දුවන්න හාවො… දුවන්න… දුවන්න…!

“ගිය අවුරුද්දේ (2024 දි) මං ගියා තාත්තාගේ සොහොනට. තාත්තා මැරුණේ තාත්තාට වයස අවුරුදු 72 දි. තාත්තා ජීවත් වුණාට වඩා දශකයකටත් වඩා කාලයක් මං දැන් ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම තාත්තා නැතිවෙලා දැන් අවුරුදු හතළියක්. ඒත් තාත්තා එක්ක මගේ මතකය මට පළිඟුවක් තරම්ම පැහැදිලියි.

මං තාත්තාගේ සොහොන් කොතට අත තිබ්බා. නොපෙනෙන නොදකින බලවේග ගැන වැඩි විශ්වාසයක් මට නැහැ. ඒත් ඒ වෙලාවේ තාත්තාගෙ සොහොන ළඟඳි මට හොඳටම දැනුණා තාත්තා මගේ පිටිපස්සෙන් ඉන්නවා කියලා. මට දැනෙන්න ගත්තා තාත්තාගේ අතේ පහස, මගේ පිටිපස්සෙන්.

මං හැරිලා බැලුවා පිටිපස්සට දිහා. කිසිම කෙනෙක් නැහැ. ඒත් මට තාත්තගේ පහස දැනෙනවා. තාත්තා එතැන හිටියා.

සමහර වෙලාවට තනිකම මට මහා පුදුමාකාර සතුටක් ගේනවා. ඒ වෙලාවේ සොහොන් භූමියේ මාත් එක්ක තාත්තා එතැන හිටපු එක ගැන මට හරිම සතුටුයි. තර්ක විතර්ක පලක් නැහැ. එතැන එහෙම සිද්ධ වුණා. වයස්ගත මිනිහෙක් එක්ක තවත් වයස්ගත මිනිහෙක්!

ඔහු මට තාත්තා වෙලා අවුරුදු 86 කට පස්සේ! ඉස්කෝලේ වැඩවලට මං දුර්වලයි කියලා ලියුමක් ඇවිත් තාත්තා මට බැන්න දවසේ ඉඳන් අවුරුදු 72 කට පස්සේ.! තාත්තාගේ මරණයෙන් අවුරුදු 43 කට පස්සේ! අන්තිමේ දී අපි දෙන්නට දෙන්නාට පුළුවන් වුණා ද සැනසුම් සුසුමක් හෙළන්න…?”

“මගේ තාත්තා නැති වෙන්න දවස් දෙක තුනකට කලින් ඇඳේ ඉඳගෙන කාමරයේ කෙළවරක් දිහා බලාගෙන ඉන්නවා මං දැක්කා.

“ඇයි…?” මං ඇහුවා.

“අර බලන්න.. අර?” තාත්තා කිව්වා. එත් මං දැක්කේ නැහැ එතැන කිසිම දෙයක්.

“මගේ අම්මයි තාත්තයි එතැන හිටගෙන ඉන්නවා”, තාත්තා කිව්වා.

තාත්තා ජීවතුන් අතර හිටපු අන්තිම දවස් දෙක තුනේ මට මෙහෙම කිව්වා.

“පුළුවන්ද කියවන්න ‘හැම්ලට්’?”

මං ඒක කියවද්දී තාත්තා ඇස් වහගෙන අහගෙන හිටියේ ඇඳේ දිගා වෙලා. එහෙම ඉන්න ගමන්ම තාත්තාගේ මතකයේ තිබුණු හැම්ලට් මුල් පද ටික තාත්තාත් මං එක්කම මිමිණුවා.

හැම්ලට් නාට්‍යයේ බොහොම කොටස් මට කට පාඩමින් කියන්න පුළුවන්කම තිබුණා. මං කියවලා ඉවර වෙද්දි තාත්තා මං දිහා බැලුවේ විස්මය පිරුණු සතුටකින්.

“නියමයි… නියමයි… කොහොම ද ඔයා ඔය හැම වචනයක්ම ඉගෙන ගත්තේ?”

කවුරුහරි මිය ගියාම තාත්තා කියන්න පුරුදු වෙලා හිටියා මෙහෙම; “ආ.. එහෙනම් එයා අන්තිමට ‘ලොකුම රහස’ ගැන දැනගත්තා. එහෙම නේද?”

අන්තිමේ දී තාත්තාත් ඒ ‘ලොකුම රහස’ දැනගත්තා. තාත්තා මිය ගිය දවසේ මං රෝහල් කාමරයේ තාත්තා‌ගේ ඇඳ ළඟ තිබුණු දේවල් ටික එකතු කරගත්තා. තාත්තාගේ ඇස් කන්නාඩි දෙක, තාත්තාගේ පෑන, පොත, ඒ එක්කම ඇමරිකාවේ මාර්ග සිතියම!

තාත්තාගේ ජීවිතයේ අන්තිම දවස්වල තාත්තා කාලය ගත කළේ මාත් එක්ක එකතු වෙලා නිව්යෝර්ක් ඉඳන් ලොස් ඇන්ජලීස් වෙනකම් වීර වික්‍රමාන්විත මාර්ග සංචාරයක් යන හැටි ගැන සිහින මව මවා. ඒ ගමනට වෙන කවුරුවත් නැහැ. තාත්තයි මමයි විතරමයි!

ඉහතින් සටහන් කෙරුණු තොරුතුරු පරිවර්තනය කෙරුණේ  අති දක්ෂ නළුවෙකු වන ඇන්තනි හොප්කින්ස් අතින් ලියැවුණු තමන්ගේම චරිතාපදානය “We Did OK, Kid” පොතින්. මේ පොත ප්‍රකාශයට පත් වුණේ මේ මාසයේ නොවැම්බර් 04 වැනිදා, ඒ කියන්නේ සති දෙකකට කලින්. පිටු 350 ක් පුරා ගලාගෙන යන මේ පොත පුරාම තියෙන්නේ හොප්කින්ස්ගේ ළමා වියේ ඉඳන් මේ දක්වා ඔහු ආපු ගමන, හැළ හැප්පීම් වගේම ඔහුගේ සිනමා ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ මතක සටහන්.

ඇන්තනි හොප්කින්ස් කියන්නේ ලෙහෙසියෙන් පහළ වන වර්ගයේ නළුවෙක් නෙමෙයි. ඒ නිසාම තමයි ඔහු දෙසැරයක්ම හොඳම නළුවා විදියට ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවේ. දෙවැනි ඔස්කාර් සම්මානය ඔහුට හිමි වුණේ සිනමා ඉතිහාසයේ වාර්තාවකුත් එක්ක. ඒ තමයි හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබපු වයස්ගතම නළුවා (the oldest actor to ever win Best Actor) විදියට. කලාව වෙනුවෙන් ඔහු කළ විශිෂ්ට භූමිකාව ඇගයීමක් වෙනුවෙන් 1993 දී එළිසබෙත් රැජින ඔහු නයිට් ධුරයක් ප්‍රදානය කළ හින්දා ඔහු දැන් ශ්‍රීමත් ඇන්තනි හොප්කින්ස් – Sir Anthony Hopkins!

1937 දී වේල්ස්හි දී උපත ලබපු හොප්කින්ස්ට දැන් වයස අවුරුදු 88 යි. ඒත් තවමත් කාර්යබහුල නළුවෙක්. මේ වනවිටත් රඟ පෑ කලා නිර්මාණ සියයකට ආසන්නයි.

“ඒ 1973 අවුරුද්දේ දවසක්. මං හිටියේ A Doll’s House චිත්‍රපටයේ රූගත කිරීමක අතරතුර. (හෙන්රික් ඉබ්සන්ගේ ලෝක ප්‍රකට A Doll’s House නවකතාව ඇසුරින් නිර්මාණය වුණු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හෙබවූයේ ඇන්තනි හොප්කින්ස්). දර්ශන තලයේ හිටපු හැමෝම වගේ නිසොල්මනේ හිටපු වෙලාවක් ඒක. එක ජවනිකාවක මට තිබුණා කෝපයෙන් වියරු වැටිලා වගේ හැසිරෙන්න.

අපේ දර්ශන තලයේ තිබුණා විසිතුරු වීදුරු අරුමෝසම් එල්ලපු නත්තල් ගහක්.

“මං මේ විසිතුරු අරුමෝසම් කඩා බිඳලා දැම්මට කමක් නැද්ද…?”, මං ඇහුවා අධ්‍යක්ෂකවරයාගෙන්.

“ඔයාට හිතෙන ඕන දෙයක් කරන්න”, එයා කිව්වේ කිසිම උනන්දුවකින් නෙමෙයි. “ඔයාට ‘රිහසල්’ එකක් ඕන ද?”

“නැහැ… ඇයි අපිට බැරි එක සැරේම ෂූටිං එක කරන්න?”, මං කිව්වා. “කැමරා ‘ඈන්ගල්’ එක කොතැන ද තියෙන්නේ…?”

මගේ දර්ශන තලයේ මට අවහිර වෙන තැන් ටික ගැන මං හිතින් සලකුණු කරගත්තා.

අධ්‍යක්ෂවරයා කැමරාවට විධානය දෙනවත් එක්කම මං නත්තල් ගහ උස්සලා අරන් එතැන තිබුණු පියානෝවට වේගයෙන් දමලා ගැහුවා. නත්තල් ගහේ එල්ලලා තිබුණු වීදුරු අරුමෝසම් හැම එකක්ම කුඩු පට්ටම් වෙලා ගියා.

ක්ලෙයාර් (ප්‍රධාන චරිතය වූ නෝරාට රඟ පෑ Claire Bloom) බය වෙලා කෑ ගැහුවා. ඒක එයා ඇත්තටම භීතියට පත් වෙලා කළ කෑ ගැහීමක්. හැමෝම හිටියේ කම්පනයෙන් ගල් ගැහිලා. අධ්‍යක්ෂවරයා ‘කට්’ කියනවාත් එක්කම හැමෝම අත් පොළසන් දෙන්න පටන් ගත්තා.”

හැමෝම ඉස්සරහ ඔයා මෝඩයෙක් වෙයි!

“ඔලිවර් ස්ටෝන්ට ඕනලු ඔයාත් එක්ක කතා කරන්න”, එක්තරා දවසක හවස් වරුවේ මගේ ඒජන්තවරයා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා. (Oliver Stone යනු හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඇතුළුව ඔස්කාර් සම්මාන තුනක්ම දිනාගත් ජනප්‍රිය ඇමරිකානු අධ්‍යක්ෂවරයෙකි. Platoon, Wallstreet, Snowden ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් කිහිපයකි)

“ඔලිවර් ස්ටෝන්, මට…? ඒ මොකට ද…?” මං ඇහුවේ පුදුමයෙන්.

“එයා නික්සන් ගැන චිත්‍රපටයක් කරන්න යනවා”

“ජනාධිපති නික්සන්…?”

“ඔව්”

“ඉතින් ඇයි මට කතා කරන්නේ…?” ඇමරිකානු ජනාධිපති නික්සන් එක්ක බ්‍රිතාන්‍යවත්, බ්‍රිතාන්‍ය ජාතික මං අතරවත් තියෙන්න පුළුවන් කිසිම සම්බන්ධයක් ගැන හෝඩුවාවක්වත් හිතාගන්න බැරිව මං පුදුමයෙන් ඇහුවා.

“නික්සන්ගේ චරිතයට එයා තෝරා ගෙන තියෙන්නේ ඔයාව”

වෝටර්ගේට් සිද්ධියත්, නික්සන් ගැනත් බොහොම දේවල් මං අහලා දැකලා තිබුණා. දූෂණ චෝදනාවට පස්සේ එයා ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලය අමතමින් වැල්වටාරම් ගොඩක් එක්ක කළ දීර්ඝ කතාව, ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වෙලා ධවල මන්දිරයේ ඉඳන් හෙලිකොප්ටරයේ නැගිලා නොපෙනී ගිය හැටි, ඊ‌ට පස්සේ නික්සන්ගේ මුහුණට සමාන පෙනුමෙන් වෙස් මුහුණු හදලා උසුළු විසුළු එක්ක කඩවල් අස්සේ විකුණන්න තිබුණු හැටි… මේ හැම දේම මං දැකලා තිබුණා. ඒ 1974 දී. එදා ඉඳන් දැන් අවුරුදු 21 ක් ගත වුණාට පස්සේ ඔලිවර් ස්ටෝන් කියනවා මට නික්සන් විදියට රඟපාන්න කියලා. ඒක නම් තනිකරම පිස්සු අදහසක්.

“මම…? නික්සන්ට…? මං බ්‍රිටිෂ්. ඔලිවර් ස්ටෝන්ට පිස්සු ද….?”

ඔලිවර් ස්ටෝන් මට කතා කළා.

“මේ වැඩේට ගැලපෙන්නේ ඇමරිකන් නළුවෙක්. මං ගැලපෙන්නේ නැහැ”, මං ස්ටෝන්ට කිව්වා.

“මට ඕනේ ඔයා මේකේ රඟපානවා දකින්න”, ස්ටෝන් තදින්ම කිව්වා. “මං එනවා ලන්ඩන්වලට මේ සෙනසුරාදා. අපි උදේට කෑම කන ගමන්ම කතා කරමු”

‘මොළේ කල්පනා කරලා වැඩ කරන්න’ කියලා මගේ බිරි ජෙනී මට දෙතුන් සැරයක්ම කිව්වා.

“ඔයා ඕකට හා කියන්න එපා. ඔයාට බැහැ නික්සන්ගේ චරිතය කරන්න. හැමෝම ඉස්සරහ ඔයා මෝඩයෙක් වෙයි”

ජෙනී හරි කියලා මාත් හිතුවා. ඒත් ඔලිවර් ස්ටෝන්ගේ හමුවීමෙන් පස්සේ මං ගෙදර ආවේ ඒ චරිතය කරන්න භාර අරන්.

රූගත කරන්න ඇමරිකාවට ගියාට පස්සේ මගේ බ්‍රිතාන්‍ය භාෂා විලාසය වෙනුවට නික්සන්ගේ ඇමරිකානු භාෂා විලාසයට මාව පුරුදු කරවන්න වාග් විද්‍යාව ගැන විශේෂඥවරයෙකුගේ සහාය අරන් තිබුණා.

“ඔයා මුකුත් හිතන්නේ නැතිනම් මං ඔයාට අවංකවම ඇත්ත කියන්න ද..?” දවස් දෙක තුනක පුහුණු වීම් වලට පස්සේ එක දවසක ඒ විශේෂඥයා මට කිව්වා.

“මං මේක කියන්නේ ඔයාගෙම හොඳට. ඔයා කතා කරන විදිය නික්සන්ට ගැලපෙන්නෙම නැහැ. ඔයාගේ කතා විලාසයේ හැම දෙයක්ම වැරදියි. මං දන්නවා නික්සන් ගැන හොඳටම. මං එයා ගැන එක්ස්පර්ට් කෙනෙක්. ඔයාට බැහැ නික්සන් වෙන්න”

පුහුණුවීම් අතරේ මං අධ්‍යක්ෂ ස්ටෝන්ගෙන් ඇහුවා එයාව ටික වෙලාවකට පෞද්ගලිකව හම්බුවෙන්න මට පුළුවන් ද කියලා.

“ඔයා මාව මේ චිත්‍රපටයෙන් ‘ෆයර්’ කරලා දාන්න. අලුත්ම නළුවෙක් අරන් මේක ආපහු කරන්න. ඔයාගෙ චිත්‍රපටය මං හින්දා විනාශ වෙනවා දකින්න මට ඕනේ නැහැ”

ස්ටෝන් ටික වෙලාවක් මා දිහා බලාගෙන ඉඳලා මෙහෙම ඇහුවා.

“අර මෝඩයා ද ඔයාගේ ඔළුවට ඔය දේවල් දැම්මේ? ගණන් ගන්න එපා ඒකව. මං ඔයාව ‘ෆයර්’ කරන්නේ නැහැ. වැඩේ දිගටම කරගෙන යන්න”

අන්තිමේ දී මං ඒ භාෂා විශාරදයා අමතක කරලා මගේම උත්සාහයෙන් නික්සන්ගේ චරිතයට අවතීර්ණ වුණා. (මෙම සිනමා පටය හොඳම අධ්‍යක්ෂණය, හොඳම රඟපෑම ඇතුලු සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ අතර හොප්කින්ස් හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානයට පවා නිර්දේශ විය)

පොතේ විස්තර වෙන විදියට ඇන්තනි හොප්කින්ස්ගේ ළමා කාලය ගෙවිලා යන්නේ ලෝක යුද්ධය මැද්දේ. හොප්කින්ස්ගේ තාත්තාට තිබුණා බේකරියක්. ඒක තමයි එයාලගේ ජීවන මාර්ගය. හොප්කිනිස් ඉගෙනීමට ඒ තරම් දක්ෂ නොවුණු ලැජ්ජාශීලී කොල්ලෙක්. ඒ හින්දා ගුරුවරුන්ගේ ආදරය ලැබුණු දරුවෙක් කියලා කියන්න බැහැ. පාසල් කොල්ලෙකු විදියට ශේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යයේ චරිතයකින් තමයි ඔහුගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ.

හොප්කින්ස් සිය මව සහ පියා සමග

මේ අසහාය නළුවාට මුල්ම ඔස්කාර් සම්මානය ලැබුණේ 1992 දී The Silence of the Lambs කියන චිත්‍රපටයේ කරපු රංගනයට. බටහිර සිනමාවට කැමැති ඕනෑම කෙනෙක් බලපු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ඔහු රගපෑවේ Dr. Hannibal Lecter කියන අති දරුණු, අති අමානුෂික දාම ඝාතකයෙකුගේ (serial killer) චරිතයක්. මේ චිත්‍රපටය පැය දෙකකට ආසන්න කාලයක් ගලා ගෙන යන සිනමා පටයක්. ඒත් ප්‍රධාන චරිතය වුණු හොප්කිනිස් මේ මුළු චිත්‍රපටයේම ඔබට දකින්නට ලැබෙන්නේ විනාඩි 16 ක කාලයක් විතරයි. විනාඩි 16 ක රඟපෑමකින් හොඳම නළුවා විදියට ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබන්න ඔහු කොතරම්ම දක්ෂයෙක් වෙන්න ඕනේ ද?

“මේ චරිතයට අවශ්‍ය තරමට බිහිසුණු කමක් ඇති කරගන්න මං සෑහෙන පොත පත කියෙව්වා. ළමා කාලයේ මට බිය දැනුණු සිදුවීම් ආපහු සිහිපත් කරගත්තා. ඩ්‍රැකියුලා පොත්වල තිබුණු කොටස් ආපහු ආපහු මතක් කරගත්තා. කියවන්න ගත්ත සමහර පොත් බිහිසුණුකම වැඩි නිසාම අතරමගදී කියවන එක අතහැරියා. ස්ටාලින්ගේ දුව ස්ටාලින් ගැන ලියපු පොතත් කියෙව්වා. ස්ටාලින්ගේ දුව කියනවා එයාගේ තාත්තා වටේ ඉන්න පිරිස හිටියේ තාත්තාත් එක්ක පරතරයක් තියාගෙනලු. ඒකට හේතුව ඒ තරමට එයාගේ තාත්තට මිනිස්සු බයයි. ස්ටාලින් වැඩිය කතා කරපු කෙනෙක් නෙමෙයි. එයාට තරහ ගියා කියන්නේ බය වෙන්න දෙයක් නෙමෙයි. ඒත් එයා ඔයා එක්ක හිනා වුණා කියන්නේ ඉතින් ඔයාගේ මරණයම තමයි”

The Silence of the Lambs සිනමා පටය වෙනුවෙන් ඔස්කාර් සම්මානය හිමි වුණු මොහොත

“මං පුදුමාකාර බයකින් ඔයත් එක්ක වැඩ කළේ” රූගත කිරීම් නිම වුණාට පස්සේ The Silence of the Lambs සිනමා පටයේ ඔහුත් එක්ක ප්‍රධාන චරිතය රඟපාපු නිළිය කිව්ව බව හොප්කිනිස්ගේ පොතේ සටහන් කරලා තියෙනවා. මේ චරිතයට ඔහු කොයි තරම් ස්වාභාවිකව සහ ප්‍රබල විදියට ඇතුළු වුණාද කියන එකට ඒකම සාක්ෂියක්.

හුළඟයි, වැස්සයි!

මා ‌බෙහොම ප්‍රිය කරන නළුවෙක් නිසා ඔහුගේ සිනමා පට බොහොමයක් මා නරඹා තියෙනවා. ඒත් ඒ හැම සිනමා පටයක්ම අතරින් මා වඩාත්ම කම්පනයට පත් කළ, ඒ වගේම ඔහුගේ රඟපෑම තදින්ම හිතට දැනුණු චිත්‍රපටය තමයි 2020 දි තිරගත වුණු The Father. අවුරුදු අසූව පැනපු මනුස්සයෙක් මේ තරම් ස්වාභාවිකව රඟපාන්නේ කොහොම ද කියන ප්‍රශ්නය මුළු චිත්‍රපටය පුරාම මගේ හිත ඇතුළේ හොල්මන් කළා. The Father චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ඩිමෙන්ෂියා රෝගයෙන් පීඩා විඳිමින් මතකය ක්‍රම ක්‍රමයෙන් ගිලිහී මරණයට ළං වන තාත්තෙකුගේ චරිතයක්. මේ විශිෂ්ට චිත්‍රපටයේ තාත්තාගේ භූමිකාව හැඟුම්බරව සහ අතිශය මානුෂිකව නිරූපණය කරමින් ඔහු ඒ චරිතය ඇතුළේ ජීවත් වුණු හැටි හරිම පුදුමයි. චිත්‍රපටයේ තාත්තා ඇත්තටම අත් වින්ඳ දෙවල් මොනවා ද..? නැතිනම් ඔහුගේ ඩිමෙන්ෂියා තත්ත්වය නිසා ඔහුගේ මනසේ මැවුණු මායාවන් මොනවා ද කියන කාරණාව තේරුම් ගන්න සිනමා පටය අවසන් වුණාට පස්සෙවත් ප්‍රේක්ෂකයන්ට බැරි වෙනවා. ඒ සිනමා පටයට විශිෂ්ට නළුවාටත් හොඳම තිර පිටපතටත් හිමි ඔස්කාර් සම්මානය හිමි නොවුණා නම් තමයි පුදුමය.

The Father චිත්‍රපටයේ දර්ශනයක්

“මේ චිත්‍රපටයේ රඟපෑව මුළු කාලය පුරාම මට දැනුණා මං මගේම තාත්තා බවට පත්වෙනවා. මගේ තාත්තා ජීවිතයේ අන්තිම දවස්වල හිටියේ හිස් බැල්මෙන් ඔහේ බලාගෙන. තාත්තාට විවිධාකාර හඬවල් ඇහෙන්න ගත්තා. විවිධාකාර දේවල් පේන්න ගත්තා”

“අපි මේ චිත්‍රපටය රූගත කළේ වෙම්බ්ලිවල ගබඩා කාමරයක් ඇතුළේ. පහළින් තියෙන වීදියේ විවිධාකාර ගෝසාවන් පසුබිමින් ඇහෙන අතරේ හිරු එළිය කාමරයට කාන්දු වෙන විදියටයි පසුතලය නිර්මාණය කරලා තිබුණේ. කාත් කවුරුවත් නැතිව බිහිසුණු තනිකමක ඒ තාත්තා තමන්ගේම මනස ඇතුළේ හිරවෙලා පැටලිලා ඉන්න හැටි අධ්‍යක්ෂවරයා දක්ෂ විදියට ග්‍රහණය කරගෙන තිබුණා. රඟපාද්දී මං කවදාවත් මගේ වචන චිත්‍රපටයට ඔබ්බවන්න යන්නේ නැහැ. ඒත් මේ චිත්‍රපටයට විතරක් මං “The wind and the rain” (‘හුළඟයි, වැස්සයි’) කියලා දෙයක් එකතු කළා. ඒකට හේතුව තාත්තා ඒ නිසංසල කාමරයේ තනිවෙලා ඉන්න මොහොතේ එළියෙන් ඇහෙන වැහි කුණාටුවේ හඬ ගැන කියාගන්න බැරි මොකක්දෝ ප්‍රබල චිත්‍රයක් මගේ හිතේ මැවුණු හින්දා”

“මේ චිත්‍රපටයේ තාත්තාගේ චරිතය රඟපාද්දී මගේ ‘ප්ලෑන්’ එක වුණේ තරමක වේගයෙන් කතා කරගෙන යන්න. ඒකට හේතුව මට ඕන වුණේ තමන්ගේ හිතට එන විවිධාකාර හිතිවිලි අල්ලා ගන්න තාත්තා පොර බඳිමින් ඉන්න බව පෙන්නන්න. චිත්‍රපටයේ තාත්තා ඉන්නේ මුළුමනින්ම පැටළුණු ලෝකයක. ඒ හින්දා ඒ තාත්තාට ඕන වුණා එයා හැම තිස්සෙම කිසිම අවුලක් නැති නිරවුල් ජීවිතයක් ගත කරනවා කියලා ලෝකයට පෙන්නන්න. ඒ හින්දාම එයා රළු වුණා. නිතර නිතර වටේ ඉන්න අයට කෑගහන්න පුරුදු වුණා. ‘මාව බලාගන්න කවුරුත් ඕන නැහැ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න’, ඒක තමයි එයා නිතරම කිව්වේ”

“මේ චිත්‍රපටයේ අන්තිම හරිය වෙද්දී තාත්තාට කිසිම හැඟීමක් නැතිව යනවා ‍තමන් ඉන්නේ කොහේද කරන්නේ මොකක්ද කියලා. ඒ තාත්තා හිතනවා තමන්ගේ වටේ ඉන්න හැම දෙනාම බලාගෙන ඉන්නේ තමන්ගේ දේවල් හොරකම් කර ගන්න කියලා. චිත්‍රපටය අවසානය වෙද්දි තාත්තාට, තාත්තගේ නමවත් මතක නැහැ. මරණයට ළංවෙලා කියලා එයාට දැනෙන්න පටන් ගන්නවා.”

“මේ තාත්තා ඉතාම නිරවුල් මනසකින් පිළිවෙළට වැඩ කළ කෙනෙක් කියලා පෙන්නන්න මට ඕන වෙච්ච හින්දා චිත්‍රපටයේ පසුතල නිර්මාණ ශිල්පීන්ට මං කිව්වා, චිත්‍රපටයේ මුල් කොටසේ දී තාත්තාගේ ඇඳුම් එල්ලලා තියෙන තැන්වල පැහැදිලිව පෙනෙන විදියට හමුදා ටයි එකක්, පිරිසිදු කබා දෙක තුනක් එල්ලලා තියන්න කියලා”

“මේ චිත්‍රපටයේ දුව මැරෙනවා තාත්තාට කලින්. ඒක ප්‍රේක්ෂකයා දන්නවා. අනික් චරිතත් දන්නවා. ඒත් තාත්තා දන්නේ නැහැ. තාත්තා කතා කරනවා දුවට”

“චිත්‍රපටය මුලින්ම නරඹද්දී මං පුදුමාකාර විදියට හැඟුම්බර වුණා. මාත් ඒ තාත්තාගේ වයසෙම තමයි. ඩිමෙන්ෂියා කියන ඛේදවාචකය අපි හැමෝගෙම වටේ කැරකෙනවා. මේ භූමිකාව රඟපාන එක මට හරිම පහසු වුණා. චිත්‍රපටය රූගත කරන පසුතලයට ඇවිත් පහළින් තියෙන වීදියේ ගෝසාවත් එක්ක, හිරු එළිය කාමරයට කාන්දු වෙන හැටි දකින මොහොතේම, මේ සුවපහසු පුංචි නවාතැන් කුටියේ, හරියටම කවදා සිද්ධ වෙයිද කියලා කියන්න බැරි වුණත්, මිය යමින් ඉන්න තාත්තා බවට පත් වෙන්න මට පුළුවන් වුණා”

තමන් ජීවිතයේ ‌බෙහොම කාලයක් ඉතාම තදින් මත්පැන්වලට ඇබ්බැහි වුණු පුද්ගලයෙක් බව හොප්කින්ස් මේ පොතේ විස්තර කරනවා. ඒත් 1975 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 29 වැනිදා ඒ සියල්ල කණපිට හැරිලා ඔහුගේ මුළු ජීවිතයම වෙනස් වෙනවා. ඒකට හේතුව සිනමා නිර්මාණයක රඟපෑමක් අතරතුරදී ඔය කිව්ව දවසේ රාත්‍රියේ ඔහු හෝටල් කාමරයේ නින්දට ගිහින් තියෙන්නේ හොඳටම මත්පැන් පානය කරලා. පහුවෙනිදා උදේ නැගිටිද්දී පෙරදා රාත්‍රිය ගැන කිසිම මතකයක් ඔහුට තිබිලා නැහැ. එදායින් පස්සේ ඔහු ආපහු කිසිම දවසක මත්පැන් බිඳක්වත් තොල ගාලා නැහැ.

තමන් ඇබ්බැහි වෙලා හිටිය බීමත්කම ගැන හොප්කිනිස් තමන්ගේ චරිතාපදානයේ දී අවංකව කතා කරනවා. බීමතට යොමු වෙලා හිටිය කාලයේ දී පළුදු වෙච්ච හිත මිත්‍ර සබදකම්, නැතිවෙලා ගිය ‘ජීවිතය’ ගැන වගේම මත්පැන්වලින් වළකින්න තීරණය ගත්ත ගමන්ම හිතට දැනුණු නිදහස සහ සහනය ගැනත් ඔහු මේ පොතේ විස්තර කරනවා.

බීමත්කමින් මිදීම තමයි ඔහු දකින විදියට ඔහුගේ සාර්ථකත්වයේ රහස.

හොප්කින්ස්ගේ ජීවිතයට තාත්තා තදින්ම බලපාලා තියෙන බව පොත පුරාම තැනින් තැන හමුවෙන සටහන්වලින් පෙනෙනවා.

ඔහු නළුවෙක් පමණක්ම නෙමෙයි. දක්ෂ පියානෝ වාදකයෙක්. ඔහු අතින් මුළුමනින්ම රචනා කෙරුණු සංගීත සංධ්වනියක් ඕලන්ද ජාතික ලෝක ප්‍රකට වයලීන වාදකයෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වන André Rieu ගේ මෙහෙවීමෙන් දස දහස් ගණනක ජනතාවක් ඉදිරියේ වාදනය වන හැටි ඔබට පුළුවන් අන්තර්ජාලයෙන් නරඹන්න. ඒ වගේම හොප්කිනිස් කියන්නේ අන්තර්ජාතික ප්‍රදර්ශන පවත්වපු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්.

“තරුණ අය නිතරම කරන චෝදනාවක් තමයි වයසක මිනිස්සු හැම තිස්සේම අතීතයේ සුන්දරත්වය හරි අතීතයේ පසුතැවීම් ගැන හරි (good old days or bad old days) වල්පල් දොඩවන්න ලැහැස්ති වෙලයි ඉන්නේ කියලා. ඒ විදියේ ‘වල්පල්’ නිතර දොඩවන වයසක ‘කරච්චල්කාරයන්’ ගැන කොල්ලෙක් විදියට මාත් ඒ කාලේ හිතුවේ එහෙමම තමයි. ‘ඒ තරම් කාලයක් මං ජීවත් වුණොත් මං නම් එහෙම වෙන්නේ නැහැ’, ඒ දවස්වල මං එහෙම හිතුවා.

දැන් මං ඒ වයසක මනුස්සයා බවට පත්වෙලා. ජීවිතයේ මුලටම ගිහින් මගේ ළමා ජීවිතයේ සුන්දර තැන් වගේම මං ළං කරගත්ත සාර්ථකත්වයන් ගැන හිතලා මටත් සෑහිමකට පත් වෙන්න පුළුවන්. දැන් මං ඒ හැම දෙයක්ම සටහන් කරලා ඉවරයි.” (ඔහු අදහස් කරන්නේ ඔහුගේ මේ චරිතාපදාන කෘතිය ගැනයි)

මං දැන් ලැහැස්තියි අතීතය අමතක කරලා අර කිව්ව ‘ලොකුම රහස’ ගැන දැන ගන්න හිත සූදානම් කරගෙන ඉන්න.

“බොහොම ඈත අතීතයේ ග්‍රීස්ම සෘතුවේ හවස් වරුවක දී තමයි පුංචි ළමයෙක් විදියට මං ‘මරණය’ කියන වචනය මුලින්ම ඇහුවේ.

“නෑ.. නෑ.. මට එහෙම වෙන්නේ නැහැ. මං හොයා ගන්නවා දුවලා ගිහින් බේරෙන විදියක්. ආපහු හැරිලා නොබලා දුවනවා එක දිගටම…. දුවන්න හාවො… දුවන්න… දුවන්න… දුවන්න. අන්න දඩයක්කාරයා ඉන්නවා තුවක්කුවත් අරන්”, එහෙමයි මං හිතුවේ.

ඒත් දැන් මං දන්නවා මං දැන් දුවන්නේ මරණයෙන් ගැලවෙන්න නෙමෙයි, ජීවිතයෙන් ගැලවෙන්න කියලා. කොයි තරම් නම් පුදුමයක් ද….? වැඩි දවසක් යන්න කලින්ම මටත් අහන්න පුළුවන් වේවි සීත සෘතුවේ ගීතය!”

මේ පොතින් කියලා දෙන ජීවිත පාඩම් කිහිපයක් තියෙනවා. එකක් තමයි අසිරිමත් ජීවිතයක් උදාකරගන්න අසිරිමත් උපතක්ම තියෙන්න ඕන නැහැ කියන කාරණාව. හොප්කින්ස් කියන්නේ සාමාන්‍ය පවුලක හැදුණු වැඩුණු ඒ වගේම ළමා කාලයේ දී විශේෂ දක්ෂතා නොදැක්වූ දරුවෙක්. ඒක ඔහු කිහිප වරක්ම පොතේ කියලා තියෙනවා.

ඒ වගේම තවත් දෙයක් තමයි සාර්ථකත්වය ළඟා කරගත්ත පමණින්ම අපේ හිත් පීඩාවන් සුව වෙන්නේ නැහැ කියන කාරණාව. ඔස්කාර් සම්මාන ලබපු අති සාර්ථක නළුවෙක් වුණත් ජීවිතයේ තනිකම, අස්ථිරභාවයට ඒ සාර්ථකත්වයෙන් පිළියම් නොලැබුණු බව ඔහු පෙන්වා දෙනවා.

4 thoughts on “දුවන්න හාවො… දුවන්න… දුවන්න…!

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑