බලන්න මේ සටහනට අමුණලා තියෙන නිර්මාණ දෙක දිහා.
ලෝකයම තිගැස්මකට ලක් කළ නිර්මාණ දෙකක්. එකක් සිතුවමක්. අනිත් එක ඡායාරූපයක්. මේ දෙකම ජාත්‍යන්තර මට්ටමේ තරගවලින් ප්‍රථම ස්ථානය ලබපු නිර්මාණ.
මුලින්ම කතා කරමු ඔය මුලින්ම පෙනෙන සිතුවම ගැන. ප්‍රංශ භාෂාවෙන් ඒ සිතුවම නම් කරලා තිබුණේ “Théâtre D’opéra Spatial” කියන නමින්. “අභ්‍යවකාශ ඔපෙරා රඟහල” (“The Space Opera Theater”) වගේ තේරුමක්. Jason Allen කියන නිර්මාණකරුවා විසින් නිර්මාණය කරන ලද මේ සිතුවම ඔය කිව්ව නමට හරියටම ගැලපෙනවා. ඒකට හේතුව මේ සිතුවමෙන් පෙන්වන්නේ අනාගතයේ බිහිවෙතියි සිතන්නට පුළුවන් විශාල ඔපෙරා ශාලාවක්. සිතුවමේ දැක්වෙන මේ පාරම්පරික ඔපෙරා නෘත්‍යාගාරයට, අභ්‍යවකාශයට විවෘත වෙන ගෝලාකාර දොරටුවක් තියෙනවා. ඒ දොරටුව අතරින් ඔබ දකින්නේ සිහිනයෙන් වගේ කාන්දු වෙන ආලෝකයක්. තරමක් ගැඹුරට කා වැදුණු වර්ණ සංකලනයකුත් තැවරිලා තියෙනවා. හරියට විද්‍යා ප්‍රබන්ධයක් වගේ. ඒ හින්දා මේ සිතුවමට සමහරු “Space Theatre” (“අභ්‍යවකාශ රඟහල”) කියලත් කියනවා. ඇත්ත…. මේ සිතුවම දිහා බලාගෙන ඉන්න කොට වචනයෙන් කියාගන්නට බැරි ගුප්ත හැඟීම් හිතට එනවා තමයි. යුරෝපයේ සම්භාව්‍ය නෘත්යාගරයක හුරු පුරුදු ගතියක් වෙලාවකට පේනවා, ඒ එක්කම මොකක් දෝ නුහුරු ගතියකුත් දැනෙනවා. මීට කලින් අපි නොදැක්ක මොකක්දෝ දෙයක් මේ රඟහලේ තියෙන බව පේනවා. ඒ හින්දම තමයි, 2022 අවුරුද්දේ Colorado State Fair තරගයේ ඩිජිටල් කලා අංශයෙන් ප්‍රථම ස්ථානය මේ සිතුවමට හිමි වුණේ.
අන්න ඒ එක්කම තමයි මේ සිතුවම ගැන මුළු ලෝකයම කතා කරන්නට පෙළඹුණේ. ඒකට හේතුව මේ සිතුවම නිර්මාණය කරන්නට කෘත්‍රිම බුද්ධිය එහෙමත් නැතිනම් AI තාක්ෂණය යොදා ගත්ත බව නිර්මාණකරුවා හෙළි කළ හින්දා.
ඔව්, ඔබ හිතුවා හරි! මේ සිතුවම තමයි මිනිසා පරදවා තරගයකින් ජයග්‍රහණය කළ මුල්ම AI කලා නිර්මාණය. මේ ජයග්‍රහණයත් එක්කම ලෝකය පුරා විසිරී පැතිරී ඉන්න නිර්මාණකරුවන් බරපතළ තිගැස්මකට, සරලවම කියනවා නම් භීතියකට පත් වුණා. ඒ වගේම තවත් පිරිසක් මේ ජයග්රහණයෙන් ආකර්ශනයට පත් වුණා. පොදුවේ ගත්තම මිනිසාගේ අභිමානයට පහරක් වැදුනා වගේ හැඟීමක් ලෝකයාට දැනුණා. ඒ හින්දම මේ ගැන විශාල ආන්දෝලනයක් ඇති වුණා.
හැබැයි මෙතැනදී විශේෂයෙන් යමක් කියන්නට තියෙනවා. මේ තරගය සිද්ධ වෙන 2022 කාලය වෙද්දි AI තාක්ෂණය කියන්නේ බොහොම අලුත් දෙයක්. ඒ නිසා AI යොදා ගන්න බැහැ කියලා කිසිම තරග කොන්දේසියක් තිබුණේ නැහැ. ඒ වගේම මේ සිතුවමට ප්‍රථම ස්ථානය ලැබුණාට පස්සේ, මේ නිර්මාණය වෙනුවෙන් තමන් AI තාක්ෂණය යොදා ගත්තා කියන එක ජේසන් හැංගුවෙත් නැහැ. ඒ නිසා ජේසන් වෙනුවෙන් කතා කරපු අය කිව්වේ, ඔහු මෙතැනදී කෘත්‍රිම බුද්ධිය භාවිත කරලා තියෙන්නේ මිනිසෙකු විදියට තමන් සතුව තියෙන සිතීමේ සහ තීරණ ගැනීමේ ශක්තිය නිර්මාණාත්මකව වැඩි දියුණු කර ගැනීමේ මෙවලක් විදියට විතරක් හින්දා මෙතැන දී වැරැද්දක් වෙලා නැහැ කියලා. කොහොම වුණත් මේ නිර්මාණයට බුද්ධිමය අයිතිය දෙන්න ඇමරිකානු බලධාරීන් (U.S. Copyright Office) ප්‍රතික්ෂේප කළා.
දැන් අපි යමු අනිත් ඡායාරූපයට. ඒ ඡායාරූපය තමයි 2023 අවුරුද්දේ Sony World Photography Awards කියන ලෝක ප්‍රකට තරගයේ නිර්මාණශීලී අංශයෙන් ප්‍රථම ස්ථානය ගත්ත ඡායාරූපය. Boris Eldagsen කියන ජර්මානු ඡායාරූප ශිල්පියා ඉදිරිපත් කරපු මේ සේයාරුව නම් කරලා තිබුණේ “PSEUDOMNESIA: The Electrician” කියන නමින්. (Pseudomnesia කියන්නේ නොපැහැදිලි සාවද්‍ය මතකයක් ඒ කියන්නේ ඇත්තටම වුණා වගේ හිතෙන, ඒත් ඇත්තක්ම නොවන මතකයක්). මේ ඡායාරූපයත් ඒ වගේ තමයි. පරම්පරා දෙකකට අයිති කාන්තාවන් දෙදෙනෙකුගේ කළු-සුදු ඡායාරූපයක්. පුංචි දරුවෙකුට නම් බය හිතෙන්නට පුළුවන් තරමේ, තරමක් ගුප්ත සේයාරුවක්.
තරගයෙන් ප්‍රථම ස්ථානය දිනුවාට පස්සේ බොරිස් කළේ ජේසන්ට වඩා වෙනස් දෙයක්. තමන් මේ ඡායාරූපය නිර්මාණය කරන්න AI තාක්ෂණය යොදා ගත්ත බව ප්‍රකාශ කළ බොරිස් ජයග්‍රහණය ප්‍රතික්ෂේප කළා. තෑග්ග භාර ගත්තෙත් නැහැ. Sony World Photography Awards වගේ මුළු ලෝකයම දන්න ගරු ගාම්භීර ඡායාරූප තරගයකින් කෘත්‍රිම බුද්ධිය යොදා ගත් සේයාරුවක් පළමු ස්ථානයට පත් වුණු මුල්ම ඓතිහාසික අවස්ථාව තමයි මේ.
සිය ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින් බොරිස් මෙහෙම කිව්වා. (ඔහු මේ ප්‍රකාශය කරන්නේ AI තාක්ෂණය තවමත් ආගන්තුක වුණු 2023 දි බව අමතක කරන්න එපා): “මේ ඡායාරූපයේ මොකක්දෝ අමුතු දෙයක් තියෙනවා නේද? ඒත් කවුරුවත් සැක කළා ද මේක AI වලින් කරපු නිර්මාණයක් කියලා? මට ඇත්තටම ඕන වුණේ මේ විදියේ ලෝකයම පිළිගන්න ඡායාරූප තරගවලදී එයාලා AI තාක්ෂණයට සූදානම් ද කියන ප්රශ්නය මතු කරන්න. මට මේ තෑග්ග ලැබීමෙන් පේන්නේ එහෙම සූදානමක් තවම නැහැ කියලා. AI පිංතූරත්, ඡායාරූප කලාවත් කියන්නේ පැහැදිලිවම වෙනස් දෙයක්. AI නිර්මාණ කිසිදා කිසිවිටෙක ඡායාරූප කලාව වෙනුවෙන් තියෙන නිර්මාණ තරගවලට ඇතුළත් විය යුතු නැහැ”
කැනඩාවේ අගමැති කවුද?
දැන් තමයි ප්රශ්නය අපිට යොමු වෙන්නේ. මේ AI තාක්ෂණය හින්දා මිනිසුන් වන අපි නිකම්ම නිකම් සිල්ලර කාසි ගානට වැටෙයිද? අපි නිර්මාණශීලීව කරන දෙයක්, මේ තාක්ෂණය හින්දා කුණු කුඩයට විසි වෙයිද? අපේ දරුවන් මහන්සි වෙලා ඉගෙන ගෙන උපාධි ගත්තට පස්සේ එයාලට රස්සාවල් නැති වෙයි ද? කොටින්ම කිව්වොත් මේ AI කියන්නේ කොඩි විනයක් ද?
ඒකට උත්තර දෙන්න කලින් AI තාක්ෂණය එහෙත් නැතිනම් හැමෝම වගේ අද නිතර භාවිත කරන Chat GPT, Copilot, Gemini කියන්නේ මොන වගේ දෙයක් ද කියලා බලමු. අපි ප්‍රශ්නයක් ඇහුවම කොහාම ද මේ Chat GPT දඩිබිඩියේ විස්තරාත්මක උත්තරයක් දෙන්නේ? අපි ඉල්ලන ඉල්ලන විදියට පිංතූරයක් තත්පරයෙන් දෙකෙන් නිර්මාණය කරන්නේ කොහොම ද?
මුලින්ම කියන්න ඕන දේ තමයි AI තාක්ෂණයට බැහැ මිනිසුන් විදියට හිතන්න. ඒ වෙනුවට මේ තාක්ෂණයට හැකියාව තියෙන්නේ කියාගන්නත් බැරි තරම් අති විශාල තොරතුරු (දත්ත), ඡායාරූප, පිංතූර ආශ්රයෙන් කිසියම් රටාවක් හඳුනා ගන්න විතරයි. ඉතින් අපි මොනවා හරි දෙයක් Chat GPT හරි AI තාක්ෂණය භාවිත කරන මාධ්‍යයකින් ඇහුවම එයා කරන්නේ අර කිව්ව තොරතුරු පීරලා ගිහින් අතීත රටා ඇසුරින් වඩාත් ගැලපෙන තොරතුරු අපිට ලබා දෙන එක.
අපි මෙහෙම හිතමු. ඔබ කැනඩාව කියන රට ගැන වැඩි දෙයක් දන්නේ නැහැ. එහෙට ගිහිල්ලත් නැහැ. ඒත් ප්රවෘත්ති ඇහෙද්දි, කියවද්දි ඔබට මතකයක් තියෙනවා ‘ඔටාවා’ (Ottawa) කියන නගරයත් එක්ක නිතරම කැනඩාවේ නම කියැවෙනවා කියලා. ‘මාර්ක් කානි’(Mark Carney) ගේ නම එන්නේ ‘කැනඩාවේ අගමැති’ කියන තනතුරට පස්සේ කියලා. ඉතින් ඔබ ඔබේ මතකය අවදි කරගෙන කැනඩාවේ අගනගරය ඔටාවා බවත්, මාර්ක් කානි කැනඩාවේ අගමැති බවත් ඔබ තේරුම් ගන්නවා.
AI තාක්ෂණයට හැකියාවක් නැහැ ඔබට වගේ හිතන්න. එයා කරන්නේ ඔය කිව්ව කැනඩාව, ඔටාවා, මාර්ක් කානි කියන වචන ගැන තමන් ළඟ දැනටමත් තියෙන තොරතුරු ක්ෂණිකව සසඳා බලලා ඒවායින් වඩාත් ජනප්‍රිය සහ සුලභ තොරතුර ඔබට ඉදිරිපත් කරන එක. ඇත්තටම කියනවා නම් ඒ තොරතුරු බොහොම දුරට නිවැරදියි. ඒකට හේතුව අපි අහන ප්රශ්නය වෙනුවෙන් මිලියන ගානක තොරතුරු මේ තාක්ෂණය ඔස්සේ ක්ෂණිකව සසඳා බැලෙන හින්දා.
එහෙම නම් මේ AI තාක්ෂණය ගැන අපිට විශ්වාසය තියන්න පුළුවන් නේද?
හැම තිස්සේම සියයට සියයක්ම විශ්වාසය තියන්නට බැහැ. ඒ තාක්ෂණයට යම් යම් සීමා මායිම් තියෙනවා. කලින් කිව්වා වගේම මේ තාක්ෂණය මගින් අපිට පිළිතුරු ලැබෙන්නේ පුරෝකථනයන් ඔස්සේ මිසක් මිනිසුන් වගේ යමක් සිහිනුවණින් සිතීමෙන් හෝ වටහා ගැනීමෙන් නෙමෙයි. සමහර වෙලාවට AI වලට බැහැ සැබෑව ව්‍යාජයෙන් වෙන් කරලා (distinguish fact from fiction) වටහා ගන්න. ලෝකය දැන් බොරුවෙන්, සරුව පිත්තල ව්‍යාජයන්ගෙන් ඕනෑවටත් වඩා පිරිලානේ තියෙන්නේ. ඉතින් මේ තාක්ෂණය සසඳා බලන තොරතුරුවල ඒ විදියේ වැරදි කරුණු කාරණා තිබෙනවා නම්, එහෙමත් නැතිනම් ඔබේ ප්රශ්නය හිතා බලා පිළිතුරු දිය යුතු තරමක් වෙනස් ආකාරයේ ප්‍රශ්නයක් නම්, එහෙමත් නැතිනම් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න තරම් ප්‍රමාණවත් තොරතුරු ගබඩා වෙලා නැතිනම්, ඒ අඩුපාඩු මැද්දේ වුණත් AI තාක්ෂණය ඔබට ඉතා ක්ෂණිකව මහ දැනමුත්තෙක් වගේ හරිම විශ්වාසයෙන් උත්තරයක් දේවි. ඒත් ඒක සහමුලින්ම වැරදි උත්තරයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඉතා මෑතක දී සිදු වූ තොරතුරු හෝ දත්තයන් වගේ දේවල් ගැන AI තාක්ෂණය සතුව තියෙන්නේ ඉතාම සීමිත තොරතුරු සමුදායක්. ඒ හින්දා තමයි AI එක්ක වැඩ කරද්දී, මිනිස් මනසේ මැදිහත්වීම (human judgment) තවමත් බොහොම වැදගත් වෙන්නේ.
මතක තියා ගන්නට පහසු වෙන උදාහරණයක් කියන්නම්.
මද ගැලවෙන රඹුටන් – මද ගැලවෙන්නේ නැති රඹුටන්
අපි හිතමු රඹුටන් ගැන. මිනිසුන් වන අපිට රඹුටන් කිව්වම මතක් වෙන්නේ අර අපූරු ආකර්ශනීය ලෙල්ල. හොඳින් ඉදුණු ගෙඩියක පැණි බේරෙන රසය. සුවඳ. මදය සහ ඇටය. සමහර විට ටකය, සමහර විට මල්වාන. රඹුටන් ගැන දන්න ඒවා කලා තියෙන ‘මිනිසුන් වන අපි’ රඹුටන් කියන ගෙඩියේ ඒ ගුණාංගවලින් මිසක් ‘ර-ඹු-ට-න්’ කියන අකුරු වලින් ඒවා මතක තියාගෙන ඉන්නේ නැහැ නේද? අපි මතක තියාගෙන ඉන්නේ ඒකේ තේරුමෙන්. හිතන්න ඔබ සකුරා මලක් පිංතූරයකින්වත් දැකලත් නැහැ අහලත් නැහැ කියලා. එහෙනම් ඔබට සකුරා මල ගැන චිත්ත රූපයක් මැවෙන්නේ නැහැ. සකුරා කියන්නේ මලක් ද, නගරයක් ද, නමක් ද, කෑමක් ද කියන අවබෝධය ඔබට නැහැ.
ඒත් AI තාක්ෂණය ඒ අවබෝධය ලබා ගන්නේ අපි වගේ අත්දැකීමෙන්, මතකයෙන් හෝ ඒ ගැන කියවා ලබා ගත් අවබෝධයෙන් නෙමෙයි. අංකමය ක්‍රමයක් හරහා අතීත රටාවක් ඔස්සේ. රඹුටන් කියන්නේ පළතුරක්, ඒවා සුලභව දකින්න ලැබෙන්නේ ලංකාව වගේ ඝර්ම කලාපීය රටවල, සුදු පාට මදයක් එක්ක රතු පාට අපූරු ලෙල්ලක් ඉදුනු රඹුටන් වලට තියෙනවා, රස පළතුරක්… අන්තර්ජාලය පුරා රඹුටන් ගැන මතුවුණු සංවාද, තොරතුරු ඇසුරින් ඔය විදියේ තොරතුරු විශාල ප්‍රමාණයක් රඹුටන් කියන නාමයත් එක්ක AI තාක්ෂණය ගබඩා කරගෙන තියෙනවා. ඉතින් අපි අත්දැකීමෙන් සහ අවබෝධයෙන් මොළයේ ගබඩා කරගෙන සිහිබුද්ධියෙන් ගෙන හැර පාන තොරතුරු AI තමන් සතුව තියෙන අති විශාල දත්ත ප්‍රමාණය පිරික්සා බැලීමෙන් අපිට ලබා දෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම පදනම් වෙන්නේ එයා ළඟ දැනටමත් තියෙන තොරතුරු මත විතරයි. මදය පහසුවෙන් ගැලවෙන රඹුටන් වගේම එහෙම ගැලවෙන්නේ නැති රඹුටනුත් තියෙනවා කියලා මීට කලින් කවුරුත් අන්තර්ජාලයට තොරතුරු එක් කරලා නැතිනම් ඒ ගැන කිසිම දෙයක් එයා අපිට කියන්නේ නැහැ. ඒ අත්දැකීම තියෙන අපි විතරයි ඒ ගැන දන්නේ.
අද උදේට අපි කෑවේ කඩල
සිංහල භාෂාව හුරු පුරුදු අපිට තවත් ලස්සන උදාහරණයකින් මේ පසුබිම පහදා ගන්න පුළුවන්. මේ වාක්‍ය දෙක අරගෙන බලමු.
සිංහල භාෂාව හසුරුවන ‘මිනිසුන්’ වන අපි දන්නවා මේ වාක්‍ය දෙකේ ‘කඩල’ කියන එකට තේරුම් දෙකක් තියෙනවා කියලා. එකිනෙකට මුළුමනින්ම වෙනස් තේරුම් දෙකක්. හැබැහි එකම විදියට තමයි ලියන්නේ. (තණ / තන කියල තිබුණා නම් දන්තජ මූර්තජ වෙනසක් හරි තියෙනවානේ).
අද උදේට අපි කෑවේ කඩල.
මල්ලි සෙල්ලම් බඩුව කඩල.
ඉතින් කොහොම ද AI මේ වෙනස හඳුනා ගන්නේ? එයා සංසන්දනය කරලා බලනවා තමන් ළඟ තියෙන තොරතුරු හැම එකක්ම. එයාට තේරුම් ගන්න පුළුවන් එතැන තියෙන රටාව. ආහාර එක්ක යෙදෙන වචනත් එක්ක ‘කඩල’ කියලා ආවොත් ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද, ඒ වගේම සෙල්ලම් බඩුවක්, මේසයක් පුටුවක් වැනි ද්‍රව්‍යයක් එක්ක සම්බන්ධව ‘කඩල’ කියන වචනය ආවොත් ඒකෙන් අදහස් වෙන්නේ මොකක් ද කියලා ඒ වෙනස් රටාව තේරුම් අරන් තමයි එයා අපිට උත්තරය දෙන්නේ. එයාට කිසිම අවබෝධයක් නැහැ උච්ඡාරණයෙන් අපි වගේ ඒ වෙනස හඳුනා ගන්න.
කොහොම ද ඒ තරම්ම ක්ෂණිකව උත්තර දෙන්නේ?
ඒකට දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි ඔබ ප්රශ්නය අහන්නත් කලින් මේ තාක්ෂණය ඒ ප්‍රශ්නයට අවශ්‍ය පසුබිම සකස් කරගෙන ඉවරයි. මෙහෙම හිතමු. කවුරුන් හරි ඔබෙන් ඇහුවොත් 8X7 කීයද කියලා, ඔබට පුළුවන් ක්ෂණිකව 56 යි කියලා උත්තර දෙන්න. ප්රශ්නය අහන හැම වෙලාවකම මුල ඉඳලා ආපහු ගණන් පාඩම් එක්ක චක්කරය මතක් කර ගන්න ඕනේ නැහැ. ඔබේ මොළය ක්ෂණිකව සූදානම් උත්තරය දෙන්න. එහෙම බැලුවම උත්තරය දෙන්න යන්නේ ඉතාම සුළු වෙලාවයි. වැඩිම කාලයක් ගත වෙන්නේ යන්නේ ඒ උත්තරය ලබා ගන්නා අවශ්‍ය දැනුම හා පුහුණුව අත්පත් කරගන්න.
ඉතින් ඇත්තටම අපි මේ තාක්ෂණයට බය වෙන්න ඕනේ නැහැ. හැබැයි බය නොවී ඉන්නත් ඕනෙත් නැහැ. කොහොම වුණත් මේක “ආකර්ශනීය තාක්ෂණයක්”. චිත්‍රයක් අඳිනවා වෙනුවට කැමරාව පාවිච්චි කරනවා වගේ දෙයක්.
ඕවා ඔහොම තමයි!
විදුලිය කියන්නේ බොහොම භයානක දෙයක්. මිනිහෙක්ව මරණයට පත් කරන්න පහසුවෙන්ම පුළුවන්. ඒත් නගරවල ජීවත් වන අපිට විදුලිය නැති ලෝකයක් මොහොතකටවත් හිතන්නට බැහැ. කැල්කියුලේටර් එද්දි බටහිර ලෝකයේ ගුරුවරුන් උද්ඝෝෂණ කළා ඒක හින්දා ළමයි මොට්ටයෝ වෙයි කියලා. ට්‍රැක්ටර් කුඹුරට එද්දි හරක් කලබල වුණේ නැහැ; ඒත් ගොවියෝ හොඳටම කලබල වුණා. රොබෝලා එළි බහිද්දි මිනිස්සු හිතුවා හෝමෝ සේපියන්ස්ලාගේ අවසානය තමයි මේ කියලා. මුද්‍රණ යන්ත්‍රය ඇවිත් තල්පත්වල ලිව්ව යුගයට තිත තිබ්බා. පරිගණකය ඇවිත් ටයිප්රයිටරය ඈතට තල්ලු කළා. අන්තර්ජාලය ඇවිත් ලෝකය උඩු යටිකුරු කළා. සංගීත තැටි ඉවත් වෙලා කැසට් ආවා. කැසට් යුගය ඉවර වෙලා සීඩී ආවා. දැන් තියෙන්නේ වයිෆයි. දැන් එන අලුත් වාහනවල කැසට්, සීඩි ධාවන පහසුකම් දැන් නැහැ. ඕවා ඔහොම තමයි. ලෝකය වෙනස් වෙනවා.
ඔබ අහලා ඇති නේදන් රොත්ස්චයිල්ඩ් (Nathan Rothschild) ගැන. 19 වැනි සියවස මුල් භාගයේ යුරෝපයේ හිටිය අංක එකේ ධන කුවේරයෙක්. 1836 දි ඔහු මිය ගියේ සාමාන්‍ය බැක්ටීරියා ආසාදනයකින්. අද දවසේ නම් සාමාන්‍ය බෙහෙත් පෙත්තකින් හොඳ කරන්න පුළුවන් තරමේ සුළු ලෙඩක්. ඒත් ඒ කෝටිපතියාගේ ජීවිතය බේරා ගන්න තරම් සරල තාක්ෂණයක් එදා තිබුණේ නැහැ. වසූරිය, පෝලියෝ වගේ රෝග දැන් තව දුරටත් ලෝකයට ප්‍රශ්න නෙමෙයි.
ඒ වගේම තමයි, AI හින්දා ලැබෙන ඵල ප්‍රයෝජන කියන්නත් බැරි තරම්. දැන් වෛද්‍ය පර්යේෂකයන්ට, වෛද්‍යවරුන්ට පුළුවන් වඩාත් පුළුල් පරාසයකට විහිදුනු කරුණු කාරණා AI වලින් හොයන්න. වෙනදා කළ නොහැකි තරම් ගැඹුරට ගිහින් නව ප්‍රතිකාර ක්‍රම අධ්‍යයනය කරන්න. ආයතනවල සේවය කරන අයට, පර්යේෂකයන්ට, අධ්‍යාපනඥයන්ට AI තාක්ෂණය හින්දා තමන්ගේ කාලය, ශ්‍රමය ඉතිරි කරගන්න පුළුවන්. (මා සේවය කරන ආයතනය, copilot තාක්ෂණය අපේ රාජකාරී කටයුතු වලට සක්‍රීයව දායක කරගන්න කියලා නිල වශයෙන්ම අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා). සිසුන්ට පුළුවන් තමන්ගේ දැනුම් මට්ටමට සරිලන විදියට, තමන්ට වැටහෙන ආකාරයට උගන්වන්නට පුළුවන් තමන්ටම සුවිශේෂී වූ ගුරුවරුන්ගේ සේවය ලබාගන්න.
ඇත්ත. මේ නව තාක්ෂණය හින්දා ලෝකය උඩු යටිකුරු වෙලා. සමහර රැකියාවන් අනතුරට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම data entry වගේ සාමාන්‍ය මට්ටමේ කාර්යාල රාජකාරි. ඒත් තවමත් මිනිසාගේ හිතන පතන ක්‍රමය අබිබවා යන්නට මේ තාක්ෂණයට බැහැ. ඒ හින්දා AI කොයි තරම් ප්‍රබල වුණත් මිනිසා කියන සාධකය තවමත් වැදගත්. මිනිස් මොළය, එහෙමත් නැතිනම් මිනිසාගේ නිර්මාණශීලීත්වය එක්ක AI එකට එකතු වුණාම කරන්න බැරි මොනව ද?
තවත් දෙයක් කියන්න තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් පළ වෙන ලිපියක් AI හරහා සිංහලට පරිවර්තනය කරගෙන තමන් ලිව්වා වගේ කෙනෙකු ඉදිරිපත් කළොත් ඒ භාෂාවේ තියෙන කෘත්‍රිම බව සිංහල බස ගැන ප්‍රාමාණික අවබෝධයක් තියෙන කෙනෙකුට දැනෙනවා. ඒ වගේම තමයි අපිට අවශ්‍ය රාජකාරී හෝ රාජකාරී නොවන ලිපියක්, එහෙමත් නැතිනම් වෙනත් ලියවිල්ලක් AI මත පමණක් පදනම් වෙලා ඉංග්‍රීසියට හරවලා ඉදිරිපත් කළොත් ඉංග්‍රීසි බස ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන ඕන කෙනෙකුට දැනෙනවා ඒක AI කියලා. ඒකට හේතුව AI තාක්ෂණයේ දී යොදා ගන්නා වචන රටාව, විරාම ලකුණු යෙදෙන පිළිවෙල ඉංග්‍රීසි බාසාවේ සම්මත ස්වාභාවික වියරණයට වඩා ටිකක් වෙනස් හින්දා. ඒ හින්දා AI මත පමණක් පදනම් වෙලා තමන්ට නුහුරු ඉංග්‍රීසියෙන් ලිපි රචනා ලියද්දි “දන්නෝ දනිති” කියන කාරණාව මතකයේ තියාගෙන ඉන්න එක කෝකටත් හොඳයි.
සාරාංශයක් විදියට ගත්තම කියන්න තියෙන්නේ AI වලට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි වන්දනාමාන කළ යුතුත් නැහැ. එයින් ගන්න පුළුවන් උදව් උපකාර අසීමිතයි. ඒ හින්දා ලෝකයත් එක්ක ඉස්සහරට යන්න නම් ඒ තාක්ෂණය ගැන අවබෝධයෙන් ඒකත් එක්ක ගනුදෙනු කරන එක තමයි වැදගත්.
AI තොරතුරු විශ්වාස කළ හැකි ද, සත්‍යයක් ලෙස ප්රත්යක්ෂ වෙනව ද කියන කාරණාව මනින්නට සිද්ධ වෙන්නේ මිනිසකු වන ඔබටම පමණයි. ඒක වඩාත්ම සාර්ථක වෙන්නේ ඔබ පොත පත කියවන, විචාරශීලීව දැනුම සොයා යන කෙනෙක් වුණොත් පමණයි.
කොහොම වුණත්, ඒ කඩඉම ජයගන්න උපකාර වන ඔබටම කළ හැකි සුළු පරීක්ෂණයක් කියන්නම්. AI හරහා ලැබෙන තොරතුරු මත විශ්වාසය තබන්න කලින් මේ කරුණු කිහිපයට උත්තරය හොයා ගන්න.
AI වලින් ඔබට ලබා දුන් කරුණු කාරණා බැලූ බැල්මටම විශ්වාස කළ හැකි සත්‍යයක් විදියට පේනවා ද?
කොහෙන් ද ඒ තොරතුරු අරගෙන තියෙන්නේ, මූලාශ්‍රය මොකක් ද?
මේ තොරතුරු ඇත්තක් ද කියලා යළි පරීක්ෂා කර බලන්නට පුළුවන් ක්‍රමයක් මට තියෙනවා ද?
AI ලබා දුන්නු තොරතුරු මත පදනම් වෙලා විශාල සභාවක් ඉදිරියේ එහෙමත් නැතිනම් සම්භාව්‍ය පිරිසක් ඉස්සරහට ගිහින් කරුණු කියන්න, එහෙමත් නැතිනම් විශාල පිරිසක් විසින් කියවනු ලබන ලිපියක් ලියන්න මට පුළුවන් ද?
ඔන්න ඔය කිව්ව ප්‍රශ්න වලට පිළිතුර ‘නැහැ’ කියන එක නම්, ඒ අතරිනුත් විශේෂයෙන්ම අන්තිම ප්‍රශ්නයට පිළිතුර ‘නැහැ’ නම්, ඒ තොරතුරු මත විශ්වාසය තියලා කටයුතු කරන්න එපා.
කොටින්ම කිව්වොත් ඔබ බෞද්ධයෙකු නම් AI වලින් වැඩ ගනිද්දී කාලාම සූත්‍රයේ දී බුදුන් වදාළ ක්‍රමවේදය අනුගමණය කරන්න. අවුරුදු 2500කට කලින් දේශනා කළත්, සත්‍යය සොයා යෑමේ දී කාලාම සූත්‍රයේ ක්‍රමවේදය තරම් ගැලපෙන ක්‍රමවේදයක් මේ AI යුගයේදීවත් තවමත් බිහිවෙලා නැහැ.
(Photo Credits: Wikimedia Commons)


වැදගත් ටොපික් එකක්, කළු. ඔස්ට්‍රේලියාවෙ ජායාරූප තරඟ වල ‘Nature’ කියන අංශයෙන් ඉදිරිපත් කරන ජායාරූප වල කිසිම කැමරාවෙන් නොගත් පික්සලයක් තියෙන්නට බැහැ කියල නීතියක් තියෙනව. ඒ කියන්නෙ පික්සල් ඇති කිරීමත් නැති කිරීමත් කළ නොහැකියි. හැබැයි ඒ ‘Nature’ කියන අංශයෙන් පමණයි, මම දන්න තරමට.
කැමතියිකැමතියි