නාන්න නන් නාන්න…!

දශකයේ අසික්කිතම ඡායාරූපය – සාමකාමී විරෝධතාකරුවන්ගේ ආහාර වේලට පවා ප්‍රහාර!

“නාන්න යනවද…?”

“අපොයි නැහැ… මම මේ නාන්න යන්න කියලා”

“ඒක මිසක්… ඒත් මම හිතුවා මේ නාන්නවත් යනවද කියලා”

“පිස්සුද…? මේ ටිකක් නාගන්න කියලා”

ඇත්ත… හතර බීරි කතාවක් තමයි. ඒත් අද රටේ සිද්ධ වෙන බොහොමයක් දේවල් බොහොම දෙනෙක් තේරුම් ගන්නේ ඔන්න ඔය විදියට හතර බීරි තේරුම් ඇතිව තමයි.

ඒකට ප්‍රධානතම හේතුව හරිම පැහැදිලියි. ඒ තමයි තමන් අයිති පංතිය මොකක්ද කියන එක රටේ ජනතාවගෙන් සාතිශය බහුතරය තාමත් තේරුම් අරගෙන නොතිබීම. ඇත්තටම කියනවා නම් හැමෝම ඉල්ලන ‘සිස්ටම් චේන්ජ්’ එක තවමත් නිර්මාණය නොවන්නට අද දවසේ තියෙන ප්‍රධානතම අභියෝගයත් ඕකම තමයි. දැන් තිරගත වෙන ‘පිං අගමැති’ බයිස්කෝප් නාඩගමේ අගමැති චරිතය රඟ දක්වන්න ආපු විපක්ෂයේ මහලු දේශපාලකයා වෙනුවෙන් චරිත සහතික ලියන බොහොම දෙනෙකුට වෙලා තියෙන්නෙත් තමන්ගේ පංතිය හඳුනා ගන්නට බැරි වීමේ ඔය කියන පටලැවිල්ලම තමයි. රට බේරා ගන්නවා වෙනුවට තමන්ගේ පවුල බේරලා දෙන්න ඉදිරිපත් වුණු මහල්ලාට ජනාධිපතිවරයා ඇහැක් ඉඟි මරලා අගමැති ධුරයේ පත්වීම් ලිපිය දෙද්දී පරාණ බයේ හැංගිලා ඉන්න පන්නා දමපු හිටපු අගමැතිවරයා තමන් ඉන්නේ හැංගිලාය කියන එකවත් අමතක වෙලා ‘පැලෙන්න ආදරෙයි’ කියලා මුල්ම සුබ පැතුම යොමු කරද්දීවත් මේ සිද්ධියේ මුල මැද අග ගලපා ගන්න බොහොම දෙනෙකුට තාමත් බැහැ.

ප්‍රශස්ති ලියපු සමහරුන්ට නම් මෙතැනදී තිබු‍‍ණේ දේශපාලන ඇරියස් එකක්. ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙලා තමන්ගේ ‘ඩයි හාඩ් සුන්දර බයි සිහින’ සුණු විසුණු වෙලා යන දෙයක් වැරදිලා හරි සිද්ධ වුණොත්…? ගෝටා ගෝ හෝම් කියලා තරුණයන් පටන් ගත්ත අරගලය ජයග්‍රහණයෙන් කෙළවර වුණොත්…? නැතිනම් අනුර කුමාර ඇවිත් අර ෆයිල්වල තියෙන හොරුන්ට දඩුවම් දීලා ලකුණු දාගත්තොත්…? ඉතින් පුතා මළත් මොකද ලේලි කණවැද්දුම් වෙනවා නම්! ඉතින් එයාලා කතරගම යන්න ටිකට් අරන් අතරමගදී කොල්ලුපිටියෙන්ම බස් එකෙන් බැහැලා… ඒ කියන්නේ ‘ගෝටා ගෝ හෝම්’ කියලා බෝඩ් එක අල්ලගෙන ඉඳලා තියෙන්නේ ‘රනිල් කම් හෝම්’ කියලා එයාව ‘ටෙම්පල් ට්‍රීස්’ වලට එක්කකර ගෙන යන්න හිතාගෙන මිසක් ‘සිස්ටම් චේන්ජ්’ එකක් වෙනුවෙන් නෙමෙයි.

මඩ වගුරකට ගලක් ගහලා දිය වළලු විහිදුවන්න බැහැනේ. ජනාධිපති වුණත්, අගමැති වුණත් බැහැ නම් බැහැම තමයි. ඉතින් වැඩිම ධෛර්යයක් දෙන බොරුව බොහොම සුන්දරව පෙනෙන මායාවක් වුණත් ඒ මායාව යට තියෙන සත්‍යය හරිම බියකරු වේදනාකාරී එකක් බව වටහා ගැනීම තමයි මෙතැනදී වඩාත්ම වැදගත් වෙන්නේ. (Painful truth is better than a pleasant lie). (පස් වතාවක්ම අගමැතිවරයා වෙලා, අන්තිමේ දී වෙසක් එකට දන්සැල් දෙනවා වගේ මහ දවාලේ මහ බැංකුවේ බැඳුම්කර තමන්ගේ හිත මිතුරන්ට දන්දීලා අත හිනා වේවී අත වනලා යන්නට ගිය අගමැතිවරයෙක් මේ හය වැනි වතාවේ හොරා කාපු සල්ලි ගෙනත් දීලා රට හදාවි කියලා හිතන අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය!)

කැප්ටන් මහ මුහුද මැද්දෙදි පිස්සෙක් වුණොත්…?

නැවක කපිතාන්ගේ නොහැකියාව හින්දා නැවක් මහ මුුහුදේ ගිලෙන්න යනවා නම් වහාම කපිතාන්ව අයින් කරලා දෙවැනි නිලධාරියාට (Chief Officer එහෙමත් නැතිනම් Chief Mate) නැව ගොඩබිමකට ගෙන යන්න බලය ලැබෙන එක තමයි ජාත්‍යන්තර වානිජ නෞකා නීතිය. නැවේ කැප්ටන් මහ මුහුද මැද්දෙදි පිස්සෙක් වුණොත්…? ඔව්, එතකොටත් බලපාන්නෙත් ඒ නිතියම තමයි. එතැනදී නැව ගොඩබිමකට ගෙනියනකම් කැප්ටන්ව තනතුරේ තියාගන්නේ නැහැ. කැප්ටන් මුරණ්ඩු අකීකරු කෙනෙක් නම් කැප්ටන්ව අල්ලලා සිරකරලා දාන්න වෙනවා. එහෙමත් නැතිනම් මහ මුහුදට ඇදලා දාන්න වෙනවා. ඒක තමයි නීතිය.  

කෙනෙක් සූදු පිටියට ගිහින් බූරුවා ගැහුවත්, බූරුවා ගහනවා බලාගෙන හිටියත් දෙකම එකයි. උසාවියේ දී බූරුවා ගැහුව කෙනාටත්, බලාගෙන හිටිය කෙනාටත් ලැබෙන්නේ එකම දඩුවම. මොකද ඔය කෝක කළත් වැරැද්ද එකයි.  ඔය කිව්ව දේවල් තවමත් තේරෙන්නේ නැතිනම්, ඒ කියන්නේ නව අගමැතිවරයා ආවේ රට හැදීමේ පරම පවිත්‍ර නිදහස් නිවහල් උදාර සිතිවිලි පෙරදැරිව කියලා තාමත් හිතාගෙන ඉන්න අයට විතරක් ඔය කිව්ව දේවල් තවත් සරලව දිගහරින්න පුළුවන් අගමැති බයිස්කෝප් නාඩගමේ තිර පිටපත පොඩ්ඩකට කියෙව්වොත්.

නාඩගමේ මුල්ම ජවනිකාව පටන් ගන්නේ “මම යල්ලෑ අපෙ හාමුදුරුවනේ” කියලා ඇහෙන අඳෝනාවකින්. ඒ අඳෝනාවට කලින්, පළමුවත් මව්බිම, දෙවැනුවත් මව්බිම, තෙවැනුවත් මව්බිම කියලා පවුලේ හැමෝම තමන්ගේ ගජ මිතුරන් එක්ක වටවෙලා තුන් වේලටම මව්බිමේ සම්පත් ගිල දමන දර්ශනයකුත් ප්‍රෙක්ෂකයන්ට ‘ලයිව්’ බලාගෙන ඉන්න අවස්ථාව ලැබුණා. විවේකයට කලින් විකාශය වෙච්ච ජවනිකාවේ දී මේ බලලෝභී ජරපත් දේශපාලකයා තමන්ගේ තනතුර අල්ලා ගෙන ඉන්න අන්තිම තුරුම්පුව විදියට රට වටෙන්ම සෙනග ගෙන්වනවා අරලිය ගහ මන්දිරයට. “අප්පච්චි… අප්පච්චි…” කියාගෙන අප්පච්චිගේ රූපය රාමු කරපු පිංතූරත් දෝතින් අරන් අරලිය ගහ මන්දිරයට දුවගෙන ආපු අයගේ අත්වලට පොලු මුගුරු සැපයෙන්නේ අගමැති කාර්ය මණ්ඩලයේ සාදර අනුග්‍රහයෙන්. අතට පොලු මුගුරු හම්බුවෙලා දේශ බන්දු රැකවරණත් තියෙනවා කියලා දැනුනාම එතැන ඉන්න හැමෝටම හිතුණා 69 ලක්ෂයම එතැන ඉන්නවා කියලා. අර කලින් කිව්ව විදියට තමන් අයිති පංතිය ගැන මේ පිරිසට තිබුණේ කොයි තරම් අල්ප අවබෝධයක් ද කියනවා නම් අන්තිමට පීඩිතයා විසින් පීඩිතයාටම පහර දෙන්න ගත්ත උත්සාහය කෙළවර වුණේ අප්පච්චිගේ දරු පැටවුන්ගේ රෙදිත් ගැලවිලා. සමහරු නම් රෙදි නැතිවම වීදි සංචාරය කළා… සමහරුනම් රෙදි අස්සේ මල් තට්ටු එල්ලාගෙන වීදි සංචාරය කළා. වීදි සංචාරයෙන් පස්සේ සමහරු නම් බේරේ වැවේ පීනන්නත් අමතක ක‍ළේ නැහැ. ලොකු බේබි ජනාධිපති වෙනකම් අගමැති පුටුව අල්ලාගෙන ඉන්නට ගත්ත අන්තිම උත්සාහයත් බේරේ වැවේ කුණු කානු අතරින් වැක්කෙරිලා ගියාට පස්සේ රටම ගිනි තියලා තමයි ඒ ජරපත් මහල්ලා පුටුවෙන් නැගිටලා ගිහින් බංකරයක හැංගු‍‍ණේ.

තමන්ගේ පුරෝහිතයා වෙච්ච අගමැති අයියා පුටුවෙන් පන්නා දැම්මාට පස්සේ රාජ්‍ය පාලනය ගැන මෙලෝ හසරක අත්දැකීමක් නැති ජනාධිපති මල්ලී වෙන මොනවා කරන්නද? දැනටමත් හොඳටම නාගෙන ඉවරයිනේ. ගාලු මුවදොර අරගලය හින්දා මුලු රටෙන්ම මතු වුණු විරෝධයෙන් ජනාධිපති මල්ලී බිත්තියටම තද කරලයි තිබුණේ. ආගමික නායකයන්ගෙන් එල්ල වුණු පීඩනයත් දරා ගන්න බැහැ. තමන් වීරයෙක් කරලා සිංදු ලිව්ව, සිංදු කිව්ව, ගෝනි අරන් කඩේ ගිය කිසිම කෙනෙක් දැන් තමන් එක්ක නැහැ. අඩුම තරමින් ඥානාවත් නැහැ… දේවාලයට ගිනි තිබ්බට පස්සේ ඥානාගේ දෙයියොත් දේව මණ්ඩලයෙන් පන්නලා. අවුළුවන්න හදපු ජාතිවාදය, ආගම්වාදය තුරුම්පු ඔක්කොම බේරේ වැවටම ගහගෙන ගිහින්. ඉතින් ඉල්ලා අස්වෙනවා හැරෙන්නට වෙනත් කිසිම විකල්පයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ.

මල් පොකුරු අරන්… සීතල පිණි වැස්සේ!

ඔන්න දැන් තමයි නාඩගමේ ලස්සනම ජවනිකාව. විපක්ෂයේ මහලු දේශපාලකයා තරප්පු පෙළ නැගගෙන හිමිහිට හිමිහිට වේදිකාවට එනවා… මනමාල හිනා පොකුරකුත් අරන්. මහ බැංකුව කඩලා දාලා රටක්ම හාන්සි කරපු තමනුත්, තමන්ගේ මිතුරු කැළත් ආදරයෙන් බලා හදාගත්ත පවුලේ මිත්‍රයන් කොහොම අමතක කරන්නද? ජනාධිපති පුටුවේ ගැට්ටටම ලිස්සලා ඇවිත් ඉල්ලලා අස්වෙන්න ඔන්න මෙන්න කියලා හිටිය ජනාධිපති මල්ලීගේ කලිසමේ රැළි ටික එහෙම පිලිවෙළකට හදලා ආපහු ජනාධිපති පුටුවේ හරි බරි ගස්සලා ඉන්දවනවා. ඉතින් මල්ලී විතරක් නෙමෙයි දැන් අර පන්නලා දාපු අගමැති අයියාටත් හරිම  සතුටුයි. ‘ත්‍රිල් එක’ වැඩි කමටම තමන් ඉන්නේ හැංගිලාය කියලාවත් මතක නැහැ… මුල්ම සුබ පැතුම් පණිවිඩය එයාගෙන්. මයිනා අයියා විතරක් නෙමෙයි, කපුටු අයියා ඇතුලු අනෙක් අයියලා රොත්තටත් හරිම සතුටුයි… ඒ විතරක් ද පුතාලා… ලේලිලා… නෑනලා… මාමණ්ඩිලා… නැන්දම්මලා… මේ හැම දෙනාටම හරිම සතුටුයි. දැන් ඉතින් ඉතිරි වැඩ ටික කරගන්න හරිම පහසුයි. තමන්ගේ පරපුරේ ඉතිරිවෙලා තියෙන නඩු කටයුතු ටික නිදහසේ නිදොස් කොට නිදහස් කරගන්න හොඳටම කාලය ඇති. හොරා කාපු ජනතා සල්ලි ටික නිදහසේ රටින් පන්න ගන්න දැන් කාලය වැඩිත් තරම්. රට හදන්න බැරියැයි අනාගතයේ දවසක හත් වැනි වතාවටත් අගමැති වුණාට පස්සේ!

ඉතින් තාමත් කවුරුහරි හිතනවා නම් මේ සිද්ධ වුණේ වැටෙන්න ගිය රට බේරා ගැනීමේ වීරකමක් කියලා එයාලා ඇත්තටම පව්! දේශපාලන පාර්ශ්චව විතරක් නෙමෙයි, ආගමික සහ සිවිල් සංවිධාන එකතු වෙලා ජනාධිපතිවරයාව බිත්තියටම තියලා තද කරලා ජනාධිපති ඉල්ලා අස්විය යුතුය යන ස්ථිරසාර කොන්දේසිය යටතේ කෙටි කාලීන පාලනයක් පිහිටුවන්නට ඔන්න මෙන්න කියලා තියෙද්දී තමයි රට විනාශ මුඛයටම ඇදලා දැම්ම ජනාධිපතිවරයා එක්ක ඔය කිව්ව හතර වරිගෙ පරපුර බේරා දීමේ ඩීල් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා අඩුම තරමින් ඡන්දය දිනලාවත් පාර්ලිමේන්තුවට ආපු නැති කෙනෙක් 69 ලක්ෂයටම කොකා පෙන්නලා දැන් ඔන්න පරපුර බේරා දීමේ මහා සටනක…! ඉතින් හීනෙකින්වත් හිතන්න එපා අර කිව්ව ෆයිල්වල හිටපු එකම හොරෙක්ටවත් දඩුවමක් නම් ලැබෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ කවදාවත්ම… ඒ එයාලා කිරිත් එක්ක සමහන් බොන්න පුරුදු වෙලා ඉන්න නිසා නෙමෙයි… එයාලා ඔක්කොම යාළුවෝ නිසා මල්ලි!

දවසින් දවස සිද්ධ වෙන හැම සිදුවීමකින්ම වගේම අපිට කතා බහ කරන්නට ලැබෙන බොහොම දෙනාගෙන් තේරුම් යන්නේ තමන් අයිති පංතිය මොකක්ද කියලා අවබෝධයක් තියා අඩුම තරමින් ඒ ගැන යාම්තම් ඡායාමාත්‍රයක්වත් බොහොම දෙනෙකුට නැති බව තමයි. මෙතැනදී පංතිය කියන සංකල්පය අරගත්තේ බොහොම සරල තේරුමකින්. ඒ කියන්නේ මාක්ස්වාදී අර්ථයෙන් නිර්ධන – සුළු ධනේශ්වර – ධනේශ්වර කියලා නෙමෙයි. ඒ අදහසම ඊට වඩා හරිම සරලව තේරුම් ගන්න පුළුවන් රටේ ජනතාවගෙන් සියයට 90ක පමණ පිරිසක් අයිති වෙන පීඩිත පංතියත්, සියයට දහයක විතර පිරිසක් විතර අයිති වෙන ධනපති (පාලක) පැලැන්තියත් කියන දෙකොටසින් මේ කාරණය තේරුම් ගත්තම. තුන්වේල කන්න බොන්න තිබුණත්, ගෙයක් දොරක් තිබුණත්, යන්න එන්න වාහනයක් තිබුණත්, කරන්න රස්සාවක් තිබුණත්, ඇඳුමක් පැළදුමක් පොතක් පතක් ගන්න තරම් සල්ලි ටිකක් සාක්කුවේ තිබුණත් හිතන්නට එපා ඔබ ඉන්නේ පීඩිත පංතියේ නෙමෙයි කියලා. රටේ ඉන්න අතිශය බහුතරය, ඒ කියන්නේ ඔබත්, ඔබේ හිත මිතුරන්, ඥාතීන් මේ හැම දෙනාම අයිති වෙන්නේ ඔය කියන පීඩිත පංතියට තමයි. රටේ ජාතික ධනයෙන් සියයට 90ක්ම භුක්ති විඳින සියයට දහයක් වෙච්ච සුළුතරය හින්දා අපේ දූ දරුවන්ට අහිමි වෙලා යන ආර්ථික නිදහස, දේශපාලන නිදහස, සාමාජික නිදහස කියන එක ගැන කිසිම හැගීමක් අපිට නැත්තේ (අපෙන් උදුරා ගත්ත ඒ අයිතීන් කොයි තරම් ද කියවා නම් ඒ ගැන වෙනමම සටහනක් ලියන්න පුළුවන්) අපිත් ඉන්නේ ඔය පීඩිත පංතියේය කියන අවබෝධය අපිට නැති හින්දා. මොකද සෑහෙන කාලාන්තරයක් පුරාවටම අපි දැන් මේ ආර්ථික පීඩනයට, සාමාජීය පීඩනයට, දේශපාලන පීඩනයට පුරුදු පුහුණු වෙලානේ ඉන්නේ.  

පාරවල් වහගෙන කාර් රේස් පදින බේබිලා ඉන්නේ, තේ කෝප්පයක් බොන්නත් ෂැංග්‍රිලා එකට යන්නේ, හෙම්බිරිස්සාවක් හැදුනම සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට දුවන්නේ, පාස් පෝර්ට් දෙක දෙක තියා ගෙන ඉන්නේ, තැබෑරුම් හතර පහක් එක්ක මාලිගා තුන හතර තියෙන්නේ අර කිව්ව අතිශය සුළුතරයක් වෙච්ච හාමුලාගේ පැලැන්තියට. පරම්පරාවෙන් පරම්පරාවට අපි කොයි තරම් කාලයක් මේ හාමුලාට ගැතිකම් කළාද කියනවා නම් ඇත්තටම අපිත් කැමැතියි තුන් වේල නොකා හිටියත් හාමුලාගේ හතර වරිගය මේ සැප සම්පත් භුක්ති විඳින හැටි හරිම ආසාවෙන් බලාගෙන ඉන්න. අපි බස් එකේ කෝච්චියේ එල්ලිලා දහදියෙන් නෑවිලා රස්සාවට ගියත් අර කිව්ව හාමුලා පරිවාර රථ පිරිවරාගෙන උජාරුවෙන් ගමන් යනකොට අත් වනන්න. අපේ දරුවන්ගේ පාසල් හැමදාම වහලා තිබුණත් හාමු බේබිලා රොකට් යවන හැටි බලාගෙන ඉන්න. මොකද වහල්ලු වුණත් කාලයක් යනකොට තමන්ගේ යදම් වලට ආදරය කරන්න පටන් ගන්නවානේ. ඉතින් යදම් ගැලෙව්වාම වහලාට වුණත් ටිකක් පාළුයි පාළුයි වගේ!

1979 දී එක්සත් ජාතිත පක්ෂ ආණ්ඩුව ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ ගෙනාවේ සිංහල ජනතාවගේ අත්පොලසන් මැද්දේ. ඒකට හේතුව තමයි “ත්‍රස්තවාදය” කියලා දෙයක් ඒ කාලයේ දකුණේ නොතිබුණු හින්දා. ඉතින් ජනතා ආශිර්වාදය මැද්දේ මේ පනතින් මුලින්ම කළේ අසාධාරණයට අයුක්තියට එරෙහිව පංති අරගලයකට යෙදුණු දෙමළ තරුණයන් මරා දමපු එක. ඒ විදියට මරා දමපු කුට්ටුමනී තමන් මරා දමන්නට කලින් 1982 දී උසාවිය ඉස්සරහ කළ ප්‍රකාශය ආපහු සැරයක් මතක් කරගන්න වටිනවා.  

“අපි ජාතිවාදීන් නොවෙමු. සිංහල ජනතාවගේ අයිතිය උදුරා නොගනිමු. ඒත් අද අපිට අත් වූ ඉරණම ශ්‍රී ලංකා ජනතාවට ද මතු දිනක අත්වනු ඇත්තේය. එදාට අලිමංකඩ වධ කඳවුර හම්බන්තොටට ගෙන යනු ඇත්‍තේය. ගුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙන යනු ඇත්තේය. ද්‍රවිඩ තරුණයන් වෙනුවට එදාට සිංහල තරුණයන් ඒවායේ වධ වේදනා විඳිනු ඇත්තේය”.

මේ කාලය වෙද්දී කොටි සංවිධානය මිනීමරු සංවිධානයක් විදියට ස්ථාපිත වෙලා තිබුණේ නැහැ. ඒත් මේ රාජ්‍ය ත්‍රස්තවාදය හින්දා උතුරේ දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයා විදියට නිරායාසයෙන්ම පිරබාහරන් කරළියට ආවා විතරක් නෙමෙයි, කොටි සංවිධානය දෙමළ ජනතාවගේ විමුක්තිකාමීන් විදියට අභිෂේක ලැබුවා.

කුට්ටුමනී කිව්ව දේ යථාර්ථයක් වෙන්න අවුරුදු හය හතක්වත් ගියේ නැහැ. අසාධාරණයට, අයුක්තියට, රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව 88/89 දී නැගී හිටපු දකුණේ සිංහල තරුණයන් දස දහස් ගණනින් කෘෘර විදියට ඝාතනය කිරීම ඉක්මනින්ම ආරම්භ වුණා. අද වගේම තමයි ශ්‍රී මහා බෝධියට ගිහින් වශී බෝල මිරික මිරික පිරිත් අහලා පහුවෙනිදාට මිනිස්සු මරන්න ඕඩර් දුන්නු අගමැතිවරයා වගේම වගේම පුතාණෝගේ පියාණෝත් උදේට මල් වට්ටිය අරන් පන්සල් ගිහින් හවසට කිරි කළ හතෙන් නාගෙන සුදු පිරුවට ඇඳගෙන තරුණයන් ටයර් සෑ උඩ යවන්න ඕඩර් දුන්නා. කුට්ටුමනීගේ අනාවැකියටත් වඩා වධකාගාර දකුණේ තරුණයන් වෙනුවෙන් ඉදිවුණා. සූරියකන්දේ සමූහ සුසාන භූමි බිහිවුණා. බටලන්දේ බිහිවුණු වධකාගාරය නම් අලුතින්ම පත් වෙච්ච අගමැතිවරයාට තමන්ගේ මහලු වයස නිසා දැන් සමහරවිට මතකත් නැතිව ඇති.

බැස සීතල ගඟුලේ…!

දකුණේ ජනතාවගේ ඡන්දයෙන් උතුර මර්දනය කරන්න ගෙනාපු හදිසි නීතියේ තුවක්කු අන්තිමට වැඩිපුරම පත්තු වුණේ උතුරටත් වඩා දකුණ මර්දනය කරන්න. කොටින්ම කිව්වොත් අරලිය ගහ මන්දිරය ඉස්සරහ සාමකාමී අරගලයේ යෙදුණු තරුණ තරුණයන්ට කන්න බොන්න ලැබුණු බනිස් ගෙඩිය පවා ජල ප්‍රවාහයෙන් විනාස කරලා දැම්මේ ඔය කිව්ව හදිසි නීතියෙන්ම තමයි. උතුරටත්, දකුණටත් එල්ල වෙන මේ තුවක්කු එකම එක පංතියක් රැකගන්න කරන අරගලයක් නේද කියන කාරණාව හමුදා සාමාජිකයන් තබා සාමාන්‍ය සිවිල් වැසියන්ටවත් අවබෝධයක් තිබුණේ නැහැ. දේශපාලන පක්ෂ තහනම් කළා… තරුණ තරුණියන්, කම්කරු නායකයන් ඝාතනය කළා… ඒත් මේ හැම වෙලාවකම ජාතිය ආගම කියන අබිං ගුලිය සිවිල් ජනතාවට කවලා තියාගන්න දේශපාලකයන් අමතක කළේ නැහැ. ඒ නිසා තමයි දකුණේ තරුණයන් මරා දමද්දී ‘කුලී හේවායින්’ වෙන හමුදාවම උතුරේ තරුණයන් මරා දමද්දී ‘රණ විරුවන්’ බවට පත් වෙන්නේ.

මේ නිසා අද අපිට තියෙන ප්‍රධානතම අභියෝගය තමයි අපි අයිති වෙලා ඉන්න පංතිය තෝරා බේරා ගන්න එක. ඒ හින්දා තමයි මැද මුලනින්, කුරුණෑගලින්, හම්බන්තොටින් ආපු මිනිස්සුන්ට කොළඹ පුරවැසියන්වත් කිසිම දවසක නාලා නැති බේරේ වැවෙනුත් නාන්න සිද්ධ වෙන්නේ. එයාලා දැනගෙන හිටියේ නැහැ රසායනික පොහොර එපා කියලා රටම සාගතයකට තල්ලු කරපු ජනාධිපති-අගමැති දෙබෑයන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙදර විතරක් යූරියා පොහොර ගෝනි 400කට වඩා ගොඩ ගහලා තිබුණාය කියලා. එයාලා දැනගෙන හිටියේ නැහැ මුළු රටේම ගෑස් හිඟයක් තියෙද්දී එයාලව මහපාරට දක්කපු කසිප්පු ජොනීගේ ගෙදර විතරක් ගෑස් ටැංකි 80ක්ම තිබුණා කියලා. අනෙක් අය ලඟත් අඩු වැඩි විදියට ඩීසල්, පරිප්පු, වී, ගෑස් ටැංකි පිටින් තොග පිටින් ගොඩ ගහලා තිබුණු හැටි එයාලා දැනගෙන හිටියේ නැහැ. තමන්ගේ පංතිය ඳුනාගෙන සිටීමේ වැදගත්කම තියෙන්නේ එතැනයි.

උතුරයි දකුණයි කියලා මෙතැනදී කිසිම වෙනසක් නැහැ. දකුණේ සිංහල බෞද්ධ කියා ගන්නා නායකයන් වගේම උතුරේ දේශපාලකනුත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් බොහොම දැනුවත්ව මේ පංති අරගලය පවත්වාගෙන ගියා. ජනතාව අන්ත අසරණ වෙලා ජීවිත සටනින් හෙම්බත් වුණු වෙලාවක පාලකයන්ගේ ගෙවල්වල හාල්, සීනි, පරිප්පු, ගෑස් තොග පිටින් රැස් කරලා තිබුණා වගේම උතුරේ ජනතාව කුසට කෑමක් බෙහෙත් උගුරක් නැතිව ජීවිතයත් මරණයත් අතර සටන් වදිද්දී කොටි සංවිධානය සහල් මිටිවලින් වාකරේ දී බංකර් හැදුවා. අත්‍යවශ්‍ය බෙහෙත් හැම දෙයක්ම තමන්ගේ භාරයේ තබා ගෙන අහිංසක දෙමළ මිනිස්සුන්ට මැරෙන්නට ඉඩකඩ පාදලා දුන්නා. ඒ තමන්ගේ පංතියේ පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය වපුරන්න හිතාගෙන. (යුද්ධය පැවැති යුගයේ මාත්, සොහොයුරු මාධ්‍යවේදී ජානක ලියනආරච්චිත් වාකරේ කළ සංචාරයක දී දුටුව ඒ වගේ එක් බංකරයක පිංතූරයක් තමයි මේ සටහනට එක්කරලා තියෙන්නේ. මේ ප්‍රවෘත්තිය දිවයින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය විදියටයි පළ කෙරුණේ)

සහල් මිටි මතින් තැනූ බංකර්

සුදෝ සුදු පිරුවටය උඩින් ලේ වැකුණු සාටකය පොරවා ගත්ත උදවිය,  අරලිය ගහ මන්දිරයට නිරායුධව ආපු ජනතාවට පොලු මුගුරු අතට දීලා අරක්කු පොවලා නාලාගිරි වගේ මහපාරට දැම්මා වගේම එදා පුතානෝගේ පියාණෝත් මහ රාත්‍රියේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් සුචරිතයට ගෙන්වලා දෙමළ ජනතාවගේ ගේ දොර කඩා බිඳලා ඒවා මංකොල්ලකන්න උපදෙස් දුන්නු හැටි එදා පියාණෝගේ රජයේ හිටපු ඡ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියෙක් පුවත්පත් සාකච්ඡාවක දී මට පැහැදිලි කළ හැටි තවමත් මතකයි. (එදා තමන් ඇසින් දුටු ඒ කරුණු ඔහු හෙළිදරවු කළේ පුවත්පත් සාකච්ඡාවෙන් පසු පුවත්පතේ පළ නොකරන ලෙස කළ ඉල්ලීමක් සමග නිසා ඔහුගේ නම හෙළි කරන්නට නොහැකියි). එදත් අරලිය ගහ මන්දිරය හරහා ජාතිවාදයත් එක්ක එකට මුහුකරලා පතුරුවා හැරපු ප්‍රචණ්ඩත්වයට පස්සේ ඒ මුවාවෙන් ආණ්ඩුව සෑම ප්‍රගතිශීලී ජාතික සංවිධානයක්ම තහනම් කළා. කම්කරු සමිති සම්මේලන වසා දැම්මා. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. ස්වාධීන ප්‍රව‍ෘත්ති පත්‍ර ආයතනවලට සීල් තිබ්බා. ඒත් මේ වතාවේ විතරක් ඒ සැලැස්ම ටිකක් වැරදුනා. ඔව්… හැප්පුණේ වැරදි පරම්පරාවක් එක්ක නිසා!

ඉතින් පහුගිය අවුරුදු හැට හැත්තෑවක කාලය පුරාම ප්‍රජාතන්ත්‍රවාදය කියන ලේබලය යටතේ සිද්ධ වු‍ණේ පීඩිත පංතිය හැමදාමත් රැවටීම විතරමයි. තමන්ගේ පංතිය හරියටම හඳුනා ගන්න බැරි වෙච්ච අහිංසක මිනිස්සු ඉතාම නිවට නියාළු විදියට හැමදාමත් අසීමිතව රැවටුණා. ඒත් තමන්ගේ පංතිය හොඳටම හඳුනා ගෙන හිටපු අර කිව්ව සුළුතර පිරිස ම්ලේච්ඡ විදියට හැමදාමත් අප්‍රමාණව අර පරපුර රැවැට්ටුවා. තවමත් රවට්ටනවා. බේරේ වැවේ පීනන්න ආසා උදවිය සිය කැමැත්තෙන්ම රැවටෙනවා. අනිත් අය නොදැනුවත්කම නිසා රැවටෙනවා.

තමන්ගේ පංතිය තමන්ට අමතක කරවන්න පහසුම දේ තමයි ජාතියයි, ආගමයි. ඒ අරමුණ හින්දාම ‘දුටුගැමුණු සිංහලයෙකු විදියටත්, එළාර දෙමළෙකු විදියටත් පෙරදා නොතිබුණු අලුත් අර්ථකථනයක්’ උතුරේත් දකුණේත් දේශපාලඥයන් විසින් ලබාදුන්නු ආකාරය මරා දමපු රාජිනී තිරාණගම, මහාචාර්ය රාජන් හූල් ප්‍රමුඛ යාපනය සරසවියේ ආචාර්ය මණ්ඩලය ඉදිරිපත් කරපු ‘The Broken Palmyra’ (බිඳුනු තල්රුක) පොතේ හරිම අපූරුවට විස්තර කෙරෙනවා. ඉතින් යුද්ධයේ හැම දෙයක්ම මිලිටරි අර්ථයෙන් තේරුම් ගන්නට උත්සාහ කළ යුතු නැතුවාක් මෙන්ම අගමැති නාඩගම වගේ දේශපාලනයේ සිද්ධ වෙන මේ හැම දෙයක්ම රට ජාතිය රකින්නට කරන මෙහෙයුමක් විදියට හිතුවොත් අපි හැමදාමත් බිමම තමයි. වඩාත් වැදගත් වෙන්නේ මේ යටින් දිවෙන පංති දේශපාලනය තේරුම් ගන්න එකයි. මොකද සරුංගලයකට වුණත් ඉහළ නගින්න නම් සුළඟට විරුද්ධව මිසක් සුළඟත් එක්ක එකට ගිහින් බැහැනේ… එහෙම කිව්වේ චර්චිල්. (“Kites rise highest against the wind, not with it”).

“මේ වගේ උන් වදාපු ගර්භාෂය දිගටම වදාවි” කියලා ධර්මසිරි බණ්ඩාරනායක තමන්ගේ නාට්‍යයක දී වරෙක කිව්වා මතකයි. ඇත්ත… ඒක දිගටම සිද්ධ වේවි. ඒත් ඔබ එතැනදී හිටගන්නේ කොතැනදී කියන එක රඳා පවතින්නේ ඔබ ඉඳගෙන ඉන්නේ කොතැනද කියන කාරණාව මතය කියන එක කිසිම දවසක අමතක කරන්නට එපා. (“Where you stand depends on where you sit ” – මැන්ඩෙලා)

බල තණ්හාව හින්දා දූෂණය ඉහවහා ගිහින් මුළු මහත් පිලිපීනයම දුප්පත්කමට ඇදලා දාලා අන්තිමේ දී ජනතාව පන්නලා දාපු මාකෝස් පවුලේ බාල පුත්‍රයා දැන් දවස් දෙක තුනකට කලින් පිලිපීනයේ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබුවාය කියන කාරණාවත් මෙතැනදී සිහිපත් කරන්නට ඕනේ. රටේ සම්පත් සූරා කාලා සූට්කේස් 24කින් රත්තරන් පොලුත් එක්ක හොරා කාපු ඩොලර් බිලියන ගණනක් එක්ක රටින් පැනගත්ත මාකෝස් පවුලේ මේ පුත්‍රයාට ජනාධිපතිවරණයෙන් ජයගත්තේ කොයි තරම් විශිෂ්ට ජනවරමකින් ද කියනවා නම් ඔහුට ඡන්දය නොදුන්නේ සියයට තුනයි. මේ හින්දා තමන්ගේ පංතිය හරියටම හදුනා නොගත්තොත් සිහසුනෙන් ඇදලා දාපු රාජපක්ෂ පරපුරේ බේබිලාත් ජනාධිපතිධුරයට පත් වෙන දවස වැඩි ඈතක නෙමෙයි.

අරගලය ඇරඹුණේ අසාර්ථක සහ අදුරදර්ශී පාලකයා ඉවත් කර දැමීමේ අරමුණින් මිසක් අගමැති සංගීත පුටු තරඟයකට නෙමෙයි. අරලිය ගහ මන්දිරයේ සෘජු නියෝග මත පහර දුන්නේ ගල් කැටයක්වත් වීසි නොකර මාසයකට අධික කාලයක් පුරා සාමකාමීව යෙදුණු අරගලයකට. ඒ අරගලය ආරම්භ වූ‍ණේ සිංහල දෙමළ මුස්ලිම් යන සහෝදර ජාතීන් අතර පැතුරුණු ආදරයත් එක්ක. මහ වැසි, තද සුළං මැද්දේ මේ අරගලය පවත්වාගෙන යා යුත්තේ ද ඒ ආදරය තුළින්ම තමයි. ඒ ආදර අරගලය අතරේ සිදුකෙරෙන මේ දේශපාලන ඩීල් පැරදවිය යුත්තේ ද ඒ හා සමානම ආදරය පෙරදැරි කරගත් ක්‍රියාමාර්ගයක සිට මිස අඥානත්වය පෙරදැරි කරගත් ප්‍රචණ්ඩත්වය හමුවේ නොවේ. 

ඉතින් තමන්ගේ පංතිය හඳුනා ගන්නට බැරි මිනිස්සු බේරේ වැවෙන් නා ගන්න තාමත් කැමැති නම් ඒ කැමැත්තේ අයිතිය බැහැර කරන්න අපිට බැහැ. අලුත් අගමැති මාරුව ගැන ප්‍රශස්ති ලියන අයටත් ඒ අයිතිය ඒ විදියටම තියෙනවා. ඒත් ඒ දියෙහි බැහැලා පිහින පිහින නාන අය දිහා බලලා උසුළු විසුළු කරන්නට අපේ දේශපාලන සදාචාරය අපිට ඉඩ නොදුන්නත්, ඒ දිහා බලලා නහය වසා ගන්නට ශුද්ධ වූ අයිතියක් අපිටත් තියෙන බව බේරේ වැවේ නාන්න ඉස්සරහට එන්න හිතාගෙන ඉන්න අයත් මතක තියාගන්නට ඕනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: