සේපාලිකා මල් ගහ යට!

සවස් වරුවේ රාජකාරී වැඩ ඉවර වුණාට පස්සේ, සිසිල් සුළං රැල්ලක පහස විඳගන්න ගමන්ම ළඟ පාත තියෙන වීදියක් දිගේ ඇවිද ගෙන යාම සෑහෙන කාලයක ඉඳන් නොකඩවා කරන පුරුද්දක්.

මේ කියන්නට යන්නේ ඒ වගේ ඇවිද ගිය එක්තරා සැන්දෑවක් ගැන.

ඒ සරත් සෘතුවේ හවස් වරුවක්…. ඈතින් පෙනෙන හිම කඳු යාය අතරින් හිරු අහසේ ගිලිලා යන්න ඔන්න මෙන්න තිබුණු හෝරාවක්.

ග්‍රීස්ම සෘතුවේ කොළ පැහැති තුරුපත් හැම එකක්ම වාගේ සරත් සෘතුවේ දී දේදුනු පාටින් පාට වැටෙනවා. මේ හින්දා සරත් සෘතුවේ දී දේදුනු පාට තුරු පත් විසිරිලා ගිය වීදි දිගේ ඇවිද ගෙන යාම පුදුමාකාර ආස්වාදයක්. මේ විදියට ඇවිදින්නට යන හවස් වරුවල අඩුම තරමින් සතියකට වතාවක්වත් පුස්තකාලයට ගොඩ වැදීමත් අනිවාර්යයෙන්ම සිදු කෙරෙන කාර්යයක්. ප්‍රාන්තය පුරා විහිදිලා විසිරිලා තියෙන මහජන පුස්තකාල, සරසවි පුස්තකාල වගේ සිය ගණනක් පුස්තකාල වලින් ඇණවුම් කරපු පොත්පත් ගෙන්නගන්න, කියවපු පොත් පත් නැවත භාර දෙන්න, එහෙමත්නි නැතිනම් පුස්තකාලයට තවම ආවේ නැති වෙළෙඳ පොළේ ඇති අලුත්ම අලුත් පොතපත ඉල්ලුම් කරලා ගෙන්නගන්න නිතර නිතර පුස්තකාලයට යන්න වෙනවා. (පුස්තකාලයේ මේ හැම සේවාවක්ම, සාමාජිකත්වය පවා මුළුමනින්ම නොමිලය් ලැබෙන වචනයේ පරිසමාප්තියෙන්ම සේවාවක් බවත් සඳහන් කරන්නටම ඕනේ)

ඔය විදියට පුස්තකාලයට ගොඩ වදින හැම මොහොතකම නොවරදවාම අනුගමනය කරන තවත් පුරුද්දක් තියෙනවා. හවස් වරුවේ ඇවිදින්න යන වෙලාවල්වල විතරක් නෙමෙයි, දවල් වෙලාවක හදිසියේම පුස්තකාලයට ගියත් ඒ පුරුද්ද නම් අත් හරින්නම බැහැ. පුස්තකාලයට අලුතින්ම එන පොත් පත් ප්‍රදර්ශනය කෙරෙන “New Arrivals” රාක්ක දිහා නොබලා කිසිම දවසක පුස්තකාල දොරෙන් පිටනොවීම තමයි ඒ පුරුද්ද.

ලෝකයේ අලුත්ම පොත පත විශේෂයෙන්ම කැනඩාව, ඇමරිකාව වගේ රටවල අලුතින්ම නිකුත් වෙන පොත පත සතියක් දෙකක් වගේ කාලයක් ඇතුළත පුස්තකාලයේ මේ පොත් රාක්කවලට ගොඩ වදිනවා. විවිධ විෂයන් යටතේ ලියැවුණු මේ පොත්පත් නවීන ලෝකයේ අලුත්ම අලුත් දැනුමින් සන්නද්ධයි. පාසලේදී, සරසවියෙදි, එදිනෙදා ජීවිතයේ දී අපි ඉගෙන ගත්ත, ඒ වගේම අපි ඇත්තයි කියලා හිතාගෙන ඉන්න කරුණු කාරණා මති මතාන්තර බොහොම දේවල් සුණු විසුණු වෙලා යන අලුත්ම දැනුමින් මේ පොත්පත් පිරිලා ඉතිරිලා. ඒ වගේම සම්ප්‍රදායිකව පාසල් පද්ධතියෙන්, උසස් අධ්‍යාපන ආයතනවලින් අපි ලබා ගත්ත දැනුම අද වෙනකොට කොයි තරම් නම් යල් පැන ගිහිල්ලා ද කියලා වැටහෙන්නේ මේ පොත් පත්වල නැවුම් දැනුම් සාරය උරා බොන කොට තමයි. කොටින්ම කිව්වොත් වේගයෙන් ඉදිරියට ඇදෙන දැනුම් ලෝකය ඉස්සරහ අපි කොයි තරම් නම් කුරා කුහුඹින්ද කියලා දැනෙන්නේ මේ පොත් පත් පිටු අතර තනි වුණාමයි.

පුස්තකාලයේ ඔය කිව්ව විදියේ අලුත් පොත් පත් අතර සැරිසරද්දී තමයි ඒ පොත අහම්බෙන් ඇහැ ගැටුණේ.

සේපාලිකා මල් ගහ! – Night Jasmine Tree

අලුත් දැනුමින් සන්නද්ධ විවිධ විෂයන් යටතේ තියෙන පොත් පත් වලට හිත ඇදිලා ගිහින් තියෙන නිසා නවකතා කෙටිකතා පොත් පත්වලට පෙරදා තරම් වැඩි බරක් නොදුන්නත් මේ පොතේ නම හින්දාම පොත අතට අරන් පිටුවක් දෙකක් කියවලා බලන්නම හිතුණා. අතරින් පතර කියවපු පිටු දෙක තුනට හිත ගිය නිසා අන්තිමට නතර වුණේ පොත ගෙදර ගෙනැල්ලා දවස් තුන හතරක් ඇතුළත පොත එක දිගටම ආසාවෙන් කියෙව්වාටත් පස්සෙයි.

පොතේ කතා නායකයා ශන්කර්. ඉන්දියාවේ දැඩි සාම්ප්‍රදායික බ්‍රාහ්මණ පවුලක එකම පුත්‍රයා. මේ වංශවත් බ්‍රාහ්මණ තාත්තා කුල භේදය බොහොම තදින් හිතට ගත්ත කෙනෙක්. ඒ නිසාම ශන්කර්ට සිද්ධ වෙනවා තමන්ගේ ළමා වියේ ඉඳන්ම බ්‍රාහ්මණ පවුලක දැඩි වතාවත් රකින්න. භගවද් ගීතාවේ පාඨ හැමදාම කටපාඩම් කරන්න. පාරිශුද්ධත්වයට පත් වෙන්න ගව මුත්‍රා පවා බොන්න. සමහර වෙලාවට කිරි වීදුරුවට ගොම බිංදුවක් පවා දමලා පානය කරන්න. බ්‍රාහ්මණ කුලයට පිටින් කවුරුන් හරි ගෙදරට ආවොත් ඒ කිළුට වහගන්න කරන වතාවත්වලට අමතරව ඒ පුද්ගලයාට කන්න බොන්න දුන්නු පිඟන් කෝප්ප පවා වීසී කරලා දාන්න තමයි ගෙදර හැමෝම පුරුදු වෙලා හිටියේ.

ශන්කර් අතිශය දක්ෂ ශිෂ්‍යයෙක්. උසස් අධ්‍යාපනයට සරසවියට ඇතුළු වුණාට පස්සේ සරසවියේ දීත් ඉහළින්ම ලකුණු ගත්ත කැපී පෙනෙන ශිෂ්‍යයෙක්. ශන්කර්ට දුර්ගා හමුවෙන්නේ සරසවියෙදි. මේ හමුවීම කෙටි කාලයකින්ම ප්‍රේමයක් බවට පෙරළෙනවා. ඒත් දුර්ගා අයිති වෙන්නේ බ්‍රාහ්මණ කුලයට නෙමෙයි. මේ ප්‍රේමය අත්හරින්නට බ්‍රාහ්මණ පියා තර්ජනය කළත් ශන්කර් තමන්ගේ ප්‍රේමය අත්හරින්නට සූදානම් නැහැ. අන්තිමේ දී සිද්ධ වෙන්නේ ශන්කර්ව ගෙදරින් එළවලා දැමීම. දුර්ගාගේ ගෙදර රැකවරණය ලබන ශන්කර්, විවාහයෙන් පස්සේ ශිෂ්‍යත්වයක් ලැබිලා ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. දුර්ගාත් පසුව ඔහුට එකතු වෙනවා. අලුත් ජීවිතයක් අරඹන ශන්කර් සහ දුර්ගා දෙදෙනාම විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් බවට පත්වෙනවා. මේ අතර කාලයේ දී දුර්ගා කිහිප සැරයක්ම ඉන්දියාවට ගිහින් ආවත් ශන්කර් සිය පවුලත් එක්ක තිබුණු සියලුම බැඳීම් අත් හැරලා දානවා. කොටින්ම කිව්වොත් ඉන්දියාව ගැන කතා කරන්නවත් ශන්කර් කැමති වෙන්නේ නැහැ. ශන්කර් තමන්ගේ ඒ අතීතය ගැන තමන්ගේ පුත්‍රයා වන සමීර් එක්කවත් කතා කරන්නේ නැහැ.

බ්‍රහ්මණ පවුලක දෙමව්පියන් මිය ගියාම ආගමික වතාවත් කරන්නට ඉදිරිපත් වෙන්නට ඕනේ තමන්ගේම පුත්‍රයා. ඒක බ්‍රාහ්මණ දරුවෙකුගේ වගකීම වගේම හැම බ්‍රාහ්මණ දෙමව්පියෙකුගේම අපේක්ෂාව. ඒත් ළමා වියෙහි දී තාත්තගෙන් ලැබුණු දැඩි පීඩනයත්, විවාහය නිසා තමන්ව පවුලෙන් ප්‍රතික්ෂේප කිරීමත් හින්දා ශන්කර් තමන්ගේ ඉන්දියානු ජීවිතය මුළුමනින්ම අමතක කරලා දාලයි ඉන්නේ. ඇමරිකාවේ දී ශන්කර්ගේ ජීවිතය සමෘද්ධිමත්. ඒත් වරින් වර ඉන්දියානු අතීතය ශන්කර්ගේ මතකය පාරනවා. ඒත් ඒ අතීතය ඔහු කිසිවෙකුත් එක්ක බෙදා හදා ගන්නේ නැහැ. මේ වෙනකොට ශන්කර්ගේ දෙමව්පියන් මිය ගිහිල්ලත් සෑහෙන කාලයක් ගෙවිලා ගිහින්. මේ නිසා හින්දු සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් ශන්කර්ගේ දෙමව්පියන්ට හිමිවුණේ නැහැ.

ඔන්න ඔය අතරේ තමයි ශන්කර්ට බෞද්ධ දර්ශනය ගැන උනන්දුවක් ඇතිවෙන්නේ. බෞද්ධ දර්ශනය හැදෑරීමත් එක්ක ශන්කර්ගේ මුළු ජීවිතයම වෙනස් වෙනවා. වෛරය පිරුණු හදවතකින් කිසිම දවසක කරුණාව මෛත්‍රිය පහළ නොවන බව ශන්කර් වටහා ගන්නේ බෞද්ධ දර්ශනයට සමීප වීමත් එක්කමයි. අන්තිමේ දී ශන්කර්ගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා. ඔහු තමන්ගේ යුතුකම් සොයා අතීතයට පියමං කරනවා.

කෙටි ඡේද කිහිපයකින් විස්තර කළත් Night Jasmine Tree කියන්නේ පිටු 300 කටත් වඩා වැඩි පොතක්. මේ පොත ඇතුළේ ශන්කර් – දුර්ගා ජීවිතයත් එක්කම පෙරදිග – අපරදිග සමාජ ජීවිතය, ඉන්දියානු සමාජයේ සංස්කෘතික අත්දැකීම්, බෞද්ධ කතා ආදිය ගලාගෙන යන්නේ හරිම අපූරුවට ප්‍රධාන කතාවත් එක්ක බද්ධ වෙලා. ඒ නිසාම මේ පොතට සමර්සෙට් සාහිත්‍ය තරගයෙන් (Somerset Literary Award) ප්‍රථම ස්ථානය හිමිවෙනවා. ප්‍රථම ස්ථානය ලබපු ත්‍යාගයේ හේතු පාඨයත් හරිම අපූරුයි‍ : “East Meets West, and Past Meets Present” (පෙර අපර දෙදිග සුසංයෝගය – අතීතය වර්තමානය සමග අතිනත ගැනීම)

පොතක් කියවලා ආස්වාදයක් ලැබුවාට පස්සේ, ඔහු ජීවමාන ලේඛකයෙකු නම්, ලෝකයේ කොහේ හිටියත් ඔහුට පෞද්ගලිකවම ඒ ආස්වාදය දැනුම් දෙන එක කාලාන්තරයක් පුරා කරගෙන එන කාර්යයක්. ඒකට හේතුව ලේඛකයෙකුට තමන්ගේ පාඨකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොයි තරම් නම් උත්තේජනයක් ද කියන එක අත්දැකීමෙන්ම දන්න නිසා. මේ නිසා පොතේ ලේඛකයා ගැන හොයා ගෙන යද්දී ඔහු ඉන්නේ අල්ලපු ගමේ කියලා දැනගත්තාම ඇත්තටම පුදුම හිතුණා. අල්ලපු ගමේ කිව්වට, ඇත්තටම නම් අල්ලපු රටේ. ඇමරිකාවේ බෙලින්හැම්වල (Bellingham). කැනඩා ඇමරිකානු දේශ සීමාවේ ඔහු ඉන්නේ ඇමරිකානු බෝඩරයේ. මගේ පදිංචිය කැනඩා බෝඩරයේ.

කතුවරයාගේ නම ඩෙබු මජුම්ඩාර්. (Debu Majumdar). සම්මානලාභී පොත් පත් ලිව්වත්, ඔහු වෘත්තියෙන් න්‍යෂ්ඨික විද්‍යා මහාචාර්යවරයෙක්. ඇමරිකානු රජයේ බලශක්ති අමාංත්‍යශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක්. (Senior Scientific and Technical Adviser with the U.S. Department of Energy). ඒ වගේම වියානාහි ජාත්‍යන්තර පරමානු බලශක්ති අධිකාරියේ ඇමරිකාව නියෝජනය කළ විද්‍යාඥයා වුණේත් ඩෙබු. දැන් ඔහු විශ්‍රාමිකයි. පොත් පත් ලිවීමට වැඩි කාලයක් යොදවන ඩෙබුට Bo Tree House කියලා තමන්ගේම ප්‍රකාශන ආයතනයකුත් තියෙනවා. Night Jasmine Tree පොතට අමතරව තවත් පොත් කිහිපයක්ම ඔහු ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

දුරකථනයෙන් ඇතිවුණු හිතවත්කම මිත්‍රත්වයක් දක්වා දිග් ගැහුණා. ලේඛයෙක් වුණු මේ පරමාණුක විද්‍යා මහාචාර්යවරයා තමන්ගේ සුදු ජාතික බිරිඳ කැතරින් එක්ක සති අන්තයේ අපේ ගෙදරට ගොඩ වුණේ , සුදෝ සුදු හිම පියල්ලෙන් මහ පොළොව වැහිලා ගිය දවසක.

කල්කටාවේ බ්‍රාහ්මණ හින්දු පවුලක උපත ලබපු ඩෙබූ දැන් අවුරුදු තිහක කාලයක ඉඳන් බෞද්ධයෙක්. Night Jasmine Tree නවකතාවත්, ඩෙබුගේ පෞද්ගලික ජීවීතයත් අතර ළඟම සම්බන්ධයක් ඇති කියලා හිතුණේ පොත කියවන අතරේ ඔහුගේ තොරතුරුත් හොයලා බලපු හින්දයි.  මේ හින්දා මගේ නිවහනට ගොඩවෙලා මාත් එක්ක සතුටු සාමීචියේ යෙදෙන න්‍යෂ්ටික විද්‍යා මහාචාර්ය ඩෙබු කියන්නේ ශන්කර්ම නේද කියලා නොඅසා ඉන්නටම මට බැරි වුණා.

“අපොයි නැහැ… මගේ පවුල ඒ තරම් තද ගතිගුණ තිබුණු පවුලක් නෙමෙයි. බොහොම ලිබරල්” සුදු පාට දිගැති රැවුල අතගාමින් ඩෙබු කීවේ මහ ලොකු හිනාවකුත් එක්ක.

“ඒ කියන්නේ සුදු ජාතික කැතරින් එක්ක විවාහ වෙද්දී ඔබේ ඉන්දියානු බ්‍රාහ්මණ පවුලෙන් කිසිම ගැටලුවක් ඇති වුණේ නැහැ…?”

“එයාලා වඩාත් කැමැති වෙයි මම බෙංගාල තරුණියක්ව බැන්දා නම්… ඒත් විරෝධයක් ආවේ නැහැ”

“ඔබ උපතින්ම හින්දු පවුලක ඉපදිලා හින්දු දර්ශනයත්, පස්සේ කාලයක ක්‍රිස්තියානි දර්ශනයත් ගැඹුරින් හදාරපු කෙනෙක්. ඉතින් අවුරුදු තිහකට කලින් ඇයි ඔබට තමන් බෞද්ධයෙක් කියලා ප්‍රකාශයක් කරන්න හිතුණේ…? බෞද්ධ දර්ශනයට ආකර්ශනය වෙන්න විශේෂ හේතුවක් තිබුණ ද ?” මට බොහොම කුතුහලයක් ගෙන දුන්න ප්‍රශ්නය මම ඩෙබුගෙන් ඇහුවා.

“මූලිකම දේ සර්ව බලධාරී දෙවි කෙනෙක් නැති වීම… ඒක තමයි බෞද්ධ දර්ශනය හදාරන්න මාව පොළඹවපු තැන…” ප්‍රශ්නය අහපු සැනින්ම ක්ෂණික උත්තරයක් දුන්නු ඩෙබු ඒ කාරණාව තවත් පැහැදිලි කළා.

“ඇත්තටම කියනවා නම් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මට ඕන වුණා බෞද්ධ දර්ශනය හදාරන්න. මගේ අයියා ආගමික දර්ශනයන් හදාරපු කෙනෙක්. එයා මට කිව්වා, බුදු දහම ගැන හදාරන්න නම් හිතන්නවත් එපා… ඒක ඒ තරම්ම අසීරු දර්ශනයක් කියලා. ඒ නිසා මං එදා ඒ අදහස අත්හැරියා. ආචාර්ය උපාධිය ගන්නකල්ම දිගටම ඉගෙනීමේ වැඩයි, වෘත්තියයි නිසා බෞද්ධ දර්ශනය හදාරන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. මගේ පුත්තු දෙන්නා ඉපදුනාම මං එයාලගේ ආගම විදිහට නම් කළේ හින්දු කියලයි. ඒත් භෞතික විද්‍යාව වගේ විෂයක් ගැඹුරින් හදාරද්දී බුදු දහමේ සංකල්ප හදාරන්න තව තවත් කැමැත්ත ඇති වුණා. අන්තිමේ දී දරුවොත් ලැබිලා අවුරුදු හතළිහ විතර වුණාට පස්සේ තමයි මට කාලය ආවේ බෞද්ධ දර්ශනය හදාරන්න. ඒ දර්ශනය කොයි තරම් නම් මාව වශී කළාද කියනවා නම් මම ප්‍රසිද්ධියේම මගේ නෑ හිත මිතුරන් හැම දෙනාටම කිව්වා දැං මං බෞද්ධයෙක් කියලා”

“එතකොට කැතරින්…?” මගේ ප්‍රශ්නය කැතරින් දිහාවට යොමු වුණා.

“මම ඉපදුණේ නිව්යෝර්ක්වල. මගේ දෙමව්පියන් සම්ප්‍රදායික කතෝලික. ඒත් මට ඉස්කෝලේ යන කාලයේ ඉඳන්ම ඔය දේව සංකල්පය, මැවුම්කාර දෙවියන් ගැන හැමදාමත් ගැටලු තිබුණා. ඒ නිසා මට ඒවා ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. මම විශ්ව විද්‍යාලයේ දී හැදෑරුවේ ඉතිහාසය. මම බෞද්ධ දර්ශනය හදාරලා බෞද්ධයෙක් වුණේ ඩෙබුව මුණ ගැහෙන්නත් කලින් ඉඳන්”

“ඩෙබු වගේ ආසියානු ජාතිකයෙක් එක්ක විවාහ වෙද්දී ඔබේ සුදු ජාතික දෙමව්පියන් අකමැති වුණේ නැද්ද?”

“අපි විවාහ වුණේ දැනට අවුරුදු පනහකට විතර කලින්. ඒ කාලයේ ආසියානු දුඹුරු හම තියෙන කෙනෙක් එක්ක සුදු කෙල්ලෙක් විවාහ වීම කොහෙත්ම සාමාන්‍ය දෙයක් වුණේ නැහැ. ඒ නිසා මගේ දෙමව්පියන්ගෙත් ඒ ගැන කැමැත්තක් තිබුණේ නැහැ. මගේ දෙමව්පියන් බොහොම ඈතකට ඉගෙන ගත්ත අය නෙමෙයි. අපේ ගෙදර ආපු කෙනෙකුට ඩෙබු ගැන තියෙන අකැමැත්ත පෙන්නපු වෙලාවක එයා අම්මාට මෙහෙම කිව්වා: ‘ඔයා  මේ මොනවද කතා කරන්නේ? ඩෙබූ කියන්නේ මිචිගන් සරසවියේ මහාචාර්යවරයෙක්… තව වෙන මොනවද ඔයා හොයන්නේ?’ ඔන්න එතකොට තමයි අම්මටත් තේරුණේ ඩෙබු කොයි මට්ටමක කෙනෙක් ද කියලා” කැතරින් කිව්වේ හිනා වෙවී.

උපතින් හින්දු පවුලක උපත ලබලා බෞද්ධයෙකු වුණු ඩෙබුත්, උපතින් කතෝලික පවුලක උපත ලබලා බෞද්ධයෙකු වුණු කැතරිනුත් බොහොම නිදහස් සාමකාමී දිවි පෙවෙතක් ගත කරන වයෝවෘධ ඇමරිකානු පුරවැසියන්. ඔවුන්ට පුතුන් දෙන්නෙක් ඉන්නවා. එක් පුතෙක් වෛද්‍යවරයෙක්. අනෙක් පුතා නීතිවේදියෙක්. ඇමරිකානු රජයේ අතිශය ඉහළ තනතුරු දැරු තැනැත්තෙකු වුණත්, ඩෙබු අතිශය නිහතමානී බොහොම සරල සුන්දර මනුස්සයෙක්.

ලංකාවේ දී පැවිදි දිවියට පත් වෙලා දැනට ඇමරිකානු බෞද්ධ සම්මේලනයේ සභාපති විදියට කටයුතු කරන ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු ජාතික ‍‍‍ථෙරවාද හිමිනමක් වන භික්ඛු බෝධි ඇසුරින් බෞද්ධ දර්ශනය හදාරන ඩෙබු තමන්ගේ ජීවිතයටත් බෞද්ධ දර්ශනයේ සරලත්වය සමීප කරගෙන තියෙනවා.

ජීවිතයේ මුල්ම වතාවට ලංකාවේ රසයට පිළියෙල කෙරුණු ගැමි කෑම වේලක් බොහොම කැමැත්තෙන් රස විඳින ගමන්ම ඩෙබු – කැතරින් විවාහ දිවියේ රසවත් සිදුවීම් ඔවුන් අපිට විස්තර කළා.

ඒ අතරේ කැතරින් තවත් රසවත් සිදුවීමකට තමන්ගේ මතකය අවදි කළා.

“1970 ගණන්වල මම ඉන්දියාවට ගියා සංචාරයකට. ඒ සංචාරයේ දී මං ලංකාවටත් එන්න හිතාගෙන හිටියත් අසනීප වුණු නිසා ලංකාවට එන ගමන මග හැරුණා. මං ඔය සංචාරයට ගියේ ඩෙබුව බඳින්න කලින්. ඩෙබුව බදින්න කලින් මට ඕන වුණා ඉන්දියාවේ සංස්කෘතිය ගැන දැනගන්න. ඒ කාලයේ නව දිල්ලියේ සුදු තරුණියක් කොටට ඇඳගෙන යාම ලොකු කලබගෑනියක්. ඒක එයාලා දැක්කේ නිරුවතින් යනවා වගේ. මම නවදිල්ලියේ පාර දිගේ යද්දී කොල්ලෝ රෑනක්ම මගේ පස්සෙන් එන්න පටන් ගත්තා. එයාලා කියන දේවල් වලින් මම තේරුම් ගත්තා, මේ කියන්නේ මම නිරුවතින් පාරේ යනවා කියන එක තමයි කියලා. අන්තිමේ දී මට සිද්ධ වුණා ටේලර් සාප්පුවකට ගිහින් සරුවාලයක් ගන්න. ඉතින් මම සරුවාලය ඇඳගෙන එළියට එද්දිත් කොල්ලො ටික ටේලර් සාප්පුව ඉස්සරහ. මම කොට ඇඳුම නැතිව සරුවාලය ඇඳන් එළියට ආවා විතරයි, එයාලා හැමෝම අයියෝ කියලා හීල්ලුවා….” කැතරින් කිව්වේ අපි හැමෝම සිනා සාගරයක ගිල්ලමින්.

සංස්කෘත භාෂාව ගැනත් දැනුමක් තියෙන ඩෙබු මේ දවස්වල රාමායණය නව අර්ථ කථනයක් එක්ක අලුත් පොතක් විදියට එළි දක්වන්න සූදානමින් ඉන්නවා. සමුගන්නට මත්තෙන් ‘From the Ganges to the Snake River’ කියන තමන්ගේ තවත් අපූරු පොතක් ඩෙබු මට තෑගි කළා. ඇමරිකානු ජීවන රටාට තුළ ගැටෙන ආසියානු (ඉන්දියානු) සංස්කෘතිය ගැන රසවත් අත්දැකීම් සමුදායක් මේ පොතට අන්තර්ගතයි. පොත කියවන්නට තාම ඉඩක් ලැබුණේ නැතත්, පොතේ පිදුමට ම මගේ හිත ඇදිලා ගියා.

“To my sister, Dr Nilima Sarker, a true scientist who will probably never find any time to read this collection”

(පිදුම – මේ පොත කියවන්නට තරම් කාල වේලාවක් කවදාවත්ම හොයා ගන්නට ඉඩක් නොලැබෙයි කියලා හිතෙන, විද්‍යාවටම ජීවිතය කැප කළ මගේ සොයුරිය ආචාර්ය නිලීමාට!)

7 thoughts on “සේපාලිකා මල් ගහ යට!

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: