පිපුණු කුසුම පරවූවා

IMG_9765

ඒ සුන්දර උදෑසන මට කිසිදිනක අමතක නොවනු ඇත.

සුවිසල් පැසිෆික් සාගරයේ දිය රැළි මතින් සුදෝ සුදු පෙන කැටි විසුරුවාලමින් ගමනේ යෙදුණු සුවිසල් මගී නෞකාවක පියස්සේ වූ එළිමහන් වේදිකාවක මම ඒ මොහොතේ රැඳී සිටියෙමි.

හිමිදිරි වළාකුළු මතින් හිරු රැස් පෙරී ආවේ සයුරු රළ මත රන්වන් රටා මවමිනි.

වරින් වර රංචු ගැසී පියාඹා යන කුරුල්ලන්ගේ මිහිරි නාදයත්, ගමන ආරම්භ වූ මොහොතේ සිටම එක දිගට හමා ආ සිසිල් සුළං රැල්ලත් මගේ ගත මෙන්ම සිත ද එකසේ ප්‍රබෝධවත් කරමින් තිබුණේය.

මා ගමන් ඇරඹූ වැන්කුවර් නුවර පියස්ස අතරින් හිම කැටිති තැවරුණු කඳු මුදුන්වල දසුන පෙනී නොපෙනී යද්දී මගේ ගමනාන්තය වූ ඒ සුන්දර දූපත ඈතින් මතුව ආවේය.

මගීන් පමණක් නොව ඔවුන්ගේ රථ වාහන ද පටවාගෙන හෝරා දෙකක පමණ කාලයක් පුරා කළ යාත්‍රාවකින් පසු නෞකාව නතර වූයේ මගේ ගමනාන්තය වූ කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ වික්ටෝරියා නම් මනරම් දිවයිනේය.

නගරයේ වීදී පසුකර යමින් සරුවට වැඩුණු තුරුලතා අතරින් වූ නිසංසල මාවත දිගේ රිය පදවාගෙන යද්දී මගේ ගමනට බාධා කළ කළේ වරින් වර පාර පුරා දිව ගිය මුව රංචු පමණි.

ඒ සුන්දර දූපතේ හුදෙකලා ගම් පියෙසක පිහිටි පැරණි පන්නයේ අපූරු නිවහනක කවුළුවක් සමීපයේ වූ අසුනක වාඩි වී යමක් කුරුටු ගාමින් සිටි ඒ මිනිසා අවසානයේ දී මට මුණ ගැසුණේය.

ඔහු මහදුරු සිරි ගුනසිංහයන්ය.

ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ කිසිම අවස්ථාවක රාජකාරී කටයුතුවලදී ස්වාමීන් වහන්සේ කෙනෙකුට හැර වෙනත් කිසිවෙකුට වැද නමස්කාර කිරීමේ පුරුද්දක් නොතිබුණත් මේ මහා ප්‍රාඥයා ඉදිරියේ දී මා ඔහුට වැඳ නමස්කාර කළේ කිසිදු පැකිලීමකින් තොරවය. ඒ මා මේ ගමනට සහභාගි වූයේ ජනමාධ්‍යාවේදී කටයුත්තක් සිත්හි තබාගෙනම පමණක් නොවූ බැවිනි. කැනඩාවට පැමිණි දා සිටි ඔහු මුණ ගැසී දොඩමළු වන්නට බොහෝ කාලයක් පුරා බලාගෙන ද සිටි බැවිනි.

භාෂා ගණනාවක ප්‍රවිණයෙකු මෙන්ම ක්ෂේත්‍ර ගණනාවක මහා දැනුම් සම්භාරයකින් සන්නද්ධව සිටිය ද ඔහු මා සිතුවාටත් වඩා අතිශය සරල හා සුහද මිනිසෙක් වූයේය. ඉතිහාසය, කලාව, සාහිත්‍යය පමණක් නොව භාෂාව සම්බන්ධයෙන් ද එකසේ මහා දැනුම් සම්භාරයකින් පරිපූර්ණ වූ අපේ පරපුරේ අවසාන ජීවමාන පඬිවරයා ඔහු වූයේය.

ලොව කීර්තිමත් සරසවියක් වන කැනඩාවේ වික්ටෝරියා සරසවියේ  මහාචාර්වරයෙකු ලෙසින් වසර හතලිහක කාලයක් පුරා සේවය කළ ඔහු සිය ආදරණීය බිරිඳ ආචාර්ය හේමමාලී ද සමග නිදහස් විශ්‍රාම දිවියක් ගතකරමින් සිටියේ වික්ටෝරියා සරසවියටම යාබදව තිබූ නිවෙසකය. මා ඔහු හමුවූ මුල්ම දිනයේ එතුමන්ගේ නිවසට යාබද නිවසේ ගෙහිමියා මියගොස් තිබුණි. ගෙහිමියාගේ දරුවන් අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරන්නට ගෙට ගොඩ වූයේ ද අප දොඩමළු වෙමින් සිටි හෝරා කිහිපය අතරේදීය. එම හදිසි සාකච්ඡාව නිමවීමෙන් පසු හුනස්නෙන් නැගී සිටි ඔහු කිසියම් වූ කල්පනාවක නිරත වෙමින් කවුළුවට පිටතින් පෙනෙන එම නිවස දෙස බොහෝ වේලාවක් බලාගෙන සිටි ආකාරය මට තවමත් මතකය. ඒ දසුන බලාගෙන සිටි මට මෙවන් වූ පඬිවරයෙකු සත් සමුදුරින් ඈතින් පිහිටි මෙවන් වූ දූපතක තනිවී සිටිය යුතු ද යන්න සිතට නැගුණේ නිරායාසයෙන්මය. ඒ මොහොතේ මා සිත තුළ මතු වූ ඒ සිතිවිල්ල වචනයට පෙරළා ඔහුගෙන් අසා සිටිය නොහැකි තරමටම ඒ සිතිවිල්ල බලවත් වූයේය.

සැප පහසුකම් අතින් ඉහළම රටක මං ඉන්න බව ඇත්ත. ඒත් ඒක භෞතිකයි. මා තුළ තිබෙන පුරුද්ද නිසා මට ඒක ඒ තරම් වැදගත් නැහැ. ඒ නිසා මානසිකමය වශයෙන් මට ඒ තරම් තෘප්තියක් නැහැ. සිංහලෙන් ලියන්න , කියන්න, සිංහල පොත පත කියවන්න තවමත් මං පුරුදු වෙලා ඉන්නේ ඒ තෘප්තිමත් බව ලබා ගන්නයි. ඒ වගේම අවුරුද්දකට සැරයක් ලංකාවට ගිහින් පැරණි මිතුරන් හමුවෙන්නේත් ඒ හැගීමෙන්ම තමයි. ඒ අතීත සබදකම් හරහා ජීවිතය අලුත් වෙනවා.

ඔහු මහා ඇදුරෙකු වූයේ සිංහල හෝ සංස්කෘතික හෝ වෙනත් භාෂාවන් ගණනාවකට පමණක් නොවේ. ඉතිහාසය, සාහිත්‍යය, චිත්‍ර කලාව පමණක් නොව සිනමාව පවා ඔහු අතින් පෝෂණය වූයේය. මතුපිටින් අතගාමින් තිබූ සාහිත්‍යය ඔහු සිය මස් ලේ නැති ඇට තුළින් යථාර්ථවාදී තලයකට ගෙන ආවේය. ඔහු විසින් නිර්මාණය කළ එකම සිනමාපටය වූ සත් සමුදුර රාජ්‍ය සම්මානයෙන් පමණක් නොව ප්‍රේක්ෂක විචාරයකයන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වූයේය.  සිංහල භාෂාවේ න-ණ ල-ළ ‍භේදය ඉවත් විය යුතුය යන්න දැඩි සේ විශ්වාස කළ ඔහු වියපත් වූ පසු පවා භාෂාව සම්බන්ධයෙන් තිබුණේ හණ මිටි අදහස් නොව තාරුණ්‍යයෙන් සපිරි අදහස් සමුදායකි.

මුල් කාලයේ පත්තරයක් අරගෙන බලන්න. ඒ පත්තර භාෂාව අද පත්තරවල නැහැ. ඒ කියන්නේ භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒත් මිනිස්සු පිළිගන්නේ නැහැ භාෂාව වෙනස් වෙනවා කියලා. භාෂාවේ ස්වභාවය තමයි වෙනස් වීම කියන්නේ. ගොනා තන කයි කියලා කිවුවම ගොනා කන්නේ මොනවද කියලා ඕනම කෙනෙකුට තේරෙනවා.  උදාහරණයක් විදියට දැන් අපි කියනවා එයා ඇමතිතුමා වෙනුවෙන් කඩේ යනවා කියලා. ඔය කඩේ යනවා කියන එක භාෂාවේ වෙනස්වීමක් නේ. ඒක හරිම ප්‍රාණවත් රූපකයක්. ඒ ප්‍රාණවත් රූපකය ඇති වෙන්නේ නැහැ භාෂාවේ නිදහස නැති කළා නම්. භාෂාව වෙනස් වෙලා තියෙනවා , භාෂාව වෙනස් වෙමින් තියෙනවා , භාෂාව වෙනස් විය යුතුය කියන එක පිළිගන්න බැරි එක තමයි මෙතැන තියෙන මූලිකම දේ. ඔහු කීවේ බොහෝ සේ උදාහරණ දක්වමිනි.

මහාචාර්ය ගුනසිංහයන් සංස්කෘත කාව්‍යය කොයි තරම් රසවත්ව විග්‍රහ කරලා අපිට උගැන්නුවාද කියනවා නම් සාහිත්‍ය රසාස්වාදය ගැන ඉගෙන ගන්න අපට ආසාවක් ඇතිවුණේ ඔහු නිසයි මහදුරු සුචරිත ගම්ලත් වරෙක කී බව මට මතකය.

මහාචාර්ය පරණවිතානයන් මෙන්ම සීගිරියට සහ සීගිරි කවියට පෙම් බැඳි ඔහු සීගිරිය සම්බන්ධයෙන් මෑතකදී ද උසස් මට්ටමේ පොතක් ඉංග්‍රීසි බසින් ලියා පළ කළේය. තමන් ප්‍රවීණතාවක් දැක්වූ සෑම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම මහත් වූ ඥාන සම්භාරයකට උරුමකම් කී ඔහු ඉතා විශ්වාසයෙන්  යුක්තව ශක්තිමත් මතවාදයන් ගෙන හැර පාන්නට කිසිවිටෙක පසුබට වූයේ නැත. ඔහු විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද ලිපියක් සිංහලට පෙරළීමේ වාසනාව වරෙක මට හිමි වූ අතර එම ලිපිය මගින් පොළොන්නරුවේ පිහිටි පරාක්‍රමබාහු ප්‍රතිමාව නමින් ප්‍රචලිත පිළිමය අගස්ති සෘෂිවරයාගේ බවට වූ ප්‍රබල මතයක් ඔහු ගෙන හැර පා තිබුණේ ප්‍රාමාණික සාක්ෂි සාධක රැසක් මතුකරමිනි.

විචාර කලාවේ මෙන්ම යථාර්ථවාදී නිසදැස් කලාවේ පුරෝගාමියෙකු වූව ද ඔහු නූතන ලාංකීය කලාවේ සහ විචාර සම්ප්‍රදාය ගැන සිටියේ පැහැදීමකින් නොවේ.

විචාරය කියන එක ඕනෑම කෙනෙකුට කරන්න පුලුවන් කියලා හිතන එක තමයි ලොකුම වැරැද්ද වුණේ. මොකද ඹ්න කෙනෙකුට සිනමාපටයක් , සිංදුවක් හෝ පොතක් ගැන මොනව හරි ලියන්න පුලුවන්නේ. ඒත් විචාරය කියන එක වෙනමම ඉගෙන ගන්න ඕන විෂයක්. විචාරය කියන්නේ මොකක්ද යමක් විචාරය කළ යුත්තේ කොහොමද කියන එක ගැන ලංකාවේ සරසවිවලවත් උගන්වන්නේ නැහැ. එහෙම විෂයක් අපේ සරසවිවල නැහැ. ඒ කාලයේ තිබුණෙත් නැහැ. සාහිත්‍යය උගන්වනවා කියලා ඇත්ත වශයෙන්ම කළේ පොතේ ව්‍යාකරණය උගන්වන එකයි. කවි සිළුමිණ ගත්තොත් ඒක සරල බසින් කියලා දීලා ව්‍යාකරණ කරුණු සාකච්ඡා කිරීම තමයි සරසවිවල සිංහල සාහිත්‍යය උගන්වනවා කියලා එදත් කළේ. මම උනත් සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තේ ඔය විදියට තමයි. ඒත් එයින් පිට පැනලා සාහිත්‍ය කෘතියක කතාව නෙමෙයි සැබෑ සාරය සොයන්න අපට හැකියාව ලැබු‍ණේ විචාරය කියන විෂය ඉංගිරිසි භාෂාවෙන් හැදෑරුවට පස්සේ තමයි. ඒ වගේම මම හිතන්නේ 19 වැනි ශත වර්ෂයේ නෙමෙයි ඊටත් ඈත යුගයේ තිබුණු වාරණයක් තමයි අද ලංකාවේ තියෙන්නේ. කලා කෘතියකට අවම මට්ටමේවත් නිදහසක් අවශ්‍යයි. සිනමා පටයක සිගරැට්ටුවක් බිවුවා කියලා මිනිස්සු සිගරැට් බොන්න පුරුදු වෙනවද ?නොබොන මිනිහා කොහොමත් බොන්නේ නැහැ. මේ වාරණය කලාවේ දියුණුවට විශාල බාධාවක්.

සෑම විෂයක් කෙරෙහිම ඔහුගේ දැක්ම බොහෝ සේ තීව්‍ර වූයේය. රජෙකු එතැයි අප කොපමණ පැතුවත් එන්නේ හිඟන්නෝමැයි යනුවෙන් ඔහු ලීවේ සිය අබිනික්මන කාව්‍ය සංග්‍රය පළවූ 1958 තරම් ඈතකදීය. එය අදට පමණක් නොව ලංකාවේ අපට හෙට දවසේ ද තමත් යථාර්ථයක් වන්නේය. මේ කවි දෙපද මා ඔහුට සිහි කරද්දී ඔහු අද දවසේ අපේ රට ගැන පළ කළේ මෙවන් අදහසකි.

අද තියෙන ගැටළුව නම් වෙනස්කමක් කරන්න පටන් ගන්නේ කොතැනින්ද කියන එක නෙමෙයි වෙනස්කමක් පටන් ගන්න පුලුවන්ද කියන එකයි. පහුගිය අවුරුදු විස්සක කාලය ගත්තම මැතිවරණයෙන් මැතිවරණයට සමාජය පහතට ඇද වැටීම මිසක් ඉහළට යාමක් නම් සිදු වුණේ නැහැ. අඩුම තරමින් රටේ ආර්ථිකම දියුණුවක් හෝ තියෙනවා නම් අනිවාර්යයෙන්ම අනිත් අංශවලත් දියුණුවක් තියෙන්න ඕනේ. ලෝකයේ අනෙක් රටවල් ගත්තත් ආර්ථිකමය පදනමේ දියුණුවක් ඇතිවෙනවා නම් සමාජීය දියුණුවකුත් ඒ එක්කම ඇති වෙන්න ඕනේ. ලංකාවේ දේශපාලකයන් කියනවා නම් ආර්ථිකමය දියුණුවක් තියෙනවා කියලා ඒ අය රට දියුණු කරන විදියේ අඩුපාඩුවක් තියෙන්න ඕන. ඒකට හේතුව සමාජීය වශයෙන් එහෙම දියුණුවක් දකින්න නැති නිසා. අනිත් අතට එහෙම දියුණුවීමක් ඇති කරන්න සුදුසුකම් තියෙන මිනිස්සුත් ඉන්න ඕන නේ…!  මේ කඩා වැටීම පහුගිය අවුරුදු පනහ තිස්සේම හෙමිහිට සිද්ධ වුණා. අපේ රට තියෙන්නේ දේශපාලනමය වශයෙන් ඇද වැටුණු තැනක. දේශපාලනමය සහ ආර්ථිකමය වශයෙන් ඇද වැටුණු රටක අනිවාර්යයෙන්ම සිදුවන දේවල් තමයි අපේ රටේ සිද්ධ වෙන්නේ

ඔහු කෙතරම්ම උතුම් මිනිසෙකුද වූයේ ද යත් මා වැනි දුහුනෙකු විසින් ලියන ලද කෘතියක අත්පිටපතේ සෝදුපත් බලන්නට පමණක් නොව ඊට පෙරවදනක් ලියාදෙන්නට තරම් අතිශය නිහතමානී මිනිසෙකු වූයේය. එය සිදුවූයේ ඔහු තදින් අසනීපව සිටි මෙයින් මාස කිහිපයකට පෙරදී බැවින් ඔහු විසින් කියවන ලද අවසාන සිංහල අත් පිටපත එය වූවාට සැකයක් නැත.

සිය අවාසන කාලයේ දී ඔහුගේ දරු දැරියන්ට අමතරව ඔහුගේ සෙවණැල්ල මෙන් ළගින්ම සිටියේ ඔහුගේ ආදරණීය බිරිඳ ආචාර්ය හේමමාලිය. ජීවිතයේ අවසාන භාගයේ දී මහාචාර්යතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වරින් වර අයහපත් වෙමින් තිබූ පසුබිමක් යටතේ ඒ සියලු කටයුතුවල වගකීම භාරගෙන කටයුතු කළේ ඇයයි. තමන් සිංහල නවකතාවක් ලියමින් සිටින නමුත් එය ලියැවෙන්නේ ඉතා සෙමන් බව ඔහු මීට වසර කිහිපයකට පෙර මට කීවත් එම කෘතිය සැබවින්ම නිමා වූයේ ද යන්න මම නොදනිමි. 

ඔහුගේ අවසන් ඉල්ලීම මත අවසන් කටයුතු කෙරෙන්නේ ඉතා චාම්ව පවුලේ සමීපතමයන්ගේ සහභාගිත්වය මතය.

ඔහු අවසන් වරට හමුවූ අවස්ථාවේ දී නිවසින් පිටතට විත් මා රිය පණ ගන්වාගෙන ඔහුගේ ගෙමිදුලින් නික්ම යනතෙක්ම ඔහු බලා සිටි ආකාරය මට මේ මොහොතේත් මැවී පෙනෙන්නේය.

එතුමන් පිළිබද වූ ඒ සජීවී මතකය එලෙසින්ම මා සිත තුළ ඉතිරි කරගනිමින්, ඔහුගේ මේ නික්ම යාම දන්වාලමින් ආචාර්ය හේමමාලී විසින් මා වෙත එවනු ලැබ තිබූ ඊ මේල් ලිපියේ මාතෘකාවෙන්ම මෙම ලිපිය අවසන් කරන්නට මට අවසර; …. පිපුණු කුසුම පරවූවා.

 මහඇදුරුතුමනි ඔබට නිවන් සුව!

Advertisements

මැතිවරණයෙන් මැතිවරණයට සිද්ධ වෙන්නේ අපේ සමාජය කඩා වැටීමයි …!

(මහාචාර්ය සිරි ගුනසිංහ සමග කල සංවාදයේ අවසන් කොටස…)

  • වසර 40 කට පෙර ලංකාවේ ඔබ ඉගැන්වූ සරසවි සිසු පරපුරත් ,  මෑතදී ගෙවී ගිය වසර 40 ක කාලයක තුළ කැනඩාවේ ඔබ ඉගැන්වූ සිසු පරපුරත් අතර වෙනසක් ඔබ දකිනවාද …?

ඔව් විශාල වෙනසක්දකිනවා. මෙහේ සිසුන් ඉගැනීම ලබන්නේ හරිම උනන්දුවකින්. අපේ සිසුන්ගේ ඒ ආකාරයේ උනන්දුවක් තිබෙන බවක් මට පේන්නේ නැහැ. උනන්දුවක් දක්වනවා ඉංගිරිසි ඉගෙන ගන්න නම්.ඒ වුණාට අධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබන්න ඕන දේවල් සම්බන්ධයෙන් නම් උනන්දුවක් දක්වන බවක් පේන්නේ නැහැ. ඒකට වරදක් කියන්නත් බැහැ. මොකද ආර්ථිකමය දියුණුවක් ලබන්න නම් ඒ අංශය ගැනයි හිතන්න වෙන්නේ. එහෙත් මෙහේ සිසුන් තුළ තිබෙන උනන්දුව බොහොම දැඩියි.  එකක් තමයි නොදන්නා දෙයක් ඉගෙන ගැනීමට තියෙන ආසාව. එහෙම වෙලා තියෙන්නේ මෙහේ සිසුන්ට විශාල නිදහසක් තිබීම නිසයි. උදාහරණයක් විදියට කියනවා නම් ලංකාවේ බී. ඒ. උපාධියට ඉගෙන ගන්න ළමයා සිංහල තමන්ගේ විෂය විදියට තීරණය කරනවා නම් එයාට මූලික වශයෙන් ඉගෙන ගන්න පුඑවන් සිංහල විතරමයි. ඒත් මේ රටවල එහෙම නෙමෙයි තමන්ට අවශ්‍ය ඕනෑම විෂය කොටසක් තෝර ගෙන අවශ්‍ය ලකුණු ගණන සම්පූර්ණ කළාම තමන්ගේ උපාධිය නිම කරගන්න පුලුවන්. මේ නිසා මෙහේ සිසුන් පුදුමාකාර විදියට  විවිධ වූ විෂයන් ඉගෙන ගන්නවා. අපේලංකාවේ සිසුන්ට ඒ නිදහස නැහැ.

  •  ඔබ සරසවි සිසුවෙක් ලෙසසිටිය කාලයේවත් ඒ නිදහස තිබුණේ නැද්ද…?

නැහැ…මම උපාධියට ඉගෙන ගන්න කාලයේ පාලි සංස්කෘත එක්ක ලතින් සහ ග්රීක භාෂාවන් ඉගෙන ගන්නත් මට අවශ්‍ය වුණා. ඒත් ලංකාවේ සරසවිවල විෂය වෙන් කිරීම් කරලා තිබුණේ එහෙම ඉගෙන ගන්න බැරි විදියටයි. කලාතුරකින් කෙනෙක් සිංහල එක්ක ඉංගිරිසි ඉගෙන ගත්තා. ඒ අය ඒක කළේ රහසින්. ඒ කියන්නේ ඒක කරන්න
සරසවිවලින් අවසරයක් ලැබුණේ නැහැ. එහෙත් මෙහේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. තාරකා ශාස්තය ඉගෙන ගන්න ළමයා මගෙන් ඇවිත් බෞද්ධ සාහිත්‍යය ඉගෙන ගන්නවා.  රසායන විද්‍යාව කරන ළමයා මගෙන් ඇවිත් ඉන්දියානු කලා ඉතිහාසය ඉගෙන ගන්නවා. ඒත් මේ විෂයන් අතර කිසිම සම්බන්ධයක් නැහැ නේද කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒ සම්බන්ධය ඇත්තටම මතුපිටින් කෙනෙකුට පේන්නේ නැහැ. ඒත් එතැන සම්බන්ධයක් තියෙනවා මානසික වශයෙන්. ඉගෙන ගන්නේ මොනවද කියන එක නෙමෙයි වැදගත්. ඉගෙන ගැනීමයි වැදගත්. මොන දේ ඉගෙන ගත්තත් තමන්ගේ මනස දියුණු කර ගැනීමයි සිදු විය යුත්තේ. ඒත් ඒ නිදහස ලංකාවේ නැහැ.

  • නැවතත් සාහිත්‍යය කියන අංශයට යොමු වුණොත් බොහෝ බටහිර රටවල පොත් සාප්පුවකට ගොඩ වැදුනාම පෙනී යන දෙයක් තමයි ආසියාවේ අපි සැලකිල්ලට නොගන්නා ඉතා සරල සහ සියුම් කරුණක් පවා මූලික කරගෙන බරපතල පොත පත දකින්නට ලැබීම. ඒ වගේම තමයි ඉතාම බරපතල සිනමා නිර්මාණ මේ රටවල බිහිවෙනවා අතිශය සරල මානසික ගැටුමක් පවා මුල්කරගෙන. මේ රටවල නිර්මාණකරුවන් ඒ තරම් සියුම් සබදතා තම නිර්මාණවලට දායක කරගන්න තරම් පුහුණුවක් ලබන්නට බලපාන්නට ඇත්තේ කුමක කරුණු කාරණාද …?

ඒකට හොදම උදාරණය තමයි ඉරාන සිනමාව. ඉරාන සිනමා නිර්මාණ දිහා බැලුවාම කතාවකුත් නැහැ. ඒත් ගැඹුරු දෙයක් සිද්ධි දාමයකින් අපිට පෙන්නුම් කරනවා. ඒත් අපේ අය බලන්නේ හැම දෙයක්ම බොහොම බරපතල දෙයක් හැටියට පෙන්වන්න. නවකතාවක් ලිවුවත් , කවියක් ලිවුවත් ඒක බරපතල කරලා ගන්නේ කොහොමද කියන එක ගැන තමයි හිතන්නේ. ඒ පුරුද්ද කොහෙන් ආවද කියලා මම දන්නේ නැහැ. සුලු දෙයක් ගැන කවියක් , සුලු දෙයක් ගැන නවකතාවක් ලියන්න අපි පුරුදු වෙලා නැහැ. අනිත් එක අපි නවකතාවක් ලිවුවත් ලියන්නේ මානසික කරුණු මුල්කරගෙන නෙමෙයි. මතුපිට ජීවිතයේ වෙනස්වීම්, ගමේ වෙනස්වීම් ඔය වගේ දේවල් තමයි අපි විෂය කරගන්න හදන්නේ. අපේ නවකතා ඉතිහාසය ගත්තම බොහොම වෙලාවට තියෙන්නේ ඔය වගේ දර්ශනයක්. අපේ උසස්ම නවකතාව විදියට සලකන ගම් පෙරළිය ගත්තත් එතැනදී මිනිසුන්ගේ මානසික ගැටුම් ගැන කතා කරන්නේ නැහැ. අපේ පුරුද්ද තියෙන්නේ කතන්දර ලියන්න. මේවා ගැන කවුරුත් විශ්ලේෂණයක යෙදිලා නැහැ. ඉතිහාසය කියන්නේ විචාරයක්නේ. ඉතිහාසය හරියට ලියනවා නම් ඒක ඇත්තටම විචාරයක්.

  •  අපේ සාහිත්‍ය කලා ඉතිහාසය ගත්තම විවිධත්වයක් දකින්නට තියෙනවා. උදාරණයක් විදියට සද්ධර්ම රතනාවලිය වගේ පැරණි සාහිත්‍ය පොත පත ගත්තම ඉතාම සරල බස් වහරක් යොදා ගෙන තියෙනවා. ඒත් ඒ යුගයේ දීම මහා සම්පදායකුත් අපිට තිබුණා. අපි මේ කතා කරන සරල බව අපෙන් ගිලිහිලා තියෙන්නේ අතීතයේ ඉදන්ම ද නැතිනම් වර්තමානයේ ගැට ගැහුණු දේශපාලන කරුණු කාරණාත් එක්ක ද …?

මම හිතන්නේ මෑත කාලයේ දී කියලයි. මේ වෙනස්වීම බෞද්ධ සංස්කෘතියෙන් ආව දෙයක් වෙන්නත් බැහැ. මොකද මුල් තිපිටක පොත් පත් කියවන කොට පේනවා ඉතාම ගැඹුරු ධර්මයක් වුණත් බුදු හාමුදුරුවෝ කොයි තරම් සරල විදියට ද කරුණු කාරණා පැහැදිලි කරලා දීලා තියෙන්නේ කියලා. ඒත් මෑත කාලීනව ඇතිවුණු ආර්ථිකම දේශපාලනමය කරුණුත් එක්ක ඒ වෙනස් වීම සිදුවුණා කියලා හිතන්න පුලුවන්.

  •  අපේ රටේ කලාව සාහිත්‍යයේ පිරිහීමක් තිබෙන බවට මෑත කාලයේ දැඩි චෝදනාවක් එල්ල වෙනවා ..?

කලාව , සාහිත්යය වගේ විෂයන් ගත්තත් අපේ රටේ කලාව සාහිත්‍යය හැමදාමත් දියුණු කළේ හාමුදුරුවරුන් සහ පිරිවෙන්වල උගත් උගතුන්. දැන් ඒ පරපුර ලංකාවේ නැහැ. මේ නිසා රට ආර්ථිකමය වශයෙන් දියුණු කරන්න උත්සාහ ගත්තත් කලාව සාහිත්යයේ ඒ ආකාරයේ දියුණුවක් දකින්න බැහැ. සැබෑ කලාකරුවන් බිහිවෙන්න නම් පුම්බපු කලාකරුවන් බිහි නොකරන්න ඕනේ. කලාකරුවන් කියලා අද ඉන්න බොහොමයක් බොරු කාරයන් හොරුන් අයින් කළොත් තමයි සැබෑ වශයෙන්ම කලාව අධ්‍යයනය කරන , කලාව පුහුණු කරන  , කලාවට ආදරය කරන පිරිස බිහිවෙන්නේ. කලාව කියන එක උපතින් ලැබෙන දෙයක් නෙමෙයි. ඒක උත්සාහයෙන් දියුණු කරගත යුතු දෙයක්. සරස්වතී වරම අතින් අරගෙන බිහිවෙනවා කියන කතාව බොරුවක්. උප්පත්තියෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ජනකවිය කියලා දෙයක් තිබුණත් හොද කවියක් ලියන්න හැම කෙනෙක්ටම බැහැනේ. ඒකට හේතුව උප්පත්තියෙන් ගේන බැරි කමක් නෙමෙයි. කවි ලියලා පුරුද්දක් නැති කම. හොද කවියෙක් වෙන්න නම් අනෙක් අයගේ කවිත් කියවන්න ඕන. හොද නවකතාකාරයෙක් වෙන්න නම් ලෝකයේ විශිෂ්ට නවකතා කියවලා තියෙන්න ඕනේ. ඒවා කියවලා තමන් මානසික වශයෙන් දියුණුවක් ලබන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ ඒකයි. තමන්ගේ ඇග ඇතුලේ තියෙන දෙයක් දියුණු කරලා ප්රයෝජනයක් ගැනීමයි. ඒක කරන්න බැහැ උනන්දුවක් හෝ පුහුණුවක් නැතිනම්.

  •  ඔබ මේ දිනවල කිසියම් ශාස්තීය කටයුත්තක යෙදෙනවාද …?

ඔව්… සිංහලෙන් නවකතාවක් ලියාගෙන යනවා. ඒත් ඒක සිද්ද වෙන්නේ බොහොම හෙමින්.

  •  ලාංකීය සමාජය තුළ සිදුවෙමින් පවතින බොහෝ දුර්වලතාවන් පිළිබදව අප කතා බහ කළා. මේ තත්ත්වය සාධනීය මට්ටමකින් වෙනස් කරන්න මොන වගේ දේවල් ද කරන්න පුලුවන්…?

අද තියෙන තත්ත්වය අනුව නම් වෙනස්කමක් කරන්න පටන් ගන්නේ කොතැනින්ද කියන එක නෙමෙයි ගැටලුව… පටන් ගන්න පුලුවන්ද කියන එකයි. මෑත අවුරුදු විස්සක කාලය ගත්තම මැතිවරණයෙන් මැතිවරණයට සමාජය පහතට ඇද වැටීම මිසක් ඉහළට යාමක් නම් සිදු වුණේ නැහැ. අඩුම තරමින් රටේ ආර්ථිකම දියුණුවක් හෝ තියෙනවා නම් අනිවාර්යයෙන්ම අනිත් අංශවලත් දියුණුවක් තියෙන්න ඕනේ. ලෝකයේ අනෙක් රටවල් ගත්තත් ආර්ථිකමය පදනමේ දියුණුවක් ඇතිවෙනවා නම් සමාජීය දියුණුවකුත් ඒ එක්කම ඇති වෙන්න ඕනේ. ලංකාවේ දේශපාලකයන් කියනවා නම් ආර්ථිකමය දියුණුවක් තියෙනවා කියලා ඒ අය රට දියුණු කරන විදියේ අඩුපාඩුවක් තියෙන්න ඕන. ඒකට හේතුව සමාජීය වශයෙන් එහෙම දියුණුවක් දකින්න නැති නිසා. අනිත් අතට එහෙම දියුණුවීමක් ඇති කරන්න සුදුසුකම් තියෙන මිනිස්සුත් ඉන්න ඕන නේ…!  මේ කඩා වැටීම පහුගිය අවුරුදු පනහ තිස්සේම හෙමිහිට සිද්ධ වුණා. අපේ රට තියෙන්නේ දේශපාලනමය වශයෙන් ඇද වැටුණු තැනක. දේශපාලනමය සහ ආර්ථිකමය වශයෙන් ඇද වැටුණු රටක අනිවාර්යයෙන්ම සිදුවන දේවල් තමයි අපේ රටේ සිද්ධ වෙන්නේ.

(මහාචාර්ය සිරි ගුනසිංහ සමග කල සංවාදයේ අවසන්කොටසයි )

විචාර කලාවක් අද ලංකාවේ නැහැ …! – මහාචාර්ය සිරි ගුනසිංහ (දෙවන කොටස)

(පළමු කොටස මෙතැනින් යන්න )

  • ඔබ සංස්කෘතික භාෂාව පිළිබදවත් වියතෙක්. සංස්කෘතික භාෂාවේ වර්තමානය සහ අනාගතය අද පවතින්නේ කවර පසුබිමක ද ?

ඇත්තටම කියනවා නම් සංස්කෘතික භාෂාව අද මළ භාෂාවක් බවට පත්වෙලා තියෙනවා. ඉන්දියාවේ එක්තරා කාලයක් පුවත් විකාශය සංස්කෘතික භාෂාවෙන් කළා. ඉන්දියාවේ සමහර සරසවිවල තවමත් සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය උගන්වනවා. සංස්කෘත භාෂාව පැතිරවීමේ අරමුණින්ම ඉන්දියාවේ සංගමයක් පවා පිහිටුවා ගත්තා. දිනපතා ප්රවෘත්ති සංස්කෘත භාෂාවෙන් කරන්න පුලුවන් තරමට ම ඒ සංස්කෘත භාෂාව දියුණු කරලයි තියෙන්නේ. මට මතකයි එක සැරයක් මම ඉන්දියාවට ගිය වෙලාවක සංස්කෘතික මහාචාර්යවරයකුට මාව හදුන්වලා දුන්නා. මමත් සංස්කෘත උගන්වනවා කියලා දැනගත්ත නිසා ඒ මහාචාර්යවරයා මාත් එක්ක සංස්කෘතයෙන් කතා කරන්න පටන් ගත්තා. ඒත් ඒක මට ඒ තරම් පහසු වුණේ නැහැ. ඒකට හේතුව අපට ඒ පුරුද්ද නැති නිසයි. එක සැරයක් මට තායිලන්තයේදීත් ඔය විදියේ සිද්ධියකට මුහුණ දෙන්න වුණා. ඒකියන්නේ පාලි භාෂාවෙන් සංවාදයක යෙදෙන්නට සිද්ධ වුණා. සංස්කෘතයට වඩා පාලි භාෂාව හසුරුවන්න ලේසියි. කොහොම වුණත් මේ භාෂාවන් අද මළ භාෂාවන් බවට පත්වෙලා කිවුවොත් නිවැරදියි.

  •  ලංකාවේ සෑම සාහිත්‍ය සම්මාන උළෙලකින් පසුවම ඒ සම්මානයන් පිළිබදව බරපතල චෝදනාවන් එල්ල වෙනවා. ඒ වගේම ලංකාවේ විචාර කලාවක් හෝ විචාරකයන් හෝ යනුවෙන් පිරිසක් නැති බවට එක්තරා උගත් මහාචාර්යවරයෙක් සති අන්ත පුවත්පතකට සදහන් කර තිබුණා. ඔබ හිතන ආකාරයට ලංකාවේ සැබෑ විචාර කලාවක් හෝ විචාරකයන් කියා පිරිසක් හෝ සිටිනවාද ?

ඇත්ත වශයෙන්ම නැහැ. විචාරය කියලා අද කෙරෙන්නේ පොතක් පළ වුණාම කවුරු හරි කෙනෙක් ඒක ගැන විස්තරයක් කරන එක විතරයි. අලුත් නවකතාවක් ලියවුණත් පොතේ කතාව විස්තර කරලා පිටකවරය ගැනත් ටිකක් කියලා අන්තිමට විචාරය කියලා පලවෙන්නේ බොහොම සුලු දෙයක්. බොහොම වෙලාවට හොද පොතක් ගැන දෙයක් ලියැවෙන්නේ සිංහල භාෂාවටත් වඩා ඉංගිරිසියෙන් තමයි.

  • ලංකාවේ සැබෑ විචාර කලාවක් හෝ විචාරකයන් පිරිසක් බිහි නොවන්නට හේතුව කුමක් ද ?

ඒකට මූලිකම හේතුව තමයි විචාරය කියන එක ඕනෑම කෙනෙකුට කරන්න පුලුවන් කියලා හිතන එක. මොකද ඹ්න කෙනෙකුට සිනමාපටයක් , සිංදුවක් හෝ පොතක් ගැන මොනව හරි ලියන්න පුලුවන්නේ. ඒත් විචාරය කියන එක වෙනමම ඉගෙන ගන්න ඕන විෂයක්. විචාරය කියන්නේ මොකක්ද … යමක් විචාරය කළ යුත්තේ කොහොමද කියන එක ගැන ලංකාවේ සරසවිවලවත් උගන්වන්නේ නැහැ. එහෙම විෂයක් අපේ සරසවිවල නැහැ. ඒ කාලයේ තිබුණෙත් නැහැ. සාහිත්‍යය උගන්වනවා කියලා ඇත්ත වශයෙන්ම කළේ පොතේ ව්‍යාකරණය උගන්වන එකයි. කවි සිළුමිණ ගත්තොත් ඒක සරල බසින් කියලා දීලා ව්‍යාකරණ කරුණු සාකච්ඡා කිරීම තමයි සරසවිවල සිංහල සාහිත්‍යය උගන්වනවා කියලා එදත් කළේ. මම උනත් සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තේ ඔය විදියට තමයි. ඒත් එයින් පිට පැනලා සාහිත්‍ය කෘතියක කතාව නෙමෙයි සැබෑ සාරය සොයන්න අපට හැකියාව ලැබු‍ණේ විචාරය කියන විෂය ඉංගිරිසි භාෂාවෙන් හැදෑරුවට පස්සේ තමයි. අපේ පුවත්පත්වල ඉංගිරිසියෙන් ගුණාත්මක විචාර ලිපි පළ වුණත් ඒවා කියවන පිරිස බොහොම සීමිතයි. අනෙක් අතට ඒ ලිපි ලියන පිරිස සිංහල පොත පත කියවන්නේත් නැහැ. ඒක කනගාටුවට කරුණක්. ඉන්දියාවේ ඉංගිරිසි උගතුන් හින්දි භාෂාවෙන් පළවෙන පොත පත කියවනවා. ඒත් අපේ රටේ සිංහල පොත පත කියවන ඉංගිරිසි උගතුන් පහුගිය කාලය පුරාවටම බිහිවුණේ දෙතුන් දෙනයි.

  • ඒකියන්නේ විචාරය සිදු කෙරෙන ආකාරය දිහා බලද්දී භාෂාව අනුව එහි බෙදීමක් තිබෙන බවක් ද ?

ඔව්… ලොකු බෙදීමක් තිබෙනවා. දැන් ඒ බෙදීම වැඩිවෙලා. මොකද ඉස්සර සිංහල ඉගෙන ගන්න උත්සාහ කළ අය පවා දැන් බලන්නේ ඉංගිරිසි ඉගෙන ගන්නයි. ඒකට ඒ අයට දොස් කියන්න බැහැ. මොකද රැකියාවක් කරන්නත් අද ඉංගිරිසි ඕනේ. සිංහල සාහිත්‍යය උගන්වනවා කියලා අද සිද්ධ වෙන්නේත් සිංහල පොතකින් ගත්ත කොටසක් උගන්වන එකයි. ඒත් ඉස්සර ඒ විදියට කෑලි කෑලි ඉගැන්නුවේ නැහැ. සම්පූර්ණ පොතම තමයි නිර්දේශ කළේ. මේ නිසා අද ළමයින්ට සිංහල සාහිත්‍යය ගැන ආසාවක් ඇති වෙන්නේත් නැහැ. පාසල් යන වයසේ දී සාහිත්‍යය ගැන ආසාවක් ඇති වෙන්නේ නැත්නම් ඒ අය වැඩිහිටියන් බවට පත්වුණාම අමුතුවෙන් ආයෙත් ආසාවක් ඇති වෙන්නේ නැහැනේ. මේ නිසා ඉංගිරිසි භාෂාව පිළිබදව දැනුම ලබන ඉංගිරිසි උගතුන් ඒ ඔස්සේ ලැබෙන සාහිත්‍ය රසාස්වාදනය හමුවේ තව තවත් පුලුල් දැනුම සොයා ගෙන යනවා මිසක් නැවත සිංහලයට යොමු වෙන්නේ නැහැ.

  • අද දවසේ තාක්ෂණය අතින් හිනිපෙත්තේම සිටින රටවල පවා බොහෝ ගුණාත්මක පොත පත බිහිවෙනවා. පුවත්පත්වල විචාර ලිපි පළවෙනවා. මෙවැනි දියුණු රටවල් පවා සාහිත්‍යමය කරුණු සම්බන්ධයෙන් මේ තරම් සංවේදී වෙද්දී අපේ රට ඊට වෙනස් මගක ගමන් කරන්නේ ඇයි ?

ඒකට මම දකින හේතුවක් තමයි මේ රටවල තාක්ෂණය මේ තරම් දියුණු වුණ නිසාම ඒ අයට හැගීමෙන්ම දැනෙනවා තාක්ෂණය පමණක් ජීවිතයට ප්රමාණවත් නැහැ කියලා. මේ දියුණුව මේ තරම්ම ඇති වුණේ මෑතකදී. 1970 ගණන්වල මම කැනඩාවට එන කාලේවත් සාහිත්‍යමය කරුණු ගැන මේ තරම්ම හැගීමක් තිබුණාය කියලා කියන්න බැහැ. ඒත් පහුගිය අවුරුදු පනහක කාලය තුළ දී මේ රටවල කලාව කියන අංශයේ පුදුමාකාර දියුණුවක් ඇති වුණා. ඉතාම හොද පොත පත බිහිවෙද්දී ඊට සමගාමීව දියුණු ගුණාත්මක විචාර කලාවකුත් බිහිවුණා. මේ නිසා හොද පොතක් රස විදිය යුත්තේ කොහොමද කියන එක ගැන උගැන්මක් සාමාන්‍ය ජනතාවට ඇති වුණා. මිනිස්සු රස වින්දනයට හුරුවුණා. මේ නිසාම පොත පත පමණක් නෙමෙයි සිනමා කලාව පවා මේ රටවල දැන් හුගාක් දියුණුයි. එත් අපේ රට කියන්නේ ඉතාම දියුණු කලාවක් තිබුණු රටක්නේ. තාක්ෂණය තමයි අලුතින් ලැබුණු දෙය. ඉතින් මේ නිසා තිබුණු දේවල් ගැන සැලකිල්ල නැති වෙලා අලුතින් ලැබුණු දෙය තමයි අද උතුම් හැටියට සලකලා තියෙන්නේ.

  • ඒකියන්නේ ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් ගුණාත්මක කලාවක් සොයා ගෙන ඉදිරියට පියවර මනිද්දී අපි ඊට මුලුමනින්ම විරුද්ධ වූ මාර්ගයක ගමන් කරන බව ද ?

ඔව් … අපේ අය හිතන්නේ ආර්ථික දියුණුව ලබා ගන්නට ඕනේ තාක්ෂණික දියුණුවෙන් පමණක්ම කියලයි. අලුතින් ආව තාක්ෂණය හිස් මුදුනින්ම පිළිගත්ත නිසා අතීත කලාව නැති වී ගියා. අනෙක් අතට අපේ සාහිත්‍යය හා කලාව කඩා වැටෙන්නට තවත් මූලිකම හේතුවක් තමයි විශාල වශයෙන් බිහිවුණු කිසිම වැඩකට නැති බාල මට්ටමේ පොත පත , සිනමාපට , ටෙලි නාට්‍ය ඉතා උසස් මට්ටමේ ඒවා විදියට පුම්බන්න පටන් ගත්ත එක. විචාරයේ දුර්වලකම් නිසා නිසරු
කෘතීන් උසස් නිර්මාණ බවට පත්වෙලා ඒ නිසරු දේ බිහිකළ මිනිස්සු  දැවැන්ත නිර්මාණකරුවන් බවට පත්වුණා. අන්තිමේදී ඒ අය වීරත්වයෙන් පිදුම්ලබන්නන් බවට පත් කෙරුණා. මේකෙන් වුණේ මේ නිසරු දේවල් පිළිගත් ප්රමිතියක් විදියට හිතන්න මිනිසුන් පෙළඹුණු එකයි. ඇත්තටම කියනවා නම් අද අපි බොහොම අගය කරලා පිළිගන්න කලා කෘතීන් බොහොමයක් ඒ මට්ටමේ නිසරු ඒවයි. මේකට ප්රධානතම හේතුව විචාරය නොමග යාමයි.

  • බටහිර රටවල බිහිවන බොහෝ කලාකෘතීන් හා සිනමාපටවලින් මානුෂීය සම්බන්ධතාවන් සහ මිනිසුන්ගේ චෛතසික කරුණු බොහොම සියුම්ව හා ගැඹුරින් සාකච්ඡාවට ලක්කෙරෙනවා. වාරණයේ පවතින ලිහිල් බවත් මීට එක් හේතුවක් බව පෙනෙනවා. වාරණය හමුවේ තමන් සිරවී ඇති බවට ඇතැම් ලාංකීය කලාකරුවන් චෝදනා කරනවා. නූතන සමාජ ගමන්මග ඔස්සේ වාරණය තව දුරටත් වලංගු සාධකයක් ද ?

ලංකාවේ තියෙන වාරණය නම් කිසිම තේරුමක් නැති දෙයක් . සිනමා නිර්මාණයක් පෙන්නුවත් සමහර තැන්වල කොටු දානවා. ඒත් හැමෝම දන්නවා ඔය කොටු දාන්නේ එක්කෝ කවුරු හරි සිගරැට් එකක් බොනවා… එහෙමත් නැතිනම් ගැහැණියෙක් මිනිසෙක් සිප ගන්නවා වගේ දර්ශනයක් හින්දා කියලා. ඉතින් ඔය කොටු දාන එකේ තේරුම මොකක්ද … ලංකාවේ වාරණය ක්රියාත්මක වෙන්නේ කලාව විනාශ කෙරෙන විදියට. දැන් මේ රටවලත් වාරණයක් තියෙනවා. සමහර සිනමාපට අවුරුදු දහ හතරෙන් පහළ ලමයින්ට බලන්න බැහැ. ඒත් ලංකාවේ තියෙන්නේ එහෙම වාරණයක් නෙමෙයි. හැමෝටම වහලා දානවා. අවුරුදු දහ හතර ද  ? 20 ද ? 50 ද ? 60 ද ? කියලා නෙමෙයි … හැමෝටම බලන්න බැරි වෙන්න වහලා දානවා. අනිත් එක ගැහැනු පිරිමි අතින් අල්ලගෙන පාරේ යනවා නම් ඒකත් පෙන්නන්න තහනම්. ගැහැනු ලමයෙක් කෙටි ගවුමක් ඇදලා තියෙනවා නම් ඒකත් තහනම්. මේක මම හිතන්නේ 19 වැනි ශත වර්ෂයේ නෙමෙයි ඊටත් ඈත යුගයේ තිබුණු වාරණයක් තමයි අද ලංකාවේ තියෙන්නේ. කලා කෘතියකට අවම මට්ටමේවත් නිදහසක් අවශ්‍යයි. සිනමා පටයක සිගරැට්ටුවක් බිවුවා කියලා මිනිස්සු සිගරැට් බොන්න පුරුදු වෙනවද ?නොබොන මිනිහා කොහොමත් බොන්නේ නැහැ. මේ වාරණය කලාවේ දියුණුවට විශාල බාධාවක්.

(අවසන් කොටස ලගදීම…)

භාෂාවට ගලා යන්න ඉඩ දෙන්න – මහාචාර්ය සිරි ගුනසිංහ

භාෂා ගණනාවක හසළ පඩිවරයකු වූ මහාචාර්ය සිරි ගුනසිංහ පුරෝගාමී සිංහල කවියෙකු , නවකතාකරුවෙකු , සාහිත්‍ය විචාරකයෙකු , සිනමාවේදියෙකු   මෙන්ම කලා ඉතිහාසඥයකු ලෙස ද විවිධ මං සලකුණු තැබූ මහාචාර්යවරයෙකි. 1956 දී නූතන නිසදැස් කවි සම්පදාය සිංහල සාහිත්‍යයට හදුන්වා දුන් ඔහු විසින් සිංහල භාෂාවේ වෙනස්වීම් අරබයා මතු කරන ලද අදහස් බොහෝ වාද විවාදයන්ට පාදක වෙමින් අද දක්වාම කතා බහට ලක්වෙමින් තිබේ. ලොව කීර්තිමත් සරසවියක් වන කැනඩාවේ වික්ටෝරියා සරසවියේ  මහාචාර්යවරයකු ලෙසින් වසර හතලියක කාලයක් පුරා සේවය කළ ඔහු පේරාදෙනිය සරසවියේ ද හිටපු ආචර්යවරයෙකි. පැසිපික් සාගරයෙන් වට වූ වැන්කුවර් දූපතේ වික්ටෝරියා නම් සුන්දර පරිසරයේ නිසංසල දිවියක් ගත කරන 85 හැවිරිදි මේ වියත්පඩිවරයා සොයා ගොස් කළ පිළිසදරකි මේ.

මෙම පිළිසදර සති අන්ත ඉරිදා සිංහල පුවත්පතක පළ වුව ද ඉඩකඩ ගැටලුව නිසා එහි බොහෝ කොටස් ඉවත් වී තිබිණ. ඔහු මතු කළ අදහස්වල විශේෂ වැදගත්කම සලකා ඔහු සමග කළ පිළිසදර කොටස් තුනක් ලෙසින් සිලිලාර බ්ලොග් අඩවියේ පළ කිරීමට මම තීරණය කළා. මේ පළ වෙන්නේ එහි පළමු වැන්නයි.

  • විවිධාකාර භූමිකාවන්ට පණ පොවමින් මව්බිමේ කැපී පෙනෙන මං සලකුණු තැබූ ඔබ අද මව්බිමෙන් බොහෝ දුර බැහැර කැනඩාවේ නිහඩ දිවියක් ගත කරනවා. වැන්කුවර් දූපතේ අද මේ ගත කරන නිසංසල දිවියේ සිට
    ක්‍රියාශීලීව ගෙවුණු අතීත ජීවිත මං සලකුණු දෙස ආපසු හැරී බලද්දී ඔබ සැබවින්ම තෘප්තිමත් ද  ?

සැප පහසුකම් අතින් ඉහළම රටක මං ඉන්න බව ඇත්ත. ඒත් ඒක භෞතිකයි. මා තුළ තිබෙන පුරුද්ද නිසා මට ඒක ඒ තරම් වැදගත් නැහැ. ඒ නිසා මානසිකමය වශයෙන් මට ඒ තරම් තෘප්තියක් නැහැ. සිංහලෙන් ලියන්න , කියන්න, සිංහල පොත පත කියවන්න තවමත් මං පුරුදු වෙලා ඉන්නේ ඒ තෘප්තිමත් බව ලබා ගන්නයි. ඒ වගේම අවුරුද්දකට සැරයක් ලංකාවට ගිහින් පැරණි මිතුරන් හමුවෙන්නේත් ඒ හැගීමෙන්ම තමයි. ඒ අතීත සබදකම් හරහා ජීවිතය අලුත් වෙනවා. ඒත් භෙතිකමය වශයෙන්වත් , මානසිකමය වශයෙන්වත් ලංකාවේ තත්ත්වය නම් සතුටුදායක බවක් පේනේනේ නැහැ.

  • සාහිත්‍යය කලාව , විචාරය , සිනමාව , කවිය , සිතුවම් කලාව මෙන්ම සරසවි ආචාර්ය වෘත්තිය යන කරුණු අතරින් ඔබ වඩාත් චමත්කාරයට පත් කළ විෂයක් තියෙනවාද ?

කලාවට ලැදි වූ කෙනෙකුට ඒ අතරින් යමක් ඉස්මතු කර පෙන්වන්නනට බැහැ. ඒකට හේතුව මොන මාධ්‍යකින් වුණත් අවසාන වශයෙන් විදින රසය එකයිනේ. රස විදින විදිය වෙනස් වුණත් සතුට එකයි. සිතුවමක් ඇන්දොත් එය කරන්නේ ඒ මොහොතේ සිතට සතුට ලැබෙන හොදම දෙය ඒ නිසයි.

  • ඔබේ අවසන් සහ එකම සිනමා නිර්මාණය සත් සමුදුර රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. ඒත් එයින් පසුව අපි ඔබගේ සිනමා නිර්මාණයක් දැක්කේ නැහැ. ඒකට හේතුව රටින් පිටවී යාමට සිදුවීම ද ?

ඔව්… ඒත් සත් සමුදුරෙන් පසු මම සිනමා නිර්මාණයක් කළා. ඩඩ්ලි සේනානායක යුගයේ දී වී ගොවිතැන දිරිමත් කිරීමේ අරමුනින් “රන්වන් කරල් ” නමින් නාට්‍යමය ස්වරූපයෙන් යුත් වාර්තා සිනමාපටයක් කළා.

  • ඔබ විසින් බිහිකරන ලද නූතන සිංහල නිදහස් කවි සම්පදාය බොහෝ වාද විවාදයන්ට ලක් වුණා. නූතන නිදහස් කවි සම්පුදායේ පුරෝගාමියෙකු ලෙසින් අද ඔබ එහි ගමන්මග දකින්නේ කවරාකාරයෙන් ද ?

මට එහි ලොකු අඩුවක් දැනෙනවා. අද පත්තරයක කවි පිටුවක් ගත්තම පැරණි කවි සම්පුදායෙන් ලියැවුණු කවි පංති දෙක තුනක් හැරෙන්නට අනිත් ඔක්කොම නිසදැස් සම්පදායට බරවුණු ඒවායි. නිසදැස කියන මාධ්‍යය හදුනාගෙන එයින් වැඩක් ගන්න පුලුවන් කියලා දැන හදුනාගත්ත විශාල පිරිසක් බිහිවෙලා ඉන්න බව එයින් පෙනෙනවා. ඒත් ගැටලුව තියෙන්නේ ඇයි මේ විදියට ලියන්නේ කියන එක එයින් බොහොම දෙනෙක්ට හරියටම අවබෝධ වෙලා නැති එකයි. පැරණි සම්පුදාය අනුව එළිසමය ඇතිව රචනා කරන කවිය තුළින් ගීතවත් බවක් මතුවන බව අපි දන්නවා. ඒත් නිසදැස් ආකාරයේ කවි ආකෘතියකින් ඇතිවන රසය කුමක් ද කියලා හරියටම දැන හදුනාගෙන කවි ලියන පිරිස ඉන්නේ බොහොම අඩුවෙන් කියලයි මට හිතෙන්නේ. එහෙම අවබෝධයක් නැතිව ලියන කවිය පත්තරයේ තවත් එක් වාර්තාවක් පමණක් බවට පත්වෙනවා. ඒ දුර්වලතා ගැන වැටහීමක් ඒ අයට තියෙනවාද නැද්ද කියන එක ගැන නම් මට හරියට වැටහීමක් නැහැ.

  • ඔබ එයින් අදහස් කළේ නිශ්චිත ආකෘතිමය වෙනසක් අවශය බව ද ? නැතිනම් අන්තර්ගතමය වෙනසක් අවශ්‍ය බව ද ?

මම අදහස් කළේ අන්තර්ගතමය වෙනසක්. අදහස පාඨකයන්ගේ හිතට කාවදින විදියටයි ලියවෙන්න ඕනේ. ඒකට භාෂාව සකස් කර ගන්න ඕනේ. කවියා තමයි භාෂාව සකස් කරන්නේ කියලා කියමනක් තියෙනවා. එයින් අදහස්
කරන්නේ ව්‍යාකරණය රැකගැනීම කියන කරුණ නෙමෙයි. වචනවලට හිත් කාවදින විදියට අර්ථයක් ලබා දෙන්න ඕනේ කියන එකයි. සංකල්ප රූප කියන්නේ අලුතින් වචන හදන එක නෙමෙයි. පවතින වචන තුළින් ම අදහස් මතු කර ගන්නට හැකියාව ඇති කර ගැනීමයි.

  • පැරණි ව්‍යවහාර ව්‍යාකරණමය භාෂාව වෙනුවට නිදහස් කථන ශෛලියක් සිංහල සාහිත්‍යයට හදුන්වා දෙන්නටත් ඔබ පුරෝගාමී වුණා. එහෙත් අද වනවිට කතා කරන භාෂා ‍ශෛලිය ලෙස අර්ථ කථනය කෙරෙමින් විවිධාකාර වූ සිංහල නවකතා සහ විවිධ පොත් පත් බිහිවෙනවා.  මෙය සාධනීය ලක්ෂණයක් ලෙසින් දකින්න පුලුවන් ද ?

සමහර දෙනෙක්ගේ ලියන භාෂාවත් කතා කරන භාෂාවත් අතර ඝට්ටනයක් තියෙනවා. කථන භාෂාවෙන් ලියනවා කියලා හිතාගෙන ලියුවට මගට යද්දී ලියැවෙන්නේ අර පැරණි සාහිත්‍යමය භාෂාවෙන්. පොත් පත් ලියන්න ඕනේ
මිනිස්සු කතා කරන භාෂාවෙන් කියන එක ගැන තාම බොහොම දෙනෙකුට වැටහීමක් නැහැ. ඉංගිරිසි භාෂාවේ කතා කරන සහ ලියන යනුවෙන් භාෂා ශෛලීන් දෙකක් නැහැ. ඉංගිරිසියේ දී මිනිස්සු ව්‍යාකරණානුකූලව කතා කරනවා වගේම ලියනවා. සමහර තැන්වලදී ව්‍යාකරණය යටපත් වී ගියත් එහි තේමාව විදියට ව්‍යාකරණය යටින් තියෙනවා. අපි ව්‍යාකරණය කියලා කියන්නේ අර පැරණි ව්‍යාකරණයට. ඒ කියන්නේ “මම යමි , අපි යමු , ඈ ගියාය , ඇය යන්නීය” වගේ. ඒත් අපි දන්නවා අපේ ඉතිහාසය ගත්තම ශත වර්ෂයෙන් ශත වර්ශයට භාෂාව කොයි තරම් දුරට වෙනස් වෙලා
තියෙනවා ද කියලා. වැඩිය දුර යන්න ඕන නැහැ. නුවර යුගයේ තිබුණු භාෂාව නෙමයි අද තියෙන්නේ. මාතර යුගයෙන් පස්සේ අද භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මුල් යුගයේ පත්තරයක් අරගෙන බලන්න. ඒ පත්තර භාෂාව අද පත්තරවල නැහැ. ඒ කියන්නේ භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒත් මිනිස්සු පිළිගන්නේ නැහැ භාෂාව වෙනස් වෙනවා කියලා. භාෂාවේ ස්වභාවය තමයි වෙනස් වීම කියන්නේ. උදාහරණයක් විදියට දැන් අපි කියනවා ” එයා ඇමතිතුමා වෙනුවෙන් කඩේ යනවා ” කියලා. ඔය ” කඩේ යනවා ” කියන එක භාෂාවේ වෙනස්වීමක් නේ. ඒක හරිම
ප්රාණවත් රූපකයක්. ඒ ප්රාණවත් රූපකය ඇති වෙන්නේ නැහැ භාෂාවේ නිදහස නැති කළා නම්. භාෂාව වෙනස් වෙලා තියෙනවා , භාෂාව වෙනස් වෙමින් තියෙනවා , භාෂාව වෙනස් විය යුතුය කියන එක පිළිගන්න බැරි එක තමයි මෙතැන තියෙන මූලිකම දේ.

  • භාෂාව වෙනස් විය යුතුය යන්න පිළි ගැනීමට සමාජය මැලි වෙන්නේ ඇයි ?

ඒකට හේතුව භාෂාවේ වෙනස් වීම් පිළිබදව පාසල්වලින් උගන්වන්නේ නැති එක. කවදාවත් මගේ පොතක් පාසල්වල නිර්දිෂ්ට පොතක් බවට පත්වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ භාෂාවෙන් ලිවුවොත් භාෂාව කෙළෙසෙනවා , මේ භාෂාවෙන් ලියැවෙන පොත් ළමයින්ට කියවන්න දෙන්න හොද නැහැ කියන අදහස නිසයි. න-ණ-ල-ළ තියෙන්න ඕනේ. අර දේ මේ දේ තියෙන්න ඹ්නේ කියලා හිතනවා. ඒක ගැන මගේ මගේ කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒක ඒ අයගේ විශ්වාසය. මොකද ඒකත් හරියට ආගම විශ්වාස කරනවා වගේ වැඩක් නේ. ඒකට අගරු කරන්න බැහැ. ඒත් භාෂාවේ මේ යන ගමන ඒ නිසා වළකිනවා. දැන් ටයිප්රයිටයක් අරගනෙ බැලුවොත් සිංහල උ ශබ්දය ගන්න එක එක අකුරුවලට ටයිප්රයිටරයේ යතුරු තුනක් තියෙනවා. ඒකේ දීර්ගයත් එක්ක ගත්තම අකුරු හයක්. ඔය හය වෙනුවට අකුරු දෙකක් යොදා ගන්න පුලුවන්. එහෙම වුණොත් ඔය විදියට අනවශ්‍ය අකුරු කීයක් අයින් කරන්න පුලුවන්ද ? ඒක කොයි තරම් පහසුවක්ද ?

  • එතකොට මහප්රාණ අකුරු ගැන ඔබේ අර්ථ දැක්වීම කොහොම ?

ඇත්තටම අපේ සිංහල භාෂාවේ මහප්රාණ අකුරු නැහැ. ඒවා යොදා ගන්නේ පාලි සහ සංස්කෘත වචනවල අදහස් කියාපාන්න විතරයි. අපි කතා කරන සිංහලයේ මහප්රාන වචන නැහැ. ඒත් අපි පුරුද්දක් විදියට මහප්රාණ වචන දාලා කතා කරනවා. පුරුද්ද ඉතින් වෙනස් කරන්න බැහැනේ. මහප්රාණ දාලා ලියන්න ගිහින් දැන් ඕන තැනටයි එපා තැනටයි හැම තැනටම මහප්රාණ දාලා ලියනවා. වැරදි ව්‍යවහාරය පුරුද්දට ගියාම ඒක නිවැරදි දේ බවට පත්වෙනවා.

  • ඒත් මෙතැනදී මෙහෙම ගැලුවක් තියෙනවා නේද …. භාෂාව සම්බන්ධයෙන් තමන්ගේ තියෙන අඩු දැනුම වහගන්න බොහොම දෙනෙක් ට භාෂාවේ ව්‍යාකරණය අමතක කරන්න පුලුවන් නේද ? ඒ නිසා මේ වෙනස්වීමට ප්රමිතියක් තිබිය යුතු නැද්ද ?

ප්රමිතියක් තියෙන්න ඕනේ. හිතුමතයේ භාෂාවක් වෙනස් කරන්න බැහැ. භාෂාව වෙනස් විය යුත්තේ එය ගලා යන ආකාරයටමයි. මම කිසි දෙයක් හිතුමතයේ වෙනස් කරන්න ගිහින් නැහැ. මම භාෂාව යන විදියටමයි වෙනස්වීමට ඉඩ දුන්නේ. න-ණ-ළ-ල අත් හැරියේත් ඒ නිසයි. අපි කවුරුත් මූර්ධජ අකුරු වෙනස් විදියට ශබ්ද කරන්නේ නැහැ. දණ්ඩ කියන වචනයේ දී වුණත් මූර්ධජ ණ යන්න දැඩිව ශබ්ද කරලා කතා කරන්නේ නැහැනේ. දෙමළ භාෂාවේ නම් ඒ විදියේ ශබ්දයේ වෙනසක් තියෙනවා. ඒ අයගේ න අකුරු කිහිපයක් තියෙනවා. ඒ අය ඒ අකුරැ වෙනස් වෙනස් ශබ්දවලින් තමයි කියනනේ. වචනයේ ශබ්දය අනුව ඒ මොන නයන්න ද කියලා තේරුම් ගන්නවා. අපේ භාෂාවේ එහෙම දෙයක් නැහැ. ගොනා කියලා ශබ්ද කරන්න මොන නයන්න ලිවුවත් එකයි. අනිත් එක ඒක තේරුම් ගන්න බැරි කමකුත් නැහැ. හුගක් දෙනෙක් කියනවා මූර්ධජ නැතිව ලිවුවම ඒ මොන න යන්න ද කියලා තේරුම් ගන්න බැහැ කියලා. ඒක බොරු කතාවක්. මොකද වචනක් තනිව භාවිතා වෙන්නේ නැහැ. ” ගොනා තන කයි ” කියලා කිවුවම ගොනා කන්නේ මොනවද කියලා ඹ්නම කෙනෙකුට තේරෙනවා.  ඒ නිසා කිසිම කෙනෙකුට අත්තනෝමතිකව භාෂාව වෙනස් කරන්න බැහැ.

  • මෙතැනදී මේ ප්රමිතිය තීරණය වන්නේ කොහොම ද ?

ලේඛන සම්පුදාය අනුවගත්තම කතා කරන භාෂාවෙන් ලිවීම වැරදියි. එතැනදී තමයි අත්තනෝමතික කියන වචනය පැන නගින්නේ. ඒ අදහසින් නැතිව භාෂාව එහි ව්‍යවහාරමය වශයෙන්ම ලියනවා කියලා හිතලා ලියනවා නම් ඒක තමයි ප්රමිතිය. මම යමි කියලා අපි කතා කරන්නේ නැහැනේ. ප්රංශ , ජර්මන් , ඉංගිරිසි , පාලි , සංස්කෘත වගේ මම දන්නා භාෂා අතරින් සිංහල භාෂාව තරම් ව්‍යවහාරය තුළින් සරල වෙච්ච තවත් භාෂාවක් නැහැ. මම නොදන්නා භාෂාවල තියෙනවාද දන්නේ නැහැ.

  • ඒකට හේතුව මොකක්ද ?

පාලි සංස්කෘත වගේ භාෂාවන් ව්‍යවහාරයෙන් ගිලිහී යාම නිසාම නතර වුණා. ප්රංශ වගේ භාෂාවක ව්‍යාකරණය හරි දැඩියි. ඉංගිරිසි භාෂාවේ කතා කරන භාෂාවෙන්ම තමයි පොත් පත් ලියැවෙන්නේ. ඒකට හේතුව ව්‍යාකරණය එකක් වීමයි. ඒත් සිංහල භාෂාවේ කතා කරන විදිහයි ලියන විදිහයි දෙකක් වීම තමයි ඔය තරම්ම සරල බවට පත්වෙන්නට හේතුව. ඇත්තටම නම් වෙන්න ඕනේ ඒකේ අනිත් පැත්තයි. ලියන්න ඕනේ කතා කරන භාෂාවෙන්. ප්රාණය රැදිලා තියෙන්නේ ව්‍යවහාර භාෂාව තුළයි. මිනිස්සු කතා කරන භාෂාවෙනුයි පොත් පත් ලියැවෙන්න ඕනේ. යන භාෂාවට ඒ විදියටම යන්න දෙනවා නම් තමයි අර්ථ ප්රකාශ කරන්න ශක්තිය ලැබෙන්නේ.

(ඉතිරි කොටස පසුවට…)