
“මෙතැන ඉදන් ඔරිගන් වලට ගිහින් එන්න කිලෝ මීටර් දාහකට වැඩියි … අදම එන්න පුළුවන් කියලා විශ්වාස ද?” කැනඩා – ඇමරිකානු දේශසීමාවේ හිටපු ආගමන විගමන නිලධාරියා මගෙන් ඇහුවා.
හිමිදිරිය වුණත් පෙරදිග අහස අළු පාටට හැරිලා තිබුණා. ඒකට හේතුව හිමපතනයක් කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියලා තිබුණු හින්දයි.
“ඔව්… මේක නොයාම බැරි ගමනක්”, මං ඔහුට පිළිතුරු දුන්නා.
ගමනට හේතුව දැනගත්තාට පස්සේ ඔහු මගේත් බිරිඳගේත් පාස්පෝර්ට් දෙක ආපහු දෙන ගමන් මගේ වාහනයට යන්න ඉඩ හැරියා.
දේශසිමාව පහු කරලා වැඩි දුරක් යන්න වුණේ නැහැ. මුලින්ම ඇද වැටුණේ හේල් වැස්සක්. ඊට පස්සේ ඒක හිම කැට බවට පත් වෙලා මිනිත්තු කිහිපයකින් මහා හිම වැස්සක්! කාලගුණය හිතකර නොවුණත් කාලයත් එක්ක සටනකට මැදි වෙලයි අපි හිටියේ. ඒ හින්දා අධිවේගී මාර්ගයේ උපරිම ධාවන වේග සීමාව වුණු පැයට කිලෝමීටර් 110ක වේගයෙන් වාහනය ධාවනය කළේ වයිපරය උපරිම වේගයෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ හැරලයි.
වාහනය නතර කෙරුණේ අතරමගදී කෝපි කෝප්පයක් තොල ගාන්නට විතරයි. ඒ හින්දාම නියමිත වෙලාවට කලින් ගමනාන්තයට එන්න පුළුවන් වුණා.
ඒ ඔරිගන්වල තරමක ගම්බද පෙදෙසක්. හතර මං හන්දියක එක කොණකට මුහුණලා තමයි අවමංගල්‍ය ශාලාව පිහිටලා තිබුණේ.
අවමංගල්‍ය ශාලාවට මටත්, මගේ බිරිඳටත් ඇතුළු වන්නට සිද්ධ වුණේ මිය ගිය මගේ මිත්‍රයාගේ ආදරණීය බිරිඳත්, වෛද්‍යවරියක් වුණු එකම දියණියත් එක්ක. මිත්‍රයෙක් වුණත් ඔහු මට වඩා බොහෝ සේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. සෑහෙන කාලයක් එකම පුවත්පත් ආයතනයක මාධ්‍යවේදී මිතුරන් ලෙසින් සේවය කළ අපි පවුලේ මිත්‍රයන් විදියට වඩාත් දැඩි විදියට සමීප වුණේ එක ළඟ තිබුණු රටවල් දෙකක පදිංචිව සිටිය හින්දා. මේ නිසා අවුරුද්දකට දෙතුන් වතාවක් විවිධාකාර හේතූන් නිසා අපි හමුවුණා. අවසන් වරට අප හමුවුණේ කැනඩාවේ මගේ ගෙරදී මාස තුන හතරකට කලින්.
“එහෙනම් අපි ගිහින් එන්නම්” කියලා එදා සමුගත්තට පස්සේ අපි හමුවුණේ අද! කිසිසේත්ම නොහිතපු තැනක… කිසිසේත්ම නොහිතපු විදියකට.
කුඩා අවංමගල්‍ය ශාලාවේ ලෑලි දොර අප වෙනුවෙන් විවෘත කළේ අවමංගල්‍ය ශාලාවේ නිලධාරියෙක්. අපට ශෝකය පළ කරපු ඔහු ශාලාවේ දොර හැරලා එතැනින් ඉවත් වුණා. ශාලාව පුරා පැතිරිලා තිබුණේ අවට හිම බර කාලගුණයටම ගැලපෙන අඩ අඳුරක්. සිවිලිමේ එල්ලෙන මලානික විදුලි පහන් එළිය යට ශාලාවේ එහා කෙළවරේ හුදෙකලාව තිබුණු මෘත දේහය දුටුවාම අපි එතැනම ගල් ගැහුණා!
සිත කීරිගැස්සෙන විලාපයක් එක්ක මගේ මිත්‍රයාගේ බිරිඳ මෘත දේහය දිහාවට දුවගෙන ගියත් දොරටුවෙන් ඇතුළු වන්නට හිත හදාගන්නට නොහැකිව මාත් බිරිඳත් දොරටුව ළඟ ගල් ගැහුණා. නිදි යහනේ දීම මිය ගිය මගේ මිත්‍රයා නිවසින් මල් ශාලාවට ගෙන ගියාට පස්සේ පවුලේ උදවිය දකින්නේත් මේ මොහොතේදීමයි!
අවමංගල්‍ය අවස්ථාවන්ට ඕනෑ තරම් සහභාගි වී තිබුණත්, මේ තරම් හදිසියෙන් සමුගනීවි යැයි කිසිවිටෙකත් නොසිතූ මිතුරෙකුගේ නිසල දේහය අවමංගල්‍ය ශාලාවේ හුදෙකලාව තනි වී තිබුණු ආකාරයත්, අවට පරිසරයත්, පාළු අන්ධකාරයත් මේ හැම දෙයක්ම ජීවිතයේ කිසිදාක නොවිඳි අත්දැකීමක් අපට සමීප කළා. සිය එකම දියණියගේ විවාහය වෙනුවෙන් සංවිධානය කර තිබූ මංගල උත්සවයට මගේ මිත්‍රයා සහ පවුල් පිරිස ලංකාවට පිටත්ව යන්නට නියමිතව තිබුණේ මිත්‍රයා අවසන් ගමන් යන මේ දවසේමයි.
අවසන් කටයුතුවලට සහහාගි වූ භික්ෂූන් වහන්සේත්, පවුලේ සමීපතම ඥාතියෙකුත් හැරුණු විට ඔහු වෙනුවෙන් එකම එක අවමංගල්‍ය කතාව සිදු වුණේ මා වෙතින්. දශක ගණනාවකට කලින් පත්තර කන්තෝරුවේ යාබද මේස දෙකක එකට ඉඳගෙන එකම පත්තරේ එකට වැඩ කරලා අන්තිමේ දී ලෝකයේ අනිත් කෙළවරේ ගම්බද නගරයක කුඩා දේවස්ථාන අවමංගල්‍ය ශාලාවක දී මිත්‍රයාගේ නිසල දේහයට පියවර දෙකක් ඈතින් හිඳිමින් මේ විදියේ කතාවක් කරන්නට සිදුවීම කොයි තරම් නම් පුදුමයක් ද කියලා ඒ මුළු මොහොත පුරාම මට දැනුණා.
වෙනදා කිලෝ මීටර් දාහක විතර දුරක් වාහනය ධාවනය කරද්දී නිදිමතක්, බඩගින්නක් ඇති වීම සාමාන්‍ය දෙයක් වුණත්, දුෂ්කර කාලගුණයක කිලෝමීටර් දාහක දුරක් ගෙවා ගෙදරට එනතෙක්ම අප දෙදෙනාටම එවැනි අවශ්‍යතාවක් කිසිසේත්ම නොදැනුණේ මේ සිදුවීම අප දෙන්නාටම පුදුමාකාර විදියට කම්පනයක් ඇති කළ නිසයි.
මේ සිදුවීමෙන් සතියකට පස්සේ සෙනසුරදා උදෑසන මා උදේ ආහාරය ගත්තේ මගේ වැඩිහිටි මිත්‍රයෙක් එක්ක. කෑම මේසයේ ඔහු ඉඳගෙන හිටියේ මගේ ආසනයට ඉදිරිපස ආසනයේ.
වැඩිහිටි මිත්‍රයාගේ නම ඩෙනිස්. හැමදාම උදේට මගේ නිවස ඉදිරිපිටින් ව්‍යායාමට ඔහු බයිසිකලය පදින අතරේ කරන කතා බහෙන් අපි මිත්‍ර වෙලා හිටියා.
“කොහොම ද ඉතින්…?” මං ඔහුගෙන් ඇහුවා.
“හරිම තනිකමක් දැනෙනවා….!” ඔහු මට කිව්වේ එක එල්ලයේම මගේ ඇස් දෙක දිහා බලාගෙන. ඔහුගේ බිරිඳ මිය ගිහින් දැන් මාස කිහිපයක්. ඔහු දැන් ජීවත් වෙන්නේ තනියම.
“දැන් මට අවුරුදු 91 ක්. අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 65 ක්ම එකට හිටියා”
ඒ ඇස්වල දිළිසෙන කදුළු කැට දෙකක්. මං ඔහුගේ දෙනෙත් මග හරින්නට උත්සාහ ගත්තා.
“දැන් මට කතා කරන්න කෙනෙක් නැහැ. බයිසිකලය පැදලා ගෙදර ගියාම මං කියන දේවල් අහගෙන ඉන්න කවුරුවත් නැහැ… හැමදාම උදේට දවල්ට මතක් වෙනවා දැන් මං තනියම නේද කියලා”
කියන්නට කිසිම දෙයක් එක සැරේටම ඔළුවට ආපු නැති හින්දා මටත් කතා කරගන්න බැරි වුණා.
බොහෝ වෙලාවට මගේ රාජකාරී කටයුතු සිදුවන්නේ නිවසේ ඉඳන්. ඒ බොහොමයක් වෙලාවට උදේ කාලයේ ඔහු හිස පහත්කරගෙන බයිසිකලය පැදගෙන යන ආකාරය වීදුරු කවුළුව අතරින් මට පේනවා. ඒ හැම මොහොතකම මටත් නොදැනීම මගේ සියලු වැඩ මොහොතකට නතර වෙනවා. ඒ මොහොතේ දී මා ඔහු බවට පත්වෙලා ඔහුගේ සිතිවිලි අතර මාත් තනිවෙනවා. බයිසිකලය පැදගෙන ගිහින් ඔහු පාළු නිවසට ඇතුළු වෙන හැටි… තනියම කෝපි කෝප්පයක් හදාගෙන බොන හැටි… මැවිලා පේනවා. ඒ මොහොතේ ඔහුගේ සිතිවිලිවල ඇති බර කොයි තරම් ද කියලා මටත් දැනෙනවා.
මා ජීවත් වෙන්නේ වැඩිහිටි අසල්වැසියන් පිරුණු පරිසරයක. ඒ නිසාම ලැබෙන අත්දැකීම් හරිම සුන්දරයි. ඒ වගේම සංවේදීයි. හැඟුම්බරයි.
මගේ නිවසට පසුපස නිවසේ හිටියේ වැඩිහිටි යුවළක්. ග්‍රීෂ්ම සෘතුවේ දී අපි දෙගොල්ලොම එකට අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මල් ගස්වලට සාත්තු සප්පායම් කළා. අවුරුදු දෙකකට කලින් ග්‍රීෂ්ම සෘතුවේ දී මගේ මිත්‍ර වැඩිහිටි යුවළගේ බිරිඳ මිය ගියා. බිරිඳගේ වියොවෙන් පස්සේ නිවසේ හුදෙකලා වුණු සැමියාගේ රාත්‍රීන් දවසින් දවස දිගු වෙන හැටි මං දැක්කා. වෙනදා රාත්‍රී අට නවය වෙද්දී නිවී යන ඔහුගේ නිවසේ විදුලි පහන් මධ්‍යම රාත්‍රියේ දීත් දැල්වෙන හැටි මං බලාගෙන හිටියේ කම්පාවෙන්. පාන්දර එක දෙක වෙනකල්ම පරිගණක තිරය ඉදිරිපිට ඔහු නෙත් දල්වා ගෙන සිටින ආකාරය වීදුරු කවුළුව අතරින් ඡායාවක් ලෙසින් මට පේනවා.
“මොනවද මහ රෑ වෙනකල් කම්පියුටර් එකේ කරන්නේ….?” එක්තරා දවසක මං ඇහුවා.
“කම්මැලියි… නින්ද යන්නේ නැහැ.. ඒ නිසා මං නිදිමත එනකම් කම්පියුටර් ගේම් එකක් කරනවා”
තනි වූ ඔහු ගැන නිතර සෙවිල්ලෙන් හිටිය මට ඔහුගේ කාමරයේ විදුලි පහන් දවස් දෙකකින් දකින්නට ලැබුණේ නැහැ. ඔහුගේ දුරකථනයට ඇමතුමක් ගත්තාම පිළිතුරු දුන්නේ ඔහුගේ දියණිය : “තාත්තා නැති වුණා”
බිරිඳ නැති වෙලා අලුත් ග්‍රීස්ම සෘතුවක් ගෙවී යන්නටත් මත්තෙන් ඔහුත් සමුගත්තා.
රාජකාරියෙන් පස්සේ බිරිඳත් මාත් ඇවිදින්නට යන්නේ ළඟ පාත තියෙන පුංචි වන පියසකට. මේ වන පියසට යන පාර වැටිලා තියෙන්නේ ඉහළ මධ්‍යම පාංතිකයන්ට වෙන්වුණු වැඩිහිටි නිවාස සංකීර්ණයක් අතරින්.
ජිම් එකක බිත්ති හතරක් ඇතුළේ… එහෙමත් නැතිනම් ට්‍රෙඩ්මිල් එකක් උඩ හුදෙකලාව කෘත්‍රිමව කරන නීරස ව්‍යායාමයකට වඩා පුදුමාකාර තෘප්තියක් සහ සැහැල්ලුවක් පමණක් නෙමෙයි ජීවිතයට සුවිශේෂී අත්දැකීම් ඕනෑ තරම් විඳ ගන්නට හොඳම මාර්ගයක් තමයි නිදහස් පරිසරයේ ඇවිද යන එක. මා ජීවත් වන රටේ නම් සෘතු හතරේ වෙනස්කම් විඳින්නට තියෙන හොඳම අවස්ථාව.
වස්සානයේ සිහින් පොද වැස්සේ සිසිලස… වසන්තයේ මල් කැකුළුවල සුවඳ… ග්‍රීෂ්මයේ හිරු බැස යන චමත්කාරය… සිසිරයේ නෙක නෙක පාටින් ගස් කොළං හැඩ වෙන අපූරුව… ඒ ඒ සෘතු අනුව එළියට බහින කුරුල්ලන්… ඒ කුරුළු නාදවල එකිනෙකට වෙනස් මිහිරි ස්වර පරාසයන්… මල් දළු පිසගෙන එන සුළං රැළිවල නැවුම් බව…
මේ හැම දේකටම වඩා වැදගත්ම දේ මිනිසුන් කියවන්නට ලැබීම!
කලින් කිව්ව වැඩිහිටි නිවාස සංකීර්ණය අතරින් ඇවිද යද්දී හමුවන මිනිසුන් දවසින් දවස වෙනස් වෙන හැටි… දෙන්නා එක්කෙනා වෙන හැටි… එක්කෙනා අවසානයේ දී මතකයක් පමණක්ම ඉතිරි කරලා සමුගෙන යන හැටි අපි දවසින් දවස අත් විඳිනවා. පෙරදා අපිත් නිදහසේ ඇවිදිමින් කතා බහ කළ ඇතැම් වැඩිහිටියන් දැන් රෝද පුටුවේ. රෝද පුටුව සැමියා තල්ලු කරගෙන යන අතරේ තමන්ගේ හිස වටා ඇති සිනිදු සළුව ගැට ගහන්නට කියලා ඇතැම් අය මගේ බිරිඳගෙන් ඉල්ලා හිටිනවා.
තවත් දවසක ඉතා වයස්ගත වැඩිහිටියෙක් තමන්ගේ දෑතින්ම මගේ අත ආදරයෙන් වැළඳ ගත්තා. ඔහු යන්නට පුරුදු වී සිටි දේවස්ථානයක ඔහු ඉතා කැමැත්තක් දැක් වූ පූජකවරයා මා යැයි සිතාගෙනයි ඔහු එසේ මා වැළඳ ගත්තේ. ඔහුගේ වයසත්, ඒ ආදරණීය හැඟීමටත් පිටුපාන්නට තරම් කුරිරු වන්නට නොහැකි නිසාම ඒ මොහොතේ මා ඔහුගේ පූජකවරයා ලෙසින් හැසිරුණා. තවත් අවස්ථාවක හුදෙකලා වූ වැඩිහිටියෙක් තමන් මුහුණ දුන් දෙවැනි ලෝක සංග්‍රාමයේ අත්දැකීම් මහත් සතුටින් බෙදා හදා ගන්නවා.
කැනඩාවේ වැඩිහිටි නිවාස සංකීර්ණ බොහෝ වෙලාවට නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රාථමික පාසලක් ආසන්නයේ. ඒකට හේතුව පුංචි දරුවන්ගේ සිනා හඬ, ක්‍රීඩා පිටියේ කෑකෝ ගසමින් කරන කෙළි සෙල්ලම් මේ හැම දෙයක් තුළින්ම මේ වැඩිහිටියන්ට තමන්ගේ අතීතයේ සුන්දර මතකයන් වෙත දිව යන්නට අවස්ථාව ලැබෙන හින්දා.
අප නිතර ඇවිද යන වැඩිහිටි නිවාස සංකීර්ණයේ බොහොමයක් නිවාස පිහිටලා තියෙන්නේ තනි තනිව. ඒ නිවාස සැලසුම් කරලා තියෙන්නේ අප ඇවිද යන මාවතට මුහුණලා තියෙන වීදුරු කවුළුව ආසන්නයේ මුළුතැන්ගෙය සහ කෑම මේසය පිහිටලා තියෙන විදියට. සැඳෑ අඳුර ගලාගෙන එන වෙලාවට, ඒ කියන්නේ හවස පහ හය වෙද්දී මේ නිවාසවල ජීවත් වන වැඩිහිටි යුවළ නිවී සැනසිල්ලේ තමන්ගේ රාත්‍රී ආහාරය භුක්ති විඳින හැටි අපට පේනවා. ටික කාලයක් යද්දී ඒ කෑම මේසයේ අපට දකින්න ලැබෙන්නේ වියපත් සැමියා විතරයි… එහෙමත් නැතිනම් හුදෙකලා බිරිඳ විතරයි. හිම වැටුණු දිනවල එහෙමත් නැතිනම් මහ වැසි ඇද වැටෙන වස්සානයේ ඇතැම් දිනවල අපට ඇවිදින්නට යන්න ලැබනේනේ නැහැ. එවන් දින කිහිපයකට පස්සේ ඒ නිවාස පේලි අතරින් යද්දී පෙරදා අපි කතා බහ කරන්නට පුරුදු වෙලා හිටිය ඇතැම් වැඩිහිටියන්ගේ නිවාසවල අපි දකින්නේ අලුත් වැඩිහිටි මුහුණු. ආපහු කිසිදාක අර පැරණි මුහුණු දකින්නට ලැබන්නේ නැහැ. අප නුදුටු ඒ දින කිහිපය තුළ දී ඒ ආදරණීය මිනිසුන් සඳහටම අපෙන් සමු අරන්.
මේ විදියටම අප නොදකින අපේ ජීවිතවල සිදුවන වෙනස්කම් ඒ වැඩිහිටියන් අප තුළිනුත් දකිනවා ඇති.
මිනිස් හැගීම්වලට ජාතියක්, වර්ණයක්, ආගමක්, රටක් නැහැ. පෙරදිග වුණත්, අපරදිග වුණත් මිනිස් හැඟීම්වල කිසිම වෙනසක් නැහැ.
Charles Spencelayh (1865-1958) කියන්නේ අහිමිවීමේ වේදනාව හා දරාගත නොහැකි හුදකලාව ගැන බොහෝ සිතුවම් ඇඳි ඉංග්‍රීසි ජාතික සිත්තරෙක්. ඔහුගේ සිතුවම් බොහොමයක් අන්තර්ජාලය ඔස්සේ ඔබට දැක බලාගන්නට පුළුවන්. මේ සටහනට එක් කර ඇත්තේ ඔහුගේ සිතුවමක්. “The Empty Chair” නමින් නම් කර ඇති මෙම සිතුවම තෙල් සායමින් ඔහු නිර්මාණය කර තියෙන්නේ 1922 දී. මේ සිතුවම ගැන අපූරු විග්‍රහයක් මගේ මිත්‍ර ජනක ඉනිමංකඩ එක්තරා අවස්ථාවක සටහන් කර තිබුණා. පහතින් තිබෙන සටහන ජනකගේ.
“මෙහි හුදකලා පුටුව අපට හඟවන්නේ මෙහි සිටින මහල්ලාගේ කාලක්‍රියා කළ බිරිඳයි. ඔවුන් ඉතා ආදරණීය දිවියක් ගත කළ බව හඟවන දේ සිතුවම තුළ ඇත. එකක් බිත්තියේ එල්ලා ඇති ඔවුන් දෙදෙනා කලකට පෙර අරගත් ඡායාරූපයයි. අනෙක, පුටුවෙහි ද, මහල්ලාගේ කබායේද වන කොල පැහැයයි. ඒ පැහැය දීප්තිමත් පළා පැහැ ඉතිහාසයක ලකුණු කියයි. ඉටි පහන, නිවී ගිය ජීවයක සළකුණක් අපට තබයි. පින්තූරය අස්සේ තබා ඇත්තේ දුර වෙසෙන දරුවන් එවූ ලියුම් විය යුතුය.
ඇය ගතින් වෙන් වුවද තවමත් ඔහු කුටිය තුළ ගැවසෙන බව ඈ වාඩිව හුන් පුටුව මතට වැටී ඇති දීප්තිමත් එළිය තුළින් Specnelayh අපට හඟවයි. කුරුල්ලා කූඩුගතව ඇත්තේ වුවද තවමත් පැලය මල් පුබුදුවයි. ඔහුගේ කබා සාක්කුවේ ඇත්තේ ඈ හිස බැඳි ස්කාෆයද…?”
________________________________________________________________________________________
දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි…
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි…
බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ වුන්
ලබැදි සිත් මල් පරව යනවිට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්මය සසර මඟ දකිනා…
බැඳුණු සෙනෙහස නොවන නිම් හිම්
ඇත ද පන නල සමඟ රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යා යුතුය ඒ නියත නික්මන සියළු බැමි සිඳිනා…
ගායනය :- විශාරද සෝමතිලක ජයමහ
පද :-කුලරත්න ආරියවංශ
සංගීතය :- රෝහණ වීරසිංහ
ප්‍රතිචාරයක් ලබාදෙන්න