එනමුදු මගෙ රටයි ලෝකෙන් උතුම් රට!

blind_toppick_crop

දිනය හරියටම මතක නැති වුණත් ඒ 2009 වසරේ සැප්තැම්බර් මාසයේ එක්තරා රාත්‍රියක්. මං හිටියේ කොළඹ ජාතික රෝහලේ. ඒත් රෝගියෙකු විදියට නෙමෙයි. රෝගීව හිටපු මගේ තාත්තගේ ඇඳ ළඟ, තාත්තගේ තනියට. රෝහලේ වාට්ටුව 41 හරි 44 හරි වගේ තමයි මතක. වෙලාව රෑ අට නමය වගේ වෙන්න ඕනේ. රෝගීන් හැරුණාම වාට්ටුවේ හිටියේ රෑ වැඩ මුරය භාරව හිටිය එකම එක හෙදියකුත්, රෝගීන්ගේ තනි නොතනියට හිටපු මං වගේ තව දෙතුන් දෙනෙකුත් විතරයි. ඈතින් ඉඳහිට ඇහුණු වාහනවල සද්දයත්, රෝහලේ පරණ විදුලි පංකාවලින් මතුවුණු බොල් සද්දයත්, බිත්තියේ ඉහළට සවි කරලා තිබුණු රූපවාහිනී යන්ත්‍රයකින් මතුවෙච්ච කන්කරච්චලයත් රාත්‍රියේ නිසංසලකම බිඳලා දාලා තිබුණා. රූපවාහිනියේ විකාශය වෙමින් තිබුණේ රාත්‍රී ප්‍රවෘත්ති. ඒ වෙනකොට මැතිවරණ උණුසුමක් තිබුණු නිසා ගිරිය යටින් කෑ ගහන දේශපාලකයන්ගේ පිළිකුල උපදවන කටවල්වල සද්දය වාට්ටුව පුරාම පැතිරිලා යමින් තිබුණේ හරියට වාට්ටුව අයිනෙන් ගලා ගෙන යන කුණු කාණුව වගේ, ගන්ධස්කාරයෙන්. ප්‍රවෘත්ති විකාශයත් එක්කම මැතිවරණය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ප්‍රචාරය කෙරුණා. ඒකෙදි දකින්න ලැබුණේ ප්‍රධාන පක්ෂ දෙකෙන් තරග වදින දේශපාලකයො සිංදු කියන හැටි. මැතිවරණ වේදිකාවේම කොටසක සංගීත කණ්ඩායමක් සංගීතය සපයන්න සූදානම් වෙලා හිටියා. වැඩි වෙලාවක් යන්න කලින්ම මැතිවරණ වේදිකා සංගීත මඩු බවට පෙරළුණා. දේශපාලකයො රැළ, ගායකයො රැළක් බවට පත් වුණා. දහසකුත් දුක් කම්කටොළු හිස දරාගෙන එදා වේල ගැට ගහගන්න අනන්ත දුක් විඳින ජනතාව වේදිකාවට අබියස නටන්න පටන් ගත්තා. අන්තිමේදී මුලු මහත් මැතිවරණ රැස්වීමම එකම කෝලම් මඩුවක් බවට පෙරළුණා. ඒ වෙනකොට මං ලංකාවෙන් බැහැර වෙලා හිටපු කාලය ඒ තරම්ම දිග කාලයක් නොවුණත්, මේ ජුගුප්සාජනක දර්ශනය මං ඊට කලින් දැකලා තිබුණු දෙයක් නෙමෙයි. ගුවන් තොටුපලෙන් ගොඩ බැහැපු වෙලාවේ ඉඳන් මිනිස්සුන්ගේ සංවේදීකම, රටේ හද ගැස්ම මේ හැම දෙයක්ම වෙනස් වෙලා තියෙන බව පැය කිහිපයක් ඇතුළතම අත්විඳින්නට ලැබුණු නිසා මේ දර්ශනයත් පුදුමාකාර විදියට අප්‍රසන්න කමින් අත් විඳිද්දී තමයි එක සැරේටම වාට්ටුවේ විදුලිය විසන්ධි වුණේ.

විදුලිය විසන්ධි වෙනවත් එක්කම මුළු වාට්ටුවම එක සැරේම අඳුරේ ගිලිලා ගියා. හදිසි වෙලාවක දැල්වෙන්න තිබුණු ලොකු විදුලි පහන් දෙකක් රූපවාහිනිය  තිබුණු තැන, බිත්තියක මුදුනින් මහ උජාරුවෙන් විරාජමාන තිබුණු හැටි මං කලින් දැක්කත් ඒ එකක්වත් දැල්වුණේ නැහැ. ඈතින් ඇහුණු වාහනයක දුබල සද්දයක් හැරුණම වෙන කිසිම සද්දයක් ඇහුණේ නැහැ. රූපවාහිනියේ ගාලගෝට්ටිය නතර වෙච්ච නිසා පුදුමාකාර සහනයක් හිතට දැනුණත් ඒ සහනය වැඩි වෙලාවක් තිබුණේ නැහැ. විදුලි පංකා නතර වෙච්ච නිසා ඒ උණුසුම් රාත්‍රිය දහදියෙන් නැහැවෙන්න පටන් ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් කොහෙන්දෝ ආපු තඩි මී රංචුවක් වාට්ටුව පුරා සැරිසරන්න පටන් ගත්තා. වාට්ටුවේ බිමත් රෝගීන් දෙතුන් දෙනෙක් ඉන්න බවක් මං කලින්ම දැක්ක නිසා ඒ අහිංසකයන්ට මේ මීයන්ගෙන් නම් කොහෙත්ම ගැලවිල්ලක් නොලැබෙන්න ඇති. හොඳටම අසරණ වෙලා හිටපු රාත්‍රී හෙදියගේ ලාච්චුවේ ඉටිපන්දමක්වත් තිබුණේ නැහැ. හෙදිය හඬ නගලා කරපු ඉල්ලීමට වාට්ටුවේ හිටපු කවුරුන් හරි රෝගියෙක් තමන් අතේ තිබුණු  ඉටිපන්දමක් දල්වලා හෙදිය හිටපු මේසයේ සවි කළා. ඒ ඉටිපන්දම් එළිය විතරයි මුළු වාට්ටුවටම තිබුණේ. මේ ජවනිකාව ඉක්මනින්ම ඉවර වෙයි කියලා හිතුවත් එහෙම වුණේ නැහැ.  ජීවිතයේ ඉතාම දිගු වෙහෙසකර රාත්‍රියක් ඒ මොහොතේ අත් විඳින අතරේ මං හෙදියත් එක්ක කතාබහක යෙදුණා. රෝගීන් පිරිලා හිටිය ඒ වාට්ටුවේ බොහොමයක් රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටන් වදින වකුගඩු රෝගීන්.  ඒ හැම දෙනාටම අනිවාර්යයෙන්ම දිය යුතු දෛනික බෙහෙත් පෙත්තක් තිබුණා. ඒත් හෙදිය මට කිව්වේ විදුලිය ආවේ නැතිනම් රෝගීන් කාටවත් බෙහෙත් දෙන්නට විදියක් නැහැ කියලයි. කළුවරේ වැරදි බෙහෙතක් දීලා රෝගීන්ගේ ජීවිතය අනතුරේ හෙළනවාට වඩා බෙහෙත් නොදී ඉන්න එක අඩු අවදානමක් කියන එකයි ඇගේ තර්කය වුණේ. ඒකත් ඇත්ත. එදා මුළු රෑම විදුලිය ආපහු ආවේ නැහැ. ඒ නිසා ජීවිතයත් මරණයත් අතර සටන් වදිමින් හිටපු රෝගීන් කාටවත් බෙහෙත් වේල ලැබුණේත් නැහැ. දේශපාලකයන් එක්ක මහ ජනතාව හරි හරියට ජෝගි දමමින් නටමින් ඉන්න රටක, රටේ ප්‍රධානතම ජාතික රෝහලේ වාට්ටුවක රැයක් ගැන විස්තරයක් තමයි ඔය ඔබ කියෙව්වේ. ඒ කියන්නේ සුද්දාගේ පාලනය කළු සුද්දා අතට ඇවිත් දශක හය හතකට පස්සේ රටේ අස්වැන්නෙන් එක දෝතක්. හරියටම කියනවා නම් අපේ වහල් සේවය වෙනුවෙන් පෙරළා අපිට ලැබුණු ගතමනාව තමයි ඒ.

මේ අවුරුදු හැත්තෑව ඇතුළේ අපිව වහල්ලු විදියට විකිණෙන මේ වහල් වෙළදාමට අපි කොයි තරම් නම් ආදරය කරනවාද කියනවා නම් අපිට හීනෙකින්වත් හිතෙන්නේ නැහැ අපි වහල්ලු කියලා. මේකත් හරියට බුදුදහමේ එන චතුරාර්ය සත්‍යය වගෙයි. මුල්ම කාරණාව වහල්කම. දෙවැන්න තමයි අපි වහල්ලු වුණේ ඇයි කියන කාරණාව. තුන්වැන්න තමයි මේ වහල්කම නැති කරගැනීම. අන්තිම කාරණාව තමයි වහල්කම නැති කරගන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් මේ අන්තිම කාරණාවට එන්න නම් තව පරම්පරා ගණනාවක්ම අපිට බැරි වේවි. ඒකට හේතුව අඩුම තරමින් අපි ඔය පළමු වෙනි කාරණාවටත් තාම ඇවිත් නැති නිසා. ඒ කියන්නේ අපි තමා දන්නේ නැහැ අපි වහල්ලු කියලවත්. ඉතින් කොහොමද වහල්කම නැති කරගන්නේ. අපි කොයි තරම් නම් වහල්ලුද කියනවා නම් අපේ මිනිස්සු අද හිතන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන නෙමෙයි, තමන්ගේ පක්ෂ නායකයාගේ අනාගතය ගැනයි. එදා වේල හොයා ගන්න බැරිව ජීවන බර ඉවසා දරා ගෙන ඉන්න අපි තමන්ගේ පක්ෂයේ නායකයාට හරි ආර්යාවට හරි දුවට පුතාට හරි විරුද්ධව වචනයක් කිව්වොත් ඒක මොහොතකටවත් ඉවසා දරා ගන්නේ නැති තරමටම වහල්ලු.

වැඩවසම් වහල් සමාජයේ තිබුණු වහල් වෙළඳාම නතර වුණේ නීතියකින්ම වහල් සේවය තහනම් කරපු හින්දා. ඒත් නීතියකින් බැහැනේ අපේ ඔළුගෙඩි ඇතුළේ හිරවෙලා තියෙන සීමා බන්ධන බිඳලා දාන්න. අපේ සමාජය අද කොයි තරම් නම් හිරිවැටිලාද කියනවා නම් එහෙම දෙයක් හිතීමත් බොහොම දෙනෙකුට ඇඟ කිලිපොලා යන මාරක සිතිවිල්ලක්.  මේ හින්දා තමයි අර පැන්ෂන් ගිය ටියුෂන් ගුරු මන්ත්‍රීවරයා කිව්වේ තමන්ගේ පක්ෂයෙන් පොල් ලෙල්ලක් දැම්මත් බලය ගන්න පුළුවන් කියලා. සහතික ඇත්ත… බලයට ආපු හැමෝම වගේ පොල් ලෙලි තමයි. ඒ පොල් ලෙලි ටික හින්දා තමයි අද රටේ ප්‍රධානතම ආදායම් මාර්ගය මැද පෙරදිග ගෘහ සේවය බවට පත්වෙලා තියෙන්නේ. රණවිරුවො, දේශප්‍රේමියො, සිංහල ජාතිය ආගම රැක ගන්න ගිරිය යටින් කෑ ගහන අධිරාජ්‍ය විරෝධි වීරයෝ පිරිලා ඉන්න මේ දූපතේ ප්‍රධානතම ආදායම් මාර්ගය තමයි මැද පෙරදිගට කුස්සි අම්මලා සැපයීම.

මැද පෙරදිගට ගැහැනුන් විකුණන එක ප්‍රධානතම ආදායම් මාර්ගය වුණාට අපේ පුරසාරම් නම් කෙළවරක් නැහැ. ලෝකයේ උසම නත්තල් ගහට ගිනස් වාර්තාව තිබ්බා. උසට උසේ නෙළුම් කුළුණු හැදුවා. දිගම සාරි පොටට වාර්තාව තිබ්බා. පිටි ගුලියකට ඇදිරි නීතිය දාපු රටක් විදියටත් හෙට අනිද්දට ගිනස් වාර්තාව තියයි. නන්දා මාලිනිය නමින්වත් පාරක් නැති රටේ එකම එක ප්‍රශස්ති ගායනක් කරපු තරුණියකට පාරක් පවා නම් කළා. ඒ වගේද අපේ රටේ නම පවා කොයි තරම් නම් ගරු ගාම්භීරද? ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. ඇමරිකාවේ නම නිකම්ම නිකම් එක්සත් ජනපදය. ලෝකයේ දෙවැනි විශාලම රට වෙච්ච කැනඩාවේ නිල ජාතික නාමය නිකම්ම නිකම් කැනඩාව. බ්‍රිතාන්‍යත් නිකම්ම නිකම් මහා බ්‍රිතාන්‍යය. රටේ නම විතරක් නෙමෙයි අපේ නායකයාත් කොයි තරම් ගරු ගාම්භීරද…? අතිගරු ශ්‍රීමත් ජනාධිපති උතුමාණෝ. ඇමරිකාවේ බැරැක් ඔබාමාට වොෂිංටන් පෝස්ට් පත්තරය විතරක් නෙමෙයි රටේ සියලුම ජනමාධ්‍යයි, පුරවැසියනුයි කතා කළේ නිකම්ම ඔබාමා කියලා. මිස්ටර් කෑල්ල දැම්මේ මිස්ටර් ප්‍රසිඩන්ට් කියලා ජනාධිපති කියන තනතුර හඳුන්වන්න විතරයි. ට්‍රම්ප් පවා නිකම්ම නිකම් ට්‍රම්ප්. කැනඩාවේ අගමැතිවරයාත් නිකම්ම ජස්ටින්. තනතුරට ගෞරව කරන්න යොදා ගන්න එකම යෙදුම මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර් විතරයි. පුටින් නම් පුටින්. එත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජීවත් වෙන අපිට අතිගරු ශ්‍රීමත් ජනාධිපති උතුමාණන් විතරක් නෙමෙයි අතිගරු ශ්‍රීමත් මැති අමැතිවරුන්ගෙන් අඩුවක් නැහැ. ඒ විතරක් නෙමෙයි මහ රජාණන්ලා මදිවට අතිගරු ආර්යාවොත් ඉන්නවා. ඒත් අන්තිමේදී දන්නෙම නැතිව රට අසාදු ලේඛනයටත් ඇතුළත් වෙලා. ඉතින් මේ හැම දෙයක්ම ගෝත්‍රික සමාජයක ලක්ෂණ. එහෙමත් නැතිනම් වැඩවසම් වහල් සමාජයක අංගෝපාංග. ආගම, ජාතිය විතරක් නෙමෙයි සංස්කෘතිය පවා අපි අල්ලගෙන තියෙන්නේ වැරදි තැනකින්. මේ නිසා ජාතිආලය, දේශප්‍රේමය මේ දූපතෙන් වෑස්සිලා ගිහින් ඉන්දියන් සාගරය පුරා දෝරේ ගලනවා. සීතාම්බර පට කතාවේ නිරුවතින් හිටියේ රජතුමා විතරයි. ඒත් මේ දූපත ඇතුළේ අපි හැමෝම සීතම්බර පට සළුවලින් තමයි සැරසිලා ඉන්නේ. ඔය දූපත ඇතුළේම හිරවෙලා දූපත් මානසිකත්වයෙන් බලනතාක් කල් අපිට හිතෙන්නේ අපි ඉන්නේ අනර්ඝ සළුපිළි වලින් සැරසිලා කියලයි. ඒත් ඒ නිරුවත පේන්නේ දූපත් මානසිකත්වයෙන් මිදෙන්න පුළුවන් උන්ට විතරයි. සමාජයක් විදියට අපි ඉන්නේ නිරුවතින් කියලා හඳුනා ගන්න පුළුවන් වෙනකල්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කිය කියා ළිං පතුලේ හිරවෙලා එකම තැන උඩ පනින ගෙම්බො වගේ ඉන්නවා මිසක් මේ ළිං කටින් ගොඩ එන්න නම බැහැ අපිට කිසිම දවසක.

දියුණු වෙමින් තියෙන ලෝකයේ අනිත් රටවල් දිහා බැලුවම ඒ හැම රටකම මිනිස්සු ඡන්දය දෙන්නේ කෙනෙකුගේ ප්‍රතිපත්තිවලට. ඒත් අපේ රටේ? මේ අවුරුදු හැට හැත්තෑව පුරාම අපිට තිබු‍ණේ හාල් පොල් දේශපාලනයක්. පොල් ගෙඩියක මිල අඩු කිරීම, හාල් කිලෝවක් සත පනහකින් අඩු කිරීම, පාන් ගෙඩිය රුපියලකින් බැස්සීම… මැතිවරණයක් දිනාගන්න මේ වගේ පොරොන්දු දෙක තුනක් හොඳටම ඇති. මැතිවරණය දිහා, එහෙමත් නැතිනම් රට භාර දෙන්න සුදුසු නායකයන් කවුරුන්ද කියලා අපි බලන්නේ කොයි තරම් නම් මෝඩ තකතිරු විදියට ද කියනවා නම් දේශපාලකයෙක් දරුවෙක් වඩාගෙන හුරතල් කිරීමත් රටක් භාර දෙන්න ලොකුම ලොකු සුදුසුකමක්. එහෙමත් නැතිනම් මුළු පවුලම එකතු වෙලා ආරිය සිංහල ඇඳුමින් සැරසිලා ඡායාරූපයකට පෙනී හිටීමත් අපේ ඡන්දදායකයන්ගේ හදවත් උණුසුමින් පුරවන්න හොඳටම ප්‍රමාණවත්. පවුලේ හැමෝම එකතු වෙලා සිංහල හින්දු අලුත් අවුරුද්දට ලිප ගිනි මොළවන පිංතූරයකුත් හොඳටම ඇති රටේ පාලනය භාර දෙන්න.

මේ කාරණා සටහන් කරන්නට හිතුණ් කරුණු කිහිපයක් හින්දා. මූලිකම කාරණය තමයි පහුගිය දවසක නිමාවෙච්ච මැතිවරණය. බලයෙන් පැරදිලා ආපහු බලයට එන්න පොරකන අයයි, බලයේ ඉන්න අයයි කියන කරන දේවල් දැක්කම, ඒ වගේම දෙන පොරොන්දු දැක්කම සිහිබුද්ධිය යම්තමින් හරි තියෙන කෙනෙකුට මතුවෙන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඉතින් මේ අවුරදු හැත්තෑව ඇතුළත ඇයි ඔය දේවල් වලින් අංශු මාත්‍රයක් හරි නොකළේ කියන එක. මොකද 1948  ඉදන් අද වෙනකම් අවුරුදු හැත්තෑවක්ම රට පාලනය කළේ ඔය කියන පක්ෂ දෙක හරියටම කියනවා නම් දේශපාලන පවුල් දෙකක් මාරුවෙන් මාරුවට. ඉතින් මේ අවුරුදු හැත්තෑව ඇතුළේ ඔබේ කරමතින් බලයට පත්වෙච්ච මේ පවුල් ආණ්ඩුවලින් පෙරළා ඔබට ලැබුණු දෙයක් නම් කරන්න පුළුවන්ද? අඩුම තරමින් එකම එක දෙයක්?

නිදහස් සෞඛ්‍ය? එහෙම දෙයක් නැහැ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඔය උඩින් සඳහන් කළ කතාවම ඇතිනේ. රජයේ රෝහලකට ගියාම කොයි තරම් නම් පිරිසක් ඇඳන් නැතිව බිමට ඇදලා දාලා තියෙනවද? අඩුම තරමින් හදිසි ලේ පරීක්ෂණයක් කරන්නවත් පුළුවන්ද පුද්ගලික සායනකින් සල්ලි නොගෙවා මිසක්. රජයේ රෝහලෙන් මිල නියම කරන බෙහෙත් මිලදී ගන්න සල්ලි නැතිව කොයි තරම් නම් පිරිසක් අකාලයේ මිය ඇදෙනවද? එත් අපූරුම කාරණේ තමයි, 1930 අවුරුද්දේ ඉඳන්ම අපේ රටේ ජනතාව නිදහස් සෞඛ්‍ය සේවාව භුක්ති විඳිනවා කියලා මෑතකදී තිබුණු 68 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේදී පුරසාරම් දෙඩුව සෞඛ්‍ය ඇමතිවරයාවම, සුළු අසනීපයකට බෙහෙත් ගන්නත් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලට පැන ගන්නවා. (හැබැයි ඒ ඔක්කොම ජනතාවගේ සල්ලි). මැති අමැත්තන්ගේ රථ වාහන පර්මිට් වෙනුවෙන් පමණක්ම ‍‍කෝටි පන්දහක විතර ධනස්කන්ධයක් නාස්ති කරන රටක පිළිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගන්න මිනිස්සුන්ගෙන් සල්ලි හිඟාකද්දි සාමාන්‍ය පුරවැසියන් තමන්ගේ අතේ මුදලින් තමයි ඒකත් අරන් දුන්නේ.  රටේ සෞඛ්‍ය අමැතිවරයාටවත් විශ්වාසයක් නැති රටේ සෞඛ්‍ය සේවාවත් හරියට “හාමුදුරුනමක්” රටේම හෙදියො ටික පාලනය කරනවා ව‍ළ පල්ලටම බැහැලයි තියෙන්නේ.

එතකොට නිදහස් අධ්‍යාපනය? ඔබේ දරුවා ළදරු පාසලට දාපු දවසේ ඉඳන් සරසවි අධ්‍යාපනය දක්වාම කොයි තරම් නම් මුදල් කන්දරාවක් වැය කරන්නට ඔබට සිද්ධ වෙනවාද? පාසලට ඇතුළත් කරන්න ගෙවන අල්ලස හැරුණාම, පංතියේ තීන්ත, මේස පුටුවල ඉඳන් හැම දෙයකටම වැය වෙන්නේ දෙමව්පියන්ගේ සල්ලි. අනෙක් අතට ලංකාවේ පාසල් පද්ධතිය කියන්නේ නමට තියෙන දෙයක් විතරයි. දෙක තුන වසරේ ඉඳන්ම කොයි තරම් නම් ධනස්කන්දයක් වියදම් කරන්න ඕනේද ටියුෂන් වලට? ඉතින් කොහේද නිදහස් අධ්‍යාපනයක්. ඒත් ධනවාදී කියලා ලේබල් ගහන ලෝකේ අනෙක් සෑම රටකම වගේ සරසවි අධ්‍යාපනය හැරුණාම ඒ දක්වාම අධ්‍යාපනය වචනයේ පරිසමාප්තියෙන්ම නිදහස්. මේ සෑම රටකම පුරවැසියන්ට රටේ සෞඛ්‍ය සේවාවේ පල නොමිලයේම විඳින්න පුළුවන්. ටියුෂන් නැහැ. චැනලින් නැහැ. වෛද්‍ය පරීක්ෂණවලට ගෙවන්න ඕනේ නැහැ.

ඉතින් තවත් වෙන මොනවා හරි දෙයක් මේ අවුරුදු හැත්තෑව ඇතුළේ ඔබට ලැබිලා තියෙනවාද? අධිවේගී මාර්ග, ගොඩනැගිලි හැදෙන්නේ ජනතාවගෙ සල්ලිවලින් මිසක් ඔය කිසිම පවුලක බූදලයකින් නෙමෙයි කියන එක මතක් කරන්නට අවශ්‍ය නැහැනේ. සංවර්ධන ව්‍යාපෘති කියලා ඔය කියන සෑම ව්‍යාපෘතියකින්ම අඩුම තරමින් සියයට තිහක මුදලක් කොමිස් විදියට එකිනෙකාගේ සාක්කුවලට යන බවත් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැනේ.

සිංගප්පූරු රජය තමන්ගේ අතිරික්ත ජාතික ආදායමෙන් කොටසක් එහි පුරවැසියන්ට දීමනාවක් විදියට නොමිලයේ දෙන්න ආපහු සැරයක් තීරණය කළා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි එක පාරටම සිංගප්පූරුව මතක් වුණේ. කියලා. වැඩි කාලයක් නෙමෙයි අදින් අවුරුදු පනහකට විතර කලින් සිංගප්පූරුව කියන්නේ ලංකාවට වඩා ‍බොහොම පහළ තලයක තිබුණු රටක්. 1956 දී මුලින්ම ලංකාවට ආව සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ ලංකාව දැකලා කොයි තරම් සතුටට පත් වුණා ද කියනවා නම් එයා ප්‍රසිද්ධියේම කියපු දෙයක් තමයි සිංගප්පූරුවත් කවදා හරි දවසක ලංකාවක් බවට පත් කරනවා කියන එක. ඒත් එයින් අවුරුදු තිහක් යන්නත් කලින් 1998 දී ලී ක්වාන් යූ ට කියන්නට සිද්ධ වුණා සිංගප්පූරුව තවත් ශ්‍රී ලංකාවක් නම් නොවේවා කියලා. මෙහෙම වුණේ ඇයි? හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු හැම එකක්ම කෙටි කරලා ගත්තොත් කියන්න පුළුවන් කාරණාව තමයි බුද්ධිමත් තීරණ ගන්න පුළුවන් නායකයන් පිරිසක් අපිට නැතත් එයාලට සිටීම. සිංගප්පූරු කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරුන් 22 දෙනාගෙන් විස්සක්ම අඩුම තරමින් පශ්චාත් උපාධියක්වත් හිමි කරගන්නා මට්ටමට උසස් අධ්‍යාපනයක් තියෙන අය. බ්‍රිතාන්‍යය ගත්තොත් හැම කැබිනට් අමැතිවරයෙක්ම වගේ ඔක්ස්ෆර්ඩ් හරි කේම්බ්‍රිජ් හරි අඩුම තරමින් වෙනත් ඉහළ පෙළේ සරසවියකින් හරි උසස් මට්ටමේ උපාධි ලබාගත්ත අය. ඒ තියා අපේ අසල්වැසි ඉන්දියාවේ පවා කැබිනට් ඇමතිවරුන්ගෙන් බහුතරයක්ම නීති උපාධිධාරියො, එහෙමත් නැතිනම් පිළිගත්ත සරසවිවලින් පිටවුණු විද්‍යාවේදියො. ඉතින් අපේ රටේ…? අඩුම තරමින් පාසල් අධ්‍යාපනයවත් හරියට නිම කරගත්තේ නැති 102 ක්ම අපේ මැති ඇමති ලැයිස්තුවේ ඉන්නවා. සියයට ආසන්න පිරිසක් සාමාන්‍ය පෙළත් අසමත්. ඉතින් ඔහොම පිරිසක් තියාගෙන රට සංවර්ධනය වෙනකම් අපි බලාගෙන ඉන්නවා. ලෝකයේ ශිෂ්ට සම්පන්න හැම රටකම ඡන්දයට එන්නේ විද්වතුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන් වගේ විවිධාකාර අංශවල ප්‍රවීණ්‍යන් වුණත් අපේ රටේ බලයට එන්නේ කුඩුකාරයො, මංකොල්ලකරුවො, තුට්ටු දෙකේ නිළියො, බේබද්දො, දූෂකයො කියන අංශවලින් ප්‍රවීණයො.

මේ සැරේ මැතිවරණයෙනුත් කසිප්පු නඩු 42 ක් තියෙන කසිප්පු කාරයො. කාන්තාවන් සියයක් දූෂණය කරලා වාර්තාවක් තිබ්බ දුෂකයො. රටට වැඩක් නොකර නිකම්ම වයසට ගිය අවුරුදු අසූවේ සීයලා ඔබේ දේශප්‍රේමී කතිරයෙන් මේ සැරෙත් බලයට පත් වුණා. ඉහළම ඡන්දෙන් බලයට පත්වෙච්ච නිළි බබා අවුරුදු පහක්ම තොදොල් වෙවී හුරතල් වෙවී ඉඳලා අන්තිමේ දී ජීවිත කාලයටම පැන්ෂන් එකත් හදාගෙන , වාහන පර්මිට් එකත් අරන් ගෙදර ගියා, මව් පදවියට සූදානම් වෙන්න. මේ ආණ්ඩුවත් බලයට ආපු ගමන්ම කළේ ජනතාවට එපා වෙලා පැරදුණු  අර මුණත් තහඩු ටික ආපහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම විතරක් නෙමෙයි ඇමති තනතුරු පවා අරන් දීම. මැතිවරණයක් ඉවර වුණු ගමන්ම අපේ රටේ සිද්ධ වෙන්නේ මුළු මහත් මැතිවරණයම හිස් පුස්සක් බවට පත් කරලා හරියට අර ශාන්ත ජෝන් මාළු වෙළෙදපොලේ මාළු ලෑල්ල වෙන්දේසි කෙරෙනවා වගේ මන්ත්‍රී ශරීරත් වෙන්දේසි වෙන එක තමයි. (ඒ ශරීර වෙන්දේසියට මිසක් වෙන වැඩකට ගන්නත් බැහැ තමයි). රණවිරුවො ගැන, දේශප්‍රේමය ගැන, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන බෙරිහන් දෙන ගමන් ආණ්ඩුවට පතුර යන්න බැන වදින විපක්ෂය, මන්ත්‍රී වැටුප් දීමනා වැඩි කරද්දී, විශ්‍රාම වැටුප දෙගුණ කරද්දී, වාහන පර්මිට් දීමනාව ඉහළ දාද්දී හීන් සීරුවේ ආණ්ඩුවත් එක්ක එකට අත උස්සනවා. අඩුම තරමින් විවාදයක් වත් නැහැ. අපිත් වහල්ලු නිසා ජීවන බර කොයි තරම් තිබුණත්, ඒ බරටත් කර දෙනවා. ඇයි ඉතින් අපේම පක්ෂයේ අයනේ. එහෙම තමයි අපි හිතන්නේ. වැරැද්දක් දකින්න දිව නැමෙන්නෙම නැහැ. ඒ හින්දා තමයි අපිට වහල්ලු කියන්නේ. අපි අපිව බැඳලා තියෙන මේ යදම් වලට කොයි තරම් නම් ආදරය කරනවා ද කියනවා නම් නිදහස කියන දේ තේරුමවත් අපි දන්නේ නැහැ. ඒකටත් හේතුවත් තියෙනවා. 1948 දී අපිට ලැබුණාය කියන “නිදහස” ලැබුණේ සටන් කරලාවත්, ඒ වෙනුවෙන් අරගල කරලාවත් නෙමෙයිනේ. ඉන්දියාවේ ජාතික අරගලයේ ප්‍රතිඵලයක් විදියට ඉන්දියාවට නිදහස ලැබෙද්දී තමන්ටත් වඩා හොඳින් තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පිරිසක් ලංකාවේ බිහිවෙලා ඉන්නවා දැකලා, ඒ සන්තෝසෙට නිකම් ඔහේ වීසි කරලා දාපු දෙයක් තමයි ඒක. තමන්ගේ පංතියට බලය ලබා ගන්නට මිසක් කැපී පෙනෙන ජාතික අරගලයක් අපිට කොයි විදියකින්වත් තිබුණේ නැහැ. ඒ නිසා නිදහස කියන්නේ මොකක්ද කියන එක අපිට ඓතිහාසකිවම දැනිලා නැහැ. අපි දන්නෙත් නැහැ. කාලාන්තරයක් තිස්සේ මේ වහල්කමට, මේ යදම්වලට අපි කොයි තරමක් නම් පුරුදු වෙලා තියෙනවාද කියනවා නම් මේ යදම් ගලවලා දැම්මොත් අපිට වුණත් මහම මහ හිස්කමක් දැනේවි.

ඉතින් නිදහසක අගය දන්නේ නැති වහල්ලුන්ව ගොන්නුන්ට අන්දන්න හරිම ලේසියි. මොන දූෂණ වංචා මිනීමැරුම් කළත් ඊට විරුද්ධව වචනයක් වත් කතා කරන්න බැහැ… සිංහල බෞද්ධ කියන ලේබලය අලවපු ගමන් එතැනින්ම ඒක ඉවරයි. රටේ සම්පත්, දේපළ අමු අමුවේ කොල්ල කෑවත්, පවුල් පිටින් හොරකම් කළත් අනේ සිංහල බෞද්ධ නායකයෙක්නේ කියලා හිතන තරමට පුදුමාකාර කරුණාවක් අපේ හිත් තුළින් දෝර ගලාගෙන යනවා. එහෙම කෙනෙකුට අත තිබ්බොත් ඒක දේශද්‍රෝහී, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. හමුදා සෙබළෙක් මොන දූෂණය කළත් ගැටලුවක් නැහැ‍, ඇයි එයා රණවිරුවෙක්නේ. රණවිරුවෙක් කියන්නේ කවුද හමුදා සෙබළෙක් කියන්නේ කවුද කියලා තේරම් ගන්න තමන්ගේම දියණිය දූෂණයට ලක්වෙනකල්ම වටහා ගන්න බැරි තරමටම අපේ සමාජය නිර්වින්දනය වෙලා.

දෙමළ සටන්කාමියෙකු වෙච්ච කුට්ටුමනී මරා දාන්නට කලින් 1982 අවුරුද්දේදී උසාවියේදී කිව්ව දෙයක් තමයි එදා දවසේ තමන්ට එල්ල වෙන තුවක්කු අනාගතයේ දී සිංහල තරුණයන්ට එල්ල වේවිය කියන එක. අලිමංකඩ වධ කඳවුර අනාගතයේ දී හම්බන්තොටට ගෙනි යාවි කියලත්, ගුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙන යාවි කියලත් කිව්ව කුට්ටුමනී එදා දෙමළ තරුණයන් වෙනුවට අනාගතයේ දී සිංහල තරුණයන් ඔය කදවුරුවල වධ විඳීවී කියන එක උසාවියේ දී ප්‍රකාශ කළේ තමන්ව මරා දාන්න කලින්. ඒක හැබෑ වෙන්න දශකයක්වත් ගියේ නැහැ. හම්බන්තොට විතරක් නෙමෙයි රට පුරාම වධ කඳවුරු බිහිවෙලා දෙමළ තරුණයන් වෙනුවට සිංහල තරුණයන් දහස් ගණනින් බිලිවුණා. 1982 දී වීරෝධාර හමුදාව විදියට නම් කෙරුණු හමුදාවම තවත් දශකයක් ඇතුළත 88 – 89 කාලයේ දී ආණ්ඩුවේ කුලී මැරයන් බවට පෙරළුණා. ඊට පස්සේ තවත් දශකයක් යන්නත් කලින් ආපහු සැරයක් ඒ නම රණවිරුවා බවට පත් වුණා. මේක මෙතැනින් නතර වෙන්නේ නැහැ. තවත් දශකයක් යන්න කලින් ඔය නම ආපහු සැරයක් පරිවර්තනය වෙනවා. තරුණයෙක් හමුදාවට යන්නේ රණවිරුවෙක් වෙන්නවත්, කුලී මැරයෙක් වෙන්නවත් නෙමෙයි. දරිද්‍රතාවය නිසා රැකියාවක් හොයා ගෙන. මේ හැම වෙලාවකම හමුදා සෙබළා වෙනස් වුණේ නැහැ. පාලකයන්ගේ උවමනාවට ඔහුගේ කාර්යභාරය වෙනස් වුණා විතරයි. මේ තත්ත්වය තේරුම් ගන්න තරම් අපි තාමත් ළාමක වැඩියි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1979 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එද්දී බහුතර සිංහල ජනතාව එකහෙළා ඒක අනුමත කළා. ඒකට හේතුව එදා උතුරේ මිසක් දකුණේ ත්‍රස්තවාදයක් නොතිබුණු හින්දා. මේ හින්දා සාමාන්‍ය මිනිස්සු මේ පනත හැඳින්නුවේ “කොටි පනත ” කියලයි. ඒත් අන්තිමේ දී මේ පනත නිසා වධ වේදනා වින්දේ, ඝාතනයට ලක්වුණේ දෙමළ තරුණයන්ටත් වඩා සිංහල තරුණයොයි. එදා සිංහල ජනතාවගේම ආශිර්වාදයෙන් නීතියක් බවට පත් කළ පනත් කෙටුම්පත අන්තිමේ දී සිංහල ජනතාවගේම දරු දැරියන් ම්ලේච්ඡ විදියට වධ හිංසාවට ලක් කරලා ඝාතනය කරන්න ප්‍රධානතම ආයුධය බවට පත් වුණා. බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම එදා ඉඳන් අද දක්වාම කළේ ඒකම තමයි. ඒත් මේ මිනී කඳු වලින් අපි තාමත් පාඩමක් ඉගෙන ගෙන නැහැ.

ඉතාම ඉහළ වෘත්තියක් දරන ලංකාවේ ඉන්න මගේ සමීපතම හිතවතියක් පහුගිය මැතිවරණ කාලයේ දී දිවා රෑ දෙකේ ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ එක්තරා පරාජිත පක්ෂයක් වෙනුවෙන් දිගට හරහට පළ කරන දේවල් නිසා ඇයගේ තනතුරටත් ඇයටත් එයින් සිද්ධ වෙන හානිය පෙන්වා දෙන්න මං උත්සාහ කළා. ඒත් ඇගේ පිළිතුරු වුණේ මේ මොහොතේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරනවා කියලයි. මේ ඇගේ අපූරු “ යුතුකම ” නිසා ඇගේම දරුවන්ට අනාගතයේ උරුම වෙන ඛේදවාචකය ගැන හිතන්නවත් බැරි තරමටම දේශපාලකයන් විසින් මවනු ලබන ජාතිය ආගම කියන පාට පාට සළු පිළි වලට ඇස් ගිණි කණ වැටුණු දේශපාලන වර්ණ අන්ධතාවයකින් තමයි ඇය හිටියේ. ඇය කියන ඔය “ යුතුකම ” කියන කාරණය වටහා ගන්න බැරිකම නිසාම අන්තිමේ දී මේ දූපතේ අපි හැමෝම අපේ යුතුකම ඉටුකරන්නේ පාදඩයන් රැළකට බත් බැලයන් වෙලයි, පහුගිය අවුරුදු හැත්තෑව පුරාම වුණා වගේ. යුතුකම ඉටු කරන්න ඕනේ නම් ජාතිමාමක වෙන්න ඕනේ නම්, සැබෑ දේශප්‍රේමීන් වෙන්න ඕනේ නම් නැගී හිටින්න ජාතික ධනය මහ දවල් මංකොල්ල කෑමට විරුද්ධව, රටේම ඉන්න හොරුන්ට, මංකොල්ලකාරයන්ට, තුට්ටු දේකේ නිළියන්ට රටක් පාලනය කරන්න නාම යෝජනා දෙන එකට විරුද්ධව, ජනතාවගේ සල්ලි වලින් ලෝකේ පුරා සවාරි ගහන තක්කඩියන්ට විරුද්ධව, ඔබේ දරුවාට අධ්‍යාපන වරම අහිමි වෙද්දී නීති උපාධිය පවා හොරට ගන්නා දේශපාලක දූපුතුන්ට විරුද්ධව, රජයේ රෝහලේ රෝගීන් එකා පිට එකා බිම වැතිරී හිදිද්දී රටේ ජාතික ධනයෙන් සෞඛ්‍ය ඇමතිලා සිංගප්පූරු රෝහල්වලට ඇතුළත් වීමට විරුද්ධව, බස් රථයක් කෝච්චියක් එනතුරු පැය ගණන් මග බලා පාපුවරුවේ එල්ලී යද්දී ඔබේ කතිරයෙන් පත්වෙන නිකමුන්ගේ දූ දරුවන්ට පවා රථ වාහන වෙන්වීමට විරුද්ධව… රටේම ඉන්න අහිංසක ගැහැනුන් ටික රට පටවලා හම්බු කරන සල්ලි වලින් දේශප්‍රේමය, ජාති හිතෛෂීකම, රණ විරුවො  ගැන කතා කරන එක තරම් විලි ලැජ්ජ නැති විහිළුවක් තවත් තියෙනවද?

අසූ තුනේ කළු ජූලියේ අමිහිරි මතකය අපි තවම අත් විඳිනවා. ඒත් අපි ඒ අමිහිරි මතකයෙන් කිසිම දෙයක් ඉගෙන ගෙන නැති බව පිටි ගුලියක් නිසා වෙච්ච හදියෙන්ම පේනවා. සහෝදරත්වයෙන් ජීවත් විය යුතු ජාතීන් දෙකක් පර සතුරන් බවට පත් කරලා ඒ මළ මිනී මතින් තමන්ගේ බලය ගොඩ නගා ගත්ත දේශපාලකයන්ගෙන් ඉතිරි වෙච්ච මිනීමරුවෝ තාමත් රටේ පාලක පක්ෂයේත් විපක්ෂයේත් යෙහෙන් වැඩඹෙනවා. ඒත් මිනී කඳු ගොඩනැගුණත් ඒක දැනෙන්න තරම් අපේ සමාජය මුහුකුරා ගිහින් නැති නිසා තමයි පිටි ගුලියකට පවා වෛර ගිනි ඇවිලෙන රටක් බවට අපි පත්වුණේ. මුළු මහත් සමාජයක්ම මේ විදියට උමතු කරවන්න දේශපාලන දඩ බල්ලන්ට පුළුවන් වෙන්නේ කොහාමද කියන එක ගැන තමන්ගේ සිසුන් ඇසුරින් ගුරුවරයෙකු කරපු සත්‍ය පර්යේෂණයක් නවකතා පොතක් වශයෙන් පළ වෙලා තියෙනවා. පොතේ නම Wave. එකට සමගියෙන් ජීවත් වෙච්ච තමන්ගේම අල්ලපු ගෙදර වාසය කළ යුදෙව් ජාතිකයාව මරන්නට පෙරමුණ ගන්නට තරම් ජර්මන් ජනතාව සාහසික වුණේ කොහොමද කියන එකත්, ඒ මළ මිනී මතින් බලයට එන්නට හිට්ලර්ට පාර කැපුණේ කොහොමද කියන එකත් වටහා ගන්න ගුරුවරයෙකු තමන්ගේ ශිෂ්‍යයොත් එක්ක එකට එකතු වෙලා කරපු සැබෑම පර්යේෂණයක් තමයි මේ පොතට ඇතුලු වෙලා තියෙන්නේ. මුලු මහත් සමාජයක්ම හරි වැට්ටුවාට පස්සේ, බලලෝභී එක දේශපාලකයෙක් උසි කිව්ව ගමන්ම පිස්සු බල්ලන් වගේ එකිනෙකාට කඩා පනින්න සමාජයක් හසුරුවන එක කොයි තරම් පහසු ද කියන එක ඒ නවකතාවෙන් අපූරුවට කියා පානවා. එදා හිට්ලර්ගේ සමාජය අද අපේ දූපතේ කොයි තරම් අපූරුවට පැළ කරන්න මේ අවුරුදු 60 – 70 කාලය ඇතුළත දී අපේ පාලකයන්ට පුළුවන් වුණා ද කියනවා නම් අද අපි පිටි ගුලියකට පවා කඩා පනින පිස්සු බල්ලන් රෑනක් බවට පත්වෙලා.

හොඳයි අපි හිතමු රටේ අනෙක් හැම පුරවැසියෙක්ම අපේ දූපතෙන් එළවලා දාලා “පිරිසිදු සිංහල ජාතියක්” ඉතිරි වුණා කියලා. ප්‍රශ්නය නතර වෙනවද? … නැහැ. අපි සිංහල බොදු ගොවි, අපි රදව්, අපි උඩරට, අපි පහතරට, අපි කරාව කියලා ගැටුම අලුත් වටයකින් පටන් ගන්නවා. දෙමළ ජාතිය විතරක් ඉතිරි වුණත්අපි වෙල්ලාල, අපි හින්දු කියලා ගැටුම පටන් ගන්නවා. කොටි සංවිධානය ඇතුළේ  ප්‍රභාකරන් පවා ඔය ගැටුම නිර්මාණය කරලයි තිබුණේ. ගැටුමක් නැතිනම් සිංහල, දෙමළ, මුල්ලිම් කියන ඔය කොයි නායකයාටත් පැවැත්මක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් කියන මේ සියලු ජනතාවගේ සැබෑ අර්බුදය එහෙමත් නැතිනම් ලාංකීය ජනතාව පොදුවේ මුහුණ දෙන සැබෑම ගැටළුව වෙන ආර්ථික ගැටළුව අමතක කරවන්න හොඳම ආයුධය තමයි මේ විදියේ වාර්ගික, ආගමික ගැටුම් ඇති කරන එක. නැතිනම් ඔය ජන කොටස් තුනම එකට එකතු වෙලා අත්වැල් බැඳගෙන මේ කපටි පාලකයන් රැළ පන්නා දාන්න පසුබට වෙන්නේ නැහැ කියන එක 1948 ඉඳන් අද වෙනකල්ම බලයට ආපු හැම ආණ්ඩුවක්ම දන්නවා. ඒ නිසා තමයි ආණ්ඩු මාරුවුණත් කිසිම දවසක හොරුන්ට දඩුවම් නොලැබෙන්නේ. ඔබට නම් කරන්නට පුළුවන්ද ජාතික ධනය විනාශ කළ, මහ දවල් ඝාතන සිදු කළ එකම දේශපාලකයෙකුවටත් දඩුවමක් ලැබුණු අවස්ථාවක් ගැන….? එහෙම වෙන්නේ නැහැ, කිසිම දවසක. ඒකට හේතුව ලේ වලටත් වඩා තමන්ගේ පංතිය ඝන හින්දා.

ඔය තත්ත්වය මාක්ස් බොහොම ඈතකදී පහදලා දුන්නා. ඔහු පෙන්වලා දුන්න විදියට සිදුවන හැම සිදුවීමක්ම තල දෙකකින් තමයි සිද්ධ වෙන්නේ. යටම තලය තමයි ආර්ථික තලය. මේ යටම තලයේ සිද්ධ වෙන හැම චලනයක්ම ඊට උඩින් තියෙන තලයේත් ඒ විදියටම සිද්ධ වෙනවා. හැබැයි උඩින් තියෙන තලයේ ඒ චලනයන් අපිට පේන්නේ ආගම, ජාතිය, දේශප්‍රේමය, සිංහල බෞද්ධකම, දෙමළ හිංදුකම වගේ විවිධාකාර සරුවපිත්තල නම් වලින්. උඩින් පේන ඔය හැම දෙයක්ම ඇතිවෙන්නේ යටින් තියෙන ආර්ථික තලයේ වෙනස්කම් නිසා වුණත් ඒ යට තලය අපිට පේන්නේ නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න තරම් මොළයකුත් අපිට නැති නිසා අපි හිතනවා ඔය මතුපිටින් පේන හැම දෙයක්ම ඇත්ත කියලා. ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සුවොත් බලයට ඇවිත් ආපහු පුළුවන් තමන්ගේ ආර්ථික වාසි ටික ආපහු ලබා ගන්න. උඩින් පේන්න අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, සිංහල බෞද්ධ සංහාරය ගැන කතා කළොත් පුළුවන් තමන්ට අහිමි වෙච්ච වරප්‍රසාද ආපහු සැරයක් ලබා ගන්න. කලාකාරයො ටික බෝධි පූජා තිබ්බොත් ආපහු සැරයක් පුළුවන් තමන්ගේ දුව පුතාව තානාපති සේවයට යවා ගන්න. රණවිරුවො ගැන කතා කළොත් පුළුවන් ආපහු සැරයක් මල්වානෙන් ගෙවල් ගන්න. දළදා මාළිගාව ඉස්සරහ රේස් පදින්න. ප්‍රභූ ගමන් බලපත් දෙක තුනක්ම හොරට තියාගන්න. බැදුම්කර වංචාවන් එළිපිටම කරන්න. දතේ කැක්කුමටත් සිංගප්පූරුවේ මවුන්ට එළිසබෙත් රෝහලට පෞද්ගලික ගුවන් ගමන් යන්න.

සමහර මාධ්‍යවේදියො බැදුම්කර වංචාව ගැන පොත්පත් ලියනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් කොයි තරම් නම් සමාජ මෙහෙවරක්ද මේ කරන්නේ කියලා. අනේ එහෙම නැහැ. පහුගිය ආණ්ඩුවෙන් තමන්ට ලැබුණු වරප්‍රසාද, ගුවන් සංචාර නැතිවෙච්ච හිතේ දුකට මිසක් ඔය පොත් පත් ලියැවෙන්නේ රටට ආදරයට නෙමයි. ඊළග ආණ්ඩුවේ වංචාවන් ලියන්න තවත් පිරිසක් ඔය විදියටම පෙළ ගැහේවි. ඕක කෙළවරක් නැහැ. මාධ්‍යවේදියො කියන පිරිසෙන් බහුතරයක්, කලාකරුවො කියන පිරිසෙන් බහුතරයක් වගේම උගත්තුය කියන පිරිසෙන් බහුතරයක්ම පහුගිය අවුරුදු විස්ස තිහක කාලය පුරාම කරන්නේ දේශපාලකයන් එක්ක හරි හරියට එකතු වෙලා ඔය දූපතත්, දූපත්වාසීනුත් තමන්ගේ, තම දරු පවුලේ සුඛ විහරණය උදෙසා උකසට තැබීම විතරයි. මේ හැම දෙනාම රැවටීමේ කලාව බොහොම අපූරුවට ප්‍රගුණ කරපු අය.

කලාකාරයො රැළවල් එකතුවෙලා බෝධිපූජා තියෙනවා. මාධ්‍ය හමුවන් තියෙනවා. මේ රට වෙනුවෙන්ද? එහෙමත් නැතිනම් ඔබේ දුව පුතා වෙනුවෙන්ද? අනේ නැහැ. බොහොම සරල දේවල් වලට. ජනාධිපතිගේ උපදේශක කෙනෙක් වෙන්න. දුවව හරි පුතාව හරි විදේශ තානාපති සේවයට යවන්න. නිවාස අධිකාරියේ රස්සාවක් හොයා ගන්න. ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ධුරයක් ගන්න. මහ ඇමැතිකමක්, අමාත්‍යංශ ලේකම් කමක්, එහෙමත් නැතිනම් අඩුම තරමින් අරලිය ගහ මන්දිරයට ගිහින් ජනාධිපති එක්ක එකට වාඩිවෙලා කෑම වේලක් කන්න. ඔන්න ඔය වගේ සරල ආසාවන්. එක්තරා ගායිකාවක් කිව්වා එයාට තිබුණු එකම හීනය තමයි තමන්ගේ දරුවා ජනාධිපතිවරයා ඉඹිනවා දකින්න කියලා. ඔය බෝධිපූජා වලට එකතුවෙන කලාකරුවන් බොහොම දෙනෙකුගේ ඇත්තටම කියනවා නම් හැමෝගෙම වගේ මානසිකත්වයවත් ඒකම තමයි. ජාතික චින්තනය ගැන කතා කරන මහාචාර්යවරයෙක් ජනාධිපති පුතෙක් ඉස්සරහ දෙකට තුනට නැමිලා ඉන්න පිංතූරයක් මං ඊයේ පෙරේදා අන්තර්ජාලයේ දැක්කා. ඒ ජනාධිපති පුත්‍රයාම පුරාවිද්‍යා චක්‍රවර්ති හාමුදුරුනමකගේ උරහිස බදාගෙන ඇවිදින පිංතූරයකුත් ඒ එක්කම දැක්කා. දියුණු රටවල දේශපාලකයන් කලාකරුවන් ඉදිරියේ අසුනින් පවා නැගිටිද්දී, කලාව ගැන මහා බරසාරෙට කයිය ගහන අපේ කලාකරුවො දේශපාලකයන්ගේ ඉදිරියේ විතරක් නෙමෙයි එයාලගේ භාර්යාව, දරුවො පවා ඉස්සරහ හතර ගාතෙන් නැමෙන හැටි දැක්කම ඒ මූණත් තහඩු පේන නාට්‍යයක්වත්, ඒ ප්‍රශස්ති කටවල්වලින් ගැයෙන ගීයක්වත් අහන්න පිළිකුල් හිතෙනවා.

මේ දූපතේ දිස්ත්‍රික්ක 24 ට බලය පතුරුවන කොට්ඨාශ 4924 ක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 යි, ඔය කියන පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුයි ඔක්කොම එකතු කළාම මේ දූපත සුරපුරයක් කරන්න මහජනතාවගේ බදු මුදලින් යැපෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9100 ට වැඩියි. මේ මන්ත්‍රීවරු රැළයි, එයාලගේ දූ දරු බිරින්ඳෑවරුයි, ඥාති හිතමිත්‍රාදීනුයි නඩත්තු කරන්නයි, එයාලගේ විදේශ සංචාර, ගසා කෑම් වලටයි වැය වන මුදල හින්දා ලෝකෙම් උතුම්ම රට කියලා අපි අපිම කියාගන්න මේ දූපතේ අද දවසේ ඉපදෙන දරුවා පවා රුපියල් ලක්ෂ හතරක විතර ඒක පුද්ගල ණයකට හිමිකම් කියනවා. මේ මැති ඇමතිවරු නඩත්තු කරන්නට පෝලිමේ ගොස් කතිරය ගහන මිනිස්සු මැතිවරණයෙන් පස්සේ දවසේ ඉඳන්ම හරියට කෑම වේලක්වත් නොකා, දරුවාට බෙහෙත් පෙත්තක් අරන් දෙන්නවත් අතේ සතේ නැතිව, බස් රියේ කෝච්චියේ බල්ලන් බළලුන් වගේ එල්ලිලා ආපහු සැරයක් අර හුරුපුරුදු ජීවන අරගලයේ යෙදෙනවා. මේ වගේ රටවල් මුලු ලෝකයටම තියෙන්නේ එකයි දෙකයි. අහන්න දෙයක් නැහැ. ඒවාත් බොහොම ගෝත්‍රික මට්ටමේ අන්ත දිළිදු පසුගාමී රටවල්, අපි වගේමයි.

මේ අවුරුදු හැට හැත්තෑව කාලය පුරාම අපි කළේ ඇන්ටනාව එක තැන තියලා රූපවාහිනිය හතර වටේ කරකැවීමයි කියලා කවුදෝ කියලා තිබුණා. ඒක ඇත්ත. වැරදුණු තැන්, රැවටුණු තැන් වෙනස් කරන්න දැන් හොදටම ප්‍රමාදයි. ඒ නිසා අඩුම තරමින් අපිට වෙනස් වෙන්න පුළුවන් නම් අනාගතයක් ඉතිරි වෙන්නේ ඔබේම දරුවාටයි. ඒත් ඉතින් පීඩනය දරාගෙන, පීඩනයම ආදරයෙන් වැළදගන්නා ජනතාවක් නම් රටේ ඉන්නේ තවත් අවුරුදු හැට හැත්තෑවකට කිසිම ගැලවිල්ලක් නම් නැහැ.

Advertisements

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ… සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමුදෝ…!

video-F.jpg

ලංකාවේ ජීවත් වෙන මගේ සමීපතම ඥාතියෙක්, මේ ගෙවී යන වසන්තයේ කෙටි සංචාරයකට කැනඩාවට ආවා. මලින් පලින් පිරුණු මේ වසන්ත සමයේ කැනඩාවේ තමන්ට අත්විඳින්නට ලැබුණු හැම අත්දැකීමක්ම හරිම  ආස්වාදයකින් රසවින්ත්, දවස සම්පූර්ණ වන්නට නම් තවත් එක් දෙයක් ඔහුට නැතිවම බැරි වුණා. ඒ ලංකාවේ රූපවාහිනිය, විශේෂයෙන්ම ප්‍රවෘත්ති විකාශය නැරඹීමයි. මා ජීවත් වන වැන්කුවර් නගරයත්, ලංකාවත් අතර පැය දොළහක පමණ කාල පරතරයක් තියෙන නිසා මගේ ඥාතියා වෙනුවෙන් වැන්කුවර් හි පිහිටි මගේ නිවසේ බොහොම වෙලාවට උදේට දවස පටන් ගන්නේත්, දවස අවසාන වෙන්නේත් ලංකාවේ රූපවාහිනී නාළිකාවක් විකාශය වෙන ගමන්. මගේ ඥාතියා බලන්නට පුරුදු වෙලා හිටිය එක් විශේෂ රූපවාහිනී නාළිකාවක් තිබුණා. ඒ නිසා නිතර දෙවේලේ මගේ නිවසේ විකාශය වුණෙත් කොම්බුවකින් පටන් ගන්න නමක් කියෙන මේ නාළිකාව තමයි. විකාශය ආරම්භ වුණු මොහොතේ පටන් දුරස්ථ පාලකයෙන් රූපවාහිනිය නිවා දමන කල්ම මේ නාළිකාව කොයි තරම් කන්දොස්කිරියාවක් ද කියනවා නම් මේ නාළිකාව විකාශය වෙද්දී පොතක් පතක් බලන්නවත්, අඩුම තරමින් වෙනත් කිසිම කාර්යයකට හිත යොදවනවා තියා ඒ ගැන හිතන්නටවත් බැහැ. ඒ නිසා ලංකාවේදීවත් රූපවාහිනිය නැරඹීම ඇබ්බැහියක් වෙලා නොතිබුණු මටත්, ලංකාවේ රූපවාහිනිය නැරඹීම මේ කාලය තුළ අනිවාර්ය අංගයක් බවට ඉබේටම පත් වුණා.

මේ නාළිකාවේ උදෙන්ම පටන් ගන්නේ පත්තර කියවිල්ල. පත්තරවල මුල්පිටුවේ ප්‍රවෘත්ති සිරස්තලය කියවන නිවේදකයා ඊට පස්සේ ඒ සිරස්තලය ගැන තමන්ගේ මතය කියවන්න සෑහෙන වෙලාවක් ගන්නවා. ප්‍රේක්ෂකයා කැමති වුණත්, නැතත් කිසිම ගැලවිල්ලක් නැහැ… මේ නිවේදකයාගේ දිග හෑල්ල මුළු රටම අහගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ කිසියම් ප්‍රවෘත්තියක් ගැන අපේ හිතේ කුමන ආකාරයක මතවාදයක් තිබුණත්, ඒ වගේම ප්‍රවෘත්තියට අදාළ කාරණාව සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබුණත්, ප්‍රවෘත්තිය ගැන ඔබ අහන්නට ඕනේ ඒ නිවේදකයාගේ මතයට යටත් වෙලයි. ප්‍රවෘත්තිය අරබයා ඔහු කරන නීරස කියවිල්ල තුළින් ඔහුගේ දේශපාලනය මෙන්ම ඔහුගේ චින්තනයේ දිග පළල හොදින්ම පැහැදිලි වෙන නිසා මේක හරියට මොනර නැටුමකට සමානයි. කොහොම වුණත් රටේ හැම ක්ෂේත්‍රයක් ගැනම ඉහළම විශේෂඥ දැනුමක් තමන් සතුව ඇතැයි නිවේදකයා හිතාගෙන ඉන්න එක ගැනත් එක අතකින් පුදුමයක් නැහැ. ඒකට හේතුව රටේ බොහොමයක් නිවේදක නිවේදකයන් විතරක් නෙමෙයි පත්තර පිටුවල දිග හෑලි ලියා දමන වාර්තාකරුවන් හැම දෙනාම වගේ ඉන්නේ ඒ විදියේ සිහින ලෝකයක හින්දා. කොහොමටත් මාධ්‍ය ආයතන හිමිකරුවන්ට රටේ ජන විඥානය ගැනවත්, ඔය කියන මොනම අංශයක් ගැනවත් මෙලෝ දැනුමක් නැති නිසා මේ සෑම මාධ්‍ය ආයතනයක්ම බඩ පිනුම් ගහන හිස් පඹයන්ගේ තෝතැන්නක් වෙන්න පටන් ගත්තේ අද ඊයෙක ඉදලා නෙමෙයිනේ.

නිවේදක හාදයාගේ පත්තර කියවිල්ලෙන් පස්සේ ප්‍රවෘත්ති පටන් ගන්නවා. මළ මිණී, අ‍දෝනා වලින් පමණක්ම පිරුණු මේ ප්‍රවෘත්ති විකාශය හරියට ජයරත්න මල් ශාලාවේ සජීවීව රූගත කරන මෙගා නාට්‍යයක් වගෙයි. මෙගා නාට්‍යයක් වගෙයි කියලා කිව්වේ හැමදාමත් විකාශය වෙන්නේ එකම මාතෘකා ටිකක්, එකම මූණත් තහඩු ටිකක් නිසයි. අදෝනාවන්, විලාපයන්, කෑගැසීම්, බැන අඬගැසීම් හැරුණාම වෙන කිසිම දෙයක් මේ මුළු ප්‍රවෘත්ති විකාශය තුළම නැහැ. පටන් ගත්ත මොහොතේ ඉඳන් අවසානය දක්වාම එකම කන්දොස්කිරියාවක්. ගත යුතු කිසිම හරවත් දෙයක් මේ මුළු ප්‍රවෘත්ති විකාශයේ කිසිම තැනක නැහැ. එක්තරා අවස්ථාවක පළිගැනීම සඳහා උණු වතුරෙන් පිළිස්සූ දියණියක් ගැන ප්‍රවෘත්තියක් මේ නාළිකාවේ විකාශය වුණා. ඉතාම සංවේදී වදන් යොදාගනිමින් මේ දැරිවියගේ පිළිස්සුණු අඟ පසඟ පෙන්වමින් මේ ප්‍රවෘත්තිය කොයිතරම් අභිරුචියකින් හා තලුමරමින් විකාශය වුණා ද කියනවා නම් ශිෂ්ට සම්පන්න කිසිම මිනිසෙකුට ඔක්කාරයකින් තොරව ඒ ප්‍රවෘත්තිය නරඹන්නට පුළුවන් වුණා යැයි මට හිතුණේ නැහැ. රටේ සිදුවන සාහසික අපරාධවල ගොදුරු බවට පත්වූ අහිංසකයන්ගේ මළමිණී බොහොම සමීප රූප ඉදිරිපත් කරමින් මේ ප්‍රවෘත්ති විකාශය තුළ දී වෙන්දේසි කෙරෙන ආකාරය හරිම අශ්ලීලයි. මළ මිණී ජවනිකාවෙන් පස්සේ තම නාළිකාවට පමණක් ලැබුණු අතිවිශේෂ ප්‍රවෘත්තියක් විදියට තවත් විගඩමක් දවසක්   පෙන්නන්න පටන් ගත්තා.ඒ රජයේ වෛද්‍යවරුන් බොහොම දෙනෙක් සයිටම් ආයතනයට විරුද්ධව වර්ජනයක නිරත වෙමින් ඉන්නා මොහොතක රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් ගැන ප්‍රවෘත්තියක්. මේ වෛද්‍යවරයා පසුපස මේ නාළිකාවේ මාධ්‍ය නඩය හඹාගෙන යන්නේ පොලිස් බල ඇණියක් වගෙයි. වෛද්‍යවරයා වටකරගත්ත මාධ්‍ය නඩය, සෙසු වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරතව සිටියදී තමන් පමණක් රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ ඇයි දැයි තර්ජනාත්මකව ප්‍රශ්න කරන්නේ මේ ලොව ඇති බිහිසුණුම අපරාධකරුවා ඔහු බවට පත්කරමින්. වෛද්‍ය සංගමයේ ඉහළ නිලධාරීන්  වැඩ වර්ජනය අතරතුර කිසිදු හිරිකිතයකින් තොරව පෞද්ගලික වෛද්‍ය සේවාවේ නිරතව සිටියදී මේ අහිංසක වෛද්‍යවරයා නොමිළයේ සිය සේවය අසරණ රෝගීන් වෙනුවෙන් ලබා දීම බරපතල වරදක් බවට පත් කොට ‍මේ මාධ්‍ය නාළිකාව ඔහු කෙතරම් පීඩනයකට පත් කළාද කියනවා නම් අවසානයේ දී වෛද්‍යවරයාට රෝහලේ දොරටුවෙන් එළියට පැන සිය ගණනක් රථ වාහන සැරිසරන ජනාකීර්ණ මහාමාර්ගය හරහා වීදියේ අනෙක් කොටසට දිව යන්නට සිදුවුණා. දිව යන වෛද්‍යවරයා පසුපස සිය කැමරාව හඹා ගිය මාධ්‍ය නඩය තමන් මහත් වීරකමක් කළාක් මෙන් මේ ප්‍රවෘත්තිය විකාශය කරන ආකාරය දකිද්දීත්, ප්‍රවෘත්තිය කියවන නි‍වේදකයා ඊට තවත් පිළිකුල් ඌන පූරණයක් සපයපු හැටියි දැක්කම ලංකාවේ අපි ජීවත් වෙන්නේ ශිෂ්ට ලෝකයෙන් කොයි තරම් සියවස් ගණනක් ඈතින් ද කියලා මට හිතුණා. මට හොඳටම අමාරුයි පුතේ… ඒත් අපි මැරුණත් කමක් නැහැ මේ වර්ජනයට අපිත් එකඟයි… ප්‍රවෘත්තියෙන් පස්සේ අවුරුදු අසූවක විතර රෝගී මාතාවක් නාළිකාවේ මයික්‍රෆෝනයෙන් රටටම ඇහෙන්නට කිව්වා. රට කරවන ඒ ව‍ගේම බලයට පොරකන දේශපාලකයන්ගේත්, සයිටම් පාලකයන්ගේත්, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේත් දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදත් අහිංසක රෝගී මව ගැන කිසිම පුදුමයක් නොසිතුණේ මුලු මහත් ලාංකීය සමාජයම චින්තනමය වශයෙන් රෝගීව ඔත්පල වෙලා ඉන්න මොහොතක මේ මහලු අම්මා පමණක් නිරෝගීව සිටින්නට කිසිම ඉඩකඩක් ති‍යෙන්නට හැකියාවක් නැති නිසයි. ඊට පස්සේ පටන්ගන්නේ දේශපාලකයන්ගේ බැන ඇඩගැසීම්වල වාරය. බලයේ ඉන්න. ඒ වගේම බලයට පොරකන නිලමැසි දේශපාලකයන්ගේ ගන්ධස්කාරය හැරුණාම , විදේශ කුමන්ත්‍රණ – බහු ජාතික අධිරාජ්‍යවාදී අතපෙවීම් වගේ හැමදාමත් පුරුදු වාග්‍‍කෝෂ‍ය,  උද්‍‍ඝෝෂණ, ප්‍රවෘත්ති සාකච්ඡා ‍මේ හැම ‍දෙයක්ම එකම ගාල‍‍ගෝට්ටියක් මිසක් නිස්කලංක‍යෙන් බලන්නට කිසිම ‍දෙයක් ‍මේ මුලු මහත් ප්‍රවෘත්ති විකාශය තුළම නැහැ. ප්‍රවෘත්ති අතරතු‍රේ දී ‍පෙරදා රැ‍යෙහි දී විකාශය වූ ‍දේශපාලන විවාදයක ‍කොටසුත් අතරින් පතර විකාශය ‍කෙර‍නෙවා. ‍පාරට වීසි කරපු මස් කට්ටකට ‍පොරකන අයා‍ලේ යන බල්ලන් රැළක‍ගේත්, ‍‍දේශපාලන විවාදයට සහභාගි ‍වෙන ආණ්ඩු පක්ෂ‍යේත්, ඒකාබද්ධ විපක්ෂ‍‍‍යේත්‍ ‍දේශපාලුවන් අතරත් කිසිම ‍වෙනසක් දකින්නට නැහැ. උසස් පෙළ අසමතුන් සියයකට වඩා ගරු ගාම්භිරව දියවන්නාවේ සැරිසරන මෙවන් වූ රටක අපේ මුලු ජීවිත කාලය තුළම ශිෂ්ට සම්පන්න දේශපාලන විවාදයක් ලංකාවේදී නම් දකින්නට ලැබෙන එකක් නැහැ.

හැමදාමත් විකාශය ‍වෙන ප්‍රවෘත්ති අඩු වැඩි වශ‍යෙන් ඔන්න ඔ‍හොමයි. පුදුමයට කාරණාව නම් උ‍දේට පත්තර කියවන්නත්, ප්‍රවෘත්ති කියවන්නත්, ‍දේශපාලන වැඩසටහන් ‍මෙ‍හෙය වන්නත් ‍මේ හැම ‍දේකටම හැමදාම ව‍ගේ දකින්න ඉන්‍‍නේ එකම නි‍වේදක හාද‍යෙක්. ඔය කියන වැඩ සටහන් වලට අමතරව ‍තරු පංති‍යේ ‍හෝටල්වල සහ රථ වාහන ගෙන්වා බෙදා හරින ආයතනවල මූල්‍ය දායකත්වයෙන් ඒ ආයතනවල ප්‍රචාරක ව්‍යාප්තියක් දියත් කරන අතරේ රටේ රජමහා විහාර සහ ගම් නියම්ගම්වලට කැමරාව අල්ලමින් අපේ සංස්කෘතික අනන්‍යතාවන් සිය ප්‍රචාරක අරමුණ වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවන මෙලෝ රහක් නැති වැඩ සටහනකුත් ‍මේ හාදයා ‍මෙ‍හෙයවනවා. මේ හාදයා හැ‍රෙන්නට ‍වෙනත් කිසිම නි‍වේදක‍යෙක් ‍මේ නාළිකාවට නැද්ද කියලා මට හිතු‍ණේ ‍කොයි ‍වෙලා‍වේ ‍‍‍මේ නාළිකාව ක්‍රියාත්මක කළත් ‍බො‍හොමයක් ‍වෙලාවට දකින්නට ලැ‍බෙන්‍‍නේ ‍මේ නි‍වේදකයාම පමණක් නිසයි. ‍සියල්ල දත් ‍මේ නි‍වේදකයා‍ගේ ඉමක් ‍කොණක් නැති හිස් පණ්ඩිත පල්හෑලි අහ‍ගෙන ඉන්දැද්දී මට හිතු‍ණේ මේ හාදයාට අවුරුද්දකට බලය දුන්‍‍නොත් රට නිසැක‍යෙන්ම සුරපුරයක්ම‍ ‍කරන්නට බැරි කමක් නැතිද කියලයි.

ප්‍රවෘත්ති වලින් පස්‍‍සේ ‍ටෙලි විගඩම් සමුදායක්ම විකාශය ‍කෙ‍රෙනවා. ‍මේ හැම වැඩසටහනක්ම ‍මෙ‍‍හෙය වන්නන් විතරක් ‍නෙ‍‍මෙයි සහභාගි වන ‍බො‍හොම ‍දෙ‍නෙකුත් එකම ‍කෝලම් මඩුවක ‍කෝලම්කරුවන් ව‍ගෙයි. කිසිම දවසක නම අසා නැති නළු‍වෙක් යැයි කියන නළු‍වෙකු ‍වේදිකාවට කැඳවපු නි‍වේදකයා ‍තවත් ‍කෙල්ලන් ‍දෙන්‍නෙක් සමඟ නටමින් ‍වේදිකාවට පිවිසි මේ ()ප්‍රසිද්ධ නළුවා‍ගේ බඩ අතාගමින්  ‍මොකද දැන් ‍මේ බඩ ඇවිල්ලා…? ”යැයි කියද්දී නළුවාද නටමින්ම නි‍වේදකයා‍ගේ බඩ අතාගාමින් ඇයි ‍මේ ඔයා‍ගේත් බඩ ඇවිත් ති‍යෙන්‍‍නේ යැයි කියද්දී එම වැඩසටහනේ සංගීතය මෙහෙවන ප්‍රසිද්ධ සංගීත ශිල්පියා ද හුනස්නෙන් නැගට සිය උදරයේ ප්‍රමාණය පෙන්වන්නට පටන් ගත්තා. මේ විදියේ ඔක්කාරය දනවන වැඩ සටහනකින් පස්‍‍සේ පටන් ගත්තේ පුංචි දරුවන්‍‍ගේ රියලිටි ‍ෂෝ එකක්. පහ වසර ශිෂ්‍යත්වයටවත් ‍පෙනී ‍නොසිටි බව නිසැක පුංචි දැරියක් , මගෙ හද ඔබෙ සුව යහන තමයි – ඔබ ‍සොයනා කළු ‍කෙල්ල මමයිගීතය ගායනා කිරීමෙන් පස්සේ ඒ වගේම තවත් පුංචිම දියණියකුත්, පුතෙකුත් පෙම් යුග ගීයක් ගයන්නට ගත්තා. අත් පටලා තුරු අතරින් දිව යමුදෝ…සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමුදෝ…පෙම් සැඳෑව මේ සුරඟනා ලොවේ… යහන්තලා වේවිදෝ මන්දා යැයි පෙම් යුග ගීය ගැයූ දරුවන් දෙදෙනාත් අවුරුදු අවුරුදු දහයට අඩු වයසේ වෙන්න ඕනේ.

රෙදි හැට්ට සරොම් ඇදගත් පුංචිම දරු දැරියන් පිරිසක්, රටක් වටින කෙනෙක් එක්ක මටත් හනික දීග යන්න – අනේ තාම ආවෙ නැහැනේ මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා ගීතය ගයමින් රඟ දැක්කුවේ ගීතයේ ඒ ඒ ජවනිකාවලට සුදුසු අංග චලන විදහා පාමින්.

විනිශ්චය මණ්ඩලයේ අපූරු පැසසුම් මැද්දේ දරුවන් වේදිකාවෙන් බහිද්දී ආඩම්බරයෙන් කැමරාවට හිස යොමන මේ දරුවන්ගේ දෙමව්පියන් දුටු මට සිතුණේ මෙවන් වූ දෙමව්පියන් ලද දූ දරුවන් කවර නම් වූ පෙර පවක් කරන්නට ඇති ද කියලයි. මාතෘත්වය හා පීතෘත්තවයේ උත්තරීතරත්වය හදුනා ගන්නට තරම් මානසිකත්වයක් දෙමව්පියන්ට නැති නම් අඩුම තරමින් මේ (උගත්) විනිසුරු මණ්ඩලයවත් මේ දැන් දැන් එය පහදාදෙනු ඇතැයි සිතුණත් විනිසුරු මඩුල්ලෙන් ලැබුණේ තවත් එවැනි පෙම් ගී ගයන්නට ඇරයුමක් පමණයි.  

මේ බහුරූ කෝලම් ගැන කතාබහක යෙදෙද්දී මගේ මිතුරෙකු මට කීවේ වෙනත් රටවලත් දරු දැරියන් වැඩිහිටි ගීත ගායනා කරන නිසා එවැන්නක වරද කුමක්ද යන්නයි. ඒත් මගේ මිතුරා කල්පනාවට නොගත් යමක් තිබුණා. ඒ සෑම රටකටම ඒ රටට සුවිශේෂී වූ සාරධර්ම හා සංස්කෘතික පද්ධතියක් තියෙනවාය කියන කාරණයයි. (රැකගගන්න තරම් සාරධර්ම පද්ධතියක් අද අපේ රටේ තියෙනවාද කියන ප්‍රශ්නයට නම් පිළිතුරක් නැහැ) විවාහයට පෙර ලිංගික සබඳතා යන්න බොහෝ බටහිර රටවල අතිශය සාමාන්‍ය දෙයක් වුණත් ලාංකීය සමාජ පසුබිම තුළ එවැන්නක් අනුමත වන්නේ නැත. දෙමාපිය දූ දරු සබඳතා යුරෝපීය සහ බටහිර රටවල මිනුම් දඬුවලින් අපේ රටවල මැනෙන්නේ නැහැ. ඒත් ඒ රටවල සමාජය ඉදිරියට ගමන් කරන්නේ තමන් යා යුතු ගමන කුමක්දැයි හොඳින්ම දැන හඳුනා ගෙන නිසා මේ වගේ කරුණු කාරණා අරබයා එවැනි රටවල සමාජ ගැටුම් ඇතිවන්නේ හරිම කලාතුරකින්. ඒත් ගමන කුමක්දැයි නොදැන අයාලේ අතපත ගාන අපේ සමාජය තුළ සියල්ල ඇත්තේ කණපිට පෙරළිලා. පෙබරවාරි දහ හතරවැනිදාට යෙදෙන වැලන්ටයින් දිනය උදාහරණයක් විදියට අරගෙන බලමු. බටහිර රටවල් බොහොමයක මෙන්ම මා ජීවත් වන කැනඩාවේ ද වැලන්ටයින් දිනය සමරන්නේ ආදරය ප්‍රකාශ කිරීමේ දිනයක් ලෙසින් මිස පෙම්වතුන්ගේ දිනයක් ලෙසින් නෙමෙයි. මේ නිසා දෙමව්පියන් දරුවන්ට, දරුවන් දෙමව්පියන්ට, සිසුන් ගුරුවරුන්ට, මිතුරෙකු සිය සමීතම මිතුරෙකුට වැලන්ටයින් කාඩ් පතක්, චොකලට් එකක් හෝ මල් කළඹක් දීම සිය සුහදත්වය එහෙමත් නැතිනම් ළෙංගතුකම ප්‍රකාශ කරන සාමාන්‍ය දෙයක්. ඒත් බටහිරින් එන සියල්ල කණපිට පෙරළාගෙන මතුපිටින් අතපත ගාන අපි වැලන්ටයින් දිනය සමරන්නේ පෙම්වතුන්ගේ දිනයක් විදියට විතරමයි. මේ නිසාම ඔය කියන සෑම නාළිකාවක්ම පාහේ වැලන්ටයින් දිනයේ සරාගී කෝච්චි සවාරි, සමාජ ශාලා රැඟුම් ගැයුම් සංවිධානය කරනවා. විද්යුත් මාධ්‍ය නාළිකාවල මේ බලපෑම නිසා වැලන්ටයින් දිනය ලාංකීය සමාජයට අද බරපතල පිළිලයක් වෙලා. වැලන්ටයින් දිනයේ දී සිය කන්‍යභාවය අහිමි කරගන්නා ලාංකීය ළාබාල දැරියන්ගේ සංඛ්‍යාව අතිශය ඉහළ අගයක් ගන්නා බවත් එය වසරින් වසර බියජනක ලෙසින් ඉහළ යන බවත් සමාජ සමීක්ෂණ වාර්තා හෙළිදරවු කරනවා. ඒත් එවැනි ගැටලුවක් බටහිර සමාජයට නැහැ. 

අන්තර්ජාලය වගේම ෆේස්බුක් ආදී වූ සමාජ මාධ්‍ය ජාලාත් බටහිර හා යුරෝපීය රටවල සමාජගත වන්නේ සමාජීය දැනුමක් ද එක්කයි. අන්තර්ජාල පරිහරණයේ දී සිය පෞද්ගලිකත්වය සුරක්ෂිත කරගන්නා අතරේම ඒවායේ හානිකර විපාකවලින් ගැලවෙන ආකාරය ගැන දරුවන් දැනුවත් වන්නේ පාසල්වල දෙවැනි තුන්වැනි පංතියේ ඉඳන්මයි. මේ නිසාම ඒ වගේ කරුණු කාරණා දියුණු රටවල සමාජ අර්බුදයක් බවට පත්වෙලා නැහැ. ඒත් අන්තර්ජාලය ගැනවත්, එහි භාවිතය ගැනවත් කිසිම ආකාරයක ක්‍රමානුකූල ඉගැනීමකින් තොරව ගෙඩි පිටින් එය වැළඳ ගන්නා ලාංකීය සමාජයට ෆේස් බුක් පවා අද සමාජ අර්බුදයක්. ෆේස්බුක් නිසා සිදුවූ සොරකම් හෝ කොල්ලකෑම් පමණක් නෙමෙයි,  ජීවිත හානි කරගැනීම් පවා ගෙවී ගිය වසර පහක කාලය තුළ දී අතිශය ඉහළ අගයක් ගෙන තියෙනවා. වෛද්‍ය සිසුවියන් පවා ෆේස්බුක් හේතුවෙන් සිය දිවි නසා ගන්නවා නම් වෛද්‍ය උපාධිය දක්වා ඔවුන් ලද අධ්‍යාපනයේ හරයක් තියෙනවාද..?

කටේ කිරි සුවඳ තවමත් හමන මේ දරුවන්ගේ පෙම් ගී අසද්දී මගේ හිතට එක්වරම ඇතුලු වූණු තවත් සිදුවීමක් නම්  පහුගිය සතියක මාධ්‍ය වාර්තාවකින් එළිදැක්වුණු මා තිගැස්සූ එක් කාරණාවක්. මේ වනවිට ලංකාවේ ළමා ගබ්සා වගේම, ළමා උපත්පාලන සංඛ්‍යාව අතිශයින් ඉහළ යමින් පැවතීමයි ඒ. මේ අවුරුද්දේ ගෙවී ගිය මාස කිහිපය තුළදී දිඹුලාගල කලාපයේ පමණක් වාර්තා වූ අඩු වයස් ගැබ් ගැනීම් සංඛ්‍යාව 23ක්. දිඹුලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණිය පෙන්වා දෙන ආකාරයට ගිය වසරේ දී පමණක් දිඹුලාගල කලාපයේ සිදුකළ උපත්පාලන සංඛ්‍යාව 527ක්. මේ වසරේ දී මේ වනවිට එවැනි උපත්පාලන සංඛ්‍යාවන් 52 ක් සිදු කරලා තියෙනවා. මෙයින් බොහොම දෙනෙක් පාසල් යන වයසේ පසුවන දැරියන්. මේ එකම එක ග්‍රාම නිලධාරී වසමක් විතරයි. රටේ සමස්ත තත්ත්වය ගත්තොත් එය අතිශයින්ම බිහිසුණුයි. ළමා වියේ කඩුල්ල තවමත් පැන නොගිය දරු දැරියන් උතුම් මාතෘත්වය සහ පීතෘත්තවය දැරීම තබා ඒ ගැන වැටහීමක් පවා ඇති කරගන්නේ කොහොමද…? මේ හේතුව නිසාම ඔය කිව්ව දිඹුලාගල විතරක් දෙමව්පියන් අහිමි වූ දරුවන්ගේ ගණන සියයකට වැඩියි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පෙන්වා දෙන තවත් බිහිසුණුම කාරණාව නම් තම දියණිවරුන්ට මේ උපත්පාලන සැත්කම්, ගබ්සා කිරීම්වලට අනුබල දෙන්නේ ඔවුන්ගේම මව්වරුන් වීමයි. තම දරුවන් රියැලටි ෂෝවලට යවා රටටම පෙනෙන්නට ඔවුන්ගේ ළමා මුවින් ශෘංගාරය වෑහෙන ගී ගයවන්නට හැකි දෙමව්පිය පරපුරක්  සිටින රටක අනාගතය කවර නම් වූ දිසාවකට පෙරළෙනු ඇතිද…?

දිගු කලකින් නොදුටු නිසා අසනීප වී සිටින තමා බලන්නට එන්නැයි තම දරුවන්ට ආයාචනා කරන පියෙකු තම ඡායාරූපය ද සහිතව තම දරුවන්ට ආයාචනා කරමින් කරන පුවත්පත් දැන්වීමක් රටේ ප්‍රධානතම ජාතික පුවත්පතක පළ වූයේ දින දෙක තුනකට පෙරදීයි. මාතෘත්වය සහ පීතෘත්වය සිල්ලරට ගිය යුගයක මින් පෙර නොදුටු මෙවන් දැන්විම්වලින් පුවත්පත්වල පිටු පිරෙන කාලය ළගාවන්නට තවත් වැඩි කාලයක් ගතවෙන එකක් නැහැ.

මේ විදියට නාළිකාවේ වැඩසටහන් ඔහේ ගලාගෙන ගියාට පස්සේ පටන් ගන්නේ ටෙලිනාට්‍ය මාලාවක්. මේකත් කෙළවරක් නැහැ. රාත්‍රියේ විකාශය වූ ටෙලි නාට්‍ය උදේ වරුවේ ආපහු ආපහු විකාශය කෙරනවා. ලොව සෑම ශිෂ්ට රටකම ප්‍රධාන රූපවාහිනී නාළිකාවල ගුවන් කාලය කියන්නේ අතිශය පරිස්සමින් පරිහරණය කරන සම්පතක්. මේ ගුවන් කාලය තුළ විකාශය කෙරෙන වැඩ සටහන්, නිවේදකයන්ගේ හැසිරීම් ප්‍රේක්ෂකයන්ගේ සෘජු විවේචනයන්ට ලක්වෙනවා පමණක් නෙමෙයි එම ආයතනවල අභ්‍යත්තරයේම ඇති පරිපාලනමය ව්‍යුහයක් මගින් දැඩි නිරීක්ෂණයකට ලක්වෙනවා. මේ නිසා ඉදිරිපත් කෙරෙන සෑම වැඩසටහනක්ම තරගකාරී පසුබිමක්මත ගුණාත්මකභාවයේ ඉහළින්ම සනිටුහන් කරන්නට එම වැඩසටහන්වලට දායක වන පිරිස වගබලා ගන්නවා. ඇමරිකාවේ ප්‍රධානතම මාධ්‍ය ජාලයක් වන ඒබීසී (ABC) මාධ්‍ය ජාලයේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ඩෑන් හැරිස් මෑතකදී ලියා පළ කළ 10% Happier නම් කෘතියෙන් සැබෑ මාධ්‍යකරණයක් උදෙසා ජනමාධ්‍යවේදීන්, රූපවාහිනී නිවේදකයින් කොයි තරම් පරිත්‍යාගයක්, කැපකිරීමක් කළ යුතු ද යන්න කදිමට විස්තර කරනවා. ඒ වගේම එම ජනමාධ්‍ය ආයතනවල කළමනාකාරීත්වය පවා ගුණාත්මකබවින් පිරිපුන් වැඩසටහන් නිර්මාණය කරවීමේ අරමුණින් කෙතරම් දැඩි පාලනයක් පත්වාගෙන යන්නේ ද ගැනත් ඔහු අපූරුවට විස්තර කරදෙනවා. මේ නිසා බටහිර හා යුරෝපීය රටවල නිර්මාණය වන වාර්තා වැඩසහටන් පවා අති විශිෂ්ටයි. ඒවායින් සිදුකරන සාධනීය සමාජීය බලපෑමත් හරිම ඉහළයි. එවැනි වාර්තා වැඩසටහනක් ලෙසින් නිර්මාණය වූ පසුව ලොවම සසල කළ සිනමා නිර්මාණයක් බවට පත් වූ Black Fish ඊට එක් නිදසුනක් පමණයි. එම වාර්තා වැඩසටහන සිහිබුද්ධියෙන් නැරඹූ කිසිම කෙනෙකුට දැවැන්ත මින් මැදුරු විතරක් නෙමෙයි සතුන් කූඩු කළ සත්ව උද්‍යානයක් පවා නරඹා කිසිම සතුටක් ලබන්නට බැහැ. මේ වාර්තා වැඩසටහන නැරඹීමෙන් ඇති වූ කම්පනය නිසා මතුවූ ජනතා විරෝධය නිසාම ඇමරිකාවේ අතිශය ප්‍රසිද්ධ මිරිදිය උද්‍යානයක් (Amusement Park)  වන Sea World හි එක් අංශයක් මුළුමනින්ම වසා දමන්නට සිද්ධ වුණා. ඒ වගේම මා ජීවත්වන වැන්කුවර් නගරයේ අතිශය ප්‍රසිද්ධ වැන්කුවර් මින්මැදුරේ පාලනාධිකාරිය විසින් ඩොල්ෆින්, තල්මසුන් වැනි විශාල ක්ෂීරපායින් නැවත එහි ගෙන නොඑන බවට ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් දුන්නා. විශිෂ්ට වාර්තා වැඩසටහනකින් කළ හැකි බලපෑම ඒ තරමටම ප්‍රබලයි. මේ වගේ උදාහරණ කෙළවරක් නැතිව කියන්නට පුළුවන්.

ඒත් රෑ පුරා කාලය කා දැමූ වැඩසටහන් යළි යළිත් උදයේ විකාශය කරමින්, ඉන්දියානු මෙගා පල්හෑලි වලට දෙබස් කවමින් පැය ගණනින් ප්‍රචාරය කරමින්, කිසිම බරක් හෝ මෙලෝ රහක් නැති වැඩසටහන් වලින් ගුවන් කාලය පුරවා දමන අපේ නාළිකාවලට, කුමක් හෝ පෙන්වා සිය අයිතිකාරයාගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් නාළිකාව පවත්වාගෙන යෑම මිස වෙනත් කිසිම අරමුණක් නැහැ. (මේ තත්ත්වය අපේ රටේ පුවත්පත්වලටත් එකසේම අදාළයි). අනෙක් අතට සාර්ථක වැඩසටහනක් නිර්මාණය කරන්නට තරම් දක්ෂයන් පිරිසකුත් ඒවා ඇතුළේ නැහැනේ.

මේ සියලු  ටෙලි විගඩම් අවසානයේ දී රූපවාහිනිය නිවා දැම්මාම දැනෙන්නේ පුදුමාකාර සහනයක්. හරියට මුරුගසන් වර්ෂාවක් වැහැලා පෑවුවා වගෙයි. මළ මිණී, අදෝනා, විලාප, බැන අඬගැසීම්, අංගම්පොර ආදී වූ සියලු සටන් කලාවන්ගෙන් අගතැන්පත් ලෝක සිතියමේ තිතක්වන් ලංකාවේ ප්‍රවෘත්ති විකාශය අවසන් කරලා, ලොව දෙවැනි විශාලතම රට වූ කැනඩාවේ ප්‍රවෘත්ති නරඹද්දී කොයි තරම් සංයමයක්, නිස්කලංකයක් තියෙනවාද කියන කාරණය අන්තිමේ දී මගේ ඥාතියාගේ මුවින්ම පිටවුණා. මේ කිව්ව කරුණු මං සඳහන් කරන නාළිකාවට විතරක්ම සීමා වූවක් නෙමෙයි. ලංකාවේ සෙසු නාළිකා කිහිපයකට චැනල් මාරු කර බලද්දී මට දකින්න ලැබුණේ සෑම නාළිකාවකම මේ කී කරුණු අඩුවැඩි වශයෙන් පවතින බවයි. ගංවතුර ව්‍යසනය මැද්දේ විගඩම් වැඩසටහන් ඉදිරිපත් කිරීම කොයි තරම් සදාචාරවත් ද කියලා ඇහුව ප්‍රේක්ෂිකාවකට, මගෙන් මුකුත් අහගන්න එපා යැයි කියන්නට තරම් නපුංසක වූ නිවේදකයන් රොත්තක් තමයි ඒවායිත් ඉන්නේ. (මේ නිවේදක නිවේදිකා රූකඩයන් අතර සැබෑ ලෙසින්ම උඩුගං බලා පිහිනන්නට උත්සාහ දරන අතිශය අතළොස්සක් වූ නිවේදක නිවේදිකාවන් පිරිසකුත් ඉන්න බව නොකිව්වොත් ඒක කුහක කමක්)

කොහොම වුණත් උදේ ඉඳන් සවස දක්වා නිතර දෙවේලේ මේ විදියේ අසහනකාරී රූපවාහිනී චැනල් ඇසුරේ හැදී වැඩෙන අපේ රටේ දරු පරපුර අනාගතයේ කොයි කවර ඉසව්වකට ගමන් කරාවිද කියන කාරණය හිතද්දිත් දැනෙන්නේ පුදුමාකාර තිගැස්මක්.

ඕනෑම ශිෂ්ට සම්පන්න දියුණු මාධ්‍ය සදාචාරයක් ඇති රටක සම්මුඛ සාකච්ඡා වාද විවාද මෙහෙයවන නිවේදකයෙකු කියන්නේ අඩුවෙන්ම කතා කරන වැඩියෙන් සවන් දෙන බොහෝ ඇසූ පිරූ චරිතයකට. ඒකට හේතුව නිවේදකයාගේ කාර්යභාරය විය යුත්තේ තමා ඉදිරිපිට සිටින මිනිසා කතා කරවීම මිස, තමන් තොරතෝංචියක් නැතිව දොඩමළු වීම නොවන හින්දා. ඒත් අපේම අවාසානාවකට අපේ නිවේදක පරපුර හඳුනා නොගත් එහෙමත් නැතිනම් ඉගෙන නොගත් මූලිකම පාඩමත් ඒකම තමයි.

ඒ විදියේ සැබෑ නිවේදක පරපුරක් ඇත්තටම අප සතුව හිටියත් අනූව දශකයේ අග භාගය වෙද්දී ඒ පරපුරේ නශ්ටාවශේෂයක් පමණක් එක්ක අද අහුරු ගනනින් ඉතිරි වෙලා ඉන්නේ පෙත්තප්පුලා ටිකක්.

මං ජීවත් වෙන කැනඩාවේ නිතර විකාශය වන අපූරු වැඩසටහනක් තියෙනවා. Hello Good Bye නම් වූ මෙම වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ ගුවන් තොටුපල වෙත පැමිණෙන හා පිටවෙන මගීන් හා දොඩමළු වෙමින් කරන සාකච්ඡාවලින්. ලෝකයේ කොයි කවර රටක වුණත් ගුවන් තොටුපළ කියන්නේ සතුට වගේම දුකත් එකසේ දරාගන්න තැනක්. ඒකට හේතුව ගුවන්තොටුපළ තුළ ඇත්තේ හමුවීම් සහ වෙන්ව්‍ම් පමණක්ම නිසයි. මේ වැඩසටහන හසුරුවන මාධ්‍යවේදියා එය කොයි තරම් අපූරුවට හසුරුවනවාද කියන එක බලා ඉන්න හරිම අපූරුයි. ඇත්තෙන්ම කියනවා නම් එම මාධ්‍යවේදියා මෙම වැඩසටහන තුළ කැපී පෙනෙන්නේ ඔහුගේ දොඩමළුකම නිසා නෙමෙයි. ඔහුගේ නිහඬකම නිසයි. ඉතාම සුළු වචන කිහිපයක් පමණක් භාවිත කරමින් තමන් ඉදිරිපිට සිටින තැනැත්තා හඬවන්නට වගේම ඔවුන්ගේ පෞද්ගලික ජීවන සබඳතා ඉස්මතු කර සංවේදී කරුණු කාරණා පිළිබඳව ඔවුන් දොඩමළු කරවීමට මේ නිවේදකයා සමත් වෙන්නේ බොහොම සීරුමාරුවට පාවිච්චි  කරන වචන දෙක තුනකින්.

ගුණාත්මක බවින් ඉහළ වූ ඉතා ඉහළ මට්ටමේ වාර්තා වැඩසටහන්, ගී වැඩසටහන් වගේම ටෙලි නාට්‍ය පවා අතීතයේ දී ජාතික රූපවාහිනිය ප්‍රධාන කොට ගෙන අයි ටී එන් නාළිකාවේත් විකාශය වුණා. ඒකට හේතුව හැකියාවක් මෙන්ම ඔළුවක් ද තිබූ පිරිසක් ඒවාට සමබන්ධ වෙලා හිටිය නිසයි. ඒ ගුණාත්මකභාවය එළෙසින්ම නැතත්,  එහි නෂ්ටාවශේෂ තවමත් ජාතික රූපවාහිනියේ ඉතිරිව තියෙන බව මං දැක්කේ මගේ ඥාතියා නරඹන රූපවාහිනී නාළිකාවෙන් හෙම්බත්ව වෙනත් නාළිකාවන් ගැන සොයා බලද්දියි. (ප්‍රවෘත්ති නම් නෙමෙයි; “ ප්‍රවෘත්ති කියන එකම නාළිකාවක්වත්, “ ප්‍රවෘත්ති පළ කරන එකම පුවත්පතක්වත් අද ලංකාවේ නැහැනේ. මෙතැනදී ප්‍රවෘත්ති කියලා අදහස් කළේ සැබෑ නිර්වචනයන්ම ප්‍රවෘත්ති මිසක් ලංකාවේ ජනමාධ්‍ය ප්‍රවෘත්ති කියලා අදහස් කරන පල්හෑලි නොවන බව අවධාරණය කරන්නට ඕනේ) එත් අද හැම නාළිකාවකම වගේම පිරිලා ඉන්න බොහොම දෙනෙක් හැකියාවෙන් වගේම ඔළුවෙනුත් හිස් වෙච්ච නඩයක් නිසා රූපවාහිනී කාලය කා දමන්නට යමක් පුරවනවා මිසක් මිනිසුන්ගේ හිස් පුරවන්නට යමක් එයින් ලැබෙන්නේ නැහැ. අනෙක් අතට මිනිසුන්ගේ හිස් පුරවන්නට නම් කලින්ම එයාලගේ හිස් පිරිලා තියෙන්න එපැයි. අඩුම තරමින් හිරිකිතයකින් තොරව ගීතයකට රූප රචනයක් කරන්නටවත් හැකියාවක් තියෙන පිරිස මේ නාළිකාවල ඉන්නවාද කියන කරුණ හරිම සැකසහිතයි. ටී. එම්. ජයරත්න නම් වූ ප්‍රවීණ ගායකයාගේ එක සිත දෙතැනක නතර වෙලා ගීතයට එක්තරා නාළිකාවක් කරපු රූප රචනයක් මට දකින්න ලැබුණා. මෙහිදී ගීතය පසුබිමන් යද්දී පෙම්වතියන් දෙදෙනෙකු අතරට මැදි වූ පෙම්වතෙකු මුලු ගීතය පුරාම දකින්නට ලැබුණා. මේ ගීතය තුන් කොන් ප්‍රේමයක් ගැන නෙමෙයි, දෙදෙනෙකු අතර ඇති ප්‍රේමයක් කියලා වටහා ගන්නට තරම් ඔළුවක් ඊට සහභාගි වූ කිසිම කෙනෙකුට තිබුණේ නැහැ. මෙවැනි ගීතයකට රූප රචනාවක් කරලා විකාශය කෙරෙන්නේ කණ්ඩායමකගේම සහභාගිත්වයෙන් මිසක් එක්කෙනෙක් දෙන්නෙක්ගේ අතින් නෙමෙයි. ගීතයට රූප රචනය කරපු තැනැත්තා, එය කැමරාකරණය කරපු තැනැත්තා, නිෂ්පාදනය කරපු තැනැත්තා, එහි පිටපත ලියා අධ්‍යක්ෂණය කරපු තැනැත්තා විතරක් නෙමෙයි අඩුම තරමින් එහි රගපෑ නළු නිළියන්ටවත් මේ සරල ගීතය වටහා ගන්න බැරි වීම හිතාගන්නවත් බැරි තරම් පුදුමයි. ඒ කියන්නේ මුලු ගීතයම රූප රචනය කරලා තියෙන්නේ ගීතයේ මුල් පේලි දෙක විතරක් අහලා. අඩුම තරමින් ගීතයේ තුන්වැනි හතරවැනි පද පේළි දෙකවත් ඇහුවා නම් මේ ගීතය තුන් කොන් ප්‍රේමයක් නොවන බව වටහා ගන්නට පහ හය වසරේ දරුවෙකුට වුණත් පුළුවන්. අඩුම තරමින් ගායකයාගෙන්වත් ඇහුවා නම් ඒ ගැන ඉගෙන ගන්න තිබුණා. මේ විදියේ හිස් ඔළුගෙඩි වලින් පිරුණත් මේ නාළිකාවල ශීර්ෂ පාඨ ඇහුනම නම් දෙපැත්තෙන්ම හිනා යනවා … People’s Channel, ශ්‍රී ලාංකීය අභිමානය, පවුලේ නාළිකාව, අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන…  මේ ටෙලිවිෂන් අලුත් කරන්න කාලයයි…

රෑපවාහින‍ී කැමරාව ඉදිරියට ගිහින් මූණත් තහඩුව අල්ලන්න කලින් අඩුම තරමින් ශිෂ්ට මාධ්‍ය ලෝකය තුළ නිර්මාණය වන වාර්තා වැඩසටහන් දෙක තුනක්වත් නරඹන්නට පුලුවන්නම් තමන්ගේ මාධ්‍ය භාවිතාව කොයි තරම් හිස් විලාපයක් ද කියන එක හදුනාගන්න ඔලුවක් ඇති කවර කෙනෙකුට වුණත් පුලුවන්. ලොවම කම්පා කළ සුනාමියේදී ලංකාවට පදනම් කරගනිමින් එකම මළමිනියක්වත්, එකම දුක් අදෝනාවක්වත් නොපෙන්වා එහි බිහිසුණු බව කදිමට හුවා දැක්වූ අතිවිශිෂ්ට වාර්තා වැඩසටහන් ලොව පුරා බිහිවූවත්, මළ මිණියකින් තොරව අඩුම තරමින් පැය භාගයක වාර්තා වැඩසහටනක්වත් නිර්මාණය කරන්නට අපේ රූපවාහිනී නාළිකා සමත් වුණේ නැහැ. බීබීසී ලෝක සේවය මගින් නිර්මාණය කළ Planet Earth නම් වූ වාර්තා වැඩසටහන් මාලාව ලොව අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය වන්නට බලපෑවේ එහි තිබූ තාක්ෂණික  කුසලතා හෝ ඒ වෙනුවෙන් වියදම් කළ මූල්‍ය සම්පත් හෝ නිසා නොවේ. එහි සාර්ථකත්වයට බලපෑවේ එම වාර්තා වැඩසටහන නිර්මාණය කළ පිරිස සතුව තිබූ ඉවසීම, ධෛර්යවන්තභාවය සහ අධිෂ්ඨානශීලීත්වයයි.

 

මෙතැනදී කෙනෙකුට හිතෙන්නට පුලුවන් මේ වගේ නිර්මාණ කරන්නට තරම් දැවැන්ත මුදලක් අපේ රටවලට තියෙනවාද කියලා. ඒක මුලුමනින්ම වැරදි සංකල්පනාවක්. ගුණාත්මකභාවයයි මුදලයි කියන්නේ එකට අත්වැල් බැද යා යුතුම කරුණක් නෙමෙයි. හැකියාව හා දක්ෂකම ඇති නම් ප්‍රාග්ධනය කියන්නේ තවත් එක් සරල සාධකයක් විතරයි. බැදුම්කර සොරාගෙන මාධ්‍ය කරවන අපේ රටට ප්‍රාග්ධනය කියන්නේ සරල දෙයක්. ඒත් හැකියාව හා දක්ෂකම නම් බැදුම්කර තියා මහ බැංකුව උකස් කරලාවත් ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි.

එක් හෝටලයකින් පිටවී තවත් හෝටලයකට ලගින්නට යන අතරේ හමුවන පන්සලක්, ගමක්, වැවක් වෙත කැමරාව අල්ලා මෙන්න අපේ රටේ සුන්දරත්වය යැයි පෙන්නවන අඳ බාල ළාමක නිවේදක පරපුරකට එවැන්නක මහිම වටහා ගන්නට පවා අසීරු බවට තර්කයක් නැහැ. ඊට දොසක් කියන්නටත් බැහැ… ඒකට හේතුව ඒ අය නියෝජනය කරන්නේ අපේ රටේ උගත්කම එහෙමත් නැතිනම් කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැති රැකියාවන් දෙකෙන් එකක් නිසා.  දේශපාලනය සහ ජනමාධ්‍ය කියන්නේ අපේ රටේ සුදුසුකම්, උගත්කම් හෝ දැනුම පළපුරුද්ද කියන කිසිම කරුණක් අදාළ නොවන රැකියා දෙකක්. මේ නිසා රස්සාවක් හොයා ගන්නට තරම් සුදුසුකමක්, දැනුමක්, පළපුරුද්දක් නැති කොයි කවර කෙනෙකුට වුවත් මේ ක්ෂේත්‍ර දෙකට එකතුවෙන්නට විතරක් නෙමෙයි එහි හිනිපෙත්තට නැගලා කර්තෘ සංසදයෙන් රන් කුසලාන දිනාගන්නත් හරිම පහසුයි. මේ ක්ෂේත්‍ර දෙකට සම්බන්ධ වෙලා ඉන්න පිරිස දැක්කම ඒ ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය වෙන්නේ නැහැනේ.

ඒත් කණගාටුම කාරණාව නම් මේ විදියට නූගතුන්ගෙන් පිරිලා ඉතිරිලා ඇත්තේ රටේ සමස්ත දිශානතිය හසුරුවන ප්‍රබලතම අංශ දෙක වීමයි. ඔපෙරා ශෛලියෙන් ගීයක් ගැයූ ගායිකාවක බැළලියකට සමාන කොට එවන් බැළලියකට දිය යුතු දඬුවම ගලකින් ගැසීම බව කීවේ ද මේ නාළිකාවේම තවත් හාදයෙකු බවත් මේ මොහොතේ මගේ මතකයට එනවා. රටේ කුණු ටික කළමනාකරණය කරගන්නට බැරි, මදුරු කීටයෙකු මෙල්ල කරගන්නට නොහැකි රටක පය තබාගෙන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන නන්දොඩවන වීරවංසයේ දේශපාලකයන් පරපුරක් අපිට උරුම වෙලා තියෙන්නේත් දේශපාලනයට සහ මාධ්‍ය කලාවට උගතුන් අනවශ්‍ය වීමේ ප්‍රතිඵලයක් විදියටයි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකින් විනාස කරන්නට තරම් රටක් අද අපිට ඉතිරි වෙලා නැහැ. තප්පුලන දේශපාලකයන් රැළත්, මාධ්‍ය යැයි කියන කොඩිවිණයත් ඒ විනාසය දැනටමත් සිදුකරලා හමාරයි.

අනෙක් පැත්තෙන් ගත්තම හොරකම, මංකොල්ලකෑම,  ස්ත්‍රී දූෂණය, රාජ්‍ය සම්පත් පවුලේ පරිහරණයට යොදා ගැනීම දේශපාලන සුදුසුකමක් ලෙසින් සලකන ජනතාවක් සිටින රටකට මෙවැනි මාධ්‍ය නාළිකාවන් තිබීමේ වරදකුත් නැහැ.  ඒකට හේතුව ගුණාත්මකභාවය, රසඥතාව කියන කාරණාව අපේ සමාජයෙන් මේ වනවිට නැත්තටම නැති වෙමින් යන හින්දා. රස වින්දනය කියන කාරණාව තමන්ගේ ජීවිතවලින් හිතාමතාම ඈත්කරගත්ත අති විශාල පිරිසකින් තමයි අද අපේ සමාජය හැදිලා තියෙන්නේ. මේ හින්දා උසස් වර්ගයේ පොතක් කියවලා රස විඳින්නට, උසස් සිනමා නිර්මාණයක් නරඹලා ඔළුවට යමක් ගන්නට හැකියාවක් ඇත්තේ අපේ සමාජයේ මිනිසුන්ගෙන් කීයෙන් කීදෙනාටද…? එවැනි පරපුරකට උසස් වර්ගයේ රූපවාහිනී වැඩසහටහන්, ඇසූ පිරූ ඇති නිවේදකයින්, කොටින්ම කියතොත් ශිෂ්ට මාධ්‍ය සම්ප්‍රදායක් හෝ සදාචාර සම්පන්න දේශපාලන සම්ප්‍රදායක් අවශ්‍ය වන්නේ කවර නම් කරුණකටද…?

මේ කාරණාව වටහා ගන්නට තවත් සරලම උදාහරණයක් මේ මොහොතේ දී මගේ මතකයට එනවා. සිය ජීවිත කාලයම ජනසන්නිවේදනය හැදෑරූ බව කියන.. එමෙන්ම අවුරුදු පහළොවකට අධික කාලයක් ජන සන්නිවේදනය විෂය උගැන්වූ බව කියන…ඒ වෙනුවෙන්ම බොහෝ පොතපත ලියා පළකළ,  ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක ජන සන්නිවේදන අංශය භාරව සිටි මහාචාර්යවරයාට සති කිහිපයකට පෙරදී විවෘත අධිකරණයේ සිය ගණනක පිරිස ඉදිරියේ වැද වැටී සමාව ගන්නට සිදුවුණා. ඇයි ඒ…? උගතුන් යැයි කියාගත් රටේ සෙසු ()ප්‍රබුද්ධ ආචාර්ය මහාචාර්යවරුන් පිරිස හා එක්ව කඩේ යාම වෙනුවෙන් දොළ පිදේනි බෙදා දෙන අතරේ දී තමන්ට ලැබුණු ජනමාධ්‍ය ආයතනයේ සභාපතිධුරය දරන කාලයේ දී සිදුවූ සිදුවීමක් වෙනුවෙන් වරද පිළිගැනීම නිසා ලැබුණු ඳඬුවමක් තමයි ඒ. ඉතින් කුමක් ද ඒ වරද…? පහුගිය මැතිවරණයේ දී මැතිවරණ නීතියට අනුව මාධ්‍යකරණයේ යෙදෙමු යැයි සේවකයන් තිදෙනෙකු කළ යෝජනාවට කුපිත වී බැන වැදී ඔවුනට පහරදීමයි ඒ. ජනසන්නිවේදනය සිය බඩ රස්සාව කරගත්, සරසවියක ජනසන්නිවේදන අංශය පවා භාරව සිටිමින් සිය දහස් ගණනකට ජන සන්නිවේදනය උගැන්වූ, පුවත්පත් පිටු පුරා ජනමාධ්‍ය සදාචාරය මෙසේ විය යුතුයැයි හඬගා කී මහාචාර්යවරයාගේ ජනමාධ්‍ය සදාචාරය මෙය නම් මුළු මහත් රටේම මාධ්‍ය සදාචාරය ගැන කවර නම් වූ කතාද…?

නන්නත්තාරේ යන මෙවන් හිස් නාළිකා මුලු මහත් රටක්ම අයාලේ යවද්දී එයින් සතුටු වන ප්‍රධානම පිරිස බලයේ සිටින සහ බලයට එන්නට පොර කන දේශපාලකයන් බවත් රහසක් නෙමෙයි. ඒකට හේතුව දැනුවත් පරපුරක් බිහිවුණොත් තමන්ගේ දේශපාලනයට යන එන මං නැති වන නිසා… බත් පැකට් එකට මැයි පෙළපාලියට ගෙන්වන්නට හැකි පිරිසක් නිර්මාණය නොවන නිසා… පවුල තර කිරීම පමණක් තම දේශපාලනයේ එකම පරමාර්ථය කරගත් ඊනියා ජනතා නායකයන්ගේ දේශපාලනයේ යථාර්ථය වටහා ගන්නට සමත් බුද්ධියක් ඇති මිනිසුන් පිරිසක් බිහිවීමේ අනතුරක් එයින් බිහිවන නිසා… විදේශ කුමන්ත්‍රණ, දේශ ප්‍රේමීත්වය, ජාතිකත්වය වගේ ලොමු දැහැගැන්වෙන වදන් භාවිත කරමින් ඡන්ද දායකයන් ගොනාට ඇන්දවීමට ඇති ඉඩකඩ අහිමි වී යන නිසා…

ඒත් රටේ බුද්ධිමතුන් කියාගත් පිරිස මේ ව්‍යසනය පෙනි පෙනී නිද්‍රාශීලීත්වයක සිටීම නම් කිසිසේත්ම අනුමත කරන්නට බැහැ. අනෙක් අතට බැලුවාම ජනතාවගේ පරම පූජනීය සහ අතිශය පෞද්ගලික අයිතියක් වූ ඡන්දය පවා දැමිය යුත්තේ කුමන පක්ෂයටදැයි ප්‍රසිද්ධියේ කියා පාමින් පුවත්පත් දැන්වීම්වලට පොරකමින් අත්සන් තබන ලොව කොයි කවර රටකවත් නැති වර්ගයේ අපූරු කලාකරුවන් සහ ආචාර්ය මහාචාර්යවරුන් නඩයකගෙන් එවැනි සද්කාර්යයක් ගැන හිතීමත් විහිලුවක්.

රටකට උරුම වන්නේ ජනතාවට බලාපොරොත්තු වන මට්ටමේ එසේත් නැතිනම් රටේ ජනතාවටම ගැලපෙන පන්නයේ දේශපාලකයන්ය; ඔවුනටම ගැලපෙන රූපවාහිනී නාළිකාවන්ය; නිවේදක නිවේදිකාවන්ය. පුවත්පත්ය.

වෙනසක් සිදුවිය යුතුනම් එය පටන් ගත යුත්තේ එසේත් නැතිනම් වෙනස් විය යුත්තේ ඒ රටේ ජනතාවයි.

වෙනස් වෙන්නට හීනෙකින්වත් නොසිතන ජනතාවක් සිටින රටක අමතක කරමු අපි මේ සියල්ලම…!

දුවේ පුතේ මව් ඇකයෙන් මිදී එන්න ගයන්නට පෙම් ගී… !

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ…සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමුදෝ…!

 

 

ඔබ සිටින්නේ කොතැන ද?

ගුවන්විදුලියේ සවස හයේ ප්‍රවෘත්ති ආරම්භ වුණේ මං වැඩ ඇරිලා නිවසට එමින් සිටියදීයි. රිය අනතුරක් සිද්ධ වෙලා තිබු නිසා මං එන මාර්ගය පුරාම වාහන තදබදයක් නිර්මාණය වෙලා තිබුණා.

වාහනයේ ගුවන්විදුලි යන්ත්‍රයේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙලා තිබුණේ සීබීසී (Canadian Broadcasting Cooperation) එහෙමත් නැතිනම් කැනඩාවේ ප්‍රධාන ප්‍රවෘත්ති සේවා විකාශයටයි.

ප්‍රවෘත්ති අතරතුරේ දී එක සැරේම නිවේදකයා මෙහෙම දෙයක් කිව්වා.

“ අපි දැන් විශේෂ හඩ පටයක් විකාශය කරන්නයි යන්නේ. මේ හඩ පටය විනාඩියක කාලයක් පුරා තියෙනවා. එත් මේ හඩ පටයේ ඇති කරුණු මානසික පීඩනයක් ඇති කරන්නට හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පොඩි දරුවන් මේ වැඩසටහනට සවන් දෙනවා නම් ඒ ගැන විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න කියලා දෙමව්පියන්ගෙන් අපි ඉල්ලා හිටිනවා. මේ හඩ පටය අපි විකාශය කරන්නේ එයින් කියැවෙන මානුෂීය පණිවිඩය ඒ අයුරින්ම ඔබට ලබා දීමේ අරමුණින් පමණයි. ඒ නිසා අපි නැවතත් කියනවා මේ හඩ පටයෙන් මානසික පීඩනයක් ඇති වෙන්න ඉඩකඩක් තියෙන නිසා මේ හඩපටය අහන්න කලින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න කියලා ”

නිවේදකයා මේ කරුණ දෙසැරයක්ම කිව්වා. හඩ පටය විකාශය වුණේ ඊට පස්සෙයි.

හඩ පටයට පදනම් වෙලා තිබුණේ ඇමරිකාවේ පොලිස් නිලධාරියෙකු අතින් කළු ජාතික සිවිල් වැසියෙකු මරණයට පත් වීමෙන් පස්සේ කළු ජාතිකයාගේ පෙම්වතිය එම පොලිස් නිලධාරියා ඉදිරියේ හඩමින් කරන ප්‍රකාශයක්. මේ ප්‍රකාශය පුරාම ඇය කිසිම විදියකින් පොලිස් නිලධාරියාට පහත් අන්දමින් බැන වදින්නේවත්, අසැබි වචන ප්‍රකාශ කරන්නේවත් නැහැ. එම කාලය පුරාම ඇය වැළපෙමින් හඩන අතරේ පුන පුනා කී කරුණ වුණේ, “ ඔෆිසර්… ඔයා මගේ පෙම්වතා මැරුවා කියලා නම් මට කියන්න එපා… මට ආයෙත් එයාව දකින්න ලැබෙන්නේ නැහැ කියන්න නම් එපා ” කියන කාරණාවම පමණයි.

ගුවන්විදුලි නිවේදකයා කිව්ව ආකාරයටම විනාඩියකට ආසන්න කාලයක් පුරා විකාශය වෙච්ච මේ හඩ පටය නිමා වුණ ගමන්ම මට මතක් වුණේ ලංකාවේ අපේ මාධ්‍ය කලාව ගැන. (ලංකාවේ මාධ්‍ය කලාවක් කිසිසේත්ම නැති වුණත් මෙතැන දී කලාව කියන වචනය පාවිච්චි කළේ සංසන්දනයේ පහසුව නිසයි). එයින් පළමු වැනි කාරණය මේ වගේ හඩ පටයක් ලංකාවේ මීඩියා වලට කිසිසේත්ම සිත් කම්පිත කරවන පුවතක් (shocking news) නොවන නිසා. ඒ කියන්නේ ලංකාවේ මාධ්‍යවලට මේ පුවත සිත කම්පිත කරවන්නට තරම් බලපෑමක් ඇති කරවන එකක් නෙමෙයි. ඒකට හේතුව දශක ගණනාවක් පුරාම ලංකාවේ මාධ්‍ය එකට එකතු වෙලා නිර්මාණය කරලා තියෙන, මුළුමනින්ම මීඩියා නිෂ්පාදනයක් වන අපේ පාඨක ජනතාව එහෙමත් නැතිනම් ප්‍රේක්ෂක ජනතාව මේ වගේ “ සුළු මානුෂීය කරුණු වලින් ” සිත කම්පිත වෙන අය නෙමෙයි. අපේ පාඨකයන්ට / ප්‍රේක්ෂකයන්ට පුවතක් සිත කම්පා කරවන්නට නම් අඩුම තරමින් මළ සිරුරක්වත් පෙන්නන්න ඕනේ. ඒ නිසා ඉහතින් කිව්ව හඩ පටය ලංකාවේ මීඩියා එකකින් විකාශය කරන්නට කලින් නිවේදකයාට ඒ ගැන දෙසැරයක් හිතන්නවත්, සිබීසී නිවේදකයා කිව්ව විදියේ පූර්ව නිවේදනයක් නිකුත් කරන්නටවත් ඕනේ නැහැ. ඒ තරමට අපේ ජන සමාජය අද වෙනකොට අසංවේදීයි. මේ අසංවේදීතාව කොයිතරම්  ද කියනවා නම් මළ සිරුරක් දෙකක් පෙන්නන්නේ නැති අනතුරක්, අපේ ජනතාවට අනතුරක් නෙමෙයි. ලේවලින් නැහැවිච්ච සිරුරක් දෙකක් නොපෙන්වන පුවතක් සිත් කම්පා කරවන පුවතකුත් නෙමෙයි. දශක ගණනාවක් පුරා කුරිරු යුද්ධයක අමිහිරි අත්දැකීම් ඕනැ තරම් විදලා තිබුණත්, මළ මිනී දහස් ගණනකගේ සේයා රූ දැක තිබුණත් තව තවත් මළ මිනී දකින්නට, තව තවත් ලේ දකින්නට අප තුළ ඇති සැගවුණු අශ්ලීල ආසාව තවමත් පහව ගිහින් නැහැ. ලංකාවේ සියලුම පුවත්පත්වල මුල් පිටුවේත්, ලංකාවේ සියලුම විද්යුත් මාධ්‍යවල ප්‍රධාන පුවත්වලදීත් මළ මිනී, ලේ නොඅඩුව පෙන්වන්නේත්, ඒවාට සමාජායෙන් කිසිම විරෝධයක් එල්ල නොවන්නේත් ඒ නිසයි.

ලංකාවේ අපේ මාධ්‍ය තමන්ගේ මාධ්‍ය ලේවලින් නහවද්දී  ශිෂ්ට යැයි සම්මත ලෝකයේ මීඩියා ගමන් කරන්නේ මීට මුළුමනින්ම විරුද්ධ ගමනක. ශිෂ්ට සම්පන්න කිසිම රටක පුවත්පත්වල විශේෂයෙන්ම මුල් පිටුවේ ඔබට මෘත දේහයක් තබා එකම ලේ බිදුවක්වත් දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතාම විරල අවස්ථාවක එවැන්නක් පළ වන්නේ නම් ඒ අතිශය විශේෂ පනිවිඩයක් ලබා දෙන්නටම පමණයි. මෑත ඉතිහාසයේ ඇමරිකාවේ සිදු වූ දැවැන්තම ඛේදවාචකය වූ 9/11 සිදුවීමේ දී  කිසිදු මාධ්‍ය ආයතනයක් ඒ අනතුරේ භෞතික විනාශය මිස මළ සිරුරු පෙන්වන්නට ගියේ නැහැ. (ඒත් මේ අනතුර නිසා මිය ගිය අයගේ මළ සිරුරු පුවත්පතේ මුල් පිටුවේ පළ කරන්නට රොයිටර් ප්‍රවෘත්ති සේවය ඔස්සේ සොයා, එවැනි එකම පින්තූරයක්වත් සොයා ගන්නට නොහැකිව බලාපොරොත්තු සුන් වූ සිතැතිව සිටි ලංකාවේ ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් ගැන පුද්ගලික අත්දැකීමක් මේ වෙලාවේ මගේ මතකයට එනවා). දහස් ගණනක් මිය ගිය අතිශය දරුණු භූමිකම්පාවක් ජපානයේ මෑතක දී සිදුවුණා. ඒත් ජපානයේ කිසිම මීඩියා ආයතනයක් එකම මළ සිරුරක්වත් පෙන්නන්න ගියේ නැහැ. ඒ වෙනුවට ජපාන පුවත්පත්වල මුල් පිටුවේ පළ වුණේ මළ සිරුරු වසා තිබූ විනිවිද නොපෙනෙන විශාල නිල් පැහැති ප්ලාස්ටික් කවරයක් විතරයි. අපේ රට කම්පා කළ සුනාමියේ දී ලංකාවේ සියලුමමාධ්‍ය ආයතන මළ සිරුරු හඹා යද්දී ලෝක ජනමාධ්‍ය ඒ විනාශය සිත් කම්පිත කරවන ආකාරයෙන් වාර්තා කළේ එකම ලේ බිදුවක්වත් නො‍පෙන්වමිනුයි. මේ විදියේ උදාහරණ සිය දහස් ගණනක් තියෙනවා. පොදුවේ කියනවා නම් ශිෂ්ට සම්පන්න මාධ්‍ය භාවිතයක් තියෙන කිසිම රටක දී ඔබට මළ සිරුරුක් තබා ලේ බිදුවක්වත් මාධ්‍ය මගින් දකින්නට බැහැ.

aylan5

කැනඩාවේ රැකවරණ සොයා නැව් නැගි මේ මේ සිරියානු දරුවා නැවෙහි පටවා සිටි අධික මිනිසුන්ගේ බරින් පෙරළි ගිය යාමෙන් පසු ඔහුගේ මළ සිරුර වෙරළට පාවී තිබූ අයුරුයි මේ. එහෙත් මේ ඡායාරූපය බොහෝ පුවත්පත්වල පළ කෙරුණේ දරුවාගේ මුහුණේ රුව පැහැදිලිව නොපෙන්වන අයුරිණි.

මේ කරුණ කියද්දී තවත් එක්තරා පුද්ගලික කරුණක් මගේ සිහියට නැගෙනවා. මෙයින් අවුරුදු දහයක දොළහකට පමණ පෙර මා දිවයින පුවත්පතේ සේවය කරමින් සිටිය දී අපි දෙතුන් දෙනෙක් එකතු වී පත්තරේ මුල් පිටුවේ මළ සිරුරු නොපන්වන්ට කතිකා කරගත්තා. ඒ කාරණයට ඉහළ කළමනාකාරීත්වයේ කැමැත්ත ගැනීමේ කාර්යය මට පැවරුණා. මා මවිතයට පත් කරමින් ආයතනයේ ඉහළම කළමනාකාරීත්වයෙන් ඒ කරුණට ලැබුණේ මා බලාපොරොත්තු නොවුණාටත් තරම් ඉහළ අනුමැතියක් හා ආශිර්වාදයක්. සම්ප්‍රදායික මාධ්‍ය කලාවෙන් තෙම්පරාදු වෙලා හිටිය කර්තෘ මණ්ඩලයේ ඇතැම් පැරණි සාමාජිකයන්ගේ විවිධාකාර අපහාස උපහාසයන් මැද්දේ වුණත් මේ අදහස අපි ක්‍රියාත්මක කළා. එත් ඒ සති දෙක තුනකට වගේ බොහොම කෙටි කාලයකට විතරයි. ඒකට හේතුව කර්තෘ මණ්ඩලයෙන්වත්, කළමනාකාරීත්වයෙන්වත් ඇති වෙච්ච විරෝධයක් නිසා නෙමෙයි. කියන්නටත් ලැජ්ජා වුණත් ඒ විරෝධය ආවේ පාඨකයන්ගෙන්මයි. “ අපි නිවුස් එක බලන්න ඔයාලගේ පත්තරේ ගන්න ඕනේ. ඒත් පිංතූර බලන්න සල්ලි දීලා තව පත්තරයක් ගන්න ඕනේ  ” අපිට ලැබුණු බොහොමයක් දුරකථන ඇමතුම්වල කෙටි සාරාංශය වුණේ එකයි. මීඩියා කියන්නේ ව්‍යාපාරයක් නිසා පුවත්පතේ අලෙවිය රැක ගැනීම වෙනුවෙන් ඒ අදහස ආරම්භයේ දීම මරා දමන්නට සිද්ධ වුණා. නොසෑහෙන්න මළ මිනී දැක ඇතත්, මහා සාගරය තරම් ලේ ගංගා දැක තිබුණත් තව තවත් ඒ අශ්ලීල දර්ශන දකින්නට අපේ ජනතාව තුළ තියෙන නොතිත් ආශාව කෙළවරක් වෙලා නැහැ නේද කියන කාරණය ලංකාවේ ඕනෑම පුවත්පතක්, ඕනෑම විද්යුත් මාධ්‍යයක් දකින හැම මොහොතකම තහවුරු වෙනවා. පහුගිය දවස්වල ලංකාවේ සිදුවූ නාය යාමක දී පවා අනතුරින් මිය ගිය ගැබිණි මවකගේ සිරුරක් අපේ මාධ්‍ය තලු මරමින් පුන පුනා පෙන්නුවේ පිළිකුල් රසය ඉස්මතු කරවමින්. ජාතක අනතුරක දී අපේ ජනතාව ජාති භේද නොතකා එකිනෙකාට උදව් කරන්නට එකතු වන බව නිතරම කියැවෙන කාරණාවක්. ගංවතුරකදී, නාය යාමක දී විපතට පත් වූවවන්ට උදව් පදව් කරන්නට එකමුතු වන පිරිස ෆේස්බුක් වගේ මාධ්‍ය මගින් නිරන්තරයෙන් දකින්නටත් ලැබෙනවා. ඒ වගේ එකමුතුවක් ඇති කරවන්නට එහෙමත් නැතිනම් තවත් කෙනෙකුගේ විපතට පිහිට වන්නට ඉදිරිපත් වන මනසක් නිර්මාණය කරවන්නට මේ විදියේ අශ්ලීල මීඩියා භාවිතයක් අත්‍යවශ්‍ය වන තරමටම අපේ මනස අසංවේදී වි ඇතිය යන සාධකය අපි ඇත්තටම කතා කරන්නට මැලි වන එහෙමත් නැතිනම් අපි නොසිතන කාරණාවක්.

AUS_GCB_tsunami

මළ සිරුරුක් නොපෙන්වා ව්‍යසනයක භයංකාරත්වය, ලේ නොපෙන්වා අනතුරක බියකරුබව පෙන්වන්නේ කොහොමද කියන කාරණය අපේ මීඩියා වෙනමම ඉගෙන ගත යුතු දෙයක්. අඩුම තරමින් ශිෂ්ට සම්පන්න ලෝකයේ රූපවාහිනි ප්‍රවෘත්ති, පත්තර මුල් පිටු බලනවා එන අපේ මීඩියා ඔස්තාර්ලාට ඒකත් හොද අත්පොතක් වේවි. ශිෂ්ට ලෝකය තුළ මළ මිනී, ලේ වැකුණු සිරුරු නොපෙන්වීමට පදනම් වුණු කාරණා කිහිපයක්ම තියෙනවා. මුල්ම කාරණාව මිය ගිය තැනැත්තාට දක්වන ගෞරවය. ජීවත් වුණත්, මිය ගියත් මිනිසෙකු කෙරෙහි තිබිය යුතු මානුෂීය ගෞරවය සුළු කොට තැකිය යුතු නැහැ. දෙවැනි කාරණාව ඒ පුද්ගලයාගේ සමීප ඥාතීන් සහ හිතුවතුන් කෙරෙහි තිබිය යුතු ගෞරවය. කිසියම් කරුණක් මීඩියා මගින් ප්‍රසිද්ධියට පත් කළ පසු එය මුළුනින්ම බලපාන්නේ එම තැනැත්තාගේ සමීපතම පවුලේ සාමාජිකයන්ට බව අපේ ජනමාධ්‍ය කිසිසේත්ම නොසිතන කාරණාවක්. (ඉහතින් සදහන් කළ නායයාමෙන් මිය ගිය ගැබිණි මවගේ සැමියාට, දෙමව්පියන්ට, සහෝදර සහෝදරයින්ට පමණක් නෙමෙයි ඇයට තවත් දරුවන් ඇති නම් ඒ අයට මේ ඡායාරූපය තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම අමතක නොවන අප්‍රසන්න සහ සිත් කම්පිත කරවන මතකයක් වන බව අපේ මීඩියා ඔස්තාර්ලාට නම් තමන්ගේ ජීවිත කාලය පුරාවටම සිතෙන එකක් නැහැ.) ශිෂ්ට ලෝකයේ මීඩියා මගින් මළ මිනී නොපෙන්වන ඊලග කාරණාව නම් ඒ තුළින් සමාජයට ඇතිවන බලපෑමයි. කිසියම් කරුණක් සමාජය තුළ කම්පනයක් ඇති කරන්නට හැකියාව ලැබෙන්නේ ඒ කාරණාව කොයි තරම් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට පුළුවන් ද කියන කාරණාව මත මිසක් පෙන්වන මළ මිනී සංඛ්‍යාව මත නෙමෙයි. අපේ මාධ්‍ය වලට වටහා ගන්නටම අපහසු කාරණාව නම් ඒකයි. ඒත් නිර්මාණාත්මක චින්තනය කියන එක අනුරාධපුර යුගයෙන් පටන් ගෙන මහනුවර යුගය පසු කළාට පස්සේ පිරිහෙන්නට පටන් අරන් දැන් නැත්තටම නැති වෙලා තියෙන නිසා ඒ කාරණාව වටහා ගන්නට නම් ඒ තරම් පහසු වෙන එකක් නැහැ.

Picture 068

සුනාමි ව්‍යසනය සමයේ දී සංචාරයකට පැමිණි සංචාරක යුවළකගේ මේ ඡායාරූපය ඩෙන්මාර්ක් පුවත්පතක පළ වූයේ කිසියම් උපහාසාත්මක අරුතක් (සංචාරකය යුවළ සම්බන්ධයෙන්) මතු කරවීමේ අරමුණිනි.

 

මා ජීවත් වෙන කැනඩාව මාධ්‍ය සදාචාරය ඉහළින්ම සුරකින රටක්. ශිෂ්ට මාධ්‍ය සදාචාරයක් පවතින සෙසු රටවල මෙන්ම කැනඩාවේත් කිසිම විදියකින් තමන්ගේ පුද්ගලික ඡායාරූපයක් තමන්ගේ අවසරයකින් තොරව කිසිම විදියකින් ප්‍රචාරය කරන්නේ නැහැ. පාසලකට දරුවකු ඇතුළත් කිරීමේ දී පවා දරුවාගේ පාසල් ක්‍රියාකාරකමක හෝ බාහිර ක්‍රියාකාරකමක ඡායාරූපයක් පාසලේ වෙබ් අඩවියේ හෝ වෙනත් ස්ථානයක පළ කිරීමට දෙමව්පියන්ගේ කැමැත්ත අකමැත්ත ලිඛිතව ලබා ගන්නවා. තමන්ගේ දරුවාගේ ඡායාරූපයක් කිසිම විදියකින් කිසිම තැනක පළ වෙනවාට දෙමව්පියන් අකැමැති නම් එම දරුවාගේ රුව පාසලේ වෙබ් අඩවියේවත් කිසිම විදියකින් පළ කෙරෙන්නේ නැහැ. පාසලෙන් රැගෙන යන විනෝද සවාරියක දී පවා විනෝද සවාරියට පෙර එවැනි අනුමැතියක කැමැත්ත අකමැත්ත ඉල්ලා ගෙදරට ලිපියක් එනවා. මහජන අවධානය යොමු වූ බරපතල නඩු කටයුත්තක දී පවා කිසිම විදියකින් අධිකරණ භූමිය තුළ එම තැනැත්තන්ගේ සජීවී රූ විකාශය කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට විකාශය කෙරෙන්නේ අතින් ඇදුණු රූ සටහනක් පමණයි.

සුනාමි ව්‍යසනය අපේ පුවත්පත්වලින් මළ මිනී පුරවමින් පෙන්වද්දී එකම මළ සිරුරක් හෝ ලේ බිදුවක් හෝ නොපන්වා සුනාමි ව්‍යසනයේ බියකරුබව අපේ අසල්වැසි ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතින් සහ බටහිර පුවත්පතකින් පෙන්වූ අපූරුව

මෙතැන දී පෙන්වා දිය යුතු උපහාසාත්මකම කරුණක් තියෙනවා. ලංකාවේ අපේ මාධ්‍ය  කිසිම බියක් සැකක් නොමැතිව ජීවත් වන්නන් ගැන පවා නොසිතා මළ මිනී පෙන්නුවත් තමන්ගේ සාක්කුවට බලපාන කරුණු ගැන දක්වන්නේ සුනඛයා වල්ගය කොතැන හෝ ගහ ගන්නට ගන්නා උත්සාහය වගේ දෙයක්. කිසිම හිරිකතයකින් තොරව “ නිරභීතව, එඩිතරව ” මළ මිනීවලින් තමන්ගේ පත්තරවල මුල් පිටු එහෙමත් නැතිනම් තමන්ගේ ප්‍රවෘත්ති පුරවා ගන්නා අපේ මීඩියා තමන් කත් අදින දේශාපාලකයන් ගැන එහෙමත් නැතිනම් තමන්ට දැන්වීම් දෙන මහා පරිමාණ මුදලාලිලා ගැන අහිතකර පුවතක් කිසිසේත්ම පළ කරන්නේ නැහැ. පළ කරන්නට සිදුවන අවස්ථාවක දී පවා එය පළ කරන්නේ බොහෝ වෙලාවට නම් ගම් හෙළි නොකර. පුද්ගලිකත්වය ඉහළින්ම සුරකින කැනඩාව වැනි රටවල මාධ්‍ය එවැනි කරුණු ගැන නම් කිසිසේත්ම අනුකම්පාවක් දක්වන්නේ නැහැ. කිසියම් පාරිභෝගික නිෂ්පාදනයක් මිනිස් පරිභෝජනය නුසුදුසු වෙච්ච අවස්ථාවක එහෙමත් නැතිනම් කිසියම් සේවාවකින් මහජනාතාවට හිරිහැර සිදුවෙච්ච අවස්ථාවක එය රාජ්‍ය අංශයෙන් සිදුවුණත්, පුද්ගලික අංශයෙන් සිදුවුණත් ඒ සියලු නම් ගම් නිෂ්පාදනවල ඡායාරූප පවා සහිතව පළ කරන්නේ සිය වගකීම මූලිකවම ඇත්තේ මහජනතාව වෙනුවෙන් බව නිවැරුදිවම වටහා ගනිමිනුයි.

ලංකාවේ මාධ්‍යවල මේ තරම් අසෝභන ජුගුප්සාජනක සහ අශ්ලීල දේ ප්‍රචාරය වුණත් ඒ ගැන සැලකිය යුතු මහජන විරෝධයක්වත් පොදු ජන කතිකාවතක්වත් ඇති නොවන්නේ අපේ සමාජය එවැනි කරුණු ගැන ඒ තරමටම අසංවේදී වෙලා තියෙන හින්දයි. ලංකාවේ මීඩියා මේ තරම්ම මළ මිනී විකුණනන්නේ එවැනි ඉල්ලුමක් සමාජයෙන් ලැබෙන නිසා බවත් අමතක කරන්න බැහැ. එත් සාපේක්ෂව වඩා දියුණු මාධ්‍ය සදාචාරයක් ඇති රටවල මාධ්‍ය මගින් ප්‍රචාරය වන “ නරක ” යැයි සම්මත සුළු කරුණු ගැන පවා ඔවුන් බෙහෙවින්ම සැලකිලිමත් වෙනවා විතරක් නෙමෙයි ඒ ගැන නිරන්තර පර්යේෂණ පවා සිදු කෙරෙනවා. නරක ප්‍රවෘත්ති පුවත්පත්වල ප්‍රධාන පුවත් මවන්නේ ඇයි යන්න කෙරෙහි පවතින මානසිකත්වය ගැන කැනඩාවේ McGill සරසවිය මෑතක දී පර්යේෂණයක් සිදු කළා. මේ පර්යේෂණයේ ප්‍රතිළුලවල ඉහළ නිවැරදිතාවයක් ලබා ගැනීම සදහා ඔවුන් තමන්ගේ පර්යේෂණයේ අරමුණ ඊට සහාභාගි වන්නන්ට හෙළි කළේ නැහැ. ඒ වෙනුවට පර්යේෂකයන් ඊට සහභාගි වූ පිරිසට තමන්ගේ විද්‍යාගාරය තුළට පැමිණෙන්නට කීවේ “ ඇස ගැන කරන පරීක්ෂණ කටයුත්තකට ” සහභාගි වෙන්නට කියලයි. විද්‍යාගාරය තුළ දී මේ අයට විවිධාකාර වූ ප්‍රවෘත්ති නරඹන්නට ඉඩකඩ ලැබුණා. ඔවුන් ඒවා නැරඹූ සමස්ත කාලය තුළ දීත්, නැරඹීමෙන් පසු සිදු කළ ප්‍රශ්නාවලියෙනුත් යන දෙකෙන්ම තහවුරු වුණේ ධනාත්මක අර්ථය දනවන දේ වලට වඩා නිශේධනාත්මක අරුත දනවන දේ කෙරෙහි ඔවුන් වැඩි නැඹුරුවක් තිබූ බවයි. තමන්ට වඩාත් හුරුපුරුදු “Baby”, “smile” සහ “ fun” ආදී වූ වචන වෙනුවට “bomb”, “cancer”  සහ “war” ආදී වචන කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානයක් සහ වඩා ඉක්මන් ප්‍රතිචාරයක් ලැබුණු බව මෙහි දී තහවුරු වුණා. ඒ වගේම මේ සමීක්ෂණයේ දී තයවුරු වූ තවත් කාර‍ණාවක් වු‍ණේ මේ වගේ කාරණාවලදී සෙසු මිනිසුන්ට වඩා අපි ඉදිරියෙන් සිටින්නේය යන මතය අප බොහෝ දෙනෙක් විශ්වාස කරන බවයි. නිශේධනාත්මක එහෙමත් නැතිනම් සුබදායී නොවන ප්‍රවෘත්ති වලට අපේ කැමැත්තක් නැති බව අපි නිතර නිතර කිව්වත් ඇත්තෙන්ම අපේ හිත යට කැමැත්ත ඇත්තේ ඒවාට බව මේ පරීක්ෂණයෙන් එළිදරවු කෙරුණු වැදගත්ම කාරණාවක්. සමස්තයක් ලෙසින් ගත් විට මේක මානව පරිණාමයේ දී මිනිසා තුළ තවමත් ඉතිරි වී ඇති “ තිරිසන් ලක්ෂණයක් ” විදියට හදුන්වන්න පුළුවන්. ලංකාවේ අපි සම්බන්ධයෙන් ගත් විට මළ මිනී දකින්නට, ලේ දකින්නට අකැමති බව අපි මතුපිටින් කොයි තරම් ප්‍රකාශ කරන්නට හැදුවත් අපි බොහෝ දෙනෙක්ගේ යටි හිතේ කොණක ඒ ආසාව ප්‍රබලව මතුවෙලා තියෙන බව අමතක කරන්නට බැහැ.

මේ කාරණාවේ දී ඔබ සිටින්නේ කොතැන ද කියන එක ගැන වටහා ගන්නට ඔබටම කරන්න පුළුවන් ස්වයං පරීක්ෂණයක් තියෙනවා. මළ මිනි, ලේ විතරක් නෙමෙයි මෙලෝ රහක් නැති කාලය කා දමන දේශපාලන සංවාද, ගොසිප් වෙබ් අඩවිවල, ෆේස්බුක් වැනි සමාජ ජාලයන්හි පළවන වීඩියෝ සහ පිළිකුල් රසය මතු කරවන ඕපාදූප මේ ආදී වූ හැම දෙයක් කෙරෙහිම ඔබේ අවධානය යොමු වෙන්නේ කොයි ආකාරයෙන් ද කියන එක ඔබටම අත්හදා බලන්නට පුළුවන්. ඔබ ඔබටම අවංක වෙන්නේ ඔබ වඩාත් අවධානයෙන් කියවන්නේ, නරඹන්නේ ඔබේ ඇස ගැටෙන කවර පුවතක් එහෙමත් නැතිනම් කවර ආකාරයේ වීඩියෝවක් කෙරෙහි ද යන්න මගින් ඔබට ඔබ ගැනම තක්සේරුවක් කරගන්න පුළුවන්. මේ කාරණය සංසන්දනාත්මකව බලනවා නම් වඩාත් පැහැදිලි සිතුවමක් ඔබට මතු කරගන්න පුළුවන් වේවි. උදාහරණයක් විදියට ඔබ සතුව ඇති සීමිත කාලය තුළ දී ඔබ නරඹන්නට වඩාත් නැඹුරුවක් දක්වන්නේ එකිනෙකාට මඩ ගසා ගන්නා දේශපාලන සංවාදයක් ද? නැතිනම් සාහිත කලාව හෝ පරිසරය සම්බන්ධයෙන් වෙන් වූ වැඩසටහනක් ද ? පුවත්පතක දී ඔබේ නෙත නතර වන්නේ දේශපාලන ඕපාදූපයක් හෝ නළු නිළියන්ගේ අනියම් පෙබ් සබදතාවක් ගැන වූ පුවතක් ළග ද? නැතිනම් ඔබේ දැනුමට යමක් එක් කරගත හැකි පුවතක් ළග ද?  හාන්සි පුටුවක් මත දී ඔබේ විවේකය ගෙවා දමන්නට ඔබ තෝරා ගන්නේ කවරාකාරයේ වූ රූපවාහිනී වැඩසටහනක් හෝ ටෙලි නාට්යයක් ද, නැතහොත් පොතක් පතක් කියැවීම හෝ වෙනත් කවර වූ විනෝදාත්මක කාර්යයක් ද? ඒ අනුව ඔබත් තවත් එක් අතිශය සාමාන්‍ය වූ මිනිසෙක් ද නැතිනම් ඊට තරමක් ඔබ්බට ගිය සාමාන්‍ය සමාජයෙන් ඉදිරියට ගිය මිනිසෙකු ද යන්න ඔබටම වටහා ගන්නට පුළුවන්.

බුදුන් වහන්සේ අවුරුදු දෙදහස් පන්සියයක් තරම් ඈතක දී කි කරුණ මෙතැන දී මුළුමනින්ම අදාළයි. ඔබ කවුරුන්ද යන්න තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි.

වෙසෙත් උතුමෝ අහුරු ගණනින්….!

උපත ලබන්නට සුදුසුම රට කුමක් ද...?

උපත ලබන්නට සුදුසුම රට කුමක් ද…?

හොඳින් හිරු පායා තිබුණ ද සීත සුළං හමා ගිය සීතල උදය වරුවකි ඒ.

කාර්ය බහුල වැන්කුවර් නගරය සමීපයේ වූව ද තරමක නිසංසල වටපිටාවක පිහිටි අවහන්හලකට ඉතාලි ජාතික මගේ මිතුරෙකුත් මාත් ගොඩ වූයේ දිවා ආහාරය පිණිසය.දිවා ආහාර සදහා තරමක් උදෑසන වැඩි වූ බැවින්දෝ ඒ වනවිට අවන්හලේ රැඳී සිටියේ කිහිප දෙනෙකු පමණි.

ආහාර පිළියෙළ කිරීම සඳහා තරමක් කාලය ගත වන බව අත්දැකීමෙන්ම දැන සිටි බැවින් අසුන් ගන්නට පෙරදීම අවන්හලේ කවුන්ටරයට යාබදව තිබූ රාක්කයෙන් සගරාවක් ගත්තේ පුරුද්දට මෙනි.

මිතුරා සමග අල්ලාප සල්ලාපයෙහි යෙදෙන අතරම සගරාවේ කවරය වෙත නෙත් යොමු කළ මා දුටුවේ සිත් ඇද ගන්නා සුලු මාතෘකාවකි. වසර 2013 දී උපත ලබන්නට සුදුසුම රට කුමක් ද…? යන්න සගරාවේ කවරයේ කතාවට පාදක වී තිබූ මාතෘකාව වූයේය. ස්වාධීන ආර්ථික සමීක්ෂණ සංවිධානයක් විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයක් ඔස්සේ සකස් කර තිබූ වාර්තාවක් ඇසුරින් ගත් තොරතුරු සමුදායක් සගරාවේ සටහන්ව තිබූ බැවින් මිතුරාත් මාත් දෙදෙනාටම අපේ ආහාර සකස් වනතෙක් එය අපූරු මාතෘකාවක් බවට පත් වූයේ නිරායාසයෙන්ය. උසස් ජීවන තත්ත්වය , උපතේදී අපේක්ෂිත ආයු කාලය , සමානාත්මතාව , දික්කසාද වීම් ආදී වූ පුද්ගල සාධක මෙන්ම වර්ෂාපතනය , පරිසරයේ ගුණාත්මකභාවය ආදී වූ කාලගුණ දත්තයන් පවා අවධානයට යොමු කර සකස් කර තිබූ මෙම සමීක්ෂණයට අනුව 2013 වසරේ දී උපදින්නට සුදුසුම රට ස්විට්සර්ලන්තයයි. උපදින්නට සුදුසුම සෙසු රටවල් දහය අතර ඇත්තේ ඕස්ට්රේලියාව , නෝර්වේ , ස්වීඩන් , ඩෙන්මාර්ක් , සිංගප්පූරුව , නවසීලන්තය , නෙදර්ලන්තය , කැනඩාව සහ හොං කොං දේශයයි. ලොව බලවත්ම රට බවට නිතරගයෙන් පත්ව තිබෙන ඇමරිකාව මෙම දර්ශකයට අනුව 16 වන ස්ථානයට පත්ව ඇති අතර ජර්මනිය ද සම තත්ත්වය ලබමින් එම ස්ථානයට පත්ව තිබුණේය. 2012 වසරේ දී හොඳින්ම දරුවකු හදා වඩා ගන්නට හැකියාව තිබූ රට ලෙස සටහන්ව තිබුණේ කැනඩාවයි.

මගේ මිතුරා ඉතාලිය ඇත්තේ කවර ස්ථානයකදැයි බලන්නට උත්සුක වෙද්දී මගේ දෙනෙත් ද ඉක්මණින්ම දිව ගියේ ලංකාවේ තත්ත්වය දකිනු රිසියෙනි. දර්ශකයට අනුව ඉතාලිය තිබුණේ 21 වැනි ස්ථානයේය. දරුවකු බිහිවීමට නුසුදුසුම රට ලෙස දර්ශකයේ අවසන් ස්ථානය වූ 80 වැනි ස්ථානය ලබා ගනිමින් නයිජීරියාව නම් කොට තිබූ අතර ලංකාවත් , පිලිපීනයත් සම තත්ත්වයේ සිටිමින් 63 වන ස්ථානයේ ස්ථානගත වී තිබුණේය.

2012 වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් වූ අවසාන සඟරාව බැවින් සගරාවේ සෙසු ලිපි ද වෙන් වී තිබුණේ 2012 වසරේ ලෝකය දෙස ආපසු හැරී බැලීම සදහාය. මේ නිසාම සගරාවේ තිබූ සෙසු ලිපි ද කුතුහලය දනවන ආකර්ශනීය තේමාවන් ඔස්සේ සකස් වී තිබුණේය.

ඒ අනුව 2012 වසරේ ලොව යහපත්ම රටවල් එසේත් නැතිනම් අඩුම දූෂණයන්ගෙන් යුත් රටවල් දහය සම්බන්ධයෙන් ද ලියැවුණු අපූරු ලිපියක් එහි වූයේය. ඒ අනුව දූෂණයෙන් තොරවූ රටවල් අතර මුල්ම ස්ථානය ඩෙන්මාර්කයට හිමි වී තිබූ අතර ඊට මූලිකව බලපා තිබුණේ රටේ ජාතික ආදායම ජනතාව වෙනුවෙන් යහපත්ව වැය කරන ලොව විශාලතම සමෘද්ධිමත් සුභ සාධක රට ලෙස එය හදුන්වාදෙමිනි.

දෙවැනි ස්ථානය හිමි තිබූ ෆින්ලන්තය ගැන සටහන් කර තිබුණේ දුෂණ චෝදනාවන් ඉතාම කලාතුරකින් මතුවන රටක් ලෙසය. දුෂණයන්ට එරෙහිව සාර්ථකව වැට බැඳ ඇති රටවල් අතර මුල් තැනක් ගනිමින් ඒ සදහා විනිවිද පෙනෙන ඉතා සාර්ථක ක්රමවේදයක් සකස් කළ රටක් ලෙස ෆින්ලන්තය හඳුන්වා තිබුණි.

පිළිවෙළින් තුන සහ හතර වැනි ස්ථානයන් හිමිකරගත් නවසීලන්තය සහ ස්වීඩනය යන රටවල පාලකයන් දූෂණයට එරෙහිව වැට බැද ඇති අකාරය ද සගරාවේ අපූරුවට විස්තර කර තිබුණේය. පස්වැනි ස්ථානය ගත් සිංගප්පූරුව දීර්ඝ කාලයක් පුරා එක දිගට ලොව අඩුම දූෂණයන් අසන්නට ලැබෙන රටක් ලෙස ස්ථානගත වන්නට හේතු වී ඇත්තේ එරටෙහි ඇති කතා කිරීමේ නිදහස , යහපත් අධිකරණ පාලනය සහ නීතිය අකුරටම ක්රියාවේ යෙදවීමයි.

හය වැනි ස්ථානය ලබා ගත් ස්විට්සර්ලන්තය සටහන්ව තිබුණේ දූෂණයෙන් තොර රටක් ලෙසින් පමණක් නොව සෙසු සංවර්ධිත රටවල් අතර ඉතාම ඉහළ පරිසර සංරක්ෂණයක් පවත්වාගෙන යන රටක් ලෙස ද නම් කරමිනි.හත්වැනි සහ අටවැනි ස්ථානයන් හිමිකරගත් ඕස්ට්රේලියාව සහ නෝර්වේ එම ස්ථානයන්ට පත්ව ඇත්තේ එම රටවල දක්නට ලැබෙන විනිවිද පෙනෙන සුලු ඉහළ ගුණාත්මක බවින් යුත් දේශපාලන සංස්කෘතිය මත පිහිටාය.

නව වන ස්ථානයේ තිබූ කැනඩාව දූෂණයන්ගෙන් අවම වූ රටක් බවට පත්ව ඇත්තේ ලොව වෙන කිසිදු රටකට අසමාන වූ මානුෂික නිදහස සහ මූලික අයිතිවාසිකම් ඉහළින්ම සුරැකීමට කැනඩා රජය සමත් වී තිබූ නිසාය.

දහවන ස්ථානයට පත් ව තිබූ නෙදර්ලන්තය එම දීර්ඝ කාලයක් පුරා පරම්පරානුගත සංස්කෘතික නිදහසකට උරුමකම් කීම දූෂණයන්ගන් අවම වීමට බලපා ඇති බව සගරාවේ සටහන්ව තිබුණි.

මෙම ලිපියේම කොටසක ඉතාලියේ හිටපු අගමැතිවවරයා සිදු කරනු ලැබූ අදායම් බදු වංචාවක් නිසා ඔහුව වසර හතරකට සිර ගෙට යැවූ බවට වූ විශේෂ සටහනක් එම හිටපු අගමැතිවරයාගේ වර්ණ ඡායාරූපයක් ද සමග පළ කර තිබුණේ දූෂණයන්ට වැට බැදීම සදහා ඉතාලි රජය විසින් මෑතක දී සම්මත කරගත් නීතියක යහපත් අංග පිළිබඳව ද විස්තරාත්මක සටහනක් තබමිනි.

දූෂණය සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය කෙසේදැයි මගේ මිතුරා විමසද්දී මා ඒ කතාවෙන් ලිස්සා ගියේ අවහන්හලේ සේවිකාව විසින් ගෙන එනු ලැබූ සලාදයක ගුණා ගුණ කියමිනි. මගේම වාසනාවට ලොව දූෂණයෙන් අඩුම රටවල් අතර වූ ඒ ලැයිස්තුවේ ලංකාවට හිමිවන්නේ කවර ස්ථානය ද යන්න නිශ්චය කරගත හැකි කිසිදු සළකුණක් සගරාවේ ලේඛකයන් අතින් ලියැවී තිබුණේ නැත.එය වාසනාවක් ලෙසින් මට සිතුණේ දූෂණ සම්බන්ධයෙන් ගත් විට හොද කැරැට්ටුවක් අපට ඇතැයි සිහිනෙකිනුදු සිතියි නොහැකි වු බැවිනි.

මා ජීවත් වන කැනඩාව පමණක් නොව ඇමරිකාව , ස්වීඩනය , ඩෙන්මාර්ක් , ඕස්ට්රේලියාව හෝ වෙනත් ඕනෑම සමෘද්ධිමත් රටක් ගත් විට මෙම රටවල දැකිය හැකි දියුණුවත් , යහපත් රාජ්ය පාලනය මෙන්ම දූෂණය හා වංචාව අවම වීමටත් බලපා ඇති මූලිකම සහ වැදගත්ම සාධකය වී ඇත්තේ මෙම සියලු රටවලට පොදු වූ ධර්මතාවන් දෙකක් නිසාය. ඒ නීතියේ සමානාත්මතාවය සහ දේශපාලනය පාදඩකරණයට ලක් වී නොතිබීම යන හේතූන් දෙකයි.මේ රටවල නීතියේ සමානාත්මතාව කෙතරම් ඉහළ ද යත් මේ මේ සියලු රටවල අගමැතිවරයා හෝ ජනාධිපතිවරයාටත් , රටේ ජීවත්වන කොයි කවර අන්දමේ පුරවැසියාටත් නීතිය ඉදිරියේ හිමිවන්නේ සමාන තත්ත්වයකි.

ලොව අන් කවර දේසයකින් හෝ සොයා ගත නොහැකි අරුම පුදුම මැජක් තනතුරක් වන ලංකාවේ විධායක ජනාධිපතිවරයාට හිමිවන බලතල වලින් දහයෙන් පංගුවක බලයක්වත් ලොව බලවත්ම රට වන ඇමරිකාවේ ජනාධිපතිවරයාටවත් කිසිදා කිසිදිනක හිමි වී නැත.මිහිපිට සිටි කිසිදු ඇමරිකානු ජනාධිපතිවරයකුට හිමි වූයේ ද නැත. මේ නිසාම නීතිය අතට ගන්නට මේ කිසිදු රටක ව්ය වස්ථාදායකයට හැකියාවක් නැත. මේ සියලු රටවල ආණ්ඩු ක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීම බරපතල අපරාධයක් වන්නේය. ඒත් අපේ රටේ විධායකය එසේත් නැතිනම් විධායක බලතල සහිත ජනාධිපතිවරයා කෙසේ හැසිරුණු ද එය පාලනය කිරීමේ බලයක් ව්යස්ථාදායකය හොබවන පාර්ලිමේන්තුවටවත් , අධිකරණයටවත් නැත. එය ලෝකයේ දියුණු යැයි සම්මත එසේත් නැතිනම් ශිෂ්ට යැයි සම්මත කිසිදු රටක දක්නට නැති විකාර සහගත රාජ්‍ය පාලනයකි. මේ නිසාම විධායක ජනාධිපති ධුරයට පත්වන කවර යහපත් පාලකයකු වුව ද දරුණු ඒකාධිපතියකු බවට පත් කිරීමේ හැකියාව අපේ ආණ්ඩු ක්රම ව්යවස්ථාවට ඇති බව අපි අත්දැකීමෙන්ම දනිමු. දියුණු යැයි සම්මත සියලු රටවල ආණ්ඩු ක්රම ව්යවස්ථාව එම රටවල සිවිල් ආගම බවට පත්ව ඇත්තේය. එහෙත් අපේ රටේ ආණ්ඩු ක්රිම ව්යවස්ථාව සම්බන්ධයෙන් එසේ සිතීම පවා ඉල ඇදෙන මට්ටමේ විහිලුවක් වන්නේය. මේ නිසාම අපේ දේශපාලකයන්ට ජනතා ආශිර්වාදය ඇතිවම ආණ්ඩු ක්රම ව්යවස්ථාව යන නාමය තොල් මතුරමින් ජනතාවට වින කටින නාඩගම් පාන්නට ඉඩ කඩ ලැබී තිබේ.

ලොව දියුණු යැයි සම්මත සියලු රටවල අධිකරණ නිදහස ද වචනයේ පරිසමාප්තියෙන්ම උත්තරීතරය. ඒත් අද වන විට ලං‍කාවේ පාලක රජය අධිකරණයේ තීන්දු පිළි නොගන්නා බව නිළ වශයෙන්ම ප්රසකාශ කර ඇති බැවින් මිනිසුන් පිළිසරණ සොයා අධිකරණය ඉදිරියට යනු වෙනුවට අද සිදුව ඇත්තේ තම නිදහස සොයා අධිකරණයට මිනිසුන් ඉදිරියට යාමටය. මුලු ලොවම තවත් නව වසරකට පා තබන මේ මොහොතේ ලංකාවේ අප ලොව දූෂිතම රාජ්ය පාලනයන් ගුරු කොට ගැනීම කවර නම් වූ අවාසනාවක් ද…?

එදා සිටම අදත් හෙටත් අපේ ජනතාව රැවටිය හැකි අපූරු වචන සමුදායක් අපේ පාලකයන්ටත් , අපේ මාධ්යන්ටත් තිබේ. ඒ “ පාර්ලීමේන්තුවේ උත්තරීතරභාවය ” සහ “ ජනතා පරමාධිපත්යය ” නම් වූ හිස් වචන දෙකයි. ඉතාම කීකරු ජනතාවක් වූ ලාංකීය පුරවැසියා කිසිදා කිසිදිනක උත්තරීතරවන්නේ කුමක්දැයි එහෙමත් නැතිනම් තමන්ට හිමිව ඇති මේ පරමාධිපත්යය කියන්නේ කුමක්දැයි පෙරළා ප්රශ්න නගන්නේ නැත. ඒ නිසාම මේ දේශපාලක “ උත්තරීතර ” මිනිසුන් විසින් ජනතා පරමාධිපත්යය ලබමින්ම රට “ උත්තරීතර ආගාධයක ” ට දක්කමින් තිබේ.

දිනපතා පුවත්පතක් බැලූ විට සියලු හොර මැරකම් දූෂණයන්ට මුල් වී ඇත්තේ ජනතා පරමාධිපත්යය ලැබූ මේ උත්තරීතර මිනිසුන්ය. කිරි සුවද නොගිය දැරියන් දූෂණය කරනුයේ නිකම්ම නිකම් පළාත් සභා මන්තිරිවරුන් නොව පළාත් සභා සභාපතිවරුන්ය. උත්තරිතර දේශපාලකයකුගේ වාහන අනතුරක් සිදුවූ විට එම වාහන තුළින් මතු වන්නේ කිලෝ ගණනින් ගංජා සහ නීති විරෝධී ටී 56 ගිනි අවිය. තවත් උත්තරීතර ඇමති ආචාරියකු සිය උත්තරීතර පුතණ්ඩියා සමග එක්ව මුලු ලංකාවේම දරුවන්ට මත් කුඩු සහ එක්ස්ටසි නම් වූ මත් පෙති බෙදා දෙන අතර මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජාවන්ට එරෙහිව බජාර් සටන් පාඨ නගන්නේ ජාතියේ දරුවන් රැක ගැනීමට වඩා එළුවන් රැක ගැනීම රජයේ ප්රතිපත්තිය නිසා විය යුතුය. දහම් පාසල් විභාගයක්වත් හරිහැටි පවත්වා ගත නොහැකි වූ ලොව අසාර්ථකම අධ්යාපන ඇමතිවරුන් දෙබානක් ඉල්ලා අස්නොවී තව දුරටත් සුදු රෙද්ද හඳින්නට තරම් සදාචාර සම්පන්න වී ඇත්තේ මේ උත්තරීතරභාවය නිසා විය යුතුය. ඒ නිසාම ඉල්ලා අස්වනු වෙනුවට පිට වූ ප්රශ්න පත්තර සදහා නොමිළයේ ලකුණු දීමේ පිළිවෙළක් ලොවට හඳුන්වා දුන් මෙවැනි උත්තරීතර දේශපාලුවන් සිටින රටක් ඇතුළත් කළ හැකි දර්ශකයක් තවම හඳුන්වා දී නොතිබීම සැබැවින්ම වාසනාවකි. රටේ දිග පළලවත් හරිහැටි කියා ගන්නට නොදොන්නා තොදොල් නලු නිළියන් රටේ ජනතාව බරපතල තීන්දු තීරණ ගන්නේ ඔවුන්ගේ උත්තරීතර භාවය නිසා නම් මෙගා ටෙලි කෝලම්වල රගපාන සියලුම නලු නිළියන් උත්තරීතර විය යුතුය. සියලු මත් කුඩු ජාවාරම්කරුවන් , හරක් හොරුන් , මැරයන් පවා උත්තරීතර විය යුතුය. මන්ද යත් ලංකාවේ වර්තමාන දේශපාලය යනු මේ සකල විධ නාඩගම්කරුවන්ගේ එකමුතුවක් බැවිනි. රටේ හතරවැනි පුරවැසියා වන අග විනිසුරුවරිය සිය තනතුරට සුදුසුදැයි සොයා බලා නීතිය විග්රහ කරන්නට “අට සමත් උගතුන් ” සහ දත් දොස්තරවරුන් සහභාගි වන තරමටම මේ උත්තරීතරභාවය දෝර ගලා යමින් තිබේ.

යුද්ධය නිමා වූයේ යැයි පම්පෝරි ගැසුව ද ජනතාව මත මිරිකී ඇති ජීවන බර යුද්ධය පැවැති දශක තුන තුළ දී ම නොතිබූ තරම්ම දරුණුය. පාන් ගෙඩියට බදු පටවන අතරේ සුඛෝපභෝගී මෝටර් රථවල බදු ඉවත්කරන ලොව එකම රට ද ලංකාවට බවට සැකයක් නැත. අනෙත් අතට යුද්ධය නිමා වී වසර තුනක්ම ගත වුව ද අද වන විට ද 11,000 කට අධික පිරිසක් මේ වනවිටත් යා යුතු මගක් නොමැතිව කඳවුරුවල දුක්විඳින බව මෑතකදී නිකුත් වූ අලුත්ම අන්තර්ජාතික මානව හිමිකම් වාර්තාවේ පවා සදහන් කර තිබේ. පිටරට යවන බව කියමින් අහිංසක මිනිසුන්ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කරමින් පරණ යකඩ බඩු පවා වංචාකොට විකිණූ අධමයන් විවෘත වරෙන්තු තිබියදීත් රාජ්ය මාධ්ය ආයතනවල ඉහළම ධුරයන් හොබවන ලොව එකම රට ද ලංකාවය.

තවත් වසරක් ගෙවී යමින් අලුත් වසරක් උදා වූ මේ මොහොතේ මුලු ලොවම ඉදිරියට පා තබද්දී මේ උත්තරීතර මිනිසුන්ට පින් සිදු වන්නට මේ වනවිට අපි ගල් යුගය වෙත හැල්මේ දුවමින් සිටිමු. රට මෙවැනි අගාධයක සිරගත වූයේ හිටි හැටියේම නොවේ. එය ගෙවී ගිය දශක ගණනාව පුරාම සිදූ වූවක් බැවින් රට වැටී ඇති ආගාධයේ පීතෘත්වයේ වගකීමෙන් ගැලවෙන්නට විපක්ෂයට ද කිසිසේත්ම හැකියාවක් නැත.

දශක ගණනාවකට පෙර මහජන නියෝජිතයන් ලෙස තේරී පත් වූ පිරිස කිසියම් ආකාරයක උගත්කමින් හෙබි පිරිසක් වූහ. මේ නිසාම ඒ යුගයේ හැන්සාඩ් වාර්තා පවා ගැඹුරුය. හරවත්ය. එහෙත් අද වනවිට ලංකාවේ දේශපාලනය යනු පාදඩ පැලැන්තිය නියෝජනය කරන්නක් බවට පත් වී ඇත. සොත්ති උපාලිලා කෘත්යා ධිකාරී මණ්ඩලයේ සිටි යුගය නිමාවී ඔවුන් උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුව නියෝජනය කරන යුගයකට රට අවතීර්ණ වී ඇත. දේශපාලනයේ මේ පාදඩකරණය තුළ 2013 වසර දරුවකු උපදින්නට තබා දරුවකු පය ගසන්නටවත් සුදුසු රටක් ලෙස ලංකාව කිසියම් දර්ශකයකට ඇතුළත් කළ හැකි වේවි ද…?

මේ ආකාරයට මං මුළා වී ආගාධයක ගිලී යන රටක් ගොඩ නගන්නට හැකියාව ඉතිරිව ඇත්තේ ආයතන තුනකට පමණි. එනම් අධිකරණය , විපක්ෂය සහ ජනමාධ්ය යි. ඉහතින් සදහන් කළ ලෙස අධිකරණයට පවා අද මහජනතාවගේ සරණ පතනු මිස අන් සරණක් නැත. විපක්ෂයක් කියා යමක් රටේ නැති බැවින් ඒ ගැන සටහන් කිරීම පවා වචන අපතේ යැවීමකි. ස්වාධීන සහ නිදහස් ලෙසින් තමන්ම හඳුන්වා ගන්නා සියලුම මාධ්යයන් ලේක් හවුස් මුද්රණ යන්තරයෙන් බෙදා හරින පත්තර කඩමාලුවලට වඩා වෙනස් වන්නේ නමින් පමණි.

ඉතින් එවන් වූ රටකට තවත් අලුත් අවුරුද්දක් උදා වී තිබේ.

උදා වූ වසර සුභ නව වසරක් වන්නේ “ උත්තරීතරභාවය ”සහ “ පරමාධිපත්යය ”යන වචන දෙක මේ වසර තුළ දීත් දොහොත් මුදුනින් පිළිගන්නට අපේ පුරවැසියන් කොයි තාක් දුරකට සිත හදා ගෙන ඇති ද යන බරපතල කාරණය මත පමණක් බව අවසාන වශයෙන් සටහන් කළ යුතුව ඇත.

මෝඩයාගේ දවස කවදා ද …?

මෝඩයාගේ දවස යෙදෙන්නේ කවදා ද කියලා කියන්න හැමෝම දන්නවා.

මේ දවසට බොහොමයක් පත්තරවලත් මුල් පිටුවේ විකාර පුවතක් දෙකක් පළ කරන්නේ තමන්ගේ පාඨකයාව මෝඩයාට අන්දන්නටයි.

මෝඩයාගේ දවස ගැන ආපහු සැරයක් හිටි හැටියේම සිහිපත් වුණේ පහුගිය ඉරිදා දවසක රජයේ ප්රධානතම සිංහල සති අන්ත පුවත්පතක මුල්ම පුවත විදියට දැවැන්ත කලු අකුරින් පළ කරලා තිබුණු පුවතක් ඇස ගැටුණු හින්දයි. මේ පුවතෙන් කියවුණේ ඕනෑම පුවතක් ඇත්තක් නම් එය පළ කරන්නට පැකිළෙන්නට එපා යැයි ජනාධිපතිවරයා රජයේ මාධ්‍යයන්ට පවා දැනුම් දුන්නා කියලයි.

මේ වගේ අදහසක් ජනාධිපතිවරයා පැවසීම වෙනම කරුණක්. ඒත් ඒ අදහස විශේෂයෙන්ම සති අන්ත පත්තරයක මුල්ම පුවත විදියට පොල් ගෙඩි අකුරින් පළ වීම නම් කිහිප සැරයක්ම හිතන්න ඕන කරුණක්.

ඒකට හේතුව පොල් ගෙඩි අකුරින් පළ කරන්න සුදුසු පුවත් ඕන තරම් තියෙද්දී මේ වගේ අදහසක් මුල්ම පුවතවිදියට පළ කරන්නට මොකක් හෝ විශාල හේතුවකුත් තියෙන්නට ඕන කියලා ඇමතිවරයකුගේ චූටි මොළයකට වුණත් තේරෙන නිසයි. (මිහින්තලේ පහළ මලුවේ නායක චීවරධාරියා නොදරුවෙක් දූෂණය කිරීමේ සිද්ධිය ගැනවත් අඩුම තරමින් විශේෂාංග ලිපියක් තියා පුංචිම පුංචි නිවුස් කෑල්ලක්වත් මේ මහා ජාතික පුවත්පතේ පළ නොවුණ එක මෙතැනට අදාළ කාරණයක් නෙමෙයි)

කොහොම වුණත් කලින් කිවුව විදියට මේ පුවත පළ වුණු ඉරිදා දිනය මෝඩයාගේ දවස නොවුණත් මේ විදියේ පුවතක් එදා දවසේ මුල්ම පුවත විදියට පළ කරන්නට ඇත්තේ ලංකාවේ පුවත්පත් කියවන පාඨකයා අවුරුද්දේ දවස් 365 ම හැමදාමත් මෝඩයාගේ දවසට අදින හින්දා වෙන්න පුලුවන්.  (එහෙම කියන්නේ ඇයි කියලා මේ ලිපියෙන්ම කතා කරමු).

දෙවැනි කාරණය නම් පුවත්පතක් කියන්නේ ඒ වචනයෙන් කියැවෙන විදියටම ඇත්ත පුවත් පළ කරන මාධ්‍යයක්. එහෙම නැතිනම් ඒක කැලෑ පත්තරයක්නේ…! ඉතින් පුවත්පතින් ඇත්ත කියන්න පැකිලෙන්න එපා කියන අදහස පත්තරයකම මුල්ම පුවත විදියට පළ කෙරෙන්නේ ඒ අදහස පවා ඒ පුවත්පතට මහා ලොකු පුවතක් එහෙත් නැතිනම් මැජික් එකක් වෙලා නිසයි. ඒ කියන්නේ ජාතික යැයි කියාගන්නා මේ මහා සති අන්ත පුවත්පතේ මේතාක් කාලයක්ම පළ වෙලා තියෙන්නේ පල් හෑලි මිසක් පුවත් නෙමෙයි.

දැන් අපි ජනා‍ධිපතිවරයායි, ඔය ජාතික පත්තරයයි පැත්තකින් අයින් කරලා ජනාධිපතිවරයා කිවුව අදහස ගැන විතරක් හිතුවොත් ඒක මුලුමනින්ම විහිලුවක්… එහෙමත් නැතිනම් විකාරයක්. ඒකට හේතුව ලංකාවේ කිසිම මාධ්‍යයකට නිවැරදි සැබෑ පුවත් පළ කරන්නට හැකියාවක් නැති හින්දයි. එහෙමත්‍ නැතිනම් ඒ විදියේ අවශ්‍යතාවක් නැති හින්දයි. ඒක මේ ආණ්ඩුව යටතේ විතරක් වෙන දෙයක් නෙමෙයි. බලයට පත්වුණු සෑම ආණ්ඩුවක් යටතේම සිද්ධ වුණු , සිද්ධ වෙන දෙයක්. මාධ්‍ය නිදහස ගැන කොහොමටත් කාටත් මතක් වෙන්නේ විපක්ෂයට ගියාමනේ.

(සමහර විට ඔබට හිතෙන්න පුලුවන් බටහිර රටවල ඔය කියන පූර්ණ මාධ්‍ය නිදහස තියෙනවාද කියලා. ඒත් අපි මේ කතා කරන්නේ “ආසියාවේ ආශ්චර්යය”  වුණු ලංකාව කියන දූපත ගැනයි. ඒ නිසා බටහිර මාධ්‍ය භාවිතාව වෙනම ලිපියකට තියා ගනිමු)

හැම දෙයකටම ඇමතිවරයෙක් වගේම ඇමති කාර්යාලයකුත් තියෙන අපේ රටේ රෙදි ඇපිල්ලීමට විතරක් වෙනම අමත්‍යංශයක් නැත්තේ සියලු රෙදි ඇපිල්ලීමේ සහ සෝදා වේලීමේ කාර්යයන් රජයේ මාධ්‍යයන්ට නිල බලයෙන්ම පැවරිලා තියෙන නිසයි. මේ නිසා රජයේ මාධ්‍ය ගැන මෙතැනදී කතා කරන එකත් මේ ඉඩකඩ අපතේ යැවීමක්. ඒ හින්දා මහජන මුදලින් රෙදි ඇපිල්ලීමේ කාර්යය ඒ අයට දිගටම කරගෙන යන්න ඉඩදීලා අපි අනෙක් මාධ්‍ය දිහාවට හැරෙමු.

ලංකාවේ විද්යුත් හෝ මුද්රිත හෝ කිසිම පුද්ගලික මාධ්‍ය ආයතනයක් ස්වාධීනව ක්රියාත්මක වෙන්නේ නැහැ. ඒක බොහොම වගකීමෙන් කියන්න පුලුවන්. ඒ හැම ආයතනයක්ම ක්රියාත්මක වෙන්නේ එක්කෝ දේශපාලන අරමුණක් වෙනුවෙන්. එහෙමත් නැතිනම් සිය ව්‍යාපරික ජාලය පුලුල් කර ගැනීමේ තවත් එක් ව්‍යාපෘතියක් වෙනුවෙන්. ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් පුවත් පළ කිරීමේ අදහසින් පවත්වාගෙන කිසිම මාධ්‍ය ආයතනයක් ලංකාවේ නැහැ. මේ සෑම ආයතනයකම අයිතිකරුවා , සරලව කියනවා නම් මුදලාලි මහතා අනිවාර්යයෙන්ම දේශපාලනය එක්ක බද්ධ වෙච්ච කෙනෙක්. සමහරුන් සෘජුවම පාර්ලිමේන්තු මන්තිරිවරුන්. තවත් සමහරුන් සංස්ථා සභාපතිවරුන්.

අයිතිකරුවන් පමණක් නෙමෙයි මේ පත්තරවල කතුවරුවරුන් පවා රජයට සම්බන්ධ මොකක් හෝ ආයතනයක , එහෙමත් නැතිනම් මණ්ඩලයක සාමාජිකයන්. පොදුවේ ගත්තම මේ සියල්ලන්ම පවතින දේශපාලන දේහයේ බොහොම සජීවී කොටස්කරුවන්. ඒ වගේම ඒ ජරා ජීර්ණ ව්‍යුහයෙන් යැපෙන පිරිසක්. ඉතින් මේ ව්‍යුහය වෙනස් කරන්නට ඒ කිසිවෙකුට ඕනකමක් නැතිවා වගේම මතුපිටින් පෙනෙන බොහොම ලස්සන පටපිලී දැවටිල්ල ගලවලා දාලා මේ සමාජ දේහයේ සැබෑ නිරුවත අපේ ජනතාවට පෙන්වා දෙන්නත් මේ අය කැමති නැහැ. (තමන් හම්බු කරගෙන කන කප්රුකේ අතු පතර කපා දාන්න කැමති වෙන්නේ කවුද…?)

ඉතින් මේ හින්දා බොහොම රැඩිකල් විදියට පෙනෙන මාධ්‍ය ආයතන වලින් පවා රජයෙන් හරි විපක්ෂයෙන් හරි එහෙත් නැතිනම් ඇමතිවරයෙක්ගෙන් හරි කෙරෙන දහසකුත් එකක් නොසන්ඩාල වැඩවලින් අංශුවක් පෙන්වා දෙන්නේත් බොහොම සීරුමාරුවට අඩුම තරමින් ඒ ඇමතිවරයාටවත් කරදරයක් නොවන විදියට හරිම අහිංසක විදියට. ඒ මොකද කියනවා නම් මේ ජරා ජීර්ණ වේදිකාවේ එක කුලුණක් හරි දෙදරලා ගියොත් හැමෝම  නටන නැටුම් එළිවෙනවානේ. මේ හින්දා අඩුම තරමින් විපක්ෂය පවා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ වංචා දූෂණයක් ගැන කතා කරන්නේ බොහොම පරිස්සමින්. පාදමට කිසිම අනතුරක් නැතිව මතුපිටට විතරක් පොඩි තට්ටුවක් දාන විදියට. ඇයි බලයට ආවාම තමන්ටත් ඒකම කරන්න ඉඩ තියෙන්න ඕනනේ. ඉතින් මේ විදියට ආණ්ඩුවත් , විපක්ෂයත්  ,  ජාතික යැයි කියාගන්නා අපේ මාධ්‍යයත් එකට අත්වැල් අල්ලාගෙන නටන මේ මොනර නැටුමේ පිල් කළඹ දිහා විතරක් බලන්නට අපේ කීකරු පුරවැසියනුත් දැන් අඩසිය වසක කාලයක් තිස්සේම පුරුදු පුහුණු වෙලයි ඉන්නේ.

ලංකාවේ දිනපතා පුවත්පතක සාමාන්‍ය මිල රුපියල් විස්සක්. ඒත් එක් පත්තරයක නිෂ්පාදන වියදම රුපියල් හතලියක් විතර වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන වියදම පුවත්පතේ මිලට වඩා වැඩියි. ඉතින් කොහොම ද මේ නිෂ්පාදන වියදම පියවා ගන්නේ…? ඒක පියවාගන්නේ දැන්වීම්වලින්. මේ නිසා පත්තරයේ පුවත් පළ වෙන්න ඕන කොයිතරම් පිටු ප්රමාණයකින්ද කියලා තීරණය කරන්නේ පත්තරයේ දැන්වීම් අංශයෙනුයි. ඒ කියන්නේ දැන්වීම් අංශයෙන් මෙන්න මේ ඉඩ දැන්වීම්වලට වෙන්කරන්න ඕනය කියලා කරන නියෝගය කඩ කරන්න පත්තරයක කතුවරයෙකුටවත් බැහැ. මේ නිසා දැන්වීම් අංශයෙන් වෙන් කර දෙන ඉඩකඩ ප්රමාණයේ විතරයි පත්තරයක පුවත් පළ වෙන්නේ. මේ නිසා ජනතාවගේ කියවීමේ අයිතිය තීරණය කරන්නේ රටේ මුදලාලිලා පිරිසයි. රටේ කොයි තරම් දේවල් සිද්ධ වුණත් පුවත් පළ කරන්නට හැකියාව තියෙන්නේ මුදලාලිලා වෙන් කරදෙන ඉඩකඩේ විතරයි.

මෙතැන තියෙන තවත් භයානකම කරුණ වෙන්නේ මේ මුදලාලිලාට සම්බන්ධ දැවැන්ත ව්‍යාපාර ජාලයේ කිසිම ආයතනයකින් සිද්ධ වෙන දූෂණ විතරක් නෙමෙයි ජනතාවට සිද්ධ වෙන කිසිම හිරිහැරයක් පුවත්පත්වල පළ කරන්නට අයිතියක් නැති වීමයි. මෑතකදී හිර කූඩුවේ පවා ලගින්නට සිද්ධ වුණු ලංකාවේ අංක එකේ කෝටිපතියෙකුගේ ආයතනවලින් ලැබුණු දැන්වීම්වලින් පමණක් බොහෝ මාධ්‍ය ආයතනවල සේවකයන්ගේ පඩි නඩි පවා ගෙවන්නට තරම් විශාල වුණු නිසා මේ කෝටිපතියාගේ ව්‍යාපාර ජාලයෙන් සිද්ධ වුණු මහජන හිරිහැර පමණක් නෙමෙයි ඔහුගේ බලපෑම මත සිද්ධ වුණු ආගම්වලට හැරවීමේ ව්‍යාපෘති ජාලය ගැන පවා වචනයක්වත් ලියන්නට සිංහල බෞද්ධ ජාතික පුවත්පත්වලට පවා හැකියාවක් තිබුණේ නැහැ. ලංකාවේ හැමෝම දන්නා මාජරින් වර්ගයක් අවුරුදු තුනෙන් අඩු දරුවන්ගේ වර්ධනයට හානි කරනවා කියලා මෑතකදී උසාවියෙන් පවා තීරණය වෙලා තියෙද්දීත් ඒ අධිකරණ තීන්දුවවත් පුවත්පත්වල පළ නොවන්නේ දරුවන් මැරිලා ගියත් දැන්වීම් කොන්තරාත්තුව අහිමි කර ගැනීම ඊට වඩා පාපයක් කියලා ජාතික පුවත්පත්වලට වගේම රූපවාහිනී නාලිකාවන්ටත් හිතෙන හින්දයි.

අද දවසේ පුවත්පත් රූපවාහිනී ආයතනවලට දැන්වීම් කොන්තරාත් හිමිවෙන්නේ ඊට සමගාමීව අදාල රූපවාහිනී ආයතනයේ ගුවන් කාලයෙන් හෝ පුවත්පතේ ඉඩකඩෙන් සැලකිය යුතු ඉඩක් ඒ ආයතනවල පුරසාරම ගැනකියැවෙන ලිපිවලට වෙන්විය යුතුය යන කොන්දේසියත් එක්කයි. මේ නිසා කතා කරන්නට මොන තරම් දේවල් තිබුණත් කතා කළ යුත්තේ මුදලාලිලා කතා කළ යුතු යැයි බල කරන දේවල් විතරයි. කොහේවත් යන තෙල් බෙහෙත් වෙළෙන්දෙක් බොහොම අනුහස් තියෙන ඉසිවරුන් විදියට සලු පිලි අන්දවලා ජනතාව පෝලිම් ගස්වමින් මරුවැල් කරා අද්දාගෙන යන ලිපි ලියැවෙන්නේත් මේ දාමයේම තවත් එක් පුරුකක් විදියටයි. ඒත් අන්තිමේ දී ඉසිවරයා තක්කඩියෙක් බව ඔප්පු වුණාට පස්සේ ඒ තක්කඩියා පසුපස්සේ ගිහින් අමාරුවේ වැටුණු පවුල් වලට ගිහින් ඒ අයගේ දුක් කදුලු රස කරමින් තවත් ලිපි පෙළක් පළ කරලා මුදල් හම්බු කරන්නට තරම් අපේ මාධ්‍යකලාවේ නිම් වළලු අද පුලුල් වෙලා තියෙනවා.

ඉතාම පිළිකුල් කටයුතු ඇත්ත නම් මහජන මුදලින් නඩත්තු වෙන රජයේ ආයතනවල දූෂණ පවා මේ විදියේම මුදලාලිකරණය වෙලා තිබීමයි. ඒ කියන්නේ රජයේ ආයතන වල දූෂණයක් ගැන වචනයක්වත් ලියැවුණොත් ඒ ආයතනයෙන් ලැබෙන දැන්වීම් කොන්තරාත්තුව ලැබෙන්නේ නැහැ. වැරදිලා හරි පුවතක් පළ වෙලා දැන්වීම් ටික නොලැබිලා ගියොත් ඒ දැන්වීම් කොන්තරාත්තුව ආයෙත් ලබා ගන්න ඒ ආයතනයත් , ඇමතිවරයාත් , සභාපතිවරයාත් වර්ණනා කරමින් විශේෂාංග ලිපි දෙක තුනක්වත් ලියලා පව් සමා කරගන්නට ඕනේ. යූ ඇන් පී ආණ්ඩුව කාලයේ වගේම වර්තමානයේත් සතොස වංචා දූෂණ හොදම උදාහරණයක්.

අද දවසේ ආණ්ඩුවලින් මාධ්‍ය ආයතන පාලනය කෙරෙන්නේ මීට දශක දෙකකට විතර කලින් තිබුණු විදියට තුවක්කු පෙන්වලා මිනීමරලාම නෙමෙයි. (තවමත් එහෙම වෙන අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා). අද මාධ්‍ය ආයතන පාලනය කෙරෙන්නේ බොහොම සුහදව කෙරෙන එක දුරකථන ඇමතුමකින් . මේ නිසා සමහර පුවත් සාකඡ්චාවල කරුණු කිසිම පුවත්පතක කිසිම විදයකින් පළවෙන්නේ නැහැ. මේ නිසා ඒ සාකචඡාවලදී කියැවුණු එහෙත් නැතිනම් හෙළිවුණු වංචා දුෂණ හැම දෙයක්ම ජනතාවට සාදාලිකවම රහසක්.

ගමේ මිනිහෙක් කිතුලක් කැපුවත් පුවතක් ලෙසින් පළ වෙන අපේ පුවත්පත්වල මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණයක් පළ කරන්නට තීන්ත වෙන් නොවන්නේ මේ හින්දයි. යූ ඇන් පී ආණ්ඩුව යටතේ වගේම මේ ආණ්ඩුව යටතේත් බරපතල මිනීමැරුම් චෝදනාවලට ලක්වුණු අමැතිවරුන්ගේ නඩු වාර්තා කිසිවක් අපේ පුවත්පත්වල පළ වෙන්නේ නැත්තේත් , ඒ වගේම කොළඹ හතේ ඉඩම් අක්කරය රුපියල් දහ හතර ගානේ ගත් ඇමතිවරුන් ගැන වචනයක් වත් පුවත්පත්වල පළ වෙන්නේ නැත්තේත් , ඒ විතරක් නෙමෙයි රජයේ බැංකුවලට කෝටි ගණනින් පොලු තැබූ අය ගැනවත් අකුරක්වත් පුවත්පත්වල පළ නොවන්නේත් මෙන්න මේ කාරණය හින්දයි. ඒ හින්දා මේ වගේ පිරිස් බොහොම සුචරිතවාදී විදියට ජනතාව ඉදිරියේ පෙනී ඉන්නවා විතරක් නෙමෙයි අවංක සත්ගුණවත් මහත්වරුන් විදියට නගරාධිපතිකම්වලට , මහ ඇමතිධුරයන්ට පවා බය නැතිව ඉදිරිපත් වෙනවා.  (ලංකාව කියන දූපත වටවෙලා තියෙන්නේ මොන සාගරයෙන්ද කියලා කියන්නවත් දන්නේ නැති තුට්ටු දෙකේ නලු නිලියන් පවා දෙකෝටියක ජනතාවගේ හෙට දවස තීරණය කරන තීන්දු ගන්නා රටක ඒක පුදුමයකුත් නෙමෙයි).

ජනතාව ඉදිරියේ දේශප්රේමීන් විදියට පෙනී ඉන්න ජනතා නායකයන් යැයි කියාගන්නා දේශපාලන වීරයන් , මහා කලාකරුවන් විදියට පෙනී ඉදිමින් සරස්වතිය පවා ගණිකා වෘත්තියේ යොදවන කලාහොරුන් , මහා පණ්ඩිතයන් විදියට පෙනී ඉදිමින් අන්තිමේදී මොකක් හෝ පක්ෂයකට චන්දය දෙන්නට කියාල චන්දය හිගාකන දැන්වීම් වලට අත්සන් තියන වියත් සේල්ස්රෙප්වරුන් ගැන හොද වැටහීමක් ලබා ගන්න නම් මාසයක් පුවත්පත් කාර්යාලයක රැදිලා හිටියොත් හොදටම ඇති. වීරයන් විදියට කෑ මොර දෙන බොහොමයක් දේශපාලන පුහු වීරයන් පාර්ලිමේන්තුවේ කතාව ඉවර කර ගමන්ම පත්තර වාර්තාකරුවන් රැදිලා ඉන්න ගැලරියට දුවගෙන ඇවිත් පිංසෙණ්ඩු වෙන්නේ තමන්ගේ කතාවෙන් හෙඩිමක් ගන්න කියලයි. ඒ වගේම පත්තරේ පළවෙන තමන්ගේ රූපය පරණ එකක් කියලා නොක්කඩු කියමින් රැඩිකල් පෙනුමක් තියෙන පිංතූර තොග පිටින් ගෙනත් දෙනත්නෙත් මේ මහා දේශප්රේමීන්ම තමයි. (මේ විදියට පුහු ප්රසිද්ධිය පස්සේ දුවගෙන නොගිය එකම දේශපාලන මහත්මයා විදියට මට නම් හමුවෙලා තියෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර් කියන චරිතය විතරයි.)

ඉතින් මේ දේශපාලකයන් එක්ක කතුවරුන්ගේ තියන සුහදත්වය එක්ක එහෙමත් නැතිනම් පත්තර අයිතිකාරයාගේ තියෙන සුහදත්වයේ ප්රමාණය අනුව කොයි තරම් ඉඩ ප්රමාණයකින් ඒ කතාව පළ වෙනවාද කියලා තීරණය කෙරෙනවා. ඒ බැදීම හුගාක් ඉහළ නම් පුවත්පත් සාකච්ඡාවක් පවා පළ කෙරෙනවා පමණක් නෙමෙයි ඒ පුවත්පත් සාකච්ඡාව පළ වෙන්නට කලින් ඒක සංස්කරණය කරන්න දේශපාලකයාටම ඉඩකඩ ලැබෙනවා. තවත් සමහර අවස්ථාවල වාර්තාකරුවෙක්ගේ නම පමණක් කුලියට අරගෙන දේශපාලකයාම ප්රශ්න හදලා එයාම ඒවාට පිළිතුරු ලියලා දෙනවා. දේශපාලකයාම තමන්ගෙන් අහගන්න බොහොම රැඩිකල් ප්රශ්න දකින අපේ අහිංසක පාඨකයන්ට හිතෙන්නේ බය නැතිව මේ විදියේ ප්රශ්න අහලා එන්න කොයි තරම් නිර්භීතකමක් තියෙන්න ඕනේද කියලා.  ඉතින් බොහොම හිත උණුවෙන පාඨකයන් බොහෝ පිරිසක් පත්තර කන්තෝරුවට කතා කරලා වාර්තාකරුවාට විතරක් නෙමෙයි කතුවරයාගේ අම්මාට තාත්තාට පවා සෙත් පතලා පරිස්සමින් ඉන්න කියලා කියන්න අමතක කරන්නේ නැහැ.

ඔය විදියටම කතුවරුන්ගේ හිත් ගත්ත එහෙමත් නැතිනම් පොඩි පොඩි වාසි එහෙම ලබා දෙන කලාකරුවොත් ඉන්නවා. මේ මහා කලාකරුවන් මොන ගොන් පාට් එකක් කළත් ඒක දැවැන්ත දෙයක් විදියට කතුවැකි පවා ලියැවෙනවා. ඒත් නමක් හදා ගත්ත නැති තරුණයෙක් බොහොම දුක් මහන්සියෙන් නිර්මාණයක් කළොත් ඒ නිර්මාණයට විතරක් නෙමෙයි තරුණයාගේ අග පසගවලට පවා පුද්ගලිකව පහර දෙන්න දෙසැරක් හිතන්නේ නැහැ. මේ නිසා නමක් හදාගත්ත මහා කලාකරුවන් කලාකාරිනියන් අනුන්ගේ සිංදු කියලා සීඩී පටියක් ගැහුවත් ඒ ගැන තීරු ලිපි ලියැවෙන්නේ ඒක හොරකමක් විදියට නෙමෙයි…බෙහොම වර්ණනාවක් ඇතිව නැවුම් සංකල්පයක් විදියටයි.  ඒත් අලුතින් බිහිවෙන කලාකරුවෙක් තමන්ගේ නිර්මාණයකට ග්රැම‍ෆෝන් සිංදුවක කෑල්ලක් යොදා ගත්තොත් අන්තිමට ඒ කලාකරුවාට රට හැර නොයන්න පාර නොකැපුණොත් පුදුමයක්.

ඉතින් මේ විදියට අපේ ජනතාව අවුරුද්දේ දවස් 365 ම මෝඩයාගේ දවසට අදින හැටි ගැන කතා කරන්න ගියොත් කෙළවරක් නැහැ.

මේ ලිපිය ඉවර කරන්න කලින් තවත් පොඩි කතාවක් සිහිපත් වෙනවා. එක්තරා කාලයක දිවයින පුවත්පතේ බොහොම ජනප්රිය අතිරේකයක්ව තිබුණු බදාදා අතිරේකය සංස්කරණය කළේ කිත්සිරි නිමල් ශාන්ත කියන බොහොම සුන්දර මිනිසෙක්. සාහිත කලාවටම වෙන්වෙලා තිබුණු මේ අතිරේකයේ ලිපියකට අදාල පිංතූරයකට වික්රමසිංහගේතේ , කුමාරතුංගගේත් පිංතූර දෙකක් පුස්තකාලයෙන් ගේන්නට කියලා නිමල් ශාන්ත කියන සංස්කාරකවරයා තමන් යටතේ හිටිය මාධ්‍යවේදීයෙකුට කිව්වා. සංස්කාරකවරයා එ නම් දෙකෙන් අදහස් කළේ අපේ සාහිත කලාවේ අමරණීය සලකුණු තැබූ දෙන්නෙක් ගැනයි.  ඒ කියන්නේ මාර්ටින් වික්රමසිංහ හා මුනිදාස කුමාරතුංගයි. ඒත් අපේ මේ මාධ්‍යෙව්දියා පුස්තකාලයෙන් අරගෙන ආවේ රනිල් වික්රමසිංහගේත්, චන්ද්රිකා කුමාරතුංගගේත් පිංතූර දෙකක්. ඒකට හේතුව පොතක් පතක් කියවීමේ පුරුද්දක් නොතිබූ මේ මාධ්‍යෙව්දියාගේ ලෝකයේ සිටි එකම කුමාරතුංග සහ වික්රමසිංහ චරිත දෙක රනිල් සහ චන්ද්රිකා වීමයි. මේ සිද්ධියෙන් මාස කිහිපයක් යන්නටත් කලින් මේ මාධ්‍යෙව්දියා පුවත්පතේ ප්රධාන ප්රවෘත්ති කර්තෘ ධුරයට පත් වුණා. මේ සිද්ධියත් මෙතැනට අදාළ කරගත්තේ ඒ මාධ්යවේදී  මිතුරා අවමානයට ලක්කිරීමේ අදහසින් නම් නෙමෙයි. පුවතක් ජනතාව කියවිය යුතුද යන්න නිගමණය කරන අද දවසේ පුවත් කතුවරුන් බොහොමයක් ඒ මට්ටමේ සිටින බව දන්නා නිසයි.

ඒ වගේම අවසාන වශයෙන් අපේ රටේ මාධ්‍ය ලෝකයේ සිද්ධ වෙන තවත් විකාරයක් ගැන නම් නොකියාම නවත්වන්නට හිතෙන්නේ නැහැ. ඒ තමයි කර්තෘ සංසදය මගින් සිද්ධ වෙන වසරේ විශිෂ්ටතම හා ජනප්රියතම මාධ්‍ය සම්මාන පිරිණැමීමේ උත්සවය ගැනයි. මේ සංසදය මගින් වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදියා , වසරේ හොදම පුවත්පත් ලිපි , කාටුන් , තීරු ලිපි , විද්යුත් මාධ්‍ය සදහා වන සම්මාන සියල්ලම පිරිනැමෙන්නේ අපූරුම ආකාරයටයි. ඒ කියන්නේ සම්මාන ගන්න අවශ්‍ය නම් තමන්ට සම්මානයක් ඕනේ කියලා ඉල්ලුම් කරන්නට ඕනේ. තවත් සරලව කියනවා නම් තමන්ම තමන්ගේ ලිපි , කාටුන් කපලා අලවලා අනේ මටත් සම්මානයක් දෙන්න සලකලා බලන්න කියලා කර්තෘ සංසදයට යවන්න ඕනේ. (විලි ලැජ්ජාවක් කියලා දෙයක් තියෙන කිසිම මිනිහෙක්ට ඒ වගේ දෙයක් කරන්න බැරි නිසා එහෙම දෙයක් තියෙන අය සම්මානයක් ගන්න ඉල්ලුම් කරන්නේ නැහැ.) ඉතින් මොකක් හෝ අංශයකට … උදාරහණයක් විදියට අපි හිතමු හොදම තීරු ලිපියට කියලා… කවුරුන්  හරි ඉල්ලීමක් කළොත් ඒ අංශයෙන් ඉල්ලීමක් කළේ එයාම විතරයි නම් වසරේ විශිෂ්ටතම තීරු ලිපි රචකයා වෙන්නේ එයයි. බොහොම වෙලාවට ඒ විදියට සම්මාන ඉල්ලලා ලියුම් යවන්නේ දක්ෂයන් නොවෙන හින්දා මේ සම්මාන ගන්න හරිම ලේසියි. ඒ නිසා විලි ලැජ්ජාව කියලා දෙයක් තියෙන මිනිහෙක් කොයි තරම් හොද තිරු ලිපි සිය ගණනක් ලියලා තිබුණත් , කොයි තරම් කාටුන් ඇදලා තිබුණත් , තමන්ගේ රැකියාව වෙනුවෙන් කොයි තරම් කැපවීමකින් කටයුතු කරලා තිබුණත් අඩුම තරමින් එයා පත්තරයක තේ හදන මල්ලි කෙනෙක් තරමටවත් පිළිගැනේනේ නැහැ. එක අතකින් ඒක වැරදිත් නැහැ. සම්මාන විතරක් නෙමෙයි ආචාර්ය උපාධිකම් එහෙමත් නැතිනම් අඩුම තරමින් මන්තිරිකෙනෙක් වෙන්නවත් ඕනේ නම් විලි ලැජ්ජාව කියන එක පැත්තකට දාන්න ඕන රටේ මාධ්‍ය කලාවට විතරක් මොකටද විලි ලැජ්ජාවක්…? අනෙක් අතට විලි ලැජ්ජාව තියාගෙන පත්තර ටීවී කරන්න ගියොත් ඒවා වහලා දාන්නනේ වෙන්නේ…!

ඉතින් මේ නිසා කාටුන් ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව කතුවරයා කියන විදියට මොනව හරි දෙයක් ඇදලා දෙන තැනැත්තා වසරේ හොදම කාටුන් ශිල්පියා වෙනවා. (එහෙම වුණ අවස්ථා ඕන තරම් තියෙනවා).  දේශපාලන පක්ෂවලින් මුදල් ලබාගෙන ඒ ඒ පක්ෂවල දේශපාලකයන් ලියලා දෙන හෑලි ටික එකතු කරලා ඒක මොකක් හරි විග්රහයක් කියලා තමන්ගේ නමින් පළ කරන පුද්ගලයා හොදම තීරු ලිපිරචකයා වෙනවා. (ඒ විදියට ස්ථාවරම දේශපාලන පක්ෂවලින් මුදල් ගන්න අය පුවත්පත්වල වගේම රූපවාහිනී ආයතනවලත් ඉහළම පුටුවල ඉදන් පහළම පුටු දක්වා විවිධ තරාතිරම්වලින් ඉන්නවා) . මාර්ටින් වික්රමසිංහ කියන්නේ කවුද කියලා දන්නේ නැති කෙනෙක් වසරේ විශිෂ්ටතම පුවත්පත්කලාවේදියා බවට පත්වෙලා දහසින් බැදි පියලි වගේම පත්තරේ මුල්පිටුවේ පිංතූරයකුත් පළ කරගන්නවා. අන්තිමේදී මේ පිංතූර එක්ක ලැබුණු සම්මානය ඉදිරිපත් කරලා පිටරටින් ලැබෙන බොහොමයක් සංචාරවලට එක්වෙලා සල්ලි හම්බු කරගන්නවා විතරක් නෙමෙයි රටත් ගද ගස්සවනවා.

මේ ලිපිය අවසන් කරන්නට කලින් තවත් එක් දෙයක් කියන්නටම ඕනේ. මේ සිද්ධවෙන ජරා ජීර්ණ නාටකයට එක් නොවී ඒ වගේම නිරන්තරයෙන්ම දේශපාලකයන්ගෙන් ලැබෙන සාදයන්ට සහභාගි නොවෙමින් තමන්ට හැකි මට්ටමින් යමක් කරන්නට උත්සාහ දරන ඒ වගේම විලි ලැජ්ජාව කියන දෙයත් ඉතිරි වෙලා තියෙන සැබෑම සැබෑ මිනිසුන් පිරිසකුත් තවමත් පෑන අතැතිව ඉන්නවා.

ඒ දයාබර සොහොයුරන්ට මගේආචාරය..!