ආදරෙයි මම ආදරෙයි!

මේ සටහන කියවන්න තමයි දැන් ඔබ මේ ලැහැස්ති වෙන්නේ.

හිතන්න… මේ දෙවැනි පේලිය කියවද්දිම කවුරුහරි නන්නාඳුනන කණ්ඩායමක් හිටි හැටියේම ඔබ ඉන්න ඔය කාමරයට කඩා වැදිලා ඔබව පැහැරගෙන යනවා කියලා.

පැහැරගෙන ගිහින් නොදන්නා තැනක සිරකරනවා.

දැන් එතැන ඉන්නේ ඔබයි, ඔබව පැහැරගෙන ගිය කණ්ඩායමේ සාමාජිකයන් දෙතුන් දෙනයි විතරයි.

මොකක්ද දැන් ඔබ කරන්නේ?

උදව් ඉල්ලලා හයියෙන් කෑගහනවද..? බැහැනේ… කෑගැහුවොත් මරා දමන බවට තර්ජනය කරලයි තියෙන්නේ.

දුවන්න හදනවද….? ඒකත් බැහැනේ… හැම පැත්තකින්ම දොරටු අගුල් දාලා වහලා, යතුරු එයාලා ගාව.

දැන් මොනවද කරන්න ඉතිරිවෙලා තියෙන්නේ…?

‘දැන් ඉතින් වෙන කුමක් කරන්නද…? ආදරය කරනු මිස’ කියලා හඳගම ලිව්ව සිංදුවේ විදියට කොල්ලකාරයන්ට ආදරය කරන්න පටන් ගන්නවද?

උත්තරය කියන්නම්… ඒත් ඒකට කලින් තවත් කතාවක් කියන්නම වෙනවා. ඒ කතාව කියන්න නම් හරියටම අවුරුදු පනහක් පස්සට යන්න වෙනවා.

1973 අවුරුද්දේ අගෝස්තු මාසයේ 23 වැනිදා තමයි දවස.

කළු කන්නාඩියක් දාගත්ත අවුරුදු තිස් දෙකක කඩවසම් හාදයෙක් ප්‍රියමනාප හිනාවකුත් එක්ක ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් නගරයේ තරමක කුඩා ප්‍රමාණයේ බැංකුවකට ඇතුලු වෙනවා. එයාගේ නම ඔල්සන්. (J‍an-Erik Olsson).

තමන් හංගගෙන හිටිය තුවක්කුවක් එක පාරටම අතට ගත්ත ඔල්සන් බැංකු සේවකයන්ට මරණීය තර්ජනය කරනවා. ඒ වෙලාවේ බැංකුවේ හිටියේ බැංකු සේවිකාවො හතර දෙනෙක් විතරයි. මේ හතර දෙනා මරණ බයින් තැති අරන් එකිනෙකා ගුලිවෙන අතරේ ස්වීඩන් පොලිසිය බැංකුව වට කරනවා. පොලිසියේ දෙන්නෙක් කඩා වදිනවා බැංකුව ඇතුළට. ඒත් ක්ෂණිකව ක්‍රියාත්මක වුණු ඔල්සන් එක් පොලිස් නිලධාරියෙකුට වෙඩි තියලා තුවාල කරනවා. අනෙක් පොලිස් නිලධාරියාට පුටුවකට වාඩිවෙන්න අණ කරලා මෙහෙම කියනවා: ‘අපිට අහගෙන ඉන්න මොකක් හරි සිංදුවක් කියන්න’

ප්‍රාණ ඇපකරුවන් මරා දමන්නේ නැතිව නිදහස් කරන්න ඔල්සන් ඉල්ලන කප්පම තමයි ස්වීඩනයේ මුදල් ඒකකය වන ක්‍රෝන් මිලියන තුනක (ඒ කාලයේ විනිමය අනුපාතය එක්ක ඇමරිකන් ඩොලර් 730,000) මුදලක් එක්ක තුවක්කු දෙකක්, වෙඩි නොවදින කබා, හෙල්මට් එක්ක ෆෝර්ඩ් මෝටර් රථයක්. ඒ විතරක් නෙමෙයි තව දෙයක් ඉල්ලනවා. ඒ තමයි තමන්ගේ යාළුවා ක්ලාක්වත් (Clark Olofsson) බැංකුව ඇතුළට ගෙන්නලා දෙන්න කියලා.  කියන්න අමතක වුණානේ. ඔල්සන් කියන්නේ අපරාධ කරලා හිරේ ගිය කෙනෙක්. ඔය ක්ලාක් කියන්නේ හිරගෙදර ඔල්සන් එක්ක එකම හිර කුටිය බෙදා හදා ගත්ත තවත් අපරාධකරුවෙක්. 

ප්‍රාණ ඇපයට ගත් බැංකු සේවිකාවෝ

ප්‍රාණ ඇපකරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලා ක්ලාක්ව ගෙනැල්ලා දුන්නත් මුදල් ටිකයි ඉතිරි ආම්පන්න ටිකයි ගෙනත් දෙන්න පොලිසිය ටික ටික කල් මැරුවා. ඔල්සන්ගේ කොල්ලය සාර්ථක වුණේ නැහැ. ඒත් පොලිසියත්, ඔල්සනුත් අතර ඇතිවෙච්ච මේ ‘සිවිල් යුද්ධය’ දවස් හයක්ම එක දිගට ඇදුණා. ඒ කියන්නේ දවස් හයක්ම මේ බැංකු සේවිකාවන් ඔල්සනුත් එයාගේ මිතුරා ක්ලාක්ගේත් ප්‍රාණ ඇපකරුවන් බවට පත්වුණා. අන්තිමේ දී කඳුළු ගෑස් ප්‍රහාරයකින් ප්‍රාණ ඇපකරුවන් මුදාගෙන, ඔල්සනුත් එයාගේ සගයාත් පොලිස් අත්අඩංගුවට පත් වුණා.

ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ පොලිස් මෙහෙයුම සහ අත්අඩංගුවට පත් වූ ඔල්සන් සහ පිරිස

ඔන්න දැන් තමයි කතාවේ හොඳම හරියට එන්නේ.

අසාර්ථක බැංකු කොල්ලයකින් පස්සේ ඔල්සන්ව පොලිස් අත් අඩංගුවට පත් වුණා කියමුකෝ. අර කිව්ව බැංකු සේවිකාවන් කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ ඔල්සන්ට විරුද්ධව සාක්ෂි දෙන්න. ඒ ඇයි? ඔය කිව්ව දවස් හය තුළ ඒ අය ඔල්සන් එක්ක ආදරයෙන් බැඳිලා…!

මේ දවස් හයක කාලය තුළදී ඔල්සන් එයාලට ශාරීරික පීඩාවක් කළේ නැහැ. මෘදු විදියට තමයි සැලකුවේ. මේ හින්දා මේ ප්‍රාණ ඇපකාර බැංකු සේවිකාවන් ඔල්සන් එක්ක හැඟීම්බර ආදරණීය බැඳීමකින් මානසිකව එකට බැඳිලා කියලා අධිකරණයේ දී කරුණු ඉදිරිපත් වුණා.

ප්‍රාණ ඇපයට අහුවුණු මේ විත්තිකාරියෝ හැමෝම ඔල්සන්ට විරුද්ධව සාක්ෂි දෙන්න බැහැ කිව්වත්  වසර දහයක කාලයකට ඔල්සන් හිරේට ගියා. (හිරගෙදරින් නිදහස් වුණාට පස්සේ  තමන්ගේ සිව්වැනි බිරිඳත් එක්ක තායිලන්තයේ පදිංචියට ගිය ඔල්සන් තමන්ගේ බිරිඳත්, පුතාත් එක්ක අවුරුදු 15ක කාලයක් තායිලන්තයේ සුපර් මාර්කට් එකක් කරගෙන ගියා. දැන් ඔහු ආපහු ස්වීඩනයට ඇවිත් සතුටින් විශ්‍රාම දිවිය ගෙවනවා).

ඊට පස්සේ මේ වගේ දේවල් ඕන තරම් අහන්න ලැබුණා. ඒ කියන්නේ ප්‍රාණ ඇපකරුවන් තමන් ප්‍රාණ ඇපයට තබා ගත්ත අයත් එක්ක සමීප බැඳීම් ඇතිකරගත්ත අවස්ථා. සමීප සබඳතා විතරක් නෙමෙයි සමහර ප්‍රාණ ඇපකරුවන් අන්තිමේ දී මේ අපරාධකරුවන් එක්ක එකට එකතු වෙලා සාමුහික අපරාධයන්ට පවා සම්බන්ධ වුණා. (ඔය විදියේ කතාන්දර අහුරු ගණනින් අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්)

පීඩිතයා පීඩකයාට ආදරය කිරීම!

මෙහෙම වෙන්නේ ඇයි කියලා දිගින් දිගටම කල්පනා කරපු එක් කෙනෙක් හිටියා. ඒ තමයි ස්වීඩන් ජාතික මනෝවිද්‍යාඥයෙක් වුණු නිල්ස් (Nils Bejerot). එයා අපරාධවිද්‍යාව (Criminology) සම්බන්ධයෙනුත් විශේෂඥයෙක්. මේ විදියේ සිද්ධි අධ්‍යනය කරලා ඔහු අපූරු සංකල්පයක් ලෝකයට හඳුන්වලා දුන්නා. ඒ සංකල්පය බිහිවෙන්නට මුලපිරුව ස්ටොක්හෝල්ම් නගරය නිසා මේ සංකල්පය අද හඳුන්වන්නේ ‘ස්ටොක්හෝල්ම් සින්ඩ්‍රෝම්’  (Stockholm Syndrome)  කියලයි.

Nils Bejerot

ස්ටොක්හෝල්ම් සින්ඩ්‍රෝම් කියන සංකල්පයෙන් විග්‍රහ කරන්නේ අපරාධයන්ට ඉලක්ක වන අය, අපරාධකරුවන් එක්ක මානසිකව ඇති කරගන්නා බැඳීම ගැන. පීඩිතයා පීඩකයාට ආදරය කිරීම! මේ අනුවේදනීය බැඳීම හින්දා එයාලට කිසියම් ආකාරයක ආදරයක් ඇති වෙනවා ඔය කියන අපරාධකරුවන් (හොරුන්, මංකොල්ලකරුවන්) එක්ක. ඒ බැඳීම කොයි තරම් දුරදිග යනවාද කියනවා නම් තමන්ව ප්‍රාණ ඇපයට තියාගෙන ඉන්න, එහෙමත් නැතිනම් තමන්ව පීඩනයට ලක්කළ අයව ආරක්ෂා කරන්න පවා එයාලා ඉදිරිපත් වෙනවා. එයාලා වෙනුවෙන් පෙනී ඉන්නවා.

Does that ring a bell?

ඔහොම යෙදුමක් ඉංග්‍රීසියේ තියෙනවානේ. ඒ කියන්නේ ඔය කිව්ව අග ඡේදය කියවාගෙන යද්දී මොනවා හරි දෙයක් මතක් වෙන්නේ නැද්ද…? හොඳට කල්පනා කළොත් මතක් වෙයි ඇත්තටම අපි වටේ ඉන්න බොහොම දෙනෙක්, අපි ආශ්‍රය කරන සෑහෙන පිරිසක් කොයි තරම් නම් උසස් තරාතිරම්වල හිටියත් ඔය කියන සින්ඩ්‍රෝම් එක හැදිලා නේද ඉන්නේ කියලා?

කෙනෙකුට හිතෙනවා නම් ස්ටොක්හෝල්ම් සින්ඩ්‍රෝම් එක අපිට නැහැ කියලා, එහෙමත් නැතිනම් ඒ කතාව මෙතැනට ගැලපෙන්නේ නැහැ කියලා තවත් උදාහරණයකින් ඒක හොඳටම පැහැදිලි කරන්න පුළුවන්.

අහලා තියෙනවා නේද වචනයක් හෙජමනිය (Hegemony) කියලා. ඔබ ජීවත් වෙන්නේ බටහිර රටක නම් මේ සංකල්පය අහලා තිබුණත් නොතිබුණත් ඒක ඔබේ ජීවිතයට ඒ තරම්ම වැදගත් නොවෙන්න ඉඩ තියෙනවා. ඒත් ඔබ ජීවත් වෙන්නේ සද්ද බද්ද දාලා දිය දෙබෑ කරන් ආපු නාග රාජයාට රැවටුණු, මේසන් බාස්ගෙ පැනියට වහ වැටුණු, දියසේන කුමාරයා බිහිවේවි කියලා හිතන, දළදාව අනතුරේ කියලා කම්පා වෙන පිරිසක් මැද්දේ නම් මේ සංකල්පය අනිවාර්යයෙන්ම දැනගෙනම ඉන්න ඕනේ. නැතිනම් ඔබටත් වඩා ඔබේ දරුවන්ගේ ජීවිත බිහිසුණු අනතුරක වැටෙන්න තියෙන ඉඩ සියයට දෙසියයක්.

තේරුම් ගන්න අමාරු සංකල්පයක් නෙමෙයි මේ හෙජමනිය කියන්නේ. ඒක පැහැදිලි කරන්න කලින් ඔය වචනය ආපු හැටි ගැනත් හොයලා බලමු.

ග්‍රීක භාෂාවෙන් හෙජමනියා (hēgemonia) කියන්නේ ආධිපත්‍යය පැතිරවීම වගේ අදහසකට. ඒ කියන්නේ යම් කිසි දෙයක් අබිබවා බලය පතුරවන්න තියෙන හැකියාව. මේ සංකල්පය මිනිස්සු අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ ඉතාලි ජාතික මාක්ස්වාදී දාර්ශනිකයෙකු වෙච්ච අන්තෝනියෝ ග්‍රාම්ස්චි (Antonio Gramsci) (1891 – 1931) නිසා. ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘවරයා වුණු ග්‍රාම්ස්චි මැදිවියට ළං වෙන්නත් කලින් ඒ කියන්නේ වයස අවුරුදු 46 දී මරණයට පත් වුණා. ඒත් ඔහුගේ බුද්ධිමය ප්‍රභාව මුළු මහත් ඉතාලිය පුරාමත්, එතැනින් පස්සේ යුරෝපයේ හැම රටකටමත් පුදුමාකාර විදියේ බලපෑමක් ඇති කළා. හෙජමනිය කියන සංකල්පයට ඔහු කරපු විග්‍රහය අද දවසේ ලෝකයේ සෑම සරසවියකම දේශපාලන විද්‍යාවේ දී මග නොහැර කතා කරන සංකල්පයක්. එදා ඔහු කළ ඒ විග්‍රහය දූපත්වාසීන්වන අපි තරම් අත්විදින කිසිම ජාතියක් මුළු ලෝකයේම නැති තරම්!

ග්‍රාම්ස්චි

මේ සංකල්පය සරලව විස්තර කරන්න නම් උදාහරණත් ගේන්න වෙනවා. හිතන්න ජනතා පීඩක ආණ්ඩුවකට විරුද්ධව හරි, එහෙමත් නැතිනම් ‘මම තමයි හොඳටම කළේ’ කියලා ජනතාව මහපාරටම ඇදලා දමපු මන්දබුද්ධික පාලකයෙකුට හරි එහෙමත් නැතිනම් රටේ දරුවන්ගේ අධ්‍යාපන ගැටළු ගැන කතා කරන්න රෝයල් එකේ ටයි කෝට් දරුවන් ගෙන්වන මෙලෝ රහක් නැති පාලකයෙකුට හරි විරුද්ධව ජනතාව වීදි බහිනවා කියලා. එතකොට ආණ්ඩුව ඒ ජනතාව මර්දනය කරන්න පාවිච්චි කරන මූලිකම අවි තමයි හමුදාව, පොලිසිය සහ අධිකරණය. විධායක බලතල තියෙන රටක නම් මේ මර්දනය හරිම පහසුයි. රටේ පොලිසියේ ප්‍රධානීන් දූෂිත වුණාම තනතුරක් ගන්න ඕනම ජඩ වැඩක් කරන ‘බන්ධු දේශලා’ත්, කුලී ‘සේනාධිපතිලාත්’ ඉන්න නිසා මර්දනයෙන් ජනතා බලය යටපත් කරන්න පුළුවන්.

ඒත් ඒ විදියට කරන මර්දනය හරිම තාවකාලිකයි. මොකද මිනිස්සුන්ට වේල් තුනෙන් දෙකක්වත් කන්න නැති වුණාම, දරුවන්ට පොත් පත් අරන් දෙන්න බැරි වුණාම, එදා දවස ගෙවා ගන්න බැරිව හිඟා නොකා හිඟා කන තත්ත්වයටම වැටුනම මිනිස්සු ආයෙත් වීදි බහින එක වළක්වන්නම බැහැ. ඒ නිසා ආයුධයෙන් කරන මර්දනය අතිශය තාවකාලිකයි.

ඉතින් මේක ආණ්ඩුවට හරිම පීඩනයක්. මොකද තමන්ගේ දූ දරු යාළු මිත්‍රයන් දැනටමත් විඳින අටෝරාසියක් වෙච්ච සුඛ විහරණයන් නිදහසේ විඳගන්න මේක හිරිහැරයක්. ඔළුවට බරක්. මොකද ජනතාව පාරට බැස්සොත් චූටි කුකූට නිදහසේ රොකට් යවන්න බැහැ. දළඳා මාලිගාව වටේ රේස් යන්න බැහැ. යුරෝපයේ සවාරි ගහන්න බැහැ. සිංගප්පූරුවට ගිහින් හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න බැහැ. අයිඩෙන්ටිටි දෙකක් එක්ක වීඅයිපී පාස්පෝට් දෙකක් තියාගන්න බැහැ. කොටින්ම කිව්වොත් ආර්යාවට ‘මෙත් මල් පිබිදේවා’ කියලා යටිගිරියෙන් භක්ති ගීත කියන්නත් බැහැ. මේක ආණ්ඩුවට විතරක්ම තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. විපක්ෂයේ ඉන්න හොරුන්ටත් මේ ප්‍රශ්නය ඔය විදියටම තියෙනවා. මොකද ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් දෙපැත්තෙම වැඩි හරියක් ඉන්නේ පාදඩ පංතියේ සාමාජිකයන් හින්දා.

ඉතින් පක්ෂ විපක්ෂ භේදයක් නැතිව ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් ඉන්න හොරු ඔක්කොම ටික එකතු වෙලා කල්පනා කරනවා ජනතා පීඩනයක් නැතිව කොහොමද තව දුරටත් අපි රටේ සම්පත් මංකොල්ල කන්නේ කියලා. ඔන්න එතකොට තමයි ග්‍රාම්ස්චිගේ හෙජමනිය කියන සංකල්පය එළියට එන්නේ.

ඉතින් රටේ පාලනය කොයි තරම් දුර්දාන්ත, අධම, දූෂිත, නිර්ලජ්ජිත පාලනයක් වුණත් ඒ පාලනය ජනතා හිතවාදී මානව දයාවෙන් පිරුණු යහපත් පාලනයක් කියලා ජනතාවට ඒත්තු ගන්වන්න පුළුවන් නම් සදාකාලිකවම බලයේ ඉන්න පාලකයන්ට පුළුවන්. පහුගිය කාලය පුරාම සිද්ධ වුණා වගේ. මේක හරිම ප්‍රබල ඒ වගේම අතිශය සාර්ථක උපක්‍රමයක්. එතකොට ආණ්ඩුවට පුළුවන් ප්‍රචණ්ඩත්වය පතුරුවන්නේ නැතිවම පහසුවෙන් තමන්ගේ පාලනය ගෙනි යන්න. මොකද රටේ පුරවැසියන් හිතනවා පාලක පංතියේ ඒ කියන්නේ ධනපති පංතියේ අවශ්‍යතාවන්, විශ්වාසයන්, ක්‍රියාකාරකම්, සරලවම කිව්වොත් පාලකයන්ගේ හැම තීන්දු තීරණයක්ම සමාජයේ දියුණුවට හේතු වෙන පොදු වටිනාකම් කියලා. ඒත් මේක බොහොම සීරුවට කරන්න ඕන දෙයක්. ආණ්ඩුවට බැහැ තනියම ඔය වැඩේ කරන්න. මොකද පුරවැසියන්ට දැනටමත් පාලක ධනපති පංතිය එපා වෙලා තියෙන හින්දා. ඉතින් කොහොමද එහෙනම් මේ වැඩේ කරන්නේ…?

ග්‍රාමිස්චි පැහැදිලි කරලා දෙනවා ඒක කරන්නේ කොහොමද කියලා. මේ වැඩේ දී ග්‍රාම්ස්චි බුද්ධිමතුන් වර්ග දෙකකට බෙදනවා. එක් කොටසක් තමයි සම්ප්‍රදායික බුද්ධිමතුන් (traditional intellectuals). එයාලා තමයි ඕනම ක්ෂේත්‍රයක අපි දන්න සැබැ උගත්තු. උදාහරණයක් විදියට පුරාවිද්‍යාවේ නම් පරණවිතාන, දැරණියගලලා වගේ අය. තාරකා විද්‍යාවේ නම් ආතර් සී ක්ලාක්, සිරිල් පොන්නම්බලම්ලා වගේ අය. භාෂා සාහිත්‍යයේ නම් මලලසේකර, සරච්චන්ද්‍රලා වගේ අය. සේනක බිබිලේ, කේ. එන්. ජයතිලක, පෝල් ඊ. පීරිස් වගේ අය. තවත් බොහොම දිග නම් ලැයිස්තුවක්ම කියන්න පුළුවන්. මේ වගේ අය හැමකාලයකම තමන්ගේ උගත්කම නිසාම බැබළෙන උදවිය. පොදුවේ ගත්තම ඒ අය තමන්ගේ ශාස්ත්‍රීය දැනුම බෙදා දෙන පිරිස.

ග්‍රාම්ස්චි පෙන්වන අනෙක් බුද්ධිමතුන් කොටස තමයි Organic intellectuals කියන පිරිස. Organic කියන වචනය ඓන්ද්‍රීය කියලා සිංහල බාසාවට පෙරළුවත් ඒක මෙතැනට ගැලපෙනවාද කියලා හිතෙනවා. කොහොම වුණත් මේ කියන ඓන්ද්‍රීය බුද්ධිමතුන් තමයි අර අපි කලින් විස්තර කළ කාර්යයට ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්න පිරිස. ඒ කියන්නේ ඕනෑම දුර්දාන්ත පාලනයක් ජනහිතකාමී පාලනයක් කියලා පෙන්වන්න ආණ්ඩුවට සහාය වෙන පිරිස. තේරෙන බාසාවෙන් කියනවා නම් මෙයාලා තමයි රටේ ජනතාවගේ මොළ හෝදන (brain washing) කට්ටිය. මේ පිරිස අර කලින් කිව්ව බුද්ධිමතුන් ගනයට වැටෙන්නේ නැහැ. මෙයාලා හතු පිපෙනවා වගේ කාලෙන් කාලයට දේශපාලනය හිතවත්කම් මත මතුවන පිරිස. මෙයාලාට සර්වකාලීන වටිනාකමක් කොහෙත්ම නැහැ. ඒ ඒ කාලවල ජනප්‍රිය ධාරාවත් එක්ක එකතුවෙලා පාලක පංතියේ බලය පවත්වා ගන්නට පුරවැසියන්ගේ මොළ සෝදන අතරේ තමන්ටත් යමක් අතමිට මොළවා ගන්න එක තමයි මෙයාලගේ කාර්යභාරය.

ග්‍රාමිස්චි පෙන්වා දෙන මේ වර්ගයේ කණ්ඩායමට හ‍ෙඳම උදාහාරණය තමයි අපේ රටේ කලාකාරයන් කියලා ඉන්න බහුතර පිරිස. මතකනේ පහුගිය ජනාධිපතිවරණය. අධම පාලකයන් මහරජාට අන්දවලා ගී රචනා ලියැවුණා. ලෝකෙත් නැති අංක එකේ ජාවාරම්කාර හොර පවුල් බුදුන්ගේ ශාක්‍ය වංශයට සම්බන්ධ කළා. ජනනායක ටියුෂන් ගුරාලා ඉගැන්වීම පැත්තක තියලා රට බේරා ගන්න අන්තිම අවස්ථාව වෙනුවෙන් දරුවන්ගේත්, දෙමව්පියන්ගේත් මොළ හේදුවා. දැන් ආගිය අතක්වත් හොයා ගන්න නැති වියත් මග කියලා මෙලෝ රහක් නැති ඔලමොට්ටල සංවිධානයකුත් බිහිවුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ පාදඩදෙනිය වර්ගයේ දොස්තරලා එකතු වෙලා පාලකයන්ගේ හැම අදුරදර්ශී තීරණයක්ම සාධාරණීකරණය කළා. ඓන්ද්‍රිය නිකායට අයත් චීවරධාරීන්, ජනතා ද්‍රෝහීන් බුද්ධ ශාසනයේ ආරක්ෂකයන් කරලා පිරිත් නූල් බැන්දා. රහත් වුණා කියලා හිතාගෙන තමන්ම චූන් වෙන අතරේ වගාවක් කරගෙන කිරට මිරිසට තෙලට ඌරු මසක් පිහගෙන ජීවත් වෙන කාමසුඛල්ලිකානුයෝගී ගනින්නාන්සේලාත් මේ කියන වර්ගයට අයිතියි. දූෂිත අධම පාලකයන් ජනහිතකාමී පාලකයන් විදියට සඵපිළිවලින් සරසනවාට කප්පම් විදියට තානාපතිකමක්, කුලතිකමක්, ජීවිතාන්තය දක්වා හිමිවෙන වැටුපක්, සුඛෝපභෝගී වාහනයක් දෙකක්, එයාලගේ දරුවන්ට ප්‍රභූ පන්නයේ රස්සාවක් වගේ දෙයක් සන්තෝසමට ලැබෙනවා. සමහර අයට නම් වීඅයිපී පාස්පෝට් එකක් දුන්නත් ඒක හොඳටම ප්‍රමාණවත්.

ෆයිල් තියෙනවා නම් ඇයි නඩු දාන්නේ නැත්තේ…?

ඔය කිව්ව පිරිස හින්දා ධනපති පංතියේ පාලකයන්ට සිද්ධ වෙන වාසිය මිල කරන්නට බැහැ. මොකද ග්‍රාම්ස්චි පෙන්වා දෙන විදියට මේ අයගේ කාර්යභාරය හින්දා පුරවැසියන්ට හිතෙනවා අපිට ගැලපෙනම නායකයන් තමයි මේ ලැබිලා තියෙන්නේ කියලා. කලින් කිව්වා වගේ ඒ ධනපති පාලක පංතියේ විශ්වාසයන් තමන්ගේම විශ්වාසයන් බවට පත්වෙනවා. පාලකයන්ගේ කාමසුඛල්ලිකානු යෝගයට අදාළ සෑම අවශ්‍යතාවක්ම රටේ අවශ්‍යතා විදියට දැනෙන්න පටන් ගන්නවා. තමන්ගේ දරුවන්ගේ ඇට මස් ලේ නහර වියැලී ගිහින් තිබුණත් රජ පැටවු ටික ලස්සනට බෝලෙට ඉන්නවා දකින්න ආස කරනවා. ඉතින් අන්තිමේ දී සිද්ධ වෙන්නේ පොදු ජනතාවගේ කැමැත්තෙන්ම, කිසිම ප්‍රචණ්ඩත්වයක් නැතිවම චිරාත් කාලයක් තමන්ගේ සුඛ විහරණය භුක්ති විදින්නට ජනතා ආශිර්වාදයෙන්ම ධනපති පාලක පංතියට ඉඩ ලැබෙන එක. ඕනෑම දුර්දාන්ත පාලකයෙකුට, මිනීමරු පීඩාකාරී පාලන තන්ත්‍රයකට මේ ක්‍රමය හරහා කිසිම අභියෝගයක් නැතිව තමන්ගේ පාලනය පවත්වා ගෙන යන්න පුළුවන් කියන එක ග්‍රාම්ස්චි පෙන්වලා දෙනවා. දියුණු බටහිර රටවල මේ කාර්යය කරන්න පාලකයන්ට අසීරුයි. ඒත් ලංකාව වගේ බොහොම පසුගාමී දූපතක හරිම පහසුවෙන් මේ කාර්යය කරන්න පුළුවන්.

ඉතින් මේ හින්දා අපිවත් ඇත්තටම දන්නේ නැහැ මේ දූෂිත පාලකයන්ට කොයි තරම් නම් සෙනෙහසක් බැඳීමක් අපේ යටිහිත්වල තෙරපිලා තියෙනවාද කියලා. අපේ දූ දරුවන්ගේ මුළු මහත් අනාගතයම විනාශ කරලා සුන්නද්දූලි කරලා දාපු ධනපති පාලකයන් මොනවා කළත් රටේ බහුතරයක් කැමැතියි ඒවා සාධාරණීකරණය කරන්න. ඒ දේවල් එහෙම වුණේ නැහැ කියලා හිතන්න. එහෙම වෙලා තියෙන බව දැන දැනත් එහෙම වෙලා නැහැ වගේ ඉන්න. ඉතින් ඒකට තර්ක කප්පරයක් අපිට තියෙනවා…. ෆයිල් තියෙනවා නම් ඇයි නඩු දාන්නේ නැත්තේ…?

ඉතින් පුරවැසියන්ට හිතෙනවා පාරවල් හදන්නේ, එන්නත් ගෙන්නන්නේ රටේ නායකයන් පුංචි කාලයේ ඉඳන් සතෙන් සතේ එකතු කරලා.. එකතු කරලා.. රන් කැකුළු ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කරලා ලැබෙන පොලියෙන් කියලා. දැන් ඉන්න ජනාධිපතිවරයායි, රජ පවුලේ වැඩිමහල් ජනාධිපතිවරයායි තිරුපති ගිහින් තමන්ගේ මස් පර්වතයේ බරට තරාදියට රත්තරන් පටවද්දී කිසිම කෙනෙකුට අහන්න හිතෙන්නේ නැහැ ඔය තරාදියේ අනෙක් පැත්තේ තියෙන්නේ අපෙන් හොරකම් කරපු සල්ලි නේද කියලා.

ග්‍රාම්ස්චි පෙන්වා දෙන හෙජමනිය කියන සංකල්පය ආණ්ඩුවට විතරක්ම අදාළ නැහැ. තමන්ගේ ආධිපත්‍යය පතුරුවන්න බලාගෙන ඉන්න ධනපති පංතියම නියෝජනය කරන විපක්ෂයටත් අදාළයි. එයාලා වෙනුවෙනුත් ඓන්ද්‍රිය කුලකයට අයත් පිරිස තමන්ගේ කාර්යභාරය ඉටුකරනවා කියලා ග්‍රාම්ස්චි පෙන්වා දෙනවා. උදාහරණයක් විදියට ප්‍රධාන විපක්ෂයේ ඉන්න ආර්ථික විද්‍යා ඔස්තාර් කෙනෙක් විලිලැජ්ජාවක් නැතිව ප්‍රසිද්ධියේම කිව්වානේ විපක්ස නායකවරයාට ගේට්ටුවක් මැද්දෙන් බස් එකක් පදවා ගෙන යන්න පුළුවන් වුණු හින්දා රටක් කරන්න පුළුවන් කියලා තමන් තේරුම් ගත්තාය කියලා. ඒ ප්‍රකාශයම ඇති ඒ ඔස්තාර්ගේ  ආර්ථික විද්‍යා ආචාර්ය උපාධියේ තරම තේරුම් ගන්න. (පුදුම වෙන්න දේකුත් නැහැ. ඔය පක්ෂයේම හිටිය ‘ප්‍රතිපත්ති සහ ක්‍රමසම්පාදන’ ඇමතිවරයෙක් කාලයකට කලින් පාර්ලිමේන්තුවේ දී කිව්වා ‘ප්‍රතිපත්තියක් නැති එකත් අපේ ප්‍රතිපත්තියක්’ කියලා. එයාටත් තිබුණා ආචාර්ය පට්ටමක්). ඉතින් ග්‍රාම්ස්චිගේ අර්ථ දැක්වීම අනුව කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘ඇත්ත නේන්නම්… බස් එකක් එළවන්න, මන්තරයක් ජප කරලා අලියෙක් එළගන්න බැරි කෙනෙක් ජනාධිපති කෙනෙක් වෙලා මොකටද?’ කියලා. එක අතකට ඒකේ වරදකුත් නැහැ… බලු සෙල්ලම් වලට හිත ගිය මහාචාර්යවරුන් (මානසික රෝග තිබීම ලැජ්ජාවට කරුණක් නෙමෙයි, ඒත් මානසික රෝගීන් රටේ ජනතාවගේ පාලකයාට උපදෙස් දීම නම් හිත කීරිගැස්සෙන තරම් බයානකයි), ඇටන්ඩන්ට්වරුන් රටේ ජනාධිපතිවරයාට උපදෙස් දෙන රටක, මේ තරමින්වත් රට ඉතිරිවෙලා තියෙන එක ප්‍රාතිහාර්යයක්ම තමයි. ඉතින් ඒ විදියේ උපදෙස් ලබන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේදි අංගුලිමාලයි දේවදත්තයි පැටලෙන එක පුදුමයක් නෙමෙයි. පුදුම වෙන්න ඕනේ දේවදත්ත බුදුන්ට පටලැවුණේ නැති එක ගැනයි.

කංජිපානි රටින් පැන ගත්තත්, තිළිණි ගෙදර ගියත්, යුද විරුවා ජනතා සල්ලි වලින් ඩුබායි සංචාරය කළත්, සඳගල උස්සපු ඇමති පුතාට රජ සැලකිලි ලැබුණත් මොකද මන්දිරයේ ගස්ලබු කාපු කොල්ලා අල්ලා ගත්තානේ…! මහ බැංකුව උලාකාපු කබ්බො තමන්ගේ ටිකිරි මොළෙන් රටක් හ‍ිඟමනට ඇදලා දාපු හැටි ගැන පොත් ලියලා ඒකෙනුත් හම්බු කරනවා. මහා මෙහෙයුමක් වගේ පොලිස් කොස්තාපල්ලා එකතුවෙලා කොළ මැල්ලුමක් එක්ක බත් හැන්දක් බැඳගෙන ඉස්කෝලයට එන පොඩි උන්ගේ දිරාගිය ඇටකටු පොඩි කරලා මත්කුඩු හොයද්දී පොලිස් ලොක්කගේ ගෙදර ගංජා හම්බුවෙන්නේ ගෝනි ගනනින්. ඒ අස්සේ නියෝජ්‍ය කථානායකගේ වත්තේත් ගංජා සරු සරුවට. බාස්ගේ පැනිය පොල්කටු හැන්දෙන් බිව්ව කථානායකවරයෙක් ඉන්න රටක නියෝජ්‍ය කථානායක ගංජා වැවුවත් මොකද?

වඳ කොත්තු සීසන් එක ඡන්දයෙන් පස්සේ නැත්තටම නැති වුණා. අක්කරෙයිපත්තුවේ ඉඳන් ගිරුවා පත්තුවට ආවත් වඳ කොත්තුවක් නම් දැන් මිලදී ගන්නවා බොරු. අයිස් උවදුරෙන් ජාතියේ දූ දරුවන් බේරා ගන්න නාමල් කැකුළක් පිපෙන්න ඔන්න මෙන්න තියෙද්දි කොම්බුවයි, සූරියයි චැනල් දෙක ඕවර් ඇක්ටින් කරන්න ගිහින් පිටපත නාගත්තා. ඒ හින්දා ජාතියේ දූ දරුවන්ගේ අනාගතය අයිස් උවදුරෙන් නම් යාන්තමට බේරුණා. දැන් තියෙන්නේ බුද්ධාලම්භන ප්‍රීති සමය. මුළු රටම වෙසක් කලාපයක් වෙලා. පුදුමාකාර බුද්ධාලම්භන ප්‍රීතියක්. දළඳාව ගැන රචනා ලියැවෙනවා. වැලේ වැල් නැතිව හිටිය දේශපාලන අනාථයෝ බුද්ධාගම රැකගන්න පංචායුධ බැඳගන්න කාලේ. රට ජාතිය බේරගන්න දැන් ආයෙත් සෑහෙන පිරිසක් ලක ලැහැස්ති වෙනවා. ගොඩබිමින් විතරක් නෙමෙයි හෙලිකොප්ටරයෙනුත් ගොඩ බහිනවා. කුණු ඇළවල් වලින් කානු පල්ලෙන් පොහොට්ටු පිපීගෙන පිපීගෙන එනවා. 

‘ප්‍රීති වෙසක්’ හැමදාම නැහැනේ. ඒ නිසා ග්‍රාම්ස්චිගේ න්‍යායට අලුතින්ම තිරගත වෙන්න තියෙන ඉදිරි මහජන දර්ශනවල ට්‍රේලර් මේ දවස්වල තැනින් තැන විකාශය වෙනවා. නිදහස සමරන්න කෝටි විස්සක් වැය කරන්න, අලුත් ඇමතිවරුන් පත් කරන්න, හිටපු ජනාධිපතිවරයාට ඩුබායි සාප්පු සවාරියට, ඇමති මණ්ඩලයේ වැඩි කළ සුඛ විහරණයන්ට සල්ලි තිබුණත්, මැතිවරණයකට විතරක් මේ වෙලාවේ සල්ලි නැහැ. මැතිවරණය හකුලා දැමීමේ ව්‍යාපෘතියට සහාය දෙන්න මහ බැංකුවෙත්, භාණ්ඩාගාරයේත් ඓන්ද්‍රිය උගත්තු ප්‍රකාශ නිකුත් කරන්න පටන් ගත්තේ සති දෙකකට කලින් ඉඳන්. සමෘද්ධිය ගෙවන්න සල්ලි නැහැ… විශ්‍රාම වැටුප් ගෙවන්න සල්ලි නැහැ… රජයේ සේවක දීමනා ගෙවන්න සල්ලි නැහැ… මීටත් වඩා බොහොම සංවේදී ට්‍රේලර් ඉදිරියේ දී ඔබට දකින්න ලැබේවි. ඔබ ග්‍රාම්ස්චිව හරියට කියවලා නොතිබුණොත් බයිස්කෝප් එක බලන්නත් කලින් ට්‍රේලර් එකටම ඔබේ දෑස් කඳුලින් පිරිලා යාවි.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුලුව 70 පැනපු මහල්ලන් 16කට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. 60 පැනපු අයත් එක්ක එකතු කරලා බැලුවාම ඒ ගණන තිහකට වැඩියි. මේ ජීවිත නඩත්තු කරන්න, ආරක්ෂාව දෙන්න, පිරිවර ඥාති සේනාවට සුඛ විහරණය දෙන්න තමයි විදුලිය කප්පාදුවට අපි හුරුවෙලා ඉන්නේ. අධික ජීවන බරට අපි කරදීලා ඉන්නේ. පාදඩ දේශපාලන යන්ත්‍රණයකින් ඇතිකළ කෘත්‍රිම ආර්ථික අර්බුදයකට තමයි මේ ගෙවිලා යන තත්පරයේ අපි මුහුණ දීලා ඉන්නේ.  

පැව්ලොව්ගේ බල්ලා

මතකයි නේද පැව්ලොව්ගේ (Ivan Pavlov) බලු පරීක්ෂණය…? බල්ලෙකුට කන්න දෙද්දී සීනුව නාද කරන්න පුරුදු වුණාම කන්න නොදුන්නත් සීනු නාදයට පවා බල්ලගේ කටට කෙළ උනනනවා. සීනුව අයින් කරලා කෑම දෙද්දිම විදුලි බල්බයක් පත්තු කළාම, කෑම නැතත් විදුලි එළියටත් කටට කෙළ උනනවා. පැව්ලොව් ඔය පරීක්ෂණය කරලා පෙන්නුවේ ගිය සියවසේ. ඒත් හාල් මිටියට, සීනී රාත්තලට, ගැබිණි මවට දෙන වතුර බේසමට, ටකරමට, කොටින්ම කිව්වොත් වැසිකිලි පෝච්චියට සංවේදී වෙලා කතිරය ගහන්න ගියොත් විසි වැනි සියවසේ පැව්ලොව්ගේ බල්ලයි, 21 වැනි සියවසේ ඉන්න ලංකාවේ ඡන්දදායකයයි අතර කිසිම වෙනසක් නැති වෙනවා.

තමන්ගේ කාම සුඛල්ලිකානු ජීවිතය අභියෝගයට ලක්වෙලා කියලා පෙනෙද්දි දැන් තියෙන අලුත්ම තුරුම්පුව තමයි චන්දය කටු ගාන්නට කරන යෝජනාව. ඒත් අමතක කරන්න එපා. කතිරයෙන් උරුමකරගත් මේ කාලකන්නි පාලන රටාව විනාශ කරන්නටත් පුළුවන් කතිරයෙන්ම පමණක් බව!

මතකනේ මේ කතාවේ මුල හිටිය ඔල්සන්ව. තමන්ව අත්අඩංගුවට ගත්තාට පස්සේ, දූපතේ ඉන්න පුරවැසි අපි හැමෝටම කනට ගැහුවා වගේ ප්‍රකාශයක් ඔල්සන් පොලිසියට කිව්වා.

“මේ හැම දේකම වැරැද්ද ප්‍රාණ ඇපයට හිටිය අයගේ. එයාලාට කරන්න කියලා මං කිව්ව හැම දෙයක්ම එයාලා කළා. ඒගොල්ලෝ එහෙම නොකළා නම් මම මෙතැන මේ විදියට නොඉන්න ඉඩ තිබුණා. ඇයි එයාලා කවුරුත් මට විරුද්ධව නැගී හිටියේ නැත්තේ? එයාලා දවසින් දවස අපිත් එක්ක එකගෙයි කනවා වගේ තමයි ජීවත් වුණේ… හරියට එළුවො වගේ”

(“It was the hostages’ fault. They did everything I told them to do. If they hadn’t, I might not be here now. Why didn’t any of them attack me? They made us go on living together day after day, like goats”

සහතික ඇත්ත ඔල්සන්! ඔයාගේ ප්‍රණ ඇපකරුවොයි අපියි අතර කිසිම වෙනසක් නැහැ. අපිත් කැමැතියි අපි කැමැති නායකයාගේ පා සෙවනේ දුක් විඳලා අපේ දරුවන්ටත් ඒ දුකම ඉතිරි කරලා මැරිලා යන්න.

2 thoughts on “ආදරෙයි මම ආදරෙයි!

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: