ඔව්… ඒ වගේම තමයි!

පළමු ඡායාරූපය

ඡායාරූප තුනක්… තේමා පාඨ (slogans) තුනක්…!  

මුලින්ම කතා කරමු ඡායාරූපයක් ගැන. මේ ඡායාරූපයේ  සිය ගණනක් මිනිස්සු එකම එක දිශාවක් දිහා බලාගෙන ඉන්නවා. එ් හැමෝගෙම මුහුණු ජීවයෙන් පිරිලා ඉතිරිලා ගිහින්. මේ සිය ගණනක් වූ මිනිස් රූ අතරේ එකම එක මිනිස් රුවක් විතරක් කැපිලා පේනවා. ඒ ඇයි? (පළමු ඡායාරූපය දිහා බලන්න… රතු පාටින් කවයක් ඇඳලා තියෙන්නේ ඔය කිව්ව තනි මිනිසාව ඔබට පහසුවෙන් පෙන්නුම් කරන්නයි).

හැම දෙනාම අත් දිගු කරගෙන තමන්ගේ නායකයාට වීරෝදාර ආචාරය එකාවන්ව පිරිනමනවා. ඒත් මේ හුදෙකලා මිනිසා විතරක් ආචාර කිරීම ප්‍රතික්ෂෙප කරලා අත්දෙක හරහට බැඳගෙන නිහඬවම තමන් වටේ සිද්ධවෙන දේවල් දිහා බලාගෙන ඉන්නවා. අනෙක් හැම දෙනාගේම මුහුණු ජවසම්පන්න හැඟුම්වලින් පිරිලා ගිහින් තිබුණත් මේ මිනිසාගේ මුහුණේ තියෙන්නේ හරිම උපේක්ෂා සහගත මෘදු පෙනුමක්. ඒ ඇයි?

ඡායාරූපය අරගෙන තියෙන්නේ 1936 දී ජර්මනියේ හැම්බර්ග් නුවරදී. දෙවැනි ලෝක යුද්ධයට ඔන්න මෙන්න. සිය ගණනක් වූ වරාය කම්කරුවන් මේ විදියට තමන්ගේ පක්ෂපාතිත්වය පෙන්වමින් නාසි ආචාරය දක්වන්නේ හිට්ලර්ට. මේ කිව්ව නිහඬ මිනිසා හැරෙන්නට එතැන හිටිය වෙනත් කිසිම කෙනෙකුට හැඟීමක් තිබුණේ නැහැ වැඩි දවසක් යන්න කලින් හිට්ලර් ජනඝාතක බිහිසුණු මිනීමරුවෙක් වෙයි කියලා. අපේ අය වගේම තමයි, ජර්මනියේ බහුතරයක් හිතුවෙත් මේ එන්නේ රට ජාතිය බේරගන්න එන දියසෙන් කුමාරයාගේ ‘ජර්මන් වර්ෂන්’ එක කියලා.

ජනතා රැල්ල එකම දිහාවකට මහා මේඝයක් වගේ ගලාගෙන යද්දී උඩුගං බලා ගිය මේ හුදෙකලා මිනිහා කවුද කියන එක හොයා ගත්තේ ඡායාරූපය අරන් අවුරුදු පනහකටත් වඩා කාලයක් ගියාට පස්සේ. මේ මිනිසාගේ නම ඕගුස්ට් (August Landmesser) කියලයි විශ්වාස කරන්නේ. ඇත්තටම කියනවා නම් ඔහු අවුරුදු ගණනාවක ඉඳන් හිට්ලර්ගේ නාසි පක්ෂයේ සාමාජිකයෙක්. ආර්ය ජාතිකයෙක්. ඒත් ආදරය කළේ යුදෙව් තරුණියකට. මේ ඡායාරූපය ගන්න කාලය වෙනකොට හිට්ලර් තමන්ගේ මුරුග ලක්ෂණ පෙන්නලා තිබුණේ නැති නිසා බොහොම දෙනෙකු එයාව දැක්කේ ‘රට රකින කෙනෙක් වේ නම් – ඒ ඔබයි උතුම් මිනිසා’ කියලා තමයි.

ඒත් ඔය කිව්ව ඕගුස්ට නම් ඒ වෙනකොටත් තේරිලා තිබුණා මේ හිට්ලර් නම් ‘වැඩ කරන අපේ විරුවා’ නෙමෙයි කියලා. ඒ වෙනකොටත් ටිකින් ටික මතුවෙලා ආපු හිට්ලර්ගේ සැබෑ ගතිගුණ, අලුතින් දාපු නීති රීති, හිට්ලර්ගේ දේශනා අහද්දී මේ ගමන කෙළවර වෙන්නේ ලේ වැකුණු පාරකින් තමයි කියලා ඕගුස්ට් දැනගෙන හිටියා. ඔන්න ඔය අවබෝධය නිසා තමයි ජීවයෙන් පිරිලා ඉතිරිලා ගිය සිය ගණනක් මිනිස්සු අතරින්, නිසොල්මන්ව හුදෙකලා වෙච්ච මේ තනි මිනිහා විතරක් ඉතිහාසයට එක් වුණේ. (ඕගුස්ට්ගේ යුදෙව් බිරිඳ නාසි සිරකඳවුරක දී වේදනා විඳ මිය ගිය බවත්, නාසි පක්ෂයට පක්ෂපාතී නොවූ ඕගුස්ට්ට අවුරුදු 34ක් තරම් අඩු වයසකින් ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණු බවත් සටහන් කරන්නට ඕනේ).

ඡායාරූපයේ ඉන්න සිය ගණනක් වූ මිනිස්සු අයත් වෙච්ච ආර්ය ගෝත්‍රයටම අයත් වුණත් තමන්ගේ සහෝදර රටවැසියන් නොදකින බියකරු අනාගතයක සෙවණැලි ඕගුස්ට පේනවා. ඔය වගේ ජනතා රැල්ලක් තියෙන වෙලාවක ඊට එරෙහි මතයක ඉන්න කොයි තරම් නම් ධෛර්යයක් තියෙන්න ඕනේ ද? ඒක ධෛර්යයක් විතරක් නෙමෙයි එක්තරා ආකාරයක වීරත්වයක්. (මතකනේ කැලණියට නයා ආපු කාලේ…?) නාසි හමුදාවේ කෘෘරත්වය හමුවේ නිසලව හිටපු හැමෝම හිට්ලර් එක්කම ඉතිහාසයේ කුණු බක්කියේ පිළිකුල් සහගත ඉඳුල් තට්ටු බවට පෙරලෙද්දී ඕගුස්ට් වගේ මිනිස්සු විතරක් ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවෙනවා, නොමැකෙන්නම.

මේ කියන ඡායාරූපය ලෝකය පුරාම කතාබහට ලක්වුණු බොහොම ප්‍රසිද්ධ ඡායාරූපයක්. ඒත් ඒ ගැන මතකය අලුත් වුණේ මේ දවස්වල මම කියවන පොතක් හින්දා. බොහොම මෑතකදී නිකුත් වුණු මේ පොතේ නම “Caste: The Origins of Our Discontents”. (මගේ උපන් දිනයට මේ පොත තෑගි කළේ මගේ දියණිය සමාධී බවත් ස්තුති පූර්වකව මතක් කරන්නට ඕනේ). පොතේ කතුවරිය ඉසබෙල් (Isabel Wilkerson) මේ ඡායාරූපයට හරිම අපූරු අර්ථවත් අදහසක් එක් කරනවා.

ඉසබෙල් පෙන්වා දෙන විදියට එදා දවසේ ජර්මනියේ හැම්බර්ග්වල අපි ජීවත් වුණා නම් අපි හැමෝම කැමැතියි ‘අනේ ඒ මිනිහා මම වුණා නම්!’ කියලා හිතන්න. අපිත් එදා ජර්මනියේ හිටපු ආර්යයෙක් වුණා නම් ඕගුස්ට් වගේම අපිටත් අනාගතයේ දී සිද්ධ වෙන්න යන බිහිසුණු යථාර්ථය වටහා ගන්නට තරම් දූරදර්ශී අවබෝධයක් තියෙන්නට ඉඩ තිබුණාය කියලා හිතන්න අපිත් හරිම කැමැතියි. ඒත් මානුෂික වශයෙන් ගත්තත්, සංඛ්‍යාත්මක වශයෙන් ගත්තත් ඕගුස්ට් වගේ මිනිහෙක් වෙන්න පුළුවන් අපෙන් බොහොම සුළුතරයකට විතරක් බව ඉසබෙල් පෙන්වලා දෙනවා. ඇත්තනේ…. නයි ධාතු වඳින්න පොහොට්ටු අරන් කැලණි පන්සල් ගිය හැටි මතකයිනේ… මානසික රෝගියෙකුගෙන් පැනි බොන්න පොරකාපු හැටිත් මතකයිනේ… ඇයි තමන්ගේ අප්පච්චි ගෙදර ඉන්දැද්දි කොහේවත් යන හොරෙකුට අප්පච්චි කිය කියා දරුවා වඩා ගන්නත් දුන්නු හැටි… රුවන්වැලිසැය ළග දිවුරුම් දෙද්දී අහසේ වළාකුවවල බුද්ධ රූප දැකලා සාධුකාර දුන්න හැටි…කොටින්ම කිව්වොත් තාප්පවල චිත්‍ර අඳිනවා දැකලා චූන් වෙච්ච හැටි…!

ඉසබෙල් පෙන්වලා දෙන විදියට අනාගතය ගැන ඉඟියකින් හරි වටහා ගන්න පුළුවන් ඕගුස්ට් වගේ මිනිස්සු ඉන්නේ සමස්ත සමාජයකින් හරිම අතළොස්සක්. තමන්ගේ ජීවිත කඩා වැටිලා, ආදරණීයයන් ජීවිත වලින් වන්දි ගෙවලා, තමන්ගේ අනාගත සිහින බිඳ වැටිලා, ජීවත් වෙන්න විදියක් නැතිව යනකල්ම සමාජයේ බහුතරයකට ඕගුස්ට් වගේ හිතන්න අවබෝධයක් නැති බව තමයි ඉසබෙල් පෙන්වා දෙන්නේ. (It would be numerically impossible, humanly impossible, for everyone to be that man). ඉසබෙල් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඇයි අපිට බැරි මේ මොහොතේ ඉඳන්ම එහෙම කෙනෙක් වෙන්න? එහෙම කෙනෙක් වෙන්න නම් මොනවද අපි කරන්න ඕනේ?

පිටු 475ක් පුරා දිවෙන පොත පුරා ඉසබෙල් කරන්නේ ඔය කිව්ව ප්‍රශ්නයට පිළිතුරු විවරණය කරන එක. ඇය ඒක විවරණය කරන්නේ ඇමරිකානු අත්දැකීම් එක්ක. ඒත් ලංකාවේ අත්දැකීම් එක්ක ගත්තම නම් මුලින්ම තමන් තමන්ටම අවංක නොවුණොත් කොහොමවත්ම ඒ විදියේ මිනිහෙක් වෙන්න බැහැ. සරලම උදාහරණයක් කිව්වොත් සොරුන්, මිනීමරුවන්, මංකොල්ලකරුවන් කියලා දැන දැනත් මැතිවරණයේ දී ඡන්දය දීලා, වේදිකාවල නැගලා, මුහුණු පොතේ පිටු ගණන් චරිත සහතික දීලා දැන් රැල්ලට වගේ ජාතියෙන් සමාව ගන්න පිරිස ගත්තම එයාලා දෙකොටසකට වැටෙනවා. සමහරුන් ඉන්නවා තමන්ට වැරදුණු බව ඇත්තටම පිළිගන්න පිරිස. එයාලට පුළුවන් ඕගුස්ට් කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. තවත් පිරිසක් ඉන්නවා එහෙම පිළිගත්තොත් තමන්ගේ දේශපාලන දැනුම් තේරුම්කමේ දුප්පත්කම හෙළිදරවු වෙයි කියන ලැජ්ජාව වහගන්න ‘එදා තිබුණු හොඳම විකල්පයට තමයි ඡන්දය දුන්නේ’ කියලා සිත නිවන කතා කියාගන්නා උදවිය. එහෙම උද්දච්ඡයන්ට නම් කවදාවත්ම ඕගුස්ට්ලා වෙන්න බැහැ. ‍මොකද තමන්ගේ මාන්නය නිසා ප්‍රඥාව එයාලට බොහොම දුරයි. (එයාලව හඳුන ගන්න මේ දවස්වල හරිම ලේසියි. එයාලා තමයි ගාලු මුවදොර අරගලයේ සුජාතභාවය ගැන ප්‍රශ්න කරන්නේ… අරගලය ඇතුළේ ජාතිය ආගම විනාශ කරන බලවේග ක්‍රියාත්මක වෙනවා කියලා කම්පා වෙන්නේ… අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ට කන්න බොන්න ලැබෙන්නේ කොහෙන්ද කියලා විගණන වාර්තා හොයන්නේ… අරගල කරන හැටි ගැන ටියුෂන් දෙන්නේ… ෆයිල් තියෙනවා නම් නඩු දාන්න කියලා කියන්නේ… හාන්සි පුටු දේශපාලන විශාරද ඔස්තාර්ලා වෙලා තියෙන්නේ… රටක් නිවැරදි මාවතකට ගන්න, මහ වැස්සේ තෙමෙමින්, නිදි වරමින්, කඳුළු ගෑස් ප්‍රහාරයන්ට මුහුණ දෙමින් කොල්ලන් කෙල්ලන් කරන මේ සැබෑ ජනඅරගලය නොදැක්කා වගේ කිසිම දෙයක් නොකියා ඔහේ බලාගත්ත අත බලාගෙන බුම්මා ගෙන ඉන්නෙත් ඔය කුලකයේම අවස්ථාවාදී නියෝජිතයෝ තමයි).

දෙවැනි ඡායාරූපය

බලන්න තව එකම එක වාරයක්!

කතා කරන්නට යන දෙවැනි ඡායාරූපය හමුවෙන්නේ ලංකාවෙන්. දැන් නම් හැමෝටම හොඳටම හුරු පුරුදු පිංතූරයක් තමයි. ඒත් හොඳින් බලන්න ඒ ඡායාරූපය දිහා ආපහු සැරයක්! (දෙවැනි ඡායාරූපය ලෙසයි එය නම් කර තියෙන්නේ. (ස්තුතියි ජනතා විමුක්ති පෙරමුණට!)

ලාංකීය ජාතිය අද මුහුණ දීලා තියෙන සමස්ත ශෝකාන්තය මේ තරම් ප්‍රබලව, සංකේතාත්මකව පෙන්වා දෙන වෙනත් කිසිම ඡායාරූපයක් ඔබේ මතකයට එනවාද?

මේ අජීවී ලිපි ගොනු හඬ ගා කියන්නේ ඔබත් ඔබේ ආදරණීය දූ දරුවනුත් අද දවසේ මුහුණ දී සිටින අතිශය බිහිසුණු සජීවී යථාර්ථයේ මූල බීජය නොවන බව කියන්නට ඔබට පුළුවන් ද?

ඔව්…. මේ ලිපිගොනු තුළ සිරවෙලා තියෙන්නේ තිරිසන් ලෙසින් සූරා කෑමට ලක්වූ ජාතියක බොඳ වෙලා ගිය සිහින… මේ ගෙවී යන තත්පරයේ පවා කුසගින්නේ මියැදෙන සුවහසක් දූ දරුවන්ගේ කදුළු කතාව… බෙහෙත් වේල සොයා ගන්නට නොහැකිව හෝරාවක් පාසා සිය අවසන් සුසුම් වා තලයට මුසු කරන පරපුරක ඛේදවාචකය… අරාජික වූ රටක සිඟමන් යදින ජාතියක ගිලිහිලා ගිය අභිමානය… බලලෝභී දේශපාලඥයන්ගේ තට්ටු මාරු දේශපාලනයේ නිරුවත් අජූත පැටිකිරිය… පොදුවේ ගත්තාම අභිමානවත් දේශයක උප නූපන් පුරවැසියන්ගේ සදාතනික කදුළු කතාව තමයි ඔය ලිපිගොනු තුළින් සංකේතාත්මකව පෙන්නුම් කරන්නේ.

අමතක ද? ‘මම කාලි’

තුන් වැනි ඡායාරූපයට යන්න කලින් මුලින්ම කිව්ව තේමා පාඨ (slogans) තුන ගැන කතා කරලා ඉම්මු. පහුගිය අවුරුදු දෙක තරම් දුර්දාන්ත විදියට රට කඩා වැටුණු වෙනත් කාලයක් නැති බව රටේ සාතිශය බහුතරය අවිවාදයෙන්ම පිළිගන්නවානේ. ඒත් ඒ සමාජ කඩා වැටීම උච්චස්ථානයට (social climax) පත් වු‍ණේ පහුගිය අවුරුදු හැට හැත්තෑවක පාලන රටාවේ ප්‍රතිඵලයක් නිසා බව පිළිනොගත්තොත් ඒක කුහකකමක්. ඉතින් මේ සමස්ත කඩා වැටීම පෙන්නන්න පුළුවන් ප්‍රශස්තම තේමා පාඨ තුනක් පහුගිය අවුරුදු දෙකෙන් හොයා ගන්න පුළුවන්.

මුල්ම එක තමයි, “මම කාලි, ඔබ වහන්සේගේ අම්මා”. (පැණි ධම්මිකව අමතක නැහැනේ?) රටක අධ්‍යාපනය බිඳ වැටීම හින්දා බිහි වෙච්ච මුල් නැති පරපුරක වර්තමාන සමාජ සාක්ෂරතාව එකම වැකියකට ගොනු කරන්නට පුළුවන් මීටත් වඩා සරල වෙනත් කිසිම උධෘතයක් ඔබට සිහිපත් කරන්නට පුළුවන් ද? පැණිය ගන්න පොරකාපු මිනිස්සුන්ගේ මානසිකත්වය ගැන හිතුවාම දිය දෙබෑ කරපු නයා නෙමෙයි, කවුඩු පනික්කියෙක් ධාතු අරගෙන පියාඹලා ඇවිත් කැලනි පන්සලේ වහලයට පාත් වුණා කිව්වත් සාධුකාර දෙන්න ඉඩ තිබුණා.

දෙවැන්න තමයි, “අපි තමයි හොඳටම කළේ”. අදුරදර්ශී නූගත් පාලකයෙකුගේ මාන්නයෙන් පිරි උද්දච්ච උදාන පාඨයකට මීටත් වඩා හොඳ උදාහරණයක් ලෝකයේ කොතැනම හරි රටකින් උපුටලා දක්වන්න ඔබට පුළුවන් ද?

තුන්වැන්න තමයි, “මේ අර්බුද කිසිවක් මා විසින් නිර්මාණය කරනු ලැබූ ඒවා නොවේ”. පාලකයෙකුගේ නොහැකියාව, අකාර්යක්ෂමභාවය, වගකීම් විරහිතභාවය සහ පිරිහී ගිය මානසිකත්වය මේ තරම් දීන විදියට හෙළිදරවු වුණු වෙනත් කිසිම ලෝක නායකයෙකුගේ ප්‍රකාශයක් ඔබේ මතකයේ තියෙනවා ද?

ඔය වැකි තුන විවරණය කරන්න අටුවා ටීකා කොහෙත්ම අවශ්‍ය නැහැනේ. දශක හතක කාලයක් පුරා නොකඩවා සිද්ධ වෙච්ච සමස්ත සමාජ දේහයේ ගරා වැටීම ඔය වාක්‍ය තුනේ ගොනුවෙලා තියෙනවා.  ඒ නිසා ඔය තේමා පාඨ ගැන කතාව නතර කරලා දැන් අපි එමු අවසාන ඡායාරූපයට.

තුන් වැනි ඡායාරූපය

Brothers Number 1, 2, 3

තුන්වැනි ඡායාරූපය හමුවෙන්නේ පිලිපීනයෙන්. කාලයක් පුරා පිලිපීන ජනතාවගේ ප්‍රියතම යුද විරුවා එහෙමත් නැතිනම් ජනතා වීරයා බවට පත්වෙච්ච මාකෝස්ගේ දැවැන්ත ප්‍රතිමාවක් තමයි ඔය පිංතූරයේ තියෙන්නේ. පිලිපීනයේ Tuba වලදී 1980 දී විවෘත කරපු මීටර් 30ක් තරම් විශාල මේ සුවිසල් ප්‍රතිමාව ඔහුව වීරයෙක් කරලා ඡන්දය දුන්න ජනතාවගේ දැත්වලින්ම විනාශ කරලා දාන්නේ අවුරුදු විස්සක් ගෙවිලා යන්නත් කලින්. ඒකට හේතුව තමයි වැඩ කරන විරුවා විදියට බොහොම දැවැන්ත ජනතා ප්‍රසාදයකින් බලයට ආපු මාකෝස්ගේ පාලනය දූෂණය පිරිලා ඉතිරිලා ගිය, ම්ලේච්ඡත්වය රජ කරපු, ඥාති සංග්‍රහ වගේම ජනතා මුදල් නාස්ති කරමින් වියදම් ඉහවහා ගිය පාලනයක් වීම. ජනතා මුදල් කොල්ල කාපු නිසාද මන්දා අන්තිමේ දී මාකෝස්ගේ අක්මාව විතරක් නෙමෙයි වකුගඩු දෙකත් අකර්මන්‍ය වුණා. අන්තිමේ දී නොනිල විදියට රට පාලනය කළේ එයාගේ බිරින්දෑ ඉමෙල්ඩා. (පුතාණෝගේ මෑණියන්ගේ එහෙමත් නැත්නම් අපේ “සිරිලිය’ගේ කැරැට්ටුවම තමයි එයාටත් තිබුණේ). එයා කොයි තරම් අපූරුවට රට පාලනය කළා ද කියනවා නම් පිලිපීන මහ බැංකුව සූරා කෑවා. මිනිස්සු හිඟමනටම වැටුණා. මාකෝස්ගේ දරුවෝ රොකට් විතරයි යැව්වේ නැත්තේ.

අන්තිමේ දී එක හූවකින් තමයි අරගලය පටන් ගත්තේ. ජනතාව පාරට බැහැලා අන්තිමේ දී රජ ගෙදර වැටලුවා. (පුදුමාකාර විදියේ සමානකම් නේද?) රජ ගෙදර වැටලුවාම තමයි දැක්කේ රජගෙදර වස්තුව. ඉමෙල්ඩාගේ සපත්තු කුට්ටම් සංඛ්‍යාව විතරක් 2700ක්. විසිතුරු වටිනා ලොම් කබා 35ක්. විවිධාකාර මෝස්තරයේ අත් බෑග් 1500ක්. තනපට පන්සියයකටත් වඩා… අතිශය මිල අධික කාන්තා ඇඟළුම් 1500 ක් විතර! ලෝකයේ අති දුර්ලභ ගණයේ සිතුවම් පවා! (මතකනේ එක පුතෙක් දැන් මාස කිහිපයකට කලින් චිත්‍රයකට දුන්නු ලන්සුව!) අපේ අය වගේම තමයි මාකෝස් පවුලටත් ඇමරිකාවේ අතිශය සුඛෝපභෝගී බඩු භාණ්ඩවලින් පිරුණු මාලිගා තිබුණා. ජනතාව එකතුවෙලා පන්නලා දමද්දී මාකෝස් ජෝඩුවට තිබුණු ධනස්කන්ධයේ වටිනාකම ඩොලර් බිලියන දහයකටත් වැඩියි. (පුදුමාකාර සමානකම්, නේද?)

ඒ වෙලාවේ ඇමරිකාවේ ජනාධිපති විදියට හිටපු රොනල්ඩ් රේගන් සී අයි ඒ සංවිධානයෙන් හොර රහසේ එව්ව හෙලිකොප්ටර් හතරකින් හවායිවලට පැන ගන්නට මාකෝස් පවුලට උදව් නොකළ නම් අද වෙනකොටත් එයාලා ජීවිතාන්තය දක්වාම හිරගෙදර… එහෙමත් නැතිනම් කුපිත වෙච්ච මිනිස්සු ටික එකතු වෙලා මාකෝස්ලා මරලා දාලා. ඒ තරමටම මිනිස්සු කුපිත වෙලයි හිටියේ. ඇයි ඉතින් හෙලිකොප්ටර් හතරක්? මාකෝස් පවුල හවායිවලට පැනගත්තේ නිකම්ම නෙමෙයිනේ… රත්තරන් පොලු පුරවලා තිබ්බ සූට්කේස් 24ක්, ඩොලර් මිලියන ගණනක බැංකු තැන්පත්, දියමන්ති, රන් ආභරණ පිරුණු අති විශාල ධනස්කන්ධයක් එක්ක තව එකී මෙකී නොයෙක් දේවල් පුරවාගෙන. (අපේ ඇමරිකන් පුරවැසියන්ටත් බයිඩන් මේ උදව්වම කරලා දෙන්න ඉඩ තියෙනවා).

ඔය විදියේ තවත් උදාහරණ ආසියාවෙන්ම හොයා ගන්න පුළුවන්. එහෙම එක්කෙනෙක් තමයි පොල්පොට්. අර මුලින්ම කිව්ව ජර්මනියේ හිට්ලර්ගේ ආසියානු සහෝදරයා විදියට පොල් පොට්ව නම් කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් පොල් පොට් හඳුන්වන්නෙත් “Borhter Number One” කියලා. ඒකට හේතුව ජනාධිපති වෙන්න කලින් එයා හිටපු කැමරූජ් ගරිල්ලා කණ්ඩායමේ එයාගේ නොනිල නාමය ඒක හින්දා. මෙයත් එක්ක එකට ගරිල්ලා කටයුතු කරපු අනෙක් අයටත් ඇමති ධුර හිමිවෙනවා. එයාලටත් Brother Number 2, 3… වගේ අන්වර්ථ නාම තිබුණා. (සහෝදරයෝ බලයට ආවොත් ඉතින් මිනීමරුවෝ වෙන්න පුළුවන් කියලා අපි අත්දැකීමෙන්ම දන්නවානේ!)

පොල්පොට් බලයට එන්නෙත් රට ජාතිය ආගම සුරකින ජාතික වීරයා විදියට මුළු රටේම බහුතර ජනබලයක් එක්ක. අන්තිමට මුළු කාම්භෝජයම ඝාතන භූමියක් (Killing Field) බවට පෙරලන පොල්පොට් බලයෙන් යන්නේ රටේ ජනගහනයෙන් කාලක්ම මරා දාලා. ඒ මිනීමරු තිරිසන් පාලන කාලයේ දී දැවැන්ත ආර්ථික, සමාජ පරිහාණියක් එක්ක කාම්භෝජයේ ජනතාව හිඟමනටම වැටෙනවා. අන්තිමේදී පොල්පොට්ව නම් හිරගෙදරට දක්කන්න මිනිස්සුන්ට පුළුවන් වුණා. මැරෙන්නෙත් හිරගෙදරදිම තමයි. පොල්පොට් මුළු කාම්භෝජයම ඇවිදින කැරකෝප්පුවක් කරලා, රට දුප්පත්කමේ අන්තයටම තල්ලු කරලා දැම්මේ අවුරදු හතරක් තරම් ඉතා සුළු කාලයක් ඇතුළත දී. දුර්දාන්ත අදුරදර්ශී පාලකයෙකුට සහ අධම පාලන තන්ත්‍රයකට රටත් ජනතාවත් කාණු පල්ලට තල්ලු කරලා ජනතා සිහින සුණු විසුණු කරලා දාන්න පොල් පොට්ගේ පාලනයෙන් අඩකුත් ඇතිය කියන පාඩම පහුගිය අවුරුදු දෙක තුළ දී අපිත් ඉගෙන ගත්තා තමයි. ඒත් ඒ පුරවැසි පාඩම (Community Lesson) වෙනුවෙන් අපේ තරුණ පරපුර තමන්ගේ ලේ කඳුළු වලින් ගෙවන මේ ටියුෂන් ගාස්තුව නම් හොඳටෝම මිල වැඩියි.

ඉතිහාසය යළි යළිත් පුනරුච්ඡාරණය වෙමින් පවතිනවාය කියන කාරණය හැමෝම දන්න දෙයක්නේ. පුදුමාකාර සමානකම්… පුදුමාකාර පාඩම්…  හිට්ලර්, පොල්පොට්, ඉඩි අමීන් වගේ මිනිස්සු ඝාතන පටන් ගත්තේ බලය ගත්තට පස්සෙයි. ඒත් තවත් සමහරුන් බලයට එන්නෙම ඝාතන රැල්ලක් නිර්මාණය කරලා. මේ හැමෝගෙම පොදු ගුණාකාරය තමයි මුලදී මේ හැමෝම බලයට එන්නේ ජාතිය, ආගම රැකගන්නට එන දියසෙන් කුමාරවරු විදියට. (ඔය සමහර නිළියන්ට ඇස් දෙක පියාගත්තමත් පෙනුනාය කියන්නේ!)  වචනයක් වචනයක් පසා ‘අපෙ හාමුදුරුවනේ’ කියාගෙන. යුද්ධය නිම කිරීම වෙනුවෙන් කප්පමක් විදියට රටේ සම්පත් දොළ පිදේනි විදියට තමන්ගේ පුත්තුන්ට, ලේලිලාට, මුණුබුරන්ට ලියා දෙන්න ඕන කියලා රජ පවුලකට හිතෙනවා නම් පිරබාහරන් අපිට දීලා ගිය තෑග්ග ඒ රජ පවුල තමයි කියලා හිතුවොත් ඒකෙ කිසිම වරදක් නැහැ.

මිනිහෙක් මැරුණාම රතිඤ්ඤා පත්තු කරන සංස්කෘතියක් ඉතිහාසයේ අපිට තිබුණේ නැහැ. එහෙම සංස්කෘතියක් මුලින්ම දැක්කේ 1993 අවුරුද්දේ මැයි පළමුවෙනිදා දවසක, ආමර් වීදියෙන්. රට ජාතිය වෙනුවෙන් පෙනී හිටපු ඒ ‘පියාණෝ’ තමන්ගේ ධුර කාලය නිමාවෙන්නත් කලින් ජනතා වෛරයට පාත්‍ර වුණේ අලුත් රටක් ගැන හිතපු තරුණ පරපුර මට්ටු කරන්න ගත්ත මිනීමරු ක්‍රියාමාර්ග නිසා බව වර්තමාන පාලකයන්ටත් අමතක වෙන්න විදියක් නැහැනේ. වෙඩි උණ්ඩයෙන්, කඳුළු ගෑස් පහරින් නිර්දය විදියට මර්දනය කරන්නට සැරසෙන අද දවසේ මේ තාරුණ්‍යයේ ජීව රුධිරය හඬගා කියන්නේත් ගෙවී යන තත්පරයක් තත්පරයක් පාසා දැල්වෙන්නට යන ගිනිකෙළි සංඛ්‍යාව ඉහළ යන බව මිසක් මේ ජනතා බලය මර්දනය කරන්නට පුළුවන් බව නම් නෙමෙයි.

පොල්පොට්, ඉඩි අමීන්, මාකෝස්, හිට්ලර් විතරක් නෙමෙයි, ලෝකයේ සෑම ඒකාධිපති පාලකයෙක්ම තමන්ගේ දුර්දාන්ත පාලනයට එරෙහි වුණු ජනතාව මර්දනය කරන්නට මුලින්ම කළේ මර්දනකාරී නීති රීති ගෙන ඒම… හදිසි නීති පැනවීම… පොලිස් හමුදා ප්‍රහාර එල්ල කිරීම… බිත්තර සේනාධිපති වගේ කුලී හමුදා යෙදවීම…. ජනතා විරෝධයෙන් බේරෙන්න හිට්ලර් තමන්ගේ ආරක්ෂාවට නාසි භටයින් විසි දහසක් බර්ලින් නගරයේ රඳවා ගෙන අලුතින් බට ගහලා ආරක්ෂක මුර කපොළු ඉදි කළත් (ඔව්… දියවන්නාවේ වගේම තමයි) අන්තිමට සෝවියට් රතු හමුදාව එද්දී නාසි භටයින් සී සී කඩ විසිරිලා ගිහින් හිට්ලර් තනි වුණා.

ඉතින් ඊට පස්සේ… ඊට පස්සේ හිට්ලර් තමන්ටම වෙඩි තියාගෙන මැරුණා!

4 thoughts on “ඔව්… ඒ වගේම තමයි!

Add yours

නමියගෙ වීදිය වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: