
සමහර ‘තියරි’ තියෙනවා පුදුමාකාර විදියට මානසික සැහැල්ලුවක් හිතට අරගෙන එන.
මේ කියන්නට යන ‘තියරිය’ ගැන මං මුලින්ම දැනගත්තේ මීට අවුරුදු හතකට අටකට කලින්. ඒ මහාචාර්ය රොල්ෆ් ඩූබලිගේ “The Art of the Good Life” කියන පොතින්.
ඒ පොත කියවද්දී ඉගෙන ගත්ත මේ තියරිය (සංකල්පය) හින්දා බොහොම කාලයක් තිස්සේ පෞද්ගලිකව මගේ හිතට වද දුන්නු කාරණාවක් තහවුරු වෙලා පුදුමාකාර සැහැල්ලුවක් හිතට නැගුණා. ඒ වගේම මටත් නොදැනිම දෙතොලට හිනාවක් නැගුණා. මහාචාර්ය ඩූබලී කියන විදියට ඒ තියරිය මුලින්ම දැනගත්ත දවසේ එයාටත් දැනිලා තියෙන්නේ ඒ විදියේම මානසික සැහැල්ලුවක්. ඉතින් ඔබත් කැමැතියි නම් ඒ මානසික සැහැල්ලුව අත් විඳින්න, මේ තියරිය දැනගෙන ඉන්න එක හොදයි.
තියරියක් කිව්වට මේක නීතියක්. නීතියක් කිව්වට තියරියක්! – “Sturgeon’s Law” (ස්ටර්ජන්ගේ නීතිය).
‘Law’ කියලා කිව්වාට ඒක කිසිම රටක නීති පොතක සංග්‍රහ වුණු ව්‍යවස්ථාපිත නීතියක් නෙමෙයි. ඒ නිසා කිසිම උසාවියක් ඉස්සරහ දඬුවම් ලබා දෙන්නට පුළුවන් විදියේ දෙයක් නෙමෙයි මේ.
එහෙනම් ඇයි ඒකට නීතියක් කියලා කියන්නේ?
ඒකට හේතුව මුළු මහත් ලෝකයම පිළිගන්නා සත්‍යයක් ඔය කියන සංකල්පයේ තියෙන හින්දා. ඒ වගේම ලෝකයේ තියෙන හැම විෂය ක්ෂේත්‍රයකටම නිවැරදිව ගලපා ගන්න පුළුවන් කාරණාවක් හින්දා. ඒ වගේම ඒ සංකල්පයේ තියෙන සරල බව සහ සිත් ගන්නා සුළු බව හින්දා.
මේ නීතිය මොකක් ද කියලා කියන්න කලින් පුංචි කතාවක් තියෙනවා කියන්න.
ස්ටර්ජන් (Theodore Sturgeon :1918–1985) කියන්නේ විද්‍යාත්මක ප්‍රබන්ධ (science-fiction) කතා කලාවේ බොහොම සම්භාවනාවට පාත්‍ර වෙච්ච ඇමරිකානු ජාතික නිර්මාණශීලී විද්‍යා ලේඛකයෙක්. “Star Trek” කතා මාලාවේ බොහොම ජනප්‍රිය කතාංග ගණනාවක් වගේම විශිෂ්ට මට්ටමේ විද්‍යා ප්‍රබන්ධ ගණනාවක් ඔහු අතින් ලොවට දායාද කෙරුණා.
මේ දක්ෂ නිර්මාණශීලී ලේඛකයාට, පොදුවේ ගත්තම විද්‍යාත්මක ප්‍රබන්ධ කලාවට 1950 ගණන්වලදී බරපතළ චෝදනාවක් එල්ල වුණා. “විද්‍යා ප්‍රබන්ධ කියන්නේ කිසිම තේරුමක් නැති දෙයක් නේද? නිකම්ම නිකම් කතා විතරයි. ඇති දෙයක් නැහැ නේද…?”
ස්ටර්ජන් ප්‍රශ්නයට කලබල වුණේ නැහැ. තරහ ගත්තෙත් නැහැ. බොහොම සරල උත්තරයක් දුන්නා.
“90% of everything is crap.” – “හැම දෙයකම සියයට අනූවක්ම කිසිම තේරුමක් නැති වල්පල් තමයි”
ස්ටර්ජන් ඒ කිව්වේ විද්‍යා ප්‍රබන්ධ කතා කලාව විතරක් නෙමෙයි මේ ලෝකේ තියෙන මොන විෂය ක්ෂේත්‍රය ගත්තත් සියයට අනූවක්ම කිසිම වැඩකට නැති වල්පල් කියලයි.
මේ කතාව ‘පොල්ලකින් ගැහුවා’ වගේ හැමෝගෙම ඔළුවලට වැදුණා. ඒකට හේතුව තමන්ගේ ජීවිත කාලය ඇතුළේ දී හැම දෙනාම ඒ සත්‍යය ස්ටර්ජන් කිව්ව විදියටම අත්විඳිමින් හිටපු හින්දා. හිතලා බලන්න, ඔබටත් තේරෙයි කොයි තරම් නම් ඇත්තක් ද මේ කියන්නේ කියලා.
ස්ටර්ජන්ගේ ප්‍රකාශය මිනිස්සුන්ගේ හිතට කොයි තරම් නම් තදින් අල්ලලා ගියාද කියනවා නම් අන්තිමේ දී ඒ ප්‍රකාශය “Sturgeon’s Law” කියලා හඳුන්වන්න මිනිසුන් පෙළඹුණා. දැන් ඒක නිල නොලත් නිතියක්.
ඒ කතාව ඇත්තක් ද…?
ස්ටර්ජන්ගේ කතාව ඇත්තක් කියලා කියන්න උදාහරණ ඕන තරමක් දෙන්න පුළුවන්. සිනමාව, සාහිත්‍යය, කලාව, දේශපාලනය, ආගම, සංස්කෘතිය… ඔබ නම් කරන ඕනෑම ක්ෂේත්‍රයකින්.
සිනමාව අරගෙන බලමු. හොලිවුඩ් සිනමාව හැම අවුරුද්දකම අලුත්ම අලුත් සිනමා පට සිය ගණනක් එළියට දානවා. ඒත් ඒවායින් උසස් ගණයේ කලාත්මක සිනමා පට එහෙමත් නැතිනම් අඩුම තරමින් ජනප්‍රියත්වයට පත්වන සිනමා පට තියෙන්නේ අතේ ඇඟිලිවලින් ගණන් කරන්න පුළුවන් තරම් ටිකයි.
සිංදු වුණත් එහෙමම තමයි. එක දවසක් ඇතුළත දී සිංදු දස දහස් ගණනක් විවිධාකාර තලයන් (Music platforms) ඔස්සේ ලෝකයට ගලා ගෙන එනවා. ඒත් ඇත්තටම රසිකයන් අතරට යන සිංදු බිහිවෙන්නේ කීයෙන් කීය ද? ලෝකය අමතක කරලා ලංකාව ගත්තත්, ජෝතිපාලලා, අමරදේවලා, නන්දා මාලනීලා, මිල්ටන්ලා, සුනිල්ලාගේ පරපුරේ සංගීතවේදීන් නොහිටියා නම් රියැලටි ෂෝ කවුරු බලයි ද?
ලෝකයේ පොත පත බිහිවෙනවා ඕන තරම්. සතියකට පොත් දාහක් දෙදාහක් බිහිවෙනවාම තමයි. ඒත් අඩුම තරමින් විචාරකයන්ගේ අවධානයට යොමු වෙන මට්ටමේ ගුණාත්මක භාවයක් තියෙන්නේ ඒවායින් කීයෙන් කීයක ද? හැම අවුරුද්දකම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිමාවෙන්නේ ආදායම් වාර්තා බිඳ හෙළපු ‘ජනප්‍රිය’ පොත් ගැන වර්ණනා වලින්. ඒත් ඒ අදායම් වාර්තා බිඳපු පොත්පත් ස්ටර්ජන් කියන වල්පල් ගණයට අයිති ද නැති ද කියන කාරණාවට උත්තර සපයා ගන්න ඔබටම පුළුවන්.
ඔබට අහන්නට දකින්න ලැබෙන වෙළෙඳ දැන්වීම්වලින් සියයට අනූවක්ම කුණු ගොඩවල්. ඔබේ රාජකාරිය කාර්යබහුල එකක් නම්, ඔබට විද්‍යුත් තැපෑලෙන් ලැබෙන සියයට අනූවක්ම කිසිම තේරුමකට නැති ඊමේල්. රාජකාරී ජීවිතයේ හමුවීම් (meetings) ගත්තත් තත්ත්වය එහෙමමයි නේද?
විද්‍යාව තාක්ෂණයේ කියලත් වෙනසක් නැහැ. ඉවසීමකින් කරුණු සොයා නොබලා කඩිමුඩියේ සරසවිවලින් නිකුත් වෙන පර්යේෂණ පත්‍රිකා ස්ටර්ජන් කිව්වා වගේම වල්පල් තමයි. අඩුම තරමින් මෑත කාලයේ ලංකාවේ සරසවි පද්ධතියෙන් බිහිවූ වචනයේ පරිසමාප්තියෙන්ම ප්‍රාමාණික විද්වතුන් කියලා කියන්න පුළුවන් අය ඉන්නේ කීයෙන් කී දෙනා ද?
ආගම දහමත් මෙතැනින් ගැලවෙන්නේ නැහැ. යූටියුබ් එක පුරාමත්, පාරට බැස්සමත් දකින්න ලැබෙන්නේ සද්ධාසීල, නානසාර, කස්සප ගණයේ වල්පල්. ඒවා බෞද්ධ දර්ශනයෙන් බොහොම ඈතයි, ළං වෙන්නවත් බැහැ. චීවරයක් දැරූ පමණින්ම බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ නැහැ. ඒ නිසා ස්ටර්ජන් කිව්වා වගේම චීවරයට වඩා අද දකින්න ලැබෙන්නේ නිකම්ම නිකම් සිවුරු රඳවන.
අනෙක් ආගම්වලත් කිසිම වෙනසක් නැහැ. කොරුන්, බිහිරන්, අන්ධයන්, ගොළුවන් ප්‍රත්‍යක්ෂව සනීප කරන ජෙරොම් වර්ගයේ සුවකිරීම් දේව මෙහෙයන් තියෙන්නේ ලංකාවේ විතරක්ම නෙමෙයි. ඒත් වර්තමාන පාප්තුමන් කලින් හිටපු ෆ්‍රැන්සිස් පාප්තුමා විතරක් නෙමෙයි තවත් බොහොමයක් පාප් වහන්සේලා ජීවිතයේ අවසාන කාලය ගත කළේ ඇවිදගන්න බැරුව රෝද පුටුවේ. දෙවැනි ජෝන් පාවුළු පාප්තුමන්ට පාකින්සන්, ආතරයිටීස් විතරක් නෙමෙයි කතා කරගන්නත් බැරි වුණා. අවුරුදු 600 ක ඉතිහාසයකට පස්සේ ප්‍රථම වතාවට 2013 දී පාප් වහන්සේ කෙනෙක් ඉල්ලා අස්වුණා තමන්ගේ රාජකාරී කටයුතු සිදු කරන්නට බැරි තරම් ඔත්පල වෙච්ච හින්දා. ඒ 16 වැනි බෙනඩික්ට් පාප් තුමන්.
ඉස්ලාම් දහම ගත්තත් අද දකින්න ලැබෙන්නේ මරණින් පස්සේ කන්‍යාවියන් සොයා යන ඉස්ලාම් අන්තවාදයේ ශේෂයන් මිසක් සැබෑ ඉස්ලාම් දහම නෙමෙයි. “Islamophobia”කියලා වචනයක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට එකතු වුණේ ඕපපාතිකව නෙමෙයිනේ.
ස්ටර්ජන්ගේ නීතිය හොඳින්ම ගලපා ගන්න පුළුවන් තැනක් තමයි ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍ය කියන්නේ. සමාජ මාධ්‍ය ගත්තම නම් සියයට අනූවකටත් වඩා තියෙන්නේ කාලය නාස්ති කරන කිසිම තේරුමක් නැති වල්පල්. මුහුණු පොතේ ඉන්න හැම දෙනාම වගේ පෙන්නන්න උත්සාහ කරන්නේ තමන් තරම් උගත් කෙනෙක් නැහැ කියලා. ඒ හින්දා සිද්ධියක් වෙනවාත් එක්කම කිසිම හොයා බැලීමක් නැතිව තමන්ගේ මතවාද ඉදිරිපත් කරනවා මහා බරසාර විදියට පේන්න. ඒත් ඒවා නිකම්ම නිකම් හිස් පරඬැල්, පල්හෑලි.
‘පැසුණු හිසින් බුහුමන් ලබව’ කිව්වට ඒ ‘පැසුණු හිස’ කියන වචනය ඒකේ හරි අර්ථයෙන්ම අල්ලා ගන්න. මොකද මෝඩයෛාත් වයසට යනවා කියලා නැතිනම් අමතක වෙන්න පුළුවන්.
යූ ටියුබ් කාරයන් ගත්තත් ඒවායින් සියයට අනූවකට වඩා තියෙන්නේ වල්පල්. ඒත් බැන බැන පවා බලන පිරිසක් ඉන්න හින්දා හැමදාමත් එයාලට ඩොලර් වලින් ආදායම. ප්‍රවෘත්ති ගත්තමත් එහෙමයි. සියයට අනූවක්ම තියෙන්නේ වල්පල්. (ප්‍රවෘත්ති වල්පල් වෙන්නේ කොහොම ද කියන එක ගැන වැඩි දුරටත් තොරතුරු දැනගන්න කැමැති නම් මං මේ ලිපියේ මුලින්ම සදහන් කළ මහාචාර්ය ඩූබලිගේ “Stop Reading the News” කියන පොත කියවන්න).
උගත්තු කිව්වට උගත්තුම නෙමෙයි ඉතින්
හිතන්න එපා, ආචාර්ය උපාධියක්, වෘත්තිමය සුදුසුකමක් තියෙන හැමෝම ප්‍රායෝගික ‘උගත්තු’ කියලා. ස්ටර්ජන් කිව්වා වගේම එයාලගෙන් සියයට අනූවක්ම වතුරේ ගහගෙන යන පොල් කොටන්. ආසන්නම උදාහරණයක් ඕන නම් ලංකාවේ වෛද්‍ය සංගමය අරගෙන බලන්න. තමන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න එයාලා යන්නේ අඩුම තරමින් මහජන ජන්දයෙන්වත් පාර්ලිමේන්තුවට එන්න බැරි වුණු, ඒ වගේම තමන්ගේ නීති උපාධිය පවා හොරාට ගත්තා කියලා බරපතළ චෝදනා එල්ලවෙන නිකම්ම නිකම් මන්ත්‍රී කෙනෙක් ළඟට. ඉතින් ස්ටර්ජන් කියන්නේ ඇත්ත නේද?
කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ නීතිය අපිට වැදගත් වෙන්නේ කියලා.
අපේ ජීවිතයේ අපිට ලැබිලා තියෙන වටිනාම වස්තුව තමයි අපිට තියෙන කාලය. කාලය කියන්නේම ජීවිතය තමයි කියලා කිව්වේ ගෞරවනීය වියට්නාම් සෙන් භික්ෂුවක් වෙන තික් නාට්. (“Time is not money. Time is life.” – Thích Nhất Hạnh). ඉතින් මේ සීමිත සම්පත වල්පල්වලට යෙදෙව්වොත් අපිට නැතිවෙන්නේ අපේ ජීවිතය. ස්ටර්ජන්ගේ නීතියෙන් ගන්න පුළුවන් වටිනාම ආදර්ශය තමයි අපේ ජීවිතයට වැදගත්වන, වටිනා දේවල් අපි අවට තියෙන්නේ බොහොම සීමිතව සහ විරලව කියන කාරණය දැනගෙන ජීවත් වෙන්නට මේ නීතිය සිහියේ තබා ගෙන සිටීම උදව්වක් වෙන හින්දා.
සාරවත් දේවල් බිහිවෙන්න නම් ප්‍රාමාණික දැනුම, ඉවසීම, විනය, අත්දැකීම, දක්ෂතාව කියන මේ හැමදේම එකට මුහුවෙන්න ඕනේ. මුළු ලෝකයම පිරිලා තියෙන්නේ අනවශ්‍ය නිසරු ගෝසාවන්ගෙන්. රෙද්දක් හෝදලා දානවා වගේ මේ වල්පල් නිවැරදි කරන්නවත්, ඒවා වළක්වන්නට යන්නවත් එපා. ඒක කවදාවත් හරියන වැඩක් නෙමෙයි. මහාචාර්ය ඩූබලී කියන විදියට ඔබට සිහිබුද්ධියෙන් අල්ලා ගෙන ඉන්න පුළුවන් කාලයට වඩා හිතාගන්නවත් බැරි තරම් කාලයක් ‘පිස්සු විකාර නටන්න’
ලෝකයට පුළුවන්. (The world can stay irrational longer than you can stay sane).
මේ මුළු ලෝකයටම මල් යායක් කියලා හිතනවාට වඩා යථාර්ථවාදීයී මේ මුළු ලෝකයම විකාර වලින් පිරුණු කොමඩියක් කියලා හිතාගෙන වැඩ කරන එක.
විවිධාකාර චැනල්වලින් මෙහෙයවන දේශපාලන සංවාද, නිසරු යූටියුබ් නාලිකාවලට වගේම සමාජ මාධ්‍යයන්ට ඔබත් ඇබ්බැහි වෙලා නම් මොහොතකට කල්පනා කරලා බලන්න ජීවිතයේ කොයි තරම් කාලයක් ඔබ ඒ වෙනුවෙන් නැති නාස්ති කරගෙන තියෙනවා ද කියලා. ඔබේ ජීවිතය ගුණාත්මක කරගන්නට මොනවාද ඔබට පෙරළා ලැබිලා තියෙන්නේ?
අමතක කරන්න එපා, ස්ටර්ජන් නීතියෙන් කියන්නේ ඔබ අවට තියෙන ලෝකය ගැන විතරක් නෙමෙයි, ඔබේම ජීවිතය ගැනත් කතාවක් එතැන තියෙනවා. වෙළෙඳ පොලට එන හැම දේම ඒවා පවතින පලියටම ජීවිතයට ළං කරගන්න උත්සාහ ගන්න එපා. අලුත් අලුත් උපාංගත් එක්ක එන හැම ජංගම දුරකථනයම, හැම වාහනය ගැනම සිහින මවන්නට යන්න එපා. ඒ අලුත් උපාංග බොහොමයක් නිසරු ඇස්බැන්දුම් විතරයි.
සමාජ මාධ්‍යවල තියෙන හැම දෙයක්ම කියවන්න තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන නැහැ වගේම සිදුවීම්ක් වෙච්ච ගමන්ම තමන්ගේ මතවාද එළියට දාන්න කලබල වෙන්න ඕනෙත් නැහැ. මොකද ඔබට නොකිව්වට සමාජ මාධ්‍යවල ඔබේ හැසිරීමෙන් තමයි බොහොම දෙනෙක් ඔබ ගැන චිත්‍රයක් මවාගෙන ඉන්නේ. ඔබත් අන් අය ගැන තේරුම් ගන්නේ එහෙම නේද?
නිරන්තරයෙන්ම ඔබ අවටින් මතුවන නිසරු ගෝසාවන්ට සවන් නොදෙන්නට තරම් ආත්ම ශක්තියක් ගොඩ නගා ගන්නට ඔබටත් පුළුවන් නම් දිනන්නේ ඔබම තමයි. ඒ නිසා තමයි අර්නස්ට් හෙමිංවේ බොහොම කාලයකට කලින් කිව්වේ හැම මනුස්සයාටම පුළුවන් වෙන්න ඕනේ කියලා කුණු කන්දල් කල් තියාම හඳුනා ගන්න. හරියට තමන්ගේ ඇඟ ඇතුළේ ‘metal detector” එකක් හයි කරගත්තා වගේ. (“Every man should have a built-in automatic crap detector operating inside him”). මහාචාර්ය ඩූබලී කියන විදියට කිසියම් දෙයක් වල්පල් ද නැති ද කියලා තේරුම් ගන්න ඔබට අපහසු නම් දෙසැරයක් හිතන්න එපා, ඒ වල්පල්ම තමයි. ( If you’re not sure whether something is bullshit, it’s bullshit.)
එ් හින්දා තෝරාගත් සාරවත් දේවල් කිහිපයකට විතරක් අවධානය යොමු කරලා අනෙක් හැම දේම කුණු වෙච්ච තක්කාලි ගෙඩියක් වීසි කරනවා වගේ පැත්තකට වීසි කරලා දාන්න. ඔබටම දැනේවි කොයි තරම් නම් සහනයක් හිතට දැනෙනවා ද කියලා.
ස්තූතියි කළු, වල්පල් නොවෙන දෙයක් ලියන එක ගැන…
කැමතියිLiked by 1 person
ස්තුතියි කියෙව්වාටත්🙏
කැමතියිකැමතියි
කළු.. මේක සම්බන්දව තව ටිකක් හිතුවම මට මෙහෙම ප්‍රශ්නයකුත් ඔලුවට එනවා. සමහර දේවල් තියෙනවා අපි මුලින්ම කියෙව්වම අය් යෝ මොන මගුලක්ද මේ කියල හිතෙන. ඒ කියවපු දේ වල්පල් නිසා වෙන්නත් පුලුවන් ඒ වගේම මම දන්න, මට තේරෙන දේවල්වල දිග පලළ නිසා වෙන්නත් පුළුවන් නේද? එතකොට ඒ කියවපු දේ වල්පල් කියල අත ඇරියොත්, මගේ දැනුම දියුනු කරගන්න තිබුන අවස්තාවක් මග ඇරෙනවා නේද?
කැමතියිLiked by 1 person
ඇත්ත. ඒත් මෙතැන දී අපි තොරතුරු ලබා ගන්නේ කොතැනින්ද කියන කාරණාව තමයි වඩාත්ම වැදගත් වන්නේ. අපි තොරතුරු ලබා ගන්නේ අදාළ විෂය ගැන ප්‍රාමාණික දැනුමක් ඇති කෙනෙකු විසින් ලියන ලද පොතකින් හෝ ඒ හා බැඳුණු මූලාශ්‍රයකින් නම් ඒ ගැන කියවා බලා නොදත් තොරතුරු ගැන දැනුවත් වීම සුදුසුයි. ඒත් අපි තොරතුරු ලබාගන්නේ මූලාශ්‍ර රහිත සමාජ මාධ්‍යකින් නම් සහ බැලූ බැල්මටම විශ්වසනීය බවක් එයින් ලබා නොදෙනවා නම් ඒවා කියවන්කට තව දුරටත් කාලය වැය කිරීමෙන් ඇත්තටම පලක් නැහැ නේද?
සමාජ මාධ්‍යවල මා නම් වැඩිපුරම දකින්නේ එවන් අදහස්. බොහොම බරසාර විදියට ලියා තිබුණත් තරමක් ගැඹුරට හොයා ගෙන යද්දී පෙනෙනවා ඒව මුළුමනින්ම වගේ ලියපු කෙනාගේ හිතළු කියලා
කැමතියිකැමතියි
පළමුවෙන්ම ලිපිය නියමයි . මම ෆේස්බුක් යන්නේ සාමාන්‍යයෙන් ටොයිලට් යනකොට .ලියන්නේ උදේට වැඩ පටන් ගන්න කලින් පොඩි ජොලියක් ගන්න සහ යාලුවන්ගේ විස්තර බලන්න තුන මගේ බ්ලොග් ලිපි දාන්න . මටනම් ඒක මෙවලමක් . මේ ලිපියෙත් 10% ඇත්ත . හේතුව තමා යූ ටියුබ් ජරාව මම බලන්නේ නැහැ . නමුත් මට චැනල් එකක් තියනව විනාඩි 10 ට අඩු වීඩියෝ දාන්න . ඒ වගේම අජාන් ශා . ගල්කන්දේ දම්මානන්ද වගේ හාමුදුරුවරුන්ගේ ඒවා මම බලනවා ඉඳ හිට / ඒ නිශ අමං බලන දේවලින් 50% වඩා හොඳයි කියල මට හිතෙනවා . සමස්තයක් වශයෙන් ගත්තොත් තමා අවුල් . – මේ ලියපු දෙවලිනුත් 10% ඇත්ත වෙන්න ඇති නේද ? නැහැ ඔක්කොම ඇත්ත
කැමතියිLiked by 1 person
එකඟයි.
කාලාන්තරයක් තිස්සේ තමන්ට පිළිගත හැකි විශ්වසනීය තොරතුරු ඉදිරිපත් කරන මූලාශ්‍ර ඇසුරු කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මටත් එහෙම තැන් තියෙනවා.
වඩාත්ම වැදගත් වන්නේ ඒවා කියැවීමේදී ඒ කරුණු ගැන අභ්‍යන්තර සංවාදයක් අපි විසින්ම ගොඩ නගා ගැනීම –
එහෙම වෙන්න පුළුවන් ද? මේ කියන දේ හැම විටෙකම ඇත්තක්ම ද? ඒක මේ විදියටත් වෙන්න බැරිද…!
කැමතියිකැමතියි
ඔබේ සටහන කදිමයි. ආසාවෙන් කියෙව්වා. අහස් ගව්වෙන් එහා ලෝකය ටත් ඇවිත් යන්න.
කැමතියිLiked by 1 person
බොහොම ස්තුතියි අනුරුද්ධ.
වරින්වර අහස් ගව්වෙන් එහා ලෝකයට ගිය බව මතකයි. පොතක වැඩක් නිසා පහුගිය දවස්වල බොහොම දේවල් මග හැරුණා. මතක් කළාට බොහොම ස්තුතියි
කැමතියිකැමතියි