දූපතේ නිධානය – The Treasure on the Island

දූපතේ නිධානයක් ඇති බවත්, එය ඇති තැන තමාට පෙන්විය හැකි බවත් මුලින්ම කීවේ මගේ දියණිය සමාධීය.

දූපතට ආ ගිය වාර ගණන් බොහෝය. ඒ හැම අවස්ථාවක්ම පාහේ කෙළවර වූයේ දුපතේ සොබා සිරිය විඳීමෙනි. ඉඳහිට එයින් පිට පැන්නේ මහාචාර්ය සිරි ගුනසිංහයන් හමුවන්නට ගිය අවස්ථාවහි දී පමණි.

සිය ජීවිතයේ අවසානය දක්වාම තමන් ජීවත් වූ කැනඩාවේ වික්ටෝරියා දූපතේ ඇති මේ නිධානය සම්බන්ධයෙන් ඔහු ද දැන සිටින්නට ඇති බවට කිසිදු සැකයක් නැත. එහෙත් අපේ කතා බහට මේ නිධානය මාතෘකා වූ බවට මතකයක් නැත.

එහෙත් මෙවර නම් මග නොහැරම ඒ නිධානය සොයා යා යුතුයැයි අපි තීරණය කළෙමු.

නිධානය තිබුණේ දූපතේ සුන්දර වෙරළ අද්දර හෝ ගන කැලෑව තුළ සැඟවී නොවේ. දෙනෝ දාහක් දෙනා යන එන නගරය මැදමය.

නගරයේ වීදි අතරින් ඇවිද ආ අපි අවසානයේ දී නිධානය පාමුලටම පැමිණියෙමු.

වීදියේ කෙළවර, සීත සෘතුවේ කොළ හැළුණු රූස්ස ගහක් අද්දර පිහිටි ගොඩනැගිල්ල නම් කර තිබුණේ මෙසේය : “Russell Books”

බිම් මහලක් ද සහිතව තට්ටු දෙකකින් යුත් ගොඩනැගිල්ලට ඇතුළු වූ පමණින්ම එය වෙනස්ම ලෝකයක් බව අපට දැනුණේය.

දියණිය කී කාරණය සත්‍යයක් බව සුළු මොහොතකින්ම අපට වැටහී ගියේය. එය නිධානයක්මය. එහෙත් ඒ ‌පොත පත කියවන, පොත පතට ඇළුම් කරන්නන්ට පමණි.

පැරණි සහ දුර්ලභ පොත්පත් ඇති  කැනඩාවේ විශාලතම පොත්හළ මෙන්ම කැනඩාවේ විශාලතම ස්වාධීන පොත් සාප්පුව වන්නේ ද (Canada’s largest independent bookstore and Canada’s largest used bookstore) රසල් පොත්හළයි. 1961 වසරේ දී ආරම්භ කළ මෙය පවුලේ ව්‍යාපාරයකි.

මේ පොත්හළ නිධානයක් වන්නේ එහි ඇති මිලියනය ඉක්මවන්නා වූ පොත් පත් සංඛ්‍යාව නිසා නොවේ. අති දුර්ලභ පැරණි පොත පත සිය දහස් ගණනින් දැක බලා ගන්නට, නිදහසේ අතගා බලන්නට, අසුනකට බර දී කියවන්නට, සාධාරණ මිලකට මිලදී ගන්නට ඉඩක් ඇති නිසාය.

සියවස් දෙක තුනක් පැරණි පොත් පත් වූව ද ඒ බොහොමයක දැකිය හැකි වන්නේ අතිශය විස්මිත අග්‍රගණ්‍ය නිමාවකි. ඇතැම් පොත් පත් පෙරලා බලද්දී ඔබට හමුවන්නේ ඔබ විස්මිත කරන දසුන්ය. ඇතැම් පොතක ඇතුළු පිටුවේ ඇත්‌තේ මුල් කතුවරයාගේ අත්සනය. තවත් පොතක පිටු පෙරලා බලද්දී හමුවන්නේ පැරණි ඉංග්‍රීසි අකුරින් හැඩ තලා යොදා කිසියම් පාඨකයෙකු කළ සටහන්ය. සිත් ඇදගන්නා සුළු සිතුවම්ය. සියවස් දෙක තුනකට පෙර මිනිසුන් ජීවත් වූ හැටිය. ඔවුන්ගේ සිතුම් පැතුම් සහ චාරිත්‍ර වාරිත්‍ර විධිවල තිබූ අපූර්වත්වය.. ඒ හැමටම වඩා පිටු අතරින් ගලා එන ඒ ආදරණීය සුවඳ…!

පැරණි පොතකින් හමන සුවඳ යනු ඒ පොතහෙි ‘මරණයේ සුවඳ’ බව සැබෑය. මන්ද යත් පැරණි පොතක පිටු අතරින් හමා එන සුවඳ තුළ ගැබ්ව ඇත්තේ එහි තීන්ත, කඩදාසි සහ පොත බැඳීමට යොදා ගත් මැලියම් ආදිය කාලයත් සමග දිරාපත් වී යාමේ ක්‍රියාවලියේ ‘සුවඳ’ වන බැවිනි. එහෙත් පොත් කර්මාන්තය, කලාවක් බවට පත්ව තිබූ ඒ යුගයේ විශිෂ්ට අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඉතා සීරුමාරුවට සහ බැරෑරුම් සහගත කාර්යයක් ලෙසින් බිහි කළ මේ පොත පත සියවස් ගණනාවක් ගත වුවද තවමත් පසුවන්නේ තාරුණ්‍යයේ කෙළවරය. එබැවින් මරණයේ සුවඳට වඩා ‌මේ පොත පතින් හමා එන්නේ ගෙවී යන යටගියාවක සුවඳය.

Bibliosmia නමින් වචනයක් ඉංග්‍රීසි භාෂාවේ තිබේ. මෙම වචනයේ තේරුම වන්නේ ‘පොතක සුවඳ විඳීන්නට කැමැති තැනැත්තා’ යන්නයි. මෙම යෙදුම යොදන්නේ පැරණි පොත පත සඳහා පමණක්ම නොවේ. අලුත්ම පොත පතින් විහිදෙන අලුත්ම කඩදාසිවල, අලුත්ම තීන්තවල, පොත් කවරය සහ පොත බැඳීමට ගත් අලුත්ම මැලියම්වල සුවඳ විඳීම ද මෙම වචනයට අයිතිය. රසල් පොත් හළේ දී පැරණි පොත පතින් පමණක් නොව අලුත්ම පොත පතින් හමන ඒ සුවඳ ද නොඅඩුව විඳගන්නට ඔබට හැකිය.

“පොත් සාප්පුව ඇතුළේ පිංතූරයක් දෙකක් ගත්තට කමක් නැද්ද…?” පොත් හළේ සේවය කළ යුවතියගෙන් මම ඇසුවෙමි.

“කැමති විදියකට ගන්න” අතිශය සුහද සිනාවක් පළ කරමින් ඇය කීවාය.

නිධානයකින් ගොඩ ගත් මුතු මැණික් මෙන් වූ සියවස් ගණනාවක් පැරණි පොත පත අතර පිටු පෙරලා බලද්දී කාලය ගෙවී ගිය බවක් නොදැනිණි. පවුලේ සමාජිකයන් එකිනෙකා එක් එක් රාක්ක අද්දර පොත පත අතර හුදෙකලා වී සිටිය මොහොතක අප නික්ම යා යුතු හෝරාව ඉක්මයමින් ඇති බව දුටුවේ අහම්බෙනි.

කිලෝ මීටර් 30 ක් ගෙවා දූපතෙන් පිටවන තොටු පළට (ferry terminal) ළඟා වන්නට තිබුණේ ඉතාම කෙටි කාලයක් බැවින් අකමැත්තෙන් වුව ද මේ සුන්දර බිම්කඩෙන් නික්ම යා යුතුය.

එහෙත් දූපතට පැමිණෙන ඊළඟ සංචාරයේ දී සම්පූර්ණ දවසක්ම මේ නිධන් භූමියෙහි ගත කරන්නට අදිටන් කරගත්තේ පොත් හළේ දොරටුවෙන් නික්ම යන මොහොතේ දීමය.

(මෙම පොත් හළේ දී ඔබට දැකිය හැකි අගනා පොත් කිහිපයක තොරතුරු එම පොත්වල ඡායාරූප ද සමග පහතින් දක්වා ඇත. ඔබ පොත් පත්වලට ඇළුම් කරන්නෙකු නම් එම ඡායාරූප සමග ඇති විස්තර ඔබට වැදගත් වනු ඇති බව නිසැකය).

පොත් සාප්පුව සතු පැරණිතම පොත – “Vita R.P. Iosephi Anchietae Societatis Iesu Sacred” නම් වූ මෙම පොත ලතින් බසින් මුද්‍රණය කර ඇත්තේ 1617 වසරේ පෘතුගාලයේ දීය. බ්‍රසීලයේ මිෂනාරි ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ St. Joseph of Anchieta (1534–1597) ගේ ජීවිත කතාව විස්තර කෙරෙන මෙම කෘතිය මගින් බ්‍රසීලයේ පාරම්පරික ස්වදේශීය ජනතාව ඉවැන්ජලිකයන් බවට පත් කිරීම සඳහා ඔහු විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග විස්තර කරයි. පොත මුද්‍රණය කර ඇත්තේ ඔහුගේ මරණයෙන් වසර 20 කට පසුවය. අධිරාජ්‍යවාදය හමුවේ දකුණු ඇමරිකානු ස්වදේශීය ජනතාවගේ ජීවන රටාව, ආගමික විශ්වාසයන් සහ සංස්කෘතිමය පදනම දෙදරා ගිය ආකාරය වටහා ගන්නට කදිම මූලාශ්‍ර ග්‍රන්ථයකි.

පොත් සාප්පුවේ විදුරු අල්මාරියක කාටත් පෙනෙන සේ තබා ඇති මෙම හුරුබුහුටි ‘The Little Shakespeare’ කෘතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ 1908 වසරේ දීය. මෙම කුඩා කෘතියේ ඇති විශේෂත්වය වන්නේ එය ලීයෙන් බඳින ලද සුවිශේෂී කෘතියකි. එබැවින් එය ආභරණයක් තරමටම පියකරුය. ශේක්ස්පියර්ගේ තෝරා ගත් පද්‍ය, නාට්‍යයන්ගෙන් තෝරා ගත් කොටස් සමග අපූරු සිතුවම් පෙළක් ද මෙම කෘතියෙහි දැකිය හැකිය. 20 වැනි සියවසේ මුල් භාගයේ දී සම්භාව්‍ය සාහිත්‍යය තරුණ පරපුර‌ට සමීප කරන්නට ගත් සාර්ථක උත්සාහයක් ලෙසින් මෙම පොත හැඳින්විය හැකිය.

ලොවම කම්පා කළ ටයිටැනික් අනතුර සිදු වූයේ 1912 වසරේ අප්‍රේල් මස 15 වැනිදාය. අනතුර සිදු වී මාස කිහිපයකට පසු එම වසරේදීම ප්‍රකාශයට පත් වූ  “Story of the Wreck of the Titanic: The Ocean’s Greatest Disaster” නම් වූ මෙම කෘතිය රචනා කරන ලද්දේ ඇමරිකානු ජාතික ජනමාධ්‍යවේදියෙකු වූ Marshall Everett විසිනි.

බිහිසුණු ටයිටැනික් අනතුර සම්බන්ධයෙන් විවිධාකාර භාෂාවන්ගෙන් ලියැවුණු පොත් පත්, සිනමා පට, වාර්තා වැඩ සටහන් සිය දහස් ගණනින් මේ වනවිට බිහි වී තිබේ. එහෙත් අද මෙන් ක්ෂණික තොරතුරු දැනගත නොහැකි වූ එවන් යුගයක මෙම බිහිසුණු අනතුර සිදු වී මාස කිහිපයක් ඇතුළත එනම් අනතුරේ උණුසුම පහව යන්නටත් පෙර නිකුත් වූ මෙම කෘතිය ටයිටැනික් අනතුර සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු සහිතව නිකුත් වූ මුල්ම කෘතීන් අතරින් ඉදිරියෙන්ම සිටියි.

ටයිටැනික් නෞකාවේ විස්තර, මගීන් සම්බන්ධ තොරතුරු, කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයේ තොරතුරු, දිවි ගලවා ගත් පිරිස සමග කළ සාකච්ඡාවන් සහ මිය ගිය පිරිස සම්බන්ධයෙන් තොරතුරු ද මුල් මූලාශ්‍ර ඇසුරින් සවිස්තරාත්මකව මෙම කෘතියට ඇතුළත් කර තිබේ. ටයිටැනික් අනතුරෙන් කම්පාවී ඒ පිළිබඳ තොරතුරු සොයමින් සිටි මුළු මහත් ලෝකයම මෙම සවිස්තරාත්මත කෘතිය සොය සොයා මිල දී ගන්නට පෙළඹුණේය. ටයිටැනික් අනතුර සම්බන්ධයෙන් අද දවසේ වුව ද උනන්දුවක් දක්වන කවරෙකුට වුව ද මෙම කෘතිය මූලාශ්‍ර ග්‍රන්ථයක් ලෙසින් අතිශයින්ම වැදගත් වන්නේය.

ලොව පුරා දරුවන් අතර මෙන්ම වැඩිහිටියන් අතර එදා මෙන්ම අද ද එකසේ ජනප්‍රිය ලුවිස් කැරොල් (Lewis Carroll) ගේ “Alice’s Adventures in Wonderland” (ඇලිස් දුටු විස්මලන්තය) සහ “Through the Looking-Glass and What Alice Found There” (කැටපත තුළින් අපූරු ලොවකට) මුල්ම වරට ප්‍රකාශයට පත් වූයේ පිළිවෙළින් වර්ෂ 1865 දී සහ 1871 දීය. පොත් සාප්පුවේ දක්නට ලැබෙන මෙම වෙළුම, මුල් මුද්‍රණයට ආසන්න වර්ෂයක එනම් 1872 වසරේ දී ප්‍රකාශයට පත් වූවකි. මුල් කෘතියේ සිතුවම් ඒ අයුරින්ම මෙම ඉපැරණි කෘතියෙහි ද දැකිය හැකිය.

1910 වසරේ දී එංගලන්තයේ දී ප්‍රකාශයට පත් කරන ලද මෙම “The New Dancing as it Should Be: A Practical Guide for the Ball Room, the Class Room, and the Stage” කෘතිය, එම යුගය වනවිට සාටෝපකාරී බ්‍රිතාන්‍ය සමාජයට නැතුවම බැරි අංගයක් වූ ආලිංගන / ‘බෝල් රූම්’ නැටුම් උගන්වන ප්‍රායෝගික අත්පොතකි. පිටු 123 ක් පුරා දිවෙන මෙම පොතේ විවිධාකාර නැටුම් ඉරියව්, ආලිංගන රංගනයේදි අනුගමනය කළ යුතු පිළිවෙත් සහ ආචාරධර්ම විස්තරාත්මකව පෙන්වා දෙන්නේ රූප සටහන් ද සමගය.

1789 වසරේ දී ප්‍රකාශයට පත් වූ “Astronomy and Elementary Philosophy” නම් වූ මෙම දේවගැතිවරයෙකු වූ Placidus de Titus විසින් මුල් වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ ලතින් බසිනි. පල්ලියේ ඉගැන්වීම් සහ විද්‍යාවේ නව සොයා ගැනීම් හමුවේ ඇති වූ ප්‍රතිවිරුද්ධතා සහිත පසුබිමක තාරකා ශාස්ත්‍රය සහ විශ්වය සම්බන්ධ කරුණු කාරණා බයිබලයේ සඳහන් වන විශ්වාසයන් සමග සමපාත කර ගැනීමට උත්සාහ දැරීම මෙම කෘතියේ අරමුණ විය.  අසිරිමත් විශ්වයේ සියලු රහස් මැවුම්කරුවාගේ දිව්‍යමය නිර්මාණයක් බව තහවුරු කිරීමට කතුවරයා කරුණු ගෙන හැර දක්වයි.

අතිශය සිත් ඇදගන්නා සුළු වර්ණවත් සිතුවම් රැසකින් යුත් “Choice Garden Flowers” ප්‍රකාශයට පත් වූයේ 1860 වසරේ දීය. විසිතුරු මල් වගාව පිළිබඳ අගනා තොරතුරු රැසකින් සමන්විත මෙම කෘතිය රචනා කරන ලද්දේ ඇමරිකානු ජාතික Henry C. P. Smith විසිනි.

1620 වසරේ දී ප්‍රංශ භාෂාවෙන් ප්‍රකාශයට පත් වූ මෙම කෘතිය “The Confessions of Saint Augustine” (ශාන්ත ඔගස්තීනුගේ පාපොච්ඡාරණය) මගින් ක්‍රිස්තියානි දේවධර්මාචාර්යවරයෙකු වූ ශාන්ත ඔගස්තිනුගේ (Augustine of Hippo : 354–430 AD) චරිත කතාව ගෙන හැර පායි. මෙම පොත ප්‍රකාශයට පත් වන යුගය වන විට ප්‍රංශයේ පැවතියේ ආගමික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකි. ප්‍රොතෙස්තන්ත්‍ර සහ කතෝලික ආගමික අදහස් අතර ගැටුම් පැවැති වකවානුවක මෙම කෘතිය බිහි වූයේ ක්‍රිස්තියානි සාහිත්‍යය සහ එහි මතවාද පෝෂණය කරනු පිණිසය.

ලෝක ප්‍රකට ග්‍රිම් (Grimm) සහෝදරයන්ගේ අති සුන්දර සුරංගනා කතා සහිතව වෙළුම් දෙකක් ලෙස 1853 වසරේ දී ප්‍රකාශයට පත් කළ “Household Stories” කෘතිය ද මෙම පොත් හලේ දී ඔබට දැක ගන්නට පුළුවන. අපූරු සිතුවම් 240 කින් සමන්විත මෙම කෘතියේ ලොව සුපතල සුරංගනා කතාන්දර වන “Rapunzel”,“Hansel and Gretel”, “Little Red Riding Hood” ආදිය ද ඇතුළත්ය.

පිටපත් 300 ක් පමණක් මුද්‍රණය වූ අති විශේෂ කෘතියක් ලෙසින් 1889 දී ප්‍රකාශිත මෙම “Leaves of Grass” කෘතිය හදුන්වා දිය හැකිය. මෙම කෘතියෙහි තවත් විශේෂත්වයක් වන්නේ කෘතියෙහි කතුවරයා වූ Walt Whitman එහි අත්සන් තබා තිබීමත්, දුඹුරු පැහැති අගනා හම් බැම්මකින් සහ හම් කවරයකින් පොත සුරක්ෂිත කර තිබීමත්ය. Walt Whitman (1819–1892) යනු ඇමරිකානු කවියෙකි. ඔහුගේ මෙම “Leaves of Grass” කෘතිය ඇමරිකානු කාව්‍ය සාහිත්‍යයෙහි අගනා කෘතියක් ලෙසින් අවිවාදයෙන් පිළිගැනේ. පරිසරය, ස්වභාව සෞන්දර්යය මෙන්ම ඒ හා බැදුණු මානව සම්බන්ධතා අතර පැවැතිය යුතු සමානාත්මතාව ඔහු සිය කවි ඇසුරින් ගෙන හැර පායි. එමෙන්ම මෙම කාව්‍ය ග්‍රන්ථය මගින් ලිංගිකත්වය සහ ආලය සම්බන්ධයෙන් ඔහු ගෙනහැර පාන අදහස් එකල පැවැති සංස්කෘතික වටිනාකම් දැඩි අභියෝගයකට ලක් කරන්නට සමත් විය. (පහතින් දැක්වෙන්නේ ඔහුගේ ‘I Sing the Body Electric’ නමින් ඔහු විසින් මෙම කෘතියට ඇතුළත් කරන ලද අපූරු පැදි පෙළකි. එකළ පැවැති සදාචාර සංස්කෘතික රීතීන්ට දැඩි සේ ප්‍රහාර එල්ල කළ මෙම රසවත් පැදි පෙළ කියැවීමට ඔබ කැමැති නම් ‘I Sing the Body Electric by Walt Whitman’ නමින් අන්තර්ජාලයෙන් එය පිරික්සා බලන්න)

“The body itself is a poem,
The body is a sensual and electric experience…”

Have you ever loved the body of a woman?

Have you ever loved the body of a man?

Do you not see that these are the same to all in all nations and times all over the earth?

If any thing is sacred the human body is sacred,

And the glory and sweet of a man is the token of manhood untainted,

And in man or woman a clean, strong, firm-fibred body, is more beautiful than the most beautiful face.

1659 දී ප්‍රකාශයට පත් වූ “Lilly’s Christian Astrology” කෘතිය සිත් ඇදගන්නා සුළු කෘතියක් වන්නේ ආගම සහ නක්ෂත්‍රය අතර සමානකම් පෙන්වා දීමටත්, නක්ෂත්‍රය භාවිතයෙන් දෙවියන් වහන්සේ විසින් මවන ලද ලෝකයේ රහස් තේරුම් ගැනීමට හැකි වන බවටත් තහවුරු කිරීමට මෙම කෘතිය ලියැවී ඇති බැවිනි. 17 වැනි සියවසේ සිටි සුප්‍රකට ජ්‍යොතිර්වේදියෙකු වූ ඉංග්‍රීසි ජාතික විලියම් ලිලී (William Lilly : 1602–1681) මෙම කෘතිය මගින් ග්‍රහ තාරකා පිහිටීම අනුව හඳහන් සහ පලාපල විස්තර කරන බැවින් එම යුගයේ දී ක්‍රිස්තියානි ජ්‍යොතිර්වේදීන්ට මෙම කෘතිය අත්පොතක් විය. මෙම යුගය වනවිට විද්‍යාව සහ ආගම අතර නොගැලපීමේ මතුවෙමින් පැවැති වකවානුවක් වූ අතර මෙම කෘතිය මගින් ලිලී උත්සාහ දරා ඇත්තේ දෙවියන් වහන්සේගේ පැවැත්ම නක්ෂත්‍රය මගින් තහවුරු වන බව පෙන්වා දීමටය. එනම් දෙවියන් වහන්සේගේ රහස් තේරුම් ගැනීමට නක්ෂත්‍රය භාවිත කළ යුතු බවය.

“Mrs. Beeton’s Book of Household Management” නම් වූ මෙම කෘතිය 1861 වසරේ දී ප්‍රකාශයට පත් වී ඉතා කෙටි කාලයකින් මුළු මහත් බ්‍රිතාන්‍යයෙහි මධ්‍යම පාංතික කාන්තාවන් අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වීම නිසා අඛණ්ඩව යළි යළිත් මුද්‍රණයට පත් විය. ගෘහණියක් ලෙස තම නිවස කළමනාකරණය කරන ආකාරය, සේවකයන් හසුරුවා ගත යුතු ආකාරය, දරුවන් රැක බලා ගැනීම, වියදම් කළමනාකරණය, අමුත්තන් පින විය යුතු ආකාරය, සමාජ ආචාර ක්‍රම පවත්වා ගෙන යාම, ප්‍රථමාධාර සහ අත් බෙහෙත් පමණක් නොව කෑම වට්ටෝරු 1,000කට අධික සංඛ්‍යාවක් ද මෙම කෘතියෙහි ඇතුළත්ව තිබේ. අපූර්ව සිතුවම් ද සහිත මෙම පොතේ පිටු සංඛ්‍යාව 1,100කි.


Mrs. Beeton යන අන්වර්ථ නාමයෙන් මෙතරම් ජනප්‍රිය පොතක් රචනා කළ Isabella Beeton නම් මෙම කතුවරිය වයස අවුරුදු 28 ක් තරම් අඩු වයසකින් මෙලොව හැර ගියාය. එනම් මුල් කෘතිය ප්‍රකාශ වී ඉතා කෙටි කාලයක් තුළ දීය. වෛද්‍ය විද්‍යාව එතරම් දියුණු නොවූ එම යුගයේ දී ඇය මෙසේ අවාසනාවන්ත මෙලොව හැර ගියේ සිය සිව්වැනි දරුවා උපත ලබන අවස්ථාවේ දී සිදු වූ බැක්ටීරියා ආසාදනයකිනි. එම දරුවා ද උපත ලබා පැය කිහිපයක් ඇතූළත මිය ගියේය.

ගෙවතු වගාව සහ ගෙවතු අලංකාරකරණය විනෝදාංශයක් ලෙස සිදු කිරීම අද මෙන් සාමාන්‍ය කාරණයක් නොවූ යුගයක එනම් 1840 වසරේ දී නිකුත් වූ “Mrs. Loudon’s Instructions in Gardening for Ladies” නම් වූ මෙම කෘතිය රචනා කරන ලද්දේ Jane Loudon (1807–1858) විසිනි.

කාන්තාවන් උදෙසාම ලියැවුණු මෙම පොත ගෙවතු වගාවට අදාළ කරුණු කාරණා රූප සටහන් ද සහිතව පියවරෙන් පියවර විස්තර කරන පිටු 416 ක පොතකි. මේ පොත කෙතරම් ජනප්‍රිය වූයේ ද යත් පළමු මුද්‍රණයේ පළමු දිනයේ දීම පිටපත් 1,350 ක් අලෙවි වූ අතර අලෙවි වූ පිටපත් සංඛ්‍යාව 200,000 ඉක්ම වීය. මෙම පොතෙහි නව මුද්‍රිත පිටපත් මෙන්ම විද්‍යුත් පිටපත් අද දවසේ පවා වෙළෙඳ පොලෙහි මිලදී ගත හැකි වීමම මෙම කෘතියෙහි ජනප්‍රියත්වය තහවුරු කරයි.

1896 වසරේ දී චිකාගෝහි දී ප්‍රකාශයට පත් වූ “Polite Life or What is Right in Etiquette and The Social Arts” කෘතිය පිටු 300 ක් පුරා රූප සටහන් ද සහිතව පෙන්වා දෙන්නේ උසස් සමාජයට ගැලපෙන ලෙස ‘ශිෂ්ට සම්පන්න ලෙස’ ගති පැවතුම් සකස් කර ගන්නා ආකාරයයි. විශේෂයෙන්ම වික්ටෝරියානු ගති පැවතුම් ප්‍රචලිතව පැවැති එම යුගයේ දී සමාජයට පිවිසෙන තරුණ ගැහැනු දරුවන් සහ පිරිමි දරුවන්ට මෙය පොත අත්පොතක් ලෙසින් දෙමව්පියන් විසින් භාවිත කරන ලද්දේය. කෑම මේසයේ දී හැසිරිය යුතු ආකාරය, අමුත්තෙකු පිළිගන්නා ආකාරය, සංවාදයක් පවත්වා ගැනීමේ ආචාරශීලී ක්‍රමය, හැඳි – ගෑරුප්පු, නැප්කින් භාවිතයේ නිවැරදි ක්‍රමය, පිරිසිදුව පිළිවෙළට සිටිය යුතු ආකාරය, දුරකථනයට කතා කළ යුතු ආකාරය ආදී වූ එදිනෙදා ජීවිතයේ සැම සියලු අවස්ථාවකදීම අනුගමණය කළ යුතු ක්‍රියාමාර්ග මෙම කෘතියේ දැක්වේ.

පොතේ පෙන්වා දෙන ආකාරයට කාන්තාවක් බයිසිකලයක් පදවා ගෙන යායුතු ඉරියව්ව මෙම ඡායාරූපයෙන් ඔබට දැකිය හැකි අතර බයිසිකලය් පැද යාමේ දී ඇය අනුගමණය කළ යුතු පිළිවෙත ද සවිස්තරාත්මකව පෙන්වා දී ඇත. භෝජන සංග්‍රහයක දී ගෙහිමියා ආහාර ගැනීම ආරම්භ කරන තෙක් ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතු බවත්, එයට හේතුව භෝජන සංග්‍රහය සූදානම් කර වෙහෙස වීම වෙනුවෙන් කරන සැලකීමක් ලෙසින් බවත් එහි සඳහන් වේ. සමාජ හමුවීම්වලදී ආගම සහ දේශපාලනය යන මාතෘකා කතාබහට එක් කර නොගැනීම වඩාත් යෝග්‍ය බව ද මෙම කෘතියේ සඳහන්ව තිබේ. කිසියම් අයෙකු තවත් අයෙකුට හඳුන්වා දීමේ දී සමාජ තත්ත්වය ඉහළ තැනැත්තා මුලින්ම හඳුන්වා දිය යුතු බවත්, එමගින් ඔහුගේ සමාජ තත්ත්වය සම්බන්ධයෙන් වැටහීමක් සහ ගරුකිරීමක් තමන්ට ඇති බව හැගෙන බවත් කතුවරයා කියයි. ‘Mr. Jones, may I introduce you to my friend, Ms. Smith?’ This shows awareness of social hierarchy and respect.”

17 වැනි සියවසේ දී නක්ෂත්‍රයත්, වෛද්‍ය විද්‍යාවත් එකිනෙක අත්වැල් බැඳගත් විෂයන් දෙකක් විය. බොහෝ වෛද්‍ය ප්‍රතිකාර සිදුවූයේ නක්ෂත්‍රයට අනුකූලවය. 1677 වසෙර්දී ප්‍රකාශයට පත් වූ “The Astrological Judgment and Practice of Physick” නම් වූ මෙම කෘතිය ඊට කදිම නිදසුනකි. මෙම කෘතිය රචනා කරන ලද්දේ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙකු මෙන්ම නක්ෂත්‍රවේදියෙකු ද වූ Richard Saunders විසිනි. තාරකාවල පිහිටීම් අනුව ලෙඩ රෝග වැළඳෙන ආකාරයත්, සම්ප්‍රදායික ප්‍රතිකර්ම මගින් ඒවා සුවපත් කරගත හැකි ආකාරයත් මෙම කෘතියේ සවිස්තරාත්මකව විස්තර කෙරේ.

විද්‍යාව, නක්ෂත්‍රය, මිත්‍යාව ආදිය එකිනෙකට සංකලනය වී ඒ ඒ විෂයන්හි සීමා මායිම් පැහැදිලිව වටහා ගත නොහැකි යුගයක සමාජීය වටපිටාව වටහා ගන්නට කදිම කෘතියකි මේ.

19 වැනි සියවසේ ලොව සිටි ඉංග්‍රීසි ජාතික අග්‍රගණ්‍ය චෙස් ක්‍රීඩකයෙකු වූ G.H.D. Gossip (George Henry Digby Gossip) විසින් රචිත “The Chess Player’s Manual” නම් වූ මෙම කෘතිය ලන්ඩනයේ දී ප්‍රකාශයට පත් වූයේ 1883 වසරේදීය. චෙස් ක්‍රීඩාවේ මූලධර්ම සහ එම ක්‍රීඩාවේ ප්‍රවීනයෙකු වන්නට අනුගමණය කළ යුතු ක්‍රමවේදයන් විස්තර කෙරෙන මෙම කෘතිය එකළ චෙස් ක්‍රීඩයන්ගේ අත් පොතක් විය. එමෙන්ම චෙස් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලියැවුණු මුල්ම පොත් අතර ඉදිරියෙන්ම සිටින පොතකි.

බ්‍රිතාන්‍යයේ පුරාවාත්තයක් බඳු චරිතයක් වන ආතර් අධිරාජ්‍යයාගේ වීර කතා, ප්‍රේම කතා, සුරු විරුකම් සහ ඔහු මුහුණ දුන් අද්භූත සිදුවීම් විදහා දක්වන “The History of the Renowned Prince Arthur” දෙවැනි වෙළුම වන මෙම කෘතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ 1816 වසරේ දීය. අපූරු සිතුව්ම් වලින් ද හැඩ වූ කෘතියකි.

අතිශය සිත්කළු සහ ආකර්ශනීය වර්ණවත් සිතුවමින් පිරුණු මෙම “The Royal Natural History – Volumes I & II Mammals 1893-1894” කවරෙකුගේ වුව ද සිත එක් වරම පැහැර ගන්නා කෘතියකි. එවකට බ්‍රිතාන්‍යයේ සිටි සුප්‍රකට ජීව විද්‍යාඥයෙකු වූ Richard Lydekker (1849–1915) විසින් රචනා කරන ලද මෙම කෘතිය විවිධාකාර වූ ක්ෂීරපායීන් සම්බන්ධයෙන් සවිස්තරාත්මක ජීව විද්‍යාත්මක තොරතුරු අන්තර්ගත සුවිශේෂී ග්‍රන්ථයකි. මෙම කෘතිය ජීව විද්‍යාව විෂයෙහි සිසුන්ට, ගුරුවරුන්ට මෙන්ම සරසවිවලට නැතිවම බැරි කෘතියක් වූ නමුත් මෙහි කතුවරයා වූ රිචඩ්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරූ තැනැත්තෙකු නොවේ. එහෙත් ඔහුගේ පියා ඉංජිනේරුවරයෙකු මෙන්ම භූවිද්‍යා විශේෂඥයෙකු වීම නිසා පවුලෙන් ලත් පිටුවහලත්, මෙම විෂය සම්බන්ධයෙන් ඔහු තුළ තීබූ දැඩි ආශාව සහ ස්වයං අධ්‍යාපනයේ නිරත වෙමින් දැනුම රැස් කර ගැනීමට උත්සුක වීමත් හේතුවෙන් ජීව විද්‍යාව විෂයෙහි විශේෂඥ දැනුමක් ඔහු සතු විය. භූ විද්‍යාව, සත්ත්ව විද්‍යාව, පාෂාණ විද්‍යාව ආදී විවිධාකාර වීෂයන් අරබයා ඔහු සතුව තිබූ දැනුම හේතුවෙන් ජීවී සහ වඳ වී ගිය සත්ත්ව විශේෂ නිවැරදි හඳුනාගෙන එම සතුන් අයිති විද්‍යාත්මක කුලකයන්ට ඇතුළත් කිරීමට දැක් වූ විශේෂ දක්ෂතාව මුළු මහත් බ්‍රිතාන්‍යය පුරා ප්‍රකටව තිබුණි. විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොලැබූ නමුත් ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද විවිධාකාර වූ ප්‍රකාශන සහ ලිපි ලේඛන සරසවිවලට නැතිවම බැරී මූලාශ්‍රයන් බවට පත් විය.

සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍යයේ අමරණීය නාමයක් වන චාල්ස් ඩිකන්ස්ගේ ලෝක ප්‍රකට “The Pickwick Papers” (“The Posthumous Papers of the Pickwick Club”) කෘතියේ අංගසම්පූර්ණ ප්‍රථම බ්‍රිතාන්‍ය මුද්‍රණයයි මේ. 1837 වසරේ දී ප්‍රකාශිත මෙම කෘතිය සිත් ඇදගන්නා සුළු සිතුවම්වලින්  ද යුක්තය. ඩිකන්ස්ගේ මුල්ම කෘතිය වන මෙම නවකතාව ප්‍රකාශයට පත් වීමත් සමගම ඉංග්‍රීසි සාහිත්‍යයෙහි ඉහළින්ම ඔහු ඔසවා තබන්නට සමත් වූ අතර වික්ටෝරියානු යුගයේ සාහිත්‍ය ලෝකය තුළ කතා බහට ලක් වූ ජනප්‍රිය චරිතයක් බවට පත් විය.

අග්‍රගණ්‍ය බ්‍රිතාන්‍ය ජාතික කවියෙකු වූ ටෙනිසන් සාමිවරයාගේ (Alfred, Lord Tennyson : 1809–1892) විශිෂ්ටතම කාව්‍ය නිර්මාණ රැගත් ‘The Poetical Works of Alfred Tennyson’ නම් කෘතියේ මුල්කාලීන ප්‍රකාශනයකි මේ. ටෙනිසන් සාමිවරයා බැහැර කර ඉංග්‍රීසි පද්‍ය සාහිත්‍යය ගැන කතා කළ නොහැකි අතර ඔහු විසින් සාහිත්‍යයට සිදු කරන ලද ඉමහත් බලපෑම නිසාම නයිට් නාමයෙන් ද ඔහු පිදුම් ලැබුවේය.

1854 වසරේ දී ප්‍රකාශයට පත් වූ “The Ladies Flora” කෘතිය මල් සැකසීම සහ ගෘහ අලංකරණය විස්තර කරන කෘතියකි. නිවස සහ ගෙවත්ත හැඩ කළ හැකි විවිධාකාර මල් වර්ගයන්හි ආකර්ශනීය වර්ණවත් සිතුවම් රැසකින් සමන්විත කෘතියකි.

ස්පාඤ්ඤ ජාතික ලේඛක Miguel de Cervantes (1547–1616) ගේ ලෝක ප්‍රකට නවකතාව වන “Don Quixote” කෘතියේ 1800 මැද භාගයේ දී ප්‍රකාශිත මුද්‍රණයක්.

2 thoughts on “දූපතේ නිධානය – The Treasure on the Island

Add yours

  1. +++++++++++++++ 👌💐😁

    මමත් පරන පොත් කඩ ලෝලියෙක් වෙලා හිටි කාලයක් තිබුනා. මේ ලිපියෙ ලින්ක් එක මම කමෙන්ට් එකක් විදිහට දැම්මා.

    https://frozenlazyowl.blogspot.com/2024/12/blog-post_14.html?showComment=1737125773489#c670376860932614189

    Liked by 2 people

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑