පාර වසා නැත…. VIP පාස් අනවශ්‍යයි!

Touched the Untouchables
————————————————

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයේ සිටි විධායක ජනාධිපතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයෙකු ලෙසින් පමණක් නොව මෙරට අගමැති ධුරය ද කිහිප වරක්ම හෙබවූ තැනැත්තෙකි. සමස්තයක් ලෙස ගත් විට විධායක ජනාධිපතිවරයෙකු කිසිදු හේතුවක් මත ලංකාවේ අධිකරණයක් විසින් මේ දක්වාම බන්ධනාගාරගත කරනු ලැබ නැත. එබැවින් මේ තීන්දුව වචනයේ පරිසමාප්තියෙන්ම ඓතිහාසික තීන්දුවකි. එබැවින් මේ අවස්ථාව මෙරට අධිකරණ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරන්නේය. නීතිය හදාරන අනාගත සිසු පරපුරට සිත් ගන්නා සුළු නෛතික මූලධර්මයක් ඉගෙන ගන්නට අදින් පසු දොරගුළු විවර වන්නේය.

මේ තීන්දුව සම්බන්ධයෙන් මතුවන තර්ක විතර්ක, දේශපාලන සංවාද බොහෝය. මෙය අධිකරණය හමුවේ තවමත් විභාග වෙමින් පවතින කරුණක් හේතුවෙන් ඒ ගැන කතා කිරීම නිෂ්ඵල කාර්යයකි. එමෙන්ම එම තීන්දුව විවේචනයට ලක් කිරීම නීතියේ ආධිපත්‍යය අබිබවා යන්නකි. මේ සටහන ලියැවෙන්නේ ඒ වෙනුවෙන් නොවේ.

මේ අධිකරණ තීන්දුව සමගින්ම දැකිය හැකි ප්‍රධානතම සහ ප්‍රබලතම නිරීක්ෂණය වන්නේ මේ තීන්දුව හේතුවෙන් බොහෝ දෙනෙකු ‘ත්‍රස්ත’ වී ඇති බවය. එයට හේතුව හිටපු ජනාධිපතිවරයෙකු අත් අඩංගුවට ගැනිමය. “හිටපු ජනාධිපතිවරයෙකු…???”

මෙම කරුණ අරබයා පාර්ලිමේන්තුවේ කතා කළ විපක්ෂ දේශපාලකයන්ගේ පොදු තර්කය වූයේ ‘නීතිය කාටත් සමාන විය යුතු නමුදු හිටපු ජනාධිපතිවරුන් අරබයා එහිදී ලිහිල් බවක් ලැබිය යුතු බවය’. එවන් තර්ක මතුවීම සහ මේ තීන්දුවෙන් බොහෝ දෙනා කලබල වීම සහ ත්‍රස්ත වීම පසුපස ඇත්තේ දශක ගණනාවක් පුරා මෙරට නීතිය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් ඔවුන් සතුව ඇති අත්දැකීම් සමුදායයි. එමෙන්ම නීතියේ මූලධර්ම සම්බන්ධයෙන් ඇති‌ නොදැනුවත්භාවයයි.

“නීතිය ඉදිරියේ හැමෝම සමානයි කිව්වත්, හිටපු ජනාධිපතිවරයෙකු මෙහෙමත් අත්අඩංගුවට ගන්න පුළුවන් ද…?”

“නීතිය ඉදිරියේ හැමෝම සමානයි කිව්වත්, හිටපු ජනාධිපතිවරයෙකු මෙහෙමත් අත්අඩංගුවට ගන්න පුළුවන් ද…?”

මේ කරුණ හමුවේ ‘දූෂිත දේශපාලකයන්’ කලබලයට පත් වීම තේරුම් ගත හැකිය. එයට හේතුව හිටපු ජනාධිපතිවරයෙකු මෙසේ අත් අඩංගුවට පත් වූයේ නම් ‘දූෂිත’ වූ තමන්ට කවර මට්ටමේ ඉරණමක් අත් වේද යන්න ගැන ඇති සහේතුක බිය නිසාය. එමෙන්ම දූෂිත දේශපාලන තන්ත්‍රයට තවමත් පෙම් බඳින පිරිස ද කලබලයට පත් වීම ස්වාභාවිකය. එබැවින් එවන් දේශපාලකයන් සහ ඔවුන්ගේ හිතවතුන් නගන අඳෝනා පහසුවෙන් අමතක කර දැමිය හැකිවන්නේ ඒ තර්ක විතරක් සහ චෝදනා තුළ කිසිදු ගැඹුරක් නැති බැවිනි.

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්ව ඇත්තේ පොදු දේපළ අවභාවිත කිරීමේ වරදටය. එය පහසුවෙන් ඇප නොලැබෙන චෝදනාවක් බවත්, එවැනි චෝදනාවකට ඇප ලබා දෙන්නේ විශේෂිතම හේතුවක් මත පමණක් පමණක් බවත් නීතිය ගැන සාමාන්‍ය හෝ අවබෝධයක් ඇත්තෝ දනිති. සංවාදයට ලක් විය යුතු කරුණ වන්නේ එවන් ජනාධිපතිවරුන් අපේ රටේ සුලභව සිටියත් මේ දක්වාම ඒ නීතිය ක්‍රියාත්මක නොවූයේ මන්ද යන්න පමණි.

මෙම සටහන ලියැවෙන්නේ ඒ වෙනුවෙන් නොවේ. බොහෝ දෙනෙකු මේ කාරණාව අරබයා ‘ත්‍රස්ත වීම’ හෝ කලබලයට පත්වීම පසුපස ඇති මනෝ භාවය විස්තර කිරීමට ද නොවේ.

හිටපු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් සිය ධුර කාලයෙන් පසු රටේ පොදු නීතියට යටත් සාමාන්‍ය පුරවැසියෙකු විය යුතුය යන්න අද වනවිට ලොව සෑම රටකම පාහේ ක්‍රියාත්මක වන සහ ඒකමතිකව පිළිගන්නා නෛතික තත්ත්වයයි. හිටපු පාලකයන්ට තමන්ගේ ජීවිත කාලය පුරාම නීතියේ මුක්තිය (Legal immunity) ලැබෙන රටවල් අද ලෝකයේ ඇත්තේ අතේ ඇඟිලි වලින් ගණන් කළ හැකි තරම් කුඩා ප්‍රමාණයකි. උදාහරණයක් ලෙසින් ගත්විට රුසියාව සහ එයින් කැඩී ගිය කුඩා රාජ්‍ය, රුවන්ඩාව, සිරියාව, ගිනියාව වැනි ඉතාම අල්ප රටවල් කිහිපයක් පමණි.

ලොව ප්‍රධාන පෙළේ රටවල් වන ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ සෑම යුරෝපීය රටකම හිටපු අගමැතිවරුන්, ජනාධිපතිවරුන් හෝ කවර මට්ටමේ පාලකයෙකු වුවද නෛතික රාමුවක් තුළ අත් අඩංගුවට ගැනීමට හෝ රඳවා තබා ගැනීමට හෝ සිරගත කිරීමට හෝ නීතියෙන් කිසිදු බාධාවක් නැත. හිටපු රාජ්‍ය පාලකයෙකු අත් අඩංගුවට ගැනීම හෝ බන්ධනාගාරගත කිරීම හෝ වළක්වන නීති රීති (නෛතික මුක්තිය) ලොව කිසිදු දියුණු රටක (ඉහතින් කී රටවල් කිහිපය හැරුණු විට) අද වනවිට ක්‍රියාත්මක වන්නේ නැත.

අපේ අසල්වැසි ආසියානු රටවල් ගත් විට පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් 2023 වසරේ සිට තවමත් සිටින්නේ බන්ධනාගාරගතවය. ඒ රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කිරීම සහ දූෂණය යන චෝදනාවන් මතය. ඔහු සිරගත කෙරුණේ වසර 14 ක් තරම් දිගු කාලයකටය. ඔහු පමණක් නොව ඔහුගේ බිරිද බුෂ්රා ද සමාන චෝදනාවන්ට ලක්ව වසර හතකට බන්ධනාගාරගතව පසුගිය වසරේ දී නිදහස් කෙරුණේය. එහෙත් යළිත් වරක් මේ වසරේ ජනවාරි මාසයේ දී තවත් වසර හතකට ඇයව බන්ධනාගාරගත කෙරුණේ දූෂණ චෝදනා මතමය. බන්ධනාගාරගත කිරීමට අමතරව පාකිස්ථානු රුපියල් 500,000 ක දඩ මුදලක් ගෙවීමට ද ඇයට සිදුවිය.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති Yoon Suk Yeol, යුද නීතිය අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ දැන් සිටින්නේ බන්ධනාගාරයේය. මැලේසියාවේ හිටපු අගමැති Najib Razak දූෂණ චෝදනා මත 12 වසරකට සිරගෙට නියම වී සිටින්නේය. පිලිපීනයේ Rodrigo Duterte අන්තර්ජාතික අපරාධ අධිකරණය විසින් අත් අඩංගුවට ගෙන සිරගත කෙ‌රුණේය. හමුදා පාලනයක් සහිත මියනැන්මාරයේ අවුන් සාන් සූකී 33 වසරකට බන්ධනාගාරගත කෙරුණේය. (සූකීගේ කතාවේ වෙනත් පැත්තක් ද ඇත).

2024 දක්වාම මාලි රාජ්‍යයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ Choguel Maïga, ඒ උණුසුමින්ම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ අදින් දින කිහිපයකට පෙර දී එනම් අගෝස්තු 19 වැනිදාය. ඔහුට එරෙහිව ඇති චෝදනාව වන්නේ 2021 සිට 2024 දක්වා වූ ඔහුගේ පාලන කාලය තුළ දී ඔහු මහජන දේපළ අයුතු ලෙස පරිහරණය කිරීමය. ඔහුගේ නඩු විභාගය තවමත් ආරම්භ වී නැත. එතෙක් ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම මත ඉන්දියාවේ අගමැතිනී ඉන්දිරා ගාන්ධිගේ දේශපාලන කටයුතු අලහාබාද් අධිකරණය විසින් වසර හයකට අත් හිටුවූයේ 1975 තරම් ඈත කාලයේ දීය. පාකිස්ථානයේ හිටපු අගමැතිවරයෙකු වූ බෙනාසීර් භූතෝ (Benazir Bhutto) වරක් දෙවරක් නොව කිහිප වරක්ම අත් අඩංගුවට පත් වූයේය. ඒ දූෂණ චෝදනා සහ රාජ්‍ය විරෝධී කටයුතුවලට අධිකරණයෙන් වැරදිකරුවීම නිසාය. සිය විරුද්ධවාදීන් මරා දැමීය යන චෝදනාව මත ඇගේ පියා වූ සුල්ෆිකාර් භූතෝ (Zulfikar Ali Bhutto) අත් අඩංගුවට පත් වූයේ 1977 දීය. සුල්ෆිකාර් පාකිස්ථානයේ අගමැතිවරයා ලෙසින් මෙන්ම ජනාධිපතිවරයා ලෙසින් ද කටයුතු කළේය. ඔහු අත්අඩංගුවට ගැනීම දේශපාලන මර්දනයක් ලෙස විපක්ෂය විසින් පුළුල් මතයක් ගොඩ නංවන ලද නමුත් සුල්ෆිකාර් එල්ලා මරා දමන ලෙස එරට අධිකරණය නියෝග කළේය. ඒ අනුව 1979 වසරේ අප්‍රේල් මාසයේ දී සුල්ෆිකාර් භූතෝ එල්ලා මරණ ලද්දේය.

දූෂණ චෝදනා ඇතුළු චෝදනා ගණනාවකට නවාස් ශරීෆ් (Nawaz Sharif) හිටපු පාකිස්ථාන අගමැතිවරයා ද දෙවරක්ම අත් අඩංගුවට පත්ව සිරගත කෙරුණේය. ලන්ඩනයේ ඔහු සතුව සුඛෝපභෝගී මන්දිරයක් තිබීම ද ඔහුට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා අතරින් එකක් විය. බලය අයුතු ලෙස භාවිත කිරීම, දූෂණය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම මත අත් අඩංගුවට ගෙන සිරගත කෙරුණු දකුණු කොරියානු අගමැතිවරුන් බොහෝය.

ආසියාවෙන් පිටතට ආ විට ද අත් අඩංගුවට ගෙන සිරගත කළ හිටපු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන්ගේ සංඛ්‍යාව විශාලය. ජෝර්ජියාවේ හිටපු ජනාධිපති Mikheil Saakashvili බලය අයුතු ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා ගණනාවක් මත වසර 12 කට සිරගත කෙරුණේය. අසනීප තත්ත්වයේ පසුවන ඔහු මේ වනවිට සිටින්නේ බන්ධනාගාර රෝහලේය. ඔස්ට්‍රියාවේ හිටපු චාන්සල්වරයා වූ Sebastian Kurz, ව්‍යාජ ප්‍රකාශයන් මගින් පාර්ලිමේන්තුව නොමග යැවූ බවට වූ චෝදනාවක් මත 2024 දී වරදකරු කෙරුණු අතර මේ වසරේ දී අභියාචනයක් ප්‍රකාරව නිදහස් වූයේය. එහෙත් ඔහුට එරෙහිව ඇති තවත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට අලුත් පරීක්ෂණ ආරම්භ වී ඇත්තේය.

ලෝකය පුරා මෙවැනි උදාහරණ වර්තමානයෙන් මෙන්ම අතිතයෙන් ද ඕනෑ තරම් ගෙන හැර දැක්විය හැකිය. හිටපු රාජ්‍ය නායකයන්ට එරෙහිව මේ වනවිටත් ලොව පුරා අධිකරණයන්හි විභාග වන නඩු ද බොහෝය. එවැනි දීර්ඝ ලැයිස්තුවකින් මේ සටහන පිරවීම කාලය කා දැමීමක් වන්නේ ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ ඒ ගැන සොයා බැලිය හැකි බැවිනි.

රජ පෙළපත (Monarchy) තව දුරටත් පවත්වාගෙන යමින් රජෙකු හෝ රැජිනක සිටින රාජ්‍යයන් කිහිපයක් ද ලොව දැකිය හැකිය. බ්‍රිතාන්‍ය රජ පවුල වඩාත් ප්‍රකටය. බ්‍රිතාන්‍යයට අමතරව ස්වීඩනය, තායිලන්තය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, නෝර්වේ, ජපානය, සවුදි අරාබිය ආදී වූ රාජ්‍යයන්ට ද රාජකීය පවුල් ඇත්තේය. එවැනි රටවල රජුට හෝ රැජිනට නෛතික මුක්තියක් (Sovereign Immunity) සාමාන්‍යයන් හිමිවන්නේය. ඒ හේතුවෙන් රජු හෝ රැජින අධිකරණය හමුවට ගෙන ඒමට නීතියෙන් බාධා ඇත. එහෙත් රජ පවුලේ සෙසු රාජකීය සාමාජිකයන් (Other Royals) අරබයා ඒ මුක්තිය නැත. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයේ වර්තමාන රජු වන තුන්වැනි චාර්ල්ස් අධිකරණය හමුවට ගෙන ඒමට ඉඩක් නැතත්, ඔහුගේ පුතුන් වන හැරී සහ විලියම් නීතිය කඩ කඩ කරන ආකාරයේ වරදක් සිදු කළහොත් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කිසිදු බාධාවක් නැත. (එම රජ පවුල් බොහොමයක් පවත්වාගෙන යන්නේ සම්ප්‍රදායක් ලෙසින් හෝ සංකේතාත්මක අර්ථයකින් පමණක් බවත්, එවැනි බොහෝ රටවල අගමැතිවරයෙකු හෝ ජනාධිපතිවරයෙකු සහිත පාර්ලිමේන්තු පාලන තන්ත්‍රයක් පවතින බවත් මෙහිදී සිහිපත් කළ යුතුව ඇත්තේය).

මේ වනවිට ලොව සියලු ශිෂ්ට සම්පන්න රටවල නීතියේ මූලධර්මය වී ඇත්තේ ‘සියලු දෙනාම නීතියට යටත් විය යුතුය’ (No one is above the law) යන්නය. තමන් හිටපු ජනාධිපතිවරයෙකු ද, අගමැතිවරයෙකු ද, චාන්සල්වරයා ද, පාලකයා ද යන කාරණය එහිදී වැදගත් නැත.

ලෝකයේ දැනට පවතින නීති මූලධර්ම අනුව හිටපු පාලකයන්ට එරෙහි නීති කටයුතුවලදී වැඩි බරක් තැබෙන්නේය. එයට හේතුව වන්නේ ඔවුන්ට එරෙහිව ඇති චෝදනා සාමාන්‍ය පුරවැසියෙකුට එල්ල වන චෝදනාවන්ට වඩා බරපතළ ඒවා වන බැවිනි. ඒවා බොහෝ විට ගැට ගැසී ඇත්තේ පොදු දේපළ අවභාවිතාව, සිය විරුද්ධවාදීන් ඝාතනයට හෝ වධ හිංසාවන්ට ලක් කිරීම, ඥාති සංග්‍රහ සහ දූෂණය ආදී වූ කරුණු කාරණා මතය. එබැවින් ඒ චෝදනා පොදුවේ අයත් වන්නේ පුරවැසියන්ට සහ රාජ්‍යයට එරෙහි අපරාධ ගණයටය. එය සාමාන්‍ය පුරවැසියෙකුට එල්ල වන්නා වූ චෝදනාවන්ගේ වපසරිය ඉක්මවා යන්නකි. වඩා බරපතළ මහා පරිමාණ චෝදනා වන්නේය. එබැවින් පුරවැසියන්ට රාජ්‍යය කෙරෙහි විශ්වාසය ඇති කරවීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හිටපු රාජ්‍ය නායකයන් නීතියේ මුක්තියෙන් බැහැර කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු අතිශයින්ම වැදගත් කරුණක් බව බටහිර සහ යුරෝපීය නීති සම්ප්‍රදායන් විසින් එකහෙළා පිළිගනු ලබයි. විශේෂයෙන්ම සිය ධුර කාලයෙන් පසුව ඔවුන් සාමාන්‍ය පුරවැසියන් සේ සැළකිය යුතු බව පෙරදිග සහ අපරදිග නීති සම්ප්‍රදායන්ගේ දැනට පවතින පොදු මතයයි.

ඇතැම් රටවල නීතියේ ආධිපත්‍යය එතැනින් ද ඔබ්බට ගොස් ඇත. එනම් ඇතැම් රටවල් සිය ධුරය දරද්දී පවා අගමැතිවරුන්, ජනාධිපතිවරුන් නිතිය හමුවට ගෙන ඒමේ හැකියාව සිය නීති පද්ධතියට ඇතුළත් කර ඇත. නිදසුනක් ලෙස 2019 වසරේ දී ඊශ්‍රායලය සිය අගමැති බෙන්ජමින් නෙතන්යානු (Benjamin Netanyahu) ට එරෙහිව අල්ලස, දූෂණය සහ මහජන විශ්වාසය කඩ කිරීම යන චෝදනාව මත අධිකරණයේ නඩුවක් විභාග කිරීම ආරම්භ කළේ ඔහු අගමැතිවරයා ලෙසින් කටයුතු කරද්දීමය. නෙතන්යානු තවමත් ඊශ්‍රායලයේ අගමැතිවරයාය. නඩුව ද තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතින්නේය.

ප්‍රංශය ද සිය ධුරයේ කටයුතු කරන ජනාධිපතිවරුන්ට එරෙහිව අධිකරණයට යාම සදහා ඉඩකඩ සැලසෙන නීති ප්‍රතිපාදන යම් මට්ටමකින් ස්ථාපිත කර ඇත්තේය. ඉතාලිය සම්බන්ධයෙන් ගත් විට සිය ධුරයේ කටයුතු කරන අගමැතිවරයාට කිසිදු නෛතික මුක්තියක් නැත. එනම්, ඉතාලියේ අගමැතිවරයා කවර මොහොතක හෝ අධිකරණය හමුවට ගෙන ආ හැකිය. නිදසුනක් ලෙස ගත්විට ඉතාලියේ අගමැතිධුරය දැරූ Silvio Berlusconi ට සිය ධුර කාලය දරන අවස්ථාවේ දීම කිහිප වරක්ම අධිකරණය හමුවට යාමට සිදු වූයේ ඔහුට එරෙහිව එල්ල වූ බදු වංචාවන් සහ අල්ලස් චෝදනා හේතුවෙනි.

ඇමරිකාව ගත් විට ඇමරිකානු ජනාධිපති ධුරය දරන තැනැත්තා සිය තනතුරේ සිටිය දී අපරාධ චෝදනා මත අධිකරණය හමුවට ගෙන යා නොහැකි නමුත් ඔහුට එරෙහිව මතු වී ඇති එවැනි චෝදනාවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කිසිදු බාධාවක් නැත. එමෙන්ම ඒ මත පදනම්ව කොංග්‍රස් මණ්ඩලය හරහා විශ්වාසභංගයක් ගෙනැවිත් ඔහු සිය තනතුරෙන් පහ කර හැරීමට ඉඩ ඇත. වර්තමාන ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ද එවන් චෝදනාවන්ට ලක් වූවෙකි.

කැනඩාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව ආදී රටවල් ගත් විට ද එම රටවල්වල අගමැතිවරුන්ට හෝ රටේ පාලකයන්ට නීතියේ මුක්තිය නිදහසේ භුක්ති විඳින්නට කිසිදු ඉඩක් නැත. එනම්, එම රටවල රාජ්‍ය නායකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු නෛතික බාධාවක් නැත. එහෙත් සාමාන්‍යයෙන් එම රාජ්‍ය නායකයන් සිය ධුරයේ කටයුතු කරද්දී කිසියම් ආකාරයක වූ ගෞරව කිරීමක් එසේත් නැතිනම් පිළිගැනීමක් පවතින බැවින් ඔවුන් එම ධුර කාලය දරන තෙක් නෛතික කටයුතුවල තරමක ප්‍රමාදයක් සිදුවන්නේය. එහෙත් ඔවුන් නීතියෙන් නිදහස් වන්නේය යන්න එයින් කිසිසේත්ම අදහස් වන්නේ නැත. සිය ධුර කාලය අවසන් වූ සැණින්ම අධිකරණ කටයුතු නතර වූ තැනින් ආරම්භ වන්නේය. එබැවින් සදාකාලික නීතියේ මුක්තියක් එවැනි රටවල පාලකයන්ට ද කිසිසේත්ම නැත.

ලෝක‌යේ සෙසු රටවල් ගමන් කරන්නේ එවන් වූ මාවතකය. ඒ සෑම රටකම මාංචු කුට්ටම් නිර්මාණය වී ඇත්තේ කවර අතකට වුව ගැලපෙන පරිදිය. හිටපු ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගේ අතට වුව එය කදිමට ගැලපෙන්නේය.

ඒ රටවල පුරවැසියන්ගේ හිත් තුළ මෙවැනි ප්‍රශ්නයක් කවදාවත් මතුවන්නේ නැත: “සාමාන්‍ය අපිට නීතිය අකුරටම ක්‍රියාත්මක වුණාට කමක් නැහැ… ඒත් ප්‍රභූන්ට….?

4 thoughts on “පාර වසා නැත…. VIP පාස් අනවශ්‍යයි!

Add yours

  1. මේ කතාවේ ඔය හැම විටම ඕක හරියන්නෙත් නැහැ . ඇන්ඩ්රූ කුමාරයාව තවම අල්ලන්න බැරි වෙලා තියනව රේප් කෙස් වලට . හැමෝම දන්නවා ඒත් මුකුත් කරන්න් බහ , ලඟදි එයට විරුද්ධව අකත් කරපු කාන්තාව සිය දිවි හානි කර ගත්ත . ඒ මනුස්සයට බැනපු බැනුම් . අර වෙන්ස්ටයින් ද මොකාද එකා ‘එල්ලිලා ‘ මැරුන . සිරියස්ලි

    Liked by 1 person

    1. තමන්ට එරෙහිව චෝදනා එල්ල වූ වහාම ඇන්ඩෘ තමන්ගේ රාජකීය නිල කටයුකු වලින් ඉල්ලා අස් වුණා. එයින් පසුව චාල්ස් රජු විසින් ඔහුව විල වශයෙන්ම රාජකීය තනතුරුවලින් ඉවත් ක’ බව ප්‍රකාශ කරනු ලැබුවා.
      ඔහුගේ නඩුව දෙපාර්ශ්වයේම එකඟත්වය මත 2022 වසරේදී සමථයකට පත් වුණා.
      නොහොම වුණත් ඇන්ඩෘ ප්‍රශ්නාකාරී චරිතයක්. විවිධ චෝදනාවන් පසුව ඔහුට එල්ල වුණා. ඒත් කිසිවෙකු ඔහුට එරෙහිව ඒවා වෙනුවෙන් තවමත් නඩු පවරලා නැහැ.
      කොහොම වුණත් ඔහු රාජකීය වගකීම් සියල්ලෙන්ම බැහැර කළ සාමාන්‍ය පුරවැසියෙකු ලෙසයි දැන් සළකන්නේ. ඔහුට එරෙහිව නීතිය හමුවට යාමට බ්‍රිතාන්‍යයේ කවර හෝ පුරවැසියෙකුට හැකියාව සහ අවස්ථාව තියෙනවා

      කැමතියි

  2. ඔව් ක්වීන් ඒක කළා තම . මගේ තර්කය ඔවුන් බලවත් බව . ට්‍රම්ප් , ක්ලින්ටන් . ඇන්ඩ්රු . මේ වගේ අය හිරේ යන්නේ නැහැ ඒ වරදවල් වලට

    Liked by 1 person

කළු වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑