දිව්‍ය ‍ලෝ‍කේ ළඟයි ‍පේන මා‍නේ

lies

හිටි හැටියේම ඔබ අවුරුදු මිලියන ගණනාවක් ඈත අතීතයේ වාසය කළ ලුසී නම් වූ ආදි කල්පික මානවයා බවට පත් වුණා කියලා සිතන්න.

ලොමින් පිරුණු සිරුරින් සපිරි ඔබ දැන් මේ සැරිසරමින් සිටින්නේ අප්‍රිකානු විසල් බිම් තීරුවක් අතරින්.

ඔබ මේ ඇවිද යමින් සිටින බිම් තීරුවේ සරුවට වැඩුණු පඳුරක් තියෙනවා. මේ පඳුරේ කොළ සෙළවෙන හැටි ඈතදීම ඔබට පේනවා. මේ කොළ සෙළවෙන්නේ සුළඟක් හින්දද, එහෙමත් නැතිනම් ඔබව කා දමන්නට සූදානමින් සැඟවෙලා ඉන්න සතෙකු නිසා ද කියලා ඔබට හිතාගන්නට බැහැ. මේ නිසා දැන් ඔබ ගන්න හදන තීරණය හරිම වැදගත්. ඇත්තටම කියනවා නම් ඒක ඔබේ පැවැත්මත්, අවසානයත් තීන්දු කරන තීරණයක්. ඒ නිසා මේ තීරණය ඔබේ ජීවිතයේ වැදගත්ම තීරණය වෙන්න පුළුවන්.

හොඳයි ඔබට හිතෙනවා මේ කොළ සෙළවෙන්නේ ඔබව කා දමන්නට සැඟවෙලා ඉන්න සතෙකු නිසා කියලා. ඒ හින්දා ඔබ තමන්ගේ අතේ තියෙන ලී මුගුර හොඳින් සූදානම් කරගෙන සතුරාට පහර දීමට සූදානමින් ඒ පඳුර ළඟින් ඇවිද ගෙන යනවා. පඳුර අස්සේ කවුරුත් සැඟවෙලා නැහැ. ඒ කියන්නේ ඇත්තටම පඳුර සෙළවුණේ සුළඟට. ඒ කියන්නේ ඔබේ හඳුනා ගැනීම වැරදියි. ඒත් ඔබ පරිස්සම් වුණා කියලා ඔබට කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ.

හොඳයි දැන් අපි හිතමු මේ කොළ සෙළවෙන්නේ සුළඟට කියලා ඔබ හිතුවා කියලා. ඒ හින්දා තමන්ගේ ආරක්ෂාව ගැන ඔබ ඒ තරම් දුරට හිතන්නේ නැහැ. ඒත් ඇත්තටම ඒ කොළ සෙළවුණේ ඔබව කා දමන්නට සූදානමින් පඳුර පිටිපස්‍‍සේ සැඟවිලා හිටිය වන සතෙක් නිසා. ඒ කියන්නේ ඔබේ හඳුනා ගැනීම වැරදියි. ඒ වැරැද්ද නිසා ඔබට සිද්ධ වුණේ මානව වංශ කතාවේ ඔබේ පරිච්ඡේදයේ අවසානය සටහන් කරගන්න.

මානව වංශ කතාවේ ඔබේ පරිච්ඡේදයේ අවසානය ඒ විදියට සටහන් කරගන්නට ඔබට සිද්ධ වුණේ කුමන වැරැද්දක් නිසා ද? ඒ තමන් සමීපයේම අනතුරක් තියෙනවා කියලා ඔබ විශ්වාස නොකළ හින්දා. ඒත් ඇත්තටම ඒ විදියේ අනතුරක් තිබුණා. අනතුර තිබුණා විතරක් නෙමෙයි ඒක මාරාන්තික අනතුරක් බවට පත් වුණා.

මේ කිව්ව සිද්ධිය ඇතුළේ ලොකුම ලොකු කතාවක් සැඟවිලා තියෙනවා. මොකක්ද ඒ කතාව.

ඊට කලින් මේ කතාවට පසුබිම් වෙච්ච පදනම කියන්නම්.

සිය ගණනක් වූ ප්‍රෙක්ෂකයන් පිරිසක් වටකරගෙන ඔය කිව්ව මානසික පර්යේෂණය අත්හදා බලන්නට තමන්ගේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කළේ ඉතිහාසඥයෙකු වගේම ප්‍රසිද්ධ විද්‍යා ලේඛකයෙකු වුණු මයිකල් ෂර්මර් (Michael Shermer). ඔහු තමන්ගේ දේශනයෙන් පෙන්වා දෙන්නට අදහස් කළේ මිනිසුන් වෙච්ච අපි අපේ උප්පත්තියෙන්ම හැම දෙයක්ම විශ්වාසය තබන්නට පුරුදු පුහුණු වෙච්ච සත්ව කොට්ඨාශයක් බවයි. ඒකට හේතුව ඉහතින් කිව්ව කතාවෙදි වගේම මානව වංශ කතාව පුරාම මානව වර්ගයා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්නට විශ්වාසය කියන කරුණ මූලික කරගෙන තියෙන නිසා. මේ නිසා මානව වංශ කතාව පුරාම විශ්වාසය ගැන මිසක් අවිශ්වාසය ගැන නැඹුරුවක් අපිට නැහැ. විශ්වාසය ගැන තියෙන මේ නැඹුරුව නිසා අපි ඊටත් වඩා දුරදිග ගිහින් එක එක තිත් යා කරගෙන අපූරු කතා පුවත් නිර්මාණය කර ගන්නවා. අන්තිමේ දී මේ කතා පුවත් නිර්මාණය වෙලා දැවැන්ත පුවත් නිර්මාණය වෙනවා. අපේ මුළු මහත් ජීවිතයම ගෙවිලා යන්නේ ඔය විදියට. මේ නිසා අන්තිමේ දී සිද්ධ වෙන්නේ කොයි තරම් තාර්කිකව, එහෙමත් නැතිනම් සිහිබුද්ධියෙන් යුක්තව හිතන්නට පුළුවන් කරුණු කාරණා ගැන වුණත් අපේ උප්පත්තියෙන්ම අපිට ලැබුණු මේ ජන්ම ගතිය නිසා අපි ඒවා තෝරා බේරා ගන්නේ අන්ධයන් වගේ. අපේ විශ්වාසයට පදනම් වෙන කරුණු ගැන මිසක් එතැනින් එහාට යමක් සිහිබුද්ධියෙන් සිතන්නට අපිට බැරිවෙලා තියෙන්නේ ඒ නිසයි. දෙවියන් ගැන, මිත්‍යා විශ්වාස ගැන විතරක් නෙමෙයි දේශපාලනය ගැනත් මේ කරුණ අදාළයි. ඇත්තටම ෂර්මර් මේ කතාව ගෙන හැර පාන්නේත් දේශපාලන කරුණු ගැන ජනමාධ්‍ය වගේම ෆේස් බුක් වගේ සමාජ ජාලා මාධ්‍ය මගින් පැතිරෙන මිත්‍යාවන්ට මිනිස්සු සිය කැමැත්තෙන්ම කොයි තරම් අන්ධ වෙනවා ද කියලා තහවුරු කරලා පෙන්නන්නයි.

මේ පර්යේෂණය ගැන තොරතුරු මට හොයා ගන්න ලැබුණේත් ඇත්තටම කියනවා නම් ඔය කරුණ නිසාම තමයි.  ඒ කියන්‍නේ සමාජයේ බොහොම ඉහළ තනතුරුවල ඉන්න මගේ උගත් මිතුරන් ෆේස් බුක් මාධ්‍යය ඔස්සේ තමන්ගේ දේශපාලන නායකයන් ඔසවා තබන්නට හුවවාරු කරන එහෙමත් නැතිනම් ෂෙයා කරන කරුණු කාරණා දකිද්දියි.  මහ ගිනි දවල් ජනතා දේපළ සොරා කෑ, එහෙත් නැතිනම් සොරාකන දේශපාලන හොරුන් මේ තරම්ම අන්ධ භක්තියෙන් ඔසවා තබන්නට තරම් මගේ උගත් මිතුරු කැළ සුකුමාල, බොළඳ චරිත බවට පත්වෙලා තියෙන්නේ මානව ඉතිහාසයේ සිදුවුණු ඓතිහාසික අත්වැරැද්දක් නිසාදැයි මට සිතුණා. ෂර්මර්ගේ මේ දේශනය මගේ නෙත ගැටුණේ ඒ ගැන කරුණු සොයා බලද්දියි.

දේශපාලනය කියන කරුණේ දී නම් ලංකාවේ අපි නියෝජනය කරන්නේ මානව වංශ කතාවේ මෙතෙක් පහළ නොවූ අපූරුම මානව ප්‍රභේදයක්. ඒකට හේතුව ජනතාව වෙනුවෙන් කැපවුනු නායකයන් අපට නොසිටියත්, නායකයන් වෙනුවෙන් කැපවුණු නිවට නියාළු ජනතාවක් බවට අපි පත්වෙලා ඉන්න නිසයි. අපි එකිනෙකා එකට එකතු වෙන හමුවීම්වලදී වගේම ෆේස්බුක් වැනි මාධ්‍යයන් වලදී පවා තමන්‍ගේ දේශපාලන මතවාදය තහවුරු කරන්නට අපේ මිනිසුන් පුරුදු පුහුණු වෙලා තියෙන්නේ කොතැන හෝ මාධ්‍යයක පළවෙච්ච පුවතක් මාතෘකාවට අර‍ගෙන. එක්කෝ ඒක ජාතික යැයි කියා ගන්නා පත්තරයක පළවෙච්ච ප්‍රවෘත්තියක්. එහෙමත් නැතිනම් කොහෙන් හෝ වෙබ් අඩවියක පළවෙච්ච කරුණක්. එහෙමත් නැතිනම් කවුරුත් අහලා නැති පුවත් ඒජන්සියයකින් උපුටා ගත්ත ප්‍රවෘත්තියක්. මේ විදියේ ප්‍රවෘත්ති රැයක් දවාලක් නැතිව ෆේස් බුක් මාධ්‍යය ඔස්සේ හුවමාරු කරමින්, එහෙමත් නැතිනම් කිසිම පදනමක් නැති පුවතක් මාතෘකා කර ගනිමින් බරපතල වාද විවාද තර්ක විතර්ක ගොඩ නගන්න උත්සාහ කරන පිරිස දිහා බලද්දි ෂර්මර් කියන කාරණය කොයි තරම් සත්‍යයක් ද කියන එක ඒ කියන්නේ ජන්මගත වැරැද්දක් අ‍ප තුළ තියෙනවාය කියන කාරණාව හොදහැටි පැහැදිලි වෙනවා. තමන් මහත් උජාරුවෙන් ‍තර්ක විතර්ක ගොඩනගා ගන්නට උත්සාහ කරන්නේ, එහෙමත් නැතිනම් තමන් මහත් උජාරුවෙන් හුවමාරු කරන්නේ කොයි තරම් හිස් කරුණු කාරණා ද කියන එක ගැන හැඟීමක්වත් මේ අය තුළ නැත්තේ ඔය කියන ඓතිහාසික වැරැද්ද නිසා බවයි ‍පෙ‍නෙන්නේ.

ජනමාධ්‍ය කියලා සංකල්පයක් ලංකාවේ අපිට අද නැහැ. ඒ නිසාම ජනමාධ්‍ය කියලා  දෙයකුත් අද අපිට නැහැ. ඒ නිසාම ජනමාධ්‍යවේදීන් කියලා කොටසකුත් අද අපිට නැහැ. මේ කියන කරුණ බොහොම කර්කශ විවේචනයක් විදියට කෙනෙකුට පෙනෙන්නට පුළුවන්. ජාතික කියලා කියන පත්තර, ගුවන්විදුලි – ටී වී චැනල් පනහක් හැටක් තියෙන රටක ජනමාධ්‍ය කියලා දෙයක් නැහැ කියලා කියන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතේවි. ඔව්, තියෙනවා තමයි. ඒත් ඒ ජනමාධ්‍ය නෙමෙයි. පත්තර අචුච් ගහන කන්තෝරු අපිට තියෙනවා. රූපවාහිනී, ගුවන්විදුලි පවත්වාගෙන යන ව්‍යාපාර ස්ථාන ගණනාවක් අපිට තියෙනවා. ඒ හැම එකකම වැඩ කරන වැටුප් ලබන සේවකයන් පිරිසක් අපිට ඉන්නවා. ලංකාවේ වගේම ලංකාවේ පිට ඉඳනුත් ක්‍රියාත්මක‍ වෙන පුවත් වෙබ් අඩවි, පුවත් ඒජන්සි පවත්වාගෙන යන ඇඩ්මින් කරුවන් අපිට ඉන්නවා. ඒත් ඒ ජනමාධ්‍යවත්, ජනමාධ්‍යවේදීන්වත් නෙමෙයි.

කොහොම ද එහෙම කියන්නේ? ඒ කියන්නේ ලංකාවේ අපිට ජනමාධ්‍ය කියලා කියන්නට කිසිම දෙයක් නැද්ද? කෙනෙකුට හිතෙන්නට පුළුවන්.

ශිෂ්ට ලෝකයේ ජනමාධ්‍ය සම්ප්‍රදාය තුළ පිළිගන්නා මූලික කරුණු පහක් තියෙනවා. පළමු වැන්න නම් තමන් පළ කරන ප්‍රවෘත්තිවල සත්‍යතාව සහ නිවැරදිභාවයයි (Truth and Accuracy). දෙවැනි කාරණාව නම් ස්වාධීනත්වයයි (Independence). ඒ කියන්නේ තමන් පළ කරන ප්‍රවෘත්තිවල වගේම ප්‍රවෘත්ති ආයතනයේත් ස්වාධිනත්වයයි. තුන්වැනි කාරණාව නම් සාධාරණත්වය සහ අපක්ෂපාතීභාවයි (Fairness and Impartiality). හතරවැනි සහ පස්වැනි කාරණාව මානුෂිකත්වය වෙනුවෙන් කැපවීම (Humanity) සහ පිළිගතහැකි භාවයයි (Accountability). මේ මූලධර්ම සියල්ල කෙසේ වෙතත් අඩුම තරමින් ඔය කියන කාරණාවලින් එකම එක කරුණක්වත් පිළිපදින ලංකාවේ එකම එක ජනමාධ්‍ය ආයතනයක් පෙන්වා දෙන්නට ඔබට පුළුවන් ද?

ඔය කියන විදියේ වෘත්තිමය සදාචාරයක් ලෝකයේ වෙනත් රටවල තියෙනවා ද කියන කරුණ මෙතැනදී කෙනෙකුට තර්කයක් විදියට මතුවෙන්න පුළුවන්. ඔය විදියේ සදාචාරයක් සියයට සියයක්ම ලෝකය පුරා ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න කාටවත් බැහැ. ඒත් ඒ සදාචාරයට පටහැනිව යන ක්‍රියාමාර්ගයක දී ඊට එරෙහිව ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේදයක් ඒ හැම රටකම තියෙනවා. ඒත් ශිෂ්ට ලෝකයේ මාධ්‍ය සදාචාරයට ළංවෙන්නවත් බැරි දුරකින් තමයි ලංකාවේ අපේ පත්තර, ටී වී, ගුවන්විදුලි කලාව පවත්වාගෙන යන්නේ. ඒ විතරක් නෙමෙයි උසස් ජනමාධ්‍ය සම්ප්‍රදායක් පවත්වාගෙන යන සෑම රටකම ජනමාධ්‍ය‍වේදියෙක් වෙන්නට ලෙහෙසි පහසු නැහැ. ඒ වෙනුවෙන් ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්ත ජනමාධ්‍ය පාඨමාලා පැවැත්වෙනවා. උදාහරණයක් විදියට කියනවා නම් කැනඩාවේ ජනමාධ්‍යවේදියෙක් වෙන්නට නම් අවුරුදු හතරක පූර්ණ කාලීන ජනමාධ්‍ය පාඨමාලාවක් හදාරන්නට ඕනේ. ඇත්තටම කියනවා නම් ඒක උපාධියක්. මේ සිවු අවුරුදු උපාධිය ජනමාධ්‍ය ආචාරධර්ම, ‍ලෝක ඉතිහාසය, ගවේශණශීලී මාධ්‍ය කලාව, මාධ්‍ය සදාචාරය, නීතිය, ඡායාරූප මාධ්‍ය කලාව ආදී වෙච්ච හැම අතකින්ම අංග සම්පූර්ණ පාඨමාලාවක්. මුද්‍රිත මාධ්‍ය වලට වගේම විද්‍යුත් මාධ්‍යවලට එකිනෙක වෙනස් වෙච්ච උපාධි පාඨමාලා තියෙනවා. මේ හැම පාඨමාලාවකම භාෂාව ගැන විශේෂ උන්නදුවක් දක්වනවා. සාමාන්‍ය සම්මත භාෂා ව්‍යවහාරය ඉක්මවා ගිය උසස් මට්ටමේ භාෂා පරිචයක් ජනමාධ්‍යයට පිවිසෙන්නට හදන පුද්ගලයා සතුව තිබෙනවාද කියන එක ගැන මේ පාඨමාලාවලදී විශේෂ අවධානයට ලක්වෙනවා. මේ නිසා මේ විදියේ ජනමාධ්‍ය ආයතනවලින් පිටවෙලා ජනමාධ්‍ය ආයතනයක සේවයට එක්වෙන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම වෘත්තීය ගුණාංගයන්ගෙන් සපිරි ජනමාධ්‍යවේදියෙක්.

ලංකාවේ අපිට ජනමාධ්‍ය විෂය ක්‍රමවත්ව උගන්වන එකම එක පාඨමාලාවක්වත් නැහැ. කොළඹ විශ්ව විද්‍යාලයත්, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයත්, ඒ වගේම රජයේ ජනමාධ්‍ය පුහුණු ආයතනයත් පවත්වාගෙන යන පාඨමාලා වෘත්තීය ජනමාධ්‍යවේදීයෙක් බිහිකරන්නට තබා එයින් ළගින්වත් යන්නට සමත්වන පාඨමාලා නෙමෙයි. ඒ වගේම ජනමාධ්‍ය උපාධියක් ලංකා‍වේ තවම බිහිවෙලා නැහැ. ‍මේ නිසා ලංකාවේ “ මාධ්‍ය ” ආයතනවල සේවය කරන්නට කිසිම උගත්කමක් අවශ්‍ය නැහැ. තාත්තාගෙන් පුතාට, එ‍හෙමත් නැතිනම් තවත් රස්සාවක් කරන්නට සුදුසුකම් මදිවීම, තමන්‍ගේ නම ප්‍රසිද්ධ කරගන්නට ති‍යෙන ආසාව ව‍ගේ සිල්ලර කරුණු කාරණා නිසා තමයි ‍බො‍හෝ ‍දෙ‍නෙක් මාධ්‍ය ආයතනවල ‍සේවයට යන්‍‍නේ. ඒ විදියේ රස්සාවල් ලංකාවේ තියෙන්නේ තවත් එකක් විතරයි. ඒ තමයි පාර්ලිමේන්තුව. ඒ නිසාම තමයි අපේ රටේ මේ සිද්ධ වෙලා තියෙන සමස්ත විනාශයට වගකිවයුතු ප්‍රධාන කණ්ඩායම් දෙක විදියට දේශපාලකයන් වගේම ජනමාධ්‍ය කියන ආයතන හඳුන්වලා දෙන්නට පුළුවන් ‍වෙලා ති‍යෙන්නේ.

සමහර ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන් විදියට, ඒ වගේම සමහර පුවත්පත්වල කතුවරුන් විදියට පත්වෙලා ඉන්න චරිත දිහා බැලුවම ඒ විදියේ තනතුරක් තියා අඩුම තරමින් හන්දියේ පත්තර ලෑල්ලක පත්තර විකුණන්නවත් ඔවුන් සුදුස්සන් ද කියලා හිතෙනවා. භාෂාව නිවැරදිව භාවිත කිරීම ගැන නිරන්තර උනන්දුවක් දක්වන නිලාර් එන්. කාසිම් මිත්‍රයා මෑත දවසක දී ෆේස්බුක් මාධ්‍යය ඔස්සේ ජාතික පුවත්පතක මහ ලොකු අකුරින් පළවෙච්ච වැරදි සිරස්තල කිහිපයක් උපුටලා දක්වලා තිබුණා. භාෂාව ගැන මෙලෝ හසරක දැනීමක් නැති පිරිසක් කතුකම් දරන තැනක එවැනි පුවත් පළවීමේ කිසිම අරුමයක් නැහැ.

fb_img_1482560368036

මේ කරුණු මතකයට එද්දී මීට දශක දෙක තුනකට කලින් මගේ ඇස් දෙක ඉදිරියේම සිද්ධ වුණු සිදුවීමක් සිහියට නැගෙනවා. එක්තරා ජාතික පුවත්පතක සතිපතා පළවුණු ජනප්‍රිය සාහිත්‍ය අතිරේකයට වික්‍රමසිංහගේ සහ කුමාරතුංගගේ සේයා රූ දෙකක් පුවත්පතේ පුස්තකාල අංශයෙන් ‍තෝරා ගෙන එන ලෙස එම අතිරේක‍යේ සංස්කාරක කිත්සිරි නිමල් ශාන්තයන් එම අතිරේකය සම්පාදනය කරන්නට තමන්ට සහාය වන කර්තෘ මණ්ඩලයේ සගයාගෙන් ඉල්ලා හිටියා. සිංහල සාහිත්‍යය ගැන අවම හෝ අවබෝධයක් ඇති කවරෙකුට වුණත් සිංහල සාහිත්‍යයේ දී වික්‍රමසිංහයන් කියන්නේ මාර්ටින් වික්‍රමසිංහට බවත්, කුමාරතුංග කියන්නේ මුනිදාස කුමාරතුංගට බවත් අමුතුවෙන් කියාදෙන්නට අවශ්‍ය නැහැ. ඒත් සිංහල සාහිත්‍යය ගැන මොලෝ හසරක් නොදත් මේ තැනැත්තා අරගෙන ආවේ රනිල් වික්‍රමසිංහගේත්, චන්ද්‍රිකා කුමාරතුංගගේත් ඡායාරූප දෙකක්. මේක කර්තෘ මණ්ඩලයේ ඒ සගයාට විතරක් ආවේනික වෙච්ච ගැටලුවක් නෙමෙයි. ජනමාධ්‍ය කියලා හඳුන්වන ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් කියන පිරිසෙන් අඩුම තරමින් සිංහල සාහිත්‍යයේ අමරණීය පොත් දෙක තුනක්වත් කියවලා තියෙන කෙනෙකු ඇතිනම් ඒ මුලු ආයතනයේම ඉන්නා පිරිසෙන් එක්කෙනෙකු හෝ ‍දෙන්නෙකු පමණක්ම බව නම් ‍බො‍හොම වගකීමෙන් කියන්නට පුළුවන්.

edited-2

අපේ රටේ තියෙන සියලුම “ මාධ්‍ය ” ආයතන ඒ කිය‍න්නේ පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනී සහ වෙබ් අඩවි කියන මේ සෑම සියලු ආයතනයක්ම කිසිසේත්ම ස්වාධීන හෝ අපක්ෂපාතී හෝ නැහැ. එහෙම කිසිම ආයතනයක්  ලංකාවේ නැහැ. ඒ සෑම සියලු ආයතනයක්ම ක්‍රියාත්මක වෙන්නේ කිසියම් දේශපාලන අරමුණක් වෙනුවෙන්. එහෙමත් නැතිනම් කිසියම් ආර්ථික අරමුණක් වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන අඩුම තරමින් විකල්ප පුවත්පතක්වත් අපට නැහැ. මේ ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් කියා කියාගන්නා විශාල පිරිසක් කරන්නේ දේශපාලන කොන්ත්‍රාත්. ඒ‍ වෙනුවෙන් වැටුප්, වරප්‍රසාද, විදෙස් සංචාර නිරතුරුව හිමිවෙනවා. මේ නිසාම මේ ‍බො‍හෝ ‍‍දෙ‍නෙකුට තමන් සේවය කරන මාධ්‍ය ආයතනයෙන් වගේම තමන්ගේ දේශපාලන පක්ෂයෙනුත් ගෙවීමක් ලැබෙනවා. ඒ නිසා තමන්ගේ දේශපාලන පක්ෂය පරාජිත වෙද්දී වඩාත්ම කලබලයට පත්‍‍වෙන්නේ මේ ලියන පිරිසයි. ඒ තමන්ට හිමිවෙච්ච වරප්‍රසාද, විදෙස් සංචාර හිටි හැටියේම ඇණ හිටලා ආණ්ඩුවට සම්බන්ධ ලියන්නන්ට ඒ අවස්ථාව හිමිවෙන හින්දයි. ඒ නිසා පරාජිත පිරිස තරගයට පොත පත ලියා එළි දක්වනවා. කතුවැකි ලියනවා. බිල්ලන් මවා පානවා. ජාතිවාදය ආගම්වාදය අවුස්සනවා. මේක ලංකාවේ සියලුම මාධ්‍ය ආයතනවලට වලංගුයි.

දේශපාලකයන් නමින් ඇතැම් පුවත්පත්වල ප‍ළවෙන කොළම් ඔබ දැකලා ඇති. මේ කොළම් ‍‍බො‍හොමයක්ම ලියන්නේ කර්තෘ මණ්ඩලයේ වැඩ කරන සාමාජිකයෙක්. දේශපාලකයා නමින් කුලියට ලියනවාට ඔවුන්ට මුදල් හා වරප්‍රසාද ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ පිරිසට කරන්නට වැඩ රාජකාරි තවත් බොහොමයක් තියෙනවා. තමන්ගේ දේශපාලන පක්ෂයට විරුද්ධ මතවාදය සහිත පක්ෂයක ප්‍රවෘත්ති නිවේදනයක්, එහෙමත් නැතිනම් තමන්ගේ පක්ෂයට අහිතකර ප්‍රවෘත්තියක් ලැබුණු ගමන්ම ඒක තමන්ගේ පක්ෂයේ කණේ තිබීමත් මේ අයට පැවරෙන රාජකාරියක්. මේ හින්දා ඇතැම් වෙලාවට ප්‍රවෘත්තිය එන්නත් කලින් ප්‍රවෘත්තියට පිළිතුර අනෙක් දේශපාලන පක්ෂයෙන් මාධ්‍ය ආයතනයට ලැබෙනවා.

fb_img_1482560630069

ලංකාවේ සෑම සියලු මාධ්‍ය ආයතනයකටම පුවත් ප්‍රචාරය කරන්නට තහනම් වෙච්ච ලැයිස්තුවක් තියෙනවා. මුල්ම කාරණය නම් තමන් කඩේ යන දේශපාලන පක්ෂය හා දේශපාලකයාට තීරණාත්මක පහර වදින කිසිම දෙයක් ‍ඒ මාධ්‍ය ආයතනය තුළ ප්‍රචාරය වෙන්නට බැහැ. දෙවැන්න නම් තමන්ට දැන්වීම් ලබා දෙන මහා පරිමාණ සමාගම්වලින් සිදුවන කිසිම වරදක් ඒ මාධ්‍ය ආයතනයෙන් ප්‍රචාරය වන්නට බැහැ. ඒ වගේම තම ආයතනයේ ව්‍යාපාරික සැලසුම්වලට, තමන් ප්‍රිය කරන දේශපාලන චරිතවලට පහර වදින කිසිම ආකාරයක ප්‍රවෘත්තියක් ප්‍රචාරය වෙන්නත් බැහැ. මේ නිසා උසාවි‍යේ විභාග ‍වෙන නඩු හබ, ප්‍රවෘත්ති සාකච්චා. විවිධාකාර පුවත් තොග පිටින් ජනතාවගෙන් වසං වී යනවා. ‍පහුගිය කාල‍යේ ලංකා‍වේ සිටිය නමගිය ‍‍කෝටිපති‍යෙක් (පසුව ඔහු‍ගේ ව්‍යාපාර ‍ලෝකය ‍දෙදරා ගියා පමණක් ‍නෙ‍මෙයි ඔහුටත් බිරිඳටත් ඉතාම අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාන්නත් සිද්ධ වුණා) මාධ්‍ය ආයතනවලට ‍කොයි තරම් මුදල් දැන්වීම් දුන්නා ද කියනවා නම් ඔහු‍ගේ සභාපතිත්වය දරන බැංකු ව්‍යාපාර, ‍දේපළ ‍වෙළඳාම් විකිණී‍මේ ආයතනවලින් සිදුවුණු කිසිම මහජන පීඩාවක් මාධ්‍ය මගින් ‍හෙළි කරන්නට බැරි වුණා. ඔහු‍ගේ ‍දේපළ ‍වෙ‍ළෙඳාම් ව්‍යාපාර‍යේ දී සිදු වූ සට කපටකම් වලින් පීඩා වින්ද මිනිසුන් දුසිම් ගණනින් මාධ්‍ය ආයතනවලට ඇවිත් තමන්‍‍ගේ දුක කිව්වත් මහජනතාව ‍වෙනු‍වෙන් ‍පෙනී සිටිනවාය කියන කිසිම මාධ්‍ය ආයතනය අන්තිම පිටු‍වේවත් එකම අකුරක් ‍මේ දුක් ගැනවිලි ‍වෙනු‍වෙන් ‍‍‍වෙන් වුණේ නැහැ. කිසිම මාධ්‍ය ආයතනයක කැමරාවක්, මයික්‍රෆෝනයක් ‍මේ අහිංසකයන් ‍වෙනු‍වෙන් එල්ල වු‍ණේ නැහැ. ඒ ව‍ගේම ‍මේ ‍කෝටිපතියා අනුරාධපුර දිස්ත්‍රික්ක‍යේ තන්තිරිමලය ව‍ගේ ඈත ගම් නියම්ගම්වල ජනතාව ගම් පිටින්ම අන්‍ය ආගම්වලට හැරවී‍මේ ව්‍යාපාරයක් ‍ඉතාම සාර්ථකව ‍ගෙන ගියත් සිංහල ‍බෞද්ධයන් ‍වෙනු‍වෙන් ‍පෙනී සිටිනවාය කියන පත්තරවලින්වත් එකම අකුරක් ඒ ගැන ලියැවු‍ණේ නැහැ. ඒ ව‍ගේම ඇතැම් ඇමතිවරුන්‍‍ගේ මිනීමැරුම් නඩු, ‍කොළඹ කුරුඳුවත්‍‍තෙන් ඉඩම් අක්කරය රුපියල් දහ හතර ගණ‍නේ ගත්ත නඩු කිසිවක් ජනතාව ‍වෙනු‍වෙන් ‍පෙනී සිටිනවාය කියන මාධ්‍යවලින් පළ වු‍ණේ නැහැ. ‍මේ නිසා ‍මේ දේවල් කිසිම දවසක, කිසිම තැනක කිසිම ‍වෙලාවක සිදු ‍නොවූ දේවල් විදියට ඉතිහාසයෙන් මැකිලා ගියා.

‍අ‍පේ පාඨකයන්, ‍ප්‍රෙක්ෂකයන් නොදන්නා තවත් එක් ‍දෙයක් ති‍යෙනවා. ඒ තමයි සෑම මාධ්‍ය ආයතනයකම ගුවන් කාලය ඒ ව‍‍ගේම සෑම පත්තර ආයතනයකම පත්තර පිටුවල ඉඩ ප්‍රමාණය තීරණය කරන්‍‍නේ ‍මේ ව්‍යාපාරිකයන් කියන කාරණාව. අ‍පේ රටේ ඕනෑම පුවත්පතක ප්‍රවෘත්ති ‍වෙනු‍වෙන් අදාළ ඉඩකඩ කර්තෘ මණ්ඩලයට දැනුම් ‍දෙන්නේ  දැන්වී‍ම් අංශ‍යෙන් අනුමත වුණාට පස්‍‍සෙයි. ඒ කියන්‍‍නේ දැන්වීම් අංශයෙන් අනුමත ‍වෙලා ලැ‍බෙන සීමිත ඉඩකඩ වලට නිවුස් පුරවනවා මිසක් කර්තෘ මණ්ඩලයට උවමනා විදියට පුවත් පළ කරන්නට කිසිම මාධ්‍ය ආයතනයකින් ඉඩක් නැහැ. ඒ කියන්‍‍නේ ඔබ කියවන පුවත්ප‍තේ ඔබ කියවිය යුත්‍‍තේ කුමන ‍දේවල්, කුමන ප්‍රමාණයකින්ද යන්න තීරණය කරනු ලබන්‍‍නේ ර‍ටේ ව්‍යාපාරිකයන් හා ‍දේශපාලකයන් විසිනුයි. ඔබ සාල‍යේ සිට නරඹන රූපවාහිනි‍යේ, ඔබ ඇහුම්කන් ‍දෙන ගුවන්විදුලි‍යේ, ඔබ මුදල් දී මිලදී ගන්නා පත්තර‍යේ ‍තොරතුරු සටහන් ‍කර ඇත්‍‍තේ ඔබ දැනගත යුතු කරුණු වලට වඩා ඔබෙන් වසන් කළ යුතු කරුණු ‍මොනවාද යන්න ගැන හිතා බලා සීමා කරලාය කියන කාරණය ගැන ඔබට මීට ‍පෙර හිතිලා තිබුණා ද? ‍ලෝක‍යේ ‍ඕනෑම රටක ලොකුම මුද්‍රණ යන්ත්‍රය, ‍ලොකුම පත්තර ‍ගොඩ ධනපතීන් අත ති‍බෙන තාක් කල් මාධ්‍ය නිදහස කියන්‍නේ  හුදු රැවටිල්ලක්ම පමණයි කියලා මාක්ස් කී‍වේත් ඔය අර්ථ‍යෙන්මයි.

ඔ‍බේ වීරයන් බවට පත්‍‍වෙලා ඉන්න ‍දේශපාලකයන් තමන්‍‍ගේ ලස්සන පිංතූරයක් පත්ත‍රේ ඔබ්බවා ගන්න, තමන් පාර්ලි‍මේන්තු‍වේ කතා කළ ‍දෙයකින් ‍හෙඩිමක් දාගන්න, තමන්‍‍ගේ කතාවක් පත්ත‍රේ පළ කරවා ගන්න “ ජනමාධ්‍ය ” ආයතන අස්‍‍සේ ‍රිංගන හැටි දැක්කාම ජනතාව ඉදිරි‍යේ ‍මේ අය ‍පෙන්නන වීරකම් ‍කොයි තරම් හිස් හා පුස් වීරකම් ද කියා හි‍තෙනවා. ඇතැම් ‍දේශපාලකයන් පාර්ලි‍‍මේන්තු‍වේ කතාව ඉවර ‍වෙච්ච ගමන් පත්තර ගැලරියට දුව‍ගෙන එන්‍‍නේ තමන්‍‍ගේ කතා‍වේ පිටපතක් අර‍ගෙන ඒක පළකර ගන්නට පිං‍සෙන්ඩු ‍වෙන්න බලා‍ගෙනයි. ‍මේ අරමුණ ඇතිව ඔය කියන ‍දේශපාලකයන් මාධ්‍යයට සම්බන්ධ පිරිසට ප්‍රිය සාද පවත්වනවා. තෑගි ‍‍භෝග පිරිණමනවා. ‍මත්පැන් ‍බෝතල් සහිත හැම්පර් එවනවා. ඔබ ඉතා ‍ගෞරව‍යෙන් සළකන, ජාතික වීරයන් යැයි ‍හිතා ‍ගෙන සිටින බො‍හෝ ‍දේශපාලකයන්‍ගේ සැබෑ කල්කිරියාව ඔයාකාරයි. (‍මේ විදියට ප්‍රසිද්ධිය පසුපස හඹා ‍නොගිය මහත්මා ‍දේශපාලන‍යෙන් සපිරි අතිශය අතළොස්සක් වූ සැබෑ ‍රාජ්‍ය තාන්ත්‍රිකයකු ‍ලෙස ලක්ෂ්මන් කදිරගාමර් මහතා‍ගේ නම සිහිපත් කරන්‍‍නේ ඔහුට ‍ගෞරවයක් වශ‍යෙන් ව‍ගේම ඔහු‍ගේ සමීප‍යෙන්වත් තබන්නට සුදුසු තවත් අ‍යෙකු මතකයට නගා ගන්නට බැරි නිසයි).

‍මේ විදියට දේශපාලකයන්ට ක‍ඩේ යා‍මේ උණ මාධ්‍ය ආයතනවල ‍‍කර්තෘ මණ්ඩලවල ‍සේවය කරන පිරිසට විතරක් ‍නෙමෙයි ඒ මාධ්‍ය ආයතනවල ‍සෝදුපත් බැලීමේ අංශය, පිටු සැකසුම් අංශය ව‍ගේ අ‍නෙක් අංශවල ඇතැම් පිරිසටත් පැතිරිලා ගිහින් ති‍යෙනවා. එක්තරා අවස්ථාවක එක්තරා රාජ්‍ය නායක‍යෙක් හතළිස් ගණනක් වූ දැවැන්ත පිරිසක් අර‍ගෙන එක්සත් ජාතීන්‍‍ගේ මහා සම්‍‍මේලනය අමතන්නට පිටත් වුණා. ‍මේ ‍පිරිස‍ගේ සුඛ විහරණය ‍වෙනු‍වෙන් අතිශය සු‍ඛෝප‍‍‍භෝගී ‍හෝටල් සංකීර්ණයක් ව‍ගේම අති දැවැන්ත මහජන මුදලක් ‍වෙන් ‍කෙරුණා. (‍මේ වියදම ඇමරිකානු ජනාධිපතිවරයා‍ගේ කණ්ඩායම ‍වෙනු‍වෙන් වියදම් කළ මුදලටත් වඩා වැඩි අති විශාල මුදලක්). ‍‍මේ අතිවිශාල ධනස්කන්ධය ගැන වචනයක්වත් ‍නොකියා ජනාධිපතිවරයා හතළිස් ගණනක කණ්ඩායමක් අරගෙන එක්සත් ජාතීන්‍‍ගේ සමුළුව අමතන්නට ගිය බව පමණක් එක්තරා ජාතික පුවත්පතක රාත්‍රී සංස්කරණ‍යේ දී මුල් පිටු‍වේ කුඩා ප්‍රවෘත්තියක් ‍ලෙස පළ ‍කෙරණා. ‍මේ පුවත තමන්‍‍ගේ ‍දේශපාලන නායකයාට හානියක් ‍ලෙසින් වටහා ගත්ත පිටු සැකසුම් අංශ‍යේ තැනැත්‍‍තෙක් තමන් ක‍ඩේ යන මන්ත්‍රීවරයකු හරහා අන්ති‍මේ දී ඇමරිකා‍වේ සිටි ජනාධිපතිවරයා ‍වෙත ‍මේ පුවත ගැන දැනුම් දුන්නා. ‍මෙහි අවසන් ප්‍රතිඵලය වු‍ණේ ජනාධිපතිවරයා ඇමරිකා‍වේ සිට (එය පුද්ගලික මාධ්‍ය ආයතනයක් වුවත්) එම මාධ්‍ය ආයතන‍යේ ප්‍රධානියා අමතලා ‍මේ ප්‍රවෘත්තිය වහාම ගලවා දමන ‍‍ලෙස නි‍යෝග කිරීමයි. මාධ්‍ය ආයතනවල ස්වාධීනත්වය, සදාචාරය ක්‍රියාත්මක ‍වෙන ආකාරය ගැන තවත් එක් නිදසුනක් පමණයි ඒ.

සමහර සිද්ධීන් කොයි තරම් සැලසුම් සහගතව සිද්ධ වෙනවාද කියනවා නම් චන්දදායකන් වුණු පාඨක ප්‍රේක්ෂක පිරිසට මේ දේවල් සිද්ධ වෙන ආකාරය ගැන හිතාගන්නටවත් බැහැ.  උදාහරණයක් විදියට කියනවා නම් පහුගිය ආණ්ඩුව කාලයේ මැර දේශපාලනය සම්බන්ධයෙන් නමක් තියපු ගම්පහ පැත්තේ දේශපාලකයෙක් ගැන සති අන්ත ජාතික පුවත්පතක අත දිග හැරලා පහර දීලා තිබුණා. මේ ලිපිය පළවෙලා තිබුණේ ඒ ආණ්ඩුව කාලයේ දීමයි. ඒ ජාතික පුවත්පතත් පැවැති ආණ්ඩුවට හිතවත් පුවත්පතක්. ලිපිය ලියලා තිබුණේත් ඒ ආණ්ඩුවට කඩේ යාමට සැදී පැහැදී සිටින තැනැත්තෙක්. ආණ්ඩුවට හිතවත් පුවත්පතක ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් ගැන මේ විදියට අත දිග හැරලා සම්පූර්ණ පිටුවක් පුරාම පහර දීලා තියෙන හැටි දැක්කම ඕනෑම කෙනෙකුට හිතෙන්නේ ඔය කියන පුවත්පත හරිම අපක්ෂපාතී , ගහන්න ඕන තැනට ගහන කොන්ද කෙළින් තියෙන පත්තරයක් කියලයි. ඒත් ඇත්තම කතාව නම් ඒ ලිපියට අවශ්‍ය කරන සෑම ලිපි ලේඛනයක්ම, සෑම ‍තොරතුරක්ම සපයලා ලියන්නට අවශය කරන උදෙස් පවා ලැබුණේ ආණ්ඩුවේ ඉහළම තැනකින් වීමයි. ඒකට හේතුව අදාළ පුද්ගලයා එම ප්‍රදේශයේ සංවිධායක තනතුරින් පහ කරලා ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ බිරින්දෑ කෙනෙකුට ඒ තනතුර ලබා දෙන්නට තිබුණු උවමනාව නිසයි. මතුපිටින් පෙනෙන ස්වාධීනවත්වය යටින් ගලාගෙන යන දේශපාලන කොන්ත්‍රාත්වල ස්වභාවය ගැන එකම එක උදාහරණයක් විතරයි ඒ.

 

මේ මාධ්‍ය යැයි කියාගන්නා ආයතනවල තමන් හැම දෙයක්ම දන්නවා යැයි හිතාගෙන සිටින මාධ්‍ය ඔස්තාර්ලා අහුරු ගණනින් ඉන්නවා. මුලු ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම සිද්ධ වෙන හැම දෙයක්ම බලාගෙන හිටියා වගේ ලියන ඔය විදියේ ඔස්තාර් කෙනෙක් ගැන තවත් උදාහරණයක් කියන්නම්. තමන් වැඩ කරන පත්තරයට වගේම මේ තැනැත්තාටත් හැම දෙමළ මිනිහාම පෙනෙන්නේ කොටියෙක් වගේ. තමන්ගේ මතවාදයට සමපාත නොවන හැම සිංහලයාම පෙනෙන්නේ එන් ජී ඕ ඩොලර් කාක්කන් වගෙයි. පහුගිය කාලයේ එක්තරා දවසක සිවිල් නීතියක් කඩකළ දෙමළ ජාතික සම්භවයක් සහිත කැනඩා වැසියෙකු කැනඩාවේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. කැනඩාවේ පොලිසිය සම්ප්‍රදායිකව හදුන්වන්නේ RCMP (Royal Canadian Mounted Police) කියලයි. මේ මාධ්‍ය ඔස්තාර් තමන් වැඩ කරන පත්තර ආයතනයේ ඉරිදා පත්තරයේ ප්‍රධාන ප්‍රවෘත්තිය විදියට මේ කතාව ඉදිරිපත් කරලා තිබුණේ කැනඩාවේ අශ්වාරෝහක පොලිසිය ප්‍රබල කොටි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත්තා කියලයි. අශ්වාරෝහක පොලිසියක් කැනඩාවට නැති බව පත්තරයේ කතුවරයා දන්නේත් නැති නිසා මේක පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය විදියට ලොකුම අකුරින් පළවුණා විතරක් නෙමෙයි ෆේස් බුක් මාධ්‍යය ඔස්සේ හැම තැනම පැතිරිලාත් ගියා.

නිර්නාමිකව යමෙකු හදුන්වන්නට අවශ්‍ය වුණාම ඒ තැනැත්තා ජෝන් ඩෝ හෝ ජෝන් ස්මිත් ලෙසත්, කාන්තාවක්  නම් ජේන් ඩෝ නැතිනම් ජේන් ස්මිත් ලෙසත් හැදින්වීම සාමාන්‍ය සම්ප්‍රදායක්. සියල්ල දත් ඔය කියන මාධ්‍ය ඔස්තාර්ගේ  දැනුම කොයි තරම් ද කියනවා නම් ජෝන් ඩෝ නම් වූ තැනැත්තෙකුගේ කුමන්ත්‍රණයක් ගැන අපූරු ප්‍රවෘත්තියක් විතරක් නෙමෙයි විශේෂාංග ලිපියකුත් ඔය කියන පත්තරයේ පළවුණා.  කිසිම ප්‍රවෘත්තියක දිගක්, පළලක්, සත්‍ය අසත්‍ය භාවයක් සොයා බැලීමේ සම්ප්‍රදායක් අපේ මාධ්‍ය යැයි කියා ගන්නා ආයතනවලට නැති නිසා ඕනෑම පල්හෑල්ලක්, ඕනෑම බොරුවක් මහා පුවතක් විදියට මවා පාන්නට පුළුවන්. ඒ ව‍ගේම පුවතක සත්‍ය අසත්‍යතාවය මැන ගන්නට තරම් හැකියාවක් ‍හෝ දැනීමක් ඒ ආයතනවල ප්‍රධානීන්නටත් නැහැ. ප්‍රවෘත්ති වාර්තාකරණය කියන කාර්යය ඉතාම භාරදූර ඒ ව‍ගේම සමාජය ගැන බරපතල අවධානයකින් ‍යුක්තව කළ යුතු කාර්යයක්. ඒත් ‍මේ කාර්යයෙහි භාරදුරත්වය හරිහැටි වටහා ගන්නට සමත් ‍වෙච්ච එකම මාධ්‍ය ආයතනයක්වත් ලංකා‍වේ ති‍යෙනවා කියලා හිතන්න බැහැ. ‍අපාරධ සම්බන්ධ වාර්තාකරණය විතරක්ම ඊට ප්‍රමාණවත්. ( ‍මේ ගැන ‍වෙනම ලිපියක් ‍මේ බ්‍‍ලොග් අඩවි‍‍යේ ති‍යෙනවා).

මාධ්‍ය භාවිත‍යේ ති‍‍යෙන ‍මේ අශ්ලීචාර ස්වභාවය නිසා සැබෑ උගතුන් මාධ්‍ය හා ගනු‍දෙනු කිරීම මුළුමනින්ම නවතා දමා අවසන්. ‍සෑම සියලු ක්‍‍ෂේත්‍රයකම සැබෑ උගතුන් සහ ප්‍රවීනයන් මාධ්‍යවලින් ඈත් වී තමන්‍‍ගේ නිර්මාණ හා පත ‍පොත මගින් පමණක් ජනතාවට ළංවී ඇති නිසා හිස් සහ ‍බොල් මිනිසුන් පත්තර පිටු පුරවනවා. රූපවාහිනී කැමරා ඉදිරි‍යේ ‍පෙනී සිටිනවා. ‍‍‍‍මේ නිසා හිස් ‍බොල් මිනිසුන් සැබෑ උගතුන් ‍ලෙස ජනතාව සිතා‍ගෙන සිටිනවා. ‍මේ අය කියන ‍දේවල් පරම සත්‍යයන් ‍ලෙස අදහනවා. කට ඇරි‍යොත් ජාතික චින්තනය ගැන පමණක්ම නන් ‍දොඩවන හිස් ජාතික චින්තන කරුවන්‍ගේ දරුවන් ඇමරිකා‍වේ සුද්දන්‍‍ගේ සංස්කෘතියට අපූරුවට අනුගත ‍වෙලා ඉන්නවා. සමාජවාදය ගැන මාධ්‍ය ඉදිරි‍යේ වචන වමාරන වාමාංශික නායකන්‍‍ගේ දරුවන් ධනවාද‍යේ ඉහළම තල‍යේ රටවල සුවපහසු ජීවිත ‍ගෙවනවා. ජාතිකත්වය, අ‍පේකම, සිංහල ‍බෞද්ධකම ගැන හූල්ලමින් ජාතිවාදය ආගම්වාදය වපුරන දේශපාලකයන්‍ ‍කෝටි ගණන් මහජන මුදල් නාස්ති කරමින් වි‍‍දෙස් සංචාරවල නිරත ‍වෙනවා. ඇමරිකා‍වේ කැසි‍නෝ හල්වල කැසි‍නෝ සූදුවේ නිරත‍ ‍වෙනවා.

මාධ්‍යවේදීන් කියන පිරිස ගත්තත් ‍මේ අය ගැන මිනිසුන් හිතා‍ගෙන සිටින ප්‍රතිරූප ‍කොයි තරම් හිස් සහ හරසුන්ද යන්න සැබෑ තතු දන්නා අය දන්නවා. මානව දයාව ගැන සිත කම්පා කරවන තීරු ලිපි, රචනා ලියන‍ ‍බො‍‍හෝ ‍දෙ‍නෙකු තුළ මානව දයාව තබා අඩුම තරමින් සරල මනුස්සකමවත් ගෑවිලා නැහැ. ජීවිතය ගැන ආදර‍යෙන් හිතන්නට ආරාධනා කරන , මනුෂ්‍යත්වය අත්ල උඩ තබා‍ගෙන ‍පෙන්වා ‍දෙන ලේඛකයන් රහ ‍මෙර ‍පොදක් පානය කළාට පස්‍‍සේ හැසි‍රෙන්‍‍නේ තිරිසනුන්ටත් වඩා අන්ත විදියට. ආගම දහම ගැන විතරක්ම ලියන බො‍හෝ ‍දෙ‍නෙකු‍ ගත කරන්‍‍නේ අසම්මත ජීවන රටාවන්. ආගම දහම කියන්‍‍නේ ජාතිකත්වය ව‍ගේම ‍හොදට විකුණන්නට පුළුවන් ඉතාම ලාභ උපදවන මාර්ගයක්. පුවත්ප‍තේ පළකළ ලිපි එකතු කර සිත නිවන්නට ‍පොත් ‍පෙළක් පළ කළ එක්තරා මාධ්‍යවේදියෙක්‍‍ගේ (‍මේ ‍පොත් ‍පෙළ දහස් ගණනින් අ‍ලෙවි ‍වෙනවා) ‍නොහික්මුණු ජීවන රටාව විලි ලැජ්ජාවක් ඇති කවර ‍කෙනෙකුටවත් දරා ගන්නට බැරි තරම් පිළිකුල්. ‍මේ ‍පොත් ‍පෙළට පදනම් ‍වෙච්ච හිමි නම පවා පුවත්‍ප‍තේ ලිපි ‍පෙළ ආරම්භ‍යේ දීම තමන් කිසිදා කිසිදිනක වන‍යෙන් පිටතට ‍‍නොවඩින බවත්, එ‍මෙන්ම තමන්‍‍ගේ නම ‍හෙළි ‍නොකරන බවටත් ප්‍රතිඥා දී තිබුණත් ‍පොත් ‍පෙළ අ‍ලෙවි ‍‍වෙද්දී උන්වහන්‍‍සේ  වන‍යෙන් සමුඅර‍ගෙන දැන් ප්‍රසිද්ධිය පසුපස හඹා යන තවත් එක් යූ ටියුබ් තාරකාවක් බවට පත්‍‍වෙලා. මීට දශක කිහිපයකට ‍පෙර ‍මේ විදියටම පුවත්ප‍තේ ලිපි එක්‍‍කරලා දහස් ගණනින් අ‍ලෙවි වුණු ‍පොත් ‍පෙළක් ප්‍රකාශයට පත් කළ ඔය විදි‍යේම මාධ්‍යවේදි‍යෙක් ඒ මුදලින් තමන්‍‍ගේ සුඛ විහරණයට මාලිගාවක් තනා ගත්තා. (‍මේ මාළිගාව දන්නා හඳුනන පත්තර මිතුරන් අත‍රේ ප්‍රසිද්ධ වු‍ණේත් ‍පො‍තේ නමින්මයි) ආගම දහම ගැන ‍මේ පුද්ගලයා රටටම බණ කියද්දී බාල වයස්කාර දැරියක් ‍මේ පුද්ගලයා‍ගේ නිව‍සේ ‍මෙ‍හෙකාර කම් කරමින් ‍නොවිදිනා දුක් වින්දා.  ‍මේ විදි‍යේ උදාහරණ කියන්නට ගි‍යොත් ‍මේ ලිපි‍යේ ‍කෙළවරක් දකින්නට ලැ‍බෙන්‍නේ  නැහැ.

edited

එකම පුවත ගැන අපේ “ජාතික ” පත්තරවල අපූරු ගණන් හැදිල්ල

ජනමාධ්‍ය යැයි කියාගන්නා ‍මේ ව්‍යාපාර ආයතන උ‍දේ පාන්දරින් දවස අරඹන්‍‍නේම මිත්‍යාව සමාජය පුරා වපුරමින්. ‍ජ්‍යොතිෂකරුවන්, අධ්‍යාත්ම‍වේදීන්, හක්ගෙඩි ‍බෙල්ලන් තිරය ඉදිරිපිට ති‍යා‍ගෙන මාධ්‍යවේදීන් යැයි කියාගන්නා ගිරවුන් කරන විගඩම හරිම අජුවක්. ‍බො‍හෝ‍ ‍දෙ‍නෙක් පත්තර‍යේ අ‍නෙක් පිටු කියවන්නටත් ‍පෙර කියවන්නට සැදී පැහැදී සිටින ලග්න පලාපල පවා ‍බො‍හෝ විට ‍ගෙවී ගිය සති‍යෙන් එ‍හෙමත් නැතිනම් ‍ගෙවී ගිය මාස‍යේ පුවත්ප‍තේ පළවූ පිටුවකින් ඒ විදියටම ‍‍‍‍ගෙඩි පිටින් අර‍ගෙන කට් ඇන්ට් ‍‍පේස්ට් කරන එකක් බවවත් ‍අ‍පේ පාඨකයන් දන්‍‍නේ නැහැ. ‍මේ මාධ්‍ය ව්‍යාපාර ආයතන පිරිත පවා විකාශය කරන්‍නේ  එහි ආර්ථික අර්ථ‍යෙන් මිස ආගමික අර්ථ‍යෙන් ‍‍‍නොවන බව වටහා ගන්නට තවමත් ‍බො‍හෝ ‍දෙ‍නෙකු සමත් ‍වෙලා නැහැ. එ ව‍ගේම රට, ජාතිය, ආගම ගැන පත්තර පිටු ‍පුරා ලිපි ලියැ‍වෙන්‍‍නේ, ගුවන් කාල සීමාවන් ‍වෙන් ‍කෙ‍රෙන්‍නේ තමන්‍‍ගේ ‍ආදායම් මඩිය තරකරගන්නට මිසක් සැබෑ ‍දේශ‍ප්‍රේම‍යෙන්වත් සැබෑ ජාතිකත්ව‍යෙන්වත් ‍නෙ‍මෙයි කියන එක අප වටහා ගන්නට අපි අසමත් වන තරමටම ‍මේ රැවටීම හැමදාමත් සිද්ධ ‍වේවී. ධනේශ්වර ‍වෙ‍ළෙඳාම කියන්‍‍නේ පූර්ණ රැවටීමක් කියලා ‍ට්‍රොට්ස්කි කී‍වේත් මේ නිසයි. ‍‍මාධ්‍ය ආයතන කියන ව්‍යාපාරික මධ්‍යස්ථාන ‍මේ අපූරු ජවාරම කර‍ගෙන යන්‍නේ දේශ ‍ප්‍රේමය , ජාති ආලය, වි‍දේශ කුමන්ත්‍රණ ‍මේ හැම ‍දෙයකින්ම ඔබ අප රවටන ‍දේශපාලකයන් සමග අත්වැල් බැද‍ගෙනයි. ඇස් පිය ‍නො‍හෙලා ඔබ දෑස් දල්වා ‍ගෙන සිටින රූපවාහිනී විවාද,  ‍දේශපාලන සාකච්ඡා ‍මේ හැම ‍දෙයක්ම ‍මේ ඇස්බැන්දු‍මේම කොටසක්. ‍මේක ‍කොයි තරම් සාර්ථකව සිද්ධ ‍වෙනවාද කියනවා නම් ‍‍ලොමු දැහැගන්වන, හිත කීරිගස්සන ‍මේ විදි‍යේ ‍දේශපාලන සාකච්ඡා, සංවාද, වාද විවාද පැවැත්‍‍වෙන රූපවාහිනී තිරය ඉස්සරහ අ‍පේ ජනතාව ‍නෙත් දල්වා‍ගෙන බලා‍ගෙන ඉන්‍‍නේ ‍හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක් බලා‍ගෙන ඉන්නවා ව‍ගෙයි. ‍මේක අවුරදු ගණනාවක්ම හරිම යස අපූරුවට සිද්ධ ‍වෙනවා. අන්තිමේ දී අපිත් එතැනමයි. රටත් එතැනමයි. එත් රූපවාහිනී ආයතනය තමන්‍‍ගේ මඩිය තර කරගන්නවා.  ඒ ව‍ගේම ‍ඔබට ‍පෙ‍නෙන්නට ‍රූපවාහිනී තිරය ඉස්සරහ ගහමරා ගත්ත ‍දේශපාලකයන් මොන ආණ්ඩුව ආවත් බල‍යේ ඉන්නවා. ඇමැති ධුර දරනවා. ‍‍‍මේක ‍බො‍‍හොම දැනුවත්ව සිද්ධ ‍වෙන ජාවාරමක්. මහ දවල් සිදු‍කෙ‍රෙන මං‍කොල්ලයක්.

වස‍රේ විශිෂ්ටතම මාධ්‍යවේදියා, වස‍‍‍රේ විශිෂ්ටතම ප්‍රවෘත්තිය, විශිෂ්ටතම ඡායාරූපය, විශිෂ්ටතම වි‍ශේෂංග ලිපිය ඔය විදි‍යේ වස‍රේ විශිෂ්ටතම මාධ්‍යකරුවන්ට සම්මාන ‍දෙන තවත් විගඩමක් අ‍පේ ර‍ටේ ති‍යෙනවා. ‍මේ ‍දේවල් දකිද්දී ඔබට හි‍තෙනවා ඇති කතුවරුන්‍‍ගේ  සංසදය එ‍හෙමත් නැතිනම් පුවත්පත් මණ්ඩලය ‍ව‍සර පුරා රට තුළ පළ‍වෙච්ච පුවත්පත් ලිපි රචනා, ඡායාරූප ඒ ව‍ගේම රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන් සියල්ල අපක්ෂපාතීව සලකා බලා ඒ ගැන තක්‍‍සේරුවක් කරලා ‍මේ සම්මාන ප්‍රදානය කරනවා කියලා. ඔබ එ‍හෙම හිතා‍ගෙන හිටියා නම් ඔබ මුළුමනින්ම වැරදියි. ‍මේ සියලු සම්මාන ලබා ගන්නට ඕ‍නේ තමන් ඉල්ලලායි. ඒ කියන්‍‍නේ වස‍රේ විශිෂ්ටතම මාධ්‍යවේදියා විදියට සම්මාන ලබන්නට ඔබට උවමනා නම් ඔබ කළ කී ‍දේ සියල්ල ලියලා, ඒවා‍යේ ‍ඡායා පිටපත් අමුණලා “ අ‍නේ මට ඔය සම්මානය ‍දෙන්න කියලා ” ඔබ ඉල්ලා සිටින්නට ඕ‍නේ. ව‍ස‍රේ විශිෂ්ටතම වි‍ශේෂාංග ලිපියට සම්මානය ඔබට උවමනා නම් “ අ‍නේ ‍මේ බලන්න ම‍ගේ ලිපිය ‍කොයි තරම් ‍හොඳද කියලා. ඔය සම්මානය මට ‍දෙන්න ” කියලා ලිපිය අමුණලා සම්මාන ‍දෙන මණ්ඩලයට ඔබ යවන්න ඕ‍නේ. එ‍හෙම යැවු‍වේ ඔබ විතරම නම් ‍සම්මානය ඔබට . තවත් ‍දෙතුන් ‍දෙ‍නෙක් එවුවා නම් ‍ඒ අය අතරින් ‍පොඩි තරගයක් ඔබට ති‍යේවි. විලි ලජ්ජාව කියන බල නහරය ‍ලේවලට සම්බන්ධ ‍වෙලා ති‍යෙන කිසිම ‍කෙ‍නෙකුට ඔය ‍දේ කරන්නට බැහැ. ඒත් මාධ්‍ය කියන ආයතන ඇතු‍ළේ විලි ලැජ්ජාව කියන්‍‍නේ අතිශය ‍නොවැදගත් කාරණාවක් නිසා හැම අවුරුද්දකම ‍බෙර ගහලා, මහා ‍ලොකු ‍‍හෝටලයක් ඇතුළේ ඔය කියන සම්මාන ‍මොනර නැටුම මහා උජාරු‍වෙන් පැවැත්වෙනවා.

‍මේ ලිපියේ මුලදීම කිවුවා ව‍ගේ ‍අපි ‍බො‍‍හෝ ‍දෙ‍නෙක් එකි‍නෙකා හමුවුණාම ‍බො‍හොම බරසාර විදියට වාද විවාද කරන්‍‍නේ, ‍‍ෆේස්බුක් ව‍ගේ මාධ්‍ය ඔස්‍‍සේ රැයක් දවාලක් නැතිව හුවමාරු කරන්‍‍නේ ඔන්න ඔය කිව්ව මාධ්‍ය ව්‍යාපාර ආයතනවලින් එළියට දාන, ඔය කිව්ව විදි‍යේ මාධ්‍ය ඔස්තාර්ලා‍ගේ පෑන් තුඩින් ගිලිහිලා යන වැල්වටාරම්. ෂර්මර් ‍පෙන්වා දුන්නු විදියටම සිහිබුද්‍ධි‍යෙන් වටහා ගන්න පුළුවන් ‍දේවල් ‍හොඳ හැටි ‍පෙ‍නෙන්නට තිබිය දීත් ‍ඔය විදි‍යේ මනස්ගාත පසුපස්‍‍සේ අපි දුවන්‍‍නේ වසර මිලියන ගණනාවකට පෙර ඉඳන් තවමත් අපි තුළ ඉතිරි‍වෙලා පවතින “ තිරිසන් ලක්ෂණයක් ” නිසයි. ‍මේ ලක්ෂණය දූපත් මානසිකත්වයක ගිලිලා ඉන්න අ‍පේ ර‍ටේ ජනතාව‍ගේ ‍බො‍හොම වැඩියි. ‍තමන්‍‍ගේ දරුවන්ට ‍පොත්පත් අර‍ගෙන ‍දෙන්න සල්ලි නැතිව නිල්වලා ගඟට පනින අම්මලා ඉන්න රටක ඒ ප්‍රවෘත්තිය හරිම අභිරුචි‍යෙන් වර්ණනා කරනවාට වඩා ‍දෙයක් සැබෑ මාධ්‍ය සම්ප්‍රදායක් ති‍බෙන රටක නම් අනිවාර්ය‍යෙන්ම සිද්ධ ‍වෙනවා. ‍මේ හැම මාධ්‍යයකම පාඨකයන් එ‍‍හෙමත් නැතිනම් ‍ප්‍රෙක්ෂකයන් ‍වෙලා ති‍යෙන්‍‍නේ ර‍ටේ ඡන්දදායකයන් බවත් අමතක කරන්නට එපා. ‍මේ නිසා පොත්පත් අරන් ‍දෙන්න සල්ලි නැතිව අම්මලා ගඟට පනින රටක ඊළග චන්ද‍යෙන් බලයට පත්‍‍වෙන්න ව්‍යවස්ථා සං‍ශෝධන ව‍ගේ බරසාර ‍දේවල් කරන්නට ඕ‍නේ නැහැ. රබර් ‍සෙ‍රෙප්පු ‍බෙදා දුන්නත් ඒ ‍හොදටම ඇති. අ‍පේ ර‍ටේ ඉතාම ඉක්මනින් ටයිටැනික් සංස්කෘතියක්, ස්ටාර් ‍වෝස් සංස්කෘතියක් ඇති වුණත් ඒ ව‍ගේ ඉක්මනින් ඩිස්කවරි සංස්කෘතියක් හැ‍දෙන්‍‍නේ නැත්‍‍තේත් සැබෑවත්, ‍බොරුවත් ‍වෙන් කරලා හඳුනා ගන්නට තරම් ‍‍මෝරපු මනසක් අප බො‍හෝ ‍‍දෙ‍නෙකු තුළ තවමත් නැති නිසයි. ‍මේ නිසා අපි හැම ‍දෙ‍නෙක්ම ජීවත් ‍වෙන්‍‍නේ “ දිව්‍ය ‍ලෝ‍කේ ළඟයි ‍පේන මා‍නේ ” කියන ෆැන්ටසිය අස්‍‍සේ හිර‍වෙලා. ‍මේ මායාවේ අපි මුලා‍වෙලා ඉන්‍‍නේ මැතිවරණ කාල‍යේ දී විතරක් ‍නෙ‍මෙයි, ජනමාධ්‍ය මගින් හසුරුවන අ‍පේ මුළු ජීවිත කාලය පුරාම අපි ‍මේ මුලාවට ‍ගොදුරු ‍වෙලා ඉන්නවා.

‍මේ හැම ‍දෙයක්ම අවසාන‍යේ කියන්නට ති‍‍යෙන්‍‍නේ ජනමාධ්‍ය යන්න හු‍දෙක් ප්‍රවෘත්ති අර්ථයෙන්ම පමණක්ම ‍තේරුම් ගන්නට යාම බරපතල අපරාධයක් එ‍හෙමත් නැතිනම් බරපතල වරදක් කියන කාරණාවයි. වඩාත්ම වැදගත් වන්‍‍නේ මාධ්‍ය‍ය කියන ‍මේ ව්‍යාපාරය යටන් දිව යන ‍දේශපාලනය ‍තේරුම් ගැනීමයි. ‍මේ ‍දේශපාලනය ‍තේරුම් ගන්නට ඔබ සමත් වු‍ණොත් ඔබ වචන‍යේ පරිසමාප්ති‍යෙන්ම නිදහස් මිනි‍හෙක්. නැතිනම් ඔබටත් සිද්ධ ‍වෙන්‍‍නේ තමන්‍‍ගේ යදම්වලට ආදරය කරන වහ‍ලෙක් බවට පත්‍‍වෙන්නයි.

 

Advertisements

ඔය දොරගුළු හැර දමන්න…!

Jail-Cell-With-Open

බොහොම කාලයක ඉදලා දන්න කියන හාමුදුරුනමක් ගැන පුංචි කතාවක් මුලින්ම කියන්න තියෙනවා. තරුණ වයස පසුකරලා බොහොම කාලයක් නැති වුණත් මේ හාමුදුරුවන් බණ දේශනා කරන්න හරිම දක්ෂයි. බණ අහන ඕනැම කෙනෙකුට උන්වහන්සේ මතුකරන දහම් කරුණු වෙනුවෙන් හිත ඇදිලා යන්නේ නිරායාසයෙන්මයි. ඒකට හේතුව උන්වහන්සේගේ හැම ධර්ම දේශනාවක්ම බොහොම හරවත් ගැඹුරු දහම් කරුණුවලින් පිරුණු එකක් වීම හින්දයි. මවිබිමෙන් ඈත්වෙලා දුරු රටකට ආවට පස්සේ හාමුදුරුවන්ව ඇසුරු කරන්නට නොලැබුණත් පහුගිය ජනාධිපතිවරණ කාලයේ දී ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ නැවත හාමුදුරුවන් එක්ක සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබුණා. ඒත් ජනාධිපතිවරණ කාලයේ දී. එක්තරා අපේක්ෂකයකු වෙනුවෙන් උන්වහන්සේ කොයි තරම් දුරට දේශපාලන දැන්වීම් තමන්ගේ පිටුව හරහා පළ කළාද කියනවා නම් එදා මා දැන හදුනා සිටි ස්වාමීන් වහන්සේ ම ද මේ කියලා හිතෙන තරමටම මට පුදුම කම්පාවක් ඇති වුණා. අතීතයේ උන්වහන්සේ කෙරෙහි තිබුණු පැහැදීම නැති කරගන්න කැමති නොවුණු නිසාම ෆේස්බුක් පිටුව හරහා උන්වහන්සේ සමග කිසිසේත්ම සම්බන්ධ නොවී සිටින්නට මං උත්සාහ කළා.

ඒත් මහ මැතිවරණ උණුසුමත් එක්ක උන්වහන්සේ ආපහු සැරයක් තමන්ගේ අපේක්ෂකයා වෙනුවෙන් කරන කියන දේවල් දැක්කම ඇත්තෙන්ම මට ඇතිවුනේ කම්පාවටත් වඩා කණගාටුවක්. “අත් හැරීම” ගැන බොහොම ගැඹුරින් ධර්මය දේශනා කළ උන්වහන්සේ ගිහියන්ටත් වඩා දුර ගිහින් එක්තරා පුහුදුන් දේශපාලකයෙකු මේ තරම්ම “බදා වැළද ගන්නට” ගන්නා උත්සාහය උන්වහන්සේගේ සසර ගමන කොයි තරම් දුරකට ඇදගෙන යනවාද කියන කරුණ නිසයි ඒ. බල තණ්හාවෙන් ඔද වැටුණු පිරිහුණු දේශපාලකයකු වෙනුවෙන් මේ ස්වාමීන් වහන්සේ කොයි තරම් දුරකට තමන්ගේ වටිනා කාලය ෆේස් බුක් පිටුව ඔස්සේ මිඩංගු කරනවා ද කියනවා නම් උන්වහන්සේගේ නම ඇහුණමත් බෙහෝ වෙලාවට මට මතක් වෙන්නේ අර දේශපාලකයාගේ කපටි මුහුණයි.

බොහොම ගැඹුරින් ධර්මය දේශනා කළත් තමන් දෙසන දහමින් අල්පයක් තමන්ගේ ජීවිතයට සමීප කරගන්නට උන්වහන්සේ අසමත් වුණේ ඇයි ද කියන කරුණ උන්වහන්සේ නිතර හුවමාරු කරන දේශපාලන රැස්වීම්වල පිංතූර දකින හැම මොහොතකම මට හිතෙනවා. දහම් කාරණාවලදී බොහෝ දැනමුත්තකු වන උන්වහන්සේ දේශපාලනයේ දී මිසදුටු ගිහියෙකුටත් වඩා පහළ තැනකට ඇද වැටෙන හැටි දකිද්දී බොහෝ දේවල් ගැන ඉතාම ගැඹුරින් විශ්ලේෂණය කරන්නට සමත් මගේ ඇතැම් මිතුරන් දේශපාලනයේ දී නියැන්ඩර්තාල් චින්තනයක හිරවෙලා ඉන්න එක ගැන පුදුමයක් නැහැ කියලා හිතුණා.

ජීවිතයේ බොහෝ දේවල් ගැන බොහෝ විචක්ෂණව බලන ඒ වගේම සමාජයේ බොහෝ දේ ගැන දැනුම් තේරුම් ඇති බොහෝ දෙනෙක් දේශාපලනය කියන කරුණේ දී ඉතාම ළද බොළද සුකුමාර චරිත වෙන්නේ ඇයි ද කියන කරුණ ගැන මතුවෙච්ච කුතුහලය නිසාම මේ ගැන සොයා බලන්නට සිත් වුණා. එතැනදී ඇත්තෙන්ම මට දැනගන්නට ලැබුණේ බොහොම සිත් ඇද ගන්නා කරුණු කාරණා ටිකක්.

“දේශපාලනය විසින් ඔබ අන්ත මෝඩයකු බවට පත් කරනු ලබයි”  (Politics Makes You Stupid) කියන කරුණ ඉතිහාසය පුරාම ඔප්පු කර තියෙන බව මං දැනගත්තේ මේ සම්බන්ධ කරුණු කාරණා සොයා බලද්දියි. ඔබ පරිස්සම් නොවුණොත් දේශපාලනය විසින් මුලින්ම විනාශ කර දමනු ලබන්නේ ඔබේ තාර්කික ඥානයයි. ඒ එක්කම යමක් ගැන බුද්ධියෙන් වටහා ගැනීමේ හැකියාව ඔබෙන් ගිලිහී යන්නේ ඔබටත් හොරෙන්මයි. දේශපාලනය විසින් ඔබ අන්ත මෝඩයකු බවට පත් කරනු ලබයි කියන කරුණ වෙනත් විදියකට මෙහෙම කියන්නත් පුලුවන්. අපේ මෝඩකම වඩාත් හොදින් ප්රදර්ශනය වන්නේ දේශපාලනය කියන කරුණේදීයි. (Our Stupidities are Most Exposed in Politics)

විසිවන සියවසේ ලොව සිටි අගනා විද්වතකු වන අයින්ස්ටයින් කිව්ව විදියට විශ්වයටත් මිනිසාගේ මෝඩකමටත් සීමාවක් නැහැ. ඒත් විශ්වයේ සීමාවක් කවදා හරි හොයා ගත්තත් මිනිසුන්ගේ චින්තමය දුබලතාවයන්ගේ එහෙමත් නැතිනම් මෝඩකමේ සීමාවක් හොයා ගන්නට ඉඩක් ලැබෙයිද කියන එක සැකයි කියලා ඔහු කිව්වා.

දේශපාලන ගැතිකම නිසා මිනිසුන් කොයි තරම් මෝඩයන්ට ඇන්දෙනවාද කියන කරුණ පර්යේෂණ මගින් පවා ඔප්පු කරලා තියෙනවා. මිනිස් ස්වභාවය අනුව හැගීම් විශ්වාසයන්ට මුල් තැන දීමේ නැඹුරුවක් අපේ සිත්වල සහජයෙන්ම තියෙනවා. මේ නිසාම මිනිස් ස්වභාවය සිතීමට වඩා මුල් තැන දෙන්නේ විශ්වාසයන්ට හා භක්තියට. යමක් ගැන සිතා බලා සාක්ෂි සහිතව කරුණු කාරණා පිළිගන්නට ස්වභාවයෙන්ම මිනිස් සිත මැලි කමක් දක්වනවා. මේ කරුණ ඉතාම ඉහළින් ඔප්පු වෙන්නේ දේශපාලනයේ දීයි.

යේල් සරසවියේ නීතිය පිළිබද මහාචාර්ය ඩෑන් (Dan Kahan) ‍ගේ මූලිකත්වයෙන් බුද්ධිමය හා තර්කනමය හැකියාව ඉහළින්ම තිබුණු 1111 දෙනෙක් (එක්දහස් එකසිය එකොළහක්) සහභාගි කරගෙන මේ ගැන පර්යේෂණයක් සිදු කෙරුණා. මෙහිදී මේ 1111 දෙනා හට තමන්ගේ තර්ක ඥානය විමසා බැලෙන ගණිත ගැටලු මාලාවක් ලබා දුන්නා. මීට සමගාමීව සරල සමාජ කරුණු කාරණා මතුකර ඒවාට ලබා දෙන පිළිතුරුත් සන්සන්දනාත්මකව විමසා බැලුනා. පර්යේෂණයේ ප්‍රතිපල සිත් ඇදගන්නා සුලුයි. තර්ක ඥානයෙන් ගණිත ගැටලු බොහොම දක්ෂ විදියට විසදන්නට පුලුවන් වුණු මේ පිරිසෙන් බොහෝ දෙනෙකු සරල සමාජ කරුණු වලදී ඒ තර්ක ඥානය යොදා ගත්තේ නැතිම තරම්. ඇත්තටම කියනවා නම් සරල සමාජ කරුණු වලදී ඒ අය හිටියේ තාර්කික හැකියාවක් නැති සමාජයේ ඇතැම් පිරිස්වලටත් වඩා බොහොම පසුගාමී තැනක. තමන්ගේ දේශපාලන අදහස්වලට පටහැනිවන කරුණු වලදී තම තර්ක බුද්ධිය පවා ඔවුන් අතින් යටපත් වන හැටි මේ පර්යේෂණය මගින් මනාව ඔප්පු කොට පෙන්නුවා.

මිනිස් මොළය සම්බන්ධයෙන් සොයා ගත් ඉතාම සිත් කළ කිරවන සුලු සොයා ගැනීම විදියට තමයි කවුරුන් හෝ මේ පර්යේෂනයෙන් සොයා ගත්ත කරුණු ගැන අදහස් දක්වලා තිබුණේ.

බොහොම දෙනෙක් ළග තියෙන දේශපාලන ගැතිකම නිසා බොහොම දේවල් විනිවිද දකින්නට තියෙන හැකියාව එහෙමත් නැතිනම් යමක් පැහැදිලිව දකින්න තියෙන හැකියාව බොද වෙලා යනවා කියන එක පිළිගන්නට වෙන කාරණයක්. බොහොම මෑතකදී එළි දැක්ක මනෝ විද්‍යා පර්යේෂණයක පැහැදිලි නිගමණයකට ඇවිත් තිබුණු එක් කාරණාවක් වුණේ අප බොහෝ දෙනෙක් තුළ තියෙන දේශපාලන ගැතිකම නිසා එහෙමත් නැතිනම් කිසියම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් කෙරෙහි තියෙන විශේෂ ළැදියාව නිසා අප තුළ නිසර්ගයෙන් පිහිටා තිබෙන මූලික තර්කනමය හැකියාවන් පවා විනාශ වෙලා යන බවයි.

මේ පර්යේෂණයේ ප්‍රතිවල ලංකාවේ අපට නම් සියයට සියයක්ම වලංගුයි. දේශපාලනය කියන කරුණේ දී පූජකවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන් විතරක් නෙමෙයි වීදී සරන්නියන් පවා එකම මඩ ගොහොරුවක එකම කරවටක ගිලී ඉන්නා හැටි දැක්කම “අනේ අපොයි” කියලා හිතෙන තරම්. නරා වළකට වැටිලා තියෙන අපේ රටේ දේශපාලනය කියන්නේ බල පොරයකට පොරකන බලු පොරයක් කියන එක වටහා ගන්නට බොහෝ දෙනෙක් අසමත් වෙලා තියෙන්නේ අර පර්යේෂණයෙන් ඔප්පු කළා වගේ දේශපාලනය විසින් ඔබව අන්ත මෝඩයකු බවට පත් කරනු ලබයි කියන කියන කාරණය නිසයි. කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු කියන පරපුරක් එදා ඉදන්ම අපේ රටේ බිහිවෙලා තියෙන්නේ ඔය කියන අන්ත මෝඩ චින්තන ධාරාව පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන නිසයි. මේ හින්දා හරි දේ හරි විදියටත් , වැරදි දේ වැරදි විදියටත් දකින්න බැරි තරමට අපේ ඡන්දදායකයන් එකම නුගතුන් රැළක් බවට පත් වෙලා තියෙනවා. තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා කවර වැරැද්දක් කළත් අනෙක් පක්ෂයේ අපේක්ෂකුගේ වරදක් පෙන්වා වරද වරදින් සමාන කොට ඔනෑම තත්කඩියෙකු දේශප්රේමී අරවින්දයක් බවට පත් කරන්නට අපේ චන්ද දායකයන් පෙළඹෙන්නේ ඒ නිසයි.

වැරදි නිවැරදි යන්න සමාජයක තීරණය වෙන්නේ ඒ ඒ සමාජ සංස්කෘතීන්වල තියෙන ආවේණික ලක්ෂණ අනුවයි. මේ නිසාම කිසියම් සමාජයක හරි දේ වැරදි වෙන්නවත් , වැරදි දේ හරි වෙන්නවත් බැහැ. කවර දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් දූෂකයා දූෂකයාමයි. ටෙන්ඩර් මගඩියෙන් සියයට දහයක කොමිස් ගසා කන්නා කොමිස් කාක්කාමයි. පොදු දේපළ අයථා ලෙසින් පරිහරණය කරන්නා රටේ කවර තරාතිරමක නායකයකු වුවත් ඔහු හෝ ඇය තක්කඩියකුම වන්නේමයි. කුඩු එතනෝල් ගෙන්වන්නා කවර පක්ෂයක් නියෝජනය කළත් සමාජ පිළිලයක්මයි. දේශප්රේමය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පාවිච්චි කරන්නා සමාජයෙන් නෙරපා දැමිය යුතු නරුමයෙක්මයි. ඒ වගේම කවර දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් යහපත් අරමුණු නියෝජනය කරන්නා පිදිය යුත්තෙක්මයි. ඒත් කණගාටුවට කරුණ වන්නේ මේ අතිශය සරල කාරණාව සමාජයේ සිටින බොහෝ පිරිසකට කොහෙත්ම වටහා ගන්නට අමාරු කරුණක් වීමයි. ඒ ඇයි….? පිළිතුර බොහොම සරලයි. දේශපාලනය විසින් ඔබ අන්ත මෝඩයකු බවට පත් කර තිබීමයි ඒ. හරබර පොත පත ලියන විද්වතුන්, මහා දැනුම් සම්භාරයක් ඇතැයි කියන ආචාර්ය මහාචාර්යවරුන්, බුදු දහමේ ගැඹුරු කරණු සිල්වතුන්ට දේශනා කරන අර මං මුලින්ම සදහන් කළා වගේ හිමිවරුන් වෙනත් ආගම්වල පූජකවරුන්, සමාජයේ බොහෝ වැදගත් තනතුරු හොබවන වෘත්තිකයන් මේ හැම දෙනාම දේශපාලනය කියන කරුණේ දී ඇගිලි උරණ කිරි සප්පයන්ටත් වඩා අන්ත තොත්ත බබාලගේ ගනයට වැටෙන්නේ මේ නිසයි.

මේ කරුණ ගැන කිසිසේත්ම සරලව හිතන්නට බැහැ. ඒකට හේතුව මේ කරුණ නිකම්ම නිකම් දේශපාලන කරුණක් නොවන නිසා. ඇත්තෙන්ම සමාජයක බහුතරය සිය කැමැත්තෙන්ම මේ විදියේ දේශපාලන අද බාලයන් බවට පත්වීම ජීවිතයත් මරණයත් අතර ඇති සටනක්. ඒකට හේතුව ලංකාව වගේ රටක දේශපාලකයා සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙකු බවට පත් ව සිටින නිසාම සමාජ දේහයේ සෑම අංශයකටම අණ විණ කරන්නට මේ දේශපාලකයන් සමත් වන නිසයි. 1948 වකවානුවේ දී අය වැය අතිරික්තයක් තිබුණු රටක උපදින්නට සිටින දරුවා පවා ඩොලර් මිලියන ගණනින් ලොව හතර දිග්භාගයට ණය කරුවන් බවට පත් වුණු ආශ්චර්යවත් රටක අප පුරවැසියන් වී ඇත්තේ මේ නිසයි. මේ නිසාම මේ දූපතේ වෙසෙන ඔනෑම අවස්ථාවාදී තක්කඩියෙකුට ජනතා නියෝජිතයකු වන්නට වරම් ලැබිලා තියෙනවා.

මේ නිසා මේ දූපතේ වාසය කරන දූපත් වාසීන් පාලනය කරන්නට බිහිවෙන්නේ අපූරු ආකාරයේ ජනතා නියෝජතයින්. රජයේ සේවකයන් ගස් බැද දඩුවම් දෙන පාදඩ දේශපාලකයන්, රටටම කුඩු ගෙන්වමින් ගරුතර ස්වාමීන් වහන්සේලා අතින් පිරිත් නූල් බැදගන්නා පාපතරයින්, රෙදි ඇදීමට වඩා රෙදි ගලවා නටන්නට හුරු පුරුදු වූ නැට්ටුක්කාරියන්, සිංදු කියන මහ ඇමැතිවරුන් , සැමියා මළ සොවින් වැළපෙන වැන්දඹුවන්, කෝච්චිවල මාල කඩන මංකොල්ලකරුවන්, සර්පිනා වයන ජනාධිපති උපදේශකවරුන්, ඉහළම ධනපති දේශපාලනයේ නියැළෙන වාමාංශික සහෝදරවරුන්, අප්ප වෙනුවට පුතණ්ඩියන් විතරක් නෙමෙයි මෙකී නොකී ඕනෑම පල් හොරෙකුට තමන්ව විතරක් නෙමෙයි තමන්ගේ දූ පුතුන්ගේ අනාගතය පවා සින්නක්කරව ලියා දෙන්නට තරම් අපේ මේ දූපත්වාසී චන්දදායකයින් සැදී පැහැදී සිටින්නේ මේ දේශපාලන ධාරාව විසින් සමාජයක් විදියට අපි හැමෝම අන්ත මෝඩයන්ට අන්දලා තියෙන හින්දයි.

ඉතින් මේ තත්ත්වයෙන් මිදෙන්නට මගක් නැද්ද…? මගක් තියෙනවා විතරක් නෙමෙයි ඒ මග අනුගමනය කරන්නත් හරිම පහසුයි. ඒකට මුලින්ම දේශපාලනය කියන කරුණේ දී තමන් ඉන්නේ කොතැනද කියන කරුණ වටහා ගන්නට ඕනෑමයි. දේශපාලන සිරගෙයක් ඇතුළේ සිය කැමැත්තෙනම් සිරගත වෙලා ඉන්න කෙනෙකුට කූඩුවේ දොර හරින යතුර අතට දුන්නත් වැඩක් නැහැනේ. හරියට අර මාක්ස් කිව්වා වගේ වහල් භාවයෙන් මිදෙන්නට නම් මුලින්ම කරන්නට ඕනේ තමන් වහළෙක් බව හදුනා ගන්න එකයි. එක් එක් දේශපාලන අනාථයන් වෙනුවෙන් කණ වැල අල්ලන්ට නොගිහින් යමක් තර්ක ඥානයෙන් විමසා බලා හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින්නට උත්සාහ කරනවා නම් ඔබව තව දුරටත් මෝඩයාට අන්දන්නට කිසිම දේශපාලකයකු සමත් වෙන්නේ නැහැ. සරලව කියනවා නිල් රතු කොළ පාට ඇස් කන්නාඩි වලින් නොබලා දූෂකයා දූෂකයාම විදියට දකින්නට තරම් අපේ ඇස් පෙනීම දියුණු කරගැනීම කියන කරුණයි ඒ. එහෙම වුණොත් ඕනැම තක්කඩි දේශපාලකයෙක් වර්ණ අන්ධතාවයකින් තොරව හදුනා ගන්නට අපිට හැකිවේවි.

ඔබ ‍බුදුදහම අනුගමනය කරන්නෙක් නම් මේ කරුණේ දී කාලාම සූත්රය තරම් වටිනා වෙනත් කිසිවක් ඔබට කොයි කවර තැනකින්වත් සොයා ගන්නට නොහැකි වේවි. තමන්ගේ තර්ක ඥානය අන් දේවල්වලින් යටපත් කරගන්නට ඉඩ නොදිය යුතු බව බුදුන් වහන්සේ දේශනා කළේ නවීන පර්යේෂණවලින් මේ කරුණු හෙළිදරව් වන්නට අවුරුදු දහස් ගණනකට පෙරයි. තමන්ගේ විචාර බුද්ධිය පාවිච්චි කිරීමේ දී ඔබ කිසිවකුගේත් චින්තනමය වහළෙක් වන්නට ඇවැසි නැහැ. ඒකට හේතුව මහාචාර්යවරුන් , ආචාර්යවරුන් කියන ඔය කොයි කවුරුත් දේශපාලනය කියන කරුණේ දී දුගද හමන මඩ වගුරක එරිලා ඉන්න නිසයි. ඒ වගේම ලංකාවේ දේශපාලනයේ දී බෙහොම ඉක්මණින් හිත පපුව පිච්චිලා යන තවත් කොටසක් ඉන්නවා. ඒ තමයි කලාකරුවන් කියන පිරිස. මේ කියන්නේ හැමෝම ගැන නෙමෙයි. තමන්ගේ හෘදය සාක්ෂියට එකගව කටයුතු කරන අවංක කලාකරුවන් පිරිසකුත් වාසනාවකට වගේ තවමත් ඉතිරි වෙලා හිටයත් බහුතර පිරිස ඒ කලාකරුවන්ගෙන් බැහැර වෙච්ච “නලාකරුවන්” පිරිසක්. ආණ්ඩුවේ සැරසිලිකාර උත්සව වලට නැටුමක් දෙකක් පෙන්නලා කෝටි ගණනින් මුදල් හම්බ කරගත්ත පිරිසකට ඒ මුදල් කුට්ටි අහිමි වෙලා යද්දී මහා ලොකු මානව දයාවක් මතුකරගෙන ඉදිරියට එන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. පිනට පඩි ගන්න ලැබෙන ජනාධිපති උපදේශක තනතුරක්, සංස්ථා සභාපතිකමක්, මහ ඇමැති තනතුරක් වගේ ලොකු ලොකු දේවල් වෙනුවෙන් වගේම තමන්ගේ ටෙලි නාට්ටියක් හොදම වෙලාවේ රූපාවාහිනියේ පෙන්වා ගැනීම, තමන්ගේ සිංදුවක් දෙකක් නිතර නිතර ගුවන් විදුලියේ ප්රචාරය කරවා ගැනීම වගේ අරමුණු මිසක් මේ නලාකාරයන්ට වෙනත් මානව හිතවාදයක් නැහැ. හිටපු ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසු පැවැති කලාකාර හමුවකදී එක්තරා ගායිකාවක් සියලු දෙනා ඉදිරියේ පැවසුවේ “ගහලා හරි ආපහු ආණ්ඩුව ගන්නයි තිබුණේ” කියලයි. ඇගේ මිහිරි කටහඩ යට සැගවී ඇත්තේ කෙතරම් ම්ලේච්ඡ වූ මනසක්ද යන්න වටහා ගන්නා එයම ප්රමාණවත්. අරලිය ගහ මන්දිරයේ ගේට්ටු කඩන්නට උත්සාහ ගන්නා තවත් කෙනෙක්ට අඩුම තරමින් තමන්ගේ කසාදයවත් රැකගන්නට ශක්තියක් නැහැ. තවත් එක්තරා ගායිකාවක් පහුගිය ජනාධිපතිවරණයේ දී කිව්වේ තමන්ගේ පුතණුවන්ට ජනාධිපතිගෙන් හාද්දක් අරගෙන දීම තමන්ගේ එකම සිහිනය වූ බවයි. අප ජීවත්වන කොදෙව්ව පුරා පය ගසා සිටින්නේ මෙවන් වූ කලාකරුවන් පිරිසක්ය. ජනාතාවට තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරන්නට උගන්වන්නේ මෙවන් වූ අංගවිකල කලාකරුවන් පිරිසක්ය.

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන රොනල්ඩ් රේගන් වරක් අපූරු අදහසක් ලොවට කිව්වා. ඒ කියන්නේ ලොව පැරණිතම වෘත්තියත් දේශපාලනයත් අතර අතිශය සමාන සමීපකමක් තියෙනවා කියලා. (Politics is supposed to be the second-oldest profession. I have come to realize that it bears a very close resemblance to the first. ~Ronald Reagan) ලංකාවේ දේශපාලකයන් අතළොස්සක් හැරෙන්නට අනෙක් දේශපාලක නඩය ගත්තම මේ කියමන හරියටම හරි. ඒත් මට හිතෙන විදියට ලොව පැරණිතම වෘත්තියේ දී විකුණන්නේ තමන්ගේ සිරුර පමණයි. ඒත් ලාංකීය දේශපාලකයා කියන්නේ තමන්ගේ ආත්මය පවා විකුණන චරිතයක්. ඊළග ඡන්දය ගැන මිසක් ඊළග පරපුර ගැන හිතන දේශපාලකයන් අපේ රටේ හොයා ගැනීම හරියට හදේ හාවෝ හොයන්නට යනවා වගේ වැඩක්.

මේ නිසා බල තණ්හාවෙන් වියරු වැටුණු දේශපාලකයන්ගේ අරමුණුවල වහලුන් බවට පත්වෙලා තමන්ගේ තර්ක බුද්ධිය ඒ ඒ දේශපාලකයන් වෙනුනේ සින්නක්කරව ලියා දීම තමන්ගේ මිනිස්කමටත් කරගන්නා නිගාවක්. ඇයිද කියනවා නම් මිනිසුන් තිරිසනුන්ගෙන් වෙන් කරලා හදුනා ගන්න මූලිකම සාධකය මේ තර්ක බුද්ධියම වන නිසා. රජයේ සේවකයන් ගස් බැද පහර දෙන පාහර දේශපාලකයන් තමන්ගේ පක්ෂයේ සිටියදී මුනිවතින් ඉවසන කෙනෙක් ඔහු වෙනත් පක්ෂයකට ගිය වහාම කෑමොර දෙන්නට දගලන්නේ ඔය වැනි මානසිකත්වයක් ඇති වුණාම තමයි. තමන්ගේ ආණ්ඩුවේ සියලු දූෂිත හොර මැරකම් සිල්ගත් පරිද්දෙන් ඉවසා සිටිමන් අනෙක් පක්ෂයේ කුණු රොඩු අවුස්සන්නේත් එවැනි මානසිකතව්යකින් තමන්ගේ තර්ක බුද්ධිය මුලුමනින්ම වෑසී ගියාමයි.

පොදුවේ ගත්තම දේශපාලන පාදඩයන්ට, දූෂකයන්ට, කොමිස් හොරුන්ට නිල් රතු කොළ පාටක් තියෙන්නට බැහැ. කුමන පක්ෂයේ සිටියත් දූෂකයා දූෂකයාමයි. පාදඩයා පාදඩයාමයි. අමනයා අමනයාමයි. බොහොම කාලයකට ඉස්සර බැලුව ධර්මසිරි බණ්ඩාරනායකගේ “ඒකා අධිපති” වේදිකා නාට්ටියේ එක්තරා දෙබසක් තවමත් මතකයේ තියෙනවා “මේ වගේ උන් වදාපු ගර්භාෂය තව දුරටත් වදාවි”. දේශපාලන ගැතිකමින් හරි වැරැද්ද තෝරා බේරා ගන්නට නොහැකි වුණොත් සිදුවන්නේ එවැනි පරපුරකට රටේ පාලනය උරුම වීමයි.

මේ නිසා මේ ලැබිලා තියෙන්නේ බොහොම කාලයකින් අපට ලැබෙන්නට යන හරිම අපූරු අවස්ථාවක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්නට ලැබෙන අවස්ථාවක්. දේශපාලන වහල් භාවයෙන් අන‍්ධවෙලා ඒ අවස්ථාව අප අහිමි කරගත්තොත් අනාගතයේ දී අපට සාප කරනු ඇත්තේ අපේම දූ දරුවන් බව පමණක් අමතක කළ යුතු නැහැ.

මුරුගසං වරුසාවට ‍තෙ‍මෙන්නට පෙර…

අතීතයේ දවසක එක්තරා සති අන්ත ජාතික පුවත්පතක් ලංකා‍වේ නමගිය නලුවෙකු එක්ක කළ සාකච්ඡාවක් ගැන අහම්‍බෙන් මට මතක් වු‍ණේ ජනාධිපතිවරණ‍යෙන් පසුව කියවන්න ලැබුණු පුවතක් නිසයි. ‍ ඇත්තටම කියනවා නම් ‍මේ නලුවා කවුරුන්ද කියන එක මතක‍යෙන් හරිහැටිම ‍තෝරා ‍බේරා ගන්න අමාරු වුණත් ඔහු ලංකා‍වේ ප්‍රවීණ නලු‍වෙකු බව නම් හි‍තේ රැදිලා ති‍යෙනවා. පුවත්පත් සාකච්ඡාවට පදනම් ‍වෙලා තිබු‍ණේ සිනමා කටයුත්තක් සදහා මෑතකදී ඔහු කළ වි‍දේශ සංචාරයක් ගැනයි. සංචාරයේ දී මුහුණ දුන් අත්දැකීම් අත‍රේ තමන්ට අමතක ‍නොවන සිදුවීමක් ද ඔහු විස්තර කර තිබුණා.  එනම් එරට සිටි සිය මිතු‍රෙකුත් එක්ක සුපිරි ‍වෙ‍ළෙද සැලකට ‍ගොඩ වැදුණු  ‍මො‍හො‍තේ ‍සෙසු පාරිභෝගිකයන් එක්ක එළවලු ‍තෝරමින් සිටි මිනි‍සෙකු ‍පෙන්වමින් “ඒ අ‍පේ ර‍ටේ අගමැති” යැයි මිතුරා කී‍මෙන් තමන් මවිතයට පත් වුණු ආකාරයයි. ඔහු සදහන් කළ රට ඕස්ට්‍රේලියාව ‍හෝ නවසීලන්තය යන රටවල් ‍දෙ‍කෙන් එකක් බව මට යාන්තමට මතකයි. ඒ තරම් සුවිසල් බලගතු රටක ඉහළම පුරවැසියා තමන් අත තිබූ ලැයිස්තුවක් ‍බලමින් එළවලු ‍‍‍‍තෝරන මේ දර්ශන‍යෙන්  තමන් අතිශයින්ම පුදුමයට පත් වුණත් ‍වෙ‍ළෙද සැ‍ලේ හිටිය කාටවක්වත් ඔහු ගැන ගාණක් මිම්මක් ‍නොවූ බවත් ඔහු සදහන් කර තිබුණා.

ස්වාසිලන්තය ව‍ගේ ගෝත්‍රික සමාජවල වෙසෙන ජනතාවට ‍මේ ව‍ගේ තත්ත්වයක් ‍තේරුම් ගන්න අමාරු බව පුදුමයකට කාරණාවක් ‍‍නෙ‍මෙයි. ඒ ව‍ගේම ‍කොල්ලකරුවන් පිරිසක‍ගේ පාලනයකට යටත්‍ ‍‍වෙලා ති‍යෙන ‍සෝමාලියාව ව‍ගේ රටවල ජනතාවටත් ‍මේ ව‍ගේ තත්ත්වයක් ‍තේරුම් ගන්න අමාරු බව පුදුමයක් ‍නෙ‍මෙයි. ඒත් කණගාටුවට කාරණය නම් විධායක ජනාධිතිවරුන්‍‍ගේ බලතලවල උණුසුමින් දැ‍වෙන දූපත්වාසීන් ‍වෙන අපිටත් ‍මේ ව‍ගේ සිදුවීම් ‍‍තේරුම් ගන්න ආමරු වීමයි.

‍‍මේ පුවත්පත් සාකච්ඡාව අහම්‍බෙන් ව‍ගේ මතකයට ආ‍වේ ජනාධිපතිවරණ‍යෙන් පස්‍සේ දැක්ක පුවතක් නිසයි. ජනාධිපතිවරණ‍යෙන් ජයගත් අලුත් ජනාධිපතිවරයා රැගත් වාහන ‍පෙළ මහනුවරදී කහ ඉ‍රෙන් පා‍ර මාරු වන පදිකයන් ‍වෙනු‍වෙන් නවතා ලීමයි ‍මේ පුවත වු‍‍ණේ. ‍මේ සිදුවීම දුටු පා‍රේ සිටි පිරිස අත්පොළසන් දුන් බවකුත් පුව‍තේ සදහන් ‍වෙලා තිබුණා. වාහනයක් කහ ඉර ළග නතර කිරීම ව‍ගේ ‍බො‍හොම සරල නීතියක් ජනාධිපතිවරයා පිළිපැදීම පුවතක් වන‍්නේ ‍කො‍හොමද කියන එකත් ඒ ව‍ගේම ඒ ‍වෙනු‍වෙන් මිනිසුන් අත් පොළසන් ‍දෙන මට්ටමකට පත්‍ ‍වීමත් මගින් කියා පාන්නේ  අ‍පේ රට අද ‍වෙන‍කොට තවත් ස්වාසිලන්තයකට එ‍හෙමත් නැතිනම් ‍නීතියක් අහිමි වී ගිය ‍තවත් ‍සෝමාලියාවක් බවට පත්‍ ‍වෙලා ති‍යෙන කාරණය ‍නේද කියන එක ඔබටත් හි‍තෙනවා ඇති. ජනාධිපතිවරයා ර‍ටේ සරල නීතියත් පිළිපැදීම පුවත්පතක මුල් පුවතක් නිර්මාණය කරන රටක යහ පාලනයක් ඇති කරන්නට යාම ඒ අතින් බැලුවාම හිනාවට කාරණයක්. ඒකට ‍හේතුව අඩුම තරමින් යහ පාලනයක හැඩ රුව ‍මොන ව‍ගේදැයි කියන හැගීම පවා දූපත්වාසී අ‍පේ හිත්වලට සමීප ‍‍වෙලා නැති නිසයි.

‍‍සංවර්ධන‍යේ මුදුන් ‍පෙත්තටම නැග සිටින ‍ලෝක‍යේ ඉහළම රටවල් දිහා බැලුවාම ඒ හැම රටකම දියුණු‍වේ පිටුපස ති‍යෙන්‍නේ නීති‍යේ ආධිපත්‍යය සුරක්ෂිත වීම බව ‍හොදටම ‍පේන්න ති‍යෙනවා. ඇමරිකාව , කැනඩාව, ඕස්‍ට්‍‍රේලියාව, නවසීලන්තය පමණක් ‍නො‍‍වෙයි යු‍රෝපයේ සෑම රටක් ගත්තමත් ඒ ර‍ටේ පාලකයා කියන්‍නේ නීතියට යටත් පුරවැසි‍යෙක් මිසක් නීතියට පිටින් වැඩ හිටින ‍දේවතා‍වෙක් ‍නෙ‍මෙයි. මේ නිසාම නීතිය ඉදිරි‍යේ කවුරුත් සමානයි. සරලම උදාහරණයක් ගත්‍‍තොත් උපන් දා ඉදන්ම දිවි ‍ගෙවූ මව්බි‍මේ දී වාහනයක් පදවා ‍ගෙන යද්දී දැ‍නෙනවට වඩා නිදහසක් ව‍ගේම සුරක්ෂිතකමක් මා දිවි‍ගෙවන වි‍දේශ ර‍ටේ දී වාහනයක් පදවා‍ගෙන යා‍මේදී මට දැ‍නෙනවා. ඒකට ‍හේතුව මව් බි‍මේ දී කා‍ගේ ‍හෝ වැරැද්දකින් වාහනය අනතුරට ලක් වු‍ණොත් නීතිය ක්‍රියාවට නැ‍ගෙන්‍නේ බලවතා‍ගේ පැත්තෙන් නිසයි. ‍මේ බලවතා ‍බිම් මට්ට‍මේ ‍හෝ ‍දේශපාලකයකු වු‍ණොත් වාහනය අනතුරට ලක්වුණු තැනැත්තාට විද ගන්නට සිද්ධ ‍වෙන්‍නේ අලාභය විතරක් ‍නෙ‍මෙ‍යි. ‍‍පොලිසි‍‍යෙන් නින්දා අපහාස,  උසාවි‍යෙන් දඩ මුදල් තවත් ‍‍මෙකී ‍නොකී සියලු අතුරු අන්තරාවලට මුහුණ ‍දෙන්නට තමයි සිද්ධ ‍වෙන්‍නේ. ඒත් නීති‍යේ බලය නිසි ‍ලෙසින්ම පිළිපදින වි‍‍දේශයක දී නම් ඔ‍බේ වාහනය අනතුරට ලක්වු‍ණේ අගමැතිවරයා‍ගෙන් වුණත් නීතියේ රැකවරණය ඔබට ‍නොඅඩුව ලැ‍බෙන බව සහතික ‍ලෙසින්ම කියන්නට පුලුවන්.

විධායක ජනාධිපතිවරයා කියන තනතුර ‍මේ තරම්ම ‍දේවත්වයෙන් පිදුම් ලබන මට්ටමට ‍ගෙන එන්නට ජාතියක් විදියට අපි නිවට වු‍ණේ ‍කො‍හොමද කියන එක ඇත්‍‍තෙන්ම හිතා බලන්න ඕ‍නේ කාරණයක්.  ‍මේ ‍දේශපාලන පිළිකාව අ‍පේ සමාජ දේහ‍යේ ‍කොයි තරම් ඔඩු දුවලා ද කියලා කියනවා නම් මහජනතාව ‍දහස් ගණනින් රැස්‍ව ඉන්න ‍වේදිකාවල දී පවා මැති ඇමතිවරුන් සිය ‍කොන්ද ‍දෙකට හතරට නවමින් විධායක ජනාධිපතිවරයා ඉදිරි‍යේ වැද වැ‍ටෙන  දර්ශන පහුගිය කාල‍යේ ‍නොඅඩුවම දකින්නට ලැබුණා. රජයේ නිලධාරීන් ඇමතිවරුන් දුටු පමණින් ‍කොන්ද වකුටු කරගනිමින් වැද වැටෙන දර්ශනත් ඕනෑ තරම් දකින්නට ලැබුණා. රජ‍යේ පත්වීම් ලබන උපාධිධාරීන් මහ දවල් කිසිම හිරිකිතයක් ‍නැතිව ඇමතිවරුන් ඉදිරි‍යේ දණ ගසා වදින හැටිත් රූපවාහිනි‍යේ නිතර දකින්නට ලැබුණා. ‍නාගරික මන්ත්‍රිවරයකු ‍පොලිසියට ‍ගොඩ වූ සැනින් සිය ආසනය දී එකත් පස්ව සිටින ‍පොලිස් ස්ථානාධිපතිවරුන් බිහිවුණු රටක නීතිය ගැන කවර කතාවක් ද? ‍‍නීති‍යේ ආධිපත්යය ‍මේ තරම්ම සුනාමියකට ලක්කළ පාදඩ ‍දේශපාලන සංස්කෘතියක් ඉතිහාස‍යේ ‍කොයි කවරදාවත් අපට තිබු‍ණේ නැහැ.

‍ලංකාව නම් වූ ‍මේ පුංචි දූප‍තේ විධායක ජනාධිපතිවරයා සියලු බලතල සහිත සක්විති ර‍‍ජෙක් බවට පත්වී‍මේ විහිලුව පහුගිය අවුරුදු කිහිපය තුළ දී ‍කොයි තරම් උත්සන්න වුණා ද කියනවා නම් අයි‍‍බෝ ‍වේවා මහරජා‍ණෙනි  ‍ලෙසින් ගැයූ ගායිකාව‍ගේ නමින් පාරක් පවා විවෘත වුණා. ලාංකීය ලකුණ ‍ලොවට ‍හෙළි කළ විරල ගණ‍යේ පඩිවරයකු වූ ආනන්ද කුමාරස්වාමි‍ගේ නමින් තිබූ මාවත්වල නම් ගලවා දමමින් එකම එක සිංදුවක් කී ගායිකාව‍ක‍ගේ නමින් මාවත් විවර ‍වීම නිහඩවම විද දරා ගන්නා යටත් වැසියන් පිරිසයක් සිටීම ර‍ජවරුන්ගේ පැත්‍තෙන් බැලූ විට සැබෑම වාසනාවක්. ඒත් නූතන ‍‍ලෝක දේශපාලන ධාරාව තුළ ර‍ජෙක් කියන්‍නේ මහජනතාව‍ගේ සිතුම් පැතුම් විනාශ කර දමන ප්‍රජාතන්ත්‍ර වි‍රෝධී ගමනක නිරත වන පුද්ගලයකුට කියන එක ඒ ගායිකාවවත්, සිංදුව ලිවුව රචකයාවත් දන්‍නේ නැතිව ඇති. ‍‍‍දියුණු ‍දේශපාලන සංස්කෘතීන් ඇති රටවලින් රජ පවුල් සංස්කෘතිය නැත්තටම නැති වී ඇත්තේ ඒ නිසයි. එක්සත් රාජධානි‍යේ රැජින සංස්කෘතිමය සළකුණක් මිසක් ර‍ටේ පාලනයට සෘජුව බලපාන සාධකයක් ‍නෙ‍මෙයි.

‍ලෝක‍යේ බලගතුම ‍දේශපාලන නායකයා බවට නිතරග‍යෙන් පත්ව ඉන්න ඇමරිකානු ජනාධිපතිවරයා පවා ර‍ටේ නිතියට යටත් පුරවැසි‍යෙක්. ‍‍ලොව බලගතුම රාජ්‍ය නායකයා වුණත් ඔහු ‍සාමාන්‍ය ජීවිත‍යේ දී සෙසු ඇමරිකානු පුරවැසියන් සමග සම්බන්ධ ‍වෙන්‍නේ තවත් ඇමරිකානු‍වෙක් විදියට විතරයි. එක්තරා ආයතනයකට ඔහු ‍ගොඩ වැදුනු වි‍ටෙක ඔහු‍ගේ අනන්‍යතාව තහවුරු කරන්නට සිය හැදුනුම්පත ඉදිරිපත් කරන වීඩි‍‍යෝවක් මෑතකදී දකින්නට ලැබුණා. ඒ ව‍ගේම හදිසි ගමනක් යාමට ‍හෙලි‍කොප්ටරයට ‍ගොඩ වැදුණු පසුවත් නැවත යාන‍යෙන් බැස ‍ගොස් පිටත සිටි හමුදා භට‍යෙකුට ආචාර කර පැමිණි ආකරයත් ඒ විදියේම වීඩි‍යෝවක්  රූපවාහිනි‍යේ ප්‍රචාරය වුණා. වි‍දේශ කුමන්ත්‍රණ කියමින් ‍තොල් මතුරමින් සිටින කාල‍යෙන් ‍කොටසක් වැය කරලා යහපත් ‍දේ යහපත් විදියට බලන්නට පුරුදු ‍වෙන්නට දැන්වත් අප ප්‍රමාද නැහැ.

obama

සිය අනන්යතාව ‍පෙන්වීමට හැදුනුම්පත ඉදිරිපත් කරන ජනාධිපති ඔබාමා

 

එක්සත් රාජධානි‍යේ අගමැති ‍ඩේවිඩ් කැමරන් ජීවත් ‍වෙන්‍නේ සාමාන්‍ය නිවාසයක. ඒ ව‍ගේම අගමැති කාර්යාලයට යන්න කැමරන් ‍පොදු දුම්රිය ‍සේවාව පවා පාවිච්චි කරනවා. ‍අවස්ථාව ලද හැම විටකම සිය සිගිති දියණිය පාස‍ලෙන් ගන්නට ‍සෙසු පියවරුන් ‍මෙන්ම පාසලට පවා යනවා.

cameron 2

එක්සත් රාජධානි‍යේ අගමැතිවරයා මගී දුම්රියක නැගී සේවයට යමින්

‍කෝටි හයක ‍වෙච්ච ඉතාලි ජනතාවට නායකත්වය ‍දෙන ඉතාලි අගමැති Matteo Renzi ‍පො‍ළො‍වේ පය ගහලා ඉන්න තවත් ‍‍දේශපාලඥ‍යෙක්. ෆ්ලොරෙන්ස් හී නගරාධිපති හැටියට, ටොයිලට් පේපර්ස්වල වියදම දක්වා අන්තර්ජාලය තුලින් ජනතාවට දැනගන්නට සැලැස්වීමෙන් පෙන්වන ලද විනිවිදභාවය සහ පරිපාලනය නිසා කිසි දිනක පාර්ලිමේන්තුවට ගොඩනොවී තිබූ 39 හැවිරිදි මේ තරුණ නායකයාට ඉතාලියේ අගමැති පුටුව හිමිවු‍ණේ ඔහු ර‍‍‍ජෙක් වන්නට හි‍නෙකින්වත් ‍නොසිතූ හින්දයි.

‍ලෝක‍යේ දුප්පත්ම ජනාධිපති විදියට සැලකෙන උරුගුවේ ජනාධිපති 78 හැවිරිදි José Mujica  ජීවත් ‍වෙන්‍නේ තමන්‍‍ගේ බිරිදට හිමි ‍ගොවිපලක තනි කාමරයේ පුංචි ‍ගෙදරක. ජනාධිපතිවරයා ‍විදියට තමන්ට ලැ‍බෙන වැටු‍පෙන් සියයට අනූවක්ම ඔහු වැය කරන්‍‍නේ සුභ සාධක වැඩවලට. මිලියන 3.3 ක් ජීවත් වන උරුගු‍වේ ඔහු‍ගේ පාලනය තුළ දී දූෂණ‍යෙන් ‍තොරවූ ඉතාම සාමකාමී සහ ජීවන තත්ත්වය උසස් වූ එමෙන්ම මාධ්‍ය නිදහස සුරකින පළමු ලතින් ඇමරිකානු රට බවට අද පත්‍ ‍වෙලා ති‍යෙනවා. ‍මේ නිසාම José ‍කියන්‍නේ ‍ර‍ජෙක් යැයි ‍පුරවැසියන්ට ‍නොසි‍තෙන සැබෑ ජනහිතකාමී ර‍ජෙක් මිස කිසි‍සේත්ම දුප්ප‍තෙක් ‍නෙ‍මෙයි. ඒත් ‍මෙතැනදී ර‍ජ කියන වචනය පාවිච්චි ‍වෙන්නේ දූපත්වාසීන් වන අපිට අද දව‍සේ හුරු‍වෙලා තියෙන විධායක බලතල ඇති ර‍ජකු ගැන නම් ‍නෙ‍මෙයි කියන එකත් සිහිපත් කරන්න ඕ‍නේ.  ‍‍කෝටි අනූවකට අධික ‍දේපළක් තිබුණු මෑතකදී මිය ගිය සවුදි අරාබි‍යේ රජ අබ්දුල්ලාට අන්ති‍මේ දී ඉතිරි වු‍ණේ මහ පොළො‍වේ හතර රියන පමණයි.  José ව‍ගේ නායකයන් මේ තත්තවය තේරුම් අරන් තිබුණත් අපේ සක්විති රජවරුන්ට නම් කිසිදාක ‍තේරුම් ගන්නට අමාරු වන්‍නේත් මේ සරල කාරණයමයි.

uruguway2

උරුගු‍වේ ජනාධිපතිවරයා සිය දිළිදු නිවහ‍නේ

අපේ ‍මේ පුංචි දූප‍තේ විධායක ජනාධිපති ධුරය දරන්නන් විතරක් ‍නෙ‍මෙයි පළාත් සභා‍වේ දේශපාලකයන් පවා මුලු පාරම වසා‍ගෙන වාහන පිරිවරා නගර සංචාරය කරද්දී දූප‍තේ විශාලත්වය නිසාම මහාද්වීපයක් විදියට සැල‍කෙන ඕස්‍ට්‍රේලියා‍වේ බලගතුම පුරවැසියා වන එරට අගමැතිවරයා තමන්ගේ කාර්යාලයට පුෂ් බයිසිකලයක් පැද‍ගෙන යනවා.

ලංකාව කියන දූපත ව‍ගේ 60 ගුණයකටත් වඩා විශාල අසල්වැසි ඉන්දියාව ගත්තත් ‍‍රජතුමා සංකල්ප‍යේ දී නම් අපිට වඩා ‍බෙ‍‍හොම ඉදිරි‍යෙන් තමයි ඉන්‍නේ. හිටපු ඉන්දියානු ජනාධිති ආචාර්ය අබ්දුල් කලාම් ‍මහ මැතිවරණ‍යේ දී පැයකට අධික කාලයක් ඡන්දය දාන්න ‍බො‍හොම නි‍සොල්ම‍නේ ‍පොදු ජනතාවත් එක්ක ‍පෝලි‍මේ ඉන්නේ ඔහු ‍පො‍ළො‍වේ පය ගහලා ඉන්න සැබෑ ජන නායකයකු ‍වෙච්ච නිසයි.

Abdul Kalam

ජනාධිපති කලාම් චන්දය දමන්නට ‍පෝලි‍මේ

‍මේ විදියට උදාහරණ ‍දෙන්න ගි‍යොත් ‍කෙළවරක් දකින්න බැහැ. රජතුමා සංකල්පයට අදින්නට ර‍ටේ පාලනයට එකතු ‍වෙන නායක නායිකාවන් කොයි තරම් සැදී පැහැදී සිටිනවාද යන්න ව‍ගේම විධායක ජනාධිපතිවරයාව සීතාම්බර පට සලුවලින් සරසවන්නට අ‍පේ ජනතාවත් ‍පේවී ඉන්නවා ද කියන එක ජනාධිපතිවරයා අමතන වචන මාලා‍වෙන්ම හිතා ගන්න පුලුවන්. මහා බලගතු ඇමරිකා‍වේ ජනාධිපතිවරයා අමතන්නට Mr. President හැ‍රෙන්නට තවත් වචනයක් ඇමරිකානු ජනතාව‍ගේ ශබ්ද ‍කෝෂ‍යේ නැහැ. කැනඩාව, එක්සත් රාජධානිය, ‍ඩෙන්මාර්කය, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව ‍මේ ආදී ‍මෙකී ‍නොකී ‍බො‍හොමයක් රටවල්වලත් තමන්‍ගේ ර‍ටේ මුල්ම පුරවැසියා අමතන්නට ‍යොදන එකම ‍‍ගෞරවාන්විත වචනය Mr. යන්නම පමණයි. එත් අ‍පේ දූප‍තේ ජනාධිපතිවරයා අමතන්නට මහා ගරු ගාම්බීර වචන ‍කෝෂයක්ම ජනතා ශබ්ද‍‍‍කෝෂ‍යේ ති‍යෙනවා. මරණාධාර සමිතියක එ‍හෙමත් නැතිනම් දායක සභාවක තනතුරු දරන නිලධාරි‍යෙක්ට ගරු කියන වචනය පාවිච්චි කරන්නට වචන‍යේ පරිසමාප්ති‍යෙන්ම අයිතියක් ති‍යෙනවා. ඒ තමන් ඒ තනතු‍රෙන් වැටුපක් ගන්‍නේ නැති හින්දා. ඒත් සියලු විධායක බලතලවලින් සුඛිත මුදිත වුණු ඒ ව‍ගේම ඒ බලතල ජනතා සුභ සිද්ධියට වඩා තමන්‍ගේම යහපතට පාවිච්චි කරන විධායක ජනාධිපතිවරුන්ට අතිගරු අති ‍‍‍ගෞරවණීය උතුමා‍ණෙනි ව‍ගේ වචන පාවිච්චි කරන්‍‍නේ කො‍හොමද කියන එක හිතාගන්නත් අමාරුයි.  2012 පටන් ඉන්දියානු ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජි “Mr President” සංකල්පය ඉන්දියාවටත් හදුන්වලා දුන්නා. එත් අපි තවමත්ඉන්‍නේ වැඩවසම් යුග‍යේ වහල් සමාජ ලක්ෂණවලින් පිරුණු මති මතාන්තර එක්ක.

Mahmoud-Ahmadinejad-bus

ඉරාන‍යේ සිටි බලගුම ජනාධිපතිවරයකු වූ Mahmoud-Ahmadinejad සිය තනතු‍රෙන් ඉවත් වූ පසු තමාට සුපුරුදු ගුරු වෘත්ති‍යේ ‍යෙදීමට මගී බස් රථයක නැගී යන අයුරු

‍කො‍හොම වුණත් පහුගිය ජනාධිපතිවරණ‍යේ දී ජය පැරදුම කාට හිමි වුණත් ‍බො‍‍හොම සාධනීය කරුණු ගණනාවක්ම සිද්ධ වුණු බව නම් ‍පේනවා. මුල්ම කාරණය නම් නව ජනාධිපතිවරයා තමන් තව දුරටත් ර‍‍ජෙක් ‍‍නොවන බවත් තමන් ර‍ටේ ප්‍රධානතම සේවකයා පමණක් බවත් දළදා වහන්සේ වැඩ හිදින භූ‍මි‍යේ දී ම ජනතාවට ප්‍රතිඥාවක් දීමයි. ‍සක්විති රාජ සංකල්ප‍යෙන් සමු අරන් විධායක ජනාධිපති ධුරය මතින් වැඩමවන වැඩවසම් පීඩිත සම්ප්රදා‍යෙන් ර‍ටේ ජනතාව මුදාගන්නට නව ජනාධිපතිවරයාට ශක්තිය ලැ‍බුණොත් ඒක ඇත්‍‍තෙන්ම ජනතාව‍ගේ ජයක්. ඒ ව‍ගේම මහදැනමුත්තන් විදියට හැම ‍දේටම කටත් ‍හොටත් දාන්නට යන නැකැත් කාරයන්ට යන එන මං නැතිවීමත් පහුගිය ජනාධිපතිවරණ‍යේ දී ජනතාව ලබපු තවත් එක් ජයක්. ඒ ව‍ගේම නලාකරුවන් බවට පත්‍ ‍වෙච්ච කලාකරුවන් නඩයකටම ආතක් පාතක් නැති වීමත් ‍‍මේ ජනාධිපතිවරණ‍යේ දී සිද්ධ ‍වෙච්ච සාධනීය ‍දෙයක්. සිංදුවක් ඇහුව පමණින් රැගුමකට අත් ‍පොළසමක් දුන්නු පමණින් උන්‍‍ගේ අත්සනින් එළි දකින නි‍වේදන දිහා බලා‍ගෙන උන් අත දිගුකරන අ‍පේක්ෂකයන්ට ඡන්දය දාන්නට සූදානම් නැති බත් කන මිනිසුන් තවමත් සිටින බව ‍‍හෙළිදරවු වීමත් ‍බො‍හොම ‍හොද ‍දෙයක්.

සැමියා මිය ගිය ‍‍ශෝකයට බිරිදට ඡන්දය ‍දෙන, තාත්තා ගැන හිතා පුතාට ඡන්දය ‍‍දෙන විදි‍යේ මානසිකත්වයක් අ‍පේ ර‍ටේ ති‍යෙන නිසා ඉතිහාසය පුරාම අ‍පේ ර‍ටේ වැඩිම ඡන්ද ගණනාවක් තමන්‍ ‍ගේ මල්ලට පුරවා ගන්නට පුලුවන් වු‍ණේ ‍ශෝක රසය උද්දීපනය කරන්නට පුලුවන් ‍වෙච්ච අයට තමයි. ඒ නිසා අ‍පේ රටේ ඡන්දදායකයා නම්මවා ගන්න පුලුවන් ‍හොදම සාධකය බුද්ධියට වඩා කදුල බවත් අමතක කරන්නට හොද නැහැ. ‍‍මේ නිසා ‍මේ පුංචි දූප‍තේ මිනිසුන් ලවා රජතුමාට අන්දවා ගන්න අ‍පේ ‍දේශපාලකයන්ට හරිම පහසුයි. ඉතිහාස‍යේ මුල්ම වතාවට ඇමරිකා‍වේ ජනාධිපතිවර‍යා විදියට කලු ජාතික‍යෙක් පත් වුණාම ඒ පත්වු‍ණේ කල්ලන්‍ගේ ඡන්ද වලින්ද, එ‍හෙමත් නැතිනම් සුද්දන්‍ ‍ගේ ඡන්ද වලින් ද එ‍හෙමත් නැතිනම් මැක්සිකානුවන්‍ගේ ඡන්ද වලින් ද කියලා ‍හොයලා බලන්න කවුරුවත් සූදානම් වු‍ණේ නැහැ. ඒත් ‍මේ පුංචි දූප‍තේ ජනාධිපතිවරයෙක් පත් වුණාම ඒ පත්වු‍ණේ සිංහල ‍බෞද්ධ ඡන්දවලින්ද, එ‍හෙමත් නැතිනම් ‍දෙමළ මුස්ලිම් ඡන්ද වලින්ද කියලා ඡන්ද සිතියම පාට ගාන්නට ඉදිරිපත් වන මානසික මට්ටමක් ‍ගො‍ඩ නැ‍ගෙන්‍නේ අර කලින් කිව්ව ‍කො‍දෙව් මානසිකත්ව‍යෙන් අපි ‍වෙළා‍ගෙන ඉන්න නිසයි.

King Abdullah

ඩොලර් බිලියන ගණනින් වත්කම් තිබූ සවුදි රජතුමාට අවසාන‍යේ දී ඉතිරි වූයේ මහ ‍පො‍ළො‍වේ‍ ‍මේ හතර රියන පමණි

දිගින් දිගටම ‍මේ කතාව ඇදිලා යන්න කලින් කවුරුත්දන්නා කතාවකින් ‍මේ ලියැවිල්ල අවසාන කරන්න හිතුණා. මේ කතා‍වේ කාලාන්තරයක් පුරා නිගයගයකින් පීඩා වින්ද එක්තරා දූපතක් තිබුණා. අවුරුදු ගණනාවක ‍මේ දරුණු නියග‍යෙන් පස්‍ සේ එක්තරා දිනයක මහා වැස්සක් කඩා හැ‍ලෙන බවත් ‍මේ ඒත් ‍මේ මුල්ම වැස්සට ‍තෙ‍මෙන ‍මිනිසුන් උමතු ‍වන බවත් ‍‍‍බො‍‍හොම දැන උගත් පඩිවර‍යෙක් ඒ දූප‍තේ ඉන්න දූපත්වාසීන්ට අනතුරු ඇ‍ගෙව්වා. (හැබැයි එයා නැකැත් කාර‍යෙක් නම් ‍නෙ‍මෙයි). ඉතින් ඒ පඩිවරයා කිව්ව විදියටම කිව්ව දව‍සේ කිව්ව ‍වෙලාවටම මහා වැස්සක් ඇද වැටුණා. පඩිවරයා අනතුරු අගවලා තිබුණත් කාලයකට පස්‍සේ මහා වැස්සක් ඇද හැලුණු සතුටට මිනිස්සු එළියට ඇවිත් ‍ලොකු සතුටකින් වැ‍ස්‍සේ ‍තෙ‍මෙන්න පටන් ගත්තා. පඩිවරයා විතරයි වැස්සට ‍තෙමු‍ණේ නැත්‍තේ. ‍මේ නිසා වැස්සට ‍තෙ‍මුණු දූපත් වාසීන් හැ‍මෝම උමතු වුණා. ‍මේ වර්ෂාව තමයි උමතුසං වර්ෂාව විදයට හදුන්වන්‍නේත්. ඉතින් දූප‍තේ උමතු නැති ‍කෙ‍නෙක්ට හිටිය එකම එක පුද්ගලයා ‍අ‍පේ පඩිවරයා විතරයි. ඒත් දූප‍තේ හැ‍මෝම උමතු නිසා උමතු ‍නොවුණු පඩිවරයාට හැ‍මෝම පිස්සා පිස්සා කියන්න පටන් ගත්තා. පිස්සන් පිරිසක් මැද්‍දේ ජීවත් ‍වෙන්න බැරි ‍වෙච්ච නිසාම අන්ත‍මේ දී ‍මේ පඩිවරයාත් උමතුසං වර්ෂාවට ‍තෙමිලා පිස්‍සෙක්ම වුණා. ‍මේ දූපත ලංකාව‍ ‍‍නොවුණත් අ‍පේ දූප‍තේත් ‍බො‍හොම දෙ‍නෙක් අද ඉන්‍‍නේ උමතුසං වර්ෂාවට ‍තෙ‍මුණු ‍නො‍තෙමුණු ගානට තමයි. ඉතින් එ‍හෙම පිරිසක් අත‍රේ ජීවත් ‍වෙමින් සමාජයක් විදියට අ‍පේ මිනිසුන් කරන උමතු විකාර දැක්කම තමන්ටත් උමතුසං වර්ෂාවට ‍තෙමිලා පිස්සුම හැ‍දෙනවා නම් ‍හොදයි කියලා සිහි බුද්ධිය ඇති මිනි‍හෙකුට හිතු‍ණොත් ඒ‍කේ පුදුමයකුත් නැහැ. ‍දේශපාලන අව් කන්නාඩිවලින් සැරසුණාම කුහකත්වයකින් ‍තොරව ‍හරි ‍දේ හරි ‍‍ලෙසත් වැරදි ‍දේ වැරදි ‍ලෙසත් දකින්නට පුලුවන් ‍කමක් නැති බව ඇත්ත. පහුගිය ජනාධිපතිවරණ‍යේ දීත් ජනාධිපතිවරණ‍යෙන් පස්‍සේ ‍ගෙවිලා යන ‍මේ පශ්චාත් ජනාධිපතිවරණ සම‍යේ දීත් අහන්නට දකින්නට ලැ‍බෙන ‍දේවල්වලින් ‍පේන්නේ දූපත්වාසී අපේ ‍බො‍හොම දෙ‍නෙකු‍ගේ හිත්වල පිරිලා ඉතිරිලා යන දේශපාලන පරාධීනත්වය, කුහක ‍දේශප්‍රේමය ජාතිවාදී ‍කො‍දෙවු මානසිකත්වය ‍මිසක් එකම ජාතියක් ‍ලෙසින් රට නගා හිටුවන්නට එක්වී‍මේ උත්සාහයක් ‍නොවන බව නම් ‍හොදටම පැහැදිලියි.

වෙසෙත් උතුමෝ අහුරු ගණනින්….!

උපත ලබන්නට සුදුසුම රට කුමක් ද...?

උපත ලබන්නට සුදුසුම රට කුමක් ද…?

හොඳින් හිරු පායා තිබුණ ද සීත සුළං හමා ගිය සීතල උදය වරුවකි ඒ.

කාර්ය බහුල වැන්කුවර් නගරය සමීපයේ වූව ද තරමක නිසංසල වටපිටාවක පිහිටි අවහන්හලකට ඉතාලි ජාතික මගේ මිතුරෙකුත් මාත් ගොඩ වූයේ දිවා ආහාරය පිණිසය.දිවා ආහාර සදහා තරමක් උදෑසන වැඩි වූ බැවින්දෝ ඒ වනවිට අවන්හලේ රැඳී සිටියේ කිහිප දෙනෙකු පමණි.

ආහාර පිළියෙළ කිරීම සඳහා තරමක් කාලය ගත වන බව අත්දැකීමෙන්ම දැන සිටි බැවින් අසුන් ගන්නට පෙරදීම අවන්හලේ කවුන්ටරයට යාබදව තිබූ රාක්කයෙන් සගරාවක් ගත්තේ පුරුද්දට මෙනි.

මිතුරා සමග අල්ලාප සල්ලාපයෙහි යෙදෙන අතරම සගරාවේ කවරය වෙත නෙත් යොමු කළ මා දුටුවේ සිත් ඇද ගන්නා සුලු මාතෘකාවකි. වසර 2013 දී උපත ලබන්නට සුදුසුම රට කුමක් ද…? යන්න සගරාවේ කවරයේ කතාවට පාදක වී තිබූ මාතෘකාව වූයේය. ස්වාධීන ආර්ථික සමීක්ෂණ සංවිධානයක් විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයක් ඔස්සේ සකස් කර තිබූ වාර්තාවක් ඇසුරින් ගත් තොරතුරු සමුදායක් සගරාවේ සටහන්ව තිබූ බැවින් මිතුරාත් මාත් දෙදෙනාටම අපේ ආහාර සකස් වනතෙක් එය අපූරු මාතෘකාවක් බවට පත් වූයේ නිරායාසයෙන්ය. උසස් ජීවන තත්ත්වය , උපතේදී අපේක්ෂිත ආයු කාලය , සමානාත්මතාව , දික්කසාද වීම් ආදී වූ පුද්ගල සාධක මෙන්ම වර්ෂාපතනය , පරිසරයේ ගුණාත්මකභාවය ආදී වූ කාලගුණ දත්තයන් පවා අවධානයට යොමු කර සකස් කර තිබූ මෙම සමීක්ෂණයට අනුව 2013 වසරේ දී උපදින්නට සුදුසුම රට ස්විට්සර්ලන්තයයි. උපදින්නට සුදුසුම සෙසු රටවල් දහය අතර ඇත්තේ ඕස්ට්රේලියාව , නෝර්වේ , ස්වීඩන් , ඩෙන්මාර්ක් , සිංගප්පූරුව , නවසීලන්තය , නෙදර්ලන්තය , කැනඩාව සහ හොං කොං දේශයයි. ලොව බලවත්ම රට බවට නිතරගයෙන් පත්ව තිබෙන ඇමරිකාව මෙම දර්ශකයට අනුව 16 වන ස්ථානයට පත්ව ඇති අතර ජර්මනිය ද සම තත්ත්වය ලබමින් එම ස්ථානයට පත්ව තිබුණේය. 2012 වසරේ දී හොඳින්ම දරුවකු හදා වඩා ගන්නට හැකියාව තිබූ රට ලෙස සටහන්ව තිබුණේ කැනඩාවයි.

මගේ මිතුරා ඉතාලිය ඇත්තේ කවර ස්ථානයකදැයි බලන්නට උත්සුක වෙද්දී මගේ දෙනෙත් ද ඉක්මණින්ම දිව ගියේ ලංකාවේ තත්ත්වය දකිනු රිසියෙනි. දර්ශකයට අනුව ඉතාලිය තිබුණේ 21 වැනි ස්ථානයේය. දරුවකු බිහිවීමට නුසුදුසුම රට ලෙස දර්ශකයේ අවසන් ස්ථානය වූ 80 වැනි ස්ථානය ලබා ගනිමින් නයිජීරියාව නම් කොට තිබූ අතර ලංකාවත් , පිලිපීනයත් සම තත්ත්වයේ සිටිමින් 63 වන ස්ථානයේ ස්ථානගත වී තිබුණේය.

2012 වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් වූ අවසාන සඟරාව බැවින් සගරාවේ සෙසු ලිපි ද වෙන් වී තිබුණේ 2012 වසරේ ලෝකය දෙස ආපසු හැරී බැලීම සදහාය. මේ නිසාම සගරාවේ තිබූ සෙසු ලිපි ද කුතුහලය දනවන ආකර්ශනීය තේමාවන් ඔස්සේ සකස් වී තිබුණේය.

ඒ අනුව 2012 වසරේ ලොව යහපත්ම රටවල් එසේත් නැතිනම් අඩුම දූෂණයන්ගෙන් යුත් රටවල් දහය සම්බන්ධයෙන් ද ලියැවුණු අපූරු ලිපියක් එහි වූයේය. ඒ අනුව දූෂණයෙන් තොරවූ රටවල් අතර මුල්ම ස්ථානය ඩෙන්මාර්කයට හිමි වී තිබූ අතර ඊට මූලිකව බලපා තිබුණේ රටේ ජාතික ආදායම ජනතාව වෙනුවෙන් යහපත්ව වැය කරන ලොව විශාලතම සමෘද්ධිමත් සුභ සාධක රට ලෙස එය හදුන්වාදෙමිනි.

දෙවැනි ස්ථානය හිමි තිබූ ෆින්ලන්තය ගැන සටහන් කර තිබුණේ දුෂණ චෝදනාවන් ඉතාම කලාතුරකින් මතුවන රටක් ලෙසය. දුෂණයන්ට එරෙහිව සාර්ථකව වැට බැඳ ඇති රටවල් අතර මුල් තැනක් ගනිමින් ඒ සදහා විනිවිද පෙනෙන ඉතා සාර්ථක ක්රමවේදයක් සකස් කළ රටක් ලෙස ෆින්ලන්තය හඳුන්වා තිබුණි.

පිළිවෙළින් තුන සහ හතර වැනි ස්ථානයන් හිමිකරගත් නවසීලන්තය සහ ස්වීඩනය යන රටවල පාලකයන් දූෂණයට එරෙහිව වැට බැද ඇති අකාරය ද සගරාවේ අපූරුවට විස්තර කර තිබුණේය. පස්වැනි ස්ථානය ගත් සිංගප්පූරුව දීර්ඝ කාලයක් පුරා එක දිගට ලොව අඩුම දූෂණයන් අසන්නට ලැබෙන රටක් ලෙස ස්ථානගත වන්නට හේතු වී ඇත්තේ එරටෙහි ඇති කතා කිරීමේ නිදහස , යහපත් අධිකරණ පාලනය සහ නීතිය අකුරටම ක්රියාවේ යෙදවීමයි.

හය වැනි ස්ථානය ලබා ගත් ස්විට්සර්ලන්තය සටහන්ව තිබුණේ දූෂණයෙන් තොර රටක් ලෙසින් පමණක් නොව සෙසු සංවර්ධිත රටවල් අතර ඉතාම ඉහළ පරිසර සංරක්ෂණයක් පවත්වාගෙන යන රටක් ලෙස ද නම් කරමිනි.හත්වැනි සහ අටවැනි ස්ථානයන් හිමිකරගත් ඕස්ට්රේලියාව සහ නෝර්වේ එම ස්ථානයන්ට පත්ව ඇත්තේ එම රටවල දක්නට ලැබෙන විනිවිද පෙනෙන සුලු ඉහළ ගුණාත්මක බවින් යුත් දේශපාලන සංස්කෘතිය මත පිහිටාය.

නව වන ස්ථානයේ තිබූ කැනඩාව දූෂණයන්ගෙන් අවම වූ රටක් බවට පත්ව ඇත්තේ ලොව වෙන කිසිදු රටකට අසමාන වූ මානුෂික නිදහස සහ මූලික අයිතිවාසිකම් ඉහළින්ම සුරැකීමට කැනඩා රජය සමත් වී තිබූ නිසාය.

දහවන ස්ථානයට පත් ව තිබූ නෙදර්ලන්තය එම දීර්ඝ කාලයක් පුරා පරම්පරානුගත සංස්කෘතික නිදහසකට උරුමකම් කීම දූෂණයන්ගන් අවම වීමට බලපා ඇති බව සගරාවේ සටහන්ව තිබුණි.

මෙම ලිපියේම කොටසක ඉතාලියේ හිටපු අගමැතිවවරයා සිදු කරනු ලැබූ අදායම් බදු වංචාවක් නිසා ඔහුව වසර හතරකට සිර ගෙට යැවූ බවට වූ විශේෂ සටහනක් එම හිටපු අගමැතිවරයාගේ වර්ණ ඡායාරූපයක් ද සමග පළ කර තිබුණේ දූෂණයන්ට වැට බැදීම සදහා ඉතාලි රජය විසින් මෑතක දී සම්මත කරගත් නීතියක යහපත් අංග පිළිබඳව ද විස්තරාත්මක සටහනක් තබමිනි.

දූෂණය සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය කෙසේදැයි මගේ මිතුරා විමසද්දී මා ඒ කතාවෙන් ලිස්සා ගියේ අවහන්හලේ සේවිකාව විසින් ගෙන එනු ලැබූ සලාදයක ගුණා ගුණ කියමිනි. මගේම වාසනාවට ලොව දූෂණයෙන් අඩුම රටවල් අතර වූ ඒ ලැයිස්තුවේ ලංකාවට හිමිවන්නේ කවර ස්ථානය ද යන්න නිශ්චය කරගත හැකි කිසිදු සළකුණක් සගරාවේ ලේඛකයන් අතින් ලියැවී තිබුණේ නැත.එය වාසනාවක් ලෙසින් මට සිතුණේ දූෂණ සම්බන්ධයෙන් ගත් විට හොද කැරැට්ටුවක් අපට ඇතැයි සිහිනෙකිනුදු සිතියි නොහැකි වු බැවිනි.

මා ජීවත් වන කැනඩාව පමණක් නොව ඇමරිකාව , ස්වීඩනය , ඩෙන්මාර්ක් , ඕස්ට්රේලියාව හෝ වෙනත් ඕනෑම සමෘද්ධිමත් රටක් ගත් විට මෙම රටවල දැකිය හැකි දියුණුවත් , යහපත් රාජ්ය පාලනය මෙන්ම දූෂණය හා වංචාව අවම වීමටත් බලපා ඇති මූලිකම සහ වැදගත්ම සාධකය වී ඇත්තේ මෙම සියලු රටවලට පොදු වූ ධර්මතාවන් දෙකක් නිසාය. ඒ නීතියේ සමානාත්මතාවය සහ දේශපාලනය පාදඩකරණයට ලක් වී නොතිබීම යන හේතූන් දෙකයි.මේ රටවල නීතියේ සමානාත්මතාව කෙතරම් ඉහළ ද යත් මේ මේ සියලු රටවල අගමැතිවරයා හෝ ජනාධිපතිවරයාටත් , රටේ ජීවත්වන කොයි කවර අන්දමේ පුරවැසියාටත් නීතිය ඉදිරියේ හිමිවන්නේ සමාන තත්ත්වයකි.

ලොව අන් කවර දේසයකින් හෝ සොයා ගත නොහැකි අරුම පුදුම මැජක් තනතුරක් වන ලංකාවේ විධායක ජනාධිපතිවරයාට හිමිවන බලතල වලින් දහයෙන් පංගුවක බලයක්වත් ලොව බලවත්ම රට වන ඇමරිකාවේ ජනාධිපතිවරයාටවත් කිසිදා කිසිදිනක හිමි වී නැත.මිහිපිට සිටි කිසිදු ඇමරිකානු ජනාධිපතිවරයකුට හිමි වූයේ ද නැත. මේ නිසාම නීතිය අතට ගන්නට මේ කිසිදු රටක ව්ය වස්ථාදායකයට හැකියාවක් නැත. මේ සියලු රටවල ආණ්ඩු ක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීම බරපතල අපරාධයක් වන්නේය. ඒත් අපේ රටේ විධායකය එසේත් නැතිනම් විධායක බලතල සහිත ජනාධිපතිවරයා කෙසේ හැසිරුණු ද එය පාලනය කිරීමේ බලයක් ව්යස්ථාදායකය හොබවන පාර්ලිමේන්තුවටවත් , අධිකරණයටවත් නැත. එය ලෝකයේ දියුණු යැයි සම්මත එසේත් නැතිනම් ශිෂ්ට යැයි සම්මත කිසිදු රටක දක්නට නැති විකාර සහගත රාජ්‍ය පාලනයකි. මේ නිසාම විධායක ජනාධිපති ධුරයට පත්වන කවර යහපත් පාලකයකු වුව ද දරුණු ඒකාධිපතියකු බවට පත් කිරීමේ හැකියාව අපේ ආණ්ඩු ක්රම ව්යවස්ථාවට ඇති බව අපි අත්දැකීමෙන්ම දනිමු. දියුණු යැයි සම්මත සියලු රටවල ආණ්ඩු ක්රම ව්යවස්ථාව එම රටවල සිවිල් ආගම බවට පත්ව ඇත්තේය. එහෙත් අපේ රටේ ආණ්ඩු ක්රිම ව්යවස්ථාව සම්බන්ධයෙන් එසේ සිතීම පවා ඉල ඇදෙන මට්ටමේ විහිලුවක් වන්නේය. මේ නිසාම අපේ දේශපාලකයන්ට ජනතා ආශිර්වාදය ඇතිවම ආණ්ඩු ක්රම ව්යවස්ථාව යන නාමය තොල් මතුරමින් ජනතාවට වින කටින නාඩගම් පාන්නට ඉඩ කඩ ලැබී තිබේ.

ලොව දියුණු යැයි සම්මත සියලු රටවල අධිකරණ නිදහස ද වචනයේ පරිසමාප්තියෙන්ම උත්තරීතරය. ඒත් අද වන විට ලං‍කාවේ පාලක රජය අධිකරණයේ තීන්දු පිළි නොගන්නා බව නිළ වශයෙන්ම ප්රසකාශ කර ඇති බැවින් මිනිසුන් පිළිසරණ සොයා අධිකරණය ඉදිරියට යනු වෙනුවට අද සිදුව ඇත්තේ තම නිදහස සොයා අධිකරණයට මිනිසුන් ඉදිරියට යාමටය. මුලු ලොවම තවත් නව වසරකට පා තබන මේ මොහොතේ ලංකාවේ අප ලොව දූෂිතම රාජ්ය පාලනයන් ගුරු කොට ගැනීම කවර නම් වූ අවාසනාවක් ද…?

එදා සිටම අදත් හෙටත් අපේ ජනතාව රැවටිය හැකි අපූරු වචන සමුදායක් අපේ පාලකයන්ටත් , අපේ මාධ්යන්ටත් තිබේ. ඒ “ පාර්ලීමේන්තුවේ උත්තරීතරභාවය ” සහ “ ජනතා පරමාධිපත්යය ” නම් වූ හිස් වචන දෙකයි. ඉතාම කීකරු ජනතාවක් වූ ලාංකීය පුරවැසියා කිසිදා කිසිදිනක උත්තරීතරවන්නේ කුමක්දැයි එහෙමත් නැතිනම් තමන්ට හිමිව ඇති මේ පරමාධිපත්යය කියන්නේ කුමක්දැයි පෙරළා ප්රශ්න නගන්නේ නැත. ඒ නිසාම මේ දේශපාලක “ උත්තරීතර ” මිනිසුන් විසින් ජනතා පරමාධිපත්යය ලබමින්ම රට “ උත්තරීතර ආගාධයක ” ට දක්කමින් තිබේ.

දිනපතා පුවත්පතක් බැලූ විට සියලු හොර මැරකම් දූෂණයන්ට මුල් වී ඇත්තේ ජනතා පරමාධිපත්යය ලැබූ මේ උත්තරීතර මිනිසුන්ය. කිරි සුවද නොගිය දැරියන් දූෂණය කරනුයේ නිකම්ම නිකම් පළාත් සභා මන්තිරිවරුන් නොව පළාත් සභා සභාපතිවරුන්ය. උත්තරිතර දේශපාලකයකුගේ වාහන අනතුරක් සිදුවූ විට එම වාහන තුළින් මතු වන්නේ කිලෝ ගණනින් ගංජා සහ නීති විරෝධී ටී 56 ගිනි අවිය. තවත් උත්තරීතර ඇමති ආචාරියකු සිය උත්තරීතර පුතණ්ඩියා සමග එක්ව මුලු ලංකාවේම දරුවන්ට මත් කුඩු සහ එක්ස්ටසි නම් වූ මත් පෙති බෙදා දෙන අතර මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජාවන්ට එරෙහිව බජාර් සටන් පාඨ නගන්නේ ජාතියේ දරුවන් රැක ගැනීමට වඩා එළුවන් රැක ගැනීම රජයේ ප්රතිපත්තිය නිසා විය යුතුය. දහම් පාසල් විභාගයක්වත් හරිහැටි පවත්වා ගත නොහැකි වූ ලොව අසාර්ථකම අධ්යාපන ඇමතිවරුන් දෙබානක් ඉල්ලා අස්නොවී තව දුරටත් සුදු රෙද්ද හඳින්නට තරම් සදාචාර සම්පන්න වී ඇත්තේ මේ උත්තරීතරභාවය නිසා විය යුතුය. ඒ නිසාම ඉල්ලා අස්වනු වෙනුවට පිට වූ ප්රශ්න පත්තර සදහා නොමිළයේ ලකුණු දීමේ පිළිවෙළක් ලොවට හඳුන්වා දුන් මෙවැනි උත්තරීතර දේශපාලුවන් සිටින රටක් ඇතුළත් කළ හැකි දර්ශකයක් තවම හඳුන්වා දී නොතිබීම සැබැවින්ම වාසනාවකි. රටේ දිග පළලවත් හරිහැටි කියා ගන්නට නොදොන්නා තොදොල් නලු නිළියන් රටේ ජනතාව බරපතල තීන්දු තීරණ ගන්නේ ඔවුන්ගේ උත්තරීතර භාවය නිසා නම් මෙගා ටෙලි කෝලම්වල රගපාන සියලුම නලු නිළියන් උත්තරීතර විය යුතුය. සියලු මත් කුඩු ජාවාරම්කරුවන් , හරක් හොරුන් , මැරයන් පවා උත්තරීතර විය යුතුය. මන්ද යත් ලංකාවේ වර්තමාන දේශපාලය යනු මේ සකල විධ නාඩගම්කරුවන්ගේ එකමුතුවක් බැවිනි. රටේ හතරවැනි පුරවැසියා වන අග විනිසුරුවරිය සිය තනතුරට සුදුසුදැයි සොයා බලා නීතිය විග්රහ කරන්නට “අට සමත් උගතුන් ” සහ දත් දොස්තරවරුන් සහභාගි වන තරමටම මේ උත්තරීතරභාවය දෝර ගලා යමින් තිබේ.

යුද්ධය නිමා වූයේ යැයි පම්පෝරි ගැසුව ද ජනතාව මත මිරිකී ඇති ජීවන බර යුද්ධය පැවැති දශක තුන තුළ දී ම නොතිබූ තරම්ම දරුණුය. පාන් ගෙඩියට බදු පටවන අතරේ සුඛෝපභෝගී මෝටර් රථවල බදු ඉවත්කරන ලොව එකම රට ද ලංකාවට බවට සැකයක් නැත. අනෙත් අතට යුද්ධය නිමා වී වසර තුනක්ම ගත වුව ද අද වන විට ද 11,000 කට අධික පිරිසක් මේ වනවිටත් යා යුතු මගක් නොමැතිව කඳවුරුවල දුක්විඳින බව මෑතකදී නිකුත් වූ අලුත්ම අන්තර්ජාතික මානව හිමිකම් වාර්තාවේ පවා සදහන් කර තිබේ. පිටරට යවන බව කියමින් අහිංසක මිනිසුන්ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කරමින් පරණ යකඩ බඩු පවා වංචාකොට විකිණූ අධමයන් විවෘත වරෙන්තු තිබියදීත් රාජ්ය මාධ්ය ආයතනවල ඉහළම ධුරයන් හොබවන ලොව එකම රට ද ලංකාවය.

තවත් වසරක් ගෙවී යමින් අලුත් වසරක් උදා වූ මේ මොහොතේ මුලු ලොවම ඉදිරියට පා තබද්දී මේ උත්තරීතර මිනිසුන්ට පින් සිදු වන්නට මේ වනවිට අපි ගල් යුගය වෙත හැල්මේ දුවමින් සිටිමු. රට මෙවැනි අගාධයක සිරගත වූයේ හිටි හැටියේම නොවේ. එය ගෙවී ගිය දශක ගණනාව පුරාම සිදූ වූවක් බැවින් රට වැටී ඇති ආගාධයේ පීතෘත්වයේ වගකීමෙන් ගැලවෙන්නට විපක්ෂයට ද කිසිසේත්ම හැකියාවක් නැත.

දශක ගණනාවකට පෙර මහජන නියෝජිතයන් ලෙස තේරී පත් වූ පිරිස කිසියම් ආකාරයක උගත්කමින් හෙබි පිරිසක් වූහ. මේ නිසාම ඒ යුගයේ හැන්සාඩ් වාර්තා පවා ගැඹුරුය. හරවත්ය. එහෙත් අද වනවිට ලංකාවේ දේශපාලනය යනු පාදඩ පැලැන්තිය නියෝජනය කරන්නක් බවට පත් වී ඇත. සොත්ති උපාලිලා කෘත්යා ධිකාරී මණ්ඩලයේ සිටි යුගය නිමාවී ඔවුන් උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුව නියෝජනය කරන යුගයකට රට අවතීර්ණ වී ඇත. දේශපාලනයේ මේ පාදඩකරණය තුළ 2013 වසර දරුවකු උපදින්නට තබා දරුවකු පය ගසන්නටවත් සුදුසු රටක් ලෙස ලංකාව කිසියම් දර්ශකයකට ඇතුළත් කළ හැකි වේවි ද…?

මේ ආකාරයට මං මුළා වී ආගාධයක ගිලී යන රටක් ගොඩ නගන්නට හැකියාව ඉතිරිව ඇත්තේ ආයතන තුනකට පමණි. එනම් අධිකරණය , විපක්ෂය සහ ජනමාධ්ය යි. ඉහතින් සදහන් කළ ලෙස අධිකරණයට පවා අද මහජනතාවගේ සරණ පතනු මිස අන් සරණක් නැත. විපක්ෂයක් කියා යමක් රටේ නැති බැවින් ඒ ගැන සටහන් කිරීම පවා වචන අපතේ යැවීමකි. ස්වාධීන සහ නිදහස් ලෙසින් තමන්ම හඳුන්වා ගන්නා සියලුම මාධ්යයන් ලේක් හවුස් මුද්රණ යන්තරයෙන් බෙදා හරින පත්තර කඩමාලුවලට වඩා වෙනස් වන්නේ නමින් පමණි.

ඉතින් එවන් වූ රටකට තවත් අලුත් අවුරුද්දක් උදා වී තිබේ.

උදා වූ වසර සුභ නව වසරක් වන්නේ “ උත්තරීතරභාවය ”සහ “ පරමාධිපත්යය ”යන වචන දෙක මේ වසර තුළ දීත් දොහොත් මුදුනින් පිළිගන්නට අපේ පුරවැසියන් කොයි තාක් දුරකට සිත හදා ගෙන ඇති ද යන බරපතල කාරණය මත පමණක් බව අවසාන වශයෙන් සටහන් කළ යුතුව ඇත.