පහස  – Touch

මං කාමරයට ඇතුලු වෙද්දි තාත්තා හිටියේ කපු පුළුන් මෙට්ටය ‍උඩ දිගාවෙලා… බිත්තිය පැත්තට හැරීගෙන. සෙරෙප්පු දෙක දොරකඩ දී ගලවලා දාලා, කාමරයට ඇතුලු  වුණු වෙලාවේ ඉඳන්ම මගෙන් කිසිම සද්දයක් පිට වුණේ නැහැ.

“නිදි ද?” ඇඳ දිහාවට එන ගමන් මං ඇහුවා.

“කවුද මේ?” ඔහු මං දිහාවට හැරුණා.

“මේ මම”

“එන්න… මෙතැනින් ඉඳගන්න” ඔහු කිව්වේ ඇ‌ඳේ දිගාවෙලා හිටපු ඉරියව්වෙන්මයි. මං යකඩ පුටුවක් පැත්තකට ඇදලා ගන්න හඬට ඔහු මෙහෙම කිව්වා: “ඇයි ඔය තරම් ඈතින්…?  එන්න දුවේ… මේ මගේ ළගින්ම ඉඳගන්න”. දිගා වෙලා හිටිය තැනින් හිඳ ගැනීමේ ඉරියව්වකට හරි බරි ගැහෙන ගමන්ම මෙට්ටයේ තමන් සමීපයෙන්ම තිබුණු තැනක් පෙන්වමින් ඔහු ඇඳට හිමිහිට තට්ටු කළා.

මං ඇඳ කෙළවර ලී ගැට්ට උඩින් ඉඳගත්තා.

එහාට මෙහාට අතපත ගාමින් මාව හොයා ගත්ත තාත්තා මගේ පිට දිගේ අත යැව්වා. “ඉඳගන්න”, මෙට්ටයට තට්ටු කරමින් ඔහු කිව්වා.

ඔහු හිටිය තැනින් යාන්තමින් එහාට වෙලා මං ඉඳගත්තා.

දෑත් එහාට මෙහාට යවලා මගේ අත් දෙක හොයා ගත්ත ඔහු ඒවා තමන්ගේ දෑත් අතර රඳවා ගත්තා. “මං ඔයා එනකම් හැමදාම බලාගෙන ඉන්නවා. හැම දෙයක්ම හොඳින් නේද?”

“හ්ම්ම්”, මං හිමිහිට කිව්වා.

ඔහු තවත් කිසිම දෙයක් කිව්වේ නැහැ. නිහඩවම මගේ දෑත් පිරිමදින්න පටන් ගත්තා.

විවාහ වෙන වයසට මං ඇතුලු වෙච්ච කාලයේම වගේ එක්තරා දවසක අපි දෙන්නා රික්ෂෝ එකක කොහේදෝ මන්දා ගමනක් ගියා. ඕන තරම් ඉඩකඩ තිබුණත් මං ඉඳගත්තේ රික්ෂෝවෙ ඈත කොණක මුල්ලටම වෙලයි.

“හරියට ඉඳගන්න… ඔයා වැටෙන්න පුළුවන්” තාත්තා කිව්වා.   

අදිමදි කරපු මං ඔහු දිහාවට යාන්තමට ළං වුණා.

අකුරු කියවන්න මං පුරුදු වෙන කාලයේ ඔහු සාමාන්‍යයෙන් තරමක පරතරයක් තියාගෙන තමයි මාත් ඒක්ක කතා කළේ. හරියට අකුරු අස්සෙන් විනිවිද බලනවා වගේ… එහෙමත් නැතිනම් පාරිශුද්ධත්වය ගැන තිබුණු චාරිත්‍ර වාරිත්‍ර ගැන සැලකිලිමත් වෙච්ච හින්දා වෙන්න ඇති, ඔහුගේ ඇස් දෙකින් තමයි මට කතා කළේ. ඔහුට ළං වෙලා ඇගලුම්කම් පාන්න තරම් නිර්භීතකමක් මට තිබුණේ නැහැ. ඔහුව දැක්ක හැම මොහොතකම මට දැනුණේ මං ඇඟපත දෝවනය කරලා අලුතින්ම හෝදපු ඇඳුම් පැළඳුම් ඇඳ ගන්න ඕනේ කියලයි. මං තව තවත් මගේ ලෝකය ඇතුළෙම හුදෙකලා වුණා. අන්තිමට ඒක පුරුද්දකට ගියා. ඉතින් කොහොම ද මං රික්ෂෝ එකේදි ඔහුව ගෑවෙන තරමට ළං වෙලා ඉඳගන්නේ?

ඉස්කෝලේ ඇරිලා ගෙදර එන පුංචි අපිව ළගට ගෙන්නලා ඔහු එහෙන් මෙහෙන් අහන ප්‍රශ්නවලට අපි උත්තර දුන්නේ ගිරව් වගේ. ඒ විතරක් නෙමෙයි, එළිපත්තේ හිටගෙන අපි දිහාවට රවාගෙන ඔහු මෙහෙම අහනවා: “උඹලා ගණන්වලට ලකුණු කීයක් ද ගත්තේ? ලකුණු දුන්නු කොළේ මට අරගෙන ආවද?” අපි හැමෝම ඔහුට හොඳටම බයයි. අවුරුදු විස්සක් වෙනකල්ම ඒ භීතියෙන්ම තමයි මං ජීවත් වුණේ. දැන් පවා ඒ බය මගෙන් පළා ගිහින් නැහැ.   

තාත්තට දැන් අසූවත් පැනලා. ඇස් පෙනීම ආපහු යථා තත්ත්වයට පත් කරන්නට ඔපරේෂන් එකක් කරන්න දැන් නම් වයස හොඳටම වැඩියි. වෙන අසනීපයක් නැති වුණත් ඇස් පෙනීම නැති හින්දා දැන් ඔහු අන්ත අසරණයි. පහුගිය අවුරුදු දෙකේම තාත්තා ඉන්නේ ඇඳටම වෙලා තමයි.

මගේ නැන්දම්මා අසනීපයි කියලා දැනගන්න ලැබුණු හින්දා ටික දවසකට නිවාඩුවක් අරගෙන අපි ආවේ එයත් එක්ක කාලය ගත කරන්න බලාගෙන. නගරයට ආපු හැම වෙලාවකට මං කොහොම හරි පොඩි වෙලාවක් හොයා ගන්නවා අම්මගෙයි, තාත්තගෙයි මුහුණ බලල යන්න. පැය භාගයක් විතර තාත්තා ළඟ ඉඳගෙන කතා කරලා මං ආපහු යන්න යනවා.

තාත්ත ළඟ ඉඳගෙන මෙහෙම කතා කරද්දී තාත්තට සමීප වීම ගැන පුංචි කාලයේ මතකය තාමත් මගේ හිතේ සක්මන් කරනවා. දැන් තාත්තා මගේ අත තාත්තගෙ අත් දෙක අතරට අරන් ආදරයෙන් පිරිමදිද්දී මට මතක් වෙනවා පුංචි කාලයේ දී තාත්තාගේ අතේ පහස ලබන්නට මං යටිහිතෙන් කොයි තරම් නම් ආසාවකින් හිටියද කියලා. ඒක මට මගේ මේ ඇස් දෙකින්ම හරිම අපූරුවට සිහිපත් වෙද්දී ඇස් දෙකම කඳුළින් බර වෙනවා. කතා කරගන්න බැරිව හුස්ම හිරවෙන්න යනවා. තාත්තගෙ ආදරණීය පහස ලබන්නට මං කොයි තරම් නම් ආසාවකින්, කොයි තරම් නම් බලාපොරොත්තුවෙන් හිටිය ද කියලා ඔහු දන්නවානම්…?

අපි අතර හුවමාරු වෙච්ච ලියුම් ගනුදෙනු වලදී ගලාගෙන ගිය ආදර සෙනෙහස, අපි හමුවෙන හැම මොහොතකම දැන් මේ විදියට සිඳී වියැකිලා යන්නේ ඔහුට එදා තිබුණු දුරස්තර උදාරත්වයත් සැඩපරුෂ නෙත් හී සැරත් හින්ද ද? මට මතක ඇති පුංචි කාලයේ ඉඳන්ම ඔහුගේ ඇස් දෙක දිහා බලන්නට මට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක හරියට හිරු රැස් දහර වගේ දවා හළුකරන බැල්මක්. ඒක මට දරාගන්න බැරිවුණු හින්දාම මං ඒ දෑස් මග හැරියා. අන්තිමට ඒකත් පුරුද්දකට ගියා. දැන් ඔහුගේ දෑස් නිවිලා ගිය පහන් දෙකක් වගේ කියලා දැන දැනත් තාමත් මට ඇයි බැරි ඔහුට ළං වෙන්න?

මුල්ම සැරේට මගේ නගරයේ ඉඳන් ඇවිත් ඔහුගේ ඇඳ විට්ටම අයිනේ ඉඳ ගනිද්දී මෙට්ටය උඩ මකුණො එහෙ මෙහෙ යන හැටි මං දැක්කා. මං එයින් එකෙක් දෙන්නෙක් හිමිහිට අල්ලගෙන මගේ කකුල යටට තියලා පාගලා  පොඩි කරලා දැම්මා.

එදාට පස්සේ අපේ ගෙදර ඇඳ උඩ මකුණෙක්  දැක්කම මගේ සැමියාට තරහ යනවා. ඒකට හේතුව මං තාත්තා බලල එන වෙලාවක මගේ ඇඳුමෙ එල්ලිලා උන් එන්න ඇති කියලා හිතන හින්දා. තාත්තා බලන්න යන්න හදන හැම වෙලාවකම, ඇඳ උඩ ඉඳ ගන්නේ නැතිව තරමක් ඈතින් පුටුවක් උඩට වෙලා කතා කරන්න කියලා මගේ සැමියා මට අනතුරු හඟවලයි තියෙන්නෙ.

ඒත් මං පුටුවක් ඇදලා අරන් ඉඳගන්න හදන හැම මොහොතකම තාත්තා මෙහෙම කියනවා: “එන්න… මගේ ළඟට ඇවිත් ඉඳගන්න”. කොහොමද මං බැහැ කියන්නේ? මං තාත්තගේ ඇඟට හේත්තු වෙලා මගේ අත් දෙක තාත්තගේ දෑත් අතරේ රඳවා ගන්නකල්ම තාත්තා සෑහීමකට පත් වෙන්නේ නැහැ.

තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම තාත්තාට ඕන වුණේ පුත්තුම තමයි…  ඒත් අන්තිමට  ඉතිරි වුණේ කෙල්ලො අපි විතරයි. ජීවිතයේ අන්තිම කාලයෙ දි මුළු පවුලකම බර දරාගත්ත රූස්ස ගහක් විදියට ඔහුට පුතෙක් ලැබුණත්, ඔහු මිය ගියා. ඔබ කියනවා නම් ඒක තමයි ‘ඉරණම’ කියලා ඔව්, මාත් හිතනවා ඒක හරියි කියලා. මගේ සහෝදරයාගේ මරණයෙන් පස්සේ මං තාත්තා දිහා බලන්න පවා පස්ස ගැහුවා…  හරියට මං වැරැද්දක් කළා වගේ. තාත්තව තදින් අල්ල ගෙන “අඩන්න එපා… මං ඉන්නවානේ” කියලා කියන්න මට ඕන වුණත් ඔහුව ස්පර්ශ කරන්න මං බය වුණා. එහෙම තමයි ඔහු මාව හැදුවෙ වැඩුවෙ.

ටික වෙලාවක් ඔය විදියට ඉඳගෙන කතා කර කර ඉන්න අතරේ කකුලෙයි අතෙයි නියපොතු කපලා දාන්න කියලා තාත්තා මට කිව්වා. ඔය වගේ දෙයක් අම්මට නම් කියන එකවත් තේරුමක් නැහැ… අම්මගෙ ඔළුව උඩ ඒ තරමටම වැඩ රාජකාරි කන්දක්. මට බැහැ මගෙ මල්ලිගෙන් උදව් ඉල්ලන්න… එයා තව දුරටත් අපි අතර නැහැනේ. එයාගෙ දරුවො කොහේ හරි ජීවත් වෙනවා ඇති. මගෙ නෑනන්ඩිගෙන් අහන්න විදියකුත් නැහැ. සමහර විට ඔහු ඒක මගෙන් ඇහුවේ ඒ වගේ දේවල් මගේ අතින් සිද්ධ වෙනවා දකින්න තාත්ත ආස හින්දා වෙන්න ඇති. ඒක නම් මට තෑග්ගක්ම තමයි. මං බොහොම සතුටින්, හරිම සැලකිල්ලකින් තාත්තගෙ නියපොතු කැපුවා.

මං හිතන්නේ තාත්තගෙ හිතට නිවනක් නැහැ. මගේ අතේ පහස විඳින ගමන් ම තාත්තා මෙහෙම කිව්වා: “ඔයා ආපහු මේ නගරයට ආපු එක හොඳයි… මට පුළුවන් ඔයත් එක්ක ඉන්න එන්න”. මං තාත්තා දිහා බැලුවේ හරිම අසරණ වෙලා. තාත්තට පුළුවන් කමක් නැහැ මගේ ඇස් දිහා බලන්න.

මගේ වචන තාත්තට කිසිම සැනසිල්ලක් ගෙනාවේ නැහැ.

එයින් පස්සේ තාත්තා කිසිම දෙයක් ඇහුවේ නැහැ. ඇ‌ඳේ ඉඳගෙන හිටපු ඉරියව්වෙන් නිහඩවම, මගේ අත එක දිගටම ආදරයෙන් පිරිමැදගෙන ගියා. අන්න ඒ වෙලාවේ… මගේ රැකියාව, මගේ අධ්‍යාපන කටයුතු මේ හැම දෙයක්ම මගේ දෑස් ඉස්සරහින් ඇඳිලා ගියේ ඒවා නිකම්ම නිකම් හිස් රූප පෙළක් විතරක්ම බවට පත් කරලා. මං තව ටික වෙලාවක් එහෙමම හිටියා… ඊට පස්සේ නැගිටලා සමුගත්තා.

රික්ෂෝවට නැගලා ආපහු ගෙදර යද්දී තාත්තගේ මුදු පහස මගේ ළගින්ම දැවැටි දැවැටි, මං එක්කම මගේ පස්සෙන්ම එනවා වගෙයි මට දැනුණේ. මගේ දෑස් බර වෙලා. ඉස්සරහට විහිදුණු මාවත අන්ධකාරයෙන් වැහිලා ගියා.

_____________________________________________________________________

සුප්‍රකට තෙලිගු ලේඛිකා චායාදේවි (Abburi Chayadevi) ගේ “Touch” නම් මෙම කෙටිකතාව මා කියවූයේ මීට මාස කිහිපයකට (2022) කලින් කැලිෆෝර්නියා  සරසවි මුද්‍රණාලය මගින් ප්‍රකාශයට පත් කරන ලද “Sensitive Reading – The Pleasure of South Asian Literature in Translation” නම් නවතම කෘතියෙන්. (එම කෘතියේ සංස්කාරකවරුන් වන්නේ ජෙරුසලමේ හීබෲ සරසවියේ ආසියානු අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන් වන Yigal Bronner, David Shulman සහ Harvard Divinity School හි බෞද්ධ සාහිත්‍යය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය Charles ය).

මේ කෙටිකතාව සරල සිංහල බසට මෙසේ පරිවර්තනය කර කෙටි විවරණයක් කරන්නට මා පෙළඹවූයේ මෙම කෙටිකතාවේ නාමය (Touch) පරිදිම හදවතේ ගැඹුරුම ස්ථානයන් ස්පර්ශ කරමින් ගලා යන හද කම්පා කරවන සංවේදී සිදුවීම් පෙළ හේතුවෙනි.

අන්ධ භාවයට පත් ව සිය ජීවිතයේ අවසාන භාගය ගත කරන සිය පියා‍ණන් බැහැ දකින්නට යන දියණියක සහ එම පියාණන් අතර පවතින මානසික ‘දුරස්ථභාවය’ (distance) චායාදේවි විසින් ගෙනහැර පානු ලබන්නේ අතීතය මතක සමුදායක ගලා යාම වර්තමානය සමග අතිශය සංවේදී ලෙසින් මුසු කරමිනි. එහෙත් කතාවේ ගලා යාම අනුව පාඨකයාට ක්‍රම ක්‍රමයෙන් තහවුරු වන්නේ මේ දුරස්ථභාවය මතු වී ඇත්තේ ප්‍රචණ්ඩත්වය හෝ අනතුරුදායක හැගුමක් නිසා නොව පියාණන් විසින් සිය නිවස (කුටුම්බය) තුළ පවත්වා ගෙන යනු ලැබූ පිය භූමිකාවේ ‘මහානුභාවසම්පන්න භාවය’ නිසා බවය. ඒ භූමිකාව විසින් ඇති කරනු ලැබූ මානසික කම්පනය කෙතරම් ද යත් දියණිය විවාහවන්නට තරම් මුහුකුරා ගිය වයසකදීත්, පියාණන්ට ශාරීරිකව සමීප වීමට වඩා රික්ෂෝවෙන් ඇද වැටී තුවාල ලැබීමේ අනතුර තෝරා ගැනීමට තරම් ප්‍රබල වන බව පෙනේ. කුඩා දැරියක ලෙසින් ඇය විසින් මහත් ආශාවෙන් අපේක්ෂා කරනු ලැබූ සිය පියාණන්ගේ ආදරණීය පහස ලබා ගැනීමේ නොතිත් ආශාව තවමත් ඇය සිත තුළින් පහව ගොස් නොතිබුණ ද, පෙරදා පියාණන් විසින් පවත්වා ගෙන යනු ලැබූ මානසික දුරස්ථභාවය කෙතරම්ම ප්‍රබල ද යත් දෙනෙත් අඳව, ඇඳටම කොටු වූ අසූ හැවිරිදි විය ඉක්මවා ගිය වයෝවෘධ පියාණන් වෙත පහසුවෙන් සමීප වන්නට ඇයට තවමත් නොහැකිය. සිය දුබල වයෝවෘධභාවය හේතුවෙන් දියණිය වෙත පහසුවෙන් සමීප වන්නට පියාණන්ට හැකි වුව ද, උත්තුංගව නැගී සිටින අතීත බාධක පවුර හමුවේ ඒ උණුසුමින්ම සිය පියාණන්ට සමීව වන්නට දියණියට හැකියාවක් නැත. දුරස්තව සිට ලිපි මගින් කෙරුණු ගනුදෙනු තුළින් උතුරා ගලා ගිය ආදර සෙනෙහස් ගංගාව, ඔවුන් හමු වූ හැම විටෙකම පීඩාකාරී අතීත මතකයන් නම් වූ ගල්පර හමුවේ බිඳී විසිරී යන්නේය. ඇය කාලාන්තරයක් පුරා අසීමිත ආශාවෙන් බලා සිටි ඒ පිය පහස දැන් ඔහු නොමසුරුව පරිත්‍යාග කළත් මේ අලුත්ම ළෙංගතුකම දැන් ඇයට දුරස්ථය.

මෙම කෙටිකතාවේ දී මකුණා ද ද්විත්ව ආකාරයක සංකේතයක් බවට පත් කරන්නට චායාදේවි නම් ප්‍රතිභාසම්පන්න ලේඛිකාව සමත්ව ඇති බව පෙනේ. පියාණන්ගේ මේට්ටය මත නලියන මකුණන් සිය අතීත දිවියේ මානසික පීඩනය පෙන්නුම් කරන සංකේතයක් බඳුය. මකුණන් අල්ලා පයට පාගා පොඩි කර දමන්නාක් මෙන් ඒ මතකය මුලිනුපුටා දමන්නට ඇයට උවමනා වුව ද මෙට්ටය තුළින් යළි යළිත් මතුවන මකුණන් මෙන් ඒ පීඩකාරී මතකය ද ඇගේ සිත වරින් වර දවා හළු කර දමන්නේය. එමෙන්ම විවාහයෙන් පසු ඇය තව දුරටත් සිය පියාගේ අණසක මත නොව සිය සැමියාගේ අණසකට නතු විය යුතු චරිතයක් බව පෙන්නුම් කරන්නට ද චායාදේවි මකුණා යොදා ගන්නේ නිවසේ මකුණෙකු දකින හැම අවස්ථාවකම සැමියා කෝපයට පත්වන අයුරු විස්තර කරමිනි. සිය පියාණන් වෙතින් ඈත්ව හිද ගන්නා ලෙස ස්වාමියා ඇයට අවවාද කරන්නේය.

මෙම කෙටිකතාව තුළ දිග හැරෙන ඉහත කී අතිශය ප්‍රබල මනෝ විද්‍යාත්මක සංසිද්ධීන් අතරේ පෙරදිග ඉන්දීය සමාජයේ පමණක් නොව දකුණු ආසියානු සමාජය තුළ අඩු වැඩි ලෙසින් දැකිය හැකි සමාජ විද්‍යාත්මක පැතිකඩක් ද හෙළිදරවු කෙරේ.  මධ්‍යම පාංතික සම්ප්‍රදායික හින්දු පවුල් අතර පැවැති ‘පාරිශුද්ධත්වය’ පිළිබඳ සංකල්පය හේතුවෙන් එම පාරිශුද්ධත්වය කෙළෙසී නොයනු (polluting) පිණිස සිය දියණිය සහ බිරිඳ වුව ද ස්ත්‍රීත්වය නිසාම කිසියම් ආකාරයක හුදෙකලා භාවයකට පත්කරලීම ඉන්දීය සමාජය තුළ සාමාන්‍ය සංසිද්ධියකි. (තාගෝර්ගේ ගෝරා නවකතාව මේ පසුබිම අපූරුව‌ට විස්තර කරයි). මේ හේතුවෙන් සිය පියාණන් දකින හැම මොහොතකම දිය නා පිරිසිදුවීමේ ‘පාරිශුද්ධත්වයේ’ සංකල්පය දියණියගේ චිත්ත අභ්‍යන්තරයේ තැන්පත් වන්නේ ළාබාල වියෙහි සිටමය. සම්ප්‍රදායික හින්දු සමාජය තුළ මෙන්ම බොහෝ ආසියානු සමාජයන් තුළ විවාහයෙන් පසු දියණියට සිය සියලු බැඳීම් සිය පියාණන් වෙතින් සිය ස්වාමියාගේ අනන්‍යතාව වෙත මාරු වන්නට සිදු වන්නේය. මෙම කෙටි කතාවේ ද ඇයට සිය පියාණන් හමුවන්නට අවස්ථාව ලැබෙන්නේ සිය ස්වාමියාගේ මෑණියන් බැලීමට පැමිණෙන කෙටි කාලසීමාවක දී ලැබෙන විරාමයක් අතරතුරදීය. සැමියාගේ ද උපන් ගම ඇය ජීවත්ව සිටි නගරයම වුව ද දැන් ඔවුන් ජීවත් වන්නේ නගරයෙන් බැහැරව බව වටහා ගැනීමට හැකිය. පෙරදා ඇයට හුරුපුරුදුව තිබූ ඇගේ බාල වියෙහි නගරය වෙනුවට දැන් ඇයට “මගේ නගරය”  “අපේ ගෙදර” වන්නේ සිය ස්වාමියාගේ නගරය සහ ගෙදර මිස තවදුරටත් තමන් හැදුණු වැඩුණු නගරය හෝ නිවස නොවේ. ඇගේ කාර්යභාරය දැඩිව සීමා වන්නේ සිය ස්වාමියා සහ ඔහුගේ පවුලට මිස සිය පියාණන්ට හෝ පැරණි නිවසට නොවේ.

චායාදේවිගේ මේ ප්‍රබල කෙටිකතාව ඇයගේ ද කතාවයි. ඇය ද සිය ළමා විය ගත කළේ අතිශය සම්ප්‍රදායික අදහස් කරපින්නා ගත් බ්‍රාහ්මණ වංශයට අයත් පවුලකය. සිය වෘත්තීය ජීවිතයේ දී සිය පියාණන්ගෙන් දුරස්ථව නව දිල්ලියේ පුස්තකාලාධිපතිනියක ලෙස කටයුතු කළ ඇය ද සිය කුඩා විය ගත කළේ සිය පියාණන්ගේ දැඩි පාලනය යටතේය. දියණියන්ට අධ්‍යාපනය ලබා දීම පවා සීමා කෙරුණු පසුබිමක් තුළය. එබැවින් මෙම කෙටිකතාව ඇ‌ගේ ස්වයං චරිතාපදානයක් බදුය. තෙලිගු සාහිත්‍යයේ තාරකාවක් බඳු වූ ඇයගේ සාහිත්‍ය නිර්මාණ බොහොමයක පෙරදිග ස්ත්‍රියට මුහුණ දීමට සිදුව ඇති ඛේදනීය පැතිකඩ සංවේදීව විවරණය කරයි. ඇගේ  ‘Why shouldn’t girls laugh?’ කෘතිය ඊට කදිම නිදසුනකි.

මේ විශිෂ්ට සාහිත්‍යවේදිනිය 2019 වසරේදී සිය දිවියයෙන් සමුගන්නා විට ඇය 86 හැවිරිදි වියෙහි පසුවූවාය. 

6 thoughts on “පහස  – Touch

Add yours

  1. රසවිඳීමකුත් සමග පළකිරීම හොඳයි. කියවීමට හා රසවිඳීමට කැමති අයට මග පෙන්වීමකුත් තියනවා. කියවන්නා විඳි රසයත් එයින් පිළිඹිබු වෙනවා.

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: