මේසයක් උඩ බිත්තරයක්!

මේසයක් උඩ බිත්තරයක්!

හරිම සරල වාක්‍යයක්නේ! වාක්‍යය කියන කොටම බිත්තරයයි, මේසයයි ඔබේ හිතේ ඇඳිලා යන්න ඇති.

ඒත් ඔබට හොඳටම විශ්වාස ද ඔබ හිතෙන් මවා ගත්ත රූපයයි, මම හිතෙන් මවා ගත්ත රූපයයි එකක්ම කියලා…?

සමහරවිට ඔබේ හිතේ ඇඳිලා ගියේ මේසයක් මත තියෙන සුදු පාට කුකුළු බිත්තරයක් වෙන්න ඇති… නැතිනම් දුඹුරු පාට ගම් බිත්තරයක්…?

ඇයි මේ බිත්තරය තාරා බිත්තරයක් වෙන්න බැරි…? එහෙමත් නැතිනම් දැවැන්ත ප්‍රමාණයේ පැස්බර බිත්තරයක්…! නැතිනම් නිල්පාට රොබින් බිත්තරයක්? නැතිනම් තිත් වැටුණු වටු කුරුලු බිත්තරයක්…! ඔබ  ජීවත් වෙන්නේ බටහිර රටක නම් පාට පාටින් හැඩ දාපු ඊස්ටර් බිත්තරයක්…? ඇයි හම්ටි ඩම්ටි!

හරි අපි හිතමුකෝ කුකුළු බිත්තරය ගැනම… ඉතින් ඔබ හිතින් මවා ගත්තේ සුදුපාට කටුවත් එක්ක තියෙන බිත්තරයක් ද? ඇයි බිත්තර කටුව කඩලා  කහ මදයයි, සුදු මදයයි වෙන් වෙන්ව පෙනෙන බිත්තරයක් මේසය උඩ තියෙන්න බැරිද? බිත්තරය බැදලා… එහෙමත් නැතිනම් ස්කැරම්බල් කරලා තියෙන්න බැරිද?

දැක්කනේ… අතිශය සරල කාරණාවක් වුණත් අපි එකිනෙකා ඒක විග්‍රහ කරගන්නේ කොයි තරම් නම් වෙනස් විදියට ද කියලා.

ඔය ප්‍රශ්නය මතු කරන්නේ හෙක්ටර් (Hector Macdonald) කියන ලේඛකයා තමන්ගේ “Truth: How the Many Sides to Every Story Shape Our Reality” කියන අලුත්ම පොතෙන්.

බිත්තරයේ කතාව වගේම තමයි…  අපි බොහොම දෙනෙක් සමස්ත සිද්ධිය (Whole Picture) දකින්න සමත් නැහැ. මොකද ජීවිතය කියන්නේ හරිම සංකීර්ණ ක්‍රියාදාමයක්. සරල නිගමන, සරල උත්තර දෙන්න බැහැ. අපි හැම දෙනාම එකම ලෝකයක ජීවත් වෙනවා… එකම සිද්ධි දාමයක් දකිනවා… ඒත් ඒවා ගැන අපේ තේරුම් ගැනීම (understanding) රැඩිකල් විදියට වෙනස්. ඉතින් එහෙම බැලුවම අපි සාතිශය බහුතරයක් අර අලියා අතගාලා විස්තර කිව්ව අන්ධයෝ වගේ තමයි.

1911 අවුරුද්දෙදි බැරල් එකකට නැගලා නයගරා ඇල්ලෙන් පැනලා ලෝක වාර්තාවක් තිබ්බ බොබී ලීච් (Bobby Leach) මැරුණේ දොඩම් ලෙල්ලකට ලිස්සලා වැටිලයි. (ඔව්… ඔව්… මුස්ලිම් අන්තවාදයෙන් රට රකින්න ආපු විරුවා ශාරියා නීතියේ පිළිසරණ හොයා ගෙන මක්කමට ගියා වගේ තමයි).  හිතාගන්නවත් බැරි විදියට තමන්ගේ විද්‍යාත්මක චින්තනය මෙහෙයවලා පුදුමාකාර විදියේ රහස් පරීක්ෂණ කරපු ෂර්ලොක් හෝල්ම්ස් ගැන නොදන්නා කෙනෙක් නැහැනේ. ඒත් ඒ අසහාය රහස් පරීක්ෂක කතා මාලාව ලියපු ආතර් කොනන් ඩොයිලි තමන්ගේ ජීවිතයේ අන්තිම කාලය මුළුමනින්ම වගේ වැය කළේ ගුරු හරුකම් වගේ දේවල්වලට කියලා ස්ටර්න්බර්ග් (Robert Sternberg) තමන්ගේ ‘Why Smart People Can Be So Stupid’ කියන පොතෙන් පෙන්වලා දෙනවා. (ඔව්… අර ගිනිගත්තාය කියන පුස්තකාලයේ හිමිකාර මහල්ලා තිරුපති ගිහින් තමන්ගේ පංචස්කන්ධයේ බරට රත්තරන් පූජා කළා වගේ තමයි)

විභාගයක දී නම් ඔබෙන් ප්‍රශ්න කරන්නේ ඔබ ඉගෙන ගත්ත දේවල්වලින්නේ. ඒත් ජීවිතය එහෙම නෙමෙයි. ජීවිතයේ දී මුලින්ම අපිව පරීක්ෂාවට ලක්කරලා තමයි අපිට පාඩමක් උගන්නන්නේ. (In school, you’re taught a lesson and then given a TEST, in life, you’re given a test that teaches you a LESSON)

කලින් කිව්ව Truth කියන පොතේ කතුවරයා එක්තරා පරිච්ඡේදයක දී මෙහෙම ප්‍රශ්නයක් අහනවා.

තනි මිනිහෙක් වෙච්ච පිකාසෝ දවස් දෙක තුනක මහන්සියකින් අඳින චිත්‍රයක මිල, මිනිසුන් දහස් ගානක් එකතු වෙලා මාස ගණනාවක දැඩි පරිශ්‍රමයකින් පස්සේ හදන ගුවන් යානාවකට වඩා මිල අධික වෙන්නේ ඇයි කියන කාරණාව. කතුවරයාගේ පිළිතුර කියන්නට කලින් හරිම රසවත් සත්‍ය කතාවක් කියලා ඉන්නම්.

ඉතින් මම ජූස් ගාගෙනනේ හිටියේ!

උස අඩි හයකට ආසන්නයි…. බර රාත්තල් දෙසිය හැත්තෑවක්… කිසිම මුහුණු ආවරණයක් පැළඳගෙන නැහැ.

ඒ විදියේ මනුස්සෙයක් හතර වටේටම ආරක්ෂක කැමරා සවි කරලා තියෙන බැංකුවකට මහ දවාලේ ඇවිත් බැංකුවේ සල්ලි මංකොල්ල කන්න ආවොත් ඒ හොරාව කොහෙත්ම මග හැරෙන්න විදියක් නැහැ නේද? මොන හොරා ද ඒ විදියට බැංකුවක් මංකොල්ල කන්න එන්නේ? (නැහැ… නැහැ… ඔයාලා හිතන අගමැතිවරු දෙන්නා මහ දවල් මහ බැංකුව කොල්ලකාපු හැටි ගැන නෙමෙයි මේ කියන්න යන්නේ)

මේ කියන්න යන සිද්ධිය වුණේ ඇමරිකාවේ පිට්ස්බර්ග්වලදි. ඒ 1995 අවුරුද්දේ බක් මාසයේ දවසක. එක බැංකුවක් නෙමෙයි,  බැංකු දෙකක්ම! සල්ලි අරගෙන යන්න බෑග් එකකුත්, තුවක්කුවකුත් විතරක් අතට අරගෙන තට්ට තනියම බැංකු දෙක කොල්ලකාපු මේ මනුස්සයා අඩුම තරමින් මුහුණු ආවරණයක්වත් පැළඳගෙන හිටියේ නැහැ. සිද්ධිය වුණේ මහ දවාලේ… දෙනෝ දාහක් සෙනග අතරේ.  හිතන්න එපා ඔහුට මානසික රෝගයක් තිබුණා කියලා. බොහොම නිරෝගී මිනිහෙක්.  කිසිම මත් ද්‍රව්‍යයක් අරගෙන හිටියෙත් නැහැ. පොලිසියට තමන්ව අල්ල ගන්න කිසිම ඉඩක් නැහැ කියලා කොයි විශ්වාසයක් ඔහුට තිබුණා ද කියනවා නම්, සල්ලි අරන් පැනලා යන්න කලින් බැංකුවේ ආරක්ෂක කැමරාව ඉදිරියට ගිහින් හොඳට මුහුණ පෙන්නලා විරිත්තන්නත් ඔහු අමතක කළේ නැහැ.

මහ දවල් බංකු මංකොල්ලය බැංකුවේ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබූ අයුරු

පොලිසිය එනකොට හොරා පැනලා ගිහින් ඉවරයි. ඒත් ආරක්ෂක කැමරා පද්ධතියේ බොහොම අපූරුවට සටහන් වෙලා තිබුණු සම්පූර්ණ සිදුවීම ඒ මොහොතේම දහවල් 11 ප්‍රවෘත්තිවලට හැම මාධ්‍ය නාලිකාවකම ප්‍රචාරය කර හරින්න පොලිසිය කටයුතු කළා. හොරා ගැන මුල්ම ඔත්තුව ලැබෙන්න විනාඩියක්වත් ගියේ නැහැ. පුදුම වෙන්න දෙයක් නෙමෙයිනේ… කොයි තරම් නම් මෝඩ හොර කමක් ද? පැය කිහිපයකින්ම පොලිසිය හොරාගේ ගේ දොරකඩ!

පොලිසියට තමන්ව අත්අඩංගුවට ගන්න පුළුවන් වේවිය කියලා කිසිම විදියකින් සැක නොකළ හොරා, පොලිසිය තමන්ගේ ගේ දොරකඩ ඉන්නවා දැකලා පුදුමයෙන් ගල් ගැහුණා. පොලිසිය බොහොම පහසුවෙන් සල්ලිත් එක්කම හොරාව අත්අඩංගුවට ගත්තා.

හොරාගේ නම McArthur Wheeler. පොලිසිය තමන්ව සොයා ගැනීම ගැන පුදුමයෙන් පුදුමයට පත් වෙච්ච ආතර්ගේ කටින් මුලින්ම පිටවුණු වචනය මොකක්ද දන්නවද? “But I wore the juice” (ඉතින් මම ජූස් ගාගෙනනේ හිටියේ!)

දෙහි යුෂ කියන්නේ නොපෙනෙන්න ලියන්න පුළුවන් දියරයක් කියලා පුංචි දරුවෙක් වුණත් දන්නවානේ. දෙහි යුෂ භාවිත කරලා කඩදාසියක යමක් ලිව්වම බැලූ බැල්මටම කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. ඒත් ඉටිපන්දමක් වගේ තාපය නිකුත්වෙන තැනකට ඇල්ලුවාම තමයි ලියපු දේ මතුවෙන්නේ. මේක ඉස්කෝලවල හයේ හතේ පංතිවල විද්‍යාව පාඩම්වලත් කරන පරීක්ෂණයක්නේ! ඉතින් මේ කාරණාව පුංචි කාලයේ ඉඳන්ම ආතරුත් දැනගෙන හිටියා. ඉතින් එයා හිතුවා තමන්ගේ මුහුණේ ලෙමන් තවරා ගත්තම කාටවත් තමන්ව පෙනෙන්නේ නැහැ කියලා. මේක අත්හදා බලන්න කියලා මුහුණ පුරා ලෙමන් යුෂ තවරාගෙන එයා ඒ කාලයේ තිබුණු පෝලරොයිඩ් (Polaroid) කැමරාවකින් තමන්ගේම සෙල්පියක් අරගත්තා. මොකක්දෝ හේතුවකට ඇත්තටම ඒ පිංතූරයේ ආතර්ගේ මුහුණ සටහන් වෙලා තිබුණේ නැහැ. (සමහරවිට ආතර්ගේ ඡායාරූප ගැනීමේ හැකියාව බැංකු මංකොල්ල කෑමේ හැකියාවටත් වඩා දුර්වල ඇති). ඉතින් මුහුණ පුරාම ලෙමන් යුෂ තවරා ගත්ත ආතර්ට තද විශ්වාසයක් තිබුණා තමන්ව කාටවත් පෙනෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි එයා කිසිම බයක් සැකක් නැතිව මහ දවාලේම බැංකු මංකොල්ලයට ආවේ.

කලින්ම කිව්වනේ මේ ආතර්ට පිස්සු නැහැ. මත්ද්‍රව්‍ය අරගෙන හිටියෙත් නැහැ. ආතර්ට ඇත්තටම සිද්ධ වෙලා තිබුණේ බරපතළ අත්වැරැද්දක්. එහෙමත් නැතිනම් බරපතළ විදියේ වැරදි වැටහීමක්.  

අන්තිමේදී බැංකු මංකොල්ලයට වැරදිකරු වෙච්ච ආතර්ව සිරගෙට නියම වුණා වගේම සියවසේ මෝඩම මංකොල්ලය විදියට මේ බැංකු හොරකම ඉතිහාසගත වුණා.

ඉවරයි කියලා හිතුවට කතාව ඉවර නැහැ… දැන් තමයි ඇත්තටම කතාව පටන් ගන්නේ.

ආතර්ගේ බැංකු මංකොල්ලයේ මරි මෝඩකම ගැන හැම තැනම හැම දෙනාම කතා වෙද්දී ඒ දිහා වෙනත්ම විදියකට බලපු විශේෂ පුද්ගලයෙක් හිටියා. ඒ තමයි ඇමරිකාවේ කීර්තිමත් සරසවියක් වන කෝර්නල් සරසවියේ මනෝ විද්‍යා මහාචාර්ය ඩේවිඩ් ඩනින් (David Dunning). මේ සිද්ධිය ගැන දිගින් දිගටම කල්පනා කරපු මහාචාර්යවරයා, මානසික රෝගයක් නැති සාමාන්‍ය මිනිහෙකුට මේ විදියේ බරපතළ අත්වැරදීම් සිද්ධ වෙන්නේ ඇයි කියන එක ගැන අන්තිමේ දී ලෝක ප්‍රකට සිද්ධාන්තයක් එහෙමත් නැතිනම් සංසිද්ධියක් හඳුන්වා දුන්නා. මහාචාර්යවරයා සොයා ගත්ත ඒ සිද්ධාන්තය අද වෙනකොට ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත් වුණේ “Dunning-Kruger effect” කියන නමින්.

අපි කාටත් වැදගත් වන හරිම අපූරු සිද්ධාන්තයක්. මේ සිද්ධාන්තය විවිධාකාර විදියට විස්තර කරන්න පුළුවන්. ඉතාම සරලව අපි මෙහෙම කියමු. අපි හැමෝම හිතනවා කිසියම් අවස්ථාවකට ඉතාම හොඳට මුහුණ දෙන්නට අපිට හැකියාව තියෙනවා කියලා. ඒත් ඇත්තම තත්ත්වය නම් නම් ඒ ඒ අවස්ථාවල මතුවන සංකීර්ණ තත්ත්වය තේරුම් ගන්න තරම් අවබෝධයක් අප තුළ නොතිබීම නිසා අපි ඒවාට මුහුණ දෙන්නේ අර ආතර් වගේ හරිම දුර්වල විදියට. ජනප්‍රිය වචනවලින් කියනවා නම් හොඳටම කළේ මම තමයි කියලා හිතෙන කෙනා තමයි හොඳටම නාගෙන තියෙන්නේ. සමාජයේ තනි තනි පුද්ගලයන් විදියට ගත්තම අපි ගැන අපි තුළම තියෙන අධික විශ්වාසය, හැම දෙයක්ම දන්නේ මමයි කියලා හිතන මානසිකත්වය (මං පොර සංකල්පය) හින්දා අපේ ජීවිතවල බොහොම කටයුතු අපි අසාර්ථක කර ගන්නවා.

“Dunning-Kruger effect” මගින් මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ තමන් “නොදත් බව නොදැනීම”  (ignorant of your ignorance) තමන්ගේම විනාශයට මුලයි කියන කාරණාව. තනි තනි පුද්ගයන් විදියට ගත්තම මේ කාරණාව තමන්ගේ පුද්ගලික ජීවිතවල සාර්ථක අසාර්ථකබව මතුකරන තත්ත්වයක් විතරක්ම වුණත් රටක් විදියට ගත්තම ඒක හරිම බරපතළ කාරණාවක්. විශේෂයෙන්ම රටක පාලකයෙකුගේ නොහික්මුණුකම, අසමත්කම, අපරිණතභාවය, පොදුවේ ගත්තම තමන්ගේ නොහැකියාව වටහා නොගැනීම සාහසික කාරණාවක් බවට පත්වෙන්නේ එතැනදී. මෙකද එතැනදී ඒ මුග්ධ පාලකයා විතරක් නෙමෙයි මුළු මහත් රටේම ජනතාව වගේම නූපන් දරුපරපුරටත් ඒ වන්දිය ගෙවන්නට සිදුවන  හින්දයි.  දැක්කනේ ‘විරුවට’ වෙච්ච දේ. නොකියාම එදා ඇසළ මහේ සඳ පායා තිබූ රැයක රාජකීය යහනටත් නොදන්වාම විරුවා රටින් පැනලා ගියේ රට බරපතළ ආගාධයට දාලා විතරක් නෙමෙයි විරුවා වෙනුවෙන් කවි සිංදු ලියපු ප්‍රබුද්ධ වේසයෙන් පෙනී හිටපු කලාකාරයෝ, මහාචාර්යවරු, විශේෂඥයි කියන මරිමෝඩ වෛද්‍ය වෘත්තිකයෝ, චීවරධාරියෝ, පූජක ලෝගුධාරියෝ මේ හැම දෙනාම නන්නත්තාර කරලා දාලා…  මහදවාලෙම මහ සෙනගක් ඉස්සරහ නූල් පොටක්වත් නැතිවෙන තරමටම රෙදි ගලවලා දාලා. ආයෙ නම් ඇදුම් ඇන්දත් වැඩක් නැහැ දැන්. වෙනදා නම් මේ වගේ වෙලාවක කොටි නැගිටිනවානේ. මේ වෙලාවේ විරුවා පැන ගත්ත පැන ගැනිල්ලට නැගිටින්නවත් වෙලාවක් ලැබුණේ නැහැ කොටින්ට!

හරිම පුදුමයි නේද?

ඔය කිව්ව පිරිසගේ විතරක් නෙමෙයි අරගලයට කිසිම සහායක් නොදී ගෙදර ඉඳන් අරගල කරන හැටි ගැන උපදෙස් දුන්නු, දැනටමත් අරගලය ගැන පශ්චාත් පරීක්ෂණ වාර්තා ලිය ලියා ඉන්න, මන්දිර වලට සිදුවුණු අලාභ හානි ගැන විගණන වාර්තා හදන ඔස්තාර්ලාගේත් රෙදි ගලවාගෙනම තමයි සර් ගියේ. දැන් ඉතින් මොනවා කරන්නද…?  ඒ හින්දා චිචීගේ රොකට්ටුව කොහේද ගියේ කියලා හොයන්නේ නැති අය මන්දිර‌යේ කැඩුණු කනප්පු ගැන කම්පා වෙනවා බිලියන 15ක සීනි බදු වංචාව ගැන කටක් නොහරින පිරිස මන්දිරයේ බිත්ති අපිරිසිදු වුණ හැටි ගැන හොයනවා. අරගලයේ මිනිස්සු රජ ගෙදරට ගියේ ඇසළ පෝයට බණ අහන්න නෙමෙයිනේ! රටේ දරුවන්ගේ අනාගතයෙන් වසර තුනක්ම සූරා ගෙන පාසල් වසා දමා අධ්‍යාපනය වළපල්ලට යැවූ පාලකයන් සිය රජ බොජුන් වෙනුවෙන් වැය කළ මුදල් සාධාරණීකරණය කරනවා.. (මොනවා වුණත් රටක ජනාධිපති කෙනෙක්නේ. කන්න බොන්න වෙන්නේ එහෙම තමයි!)

පුස්තකාලයක් ගිනි ගැනීම ගැන හඩා වැළපෙන ගමන් ඒ පුස්තකාලාධිපතියාගේ බිරිඳගේ උගත්කම ගැන වර්ණනා කරන පිරිස, ඒ පොත් පත් කියෙව්වාය කියන මහල්ලා මේ තරම්ම බලලෝභී උද්ධච්චයෙකු වුණේ ඇයිද කියලා හිතන්නවත් උත්සාහ කරන්නේ නැහැ. යාපනය පුස්තකාලය, බටලන්ද වදකාගාරය තමන්ගේ ලිපි රචනාවලට එක් නොකර ගන්න හිතාමතාම පරිස්සම් වෙනවා. (සන්නද්ධ හමුදාවක් වටකරලා තිබුණු ගෙයක පුස්තකාලය විතරක් ගිනිගැනීම… නිරායුධ මිනිහෙක් ඇවිත් සන්නද්ධ හමුදා සෙබළුන්ට පහර දීලා තුවක්කු උදුරා ගැනීම….හරිම පුදුමයි නේද?)

වෙනත් දේශපාලන දර්ශනයක් හරි වෙනත් දේශපාලන නායකත්වයක් බලයට ආවොත් විදේශ ආධාර උපකාර නවතීවි කියලා හිතන අය දන්නේ නැතිව ඇති බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් පස්සේ අපිටම කියලා දෙයක් වෙනත් කිසිම රටකින් පරිත්‍යාගයක් විදියට නොදුන්න බව. රටේ සම්පත් පිටරටට විකුණලා දාලා මුදල් හම්බු කිරීම, රටේ පුරවැසියන් ප්‍රාණ ඇපයට තියලා ණය ආධාර හිගා කෑම මිසක් ඔය කිව්ව කිසිම නායකයෙකුට පුළුවන් වුණේ නැහැ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් රටට යහපතක් කරන්න. දැන් ජනාධිපති හීනය දකින, හය සැරයක්ම අගමැතිවරයා බවට පත්වුණු මහල්ලාටත් ඔය කතාව ඔය විදියටම අදාළයි.

කොහොම වුණත් අව් වැසි පීඩා නොතකමින් තරුණයන් ආරම්භ කළ අරගලය වැඩිහිටියන් හා එක්ව ඉතාම ජයග්‍රාහී විදියට දැන් අවසන් වෙලා තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට දූෂිත ඇගමැතිවරයෙකු වගේම දූෂිත ජනාධිපතිවරයෙකු ජනතා බලයෙන් පන්නා දමා තියෙනවා. මේ විදියට සාර්ථක අරගල දියත් කළ රටවලින් ඇතැම් ඒ්වා අද වන විට දියුණුවෙන් දියුණුවට පත්වෙමින් රටේ ආර්ථිකය ධනාත්මක වර්ධනයකට අවතීර්ණ වෙලා තියෙනවා. තවත් රටවල් තිබුණාටත් වඩා අගාධයට තල්ලු වෙලා. මෑත කාලීන විප්ලව සිද්ධ වෙච්ච රටවල් දිහා බලද්දී පැහැදිලිවම පෙනෙන කාරණාව තමයි දියුණු වුණු හැම රටක්ම රටේ එතෙක් පැවැති දේශපාලන පද්ධතිය බිඳ හෙළලා අලුත් දේශපාලන දර්ශනයක් නිර්මාණය කිරීම ඒ දියුණුවේ රහසයි කියන එක. හය වරක්ම අසාර්ථක අගමැතිවරයෙකු ජනාධිපතිවරයා බවට පත්කරගෙන දූෂිත පවුල් පාලනය යටතේම රට ඉදිරියට ගෙන ගියොත් අපිටත් සිද්ධ වෙන්නේ ලිබියාව, ඊජිප්තුව, එල්සැල්වදොර් වගේ අගාධයෙන් අගාධයට යන්න.

ජනතා අරගලය සාර්ථක වුණේ රටේ සාතිශය බහුතරයක් පවතින ක්‍රමය ගැන තිබුණු බරපතළ විරෝධය හින්දා. ඒ් ජනතා අභිලශය ඉෂ්ට වෙන දේශපාලන දර්ශනයක් ඇති නොවුණොත් සිද්ධ වෙන්නේ බරපතළ විනාශයක්. සමස්ත ජාතියම දැන දැනම විනාශ මුඛයට කැඳවා ගෙන යාමක්. ජනතාව පැතූ වෙනස ක්‍රියාත්මක නොවී මේ ජරපත් මහල්ලන්ගේ හම්පඩ දේශපාලන දර්ශනයම තව දුරටත් ක්‍රියාත්මක කරන්නට ගියොත් රටේ අනාගත දරු පරපුරට උරුම වෙන්නේ බිහිසුණු අනාගතයක්!

ඉතින් ඒ හින්දා ඔය විදියට අරගලයේ සුජාත භාවය ගැන ප්‍රශ්න කරන, මන්දිරයේ බඩු මුට්ටු ගැන කම්පා වෙන පිරිස වගේ අය වෙනුවෙන් ටිකක් සැර ප්‍රකාශයක් ‘The Rudest Book Ever’ කියන පොතේ Shwetabh Gangwar කියන ලේඛකයා සටහන් කරලා තියෙනවා. පොතේ නම වගේම ඒ පොතේ තියෙන කරුණුත් ටිකක් සැරපරුෂයි. එයා කියන විදියට යුවළක් දරුවෙකු ඇති කරගන්නේ දරුවෙක්ට ආස හින්දා. ඒ වගේම තමන්ගේ  පවුල් ජීවිතය දරුවා තුළින් පරිපූර්ණ වෙනවාය කියලා හිතන හින්දා. එහෙම නැතිනම් ඒක සමාජ සම්මතය හින්දා. නැතිනම් හුදු අහම්බයක්ම වෙන්නත් පුළුවන්. ඔබත් මාත් ඇතුළු හැම දරුවෙකුගේම උප්පත්ති කතාව වැටෙන්නේ ඔය කිව්ව කාරණාවලින් ඒකකට. ඉතින් මේ ලේඛකයා කියනවා හිතන්නට එපා කියලා තමන් විතරක්ම අතිශය සුවිශේෂී, අනෙක් දරු උපත්තීන්ගෙන් වෙනස් වෙච්ච, හැම දෙයකටම තීන්දු තීරණ දෙන්න පුළුවන් විදියේ අතිශය දුලබ චරිතයක් කියලා. අරගලයේ සුජාතභාවය ගැන ප්‍රශ්න කරමින් තීන්දු තීරණ ප්‍රකාශ කරන අයට නම් ඒ් ප්‍රකාශය හරියටම හරි. (උප්පත්තියෙන් කෙසේ වෙතත් පැවැත්මෙන් ඒ විදියේ සුවිශේෂී චරිතයක් වෙන්න ඔ්න නම් ඒ්කට ක්‍රමවේදයත් ඒ පොතේ සාකච්ඡා කරනවා). මේ හින්දා තමයි කාර්ල් යුන්ග් (Carl Jung) කියන මනෝ විද්‍යාඥයා කිව්වේ, “හිතන එක හරිම අමාරු වැඩක්… ඒ නිසා තමයි බොහොම දෙනෙක් තීන්දු තීරණ දෙන්න යන්නේ” කියලා. (‘Thinking is Difficult, That’s why most people Judge”).  

මතකයිනේ අර පිකාසෝගේ චිත්‍රය ගැන අහපු ප්‍රශ්නය. පිකාසෝ දින දෙක තුනකින් අඳින චිත්‍රය මිනිසුන් දහස් ගාණක් එකතු වෙලා මාස ගණනක මහන්සියෙන් නිර්මාණය කරන ගුවන් යානායකට වඩා මිල අධික වෙන්න හේතුව තමයි හැම දේකම වගේ මිල තීරණය වෙන්නේ ඒ වෙනුවෙන් යොදන මහන්සිය ගැන හිතලම නොවන හින්දා.  වඩාත් වැදගත් වෙන්නේ අපි සාමුහිකව ඒ වෙනුවෙන් තීරණය කරන මිලයි. අරගලයටත් මේ කාරණාව පොදුයි. කවුරුන් කොයි විදියට කේවල තීන්දු නිගමණ දුන්නත් පොදු ජනතාව අරගලය වෙනුවෙන් සාමුහිකව දුන්නු වටිනාකම මත ඒ අරගලයේ සුජාත බව තීරණය වේවි.

ඉතින් මේ විදියට අරගලයේ අඩුපාඩු හොයන්නට, මන්දිරයට සිදුවුණු හානි ගැන කතා කරන්නට, හිටපු නායකයාගේ සරල බව කියන්නට, රටේ අනාගතය භාර දෙන්නට සුදුස්සා කවුදැයි අනාවැකි පළකරන්නට පෙළ ගැහෙන චරිත වලින් අපි පරිස්සම් වීම හරිම වැදගත්. ඒකට හේතුව කවි ගී කිය කියා, මුහුණු පොත පුරා හිස් වචන හෑලි වපුරවලා විරුවෙක් කියලා පඹයෙක් රජ කරන්නට පෙරමුණ ගත්තේත් ඔය කිව්ව නඩයම හින්දයි. නැතිනම් සිද්ධ වෙන්නේ අරගලයේ සමස්ත සාරය, සාටකය දාගත්ත මහල්ලාට කිවුව ‘අප්පච්චි’ වෙනුවට ටයි කෝට් දාගත්ත මහල්ලාට ‘පපා’ කියන්න පුරුදු වෙනවා වගේ සරල වෙනසකට ලඝු වීම විතරයි.

මේ කිව්ව කරුණු කාරණා කැටි කරන ප්‍රකාශයක් ගිය අවුරුද්දේ නිකුත් වෙච්ච ‘How to Be Animal: A New History of What It Means to Be Human’ කියන පොතේ අපූරුවට සටහන් කරලා තියෙනවා.  Melanie Challenger කියන පොතේ කතුවරිය පරිණාමවාදය දක්වාම ඈතට දිව යන සංසිද්ධීන් විශේලේෂණය කරමින් පෙන්වලා දෙන්නේ දැනුම (knowledge) තිබූ පමණින්ම අවබෝධය (enlightenment) සාක්ෂාත් කරගන්නට නොහැකිය කියන කාරණාව ජීව විද්‍යාත්මක ඉතිහාසය පුරාම පෙන්නුම් කරන බවයි. අවබෝධය ලබා ගන්නට නම් නිර්මාණශීලී නව මාවත් සොයා යෑම අත්‍යවශ්‍යයි. (History shows us that knowledge doesn’t necessarily lead to enlightenment but only to the search for a different source of light) මේ නිසා පරණ යල්පැන ගිය දේශපාලන තන්ත්‍රයම තව දුරටත් ක්‍රියාත්මක වෙනවා නම් අරගලයේ සැබෑම ජනතා අපේක්ෂාව වූ නවෝදයක අරුණළු කිසිදා කිසිදිනෙක දකින්නට නොහැකි වේවි.

ඔව්… මේ හින්දා අද අපිට තියෙන ලොකුම අරගලය තමයි වැරදි මිනිසුන් අතරේ නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කිරීම.

2 thoughts on “මේසයක් උඩ බිත්තරයක්!

Add yours

    1. වික්ටෝරියා ජලාශය මුළුමනින්ම බ්‍රිතාන්‍ය රජයේ පරිත්‍යාගයක් නොවෙයි. ඒ සඳහා ලංකා රජයත් මූල්‍ය දායකත්වය දැරුවා. එම කාර්යය නිම කරන්නට අවශ්‍ය වූ ඉතිරි ණය මුදල ලබා ගැනීමේදී බ්‍රිතාන්‍ය රජය එය ආධාරයක් ලෙස ලබාදුන්නා.
      බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ලංකා රජයේ දායකත්වය ලැබුණේ මූල්‍යමය ලෙස නොවේ, ප්‍රසිද්ධ ශ්‍රමදාන මාලාවක් සංවිධානය කිරීමෙනුයි.
      වකුගඩු රෝහල සම්බන්ධයෙන් තොරතුරු හා දැන සිටියේ නැහැ. ඔබේ අදහස් වලට බොහොම ස්තූතියි.🙏

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: