඊට සමගාමීව රටේ පාලකයන්ගේ සහ ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන්ගේ වත්කම් කොමිස් මුදල් සහ සියලු අක්‍රමිකතාවන් පිළිබද රහස් තොරතුරු විකිලීක්ස් මගින් ගලාගෙන එද්දී එක් රැයින්ම ඔහු දුෂ්ටයකු බවට පත්වන්නේ ද එවැනි “ රට කුපිත කරවන ආකාරයේ ” රහස් හෙළි කිරීම නිශ්චිතවම කුමන්ත්‍රණයක් වන නිසාය.

දේශප්රේමයේ දැවැන්ත කඩතිරයෙන් සියල්ල වසා දැමීමේ කලාව අපේ දේශපාලකයන් මෙන්ම පුරාණ පාලකයන් විසින් ද ප්‍රගුණ කරනු ලැබ ඇත්තේ අද ඊයේ නොවන බව සැබෑය. එහෙත් එය මෑත ඉතිහාසයේ තරම් පුලුල් ලෙස භාවිතයට ගත් අවස්ථාවක් මහාවංශයේ පමණක් නොව වෙනත් කිසිදු ඉතිහාස කතාවක් තුළින් හදුනා ගත නොහැකිය.

1948 දී අප නිදහස ලබා ගත්තේ ලේ බිදුවකුදු නොහැලීමෙන් බව අපේ පාසල් පොත පත දරුවන්ට කියා දෙන්නේ මහත් වූ අභිරුචියෙනි. එනම් එහි අනෙක් අර්ථය වන්නේ අද අපට ලැබී ඇතැයි කියන නිදහස අපට සුද්දන්ගෙන් තෑග්ගක් ලෙසින්ම ලැබුණක් මිස සමකාලීන සෙසු යටත්විජිතයන්හි මෙන් වීරත්වයෙන් ලබාගත්තක් නොවන බවය. තවත් සරලව අර්ථ දක්වන්නේ නම් වෙල්ලස්ස කැරැල්ල ආදී වූ සැබෑ ජන අරගලයන්ට දිවි පුදන වීරෝදාර පරපුර නිමා වී “ සුද්දන්ට දිවි පුදන ” පරපුරක් නව දේශපාලන පැලැන්තියක් ලෙස බිහි වූ යුගයක නිදහස තෑග්ගක් ලෙසින්ම දෙනු විනා අන් යමක් සිදුවෙතැයි අපේක්ෂා කළ යුතු වන්නේද…? එබැවින් නිදහස නම් වූ එහි සැබෑ (අ)මිහිරි රසය අපි අද ඉහළින්ම භුක්ති විදිමු.

දෙවැනි ලෝක මහා යුද්ධයේ දී හිරෝෂිමා සහ නාගසාකි යන නගර මුලුමනින්ම පොළොවට සමතලා කොට ආර්ථිකය සහමුලින්ම විනාශ කර දැමුව ද ජපානය අද මුලු ලොවම විස්මයට පත් කළ ආර්ථික ලෝකයේ දැවැන්තයෙකි. 1923 වසරේ ඔක්තෝබර් මාසය වනවිට බර්ලින් නගරයේ පාන් ගෙඩියක මිල ජර්මන් මාක් බිලියන 200 ක් දක්වා ඉහළ යන තරමට අතිශය දරුණු ආර්ථික කඩා වැටීමක් ජර්මනියේ විය. එහෙත් අද ජර්මනිය යනු සමෘද්ධිමත් රටකි. අපට වසරකට පෙර නිදහස ලැබූ ඉන්දියාව අභ්‍යවකාශ තරණයට ද අත ගැසුවේ මීට දශකයකටත් පෙරදීය. ඒ තම රටට පමණක් නොව තම ජනතාවට ද ආදරය කළ සැබෑ නායකයන් ඒ රටවලින් බිහි වූ බැවිනි. මුලු ලොවම කම්පා කළ 9/11 සිද්ධියේ දී ඇමරිකානු සෙනේට් මණ්ඩලයත් ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් යන සියලුම මන්තිරිවරුන් සමස්ත ඇමරිකානු ජාතිය වෙනුවෙන් එකාවන්ව නැගී සිටියේ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ තමන්ගේ දේශපාලන ගිනුම්වලට බැර කර ගත හැකි ජන්ද ලාභාංශ ගැන තැකීමකින් තොරවය. එහෙත් මෑත ලාංකීය ඉතිහාසයේ කම්පාසහගතම අත්දැකීම වූ සුනාමි ඛේදවාචකයේ දී පවා එකම එක දවසකටවත් ජනතාව වෙනුවෙන් එකට පෙළ ගැසෙන්නට නොහැකි වූ රටක ජනතා නියෝජිතයන්ගෙන් කවර අභිමානයක් බලාපොරොත්තු විය හැකි ද…?

“ පබාලා ” රට කරවන්නට තීන්දු ගන්නා අතර “ අබාලා ” රට කරවන්නට උපදෙස් දෙන යුගයක පුරවැසියන් ට බබාලා ලෙස බලා සිටිනු හැර නැගී සිටින්නට ඉඩක් නොමැත්තේ ඒ සියලු ජනතා අවදිවීම් කුමන්ත්‍රණ ලෙසින් සැරසිලි කරන්නට දේශප්රේමීන් ලක ලැහැස්ති වී සිටින බැවිනි. එහෙත් ඒ දේශප්රේමීන්ගේ දූ පුතුන් ඉගෙනුම ලබන්නේ විදේශයන් හිදීය. වාමාංශික යැයි කියාගන්නා වාසිදේවලාගේ පමණක් නොව ජාතික චින්තනය ගැන නන් දොඩවනන්නන්ගේ පවා දූ දරුවන් සිටින්නේ විදේශයන්හිය.

අද රටට කුඩු ගෙන්වන්නේ නිකම්ම නිකම් මන්තිරිවරුන් නොව ඇමතිවරුන්ගේම අනුග්‍රහයෙනි. සංචාරයට එන විදේශීය ලදුන් දූෂණය කරන්නේ නිකම්ම නිකම් පළාත් සභා මන්තිරිවරුන් නොව පළාත් සභා සභාපතිවරුන්ය. දූෂණ වංචාවන්ට පමණක් නොව මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණයන්ට රටේ වැඩිම චෝදනාවන් එල්ල වී ඇත්තේ ජනතා නියෝජිතයන් යැයි කියාගන්නා පිරිසටය. ඒ අතර මන්තිරිවරුන් , ඇමතිවරුන් පමණක් නොව ඇමති දූ පුතුන් සහ ඔවුනගේ සිය නෑ පරපුර ද අන්තර්ගතය. නිදහසේ  “අභිමානයට ”ඇති එකම කරුණ නම් ජනගහනයට සාපේක්ෂව ලොව විශාලතම මහජන නියෝජිත පරපුර අප සතුව තිබීමය.

ඒ දැවැන්ත මහජන නියෝජිතයන්ට පිංසිදු වන්නට ගෙවී ගිය වසර 64 තුළ දී අපට උරුම ව ඇත්තේ කුමන ඉරණමක් ද…? 1948 වන විට අප යටත් වී සිටියේ එකම ජාතියකට පමණය. අද අප සමස්ත ලෝකයටම යටත්ය. එදා ඉන්දියන් සාගරයේ මුතු ඇටය අද අරාබිකරයේ කදුලු බිදුව වී අවසන්ය. 64 වසරක ජාතික අභිමානය වෙනුවෙන් ජාතික කොඩි ලෙළ දෙන රටක භාණ්ඩාගාරයේ බරණි පිරී යන්නේ මැද පෙරදිග වහල්භාවයට සින්න වූ අපේ පරපුරේ කාන්තාවන්ගේ කදුලු බිදු වලිනි. 1948 වන විට අයවැය අතිරික්තයක්ව තිබූ ලංකාව අද ලොව දුප්පත්ම රටවල් අතරට එක්ව ඇත්තේ 64 වසරක ජාතික අභිමානයේ මහිමයෙනි. සංවර්ධනයේ නාමයෙන් සිදුවන්නේ දූෂණයන්ය. 1948 සිටම මේ දක්වා ක්රියාත්මක වූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති කොමිස් ව්‍යාපෘති බව නොරහසකි. 1948 පසු ක්රියාත්මක වූ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස අර්ථ දැක්වෙන මහවැලි ව්‍යාපාරයට යට කළ මුදලින් සියයට 30 ක් ම වෙන් වූයේ කොමිස් සදහා බව හෙළිදරවු වූයේ අද ඊයේ නොවේ. එක්සත් රාජධානියේ විදේශ සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්තාවන්ට අනුව ලොව අසාර්ථකම ව්‍යාපෘති සදහා ඉදිරිපත් කර ඇති හොදම උදාහරණයක් වන්නේ ද ලංකාවේ වික්ටෝරියා ව්‍යාපෘතියයි. දුප්පත්කම තුරන් කර සමෘද්ධිමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් බිහි කළ බව කියන සමෘද්ධි අධිකාරියේ වියදම්වලින් සැබෑ වශයෙන්ම දුප්පත්කම තුරන් කිරීම සදහා වැය කළේ මුදල්වලින් සියයට 11 ක් පමණක් බවත් , ඉතිරි මුදලින් සියයට 89 ක්ම වැය වූයේ එහි නිලධාරී පැලැන්තිය නඩත්තුවට සහ ඔවුන්ගේ සුඛ විහරණය සදහා බව මීට දශකයට පමණ ඉහත දී හෙළි දරවු කර තිබිණ. ඒ තරමටම අපේ දේශපාලනය සහ අල්ලස අතර ඇත්තේ ලේ සබදතාවකි. මේ නිසාම අල්ලස් කොමිසම යන්න අද දේශපාලකයන්ට එක්තරා අකාරයක විනෝද සමයකි.

සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ ජනතාවට නොලැබෙන්නේ නම් එහි ප්‍රතිලාභ බැර වන්නේ කවර ගිණුම්වලට ද යන්න රහසක් නොවේ. යුද්ධයට කැප කළ අති විශාල ධනස්කන්ධය අද දවසේ සංවර්ධනය සදහා යෙදවෙන්නේ නම් එහි ප්‍රතිපල ජනතාවට දැනිය යුතුය ; ඔවුහු විදිය යුතුය. පාන් ගෙඩියක හෝ මිල අඩු නොවන්නේ නම් අඩුම තරමින් විරැකියාව හෝ අඩු විය යුතුය. එහෙත් සිදුවන්නේ බඩුමිල , විරැකියාව පමණක් නොව ඇමතිවරුන් සංඛ්‍යාව පවා වැඩි වීම පමණය. රටේ සාමාන්‍ය පුරවැසියෙකුට පය තබන්නට නොහැකි නම් නෙලුම් පොකුණු ඉදි වී කුමකට ද…? හාමතින් පෙළෙන නිසාම පාසල් යා නොහැකිව දරුවන් දස දහස් ගණනින් සිටින රටක අධිවේගී ගමන් මාර්ග ඉදි වී කුමකට ද …? පාසල් සිය ගණනින් වැසී යන රටක ආසියාවේ විශාලතම කුලුණු ඉදි කර කුමකට ද…?

“ නිදහස ” යන වචනය එදා මෙන්ම අදත් සියලු කල්හිම පාලකයන් අපේ ජනතාව ගොනාට අන්දවන්නට යොදා ගන්නා ඔවුනගේ දේශපාලන ශබ්දකෝශයේ තවත් එක් වචනයක් පමණකි. එහෙත් යුගයේ ඛේදවාචකය වන්නේ සිදුවීම් පෙළ ගැසෙන තෙක් බලා සිටීමේ ආස්වාදය අද දවසේ අපේ චන්දදායකයන් සිය කැමැත්තෙන්ම විද දරා ගනිමින් සිටීමය. මේ සියලු සිදුවීම් සමුදාය දේශපාලන පක්ෂ රාමුවෙන් මිදී සිය හදවතින්ම අර්ථ විවරණය කර ගත හැකි වූ දිනයක දී රටට පමණක් නොව තමන්ගේ හදවතට ද සැබෑ නිදහසේ අභිමානය භුක්ති විදිය හැකි වනු ඇති බව නම් නොකියාම බැරිය.

7 thoughts on “ජාති ආලයේ තියරිය

Add yours

  1. “ පාදඩයකුට ඇති අන්තිම රැකවරණය ජාතිආලය හෙවත් දේශප්රේමයයි ” කොයි තරම් නම් දුර දක්නා කියමනක්ද? වත්මන් සමාජ‍යේ අප දකිනා කියනා දේ මේ වදන දස දහස් වාරයක් සනාථ කරනවා නොවේද!ඉතාම අගේ ඇති කාලීන ලිපියක්!

    කැමතියි

  2. මේවා අපි කොච්චර ලිවුවත් තේරුම් ගන්නෙ කීයෙන් කී දෙනාද ?
    ආයෙම මැතිවරණයක් එනකොට අපේ උන් ඔක්කොම උඩ දාගෙන ගිහින් ඡන්දෙ දෙන්නෙ අර මැරයොන්ටම තමයි…
    මට නම් ඒ ගැන ලිවිල්ල ඇති වෙලා…
    අපට ඕන සංවර්ධන විප්ලවයක් වත් ජාතික විප්ලවයක්වත් නෙවෙයි… ආකල්පමය විප්ලවයක්…
    ජලානය හැදුනෙ නිකං නෙවෙයි.. මිනිස්සු නොමිලයේ දවසට පැයක් රට වෙනුවෙන් වැඩ කරන්න, තමන්ගෙ රට හදන්න ඕන කියන ආකල්පයෙන් වැඩ කරපු නිසා..
    අපේ එවුන් බලන්නේ කාර්යාලයේ තියෙන කොළ බන්ඩලේ හරි ගෙදර ගෙනියන්න… එහෙම ආකල්ප තියෙන රටක් මේ ගානට තියෙන එකත් ලොකු දෙයක්…
    කොහොම නමුත් මගේ හිතේ කැකෑරෙමින් තිබුණ අදහස් සියල්ලම වගේ බොහොම අපූරුවට කැටි වෙලා තියෙනවා මේ ලිපියෙ…
    දිගටම ලියන්න…. ජය !

    කැමතියි

    1. සහතික ඇත්ත… බටහිර රටවල දියුණුවේ රහසත් ඉහළ ඉදන්ම පහළට සේවය වෙනුවෙන් අවංකව කැප වෙලා වැඩ කිරීමයි. එත් අපේ රටේ වෙන්නේ ඉහළ ඉදන් පහළටම බොරුව.. වංචාව… එහෙම බැලුවම ඔබ කියනවා වගේම රට මෙහෙමවත් ඉතිරි වෙලා තියෙන එකත් ලොකු දෙයක්…ලිපිය මූණු පොතේ දැම්මට බොහොම ස්තුතියි මිත්රයා…!

      කැමතියි

  3. ඇත්තම කතාව මේකයි.අපේ සමාජය තුල වෙසෙන මිනිසුන් මිනුසුන් නෙමෙයි. තමුන් ගෙ ශක්තිය තමුන්ම නිපදවාගැන්මට උත්සාහ කරන ආත්මාර්ථකාමී කුඩා ජීවිත..
    මේ වගේ ජීවිත රාශියක් එකතු වුනා කියල කිසි වැඩක් නෑ..
    මේ මිනිස්සු තමුන්ට අදාල නැති දේවල් ගැන හිතන්නෙම නෑ..ඒ වගේ අය එක්ක විප්ලව කරන්න ඉතා හොඳ නිර්මාණශීලි දැක්මක් තියෙන්නෙ ඕනි..
    මොකද හැම වෙලේම තමුන්ට ලැබෙන දෙයක් මුලට දාන්න ඕනි නිසා..

    කැමතියි

    1. ඉතාම සිල්ලර අරුමෝසම් වලින් අපේ ජනතාව පහසුවෙන්ම රවට්ටන්න පුළුවන් බව අපේ දේශපාලකයන් හොදටම දන්නවා. ඒ නිසා ඔබ කියන විදියටම අපේ සමාජයට දැනෙන විදයේ වෙනසක් කරන්න නම් අනිවාර්යයෙන්ම ඉතාම ඉහළ නිර්මාණශීලී දැක්මක් තියෙන වැඩ පි‍ළිවළෙක් ඕන කරනවා. ඒත් එවැනි වැඩ පිළිවෙළක් ගොඩ නගන්න නිර්මාණශීලී නායකත්වයක් අපට කොයින්ද….? ඔබේ අර්ථවත් අදහසට බොහොම ස්තුතියි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑