මා ඔබ නොව – ඔබ මා නොව

001.jpgමේ ඔබ දකින දිය සායමින් කළ අපූරු සිතුවම මං මුලින්ම දුටුවේ කැනඩාවේ එඩ්මන්ටන් නුවර තරමක හුදෙකලා ස්ථානයක තිබුණු කඩමණ්ඩියක. වසන්තය අවසාන‍යේ තමන්‍‍ගේ තුරු හිස් රතු, කහ, තැඹිලි පාටින් අපූරුවට වර්ණවත් වෙලා, මුලු පරිසරයම සීත සෘතුවට සූදානම් වෙන්න ලක ලැහැස්තියෙන් හිටපු කාලයක. හරියටම කියනවා නම් අදින් හරියටම අවුරුදු දහයකට කලින් සරත් සෘතුවේ අවසාන භාගයේ දවසක.  කඩමණ්ඩිය පිහිටලා තිබුණු නිම්න‍යේ පාට පාටින් වර්ණවත් ‍වෙච්ච තුරු ලතා සැන්දෑ හිරු රැස්වල තැවරිලා තඹ පාටක ගිලිලා තිබුණු සරත් සෘතුවේ සජීවී දර්ශනය, මේ සිතුවමෙන් මතුවෙන කියාගන්නට බැරි පාළු ශෝකී හැගීමත් එක්ක අපූරුවට පෑහීමත්, පුංචි සන්දියේ හොදට හුරු පුරුදු සාර්ලිස් මාස්ටර්ගේ කිඹුල්වත්පුර භූමි දර්ශනවල කුමක් හෝ මතකයක් මේ සිතුවමත් එක්ක එකට මුහු‍වෙලා තියෙන බවත් දැනුණු නිසා දෙවරක් හිතන්නේ නැතිවම මේ සිතුවම මං මිලදී ගත්තා. ‍ගෙවුණු අවුරුදු දහයක කාලය පුරාවට පදිංචි ස්ථාන විතරක් නෙමෙයි, ප්‍රාන්තයකින් ප්‍රාන්තයකට පවා සංක්‍රමණය වෙන්න සිද්ධ වුණත් මේ සිතුවමත් ඒ හැම විටෙකම අපිත් එක්ක අපි යන යන තැන්වලට ගියා. මේ සිතුවම දැන් එල්ලලා තියෙන්නේ මගේ ගෙදර පිය ගැට පෙළකට සමාන්තරව ඊට විරුද්ධ පැත්තෙන්. ඒ හින්දා පිය ගැට පෙළ බහින හැම වෙලාවකම මේ සිතුවම මගේ ඇස ගැටෙනවා. බොහෝ සේ කතා බහ කරන්නට තරම් අතිවිශිෂ්ට නිර්මාණයක් ලෙසින් මේ සිතුවම කෙනෙකුට නොසිතීම කිසිසේත්ම පුදුමයට කාරණාවක් නොවුණත්, මේ සිතුවමෙන් පෙන්වා දෙන භූමි දර්ශනය සැබවින්ම පවතින තැනක්ද, එසේනම් ඒ කොහේ විය හැකිද කියන කාරණාව කුතුහලයක් විදියට මගේ හිතේ හැමදාමත් තැන්පත් වෙලා තිබුණා. පිය ගැට පෙළ මත්තෙන් සිය දහස් වාරයක් ඉහළ පහළ ගියත්, පිය ගැට පෙළ මත්තේ හිදගැනීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒත් පහුගිය දවසක අහම්බෙන් සෑහෙන වෙලාවක් පිය ගැට පෙළේ මුදුන් පියගැටයේ හිදගෙන ඉන්න සිද්ධ වුණා. මේ වෙලාවේ මගේ නෙත් මට්ටම අබියසින් අරා වැජඹුණු මේ සිතුවම කවදාවත් නැති තරමටම සජීවී හැගීමක් මගේ හිතේ මවා පාන්නට පටන් ගත්තා. ඒ එක්කම ආපහු සැරයක් අර කිව්ව කුතුහලය හිත ඇතුළේ සැරසරන්නට වුණා. සිතුවම් ශිල්පියාගේ අත්සන සිතුවමේ මතුපිට සටහන් වෙලා තිබුණු හින්දා ඒ නම කියවා ගන්න ඒ තරම්ම අපහසු වුණේ නැහැ. ඒ නිසා ඒ මොහොතේම ඔහු ගැන සොයා බලන්නට අන්තර්ජාලයේ සැරිසැරුව මට අවසානයේ දී ඔහු සම්බන්ධ කරගන්නට වාසනාව ලැබුණා.

මේ අපූරු සිතුවම් ශිල්පියාගේ නම මයිකල් මාර්කෝන් (Michael Marcon). ඔහු ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පියෙක්. චිත්‍ර කලාව විෂයක් විදියට සරසවි මට්ටමින් හදාරපු මයිකල් විවිධ ක්ෂේත්‍රවල කලා කටයුතුවල නියැලිලා හිටියත් ඔහු වඩාත්ම ප්‍රසිද්ධියට පත්වෙලා ඉන්නේ මේ සටහනට පාදක වෙච්ච සිතුවම වගේ භූමි දර්ශන සිතුවම් කලාවටයි. ඒත් ඔහුගේ භූමි දර්ශන සිතුවම්වල විශේෂත්වයක් තියෙනවා. සම්ප්‍රදායික සහ නූතන සිතුවම් කලාව කියන අංශ දෙකම හදාරලා තිබුණත් ඔහු වඩාත්ම ඇළුම් කරන්නේ මේ සිතුවමින් මතු කරනවා වගේ සම්ප්‍රදායික භූමි දර්ශන සිතුවම් කලාවටයි. ඔහුගේ සිතුවම් වි‍ශේෂයෙන්ම ඇමරිකාවේ ප්‍රධාන පෙළේ කලාගාරවල වගේම ‍බොහෝ ආයතනවලත්, කලා රසිකයන්ගේ පෞද්ගලික කලා එකතුන් අතරත් බොහොම ජනප්‍රියයි. මයිකල් කියන විදියට බාහිර ලෝකයත්, අභ්‍යන්තර හැගීම් සමුදායත් එක්තැන් කරන තැනක් තමයි කලාව කියන්නේ. බාහිර ලෝකයේ දකින්නට ලැබෙන දෘශ්‍ය කරුණු කාරණාත්, හිත ඇතුළේ සැරිසරන හැගීම් සංවේදනත් අතර හිතට හුරු පුරුදු මචත්කාරජනක හැගීමක් නිර්මාණය කිරීම තමන්ගේ කලාවේ අරමුණ බවයි ඔහු කියන්නේ. ඒක ඇත්ත. ඔහුගේ සිතුවමට මාව ඇදිලා යන්න හේතු වුණේත් මයිකල් කිව්ව ඔය කරුණු කාරණාම තමයි. මගේ හිතේ මේ තාක් කාලයක් කුතුහලයක් වෙලා තිබුණු මේ සිතුවම ගැන මං ඔහුගෙන් විමසුවාම ඔහු කීවේ මේ සිතුවම මුළුමනින්ම තමන්ගේ හිතේ ඇදුණු සිතිවිල්ලක් මත නිර්මාණය වෙච්ච සිතුවමක් කියලයි. ඒ කියන්නේ මෙහෙම තැනක් ඇත්තටම නැහැ, ඒත් මේ සිතුවමට පාදක වෙච්ච සිතිවිල්ල ඊට තරමක් දුරට ගිය එකක්.  මයිකල්‍‍ගේ මිත්තනිය පදිංචි ‍වෙලා ඉන්‍නේ පංච මහා විල් අතරට ගැ‍නෙන මිචිගන් සහ සුපීරියර් අතරට මායිම් වෙච්ච ඇමරිකාවේ විස්කොන්සින් (Wisconsin) ප්‍රාන්තයේ කුඩා ගම්මානයක. ‍මිත්තනිය බලන්නට ඇ‍ගේ ගම්බද නිවාසයට යන අත‍රේ ග‍මේ සුසාන භූමියට මළ හිරු රැස් වැටිලා ති‍යෙන හැටි මයිකල් දකිනවා. ‍මේ දර්ශනයට මයිකල්‍‍ගේ හිත ‍කොයි තරම් ඇදිලා ගියාද කියනවා නම්, එයා තමන්‍‍ගේ වාහනය නතර කරලා ‍ඒ භූමි දර්ශනය ඡායාරූපයකට ගන්නවා. ඒ ඡායාරූපය ඇසුරින් තමයි ඔබ මේ දකින සැබෑ භූමි දර්ශන සිතුවම මයිකල් නිර්මාණය කරලා තියෙන්නේ.

50487768_2275726752460206_5047661306761445376_n

මේ සිතුවම ඔහු නම් කරලා තියෙන්නේ Auburn කියන නමින්. මේ කියන Auburn කියන වචනය සිංහලට පෙරළුවොත් ඒක තඹ වගේ පාටක් හදුන්වන්න කියන වචනයත්. ඒ කියන්නේ රතට හුරු දුඹුරු පාට වගේ පාටක්. මේ සිතුවමට පදනම් වෙච්ච ඡායාරූපයේ භූමි දර්ශනයේ ඔය කියන තඹවන් පාට තැවරිලා තියෙන හැටි අපූරුවට පේනවා. ඒත් වඩාත්ම සිත් ඇදගන්නා සුලු කරුණ තමයි ඔහුගේ මිත්තනිය පදිංචි වෙලා ඉන්න හු‍දෙකලා ගම්බද ප්‍රදේශය හදුන්වන්නෙත් New Auburn කියන නමින්. මේ පුංචි ගම්මානයේ පදිංචිව ඉන්නේ පන්සියයකට පොඩ්ඩක් වැඩි පිරිසක් විතරයි. කොහොම වුණත් මේ කියන Auburn කියන සැබෑ භුමි දර්ශනයත් එක්ක තමන්ගේ හිතට මතුවුණු සිතිවිල්ලක් මුහු කරලා තමයි අර මං කිව්ව මගේ නිවසේ තියෙන සිතුවම ඔහුගේ පින්සලෙන් නිමවෙලා තියෙන්නේ. ඒ නිසා මේ සිතුවම ඔහු නම් කරලා තියෙන්නේ Auburn – II කියන නමින්. හරිම අපූරු කතාවක්.

කලාකෘතින් විවරණය කරන්නට තරම් දැනුමක් හෝ කුසලතාවක් ඇති ‍වෙන්නට තරම් කලාව කියන විෂය මං හදාරලා නැහැ. ඒත් කලාකරුවෙකු අතින් නිර්මාණය වෙන සිතුවමකින් කෙනෙකුගේ පරිකල්පන ශක්තිය කොයි තරම් දුරක් ඈතට ගෙනි යන්න පුලුවන්ද කියන කාරණාව සියවස් ගණනාවක් පුරාම කතා බහට ලක්වෙච්ච දෙයක්. ශිෂ්ටාචාරය පුරාම මිනිසුන්ගේ චින්තනය වෙනස් කරන්නට බොහෝ සේ බලපෑම් කළ සිතුවම් නිමක් නැහැ. ඒක ලිපියකින් කියලා නිම කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. මෑත කාලයේ උදාහරණයක් ගත්තොත් ස්පාඤ්ඤ ජාතික පැබ්ලෝ පිකාසෝගේ ගුවර්නිකා (Guernica) කියන තෙල් සායම් සිතුවම යුද්ධයේ සැහැසිකම ලොවට කියා පෑවා විතරක් නෙමෙයි මුලු ලෝකයේම අවධානය ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය දිහාවට යොමු කරවන්නට උදව් උපකාරී වුණා. මේ සිතුවම කොටසින් කොටස සජීවීව විවරණය කරන වීඩියෝවක් සපාඤ්ඤ සිවිල් යුද්ධයේ විතරක් නෙමෙයි මුලු ලෝකය පුරාම පැතිරිලා තියෙන මානව සැහැසිකම් විවරණය කරන්නට අද දවසේ යොදා ගන්නවා.

Picaso

කලාගාරය තුළ ගුවර්නිකා වින්දනය කරන කලා රසිකයන් පිරිසක්

ලාංකීය ඉතිහාසය ගත්තොත් අපටත් තියෙන්නේ මුලු ලෝකයමට නොදෙවෙනි වෙච්ච මහා කලා සම්ප්‍රදායක්. ඒ මහා කලා සම්ප්‍රදාය ගැන කතා කරන්නට පොළොන්නරුවේ තිවංක පිළිමගෙය විතරක්ම වුණත් ඇති.  තිවංක පිළිම ගෙය තුළ මොහොතක් සැරිසරන කෙනෙකුට ඒ මහා සිතුවම් සම්ප්‍රදාය, කලාවට එහා ගිය මුනිවර ප්‍රකාශනයක් කියන කාරණාව වටහා ගන්නට අටුවා ටිප්පනි අවශ්‍ය නැහැ. අනුරාධපුර, පොළොන්නරුව කියන යුගවලින් බැහැර වෙලා මෑත ඉතිහාසය දිහා බැලුවත් සෝලියස් මැන්දිස්ගේ සිතුවම් සම්ප්‍රදායත් ඒ අතීත මුනිවර ප්‍රකාශනයම අලුතින් පන ගැන්වීමක් කියන එක, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී අපේ හිතවත් අර්ජුන සමරවීර සහෝදරයා කරපු විශිෂ්ට කාර්යයකින් තවත් තහවුරු වුණා. (සීගිරි ලළනාවන්ගේ උඩුකය දුහුල් සළුවකින් ආවරණය වී ඇති බව මෑතකදී සොයා ගන්නට හැකි වුණේත් අර්ජුනගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු සූක්ෂම ඡායාරූපකරණයේ ප්‍රතිඵලයක් විදියට බවත් ඔහුට ගෞරවයක් විදියට මෙතැනදී මතක් කරන්නට ඕනේ). කැලණි විහාරයේ බිතු සිතුවම් මෙතෙක් පියවි ඇසට හසු නොවුණු, ආසන්න මිලිමීටරය දක්වා ඉතා නිවැරදිව කියවිය හැකි විදියට ක්ෂුද්‍ර ඡායාරූප තාක්ෂණයට නැගීමේ භාරදූර කාර්යයේදී අර්ජුන බොහොම අපූරු සොයා ගැනීමක් කර තිබුණා. මිනිස් ඇසකින් සමීපව නැරඹීම කිසිදා කිසිදිනෙක සිදුවෙතැයි අපේක්ෂා නොකළ ඉතා උස් පියසි මත පවා සෝලියස් මැන්දිස් කලාකරුවාණන් කොයි තරම් සූක්ෂමව තම මුනිවර කාර්යය ඉටු කර තිබුණා ද කියනවා නම් උස් පියැසි මත ඇදුණු ඇතෙකුගේ ඇස් මත දිදුලන කදුළක තෙතමනය පවා ඒ මහා කලාකරුවා සටහන් කර තිබුණු ආකාරය අර්ජුන තමන්ගේ සූක්ෂම ඡායාරූපකරණය මගින් ලොවටම පෙන්වලා දුන්නා. ඒ විතරක් නෙමෙයි තිවංක පිළිමගෙයි සිතුවම් ඇන්ඳ ලාංකීය සිත්තරුන්ගේ දාර්ශනික මුනිවර ජාන පරම්පරාව නොනැසී ගලාගෙන ඇවිත් සෝලියස් මැන්දිස්ගේ පින්සලෙන් යළි ප්‍රතිනිර්මාණය වෙලා තියෙන අපූරුව මේ ක්ෂුද්‍ර ඡායාරූප මගින් දැකගන්නට පුලුවන්.

Solias-Mendis

එයින් එක් අවස්ථාවක් තමයි සිය බිසවගේ දොළ දුක සංසිඳ වන්නට ඡද්දන්ත කියන බෝධිසත්ව හස්තියාගේ දළ කපා ගන්නට මගට බසින සෝනුත්තර කියන වැදි නායකයා අතට සෝලියස් මැන්දිස් කලාකරුවාණන් නෙළුම් මලක් දීලා තිබීම. රජ අණ ඉටු කරන්නට යන මිනිහෙකුගේ හෘදය සාක්ෂිය හෙළිදරවු කරන්නට මීටත් වඩා සුදුසු සංකේතයක් තවත් හොයා ගන්නට පුලුවන්ද? ඡද්දන්ත ජාතකයේ දී ජාතක කතාකරුවා පවා සෝනුත්තරට නුදුන් සාධාරණත්වයක් වගේම හිත් කම්පා කරවන දාර්ශනික ගැඹුරක් එකම එක නෙළුම් මලකින් පළ කරන්නට තරම් දාර්ශනික මනසක් පින්සලක් අතට ගන්න හැම කලාකරුවෙකුගේම ඔළුව ඇතුළේ නැහැ. (ඒත් මුලු විහාරය පුරාම බිතු සිතුවම් නිර්මාණය කළ මේ මහා කලාකරුවාට, බුදුකුටියේ සිතුවම් නිර්මාණය කරන්නට එවටක හිටි විහාරස්ථ දායක සභාව ඉඩ දුන්නේ නැහැ. ඒ කාර්යය ඔහුගෙන් උදුරා ගෙන විදේශීය චිත්‍ර ශිල්පියෙකුට පවරා දීම නිසා ඇති වූ කම්පනය නිසාම අවසානයේ දී තම පින්සල දෙකඩ කඩා කැලණි ගගට විසිකරන්නට ඔහුට සිදුවූ පුවත ගැන සිත් වේදනාවෙන් වුණත් මෙතැනදී සිහිපත් නොකළොත් අඩුපාඩුවක්).

Kelaniya

කැලණි විහාරයේ බිතු සිතුවමක්

පොදුවේ ගත්තම බෞද්ධ කලාවම සං‍කේතවලින් පිරිලා ගිය දාර්ශනික සම්ප්‍රදායක්. මුරගල ගත්තත්, සදකඩ පහණ ගත්තත්, වාහල්කඩ, කොරවක්ගල විතරක් නෙමෙයි අනුරාධපුර මහා සෑ පවා මුළුමනින්ම දාර්ශනික සම්ප්‍රදායක් පිට කර හරින කලා කෘතීන්. සමාධි බුදුරුව, අවුකන ප්‍රතිමාව, ගල් විහාර ප්‍රතිමා මේ හැම එකක්ම පූජනීය අර්ථය ඉක්මවා ගිය දැවැන්ත කලා කෘති. මේ අසහාය කලාකෘති ගැන මේ වගේ කෙටි ලිපියකින් කතා කරන්නට උත්සාහ ගැනීම පවා ඒ කලාකෘතීන්ට කරන අසාධාරණයක්.

‍සෝලියස් මැන්දිස් ගැන කියද්දී, හරියටම අදින් අවුරුදු විස්සකට කලින් කොළඹ කෞතුකාගාරය ඉස්සරහ තියෙන සුවිසල් නුග ගහේ හෙවන යටදී කලාසූරී එස්. පී චාර්ල්ස් එක්ක කරපු සංවාදයක් මට මතක් වෙනවා.  ඒ මහා නුග ග‍‍හේ කොළ මිහිරි නාද‍යෙන් ‍ළෙල ‍‍දෙන අත‍රේ, ඒ මදනලත් එක්ක ‍‍පොර බඳින්නට ගිහින් අවුල් වුණු සුදෝ සුදු කෙස් කළඹ වරින් වර සකස් කර ගන්න ගමන් සුදෝ සුදු ජාතික ඇදුමින් සැරසිලා, ගැමි උච්චාරණයට බර තියමින් එතුමා මාත් එක්ක සංවාදයේ යෙදුණු හැටි මේ මොහොතේත් මට මැවිලා පේනවා. (එස්. පී. චාර්ල්ස් කියන්නේ පාරම්පරික සිත්තම් කලාව වර්ධනයටත්, ඒ සිත්තම් කලාව අලුත් පරපුරට ගෙන යන්නටත් දායක වෙච්ච විශිෂ්ට කලාකරුවෙක්. පාර්ලිමේන්තුවේ සෙංකෝලය, ලංකාවේ ජාතික කොඩිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ නිල මුද්‍රාව, විතරක් නෙමෙයි වෙහෙර විහාර රාශියක බිතු සිතුවම් නැවත පිටපත් කිරීමට උරදුන්නු එතුමා මහාවංසයේ වර්තමාන පරිච්ඡේදයේ කලා හා කලා ශිල්ප අංශයේ කතුවරයාත් වුණා). “නම තියෙන්න වැඩක් කරන්න ඕනේ නම් විහාරයක් බිතු සිතුවම් නිර්මාණය කරන්න”, කියලා සෝලියස් මැන්දිස් තමාට කිව්වාය කියන කාරණාවත් එතුමා එදා මට කිව්වා. ඒ වගේම මුල්ම නිදහස් සමරු උත්සවයේ ප්‍රධාන මකර තොරණ සැකසුණේ සෝලියස් මැන්දිස් අතින් බවත්, පුදුමාකාර විදියට සියුම් කැටයම් එකතු කරපු මේ මකර තොරණ සෝලියස් මැන්දිස් අතින් නිමැවුණේ පිදුරු වලින් කියන එකත් එතුමා මට කිව්වා. “මකර තොරණේ සියුම් කැටයම් දැක්ක කිසිම කෙනෙක් විශ්වාස කළේ නැහැ සිමෙන්ති වලින් මිසක් පිදුරු වලින් ඒක නිර්මාණය වුණා කියලා. සෝලියස් මැන්දිස්ගේ වැඩ ඔහොම තමයි”.

z_p12-charles

එස්. පී. චාර්ල්ස් සූරීන්

අපේ කලාවේ සංකේත ගැනත් බොහොම අපූරු විග්‍රහයක් චාර්ල්ස් සූරීන් ඒ සංවාදයේ දී මට පහදලා දුන්නා. එයින් එක් කාරණාවක් තමයි අපේ ජාතික කොඩි‍යේ ති‍යෙන බෝ පත් හතර වෙනුවට එදා තමන් ඇන්‍‍දේ සංඝසූරිය කියලා ‍මෝසතරයක් කියන එක.‍මේ සංඝසූරිය කියන්‍නේ බෝ පත් වෙනුවට ඈත අතීතයේ ඉදන් පාවිච්චි කරපු සංකේතයක්. (මේ මෝස්තරය බෝ කොළයේ හැඩයට වඩා පුටු කකුළක හැඩය ගන්න පෙනුමක් තියෙන මෝස්තරයක් කියලා එතුමා මට සුදු කොළයක පැන්සලකින් ඇඳලාම පෙන්නුවා). ඒ වගේම ජාතික කොඩියට සිංහයෙක් තෝරා ගන්න තමන් ඇතුලු කණ්ඩායමක් සිංහයෝ සිය ගානක් ඇන්දාය කියන කාරණාවත් ඔහු මට එදා කිව්වා. එදා අනුමත වෙච්ච සිංහ රූපය හරි මැද්දෙන් දිග අතට නැව්වම වලිගයයි, කඩුවයි හරි නූලට එකට තියෙන්න ඕනේය කියන එකත්, පළල් අතට නැව්වම සිංහයාව හරි මැද්දෙන් දෙකට බෙදෙන්න ඕනේය කියන කාරණාවත් ඔහු මට පෙන්නලා දුන්නේ සංඝසූරිය මෝස්තරය ඇන්ද කොළයම දෙපැත්තට නවලා පෙන්වලයි. නුවර යුගයේ තිබුණු සිංහ කොඩියේත් ඔය කියන සමමිතික බව තිබුණු බව තමයි එතුමන් කිව්‍වේ. “අද අපේ සිංහ කොඩියේ ඉන්න සිංහයා මං එදා ඇන්ඳ සිංහයා නෙමෙයි. හැමෝම ඒක ඇඳලා ඇඳලා සිංහයා නරක් කරලා”, එතුමා කිව්වේ හරිම විස්සෝපයෙන්.  චාර්ල්ස් සූරීන්ගේ කතාවෙන් සමුගන්න කලින් එතුමා කියපු අපූරු රසවත් කතාවකුත් ඒ කිව්ව විදියටම මෙතැන සටහන් ‍කරන්නට හි‍තෙනවා.

“1950 ගනන්වල සම්ප්‍රදායික සායම් පින්සල් යොදා ගෙන ලොකු ප්‍රදර්ශනයක් කරන්න සංස්කෘතික දෙපාර්තමේන්තුවට උවමනා වුණා. ඉතින් ඔය පැරණි පින්සල් හදන්න “තෙලි තණ” කියලා විශේෂ පන් වර්ගයක් ඕනේ. අපි දන්නේ නැහැ ඔය තෙලි තණ කියන්නේ මොනවාද? ඒවා තියෙන්නේ කොහේද? කියලා. පො‍‍ළොන්නරුවේ තිවංක පිළිම ගෙට එපිටින් වෙද මහත්තයෙකුගේ ගෙදර වත්තේ තෙලි තණ තියෙනවා කියලා අපිට ආරංචියක් ලැබුණා. අපි ඒ දවස්වල නැවතිලා හිටියේ නුවර. ඉතින් නුවර ඉදන් පො‍ළොන්නරුවටම ගියා තෙලි තණ හොයන්න. අන්තිමේදී තෙලි තණ මිටියක්ම අපි පො‍ළොන්නරුවේ ඉදන් නුවරට අරගෙන ආවා. නුවර අපි නැවතිලා හිටියේ කුණ්ඩසාලේ රජ මාළිගාව පිහිටලා තිබුණු තැන පුරා විද්‍යා සංචාරක බංගලාවේ. මෙන්න ඉතින් පො‍ළොන්නරුවේ  ඉදන් තෙලි තණ මිටිය නුවරට ගෙනාවම අපි හිටිය බංගලාවේ මුළු වත්ත පුරාම පිරිලා තියෙන්නේ තෙලි තණ නොවැ…!”.

මේ විදියේ සදානුස්මරණීය විශිෂ්ට පුද්ගලයින් සිය ගණනක් පුද්ගලිකව හමුවී කතා බහ කරන්නට අවස්ථාව ලැබුණේ දිවයින පත්තරේ හින්දා නිසා මේ හැම ගෞරවයක්ම (අතීත) දිවයින පුවපත්පතට හිමිවෙන්නට ඕනේය කියන කාරණාව ‍මේ ‍‍වෙලා‍වේ සඳහන් නොකළොත් ඒක වැරැද්දක්. දිවයින පත්තරේට මං සම්බන්ධ වුණේ පත්තරේ ස්වර්ණමය යුගයේ නොවුණත්, ස්වර්ණමය යුගයේ නෂ්ටාවශේෂ නොනැසී තිබුණු යුගයක. ඒ නිසා පුවත්පත් ලෝකයේ සැබෑ දක්ෂයන් බොහොම දෙනෙක් ඒ වෙනකොටත් දිවයින පුවත්පතේ සිටියා. අවාසනාවකට වගේ අද ඔවුන් හැම දෙනාම වගේ පත්තරෙන් සමුඅරන්. එහෙමත් නැතිනම් ජීවිතයෙන් සමුඅරන්. මේ ලිපියට පදනම් වුණේ සිත්තර කලාව නිසා දිවයින පත්තරේදී මට හමුවුණු සිත්තර කලා‍වේ අතිවිශිෂ්ටයෙකු ගැනත් මේ වෙලාවේ සඳහන් නොකරම බැහැ. ඔහු තමයි ශාන්ත කේ. හේරත්.

Shantha K. Herath

ශාන්ත ‍‌කේ. ‍‌හේරත් දිවයින බදාදා අතිරේකයේ පළ වූ කවි පංතියක් ‍‌වෙනුුවෙන් නිර්මාණය කළ සිතුවමක්

ශාස්ත්‍රීය චිත්‍ර කලාව ගැන අලුතින් හිතන්නට, ලිපි රචනා හොයා ගෙන ගිහින් කියවන්නට මං පුරුදු වුණේ ඔහු නිසා කිව්වොත් නිවැරදියි. දිවයින පත්තරේ විශිෂ්ට පිටු හැම එකක්ම ව‍ගේ නිමවුණේ ඔහු අතින්. ඒ  පිටු හැම එකකම පුදුමාකාර නැවුම් බවක්, ළගන්නා සුළු බවක් වගේම කලාත්මක බරකින් පිරිපුන් වෙලා තිබුණා. පත්තර පිටුවක අනිවාර්යෙයන්ම තියෙන්නට ඕන කරන හිස් අවකාශය (white balance), පත්තර පිටුවක් සම්ප්‍රදායික විදියට සමබර නොකර –  අසමබර කිරීම තුළින් ඒකාත්මික භාවයක් පෙන්නුම් කරන්නට ඕන කරන හැඩය, පසුතලය, අකුරු කියන මේ හැම දෙයක්ම (layout design) මං මුලින්ම ඉගෙන ගත්තේ ඔහුගෙන්. ඒ වගේම මගේ අතින් සංස්කරණය කෙරුණු “කොළොම්පුරේ අපි” අතිරේකය වගේම පසුකාලීනව මගේ අතින් සැකසුණු “බදාදා අතිරේකය”ට අපූරු හැඩයක් එක් කළේත් ඔහුයි. පත්තරේ පළවන කවි පංතියකට, කවි පංතියේ හිමිකරුවා ඒ කියන්නේ කවියා කියන්නට උත්සාහ කරන කාරණාවටත් වඩා ඔබ්බට ගිහින් පුදුමාකාර ගැඹුරකට ඒ කවි පංතිය රැගෙන යන්න ශාන්ත කේ. හේරත්ගේ පින්සල් පහරින් මතුවුණු සිතුවමකට හැකි වුණා. තමන්ගේ සිතුවමකින් කවි පංතියකට ඒ තරම්ම ගැඹුරක් දෙන්න පුලුවන් වෙච්ච විශිෂ්ටයෙක් පත්තර ලෝකයේ මට හමුවෙලා නැහැ.

මේ ලිපියට ලෝක ඉතිහාසයෙන් තවත් එක් දෙයක් එකතු කරන්නට කැමැතියි.  Marcel Duchamp කියන ඇමරිකානු සිත්තරා (ප්‍රංශ සම්භවයක් තිබුණු ඔහු මූර්ති ශිල්පියෙක්, ලේඛකයෙක් වගේම තවත් කලා අංශ ගණනාවක දක්ෂයෙක්) 1917 අවුරුද්දේදී නිව්යෝර්ක් නුවර තිබුණු අන්තර්ජාතික කලා ප්‍රදර්ශනයට අපූරු “කලා කෘතියක්” ඉදිරිපත් කළා. ඒ තමයි සාමාන්‍ය වෙළෙද පොලේ විකුණන්නට තියෙන කැසිකිලි (මුත්‍ර) (urinal) භාජනයක්. ඔහු මේ කැසිකිලි භාජනයට “උල්පත” (Fountain) කියලා නමකුත් දුන්නා විතරක් නෙමෙයි සිත්තරෙක් තමන්ගේ සිතුවමේ අත්සන් කරනවා වගේ ඒ කැසිකිළි භාජනයේ තමන්ගේ අත්සනත් යෙදුවා.

Fountain 1917, replica 1964 by Marcel Duchamp 1887-1968

“උල්පත” (Fountain)

මධ්‍යකාලීන යුගයේ කලාගාරවලට ආපු මිනිස්සුන්ට මේ කැසිකිලි භාජනය වාද විවාද කරලා කාලය නාස්ති කරන්නට තරම් සුදුසු මාතෘකාවක් විදියට නොපෙණුනත් අද වෙනකොට ඔහුගේ මේ “කලා කෘතිය” නූතන කලා ඉතිහාසයේ සංධිස්ථානයක් විදියටයි සළකන්නේ. අද දව‍සේ මුලු ලෝකයේම කලා විෂය උගන්වන සෑම කීර්තිමත් විශ්ව විද්‍යාලයකම, උසස් අධ්‍යාපන ආයතනයකම ඔහුගේ මේ කලා කෘතිය එ‍හෙම නැතිනම් අඩුම තරමින් එහි ඡායාරෑපයක්වත් ප්‍රදර්ශනය කෙරෙනවා. ලෝකය පුරා සෑම උසස් අධ්‍යාපන ආයතනයකම කලා අංශයේ මහාචාර්යවරුන් ඔය “උල්පත” (Fountain) තමන්ගේ සිසුන්ට පෙන්නලා මෙන්න මෙහෙම අහනවා.

“මේක ඇත්තටම කලා කෘතියක්ද?”

“නැහැ කොහෙත්ම නැහැ…”,  “ඇයි නැත්තේ ඒක කලා කෘතියක්…”,  “හ්ම්ම් අනේ මන්දා… ”

ඔන්න ඔ‍හොම තමයි ලෝකය පුරාම විහිදිලා විසිරිලා ති‍යෙන උසස් අධ්‍යාපන ආයතනවල ‍දේශන කරන මහාචාර්යවරුන්ට තමන්‍‍ගේ සිසුන්‍‍ගෙන් අහන්න ලැබෙන උත්තරය. මෙතැනදී මහාචාර්යවරයා එහෙමත් නැතිනම් ගුරුවරයා තමන්‍‍ගේ සිසුන්‍‍ගෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න අමතක කරන්නේ නැහැ.

“හොදයි ඇත්තටම කලාව කියන්නේ මොකක්ද? කිසියම් දෙයක් කලාකෘතියක්ද නැතිද කියන එක මනින මිම්ම මොකක්ද? ”

duchamp_palms

Marcel Duchamp

කවුරුහරි කියනවා නම් කලාව කියන්නේ ලස්සන දේකට කියලා ඒක දකින කෙනාගේ ඇහැ අනුව තීරණය වෙන දෙයක්. ඉතින් කවුරු හරි හිතනවා නම් මේ කැසිකිලි භාජනයේ අපූරු හැඩයක්, එහෙමත් නැතිනම් අපූරු ලස්සනක් තියෙනවා කියලා ඒකට අභියෝග කරන්නට පුලුවන් කාටද? ඉතින් එහෙම නම් මේ කැසිකිලි භාජනයත් කලා කෘතියක් නොවෙන්නේ කොහොමද? මෙන්න මේ කාරණාව නිසා අද වෙනකොට මේ විදියේ කැසිකිළි භාජන සෑහෙන ප්‍රමාණයක් අලුතින් නිෂ්පාදනය කෙරෙනවා. ඒ වැසිකිලිවලට සවි කරන්නට විතරක්ම නෙමෙයි. මුලු ලෝකය පුරාම විසිරිලා පැතිරිලා තියෙන තියෙන කලාගාර, ‍‍කෞතුකාගාර, පෞද්ගලික කලා එකතුන්, සරසවි හා උසස් අධ්‍යාපන ආයතන වලට ප්‍රවාහනය කරන්නටයි. ලස්සන (කලාව) ති‍යෙන්නේ දකින්නා තුළයි (Beauty is in the eye of the beholder) කියන බරපතල කාරණාව නිකම්ම නිකම් කැසිකිලි භාජනයකින් බටහිර ‍ලෝකය තුළ සමාජගත කරන්නට මාර්සල්ට පුලුවන් වුණා.  ‍‍මෙතැනදී බටහිර ‍ලෝකය තුළ කියලා වි‍ශේෂ‍යෙන්ම හැදින්නු‍වේ, ඔය කියන කාරණාව ‍‍පෙරදිග කලා ශිල්පවල ඊටත් කලින් සංවාදයට ලක්‍‍වෙලා තිබුණු හින්දයි. (අනුරාධපුරයේ පධානගර සංකීර්ණවල දකින්නට තියෙන කැසිකිලි ගල් හොදම උදාහරණක් – මේ ගැන මීට කලින් ලිපියකත් කතා කෙරුණා).

‍අදින් අවුරුදු පහ‍ළොවකට විස්සකට විතර කලින් බෙල්ලන්විල විහාර‍යේ බිතු සිතුවම් නැවත ප්‍රතිනිර්මාණය ‍වෙමින් තිබුණු ‍මො‍හොතක ඒ ‍ඓතිහාසික කාර්යයට පණ දුන්නු ‍සෝමබන්දු විද්‍යාපති කියන කලාකරුවාණන් මට හමුවු‍ණේ ‍බෙල්ලන්විල විහාර‍යේ බුදු කුටිය තුළදීමයි.

download

සෝමබන්දු විද්‍යාපති

බිතු සිතුවම් අදිමින් හිටපු පලංචි‍යෙන් බැහැලා ‍තෙලි තුඩ අ‍තේ තියා‍ගෙනම මාත් එක්ක සංවාදයක ‍යෙදුණු එතුමා කිව්ව කාරණාවකුත් ‍මේ ‍මෙ‍හො‍තේ ම‍ගේ මතකයට එනවා. (‍මේ සංවාදය ශාන්ත ‍කේ. ‍හේරත්‍‍ගේ සංස්කරණ‍යෙන් දිවයින පත්ත‍රේ පළවුණු “ලලිත” පිටු‍වේ සටහන් වුණා). “කලාව, කලාව සදහාම ති‍යෙන ‍දෙයක්. පණිවිඩය වැඩි ‍වෙච්ච තරමට කලාව අඩු ‍වෙනවා. කලා‍වේ උසස් තත්ත්වය හීන ‍වෙනවා”.

‍කලාව කලාව සදහාමද? නැතිනම් කලාව බුද්ධිය උ‍දෙසාද කියන කාරණාව අද ඊ‍යේ මතු‍වෙච්ච සංවාදයක් ‍නෙ‍මෙයි. ‍මේ ‍වෙනු‍වෙන් ලියැවුණු, ලියැ‍වෙන ‍පොත්පත්, ලිපි රචනා, සංවාද නිමක් නැහැ. ඇත්තටම කියනවා නම් කිසිදා නිමා ‍නොවන සංවාදයක්. ඒත් ‍සියල්ල අවසාන‍යේ මේ හැම කලාවකම රස විදීම රැදී පවතින්‍‍නේ තමන් තුළමයි කියන කාරණාවට නම් ‍‍බො‍හොම ‍දෙ‍නෙක් විරුද්ධ ‍වෙන එකක් නැහැ. ‍ඒක සිතුවම් වලට විතරක් අදාළ දෙයක් නෙමෙයි, සිනමාව, ගීතය, සාහිත්‍යය… ඔය කියන සෑම සියලු කලා අංගවලටම අදාළයි. මල් පොත් වලට ඇබ්බැහි වුණු කෙනෙකුට පැරණි රුසියානු සාහිත්‍යයෙන් රසයක් ලබන්න අමාරුයි. වේග රිද්මයේ සංගීතයට ලොල් වෙච්ච කෙනෙකුට මෝසාර්ට්ගේ සිම්පනියක සමාධිගත වෙන්න ලෙහෙසි වෙන එකක් නැහැ. ස්පයිඩර් මෑන් පන්නයේ එහෙමත් නැතිනම් හොලිවුඩ් පන්නයේ බොලිවුඩ්සි නමාවට හිත ගිය කෙනෙකුට සම්ප්‍රදායිකව තමන්ට හුරු පුරුදු පන්නයෙන් පිට පැන්න ඉරාන සිනමා පටයක් එක්ක ආත්මීය වෙන්න ලෙහෙසි වෙන්නේ නැහැ. (අද නම් මේක බණ දහම් වලටත් අදාළයි). මාර්සල්ගේ කැසිකිලි භාජනයේ උදාහරණය වැදගත් වෙන්නේ මෙතැනදී තමයි.

ඒ කියන්නේ රස වින්දනය කියන කාරණාවේ දී අපි හැමෝටම තියෙන්නේ අපේම අනන්‍යතාවයක්. ඒ හින්දා බඹරු ඇවිත් සිනමා පටයේ තේමා ගීතයේ එක් පද පේළියක් රස වින්දනය කියන කාරණාවේ දී සමාජයේ අපි හැමෝටම එක විදියටම අදාළයි. – “මා ඔබ නොව – ඔබ මා නොව” (හදුනාගත්තොත් ඔබ මා).

Advertisements