ඒක අපි තාමත් දන්නේ නැහැ !

විශිෂ්ට මට්ටමේ සමහර පොත් තියෙනවා සිංහල බසට පරිවර්තනය කරන්නට බැහැයි කියලා හිතෙන.

එහෙම පොතක් තමයි, පෘතුගීසි ලේඛක José Saramago ගේ Blindness කියන හරිම අපූරු කෘතිය. මේ ලේඛකයාත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ විශිෂ්ට ලේඛකයෙක්. ඒ වගේම මේ පොතත් එක දිගටම කියවා ගෙන යන්නට පුළුවන් හරිම රසවත් නවකතාවක්. කියවා ඉවර කරලා පොත වසා දැමූ පසුවත්, දිගු කාලයක් හිතේ රැඳෙන අමතක නොවන නවකතාවක්.

පෘතුගීසි ලේඛක Saramago 1999 වසරේ දී (Photo Credits: Wikipedia)

එහෙම නම් ඇයි ඒ වගේ රසවත්, විශිෂ්ට පොතක් සිංහල බාසාවට පරිවර්තනය කරන්න බැරි?

ඒකට හේතුව Saramago ගේ අනෙක් පොත් වගේම මේ පොතත් සිංහල බසට පරිවර්තනය කළොත් මුලින්ම බැනුම් අහන්නේ පරිවර්තකයා. ඊට පස්සේ ප්‍රකාශකයා.

ඒත් ඒ සදාචාරය, දේශපාලනය, එහෙමත් නැතිනම් ශාස්ත්‍රීය බව වගේ කරුණු කාරණා හින්දා නෙමෙයි. සිංහල බාසාවේ තියෙන කිසිම අවුලක් හින්දත් නෙමෙයි. වෙනත් හේතුවක් හින්දා.

Saramago ගේ පොත්වල දෙබස් තියෙන්නේ අපට හුරුපුරුදු විදියට උධෘත ලකුණු එක්ක නෙමෙයි. නිකම්ම එක දිගට ගලාගෙන යන විදියට. ඒ කියන්නේ පොතේ කතාව එක්කම දෙබස් පවා වාක්‍ය විදියට ගලා ගෙන යනවා. දෙබස් වෙන් වෙන්නේ කොමාවකින් හරි කැපිටල් අකුරකින් හරි විතරයි. කිසිම විදියකින් උධෘත ලකුණු නැහැ. (මේ සමග අමුණා ඇති පොතේ පිටු කිහිපයක පිංතූර දිහා බැලුවොත් ඒක පැහැදිලි වේවි).

Blindness කියන පොතේම තියෙන ඇත්තම උදාහරණයක් අරන් බලමු. සාමාන්‍යයෙන් ලේඛකයෙකු පහත දෙබස ලියන්නේ මෙන්න මේ විදියට:

“මං අන්ධ වෙලා”

“අන්ධ වෙලා…?”

“ඔව්, අන්ධ වෙලා”

ඒත් Saramago ඒක ලියන්නේ මෙන්න මෙහෙම.

මං අන්ධ වෙලා, ඔහු කීවේය, අන්ධවෙලා, ආගන්තුකයා එයම පුනරුච්ඡාරණය කළේය, ඒත් ඔයාගේ ඇස් ඇරිලානේ තියෙන්නේ, ඒක එහෙම තමයි, ඔහු පිළිතුරු දුන්නේය, අන්න ඒ හින්දම තමයි මට වැඩියෙන්ම බය හිතෙන්නේ.

(I’m blind, the man said, Blind, repeated the stranger, But your eyes are open, They are, the man answered, and that is why I am so afraid).

සාහිත්‍යය වෙනුවෙන් Saramago 1998 වසරේ දී නොබෙල් ත්‍යාගය ලැබුවේ එක් සුවිශේෂී පොතක් වෙනුවෙන් නොවෙයි. සමස්තයක් විදියට ඔහුගේ සමස්ත සාහිත්‍ය කාර්යභාරය ගැනම සළකලයි. එතැනදී හේතු පාඨය වුණේ Saramago තමන්ගේ පොත්පත් වලින් විචිත්‍රවත් වූ කතාන්දරයක් හරහා මිනිසුන්ගේ සාරධර්ම, මනුෂ්‍යත්වය, ආගම, නීති රීති අතිශය සියුම් විදියට අභියෝගයකට ලක් කිරීම.

Blindness කෘතියේ පිටු කිහිපයක්

ඉතින් ඇයි නොබෙල් ත්‍යාගලාභී මේ විශිෂ්ට සාහිත්‍යවේදියා තමන්ගේ පොත්පත්වල දෙබස් වෙන් නොකරන්නේ? ඇයි ඔහු මේ විදියට ලියන්නේ?

ඔහු කියන විදියට පොතක් ලියනවා කියන්නේ මිනිස් කටහඬකින් කතාවක් කියනවා (a human voice telling a story) වගේ දෙයක්. පාඨකයාට දැනෙන්න ඕනේ ලේඛකයා තමන් ඉස්සරහ ඉඳගෙන ඒ කතාව තමන්ට කියනවා වගේ අත්දැකීමක්. Saramago හිතන විදියට කොමා, උද්ධෘත ලකුණු, විස්මයාර්ථ වගේ සංකේතවලින් ඒ ස්වාභාවික ගලා යාමට බාධා ඇතිවෙනවා. ලේඛකයා ඉස්සහරට ඇවිත් ඒ දෙබස කිව්වේ කවුද කියනවා වෙනුවට පාඨකයාම එය කවුරු කාට කිව්වා ද කියලා කතාවේ රිද්මය සහ සන්දර්භය අනුව තේරුම් ගැනීම තමයි වැදගත්.

ඔහු විශ්වාස කරන විදියට නියම පාඨකයෙක් කියන්නේ කතාව නිකම්ම ඔහේ කියවා ගෙන යන කෙනෙකුට නෙමෙයි. කතාවත් එක්කම එකට ගමන් කරන, එහෙමත් නැතිනම් ඒ කතාවේම කොටස්කරුවෙකු (reading should require participation) වෙන කෙනෙකුට. ඒ නිසා Saramago ගේ පොතක් කියවන කෙනෙකුට ඒ පොත කියවන්න තරමක වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. ලේඛකයයි, පොතයි එක්ක එකටම ඉන්න වෙනවා. හරියට ගෙදරට ආපු කෙනෙක් එක්ක තේකක් බිබී සංවාදයක යෙදෙනවා වගේ. ඉතින් ඕනෑම ලේඛකයෙකුගේ අරමුණ පාඨකයා තමන් එක්ක ටිකක් වැඩිපුර අවදියෙන් තියා ගැනීම‌ නේද?

අනෙක් අතට අපේ ජීවිත ගත්තම, ජීවිතයේ සිදුවීම් හරිම අපූරුවට නැවතීමේ තිත්, විරාම ලකුණු එක්ක සුන්දරව ගලාගෙන යන්නේ නැහැනේ. හැළ හැප්පීම් ඕන තරම්. අපේ සිතිවිලි නැවතීමේ ලකුණු වලින් වෙන් වෙන්නේත් නැහැ. ඔහේ ගලාගෙන යනවා. ඉතින් ලේඛකයෙකු ලියන්නේ අපේ ජීවිත ගැනම නම්, ඒ ලිවීමත් අපේ ජීවිතවල නිදහස් ගලා යාම පෙන්නුම් කරන්නට ඕනේ.

සරලවම කිව්වොත්, Saramago ට අවශ්‍ය වුණේ පාඨකයාට පොත කියවන්න දෙන්න විතරක් නොවෙයි, ඇහෙන්නත් සැලැස්වීමයි. ඔහුගේ නවකතා කියවද්දී, හොඳ කතන්දරකාරයෙක් ඔබ ඉදිරියේ වාඩි වෙලා කතාව කියනවා වගේ හැඟීමක් ඇති කිරීම තමයි ඔහුගේ අරමුණ. ඔහුගේ පොත් කියවද්දී දැනෙනවා ඔහු ඒ අරමුණ ඉතා සාර්ථකව ජය ගෙන තියෙනවා කියලා.

“ඔබේ සේවයට බොහොමත්ම ස්තුතියි!” – Saramago වෙනුවෙන් පෘතුගාලයේ ලිස්බන් නුවර 2010 වසරේ දී ඉදි වූ ස්මාරකයක්
“Thank you José Saramago”  Lisbon, October 2010
(Photo Credits: Wikipedia)

Saramago පොතක් ඔබ කියවන්න ගත්තම පොතේ පිටු තිහ හතළියක් යනකම්, ඔබ “කරකවල අතහැරියා” වගේ හැඟීමක් දැනීම සාමාන්‍යයි. ඒක මටත් එහෙමම වුණා. ඒත් ඔහුගේ කතා නීරස නැහැ. හරිම රසවත්. ඒ නිසා පොත පැත්තකට දාන්න හිතෙන්නේ නැහැ. පොතේ පිටු තිහ – හතළිය පැන්න ගමන් ඔබ ඔහුගේ කතා ශෛලියට හුරු වෙනවා. උධෘත ලකුණු, විරාම ලකුණු තිබුණත් නැතත් ඔබට වගේ වගක් නැති වෙනවා. “අනේ ඒවා නම් මොකට ද?” කියලා ඔබටම හිතෙනවා. විවිධ ශෛලීන්ගෙන් ලියැවුණු බොහෝ පොත් පත් කියවා ඇතත්, Saramago ශෛලියෙන් ලියැවුණු වෙනත් පොත් මා කියවා නැහැ. ඒ නිසා ඔහුගේ පොත් කියැවීම මට නම් හරිම අපූරු සාහිත්‍ය චාරිකාවක්. ඔහු ඒ තරම්ම විශිෂ්ට ලේඛකයෙක්. විසිතුරු ඉන්ද්‍රජාලික කතා මවන්නෙක්.

අනෙක් අතට Blindness කියන පොතේ කිසිම චරිතයකට නමක් නැහැ. ‘අක්ෂි වෛද්‍යවරයා’ (the doctor), ‘අක්ෂි වෛද්‍යවරයාගේ බිරිඳ’ (the doctor’s wife), ‘අඳුරු කළ උපැස් යුවළක් පැළැඳි යුවතිය’ (the girl with the dark glasses), ‘වපරයක් ඇති කොලුවා’ (the boy with the squint), ‘කළු පැහැති අක්ෂි පැලැස්තරයක් ඇති වියපත් මිනිසා’ (the old man with the black eye patch)… ඔන්න ඔය වගේ ඒ ඒ චරිතවල රැකියාව, ඔවුන්ගේ චරිතයේ සහ ස්වභාවයේ කැපී පෙනෙන ලක්ෂණ වගේ කරුණු කාරණා වලින් තමයි චරිත ගලා ගෙන යන්නේ. ඒත් චරිතවලට නම් නැහැ කියලා කිසිම අඩුවක් පාඨකයාට දැනෙන්නේ නැහැ.

Saramago ගේ භෂ්මාශේෂ තැන්පත් කෙරුණු වසර සියයක් පැරණි මේ ඔලිව් ගස පාමුලය.
Burial place of José Saramago’s ashes
(Photo Credits: Wikipedia)

චරිතවලට නම් නැත්තේ ඇයි?

කෙනෙකුට හිතෙන්න පුළුවන් නවකතාවේ චරිතවලට නම් නැත්තේ ඇයි කියලා. ඒකටත් ඔහුට ප්‍රබල හේතුවක් තියෙනවා. Saramago කියන විදියට අප කවුරුන් ද කියලා තීරණය වෙන්නේ අපේ නම් වලින් නෙමෙයි. නම් ඉවත් කිරීමෙන් ඔහු මේ සියලු චරිත මේ විශ්වයේ කවර හෝ තැනක ජීවත් වන සියලුම මිනිසුන්ට පොදු ආදේශක බවට පත් කරනවා. ගැහැනු පිරිමි භේදයක් නැහැ. තවත් සරලව කියනවා නම් මේ නවකතාවේ චරිත වන ‘වෛද්‍යවරයා’ හෝ ‘වෛද්‍යවරයාගේ බිරිඳ’ ඔබ වෙන්න පුළුවන්. මං වෙන්නත් පුළුවන්. අපේ අසල්වැසියා හෝ අපේ ගුරුතුමා හෝ අපේ පූජකයා වෙන්නත් පුළුවන්.

සිංහල භාෂාවේ නව අත්හදා බැලීම් සිදු කළ සාහිත්‍යවේදීන් විදියට සිරි ගුනසිංහ, අජිත් තිලකසේන ප්‍රකටයි. Saramago ත් භාෂාවේ නීති රීති මුළුමනින්ම උඩු යටිකරු කළ සාහිත්‍යවේදියෙක්. මෙතැනදී විශේෂයෙන්ම කියන්නට ඕන කරුණක් තමයි මේ සාහිත්‍යවේදීන් භාෂාවේ වෙනස්කම් සිදුකළේ භාෂාව සහ සාහිත්‍යය ගැන ගැඹුරු හැදෑරීමකින් පස්සේ කියන එක. ඒ හින්දා භාෂාව පිළිබඳ තමන්ගේ නොදැනුවත්කම වහගන්න අත්තනෝමතික විදියට භාෂා නීති රීති වෙනස් කිරීම නම් මුග්ධ ක්‍රියාවක්.

Saramago ගේ පොත් රටවල් 70 කට අධික සංඛ්‍යාවක විවිධ භාෂා 50 කට පමණ පරිවර්තනය වෙමින් මිලියන ගණනින් තවමත් මුද්‍රණය වෙනවා. පෘතුගාලයේ පමණක් ඔහුගේ පොත් මිලියන දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි වී තියෙනවා. ඒත් මා දන්නා තරමට ඔහුගේ පොත් සිංහල බසට පරිවර්තනය වී නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේ විදියේ රචනා ශෛලියකින් ලියැවුණු පොතක් කියවන්නට පොදු සිංහල පාඨකයා සූදානම් ද? පොත් පත් සමූහවල කියවන්නට ලැබෙන කොමෙන්ටු ආදියෙන්, පොත් ප්‍රදර්ශනවලදී පොදු පාඨකයා වැඩියෙන්ම මිලදී ගන්නා පොත්පත්වලින් මැනෙන රුචි අරුචිකම් එක්ක බලද්දී, මේ වගේ පොතක් පරිවර්තනය කළොත් පරිවර්තකයාත්, ප්‍රකාශකයාත් නොසෑහෙන්න බැනුම් අහන බව නම් ස්ථිරයි. තරමක ආයාසයක් අරන් සාවධානව නවකතාවක් කියවන්න ‘පොදු සිංහල පාඨකයා’ කොයි තරම් දුරට සූදානම් ද කියන කාරණාව බොහොම සැක සහිතයි. (මෙතැනදී අදහස් කරන්නේ පොදු පාඨක ප්‍රජාව මිස සියලුම පාඨකයන් නොවන බව අවධාරණය කළ යුතුමයි).

ඒ වගේම තමයි මේ Blindness කියන පොත ගත්තොත්, ලිංගික කරුණු මතු කරන සිදුවීම් කිහිපයකුත් හරිම ස්වාභාවික විදියට විස්තර කෙරෙනවා. (ඒ කරුණු ඒ විදියටම රස නොමරා සිංහල බසට පරිවර්තනය කරන එකත් ගැටලුවක් තමයි).

Saramago වෙනුවෙන් 2022 වසරේ දී නිර්මාණය වූ සර්බියානු මුද්දරයක්. වම් පසින් සිටින්නේ ඔහු මෙන්ම සාහිත්‍යය වෙනුවෙන් 1961 වසරේ දී නොබෙල් ත්‍යාගය හිමි කරගත් Ivo Andrić ය.
José Saramago (right) and the 1961 Nobel Prize in Literature laureate Ivo Andrić pictured on a 2022 Serbian stamp
(Photo Credits: Wikipedia)

මේ Blindness කියන පොත ඉතාම රසවත් පොතක්. ඒ වගේම විශිෂ්ට මට්ටමේ පොතක්. 2008 වසරේ දී මේ පොත සිනමාවට නැගුනත්, පොතේ තියෙන දාර්ශනික හරය සහ Saramago ගේ රචනා කලාවේ විශිෂ්ටත්වය සිනමා පටයෙන් ගිලිහිලා ගිහින් තිබුණු බවට චෝදනා නැගුණා.  

මේ පොත සිංහල බසට පරිවර්තනය වන්නට ඇති ඉඩකඩ සීමා සහිත නිසා පොතේ කතාව සැකෙවින් කියන්නම්. (ඔබ ඉංග්‍රීසි බසින් හෝ වෙනත් විදේශ භාෂාවකින් මේ පොත කියවන්නට හිතාගෙන ඉන්නවා නම්, මෙතැනින් පහළ කොටස කියවන්නට එපා).

________________________________________________________________________________________________________

තවත් එක් සාමාන්‍ය දවසක්. ජනාකීර්ණ මහා මාර්ගය වාහන වලින් පිරිලා ඉතිරිලා ගිහින්.

රතු පාට මාර්ග සංඥා එළියට නතර වෙලා තිබුණු හැම වාහනයක්ම කොළ පැහැය දැල්වුණාට පස්සේ යන්න පටන් ගත්තත්, එකම එක වාහනයක් විතරක් එකම තැන නතර වෙලා! නොසන්සුන් වුණු සෙසු රියදුරන් මහ හඬින් තමන්ගේ රථ වල නළා නාද කරන්නට පටන් ගත්තා.

ඒත් ඒ වාහනය හෙල්ලෙන්නේවත් නැහැ. අන්තිමේදී වෙනත් වාහනයක කෙනෙක් ඔහුගේ කවුළුව ළඟට ඇවිත් මෙහෙම ඇහුවා, “මොකද වෙලා තියෙන්නේ?”

“මට පේන්නේ නැහැ.” රියදුරා පිළිතුරු දුන්නා.

ඔහුට සිද්ධ වෙලා තිබුණේ අමුතුම දෙයක්. එක් වරම මහා මාර්ගයේ දී ඔහු අන්ධ වෙලා. ඔහුගේ දෑස් ඉදිරියේ තියෙන්නේ අඳුරක් නෙවෙයි. කළුවරකුත් නෙමෙයි. අමුතුම සුදු අන්ධකාරයක්.

කතාව ආරම්භ වෙන්නේ එහෙමයි. ඊට පස්සේ මේ රියදුරා එක්ක සම්බන්ධ වන හැමෝම එකා පස්සේ එකා අන්ධ වෙන්න පටන් ගන්නවා. හරියට වසංගතයක් වගේ. මුළු නගරයම භීතියට පත් වෙනවා. රෝගය පැතිරීම නවත්වන්නට, ‌‌මේ විදියට අන්ධ වූ සියල්ලන්ව අත්හැර දැමූ මානසික රෝහලකට රැගෙන ගොස් රඳවා ගන්නට ආණ්ඩුව තීරණය කරනවා. හරියට අර කෝවිඩ් කාලේ සිද්ධ වුණා වගේ.

ඒ විදියට මුලින්ම සිරගත කළ (නිරෝධායනය කළ) මේ පිරිස අතරේ හිටියා ඔය කිව්ව රියදුරාට බෙහෙත් කරන්නට උත්සාහ කළ අක්ෂි වෛද්‍යවරයාත්. මේ වෛද්‍යවරයාව මානසික රෝහලට රැගෙන යද්දී ඔහුගේ බිරිඳත්, තමන් අන්ධ වූ බවක් බොරුවට පෙන්නලා ඔහුත් සමගම ඒ රෝහලට ගිහින් සිරගත වෙනවා. කිසිවෙකුටවත් පැහැදිලි කළ නොහැකි හේතුවක් හින්දා වෛද්‍යවරයාගේ බිරිඳට ඇස් පෙනීම කිසිදා නැති වෙන්නේ නැහැ. ඒත් ඇය එය තමාත්, ස්වාමියාත් විතරක් දන්න රහසක් විදියට තියාගෙන අන්ධ බවක් මවා පානවා.

මේ විදියට අන්ධ භාවයට පත් වුණු පිරිසගෙන් මානසික රෝහල ටිකෙන් ටික පිරෙන්නට පටන් ගන්නවා. මේ කාටවත් එළියට එන්නට බැරි විදියට දැඩි හමුදා මුරකාවල් දාලයි තිබුණේ. වැඩි දවසක් යන්නට කලින් රෝහල ඇතුළේ ජීවිතය අපායක් බවට පත් වෙනවා. කෑම හිඟ වෙනවා. පිරිසිදුකම නැත්තටම නැති වෙනවා. බිය සහ අවිශ්වාසය හැම තැනම! සිරගතව සිටින සුළුතර මැර කණ්ඩායමක් ආහාර තමන්ගේ පාලනයට ගැනීම වෙනුවෙන් ප්‍රබල අවියක් විදියට ලිංගික සූරා කෑම පාවිච්චි කරනවා. මිනිස්කම මුළුමනින්ම ගිලිහිලා යනවා.

වසංගතය හමුවේ මිනිස්කම, සාරධර්ම මේ විදියට ගිලිහිලා යන හැටි තමන්ගේම ඇසින් දකින එකම තැනැත්තා වෛද්‍යවරයාගේ බිරිඳ පමණයි. කෲරත්වය, ආත්මාර්ථකාමීකම, බිය, ධෛර්යය, කැපවීම, මිත්‍රත්වය සහ කරුණාව ආදී වූ මේ හැම දෙයක්ම ඇය තමන්ගේ දෙනෙත් අබියසම දකිනවා.

අවසානයේ දී ඇගේ නායකත්වයෙන් කුඩා පිරිසක් මානසික රෝහලෙන් එළියට පැන ගන්නවා. රෝහලෙන් එළියට ගියාට පස්සේ තමයි ඔවුන් වටහා ගන්නේ මුළු මහත් සමාජයම මේ අන්ධභාවයේ ගොදුරක් බවට පත් වෙලා තියෙනවා කියලා. ඔවුන්ට හමු වන්නේ බිඳ වැටුණු ලෝකයක නෂ්ටාවශේෂ. වීදි හිස්වෙලා. කඩ සාප්පු කොල්ල කෑමට ලක් වෙලා. මිනිසුන් තමන්ගේ පැරණි ජීවිතයේ නටබුන් අතර අසරණව සැරිසරනවා.  දෑස් අන්ධ වූ මුළු මහත් සමාජයක් අබියස මේ කුඩා කණ්ඩායම ජීවිත අපේක්ෂාවන් දල්වා ගන්නට උත්සාහ ගන්නවා. ඒ හැම මොහොතකම ඔවුන්ගේ මාර්ගෝපදේශකයා, ආරක්ෂකයා සහ හෘද සාක්ෂිය වන්නේ වෛද්‍යවරයාගේ බිරිඳයි. ත්‍රාසය, භීතිය, කෲරත්වය, මනුෂ්‍යත්වය, ලිංගිකත්වය ආදී වූ විවිධාකාර මිනිස් හැගීම් අතරේ ජීවිත දෝලනය වෙනවා.

Blindness කෘතිය ඇසුරින් නිර්මාණය වූ සිනමා පටයේ පෝස්ටරයක්

හිටි හැටියේම අන්ධභාවය සමාජය පුරා පැතිරුණු අයුරින්ම, ආපහු පෙනීම ලැබෙන්න පටන් ගන්නේත් අබිරහස් ලෙස හිටි හැටියේමයි. ‘මට පේන්නේ නැහැ’ වෙනුවට ‘මට දැන් පේනවා’ කියන ප්‍රීති වාක්‍ය වීදි දිගේ තැනින් තැන සතුටින් ගිගුම් දෙනවා.

නමුත් පුදුමයට වගේ, ඒක “ඉක්බිති සියල්ලෝ සතුටින් ජීවත් වූහ” වගේ සුන්දර අවසානයක් කියලා පාඨකයාට හිතෙන්නේ නැහැ. කතාවේ චරිතලට දැනෙන සතුට පාඨකයාට දැනෙන්නේත් නැහැ. ඒ්කට හේතුව Saramago නොකියා කියන බොහොම බරපතළ දෙයක් පාඨකයාට දැනෙන හින්දයි.

මේ මිනිසුන් ඇත්තටම අන්ධ වුණේ මේ වසංගතය නිසා විතරද? එකිනෙකාගේ වේදනාවට… අපි හැමෝම එකිනෙකා මත අපේ යැපෙනවා කියන අවබෝධයට…  මනුෂ්‍යත්වයේ සැබෑ අර්ථය ගැන…  සංවේදීකම ගැන…  අපි හැමෝම හැමදාම අන්ධ වෙලා සිටියාද?

Blindness කියන්නේ ඇස් පෙනීම නැතිවීම හා එය නැවත ලැබීම ගැන ලියැවුණු සරල නවකතාවක් නෙමෙයි. අපේ ශිෂ්ටත්වය සහ සදාචාරය ප්‍රශ්න කරන නවනකතාවක්. ඒ වගේම අපි දකින්නට තෝරාගන්නා දේවල් ඒ වගේම අපි නොදැක්කා වගේ ඉන්න හිතා ගත්ත දේවල් ගැන ලියැවුණු අතිශය ප්‍රබල සාහිත්‍ය කෘතියක්.

සමාජයක් විදියට මිනිස්සු භීතියට පත් වුණාම, එහෙත් නැතිනම් නොසිතුව විදියේ අර්බුදයකට මුහුණ දුන්නම සමාජයක නීති රීති සාරධර්ම බිඳ වැටෙනවා වගේම තනි තනි පුද්ගලයන් විදියට අපේත් ගුණධර්ම වියැකිලා යන හැටි මේ පොතෙන් විස්තර කෙරෙනවා. කෝවිඩ් වසංගතයේ දී, 83 කළු ජූලියේ දී, දේශපාලන උවමනාව මත ගොඩ නැගෙන රණවිරු උන්මාදය, ජාති ආලය, ආගමික උමතුව වගේ දේවල් මේ පොත හරහා වටහා ගන්න පුළුවන්.

Saramago දෙවියන්ගේ පැවැත්ම විශ්වාස නොකළ කෙනෙක්. ඒත් පෘතුගාලය කියන්නේ ආගමික භක්තියෙන් පිරුණු ජනතාවක් ඉන්න රටක්. ඒ හින්දා ඔහුට කතෝලික පල්ලියෙන් කටුක විවේචන එල්ල වුණේ වරක් දෙවරක් නෙමෙයි. ඔහු අදේවවාදියෙක් වුණා විතරක් නෙමෙයි කොමියුනිස්ට් දර්ශනයට ගරු කළ ලේඛකයෙක්.

2010 වසරේ ජුනි මාසයේ දී ඔහු මිය ගියේ වයස අවුරුදු 87 දී. මරණයෙන් වසරකට පස්සේ ඔහුගේ භෂ්මාවශේෂ වසර සියයක් පැරණි ඔලිව් ගසක් සෙවණේ තැන්පත් කෙරුණා.

“අපි හැමෝම අන්ධයි, ඒත් ඒක අපි තාමත් දන්නේ නැහැ” (“We are all blind. We just don’t know it yet.”) එහෙම තමයි Saramago කියන්නේ.

____________________________________________________________________________________________________________________

ඔබට පහත වීඩියෝව නැරඹිය හැකි නම් එහි දැක්වෙන්නේ තමන්ගේ Blindness කෘතිය ඇසුරින් නිර්මාණය වූ සිනමා පටය නරඹන Saramago ය. “මට හරිම සතුටුයි”, සිනමා පටය නරඹා ඔහු එසේ කියද්දී ඔහු අසලින්ම අසුන් ගෙන ඔහුට හාදුවක් පිරිණමන්නේ සිනමා පටයේ අධ්‍යක්ෂවරයාය.

2 thoughts on “ඒක අපි තාමත් දන්නේ නැහැ !

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑