දවස් ගෙවී ගියා මෙසේ

සති තුනක් කියන්නේ බොහොම කෙටි කාලයක්. ඒත් සති තුනක කෙටි කාලයක දී කෙනෙකුට විවිධාකාර අත්දැකීම් අත්විඳින්නට පුලුවන්. බොහොමයක් වෙලාවට කෙනෙකුගේ මිහිරි අත්දැකීම් ඒ ඒ පුද්ගලයන්ට පෞද්ගලිකයි, ඒ වගේම භාවාතිශයයි. ඒ නිසා ඒ මිහිරි අත්දැකීම් බෙදා හදා ගැනීම තවත් කෙනෙකුට නීරස වෙනවා වගේම ඒ කියන අර්ථයෙන් විඳින්නත් බැහැ.

ඒත් අමිහිරි අත්දැකීම් කියන්නේ තවත් කෙනෙකුත් එක්ක බෙදා හදා ගන්න පුලුවන් දෙයක්. ඒකට හේතුව ඒ අත්දැකීම් සමාජීය යහපතට යොදා ගන්නට පුලුවන් නිසා.

ඉතින් මේ කියන්නට යන්නේ ලංකාවේ ගත කළ සති තුනක කාලයේ දී ලැබූ එවන් අත්දැකීම් කිහිපයක්.

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

මා අත තිබූ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයෙන් ලංකාවේ වාහන පදවන්නට මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් කිසියම් සහතිකයක් ගත යුතුද යන්න ගැන මා හිත මිත්‍ර උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ම අසා බැලුවෙමි. ඔවුහු සියල්ලෝම පාහේ රථ වාහන පොලිසිය භාර උසස් නිලධාරියෝ වූහ. එහෙත් ඒ සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය ගැන පැහැදිලි අවබෝධයක් ඔවුන් එක් අයෙකු හෝ සතු නොවූවාක් මෙන්ම ඔවුන් පැවසූ කරුණු ද එකිනෙක පරස්පර වූයේය. ලංකාවේ රියදුරු බලපත්‍රය මා සතුව නොතිබුණත්, ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් මා රැගෙන විත් තිබුණේය. ඒ සදහා වූ ප්‍රඥප්තියට ලංකාව ද අත්සන් කර තිබුණු බැවින් ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය වලංගු වූ රටවල් ගොන්න අතරේ ශ්‍රී ලංකාවේ නම ද එම බලපත්‍රයේම සටහන්ව තිබුණි. එහෙත් ලංකාවේ ගත කරන කෙටි කාලය තුළ දී අප්‍රසන්න සිදුවීම් ඇති වීම අවම කර ගැනීම සදහා මේ තත්ත්වය නිශ්චිතව නිරාකරණය කර ගන්නට මට ඇවැසි විය. එබැවින් රටට ඇතුලු වන්නටත් පෙරම මේ සම්බන්ධ නීතිමය තත්ත්වය මා හා නීති වෘත්තියේ යෙදුණු  මිතුරන්ගෙන් විමසූ නමුත් ඔවුන්ගෙන් ද ඒ ගැන පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිහිප වරක්ම සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කළෙමි. එහෙත් ඒ ගැන කිසිම තොරතුරක් එහි අන්තර්ගත කර තිබුණේ නැත. එබැවින් ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයේ නීතිමය තත්ත්වයට අදාළ නීති ලේඛනයක් මා රැගෙන ආවේ මතු ආරක්ෂාව පිණිසය. කෙසේ වුවද හිත මිත්‍ර ඇතැම් පොලිස් නිලධාරීන්ගෙන් කෙනෙකු කීවේ මගේ රියදුරු බලපත්‍රය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහතික කරවා ගත යුතු බවය. මගේ හිතවතෙකු හරහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු ද පැවසුවේ එවැනි සහතිකයක් ලබා ගත යුතු බවයි. පෝලිමේ රස්තියාදු නොවී එය පහසුවෙන් කරගන්නට හැකි ඉඩකඩක් ද ඔහු සලසා දුන් බැවින් ඔහු පැවසූ පරිදි මා කළ යුතු වූයේ දෙපාර්තමේන්තුවට ගොස් අදාළ නිලධාරියා කෙලින්ම හමුවී විනාඩි පහෙන් දහයෙන් එය කර ගැනීම පමණි.

එක් එක් තැන්වල සෙනග පොදි කමින් සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරියා සිටි කාර්යාලය කරා මා යද්දී ඔහු හමුවී තම වැඩ කටයුතු කරගැනීම සදහා ඒ වනවිටත් මිනිස්සු හය හත් දෙනෙක් පෝලිම් ගැසී සිටියහ. ඇදුනුම්කම මාර්ගයෙන් පෝලිම මග හැර ඔහුගේ කාර්යාලයට රිංගන්නට හිරිකිතයක් දැනුණු බැවින් මම ද පෝලිමේ අවසානයට එක් වූයෙමි. හිමිහිට ඉදිරියට ඇදුණු පෝලිම, මට ඉදිරිපිටින් එක් කෙනෙකු සිටිය දී නතර වූයේය. ඒ අදාළ නිලධාරියා කාමරයෙන් පිටතට ගිය බැවිනි. ඔහු පැමිණෙන්නට විනාඩි හතළිස් පහකට අධික කාලයක් ගත වූ බැවින් ඒ වන විට බොහෝ දිගු පෝලිමක් මා පසුපසින් පෙළ ගැසී තිබුණි. පැයක පමණ කාලයක් පුරා එක තැන සිටගෙන සිටීම සුවපහසු කාරණාවක් නොවූවත්, නිලධාරියා යළි එනතුරු බලා සිටිනු හැර කරන්නට කිසිත් නොතිබුණේය. මා පෝලිම් ගැසී සිටි කාමරයට යාබද කාමරයේ සිටි නිලධාරියා හමුවන්නට ද එවැනිම පෝලිමක් තිබුණේය. ඒ පෝලිමේ සිටි කිසිවෙකුට දුරකථන ඇමතුමක් ලැබුණේය.

“ මං දන්නේ නැහැ මචං කීයට එන්න පුලුවන් වෙයිද කියලා. අත්සනක් අරගෙන යන්න තාම මේ පෝලිමේ රස්තියාදු වෙනවා ”. ඔහු සිය දුරකථනයට පිළිතුරු දෙන හඩ ඒ අවට සිටි අපට පමණක් නොව එහේ මෙහේ සැරිසරමින් සිටි ආරක්ෂක නිලධාරියාට ද ඇසෙන්නට ඇත.

“ සද්දෙ අඩු කරලා ඔයා ෆෝන් එක සාක්කුවට දාගන්නවා…. නැතිනම් තමුසෙවයි, තමුසෙගෙ ෆෝන් එකයි දෙකම අල්ලලා එළියට ඇදලා දානවා ”

ආරක්ෂක නිලධාරියා ගුගුළේය. ඇතැම් විට ඒ පෝලිමේ රස්තියාදු වෙමින් සිටි සෙසු මහජනතාවට ද අනතුරු හගවනු පිණිස විය යුතුය.

මහජනතාවගේ මුදලින් නඩත්තු වෙන රාජ්‍ය ආයතනයක ආරක්ෂක නිලධාරියෙකුට තම දෙපාර්තමේන්තුවට එන මහජනතාවට එපමණ බලයක් පාන්නට ඉඩක් ලැබුණේ කෙසේදැයි සිතා ගත නොහැකිව අන්දමන්දව සිටියදී මා බලා සිටි නිලධාරියා යළිත් කාමරයට පිවිසුණේය. ඒ සමගින්ම කොහෙන්දෝ ආ කිහිප දෙනෙක්ම පෝලිමට පිටතින් විත් දොරටුවට අනිත් පැත්තෙන් පෙළගැසී කාමරයට ඇතුලු වන්නට මාන බලන්නට වූහ. මා ඉදිරිපිටින් සිටි තැනැත්තාට තරමක උස් හඩින් මම මෙසේ කීවෙමි.

“ ඔයා මෙතැන දැන් පැයක විතර ඉදන් මාත් එක්ක පෝලිමේනේ ඉන්නේ.  ඒ නිසා කාටවත් යන්න දෙන්න එපා. ඔයා යන්න. ඊට පස්සේ මායි යන්නේ ”

ඒ සමගින්ම දොරටුව විවර වූ බැවින් ඔහු මා කී පරිදිම කාමරයට ඇතුලු වූයේ පෝලිමට පිටින් පැන ආ කිහිප දෙනාට ඉඩක් නොදීමය. ඒත් ඒ මොහොතේ දීම ආයතනයේ සේවකයෙකු තම හිතවතෙකු සමග මා ඉදිරිපිට මගේ ඉඩ අහුරා සිටගත් බැවින් මට යළිත් කටහඩ අවදි කරන්නට සිදුවූයේය.

“ ඔයා ඔය කරන වැඩේ වැරදියි නේද? අපි මේ හැමෝම දැන් මෙතැන පැයකට වඩා එක තැන හිටගෙන ඉන්නවා. ඔය විදියට ඔයාට පෝලිමෙන් පිට යන්න බැහැනේ ”

“ අපිට තියෙන්නේ මේ පොඩි අත්සනක් ගන්න ”, ඔහු කීවේ ගානකට නොගෙනය.

“ මටත් තියෙන්නේ පොඩි අත්සනක් ගන්න විතරයි. මේ පෝලිමේ ඉන්න හැමෝටම තියෙන්නේ අත්සනක් ගන්න විතරයි ”

“ මං මේ මහත්තයව අදුනනවා. ඒකයි ” මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ නීතිය එයද යන්න මා නොදන්නා නමුත් ඔහු එය කීවේ එය අතිශය සාමාන්‍ය කරුණක් ලෙස සලකා බව නම් පැහැදිලිය.

“ මාත් ආවේ ඇදුරුම්කමක් තියාගෙන තමයි. ඒත් මේ තරම් මිනිස්සු පෝලිමේ ඉන්දැද්දි පෝලිමට පිටින් යන එක හරි නැති නිසා තමයි මේ විදියට පෝලිමේ ඉන්නේ ”

“ ඇදුරුම්කමක් තියෙනවා නම් යන්නේ නැත්තේ ඇයි? ” තරමක විමතියෙන් මෙන් ඔහු කීවේ මට ඉඩ දෙමිනි. පෝලිමේ ඉදිරියෙන්ම සිටින්නේ මා වුවද ඇතුළට ගිය තැනැත්තා එනතෙක් කාමරයට ඇතුලු විය නොහැකිය.

“ ඔන්න මහත්තයා යන්නේ නැතිනම් මං යනවා ”, එසේ කී ඔහු ඒ නිමේෂයෙන්ම කාමරයේ සිටි තැනැත්තා නික්ම යන්නටත් පෙරම දොර විවෘත කරගෙන සිය හිතවතාද සමග කාමරයට රිංගා ගත්තේ මට හිතන්නටවත් ඉඩක් නොදෙමිනි.

ජංගම දුරකථනයෙන් කතා කළ තරුණයාට ගෝරනාඩු කළ ආරක්ෂක නිලධාරියාට ද මේ දෙබස ඇසුණත් ඔහු බීරෙකු සේ නිහඩය.

මෙවැනිම අත්දැකීමක් ආගමන හා විගමන කාර්යාලයේ දී මෙයින් වසර කිහිපයකට පෙර ලැබූ හැටි මට මතකය. මගේ දෑස් ඉදිරිපිටම එහිදී සිදුවූයේ මහ දවල් මංකොල්ලයක් බදු වූ මගඩි රැසකි.

මම මට පසුපසින් පෝලිමේ සිටි පිරිස දෙස බැලුවෙමි. පහළොවකට වැඩි පිරිසක් පෝලිමේය. මගේ පසුපසින්ම සිටියේ තාත්තා කෙනෙකුගේ වයස ඇති අහිංසක ගැමියෙකි.

“ අර මනුස්සයා ආවට පස්සේ මම යනවා. කිසි කෙනෙකුට පෝලිම පනින්නට දෙන්න එපා. මං එළියට එද්දිම ඔය මහත්තයා ඇතුළට යන්න ”, මා උස් හඩින් කීවේ නීති විරෝධීව පෝලිම් ගැසී සිටි පිරිසට ඇසෙන ලෙසය. මගෙන් පසු ඒ අහිංසක ගැමියාට කාමරය තුළට යන්නට ඉඩක් ලැබුණා ද යන්න ඇත්තටම මට මතක නැත. එයට හේතුව මා කාමරයෙන් පිටතට ආවේ විපිළිසර මනසකින් යුක්තව නිසාය. පැයක පමණ කාලයක් පෝලිමේ රස්තියාදු වීමෙන් පසුව අන්තිමේ දී මට දැනගන්නට ලැබුණේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියාත්, උසස් පොලිස් නිලධාරියාත් කිවූ ලෙසින් සහතිකයක් මට අවශ්‍ය නොවන බවයි.  තම රාජකාරියට අයත්, තම දෙපාර්තමේන්තුවට අයත් බොහෝ සේ සරල රාජකාරී කාරණාවක් සැක හැර දැන ගැනීම වෙනුවෙන්ම ලංකාවේ ගත කළ අතිශය කෙටි කාලයෙන් වටිනා වරුවක්ම ගත වී ගියේය. තම වෙබ් අඩවියට එකම එක පේලියක් පමණක්ම එක් කීරීමෙන් මෙය කරන්නට හැකි බවට වූ නුවණැසක් අනේ ඔවුන්ටත් තිබුණා නම්!

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

කොල්ලුපිටියේ අතුරු මාර්ගයකින් වාහනය පදවා ගෙන පැමිණි මම ගාලු පාරට වාහනය හරවා ගැනීමේ අපේක්ෂාවෙන් සිටියෙමි. ඒ ඉරු දින සවස් වරුවේ ගාලු මුවදොර සරුංගල් සැණකෙළියක් තිබූ බැවින් කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර දක්වා මාවත බොහෝ සේ තදබද වී තිබිණ. මා යමින් සිටියේ සරුංගල් සැණකෙළියට නොවුණත්, මා යමින් සිටි ස්ථානය ඇත්තේ ගාලු මුවදොරත්, කොල්ලුපිටියත් අතර තැනක වූ බැවින් ඒ සදහා වෙනත් විකල්ප මාර්ගයක් මට තිබුණේ නැත. තදබදය නිසාම ප්‍රධාන පාරේ සිටි පොලිස් නිලධාරියෙක් සිය දෑත් වලින් වාහන හසුරවමින් සිටියේය. පොලිස් නිලධාරියාගේ සංඥාව ලැබෙන තුරු අතුරු පාරෙන් ගාලු පාරට වාහනය හැරවීම සදහා සිටි වාහන පෙළෙහි මුලින්ම සිටියේ මාය. හතර අතටම වාහනත්, මිනිසුනුත් එකට පොදි කමින් සිටි ඒ මංසන්ධියේ වාහන හැසිරවීම ඇත්තෙන්ම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.  මගේ පසුපසින් සිටි වාහනය නොනවත්වාම වාහනයේ නළාව ශබ්ද කරමින් සිටියේය. මේ වාහන පෙළ නොතකා වාහනය ධාවනය කරන ලෙස ඔහු මට කරන විධානයකි ඒ. ඉදිරියෙන් පොලිස් නිලධාරියෙකු පාර හසුරුවන බව ඔහු නොදැන සිටියා විය යුතුය. පාර පනින පදිකයෙකුට වාහනය නැවැත්වූ විට “ඇයි ඉඩ දුන්නේ?” යන ප්‍රශ්නාර්ථය නැගීමටත්,  වාහනය ධාවනය කරන සංඥාව හගවමින් කොළ එළිය වැටෙන්නටත් පෙර රතු එළිය තිබියදීම “දැන් සූදානම් වෙයන්” යන අනතුරු හැගවීම කරන්නටත්, නියමිත වේගයෙන් වාහනය ධාවනය කරන විට “හයියෙන් පලයන්” යන විධානය දෙන්නටත් පසුපසින් එන  වාහන වලින් නැගෙන මේ ආකාරයේ හෝන් විධාන වලට මේ වනවිට මා බොහෝ සේ හුරු පුරුදුව සිටි බැවින් මට පසුපසින් නොනවත්වා නැගෙන හෝන් හඩ මම මොහොතකටවත් මායිම් නොකළෙමි. එහෙත් මා කණස්සල්ලෙන් සිටියේ ඉදිරියේ සිටින පොලිස් නිලධාරියා මේ හෝන් හඩ නැගෙන්නේ මගෙන් යැයි සිතා දැන් දැන් පැමිණ මට දඩ කොළයක් ලියාවිය යන සිතිවිල්ලෙනි. මහත් පුදුමයකි. රථ වාහන හසුරවමින්ම මා දෙස බැලූ පොලිස් නිලධාරියා “ මොහොතකට ඉවසා ඉන්න ” යන සංඥාව මට කළේ “මගේ හෝන් නාදයට ” කාරුණික ප්‍රතිචාර දක්වමිනි.

ඒ පුදුමය වැඩි වේලාවක් දරා ගෙන ඉන්නට මට ලැබුණේ නැත. ගාලු පාරට හැරවූ සැනින්ම වාගේ ප්‍රධාන පාරේ පාර පනින්නට ඇති කහ ඉරි තීරු මතින් රථ වාහන පොලිස් නිල ඇදුම හැඳ සිටි තවත් පොලිස් නිලධාරියෙක් පාර පනිමින් සිටියි. මගේ ඉදිරිපිටින් සිටි වාහනයේ රියදුරා කහ ඉර මතින් පාර පනින පොලිස් නිලධාරියාට නොනවත්වා හෝන් හඩ නාද කරයි, ඒ ඉක්මනින් පාර පනින ලෙස පොලිස්ක නිලධාරියාට කරන විධානයකි. “මේ සැරේ නම් එයාට දඩ කොළය ෂුවර්”,  මම සිතුවෙමි. තවත් පුදුමයකි. “පොඩ්ඩක් ඉන්න” යැයි අතින් සංඥා කළ පොලිස් නිලධාරියා ඉක්මන් ගමනින් පාර පැන්නේය.

මහ පාරේ නීතිය හසුරවන්නේ රියදුරුන් නම් රටේ නීතිය හසුරවන්නේ කවුරුන් විය හැකිද?

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

මොරටුව හරහා ගිය ගමනක දී සපත්තු ජෝඩුවක් මිලදී ගන්නට සපත්තු වෙළෙඳ සැලකට ගොඩ වැදුණෙමි. මගේ සිතට සරිලන සපත්තුවේ මට අවශ්‍ය ප්‍රමාණය සොයා ගෙන එනතෙක් වීදුරු කවුළුවෙන් පිටත බලා සිටි මගේ නෙත ගැටුණේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ සමරු ඵලකය වෙතය. වීදුරු කවුළුවෙන් මා කියවූ දේ නිවැරුදිදැයි මටම විශ්වාස කළ නොහැකි වූයෙන් සාප්පුවෙන් ඉවතට විත් සමරු ඵලකය යළිත් වරක් සමීපව කියවූවෙමි. මා කියවූ හැටි නිවැරැදිය. සමරු ඵලකයේ සටහන් වන විදියට ජනතා මුදලින් ගොඩනැගිල්ල නිමකරන්නට මුල් වී ඇත්තේ මොරටුව “ වන්දනීය ” නගරාධිපති විසිනි. (ගොඩනැගිල්ල විවෘත කර ඇත්තේ 2005 වසරේ දීය).

20180820_092515_HDR

මා දන්නා දැනුමේ ප්‍රමාණයට වන්දනීය යන්නෙහි අරුත වන්දනාමානයට සුදුසු වූ එසේත් නැතිනම් ඉංග්‍රීසි බසින් HONOURABLE යන්නෙහි පර්යාය පදය වන පූජනීය යන අරුත දෙන වචනයකි. මොරටුවේ නගරාධිපතිවරයා හිමිනමක් හෝ වෙනත් ආගමක පූජකවරයෙකුදැයි ඇති වූ කුතුහලය නිසාම මා ඒ නම කිහිප වරක්ම කියැවූවෙමි. එහෙත් එය ගිහි නමක් බව මම වටහා ගත්තෙමි. මහජනතාවගේ බදු මුදලින් ගොඩනැගිල්ල ඉදිකළ බව සමරු ඵලකයේම සටහන්ව ඇති නමුත් සමරු ඵලකයට සම්මාදන් වූවෝ බොහෝය. ඔබ විශ්වාස කරන්නේ නම්, මේ සමරු ඵලකයේ සටහන්ව ඇති නම් ගම් ප්‍රමාණය තිහකි.  වීවෘත කරන්නට සහභාගි වී ඇත්තේ ද  කොළඹ සරසවියේ නීති පීඨය පවා හෙබවූ මහාචාර්ය ඇමැතිවරයෙකි. වන්දනීය යන්නට මා නොදන්නා වෙනත් තේරුමක් තිබිය යුතුමය. නැතිනම් මේ සමරු ඵලකයේ දෙතැනකම සටහන් වී ඇති “වන්දනීය” යන වචනය එසේ තියන්නට සමරු ඵලකයට නම ඔබා ගත් ඒ උගත් උතුමන් තිස් දෙනාගෙන් අඩුම තරමින්  එක් අයෙකු හෝ ඉඩ නොදෙන බව සහතිකය.

නොදන්නා දේ ඉගැනීම මගේ පුරුද්දකි. එබැවින් මගේ දැනුම වර්ධනය කරගනු වස් මේ සමරු ඵලකයේ පින්තූරයක් ගෙන මා හිත මිත්‍ර සිංහල ඇදුරෙකුට පෙන්නූවෙමි. “ගැටලුවක් නැහැ… කොළඹට ඉන්නවා පැන්ෂන් ගිය රූප රාජිනියක්,  මහරගමට ඉන්නවා නගරාධිපති සර් කෙනෙක්, මොරටුවට ඉන්නවා වන්දනීය නගරාධිපති කෙනෙක්… ඉතින් උඹට අවුල්ද? ” මා අවුල්දැයි නැතැයි කියාගන්නටත් පෙරම, තමන්ගේ ජංගම දුරකථනය ඇදගත් ඔහු තවත් ඡායාරූප කිහිපයක් මට පෙන්නුවේය. (තමන්ගේ ඇස ගැටෙන මෙවන් ඡායාරූප රැසක් ඔහුගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබුණි. ඔහු මට කීවේ එය තමන්ගේ අධ්‍යයන කටයුතුවලදී මහත් සේ ප්‍රයෝජනවත් වන බවය)

FB_IMG_1528036182153

ඔහු පෙන්වූ එක් සමරු ඵලකයක කොයි තරම් නම් ගම් ඔබා සිර කර තිබුණේ ද කියනවා ඒ දුටු මට සිහිවූයේ ජොකියන්ගේ නම් ගම් ඔබ්බවූ රේස් පත්තරයකි. ඔහු පෙන්වූ තවත් තවත් සමරු ඵලකයක ඡායාරූපය අනුව රටේ අධ්‍යාපන ඇමැතිවරයා සඳුන් ගසක් හිටවා තිබේ. සඳුන් පැලයට පිංසිදු වෙන්නට ඇමතිවරයා වෙනුවෙන් ද මහා සමරු ඵලකයක් ඉදිවී තිබේ. (මේ සටහන ලියද්දී ඒ ඡායාරූප දෙක මට එවන්නට ඔහු කාරුණික වූයේය)

පළාත් සභා මන්ත්‍රීවරුන්ට, නගරාධිපතිවරුන්ට ඇමතිවරයාට, නගරාධිපතිවරයාට මෙහෙම නම් රටේ අගමැතිවරයාට, ජනාධිපතිවරයාට කොහොම සමරු ඵලක ඉදිවෙනු ඇතිද? පොළොන්නරුවට ගිය ගමනේ දී සිද්ධ වෙනවා යැයි කියන සංවර්ධන ව්‍යාපෘති ගැන ලක්ෂ ගණනින් නාස්ති කරමින් පාර පුරා ඔසවා තිබූ යෝධ දැන්වීම් පුවරු විදුලියක් මෙන් මගේ සිතිවිලි අතරින් ඇදී නොපෙනී ගියේය. ඒ දැන්වීම් පුවරුවල පමණක් මුදල් එකතු කළේ නම් නාගරික රෝහලක් හෝ නාගරික පාසලක් පහසුවෙන්ම ඉදිකරන්නට හැකියාව තිබුණි. හම්බන්තොට වරාය විවෘත කරන්නට කළ රැගුම් ගැයුම් වෙනුවෙන් වැය කළ කෝටි දෙකහමාරක බිල්පත් පවා ඒ එක්කම මගේ මනසේ ඇදී නොපෙනී ගියේය.

FB_IMG_1535680775828

මේ සියලු සංවර්ධන කටයුතු, සියලු ගොඩනැගිලි ඉදිවන්නේ මහජනතාවගේ බදු මුදලිනි. දේශපාලකයන් සිය නිවසින් ගෙනා එකම එක සතයක් හෝ සංවර්ධන ව්‍යාපෘති වලට දායක වී නැත. එබැවින් සමරු ඵලක වුවමනාම නම් ඒවා ඉදිවිය යුත්තේ බදු මුදල් ගෙවන මහජනතාව වෙනුවෙනි.  මේ අකාරයේ ඔලමොට්ටල සංවර්න ඵලක ඉදිවන වේගයටත්, ඒවායෙහි නම් ගම් එබෙන ප්‍රමාණයටත් සමානුපාතිකව රටක පුරවැසියන්ගේ වහල්කම හා දීනකම ප්‍රදර්ශනය වන්නේය.

“ උඹට අවුල්ද ? ”යාළුවා යළිත් ඇසුවේය.

ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සිය ධුර කාලය පුරාම වරින් වර මහ පොළොව හාරා ගස් සිටවූයේය. කවුරුන් හෝ ගත් ඡායාරූපයක් හැරෙන්නට සමරු ඵලක නැත. ලොව පුළුල්ම පාලමට හිමි ගිනස් වාර්තාව ඇති අතිශය දැවැන්ත පාලම ඇත්තේ කැනඩාවේ මගේ නිවස පෙනෙන නොපෙනන මානයේය. පාලමේ කිසිම තැනක සමරු ඵලකයක් නැත. අනේ ඇමරිකාවත්, කැනඩාවත් ලංකාව තරම් පොහොසත් වුණා නම්…!

obama_planting_trees_z.jpg

 

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

පොළොන්නරුවේ දීප උයනට ඇතුලු වුණෙමි. කලින් සූදානම්ව සිටි කාර්යයකට තවත් හෝරාවක පමණ කාලයක් ඉතිරිව තිබූ බැවින් දීප උයනේ හිස් අවකාශය සිතට සිසිලසක් ඇති කරනු ඇතැයි සිතුණු බැවිනි ඒ. තණ නිල්ලෙන් වැසුණු ඒ කුඩා බිම් තීරුවට ඇතුලු වෙන්නටත් පෙරම, “ ටිකට් අරගෙනයි යන්න ඕනේ ” කියන හඬක් මතු වුණෙන් රුපියල් විස්ස ගණනේ ගෙවා සැමට ටිකට් පත් ලබා ගත්තෙමි.

දීප උයනෙන් නික්ම යාමට මත්තෙන් වැසිකිළිය වෙත පා නැගූ සැමට ටිකට් පත් නැවත අලෙවි කෙරුණේය. “රුපියල් දහයයි ” පිරිසිදු කරන්නිය කීවාය.

“ ඇයි අපි දැනටමත් සල්ලි දීලානේ ආවේ ?”

“ඒ පාක් එකට එන්න විතරයි. වැසිකිළියට ඇතුලු වෙන්න වෙනම ටිකට් ගන්න ඕනේ ”

උද්‍යානයට ඇතුලු වෙන ප්‍රවේශ පත් අලෙවි කරන කුටියත්, වැසිකිළියත් ඇත්තේ එකිනෙකට ඉතා සමීපවය, මීටර් කිහිපයක් නුදුරිනි.

“ඉතින් ඇයි එක ටිකට් එකකින් ඔය හැම දෙකම කරන්න බැරි ? මේක බොහොම පොඩි උද්‍යානයක්නේ” ප්‍රශ්නය ඇයට එල්ල කිරීමෙන් පළක් නොවන බව ප්‍රශ්නය නගද්දීම වැටහී ගියෙන් ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවූවෙමි.

පෙරදා දිවා ආහාරය සදහා ගොඩ වූ හෝටලයේ වැසිකිළියේ ද මෙවැනි දැන්වීමක් අලවා තිබූ බව මගේ මතකයට ආවේය. “හෝටලයේ අහාර පාන ලබා නොගන්නා අය වැසිකිළිය වෙනුවෙන් රුපියල් පනහක් ගෙවිය යුතුය”, යන්න එහි සටහන්ව තිබුණේය. දීප උයන, හෝටලය පමණක් නොව රට හරහා ගිය ගමනේ දී මෙවැනි දැන්වීම් පුවරු මම ඕනෑ තරම් දුටුවෙමි. මිනිසෙකුගේ අතිශය මූලික අවශ්‍යතාවක් වෙනුවෙන් මුදල් අය කරන ලොව එකම රට ශ්‍රී ලංකාවදැයි මම නොදන්නෙමි. ඒත් මා සංචාරය කර ඇති වෙනත් කිසිදු රටක එවැනි පුද්ගලික අත්දැකීමක් මට නැත.

“වැසිකිළිය භාවිත කිරීම සඳහා මුදල් අය කරනු නොලැබේ” යන දැන්වීම මගේ මුලු මහත් ජීවිත කාලය පුරාවටම මුල්ම වරට මා දුටුවේ ද මේ ගමනේ දී ලංකාවේදීය. වැසිකිළියට මුදල් අය නොකරන බව සිංහල, දෙමළ හා ඉංග්‍රීසිය යන භාෂා තුනෙන්ම සටහන් කරන්නට තරම් මහා ප්‍රවෘත්තියක් වීම ගැන මුවගට නැගුණු සිනාව නිසාම එහි ඡායාරූපයක් ගත්තෙමි. මේ දැන්වීම් පුවරුව මා දුටුවේ සීගිරිය කෞතුකාගාරයේය. ඒත් නොමිලයේ ලැබෙන වැසිකිළිය භාවිත කරන්නට පෙර කෞතුකාගාරය වෙනුවෙන් මුදල් ගෙවා ප්‍රවේශ පත්‍ර ලබා ගත යුතුය. (ලොව අට වැනි පුදුමය ලෙසින් නම් කරන්නට තරම් ලෝකයා විස්මිත කළ සීගිරියේ කෞතුකාගාරය නම් එවැනි පුදුමයකට කිසිසේත්ම උචිත නොවූ ඇල්මැරුණු කෞතුකාගාරයක් බව නම් නොකියාම බැරිය)

20180823_120625_HDR (1)

වැසිකිළිය ගැන කතාව ඇදුණෙන් ඒ හා බැඳුණු තවත් කතාවක් මගේ මතකයට එන්නේය. වසර ගණනාවකට පෙර ජීවිතයට බෙදා හදා ගත් ස්ථානයක් තරමටම සමීප වූ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටින් රිය පදවා ගෙන යද්දී ඊට ගොඩවී යන්නට මහත් සේ ආසා ඇති විය. ඒ හදිසි සිතිවිල්ලෙන්ම වාහනය පුස්තකාල භූමියට ඇතුලු කළෙමි. අතීත ස්මරණයන් ඔස්සේ පුස්තකාලයට ගොඩ වැදී ඒ මතක අතර සැරිසරා පුස්තකාලයේ ආපන ශාලාව වෙත දෙපා ඔසවද්දී දුටු දැන්වීමෙන් මම යළිත් වරක් විස්මයෙන් විස්මයට පත්වීමි. “ වැසිකිළිය භාවිත කරන්නට නම් රුපියල් දහයක් ගෙවිය යුතුයි ”. පොත් පත් ඇසුරු කරන්නට, පාඩම් කරන්නට දවස පුරා දරු දැරියන් රැඳී සිටින කොළඹ මහජන පුස්තකාලයේ ජරාජීර්ණ වැසිකිළිය භාවිත කරන හැම අවස්ථාවකම  රුපියල් දහය ගානේ. කොළඹ පුරපතිනියගේ වැසිකිළිය අලුත්වැඩියාවට පමණක් ඒ දූ දරුවන්ගේ දෙමව්පියන්ගේ බදු මුදලින් රුපියල් ලක්ෂ එකසිය හතළියක්! ආසියාවේ ආශ්චර්යය.

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

උදේ පාන්දර හිමිදිරියේ ඉර නැග එන්නටත් පෙර පොළොන්නරුවේ ගල් විහාරයට ගියෙමි. මිනිස් හඬින් තොර වූ ඒ මහා පිංබිමේ සිට එහි අතීත සෞභාග්‍යය සිතින් මවා ගත්තෙමි. කුරුළු හඩ හා ගස් අතු අතර පැන දුවන රිලා පැටවුන් මිස කිසිදු හඩක් නැත. උත්තුංග බුදුරුවේ ගල් කුළු මත තැවරුණු සිසිලස හදවත පතුලටම දැනුණු තරම්ය. සිත පුරා නැගුණු පහන් සිතිවිලිත් සමග පොළොන්නරුවේ කිරිවෙහෙර භූමිය ඔස්සේ රන්කොත් වෙහෙර වෙත පා නගන්නට සිතුවෙමි. ගල්කුළක අලවා තිබූ පෝස්ටරයක් නෙත ගැටුණේ කිරිවෙහෙරෙන් පිටතට ආ මොහොතේය.

“ සූවිසි දහසක් මහ රහතුන් වන්දනාව – පහන් අසූ හාර දහසක මහා අලෝක පූජාව – පැන් පාත්‍රා විසි හතර දහසක මහා පැන් පූජාව – ගුවන් ගැබෙන් ඇද හැලෙන පිච්ච මල් පූජාව සහ ලක්ෂ ගණනින් සුවඳ මල් පිදෙන මහා පුෂ්ප පූජාව… ” තවත් මෙකී නොකී අරුමෝසම් බොහෝය. පූජාව මෙහෙවන හිමියන්ගේ නම ද දැවැන්ත අකුරින් සටහන්ව තිබුණි. චෛත්‍යය වටලා උන්වහන්සේ කළ පළතුරු පූජාව මේ දැන්මවීම කියවද්දී මතකයේ ඇදී නොපෙනී ගියේය.

Rankoth

“දැන් පොළොන්නරුවේ කාටවත් ළිං වතුර බොන්න බැහැ. අපි වතුර ගන්නේ සල්ලී දීලා. ළිං වතුර වලට වස විස කවලම් වෙලා. බොහොම දෙනෙකුට වතුර ගන්න සල්ලි නැහැ. මැදිරිගිරිය පැත්තේ දරුවෝ නහයෙන් ලේ දාලා මැරෙනවා, වතුර සල්ලි දීලා ගන්න දෙමව්පියන්ට වත්කමක් නැති නිසා” මගේ මිතුරා කීවේ දැන්වීම කියවන්නට මා බොහෝ වේලාවක් ගත කරන බව දුටු නිසාය. මේ මහා පැන් පාත්‍රා විසි හතර දහස ඒ දරුවන් වෙනුවෙන් වැය වූවා නම්… අර මහා පළතුරු සලාදය ආර්ථික අගහිගකම් නිසා දිවි නසා ගන්නා දරු පවුල් වෙනුවෙන් වෙන් වුණා නම්….!

“ශ්‍රද්ධාව වැඩි වුණාමත්, ප්‍රඥාව ගිලිහිලා ගිහින් මහ ගොබ්බ සිතිවිලි තමයි අන්තිමට පහළ වෙන්නේ” මගේ මිතුරා කීවේය.

ගල් විහාරයේ දී සිතට දැනුණු අපමණ පහන් හැගුම්, සිත කොණින් මෝදු වී එන අපුලින් වැසී යා නොදිය යුතු බැවින් මම නැවත ආපසු හැරුණෙමි.

“ඇයි රන්කොත් වෙහෙරට යන්නේ නැද්ද ?”

“එපා… ආපහු ලංකාවට ආපු දවසක යමු” මිතුරා කිසිත් නොකීවේය. මහා පූජාව ගැන ඇළවූ දැන්වීම් පත්‍රිකා පිරුණු බොරළු පාර දිගේ අපි  බොහෝ දුරක් ඇවිද ආවෙමු. නිහඩව ඇවිද ආවද අපේ සිතිවිලි දොඩමළු වූයේ එකම අයුරින් බව අපි දෙදෙනාම දැන සිටියෙමු.

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

පොළොන්නරුවේ සිටි කාලය තුළ මා නැවතී සිටි නවාතැන පිහිටා තිබුණේ වැවක් අද්දරය. එය පරාක්‍රම සමුද්‍රයටම සම්බන්ධ වැව් තටාකයක් ද යන්න හරි හැටිම නොදන්නා නමුත් ඒ බිම් කඩ අතිශය සුන්දරය . ඉර බැස ගිය සවස් වරුවේ වැව් සිසිල විඳිනු රිසින් වැව අද්දරට පියමං කළෙමි. අලින් පන්නා හරිනු සදහා අධි සැර සහිත අලි වැටක් ඉදිකර තිබුණ ද වැව් තාවුල්ලේ සුවය විදින්නට එය කිසිසේත්ම බාධාවක් නොවීය.

මා සිටි වැව් තලය කෙළවරට වන්නට පිහිටි මහා මන්දිරයකින් නොනවත්වා වරින් වර විදුලි පන්දම් එළි ඈතට විහිදෙනු පෙනුනෙන් අසල සිටි ගම්වැසියෙකුගෙන් මම ඒ ගැන විපරම් කෙරුවෙමි. මන්දිරයේ අයිතිය ඇත්තේ ජනාධිපති පුත්‍රයෙකුටය. පුත්‍රයා මන්දිරයේ ඇතත් නැතත් කමාන්ඩෝ ආරක්ෂාව තරය. එළි දල්වන්නේ ආරක්ෂාව සහතික කරනු පිණිසය. මන්දිරය හිමි ජනාධිපති පුත්‍රයා රටේ සිවිල් සේවයේ හෝ ආරක්ෂක සේවයේ නිලයක් හොබවන්නට තරම් මුහුකුරා ගිය තරුණයෙක යැයි මා සිතන්නේ නැත. ආරක්ෂාව දෙන්නට තරම් ඔහුට ඇති තර්ජනය කුමක්දැයි මා දන්නේ ද නැත. රට සාමයෙන් පිරුණු සුරක්ෂිත දිවයිනක් බවට සහතික ලබා දෙන්නේ ද රජයමය. එබැවින් කමාන්ඩෝ ආරක්ෂාව මැද මන්දිරයක ජීවත් වීම ඔහුගේ සරල දිවි පැවැත්මේ සාමාන්‍ය අංගයක් විය යුතුය. හරියට මල්වානේ මන්දිරය මෙන්ය. අලුතින්ම හිතන්නට පුරුදු පුහුණු විය යුතු බොහෝ දේ රට තුළ සිදුවෙමින් පවතින්නේය. අපේ රටේ පරිපාලන සේවයට එක්වූ උගතුන්ට උපදෙස් දෙන්නට ජනාධිපති දියණියක වීම පමණක්ම ප්‍රමාණවත් බව එසේ මා මෑතකදී අවබෝධ කරගත් තවත් එක් කාරණාවකි.  “ජනාධිපති තාත්තා” කෙනෙකු සිටීම හරිම අපූරුය.

නීති විද්‍යාලයේ වැඩිම ලකුණු ලබා ගත් නීති ශිෂ්‍යයා, නාවික හමුදාවේ දක්ෂතම නාවික නිලධාරියා, ශ්‍රී ලංකාවේ ප්‍රථම අභ්‍යවකාශ විද්‍යාඥයා ද බිහිවූයේ එවැනි ජනාධිපති තාත්තෙකු සිටි එකම පවුලකිනි. එකම පවුලකින් මෙවැනි වාර්තාවන් තබන්නට තරම් සමත්කම් දැක්වූ වෙනත් රාජ්‍ය නායක පවුල් ලොව ඇතිද යන්න සෙවීම ගිනස් කමිටුවට භාරය.

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

සීගිරියෙන් පිටත් වී අනුරාධපුරයට එද්දී දවල් වී නොතිබුණෙන් සෙසු ස්ථාන කිහිපයක සැරිසරා නවාතැන වෙත ගියේ රුවන්වැලි සෑය වෙත යන්නට සුදුසුම වේලාව එය නොවන බව සිත කී බැවිනි. හිමිදිරි පාන්දර ගල් විහාරයට ගියාක් මෙන් හිරු බැස යන අඩ අදුරේ රුවන්වැලිසෑය අබියස හෝරාවක් දෙකක් තැන්පත්ව සිටින්නට සැලසුම් කරගෙන සිටියේ ලංකාවට එන්නටත් පෙර සිටමය.

සිහින් පිනි පොද වැස්සක් ඇද වැටුණු ඒ අපූරු හැන්දෑව හරිම මිහිරිය. නවාතැන් පොළේ සිට රුවන්වැලි සෑය වෙත පිය නැගුවේ ඒ මිහිරියාව ද සිත්හි දරාගෙනමය. රුවන්වැලි සෑයට වැටෙන මාවත අද්දර තරුණයෝ පිරිසක් මහ සෑයට ඇදෙන පිරිස වෙත ළා දම් පැහැති වරා මල් බෙදා දෙති. ඒ අපූරු තරුණයන් පිරිස ගැන ඇති වූ පහන් හැගිමින් සිත පිබිදී යනවාත් එක්කම ඇසුණු මහා ඝෝෂාවකින් මගේ අවධානය වරා මල් වෙතින් මහා සෑයට පිවිසෙන දොරටුව වෙත යොමු වූයේය. මා සිතුවේ කිසියම් කලබලයක් කියාය. මා සිතූ හැටි වැරදිය. එකිනෙකට වෙනස් රිද්මයන්ගෙන් නැගුණු සාධුකාරයත්, බෙරහඩත්, අතරින් ඇදෙන මහ පෙරහරකි ඒ. පෙරහරේ ගෙනියන්නේ “මහා චීවරයකි”. වරා මල් දෑතින් ගත් උපාසක උපාසිකාවෝ චීවරය තමන් පසුකර යන්නට පෙර ඊට අතගැසීමේ ලොබින් එහේ මෙහේ දුව යති. ඒ ගාලගෝට්ටිය නිම වනතෙක් තරමක් වේලා මහ සෑයට පිටතම රැදී සිටි අපි ඉන්පසුව මහ සෑ භූමියට ඇතුලු වූයෙමු.

මා බලාපෙරොත්තු වූ කාරණාව කිසිසේත්ම ඉටුකරගත නොහැකි බව පසක් වූයේ රුවන්වැලි සෑ භුමියට ඇතුලු වූ සැණකින්මය. මහ සෑයට පිටින් අප දුටු චීවර පෙරහැර මෙන්ම, තවත් චීවර ගත් පෙරහැර ගණනාවක් මහ සෑය වටා සක්මන් කරති. මහ සෑයට පැමිණ සිටි පිරිස ද මේ චීවර පෙරහැර වෙත ලහි ලහියේ යමින් ඊට අත ගසන්නට තැත් දරති. බෙර හඩ පරයා මහා සෙනගක මිනිස් හඩ දෝංකාර දෙන්නේය. ඒ අතරේ සිවුරු දරාගත් හිමිවරුත්, ගිහියෝත් මහ සෑයට නැග, ලහි ලහියේ මහ සෑය වටා සිවුරු අන්දවති. කඩිනමින් කළ යුතු බැවින් මහ සෑය උඩ ඔවුහු ඔබනොබ දුව යති. බිම සිටින ගිහියෝ මහ සෑයට සිවුරු අන්දවන පිරිසට උස් හඩින් උපදෙස් දෙති. නිස්කලංකයක් සොයා ඒ මහා සෑය වටාම පැදකුණු කළ ද මේ චීවර පෙරහැරේ ගාලගෝට්ටියත්, සෑය වටා සිවුරු අන්දවන පිරිසගේ කසිලි බිසිලියෙනුත් මිදෙන්නට කිසිම ඉඩක් කොතැනකවත් නැත.

IMG_1903.JPG

මහ සෑ රදුන් ඉදිරියේ තිබුණු එක්තරා කුටියක වසර ගණනාවක් පුරා එක්රැස් වූවයි සිතිය හැකි අටපිරිකර ගොඩ ගසලාය. තවත් කොණක රන්වන් පාට කළ කළ ගෙඩිවල නෙළුම් මල් පුරවලාය. සිහින් පිනි පොද වැස්ස නිසා තෙත් වූ භූමිය තමන්ගේ චීවර පූජාවට බාධාවක් කරාවිදෝ යැයි සිතුණු බිය නිසාදෝ තවත් පිරිසක් කොහේදෝ සිට ගෙන එන වතුර ඇද දමමින් මඩ සෝදා දමන්නට ගත් විගඩමෙන් සෑ මළුව තවත් මඩ වෙමින් තිබිණ.

IMG_1920.JPG

පොළොන්නරුවේ රන්කොත් වෙහෙරේ පැන් පාත්‍රා පූජාව හා පළතුරු පූජාව මෙන්ම මේ මහා චීවර පූජාවත් එකම හිමිනමකගේමද යන්න මම නොදනිමි. එය දැනගැනීමෙන් ඇති පළක් ද නැත. පූජාවන් කෙරෙන්නේ තරගයටය. එකෙකුට එකෙක් නොපරදින්නටය.

මහ සෑය ඉදිරිපිට කරන්නට අප සිතා සිටි කාරණාව සිහිපත් වීමෙන්දෝ මේ මහා ගාලගෝට්ටිය නිසා විපිළිසරව සිටි මගේ වැඩිමහල් දියණිය මා දෙස බැලුවාය.

“ අපි යමු… මේ මං දැනගෙන හිටිය බුද්ධාගමවත්, මං දැන හදුනාගෙන හිටිය බෞද්ධයෝවත් නෙමෙයි ”, මම ඇයට කීවෙමි. අපි ගිය පයින්ම ආපහු ආවෙමු.

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

කොළඹට එන අතරතුර අවුකන ප්‍රතිමා භූමියට ද පිය මැන්නෙමු. ලොවක් මවිත කළ ඒ අසහාය ප්‍රතිමාව අබියස දී සිතට මතුවන අප්‍රමාණ වූ හැගුම් සමුදාය නිදහසේ විඳින්නට ඉඩක් නැත්තේ ආධාර දෙන පිංවතුන්ගේ නම් ගම් කියමින් මයික්‍රෆෝනයෙන් මතුවන අප්‍රසන්න යකඩ හඩවල් නිසාය. අවුකන යනු මහා පෞරුෂත්වයෙන් සපිරි බුදු පිළිමයක් පමණක්ම නොවේ. අසහාය ප්‍රතිභාවක් සහිත කලාකරුවෙකුගේ අර්ථ පූර්ණ කලාකෘතියක් ද වේ. ඒ කලාකෘතිය විදිය හැක්කේ ප්‍රතිමාව ඉදිවූ පරිසරයේ ඇති සොබා දහම හා අනුගත වෙමින් මිස වානිජකරණයට ලක් වූ පන්සලක් තුළ දී නොවේ.

ප්‍රතිමාව පෙනෙන නොපෙනෙන සීමාවේ ප්‍රතිමාව ඉදිරියෙන් ලහි ලහියේ ඉදිවන ගොඩනැගිල්ලකි. මේ ගොඩනැගිල්ල ඉදිවූ පසු යකඩ කටවල් තුළින් දිවා රෑ පුරා පිරිත් සජ්ජායනා විකාශය නොවනු ඇතැයි සිතන්නට විහාර භූමියේ දැන් පවතින පරිසරය වෙතින් කොහෙත්ම ඉඩක් නැත.

“ සමහර විට අවුකන ප්‍රතිමාව මේ විදියට හරි විදින්න ලැබෙන අන්තිම අවස්ථාව මේක වෙන්න පුලුවන් ” මා මගේ බිරිදට කීවේ ගොඩනැගිල්ල ඉදිරිපිටින් ආපසු එන ගමනේ දීය. එය කියා නිම වෙන්නටත් කලින් ඉදිරියෙන් ඇසුණේ විශාල බැන අඩ ගැසීමකි. ඒ චීවරයක් දරා ගත් කෙනෙකුගෙනි. හිමිනමක් යන්න භාවිත කරන්නට මගේ හිත නොදෙන්නේ ඇසුණු වදන් කිසිසේත්ම සභ්‍ය නොවූ බැවිනි. මේ බැන අඩගැසීම කුමක්දැයි කන් දුන් විට මා වටහා ගත්තේ මේ බැන වදින්නේ අප ඉදිරියෙන් ගිය දැරිවියන් කිහිප දෙනා අතර සිටි එක දැරියක වෙත බවය. කිසිසේත්ම අසභ්‍ය ඇදමක් නොවූවත්, ඇය ඇඳ සිටි ඇඳුම දික්වී තිබුණේ දණහිස දක්වා පමණය.  එහෙත් චීවරධාරියාගේ මුවින් පිටවූ වචන ඇඳුම් හැඳ සිටි අයට පවා ඇඳුම් ගලවා උනා දමන්නට සිතෙන තරමටම පරුෂය.

“ සිවුරු දරාගෙන ඉන්න හැමෝම හාමුදුරුවරු නෙමෙයි. ඔයා ඒ දැක්කෙත් හාමුදුරු නමක් නෙමෙයි ” ඇය පසුකර යද්දී මම ඒ දැරිවියට කීවෙමි.

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

ලංකාවේ පුවත්පත් කියවීම හා රූපවාහිනිය නැරඹීම නවතා බොහෝ කාලයක් ගතවී තිබුණ ද ලංකාවේ සිටි කාලය තුළ රූපවාහිනියට ඇහැ යොමුවීම යන අප්‍රසන්න ජවනිකාවට මුහුණ දෙන්නට සිදු වූයේ මා නතර වී සිටි ඇතැම් ස්ථානවල නිරන්තරයෙන් රූපවාහිනිය ක්‍රියාත්මක වෙමින් තිබූ බැවිනි. කාණු ගද ගලායන සමස්ත වැඩ සටහන් ගොන්න අතරේ ඉවසන්නට බැරි තරම් ගද ගැස්වූ ප්‍රවෘත්ති දර්ශන බොහොමයක් දකින්නට ලැබුණි. ලොව පුරා රාජ්‍ය නායකයන් හමුවන්නටත්, රටේ සමස්ත ජනතාවකගේ අනාගතයට බලපාන තීන්දු තීරණ ගන්නටත් මුල්වන රටේ ප්‍රධානතම නිල මැදුර වන අරලිය ගහ මන්දිරය, සෝලියස් මංගල උත්සව ශාලාව බවට පත්කරමින් රටටම විහිලුවක් වූ තුට්ටු දෙකේ දේශපාලන පුත්‍රයෙකුගේ මගුල් තුලා කටයුතු වෙනුවෙන් වෙන් කිරීම එයින් එකකි. අරලිය ගහ මන්දිරයේ මෙවැනි මගුල් තුලා කටයුතු ගෙවී ගිය රාජ්‍ය පාලන සමය තුළ දී ද මෙයාකාරයෙන්ම සිදු වූ බව මතකය. ගැටලුවක් නැත, දැන් මුලු රටම මගුල් මඩුවකි.

ගද ගැස්සූ තවත් වැඩසටහනක් ප්‍රවෘත්තියක් වූයේ “ජන බලය” කොළඹට ගෙන්වමින් කළ මහා විකාරයයි. ජනබලය මෙහෙය වූ නායකයන් සහ ඔවුන්ගේ පුත්‍ර රත්නයන් කොළඹ තරු පහේ හෝටල්වල නතර වී රස මසවුළු සුව විදිමින් සුව පහසුවේ රැය පහන් කරද්දී, වහල්ලු කොළඹ වීදි වෙත බඩගාමින් ගිරිය කඩාගෙන කෑ ගසති.

දුම්රියේ මාල කැඩූ සොරා අද කෝටිපතියෙකි. රක්ෂණ වාරික අලෙවි කරමින් සිටි රක්ෂණ නියෝජිතයාට කෝටි ගණනින් දේපළ තිබේ. රතු පක්ෂයෙන් පැන ආ පැන්ෂන් ගිය විප්ලවවාදියාට දේපළ පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් පවා දෙක දෙක තිබේ. ඉගුරු කල්ලිය නම් කල්ලියක් හදාගෙන රගපෑමක් කළ පැන්ෂන් ගිය පත්තරකාරයාට ඇමරිකානු පුරවැසිකම පමණක් නොව කෝටිපතියෙකුද වන්නට වරම් ලැබී ඇත්තේ සිය බිරිද සිංදු කියා හම්බු කළ මුදලින් නොවේ. සුනාමි ආධාර ලෙස ලැබුණු මුදල් එකම පවුලකට නොගියා නම් රටේ සමස්ත ණය බර ගෙවා දමන්නට එයම ප්‍රමාණවත්ය. “ජනතා අරගල” වලට නායකත්වය දෙන පැන්ෂන් ගිය වාමාංශික නායකයන්ගේ දූ පුත්තු ඇමරිකාවේ හෙයෙන් වැජඹෙති. ර‍ටේ ඇමතිවරුන්ගේ ගිණුම් වලට හිටිහැටියේම ඇමරිකන් ‍‌‍‍ඩොලර් දශ ලක්ෂ විසිපහක මුදල් බැරවේ.

මේ සියල්ල හොදින්ම දන්නා අපි පක්ෂ පාට වලට බෙදී තවමත් වාද විවාද කරගනිමු. එය වහලෙකු හදුනා ගැනීමේ මූලිකම ලක්ෂණයයි. තම වහල් හිමියන්ට මේ අයුරින් යස ඉසුරු  පහළ වෙන්නේ ඇයිදැයි සොයන්නට ඉතිහාසයේ කිසිම දිනෙක වහලුන් උත්සාහ කළේ නැත. (ඒසේ වූයේ ඇයිදැයි සොයන්නට උත්සාහ දරන්නෝ වහල්ලු නොවෙති).

කැනඩාවේ කම්කරු දිනය යෙදෙන්නේ සැප්තැම්බර් මස පළමු වැනි සදුදාය. එය ලංකාවේ මෙන් වහල් බලය කොළඹට ගෙන්වා උගුර ලේ රහ වන්නට කෑ ගසමින් කරන මහා මගඩියක් නොවේ. සැබෑ ලෙසින්ම වැඩ කරන ජනතාවගේ දිනයකි. වැටුප් සහිත නිවාඩු දිනයක් වන එදා රටේ රාජ්‍ය නායකයා පවා රටේ සෙසු පුරවැසියන් මෙන්ම සිය අඹු දරුවන් සමග නිදහසේ කාලය ගත කරති. කම්කරු දිනය යනු සැබෑ ලෙසින්ම ජනතාවගේ දිනයක් මිස බොල් දේශපාලකයන්ගේ හිස් ප්‍රතිරූප ඔසවන වහල් දිනයක් නොවන බව වටහා ගන්නට තරම් සියල්ලෝම බුද්ධිමත්තුය.

එදා වේල ගැට ගහගන්නට දහ අතේ කල්පනා කරමින්, බස් රථවල කෝච්චිවල පා පැදියේ එල්ලී යමින් පවා අපි අපේ වහල් හිමියන්ට ආවඩමු. ජාතික රෝහලේ ඇදක් නැතිව බිම ලගින අසාධ්‍ය රෝගියා පවා, රොහලේ කෙටි තාප්පයෙන් ඔබ්බට පෙනෙන නෙළුම් කුළුණ දැක “අනේ කොයි තරම් අපූරු වැඩක්දැයි” කියන තරමටම සිතිවිලි වලින් අපි දීනයෝ වෙමු. එබැවින් ජන බලය කොළඹට ගෙන්වීම එදා මෙන්ම අදත් හරිම පහසුය. විධානය දීම පමණක්ම ප්‍රමාණවත්ය. ඇත්තෙන්ම එය ජන බලය නොව වහල් බලය පෙන්වීමයි.

පසුගිය දා නිමා වූ එවන් එක් වහල් බලයකට එක් වූ පිරිස ලේක් හවුස් වටරවුම අසල මහ මග සුනඛ සීපාවුන් සේ බිම ලගින පිංතූරයකට සටහනක් එක් කර තිබූ මගේ මිතුරෙක් මෙසේ සටහන් කර තිබුණේය.

“සෑම දූපත් වැසියෙකුගෙන්ම කරන ආදරණීය ඉල්ලීම.. කීයක් හරි හොයා ගෙන දවසකට හෝ මේ දූපතෙන් පිටට ගොස් එන්න… ලෝකය ලොකුයි! ”

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

එසේ සටහනක් තැබූ මගේ සගයා බොහෝ සේ ඇසූ පිරූ තැන් ඇති උගතෙකු වුව ද ඔහුට ද වැරදුණු තැනක් තිබේ. දූපතෙන් පිටතට එන සැමටම ලෝකය දකින්නට නොහැකිය. කටුනායකින් ගුවනට නැග ලොව වෙනත් රටකට ගොඩ බහින දූපත්වාසීන්ගෙන් බහුතරයගේ ජීවන රටාවන් දෙස බලද්දී පෙනී යන්නේ සිදුවීඇත්තේ සිය මවුරටේ සිදු කළ උදර පෝෂණය තවත් රටකට ගොඩ බැස සිදු කරන බව පමණය. ඉදිරියට යන ලෝකය දැක තමන් අලුත් වෙන්නට, අඩුම තරමින් තමා තුළ ඇති වහල් හැගුම්, දීන සිතුම් ඉවත් කර ගන්නට දූපතින් පිටතට ආ බොහෝ දෙනෙකු තවමත් සමත් වී නැත. මා ජීවත් වන කැනඩාව යනු නීතිය සහ යහපාලනය සැබෑ ලෙසින්ම ක්‍රියාත්මක වෙන රටකි. එවැනි රටක ජීවත් වෙමින් පවා මගෙන් මෙසේ ඇසූ අය ඇත්තේ එක්කෙනෙකු දෙදෙනෙකු නොවේ:  “වෙනද මට මාතරට යන්න දවස් භාගයක්ම යනවා. දැන් අධිවේගී පාරවල් ටික නිසා පැයෙන් දෙකෙන් මාතර. අධිවේගී පාරවල් හැදෙනවා නම්, කොළඹ ලස්සන වෙනවා නම් ඔය පවුලක් දෙකක් සල්ලි ටිකක් හොරකම් කරගත්තත් මොකද වෙන්නේ ?”

රට මාරු වූවාට ඔවුහු තාමත් වහල් හැගුමින් පිරුණු දූපත් වාසීහුය.  අඩුම තරමින් චින්තනයෙන්වත් නිවහල් වෙන්නට බැරි තරමට ඔවුහු සිය වහල් හිමියන්ට පෙම් බදිති. කැලේ මාරු වූවාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැත.

⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓⁓

අවසාන වශයෙන් කියන්නට යන්නේ පසු කතාවකි.  අමිහිරි මතකයන් අතරේ පවා සුන්දර අත්දැකීම් රැසක් ද සිත්හි පුරවා ගනිමින් යළිත් වැන්කුවර් නුවරට පැමිණියෙමි. මා ජීවත් වෙන වැන්කුවර් පුරවරය ද ලාංකීය බෞද්ධයන්ට නම් පැරණි දඹදිව කාලාම ග්‍රාමය මෙනි. අතීත දඹදිව කාලාම ග්‍රාමය පිහිටා තිබුණේ ගම් නියම් ගම් යා කරන දේශ සීමාවකය. එබැවින් බොහෝ ශාස්තෘවරු, දේශකයෝ මේ ගම්මානය හරහා පියමං කරන අතරේ සිය දර්ශනය, සිය මතවාද ගම්වාසීන් අතර පතුරවන්නට ද පසුබට නොවූහ. මේ සියලු දර්ශනයන් හා මතවාද එකිනෙක හා පරස්පර විය. මේ ගම්මානය හරහා බුදුන් වැඩම කරද්දී ගම්වැසියෝ තමන් තුළ ඇති දැවෙන ගැටලුවක් උන්වහන්සේට යොමු කළහ. එනම් මේ මතවාද හා දර්ශනයන් එකිනෙක පරස්පර බැවින් නිවැරදි දර්ශනය හෝ දහම කුමක්දැයි තමන් හරිහැටි වටහා ගන්නේ කෙසේ ද යන්නයි. ලෝක දාර්ශනික ඉතිහාසයේ සංධිස්ථානයක් වූ කාලාම සූත්‍රය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ මේ කරුණ අරබයා කාලාම වාසීන්ටය. (කාලාම සූත්‍රය විග්‍රහ කිරීම මේ සටහනේ අරමුණ නොවේ).

වැන්කුවර් පුරවරයට ද බොහෝ ස්වාමීන් වහන්සේලා වඩිති. බොහෝ දේ දේශනා කරති. එකම ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයන් යැයි පැවසුවද මේ දහම් එකිනෙකට වෙනස්ය. පරස්පරය. එහෙත් ලාංකීය බෞද්ධයන් මෙන්ම වැන්කුවර් බෞද්ධයන්ගෙන් බහුතරය ද පැරණි කාලාම වාසීන්ට බුදුන් දෙසූ දහම අසා නැතුවාක් විය යුතුය. අසා ඇති නම් එය අවබෝධ කරගන්නට නොහැකි වූවා විය යුතුය. මේ නිසා ඔවුහු මේ සියලු මතවාද අනුගමනය කරන්නට උත්සාහ කරති.

පාලි භාෂාව පරතෙරට උගත් විද්වත් මණ්ඩලයකට ත්‍රිපිටකය සිංහලයට පෙරලන්නට අවුරුදු තිහක කාලයක් ගත වූයේය. එහෙත් පැවිදි දිවියට පිවිස දශකයකටත් වඩා අඩු කාලයක් වූ එමෙන්ම පාලි භාෂාවට නවකයන් වූ හිමිවරු පාලි ත්‍රිපිටකයට නව අර්ථ කථන දෙති. භාවනා වැඩමුළු පවත්වති. තරගයට අසපු බිහි කරති. මේ වැඩ මුළුවලදී අපට ඇසෙන්නේ අප දන්නා හදුනන ත්‍රිපිටක දහම නොවේ. මේ අසපුවල අප දකින්නේ ද නාරි දේහ මිස දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත බුදු රූ නොවේ. සුදු කිරණ, කළු කිරණ, අධි සංඛ්‍යාත තරංග වැනි අපුරු අපූරු දේ මේ දහම්වලින් වැගිරේ. වැන්කුවර් නුවර පැවැති එක් වැඩමුළුවක සහභාගි වූවන්ට අපූරු අත්දැකීම් ලබන්නට හැකි වුණි. ධ්‍යාන ඵල ලබද්දී ඔවුන්ගේ සිරුරු වලින් ඕජස් වැගිරේ. රාග දෝස මෝහ පිටවෙන වේගයට වැගිරෙන ඕජස් ප්‍රමාණය ද උත්සන්න වේ. යූ ටියුබ් මාධ්‍යය ඔස්සේ සජීවීව විකාශය වූ මෙවන් වැඩමුළුවකට සහභාගි වූ කෙනෙකු සිය ධ්‍යාන ඵල අත්දැකීම් විස්තර කරද්දී කියා සිටියේ මේ සජීවී වැඩසටහන නරඹන වැන්කුවර් නගරයේ සිටින සිය මෑණියන්ට බඩ එළිය යන්නට පටන් ගෙන ඇති බවය. ඒ තවත් ධ්‍යාන ඵලයක සලකුණකි! (මේ වැඩසටහන් යූ ටියුබ් මාධ්‍යය ඔස්සේ තවමත් නැරඹිය හැකිය). මේ ස්වාමීන් වහන්සේ විසින් සෝවාන් කරලු ලැබූ, ධ්‍යාන ඵල ලැබූ කිහිප දෙනෙකු ද අප අතරම වෙසෙති.

ධ්‍යාන ඵල ලබා රහත් භාවයට පත් වූ තෙරුන් වහන්සේලා පිළිබද දහසකුත් කතා බෞද්ධ ඉතිහාසයේ ඇත. බුද්ධ පර්නිර්වාණයෙන් පසු එක් රැයක් තුළ දී ධ්‍යාන වඩා ආනන්ද හිමියෝ අරහත් භාවයට පත් වූහ. ආනන්ද හිමියන්ටවත්, රහත් භාවයට පත් වූ සෙසු මහ තෙරුන්ටවත් බඩ එළිය යමින් ඕජස් පිටාර ගලමින්, කළු කිරණ – සුදු කිරණ දර්ශනය වෙමින් ධ්‍යාන ඵල ලැබූ බවක් අප දන්නා බෞද්ධ ඉතිහාසයේ කිසි තැනක සදහන්ව නැත. බුදු දහම යනු කය මෙන්ම සිත ද බුද්ධියෙන් පිරිසිදු කරන දහමක් මිස උදර විරේකය වෙනුවෙන් දෙන ඖෂධ මාත්‍රාවක් නොවේ. මෙවන් වැඩසටහනක ප්‍රචාරක පටය නම් කර තිබුණේ “පෙර නොඇසූ විරූ දහමක්” ලෙසයි.  සැබෑය, මෙය කොයි තරම් දුරකට පෙර නොඇසූ විරූ දහමක් ද යත් ගෞතම බුදුන් පමණක් නොව අට විසි බුදුන් වහන්සේලා වැඩම කළද මේ දහම හදාරන්නට උන්වහන්සේලාට ද සෑහෙන කාලයක් ගත වනු ඇත්තේය.

“මා පිය වන්දනා” නමින් පාසල් දරුවන් සිය දෙමව්පියන් හා එක් වාඩි කරවමින් කළ වැඩසටහන් මාලාවක් යූ ටියුබ් මාධ්‍යය ඔස්සේ මම දුටුවෙමි. ස්වාමීන් වහන්සේගේ හැගුම්බර දේශනාව පටන් ගෙන අවාසනය දක්වාම දරුවන් පමණක් නොව දෙමව්පියෝද එක හුස්මට කදුළු වගුරුවති. එකිනෙකා වැළද බදා ගනිමින් ඉකි ගසති. බුදු දහම ඇත්තේ මිනිසුන් හඩවන්නට නොවේ. මිහිරි මීපැණි හඩින් දෙසවන් පිනවමින් උපාසිකාවන්ගේ හිත් සංවේදී හැගුම් වලින් පුරවන්නට නොවේ. වාද විවාද කරගන්නට නොවේ. එය බුද්ධියේ දහමකි. පෙර නොඇසූ විරූ දහමක් නොව මේ විශ්වයේ සදාතනික සත්‍යතාව පිළිබද දහමකි. බුද්ධ දර්ශනය පහළ වූයේ ගෞතම බුදුන්ගේ මනසේ මනසේ මිස බුදුන් උපන් ස්ථානයේ නොවේ. උන්වහන්සේ බුද්ධ නම් වන්නේ එහෙයිනි.

Fruit

උතුරු ඇමරිකාව, යුරෝපය ප්‍රමුඛ බටහිර ජාතිකයෝ බුදු දහමේ හරය වටහා ගනිමින් ලොව පුරා භාවනා වැඩසහන් ක්‍රියාත්මක කරති. ඇමරිකාවේ නාවික හමුදාව නිල වශයෙන්ම භාවනාව ප්‍රගුණ කරති. ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් සිය කාර්ය මණ්ඩලයට භාවනාව ප්‍රගුණ කරවති. යුරෝපීයෝ මෙන්ම බටහිර ජාතිකයෝ බෞද්ධ දාර්ශනික කරුණු අරබයා මහත් සේ පොත් පත් ලියති, පර්යේෂණ කරති, ඒවායෙහි ප්‍රතිළුල සිය ජීවිතයට බද්ධ කර ගනිති. එහෙයින් ගැටලුවක් නැත. “ලාංකීය බෞද්ධයෝ” යන කුලකයට අයත් අපි ලංකාවේ ජීවත් වුණත්, වැන්කුවර් හෝ වෙන කවර නම් රටක ජීවත් වූවත් බුදුන් උපන් ස්ථානය ලුම්බිනියේ නොවන බව කියන්නට කෙස් පැලෙන තර්ක විතර්කවල පැටලෙමු. අසූ හාර දහසේ පහන් පිංකම්, එකසිය අටක් වූ ඖෂධ පූජාවන්, මහා පිච්චමල් පූජාවන්, පැන් පාත්‍රා විසි හතර දහසේ පූජාවන්හි යෙදෙමු. බුදුරැස් විහිදෙන තෙක් කොත් කැරැල්ල පාමුල සිට අහසට නෙත් යොමා ගෙන සිටිමු. ගව් ගණන් දිග චීවර පූජාවට සාදුකාර දෙමින් චෛත්‍යයට හැට්ට අන්දමු. චෛත්‍යය වටා පළතුරු ගෙනැවිත් ගොඩ ගසමු. ඔව් ගැටලුවක් නැත… යුරෝපීයන් සහ බටහිර සුදු ජාතිකයන් බුදු දහම රැක ගනු ඇත.

බුදු දහම ඇත්තේ ප්‍රඥාවන්තයන්ට මිස මෝඩයන්ට නොවන බව (පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ – නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස) අවුරුදු දෙදහස් හයසියයකට පෙර බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ ලාංකීය අප ගැනම සිතා බලා විය යුතුය.

Advertisements

ඔය දොරගුළු හැර දමන්න…!

Jail-Cell-With-Open

බොහොම කාලයක ඉදලා දන්න කියන හාමුදුරුනමක් ගැන පුංචි කතාවක් මුලින්ම කියන්න තියෙනවා. තරුණ වයස පසුකරලා බොහොම කාලයක් නැති වුණත් මේ හාමුදුරුවන් බණ දේශනා කරන්න හරිම දක්ෂයි. බණ අහන ඕනැම කෙනෙකුට උන්වහන්සේ මතුකරන දහම් කරුණු වෙනුවෙන් හිත ඇදිලා යන්නේ නිරායාසයෙන්මයි. ඒකට හේතුව උන්වහන්සේගේ හැම ධර්ම දේශනාවක්ම බොහොම හරවත් ගැඹුරු දහම් කරුණුවලින් පිරුණු එකක් වීම හින්දයි. මවිබිමෙන් ඈත්වෙලා දුරු රටකට ආවට පස්සේ හාමුදුරුවන්ව ඇසුරු කරන්නට නොලැබුණත් පහුගිය ජනාධිපතිවරණ කාලයේ දී ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ නැවත හාමුදුරුවන් එක්ක සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබුණා. ඒත් ජනාධිපතිවරණ කාලයේ දී. එක්තරා අපේක්ෂකයකු වෙනුවෙන් උන්වහන්සේ කොයි තරම් දුරට දේශපාලන දැන්වීම් තමන්ගේ පිටුව හරහා පළ කළාද කියනවා නම් එදා මා දැන හදුනා සිටි ස්වාමීන් වහන්සේ ම ද මේ කියලා හිතෙන තරමටම මට පුදුම කම්පාවක් ඇති වුණා. අතීතයේ උන්වහන්සේ කෙරෙහි තිබුණු පැහැදීම නැති කරගන්න කැමති නොවුණු නිසාම ෆේස්බුක් පිටුව හරහා උන්වහන්සේ සමග කිසිසේත්ම සම්බන්ධ නොවී සිටින්නට මං උත්සාහ කළා.

ඒත් මහ මැතිවරණ උණුසුමත් එක්ක උන්වහන්සේ ආපහු සැරයක් තමන්ගේ අපේක්ෂකයා වෙනුවෙන් කරන කියන දේවල් දැක්කම ඇත්තෙන්ම මට ඇතිවුනේ කම්පාවටත් වඩා කණගාටුවක්. “අත් හැරීම” ගැන බොහොම ගැඹුරින් ධර්මය දේශනා කළ උන්වහන්සේ ගිහියන්ටත් වඩා දුර ගිහින් එක්තරා පුහුදුන් දේශපාලකයෙකු මේ තරම්ම “බදා වැළද ගන්නට” ගන්නා උත්සාහය උන්වහන්සේගේ සසර ගමන කොයි තරම් දුරකට ඇදගෙන යනවාද කියන කරුණ නිසයි ඒ. බල තණ්හාවෙන් ඔද වැටුණු පිරිහුණු දේශපාලකයකු වෙනුවෙන් මේ ස්වාමීන් වහන්සේ කොයි තරම් දුරකට තමන්ගේ වටිනා කාලය ෆේස් බුක් පිටුව ඔස්සේ මිඩංගු කරනවා ද කියනවා නම් උන්වහන්සේගේ නම ඇහුණමත් බෙහෝ වෙලාවට මට මතක් වෙන්නේ අර දේශපාලකයාගේ කපටි මුහුණයි.

බොහොම ගැඹුරින් ධර්මය දේශනා කළත් තමන් දෙසන දහමින් අල්පයක් තමන්ගේ ජීවිතයට සමීප කරගන්නට උන්වහන්සේ අසමත් වුණේ ඇයි ද කියන කරුණ උන්වහන්සේ නිතර හුවමාරු කරන දේශපාලන රැස්වීම්වල පිංතූර දකින හැම මොහොතකම මට හිතෙනවා. දහම් කාරණාවලදී බොහෝ දැනමුත්තකු වන උන්වහන්සේ දේශපාලනයේ දී මිසදුටු ගිහියෙකුටත් වඩා පහළ තැනකට ඇද වැටෙන හැටි දකිද්දී බොහෝ දේවල් ගැන ඉතාම ගැඹුරින් විශ්ලේෂණය කරන්නට සමත් මගේ ඇතැම් මිතුරන් දේශපාලනයේ දී නියැන්ඩර්තාල් චින්තනයක හිරවෙලා ඉන්න එක ගැන පුදුමයක් නැහැ කියලා හිතුණා.

ජීවිතයේ බොහෝ දේවල් ගැන බොහෝ විචක්ෂණව බලන ඒ වගේම සමාජයේ බොහෝ දේ ගැන දැනුම් තේරුම් ඇති බොහෝ දෙනෙක් දේශාපලනය කියන කරුණේ දී ඉතාම ළද බොළද සුකුමාර චරිත වෙන්නේ ඇයි ද කියන කරුණ ගැන මතුවෙච්ච කුතුහලය නිසාම මේ ගැන සොයා බලන්නට සිත් වුණා. එතැනදී ඇත්තෙන්ම මට දැනගන්නට ලැබුණේ බොහොම සිත් ඇද ගන්නා කරුණු කාරණා ටිකක්.

“දේශපාලනය විසින් ඔබ අන්ත මෝඩයකු බවට පත් කරනු ලබයි”  (Politics Makes You Stupid) කියන කරුණ ඉතිහාසය පුරාම ඔප්පු කර තියෙන බව මං දැනගත්තේ මේ සම්බන්ධ කරුණු කාරණා සොයා බලද්දියි. ඔබ පරිස්සම් නොවුණොත් දේශපාලනය විසින් මුලින්ම විනාශ කර දමනු ලබන්නේ ඔබේ තාර්කික ඥානයයි. ඒ එක්කම යමක් ගැන බුද්ධියෙන් වටහා ගැනීමේ හැකියාව ඔබෙන් ගිලිහී යන්නේ ඔබටත් හොරෙන්මයි. දේශපාලනය විසින් ඔබ අන්ත මෝඩයකු බවට පත් කරනු ලබයි කියන කරුණ වෙනත් විදියකට මෙහෙම කියන්නත් පුලුවන්. අපේ මෝඩකම වඩාත් හොදින් ප්රදර්ශනය වන්නේ දේශපාලනය කියන කරුණේදීයි. (Our Stupidities are Most Exposed in Politics)

විසිවන සියවසේ ලොව සිටි අගනා විද්වතකු වන අයින්ස්ටයින් කිව්ව විදියට විශ්වයටත් මිනිසාගේ මෝඩකමටත් සීමාවක් නැහැ. ඒත් විශ්වයේ සීමාවක් කවදා හරි හොයා ගත්තත් මිනිසුන්ගේ චින්තමය දුබලතාවයන්ගේ එහෙමත් නැතිනම් මෝඩකමේ සීමාවක් හොයා ගන්නට ඉඩක් ලැබෙයිද කියන එක සැකයි කියලා ඔහු කිව්වා.

දේශපාලන ගැතිකම නිසා මිනිසුන් කොයි තරම් මෝඩයන්ට ඇන්දෙනවාද කියන කරුණ පර්යේෂණ මගින් පවා ඔප්පු කරලා තියෙනවා. මිනිස් ස්වභාවය අනුව හැගීම් විශ්වාසයන්ට මුල් තැන දීමේ නැඹුරුවක් අපේ සිත්වල සහජයෙන්ම තියෙනවා. මේ නිසාම මිනිස් ස්වභාවය සිතීමට වඩා මුල් තැන දෙන්නේ විශ්වාසයන්ට හා භක්තියට. යමක් ගැන සිතා බලා සාක්ෂි සහිතව කරුණු කාරණා පිළිගන්නට ස්වභාවයෙන්ම මිනිස් සිත මැලි කමක් දක්වනවා. මේ කරුණ ඉතාම ඉහළින් ඔප්පු වෙන්නේ දේශපාලනයේ දීයි.

යේල් සරසවියේ නීතිය පිළිබද මහාචාර්ය ඩෑන් (Dan Kahan) ‍ගේ මූලිකත්වයෙන් බුද්ධිමය හා තර්කනමය හැකියාව ඉහළින්ම තිබුණු 1111 දෙනෙක් (එක්දහස් එකසිය එකොළහක්) සහභාගි කරගෙන මේ ගැන පර්යේෂණයක් සිදු කෙරුණා. මෙහිදී මේ 1111 දෙනා හට තමන්ගේ තර්ක ඥානය විමසා බැලෙන ගණිත ගැටලු මාලාවක් ලබා දුන්නා. මීට සමගාමීව සරල සමාජ කරුණු කාරණා මතුකර ඒවාට ලබා දෙන පිළිතුරුත් සන්සන්දනාත්මකව විමසා බැලුනා. පර්යේෂණයේ ප්‍රතිපල සිත් ඇදගන්නා සුලුයි. තර්ක ඥානයෙන් ගණිත ගැටලු බොහොම දක්ෂ විදියට විසදන්නට පුලුවන් වුණු මේ පිරිසෙන් බොහෝ දෙනෙකු සරල සමාජ කරුණු වලදී ඒ තර්ක ඥානය යොදා ගත්තේ නැතිම තරම්. ඇත්තටම කියනවා නම් සරල සමාජ කරුණු වලදී ඒ අය හිටියේ තාර්කික හැකියාවක් නැති සමාජයේ ඇතැම් පිරිස්වලටත් වඩා බොහොම පසුගාමී තැනක. තමන්ගේ දේශපාලන අදහස්වලට පටහැනිවන කරුණු වලදී තම තර්ක බුද්ධිය පවා ඔවුන් අතින් යටපත් වන හැටි මේ පර්යේෂණය මගින් මනාව ඔප්පු කොට පෙන්නුවා.

මිනිස් මොළය සම්බන්ධයෙන් සොයා ගත් ඉතාම සිත් කළ කිරවන සුලු සොයා ගැනීම විදියට තමයි කවුරුන් හෝ මේ පර්යේෂනයෙන් සොයා ගත්ත කරුණු ගැන අදහස් දක්වලා තිබුණේ.

බොහොම දෙනෙක් ළග තියෙන දේශපාලන ගැතිකම නිසා බොහොම දේවල් විනිවිද දකින්නට තියෙන හැකියාව එහෙමත් නැතිනම් යමක් පැහැදිලිව දකින්න තියෙන හැකියාව බොද වෙලා යනවා කියන එක පිළිගන්නට වෙන කාරණයක්. බොහොම මෑතකදී එළි දැක්ක මනෝ විද්‍යා පර්යේෂණයක පැහැදිලි නිගමණයකට ඇවිත් තිබුණු එක් කාරණාවක් වුණේ අප බොහෝ දෙනෙක් තුළ තියෙන දේශපාලන ගැතිකම නිසා එහෙමත් නැතිනම් කිසියම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් කෙරෙහි තියෙන විශේෂ ළැදියාව නිසා අප තුළ නිසර්ගයෙන් පිහිටා තිබෙන මූලික තර්කනමය හැකියාවන් පවා විනාශ වෙලා යන බවයි.

මේ පර්යේෂණයේ ප්‍රතිවල ලංකාවේ අපට නම් සියයට සියයක්ම වලංගුයි. දේශපාලනය කියන කරුණේ දී පූජකවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන් විතරක් නෙමෙයි වීදී සරන්නියන් පවා එකම මඩ ගොහොරුවක එකම කරවටක ගිලී ඉන්නා හැටි දැක්කම “අනේ අපොයි” කියලා හිතෙන තරම්. නරා වළකට වැටිලා තියෙන අපේ රටේ දේශපාලනය කියන්නේ බල පොරයකට පොරකන බලු පොරයක් කියන එක වටහා ගන්නට බොහෝ දෙනෙක් අසමත් වෙලා තියෙන්නේ අර පර්යේෂණයෙන් ඔප්පු කළා වගේ දේශපාලනය විසින් ඔබව අන්ත මෝඩයකු බවට පත් කරනු ලබයි කියන කියන කාරණය නිසයි. කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු කියන පරපුරක් එදා ඉදන්ම අපේ රටේ බිහිවෙලා තියෙන්නේ ඔය කියන අන්ත මෝඩ චින්තන ධාරාව පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන නිසයි. මේ හින්දා හරි දේ හරි විදියටත් , වැරදි දේ වැරදි විදියටත් දකින්න බැරි තරමට අපේ ඡන්දදායකයන් එකම නුගතුන් රැළක් බවට පත් වෙලා තියෙනවා. තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා කවර වැරැද්දක් කළත් අනෙක් පක්ෂයේ අපේක්ෂකුගේ වරදක් පෙන්වා වරද වරදින් සමාන කොට ඔනෑම තත්කඩියෙකු දේශප්රේමී අරවින්දයක් බවට පත් කරන්නට අපේ චන්ද දායකයන් පෙළඹෙන්නේ ඒ නිසයි.

වැරදි නිවැරදි යන්න සමාජයක තීරණය වෙන්නේ ඒ ඒ සමාජ සංස්කෘතීන්වල තියෙන ආවේණික ලක්ෂණ අනුවයි. මේ නිසාම කිසියම් සමාජයක හරි දේ වැරදි වෙන්නවත් , වැරදි දේ හරි වෙන්නවත් බැහැ. කවර දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් දූෂකයා දූෂකයාමයි. ටෙන්ඩර් මගඩියෙන් සියයට දහයක කොමිස් ගසා කන්නා කොමිස් කාක්කාමයි. පොදු දේපළ අයථා ලෙසින් පරිහරණය කරන්නා රටේ කවර තරාතිරමක නායකයකු වුවත් ඔහු හෝ ඇය තක්කඩියකුම වන්නේමයි. කුඩු එතනෝල් ගෙන්වන්නා කවර පක්ෂයක් නියෝජනය කළත් සමාජ පිළිලයක්මයි. දේශප්රේමය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පාවිච්චි කරන්නා සමාජයෙන් නෙරපා දැමිය යුතු නරුමයෙක්මයි. ඒ වගේම කවර දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් යහපත් අරමුණු නියෝජනය කරන්නා පිදිය යුත්තෙක්මයි. ඒත් කණගාටුවට කරුණ වන්නේ මේ අතිශය සරල කාරණාව සමාජයේ සිටින බොහෝ පිරිසකට කොහෙත්ම වටහා ගන්නට අමාරු කරුණක් වීමයි. ඒ ඇයි….? පිළිතුර බොහොම සරලයි. දේශපාලනය විසින් ඔබ අන්ත මෝඩයකු බවට පත් කර තිබීමයි ඒ. හරබර පොත පත ලියන විද්වතුන්, මහා දැනුම් සම්භාරයක් ඇතැයි කියන ආචාර්ය මහාචාර්යවරුන්, බුදු දහමේ ගැඹුරු කරණු සිල්වතුන්ට දේශනා කරන අර මං මුලින්ම සදහන් කළා වගේ හිමිවරුන් වෙනත් ආගම්වල පූජකවරුන්, සමාජයේ බොහෝ වැදගත් තනතුරු හොබවන වෘත්තිකයන් මේ හැම දෙනාම දේශපාලනය කියන කරුණේ දී ඇගිලි උරණ කිරි සප්පයන්ටත් වඩා අන්ත තොත්ත බබාලගේ ගනයට වැටෙන්නේ මේ නිසයි.

මේ කරුණ ගැන කිසිසේත්ම සරලව හිතන්නට බැහැ. ඒකට හේතුව මේ කරුණ නිකම්ම නිකම් දේශපාලන කරුණක් නොවන නිසා. ඇත්තෙන්ම සමාජයක බහුතරය සිය කැමැත්තෙන්ම මේ විදියේ දේශපාලන අද බාලයන් බවට පත්වීම ජීවිතයත් මරණයත් අතර ඇති සටනක්. ඒකට හේතුව ලංකාව වගේ රටක දේශපාලකයා සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙකු බවට පත් ව සිටින නිසාම සමාජ දේහයේ සෑම අංශයකටම අණ විණ කරන්නට මේ දේශපාලකයන් සමත් වන නිසයි. 1948 වකවානුවේ දී අය වැය අතිරික්තයක් තිබුණු රටක උපදින්නට සිටින දරුවා පවා ඩොලර් මිලියන ගණනින් ලොව හතර දිග්භාගයට ණය කරුවන් බවට පත් වුණු ආශ්චර්යවත් රටක අප පුරවැසියන් වී ඇත්තේ මේ නිසයි. මේ නිසාම මේ දූපතේ වෙසෙන ඔනෑම අවස්ථාවාදී තක්කඩියෙකුට ජනතා නියෝජිතයකු වන්නට වරම් ලැබිලා තියෙනවා.

මේ නිසා මේ දූපතේ වාසය කරන දූපත් වාසීන් පාලනය කරන්නට බිහිවෙන්නේ අපූරු ආකාරයේ ජනතා නියෝජතයින්. රජයේ සේවකයන් ගස් බැද දඩුවම් දෙන පාදඩ දේශපාලකයන්, රටටම කුඩු ගෙන්වමින් ගරුතර ස්වාමීන් වහන්සේලා අතින් පිරිත් නූල් බැදගන්නා පාපතරයින්, රෙදි ඇදීමට වඩා රෙදි ගලවා නටන්නට හුරු පුරුදු වූ නැට්ටුක්කාරියන්, සිංදු කියන මහ ඇමැතිවරුන් , සැමියා මළ සොවින් වැළපෙන වැන්දඹුවන්, කෝච්චිවල මාල කඩන මංකොල්ලකරුවන්, සර්පිනා වයන ජනාධිපති උපදේශකවරුන්, ඉහළම ධනපති දේශපාලනයේ නියැළෙන වාමාංශික සහෝදරවරුන්, අප්ප වෙනුවට පුතණ්ඩියන් විතරක් නෙමෙයි මෙකී නොකී ඕනෑම පල් හොරෙකුට තමන්ව විතරක් නෙමෙයි තමන්ගේ දූ පුතුන්ගේ අනාගතය පවා සින්නක්කරව ලියා දෙන්නට තරම් අපේ මේ දූපත්වාසී චන්දදායකයින් සැදී පැහැදී සිටින්නේ මේ දේශපාලන ධාරාව විසින් සමාජයක් විදියට අපි හැමෝම අන්ත මෝඩයන්ට අන්දලා තියෙන හින්දයි.

ඉතින් මේ තත්ත්වයෙන් මිදෙන්නට මගක් නැද්ද…? මගක් තියෙනවා විතරක් නෙමෙයි ඒ මග අනුගමනය කරන්නත් හරිම පහසුයි. ඒකට මුලින්ම දේශපාලනය කියන කරුණේ දී තමන් ඉන්නේ කොතැනද කියන කරුණ වටහා ගන්නට ඕනෑමයි. දේශපාලන සිරගෙයක් ඇතුළේ සිය කැමැත්තෙනම් සිරගත වෙලා ඉන්න කෙනෙකුට කූඩුවේ දොර හරින යතුර අතට දුන්නත් වැඩක් නැහැනේ. හරියට අර මාක්ස් කිව්වා වගේ වහල් භාවයෙන් මිදෙන්නට නම් මුලින්ම කරන්නට ඕනේ තමන් වහළෙක් බව හදුනා ගන්න එකයි. එක් එක් දේශපාලන අනාථයන් වෙනුවෙන් කණ වැල අල්ලන්ට නොගිහින් යමක් තර්ක ඥානයෙන් විමසා බලා හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින්නට උත්සාහ කරනවා නම් ඔබව තව දුරටත් මෝඩයාට අන්දන්නට කිසිම දේශපාලකයකු සමත් වෙන්නේ නැහැ. සරලව කියනවා නිල් රතු කොළ පාට ඇස් කන්නාඩි වලින් නොබලා දූෂකයා දූෂකයාම විදියට දකින්නට තරම් අපේ ඇස් පෙනීම දියුණු කරගැනීම කියන කරුණයි ඒ. එහෙම වුණොත් ඕනැම තක්කඩි දේශපාලකයෙක් වර්ණ අන්ධතාවයකින් තොරව හදුනා ගන්නට අපිට හැකිවේවි.

ඔබ ‍බුදුදහම අනුගමනය කරන්නෙක් නම් මේ කරුණේ දී කාලාම සූත්රය තරම් වටිනා වෙනත් කිසිවක් ඔබට කොයි කවර තැනකින්වත් සොයා ගන්නට නොහැකි වේවි. තමන්ගේ තර්ක ඥානය අන් දේවල්වලින් යටපත් කරගන්නට ඉඩ නොදිය යුතු බව බුදුන් වහන්සේ දේශනා කළේ නවීන පර්යේෂණවලින් මේ කරුණු හෙළිදරව් වන්නට අවුරුදු දහස් ගණනකට පෙරයි. තමන්ගේ විචාර බුද්ධිය පාවිච්චි කිරීමේ දී ඔබ කිසිවකුගේත් චින්තනමය වහළෙක් වන්නට ඇවැසි නැහැ. ඒකට හේතුව මහාචාර්යවරුන් , ආචාර්යවරුන් කියන ඔය කොයි කවුරුත් දේශපාලනය කියන කරුණේ දී දුගද හමන මඩ වගුරක එරිලා ඉන්න නිසයි. ඒ වගේම ලංකාවේ දේශපාලනයේ දී බෙහොම ඉක්මණින් හිත පපුව පිච්චිලා යන තවත් කොටසක් ඉන්නවා. ඒ තමයි කලාකරුවන් කියන පිරිස. මේ කියන්නේ හැමෝම ගැන නෙමෙයි. තමන්ගේ හෘදය සාක්ෂියට එකගව කටයුතු කරන අවංක කලාකරුවන් පිරිසකුත් වාසනාවකට වගේ තවමත් ඉතිරි වෙලා හිටයත් බහුතර පිරිස ඒ කලාකරුවන්ගෙන් බැහැර වෙච්ච “නලාකරුවන්” පිරිසක්. ආණ්ඩුවේ සැරසිලිකාර උත්සව වලට නැටුමක් දෙකක් පෙන්නලා කෝටි ගණනින් මුදල් හම්බ කරගත්ත පිරිසකට ඒ මුදල් කුට්ටි අහිමි වෙලා යද්දී මහා ලොකු මානව දයාවක් මතුකරගෙන ඉදිරියට එන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. පිනට පඩි ගන්න ලැබෙන ජනාධිපති උපදේශක තනතුරක්, සංස්ථා සභාපතිකමක්, මහ ඇමැති තනතුරක් වගේ ලොකු ලොකු දේවල් වෙනුවෙන් වගේම තමන්ගේ ටෙලි නාට්ටියක් හොදම වෙලාවේ රූපාවාහිනියේ පෙන්වා ගැනීම, තමන්ගේ සිංදුවක් දෙකක් නිතර නිතර ගුවන් විදුලියේ ප්රචාරය කරවා ගැනීම වගේ අරමුණු මිසක් මේ නලාකාරයන්ට වෙනත් මානව හිතවාදයක් නැහැ. හිටපු ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසු පැවැති කලාකාර හමුවකදී එක්තරා ගායිකාවක් සියලු දෙනා ඉදිරියේ පැවසුවේ “ගහලා හරි ආපහු ආණ්ඩුව ගන්නයි තිබුණේ” කියලයි. ඇගේ මිහිරි කටහඩ යට සැගවී ඇත්තේ කෙතරම් ම්ලේච්ඡ වූ මනසක්ද යන්න වටහා ගන්නා එයම ප්රමාණවත්. අරලිය ගහ මන්දිරයේ ගේට්ටු කඩන්නට උත්සාහ ගන්නා තවත් කෙනෙක්ට අඩුම තරමින් තමන්ගේ කසාදයවත් රැකගන්නට ශක්තියක් නැහැ. තවත් එක්තරා ගායිකාවක් පහුගිය ජනාධිපතිවරණයේ දී කිව්වේ තමන්ගේ පුතණුවන්ට ජනාධිපතිගෙන් හාද්දක් අරගෙන දීම තමන්ගේ එකම සිහිනය වූ බවයි. අප ජීවත්වන කොදෙව්ව පුරා පය ගසා සිටින්නේ මෙවන් වූ කලාකරුවන් පිරිසක්ය. ජනාතාවට තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරන්නට උගන්වන්නේ මෙවන් වූ අංගවිකල කලාකරුවන් පිරිසක්ය.

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන රොනල්ඩ් රේගන් වරක් අපූරු අදහසක් ලොවට කිව්වා. ඒ කියන්නේ ලොව පැරණිතම වෘත්තියත් දේශපාලනයත් අතර අතිශය සමාන සමීපකමක් තියෙනවා කියලා. (Politics is supposed to be the second-oldest profession. I have come to realize that it bears a very close resemblance to the first. ~Ronald Reagan) ලංකාවේ දේශපාලකයන් අතළොස්සක් හැරෙන්නට අනෙක් දේශපාලක නඩය ගත්තම මේ කියමන හරියටම හරි. ඒත් මට හිතෙන විදියට ලොව පැරණිතම වෘත්තියේ දී විකුණන්නේ තමන්ගේ සිරුර පමණයි. ඒත් ලාංකීය දේශපාලකයා කියන්නේ තමන්ගේ ආත්මය පවා විකුණන චරිතයක්. ඊළග ඡන්දය ගැන මිසක් ඊළග පරපුර ගැන හිතන දේශපාලකයන් අපේ රටේ හොයා ගැනීම හරියට හදේ හාවෝ හොයන්නට යනවා වගේ වැඩක්.

මේ නිසා බල තණ්හාවෙන් වියරු වැටුණු දේශපාලකයන්ගේ අරමුණුවල වහලුන් බවට පත්වෙලා තමන්ගේ තර්ක බුද්ධිය ඒ ඒ දේශපාලකයන් වෙනුනේ සින්නක්කරව ලියා දීම තමන්ගේ මිනිස්කමටත් කරගන්නා නිගාවක්. ඇයිද කියනවා නම් මිනිසුන් තිරිසනුන්ගෙන් වෙන් කරලා හදුනා ගන්න මූලිකම සාධකය මේ තර්ක බුද්ධියම වන නිසා. රජයේ සේවකයන් ගස් බැද පහර දෙන පාහර දේශපාලකයන් තමන්ගේ පක්ෂයේ සිටියදී මුනිවතින් ඉවසන කෙනෙක් ඔහු වෙනත් පක්ෂයකට ගිය වහාම කෑමොර දෙන්නට දගලන්නේ ඔය වැනි මානසිකත්වයක් ඇති වුණාම තමයි. තමන්ගේ ආණ්ඩුවේ සියලු දූෂිත හොර මැරකම් සිල්ගත් පරිද්දෙන් ඉවසා සිටිමන් අනෙක් පක්ෂයේ කුණු රොඩු අවුස්සන්නේත් එවැනි මානසිකතව්යකින් තමන්ගේ තර්ක බුද්ධිය මුලුමනින්ම වෑසී ගියාමයි.

පොදුවේ ගත්තම දේශපාලන පාදඩයන්ට, දූෂකයන්ට, කොමිස් හොරුන්ට නිල් රතු කොළ පාටක් තියෙන්නට බැහැ. කුමන පක්ෂයේ සිටියත් දූෂකයා දූෂකයාමයි. පාදඩයා පාදඩයාමයි. අමනයා අමනයාමයි. බොහොම කාලයකට ඉස්සර බැලුව ධර්මසිරි බණ්ඩාරනායකගේ “ඒකා අධිපති” වේදිකා නාට්ටියේ එක්තරා දෙබසක් තවමත් මතකයේ තියෙනවා “මේ වගේ උන් වදාපු ගර්භාෂය තව දුරටත් වදාවි”. දේශපාලන ගැතිකමින් හරි වැරැද්ද තෝරා බේරා ගන්නට නොහැකි වුණොත් සිදුවන්නේ එවැනි පරපුරකට රටේ පාලනය උරුම වීමයි.

මේ නිසා මේ ලැබිලා තියෙන්නේ බොහොම කාලයකින් අපට ලැබෙන්නට යන හරිම අපූරු අවස්ථාවක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්නට ලැබෙන අවස්ථාවක්. දේශපාලන වහල් භාවයෙන් අන‍්ධවෙලා ඒ අවස්ථාව අප අහිමි කරගත්තොත් අනාගතයේ දී අපට සාප කරනු ඇත්තේ අපේම දූ දරුවන් බව පමණක් අමතක කළ යුතු නැහැ.

වෙසෙත් උතුමෝ අහුරු ගණනින්….!

උපත ලබන්නට සුදුසුම රට කුමක් ද...?

උපත ලබන්නට සුදුසුම රට කුමක් ද…?

හොඳින් හිරු පායා තිබුණ ද සීත සුළං හමා ගිය සීතල උදය වරුවකි ඒ.

කාර්ය බහුල වැන්කුවර් නගරය සමීපයේ වූව ද තරමක නිසංසල වටපිටාවක පිහිටි අවහන්හලකට ඉතාලි ජාතික මගේ මිතුරෙකුත් මාත් ගොඩ වූයේ දිවා ආහාරය පිණිසය.දිවා ආහාර සදහා තරමක් උදෑසන වැඩි වූ බැවින්දෝ ඒ වනවිට අවන්හලේ රැඳී සිටියේ කිහිප දෙනෙකු පමණි.

ආහාර පිළියෙළ කිරීම සඳහා තරමක් කාලය ගත වන බව අත්දැකීමෙන්ම දැන සිටි බැවින් අසුන් ගන්නට පෙරදීම අවන්හලේ කවුන්ටරයට යාබදව තිබූ රාක්කයෙන් සගරාවක් ගත්තේ පුරුද්දට මෙනි.

මිතුරා සමග අල්ලාප සල්ලාපයෙහි යෙදෙන අතරම සගරාවේ කවරය වෙත නෙත් යොමු කළ මා දුටුවේ සිත් ඇද ගන්නා සුලු මාතෘකාවකි. වසර 2013 දී උපත ලබන්නට සුදුසුම රට කුමක් ද…? යන්න සගරාවේ කවරයේ කතාවට පාදක වී තිබූ මාතෘකාව වූයේය. ස්වාධීන ආර්ථික සමීක්ෂණ සංවිධානයක් විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයක් ඔස්සේ සකස් කර තිබූ වාර්තාවක් ඇසුරින් ගත් තොරතුරු සමුදායක් සගරාවේ සටහන්ව තිබූ බැවින් මිතුරාත් මාත් දෙදෙනාටම අපේ ආහාර සකස් වනතෙක් එය අපූරු මාතෘකාවක් බවට පත් වූයේ නිරායාසයෙන්ය. උසස් ජීවන තත්ත්වය , උපතේදී අපේක්ෂිත ආයු කාලය , සමානාත්මතාව , දික්කසාද වීම් ආදී වූ පුද්ගල සාධක මෙන්ම වර්ෂාපතනය , පරිසරයේ ගුණාත්මකභාවය ආදී වූ කාලගුණ දත්තයන් පවා අවධානයට යොමු කර සකස් කර තිබූ මෙම සමීක්ෂණයට අනුව 2013 වසරේ දී උපදින්නට සුදුසුම රට ස්විට්සර්ලන්තයයි. උපදින්නට සුදුසුම සෙසු රටවල් දහය අතර ඇත්තේ ඕස්ට්රේලියාව , නෝර්වේ , ස්වීඩන් , ඩෙන්මාර්ක් , සිංගප්පූරුව , නවසීලන්තය , නෙදර්ලන්තය , කැනඩාව සහ හොං කොං දේශයයි. ලොව බලවත්ම රට බවට නිතරගයෙන් පත්ව තිබෙන ඇමරිකාව මෙම දර්ශකයට අනුව 16 වන ස්ථානයට පත්ව ඇති අතර ජර්මනිය ද සම තත්ත්වය ලබමින් එම ස්ථානයට පත්ව තිබුණේය. 2012 වසරේ දී හොඳින්ම දරුවකු හදා වඩා ගන්නට හැකියාව තිබූ රට ලෙස සටහන්ව තිබුණේ කැනඩාවයි.

මගේ මිතුරා ඉතාලිය ඇත්තේ කවර ස්ථානයකදැයි බලන්නට උත්සුක වෙද්දී මගේ දෙනෙත් ද ඉක්මණින්ම දිව ගියේ ලංකාවේ තත්ත්වය දකිනු රිසියෙනි. දර්ශකයට අනුව ඉතාලිය තිබුණේ 21 වැනි ස්ථානයේය. දරුවකු බිහිවීමට නුසුදුසුම රට ලෙස දර්ශකයේ අවසන් ස්ථානය වූ 80 වැනි ස්ථානය ලබා ගනිමින් නයිජීරියාව නම් කොට තිබූ අතර ලංකාවත් , පිලිපීනයත් සම තත්ත්වයේ සිටිමින් 63 වන ස්ථානයේ ස්ථානගත වී තිබුණේය.

2012 වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් වූ අවසාන සඟරාව බැවින් සගරාවේ සෙසු ලිපි ද වෙන් වී තිබුණේ 2012 වසරේ ලෝකය දෙස ආපසු හැරී බැලීම සදහාය. මේ නිසාම සගරාවේ තිබූ සෙසු ලිපි ද කුතුහලය දනවන ආකර්ශනීය තේමාවන් ඔස්සේ සකස් වී තිබුණේය.

ඒ අනුව 2012 වසරේ ලොව යහපත්ම රටවල් එසේත් නැතිනම් අඩුම දූෂණයන්ගෙන් යුත් රටවල් දහය සම්බන්ධයෙන් ද ලියැවුණු අපූරු ලිපියක් එහි වූයේය. ඒ අනුව දූෂණයෙන් තොරවූ රටවල් අතර මුල්ම ස්ථානය ඩෙන්මාර්කයට හිමි වී තිබූ අතර ඊට මූලිකව බලපා තිබුණේ රටේ ජාතික ආදායම ජනතාව වෙනුවෙන් යහපත්ව වැය කරන ලොව විශාලතම සමෘද්ධිමත් සුභ සාධක රට ලෙස එය හදුන්වාදෙමිනි.

දෙවැනි ස්ථානය හිමි තිබූ ෆින්ලන්තය ගැන සටහන් කර තිබුණේ දුෂණ චෝදනාවන් ඉතාම කලාතුරකින් මතුවන රටක් ලෙසය. දුෂණයන්ට එරෙහිව සාර්ථකව වැට බැඳ ඇති රටවල් අතර මුල් තැනක් ගනිමින් ඒ සදහා විනිවිද පෙනෙන ඉතා සාර්ථක ක්රමවේදයක් සකස් කළ රටක් ලෙස ෆින්ලන්තය හඳුන්වා තිබුණි.

පිළිවෙළින් තුන සහ හතර වැනි ස්ථානයන් හිමිකරගත් නවසීලන්තය සහ ස්වීඩනය යන රටවල පාලකයන් දූෂණයට එරෙහිව වැට බැද ඇති අකාරය ද සගරාවේ අපූරුවට විස්තර කර තිබුණේය. පස්වැනි ස්ථානය ගත් සිංගප්පූරුව දීර්ඝ කාලයක් පුරා එක දිගට ලොව අඩුම දූෂණයන් අසන්නට ලැබෙන රටක් ලෙස ස්ථානගත වන්නට හේතු වී ඇත්තේ එරටෙහි ඇති කතා කිරීමේ නිදහස , යහපත් අධිකරණ පාලනය සහ නීතිය අකුරටම ක්රියාවේ යෙදවීමයි.

හය වැනි ස්ථානය ලබා ගත් ස්විට්සර්ලන්තය සටහන්ව තිබුණේ දූෂණයෙන් තොර රටක් ලෙසින් පමණක් නොව සෙසු සංවර්ධිත රටවල් අතර ඉතාම ඉහළ පරිසර සංරක්ෂණයක් පවත්වාගෙන යන රටක් ලෙස ද නම් කරමිනි.හත්වැනි සහ අටවැනි ස්ථානයන් හිමිකරගත් ඕස්ට්රේලියාව සහ නෝර්වේ එම ස්ථානයන්ට පත්ව ඇත්තේ එම රටවල දක්නට ලැබෙන විනිවිද පෙනෙන සුලු ඉහළ ගුණාත්මක බවින් යුත් දේශපාලන සංස්කෘතිය මත පිහිටාය.

නව වන ස්ථානයේ තිබූ කැනඩාව දූෂණයන්ගෙන් අවම වූ රටක් බවට පත්ව ඇත්තේ ලොව වෙන කිසිදු රටකට අසමාන වූ මානුෂික නිදහස සහ මූලික අයිතිවාසිකම් ඉහළින්ම සුරැකීමට කැනඩා රජය සමත් වී තිබූ නිසාය.

දහවන ස්ථානයට පත් ව තිබූ නෙදර්ලන්තය එම දීර්ඝ කාලයක් පුරා පරම්පරානුගත සංස්කෘතික නිදහසකට උරුමකම් කීම දූෂණයන්ගන් අවම වීමට බලපා ඇති බව සගරාවේ සටහන්ව තිබුණි.

මෙම ලිපියේම කොටසක ඉතාලියේ හිටපු අගමැතිවවරයා සිදු කරනු ලැබූ අදායම් බදු වංචාවක් නිසා ඔහුව වසර හතරකට සිර ගෙට යැවූ බවට වූ විශේෂ සටහනක් එම හිටපු අගමැතිවරයාගේ වර්ණ ඡායාරූපයක් ද සමග පළ කර තිබුණේ දූෂණයන්ට වැට බැදීම සදහා ඉතාලි රජය විසින් මෑතක දී සම්මත කරගත් නීතියක යහපත් අංග පිළිබඳව ද විස්තරාත්මක සටහනක් තබමිනි.

දූෂණය සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය කෙසේදැයි මගේ මිතුරා විමසද්දී මා ඒ කතාවෙන් ලිස්සා ගියේ අවහන්හලේ සේවිකාව විසින් ගෙන එනු ලැබූ සලාදයක ගුණා ගුණ කියමිනි. මගේම වාසනාවට ලොව දූෂණයෙන් අඩුම රටවල් අතර වූ ඒ ලැයිස්තුවේ ලංකාවට හිමිවන්නේ කවර ස්ථානය ද යන්න නිශ්චය කරගත හැකි කිසිදු සළකුණක් සගරාවේ ලේඛකයන් අතින් ලියැවී තිබුණේ නැත.එය වාසනාවක් ලෙසින් මට සිතුණේ දූෂණ සම්බන්ධයෙන් ගත් විට හොද කැරැට්ටුවක් අපට ඇතැයි සිහිනෙකිනුදු සිතියි නොහැකි වු බැවිනි.

මා ජීවත් වන කැනඩාව පමණක් නොව ඇමරිකාව , ස්වීඩනය , ඩෙන්මාර්ක් , ඕස්ට්රේලියාව හෝ වෙනත් ඕනෑම සමෘද්ධිමත් රටක් ගත් විට මෙම රටවල දැකිය හැකි දියුණුවත් , යහපත් රාජ්ය පාලනය මෙන්ම දූෂණය හා වංචාව අවම වීමටත් බලපා ඇති මූලිකම සහ වැදගත්ම සාධකය වී ඇත්තේ මෙම සියලු රටවලට පොදු වූ ධර්මතාවන් දෙකක් නිසාය. ඒ නීතියේ සමානාත්මතාවය සහ දේශපාලනය පාදඩකරණයට ලක් වී නොතිබීම යන හේතූන් දෙකයි.මේ රටවල නීතියේ සමානාත්මතාව කෙතරම් ඉහළ ද යත් මේ මේ සියලු රටවල අගමැතිවරයා හෝ ජනාධිපතිවරයාටත් , රටේ ජීවත්වන කොයි කවර අන්දමේ පුරවැසියාටත් නීතිය ඉදිරියේ හිමිවන්නේ සමාන තත්ත්වයකි.

ලොව අන් කවර දේසයකින් හෝ සොයා ගත නොහැකි අරුම පුදුම මැජක් තනතුරක් වන ලංකාවේ විධායක ජනාධිපතිවරයාට හිමිවන බලතල වලින් දහයෙන් පංගුවක බලයක්වත් ලොව බලවත්ම රට වන ඇමරිකාවේ ජනාධිපතිවරයාටවත් කිසිදා කිසිදිනක හිමි වී නැත.මිහිපිට සිටි කිසිදු ඇමරිකානු ජනාධිපතිවරයකුට හිමි වූයේ ද නැත. මේ නිසාම නීතිය අතට ගන්නට මේ කිසිදු රටක ව්ය වස්ථාදායකයට හැකියාවක් නැත. මේ සියලු රටවල ආණ්ඩු ක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීම බරපතල අපරාධයක් වන්නේය. ඒත් අපේ රටේ විධායකය එසේත් නැතිනම් විධායක බලතල සහිත ජනාධිපතිවරයා කෙසේ හැසිරුණු ද එය පාලනය කිරීමේ බලයක් ව්යස්ථාදායකය හොබවන පාර්ලිමේන්තුවටවත් , අධිකරණයටවත් නැත. එය ලෝකයේ දියුණු යැයි සම්මත එසේත් නැතිනම් ශිෂ්ට යැයි සම්මත කිසිදු රටක දක්නට නැති විකාර සහගත රාජ්‍ය පාලනයකි. මේ නිසාම විධායක ජනාධිපති ධුරයට පත්වන කවර යහපත් පාලකයකු වුව ද දරුණු ඒකාධිපතියකු බවට පත් කිරීමේ හැකියාව අපේ ආණ්ඩු ක්රම ව්යවස්ථාවට ඇති බව අපි අත්දැකීමෙන්ම දනිමු. දියුණු යැයි සම්මත සියලු රටවල ආණ්ඩු ක්රම ව්යවස්ථාව එම රටවල සිවිල් ආගම බවට පත්ව ඇත්තේය. එහෙත් අපේ රටේ ආණ්ඩු ක්රිම ව්යවස්ථාව සම්බන්ධයෙන් එසේ සිතීම පවා ඉල ඇදෙන මට්ටමේ විහිලුවක් වන්නේය. මේ නිසාම අපේ දේශපාලකයන්ට ජනතා ආශිර්වාදය ඇතිවම ආණ්ඩු ක්රම ව්යවස්ථාව යන නාමය තොල් මතුරමින් ජනතාවට වින කටින නාඩගම් පාන්නට ඉඩ කඩ ලැබී තිබේ.

ලොව දියුණු යැයි සම්මත සියලු රටවල අධිකරණ නිදහස ද වචනයේ පරිසමාප්තියෙන්ම උත්තරීතරය. ඒත් අද වන විට ලං‍කාවේ පාලක රජය අධිකරණයේ තීන්දු පිළි නොගන්නා බව නිළ වශයෙන්ම ප්රසකාශ කර ඇති බැවින් මිනිසුන් පිළිසරණ සොයා අධිකරණය ඉදිරියට යනු වෙනුවට අද සිදුව ඇත්තේ තම නිදහස සොයා අධිකරණයට මිනිසුන් ඉදිරියට යාමටය. මුලු ලොවම තවත් නව වසරකට පා තබන මේ මොහොතේ ලංකාවේ අප ලොව දූෂිතම රාජ්ය පාලනයන් ගුරු කොට ගැනීම කවර නම් වූ අවාසනාවක් ද…?

එදා සිටම අදත් හෙටත් අපේ ජනතාව රැවටිය හැකි අපූරු වචන සමුදායක් අපේ පාලකයන්ටත් , අපේ මාධ්යන්ටත් තිබේ. ඒ “ පාර්ලීමේන්තුවේ උත්තරීතරභාවය ” සහ “ ජනතා පරමාධිපත්යය ” නම් වූ හිස් වචන දෙකයි. ඉතාම කීකරු ජනතාවක් වූ ලාංකීය පුරවැසියා කිසිදා කිසිදිනක උත්තරීතරවන්නේ කුමක්දැයි එහෙමත් නැතිනම් තමන්ට හිමිව ඇති මේ පරමාධිපත්යය කියන්නේ කුමක්දැයි පෙරළා ප්රශ්න නගන්නේ නැත. ඒ නිසාම මේ දේශපාලක “ උත්තරීතර ” මිනිසුන් විසින් ජනතා පරමාධිපත්යය ලබමින්ම රට “ උත්තරීතර ආගාධයක ” ට දක්කමින් තිබේ.

දිනපතා පුවත්පතක් බැලූ විට සියලු හොර මැරකම් දූෂණයන්ට මුල් වී ඇත්තේ ජනතා පරමාධිපත්යය ලැබූ මේ උත්තරීතර මිනිසුන්ය. කිරි සුවද නොගිය දැරියන් දූෂණය කරනුයේ නිකම්ම නිකම් පළාත් සභා මන්තිරිවරුන් නොව පළාත් සභා සභාපතිවරුන්ය. උත්තරිතර දේශපාලකයකුගේ වාහන අනතුරක් සිදුවූ විට එම වාහන තුළින් මතු වන්නේ කිලෝ ගණනින් ගංජා සහ නීති විරෝධී ටී 56 ගිනි අවිය. තවත් උත්තරීතර ඇමති ආචාරියකු සිය උත්තරීතර පුතණ්ඩියා සමග එක්ව මුලු ලංකාවේම දරුවන්ට මත් කුඩු සහ එක්ස්ටසි නම් වූ මත් පෙති බෙදා දෙන අතර මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජාවන්ට එරෙහිව බජාර් සටන් පාඨ නගන්නේ ජාතියේ දරුවන් රැක ගැනීමට වඩා එළුවන් රැක ගැනීම රජයේ ප්රතිපත්තිය නිසා විය යුතුය. දහම් පාසල් විභාගයක්වත් හරිහැටි පවත්වා ගත නොහැකි වූ ලොව අසාර්ථකම අධ්යාපන ඇමතිවරුන් දෙබානක් ඉල්ලා අස්නොවී තව දුරටත් සුදු රෙද්ද හඳින්නට තරම් සදාචාර සම්පන්න වී ඇත්තේ මේ උත්තරීතරභාවය නිසා විය යුතුය. ඒ නිසාම ඉල්ලා අස්වනු වෙනුවට පිට වූ ප්රශ්න පත්තර සදහා නොමිළයේ ලකුණු දීමේ පිළිවෙළක් ලොවට හඳුන්වා දුන් මෙවැනි උත්තරීතර දේශපාලුවන් සිටින රටක් ඇතුළත් කළ හැකි දර්ශකයක් තවම හඳුන්වා දී නොතිබීම සැබැවින්ම වාසනාවකි. රටේ දිග පළලවත් හරිහැටි කියා ගන්නට නොදොන්නා තොදොල් නලු නිළියන් රටේ ජනතාව බරපතල තීන්දු තීරණ ගන්නේ ඔවුන්ගේ උත්තරීතර භාවය නිසා නම් මෙගා ටෙලි කෝලම්වල රගපාන සියලුම නලු නිළියන් උත්තරීතර විය යුතුය. සියලු මත් කුඩු ජාවාරම්කරුවන් , හරක් හොරුන් , මැරයන් පවා උත්තරීතර විය යුතුය. මන්ද යත් ලංකාවේ වර්තමාන දේශපාලය යනු මේ සකල විධ නාඩගම්කරුවන්ගේ එකමුතුවක් බැවිනි. රටේ හතරවැනි පුරවැසියා වන අග විනිසුරුවරිය සිය තනතුරට සුදුසුදැයි සොයා බලා නීතිය විග්රහ කරන්නට “අට සමත් උගතුන් ” සහ දත් දොස්තරවරුන් සහභාගි වන තරමටම මේ උත්තරීතරභාවය දෝර ගලා යමින් තිබේ.

යුද්ධය නිමා වූයේ යැයි පම්පෝරි ගැසුව ද ජනතාව මත මිරිකී ඇති ජීවන බර යුද්ධය පැවැති දශක තුන තුළ දී ම නොතිබූ තරම්ම දරුණුය. පාන් ගෙඩියට බදු පටවන අතරේ සුඛෝපභෝගී මෝටර් රථවල බදු ඉවත්කරන ලොව එකම රට ද ලංකාවට බවට සැකයක් නැත. අනෙත් අතට යුද්ධය නිමා වී වසර තුනක්ම ගත වුව ද අද වන විට ද 11,000 කට අධික පිරිසක් මේ වනවිටත් යා යුතු මගක් නොමැතිව කඳවුරුවල දුක්විඳින බව මෑතකදී නිකුත් වූ අලුත්ම අන්තර්ජාතික මානව හිමිකම් වාර්තාවේ පවා සදහන් කර තිබේ. පිටරට යවන බව කියමින් අහිංසක මිනිසුන්ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කරමින් පරණ යකඩ බඩු පවා වංචාකොට විකිණූ අධමයන් විවෘත වරෙන්තු තිබියදීත් රාජ්ය මාධ්ය ආයතනවල ඉහළම ධුරයන් හොබවන ලොව එකම රට ද ලංකාවය.

තවත් වසරක් ගෙවී යමින් අලුත් වසරක් උදා වූ මේ මොහොතේ මුලු ලොවම ඉදිරියට පා තබද්දී මේ උත්තරීතර මිනිසුන්ට පින් සිදු වන්නට මේ වනවිට අපි ගල් යුගය වෙත හැල්මේ දුවමින් සිටිමු. රට මෙවැනි අගාධයක සිරගත වූයේ හිටි හැටියේම නොවේ. එය ගෙවී ගිය දශක ගණනාව පුරාම සිදූ වූවක් බැවින් රට වැටී ඇති ආගාධයේ පීතෘත්වයේ වගකීමෙන් ගැලවෙන්නට විපක්ෂයට ද කිසිසේත්ම හැකියාවක් නැත.

දශක ගණනාවකට පෙර මහජන නියෝජිතයන් ලෙස තේරී පත් වූ පිරිස කිසියම් ආකාරයක උගත්කමින් හෙබි පිරිසක් වූහ. මේ නිසාම ඒ යුගයේ හැන්සාඩ් වාර්තා පවා ගැඹුරුය. හරවත්ය. එහෙත් අද වනවිට ලංකාවේ දේශපාලනය යනු පාදඩ පැලැන්තිය නියෝජනය කරන්නක් බවට පත් වී ඇත. සොත්ති උපාලිලා කෘත්යා ධිකාරී මණ්ඩලයේ සිටි යුගය නිමාවී ඔවුන් උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුව නියෝජනය කරන යුගයකට රට අවතීර්ණ වී ඇත. දේශපාලනයේ මේ පාදඩකරණය තුළ 2013 වසර දරුවකු උපදින්නට තබා දරුවකු පය ගසන්නටවත් සුදුසු රටක් ලෙස ලංකාව කිසියම් දර්ශකයකට ඇතුළත් කළ හැකි වේවි ද…?

මේ ආකාරයට මං මුළා වී ආගාධයක ගිලී යන රටක් ගොඩ නගන්නට හැකියාව ඉතිරිව ඇත්තේ ආයතන තුනකට පමණි. එනම් අධිකරණය , විපක්ෂය සහ ජනමාධ්ය යි. ඉහතින් සදහන් කළ ලෙස අධිකරණයට පවා අද මහජනතාවගේ සරණ පතනු මිස අන් සරණක් නැත. විපක්ෂයක් කියා යමක් රටේ නැති බැවින් ඒ ගැන සටහන් කිරීම පවා වචන අපතේ යැවීමකි. ස්වාධීන සහ නිදහස් ලෙසින් තමන්ම හඳුන්වා ගන්නා සියලුම මාධ්යයන් ලේක් හවුස් මුද්රණ යන්තරයෙන් බෙදා හරින පත්තර කඩමාලුවලට වඩා වෙනස් වන්නේ නමින් පමණි.

ඉතින් එවන් වූ රටකට තවත් අලුත් අවුරුද්දක් උදා වී තිබේ.

උදා වූ වසර සුභ නව වසරක් වන්නේ “ උත්තරීතරභාවය ”සහ “ පරමාධිපත්යය ”යන වචන දෙක මේ වසර තුළ දීත් දොහොත් මුදුනින් පිළිගන්නට අපේ පුරවැසියන් කොයි තාක් දුරකට සිත හදා ගෙන ඇති ද යන බරපතල කාරණය මත පමණක් බව අවසාන වශයෙන් සටහන් කළ යුතුව ඇත.

ජාති ආලයේ තියරිය

“ පාදඩයකුට ඇති අන්තිම රැකවරණය ජාතිආලය හෙවත් දේශප්රේමයයි ” (The last refuge of a scoundrel is patriotism) යනුවෙන් ආචාර්ය සැමුවෙල් ජොන්සන් පැවසුවේ බොහෝ කාලයකට පෙරදීය. ඔහු විසින් ඒ ප්‍රකාශය කරන ලද්දේ අදින් වසර දෙසියයකටත් පමණ පෙර එක්තරා සවස්වරුවක දී ය.

වසර හැට හතරක “ නිදහස  ” සමරන මේ මොහොතේ ආචාර්ය සැමුවෙල් ජොන්සන්ගේ ඒ අදහස් යළි යළිත් සිහිපත් වන්නේ ආචාර්ය ජොන්සන් එය කවර සමාජ කොටසක් ඉලක්ක කරගෙන පැවසුව ද ලාංකීය සමාජයට නම් ඒ අදහස සියයට සියයක්ම වලංගු වන නිසාය.

“ නිදහස ” නම් වූ මේ අකුරු හතර ලංකාවේ නිල නාමයේ සැරසිල්ලක් ලෙස එක් වූ දා සිටම අපේ රටේ දේශපාලනය මුලුමනින්ම පදනම් වූයේ ජාතිආලය හෙවත් දේශප්රේමය තුළින් ලාංකීය ඡන්දදායකයින් ගොනාට අන්දවන්නේ කෙසේද යන තියරිය මත පිහිටාය. සිංහල දෙමළ සහ වාමාංශකියන් යැයි කියාගන්නා දේශපාලකයන් පමණක් නොව ප්රභාකරන් පවා මිනීමැරුවේ ජාති ආලයේ නාමයෙනි. ප්‍රභාකරන්ගේ ලේ පිපාසිත මානසිකත්වය ලොවට රහසක් නොවුණ ද එදා මෙදාතුර රට පාලනය කළ සහ පාලනය කරන සිංහල දෙමළ දේශපාලකයන්ගේ නාමයෙන් මිය ගිය අහිංසක සිංහල දෙමළ තරුණ තරුණියන්ගේ අවසන් සුසුම් සමාජයේ විරෝධත්වයකින් තොරවම හිස් වාතලයට මුසුව ගියේ ඒ සියලු ජීවිතවල ලන්සුව දේශපාලකයන්ගේ දේශප්රේමී ගණ තිර මතින් වැසී ගිය බැවිනි.

කන්නන්ගර අධ්‍යාපන ඇමතිවරයා නිදහස් අධ්‍යාපන පනත ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ ඈත යුගයේ දී පවා දේශප්රේමී ජනතා නායකයන් ලෙස සලකන බණ්ඩාරණායකවරුන් මෙන්ම සේනානායකවරුන් ඊට එරෙහිව එක් කදවුරකට ගොනු වූයේ නිදහසේ පත පොත ඇසුරු කරන්නට හැමට ඉඩකඩ ලැබුණොත් වත්තේ පොල් කඩන්නටවත් කෙනෙක් ඉතිරි නොවනු ඇති බවට සිල්ලර බාල තර්ක ඉදිරිපත් කරමිනි. මැතිණියගේ යුගයේ දී ටයර් සෑය නම් වූ අලුත්ම සංකල්පය බිහිකරනු ලැබුවේ ද දේශප්රේමයේ නාමයෙනි. ඒ යුගයේ දේශප්රේමය හමුවේ හැට දහසකට අධික තරුණ ජීවිත පිපෙන්නටත් පෙර පරව ගියේය. එයින් ඇරඹී තරුණ සංහාරය අසූව දශකයේ දී උච්ච අවස්ථාවට පත් වූව ද ඒ තරුණ ජීවිතවල වටිනාකම අද ශේෂ වී ඇත්තේ ඒ වෙනුවෙන් ලියැවුණු කවි ගී පද පේළි හා නවකතාවල යල් පැන ගිය වස්තූ බීජයන් ලෙසින් පමණි. මේ නිසා අද දවසේ වුවද සුදු වෑන් රථයකින් යළි නොඑන ගමන් යන කවරකුගේ වුව ද ජීවිතයේ ඉරණම සටහන් වන්නේ දේශප්රේමය වෙනුවෙන් නොඑන ගමන් යන්නකු ලෙසිනි.

කොයි කවර හැටියෙන් වුවත් හැට හතර වෙනි නිදහස සමරන මේ මොහොතේ අපේ රටේ දේශප්රේමය ක්රියාත්මක වන්නේ හරිම අපූරු ආකාරයටය. ඒ කුමන්ත්‍රණ නම් වූ නවතම තියරිය යටතේය. ඒ අනුව රටේ සිදුවන හැම නස්පැතිතියක්ම සිද්ධවන්නේ කුමන්ත්‍රණයක් නිසාය. උසස් පෙළ විභාගයට මුහුණ දුන් දෙලක්ෂ තිස් නව දහසක් වූ දරුවන්ගේ අනාගාතය විනාස කෙරුණේ තකතීරු ඇමතිවරුන් සහ විභාග කොමසාරිස්වරයාගේ මන්ද බුද්ධික ඔල මොට්ටලකම් නිසා නොව විභාග පිළිතුරු පත් පරීක්ෂා කළ ගුරුවරුන්ගේ කුමන්ත්‍රණ නිසාය. හැම අතින්ම බිද වැටුණු සමාජයක දරුවන් සතුව තිබූ එකම ගැලවිල්ල වූ අධ්‍යාපනය නම් වූ මල්පෙති පවා කිළිටි අත්වලින් තලා පොඩි වී යද්දී අධ්‍යාපන ඇමති දෙබාන එය “ සුලු දෙයක් ”යැයි මාධ්‍ය සාකච්ඡා ඔස්සේ පවසන ආකාරය පිළිකුළෙන් යුක්තව බලා සිටිනු හැර අන් යමක් කරන්නට මේ දේශප්රේමී සමාජය තුළ ඉඩ කඩක් නැත. සමස්ත සිසු පරපුරටම දත නියවා හිටපු විභාග කොමසාරිස්වරයා විභාග දෙපාර්තමේන්තුවේ පඩි පෙළ බැස යද්දී නව කොමසාරිස්වරයා දෙකට නොව තුනටම නැවී වැද වැටී අධ්‍යාපන ඇමතිවරයා හමුවේ වැඩ භාරගත් අයුරු දුටු කවරකුට වුවද පිළිකුළට එහා ගිය යමක් ඉතිරි වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. කොයි කවර හැටියෙන් වුවත් රට ගිනිබත් කළ උසස් පෙළ අවුල වැනි යමක් බටහිර රටක සිදු වන්නේ නම් අදාළ ඇමතිවරයා ඉල්ලා අස්විම සාමාන්‍ය පිළිවෙතක් නොවන්නේ දැයි පුවත්පත්කලාවේදියෙකු ඇසූ පැනයට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා දුන් පිළිතුර නම් සැමුවෙල් ජොන්සන්ගේ කතාව මෙන්ම නූතන මහාවංශයේ රන් අකුරින්ම ලියැවිය යුතු සටහනකි. එනම් ; වෙනත් රටවල එසේ සිදුවූවත් මේ ලංකාව නිසා එසේ ඉල්ලා අස්වීමේ හේතුවක් නැති බවය. විශ්රාම ගිය ටියුෂන් ගුරුවරයකු වූ ඇමතිවරයාගේ කතාවෙන් සමස්ත ලාංකීය දේශපාලනයේ ප්රතිපත්තිගරුක ස්වභාවය සහ අද දවසේ දේශපාලකයන්ගේ සාදාචාරය මැනවින් හෙළිදරව් කෙරෙන බැවින් ඒ සම්බන්ධයෙන් වෙනත් කිසිදු අදහසක් දැක්විය යුතු නොවේ.

(එම වීඩියෝව පහත සබැදුමෙන් නැරඹිය හැකිය)

http://www.youtube.com/watch?v=VXVGnUrtacg&feature=share

උසස් පෙළ අවුල් පමණක් නොව අද දවසේ බඩු මිල පවා ඉහළ යන්නේ වෙළෙදුන්ගේ සහ ගොවීන්ගේ කුමන්ත්‍රණ නිසාය. පාන් මිල ඉහළ ගියේ බේකරි හිමියන්ගේ සටකපට කම් නිසාය. බස් ගාස්තු ඉහළ යන්නේ බස් රථ හිමියන්ගේ කුමන්ත්‍රණ නිසාය. රටට කුඩු ගලා ගෙන එන්නේ අහිංසක ඇමතිවරුන් ජනතාවගේ වෛරයට ලක් කරවීමේ කුමන්ත්‍රයක ප්‍රතිපල නිසාය. බයිසිකල් පැද ගෙන එන තරුණයන් ඇමති පුතුන්ගේම වාහනවලට යට වන්නේ හිතාමතාම සිදු කරන කුමන්ත්‍රණ නිසාය. චීවරධාරීන් සිදු කරන සියලු දූෂණයන් සිද්ධවන්නේත් අන්‍යාගමික කුමන්ත්‍රණ නිසාය. ඒ තරමටම මේ සිරිලක් ද්වීපය කුමන්ත්‍රණයන්ට ගොදුරු වී හමාරය.මේ නිසාම රටේ පාලකයන්ට විශේෂයෙන්ම කරන්නට කියා කිසිවක් නැත. මන්දයත් පාලන තන්ත්‍රයම කුමන්ත්‍රණවලට හසු වී ඇති බැවිනි. අනෙක් අතට ඔබාමාගේ සිට ලොව සියලු බලවත් රටවල නායකයන් නින්දට යන්නේ සිරි ලංකාව නම් වූ ආසියවේ මේ නැගී ගෙන එන ජාතික බලවේගයන්ට මුහුණ දෙන්නේ කෙසේදැයි යන්න ගැන කණස්සල්ලෙන් ඔලුව පුරවා ගනිමිනි. මේ නිසා උසස් පෙළ විභාගයේ ප්‍රතිපල සකස් කරන පරිගණකයට වෛරසයක් ඇතුලු කර රටේ අනාගත බලවේග විනාශ කිරීම සී අයි ඒ නිලධාරීන් සහ කේ ජී බී ඔත්තුකරුවන්ට සුලු දෙයකි. (එවැනි කොණක් අල්ලා ගන්නට ආණ්ඩුවේ මාධ්‍යයන්ට තවමත් ඉඩක් නොලැබීම ඇත්තෙන්ම පුදුමයකි). විකිලීක්ස් නිර්මාර්තෘ ජුලියන් අසාන්ජේ ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු බලධාරීන්ට යවනු ලැබූ කේබල් පණිවිඩ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්රසිද්ධියට පත් කළේ අසාන්ජේ අපේ කාලයේ වීරයකු බවට පත් කරමින් ලියැවුණු විශේෂාංග ලිපි ද සමගිනි. ඒත් ඊට සමගාමීව රටේ පාලකයන්ගේ සහ ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන්ගේ වත්කම් කොමිස් මුදල් සහ සියලු අක්‍රමිකතාවන් පිළිබද රහස් තොරතුරු විකිලීක්ස් මගින් ගලාගෙන එද්දී එක් රැයින්ම ඔහු දුෂ්ටයකු බවට පත්වන්නේ ද එවැනි “ රට කුපිත කරවන ආකාරයේ ” රහස් හෙළි කිරීම නිශ්චිතවම කුමන්ත්‍රණයක් වන නිසාය.

දේශප්රේමයේ දැවැන්ත කඩතිරයෙන් සියල්ල වසා දැමීමේ කලාව අපේ දේශපාලකයන් මෙන්ම පුරාණ පාලකයන් විසින් ද ප්‍රගුණ කරනු ලැබ ඇත්තේ අද ඊයේ නොවන බව සැබෑය. එහෙත් එය මෑත ඉතිහාසයේ තරම් පුලුල් ලෙස භාවිතයට ගත් අවස්ථාවක් මහාවංශයේ පමණක් නොව වෙනත් කිසිදු ඉතිහාස කතාවක් තුළින් හදුනා ගත නොහැකිය.

1948 දී අප නිදහස ලබා ගත්තේ ලේ බිදුවකුදු නොහැලීමෙන් බව අපේ පාසල් පොත පත දරුවන්ට කියා දෙන්නේ මහත් වූ අභිරුචියෙනි. එනම් එහි අනෙක් අර්ථය වන්නේ අද අපට ලැබී ඇතැයි කියන නිදහස අපට සුද්දන්ගෙන් තෑග්ගක් ලෙසින්ම ලැබුණක් මිස සමකාලීන සෙසු යටත්විජිතයන්හි මෙන් වීරත්වයෙන් ලබාගත්තක් නොවන බවය. තවත් සරලව අර්ථ දක්වන්නේ නම් වෙල්ලස්ස කැරැල්ල ආදී වූ සැබෑ ජන අරගලයන්ට දිවි පුදන වීරෝදාර පරපුර නිමා වී “ සුද්දන්ට දිවි පුදන ” පරපුරක් නව දේශපාලන පැලැන්තියක් ලෙස බිහි වූ යුගයක නිදහස තෑග්ගක් ලෙසින්ම දෙනු විනා අන් යමක් සිදුවෙතැයි අපේක්ෂා කළ යුතු වන්නේද…? එබැවින් නිදහස නම් වූ එහි සැබෑ (අ)මිහිරි රසය අපි අද ඉහළින්ම භුක්ති විදිමු.

දෙවැනි ලෝක මහා යුද්ධයේ දී හිරෝෂිමා සහ නාගසාකි යන නගර මුලුමනින්ම පොළොවට සමතලා කොට ආර්ථිකය සහමුලින්ම විනාශ කර දැමුව ද ජපානය අද මුලු ලොවම විස්මයට පත් කළ ආර්ථික ලෝකයේ දැවැන්තයෙකි. 1923 වසරේ ඔක්තෝබර් මාසය වනවිට බර්ලින් නගරයේ පාන් ගෙඩියක මිල ජර්මන් මාක් බිලියන 200 ක් දක්වා ඉහළ යන තරමට අතිශය දරුණු ආර්ථික කඩා වැටීමක් ජර්මනියේ විය. එහෙත් අද ජර්මනිය යනු සමෘද්ධිමත් රටකි. අපට වසරකට පෙර නිදහස ලැබූ ඉන්දියාව අභ්‍යවකාශ තරණයට ද අත ගැසුවේ මීට දශකයකටත් පෙරදීය. ඒ තම රටට පමණක් නොව තම ජනතාවට ද ආදරය කළ සැබෑ නායකයන් ඒ රටවලින් බිහි වූ බැවිනි. මුලු ලොවම කම්පා කළ 9/11 සිද්ධියේ දී ඇමරිකානු සෙනේට් මණ්ඩලයත් ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් යන සියලුම මන්තිරිවරුන් සමස්ත ඇමරිකානු ජාතිය වෙනුවෙන් එකාවන්ව නැගී සිටියේ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ තමන්ගේ දේශපාලන ගිනුම්වලට බැර කර ගත හැකි ජන්ද ලාභාංශ ගැන තැකීමකින් තොරවය. එහෙත් මෑත ලාංකීය ඉතිහාසයේ කම්පාසහගතම අත්දැකීම වූ සුනාමි ඛේදවාචකයේ දී පවා එකම එක දවසකටවත් ජනතාව වෙනුවෙන් එකට පෙළ ගැසෙන්නට නොහැකි වූ රටක ජනතා නියෝජිතයන්ගෙන් කවර අභිමානයක් බලාපොරොත්තු විය හැකි ද…?

“ පබාලා ” රට කරවන්නට තීන්දු ගන්නා අතර “ අබාලා ” රට කරවන්නට උපදෙස් දෙන යුගයක පුරවැසියන් ට බබාලා ලෙස බලා සිටිනු හැර නැගී සිටින්නට ඉඩක් නොමැත්තේ ඒ සියලු ජනතා අවදිවීම් කුමන්ත්‍රණ ලෙසින් සැරසිලි කරන්නට දේශප්රේමීන් ලක ලැහැස්ති වී සිටින බැවිනි. එහෙත් ඒ දේශප්රේමීන්ගේ දූ පුතුන් ඉගෙනුම ලබන්නේ විදේශයන් හිදීය. වාමාංශික යැයි කියාගන්නා වාසිදේවලාගේ පමණක් නොව ජාතික චින්තනය ගැන නන් දොඩවනන්නන්ගේ පවා දූ දරුවන් සිටින්නේ විදේශයන්හිය.

අද රටට කුඩු ගෙන්වන්නේ නිකම්ම නිකම් මන්තිරිවරුන් නොව ඇමතිවරුන්ගේම අනුග්‍රහයෙනි. සංචාරයට එන විදේශීය ලදුන් දූෂණය කරන්නේ නිකම්ම නිකම් පළාත් සභා මන්තිරිවරුන් නොව පළාත් සභා සභාපතිවරුන්ය. දූෂණ වංචාවන්ට පමණක් නොව මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණයන්ට රටේ වැඩිම චෝදනාවන් එල්ල වී ඇත්තේ ජනතා නියෝජිතයන් යැයි කියාගන්නා පිරිසටය. ඒ අතර මන්තිරිවරුන් , ඇමතිවරුන් පමණක් නොව ඇමති දූ පුතුන් සහ ඔවුනගේ සිය නෑ පරපුර ද අන්තර්ගතය. නිදහසේ  “අභිමානයට ”ඇති එකම කරුණ නම් ජනගහනයට සාපේක්ෂව ලොව විශාලතම මහජන නියෝජිත පරපුර අප සතුව තිබීමය.

ඒ දැවැන්ත මහජන නියෝජිතයන්ට පිංසිදු වන්නට ගෙවී ගිය වසර 64 තුළ දී අපට උරුම ව ඇත්තේ කුමන ඉරණමක් ද…? 1948 වන විට අප යටත් වී සිටියේ එකම ජාතියකට පමණය. අද අප සමස්ත ලෝකයටම යටත්ය. එදා ඉන්දියන් සාගරයේ මුතු ඇටය අද අරාබිකරයේ කදුලු බිදුව වී අවසන්ය. 64 වසරක ජාතික අභිමානය වෙනුවෙන් ජාතික කොඩි ලෙළ දෙන රටක භාණ්ඩාගාරයේ බරණි පිරී යන්නේ මැද පෙරදිග වහල්භාවයට සින්න වූ අපේ පරපුරේ කාන්තාවන්ගේ කදුලු බිදු වලිනි. 1948 වන විට අයවැය අතිරික්තයක්ව තිබූ ලංකාව අද ලොව දුප්පත්ම රටවල් අතරට එක්ව ඇත්තේ 64 වසරක ජාතික අභිමානයේ මහිමයෙනි. සංවර්ධනයේ නාමයෙන් සිදුවන්නේ දූෂණයන්ය. 1948 සිටම මේ දක්වා ක්රියාත්මක වූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති කොමිස් ව්‍යාපෘති බව නොරහසකි. 1948 පසු ක්රියාත්මක වූ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස අර්ථ දැක්වෙන මහවැලි ව්‍යාපාරයට යට කළ මුදලින් සියයට 30 ක් ම වෙන් වූයේ කොමිස් සදහා බව හෙළිදරවු වූයේ අද ඊයේ නොවේ. එක්සත් රාජධානියේ විදේශ සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්තාවන්ට අනුව ලොව අසාර්ථකම ව්‍යාපෘති සදහා ඉදිරිපත් කර ඇති හොදම උදාහරණයක් වන්නේ ද ලංකාවේ වික්ටෝරියා ව්‍යාපෘතියයි. දුප්පත්කම තුරන් කර සමෘද්ධිමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් බිහි කළ බව කියන සමෘද්ධි අධිකාරියේ වියදම්වලින් සැබෑ වශයෙන්ම දුප්පත්කම තුරන් කිරීම සදහා වැය කළේ මුදල්වලින් සියයට 11 ක් පමණක් බවත් , ඉතිරි මුදලින් සියයට 89 ක්ම වැය වූයේ එහි නිලධාරී පැලැන්තිය නඩත්තුවට සහ ඔවුන්ගේ සුඛ විහරණය සදහා බව මීට දශකයට පමණ ඉහත දී හෙළි දරවු කර තිබිණ. ඒ තරමටම අපේ දේශපාලනය සහ අල්ලස අතර ඇත්තේ ලේ සබදතාවකි. මේ නිසාම අල්ලස් කොමිසම යන්න අද දේශපාලකයන්ට එක්තරා අකාරයක විනෝද සමයකි.

සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ ජනතාවට නොලැබෙන්නේ නම් එහි ප්‍රතිලාභ බැර වන්නේ කවර ගිණුම්වලට ද යන්න රහසක් නොවේ. යුද්ධයට කැප කළ අති විශාල ධනස්කන්ධය අද දවසේ සංවර්ධනය සදහා යෙදවෙන්නේ නම් එහි ප්‍රතිපල ජනතාවට දැනිය යුතුය ; ඔවුහු විදිය යුතුය. පාන් ගෙඩියක හෝ මිල අඩු නොවන්නේ නම් අඩුම තරමින් විරැකියාව හෝ අඩු විය යුතුය. එහෙත් සිදුවන්නේ බඩුමිල , විරැකියාව පමණක් නොව ඇමතිවරුන් සංඛ්‍යාව පවා වැඩි වීම පමණය. රටේ සාමාන්‍ය පුරවැසියෙකුට පය තබන්නට නොහැකි නම් නෙලුම් පොකුණු ඉදි වී කුමකට ද…? හාමතින් පෙළෙන නිසාම පාසල් යා නොහැකිව දරුවන් දස දහස් ගණනින් සිටින රටක අධිවේගී ගමන් මාර්ග ඉදි වී කුමකට ද …? පාසල් සිය ගණනින් වැසී යන රටක ආසියාවේ විශාලතම කුලුණු ඉදි කර කුමකට ද…?

“ නිදහස ” යන වචනය එදා මෙන්ම අදත් සියලු කල්හිම පාලකයන් අපේ ජනතාව ගොනාට අන්දවන්නට යොදා ගන්නා ඔවුනගේ දේශපාලන ශබ්දකෝශයේ තවත් එක් වචනයක් පමණකි. එහෙත් යුගයේ ඛේදවාචකය වන්නේ සිදුවීම් පෙළ ගැසෙන තෙක් බලා සිටීමේ ආස්වාදය අද දවසේ අපේ චන්දදායකයන් සිය කැමැත්තෙන්ම විද දරා ගනිමින් සිටීමය. මේ සියලු සිදුවීම් සමුදාය දේශපාලන පක්ෂ රාමුවෙන් මිදී සිය හදවතින්ම අර්ථ විවරණය කර ගත හැකි වූ දිනයක දී රටට පමණක් නොව තමන්ගේ හදවතට ද සැබෑ නිදහසේ අභිමානය භුක්ති විදිය හැකි වනු ඇති බව නම් නොකියාම බැරිය.

කලාවැව හැදුවේ විජය රජ්ජුරුවෝ ද ….?

මගේ හිතවතෙක් ළගදී මට අපූරු කතාවක් කිව්වා.

මේ කතාව කොයි තරම් දුරට ඇත්ත කතාවක් ද කියලා කියන්න මිතුරා හරිහැටි දැන හිටියේ නැතත්  ඒ කතාවෙන් මතු කරන හාස්‍යය යටින් තියෙන්නේ කොයි තරම් කටුක ඇත්තක් ද කියලා මට ආපහු වතාවක් මතක් වුණේ ඊයේ පෙරේ දා දැක්ක පුවතක් නිසයි.

ඒ පුවත කියන්නට කලින් මිතුරාගේ කතාව කියන්නට සිද්ධ වෙනවා.

පහුගිය කාලය පුරාවටම බොහෝරජයේ රැකියාවල පුරප්පාඩු පිරවෙන්න පටන් ගත්තේ දේශපාලකයන්ගේ හරි ඒ අයගේ බිරින්දෑවරුන්ගේ(එහෙමත් නැතිනම් අනියම් බිරියන්ගේ ) , ඔවුන්ගේ දූ දරුවන්ගේ හිත මිතුරු හෙංචයියලාගෙන්බව කවුරුත් දන්නා දෙයක්. මේ නිසාම රජයේ රැකියාවන්වන් වෙනුවෙන් පුවත්පත්වල දැන්වීම් පළ වෙන්නේ ඇමතිවරයාගේ හිතවතා තනතුරට තෝරා ගැනීමෙන් පස්සේ කියලා හැමෝම දන්නවා.

මගේ මිතුරාගේ කතාවට පදනම්වෙච්ච තරුණයාත් ඔය කියන ඇත්ත හොදින්ම දැනගෙන හිටිය කෙනෙක්. අයදුම් කරන හැම රස්සාවක් ම ඇමති හෙංචයියන්ගෙන් පිරවෙන බව දැන දැනත් මේ තරුණයා රජයේ රැකියාවන්ටත් ඉල්ලුම් පත් දිගටම යැව්වේ ජීවත් වෙන්නට රස්සාවක් ඕන වෙලා තිබුණු නිසයි.

මේ තරුණයාට තිබුණේ ඉතිහාසය පිළිබද විශේෂ උපාධියක්. තමන්ගේ සුදුසුකම්වලට ගැලපෙන තනතුරක් රජයේ ආයතනයක තියෙනවා දැකපු මේ තරුණයා ඒ තනතුරටත් ඉල්ලුම් කළා වගේම සුපුරුදු විදියටම සම්මුඛ පරීක්ෂණයටත් ඔහුට කැදවීම ලැබුණා. සම්මුඛ පරීක්ෂණයට යන්න තීරණය කළාටත් පස්සේ තමයි ආයතනය ඇතුළේ ඉන්න හිතවතෙක්ගෙන් දැනගන්නට ලැබුණේ ඒ තනතුරටත් ඇමති හෙංචයියෙක්ගෙන් අරගෙන ඉවරයි කියලා. ඒත් හිතේ අමාරුවටත් එක්ක සම්මුඛ පරීක්ෂණයට යන්න තරුණයා තීරණය කළා.

පුරප්පාඩු වෙච්ච තනතුරට ගන්න කෙනා තීරණය කරලත් ඉවර වුණත් පුරුදු විදියටම මහා ගරු ගාම්භීර විදියට තමයි සම්මුඛ පරීක්ෂණය කෙරුණේ. පරීක්ෂණ මණ්ඩලයට නිලධාරීන් තුන් දෙනෙක්ම ටයි පටි ගැට ගහගෙන මහා බැරෑරුම් මුහුණු එහෙම හදා ගෙන තමයි හිටියේ. බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන ලබා ගත්ත අධ්‍යාපන සුදුසුකම් ටිකත් ෆයිල් කවර වල දාගත්ත අහිංසකයන් බොහොම දෙනෙක් බලාපොරොත්තු පොදි බැදගෙන සම්මුඛ පරීක්ෂණයට අවස්ථාව ලැබෙනකම් පෝලිම් ගැහිලා කාමරයෙන් එළියේ බලාගෙන ඉන්නවා.

ඉතින් මේ පෝලිමේ සෑහෙන වෙලාවක් කාලය ගත කරලා අන්තිමට අපේ තරුණයාටත් පරීක්ෂණ මණ්ඩලය ඉස්සරහට යන්න හම්බු වුණා. හැමදාමත් මේ කරන රැවටීම ගැන පුදුමාකාර කලකිරීමකින් වගේම දරා ගන්න බැරි තරහකිනුත් හෙම්බත්වෙලා තමයි අපේ තරුණයා ඒ වෙනකොට හිටියේ.

කවදත් අහන පුංචි පුංචි දේවල් ටික ඇහුවට පස්සේ එක් නිලධාරියෙක් බොහොම ගාම්භීරව කටහඩ අවදි කළා.

“ තමුන්ට තියෙන්නේ ඉතිහාසය ස්පෙෂල් උපාධියක් නේද… කියන්න බලන්න කලාවැව හැදුවේ කවුද කියලා…? ”

“ විජය රජ්ජුරුවෝ… ” තරුණයා ගත් කටටම කිව්වා. නිලධාරීන් ටික මුහුණට මුහුණ බලා ගත්තා.

“ එහෙමනම් කියන්න බලන්න රුවන්වැලිසෑය හැදුවේ කවුද කියලා…” තවත් නිලධාරීයෙක් කටහඩ අවදි කළා.

“ රාජසිංහ රජ්ජුරුවෝ…  ”තරුණයා එක සැරේම කිව්වා.

“ තමුන්ගේ උපාධිය නම් ඉතිහාසය ස්පෂෙල්.. එත් කලාවැව , රුවන්වැලිසෑය හැදුවේ කවුද කියලා කියාගන්න දන්නේ නැහැ… ” මෙතෙක් වෙලා නිහඩව හිටිය අනෙක් නිලධාරියා බොහොම අවඥාවෙන් කිව්වා.

කිසිවක් නොකිව්ව තරුණයා මේසය පුරා තිබුණු සහතික ටික තමන්ගේ ෆයිල් කවරයට දාගත්තා. ෆයිල්කවරයත් අරගෙන නැගිටලා යන්න ගිහින් ආපහු මේසය ළගට ඇවිත් නිලධාරීන් තුන්දෙනාගේ මුහුණට එබිලා බැලුව තරුණයා මෙහෙම කිව්වා.

“ හරි මම ඔය මුලින් අහපු දේට ධාතුසේන රජ්ජුරුවෝ කියලා දෙවැනියට අහපු දේට දුටුගැමුණු රජ්ජුරුවෝ කියලා කිව්ව නම් තමුසෙලා මාව රස්සාවට ගන්නව ද ….? ”

සමහර හාස්‍යයන් බොහොම කටුකයි. එහෙම වෙන්නේ ඒ හාස්‍යයට තුළින් කටුක සත්‍යයක් ඉස්මතු වෙන කොටයි.

මේ කතාව කියන්නට කලින් මා සදහන් කළ පුවත ගැන කියන්නට දැන් වෙලාව සුදුසුයි.

මේ පුවතට පදනම් වෙලා තිබුණේ විදේශ සේවා නිලධාරීන් බදවා ගැනීමක් ගැනයි. සාමාන්‍යෙයන් විදේශ සේවාවන්ට
නිලධාරීන් බදවා ගැනීම සිදුවෙන්නේ දැඩි තරගකාරී විභාගයකට පස්සේයි. ඒකට හේතුව විදේශ සේවා වෘත්තිය සාඩම්බර වෘත්තියක් ලෙසින් සැලකීමත් , එම තනතුරට පත් වෙන පුද්ගලයන්ට විශේෂ තානාපති වරපසාද සමග තම දරු පවුලත් සමගින් විදේශයන්හි ජීවත් වීමට ඉඩකඩ ලැබීමත් නිසයි. මේ නිසාම දැඩි තරග විභාගයකින් තෝරා ගන්නා සමතුන්ට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතියෙන් පස්සෙයි තනතුරු හිමිවන්නේ.

ඒත් පහුගිය දිනෙක අහන්නට ලැබුණේ කලින් කිව්ව කතාවේ වගේම ලංකාවේ අපට බොහොම සුපුරුදු දෙයක්. විභාගයේ සමතුන් පැත්තක සිටිය දී බලාපොරොත්තු විය හැකි පරිදිම ඇමතිවරුන්ගේ දරුවන්ට ඒ වගේම ආණ්ඩුවට කඩේ යන මහා කලාකරුවන් යැයි කියාගන්නා කලා හොරුන්ගේ දූ දරුවන්ට මේ කිසිම සුදුසුකමක් නැතිව තනතුරු ටික බෙදලා දීමයි.

මේ විදියට තාත්තලා කඩේ යාමේ පිනින්ම පමණක් දූවරුන් එකොළොස් දෙනෙක්ටම ඇමරිකාව ඇතුලු රටවල තානාපති කාර්යාලවලට තමන්ගේ දරු පවුල් පිටින්ම නවාතැන් ගන්න මෙලොව දී ම පිං පළ දුන්නා.

විය යුතු පරිදිම , ඒ වගේම විය හැකි පරිදිම මේ පුවත ලංකාවේ කිසිම පුවත්පතකින්වත් විද්යුත් මාධ්‍යයකවත් පළ වුණේ නැහැ. (එත් පුවත සත්‍යයක් බව තහවුරුයි). ඒත් මේ පුවත පළ කළ වෙබ් අඩවියයේ අදහස් පළ කරලා තිබුණු විභාගයට ඉදිරිපත් වුණු සැබෑ සුදුස්සන්ගේ අදහස්වලින් මුදා හැර තිබූ පීඩනය දැක්කම මේ සිද්ධ වෙන්නේ කොයි තරම් කාලකන්නි සහගත සිදුවිම් දාමයක් ද කියලා සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට දැනෙනවා. අඩුම තරමින් විභාගය ෆේල් කියලා හිත හදාගන්න ලියුමක්වත් ඒ සැබෑ සමතුන්ට නොයාවාම තමයි පස්සා දොරෙන්ම තනතුරු බෙදලා දීලා තිබුණේ.

කොහොමටත් ලංකාවේ විදේශ සේවාවන්ගේ බොහොමයක් පුරප්පාඩු පිරවෙන්නේ විශාම ගිය දේශපාලකයන්ගෙන් , එහෙමත් නැතිනම් ආණ්ඩුවලට චන්දය දෙන්න කියලා හිගමන් ඉල්ලමින් පත්තර දැන්වීම්වල අත්සන් කරපු කලාකරුවන් කියලා හදුන්වන තොරම්බල්කාරයන්ගෙන් , එහෙමත් නැතිනම් උසාවියෙන් වැරදිකරුවන් වෙලා හිරේ යන්න ඔන්න මෙන්න තියෙද්දී පොදු සමාව යටතේ බේරුණු චණ්ඩින්ගෙන් , එහෙමත් නැතිනම්  කඩේ යමින් කරපු උදව්වලට දාන්නම තැනක් නැති තැන මුලු පවුලටම කරන තෑග්ගක් විදියට දාන පිරිසකගෙන් කියන එකත් හැමදාමත් හැමදෙනාමත් දන්න දෙයක්.  මේ තත්ත්වය මෑත කාලයේ බලයට ආපු හැම ආණ්ඩුවකින් ම සිද්ද වෙච්ච නිසා මේ වෙනකොට හැම ආණ්ඩුවක් යටතේ ම පත් වුණු මේ විදියේ ගුණ නැණ බෙලෙන් විතරක් නෙමෙයි සදාචාරබවින් පවා බිංදුවටම බැස්ස බොහොම පිරිසක් අපේ රට නියෝජනය කරමින් බොහොම සුව පහසු ජීවිත ගත කරනවා. යමක් කරන්නටවත් , අඩුම තරමින් රට වෙනුවෙන් කතා කරන්නටවත් දැනුමක් නැති නිසා මේ අයගේ සාමාන්‍ය දෛනික රාජකාරිය වෙන්නේ සාප්පු සවාරි යාම , අවුරුද්දකට සැරයක් නෑයන් බලන්නට ලංකාවට ඇවිත් යාම , ලංකාවේ නිදහස් දිනයට තමන්ගේ තානාපති කාර්යලයේ ජාතික කොඩිය උස්සලා වාර්ෂික සාදයක් සංවිධානය කිරීම වගේ බොහොම නිදහස් සරල කරුණු කාරණා.

ඒත් ඉතාම කාලකන්නි සහගත එහෙමත් නැතිනම් කටුකම යථාර්ථය නම් මේ පිරිස නියෝජනය කරන්නේ අපේ සමස්ත ජාතියේම අතීතය , වර්තමානය සහ අනාගතය වීමයි. රටක තානාපති කාර්ය මණ්ඩලය කියලා කියන්නේ රටක් ඇතුළේ  තියෙන තවත් ස්වාධීන රාජ්‍යයක් කියලයි ජාත්‍යන්තර නීතියේ පැහැදිලිවම හදුන්වලා දෙන්නේ. ඒ නිසා කිසියම් රටක තානාපති කාර්යාල භූමියකට ඇතුලු වෙන්න ඒ රටේ පොලිසියටවත් අවසර නැහැ. මේ තරම් භාරදුර සහ පූර්ණ බලතල රාශියක්ම තානාපති දූත මණ්ඩලයට හිමිවෙන්නේ ඒ අය නියෝජනය කරන්නේ සම්පූර්ණ රටක් , ජාතියක් නිසයි. රටක තානාපති කාර්යාලයෙන්  ඒ රටේ සංස්කෘතිය , හැදියාව වගේම ජාතියක ගමන්මග හදුනාගන්න පුලුවන්. ඒත් මද සරු ඔලු ගෙඩි සමූහයක් මුලු ලෝකය පුරාම අපේ රට නියෝජනය කරන්න ගත්තොත් සිද්ධ වෙන්නේ අන්තිමේ දී සමස්ත ජාතියක්ම ලෝකයා ඉදිරියේ කාණු පල්ලට වැටීමයි. ඒ තිත්ත විපාක මේ වෙනකොටත් අපි භුක්ති විදින බව අමතක කරන්නට බැහැ. පවුල් පිටින් කඩේ යාම නිසා තනතුරු ලබන මේ ජාතියේ නිලධාරීන්ට රට වෙනුවෙන් ප්‍රසිද්ධියේ විවාදයක් කරන්නට තබා තානාපති කාර්යාලයේ  තේ පැන් සංග්‍රහයට එන සුද්දෙක් අහන සරල ප්‍රශ්නයකටවත් උත්තරයක් දෙන්න හැකියාවක් නැහැ. තවත් බොහොම දෙනෙක්ට අපේ රටේ ඉතිහාසය කෙසේ වෙතත් අඩුම තරමින් පරාක්‍රමබාහු සමුද්‍රය කියන්නේ මුහුදක් නොවන බව කියන්න තරම්වත් රට ගැන අවබෝධයක් නැහැ.

ලක්ෂ්මන් කදිරගාමර් වගේ සැබෑ පරිණත රාජ්‍ය තාන්තිකයන් බිහිවෙන යුගයක ලකුණු වත් පේන්නට නැති නිසා අද දේශපාලන වේදිකාවත් කෝලම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්වෙලා.

අපේ තානාපති දූත සේවාවන්ට සැබෑ සුදුස්සන් පත් වෙනවා නම් චැනල් 4  වීඩියෝ විතරක් නෙමෙයි  ජාත්‍යන්තරයෙන් සිදුවන බොහොමයක් අවලාද මඩ පහාරයන් උපන් ගෙයිදීම වළක්වා ගැනීම ජය ගන්නට අසීරු ඉලක්කයක් නෙමෙයි.ඒ නිසා සිද්ධ වෙන හැම දෙයක්ම කුමන්ත්‍රණයක් කියන බොහොම ලාභදායී ගැලරිය පිනවන ප්‍රකාශ එල්ල කරන්නට කලින් අපේ පැත්තෙන් සිද්ධවෙන සුදුස්සාට නිසි තැන හිමි නොවන මේ ජාතියේ කුමන්ත්‍රණයන් වැළැක්වීම ප්‍රායෝගික විසදුමක් කියලයි හිතෙන්නේ.

“රැවටීම සහ රැවට්ටීම”

ලොව දෙවැනි විශාලතම රාජ්‍යය වන කැනඩාවේ මහා මැතිවරණය නිමාවට පත් වූයේ නොබෝදාය.

කැනඩාවේ ප්රධානතම පුවත් ජාලය වන CBC රූපවාහිනී සේවාව මහා මැතිවරණ සමයේ විකාශය කළ පුවතකට පාදක වී තිබුණේ අපූරු තේමාවකි.

එහිදී රූපවාහිනී කණ්ඩායම , කැනඩාවේ සරසවි භූමියකට ඇතුලු වී යන එන සරසවි සිසුන් මොහොතකට නවතමින් ඔවුන් වෙත ඡායාරූප හතරක් පෙන්වමින් එම ඡායාරූපවල සිටින පුද්ගලයන් හදුනා ගත හැකි දැයි සිසුන්ගෙන් විමසති. මෙම ඡායාරූප හතරේ වූයේ කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර් (මැතිවරණයෙන් යළි අගමැති ධුරයට පත් වූයේ ද ඔහුමය.) සහ මැතිවරණයට තරග කළ සෙසු ප්රධානතම දේශපාලන පක්ෂ තුනේ නායකයන්ගේ ඡායාරූපයන්ය. සිත් ඇදගන්නා සුලු කරුණ වන්නේ සිසුන්ගෙන් අතිශය බහුතරයකට සෙසු දේශපාලන නායකයන් කෙසේ වෙතත් අඩුම තරමින් කැනඩාවේ අගමැතිවරයාවත් හදුනා ගන්නට නොහැකි වීමය.

විශාලත්වයෙන් රුසියාවට පමණක් දෙවැනි වන එමෙන්ම වසර පහකට වරක් පමණක් මහා මැතිවරණයක් පවත්වන කැනඩාව වැනි රටක අනාගතය භාර ගැනීමට සූදානමින් සිටින තරුණ පරපුර දේශපාලනය සම්බන්ධයෙන් මේ තරම්ම ඇල් මැරුණු ස්වභාවයක් දක්වන්නේ ඇයි…?

එහෙත් සැබෑ තත්ත්වය නම් මැතිවරණය සම්බන්ධයෙන් එවන් වූ අලස ස්වභාවයක් දක්වන පිරිස සරසවි සිසුන් පමණක් නොව පොදුවේ ගත් විට සමස්ත කැනේඩියානු පුරවැසි පරපුරම වීමය. මේ නිසාම කැනඩාවේ මැතිවරණයක් යන්න ආසියාවේ අපට සාපේක්ෂව උණුසුමින් තොර වූවකි. ගෙවී ගිය වසර පනහක කාලය තුළම කැනඩාවේ මැතිවරණය සදහා ඡන්දය පාවිච්චි කළ පිරිස ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 65 ඉක්මවා නැත. රටේ ජනගහනය සමස්ත ලෙස ගෙන බැලූ විට ජනගහනයෙන් අඩක්වත් ඡන්දය පාවිච්චි කරන්නේ නැත. ඒ ඇයි…?

ඔව්.. එයට හේතුවක් තිබේ.

එනම් කවර ආණ්ඩුවක් බලයට පත් වුවද කැනේඩියානුවන්ගේ ඉහළ ජීවන තත්ත්වය සුරක්ෂිත කරවන ශක්තිමත් නීති රීති පද්ධතියක් ක්රියාත්මක වීමය. මේ නීති රීති පද්ධතිය බලවත් බැවින් දේශපාලකයා හෝ දේශපාලන පක්ෂය යන්න කැනේඩියානු ජීවන පරිසරයේ වැදගත් අංගයක් නොවේ. මැතිවරණයක දී ඡන්ද දායකයන් සිය ඡන්දය පාවිච්චි කරන්නේ ද තමන් ගරු කරන අදහස් සහිත දේශපාලන පක්ෂයට මිස තනි තනි දේශපාලකයට නොවේ. මේ නිසාම මැතිවරණයෙන් ජයගන්නා අගමැතිවරයාට පවා සිය පක්ෂයේ මූලධර්ම මත පිහිටා මිස සිය හිතුමතයේ වැඩ කරන්නට කිසිදු ඉඩක් කැනේඩියානු ව්‍යවස්ථාව තුළ නැත.

පොදුවේ ගත් විට කැනේඩියානු මැතිවරණය සම්පදාය තුළ දේශපාලකයා යන්න අවලංගු සාධකයකි. මේ නිසාම ඡන්දය දීමට පමණක් නොව මැතිවරණයෙන් පසු ජයගත්තේ කවර දේශපාලන පක්ෂය ද යන්න පවා දැන ගැනීමට බොහෝ දෙනෙකු තුළ උනන්දුවක් නැත. මේ තත්ත්වය කැනඩාවේ පමණක් නොව ලොව දියුණු යැයි සම්මත බොහෝ රටවල දක්නට ඇති සාමාන්‍ය කරුණකි.

ලංකාව හා සංසන්දනය කරද්දී කැනඩාව යනු අතිශය විශාල රටක් වන්නා සේම එහි එක් ප්රාන්තයක් පවා ලංකාවට නම් වූ දූපතට වඩා බෙහෙවින්ම විශාලය. එහෙත් මේ සා දැවැන්ත සමස්ත කැනඩාවම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ ඇත්තේ මන්තිරිවරුන් 308 ක් පමණි. එහෙත් ලංකාවේ ව්‍යවස්ථාවෙන් අපේ ජනාධිපතිවරයාට හිමිවන බලතල වලින් අඩුම තරමින් සියයට දහයක බලතලවත් මේ සා බලවත් රාජ්‍යයක අගමැතිවරයාට නැත. අඩුම
තරමින් පොලිස් දඩ කොළයකින් බේරෙන්නටවත් කැනේඩියානු අගමැතිවරයා හෝ වෙනත් කිසිදු මන්තිරිවරයකුට හැකියාවක් නැත. එනම් අගමැතිවරයා ද තවත්  පුරවැසියකුම පමණි. සාමාන්‍ය පුරවැසියකුට අහිමි කිසිදු වරපුසාදයක් අගමැතිවරයාට හිමිවන්නේ නැත. නීතිය කාටත් සමානය. නීතිය ක්රියාත්මක කරන්නට එන පොලිස් නිලධාරියකුට හෝ වෙනත් කිසිදු හෝ රජයේ නිලධාරියෙකුට “ මම අගමැති “ යැයි පැවසුවහොත් අගමැතිවරයාට
සිදුවන්නේ පසුදාම සිය තනතුරෙන් සමුගන්නටය.

සියලුම පුරවැසියන්ට නීතිය සමානව හිමිවන බැවින් කවර පුරවැසියකුට හෝ රටේ අගමැතිවරයාගේ සිට සමස්ත පාලන ක්රමය නිර්දය ලෙසින් විවෘත විවේචනය කරන්නට හෝ ලිපි ලේඛන පළ කරන්නට කිසිදු බාධාවක් නැත. කිසියම් දේශපාලකයෙන් සොරකමක් හෝ මහජන විශ්වාසය කඩ කරන කිසියම් වූ හෝ ක්රියාවක් සිදු කළහොත් ඔහුට  හෝ ඇයට සිදුවන්නේ දේශපාලනයෙන් සදහටම සමුගන්නටය. ජනාධිපති කොමිසම් පත් කරමින් වැරදි කරුවන්ට චරිත සහතික ලියා දී සියලු වැරදි මිටි තැනින් යැවීමේ ක්රමය වෙනුවට මෙහි සිදුවන්නේ සියලු වැරදි ඉහළ තැනින් ම ගලා යාමයි. මේ නිසා කැනේඩියානු දේශපාලකයා යනු වචනයේ පරිසමාප්තියෙන්ම ජනතා සේවකයෙක් පමණි.

මේ සටහන නිමා කරන්නට මත්තෙන් ලංකාවේ අපට වැදගත් වන කරුණක් ද සදහන් කළ යුතුමය. එකිනෙකාට හාත්පසින්ම වෙනස් වූ අතිශය විවිධාකාර සංස්කෘතීන්ට අයත් ජාතීන් 150 කට අධික සංඛාවක් කැනඩාවේ ජීවත් වුවද කැනඩාව යනු අතිශය සාමකාමී රටකි. කැනේඩියානු පුවත්පතක් ගත්විට එහි ඇත්තේ ලංකාවේ මට්ටමින් ගත් විට අතිශය නීරස වූ පුවත් කිහිපයක් පමණි. ගෙවී ගිය මාසයක එක් දිනක කැනඩාවේ ප්රධානතම පුවත්පතක මුල්ම පිටුව මුලුමනින්ම වෙන් ව තිබුණේ චාල්සි ඩිකන්ස්ගේ නවකතාවක පරිච්ඡේදයක් පළ කිරීම සදහාය. එහෙත් ප්රධාන ජාතීන් තුනක් පමණක් ජීවත් වන ලංකාව නම් වූ දූපත තුළ ලොව ඇතිතාක් සියලු ප්රශ්න පවතින්නේය. ලංකාවේ පුවත්පතක පළවන පුවත් ගෙන බැලූවිට මේ සියලු පුවත් මවා ඇත්තේ දේශපාලකයන් පිරිසගේ කාලකන්නි ක්රියාවන් නිසා බව අතිශය පැහැදිලි කරුණකි. දූෂිතයන් තනතුරුවල යහතින් වැජඹෙන්නේත් , මුලු රටටම මත්කුඩු ගෙන්වන අමන දේශපාලකයන් කැබිනට් ඇමති තනතුරුවලින් පිදුම් ලබන්නේත් , සංවර්ධනය නම් වූ වචනයට මුවාවෙමින් කෝටි ගණනින් ජනතා මුදල් කොල්ල කන්නේත් , නීතිය රැකිය යුතු පිරිස නගර සභා මන්තිරිවරයාට පවා සැලියුට් ගසා කොන්ද නමන තත්ත්වයට පත් ව ඇත්තේත් එදා මෙදා තුර බලයට පත් වූ දේශපාලකයන් නඩය නිසා බව රහසක් නොවේ. මේ නිසා මෑත ඉතිහාසය ඉතිහාසය පුරාවටම හැමදාමත් රැවටීමට ලක්වූයේත් ඉදිරියේ දී රැවටීමට ලක්වන්නේත් සිංහල – දෙමළ – මුස්ලිම් සමස්ත පීඩිත ජනතාවම මිස ඔවුන් නියෝජනය කරන දේශපාලකයන් නඩය නොවේ.

එදා සිට අද දක්වාම ලංකාවේ සමස්ත දේශපාලන ක්රමය ගත් විට එය වචන දෙකකට සංක්ෂිප්ත කළ හැකිය. ඒ “රැවටීම සහ රැවට්ටීම” යන වචන දෙකයි. මෑත ඉතිහාසය තුළ කිසිම අවස්ථාවක දී එදා සිට අද දක්වාම අපේ රටේ සියලු දේශපාලන ක්රියාදාමයන් මේ වචන දෙක තුළින් පිට පැන නැත.

ලංකාවේ අපේ අධ්‍යාපන රටාව තුළ පාසල්වලදී එදාත් අදත් අපට උගන්වන බරපතල මිථ්‍යාවක් තිබේ. එනම් ලංකාව වැනි රටවල් සුභ සාධක රටවල් බවත් , කැනඩාව , ඇමරිකාව වැනි රටවල් ධනවාදී පරිධියේ පවතින රටවල් බවත්ය. එහෙත් එය සැබෑවක් නොවේ. කැනඩාව පමණක් නොව ලොව බොහෝ දියුණු රටවල් සිය පුරවැසියන් සදහා සෞඛ්‍ය සේවාවන් ලබා දෙන්නේ නොමිලයේය. එමෙන්ම සරසවි අධ්‍යාපනය දක්වාම මේ බොහෝ රටවල පුරවැසියන් අධ්‍යාපනයට කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ. ඒ සේවාවාන් ක්රියාත්මක වන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම නොමිලයේය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්රියාත්මක වන බව පැවසුවද එහි ප්රතිලාභ ලැබීම සදහා කොතරම් මිලක් ගෙවිය යුතු ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. රජයේ රෝහලක ලේ සාම්පලයක් පරීක්ෂා කර ගැනීමට පවා යා යුත්තේ පුදගලික ඩිස්පැන්සරියකට මුදල් ගෙවාය. පාසලට ඇතුලු කර ගැනීමේ දී සිට දරුවා පාසලින් ඉවත් කර ගන්නා තෙක්ම පාසලේ ඩෙස් බංකුවේ සිට කුණු බාල්දිය පවා මිලදී ගන්නේ
දෙමාපියන්ගේ මුදල් පොකට්ටුවෙන් මිස මහජන මුදලික් ලොව පුරා සවාරි යන ඇමතිවරුන්  සිව් දෙනෙක්ම යහතින් වැජඹෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ ගිනුමෙන් නොවේ.

කටුනායකින් රටට ඇතුලු වන හැම සුද්දෙක්ම රට ගිලගන්නට පැමිණෙන කුමන්තණකරුවන්ය යන මිථ්‍යාව අපේ දේශපාලකයන් විසින් දැනුවත්වම ජනතාව මත පටවනු ලබන්නේත් තම සියලු අමන ක්රියාවන් කුමන්තණ බිල්ලා මත පටවා සිය පරම්පරා ජාතකය ශක්තිමත් කරන්නට බව හදුනා ගන්නට අපේ ජනතාවගෙන් බොහෝ දෙනෙකුට තවමත් හැකියාවක් නැත. මේ දේශපාලුවන්ට අනුව ඉන්දියන් සාගරයේ වඩදිය රැල්ල පවා ඇතිවන්නේ ජාත්‍යන්තර කුමන්තණ ජාලයක කොටසක් ලෙසිනි. අනෙක් අතට එදා සිට අද දක්වා වූ අපේ දේශපාලකයන් රැල මහජන දේපළ සහ රටේ සම්පත් විනාශ කරන පි‍ළිකුල් සහගත ස්වභාවය ගත් විට පිටරටින් පැමිණ විනාශ කරන්නට තරම් යමක් රටේ ඉතිරි වී ඇති නම් එය ද පුදුමයකි.

යළිත් වරක් කැනඩාව දෙස හැරී බැලුවහොත් වසර දහයක කාලයක් කැනඩාවේ වාසය කරන සියලු පුරවැසියන්ට ඔවුන් ලොව කොහේ ජීවත් වුවත් විශ්රාම වැටුපක් අනිවාර්යයෙන්ම හිමිවන්නේය. එමෙන්ම කැනඩාවේ ජීවත්වන සියලුම දරුවන්ට ඔවුන්ගේ වයස් අවුරුදු 18 සම්පූර්ණ වනතෙක් මාස්පතා දීමනාවක් හිමිවන්නේ දරුවන් සතුටින් තැබීමේ
මූලික අපේක්ෂාව පෙරදැරි කරගෙනය. මේ සියලු වරපුසාද කැනේඩියානුවන්ට හිමිවන්නේ මහජන මුදල් කාබාසිනියා කරන දේශපාලක නඩයක් ඔවුන් වෙත උරුම වී නැති බැවිනි. එමෙන්ම අල්ලස හා දූෂණයෙන් තොර වූ මුලුමනින්ම විනිවිද පෙනෙන පාලන ක්රමයක් ඔවුන් හට උරුමව ඇති බැවිනි. මේ නිසාම මහජන බදු මුදල් සෑම සතයක්ම පෙරලා මහජනතාවගේ සේවය වෙනුවෙන්ම වැය වෙනු මිසක දේශපාලක පැලැන්තිය නඩත්තු කිරීම සදහා වැය කෙරෙන්නේ නැත.

මේ සියලු කරුණු පොදුවේ ගත් විට සදහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ කැනඩාව පමණක් නොව දියුණු යැයි සම්මත මේ බොහෝ රටවල දියුණුව පසුපස ඇති එක්තරා මහා පොදු සාධකයක් බවය. එනම් රටේ අගමැතිවරයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා සියලු දෙනාම එකාමෙන්ම එක්ව රට දියුණු කිරීම සදහා වැඩ කිරීමය